Sunday, April 28, 2013

දංඩි පැටව් මකර දොරටුව උඩින් පැනයාම


චීනයේ යැංසි ගඟට දකුණෙන් පිහිටි කඳුවැටිය පාමුල එක පුංචි ගමක් තියෙනවා. ඒ ගම ඉස්සරහින් ගලා යන කුඩා ඔයේ දංඩි පැටව් එහා මෙහා පීනමින් විනෝද වෙනවා. අප කියන්න යන කතන්දරේ පටන් ගත්තේ, අන්න එතනයි.


කලු දංඩියා ඒ කියන්නේ, මාළු රෑනේ නායකයා දවසක් තමන්ගේ සගයන්ට මෙහෙම කිව්වා. "ඉක්මනට මෙහෙ එන්න. මං ඔයාලට හොඳ ආරංචියක් කියන්නම්!" 


"ඒ මොකක්ද?" "මං අර පේන පුංචි පාලම උඩින් පනින්න උත්සාහ කළා. උත්සාහය හරි ගියා." "ඔය ඇත්තද? ඔයා විහිළු කරනවා" යාලුවෝ කලු දංඩියාට සරදම් කළා. "ඇයි මං බොරු කියන්නේ? ඔය ගොල්ලෝ විශ්වාස කරන්නේ නැත්නම් ඇවිල්ලා බලන්න!" කලු දංඩි පැටියා සගයන්ට කීවා. "හා හොඳයි යමු!" කවුරුත් එකඟ වුණා. 


මාළු රෑන එක්තරා පරණ මිටි පාලමකට ලං වුණා. "බලන්න මං පනින හැටි" කියලා කලු දංඩියා කෑ ගහලා එක පාරට ඔයට පැන්නා. වතුරු හැම තැනම විසි වුණා. වතුර නිසල වුණාම, පුංචි පැටව් පාලම දිහා බැලුවා. ඒ ගොල්ලන්ගේ සහෝදරයා අර ඉන්නේ, පාලමෙන් එහා පැත්තේ. 


එතකොට "පුතාලා මෙහෙ එන්න" කියලා ඈත ඉඳලා අඬ ගහන ආච්චිගේ කට හඬ මාළු පැටවුන්ට ඇහුණා. දංඩි පැටව් වහාම ආච්චි ඉන්න තැනට පීනුවා. 


පාලමෙන් එහා පැත්තට පනින්න කවුද පුතාලට කිව්වේ? ආච්චි ඇහුවා. ඒක හරි භයානක වැඩක්, වැටිලා තුවාල වුණා නම්" කිව්වා. "ආච්චි බය වෙන්න එපා" දංඩි පැටව් විශ්වාස සහගතව කිව්වා.

"හැබැයි තුවාල වුණොත් අඬන්න වේවි. එතකොට පරක්කු වැඩියි. හොඳ දැන් ඉතින් හැමෝම එන්න මං කතන්දරයක් කියන්නම්"


"කොච්චර හොඳ ද අපි ආච්චි කියන කතන්දර අහන්න හරි කැමතියි!" හැමෝම කිව්වා. "ඉක්මනට කියන්න", "කෑ ගහන්න එපා. නිස්සද්දව ඉන්න ඕනෑ" දංඩි ආච්චි කිව්වා. කුඩා දංඩි පැටව්, ආච්චි දෙසට මූණලා අඩ කවයකට වාඩි වුණා.  


දංඩි ආච්චි කතන්දරය කියන්න පටන් ගත්තා. "අපේ මුතුන්මිත්තෝ නිතරම කිව්වා ලෝකේ මහා ගංගාවත් මුහුදත් අතර මකර දොරටුවක් තියෙනවා කියලා. මේක හරි උසයි. ඒක උඩින් පැන්න කෙනෙකුට මකරෙක් වෙන්න පුළුවන්. පුතාලගේ සීයලා කවුරුත් මේ වැඩේ කරන්න උත්සාහ කළා. නමුත් පරාජය වුණා"


"ආච්චියේ, මට පුලුවන්ද ඒකෙන් පනින්න?" කලු දංඩි පැටියා ඇහුවා. "ඔයා තාම පුංචි වැඩියි පනින්න යන්න එපා. ලොකු වුණාට පස්සේ වුණත්, පනින්න පුළුවන්ද කියලා කියන්න බෑ", "මකර දොරටුව කොහේද ආච්චියේ තියෙන්නේ ?" දංඩි පැටව් ඇහුවා. "මේ... මමත් දන්නේ නැහැ" ආච්චි හිස වැනුවා.


දංඩි පැටව් මේ කතාවෙන් කලබල වුණා. ඒ ගොල්ලෝ හැමෝම පැත්තකට වෙලා ගුලි ගැහිලා මේ ගැන කතා කළා. කලු දංඩි පැටියා තමයි මුලින් තමන්ගේ අදහස කිව්වේ. එයා කිව්වා "මං යනවා, මං මකර දොරටුව හොයන්න යනවා. ඔයගොල්ලෝ මාත් එක්ක එනවද ? මං මකර දොරටුව උඩින් පැනලා ගිහින්, ලොකු මකරෙක් වුණොත් කොච්චර හොඳද ? මේ පුංචි ඔයේ ඉන්න එක හරි පාලුයි"

…"මං එනවා", "මං එනවා", "මමත් එනවා" දංඩි පැටව් ඔක්කොම කෑ ගැහුව. එක්කෙනෙකු ඇරෙන්න. 


පුංචිම දංඩි පැටියා විතරක් කිව්වා "මමත් එනවා. හැබැයි මකර දොරටුව උඩින් පැන්නාට පස්සේ මං ආපහු ගෙදර එන්න ඕනෑ", "එහෙනම් ඔයා එන්න එපා. නෑ නෑ ඔයගොල්ලෝ යන ඕනෑම තැනකට මාත් එනවා" කියලා පුංචිම දංඩි පැටියා ස්ථීරවම කිව්වා. 


කලු දංඩි පැටියාගේ මඟ පෙන්වීම යටතේ ඔක්කෝම ගමනට පිටත් වුණා. දංඩි පැටව් කුඩා ඔයේ පීනුවා. 


කලු දංඩි පැටියා පීනන ගමන් වරින් වර හිස උස්සලා මකර දොරටුව තියෙනවාද කියලා බැලුවා. ඒත් එහෙම එකක් කොහේවත් නැහැ. දංඩි පැටව් අධෛර්යමත් වුණේ නෑ. දිගටම ඉදිරියට පීනුවා. දිගටම ගියොත් කවදා හරි මකර දොරටුව හම්බු වෙන කවුරුත් විශ්වාස කළා. 


හුඟක් වංගු පහු කරලා දංඩි පැටව් ඔයේ ඈතට ඈතට පීනුවා. ඒ හරියේ ඔය පළලයි වතුරු ගැඹුරුයි. දිය පාර සැරයි. ඒ අමාරු හරිය පහු කළාට පස්සේ දංඩි පැටව් නිශ්චල හරියකට ආයිත් ඇතුලු වුණා. ඒ ගොල්ලෝ වතුරෙන් උඩට ඔළුව දාලා හුස්ම ගත්තා. කාටත් හොඳ සනීපයක් දැනුණා. 


ඔයින් මෙයින් පුංචිම දංඩි පැටියාත් හති දාගෙන ඇවිල්ලා රෑනට එකතු වෙලා ඇහුවා "අයියලා දන්නවාද මකර දොරටුව තියෙන්නේ කොහේද කියලා ?" තවත් දංඩි පැටියෙක් ඇහුවා. "මකර දොරටුව තියෙන්නේ දකුණු පැත්තේද නැත්නම් උතුරු පැත්තේද ?", "ආච්චි කිව්වානේ මකර දොරටුව හුඟක් උසය කියලා. ඒ හින්දා ඒක ඇත්තේ තවත් හුඟක් ඈත වෙන්න පුලුවන්. අපි ඔය දිගේ ගියොත් කවදා හරි ඒක හම්බ වේවි කියලා මට සහතිකයි" කලු දංඩි පැටියා කිව්වා. 


