ඉතිහාසය විෂය කෙරෙහි වර්තමානයේ ඇතිවී තිබෙන රුචිකත්වය හමුවේ මෙවන් වූ ඉතිහාස කතා සිනමාවට නැඟීම තුළින් ඉතිහාසය පිළිබඳ මහජන නැඹුරුව තවත් වර්ධනයක් කිරීමක් සිදුවේ. එහිදී මෙවන් වූ නිර්මාණ සිදු කරන කලාකරුවන් අගය කළ යුතු වුවත් එහිදී ඓතිහාසික කතා පුවත යටපත් කරමින් එකී නිර්මාණයේ නිර්මාණකරුවාගේ කතා පුවතක් දිග හැරෙන්නේ නම් එකී නිර්මාණයේ වටිනාකම පිළිබඳ පැහැදිලි ගැටළුවක් ඇතිවන බව මගේ විශ්වාසයයි.
යථෝක්ත කතා බහට ගැනෙන
"මහින්දාගමනය" නම් චිත්‍රපටිය ආරම්භයේදීම ලාංකේය වංසකතා ඇතුළු සාහිත්‍ය මූලාශ්‍රය මෙන්ම සෙල්ලිපිද උපයෝගී කොටගෙන මේ සිනමා නිර්මාණය කර තිබෙන බව දක්වා තිබුණද ඇතැම් සිදුවීම් හා ඇතැම් භාණ්ඩ යටකී මූලාශ්‍රයයන් සියල්ල පසෙක ලා හුදෙක් අධ්‍යක්ෂවරයාගේ [මේ චිත්‍රපටියේ තිර රචකයාද වන්නේ අධ්‍යක්ෂවරයාමය] හෝ කලා අධ්‍යක්ෂවරයාගේ අභිමතය පරිදි සකසා තිබීමෙන් සිදුව ඇත්තේ ඓතිහාසික මහින්දාගමන කතා පුවතට හානි සිදුවීමයි.
ලාංකීය වංසකතා 100% ක්ම නිරවද්‍ය නොවන්නට පුලුවන්. නමුත් වංසකතා පාදක කරගෙන යමක් නිර්මාණය කළා යැයි පවසන්නේ නම් ඒ තුළ වංසකතාවල සඳහන් තොරතුරු පසෙක ලා හෝ වෙනත් සිදුවීම් ඇතුළත් කිරීමෙන් ප්‍රධාන කතා පුවතට වන හානිය සුළුපටු නොවේ. විශේෂයෙන් මෙවන් වූ ඓතිහාසික කතා පුවතකට එහිදී වන හානිය ඉහළය. මෙහිදී ප්‍රමුඛතම වංසකතාව වන මහාවංසය පාදක කරගෙන මේ අඩුපාඩු සාකච්ඡා කිරීම සිදුකර ඇති බවද දැක්විය යුතුය
සිදුවීම් එකිනෙක කතා කළහොත් මුලින්ම දක්වන සිදුවීම වන්නේ අශෝක අධිරාජ්‍යයාගේ කාලිංග යුද්ධය හා සම්බන්ධ යැයි කියන සොල්දාදුවන් පිරිසක් රාත්‍රී කාලයේ ගම්මානයකට කඩා වැදී නිරායුධ ගම්වාසීන් මරා දමා ඔවුන්ගේ ගම ගිනිබත් කරන අයුරුයි. අශෝක තමන්ගේ ප්‍රධානම සංග්‍රාමය වූ කාලිංග යුද්ධය ගැන 13 වෙනි ගිරි ලිපියේ දක්වන්නේ මේ අයුරිනි.
