Saturday, March 31, 2012

අපේ අප්‍රකට ඉතිහාසය ගැන දැනගමුද ???


රටක ඉතිහාසය නිසා ඒ රටේ අයට අභිමානයක් ඇතිකරගන්න පුලුවන් වෙනවා වගේම ඒ ඉතිහාසය නිවැරදිව ඉගෙන ගන්න එකෙන් වර්තමානයට වගේම අනාගතයටත් සාර්ථකව මුහුණ දෙන්න පුලුවන් වෙනවා කියන එක අපි දන්න දෙයක්.

ඉස්සරට වඩා අපේ රටේ ඉතිහාසය ගැන දැන් කාලේ නම් හුඟක් කතා වෙනවා. ඓතිහාසික බඩු බාහිරාදිය සොරකම් කිරීමත් එක්ක ඉතිහාසය ගැන කරළියට එනවා. ඒත් දවස් 14 කට විතරයි :)) ඊට පස්සේ අමතකයි.

ඒ වගේමයි නව ඓතිහාසික කරුණු සොයාගැනීමත් එක්කත් ඉතිහාසය කියන එක අපේ කතා බහට ලක්වෙනවා. එකේ පවා ඉතිහාසය සම්බන්ධව කතා කරන්න සමූහය කීපයක්ම පවතිනවා නොවැ :)

ඉතින් අද කතාවට ආවොත් සාහිත්‍ය මූලාශ්‍රය සහ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය මත ගොඩනගන ඉතිහාසයේ තවත් අප්‍රකට කතාත් රැසක් සැඟවිලා තියෙනවා... ඉතින් මේ කතා මාලාවේ බලාපොරොත්තුව ඒ වගේ අප්‍රකට පවතින කෝට්ටේ සහ මහනුවර රාජධානි සමයේ කතා කීපයක් කියන්නයි.

කතා ගොඩක් තියෙන නිසා පාඨක ඡන්දය යටතේ තමයි කතා කියන්න කියලා හිතුවේ. මෙන්න මේ වෙනකොට තියෙන කතා ලැයිස්තුව

1. රාජද්‍රෝහියෙකු වී මරණ දඬුවමින් ගැලවුණු සරණංකර සංඝරාජ හාමුදුරුවෝ
2. II රාජසිංහ රජුට රූපයෙන් සමාන වූ අළුවිහාරේ නිලමේ
3. තම පුතුට වස නොදුන් II රාජසිංහ රජතුමා
4. අවසන් සිංහල රජුට සිටි සිංහල පුත් කුමරා
5. සෙනරත් රජු දමා පෘතුගීසීන් වෙත පලා ගිය දෝන කතිරිනා
6. පිතෲ ඝාතක නොවූ සීතාවක රාජසිංහ රජතුමා
7. අතේ පිච්චිය නැතිව මියගිය ධර්මපාල රජතුමා
8. සෙනරත් මරා දැමූ I විමලධර්මසූරියගේ පුත් කුමරා

මේ කතා ලැයිස්තුවට තවත් කතා එකතු වෙන්න පුලුවන්. ඒත් දැනට සිහියට එන්නේ මේ ටික විතරයි. ඉතින් මේ කතාවලින් මුලින්ම කියන්න ඕනේ කතා මුල සිට අනුපිළිවෙලට පෙළ ගස්වන්න ඔයාලට පුලුවන්. ඒ අනුව වැඩිම පාඨක මනාපය තියෙන කතා මුලින්ම කියන්නයි බලාපොරොත්තුව

ඉතිහාසයේ අප්‍රකට සිදුවීම දැනගන්න එකෙන් ඉතිහාසය ගැන ලාංකිකයන්ගේ උනන්දුව වැඩිවෙයි කියලා හිතෙනවා. මේ ඒ සඳහා කෙරෙන සුළු ව්‍යායාමයක් :)

ඡායාරූපය : සෙනරත් රජතුමා මරාදැමූ විමලධර්මසූරියගේ පුත් කුමරුගේ ආදාහන උත්සවය

Saturday, March 24, 2012

The Reader තුළින් හෙලිවන නිර්සාක්ෂරතාවයේ අන්දරය


1922 ඔක්තෝබර් 21 දී ජර්මනියේ හර්මන්ස්ටඩ්වල උපත ලබපු හනා ස්මිට්ස් සීමන්ස් කම්හලේ රැකියාවකට යනවා. ෆෝමන්වරියක් විදිහට උසස්වීමක් ලැබුණත් හනා සීමන්ස් කම්හලෙන් ඉවත්වෙලා හිට්ලර්ගේ එස් එස් හමුදාවේ සිරකරුවන් භාරව සිටින ගාඩ්වරියක් විදිහට සේවයට එක් වෙනවා. හිට්ලර්ගේ තුන්වෙනි අධිරාජ්‍ය සිහිනය බිඳ වැටීමත් සමඟම සිරකරුවන් එක්කම බටහිරට යන හනා බටහිර ජර්මනියේ වාසය කරන්න පටන් ගන්නවා.

එහි වාසය කරද්දී මයිකල් බර්ග් කියන අවුරුදු 15 තරුණයාව හනාට හමුවෙන්නේ මයිකල්ව රතු උණෙන් අසනීප වෙලා ගෙදර එනකොට. අවසානයේදී අවුරුදු 15 මයිකල් සමඟ අවුරුදු 30 කට ආසන්න හනා අතර ලිංගික ඇසුරක් ඇතිවෙනවා.

දිනපතා වගේ හනාගෙන් ලිංගික සතුටක් ලබන්න මයිකල් පුරුදු වෙනවා. ටික දිනකින් මයිකල්ගේ අධ්‍යාපන කටයුතු ගැන හනා විමසන නිසා ඒ ඇසුරෙන් තමන්ට ඇහෙන්න මයිකල් ලවා කතන්දර පොත් කියවගන්න හනාට පුලුවන් වෙනවා.


හනා මේ වෙද්දී ට්‍රෑම් රථ කොන්දොස්තරවරියක් විදිහට වැඩ කරනවා. හනාට ට්‍රෑම් රථ කාර්යාලයට උසස්වීමක් ලැබීමත් එක්කම හනා එක්වරම අතුරුදහන් වෙනවා. මයිකල් තමන්ගේ පෙම්වතිය නැතිවීම ගැන හුඟාක් කම්පාවට පත්වෙනවා.

අවසානයේදී මයිකල්ට නැවත හනාව හමුවෙන්නේ ඊට වසර ගණනාවකට පස්සේ නාසි වධකාගාරයන් තුළ වුණු අපරාධවලට සම්බන්ධ වුණු අයට දඬුවම් පැමිණවීමට තිබුණු නඩු විභාගයකදී. නීති සිසුවෙක් ලෙස මෙතනට එන මයිකල්ට හනාව හමුවෙන අතරම නඩු විභාගයේදී හෙළිවෙන්නේ හනා අවුස්විට්ස් වධකාගාරයේදී දුර්වල, සුකුමාල ගැහැණු ළමයින්ට වැඩි සැලකිල්ලක් දැක්වූවා වගේම ඔවුන් ලවා පොත් කියවා ගත් බව.

අවසානයේදී හනාට පමණක් වැඩි දඬුවමක් හිමිවෙන්නේ අනිත් විත්තිකාරියන් හනා ඔවුන්ගේ නායිකාව බව කීමත් ඒ වගේම සිරකරුවන් රැසක් මියගිය සිදුවීමක් සම්බන්ධ වාර්තාවක් හනා ලිවූ බව කීමෙනුත්.තමා එම වාර්තාව ලිවූ බව හනා පිළිගැනීමත් එක්කම තමා මේ තත්වය ගොඩ නැගෙන්නේ. ඉතින් හනාට ලැබෙන දඬුවම තමයි ජීවිතාන්තය දක්වාම සිර දඬුවම් නියමවීම.

