Friday, April 29, 2011

අතීතයට යාම



හවස කැම්පස් එක ගාවින් මම අපේ පාරේ බස් එකකට නැග්ගේ ඉක්මණට ගෙදර යන්න හිතාගෙන. තව සති 2 කින් කැම්පස් එකේ 1st semester exam පටන් ගන්නවා, ඒ මදිවට අලුත් අවුරුද්දකුත් එනවා. එක වැඩක් කියලද වැඩ ගොඩක්. හොඳ වෙලාවට seat එකකුත් හම්බුණා. ඒක නිසා හොඳට වාඩිවෙලා ඒවා මේවා කල්පනා කර කර යන්නත් පුලුවන් වුණා.

බස් එක කිරිබත්ගොඩ bus stand එකට ආපුවාම සාමාන්‍යයෙන් ලස්සන ගෑණු ළමයෙක් බස් එකට ඉස්සරහ දොරෙන් නැගලා මම වාඩිවෙලා හිටිය හරියට ආවා. අතේ ඇඳුම් bag එකකුත් තියෙනවා. අවුරුදු කාලෙනේ shopping යන්න ඇති කියලා මට හිතුණා.

මාත් ඉතින් ආයි පාරක් මගේ කල්පනා ලෝකෙට ගියා ඔහේ පාඩම් කරපුවා එහෙම කල්පනා කර කර ඉද්දියි දැක්කේ අර ගෑණු ළමයට call එකක් ඇවිත් අතෙත් මල්ලක් එල්ලගෙන ඉන්න හින්දා අමාරුයි නේද කියලා. දැන් කාලේ ඔය ගෑණු අයගෙන් බෑග් එහෙම ගද්දී හරියට පරිස්සම් වෙන්න ඕනේ නේ.

මාත් ඉතින් ඕන එකක් කියලා උදව්වක් විදිහට බෑග් එකත් ඉල්ලගෙන ඔඩොක්කුවෙන් තියාගෙන ආයි පාරක් කල්පනා ලෝකෙට වැටුණා. තව පැය භාගයක් විතර බස් එකේ යන්නත් ඕනේ. හයියෙන් යන බස් එකකුත් නෙමෙයි හොඳ කොටන බස් එකක් නිසා

ටික වෙලාවකින් කවුද මගේ උරහිසට තට්ටු කරලා අහනවා "ඔයා චාමිකර නේද ? " කියලා.

බැලින් නම් අර ගෑණු ළමයා. මාත් ඉතින් කරකවලා අත ඇරියා වගේ. මොකද සාමාන්‍යයෙන් මට කට්ටිය කියන්නේ එක්කෝ හසිත නැත්නම් ගුණසිංහ කැම්පස් එකේදි නම් කැම්පස් කාඩ් එක. මගේ නම් මැද කොටහ වෙන චාමිකර කියන කෑල්ල පාවිච්චි වෙනවා හරී....... අඩුයි.

ඉතින් හිතලා බලන්න එක පාරට අඳුරන්නේ නැති කෙනෙක් එහෙම එච්චරම පාවිච්චි වෙන්නේ නැති නමකින් කතා කරද්දී කොහොමද කියලා.

මම ටිකක් කල්පනා කළා මේ කවුද කියලා. පස්සේ තමා මට ලාවට වගේ මතක් වුණේ මේ නෙළුම් නේද ? කියලා. එයාගේ සම්පූර්ණ නම් නෙළුම් යශෝධරා. මම ශිෂ්‍යත්ව විභාගේ පාස්වෙලා රාජකීය විද්‍යාලයට එහෙමත් නැත්නම් රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙට යන්න කලින් ගියපු අපේ ගමේ ඉස්කෝලේ දරණාගම ප්‍රාථමික විද්‍යාලයේදී මාත් එක්ක හිටිය යාළුවෙක්.

මම ශිෂ්‍යත්ව විභාගේ ලිව්වේ 1999. ඊට පස්සේ 2000 ඉදන් රාජකීය විද්‍යාලෙටනේ ගියේ. ඉතින් 1999 දෙසැම්බර් මාසෙදී දරණාගම ප්‍රාථමික විද්‍යාලෙදී හම්බුණු නෙළුම්ව ආයි පාරක් හම්බුණේ එදා 2011 අප්‍රේල් මාසෙදී අපේ පාරේ බස් එකේදී අවුරුදු 11 කට පස්සේ. මට ඒ වෙලේ පුදුමත් හිතුණා අවුරුදු 11 ක් කියන්නේ සුළු පටු කාලයක්ද කියලත්.