මේ කතාවට පස්සේ දංඩි පැටව් තවත් ඉදිරියට පීනුවා. ටික වෙලාවකින් ගඟේ පෙඳ පාසි වැවෙන හරියකට ආවා. පැලෑටි පීරාගෙන හැමෝම ඉදිරියට යන කොට, පුංචිම දංඩි පැටියාගේ වලිගය පැලෑටිවල පැටලුණා. දංඩි පැටියා බේරෙන්න දැඟලුවා. අනික් පැටව් උදව් කරන්න හැදුවා. 


එතකොට "කවුද මගේ කැලෑවට කඩා වැදුණේ?" කියන ගොරෝසු කටහඬක් එක පාරටම ඇහුණා. දංඩි පැටව් වටපිට බැලුවා. ඒගොල්ලනට කකුළුවෙක් පෙනුණා. "පලයල්ලා මගේ වැයික්කියෙන් පලයල්ලා" කියලා කකුළුවා කෑ ගැහුවා. 


කලු දංඩි පැටියා බය නැතිව මෙහෙම කිව්වා. "අපි දංඩි පැටව්". අනිත් දංඩි පැටව් කිව්වා. "අපි මේ යන්නේ මකර දොරටුව හොයන්නයි. අපි මකර දොරටුව උඩින් පනින්නයි හදන්නේ"


දංඩි පැටවුන්ගේ කතාව අහපු ලොකු කකුළුවා ගලෙන් බැහැලා ඇවිත් මෙහෙම කිව්වා. "මකර දොරටුවෙන් පනින්න? හොඳයි කැමති නම් පලයල්ලා. ඒත් කවුද උඹලාට මකර දොරටුව හොයන්න කිව්වේ?", "අපිමයි තීරණය කළේ" කලු දංඩි පැටියා ආඩම්බරයෙන් උත්තර දුන්නා. 


"හක් හක්" ගාලා ලොකු කකුළුවා හිනාවුණා. එයා කිව්වා "හොඳයි මං උඹලාට උදව්වක් කරන්නම්". ලොකු කකුළුවා එයාගේ අඬු දිග ඇරලා පුංචි දංඩි පැටියාගේ වලිගයේ වෙලී තියෙන පෙඳ පැලෑටි කපලා දැම්මා. 


කුඩා දංඩි පැටව් කකුළුවාට ස්තුති කරලා ආයිත් තමන්ගේ ගමන පටන් ගත්තා. 


ටික දුරක් යන කොට "හූ හූ හූ..." කියන ගී හඬක් ඒගොල්ලනට හදිසියෙන් ඇහුණා. දංඩි පැටව් ටික වතුරින් එළියට පැනලා ප්‍රීතියෙන් කෑගැහුවා. "අන්න අන්න මකර දොරටුව. ඒක තමයි මකර දොරටුව". ඇත්තටම ඒ ගොල්ලෝ දැක්කේ රේල් පාලමක්. 


දංඩි පැටව් සතුටින් කෑ ගැහුවා. උඩ පැන්නා. ඒ දිග යකඩ පාලම මකර දොරටුව කියලා හිතාගෙන ඒක උඩින් පැනලා යන්න හිතුවා. හැබැයි පාලම උඩින් පනින්නේ නැතුව, ඒක යටින් රිංගලා එහා පැත්තට යන්න පුළුවන් බව ඉක්මනින්ම ඒ ගොල්ලන්ට වැටහුණා. 

තමන් හොයන මකර දොරටුව මේකද කියලා ඒගොල්ලන්ට පොඩි සැකයකුත් ඇතිවුණා. එතකොටම දිගට දිගේ කෝච්චියක් දුම් දාගෙන හූ කියාගෙන පාලම උඩින් ආවා. මේ තමයි ලොකු මකරා කියලා හිතපු දංඩි පැටව් හොඳටම බයවෙලා දිය යටට ගියා. කෝච්චිය ඈතට ගියාට පස්සේ ඒ ගොල්ලෝ ආයෙත් දිය මතුපිටට ඇවිල්ලා බැලුවා. 

ඒ ආවේ ලොකු මකරාය කියලා හිතපු දංඩි පැටව් කෝච්චිය ආපහු එන්න ඉස්සෙල්ලා වහා එතැනින් ඈත් වෙන්න තීරණය කළා.


දංඩි පැටව් හෙමින් හෙමින් ඉදිරියට පීනන කොට, සැර දියපාරක දඟලන ලොකු මාළුවෙක් ඒගොල්ලනට හදිසියෙන් හමුවුණා. ලොකු මාළුවා කුඩා දංඩි පැටව් දැකලා අනතුරු අඟවමින් මෙහෙම කිව්වා. "අනේ පොඩිත්තනේ, තව ඉස්සරහට යන්න එපා. ඒ හරියේ වතුර සැරයි. ඔයාලට තුවාල වේවි. ආපහු යන්න". "අපි මකර දොරටුව උඩින් පැනලා යන්ඩයි හදන්නේ" කියලා දංඩි පැටව් ඔක්කෝම කිව්වා. 


ලොකු මාළුවාට මේ කතාව විශ්වාස කරනන් බැරිවුනා. ඌ හිස වනලා මෙහෙම කිව්වා. "මොනවා ඔයාලා මකර දොරටුවෙන් පනින්න හදනවා. මේ මොන බොරු කතාවක්ද ?" ලොකු මාළුවා වහාම තමන්ගේ පැටව් ටිකත් අරගෙන එතනින් ඈත්වුණා. දංඩි පැටව් ලොකු මාළුවාගේ කතාවෙන් පසුබැස්සේ නෑ. මාළුවා කියපු සැර වතුර පාර පැනලා අන්තිමේදී ජලාශයක බැම්මකට ආවා. 

පුදුම දර්ශනයක්. දිය කඳ ගොරව ගොරවා උඩට නැඟී නැගීනේ දුව යනවා. එහි තියෙන මහ වේල්ල තමන් හොයන මකර දොරටුව කියලා ඒගොල්ලෝ හිතුවා. එක පුංචි දංඩි පැටියෙක් කීප වරක්ම ඒක උඩින් පැනලා යන්න උත්සහ දැරුවා. නමුත් පරාජය වුණා. 


අධෛර්යමත් නොවුණ මේ දංඩි පැටියා නැවත නැවතත් උත්සහ කළා. මේ සැරේ මහා රළ ගෙඩියකින් ඌ උඩට ඉස්සුණා. ඒ අවස්ථාවේ දංඩි පැටියාට අදහසක් පහළ උණා. වේල්ල උඩින් ඔක්කෝටම පැනලා යන්න පුළුවන් ක්‍රමයක්. මොකක්ද ඒ ක්‍රමය, එක් කෙනෙක් ඉස්සෙල්ලා රළ පහරේ පිහිටෙන් අහසට පනිනවා. එයා පතට වැටෙන කොට තවත් කෙනෙක් උඩ පැනලා එයාව වේල්ල එහා පැත්තට තල්ලු කරනවා. 

මේ ක්‍රමයෙන් දංඩි පැටව් ඔක්කෝම වේල්ල එහා පැත්තට පැන්නා. අන්තිමයා උස්සන්න කවුරුවත් හිටියේ නෑ. ඌ අධෛර්යමත් නොවි නැවත නැවතත් උත්සාහ කළා.අන්තිමට ඌ පැන්නේ ලොකුම ලොකු රළ පහරකින් එයාව හුඟක් උඩට ඉස්සුණු වෙලාවෙයි.


ලොකු වේල්ල එහා පැත්තේ දිය තලාව ඉතාම නිසලයි. දංඩි පැටව් හිස වතුරෙන් උස්සලා එහා මෙහා බැලුවා. ඉවුරු ඉතා ලස්සනයි. පිරිසිදුයි. ඒවා පිහියෙන් හොඳට කපලා ඔප දැම්මා වගෙයි. ඉවුරු දෙපැත්තේ වවා තිබෙන්නේ විලෝ සහ පීච් ගස්. රතු මල් සහ කොළ පාට අතු පතර හරියට චිත්‍රයක් වගේ. වැවේ අනිත් පැත්තට පීනපු දංඩි පැටව් කටින් පෙන බුබුළු දම දමා සෙල්ලම් කළා. මෙතන ආච්චි කිව්වාට වඩා වැඩිය ලස්සනයි කියලා හැමෝම හිතුවා. දංඩි පැටව් එතනට කැමති වුණා. 