මේ විදිහට කෙටියෙන් මම කිව්වේ ජර්මන් ජාතික බර්නාඩ් ස්ලින්ක් ලියූ Der Vorlesser කෘතියේ අවසානය අත් ඇරලා මුල් කොටස් ටික. පසුව 2008 වර්ෂයේදී මේ කෘතියෙන් ස්ටෙෆන් ඩැල්ඩ්‍රයි The Reader කියන චිත්‍රපටිය නිර්මාණය කරනවා



ඉතින් ඉහත දක්වපු කතාවේ සෑම ප්‍රධාන සිද්ධියක් ඇතුළෙම තියෙන සැඟවුණු කතාව තමයි හනාගේ නිර්සාක්ෂරතාව. තවත් විදිහකින් කිව්වොත් හනාට කියවීමට හෝ ලිවීමට හෝ තිබුණු නොහැකියාව.

සීමන්ස් ආයතනයෙන් ලැබුණු උසස්වීම ඇය ප්‍රතික්ෂේප කරන්නේත් අවුස්විට්ස් වධකාගාරයේදී ගැහැණු ළමුන් ලවා පොත් කියවා ගන්නේත් බටහිර ජර්මනියේදී මයිකල් බර්ග් ලවා පොත් කියවා ගන්නේත් ට්‍රෑම් රථ කාර්යාලයට ලද උසස්වීම ප්‍රතික්ෂේප කරන්නේත් අවසාන වශයෙන් ඇයට වැඩි වරදක් පැටවෙන වාර්තාව ලියපු බවට අසත්‍ය ප්‍රකාශයක් කරන්නේත් ඇයට නිර්සාක්ෂරතාවක් තිබුණ නිසා.

ඒත් කිසිම අවස්ථාවක ඇය ඒක හෙළිකරන්නේ නැත්තේ ජර්මන් ජාතිකයෙක් විදිහටත් එස් එස් සෙබළියක් විදිහට ඇය තුළ ගොඩනැඟී තිබුණු ආත්මාභිමානය නිසා....

මේ කතාවත් එක්කම හනාට සාක්ෂරතාවක් තිබුණා නම් කියන ප්‍රශ්නය රසිකයන්ට කතුවරයා මතු කරන අතරේම මේ කතාව තවත් ආකාරයකට ගොඩනගන්න රසිකයන්ට පාරක් විවර කරනවා. ඒ තමා හනාට සාක්ෂරතාවක් තිබිලා සීමන්ස් කම්හලේ උසස්වීම බාරගත්තා නම් කියන එක............

ඒ වගේමයි හනාට දඬුවම් ලැබෙන්න විශේෂයෙන් හේතු වෙන්නේ බටහිරට අරගෙන ගිය සිරකරුවන් රැසක් පල්ලියක සිර කරලා තියෙද්දී ඒ පල්ලියට එල්ලවන බෝම්බ ප්‍රහාරයකදී සිරකරුවන්ට පල්ලියෙන් එළියට එන්න ඉඩනොදීම නිසා ඔවුන් මරණයට පත්වීම නිසා. ඒ සිදුවීමෙන් ගැලවෙන මවක් සහ දුවෙක් තමා මේ කතාව පොතක් රචනා කිරීම මඟින් ලොවට හෙළිකරන්නේ

ඒ සිදුවීම වගේම වධකාගාරයේ හිටපු රෝගී සිරකරුවන් මරණයට ගිනි උදුනට යැවීම සම්බන්ධයෙනුත් හනා දෙන පිළිතුරු අවදානයට ලක් කරන්නම ඕනේ.

විනිසුරුවරයා : "රෝගී සිරකරුවන් ගිනි උදුන වෙත යැව්වේ ඔවුන් ඝාතනය කර දැමීමට කියලා ඔබ දැනගෙන සිටියේ නැත්ද ?"

හනා : "ඔව් අපි දැනගෙන සිටියා. නමුත් අලුතෙන් වධකාගාරය වෙත ගෙන එන සිරකරුවන්ට ඉඩකඩ සලසා දීම සඳහා අපිට ඒක කරන්න සිදුවුණා"

විනිසුරුවරයා : "ඔබ කියන්නේ අලුතෙන් ගෙනෙන ලද සිරකරුවන්ට ඉඩකඩ සලසා දීම සඳහා පෙර සිටි සිරකරුවන් ඝාතනය කර දැමීම සඳහා යැව්වා කියලද ?"

හනා : "එදා ඔබ මා සිටි තත්වයේ සිටියා නම් කුමක්ද කරන්නේ?"

විනිසුරුවරයා : "මේ ජීවිතේදී අපට මුහුණු දෙන්නට සිදුවන සමහර දේවල්වලින් අපගේ ජීවිතයට අනතුරක් සිදුවන්නේ නම් ඒවායින් අපි ඈත් වී සිටිය යුතුයි"

හනා : "ඒ කියන්නේ මම සීමන්ස් කර්මාන්ත ශාලාවේ රැකියාවට ගිය එක වැරදිද?"

මේ තමා පල්ලියේ වූ සිදුවීම ගැන හනාගේ පිළිතුරු

විනිසුරුවරයා : "ඇයි ඔබ පල්ලියේ දොරවල් විවෘත නොකළේ?"

හනා : "අපට වෙන විකල්පයක් තිබුණේ නැහැ"

විනිසුරුවරයා : "ඔබට වෙන විකල්පයක් තිබුණේ නැහැ"

හනා : "ඒ වෙනකොට අප අතර සිටි සමහර දෙනා මියැදිලා. ඉතිරිව සිටිය නිලධාරීන් තුවාලකරුවන් අරගෙන රෝහලට ගියා. එනවා කියලා තමයි ගියේ. ඒත් ඒ අය ආපහු නො එන්න තීරණය කරලයි ගියේ"

විනිසුරුවරයා : " ඉතින් ඔබ මොකද කළේ?"

හනා : "ඇත්තෙන්ම ඒ වෙලාවේ මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරි තත්වයක අපි හිටියේ.......... අපි කොහොමද මේ තරම් සිරකාරියන් ප්‍රමාණයක් රැකබලා ගන්නේ. අපි ඒ වෙලාවේ පල්ලියේ දොරවල් ඇරියා නම් ඔවුන් කඩාගෙන බිඳගෙන එළියට එනවා"

විනිසුරුවරයා : "සිරකාරියන් ඔබලාට අතවරයක් කරයි කියලා බියක් දැනුණද?"

හනා : "ඇත්තෙන්ම එහෙම වෙන්නට ඉඩ තිබුණා. අපි ඒ වෙලාවේ පල්ලියේ දොරවල් ඇරිය නම් විශාල කලබැගෑනියක් වෙන්නට තිබුණා. ඔවුන් පැනලා යන්නට උත්සහ කරන්නට ඉඩ තිබුණා. එහෙම වුණා නම් අපිට ඒ තත්වය පාලනය කරගන්නට බැරිව යනවා."

විනිසුරුවරයා : "සිරකාරියන් පැනලා යයි කියලා ඔබට බයක් දැනුණද? මොකද එහෙම වුණා නම් නාසි ඔබව වරදකාරියක් කරලා ඝාතනය කර දමන්නට ඉඩ තිබුණු නිසා"

හනා : " එවැනි තත්වයක් උද්ගත වුණත් සිරකාරියන්ට පැනලා යන්න දෙන්න අපිට පුළුවන්කමක් තිබුණේ නැහැ. ඔවුන් බලා ගැනීම අපිට පැවරිලා තිබුණු වගකීමක්. පසුගිය කාලය තුළත් මේ දක්වා පයින් ආ ගමෙන්ත් අපි ඔවුන්ව බලා ගත්තා. ඔවුන්ට පැනලා යන්න දීලා බලාගෙන ඉන්න එක නෙමේ, ඔවුන්ට පැනලා යන්න නොදී ආරක්ෂා කර ගැනීමයි අපට පැවරිලා තිබුණු වගකීම.

ඒ අවස්ථාවට ඔබ මුහුණ දුන්නා නම් ඔබ කරන්නේ කුමක්ද ?
"

මේ ප්‍රකාශවලින් පෙනෙන්නේ හනා තමන්ගේ වගකීම එසේත් නැතිනම් තමන්ගේ රැකියාවේ කාර්යය භාරය ඉටුකර ඇති ආකාරයයි.