අශෝක අධිරාජ්‍යයාගේ සෙල්ලිපියක් "දෙවන පියදස් රජු ඔටුණු පලන් අටවැනි වර්ෂයේ කලිඟු රට ජයගන්නා ලදී. එහිදී එක් ලක්ෂ පණස් දහසක් සිරකරුවන් මෙන් ගෙනයන ලදී. ලක්ෂයක් මරණ ලදී. එපමණම සංඛ්‍යාවක් මියයන ලදී."ඉන්දියාවේ ඈත අතීතයේ සිදුවුණු මහා සංග්‍රාමවලින් සාමාන්‍ය වැසියන්ට හානි සිදුවුණත් සෘජුවම නිරායුධ සිවිල් වැසියන් මරාදැමීමක් සිදුවී නොමැත. විශේෂයෙන් මහාභාරතය වැනි වීර කාව්‍ය තුළ පවා දෙපාර්ශවයේ සොල්දාදුවන් මුහුණට මුහුණලා සටන් කළ යුතු බවත් සමාන අවි දරන අය සටන් කළ යුතු බවත්, නිරායුධ අය හා සටන් නොකළ යුතු බවත් දක්වා ඇත. මෙවැනි යුධ නීති එකල පැවති නිසා මෙලෙස නිරායුධ ගම්වාසීන් මරාදැමීමක් සිදුවුණැයි චිත්‍රපටියෙන් දැක්වීම අභව්‍ය සිදුවීමකි.
පසුව ජම්බුද්වීපයේ සිදුවීම් අවසානයේ ලංකාවේ විස්තරය දිග හැරෙන්නේ තිස්ස රජතුමා දිය නාමින් සිටි තරුණියන් කීප දෙනෙකුගෙන් තම සිත් ගත් තරුණියක්ව රජු විසින් වැවට බැස අල්ලාගෙන ඇයව අන්තඃපුරයට රැගෙන යාමයි. මෙයින් තිස්ස රජු ගැහැණු සොඬෙක්ගේ තත්වයට පත්කර තිබීම ඛේදනීයය. එවන්නක් තිර රචකයාගේ සිතෙහි මැවුණු හිතළුවක් පමණි.
මීළඟට චිත්‍රපටිය පුරා දිවයන ප්‍රධාන පුවත වන්නේ තිස්ස රජතුමාගේ අග මෙහෙසිය යුවරාජ මහානාග මරාදමන්නට කරන කුමන්ත්‍රණයි. තම පුතුට රජකම ලබාදීමේ අරමුණින් මේ කුමන්ත්‍රණ දියත් වෙයි.
තිස්ස රජතුමා සහ අගමෙහෙසිය මහින්දාගමනය චිත්‍රපටියෙන් එහිදී නාගයෙක් ලවා දෂ්ඨ කරවා මරා දැමීමටත්, රජ බිසව තමන්ම වෙස් වලා ගෙනගොස් කිණිස්සෙන් ඇන මරා දැමීමටත්, අවසාන වශයෙන් මහානාග කුමරුට විෂ යෙදූ අඹ යවා මරා දැමීමටත් රජ බිසව කටයුතු කරයි.
නමුත් ලාංකේය වංස කතා තුළ දක්වා ඇත්තේ ඉහත උපක්‍රමවලින් අවසන් උපාය පමණයි. එහිදී වංසකතා සාහිත්‍යයේ ප්‍රධානතම මූලාශ්‍රය වෙන මහාවංසයේ 22 පරිච්ඡේදයේ 3-5 වෙනි ගාථාවල එය දක්වන්නේ මේ විදිහට.
රඤ්ඤො දෙවි සපුත්තස්ස බාලා රජ්ජාභිකාමිනී
උපරාජවධත්ථාය ජාතචින්තා නිරන්තරං
වාපිං තරච්ඡං නාමායං කාරාපෙන්තස්ස පාහිණී
අම්බං විසෙන යොජෙත්වා ඨපෙත්වා අම්බමත්ථකෙ
තස්සා පුත්තො සහ ගතො උපරාජෙන බාලකො
භාජනෙ විවටෙ යෙව තං අම්බං ඛාදියාමරි
මේ ගැන විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ චිත්‍රපටිය පුරා 3/4 ක් පමණම මේ අග මෙහෙසිය හා යුවරජතුමා අතර ගැටීම දැක්වීමට අධ්‍යක්ෂවරයා කටයුතු කර තිබුණු නිසායි. මහින්දාගමනය නමින් තැනෙන චිත්‍රපටියක එවන් වූ සිදුවීමකට එතරම් බරක් තැබීම කෙතෙක් දුරට සාධාරණද යන්න තීරණය කිරීම ඔබට භාරය.
දුටුගැමුණු රජුගේ ධජය මෙහි රජ මාළිගය සහ වීථි සැරසීමට භාවිතා කර ඇති ධජයන්ගේ ඇති ඉර හඳ සහ සිංහ රුව දැක්වෙන ධජය දුටුගැමුණු රජතුමාගේ ධජය ලෙස සැලකේ. එය දඹුළු විහාරයේ සිතුවමක දැක්වෙන බවත් එය එසේ නොවන බවත් මත 2 ක් පවතී.