ඉස්සර නෙළුම්ට දිග කොණ්ඩයක් තිබ්බා. ඉස්කෝලේ හිටිය ගෑණු ළමයින්ගෙන් දිගම කොණ්ඩේ තිබ්බේ එයාට මට මතක විදිහට. මගේ මුල්ම ප්‍රශ්නේ වුණෙත් ඒක තමා. මොකද මේ දිගට තිබ්බ කොණ්ඩෙට වුනේ කියලා.

බැලින් නම් එයා දැන් dancing team එකක වැඩ කරනවාලු. ඒ ගමන් modeling එහෙමත් කරනවාලු. ඒ ඔක්කොම නිසා දිගට තිබ්බ කොණ්ඩේ කපලා දාලා. ළමයා හුඟාක් කෙට්ටුත් dancing n modeling වැඩ නිසා කියලා තමා කිව්වේ නම්.

ඒ වගේම නෙළුම් කිව්වා "මම බතල ගෙඩියෙක් වෙලා" කියලා :)) මම කල්පනා කළේ මම එහෙම මහත් වෙලාද කියලා. ඔන්න ඔයාලම කියන්න මේ එක බලලා මම ඉස්සරට වඩා දැන් මහතද කියලා


නෙළුම්ගේ විස්තර කතා කරද්දී දැනගත්තේ A/L Arts වලින් කරලා කැම්පස් යන්න results මදි. ඒක නිසා ඉතින් කලාව පැත්තට බර වුණා කියලා. කොහොමත් ඒ කාලේ ඉදන්ම ඒ ළමයා ඔය dancing වැඩවලට එහෙම හිටියා මතකයි.

අපි තුන වසරේ වගේ ඉද්දී තිබ්බ concert එකකදී "සුදු පාට මල් මට තාම මතකයි" සිංදුවට හරි "මල් සුගන්ධේ දම් සුගන්ධේ" සිංදුවට හරි එයයි තව කට්ටියකුයි dance කරපු හැටි අපි දෙන්නාටම මතක් වුණා. ඒ විදිහට පොඩි කාලේ මතක ගොඩක් අපි මතක් කර කර ගියේ.

ඒත් dancing එහෙම කරපු අපේ වයසෙම ගෑණු ළමයෙක් මේ වෙද්දී ගෙදර කට්ටියගේ අකමැත්තෙන් කසාද බැඳල මේ වෙද්දී අම්මා කෙනෙකුත් වෙලා කියලා නෙළුම් කිව්වා. මට මතක් වුණේ කොහොමත් ඒ කාලේ ඉදන්ම ඒ ළමයට හෙණ විසයක් තිබ්බනේ කියලා. ඒ ගමන් අපි තාම අකේලේ හම් තමා කියලා :))

ඒ වගේම තව අපේ යාළුවෙක් මේ පාර ප්‍රාදේශීය සභා ඡන්දෙට ඉල්ලුවා. මිනිහා ගැනත් අපි කතා කළා. ඒ වගේම තව ගෑණු ළමයෙක් හිටියා ඒ දවස්වල ඒ ළමයා රැස්වීමක සිංදුවක් කිව්වොත් කියන්නෙම "ලඹ සවන් රන් පටින්" කියන සිංදුව. රැස්වීමෙදී වාසනා - ගීතයක් කියපුවාම කොල්ලෝ කෑ ගහනවා "ලඹ සවන් රන් පටින්, ලඹ සවන් රන් පටින්" කියලා :))

ඒ වගේ පොඩි කාලේ කතා ගොඩක් අපි දෙන්නා මතක් කර කර ගියේ. ඇත්තටම ඒ දවස්වල අපිට එච්චර හිතන්න දෙයක් තිබුණෙත් නැහැ. ලොකු ලොකු දේවල් තිබුණෙත් නැහැ. ශිෂ්‍යත්වෙට පංති යන්න කියලා එහෙම ලොකු කරදර තිබ්බෙත් නැහැ. බොහොම නිදහසේ හිටිය ළමා කාලයක් තිබ්බනේ කියලා හිතුණා දැන් කාලේ ළමයි එක්ක බලද්දී.

