එදා 4 කණුවේ බස් හෝල්ට් එකෙන් 138 කඩවත කොටුව බස් එකකට නැග ගත්තේ ඉක්මණට කැම්පස් එකට එන්න හිතාගෙන. බස් එකේ සාමාන්‍ය ප්‍රමාණයකට සෙනඟ හිටියත් පිටිපස්සේ දොර ගාව සීට් එකක් හිස් වෙලා තිබුණු නිසා මම එතනින් වාඩි වුණා. මම වාඩි වෙලා හිටිය සීට් එකේ අනිත් කොණේ වාඩිවෙලා හිටියේ අවුරුදු 50 ක විතර පෙනුම තිබුණු වයසක පිරිමි කෙනෙක්. අතේ පාර්සලේකුත් තිබුණා.
"බලන්න මහත්තයා දැන් ටිකකට කලින් බස් එකට නැග්ග ගෑණු ළමයා ෆෝන් එකක් කනේ තියාගෙන බර කතාවක ඉන්න ගමන්ම තමා බස් එකට නැග්ගේ. ඒ ගමන් අනික් පැත්තට බස් එකෙන් බැස්සත් එක්ක.
ෆෝන් කෝල් එකේ සිහියෙන් ඉදලා බස් එකෙන් වැටුණා නම් මිනිස්සු ටික එකතු වෙලා ඩ්‍රයිවර්ට ගහනවා මිනිහා බලන්නේ නැතුව බස් එක ඇද්දුවා කියලා. සමහරු පාර පනින්නෙත් ෆෝන් කෝල් ගන්න ගමන්. අන්තිමට අනතුරු" කියලා එයා මාත් එක්ක කතාවට වැටුණා.
"ඒක නම් ඇත්ත තමා" මාත් හූමිටියක් තිබ්බා.
"ඔය ෆෝන්වලින් මිනිස්සු කරන ජාති තමා ජාති මහත්තයා. ළඟදී ෆිල්ම් එකක් ආවා නේද දරුවනේ කියලා. කවුරු හරි ෆෝන් එකෙන් ඒ ෆිල්ම් එක විඩියෝ කරලා ඒක සීඩීවලට දාලා දැන් විකුණනවා. ඔන්න ඒකෙත් හැටි. ඒත් අපි නම් කවුරු හරි එහෙම ෆෝන් එකකින් ෆිල්ම් එකක් වීඩියෝ කරනවා දැක්කොත් දෙපාරක් අවවාද කරනවා. ඒත් අහන්නේ නැත්තම් එළියට දානවා"
කතා බහ කරන විදිහෙන් ෆිල්ම් හෝල් එකක වැඩ කරන කෙනෙක් කියලා තේරෙන නිසා මම ඇහුවා "මේ මහත්තයා ෆිල්ම් හෝල් එකක වැඩ කරන කෙනෙක්ද ?" කියලා.
"ඔව් මහත්තයා. මම තමා දළුගම Contras ෆිල්ම් හෝල් එකේ ෆිල්ම් ප්‍රොජෙක්ට් කරන එක කරන්නේ" කියලා එයා උත්තර දුන්නා.
බස්වලදී නානා ප්‍රකාර මිනිස්සු හම්බෙලා තිබුණත් මේ වගේ කෙනෙක් හම්බෙලා නැති නිසා මාත් හරිබරි ගැහිලා කතාවට මුල පිරුවා.
"නියමයිනේ. කොහොමද මේ දවස්වල පෙන්නන කර්ම ෆිල්ම් එක එහෙම ? මම ඒක බලන්න එන්න හිතාගෙන ඉන්නේ"
"ෆිල්ම් එක නම් හොඳයි මහත්තයා. ප්‍රසන්න අලුත් විදිහට ෆිල්ම් කරන කෙනෙක්නේ. හැබැයි මේ ෆිල්ම් එක බලන්න ටිකක් අමාරුයි. එකම ෂොට් එක විනාඩි 5 ක් 10 ක් විතර ඔහේ තියෙනවා. එතකොට බලන්න අමාරුයිනේ. ඒ වගේමයි කතාවත් ටිකක් තේරුම් ගන්න අමාරුයි" කියලා එයා කිව්වා නිසා මේ මනුස්සයත් කාලයක් තිස්සේ ෆිල්ම්ස් බලලාම හොඳ අත්දැකීම් ගොඩක් එකතු කරගෙන තියෙන බව මට තේරුණා.
ඒක නිසා ඒ හැකියාව මම අගය කෙරුවා.
"ඔයාටත් චිත්‍රපටි විචාරකයෙක් වෙන්න පුලුවන් වගේ. ඔයා හුඟක් ෆිල්ම්ස් බලලා ඇති නේද ?"