එහෙම නම් තමන්ගේ රාජකාරිය මැනවින් ඉටුකිරීමද හනා කළ වරද ? එසේත් නැතිනම් පිළිගත් සදාචාරයට එරෙහිව තම රාජකාරිය ඉටුකිරීමද හනා කළ වරද ? මේ ආකාරයෙන් හනා වරදකාරියක්ද නැත්ද යන ගැටළුවට රසිකයා හසුකිරීමට කතුවරයා සමත්ව තිබෙනවා.


මෙහිදී හනා මයිකල් සමඟ සබඳතාව පැවති සමයේ මයිකල් කරපු ක්‍රියාවක් නිසා මයිකල් සමාව ඉල්ලුවත් හනා එයට පිළිතුරු බඳින්නේ

"සමාව ඉල්ලන්න එපා. කිසිම කෙනෙක් සමාව ඉල්ලිය යුතු නැහැ"

මේ පිළිතුරෙන් ගම්‍ය කරන්නේ මේ ප්‍රකාශය කියලයි මට හිතෙන්නේ

කිසිම පුද්ගලයෙක් වැරදි නැත. සෑම පුද්ගලයාම ක්‍රියා කරන්නේ ඒ අවස්ථාවේදී ඔහුට ක්‍රියාකළ හැකි ආකාරයෙන්ය. ඒ අනුව බැලීමේදී කිසිවෙක් වැරදි නැත.

කතාවේ ඉතුරු කොටස ගැන කිව්වොත් මයිකල් ඒ කාලයේදීම විවාහ වෙනවා. හනා ගැන කිසිම දෙයක් තමගේ බිරිඳට මයිකල් නොකිව්වත් හනා සමඟ තමන්ගේ බිරිඳ නිතරම සංසන්දනය කරන්නට මයිකල් උත්සහ කරන නිසා සිදුවෙන්නේ බිරිඳ කරන හැම දේකම වැරැද්දක් මයිකල්ට පෙනෙන එක

ඒ නිසා මයිකල් ඇයගෙන් දික්කසාද වෙන්න තීරණය කරනවා. මේ තත්වය සාමාන්‍ය මනෝ භාවයක්. කලක් සමීපව සිටි අයෙක් එහෙමත් නැත්නම් හදවතේ සමීපව සිටිය අයෙක් වෙනුවට වෙනත් අයෙක් ඒ ස්ථානයට ආවොත් ඒ වගේම අනික් හුඟාක් අවස්ථාවලත් කලින් හිටි එක්කෙනාගේ කටයුතුත් එක්ක අලුතින් ආපු කෙනාගේ කටයුතු සංසන්දනය කරන එක මිනිසාගේ හැටි.

ඒ වගේමයි මයිකල්ගේ හිතේ හනා ගැන ලොකු ආදරයක් තිබුණත් ඒක අතීතයට එකතු වුණු දෙයක් විදිහටත් ඒකේ මිහිර විඳිනවා විනා ඒක ආයි සමීප කරගන්න මයිකල් උත්සහ කරන බවක් පෙනෙන්නේ නැහැ. ඒක පෙනෙන්නේ සිරගත වෙලා ඉන්න හනාව බලන්න එක දවසක්වත් මයිකල් යන්නේ නැහැ.

ඒත් දවසක් තමන් ඉස්සර හනාට කියවපු "ඔඩිසි" පොත දකින මයිකල් ඒ පොත කියවමින් ඒක පටිගත කරලා හනාට යවනවා. තමන්ගේ අතීතයේ මිහිර නැවතත් මයිකල් එහෙම විඳගත්තත් කිසිම ලියුමක් මයිකල් හනාට යවන්නේ නැහැ. ඒ විදිහට මයිකල් පොත් කීපයක්ම හනාට යවනවා. දවසක් මයිකල් බලාපොරොත්තු නොවුණු විදිහට හනාගෙන් ලිපියක් ලැබෙනවා

හනාගෙන් ලැබුණු ලිපියේ බොහොම කෙටි දෙයක් තියෙන්නේ.

ළමයෝ අර අන්තිමට එවලා තිබුණු කතාව නම් ඇත්තෙන්ම ලස්සනයි. ස්තුතියි

හනා

හනා කියවන්න ලියන්න පුරුදුවෙලා. මයිකල්ට ලොකු සතුටක් දැනෙනවා. මයිකල් එවන ටේප් පටිවලට අදාළ පොත් හොයාගන්න හනා ඒ අනුව එක එක වචනය ලියන විදිහ හඳුනගන්න දක්ෂ වෙනවා වගේම තමන්ගේ කියවීමේ හා ලිවීමේ හැකියාව ක්‍රමයෙන් දියුණු කරගන්නවා.

හනාගේ යහපත් හැසිරීම නිසා එයාව නිදහස් කරන්න තීරණය වෙන නිසා බන්ධනාගාරයෙන් කතා කරන්නේ හනා එක්ක සම්බන්ධ වෙලා හිටපු මයිකල්ට. හනා වසර 20 ක් සිරගත වෙලා හිටපු නිසා සමාජයට හුරු කිරීම, ඉන්න තැනක් සහ රැකියාවක් සොයා දීම මයිකල්ට බාරවෙනවා.


ඒවා හොයාගත්තු මයිකල් හනාව මුණගැහෙන්න බන්ධනාගාරයට යනවා. වයස්ගත වුණු හනාව දැකීමෙන් මයිකල් පුදුමෙට පත්වෙනවා. ඒ වගේමයි මයිකල්ගේ හැසිරීමෙන් හනා තේරුම් ගන්න දෙයක් තිබෙනවා. හනා අපේක්ෂා කළේ අතීතයේ තිබුණු ප්‍රේමනීය තත්වය මයිකල් සහ තමන් අතර ඇතිවෙයි කියලා.

ඒත් මයිකල්ගේ තත්වය ගැන නැවතත් ප්‍රශ්නයකට රසිකයාව යොමුකරන්න කතුවරයා සමත් වෙනවා. මයිකල් තමන්ගේ අතීතය මතක් කරන්න කැමතියි. ඒත් වර්තමානයේ ඒ තුළ ජීවත් වෙන්න අකමැතියි කියන එක බොහෝ වෙලාවට පෙනුණත් එහෙම නම් මයිකල් හනාට කතා ටේප් කරලා යවන්නේ ඇයි කියන ගැටළුවත් ඒත් එක්කම පැන නගිනවා.

කොහොම නමුත් කලින් හිටිය මයිකල් නෙමෙයි වෙනස් කෙනෙක් දැන් ඉන්න බව හනාත් තේරුම් ගන්නවා. චිත්‍රපටිය තුළ මේ සිදුවීම පෙන්වන්න උපයෝගී කරගන්නේ මයිකල්ට අල්ලා ගන්න හනා සුරත දිගු කිරීමත් ටික වෙලාවකින් මයිකල් ඒ අත අල්ලා ගෙන නැවත අත හැරීමෙන්

මයිකල් තමන් හනාට රැකියාවක්, ඉන්න තැනක් සොයාගත්තු බවත් කියලා ඇයව එක්කගෙන යන්න හිතාගෙන ඊළඟ සතියේ එද්දී දැනගන්න ලැබෙන්නේ හනා සියදිවි නසාගෙන තිබෙන බවයි. මයිකල් බන්ධනාගාර පාලකවරිය එක්ක කතා කරන සිදුවීම පෙළ අපූරුවට ගලාගෙන යනවා.