දුටුගැමුණු එළාර සටන දක්වන දඹුළු විහාර සිතුවම කෙසේ නමුත් දුටුගැමුණු රාජ්‍යත්වයට පත්වීමට වසර 146 කට පමණ දේවානම් පියතිස්ස රාජ්‍යත්වය දැරූ අතර දුටුගැමුණු භාවිතා කළ ධජය ඒ ලෙසින්ම දේවානම් පියතිස්ස භාවිතා කළාද යන්න සැක සහිතය.
තවත් විශේෂ දෙයක් වන්නේ රාජ සභාව තුළ වගේම ඉන් පිටත තිබෙන සිංහ රූ යාපහු රාජධානිය තිබුණු සමයේ ඉදි කෙරුණු සිංහ රුවට සමාන අන්දමින් චිත්‍රපටියේ පසුතලයන් නිර්මාණය කළ පුද්ගලයා විසින් සකසා තිබීමයි.
යාපහුවේ සිංහ රුව
දෙවන පෑතිස් සමය පසුකර යාපහු රාජධානි සමය ඇරඹීමට වසර 1500 ක් පමණ ගතවන අතර ඒ තරම් කාලයක් තුළ එකම අන්දමින් සිංහ රුවක් පැවතියේ යැයි සිතිය නොහැකිය.
උදාහරණ ලෙස සඳකඩ පහණ ගත්හොත් අනුරාධපුර, පොළොන්නරු සහ අවසාන වශයෙන් මහනුවර යුග තුළ එහි විකාශනය ගත හැක. මෙහිදී චිත්‍රපටියේ කලා අධ්‍යක්ෂවරයා කුට්ටි පිටින් කොපි කිරීමක් කරන්න ගොසින් යාපහු සිංහයා අනුරාධපුර යුගයට ගෙඩි පිටින් ගෙනගොස් ඇති බවක් පෙනේ.
නිශ්ශංක මල්ල රාජ සභා මණ්ඩපයේ ඇති සිංහ රුව
අවම වශයෙන් අනුරාධපුරයට යුගයට පසුව එළඹෙන පොළොන්නරු යුගයේ නිශ්ශංකමල්ල රජතුමගේ රාජ සභාවේ නිර්මාණය කර ඇති සිංහ රුව පිළිබඳව අධ්‍යනයක් හෝ අනුරාධපුර යුගයේ නිර්මාණයන්ගේ සිංහ රුව දිස්වූ අයුරු පිළිබඳව අවබෝධයක් ලබාගෙන තම නිර්මාණය කිරීමට ඔහු උත්සුක වූ බවක් නොපෙනේ.
මීළඟට චිත්‍රපටිය තුළ දක්වන්නේ මිනිසුන්ට මුතු හමුවීමක් සහ ඡාත පර්වතය පාමුලින් හමුවුණු යෂ්ඨි තුනක් හමුවීමයි. ඒ සිදුවීම් බැලීමේදී පෙනෙන්නේ තිස්ස කුමරු රාජ්‍යත්වයට පැමිණි ටික කලක් ගතවීමෙන් ඒ සිදුවීම් සිදුවන බවයි. නමුත් මහාවංසයේ 11 පරිච්ඡේදයේ 7-8 ගාථාවල ඇත්තේ
දෙවානම්පිතිස්සො සො රාජාසි පිතු අච්චයෙ
තස්සාභිසෙකෙන සමං බහූනච්ඡරියානහුං
ලංකාදීපම්හි සකලෙ නිධයො රතනාහි ච
අන්තො ඨිතානි උග්ගන්ත්වා පථවිතලමාරුහුං
එනම් රජුගේ අභිෂේකයත් සමඟම පොළවෙහි නිදන් කොට තබන ලද මුතු මැණික් පහළ වුණු බවයි. එසේම ඒ පරිච්ඡේදයේම 9 ගාථාව දක්වන
ලංකාදීපසමීපම්හි භින්නනාවාගතානි ච
තත්‍ර ජාතානි ච ථලං රතනානි සමාරුහුං
එනම් ලංකාව ආසන්න මුහුදේ මුහුදුබත්ව තිබුණු නැවවල තිබුණු වස්තුවද මුහුදේ හටගත් මැණික් වර්ගද වෙරළට ගොඩ ගැසුණු සිද්ධිය චිත්‍රපටියේ තිර රචකයා අමතක කළ බවක් පෙනේ. කෙසේ නමුත් ඉතිහාස කතා පුවතේ සඳහන් සෑම සිදුවීමක්ම එලෙසින්ම සිනමාවට නොනැගීමේ අයිතිය නිර්මාණකරුට ඇති බව පිළිගනිමි.
