Saturday, March 10, 2012

චිත‍්‍රයක් කියන්නේ වචන 1000+ Vista Painting Exhibition


"කීයක් වෙනවද මේ චිත‍්‍රය?" මටත් නිකම් ඉන්න බැරුවට කට කහනවා වගේ නිසා ඇහුවා.

අඩි එකහමාරක් විතර දිග පළල තියෙන පරණ වගේ ලී කෑල්ලක නුවර යුගයේ චිත‍්‍රවල තියෙන විදිහට බුදු රුවක් ඇදලා තිබුණා.

"ඒක රුපියල් 2000 සර්" මම නිකම් හොල්මන් වුණා වගේ

ඊට එහා පැත්තෙන් අඩි 7 ක් විතර දිග අඩි 5 ක් විතර පළල චිත‍්‍රයක් තිබුණා ඇත්ගොව්වෙක් එක්ක අලි රංචුවක් ඉන්න. ඒකේ ගාණත් අහන්න මුලින් හිතාගෙන හිටියත් මේ උත්තරෙන් පස්සේ ආයි පාරක් ඇණ ගන්නේ මොකද කියලා හිතලා මම කට පියාගෙන හිටියා :)

මේ සිද්ධිය වුණේ ගිය අවුරුද්දේ තිබුණු කලා පොළට ගිය වෙලාවේ. ලංකාවේ ඉන්න කලාකාරයෝ හුඟක් තමන්ගේ හැකියාවන් පෙන්නලා ඒක මිළ කරලා කිසියම් මුදලක් උපයා ගන්න කලා පොළට ඇවිත් තිබුණේ.

චිත‍්‍රවල ගාණ වැඩියි කියලා මුලින් තිබුණු කතාවෙන් හිතෙන්නත් පුලූවන්. ඒත් නීතීඥයා නඩුවක් කතා කරලා දිනනවා වගේ වෛද්‍යවරයා බෙහෙත් කරලා ලෙඩෙක් සනීප කරනවා වගේ කලාකරුවා එහෙමත් නැත්නම් මේ කතාවේ හැටියට චිත‍්‍ර ශිල්පීන් තමන්ගේ හැකියාවෙන් මිනිස් සිත් සුවපත් කරන්න මෙහෙයක් කරනවා. එතකොට තමන්ගේ මහන්සියට, නිර්මාණයේ තියෙන තත්වයට එහෙම ගණන් කියන එකේ වරදකුත් නැහැ.

මිනිසාගේ ආරම්භයත් එක්කම මිනිසාට මුල්කාලීනව භාෂාවක් කියලා එකක් තිබුණේ නැතත් තමන්ට එදිනෙදා මුහුණ පාන්න සිද්ධවුණු සිදුවීම් තමන්ගේ සගයන්ට විස්තර කරන්න අවශ්‍ය වුණා. තවත් විදිහකින් කිව්වොත් "මං පොර ජාතකයේ මුල්ම අවධිය" ඒක වෙන්නත් පුලූවන් :)


කොහොම නමුත් ආදි මානවයා රෑට ගිනිමැලේ වටේට වෙලා ඉද්දී අංග චලනයෙන් කටින් නොයෙක් ශබ්ද දමමින් තමන්ගේ මේ එදා කතාව කියන්න උත්සහ කරලා තියෙනවා. නාට්‍යය කියන එකත් ආරම්භ වුණා කියන්නේ ඒකෙන් කියලා තමා කියන්නේ.

ඒ වගේමයි ආදි මානවයා කටින් එක එක ආකාරයේ සද්ද බද්ද දැම්මා වගේම එක එක ජාතිවලට තට්ටු බට්ටු දාලා සද්ද නිපදවලා තියෙනවා. සංගීතය කියන විෂයත් ඒ විදිහට ආරම්භ වුණාලූ.

ඒ වගේමයි කලින් කිව්ව එක එක ජාතියේ සද්දවලට ආදි මානවයා ගිනිමැලේ වටේ කරන දැඟලිලිවලින් නර්තනයත් ඇතිවුණාලූ.

අන්තිම එක තමයි චිත‍්‍ර කියන එකත්. තමන්ට එදිනෙදා ජීවිතයේදී මුහුණ දෙන්න වුණු සිද්ධි එක එක මාධ්‍ය පාවිච්චි කරලා අඳින්න, කැටයම් කරන්න ආදි මානවයා සමත් වුණා.


අද මාතෘකාව මෙන්න මේ චිත‍්‍ර ගැන.

ඒ විදිහට ආරම්භ වුණු චිත‍්‍ර කලාව එක එක අංශවලින් ඉදිරියට ආවා. ඒ වගේමයි එක එක රටවල්වලට, සංස්කෘතීන්ට, ආගම්ලවලට අනුවත් චිත‍්‍ර කලාව කියන එක විවිධාකාර වුණා.

