Saturday, March 24, 2012

The Reader තුළින් හෙලිවන නිර්සාක්ෂරතාවයේ අන්දරය


1922 ඔක්තෝබර් 21 දී ජර්මනියේ හර්මන්ස්ටඩ්වල උපත ලබපු හනා ස්මිට්ස් සීමන්ස් කම්හලේ රැකියාවකට යනවා. ෆෝමන්වරියක් විදිහට උසස්වීමක් ලැබුණත් හනා සීමන්ස් කම්හලෙන් ඉවත්වෙලා හිට්ලර්ගේ එස් එස් හමුදාවේ සිරකරුවන් භාරව සිටින ගාඩ්වරියක් විදිහට සේවයට එක් වෙනවා. හිට්ලර්ගේ තුන්වෙනි අධිරාජ්‍ය සිහිනය බිඳ වැටීමත් සමඟම සිරකරුවන් එක්කම බටහිරට යන හනා බටහිර ජර්මනියේ වාසය කරන්න පටන් ගන්නවා.

එහි වාසය කරද්දී මයිකල් බර්ග් කියන අවුරුදු 15 තරුණයාව හනාට හමුවෙන්නේ මයිකල්ව රතු උණෙන් අසනීප වෙලා ගෙදර එනකොට. අවසානයේදී අවුරුදු 15 මයිකල් සමඟ අවුරුදු 30 කට ආසන්න හනා අතර ලිංගික ඇසුරක් ඇතිවෙනවා.

දිනපතා වගේ හනාගෙන් ලිංගික සතුටක් ලබන්න මයිකල් පුරුදු වෙනවා. ටික දිනකින් මයිකල්ගේ අධ්‍යාපන කටයුතු ගැන හනා විමසන නිසා ඒ ඇසුරෙන් තමන්ට ඇහෙන්න මයිකල් ලවා කතන්දර පොත් කියවගන්න හනාට පුලුවන් වෙනවා.


හනා මේ වෙද්දී ට්‍රෑම් රථ කොන්දොස්තරවරියක් විදිහට වැඩ කරනවා. හනාට ට්‍රෑම් රථ කාර්යාලයට උසස්වීමක් ලැබීමත් එක්කම හනා එක්වරම අතුරුදහන් වෙනවා. මයිකල් තමන්ගේ පෙම්වතිය නැතිවීම ගැන හුඟාක් කම්පාවට පත්වෙනවා.

අවසානයේදී මයිකල්ට නැවත හනාව හමුවෙන්නේ ඊට වසර ගණනාවකට පස්සේ නාසි වධකාගාරයන් තුළ වුණු අපරාධවලට සම්බන්ධ වුණු අයට දඬුවම් පැමිණවීමට තිබුණු නඩු විභාගයකදී. නීති සිසුවෙක් ලෙස මෙතනට එන මයිකල්ට හනාව හමුවෙන අතරම නඩු විභාගයේදී හෙළිවෙන්නේ හනා අවුස්විට්ස් වධකාගාරයේදී දුර්වල, සුකුමාල ගැහැණු ළමයින්ට වැඩි සැලකිල්ලක් දැක්වූවා වගේම ඔවුන් ලවා පොත් කියවා ගත් බව.

අවසානයේදී හනාට පමණක් වැඩි දඬුවමක් හිමිවෙන්නේ අනිත් විත්තිකාරියන් හනා ඔවුන්ගේ නායිකාව බව කීමත් ඒ වගේම සිරකරුවන් රැසක් මියගිය සිදුවීමක් සම්බන්ධ වාර්තාවක් හනා ලිවූ බව කීමෙනුත්.තමා එම වාර්තාව ලිවූ බව හනා පිළිගැනීමත් එක්කම තමා මේ තත්වය ගොඩ නැගෙන්නේ. ඉතින් හනාට ලැබෙන දඬුවම තමයි ජීවිතාන්තය දක්වාම සිර දඬුවම් නියමවීම.