හනා නැවතිලා හිටපු කාමරය මයිකල් බලනවා වගේම තමන් උසස් පෙළ සමත්වුණු වෙලාවේ විදුහල්පතිතුමා සහතික ප්‍රදානය කරන ඡායාරූපය තිබුණු පත්තරේ හනා බිත්තියේ අලවා තිබීමත් මයිකල්ව කම්පා කරවනවා. ඒ වගේමයි හනා සිරගෙදර හිටපු අවුරුදු 20 තුළම මයිකල් එවපු ටේප්වලට අමතරව මයිකල්ගෙන් ලියුමක් හනා බලාපොරොත්තු වුණු බවත් මයිකල් දැනගෙන්නවා


හනා තමන්ගේ අවසන් කැමැත්තෙන් තමන් සතුවුණු මුදල් නාසි සමයේ පල්ලියේ ඛේදවාචකයෙන් දිවි ගලවාගන්න දරුවාට ලබාදෙන්න කියලා. ඒ වගේමයි මයිකල්ව ආදරයෙන් මතක් කරන බවත් ඇගේ ලිපියේ තිබෙනවා. මයිකල් හනාගේ කැමැත්තට ඒ මුදල් අදාළ කාන්තාවට භාරදෙන්න ගියත් ඇය ඒක බාර නොගන්නේ ඒක බාර ගන්න එකෙන් හනාට සමාවක් ලැබෙනවා කියලා ඇ‍යට හිතෙන නිසා,

හනාගේ සාක්ෂරතාව නොමැති බව බොහෝ දේවල්වලට හේතුවුණු බව මයිකල් ඇයට පහදලා දෙනවා. හනා මුදල් දාලා තිබෙන තේ කොළ ටින් එක විතරක් ඇය ගන්නේ කුඩා කළ ඇයටත් එවැන්නක් තිබුණු නිසා.

මයිකල් හනාගේ මුදල් හනාගේ නමින්ම නිර්සාක්ෂරතාව දුරුකරන්න තිබෙන සංවිධානයකට පරිත්‍යාග කරන්නේ හනාව සිහිපත් කරමින්. කතාව අවසාන වන්නේ මයිකල් බර්ග් මුල්ම සහ අවසන් වතාවට හනාගේ දේහය තැන්පත් කරලා තිබුණු සොහොන් බිමට යන සිදුවීමෙන්.

චිත්‍රපටියේ ඊට වඩා සාර්ථක අවසානයක් දීලා තිබෙනවා කියලා මට හිතෙන්නේ ඒකෙදී මයිකල් තමන්ගේ තරුණ දියණියත් සමඟ හනාගේ සුසානයට ගිහින් තමන්ගේ පුදුම සහගත මෙතෙක් කාටවත් නොකියපු කතාව තමන්ගේ දියණියට කියන්න ආරම්භ කරන එකෙන්.

ඉතින් මේ කතාව තුළින් බොහෝ මාතෘකා කතා කරන වග ඔබටත් තේරෙන්න ඇති. පුලුවන් නම් මුලින්ම පොත කියවන්න රංජිත් කුරුප්පු "ගිම්හාන ගීතය" නමින් මේ කෘතිය සිංහලය නගලා තිබෙනවා.

ඊට පස්සේ චිත්‍රපටිය නරඹන්න. මේ සබැඳියෙන් ඒ සඳහා ටොරන්ට් එක ලබාගන්න පුලුවන්. චිත්‍රපටිය සම්මාන රැසක් දිනා ගනිපු චිත්‍රපටියක්. ඒ වගේමයි පොතත්.

කාලෙකට පස්සේ බලපු හොඳ චිත්‍රපටියක් කියන එකත් අවසානයට මතක් කරන්න ඕනේ :)

ප.ලි.: අවුරුද්දකටත් වඩා වැඩි කාලයක් download කරලත් බලන්නේ නැතුව මගේ computer එකේ තිබුණු film එක බලන්න හිතුණේ මගේ සරසවි මිතුරියක් වුණු ශම්මි විජේසුන්දර බදාදා මට දුන්නු film එකට පාදක වුණු ජර්මන් කෘතියේ සිංහල පරිවර්තනය වුණු "ගිම්හාන ගීතය" කියෙව්වාට පස්සේ.

ස්තුතියි ශම්මි :)

Wednesday, March 21, 2012

කැලණි විස්සවිජ්ජාලේ කෑම මඟුල


ඊයේ මූණුපොතේ කරක් ගහද්දී දැක්කා හසිත කියලා කැලණි විස්සවිජ්ජාලේ ඉන්දාරියෙක් විස්සවිජ්ජාලේ නූතන බාසා අංසෙන් කොරන ආහාර මඟුලක් ගැන මොකක්දෝ විස්තරයක් දාලා තිබුණා. මාත් ඉතින් හරිබරි ගැහිලා උදේම විස්සවිජ්ජාලෙට ගෑටුවා ආහාර මඟුලට.

මම මේ ගොඩයා නිසා ආහාර මඟුල කිව්වාට ඒකේ තැන් තැන්වල ගහලා තිබුණේ නම් "International Food Festival - 2012" කියලා ඕන්. මම යද්දී තමා විස්සවිජ්ජාලේ VC සීයයි අනික් ලොකු ලොකු ඇත්තෝ ටිකයි මේකට සම්ප්‍රාප්ත වුණේ.

තෝරු මෝරු අස්සේ මොකට හාල් මැස්සෝ රිංගනවද කියලා හිතපු මම විස්සවිජ්ජාලේ කැන්ටිමට හොයාගෙන ගොහින් කහට කෝප්පයක් බීවා ගල් බනිස් ගෙඩියකුත් හපන ගමන් :)

පස්සේ මම ආහාර මඟුල තිබුණු තැනට සේන්දු වෙද්දී 11 ටත් කිට්ටුයි නොවැ. ඒ වෙලාවේම දැකලා පුරුදු රූප කායක් මට පෙනුණා. බැලින්නම් ඒ හසිත කොලුවයි හසිත කොලුවත් එක්ක ඉතිහාස විසය හදාරන අනිත් ඉලන්දාරි ටිකයි. මාත් ඒ කාණ්ඩෙටම එකතු වුණා නොදන්න තැනකට යද්දී දන්න කියන ඇත්තෙක් එක්ක යන එක හොඳ නිසා.

මුලින්ම අපි ගොඩවැදුණේ ජපන් කට්ටිය කොරන කුටියට.මාර වැඩේ කියන්න අයියෝ අපි යද්දී කෑම අහවරයි කියන්නේ. ඉර මුදුන් වෙන්නත් තව හෝරාවක් විතර තියෙද්දීත් මේ කෑම මඟුල පටන් අරන් හෝරාවෙන් කෑම අහවරයි.

කකෙගොරි හදන ළමිස්සියෝ

ඉතින් හසිත කොලුවත් ටිකක් ගෝරනාඩු කරන්න පටන් ගත්තාම ඒ කොලුවගේ යාලුවෙක් වුණු සුගම කොලුවා අපේ නඩේට "කකෙගොරි" කියලා මොකක්ද බීමක් හදලා දුන්නා.

බොමු බොමුද කකෙගොරි

මේ ඇත්තන්ට කියන්න මට ඔය නම මතකේ හිටියේ විස්සවිජ්ජාලේ හැම තාප්පෙකම ගහලා තිබුණා නොවැ "බොමු බොමුද කකෙගොරි" කියලා. ආන් ඒක හන්දා

ජපන් කුටියට අල්ලපු වැටේ තිබුණේ චීන කුටිය. චීනොයි චීනියොයි එහෙමත් මේ කුටියේ හිටියා කියන්නකෝ. මේ කුටියෙත් හුඟාක් ජාති අහවර වෙලා තිබුණු නිසා නූඩ්ල්ස් කියන ජාතිය තමා ඉලන්දාරි නඩේ ගත්තේ. පස්සේ මේ ඉලන්දාරින්ට උවමනා වුණා චීන විදිහටමට නූඩ්ල්ස් කන්න පස්සේ මේ ගැටව් ටික බැරිමරගාතෙම "හෂි" කියන කූරු දෙකෙන් නූඩ්ල්ස් ටිකත් කොටාබෑවා.

හෂි කූරුවලින් අමාරුවෙන් කොටාබාන නූඩ්ල්ස්

මේ අස්සේ හසිත කොලුවගේ යාලු දැරිවියක් ඇවිත් අහනවා "මේ නූඩ්ල්ස් චීන රහද?" කියලා. අනේ කාලේ වනේ වාසේ කිව්වලු. චීන රහ කියලා එකකුත් තියෙනවැයි :)) හැබැයි හොඳ හැටි ගම්මිරිස් නම් පතබාලා තිබුණා ඕන්

හසිත කොලුවාට කියූ සාස්තරය

චීන බාසාව කරන ළමිස්සියෝ ටික සාස්තරත් කියනවා. හසිත කොලුවත් සාස්තරයක් අහන්න ගියා රුපියල් 10 කට උපන් දිනයට, ලග්නයට, අත බලලා සාස්තර තුනක් කිව්වා නොවැ. හසිත කොලුවා පණ ඇරගෙන අහගෙන හිටියා අනාගතේ ගැන කියපු ඒවා ටික.

