Saturday, March 3, 2012

එක්තරා රජ කෙනෙකුගේ කතාවක්


ඇවිද්ද පය දහස් වටී කියන සිංහල කියමන හුඟාක් ප්‍රසිද්ධ එකක්. පයින්ම ගමන් බිමන් ගිය ඉස්සර කාලෙට නම් මේ කියමන හුඟාක් අදාළයි. වර්තමානේ වෙද්දී පයින් ගමන් බිමන් අඩුයි නොවැ :)

කොහොම නමුත් අද කතාව මේ කියමන හැදුණු හැටි ගැනයි. ඒකත් පරණ කතාවක්. කතාව මෙහෙමයි

එකෝමත් එක කාලෙක [හිට්ම කෑල්ල] එක සිටුතුමෙක් හිටියා. හැබැයි එයා හරි දුප්පත්ලු. එතකොට දුප්පත් නම් මෙයා සිටුතුමෙක් වුණේ කොහොමද කියලා කාට හරි හිතෙනවා නම් ඒකට උත්තරේ තමයි ඒ කාලේ පාඩු ලබන ව්‍යාපාර රාජ සන්තක කරපු නිසා, කහවණුව අවප්‍රමාණ කරපු නිසයි මෙයා දුප්පත් වුණේ :))

ඉතින් සිටුතුමා මරණාසන්න වුණු මොහොතේ තමන්ගේ එකම පුතාට දෙන්න දේකුත් ඉතුරු වෙලා නොතිබුණු නිසා පුතාට කවියක් උගන්වලා ඒක රජතුමා හමුවට ගිහින් ඉදිරිපත් කරලා තෑගි බෝග ගන්න කියලා සිටුතුමා පුතාට කියලා මිය පරලොව ගියා.


සිටු පුතාත් තාත්තාගේ අවසන් කටයුතු කරලා ඉවර වෙලා ලස්සන suit එකක් දාගෙන රජතුමා බැහැ දකින්න රාජ සභාවට ගිහින් මේ කවිය රජතුමා ඉදිරියේ ගායනා කළා.

මෙන්න මේක තමයි සිටුතුමා පුතාට කියලා දුන්නු කවිය

අඩහ කෑම දහස් වටී
නිදිමැරුවා දහස් වටී
ඇවිද්ද පය දහස් වටී
ඉවසූ බලේ දහස් වටී

මේක අහගෙන හිටපු රජතුමා මොකක්ද මේ විකාරය කියලා අහලා රජතුමාගේ කාලය නාස්ති කළා කියලා සිටු පුතාට බැන වැදිලා රාජපුරුෂයන්ට නියම කළා සිටු පුතාව දඟ ගෙයි දාන්න කියලා සතියකට බරපතල වැඩ ඇතුව.

රජවරු පරිස්සමෙන් ආශ්‍රය කරන්න කියන්න ඕනේ ඒක නිසා තමයි :)

මේ විදිහට රාජ සභාවේ වැඩ කටයුතු අවසන් වුණත් රජතුමාට රෑ කෑම කද්දී නිකමට වගේ හිතුණා සිටු පුතා කවියෙන් කියපු දේ පොඩ්ඩක් කරලා බලන්න. කොහොමත් හුඟාක් රජවරුන්ගේ හැටි එහෙම තමා. ඒ වෙලාවට පිළිගන්නේ නැහැ පස්සේ හිමින් සැරේ හොරෙන් කරලා බලනවා :)

"අඩහ කෑම දහස් වටී" නිසා රජතුමා එදා රෑට වැඩිය කෑවේ නැහැ. සිම්පල් ඩයට් එකක් තමා ගත්තේ. පස්සේ "නිදි මැරුවා දහස් වටී" නිසා වෙනදාට ජාතික රූපවාහිනියේ news බලලා ඊට පස්සේ යන tele නාට්‍යය බලලා 9 වෙද්දී නිදාගන්න රජ්ජුරුවෝ එදා වාසනා සම්පත දිනුම් අදින එකත් බලලා රෑ 10 ට සිරසේ news එහෙමත් බල බල හිටියා. නිදා ගත්තේම නැහැ :)

ඊට පස්සේ "ඇවිද්ද පය දහස් වටී" නිසා රජතුමා හිමින් සැරේ sports trouser එක දාගෙන සිරියහන් ගබඩාවේ ඉදලා මංගල උයන පැත්තට ඇවිදින්න පටන් ගත්තා වටේ guard එකට ඉන්න රාජ පුරුෂයොත් නැතුවම. එතකොට රජතුමා දැක්කා කළුවරේම කවුද පොරක් උද්‍යානේ හරහා රජ මාළිගාව පැත්තට එනවා.