මේ විදිහට කෙටියෙන් මම කිව්වේ ජර්මන් ජාතික බර්නාඩ් ස්ලින්ක් ලියූ Der Vorlesser කෘතියේ අවසානය අත් ඇරලා මුල් කොටස් ටික. පසුව 2008 වර්ෂයේදී මේ කෘතියෙන් ස්ටෙෆන් ඩැල්ඩ්‍රයි The Reader කියන චිත්‍රපටිය නිර්මාණය කරනවා



ඉතින් ඉහත දක්වපු කතාවේ සෑම ප්‍රධාන සිද්ධියක් ඇතුළෙම තියෙන සැඟවුණු කතාව තමයි හනාගේ නිර්සාක්ෂරතාව. තවත් විදිහකින් කිව්වොත් හනාට කියවීමට හෝ ලිවීමට හෝ තිබුණු නොහැකියාව.

සීමන්ස් ආයතනයෙන් ලැබුණු උසස්වීම ඇය ප්‍රතික්ෂේප කරන්නේත් අවුස්විට්ස් වධකාගාරයේදී ගැහැණු ළමුන් ලවා පොත් කියවා ගන්නේත් බටහිර ජර්මනියේදී මයිකල් බර්ග් ලවා පොත් කියවා ගන්නේත් ට්‍රෑම් රථ කාර්යාලයට ලද උසස්වීම ප්‍රතික්ෂේප කරන්නේත් අවසාන වශයෙන් ඇයට වැඩි වරදක් පැටවෙන වාර්තාව ලියපු බවට අසත්‍ය ප්‍රකාශයක් කරන්නේත් ඇයට නිර්සාක්ෂරතාවක් තිබුණ නිසා.

ඒත් කිසිම අවස්ථාවක ඇය ඒක හෙළිකරන්නේ නැත්තේ ජර්මන් ජාතිකයෙක් විදිහටත් එස් එස් සෙබළියක් විදිහට ඇය තුළ ගොඩනැඟී තිබුණු ආත්මාභිමානය නිසා....

මේ කතාවත් එක්කම හනාට සාක්ෂරතාවක් තිබුණා නම් කියන ප්‍රශ්නය රසිකයන්ට කතුවරයා මතු කරන අතරේම මේ කතාව තවත් ආකාරයකට ගොඩනගන්න රසිකයන්ට පාරක් විවර කරනවා. ඒ තමා හනාට සාක්ෂරතාවක් තිබිලා සීමන්ස් කම්හලේ උසස්වීම බාරගත්තා නම් කියන එක............

ඒ වගේමයි හනාට දඬුවම් ලැබෙන්න විශේෂයෙන් හේතු වෙන්නේ බටහිරට අරගෙන ගිය සිරකරුවන් රැසක් පල්ලියක සිර කරලා තියෙද්දී ඒ පල්ලියට එල්ලවන බෝම්බ ප්‍රහාරයකදී සිරකරුවන්ට පල්ලියෙන් එළියට එන්න ඉඩනොදීම නිසා ඔවුන් මරණයට පත්වීම නිසා. ඒ සිදුවීමෙන් ගැලවෙන මවක් සහ දුවෙක් තමා මේ කතාව පොතක් රචනා කිරීම මඟින් ලොවට හෙළිකරන්නේ

ඒ සිදුවීම වගේම වධකාගාරයේ හිටපු රෝගී සිරකරුවන් මරණයට ගිනි උදුනට යැවීම සම්බන්ධයෙනුත් හනා දෙන පිළිතුරු අවදානයට ලක් කරන්නම ඕනේ.

විනිසුරුවරයා : "රෝගී සිරකරුවන් ගිනි උදුන වෙත යැව්වේ ඔවුන් ඝාතනය කර දැමීමට කියලා ඔබ දැනගෙන සිටියේ නැත්ද ?"

හනා : "ඔව් අපි දැනගෙන සිටියා. නමුත් අලුතෙන් වධකාගාරය වෙත ගෙන එන සිරකරුවන්ට ඉඩකඩ සලසා දීම සඳහා අපිට ඒක කරන්න සිදුවුණා"

විනිසුරුවරයා : "ඔබ කියන්නේ අලුතෙන් ගෙනෙන ලද සිරකරුවන්ට ඉඩකඩ සලසා දීම සඳහා පෙර සිටි සිරකරුවන් ඝාතනය කර දැමීම සඳහා යැව්වා කියලද ?"

හනා : "එදා ඔබ මා සිටි තත්වයේ සිටියා නම් කුමක්ද කරන්නේ?"