පහන් එළිය වැව් වතුරට වැටිලා දිළිසෙනවා. වැව් වතුර හරියට දවල් කාලෙදී වගේ ආලෝකමත්. දංඩි පැටව් හරියට පුදුම වුණා. සතුටු උණා. ඒත් එළිය විහිදුවන මේ දේවල් ඔක්කොම තාරකාද ? නැතිනම් අපි ඇවිත් ඉනේ දිවිය ලෝකෙටද ඔවුන්ට වටහා ගන්නට බැරි උණා. 


ඒ වෙලාවේ ලිහිණියෙක් ඉගිලිලා ආවා. එයා දංඩි පැටව් දැකලා පුදුම වෙලා ඇහුවා. "පුංචි මාලු පැටව්නේ. ඔයාලා මෙහාට ආවේ කොහොමද?". "අපි වතුර උඩින් පැනලා ආවා. අපි ඉගිලිලා ආවා" ඒගොල්ලෝ එක හඬින් උත්තර දුන්නා. 


අර දිළිසෙන එළි තාරකාද කියලා ඒ ගොල්ලන් ලිහිණි නැන්දාගෙන් අහනකොට ඈ හිනාවෙලා මෙහෙම කිව්වා. "ඒ ඔක්කෝම රාත්‍රියේ එළිය විහිදුවන මුතු ඇට". කුඩා දංඩි පැටව් ප්‍රීතියෙන් කෑ ගහන්න පටන් ගත්තා. "හා දිළිසෙන මුතු ඇට කොච්චර තියෙනවාද ?"


"එන්න ඈතට බලන යන්න" කියලා ලිහිණියා ඒ ගොල්ලනට අඬ ගැහුවා. එහායින් තියෙන පහන් වඩාත් ලස්සනයි. හරියටම තාරකා වගෙයි. දැන් ලිහිණි නැන්දා ගෙදර යන්න ලෑස්තියි. කුඩා දංඩි කණ්ඩායමේ නායක කලු දංඩි පැටියාගේ හිතට අදහසක් ආවා. 


එයා ඇහුවා "ලිහිණි නැන්දේ, ඔයාට පුලුවන්ද අපේ ආච්චිට ආරංචියක් ගෙනියන්න". ලිහිණි නැන්දා එකඟ වුණා. "ආච්චිට කියන්න අපි ඔක්කෝම මකර දොරටුව උඩින් පැනලා ගියා කියලා. මේ තැන ලස්සනයි. අපේ ආච්චිට කියන්න අපේ මුළු පවුලම මෙහාට ගෙන එන්න කියලා" තව දංඩි පැටියෙක් කිව්වා. 

[මෙතනින් එහාට කතා පොතේ පිටු ටික නැහැ. ඒත් මට මතක විදිහට මෙහෙමයි] 

මේ කතා ඔක්කෝම අහගෙන හිටිය ලිහිණි නැන්දා ඒවා ආච්චිට කියන්න පොරොන්දු වුණා. ඒ වගේමයි එයා අන්තිමට මෙහෙමත් කිව්වා. "ඔයාලා පැනලා ආවේ මකර දොරටුවෙන් නම් නෙමෙයි. ඒත් මේ ජලාශෙට කියන්නේ නම් මකර දොරටු ජලාශය" කියලා. අන්තිමට ලිහිණි නැන්දා දංඩි ආච්චිට පණිවිඩේ කියන්න ඉගිල්ලිලා යන්න ගියා. දංඩි පැටව් සතුටින් ඒ ජලාශේ ජීවත් වුණා. 

අපි පොඩි කාලේ පොත් ප්‍රදර්ශනවලදී හරියට මේ වගේ චීන කතාන්දර පොත් ගන්න තිබුණා. ජින්සෙන් කුමාරිගේ කතාව, අශ්ව පැටියාගේ කතාව, වානර රජ්ජුරුවන්ගේ කතාව ඒ අතරින් මට මතක් වෙන තවත් කතා පොත් කීපයක්. ඒ වගේමයි රුසියන් කතා පොත් එහෙමත් තිබුණා. හිම මිනිසාගේ කතාව, බළල් පැටවු දෙන්නාගේ කතාව කියලා පොත් දෙකක් ගැනත් මතකයි. මෑත කාලයේ නම් ඒ පොත් මම දැකලා නැහැ.

මේ දංඩි පැටව් මකර දොරටුව උඩින් පැනයාම කතාව ලියලා තියෙන්නේ ජින් ජින්. චිත්‍ර යාං ශැන්ත්සිගේ සහ ඩින් රොංලින්ගේ. සිංහල අනුවාදනය පීකිං ගුවන් විදුලි සේවයේ සිංහල අංශයේ ලී චෙන්ෂිං. මුද්‍රණය කරලා තියෙන්නේ බෙයිජිංවල ලිතෝ මුද්‍රණ මන්දිරයේ. ප්‍රකාශනය විදේශ භාෂා මුද්‍රණාලය බෙයිජිං. බෙදා හැරීම චීන ජාත්‍යන්තර පොත් වෙළෙඳ සංස්ථාව. ලංකාවේ බෙදා හැරීම මරදානේ අරුණ ප්‍රකාශකයෝ.

Saturday, April 20, 2013

උඩරට රාජධානියේ හිටිය අලුත් දෙවියෝ - ඉතිහාසයේ අප්‍රකට කතා 19

සිංහල අලුත් අවුරුද්දට කැම්පස් එකෙන් දවස් කීපයක නිවාඩුවක් ලැබිලා තිබුණු නිසා අන්තර්ජාලෙත් එක්ක ඔට්ටු වෙන්න ටිකක් වැඩි කාලයක් ලැබුණා. ඒ විදිහට අන්තර්ජාලේ එක්ක ඔට්ටු වෙවී ඉද්දී ලංකාව සම්බන්ධ පෘතුගීසි, ලන්දේසී සහ ඉංග්‍රීසි ලේඛකයන් කීප දෙනෙක් ලිව්ව කෘති කීපයකම තිබුණු පැරණි සිතුවම් වගයක් සොයාගන්න ලැබුණා. මේ චිත්‍ර අතරේ තිබුණු එක සිතුවමක් පිළිබඳව තමා අද ආගිය කතාවෙන් විශේෂයෙන් කතා කරන්න හිතුවේ. 

උඩරට රාජධානියේ ආරම්භක රජතුමා වශයෙන් සැලකෙන I විමලධර්මසූරිය රජතුමා තමන්ගේ රාජකීය මුද්‍රාව විදිහට භාවිතා කළ මුද්‍රාවේ සිතුවම තමා මේ කතාවේ මුල. 

I විමලධර්මසූරිය රජතුමාගේ රාජකීය මුද්‍රාව

මේ සිතුවමේ දැක්වෙන විදිහට රජතුමාගේ රාජකීය මුද්‍රාවේ තිබිලා තියෙන්නේ දකුණු අතින් කෙටි අසිපතක් දරාගෙන ඉන්න අලංකාර වස්ත්‍රාභරණවලින් සැරසුණු පුද්ගල රුවක්. ඒ පුද්ගල රුව වටේට වැල් දෙකක් වෘත්තාකාරව දක්වලා තිබෙනවා. කෙටි අසිපත දරාගෙන සිටින පුද්ගල රුව ගැන තවත් විස්තර කළොත් සර්වාංගයම ආවරණය වන ආකාරයට ඒ පුද්ගලයා සැරසී සිටින බව පෙනෙනවා.

ඒ වගේමයි හිසේ අලංකාරව සරසා තිබෙන ජටාවක් වැනි දෙයක් දකින්න පුලුවන් වගේම බෙල්ලේ මාල කීපයක් පැළඳගෙන සිටින බවකුත් පෙනනවා. ඒ වගේමයි පාදවලත් පාසළඹ වැනි යමක් පැළඳගෙන සිටින බවක් පෙනෙනවා. වම් අත ඉණට තබාගෙන සිටින අතර හිඳගෙන සිටින ඉරියව්වක් තමා පෙන්නුම් කරන්නේ.