රජතුමාත් හොරෙන්ම බලන් හිටියා මොකද වෙන්නේ කියලා. කලුවරේ ආපු මනුස්සයා අග බිසවගේ කාමරේට ගොඩවෙනවාත් රජතුමා දැක්කා. රජතුමාට මේක දැකලා "නහුතෙට" තද වුණා. දෙන්නම් උඹට බැටේ කියලා හිතලා යන්න හදද්දිම රජතුමාට මතක් වුණා "ඉවසූ බලේ දහස් වටී" කියන එක.

මේ කලුවරේම හොරු අල්ලන්න ගිහින් සමහර විට අර ආපු හොර මිනිහගෙන් පාරක් කාලා මැරෙන්න වෙයිද දන්නෙත් නැහැනේ. කෝකටත් පරිස්සම්නේ කියලා හිතලා රජතුමා හෙමින් සැරේ තමන්ගේ සිරියහන් ගබඩාවට ගිහින් ටීවී එකත් off කරලා නිදාගත්තා :) හෙට උදේට දෙන්නම් බැටේ කියලා හිතලා.

පස්සේ රජතුමා උදේම රාජ සභාවට ඇවිත් අග බිසව කැඳවලා ප්‍රශ්න කරලා ඇයට දඬුවම් දුන්නා වගේම එයාගේ හොර පුරුෂයාව හිස ගසා මරා දැම්මා.

ඊට පස්සේ තමන්ට ලොකු උපකාරයක් වුණු කවිය කියලා දුන්නු සිටු පුතාව ගෙන්නලා ස්තුති කරලා වස්තුව දීලා රාජ සභාවේ නිලමක්කාරයෙක් විදිහටත් පත් කරගත්තා.

ඊට පස්සේ හැමෝම සතුටෙන් ජීවත් වුණා :)

ප.ලි.: එකෝමත් එක කාලෙක හිටිය රජ කෙනෙක් බැරි මරගාතේ ලියපු "කරගල ගගා එනවා මම නොදනිම්ද" කියලා කියව කියවා ඉදලා මරණෙන් ගැලවුණු හැටි ඔයාලා දන්නවා ඇතිනේ :)

21 comments:

  1. දැන් රජවරැත් ඔය කවි අහනවනම් හොඳයි.

    ReplyDelete
  2. මාර සීන් එක... අර අනිත් කතාවක් ලියහංකෝ කම්මැලිකම තියලා...

    ReplyDelete
  3. මරු කතාව.. නියමෙටම ලියලා තිබේ.. අනිත් එකත් ලියපන්...

    ReplyDelete
  4. මේකනම් අහල තිබුන... අර පලියෙන් දාල තියෙන එක අහල නෑ... ඒකත් ලියපන් මචෝ වෙලාව බලන්නෙ නැතුව

    ReplyDelete
  5. අනිත් කථාවත් ලියන්න මල්ලී, ( සිටුවරු දුප්පත් වෙන හැටි දැන ගත්තෙත් අද !! )

    ReplyDelete
  6. පව් අර කොටු පැන්න එකා ගැන මටදුකයි...

    ReplyDelete
  7. සිටුවර මොන්ත ක්‍රිස්තෝ ඇරෙන්න වෙන එකෙක් ගැන අහල තිබුනේ නෑ නොවා එල ආ ප.ලි කථාවත් ලියමු

    ReplyDelete
  8. මගේ බ්ලොග් එකේ නමත් "ඇවිද්ද පය". ඒත් මම මේ කථාව මීට කලින් අහල තිබුණේ නෑ. පරණ කථාව අද කාලයට ගැලපෙන විදිහට ඔයා ලස්සනට ඒක ගලපලා තියෙනවා.