විනිසුරුවරයා : "මේ ජීවිතේදී අපට මුහුණු දෙන්නට සිදුවන සමහර දේවල්වලින් අපගේ ජීවිතයට අනතුරක් සිදුවන්නේ නම් ඒවායින් අපි ඈත් වී සිටිය යුතුයි"

හනා : "ඒ කියන්නේ මම සීමන්ස් කර්මාන්ත ශාලාවේ රැකියාවට ගිය එක වැරදිද?"

මේ තමා පල්ලියේ වූ සිදුවීම ගැන හනාගේ පිළිතුරු

විනිසුරුවරයා : "ඇයි ඔබ පල්ලියේ දොරවල් විවෘත නොකළේ?"

හනා : "අපට වෙන විකල්පයක් තිබුණේ නැහැ"

විනිසුරුවරයා : "ඔබට වෙන විකල්පයක් තිබුණේ නැහැ"

හනා : "ඒ වෙනකොට අප අතර සිටි සමහර දෙනා මියැදිලා. ඉතිරිව සිටිය නිලධාරීන් තුවාලකරුවන් අරගෙන රෝහලට ගියා. එනවා කියලා තමයි ගියේ. ඒත් ඒ අය ආපහු නො එන්න තීරණය කරලයි ගියේ"

විනිසුරුවරයා : " ඉතින් ඔබ මොකද කළේ?"

හනා : "ඇත්තෙන්ම ඒ වෙලාවේ මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරි තත්වයක අපි හිටියේ.......... අපි කොහොමද මේ තරම් සිරකාරියන් ප්‍රමාණයක් රැකබලා ගන්නේ. අපි ඒ වෙලාවේ පල්ලියේ දොරවල් ඇරියා නම් ඔවුන් කඩාගෙන බිඳගෙන එළියට එනවා"

විනිසුරුවරයා : "සිරකාරියන් ඔබලාට අතවරයක් කරයි කියලා බියක් දැනුණද?"

හනා : "ඇත්තෙන්ම එහෙම වෙන්නට ඉඩ තිබුණා. අපි ඒ වෙලාවේ පල්ලියේ දොරවල් ඇරිය නම් විශාල කලබැගෑනියක් වෙන්නට තිබුණා. ඔවුන් පැනලා යන්නට උත්සහ කරන්නට ඉඩ තිබුණා. එහෙම වුණා නම් අපිට ඒ තත්වය පාලනය කරගන්නට බැරිව යනවා."

විනිසුරුවරයා : "සිරකාරියන් පැනලා යයි කියලා ඔබට බයක් දැනුණද? මොකද එහෙම වුණා නම් නාසි ඔබව වරදකාරියක් කරලා ඝාතනය කර දමන්නට ඉඩ තිබුණු නිසා"

හනා : " එවැනි තත්වයක් උද්ගත වුණත් සිරකාරියන්ට පැනලා යන්න දෙන්න අපිට පුළුවන්කමක් තිබුණේ නැහැ. ඔවුන් බලා ගැනීම අපිට පැවරිලා තිබුණු වගකීමක්. පසුගිය කාලය තුළත් මේ දක්වා පයින් ආ ගමෙන්ත් අපි ඔවුන්ව බලා ගත්තා. ඔවුන්ට පැනලා යන්න දීලා බලාගෙන ඉන්න එක නෙමේ, ඔවුන්ට පැනලා යන්න නොදී ආරක්ෂා කර ගැනීමයි අපට පැවරිලා තිබුණු වගකීම.

ඒ අවස්ථාවට ඔබ මුහුණ දුන්නා නම් ඔබ කරන්නේ කුමක්ද ?
"

මේ ප්‍රකාශවලින් පෙනෙන්නේ හනා තමන්ගේ වගකීම එසේත් නැතිනම් තමන්ගේ රැකියාවේ කාර්යය භාරය ඉටුකර ඇති ආකාරයයි.

එහෙම නම් තමන්ගේ රාජකාරිය මැනවින් ඉටුකිරීමද හනා කළ වරද ? එසේත් නැතිනම් පිළිගත් සදාචාරයට එරෙහිව තම රාජකාරිය ඉටුකිරීමද හනා කළ වරද ? මේ ආකාරයෙන් හනා වරදකාරියක්ද නැත්ද යන ගැටළුවට රසිකයා හසුකිරීමට කතුවරයා සමත්ව තිබෙනවා.