පසුව තිස්ස රජු වෙතට මේ වස්තු පැමිණවීමෙන් අනතුරුව දඹදිව වෙසෙන නොදුටු මිතුරු අශෝක අධිරාජ්‍යයා වෙත මේ වස්තුව පිටත් කර හරින අතර ඒ දූත කණ්ඩායමට අයත් වන්නේ රජුගේ ඇමති වූ අරිට්ඨ කුමරුත් තාලිපබ්බත බමුණාත්ය.
චිත්‍රපටියේ එලෙස දැක්වුවද මහාවංසයේ 11 පරිච්ඡේදයේ 20 වෙනි ගාථාවෙන් දඹදිවට පිටත් කළ දූත කණ්ඩායම දක්වන්නේ
භාගිනෙය්‍යං මහාරිට්ඨං අමච්චං පමුඛං තතො
දිජං අමච්චං ගණකං රාජා තෙ චතුරො ජනෙ
එනම් රජුගේ බෑණා වූ ඇමති අරිට්ඨ කුමරුත්, තාලිපබ්බත නම් බමුණාත්, මල්ල නම් ඇමතිත්, තිස්ස නම් ගණකයා [භාණ්ඩාගාරික] මේ දූත කණ්ඩායමට අයත් වූ බවයි.
දූත පිරිස නැවත ලක්දිවට පැමිණි පසු ධර්මාශෝක අධිරාජ්‍යයා ලබාදුන් අභිෂේක උපකරණවලින් නැවත වරක් මෞර්ය අභිෂේක ක්‍රමය යටතේ තිස්ස රජුව අභිෂේක කරන අතර එහිදී ක්ෂත්‍රිය කන්‍යාවක රජුගේ හිසට සංඛයකින් ජලය වත් කිරීමෙන් අනතුරව තාලිපබ්බත බමුණා රජුගේ හිස මතට ඔටුන්නක් තබයි.
මේ ඔටුන්න ධර්මාශෝක රජු විසින් එවන ලද භාණ්ඩයක් ලෙස චිත්‍රපටිය තුළ දක්වතත් එවැන්නක් ධර්මාශෝක රජු එවූ භාණ්ඩ අතර නොවුණු බව මහාවංසයේ 11 පරිච්ඡේදයේ 28-32 දක්වා ඇති ගාථාවලින් පෙනේ.
වාළවිජනිමුණ්හීසං ඛග්ගං ඡත්තං ච පාදුකං
මෞලිං වටසං පාමංගං භිංගාරං හරිචන්දනං
අධොවිමං වත්ථකොටිං මහග්ඝං හත්ථපුඤ්ඡනං
නාගාහටං අඤ්ජනං ච අරුණාභං ච මත්තිකං
අනොතත්තොදකාජං ච ගංගාසලිලමෙව ච
සංඛං ච නන්දියාවට්ටං වඩ්ඪමානං කුමාරිකං
හෙමභාජනභණ්ඩං ච සිවිකං ච මහාරහං
හරිතකං ආමලකං මහග්ඝං අමතොසධං
සුකාහටානං සාලීනං සට්ඨිවාහසතානි ච
අභිසෙකොපකරණ පරිවාරවිසෙසිතං
එසේම ආචාර්ය රැල්ෆ් පීරිස් මහතා රචනා කරන ලද සිංහල සමාජ සංවිධානය - මහනුවර යුගය කෘතිය තුළ පවා දක්වන්නේ අත්‍යවශ්‍ය රාජකීය ආභරණ අතර ඔටුන්නක් ගැන සඳහන් නොවන බවත් එය පැළඳීම තහනම් නොවූවත් අභිෂේකය සඳහා ඔටුන්න භාවිතා නොකළ බවයි.