අනිත් ස්වීටා කියන කොලුවත් හොර රහසේම වගේ සාස්තරේ අහලා කෑ ගහනවා "මට ළමයි දෙන්නෙක් ඉන්නවා" කියලා :))

නෝබට් කොලුවා කරපු ටීක් බෝල සෙල්ලම

පස්සේ ඉතින් අපි ගෑටුවා ස්පාඤ්ඤ කුටියට. ඒකෙත් ජාති අහවර වෙලා . ඒත් ඒකේ හිටපු නෝනා කෙනෙක් අමුතු බැල්මක් දාපු නිසා හසිත කොලුවා photo කෑල්ලක් ගත්තා.

අමුතු බැල්මක් දාපු ස්පාඤ්ඤ එක්කෙනා

ඊට පස්සේ කොරියන් කුටියට තමා ගෑටුවේ. කිව්වට හොරයක් බොරුවක් නැහැ ආයිබොවන් ඒකේ කෑම නම් දැක්කා ගමන් මට අප්පිරියා වුණා. අපේ කොල්ලෝ ටිකත් ඒකෙන් මොකුත් කොටාබෑවා නැහැ. ඒත් ඉතින් ඒකේ හිටපු සීදේවි ළමයි ටිකේ photo එකක් නම් ගත්තා

පස්සේ ඒ දිසාවේ තිබුණු අන්තිම කුටිය වුණු පුරන්ස [French] කුටියට අපි ගොඩ වැදුණා. ඒකේ ජාතිත් අහවර වෙලා. ගමේ වෙල් අස්සේ බඩුවලට වඩා සුපර් ජාති වගයක් බෝතල්වල දාලා තිබුණත් ඒවා තිබුණේ විකුණන්න නෙමෙයිලු ආයිබොවන් :)

පුරන්සෙන් දුන්නු ක්‍රිස්කෝ විස්කෝතු

පස්සේ අපේ ලංකාවේ තියෙන ක්‍රිස්කෝ විස්කෝතුවලට මොනවදෝ මන්දා දාල තිබුණු කෑමක් අපි කොටාබාලා ගියේ අල්ලපු පැත්තේ තිබුණු රුසියන් කුටියට.

ඒකෙත් කෑම අහවරයි. ඒත් සා පිපාසාව උහුලන්න බැරි නිසා අපි එතනින් පැණි බීම වගයක් බිව්වා. පුදුමේ කියන්නේ රුසියාවේ ඇත්තෝ බොන්නෙත් අපේ රටේ කෝඩියල් වගේ.

අල්ලපු වැටේ තිබුණු ජර්මන් කුටියෙත් අමුතු බෝල හැඩේ කෑමක් බඩට දා ගත්තු අපේ නඩේ කොල්ලෝ ටික අයිස්ක්‍රීම් කන්නත් පොරේ. මගේ ගාණ මම අයිස්ක්‍රීම් උන්ට අරන් දුන්නා. පුදුමේ කියන්නේ ජර්මනියේ ඇත්තොත් කොටා බාන්නේ අපේ "අලියගේ ගෙදර අයිස්ක්‍රීම්" [Elephant House]නොවැ :))

ජර්මනියේ විකුණන අලියා ගෙදර අයිස්ක්‍රීම්

ඕන් ඔය විදිහටයි කැලණි ආහාර මඟුලේ චාරිකාව මං නිමා කොලේ. මේ photos කෑලි ඉස්සුවේ හසිත කොලුවගෙන්. ඔක්කොම photos ටික බලන්න මේ ඇත්තෝ කැමති නම් මෙතන කොටන්න.

හසිත කොලුවයි යාලුවෝ කාණ්ඩෙයි අසමෝදගම් කඩයක් කොරන්න හිතාගෙන හිටියත් ඒක සංවිධානය කොරගන්න බැරිවෙලා කරලා නැහැ :)) ඒත් මේ වගේ තැනකට අසමෝදගම් කඩේකින් තියෙන්නේ සුවල්ප ප්‍රයෝජනයක්ද ??

සූ ගාන්න ඇවිත් හිටිය සෙනඟ කන්දරාව

හෙට හවසට ඒ කියන්නේ මාර්තු 21 වෙනිදා ධර්මාලෝක සාලවේ මේ නූතන බාසා කොරන ඉලන්දාරින්ගෙන්යි ළමිස්සියන්ගෙන් සංදර්සනයක් තියෙනවා කියලත් කිව්වා. මොන ජවුසම් නටයිද දන්නේ නැහැ. පුලුවන්කමක් තිබ්බොත් ඒ පැත්තෙත් ගාටන්න තමයි හිතාගත්තේ.

ඔය උන්දැලත් පුලුවන්කමක් තියේ නම් මාර්තු 21 හවස 4.30 ට කැලණි විස්සවිජ්ජාලේ ධරුමාලෝක සාලාවට ගොහින් බාසා සංදර්සනේ බලන්න......

ප.ලි.: අප විශ්විද්‍යාලයේ පැවති International Food Festival සඳහා සහභාගි වුණු ග්‍රාමීය අයෙක් ලියූ මේ සටහන යම් යම් සංශෝධන සහිතව මා විසින් පළකරන්නට යෙදුණු අතර මෙහි අදහස් පිළිබඳ වගකීම ඒ නාඳුනන පුද්ගලයා සතුය.

කෙසේ නමුත් මා විසින් International Food Festival පිළිබඳ ලියන්නට ගිය සටහන මෙනිසා වැළකුණු බවද කණගාටුවෙන් දන්වා සිටිමි :(

එසේම අද හවස මාර්තු 21 නූතන භාෂා අධ්‍යයනාංශය මඟින් පවත්වන සංස්කෘතික සංදර්ශනය සවස 4.30 සිට ශ්‍රී ධර්මාලෝක ශාලාවේදී පැවැත්වෙන බැවින් ඒ සඳහා ඔබ සැමට ආරාධනා කර සිටිමි :)

Sunday, March 18, 2012

අකාලයේ මිලින වුණු තවත් සරසවි කුසුමක්


Science faculty එකේ Dean ආරම්භක සංඥාව දීපු ගමන් campus එකේ මැරතන් ශූරයා එකම තියාගෙන Road race එකට start එක ගත්තා. මිනිහා කොච්චර දක්ෂයාද කියනවා නම් එදා අඟහරුවාදා තිබුණු fitenss test එකේදී අපි පිට්ටනිය වටේ භාගයක් දුවද්දී මිනිහා එක වටයක් complete කරලා ඊළඟ වටයෙන් ටිකක් දුර දුවලත් ඉවරයි.

Science faculty එකේ තියෙන post office එක ගාවින් ඇරඹුණු campus එකේ Sports Centre එකෙන් වාර්ෂිකව කරන Road Race එකට මේ පාරත් sports කරන අය වගේම දුවන්න කැමති අයත් ගැහැණු පිරිමි භේදයකින් තොරව ඇවිත් හිටියා.

Road race එකේ route එක තමයි science faculty එකේ post office එක ගාවින් පටන් අරන් තෙල් බැම්ම පහු කරන් පහළට ගිහින් Staff කැන්ටිම ගාවින් සයිබේ ground එකට ගිහින් එතනින් ආයි science faculty එකට ඇවිත් DH එක වටෙන් ආයි post office එක ගාවට. මේ විදිහට වට 5 ක් පිරිමි ළමයින්ටත් වට 2 ක් ගෑණු ළමයින්ටත් දුවන්න වුණා road race එක complete කරන්න.