මෙහිදී හනා මයිකල් සමඟ සබඳතාව පැවති සමයේ මයිකල් කරපු ක්‍රියාවක් නිසා මයිකල් සමාව ඉල්ලුවත් හනා එයට පිළිතුරු බඳින්නේ

"සමාව ඉල්ලන්න එපා. කිසිම කෙනෙක් සමාව ඉල්ලිය යුතු නැහැ"

මේ පිළිතුරෙන් ගම්‍ය කරන්නේ මේ ප්‍රකාශය කියලයි මට හිතෙන්නේ

කිසිම පුද්ගලයෙක් වැරදි නැත. සෑම පුද්ගලයාම ක්‍රියා කරන්නේ ඒ අවස්ථාවේදී ඔහුට ක්‍රියාකළ හැකි ආකාරයෙන්ය. ඒ අනුව බැලීමේදී කිසිවෙක් වැරදි නැත.

කතාවේ ඉතුරු කොටස ගැන කිව්වොත් මයිකල් ඒ කාලයේදීම විවාහ වෙනවා. හනා ගැන කිසිම දෙයක් තමගේ බිරිඳට මයිකල් නොකිව්වත් හනා සමඟ තමන්ගේ බිරිඳ නිතරම සංසන්දනය කරන්නට මයිකල් උත්සහ කරන නිසා සිදුවෙන්නේ බිරිඳ කරන හැම දේකම වැරැද්දක් මයිකල්ට පෙනෙන එක

ඒ නිසා මයිකල් ඇයගෙන් දික්කසාද වෙන්න තීරණය කරනවා. මේ තත්වය සාමාන්‍ය මනෝ භාවයක්. කලක් සමීපව සිටි අයෙක් එහෙමත් නැත්නම් හදවතේ සමීපව සිටිය අයෙක් වෙනුවට වෙනත් අයෙක් ඒ ස්ථානයට ආවොත් ඒ වගේම අනික් හුඟාක් අවස්ථාවලත් කලින් හිටි එක්කෙනාගේ කටයුතුත් එක්ක අලුතින් ආපු කෙනාගේ කටයුතු සංසන්දනය කරන එක මිනිසාගේ හැටි.

ඒ වගේමයි මයිකල්ගේ හිතේ හනා ගැන ලොකු ආදරයක් තිබුණත් ඒක අතීතයට එකතු වුණු දෙයක් විදිහටත් ඒකේ මිහිර විඳිනවා විනා ඒක ආයි සමීප කරගන්න මයිකල් උත්සහ කරන බවක් පෙනෙන්නේ නැහැ. ඒක පෙනෙන්නේ සිරගත වෙලා ඉන්න හනාව බලන්න එක දවසක්වත් මයිකල් යන්නේ නැහැ.

ඒත් දවසක් තමන් ඉස්සර හනාට කියවපු "ඔඩිසි" පොත දකින මයිකල් ඒ පොත කියවමින් ඒක පටිගත කරලා හනාට යවනවා. තමන්ගේ අතීතයේ මිහිර නැවතත් මයිකල් එහෙම විඳගත්තත් කිසිම ලියුමක් මයිකල් හනාට යවන්නේ නැහැ. ඒ විදිහට මයිකල් පොත් කීපයක්ම හනාට යවනවා. දවසක් මයිකල් බලාපොරොත්තු නොවුණු විදිහට හනාගෙන් ලිපියක් ලැබෙනවා

හනාගෙන් ලැබුණු ලිපියේ බොහොම කෙටි දෙයක් තියෙන්නේ.

ළමයෝ අර අන්තිමට එවලා තිබුණු කතාව නම් ඇත්තෙන්ම ලස්සනයි. ස්තුතියි

හනා

හනා කියවන්න ලියන්න පුරුදුවෙලා. මයිකල්ට ලොකු සතුටක් දැනෙනවා. මයිකල් එවන ටේප් පටිවලට අදාළ පොත් හොයාගන්න හනා ඒ අනුව එක එක වචනය ලියන විදිහ හඳුනගන්න දක්ෂ වෙනවා වගේම තමන්ගේ කියවීමේ හා ලිවීමේ හැකියාව ක්‍රමයෙන් දියුණු කරගන්නවා.

