Sunday, May 30, 2010

රෝමයේ උපන් ජේසු - 2 [ඇත්ත කතාව]

ඔන්න ඊයේ "යෝවද තං පව රෝමානු ජේසු - රෝමයේ උපන් ජේසු" post එකෙන් අන්තිමට පොරොන්දු වුණු විදිහටම ඡත්ත මානවක ගාථාවල නිධාන කතාවත්, ඒක වර්තමානයේ භාවිතයට ආපු හැටි කියන වත්මන් කතාවත් කියන්න තමා ලෑස්තිය.


බුදුන් දවස ඉන්දියාවේ හිටිය ඡත්ත කියන මානවකයා [මේ මානවකයා කියන්නේ තරුණයා කියන එක] දිසාපාමොක් ආචාරීන් සමීපයේ ශිල්ප හදාරලා අවසන් කරලා ගුරු පඬුරු අරන් එන්න තමන්ගේ නිවසට පිටත් වුණා. රන් කහවණු ගුරු පඬුරු විදිහට අරගත්තු ඡත්ත ඒවා ගුරුවරයාට භාර දෙන්න නැවතත් ගුරු ගෙදර බලා පිටත්වුණා.

ඉතින් අළුයම් කාලේ ලෝකය වෙත මහා කරුණාවෙන් බලලා තමාගේ පිහිටක් අවශ්‍ය වෙන පුද්ගලයන්ට පිහිටක් වීම බුදුරජාණන් වහන්සේගේ සිරිතක් වෙලා තිබ්බා. ඒ දවසේ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ඇසට හසුවුණේ මේ ඡත්ත කියන මානවකයාව.

මේ විදිහට ගුරුවරයාට ගුරු පඬුරු විදිහට රන් කහවණු අරන් යන ඡත්තව අතරමගදී හොරු කණ්ඩායමක් විසින් රන් කහවුණු පැහැර ගැනීමේ චේතනාවෙන් මරාදාන බව බුදුරජාණන් වහන්සේට පෙනුණා. ඡත්තට සුගතිගාමී වෙන [දිව්‍ය ලෝකේ යන්න පුළුවන් වෙන] පිනක් සිදු කරලා දෙන කැමැත්තෙන් බුදුරජාණන් වහන්සේ ඡත්ත ගුරු ගෙදරට යන මාර්ගයේ අතරමැද වැඩ සිටියා.

ඡත්ත බුදුරජාණන් වහන්සේ දැකලා වැඳලා කරුණු කතා බස් කරද්දී බුදුරජාණන් වහන්සේ ඡත්තට තුණුරුවනේ ගුණ කියවෙන ගාථාවන් තුනක් කියාදුන්නා.

මේ තියෙන්නේ ඒ ගාථාවන් තුන සරල සිංහල තේරුමත් එක්ක.

යෝ වදතං පවරෝ මනුජේසු
සක්‍යමුනී භගවා කත කිච්චෝ
පාරගතෝ බලවිරියසමංගි
තං සුගතං සරණත්ථමුපේමි

කතා කරන මිනිසුන් අතර යම් ශ්‍රේෂ්ඨයෙක් වෙයිද, ඒ ජීවිතයේ අවබෝධ කරගත යුතු සියල්ල අවබෝධ කරගත් ශාක්‍ය මුනීන්ද්‍ර වූ භාග්‍යවතුන් වහන්සේය. අනන්ත අප්‍රමාණ වීර්යයකින්, ධෛර්යයකින් සංසාරයෙන් එතෙරට වැඩි ඒ සුගතයන් වහන්සේව සාදරයෙන් සරණ යමි.