මෙම සිදුවීමවලින් අනතුරුව රජු පොසොන් මාසයේ දඩ කෙළිය සඳහා මිස්සක පව්වට යාම චිත්‍රපටියේ දැකිය හැකි අතර රජු සහ ප්‍රධාන ඇමතිවරුන් අසුන් පිට නැගී දඩයමට පිටත් වෙති. නමුත් මහාවංසයේ 14 පරිච්ඡේදයේ 2 ගාථාවෙන් දක්වන්නේ
චත්තාලීසසහස්සෙහි නරෙහි පරිවාරිතො
ධාවන්තො පදසා යෙව අගමා මිස්සකං නගං
රජු ඇතුළු 40,000 ක් පිරිස පයින්ම නුවරින් නික්ම මිස්සක පව්වට ආ බවයි.
මීළඟට සිදුවන්නේ මුවෙක් පසු පස හඹායන රජුට මිහිඳු හිමියන් ඇමතීමත් සමඟ රජු මිහිඳු හිමියන් ඇතුළු ධර්ම දූත කණ්ඩායම පර්වතයක් මුදුනේ වැඩ සිටිනු දැකීමයි. නමුත් මහාවංසයේ 14 පරිච්ඡේදයේ 6 ගාථාවේ දැක්වෙන්නේ
ථෙරො බහුසු දිට්ඨෙසු අතිභායිස්සතීති සො
අත්තානං එව දස්සෙසි පස්සිත්වා තං මහීපති
එනම් බොහෝ දෙනෙක් දුටුවහොත් රජු බොහෝ සෙයින් බියට පත්වේයැයි සිතා රජුට තමන් වහන්සේ පමණක් පෙනේවා, අන් පිරිස නොපෙනේවා කියා මිහිඳු හිමියන් අධිෂ්ඨාන කළ බවයි.
එසේම මහාවංසයේ 14 පරිච්ඡේදයේ 8 වෙනි ගාථාව වන
සමණා මයං මහාරාජ ධම්මරාජස්ස සාවකා
තවෙ'ව අනුකම්පාය ජම්බුදීපා ඉධාගතා
එනම් මිහිඳු මාහියෝ තමන් වහන්සේ ඇතුලු පිරිස හඳුන්වා දීම මහාවංසයේ පාලියෙන් දක්වා ඇති ගාථාව කුට්ටි පිටින් චිත්‍රපටියට ඇතුළත් කර ඇති අතර මේ ගාථාවෙන් අනතුරුව මිහිඳු හිමියෝ සුපුරුදු සිංහලෙන් රජු සමඟ කතා බස් කරති.
පසුව රජු භණ්ඩුක උපාසකගෙන්
"තෙරුවන් යනු කුමක්ද ?" ඇසූ ප්‍රශ්නයේදී ඔහු පිළිතුරු දෙන්නේ
"තෙරුවන් යනු බුදුන් සරණ යාම, දහම් සරණ යාම, සඟුන් සරණ යාම" ලෙසයි.
මේ ප්‍රකාශය තුළින් බුද්ධ දේශනාවේ මූලික ඉගැන්වීමක් විකෘති කර ඇති බව මගේ හැඟීමයි. තෙරුවන් යනු බුද්ධ රත්නය, ධර්ම රත්නය හා සංඝ රත්නය වන අතර බෞද්ධයෙක් වශයෙන් සැළකෙන්නේ මේ තෙරුවන් සරණ යාම තුළිනි. එනම් ඉහත දක්වා ඇති චිත්‍රපටිය තුළ භණ්ඩුක උපාසක දක්වන "බුදුන් සරණ යාම, දහම් සරණ යාම, සඟුන් සරණ යාම" තුළිනි.
තෙරුවන් සහ බෞද්ධයෙක් වීම යන මූලිකම සංකල්ප දෙක පවා නිවැරදිව වටහා නොගන්නා තත්වයකට බෞද්ධයන් පත්ව තිබීම කණගාටුදායකය.
රජු ඇතුළු පිරිස මිහින්තලයෙන් නික්ම ගිය පසු භන්ඩුක උපාසකයා පැවිදි කළ බව මහාවංසයේ 14 පරිච්ඡේදයේ 32 ගාථාවෙන්
ථෙරො තං ගාමසීමායං තස්මිං යෙව ගණෙ අකා
භණ්ඩුකස්ස කුමාරස්ස පබ්බජ්ජං උපසම්පදා
දක්වන නමුත් චිත්‍රපටිය ඒ සිදුවීම ඇතුළත් නොවේ.