හනාගේ යහපත් හැසිරීම නිසා එයාව නිදහස් කරන්න තීරණය වෙන නිසා බන්ධනාගාරයෙන් කතා කරන්නේ හනා එක්ක සම්බන්ධ වෙලා හිටපු මයිකල්ට. හනා වසර 20 ක් සිරගත වෙලා හිටපු නිසා සමාජයට හුරු කිරීම, ඉන්න තැනක් සහ රැකියාවක් සොයා දීම මයිකල්ට බාරවෙනවා.


ඒවා හොයාගත්තු මයිකල් හනාව මුණගැහෙන්න බන්ධනාගාරයට යනවා. වයස්ගත වුණු හනාව දැකීමෙන් මයිකල් පුදුමෙට පත්වෙනවා. ඒ වගේමයි මයිකල්ගේ හැසිරීමෙන් හනා තේරුම් ගන්න දෙයක් තිබෙනවා. හනා අපේක්ෂා කළේ අතීතයේ තිබුණු ප්‍රේමනීය තත්වය මයිකල් සහ තමන් අතර ඇතිවෙයි කියලා.

ඒත් මයිකල්ගේ තත්වය ගැන නැවතත් ප්‍රශ්නයකට රසිකයාව යොමුකරන්න කතුවරයා සමත් වෙනවා. මයිකල් තමන්ගේ අතීතය මතක් කරන්න කැමතියි. ඒත් වර්තමානයේ ඒ තුළ ජීවත් වෙන්න අකමැතියි කියන එක බොහෝ වෙලාවට පෙනුණත් එහෙම නම් මයිකල් හනාට කතා ටේප් කරලා යවන්නේ ඇයි කියන ගැටළුවත් ඒත් එක්කම පැන නගිනවා.

කොහොම නමුත් කලින් හිටිය මයිකල් නෙමෙයි වෙනස් කෙනෙක් දැන් ඉන්න බව හනාත් තේරුම් ගන්නවා. චිත්‍රපටිය තුළ මේ සිදුවීම පෙන්වන්න උපයෝගී කරගන්නේ මයිකල්ට අල්ලා ගන්න හනා සුරත දිගු කිරීමත් ටික වෙලාවකින් මයිකල් ඒ අත අල්ලා ගෙන නැවත අත හැරීමෙන්

මයිකල් තමන් හනාට රැකියාවක්, ඉන්න තැනක් සොයාගත්තු බවත් කියලා ඇයව එක්කගෙන යන්න හිතාගෙන ඊළඟ සතියේ එද්දී දැනගන්න ලැබෙන්නේ හනා සියදිවි නසාගෙන තිබෙන බවයි. මයිකල් බන්ධනාගාර පාලකවරිය එක්ක කතා කරන සිදුවීම පෙළ අපූරුවට ගලාගෙන යනවා.

හනා නැවතිලා හිටපු කාමරය මයිකල් බලනවා වගේම තමන් උසස් පෙළ සමත්වුණු වෙලාවේ විදුහල්පතිතුමා සහතික ප්‍රදානය කරන ඡායාරූපය තිබුණු පත්තරේ හනා බිත්තියේ අලවා තිබීමත් මයිකල්ව කම්පා කරවනවා. ඒ වගේමයි හනා සිරගෙදර හිටපු අවුරුදු 20 තුළම මයිකල් එවපු ටේප්වලට අමතරව මයිකල්ගෙන් ලියුමක් හනා බලාපොරොත්තු වුණු බවත් මයිකල් දැනගෙන්නවා


හනා තමන්ගේ අවසන් කැමැත්තෙන් තමන් සතුවුණු මුදල් නාසි සමයේ පල්ලියේ ඛේදවාචකයෙන් දිවි ගලවාගන්න දරුවාට ලබාදෙන්න කියලා. ඒ වගේමයි මයිකල්ව ආදරයෙන් මතක් කරන බවත් ඇගේ ලිපියේ තිබෙනවා. මයිකල් හනාගේ කැමැත්තට ඒ මුදල් අදාළ කාන්තාවට භාරදෙන්න ගියත් ඇය ඒක බාර නොගන්නේ ඒක බාර ගන්න එකෙන් හනාට සමාවක් ලැබෙනවා කියලා ඇ‍යට හිතෙන නිසා,

හනාගේ සාක්ෂරතාව නොමැති බව බොහෝ දේවල්වලට හේතුවුණු බව මයිකල් ඇයට පහදලා දෙනවා. හනා මුදල් දාලා තිබෙන තේ කොළ ටින් එක විතරක් ඇය ගන්නේ කුඩා කළ ඇයටත් එවැන්නක් තිබුණු නිසා.