මේ රුව සහිත I විමලධර්මසූරිය රජතුමාගේ රාජකීය මුද්‍රාව රජතුමා සයිමන් පිඤ්ඤෝ කියන පෘතුගීසි කපිතාන්වරයාට යවපු ලියුමේ තිබුණු බව ෆර්නාඕ ද ක්වේරෝස් දක්වනවා. 

I විමලධර්මසූරිය සහ ස්පිල්බර්ජන් හමුව

ඒ වගේමයි 1602 දී I විමලධර්මසූරිය රජතුමා බැහැ දැකීමට පැමිණි ලන්දේසි අද්මිරාල් ජොරිස් වාන් ස්පිල්බර්ජගේ චාරිකා සටහන් ඇතුළත් වාර්තාවේද මේ රුව සහිත මුද්‍රාවේ සිතුවමක් තිබූ බව පෙනෙනවා.

මීළඟට එන ගැටලුව තමාඇත්තටම මේ රුවෙන් නිරූපණය කරන්නේ කවුරුන්ද කියන එක. මේ ගැන කිසියම් ඉඟියක් ලැබෙන්නේ 1770 දී එංගලන්තයේදී ඇලෙක්සැන්ඩර් හොග් විසින් ප්‍රකාශයට පත් කරපු කෘතියක තිබෙන සිතුවමක් හරහා. 


ඒ සිතුවමේ පිරිසක් කිසියම් ප්‍රතිමාවකට පුද පූජා පවත්වන ආකාරයක් දැකගන්න පුලුවන්. සිතුවමේ විස්තරය වශයෙන් දක්වලා තියෙන්නේ ලංකාවේ ආරක්ෂක දෙවියා වන බුදුන් වහන්සේට පුද පූජා පැවැත්වීම කියලා.

I විමලධර්මසූරිය රජතුමාගේ රාජකීය මුද්‍රාවේ දක්නට ලැබුණු කඩුවක් අතින් ගත් පුද්ගලයා සහ මේ සිතුවමේ දැකගන්න පුලුවන් කඩුවක් අතින් ගත් පුද්ගල රුව අතරේ ලොකු සමානකමක් තියෙන්නේ.

කලින් I විමලධර්මසූරිය රජතුමාගේ මුද්‍රාවේ සිටි පුද්ගලයා වගේම දකුණු අතින් අසිපතක් දරාගෙන වම් අත ඉණට තබාගෙන සිටින ආකාරය මේ ප්‍රතිමාවෙත් දැකගන්න පුලුවන්. ඒ වගේමයි සර්වාංගයම වැසෙන ආකාරයෙන් වස්ත්‍රයක් සැරසී සිටිනවා වගේම බෙල්ලේ මාල කීපයක් පැළඳගෙන සිටින ආකාරය පෙනෙනවා. පෙර පරිදිම හිසේ අලංකාර ජටාවක් දැකගන්න පුලුවන්. 

මේ ප්‍රතිමාව ඉදිරිපිට සර්පයන්ගේ රූ සහිත පුදසුනක් තබා තිබෙනවා වගේම ප්‍රතිමාව දෙපසින් පූජා භාජන රැගත් මිනිසුන් දැකගන්න පුලුවන්. ඉදිරියේම සිටින හිස කෙස් මුඩු කරලා රැවුල වවාගෙන සිටින පුද්ගලයා පූජකයෙක් විදිහට අනුමාන කරන්න පුලුවන්. මෙම ප්‍රතිමාව තබා තිබෙන ශාලාවේ බිත්ති ආදියේදී අවි ආයුධ සවිකර ඇති අතරම බිත්තිවල තිබෙන සිතුවම්වලද ආයුධ අතින් ගත් අයගේ රූප දැකගන්න පුලුවන්. 

මේ කරුණු පිළිබඳව සළකා බැලුවොත් මේ බුදුන් වහන්සේ නොවන බව හොඳාකාරවම පැහැදිලියි. බුදුන් වහන්සේව නිරූපණය කරන කිසිම රූපයක මේ ආකාරයෙන් උන්වහන්සේ අවි ආයුධ දරා සිටින ආකාරයක් නොපෙන්වන නිසාම මේක කිසියම් වැරදීමක් කියලා හිතාගන්න පුලුවන්. 

රොබට් නොක්ස් [කණිෂ්ඨ]

බොහෝ වෙලාවට විදේශීය ලේඛකයන් තමන්ගේ දේව සංකල්පත් එක්ක බුදු දහම පටලවා ගත්තු බවක් පේන්න තියෙනවා. ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස් බුදු දහම සහ බුදුන් වහන්සේ ගැන දක්වන විස්තරේ ඒකට හොඳම උදාහරණයක්

".....මෙම රට වැසියන් අදහන ප්‍රධාන දෙවියන් වූ බුදුන් වහන්සේ මේ කඳු මුදුනේ [ශ්‍රී පාදය] විසූ බවත් මෙරට වැසියන් හට වන්දනාමාන කර ගැනීමට ස්වකීය පාද ලාංඡනය මෙම කඳු මුදුනෙහි පිහිටුවා උන්වහන්සේ නිර්වාණයට ගිය බවත් මෙරට වැසියෝ විශ්වාස කරති...."

ඉහත කාරණේ බැහැර කළත් මේ සිතුවම හරහා යුධකාමී දෙවි කෙනෙක් ලක්වැසියන්ගේ විශේෂයෙන් උඩරට වැසියන්ගේ වන්දනාවට පාත්‍ර වුණු බව පෙනෙන්න තියෙනවා.

ඒ යුධකාමී දෙවියන්ගේ රුව උඩරට රාජධානියේ ආරම්භක රජතුමා වුණු I විමලධර්මසූරියගේ රාජකීය මුද්‍රාවේ තියෙන නිසා මේ යුධකාමී දෙවියන්ව වන්දනා කිරීම උඩරට රාජධානිය ආරම්භ වුණු සමයේ ඉදන්ම තිබුණාය හෝ එහෙමත් නැත්නම් මේ යුධකාමී දෙවියන් තමන්ගේ ආරක්ෂක දෙවියා විදිහට I විමලධර්මසූරිය රජතුමා විශ්වාස කළාය කියන අනුමානයට එළඹෙන්න පුලුවන්.  

උඩරට රාජධානි අවසාන සමයේ රාජකීය මුද්‍රාව

සිංහල රජුන්ගේ රාජකීය ලාංඡනයට සිංහයා බොහෝ විට යෙදුණත් I විමලධර්මසූරිය රජතුමා ඒකෙන් බැහැරවීම ගැන මගේ අදහස තමා රජතුමා තරුණ වයසේ ඉදන්ම පෘතුගීසින් සමීපයේ හැදුණා වගේම ගෝවේ වගේ ප්‍රදේශවල වාසය කිරීමත් එක්ක කතෝලික දහම මත බැඳුණු අදහස් රැසක් හිතේ තිබුණා වෙන්න ඕනේ.

සාමාන්‍යයෙන් කතෝලික පාලකයන් තමන්ගේ රාජකීය ලාංඡනයට කතෝලික දහමත් එක්ක සම්බන්ධ වෙන යම් යම් සංකේත එකතු කිරීම දැකගන්න පුලුවන්. ඒ ක්‍රමය අනුගමනය කරමින් I විමලධර්මසූරිය රජතුමාත් තමන් පිළිගත් දෙවියාගේ රුව තමන්ගේ රාජකීය මුද්‍රාවට ඇතුළත් කළා වෙන්න පුලුවන්.
 
පෘතුගාල රාජකීය ලාංඡනය

උදාහරණ විදිහට ලංකාවේ ප්‍රථම පෘතුගීසි ස්මාරකය සටහනෙන් පෘතුගාල රාජකීය ලාංඡනය නිර්මාණය වෙද්දී කතෝලික බලපෑම ලැබුනු ආකාරය ගැන කතා කළා මතක ඇතිනේ. 

ඉතින් උඩින් දක්වලා තියෙන රූප දෙකෙන්ම පෙන්නුම් කරන යුධකාමී දෙවියන් කවුද කියන එක ගැටලුවක්. නුවර යුගයේ රාජ්‍යත්වයත් එක්ක බැඳිලා ඉන්න ප්‍රධානම දෙවියා වෙන්නේ නාථ දෙවියන්. රජුන්ගේ අභිෂේක මංගල්‍යය සිදුකිරීමේදී වැදගත්ම වැඩ කොටස ඉටු කළෙත් නාථ දේවාලයෙන්.