ලංකාව ගැන කතා කළොත් ප‍්‍රාග් මානවයාගේ චිත‍්‍රවල ඉදන් සීගිරිය, දිඹුලාගල වගේම ගල්විහාරේ තියෙන මූල ශිෂ්ටාචාරවල චිත‍්‍ර වගේම ඊටත් පසුකාලීනව අද දක්වාම හොඳින් සුරක්ෂිත වෙලා තියෙන මහනුවර යුගයේ චිත‍්‍රත් අපිට දැකගන්න පුලූවන්.

ඊටත් පස්සේ නූතන යුගයේ චිත‍්‍ර විදිහට සෝලියස් මැන්දිස්, ජෝර්ජ් කිට් වගේම මංජු ශී‍්‍ර වගේ ප‍්‍රවීණයන්ගේ චිත‍්‍ර අපිට අමතක කරන්න බැහැ. ඒ පරම්පරාවල නූතන උරුමක්කාරයන්ගේ පරපුරේ වැඩක් ගැන කියන්න තමයි මේ සූදානම.


කැලණිය විශ්වවිද්‍යාලයේ එහෙමත් නැත්නම් අපේ Campus එකේ ලලිතකලා අධ්‍යයනාංශයේ දෘශ්‍ය කලා, සැලසුම්කරණ හා ප්‍රසාංගික කලා අධ්‍යයන ඒකකයේ [DMAT Unit එකේ] විශේෂවේදී දෙවන වසර අපේ යාලු මිත්‍රාදීන්ගේ කලා හැකියාවන් ප්‍රදර්ශනය කරන්න මේ වසරෙත් විස්ටා චිත්‍ර ප්‍රදර්ශනය මාර්තු 12 සිට 14 වෙනකම් Campus එකේ සේනක බණ්ඩාරනායක ශාලාවේදී එහෙමත් නැත්නම් කැම්පස් ව්‍යවහාරෙට අනුව "ක්‍රිස්ටෝ" එකේදී පැවැත්වෙනවා.

ඉතින් චිත්‍ර කලාවට හිතැති, කැමති හැමෝටම වගේ අපේ DMAT යාලුවෝ වෙනුවෙන් ආරාධනා කරනවා මේ ප්‍රදර්ශනය බලන්න එන්න අපේ අයට හයියක් වෙන්න.....

ඒ වගේමයි මතක් කරන්න ඕනේ විස්ටා ප්‍රදර්ශනය කියන්නේ සාම්ප්‍රදායික විදිහට කැන්වසය මතට විතරක් සීමාවුණු නිර්මාණ ඉදිරිපත් කරන ප්‍රදර්ශනයක් නම් නෙමේ කියන එක. පහළින් තියෙන සිංහ මූර්තිය ඒකට පොඩි උදාහරණයක් විතරයි...


ඉතින් ඒක නිසා එන්නම ඕනේ :)

ඉතින් ඔබේ පැමිණීම මේ සබැඳියෙන් ගිහින් තහවුරු කළා නම් තවත් හොඳයි

ප.ලි.: මේත් තවත් ආරාධනාවක්. අපේ Campus එකේ සිංහල අධ්‍යයනාංශයේ සිංහල සංගමය සංවිධානය කරන "කවි මඩුවක් වගේම කවි සංවාදයක්" කවීන්ද්‍ර ජී.එම්. අජිත් ප්‍රමුඛ ජනප්‍රිය කවියන්ගෙන් හා කිවිඳියන්ගේ සහභාගීත්වයෙන් මාර්තු 13 වෙනිදා අඟහරුවාද හවස 2 ට කැලණිය විශ්වවිද්‍යාලයීය ශ්‍රී ධර්මාලෝක ශාලාවේදී [DH එකේදී] පැවැත්වෙනවා.

හෙළ කව් අඹරේ සිරි අසිරිය විඳින්නට
කවියට පෙම් බඳින හිතවත් ඔබ සැමට
ඇරයුම් කරමු 13 කුජ දින දෙකට
එනු මැන රසවතුනි ධර්මාලෝකයට

කවියට හිතැති, කවියට ආදරය කරන ඔබටයි ඒ ආරාධනාව.........

ඉතින් ඔබේ පැමිණීම මේ සබැඳියෙන් ගිහින් තහවුරු කළා නම් තවත් හොඳයි

ඕනේ නම් වන් රොක් ටූ බර්ඩ්ස් කියලා උදේ වරුවේ විස්ටා ප්‍රදර්ශනේ බලලා හවස් වරුවේ කවි මඩුවටත් ගොඩවෙලා යන්න එන්න පුලුවන් :))

දවස් ටික මතක තියාගන්න මාර්තු 12, 13, 14 තමා මේ වැඩ ටික ඔක්කෝම වෙන්නේ

ප.ප.ලි: මාධ්‍ය ඒජන්ත වුණාම ඒ වැඩත් අතරින් පතර කරන්න වෙනවානේ. ඒක නිසා කරගල ගාන්න ගිය රජතුමාගේ කතාව ඊළඟට බලාපොරොත්තු වන්න :)

11 comments:

  1. වටිනා ලිපියක්. චිත්‍ර ඔයිට වඩා ගනන්. කොටින්ම ලක්ෂ ගනන්. අපේ රටෙත්. හොඳ චිත්‍ර ශිල්පියෙක් උනොත් හොඳ සල්ලිකාරයෙක් වෙන එක සුළු දෙයක්. නමුත් අළුත් දෙයක් තියෙන්න ඕන

    ReplyDelete
  2. කළාව ගැන නම් කිසිම දෙයක් දන්නේ නෑ සහෝ...