මයිකල් හනාගේ මුදල් හනාගේ නමින්ම නිර්සාක්ෂරතාව දුරුකරන්න තිබෙන සංවිධානයකට පරිත්‍යාග කරන්නේ හනාව සිහිපත් කරමින්. කතාව අවසාන වන්නේ මයිකල් බර්ග් මුල්ම සහ අවසන් වතාවට හනාගේ දේහය තැන්පත් කරලා තිබුණු සොහොන් බිමට යන සිදුවීමෙන්.

චිත්‍රපටියේ ඊට වඩා සාර්ථක අවසානයක් දීලා තිබෙනවා කියලා මට හිතෙන්නේ ඒකෙදී මයිකල් තමන්ගේ තරුණ දියණියත් සමඟ හනාගේ සුසානයට ගිහින් තමන්ගේ පුදුම සහගත මෙතෙක් කාටවත් නොකියපු කතාව තමන්ගේ දියණියට කියන්න ආරම්භ කරන එකෙන්.

ඉතින් මේ කතාව තුළින් බොහෝ මාතෘකා කතා කරන වග ඔබටත් තේරෙන්න ඇති. පුලුවන් නම් මුලින්ම පොත කියවන්න රංජිත් කුරුප්පු "ගිම්හාන ගීතය" නමින් මේ කෘතිය සිංහලය නගලා තිබෙනවා.

ඊට පස්සේ චිත්‍රපටිය නරඹන්න. මේ සබැඳියෙන් ඒ සඳහා ටොරන්ට් එක ලබාගන්න පුලුවන්. චිත්‍රපටිය සම්මාන රැසක් දිනා ගනිපු චිත්‍රපටියක්. ඒ වගේමයි පොතත්.

කාලෙකට පස්සේ බලපු හොඳ චිත්‍රපටියක් කියන එකත් අවසානයට මතක් කරන්න ඕනේ :)

ප.ලි.: අවුරුද්දකටත් වඩා වැඩි කාලයක් download කරලත් බලන්නේ නැතුව මගේ computer එකේ තිබුණු film එක බලන්න හිතුණේ මගේ සරසවි මිතුරියක් වුණු ශම්මි විජේසුන්දර බදාදා මට දුන්නු film එකට පාදක වුණු ජර්මන් කෘතියේ සිංහල පරිවර්තනය වුණු "ගිම්හාන ගීතය" කියෙව්වාට පස්සේ.

ස්තුතියි ශම්මි :)

36 comments:

  1. මේ දවස්වල කියවමින් ඉන්නෙ ඔය කතාව. ඒ හින්ද සම්පූර්ණ ලිපියම කියෙව්වෙ නෑ. සිංහල පරිවර්තනයක් තියනව කියල දැනන් හිටියෙ නෑ.
    ස්තූතියි !!

    ReplyDelete
    Replies
    1. @චමිල

      දැනුවත් කිරීමක් කරන්න ලැබුණු එක ගැන සතුටුයි. පොත කියවලාම බලලා අදහසක් දක්වයි කියලා බලාපොරොත්තු වෙනවා

      Delete
  2. හොඳ විග්‍රහයක්....

    මට මේක කියවපුවම මතක් උනේ " වනගත පාඨකයා " කෙටි කතාව.

    පොතනම් හොයා ගන්ඩ තියන අවස්තාව අඩුයි, ෆිල්ම් එකවත් බලන්ඩ ඕනා.

    ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. @Senna

      ස්තුතියි අයියා. කාගේද මේ වනගතා පාඨකයා කෙටි කතාව ? විස්තර ටිකක් කියන්න

      Delete
  3. මේ චිත්‍රපටියේ කේට් වින්ස්ලට්ගේ රඟපෑම නම් අපූරුයි..
    මුහු‍ණෙන් පළවන අතිශය භාවාත්මක හැඟීම් ප්‍රකාශනය ගැන කියන්න වචන නෑ..කාලයක් මතක් කරන්න පුළුවන් විස්මිත කලා නිර්මාණයක්

    ReplyDelete
  4. ඔබට ස්තුතියි.අදාල පොත මා සතුව ඇත.සිනමා නිර්මාණයද බලා ඇත.