 මහනුවර නාථ දේවාලයේ නාථ දේව ප්‍රතිමාව

ඒත් නාථ දෙවියන්ගේ ප්‍රතිමා සෑම එකකම වගේ දෙවියන් නිරායුධව දක්වා තියෙන එක වගේම දේව සාහිත්‍යයේ නාථ දෙවියන් සාමකාමී අයෙක් විදිහටත් දක්වලා තියෙන නිසා මේ නාථ දෙවියන්ය කියන පිළිගැනීම බැහැර කරන්න පුලුවන්.

විශේෂයෙන්ම පිටියේ දෙවියන් ගැන කියවෙන කතා පුවතේදී නාථ දෙවියන් පිටියේ දෙවියන්ට වඩා බලසම්පන්න වුණත් පිටියේ දෙවියන් සතුන් මරා දමලා ඒ කොටස්වලින් නාථ දෙවියන්ට පහර දෙන්නට පටන් ගත්තු නිසා පිටියේ දෙවියෝ එක්ක සටන් කරන්න නොගිහින් නාථ දෙවියෝ මහනුවරටම පසුබසින බව කියවෙනවා.

 මහනුවර නාථ දේවාලය

ඒ වුණත් මහනුවර නගරය ප්‍රධාන උඩරට රාජධානියත් එක්ක නාථ දෙවියන්ගේ තිබෙන බොහොම ලොකු සම්බන්ධයක්. කලින් කිව්වා වගේම රාජාභිෂේකය සම්බන්ධව විතරක් නෙමේ මහනුවර නගරයේ තිබෙන පැරණිම ගොඩනැගිල්ල වෙන්නේත් මහනුවර නාථ දේවාලය.

ගම්පොළ රජකම් කරපු III වික්‍රමබාහු රජතුමා සෙංකඩගලපුරවරය ඉදි කරද්දී ඒකේ නාථ දේවාලයක් ඉදි කරපු බව කියනවා. ඒ නිසා එක අතකට නාථ දෙවියන් මහනුවර සහ උඩරට රාජධානියේ ආරක්ෂක දෙවියන් විදිහට සැලකුණා කියන එක හිතන්න පුලුවන්. උඩරට පැතිරිලා තියෙන නාථ දේවාලය ප්‍රමාණයෙන්ම ඒක හිතාගන්න පුලුවන්. 

 විෂ්ණු දෙවියෝ

මීළඟ මේ විෂ්ණු දෙවියෝ කියලා අනුමාන කළත් විෂ්ණු දේව ප්‍රතිමා දක්වද්දී අනිවාර්ය අංගය වෙන චක්‍රායුධය දක්වා නොතිබීමත් එක්ක මේ විෂ්ණු දෙවියෝ  කියන අනුමානයත් බැහැර කරන්න පුලුවන්.

 කතරගම දෙවියෝ

මේ කතරගම දෙවියෝ කියලා අනුමාන කළත් මුහුණ හය හෝ අත් දොළහ නොමැතිවීම නිසා මේ අනුමානය බැහැර කළත් මේ රුවෙන් දැක්වෙන දෙවියා අසිපතක් දරාගෙන සිටීමත් කතරගම දෙවියන්ගේ අත් දොළහෙන් එකක අසිපතක් තිබීමත් ඒ හැරෙන්න I විමලධර්මසූරිය රජතුමාව පවා බදුල්ලේ කතරගම දේවාලයක් ඉදි කරමින් කතරගම දෙවියන්ට අනුග්‍රහ කරපු නිසා සුළුවෙන් හෝ මේ අනුමානය හිතේ තියාගන්න පුලුවන්.

 බදුලු කතරගම දේවාලය

මේ හැරෙන්න අතීතයේ වන්දනා කරපු ඒත් මේ වෙද්දී වන්දනා නොකරන මතකයෙන් ඈත්වුණු දෙවියෙක්දෝ කියන ගැටලුවත් මේ සමඟම එන්න පුලුවන්. කොහොම වෙතත් මේ ගැන මට තියෙන අනුමානය දක්වන්නම්කෝ.

III වික්‍රමබාහු රජතුමාගේ කාලේ සෙංකඩගල පුරය ඉදි කිරීමේදී නාථ දේවාලයක් ඉදි කරපු බව කලින් කිව්වානේ. ඉතින් ඒ කාලේ ඉදන්ම නාථ දෙවියන්ට පුද පූජා පැවැත්වීම සිදු කරලා තියෙනවා. III වික්‍රමබාහු රජතුමාගෙන් පස්සේ ගම්පොළ රජ වුණු V බුවනෙකබාහු රජතුමාගේ කාලේ යාපනයේ ආර්ය චක්‍රවර්තිගේ ප්‍රහාර එල්ල වුණු නිසා ඒකට එරෙහිව වුණු යුද ව්‍යාපාරය අතරතුර V බුවනෙකබාහු රජතුමාගේ ප්‍රධාන අමාත්‍යවරයා වුණු නිශ්ශංක අලකේශ්වර සහ ඔහුගේ සහෝදර දේව මන්ත්‍රීශ්වර සෙංකඩගලපුරයේ කඳවුරු බැඳගෙන හිටියා.

මේ අවස්ථාවේදී නිශ්ශංක අලකේශ්වර නාථ දෙවියන්ට පුද පූජා පවත්වන්න කටයුතු කරනවා. ලෝ සසුන් ආරක්ෂා කරන්න ඔවුන් කරන උත්සහයට පිහිටවීමක් විදිහට එදා රෑ නාථ දෙවියන් සහ නා ගසේ දෙවියන් සිහිනෙන් පෙනිලා යුද්ධය ජයගන්න අවශ්‍ය උපදෙස් නිශ්ශංක අලකේශ්වරට ලබා දෙනවා.


අවසානයේදී යුද්ධය ජයගත්තු නිශ්ශංක අලකේශ්වර නාථ දෙවියන්ට සහ නා ගසේ දෙවියන් වෙනුවෙන් ඉඩම් පරිත්‍යාගයක් සිදු කරනවා. මේ කතා පුවත දක්වන්නේ නිශ්ශංක අලකේශ්වර පිහිටවපු සගම පර්වත ලිපියේ.

සගම පර්වත ලිපියේ තිබෙන්නේ මෙන්න මේ විස්තරේ.

“ශ්‍රී සුසැදි සිරිවත් නිලිකිත් රිවි කුල තිලක ත්‍රී සිංහලාධීස්වර නවරත්නාධිපති ශ්‍රී භුවනෙකබාහු රාජෝත්තමයන් හට නව වනු සකල ගුන මණි නිධි ජල නිධි ප්‍රශසතශ කති ධරෂණ මුඛ පරනාරී පරාඩ මුඛ ශ්‍රී බෝධි වඩා සපැමිණි ගණ වැසි කුළ මාතෘ වංශ පීතෘ වංශ මෙණවර කුල මෙ යුගන්ධර දිවාකර නිශාක් ලෙසින් ලො එකලු කළ සිරි නුදුල අලකේශවර දේව මන්ත්‍රීශ්වර දෙබෑයන් මෙලක් දිව් ලො සසුන් වැඩ සදහා කරනා උත්සාහයට පිහිටැව ස්වප්නයෙන් පෙනී ජය කාරණා දක්වා ශශත්‍රැ පක්ෂ අපර පක්ෂ චන්ද්‍රයා සේ කර  මිත්‍ර පක්ෂ පූර්ව පක්ෂ චන්ද්‍රයා සේ කරවමින් මෙසෙදේවතා ප්‍රසාදයෙන් ලංකාව එකත්පත්‍ර පත්‍ර කොට තනා සකළ අභිවෘද්ධි කළ හෙයින් සෙන්කඩගල නාථ ස්වාමීන්ටත් නාගස දෙවියන්ටත් මෙ අමාතෙනාම දෙදෙනාගෙ නමින් නිරන්තරයෙන් පාබත් පුදන ලෙසට සගම බද සපුතල ගම කුම්බුරු බිජුවට දෙයාළ දසමුණක් මෙහි බද ගම් මුදල ගසකොළ වල්පිට ඇතුලුවූ තැන් ඉර සඳ පමුණු කොට දුන් මෙ ගමට ඉදිරියෙ රජ යුව රජ මහ ඇමති ඇදී තම තමන්ට වැඩ කමත් තැන් විසින් දේවාලයට චිරාත් කාලයක් පවත්වා ලිය යුතු.”