දහම් අසන රජතුමා ඇතුළු පිරිස එසේම ඊට පසු දින නගරයට වැඩම කළ මිහිඳු මාහිමියන් නගරයට වැඩම කර රජ මාළිගයේදී දහම් දෙසන සිදුවීම චිත්‍රපටියෙන් දක්වතත් ඊට පෙර සිදුවූ මහාවංසයේ 14 පරිච්ඡේදයේ 55 ගාථාවෙන් දක්වන
තෙ යාගුඛජ්ජභොජ්ජෙහි සයං රාජා අතප්පයි
නිට්ඨිතෙ භත්තකිච්චම්හි සයං උපනිසීදිය
රජතුමා විසින් මිහිඳු හිමියන් ඇතුළු පිරිසට දන් පිළිගැන්වීම චිත්‍රපටයෙන් මග හැරී ඇත.
රජතුමාගේ ඇත්හළේදී දහම් දෙසන මිහිඳු මාහියෝ අහසේ පාවෙන ආකාරයේ පෙළහරක් දක්වන අතර එමඟින් එකළ ලංකාවේ ප්‍රධාන ඇදහීම් දෙකක් වූ යක්ෂ වන්දනාව හා නාග වන්දනාව කළ පූජකයන් දෙදෙනෙක් තෙරුවන් සරණ යාම චිත්‍රපටිය තුළ දක්වතත් එවන්නක් වංස කතා සාහිත්‍ය තුළ නම් හමු නොවේ.
එසේම ලක්දිව බුදු සසුනේ සිදුවූ වැදගත්ම සිදුවීමක් වුණු මහමෙවුනා උයන පූජා කිරීම මහාවංසයේ 15 පරිච්ඡේදයේ 24, 25 ගාථාවල දක්වන්නේ
සාධූති වත්වා ගණ්හිත්වා රාජා හිංගාරමුත්තං
මහාමෙඝවනුය්‍යානං දම්මි සංඝස්සිමං ඉති
මහින්දථෙරස්ස කරෙ දක්ඛිණොදකමාකිරි
මහියා පතිතෙ තොයෙ අකම්පිත්ථ මහාමහී
රජතුමා රන් කෙණ්ඩියකින් මිහිඳු හිමියන්ගේ අත්ලට පැන් වත් කරමින් මේ මහමෙවුනා උයන සංඝයා හට දෙමි කියමින් පැන් වත් කළ බවයි. ඒ සිදුවීමද චිත්‍රපටියෙන් මග හැරී ඇත.
ඉන්පසුව 27 ගාථාවේ සිට 180 ගාථාව දක්වා විස්තර කරන්නේ මිහිඳු මාහිමියන් මහමෙවුනා උයනේ එක් එක් පූජනීය ස්ථාන සළකුණු කිරීමයි. එහිදී සීමා මාලකය, ශ්‍රී මහා බෝධිය, චතුස්සාලාව, මහා සෑය ආදී ස්ථාන ඉදි කිරීමට යෝජිත ස්ථාන සළකුණු කරනු ලබයි. පෙර කී සිද්ධියත් සමඟම මේ සිදුවීමද තිර රචකයාට මග හැරී ඇත.
එසේම එම පරිච්ඡේදයේම 188 ගාථාවේ සිට 194 ගාථාව දක්වා විස්තර කරන ඇතුන් දෙදෙනෙක් අදින ලද නඟුලකින් සී සාමින් රජු සීමා ලකුණු කරන සිදුවීමටද ඉහත තත්වයම උදා වී ඇත.
පසුව වස් කාලය එළඹීමත් සමඟ මිහිඳු මාහිමියන් ඇතුළු පිරිස වස් සමාදන්ව වස් විසීමට මිහින්තලයට වැඩම කරන අතර 16 පරිච්ඡේදයේ 12 ගාථාවේ දක්වන
කණ්තකචෙතියට්ඨානං පරිතො තදහෙව සො
කම්මානි ආරභාපෙත්වා ලෙණානි අට්ඨසට්ඨියො
එනම් ලෙන් 68 ක් පිරිසිදු කරවා භික්ෂූන් වහන්සේලාට පූජා කිරීම ආදියද මෙලෙස මග හැරුණු තවත් ප්‍රධාන සිදුවීමකි.