Road Race එක පටන් අරගෙන මුල්ම වංගුව ගත්ත ගමන් ගෑණු ළමයෙක් මහී කාන්තාව සිප ගත්තා. මම ඉතින් මනුස්සකමට එයාව නැගිට්ටවන්න ගියාම එයා පටස් ගාද්දී නැගිටලා ආයි දුවන්න ගත්තා :) මම වටපිට බැලුවා මාත් එක්ක හිටපු නෝබයි ස්වීටයි කෝ කියලා. මුන් දෙන්නා පණ කඩාගෙන දුවනවා.

පස්සේ මට අමිලයාව සෙට් වුණා. ඉස්කෝලේ ෆිට් එකටත් එක්ක අපි දෙන්නා එකටම දුවගෙන ගියා. හති වැටෙන කොට ඉතින් අපි ඇවිදගෙන ගියා. හති නම් ඉතින් දුවන්න බැරි නම් මැරෙන්නද ?

සයිබේ හරියට වෙලා rugger කරන එවුන් සෙට් එක කියව කියවත් හිටියා දුවන්නේ නැතුව. උන්ගේ duty එක වුණේ දුවන එවුන්ට අනම් මනම් කිය කිය හිටපු එක :))

ඔය විදිහට ඉතින් මායි අමිලයයි වට 4 ක් විතර දුවද්දී මම නිකමට වගේ ඇහුවා check point එකක හිටිය ගෑණු ළමයෙක්ගෙන් "මම rounds කීයක් දිව්වද" කියලා.

එයා කියනවා "මේ ඔයාගේ අන්තිම round එක" කීයලා.

පස්සේ මම කිව්වා "ඔයා බොරු කියන්න එපා මේ 4 වෙනි එක. මට ටිකක් ෂුවර් මදි නිසා ඇහුවේ. ඔයා බොරු කියලා මාව නොමග අරින්න නේද යන්නේ" කියලා :))

5 වෙනි round එක එහෙම නැත්නම් අන්තිම එක දුවද්දී අපේ Wrestling team එකේ captain එහෙමත් අපිට සෙට්වුණා. මේ අල්ල පනල්ලේම අමිලයාට කික් එකක් ඇවිත් දකින දකින කෙල්ලට " I Love You" කිය කිය කෑ ගගහා යනවා :))

මූ DH එක ගාව තිබුණු tap එක ගාවින් රිංගන්නත් ගිහින් මව්බිම සිපගත්තා. මම නැගිට්ටවන්න යද්දී මූම නැගිටලා කඩාගෙන බිඳගෙන ආයි දුවනවා. බැලින්නම් අමිලගේ හාමිනේ ඉස්සරහට එනවා. :))

මේ අස්සේ මගේT-Shirt එකේ ගහලා තිබුණු අංකේ වැටිලා. බඩු බනිස් නේ ඉතින්. මම හිමින් සැරේ බිම බලාගෙන යද්දී තෙල් බැම්ම හරියේ අංකයක් වැටිලා තිබුණා 221. ඒක මගේ අංකේ. මට ෆුල් හැපි :)

ඒකත් අතේ තියාගෙන check pointsවලට පෙන්න පෙන්න අන්තිමටම ground එකට ඇවිත් race එක ඉවර කරපුවාම Sports එකේ සර් ඉන්නවා ඉස්සරහ අංක check කර කර.

සර් ඇහුවා "කෝ අංකේ" කියලා. මම ඉතින් අංකේ පෙන්නුවා.

සර් ඇහුවා "මේක ඔයාගේම අංකෙද" කියලා.

මම කිව්වා "ඔව් සර් 221 මගේ අංකේ තමා" කියලා.

පස්සේ සර් කියනවා "වෙන්න බැහැනේ" කියලා.

මම දෙලොව රත් වුණා. ඇයි දෙයියනේ අමාරුවෙන් වට 5 ක් දුවලා ආපුවාම අංකේ මගේ නෙමෙයි කියද්දී රත් වෙන්නේ නැද්ද

පස්සේ සර් කියනවා "අපි කහ කාඩ්වල නිල් පාටින් ලිව්වේ girlsලගේඅංක. boysලගේ අංක ලිව්වේ රතු පාටින්නේ" කියලා.

මගේ අතේ තියෙන කාඩ් එකේ 221 ලියලා තියෙන්නේ නිල් පාටින්. පස්සේ ඉතින් මම සර්ට කිව්වා අංකේ වැටුණා. හොයාගෙන යද්දී 221 හම්බුණා කියලා. පස්සේ සර් හිනාවෙලා රතු පාටින් 221 ලියලා දුන්නා box එකට දාන්න. ඒකෙත් වෙලාව කියන්නේ මට 221 ම හමුවුණු හැටිනේ :)

අන්තිමට ඉතින් wash room එකට ගියාම wash එකක් දාගන්න එතන පෝලිම පිරෙන්න. අපි ඉතින් හිමින් සැරේ wash එකකුත් දාගෙන lecture එකට ගියා.

දවල් කන්න ගිය වෙලාවේ news එකක් ආවා road race එකට ආපු 2nd year නංගි කෙනෙක් අන්ත්‍රා වෙලා කියලා. පස්සේ හොයලා බලද්දියි news එක හරියටම දැන්ගත්තේ Commerce එකේ 2nd year මල්ලී කෙනෙකුයි නැතිවෙලා තියෙන්නේ කියලා.


campus එකේ බේස්බෝල් team එකේ සාමාජිකයෙක් වුණු කඩ්ඩා මල්ලී වට 5 ත් complete කරලා බෝඩිමට ගිහින් ඒ වෙලාවේම නාලා තියෙනවා. ඊට පස්සේ පපුව රිදෙනවා කියපු නිසා යාළුවෝ සිද්ධාලේප එහෙමත් ගාලා තියෙනවා. මෙයාට වමනේ යන්න ගත්තු නිසා කිරිබත්ගොඩ hospital එකට අරගෙන ගියාට පස්සේ තමා නැතිවෙලා තියෙන්නේ.

මරණ පරීක්ෂණයේදී කියලා තියෙන්නේ හදවතේ නාලයක තියෙන හීනිබව මේකට හේතුවක් කියලා. ඉතින් සරසවි ජීවිතයක් අකාලයේ මිලින වුණේ එහෙමයි.

සමහර විට race එකේ ඉද්දිත් අමාරුවක් තියෙන්න ඇති. ඒත් යාලුවෝ සෙට් එකම දුවද්දී, කෙල්ලොත් දුවද්දී අමාරුවක් තිබුණත් නවත්තන්න හිතෙන්නේ නැහැනේ.

ඒ වගේමයි මහන්සි වෙලා ආපු ගමන් නාලා එහෙමත් තියෙනවානේ. කොහොමින් කොහොම හරි අද තමා ගෙදරට body එක ගෙනාවේ. අපිත් ගියා අද හවස මළ ගෙදර.

ජීවිතේ තමා ජීවිතේ. අද කඩ්ඩා මල්ලිගේ දවස, හෙට අපේ දවස වෙන්න පුලුවන්.....

ජීවන ගමනේදී campus එකට ආපු
උදේ හවස campus කන්ද නැග්ග
කඩ්ඩා මල්ලී,
campus එකේ road race එක
වේගයෙන් දුවන්න ගිහින්
ජීවිතයෙන් ඉක්මනින් සමුගත්තත්
අපි ආයේ ඉක්මනින් මේ සංසාරේදී හමුවෙයි

එතෙක් සුභ රාත්‍රියක් සුභ ගමන් මල්ලියේ...................

ප.ලි.: කෙටියෙන් හරි Road Race එකේ විස්තරේකුත් එක්ක මේ වියෝව ගැනත් සටහන් කළේ ඒ ගැන කණගාටුව ප්‍රකාශ කරන්න වගේම මේ මරණය දඩමීමා කරගෙන තමන්ගේ පටු අරමුණු ඉටු කරගන්න දරන පුද්ගලයන්ගෙන් "කඩ්ඩා මල්ලිව" ගලවාගන්න..........

Saturday, March 10, 2012

චිත‍්‍රයක් කියන්නේ වචන 1000+ Vista Painting Exhibition


"කීයක් වෙනවද මේ චිත‍්‍රය?" මටත් නිකම් ඉන්න බැරුවට කට කහනවා වගේ නිසා ඇහුවා.