මේ කතා පුවතත් එක්ක "නා ගසේ දෙවියන්" නමින් හඳුන්වපු දෙවි කෙනෙක් උඩරට ප්‍රදේශවල වන්දනා කරපු බව පෙනෙනවා.

වර්තමානයේ නාථ දේවාලයක් විදිහට පිළිගැනෙන දොඩන්වල නාථ දේවාලය නා ගසේ දෙවියන් වෙනුවෙන් ඉදි කරපු බව දොඩන්වල දේවාලයේ කපු මහත්වරුන් ගායනා කරන කවිවලින් පෙනෙනවා.

හේනක් කොටන්නට
ගොවියෙක් ඇවිත් එතනට
කෙටූ නා පැලයට
රුදිර දස අත ගියේ විගසට

බිය පත් වී වැටින
දෙවියෝ සීනෙන් පෙනෙමින
කී වදන දැනගෙන
නැගිට ගොවියා සැනෙන සතුටින

තනා එතන කෝවිල කරවාලා
මනාප ඇති තැන් මඩු සරසාලා
දෙමළ යකුන් අල්ලා බැටදීලා
සිටියෝ දෙවියෝ තෙද බලපාලා

දෑත දෙපයෙන් ගිනි දැල් පිටත් උනා
බූත යකෙක් නාගස සීනෙන් පෙනුනා
දෑත කඩුව රජුගෙන් උදුරා රැගෙනා
මෙවැනි ලකුණු රජු හට සීනෙන් පෙනුනා

මේ කවිවලින් කියවෙන විදිහට දොඩන්වල දේවාලය තිබුණු තැන හේනක් සකස් කරන්න ආපු ගැමියෙන් අතින් එතැන තිබුණු නා ගසක් කැපීමෙන් එතැනින් ලේ ගලාගෙන ඇවිත් තියෙනවා. බයට පත්වුණු ගැමියා සිහිසුන් වීමත් එක්ක දෙවියෝ සිහිනෙන් පෙනිලා දේවාලයක් කරන්න අණ කිරීමත් එක්ක එතැන දේවාලයක් ඉදි කරවලා තියෙනවා.

 දොඩන්වල දේවාලය

පස්සේ ඒ ප්‍රදේශයේ හිටිය ධර්මතිස්ස කියන රජතුමාට නා ගසකින් යක්ෂයෙක් ඇවිත් රජතුමාගේ කඩුව උදුරනවා හීනෙන් පෙනීමත් එක්ක රජතුමා එතනට ඇවිත් අවසානයේදී දෙවියන්ගේ තේජස් දැකලා තමන්ගේ කඩුව දෙවියන්ට පූජා කරලා දේවලයේ පැවැත්මට අනුග්‍රහ කරපු බව තමා කියවෙන්නේ.

ඒ වගේමයි පසුකාලීනව පෘතුගීසින් සමඟ යුද්ධයට යන II රාජසිංහ රජතුමාගේ දෝලාව දේවාලය අසළදී දේව තේජසින් කැඩී යාමත් පස්සේ දේව යාතිකාවක් කිරීමෙන් පස්සේ දෝලාවේ කැඩුණු ලීය සවිවුණු බවත් "යුද්ධයට අධිපති දෙවියන් වුණු දොඩන්වල දෙවියන්ගෙන්" රජතුමා තමන් යන යුද්ධයෙන් ජයගනීද යන කරුණ ඇසීමත් එක්ක රජතුමා ජයගන්නා බව දෙවියන් කී බවත් කියවෙනවා. අවසානයේදී රජතුමා තමන්ගේ ඔටුන්න සහ කඩුව ඇතුළු රාජකීය ආභරණ කීපයක්ම දේවාලයට පුද කර තිබෙනවා.

 දොඩන්වල දේවාලය

විශේෂම කරුණ වෙන්නේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රාජ සමයේ මේ දේවාලය පිළිසකර කිරීමේදී දේවාලයේ ඇතුල් ගෘහයේ දේව ප්‍රතිමා නිර්මාණය කරද්දී රාජාභරණ පැළඳගෙන ඉන්න මැටි රූප තුනක් නිර්මාණය කරලා තියෙන එක. මැද තිබෙන ප්‍රධාන රූපය සහ පරිවාර රූප දෙක රාජකීයයන්ගේ ස්වරූපයෙන් නිර්මාණය කරලා තියෙන බව තමා කියවෙන්නේ. මේ ප්‍රතිමාවන්ගෙන් එකක්වත් නාථ දේව ප්‍රතිමා ආකෘතියට සමාන නොවෙන බවයි කියන්නේ.

නා ගසේ දෙවියන් වෙනුවෙන් ඉදි කරපු දොඩන්වල දේවාලය පසුකාලීන නාථ දේවාලයක් බවට පත්වෙලා තියෙන්නේ කරුණු කීපයක් මත. නා ගසේ දේවියන් සහ නාථ දෙවියන් කියන නම් දෙකම එක අකුරකින් පටන් ගැනීම වගේම නාථ දෙවියන් මතු බුදුවන මෛත්‍රී බෝසතුන් ලෙස පිළිගැනීමත් එතුමන් බුදු වන්නේ නා ගසක් මුල් කරගෙන වීමත් කියන කරුණු නිසා නා ගසේ දෙවියන් සහ නාථ දෙවියන් එක් දෙවියෙක් ලෙස වන්දනා කරන්න පටන් ගත්තු බව හිතාගන්න පුලුවන්.

මේ කතා සියල්ලම සංක්ෂිප්ත කරලා දැක්වුවහොත් නිශ්ශංක අලකේශ්වරට ආර්ය චක්‍රවර්ති එක්ක යුද්ධයෙන් ජයගන්න උපදෙස් ලබාදෙන්නේත් නා ගසේ දෙවියන්. ඒ වගේමයි II රාජසිංහ රජතුමාත් දොඩන්වල දේවාලයට පිටත් වෙලා නා ගසේ දෙවියන්ගෙන් යුද්ධය ගැන විචාරන්නේ ඒ දෙවියන් යුද්ධයට අධිපති දෙවියන් විදිහට සැලකෙන නිසා.

ඒ නිසා නා ගසේ දෙවියන් උඩරට සමාජය ඇතුළේ යුද්ධයට අධිපති දෙවියන් විදිහට පිළිගැනුණු බව අනුමාන කරන්න පුලුවන්. දොඩන්වල දේවාලයේ දේව ප්‍රතිමා පිළිබඳව කෙරෙන විස්තරයත් එක්ක කලින් දක්වපු රූපවලින් පෙන්නුම් කෙරෙන දෙවියන් සමඟ සැසඳෙන නිසා ඒ දැක්වුනේත් නා ගසේ දෙවියන් බව අනුමාන කරන්න පුලුවන්.

I විමලධර්මසූරිය රජතුමාගේ කාලයේත් වැඩි වශයෙන් යුධ ප්‍රයාණ වුණු නිසා යුද්ධයට අධිපති නා ගසේ දෙවියන්ට රජතුමා ගාව විශේෂ පිළිගැනීමක් තිබුණාය කියලා හිතන්න පුලුවන්.

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ නා ගසේ දෙවියන් නමින් යුද්ධයට අධිපති දෙවියෙක් පිළිබඳව උඩරට සමාජයේ සෙංකඩගලපුරය ඉදිවුණු කාලයේ පටන් පිළිගැනීමක් තිබුණු බවත් උඩරට සෑම රජ කෙනෙක්ම පාහේ නා ගසේ දෙවියන් වෙනුවෙන් පුද පූජා පවත්වන්නට ඇති බවත් ක්‍රමයෙන් උඩරට රාජධානි සමය අවසාන වෙද්දී හරි ඊටත් පසුකාලෙක හරි නා ගසේ දෙවියන් වන්දනා කිරීම යටපත් වෙලා ඒ වෙනුවටත් නාථ දෙවියන් ඇදහීම තවත් වර්ධනය වෙන්න ඇති කියන කාරණය.