    ReplyDelete
    Replies
    1. @Anonymous

      නම සඳහන් නොකළත් දැක්වූ ප්‍රතිචාරයට තුති :)

      Delete
  5. මාත් ඔය ෆිල්ම් එක බලල තියෙනවා. හැබැයි කොටසයි. මුළු ෆිල්ම් එකම වෙලාවක බලන්න ඕනෙ. ඔබගේ ලිපියට ස්තූතියි....

    ReplyDelete
    Replies
    1. @උදාර

      පොත වගේම ෆිල්ම් එකත් කොටස් කීපයකට කඩලා වෙන් කරලා තිබෙනවා. කොහොම නමුත් ෆිල්ම් එකම බලලා කියන්නකෝ මොකද හිතුණේ කියලා

      Delete
  6. මමත් බලපු නියම ෆිල්ම් එකක්. තුංහතර පාරක්ම බැලුවා. ලිපියත් නියමයි.

    ReplyDelete
    Replies
    1. @-HacKrisH- | -හැක්ක්‍රිෂ්-

      එකඟයි :)

      Delete
  7. ලස්සන පොත. ෆිල්ම් එකත් ඒ වගේම ලස්සනයි. පෝස්ට් එකත් ඒ වගේමයි. :D

    ReplyDelete
  8. සිනමා ඇන්ඩ් ටෙලිවිශන් කියන සබ්ජෙක්ට් එකට අපිට ඔය ෆිල්ම් එක තිබ්බා. අපි ඕකට විචාරයක් ලිව්වත් එක්ක !!!

    ReplyDelete
    Replies
    1. @මධුරංග

      ඒ විචාරේ මතක නම් ටිකක් කියන්න අයියා

      Delete
  9. ස්තුතියි පොත් වල නම් නං කීපයක් තියෙනවා හොයාගෙන බලන්ට..

    ReplyDelete
    Replies
    1. @හරී

      කියවීම මිනිසා සම්පූර්ණ කරයි :D

      Delete
  10. එළ එළ ඩවුල්ලෝඩ් පාරක් දාන්න ඕනේ....

    ReplyDelete
    Replies
    1. @ඔබ නොදු‍ටු ලොවක්

      කොහොමද අයියා ෆිල්ම් එක ? එළකිරිද ?

      Delete
  11. ස්තූතියි... හොඳ ලිපියක්..

    ReplyDelete
  12. ඉතාම සාර්තක විචාරයක්......

    ReplyDelete
    Replies
    1. @Anonymous

      බොහොම ස්තුතියි. මොකක් නැතත් ඉස්සරහට හොඳ රස්සාවක් මට තියෙනවා වගේ

      Delete
  13. කලකින් මල්ලි ලියුව හොඳම පෝස්ට් එකක් . හිත පුරා කියෙව්වා . මම ආසම චිත්‍රපටයක් . කතාවක් වශයෙන් වගේම සිනමාපටයක් ලෙසත් අනර්ගයි . නාසි සෙබළුන් දෙස වෙනත් ඇසකින් බලන කතාවක් . හැමදේම කාලයට සාපේක්ෂයි

    ''දිනපතා වගේ හනාගෙන් ලිංගික සතුටක් ලබන්න මයිකල් පුරුදු වෙනවා. ටික දිනකින් මයිකල්ගේ අධ්‍යාපන කටයුතු ගැන හනා විමසන නිසා ඒ ඇසුරෙන් තමන්ට ඇහෙන්න මයිකල් ලවා කතන්දර පොත් කියවගන්න හනාට පුලුවන් වෙනවා.''