    ReplyDelete
  9. ඔය වගේ අප අතර පාවිච්චි වෙන ජන කවි වටා ගෙතුන ඉතිහාස කතා තියෙනවා නේද?

    අද කතාව හොඳයි..අර පලියෙ කියපු කතාවත් කිව්වානම් .. ඒක ජාතක කතාවක් නේද?

    ReplyDelete
  10. මමත් මේ කතාව පොඩ්ඩක් වෙනස්ව අහලා තියෙනවා. ඒ කියන්නෙ අර සිටු තුමා මැරෙනකොට පුතාට කියනවා ඇඳේ කකුල් හතර යට අගනා වස්තුවක් තියෙනවා කියලා. පුතා මේක හාරලා බලනකොට කවිපද හතර හම්බුවෙලා එයාට වටිනා කම නොපෙනුණාට තාත්තාගේ වචනයේ වටිනා කමක් තියෙන්නම ඕනෙ කියලා තමයි රජතුමාව හම්බු වෙන්න යන්නේ....
    හ්ම්ම් ... අර ප.ලි යෙ තියෙන කතාව මම එක පාරක් මගේ බ්ලොග් එකේ ලිව්වා මතකද? දුෂ්ට ඇමතිවරුන්ගේ ඉරණම(සුරංගනා කතාවකි.)

    ReplyDelete
  11. කලින් කතාව අහලා තිබුනත් වැඩි විස්තර සහිත අළුත් වර්ශන් එක අදනෙ ඇහුවෙ..හැබැයි ඔය කවිටික අදටත් වටිනවා...

    ReplyDelete
  12. හරිම ලස්සනයි. මම හිතුවා රජතුමාගේ ලෙඩත් අඩු උනා කියලා එහාට මෙහාට ඇවිද්ද පාර.

    ඊලඟ කතාවත් කීවනම්!!!

    ReplyDelete
  13. ගොඩක් අග බිසවුන්ට දඩුවම් දුන්නට පස්සේ රජතුමාට සතුටින් ජීවත් උනෑකි. මම මේ කතාව දැඅගෙන උන්නේ නෑ. ඒ නිසා ගොඩක් වටිනවා මේ කතාව කියවන්ඩ ලැබිච්ච එක.

    ReplyDelete
  14. අනිත් කතාවත් ලියමු.. මම මේක ඇහුවේ අද..

    ReplyDelete
  15. rajathumata anthappure ganu parana godak innathi na..??

    *podi gamaya*

    ReplyDelete
  16. කථාව හරිම රසවත් විදිහට ලියලා තියෙනවා.ඒ වුණාට මල්ලි පින්තූරේ පාද නම් ඇවිදලා තියා හිතලවත් නැති පාටයි..මේ දැන් බිම පය ගහලා තියෙන්නේ...අනිත් කථාව නම් මාත් අහල් නැහැ.ඒකත් ලිව්ව නම් හොදයි නේ...

    ReplyDelete
  17. අහලා තියෙනවෝ.... ඒත් නිව් වර්ශන් එක ලස්සනයි.. :)))

    ReplyDelete
  18. නිදිමරුවා දහස් වටි වුනාට ටි වී එකේ මරගාත බැලුවොත් නම් සත පහක් නොවටී....D .....අලුත් වර්ෂන් එක අපුරුයි . මල්ලිගේ මේ දේශීය දේවල් මිශ්‍ර කරලා සියුම් උපහාසයකුත් එක්ක කතන්දර කියන්න හැකි වීම වෙනස්ම හැකියාවක් මන් හැමදාම අගය කරන . මගේ බ්ලොග් එකේ සේරම පරණ ලිපි කම්මැලි නැතුව කියවල වටිනා කමෙන්ට් ටිකක් දාල තිබුන . මටත් වැඩ වැඩි සහ අසනීප වීම නිසා සේරටම උත්තර දෙන්නත් බැරි වුනා . ගොඩක් ස්තුතියි මල්ලි .
    තව එකක් මේ රජවරු හරි මෝඩයි . බිසෝවරු ගොඩක් තියාගෙන පරිස්සම් කරන්න හදපු එක . හැබැයි ගොඩක් වෙලාවට නීති කඩකරලා තියෙන්නේ අග බිසවමයි .

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................