මේ ලිපිය සකස් කරන්න විශේෂයෙන් පාදක කරගත්තේ ජෝන් ක්ලිෆර්ඩ් හෝල්ට් රචනා කරපු "මකුට මුනිධාරී අවලෝකිතේශ්වර නාථ ලංකා පුරාණය" කෘතිය.

ඒ හැරෙන්න වෙබ් අඩවි කීපයක තොරතුරු වගේම ඡායාරූපත් යොදා ගත්තා.

නාථ දෙවියන්ගෙන් වරම් ලැබ යුද්ධය ජය ගත් කථාව
http://srilankatemples.blogspot.com/p/temples.html   
http://trips.lakdasun.org/a-three-day-trip-to-badulla.htm
http://sridaladamaligawa.lk/2013/si/node/57
http://www.silumina.lk/2009/08/02/Dalada/_art.asp?fn=ad09080210
http://www.panoramio.com/photo/73204062

ප.ලි.: මේ සටහන ලියන්න කලින් මේ ගැන ලොකු සංවාදයක් අපේ සහෘද බ්ලොග්කරුවෙක් වෙන චාමර සුමනපාල අයියාත් එක්ක ඇතිවුණා. එයා අන්තිමට කිව්වේ මේ ගැනම වුණත් වෙනම පොතක් වුණත් ලියන්න පුලුවන් කියලා :D

ප.ප.ලි.: ඉතිහාසයේ අප්‍රකට කතා මාලාව කාලයක් එක දිගට ලියාගෙන ආවත් දැන් ඒක එහෙමම ලියන්න අමාරුයි. ඒකට ප්‍රධානම හේතුව තමා ඉතිහාසයේ අප්‍රකට කතා මාලාවේ එක ලිපියක් ලියන්න ලොකු කාලයක් වෙන් කරන්න සිද්ධ වෙන එක. ඉතින් කාල වේලාවේ ගැටලුත් එක්ක තමා ඉතිහාසයේ අප්‍රකට කතා ලිපි මාලාව දැන් හරි අඩුවෙන් ලියවෙන්නේ. ඒත් පුලුවන් විදිහට ඉදිරියටත් ඒ ලිපි මාලාව ලියන්න තමා හිතාගෙන ඉන්නේ :)

Sunday, April 7, 2013

සිංහල අලුත් අවුරුද්ද මාර්තු 26 වෙනිදාද ???


ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පළ කෙරෙන කැඩපත පුවත්පතේ අප්‍රේල් කලාපය වෙනුවෙන් මේ සටහන රචනා කෙරුණු නිසා සටහන "ටිකක්" බරසාර විදිහට ලියා ඇති බව කරුණාවෙන් සළකන්න :D

අලුත් අවුරුද්ද විවිධාකාර ජාතීන් විවිධාකාරයෙන් සමරන අතර බහුතරය පිළිගත් ක්‍රමය අනුව ජනවාරි 1 වනදා නව වසරක් ඇරඹෙන අතර එදින උත්සවාකාරයෙන් සමරනු ලැබේ. එනමුත් සිංහලයන් හා හින්දූන් අප්‍රේල් 14 වනදා තම අලුත් අවුරුද්ද ලෙස සලකා එය උත්සවාකාරයෙන් සමරනු ලබන බව පෙනේ.

වර්තමානයේදී විවිධාකාර අංග එක්වෙමින් නවීකරණය වී හෝ පරිහානියට ලක්ව ඇති අලුත් අවුරුද්ද යන සංකල්පය අතීතයේදී සැමරූ ආකාරය විමසා බැලීම අතිශය කාලෝචිත වූවකි. එහිදී මෑත අතීතය ලෙස සැලකිය හැකි අවසන් රාජධානිය වන මහනුවර රාජධානි සමයේදී අලුත් අවුරුදු උත්සවය සළකා බැලීම සිදු කළ හැකිය.  

රොබට් නොක්ස් [කණිෂ්ඨ]

එහිදී දෙවන රාජසිංහ රජ සමයේදී වසර 19 ක් උඩරට රාජ්‍යයේ සිරකරුවෙක් ලෙස කල් ගත කළ ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස් [කණිෂ්ඨ] විසින් රචනා කරන ලද Historical Relations of the Island of Ceylon කෘතියේ කරුණු පිළිබඳව අවදානය යොමු කළ හැක.  ලාංකියයන් සමඟ එකට ජීවත් වෙමින් රැස් කර ගත් කරුණු පදනම් කොටගෙන දේශපාලන, ආර්ථික, සමාජීය කරුණු රැසක් හෙළිදරව් කරන කෘතියක් රොබට් නොක්ස් රචනා කර ඇති බව පෙනේ.

නොක්ස් දක්වන පරිදි මහනුවර රාජධානි සමයේදී අලුත් අවුරුදු උත්සවය පවත්වා ඇත්තේ මාර්තු 26,28 හෝ 29 යන තෙදිනෙන් එක් දිනයකදීය. වර්තමාන තත්වය සමඟ මේ කරුණු බෙහෙවින් පරස්පර වන අතර වර්තමානයේදී අප්‍රේල් 13 වනදා පරණ අවුරුද්ද ලෙසත් අප්‍රේල් 14 වනදා අලුත් අවුරුද්ද ලෙසත් සලකනු ලබන බව ඔබත් මමත් හොඳාකාරවම දනිමු. මේ පරස්පරය ඇතිවන්නට ඇත්තේ සිංහල හෝරා ක්‍රමය සහ වර්තමාන සම්මත හෝරා ක්‍රමය අතර පවතින පරස්පරතාව නිසායැයි අනුමාන කළ හැක. 

කෙසේ නමුත් ඉහත දැක්වූ පරිදි දින තුනෙන් එක් දිනක් අලුත් අවුරුදු දිනය ලෙස තෝරාගත් පසු ඒ දිනයේදී රජතුමා උදෑසනම පිබිදී නැකැත්කරුවන්ගේ උපදෙස් පරිදි ස්නානය කරන බව දැක්වේ. වර්තමානයේදී පරණ අවුරුද්දට ස්නානය කිරීම නමින් මේ චාරිත්‍රය පවතින බව සිහිපත් කළ යුතුය. 

අලුත් අවුරුද්දට නැකැත් අනුව වැඩ අත් හරින බවත් පසුව නක්ෂත්‍රකරුවන් දැක්වූ සුභ මොහොතට පිරිමි තමන්ගේ කෘෂිකාර්මික දිවි පෙවෙත සමඟ බැදුණු උපකරණ වන උදළු, කැති ආදිය අතට ගෙන වැඩ අල්ලන බවත් කාන්තාවන් ඉදළ, කුල්ල ආදී දෛනික දිවියේ භාවිතා කරන උපකරණ  අතට ගෙන වැඩ අල්ලන බව නොක්ස් දක්වයි.

සුභ නැකැත් පාදක කොටගෙන අනාදිමත් කාලයක පටන් අලුත් අවුරුදු චාරිත සිදුවූ බව මෙයින් පෙනෙන අතර සුභ නැකැතකින් නව වසර සඳහා වැඩ ඇල්ලීම හෙවත් වැඩ කටයුතු ආරම්භ කිරීමෙන් නව වසරේ කටයුතු සාර්ථකව ඉටුකරගත හැකි බව ජන විශ්වාසය වූ බව පැහැදිලිය. 

අලුත් අවුරුද්ද සමඟ බැඳුණු විශේෂිතම ක්‍රීඩාව ලෙස නොක්ස් හඳුන්වන්නේ පොර පොල් ගැසීමයි. ඒ හැරෙන්නට අං ඇදීමද සිදුවූ බව නොක්ස් දක්වතත් ඒ ක්‍රීඩාවේ යෙදීමේදී ක්‍රීඩකයන් මෙන්ම නරඹන්නන් සිදු කළ අශෝභන ක්‍රියා නිසා රජතුමා අං ඇදීම තහනම් කළ ක්‍රීඩාවක් ලෙස නම් කළ නිසා ක්‍රමයෙන් එම ක්‍රීඩාව අභාවයට යන බව දැක්වේ. 