රාග විරාග මනේජමසෝකං
ධම්ම මසංඛත මප්පටිකූලං
මධුර මිමං පගුණං සුවිභත්තං
ධම්මමිමං සරණත්ථමුපේමි

රාගය නැති කරන්නා වූ ශෝක රහිත වූ තෘෂ්ණාව රහිත වූ, පිළිකුල් රහිත වූ අසංකත වූ නිර්වාණ ධර්මය මනා කොට ප්‍රගුණ කළහොත් අනන්ත සුන්දරත්වයක් සාක්ෂාත් කරන ඒ ධර්මය සාදරයෙන් සරණ යමි

යත්ථ ච දින්න මහප්ඵල මාහු
චතුසු සුචීසු පුරිස යුගේසු
අට්ථච පුග්ගල ධම්මදසාසේ
සංඝමිමං සරණත්ථමුපේමි

යම් කෙනෙකුට පිදිමෙන් මහත් ප්‍රතිඵල ලැබේද, ඒ පාරිශුද්ධ වූ මාර්ග ඵල ලාභී උත්තමයන් වහන්සේලා යුගල වශයෙන් වූ හතර දෙනාටයි. උන්වහන්සේලා පුද්ගලයන් වශයෙන් අට දෙනෙක් වේ. ඒ සංඝයා වහන්සේලා සාදරයෙන් සරණ යමි.



අවසානයේදී බුදුරජාණන් වහන්සේට වැඳලා සමුගත්තු ඡත්ත ඉදිරියට යද්දී හොරු කණ්ඩායමක් ඇවිත් ඡත්තව මරා දාලා කහවණු ටික පැහැර ගත්තා. මේ අවස්ථාවේදී ඡත්ත තුණුරුවනේ ගුණ කියවෙන ගාථා කියමින් තුණුරුවන් කෙරෙහි සිත පහදවාගෙන සිටි නිසා ඡත්ත මරණින් පසුව දිව්‍ය ලෝකේ උත්පත්තිය ලබනවා. ඔන්න ඕක තමා අතීත කතාව.

ඉතින් ඡත්ත මානවක ගාථා වර්තමානයේ භාවිතයට ආවේ මෙන්න මේ විදිහට. අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක හාමුදුරුවෝ කොළඹ ආනන්ද විද්‍යාලයේ උගන්වන කාලේ පානදුරේ කුරුප්පුමුල්ලේ ඉපදුණු කුරුප්පුමුල්ලගේ දොන් ජිනරාජදාස කියලා ළමයෙක් විද්‍යාලයට ඇතුළත් වෙලා තියෙනවා.


ඉතින් ආනන්ද මෛත්‍රී මහානායක හාමුදුරුවෝ යම්තාක් දුරකට හිත දියුණු කරලා තිබ්බ කෙනෙක්. ඒ හිමියන්ට පෙනිලා තියෙනවා මේ ජිනරාජදාස කියන ළමයා බුදුන් දවස හිටිය ඡත්ත කියන මානවකයා කියලා. මේ කරුණ හෙන්රි ස්ටීල් ඕල්කට්තුමාගේ මූලිකත්වයෙන් තිබුණු පරමවිඥානාර්ථ සමාගමේ අයත් ඊට පස්සේ පිළි අරන් තිබුණා [ඔවුන්ගේ මතය අනුව ඕල්කට්තුමා පෙර භවයේ ධර්මාශෝක රජු ලෙසත්, ක්‍රිෂ්ණමූර්තිතුමා බුදුන් වහන්සේ සමීපයේ මෛත්‍රී බලදාස නමින් පැවිදිව සිටි කෙනෙක් බවත් දක්වා තිබුණා]

ඉතින් කලින් කියපු විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තුණුරුවනේ ගුණ කියවෙන ගාථා කියමින් ගිය ඡත්ත මානවකයාට ඒකෙන් දෙව් ලොව යන්න තරම් පිනක් සිදුවුණු නිසාත්, පාසල නිමාවෙලා ගෙදර යන දරුවන්ට ආරක්ෂාවක් ලබාදෙන්නත් කියන අරමුණු මුල් කරගෙන ආනන්ද මෛත්‍රී මහානායක හාමුදුරුවන්ගේ අදහසක් අනුව ආනන්ද විද්‍යාලයේ ළමයින්ට පාසල නිමාවෙන වෙලාවට මේ ගාථා ගායනා කරන්න පුරුදු කරලා තියෙනවා.