අඩි එකහමාරක් විතර දිග පළල තියෙන පරණ වගේ ලී කෑල්ලක නුවර යුගයේ චිත‍්‍රවල තියෙන විදිහට බුදු රුවක් ඇදලා තිබුණා.

"ඒක රුපියල් 2000 සර්" මම නිකම් හොල්මන් වුණා වගේ

ඊට එහා පැත්තෙන් අඩි 7 ක් විතර දිග අඩි 5 ක් විතර පළල චිත‍්‍රයක් තිබුණා ඇත්ගොව්වෙක් එක්ක අලි රංචුවක් ඉන්න. ඒකේ ගාණත් අහන්න මුලින් හිතාගෙන හිටියත් මේ උත්තරෙන් පස්සේ ආයි පාරක් ඇණ ගන්නේ මොකද කියලා හිතලා මම කට පියාගෙන හිටියා :)

මේ සිද්ධිය වුණේ ගිය අවුරුද්දේ තිබුණු කලා පොළට ගිය වෙලාවේ. ලංකාවේ ඉන්න කලාකාරයෝ හුඟක් තමන්ගේ හැකියාවන් පෙන්නලා ඒක මිළ කරලා කිසියම් මුදලක් උපයා ගන්න කලා පොළට ඇවිත් තිබුණේ.

චිත‍්‍රවල ගාණ වැඩියි කියලා මුලින් තිබුණු කතාවෙන් හිතෙන්නත් පුලූවන්. ඒත් නීතීඥයා නඩුවක් කතා කරලා දිනනවා වගේ වෛද්‍යවරයා බෙහෙත් කරලා ලෙඩෙක් සනීප කරනවා වගේ කලාකරුවා එහෙමත් නැත්නම් මේ කතාවේ හැටියට චිත‍්‍ර ශිල්පීන් තමන්ගේ හැකියාවෙන් මිනිස් සිත් සුවපත් කරන්න මෙහෙයක් කරනවා. එතකොට තමන්ගේ මහන්සියට, නිර්මාණයේ තියෙන තත්වයට එහෙම ගණන් කියන එකේ වරදකුත් නැහැ.

මිනිසාගේ ආරම්භයත් එක්කම මිනිසාට මුල්කාලීනව භාෂාවක් කියලා එකක් තිබුණේ නැතත් තමන්ට එදිනෙදා මුහුණ පාන්න සිද්ධවුණු සිදුවීම් තමන්ගේ සගයන්ට විස්තර කරන්න අවශ්‍ය වුණා. තවත් විදිහකින් කිව්වොත් "මං පොර ජාතකයේ මුල්ම අවධිය" ඒක වෙන්නත් පුලූවන් :)


කොහොම නමුත් ආදි මානවයා රෑට ගිනිමැලේ වටේට වෙලා ඉද්දී අංග චලනයෙන් කටින් නොයෙක් ශබ්ද දමමින් තමන්ගේ මේ එදා කතාව කියන්න උත්සහ කරලා තියෙනවා. නාට්‍යය කියන එකත් ආරම්භ වුණා කියන්නේ ඒකෙන් කියලා තමා කියන්නේ.

ඒ වගේමයි ආදි මානවයා කටින් එක එක ආකාරයේ සද්ද බද්ද දැම්මා වගේම එක එක ජාතිවලට තට්ටු බට්ටු දාලා සද්ද නිපදවලා තියෙනවා. සංගීතය කියන විෂයත් ඒ විදිහට ආරම්භ වුණාලූ.

ඒ වගේමයි කලින් කිව්ව එක එක ජාතියේ සද්දවලට ආදි මානවයා ගිනිමැලේ වටේ කරන දැඟලිලිවලින් නර්තනයත් ඇතිවුණාලූ.

අන්තිම එක තමයි චිත‍්‍ර කියන එකත්. තමන්ට එදිනෙදා ජීවිතයේදී මුහුණ දෙන්න වුණු සිද්ධි එක එක මාධ්‍ය පාවිච්චි කරලා අඳින්න, කැටයම් කරන්න ආදි මානවයා සමත් වුණා.


අද මාතෘකාව මෙන්න මේ චිත‍්‍ර ගැන.

ඒ විදිහට ආරම්භ වුණු චිත‍්‍ර කලාව එක එක අංශවලින් ඉදිරියට ආවා. ඒ වගේමයි එක එක රටවල්වලට, සංස්කෘතීන්ට, ආගම්ලවලට අනුවත් චිත‍්‍ර කලාව කියන එක විවිධාකාර වුණා.

ලංකාව ගැන කතා කළොත් ප‍්‍රාග් මානවයාගේ චිත‍්‍රවල ඉදන් සීගිරිය, දිඹුලාගල වගේම ගල්විහාරේ තියෙන මූල ශිෂ්ටාචාරවල චිත‍්‍ර වගේම ඊටත් පසුකාලීනව අද දක්වාම හොඳින් සුරක්ෂිත වෙලා තියෙන මහනුවර යුගයේ චිත‍්‍රත් අපිට දැකගන්න පුලූවන්.

ඊටත් පස්සේ නූතන යුගයේ චිත‍්‍ර විදිහට සෝලියස් මැන්දිස්, ජෝර්ජ් කිට් වගේම මංජු ශී‍්‍ර වගේ ප‍්‍රවීණයන්ගේ චිත‍්‍ර අපිට අමතක කරන්න බැහැ. ඒ පරම්පරාවල නූතන උරුමක්කාරයන්ගේ පරපුරේ වැඩක් ගැන කියන්න තමයි මේ සූදානම.


කැලණිය විශ්වවිද්‍යාලයේ එහෙමත් නැත්නම් අපේ Campus එකේ ලලිතකලා අධ්‍යයනාංශයේ දෘශ්‍ය කලා, සැලසුම්කරණ හා ප්‍රසාංගික කලා අධ්‍යයන ඒකකයේ [DMAT Unit එකේ] විශේෂවේදී දෙවන වසර අපේ යාලු මිත්‍රාදීන්ගේ කලා හැකියාවන් ප්‍රදර්ශනය කරන්න මේ වසරෙත් විස්ටා චිත්‍ර ප්‍රදර්ශනය මාර්තු 12 සිට 14 වෙනකම් Campus එකේ සේනක බණ්ඩාරනායක ශාලාවේදී එහෙමත් නැත්නම් කැම්පස් ව්‍යවහාරෙට අනුව "ක්‍රිස්ටෝ" එකේදී පැවැත්වෙනවා.

ඉතින් චිත්‍ර කලාවට හිතැති, කැමති හැමෝටම වගේ අපේ DMAT යාලුවෝ වෙනුවෙන් ආරාධනා කරනවා මේ ප්‍රදර්ශනය බලන්න එන්න අපේ අයට හයියක් වෙන්න.....

ඒ වගේමයි මතක් කරන්න ඕනේ විස්ටා ප්‍රදර්ශනය කියන්නේ සාම්ප්‍රදායික විදිහට කැන්වසය මතට විතරක් සීමාවුණු නිර්මාණ ඉදිරිපත් කරන ප්‍රදර්ශනයක් නම් නෙමේ කියන එක. පහළින් තියෙන සිංහ මූර්තිය ඒකට පොඩි උදාහරණයක් විතරයි...


ඉතින් ඒක නිසා එන්නම ඕනේ :)

ඉතින් ඔබේ පැමිණීම මේ සබැඳියෙන් ගිහින් තහවුරු කළා නම් තවත් හොඳයි

ප.ලි.: මේත් තවත් ආරාධනාවක්. අපේ Campus එකේ සිංහල අධ්‍යයනාංශයේ සිංහල සංගමය සංවිධානය කරන "කවි මඩුවක් වගේම කවි සංවාදයක්" කවීන්ද්‍ර ජී.එම්. අජිත් ප්‍රමුඛ ජනප්‍රිය කවියන්ගෙන් හා කිවිඳියන්ගේ සහභාගීත්වයෙන් මාර්තු 13 වෙනිදා අඟහරුවාද හවස 2 ට කැලණිය විශ්වවිද්‍යාලයීය ශ්‍රී ධර්මාලෝක ශාලාවේදී [DH එකේදී] පැවැත්වෙනවා.