මහාවංසයේ 17 පරිච්ඡේදයේ 2 ගාථාවේ දක්වන
චිරදිට්ඨො හි සම්බුද්ධො සත්ථා නො මනුජාධිප
අනාථවාසං වසිම්හ නත්ථි නො පූජියං ඉධ
වස් කාලය අවසානයේදී මිහිඳු මාහිමියන් විසින් රජුට තමන් වහන්සේලාට වන්දනා කිරීමට බුදුන් වහන්සේගේ ධාතූන් තැන්පත් ස්ථූපයක් නොමැති බව දක්වා ථූපාරාම දාගැබ ඉදිකිරීම සඳහා කටයුතු සූදානම් කිරීම මිහිඳු හිමියෝ රජ මාළිගයට වැඩම කළ මුල්ම දිනයේ වන සිදුවීමක් ලෙස චිත්‍රපටිය තුළ පෙන්වුවද ඒ සිදුවීමද සිදුවන්නේ මිහිඳු හිමියන් ඇතුළු පිරිස වස් කාලය ගත කිරීමෙන් පසුවය.
ථූපාරාම දාගැබ චිත්‍රපටිය තුළ දක්වන මහානාග උයනට වැඩම කරන සුමන සාමණේරයන් වර්තමානයේ බෝධි පූජාවන්වලදී භාවිතා කරන ආකාරයේ වැකි කීපයක් කීමෙන් අනතුරුව සර්වඥ ධාතූන් වහන්සේලා උන් වහන්සේගේ අතට වැඩම කරන අතර පසුව එය රජුට භාර කරනු ලබයි.
නමුත් මහාවංසයේ 17 පරිච්ඡේදයේ 10, 18, 19 ගාථාවල දැක්වෙන්නේ
එහිං ත්වං භද්‍ර සුමන ගන්ත්වා පුප්ඵපුරං වරං
අය්‍යකං තෙ මහාරාජං එවං නො වචනං වද
ථෙරස්ස වචනං වත්වා රාජතො ලද්ධධාතුයො
පත්තපූරා ගහෙත්වාන හිමවන්තං උපාගමිං
චූළාමණිචෙතියම්හා ගහෙත්වා දක්ඛිණක්ඛකං
සාමණෙරස්ස පාදාසි සක්කො දෙවානමිස්සරො
මිහිඳු මාහිමියන්ගේ උපදෙස් පරිදි දඹදිව පුෂ්පපුරයට වැඩම කරන සුමන සාමණේරයන් තම මුත්තණුවන් වූ ධර්මාශෝක රජු හමුවී පාත්‍රා ධාතුව පුරවා සර්වඥ ධාතූන් වහන්සේලා ලබාගන්නා අතර ඒවා හිමවත තැන්පත් කර දිව්‍ය ලෝකයට වැඩම කොට ශක්‍ර දේවරාජයාගෙන් සිළුමිණි සෑයේ නිදන් කර තිබූ දකුණු අකු ධාතුවද රැගෙන නැවත ලංකාවට වැඩම කළ බවයි.
සංඝමිත්තා තෙරණිය ශ්‍රී මහා බෝධිය සමඟ ලංකාවට වැඩම කරවීමේ පුවත චිත්‍රපටිය තුළද නිවැරදිව නිරූපණය කිරීමට අසමත් වීම දැකගත හැක. බොහෝ තැන්වල රන් පාත්‍රයක බහා ශ්‍රී මහා බෝධි ශාඛාව වැඩම කරවන ලද බව කීවත් එය පාත්‍රයක් නොව කළසක් බව මහාවංසය දක්වයි.
මහාවංසයේ 18 පරිච්ඡේදයේ දක්වන පරිදි ඒ රන් කළස ප්‍රමාණයන් දක්වන්නේ
නවහත්ථපරික්ඛෙපං පංචහත්ථං ගභීරතො
තිහත්ථවික්ඛම්භයුත්තං අට්ඨංගුලඝනං සුභං
එනම් හාත්පස වට ප්‍රමාණය නව රියන්ද විෂ්කම්භය තුන් රියන්ද ලෙස ගනකම්ව රන් කළස නිම වූ බවයි.