ඊට පස්සේ ඒ කාර්යය අනුගමනය කරපු අනෙක් පාසල්වලත් මේ විදිහටම පාසල නිමාවෙද්දී මේ ඡත්ත මානවක ගාථා ගායනා කරන්න පටන් අරන් තියෙනවා. අද වෙනකොට ලංකාවේ තියෙන හැම පාසලකම වගේම, [කිතුණු, හින්දු හෝ ඉස්ලාම් පාසල් මෙන්ම කොළඹ රාජකීය විද්‍යාලයේ හා ජාත්‍යන්තර පාසල්වල හැරුණු කොට] බෞද්ධ දහම් පාසල්වලත් පාසල් කටයුතු නිමාවෙනකොට ඡත්ත මානවක ගාථා ගායනා කරන ආකාරය අපිට දැකබලාගන්න පුලුවන්.

මේ කතාවේ හිටපු කුරුප්පුමුල්ලගේ දොන් ජිනරාජදාසට මොකද වුණේ කියලා සමහරුන්ට ගැටළුවක් වෙන්න පුළුවන්. ඉතින් ඒක ගැනත් කියන්නම්කෝ. එතුමා කොළඹ ආනන්ද විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබලා උසස් අධ්‍යාපනයට එංගලන්තය බලා පිටත් වෙලා තියෙනවා.

එහෙදී කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් M.A. උපාධිය දක්වා අධ්‍යාපනය හදාරපු ජිනරාජදාස පසුව ලෝකයේ ආධ්‍යාත්මික දෑ පිළිබඳ දේශන පවත්වන දේශකයෙක් විදිහට කටයුතු කරලා තියෙනවා. ඒ කාලෙදිම පරමවිඥානාර්ථවාදීන් ජගද්ගුරු ලෙස පිළිගෙන හිටපු ක්‍රිෂ්ණමූර්තිතුමාගේ පුද්ගලික ගුරුවරයා විදිහටත් මෙතුමා කටයුතු කරලා තියෙනවා.

අවසාන වශයෙන් මේ post එක සකසන්න සමුද්‍ර වෙත්තසිංහ විසින් රචනා කරපු "ආනන්ද මෛත්‍රය මහනාහිමියගේ අප්‍රකට ලිපි" කියන පොතත්, දහම් පාසල් 5 ශ්‍රේණි පෙළ පොතත්, හසන්ත හෙට්ටිආරච්චි සම්පාදනය කරපු "දොරමඬලාව සංවාදාත්මක හර සරණියේ" සංවාද ඇතුළත් පොතත් උපකාරී වූ බව ගෞරවයෙන් මතක් කරන්න කැමතියි.

ප.ලි.:
ඊයේ දාපු "යෝවද තං පව රෝමානු ජේසු - රෝමයේ උපන් ජේසු" post එකේ link එක මුහුණු පොතටත් මම දැම්මා. මගේ හිතවත් අක්කා කෙනෙක් [එයා ක්‍රිස්තියානි] මට දොස් කියලා තිබ්බා. මම අන්තවාදියෙක් වෙන්න වගේ යන්නේ. මම ආගම්වලට අපහාස කරනවා. ඒක වැරදියි ආදී වශයෙන්.