හොඳම කාලේ ළමා කාලේ කියලා කියනවානේ. ශ්‍රී නේරුතුමාගේ කියමනක් තියෙනවා එයාගේ ළමා කාලේ ආපහු දෙන්න පුලුවන් නම් එයා ඕනෙම කැපකිරීමක් කරන්න කැමතියි කියලා. නේරුතුමාත් පොඩි ළමයින්ට හරියට ආදරේ කරපු කෙනෙක්ලු. ඒක නිසා ඉන්දියාවේ ළමා දිනය සමරනවා කියන්නේ නේරුතුමාගේ උපන් දිනේ දවසටලු.

එයා බහින්න ඕනේ halt එකට ආපුවාම නෙළුම් බැහැලා ගියා. මට හිතුණේ මේ විදිහටම මාත් එක්ක කලින් ඉස්කෝලේ හිටිය යාළුවෝ ගොඩක් ඉන්නවා 1999 ඒ ඉස්කෝලෙන් ගියාට පස්සේ හම්බුනේ නැති එයාලව හම්බෙන්න තියෙනවා නම් කොච්චර දෙයක්ද කියලා. ඒ විදිහට තමයි මම අතීතෙට ගියේ.............


කොහොම වුණත් පොඩ්ඩක් හිතලා බලන්න අපේ ළමා කාලෙට අපි හුඟාක් කැමතියි නේද ???

Monday, April 25, 2011

කල් මැරූ අවුරුද්ද සහ 100


විභාගය ඉවරයි
පුරුදු නිදහස ආවයි
බ්ලොග් අවකාශේ ආයි
සරන්නට කාලයයි

Campus එකේ අපිට තිබුණු දෙවෙනි අවුරුද්දේ පළමු අර්ධ වාර්ෂිකයේ විභාගේ මේ 23 න් ඉවර වුණා. තව auxilery unit එකක් විදිහට දාපු HRM paper එකක් ලබන මාසේ 7 වෙනිදා තියෙනවා. ඒක නම් ඉතින් එච්චර ගින්නක් නැහැ :))

ඉතින් exam එකක් කරපු කරදරයක් කියන්නේ නිසකලංක පාඩුවේ blog එකට මොකක් හරි ලියන්නවත් වෙලාවක් තිබුණේ නැහැ. මේ ඔක්කොම ජරමර බර බර අස්සේ තමා මගේ බ්ලොග් කෙරුවාවට අවුරුද්දකුත් ගතවුණේ. මාර්තු 27 වෙනිදා තිබුණු 1st anniversary එක ගැන මාත් පොඩ්ඩක් වයර් මාරු කරගෙන පෙබරවාරි 27 එක anniversary party එක ගත්තනේ. පස්සෙයි මතක් වුණේ ඒක වැටෙන්නේ මාර්තු 27 වෙනිදාටනේ කියලා. ඉතින් මක්කා කියලා කරන්නද ???

කොහොම වුණත් blog එකට අවුරුද්දක් වගේම 100 වෙනි post එකත් නිමිති කරගෙන තමා මේ post එක ලියවෙන්නේ. පහුගිය අවුරුද්දේ මාර්තු විසි ගණන් වෙද්දී අපිට exams ඉවරවෙලා තිබුණු නිසා තමා මේ විදිහට blog එකක් අටෝගන්න පුලුවන් වුණේ. ඊට කලින් හොඳට blog කියවලා හොඳ හොඳ අදහස් ගොඩකුත් හිත පිරෙන්නේ ඇවිත් තිබුණේ.

ආන් ඒ විදිහට පටන් ගත්තු කෙරුවාවට අවුරුද්දක් වෙද්දී මම මොනවාද ලබාගත්තේ කියලා ඇහුවොත් මට දෙන්න තියෙන උත්තරේ තමා " හොඳ මිනිස්සු ටිකක්, හොඳ අත්දැකීම් ටිකක්"

එක අම්මාගේ දරුවෝ නොවුණත් තමන්ගේ සහෝදර සහෝදරියේ තරමට ලෙංගතු පිරිසකුත් තමන්ගේ දරුවන් විදිහට උපදෙස් දෙන වැඩිහිටියෝ පිරිසකුත් ඒ හොඳ මිනිස්සු ගොඩේ ඉන්නවා.

ඒ වගේම මේ බ්ලොග්කරණය කියන්නේ සිංහල බ්ලොග් අවකාශය කියන්නේ එක විදිහකට බලද්දී උප සංස්කෘතියක්. ඒකෙන් ලබාගත්තු අත්දැකීම් ජීවිතේට හරියට වටිනවා. ඒක නිසා මාත් එක්ක මනුස්සකම බෙදා ගත්තු හැමෝටමත් වටිනා කියන අත්දැකීම් ලබාගන්න උදව් වුණු හැමෝටමත් මගේ නිමක් නොවන ස්තුතිය.