කැලණි විහාරයේ සෝලියස් මැන්දිස් කළ දුමින්දාගමන සිතුවමේ පමණක් එය නිවැරදිව ඇඳ තිබෙනු දැකගත හැක.
නමුත් ඉන් අනතුරුව සිදුවුණු තවත් වැදගත් සිදුවීම් කීපයක් වන සංඝමිත්තා තෙරණිය පැමිණි නැවේ කොටස් තැන්පත් කර මන්දිර 3 ක් ඉදිකිරීම, එසේම ලක්දිව බුදු සසුන නිත්‍ය වශයෙන් ස්ථාපනය වූවායැයි සැළකෙන ථූපාරාමයේදී අරිට්ඨ හිමියන් මිහිඳු මාහිමියන් සමඟ සම අසුන් ගෙන පැවැත්වූ විනය සංගායනාව වැනි සිදුවීමද චිත්‍රපටියේ දැකගත නොහැක.
චිත්‍රපටියක් තුළ මේ සියලු සිදුවීම් ඇතුළත් කිරීම ප්‍රායෝගික නොවන බවක් විටෙක පෙනෙන්නට පුලුවන. නමුත් වංස කතා පාදක කොටගෙන චිත්‍රපටිය තන්නේ නම් මූලිකව පාදක වන සිදුවීම් හෝ ඒ අයුරින් ඇතුළත් කිරීම සහ වංසකතාවල නොදැක්වෙන සිදුවීම් හිතලු ලෙස දැක්වීමේදී ප්‍රවේශම් වීම යුක්තියුක්ත වන බව මගේ හැඟීමයි.
අබා චිත්‍රපටියේ ආ හබරා සහ ගුම්භකභූතා යුවළ එසේම බොහෝ දෙනා මීට පෙර චෝදනා කළ පරිදි ජැක්සන් ඇන්තනී නිර්මාණය කළ
"අබා" චිත්‍රපටිය තුළින් පණ්ඩුකාභය කතා පුවතටත් වඩා හබරා සහ ගුම්භකභූතා පෙම් පුවත හුවා දැක්වූවාක් මෙන් මහින්දාගමනය චිත්‍රපටිය තුළින් ඉසිගිලි සහ සේරු පෙම් පුවත මෙන්ම දෙවන පෑතිස් අග මෙහෙසියගේ කුමන්ත්‍රණ පෙන්වීමට යාමෙන් මහින්දාගමනය යන නාමයට අනන්‍ය වූ කතා පුවත් චිත්‍රපටිය තුළින් ඉදිරිපත් වුණාද යන්න සැක සහිතය.
එසේම පහත දැක්වෙන මහින්දාගමනය චිත්‍රපටියේ ප්‍රචාරණ කටයුතු සඳහා දුමින්දාගමනය සඳහා යොදා ගැනෙන නැවේ ඉදිරි පස කොටස යොදා ගත්තේ කුමන පදනමකින්ද යන්න තවමත් මට ඇති ගැටළුවකි.
මහින්දාගමනය චිත්‍රපටියෙන් සැබවින්ම දේශයක පිබිදීම දැක්වුණේද යන්න පිළිබඳව ඔබේ අදහස් එකතු කරන්න.
මහින්දාගමනය චිත්‍රපටියේ නිල වෙබ් අඩවිය :
http://www.mahindagamanaya.lk/ප.ලි.: මහින්දාගමනය චිත්‍රපටිය ලාංකේය ජන විඥානයට කර ඇති හානිය සුලුපටු නොවන බව මට හොඳ හැටි අවබෝධ වූයේ පසුගිය දිනකය. අප දහම් පාසලේ නිවාසාන්තර තරඟාවලියේ කණිෂ්ඨ අංශයේ චිත්‍ර මාතෘකාවක් වූයේ මහින්දාගමනයයි. එක් ළමයෙක් එය සිතුවමට නගා තිබුණේ මෙලෙසිනි.
එයින්ම මා පෙර දැක්වූ හානිය මොනවට පැහැදිලි වේ.
මහින්දාගමනය චිත්‍රපටිය ගැන මා දුටු තවත් ලිපි 2 ක්මහින්දාගමනයෙන් ඔද වැඩුනු සිනමාscopeමහින්දාගමනය බැලුවෙමු