අං ඇදීම

වරක් ගම්පොළ ප්‍රදේශයේ පිරිසක් රහසිගතව අං ඇදීමේ නියැලී ඒ බව මහ වාසළට සැලවීමත් සමඟ ඒ සඳහා දඬුවම් කිරීමට පැමිණි අදිකාරම්වරයෙක් උපායශීලීව මිනිසුන් රැස් කරවා ගෙන දඩ මුදල් අය කළ බව නොක්ස් විස්තර කරයි. 

කෙසේ වෙතත් පොර පොල් ගැසීම මෙන්ම අං ඇදීම යන ක්‍රීඩා දෙකම පත්තිනි දෙවියන් මුල් කොටගෙන සිදු කරන ක්‍රීඩා වන අතර එම ක්‍රීඩාවන්ගේ උපත දක්වන කතා පුවත්වලදීද පත්තිනි දෙවියන් පිළිබඳව සඳහන් හමුවේ. ඒ අනුව රෝග නිවාරණය කරන, සෞභාග්‍යය සලසන පත්තිනි දෙවියන් මුල් කොටගෙන අලුත් අවුරුදු ක්‍රීඩා පැවැත්වීම හරහා උදාවූ නව වසරේ නීරෝගීභාවය හා සෞභාග්‍යය පොදු ජනයා පැතූ බව පෙනේ. 

අලුත් අවුරුද්ද සඳහා පිළියෙල කළ කැවිලි වර්ග පිළිබඳව විමසා බැලීමේදී නොක්ස් කැවිලි වර්ග සුළු ප්‍රමාණයක් පිළිබඳව සඳහන් කළද ඊට වඩා වැඩි ප්‍රමාණයක් පැවති බව වර්තමානයේ පවතින කැවිලි අනුව අනුමාන කළ හැකිය.

උඩරට රාජධානිය සමඟ ලන්දේසි සබඳතා ඇරඹීම
I විමලධර්මසූරිය සහ ස්පිල්බර්ජන් හමුව

නොක්ස් දක්වන පරිදි සහල් පිටි සහ පැණි එක් කර අනා තෙල් බැද ගන්නා කැවුම් නමින් රස කැවිල්ලක් වූ අතර ලංකාවට ඕලන්දයන් පැමිණි මුල්ම අවස්ථාවේදී I වන විමලධර්මසූරිය රජු ඕලන්දයන්ට කැවුම්වලින් සංග්‍රහ කර ඇත. කැවුම් රස බැලූ ඕලන්දයන් මේවා මිනිස් අතකින් නිර්මාණය කළ එකක්යැයි සිතිය නොහැකි නිසා මේවා ගස්වලින් කඩා ගන්නා දෙයක්දැයි විමසූ බව දක්වයි. ඒ කරුණ සත්‍යයක් ලෙස ගතහොත් කැවුම් සහ රස කැවිලි සැකසීමේලා ලාංකීය කාන්තාවන් දැක්වූ හැකියාව පිළිබඳව මනා තක්සේරුවක් එයින් ලබාගත හැකිය. 

කැවුම් හැරෙන්නට බැදි හාල් පිටි පැණියෙන් අනා එයට ගම්මිරිස්, කරදමුංගු, කුරුඳු පොතු ආදිය මිශ්‍ර කොට ගුළි ලෙස තනා ගන්නා රස කැවිල්ල අග්ගලා වශයෙන් හැඳින්වූ බව නොක්ස් දක්වන අතර අග්ගලා ලෙසට අලුවා නම් කැවිල්ලක් සකසා ගන්නා බවද ඔහු කියයි. අලුවා හැඩයෙන් පැතිලි වන බව විශේෂයෙන් දක්වා තිබේ.

අලුත් අවුරුද්ද හා බැඳුණු රජ වාසළ සිරිත් විරිත් සම්බන්ධව නොක්ස් වැඩි අවදානයක් දක්වා ඇති බව පෙනෙන අතර සාමාන්‍ය ජනයා අලුත් අවුරුද්ද සැමරූ ආකාරය පිළිබඳව ඔහු දක්වන්නේ අල්ප තොරතුරකි. ලාංකේය වංසකතා රචනා වූ සමයේ පටන් ඒ තත්වය පොදුවූ බව පෙනේ. 

මහනුවර රජ මාළිගය

නොක්ස් දක්වන පරිදි අලුත් අවුරුදු උත්සවය සඳහා රජ මාළිගය විශේෂයෙන් සැරසීමකට ලක් කරන අතර එහිදී මාළිගාවේ දොරටුවක් දොරටුවක් පාසාම තොරණ් බැඳ සරසා ඇත. එහිදී එක් එක් පෙළට සතක් හෝ නමයක් වන පරිදි මධ්‍යයට පැමිණෙන විට උස් වන පරිදි රිටු සිටුවා එම රිටි සඳහා හරස් ලී පෙළක් බැඳ දොරටුවේ ආරක්කු එන පරිදි සකසා ඇත. තොරන් මුදුනේ පිහිටි හරස් ලීවල ගෙඩි පොකුරු එල්වා තිබෙන අතර මිනිස්, සත්ව රූ සහිත අලංකාර ධජ විවිධ වර්ණවලින් යුතු ධජද ඒවායේ එල්වා ඇත. මේ හැරෙන්නට උස් රිටි සිටුවා ඒවායේද විවිධ වර්ණයේ ධජ එල්වා මිණිගෙඩි එල්වා ඇත. 

මේ ආකාරයෙන් අලංකෘත වූ රාජ මාළිගාව දෙව් විමනක් හා සමාන බව මිනිසුන් පැවසූ බව නොක්ස් ප්‍රකාශ කරන අතර රාසිං දෙවියන් නමින් රජුව දෙවියෙක් ලෙස ගරු බුහුමනට පත්ව තිබූ බව මෙමඟින්ද පැහැදිලි වේ. 

II රාජසිංහ රජතුමා සහ රදළ ප්‍රධානීන්

අලුත් අවුරුද්ද වෙනුවෙන් රාජකීය හමුදාව පෙළ ගැසී සිටින බවත් රජතුමා සර්වාභරණයෙන් සැරසී රාජකීය හමුදාව පිරික්සා බලන අතර ඒ අවස්ථාවේදී රජුට ගරු කිරීමක් ලෙස ආචාර වෙඩි මුර පැවැත්වීම කාලතුවක්කු සේනාංකය මඟින් සිදුකර ඇත. 

පසුව අදිකාරම්වරුන්ගේ සිට පහළ තනතුරු හොබවන නිලධාරීන් දක්වා වන රාජකීය නිලධාරීන් රජු වෙනුවෙන් අලුත් අවුරුදු "පෙනුම් කත්" රැගෙන එන අතර ඒ යටතේ රජු ප්‍රිය කරන්නේ යැයි හැඟෙන අවි ආයුධ, ආභරණ, වස්ත්‍ර, මුතු මැණික් ආදිය රජුට පිළිගන්වා ඇත. මේ සිරිත අද දක්වාම අලුත් අවුරුද්දේදී වැඩිහිටියන්ට ත්‍යාග පිරිනැමීම ලෙස පවතින බව පෙනේ. 

රොබට් නොක්ස් විසින් දක්වන විස්තරවලින් පැරැන්නන් අලුත් අවුරුදු උළෙල සැමරූ ආකාරය පිළිබඳ 100% ක් තොරතුරු ලබාගත නොහැක්කා සේම 100% නිවැරදි තොරතුරුද ලබාගත නොහැක. ඒ කෙසේ වෙතත් ලැබෙන තොරතුරු විමසිල්ලෙන් සැලකීමේදී පැහැදිලි වන්නේ ඉතාමත් සරල අයුරින් පැරැන්නන් අලුත් අවුරුදු උත්සවය සමරා ඇති බවයි. වර්තමානයේ අලුත් අවුරුද්ද සංකීර්ණ කොටගනිමින් එයින් පීඩා විඳින ජනයාට අතීතය කදිම පාඩම් උගන්වයි.

[මෙම සටහන ලිවීමේදී රොබට් නොක්ස් රචනා කළ කෘතිය "එදා හෙළදිව" නමින් ඩේවිඩ් කරුණාරත්න මහතා විසින් සිංහලයට පරිවර්තනය කරන ලද කෘතිය පාදක කොටගෙන ඇත.]