ඒ වගේම නම් වශයෙන් කියන්න නම් හරී................. අමාරුයි ඒ තරමටම මේ බ්ලොගකරණය නිසා හිතවත් වුණු අය ඉන්නවා. මට මතක් වෙන විශේෂ සිද්ධි දෙක තුනක් මතක් කරන්නම්.

මාත් එකට රාජකීය විද්‍යාලයේ හිටිය යාළුවෝ දෙතුන් දෙනෙක් මේ බ්ලොග්කරණය නිසා හුඟාක් හිතවත් වෙලා තියෙනවා [උන් දෙන්නා තුන් දෙනාම මාත් එක්ක එකට කිසිම class එකක හිටියේ නැහැ හරිය. ඒකයි blog වලින් ෆිට් වුණා කිව්වේ :) ]

ඒ වගේම හසී පවුල කියලා අයියා කෙනෙකුත් අක්කා කෙනෙකුත් [ දැන් ඒකට තව සහෝදරියෙකුත් අයියා කෙනෙකුත් කියලා එකතු වෙන්න ඕනේ ] මල්ලී කෙනෙකුත් ලැබුණෙත් මේ බ්ලොග්කරණය නිසා.

ඒ වගේම මගේ පෙළක් නෑදෑ වෙන අය වගේම පෙළක් මගේ බ්ලොග් එක කියවනවා ඇති කියලා හිතන්නේවත් නැති අය හම්බුණු වෙලාවල්වලට "ආහ් ඔයාගේ බ්ලොග් එක හොඳයි නේ" කියලා කියනවා අහන්න ලැබෙන්නෙත් මේ බ්ලොග්කරණය නිසා මේ විදිහට බලද්දී බ්ලොග්කරණයෙන් ලැබුණු ප්‍රතිඵල, ප්‍රතිලාභ බොහොමයයි.

හුඟාක් දේවල් කිව්වානේ. දැන් මට ඉස්සර වගේ බයිලා කියවන්න බැහැ පැය ගණන් ඒක නිසා මේක අවසන් කරනවා. අන්තිමට මතක් කරන්න ඕනේ මෙහෙම blog එකක් පටන් ගන්න ඕනේ කියලා අදහසක් හිතේ ඇතිකරන්න දායක වුණු අපේ හිතවත් බ්ලොග්කරුවෙක් වෙන කතන්දරව. ස්තුතියි කසූ !!!

අදට කතා ඉවරයි මෙතෙක් කල් අසා සිටි බලා සිටි කියවූ ඔබ සැමට ස්තුතියි. ආයි පුරුදු විදිහට සයිබරේ කරක් ගහන්න පටන් ගත්තා ඕන්..............

ප.ලි. : කවියක් වගේ එකකින් පටන් ගත්තු එක නිසඳැසක් වගේ එකකින් ඉවර කරන්නයි හිතුවේ.

ලියන්න කම්මැලි හිතේවි
පාඩම් කරන්න ගොඩක් notes තියේවි

එක දිගට exams තියේවි

ඒත් blog එක ලියනවා සත්තයි


ප.ප.ලි. : exam is over කියලා google search කරද්දී හම්බුණු picture එක තමා උඩින්ම දාලා තියෙන්නේ :))

Thursday, April 7, 2011

මොකුත් ලියන්නට වුණේ නැත


මගේ blog එකේ


මාර්තු මාසෙන් පස්සේ මොකුත් ලියන්නට වුණේ නැත

Campus එකේ වැඩ නිසා මොකුත් ලියන්නට වුණේ නැත

Assignment ලිව්ව නිසා මොකුත් ලියන්නට වුණේ නැත

Blog එකට අවුරුද්දක් වුණා මොකුත් ලියන්නට වුණේ නැත

Study leave කාලෙවත් මොකුත් ලියන්නට වුණේ නැත

සයිබර් සැණකෙළිය ගැන මොකුත් ලියන්නට වුණේ නැත

සෙනසුරාදා ඉදන් exam නිසා මොකුත් ලියන්නට වෙන්නේ නැත

23 වෙනිදා පහු වෙනකම් මොකුත් ලියන්නට වෙන්නේ නැත

ඊට පස්සේ ලියන 100 වෙනි post එකට හොඳ එකක් ලියනවාමයි.................


එතෙක් සැමට ජය හා සතුට !!! :))