හෙළ කව් අඹරේ සිරි අසිරිය විඳින්නට
කවියට පෙම් බඳින හිතවත් ඔබ සැමට
ඇරයුම් කරමු 13 කුජ දින දෙකට
එනු මැන රසවතුනි ධර්මාලෝකයට

කවියට හිතැති, කවියට ආදරය කරන ඔබටයි ඒ ආරාධනාව.........

ඉතින් ඔබේ පැමිණීම මේ සබැඳියෙන් ගිහින් තහවුරු කළා නම් තවත් හොඳයි

ඕනේ නම් වන් රොක් ටූ බර්ඩ්ස් කියලා උදේ වරුවේ විස්ටා ප්‍රදර්ශනේ බලලා හවස් වරුවේ කවි මඩුවටත් ගොඩවෙලා යන්න එන්න පුලුවන් :))

දවස් ටික මතක තියාගන්න මාර්තු 12, 13, 14 තමා මේ වැඩ ටික ඔක්කෝම වෙන්නේ

ප.ප.ලි: මාධ්‍ය ඒජන්ත වුණාම ඒ වැඩත් අතරින් පතර කරන්න වෙනවානේ. ඒක නිසා කරගල ගාන්න ගිය රජතුමාගේ කතාව ඊළඟට බලාපොරොත්තු වන්න :)

Saturday, March 3, 2012

එක්තරා රජ කෙනෙකුගේ කතාවක්


ඇවිද්ද පය දහස් වටී කියන සිංහල කියමන හුඟාක් ප්‍රසිද්ධ එකක්. පයින්ම ගමන් බිමන් ගිය ඉස්සර කාලෙට නම් මේ කියමන හුඟාක් අදාළයි. වර්තමානේ වෙද්දී පයින් ගමන් බිමන් අඩුයි නොවැ :)

කොහොම නමුත් අද කතාව මේ කියමන හැදුණු හැටි ගැනයි. ඒකත් පරණ කතාවක්. කතාව මෙහෙමයි

එකෝමත් එක කාලෙක [හිට්ම කෑල්ල] එක සිටුතුමෙක් හිටියා. හැබැයි එයා හරි දුප්පත්ලු. එතකොට දුප්පත් නම් මෙයා සිටුතුමෙක් වුණේ කොහොමද කියලා කාට හරි හිතෙනවා නම් ඒකට උත්තරේ තමයි ඒ කාලේ පාඩු ලබන ව්‍යාපාර රාජ සන්තක කරපු නිසා, කහවණුව අවප්‍රමාණ කරපු නිසයි මෙයා දුප්පත් වුණේ :))

ඉතින් සිටුතුමා මරණාසන්න වුණු මොහොතේ තමන්ගේ එකම පුතාට දෙන්න දේකුත් ඉතුරු වෙලා නොතිබුණු නිසා පුතාට කවියක් උගන්වලා ඒක රජතුමා හමුවට ගිහින් ඉදිරිපත් කරලා තෑගි බෝග ගන්න කියලා සිටුතුමා පුතාට කියලා මිය පරලොව ගියා.


සිටු පුතාත් තාත්තාගේ අවසන් කටයුතු කරලා ඉවර වෙලා ලස්සන suit එකක් දාගෙන රජතුමා බැහැ දකින්න රාජ සභාවට ගිහින් මේ කවිය රජතුමා ඉදිරියේ ගායනා කළා.

මෙන්න මේක තමයි සිටුතුමා පුතාට කියලා දුන්නු කවිය

අඩහ කෑම දහස් වටී
නිදිමැරුවා දහස් වටී
ඇවිද්ද පය දහස් වටී
ඉවසූ බලේ දහස් වටී

මේක අහගෙන හිටපු රජතුමා මොකක්ද මේ විකාරය කියලා අහලා රජතුමාගේ කාලය නාස්ති කළා කියලා සිටු පුතාට බැන වැදිලා රාජපුරුෂයන්ට නියම කළා සිටු පුතාව දඟ ගෙයි දාන්න කියලා සතියකට බරපතල වැඩ ඇතුව.

රජවරු පරිස්සමෙන් ආශ්‍රය කරන්න කියන්න ඕනේ ඒක නිසා තමයි :)

මේ විදිහට රාජ සභාවේ වැඩ කටයුතු අවසන් වුණත් රජතුමාට රෑ කෑම කද්දී නිකමට වගේ හිතුණා සිටු පුතා කවියෙන් කියපු දේ පොඩ්ඩක් කරලා බලන්න. කොහොමත් හුඟාක් රජවරුන්ගේ හැටි එහෙම තමා. ඒ වෙලාවට පිළිගන්නේ නැහැ පස්සේ හිමින් සැරේ හොරෙන් කරලා බලනවා :)

"අඩහ කෑම දහස් වටී" නිසා රජතුමා එදා රෑට වැඩිය කෑවේ නැහැ. සිම්පල් ඩයට් එකක් තමා ගත්තේ. පස්සේ "නිදි මැරුවා දහස් වටී" නිසා වෙනදාට ජාතික රූපවාහිනියේ news බලලා ඊට පස්සේ යන tele නාට්‍යය බලලා 9 වෙද්දී නිදාගන්න රජ්ජුරුවෝ එදා වාසනා සම්පත දිනුම් අදින එකත් බලලා රෑ 10 ට සිරසේ news එහෙමත් බල බල හිටියා. නිදා ගත්තේම නැහැ :)

ඊට පස්සේ "ඇවිද්ද පය දහස් වටී" නිසා රජතුමා හිමින් සැරේ sports trouser එක දාගෙන සිරියහන් ගබඩාවේ ඉදලා මංගල උයන පැත්තට ඇවිදින්න පටන් ගත්තා වටේ guard එකට ඉන්න රාජ පුරුෂයොත් නැතුවම. එතකොට රජතුමා දැක්කා කළුවරේම කවුද පොරක් උද්‍යානේ හරහා රජ මාළිගාව පැත්තට එනවා.

රජතුමාත් හොරෙන්ම බලන් හිටියා මොකද වෙන්නේ කියලා. කලුවරේ ආපු මනුස්සයා අග බිසවගේ කාමරේට ගොඩවෙනවාත් රජතුමා දැක්කා. රජතුමාට මේක දැකලා "නහුතෙට" තද වුණා. දෙන්නම් උඹට බැටේ කියලා හිතලා යන්න හදද්දිම රජතුමාට මතක් වුණා "ඉවසූ බලේ දහස් වටී" කියන එක.

මේ කලුවරේම හොරු අල්ලන්න ගිහින් සමහර විට අර ආපු හොර මිනිහගෙන් පාරක් කාලා මැරෙන්න වෙයිද දන්නෙත් නැහැනේ. කෝකටත් පරිස්සම්නේ කියලා හිතලා රජතුමා හෙමින් සැරේ තමන්ගේ සිරියහන් ගබඩාවට ගිහින් ටීවී එකත් off කරලා නිදාගත්තා :) හෙට උදේට දෙන්නම් බැටේ කියලා හිතලා.

පස්සේ රජතුමා උදේම රාජ සභාවට ඇවිත් අග බිසව කැඳවලා ප්‍රශ්න කරලා ඇයට දඬුවම් දුන්නා වගේම එයාගේ හොර පුරුෂයාව හිස ගසා මරා දැම්මා.

ඊට පස්සේ තමන්ට ලොකු උපකාරයක් වුණු කවිය කියලා දුන්නු සිටු පුතාව ගෙන්නලා ස්තුති කරලා වස්තුව දීලා රාජ සභාවේ නිලමක්කාරයෙක් විදිහටත් පත් කරගත්තා.

ඊට පස්සේ හැමෝම සතුටෙන් ජීවත් වුණා :)

ප.ලි.: එකෝමත් එක කාලෙක හිටිය රජ කෙනෙක් බැරි මරගාතේ ලියපු "කරගල ගගා එනවා මම නොදනිම්ද" කියලා කියව කියවා ඉදලා මරණෙන් ගැලවුණු හැටි ඔයාලා දන්නවා ඇතිනේ :)