    හැනා සහ මයිකල් අතර ලිංගික ඇසුරක් ඇතිවෙන්නේ කතන්දර කියවීම පටන් ගත් පසුව නේද . ඇය තමන්ගේ කියවීමට නොහැකියාව නිසා කල අන් කැපකිරීම් වගේම තමයි එයත් . කෙසේ හෝ කියවීමට ලිවීමට ඉගෙනීම මග අරුණත් ඇය නිතරම කියවීමේ පිපාසයෙන් පෙලුනා

    මට හිතෙන විදිහට හැනා මයිකල්ගේ ඇසුර පතන්නේ පොත් කියවා ගැනීමම පාදක කරගෙනයි . ඇය ඔහුට ආදරය කළාදැයි එතරම් පැහැදිලි නැහැ . කුඩා මයිකල් නම් මේ සබඳකම බැරෑරුම් ලෙස සැලකුවා .

    මේ ලිපියට ගොඩක් ස්තුතියි මල්ලි

    ReplyDelete
    Replies
    1. @Bindi

      ඇත්ත තමා අක්කේ. මේක ලියලා ඉවර වුණාට පස්සේ මටත් හිතුණා කාලෙකට පස්ස්සේ ලියපු හොඳ පෝස්ට් එකක් කියලා....

      කොහොම නමුත් පොතේ වගේම ෆිල්ම් එකේ හැටියටත් මයිකල් සහ හනාගේ සම්බන්ධතාවය ටික දවසක් යද්දී තමා හනා මයිකල්ගෙන් ඉස්කෝලේ ඉගෙන ගන්න විෂයන් ගැන අහන්නේ ඒකත් එක්ක තමා මයිකල් හනාට පොත් කියවීම ආරම්භ වෙන්නේ

      අවුරුදු 30 ගණනක් වනතුරුම එයට සංතෘප්ත කරගන්න නොහැකි වුණු ලිංගික ආස්වාදය මයිකල්ගෙන් හනා ලබාගන්න අතරේම ඊට පස්සේ හනාගේ ලොකුම ආසාවක් වුණු පොත් කියවාගැනීමත් සපුරා ගන්න හනා උත්සහා කරනවා.

      මේ සබඳතාවයට හනා වටිනාකමක් දුන්නා කියලා මට හිතෙන්නේ ඇය මයිකල්ටත් නොකියා යන්න ගිය එකෙන්. මොකද ඒ විදිහට ඒ සබඳතාවය දිගටම ගියා නම් මයිකල්ට ඒක ප්‍රශ්නයක් වෙන්නේ පුලුවන් නිසා...

      Delete
    2. මේ ෆිල්ම් එක දිහා මම දන්න ගොඩක් කොල්ලො බලන්නෙ කාමුක ඇසකින්.. නමුත් මෙහි ඉන් ගොඩක් එහාට ගිය ඉතා ස0වේදි කතාවත් තියනවා... හනා කියන්නෙ හරිම අපූරුවට නිර්මාණය කල චරිතයක්

      Delete
    3. @ තොටියා

      අනිවාර්යයෙන්ම අයියේ. චිත්‍රපටියක ලිංගික දර්ශනයක් තිබූ සැණින්ම කාමුක ඇසින් බලන්න සුදුසු නැහැ. පොඩ්ඩක් කතාවත් එක්ක ඒක හිතලා බලන්න ඕනේ තමා

      Delete
  14. ම්ම්ම්ම්ම්ම්ම් ඔයාගේ විචාරේ නම් කියෙව්වා,,හොදයි...,බලන්නත් ආස හිතෙනවා..,ඈත්තටම ඕකේ කොටස් ටිකක් බලලා තියේ,දන්නවා ඈතිනෙ..,
    ඒක බලද්දි නම් හිතුන් නෑ කතාව ඔය ආකාරයේ 1ක් කියලා........,
    විචාරේට තෑන්ක්ස්....,ෆිල්ම් 1ත් බලලම එන්නම්

    ReplyDelete
    Replies
    1. @ Isuru063

      කිව්වත් වගේ බලපු කොටස් ටික වගේම ඇයි බැලුවේ කියන එකත් හිතාගන්න පුලුවන්. කෝකටත් film එකත් බලන්නකෝ. හොඳ කතාවක් තියෙනව වග වැටහේවි :)

      Delete
  15. ඔය ෆිල්ම් එකත් මම බැලුවා ඔබගේ කතාවට සම්පූර්නයෙන්ම එකඟ වෙනවා

    ReplyDelete
  16. මම බලපු හොදම film එකක් තමයි.

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................