ඉතින් මම කිව්වා කෝකටත් post එක ආයි පාරක් කියවලා බලන්න. මේක නිකම් කතාවක් විතරයි. හරි නම් බෞද්ධයෝ තමා මාත් එක්ක වලියට එන්න ඕනේ මේ විදිහට බුදු ගුණ කියන ගාථාවක් වෙනස් කළාට කියලා. :)

Saturday, May 29, 2010

යෝවද තං පව රෝමානු ජේසු - රෝමයේ උපන් ජේසු


අද post එකේ මාතෘකාව දැක්ක ගමන් සමහරු කලබල වෙයි මෙන්න බුද්ධාගම විකෘති කරනවා කියලා. ඒත් මේ කතාව එහෙම එකක් ගැන නෙමෙයි. ඔයලා දන්නවානේ ආගිය කතාවල කතා මිසක් වෙන වැඩ නැහැ කියලා.

අද කියන්න යන කතාවට මූල බීජය සැපයුවේ අපේ හිතවත් බ්ලොග්කරුවෙක් වෙන තරිඳු අයියා ලියපු "ඔබද රෝමානු ආගමේ ජේසු ?" කියන post එක.

ඉතින් මම කියන්න යන කතාව පටන් ගන්නම්කෝ. අපේ ගමේ පන්සලේ තිබ්බ දහම් පාසලේ උප ප්‍රධානාචාර්යවරයා විදිහට කටයුතු කරපු දැනට අප අතරින් වියෝ වෙලා ඉන්න අපි කියන විදිහට "අපේ ලොකු සර්" තමා මේ කතාව මටත් කිව්වේ.

අපේ ලොකු සර් ගත්තොත් ඇත්තටම පුංචි ධර්ම භාණ්ඩාගාරයක් කියලා කිව්වොත් නිවැරදියි. හුඟක් සූත්‍ර දේශනා ආදිය දැනගෙන හිටිය ලොකු සර්ට හාමුදුරුවන්ට වුණත් බුද්ධ ධර්මය උගන්වන්න තරම් ධර්මය ගැන දැනුමක් තිබ්බා. සාමාන්‍යයෙන් ලොකු සර් පාඩම් උගන්වන්න ආපුවාම අහගෙන ඉන්න එහෙම හරිම ආසයි. ඒ තරම් රසවත් විදිහට තමා උගන්වන්නේ.

ඔන්න දවසක් දා ලොකු සර් එයාගේ තරුණ කාලේ ගැන කිව්වා. ඒ අතරවාරේ තමා මේ කතාවත් කිව්වේ.

ඒ දවස්වල සර් වැඩ කරලා තියෙන්නේ A/C Machine Repair කරන තැනක. එතැන හුඟක් ඉදලා තියෙන්නේ ක්‍රිස්තියානි බැතිමතුන්. අපේ ලොකු සර් බෞද්ධයෙක් බවත් බුද්ධ ධර්මය ගැන හොඳ අවබෝධයක් තියෙන කෙනෙක් කියලත් එයාලා දැනගෙන ඉදලා තියෙනවා.

එක දවසක් ඒ කට්ටිය කතා කර කර ඉද්දී ලොකු සර්ගෙන් ඇහුවාලු "දැන් උඹලාගේ බුදු හාමුදුරුවන්ට අතීතය අනාගතය ගැන පේනවා කියලනේ උඹලා කියන්නේ. හොඳයි එහෙමනම් බුදු හාමුදුරුවෝ ජේසුස් වහන්සේ කියලා කෙනෙක් උපදිනවා කියලා කොහෙවත් කියලා නැද්ද ?" කියලා

ලොකු සර්ත් ඉතින් කල්පනා කරලා බැලුවලු එහෙම මොකුත් මතක් වෙන්නේ නැහැලු. අන්තිමට ලොකු සර් හිතුවාලු ස්ථානෝචිත ප්‍රඥාව පාවිච්චි කරන්න.