    චිත්‍ර නම් ඔය වගේ ගණන් කියලා අහලා තියෙනවා..

    ReplyDelete
  3. සුභ පතනවා වැඩේට...කොහේ එන්නද අප්පා.....

    ReplyDelete
  4. චිත්‍ර ශිල්පියෙකුගේ හැකියාව මහන්සිය අනුව එහෙම දේකට ඒ වගේ මිලක් එන එක සාධාරණයි..

    ReplyDelete
  5. මේ අවුරුද්දේ කලා පොල තිබුණ ද? මම නොවරදාම යන තැනක්.. 2011,2010,2009 අවුරුදු 3 ම ගියා.. අවංකවම මම පුළු පුළුවන් හැම වෙලාවෙම ඔතනින් චිත්‍ර ගන්නවා.. හැම වීකෙන්ඩ් එකකම චිත්‍ර තියෙනවනේ.. වැඩිය ලොකු ගණන් වල ඒව නෙවෙයි 1,000-3000 අතර වගේ ඒව 5-6 මේ වෙනකොට ගත්තා.. ඒ මට තියෙන උණ නිසා සහ චිත්‍ර අඳින අපේ කොල්ලන්ට කෙල්ලන්ට උදව්වක් විදියට..
    මේ තියෙන්නෙ මම බලන්න ගිහින් දාපු පෝස්ට් වගයක්.. ගිය අවුරුද්දේ බලන්න ගියාට පෝස්ට් එකක් දාන්න බැරි උණා.. මේ අවුරුද්දේ තියෙන දවසක් දන්නවනම් කියන්න..
    http://biththiya.blogspot.com/2010/02/blog-post_21.html

    http://biththiya.blogspot.com/2009_01_01_archive.html

    ReplyDelete
  6. කොළඹ පැත්තෙ වත් හිටියනං එන්න තිබ්බා. පුලුවන් උනොත් එන්නම්. එල එල.

    ReplyDelete
  7. එන්නම්කෝ. අර මුණ බලාගෙන අඳින අය ඉන්නවාද?

    ReplyDelete
  8. සිත්තර සෑහෙන ගණන් නේ !

    ReplyDelete
  9. මමත් කියන්නෙ මහන්සිවෙලා කර නිර්මාණ හොරු ගන්න අද කාලෙ , සිත්තරාට අයිතියක් තියෙන්න ඕනා සෑහෙන මිලක් නියම කරන්න. ඔය කලා පොළෙන් රුපියල් දෙතුන් දාහට ගන්න චිත්‍ර ,විසි තිස් දාහට ආපහු විකුණනවලු කිසිම කැතක් නැතුව.

    ReplyDelete
  10. මේක ටිකක් කනගාටුදායක තත්වයක් . අපි චිත්‍ර වලට ආසයි . ඒත් සල්ලි තිබුනත් චිත්‍රයක් මිලටඅරන් බිත්තියේ ගහගන්න සංස්කෘතිය අපෙන් තව ගොඩක් ඈතයි කියලා මට හිතෙනවා . සීගිරියේ ගල් බිත්ති වල චිත්‍ර ඇන්ද ජාතියක් මේ අතින් පරිනාමයේ යම් පසු බෑමකට ලක් වෙලාදෝ මට හිතෙනවා . මන් ඉස්සර ඔය චිත්‍ර ප්‍රදර්ශන බලන්න ඔහේ තනියම රස්තියාදු වුන කාලයක් තිබුන . [ පස්සේ කලෙක දෙන්න එක්ක ] හැබැයි ඒ කාලේ චිත්‍රයක් ගන්න සල්ලි තිබුනේ නැති කාලයක් . රුපියල් 2000 ක් කියන්නේ පිටරටක නම් පොඩි මුදලක් . ඩොලර් 20 කටත් අඩුයි . ඒත් අපේ රටේ ඒක අපිට ලොකු ගානක් . අපේ ආර්ථිකය නිසා වෙන්න ඇති . කැන්වස් , පාට වලට මිලක් තියල ශ්‍රමය සලකල බැලුවම හරිම පුංචි ලාබයක් ඇත්තේ . අපි සමහර විට වෙන දේවල් වලට ලෝබ නැතුව වියදම් කරයි චිත්‍රයක් ගන්න පසු බානගමන්. .

    ReplyDelete
  11. මටනම් හිතෙන්නේ ඔය ගාන සාධාරණ ගානක්.

    මම හසිතගේ මේ බ්ලොග් එක ගැන දැනගන හිටියේ නැහැනේ.. මම කියවන්නේ, බ්ලොග් රෝලේ දාගන ඉන්නෙත් E-අටුවාව විතරයි. හරීගෙන් තමා මෙහෙට පාර අහගත්තේ..

    දිගටම එන්නම්.

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................