"ඔව් මහත්තයා. සිංහල, දෙමළ, ඉංග්‍රීසි, හින්දි ෆිල්ම් හුඟක් බලලා තියෙනවා. සෙක්ස් ෆිල්ම්ස් ඇරෙන්න"
"දැනට ෆිල්ම්ස් කීයක් විතර බලලා ඇද්ද ? 500 ක් 600 ක් විතර ?"
"ඊට වැඩියි මහත්තයා. 2000 ක් විතර ඇති. මගේ සර්විස් එක අවුරුදු 39 ක්.යාපනේ,කොළඹ රීගල් ඇරෙන්න හුඟක් ෆිල්ම් හෝල්වල මම වැඩ කරලා තියෙනවා"
"අවුරුදු 39 ක සර්විස් එකක් කියන්නේ ලොකු කාලයක්නේ"
ගෑණුන්ගේ වයසයි පිරිමින්ගේ පඩියයි අහන්න එපා කියලා කතාවක් තිබුණත් මගේ කට කසනවා කීයක් විතර පඩි තියෙනවද කියලා අහන්න. ඒක නිසා මම ඇහුවා "ඉතින් කීයක් විතර පඩි තියෙනවාද ?" කියලා
"ලොකු පඩියක් නැහැ මහත්තයා රුපියල් 12,000 ක් තමා පඩිය. ඕටීත් එක්ක 15,000 ක් විතර පඩි තියෙනවා මාසෙකට"
මට පුදුම හිතුණා. මෙච්චර සර්විස් එකක් තිබිලත් පඩිය මෙච්චර අඩුද කියලා. පස්සේ මම ඇහුවා "ඉතින් ඒ ගාණෙන් ජීවත් වෙන්න පුලුවන්ද?" කියලා. ඒකට ලැබුණු උත්තරේ නම් හරිම වටිනා කියන එකක්.
"අපි ඒ පඩියෙන් ජීවත් වෙන්න ඒ කාලේ ඉදන්ම පුරුදු වුණා මහත්තයා. බඩු මිළ වැඩියි පඩි මදියි කියලා හැමදාම කෑ ගගහා ඉදලා හරියන්නේ නැහැනේ මහත්තයා. අපි දැනගන්න ඕනේ හම්බෙන විදිහට වියදම් කරලා ජීවත් වෙන්න.
සමහරු ඉන්නවා කෑම කද්දී කොකා කෝලා එකක් බොන්නම ඕනේ. කාලා ඉවර වෙලා සිගරට් එකක් බොන්නම ඕනේ. ඒත් මම නම් මහත්තයා තියෙන විදිහට කාලා බීලා ඉන්නවා. අතේ තියෙන මුදලට වියදම් කරනවා. එහෙම නැතුව 15,000 ක් පඩි අරගෙන 25,000 ක වියදම් තියා ගත්තොත් හරියන්නේ නැහැනේ.
සමහරු ඉන්නවා හෝටල්වලින් කන්න පුරුදු වෙච්ච. ඒත් ගෙදරින් ඔතාගෙන එන්න පුලුවන් සම්බෝලයි බතුයි හරි කනවා නම් කීයක ඉතුරුවක්ද. මම හැමදාම උදේට බත් එක්ක එක වෑංජනයක් හදනවා. ඒකෙන් උදේටයි දවල්ටයි කනවා. රෑට කඩෙන් පාන් එක්ක හොඳි එකක් ගෙනල්ලා කනවා.
හැමදාම රෑට එදා දවසේ ඉතුරු වුණු මාරු සල්ලි කැටේකට දානවා. මාසේ අන්තිමට ගෙදර යද්දී ඒ සල්ලිත් ගෙනිහින් දුවට දෙනවා." කියලා බොහොම උපේක්ෂාශීලී විදිහට එයා කිව්වා.
අපි දෙන්නගේ කතාවෙන් කතාවෙන් කැම්පස් හෝල්ට් එක කිට්ටුවට බස් එක ඇවිත් තිබුණේ.
"එහෙනම් මහත්තයා මම ඊළඟ හෝල්ට් එකෙන් බහිනවා. හම්බෙමුකෝ" කියලා එයත් බස් එකේ ඉස්සරහට ගියා.
මමත් කැම්පස් හෝල්ට් එකෙන් බැහැලා කැම්පස් ගියා.
අපි දෙන්නාගේ කතා බහ එහෙම ඉවර වුණත් ඒ කතාවෙන් ගන්න පුලුවන් දේ නම් ඉවර වෙන දෙයක් නෙමෙයි කියලයි මට හිතුණේ.
ප.ලි.: ටික දවසක් තිබුණු විරාමය පුංචි කොමාවක් තමා මේ :D