ඉතින් අන්තිමට ලොකු සර් කිව්වාලු "බුදු හාමුදුරුවෝ දවසක් දා ඡත්ත කියන තරුණයාට ගාථා වගයක් දේශනා කරලා තියෙනවා. ඒවාට අපි කියන්නේ ඡත්ත මානවක ගාථා කියලා. ඒ ගාථාවලින් මුල්ම ගාථාවේ මුල්ම පදයෙන් බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා යෝවද තං පව රෝමානු ජේසු කියලා ඒ කියන්නේ පසුකාලීනව රෝම රාජ්‍යයේ ජේසු කියලා පුද්ගලයෙක් උපදිනවා කියන එකයි." කියලා

එදා රෝම රාජ්‍යයට අයත් වෙලා තිබුණු ජේසුතුමා උපන් බෙත්ලෙහෙම් නගරය අද

ඉතින් ඔය ක්‍රිස්තියානි set එක පාලි දන්න එකක්යැ ඒක ඇත්ත කියලා පිළි අරන් බුද්ධාගම ගැන අනම් මනම් කියන එක නැවැත්තුවාලු.

මට මේ කතාව ඇහුවාම මතක් වුණේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් සිද්ධවුණු පානදුරාවාදය. ඒකෙත් මේ වගේම හොඳ හොඳ උදාහරණ පාවිච්චි කරලා තියෙනවා.

ඉතින් තරිඳු අයියගේ post එකෙන් පස්සේ මමත් මේ ඡත්ත මානවක ගාථා ගැන කරුණු හෙව්වා. ඒ විදිහට හොයාගත්තු ඡත්ත මානවක ගාථාවල නිධාන කතාව ඒ වගේම වර්තමානයේදී බොහෝ පාසල්වල කටයුතු නිමා කිරිමේදී භාවිතා වෙන්න ඡත්ත මානවක ගාථා ආපු හැටි ගැන හෙට කියන්නම්. අනිවාර්යයෙන්ම ඒ එක කියවන්න මතක තියා ගන්න. :)

මෙන්න ඡත්ත මානවක ගාථාවල තේරුම ඒ වගේම එකේ අතීත කතාව වගේම වර්තමාන කතාව ඇතුළත් "රෝමයේ උපන් ජේසු - 2 [ඇත්ත කතාව]" post එක. කියවලා බලන්නකෝ.

Thursday, May 27, 2010

වෛශාඛ්‍ය මංගල්‍යය උතුම්ව සමරමු


අද වෙසක් පුර පසළොස්වක පොහොය දවස. ශ්‍රී ලංකාවාසී බෞද්ධයෝ වගේම සමස්ත ලෝකවාසී බෞද්ධයෝම අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිදුවුණු දිනය ලෙසයි අද දවස සමරන්නේ.

ඒ යටතේ ලුම්බිණි සල් උයනේදී සිද්ධාර්ථ කුමාරයාගේ ඉපදීමත්, නේරංජනා නදිය අසබඩ ඇසතු බෝ රුක මුල බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වීමත්, උපවත්තන සල් උයනේදී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවීමත් වෙසක් පොහෝ දිනක සිදුවෙලා තියෙනවා.

ඉතින් හැමෝම වෙසක් දිනය උදා වෙනකම් බලන් ඉන්නේ එක්කෝ වෙසක් කූඩු හදන, දන්සල් දෙන, තොරණ් හදන ආදී වශයෙන් කරන ආමිෂ පූජා කරන්න හරි සිල් ගන්න, භාවනා කරන්න ආදී වශයෙන් කරන ප්‍රතිපත්ති පූජා කරන්න. කොහොම වුණත් එම පූජා වර්ග දෙකෙන් ප්‍රතිපත්ති පූජාව වඩා වැදගත් වුණත් ආමිෂ පූජාවත් තිබිය යුතුමයි.

කොහොම වුණත් අද වගේ වටිනා කියන උතුම් දවසක සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ ධම්මපදයෙන් වටිනා කියන ගාථා කීපයක් දක්වන්න තමා හිතුවේ. මේ ගාථාවන් කියවලා ඔයාලා යම් අදහසක් ගන්න.


කිච්ඡෝ මනුස්ස පටිලාභෝ - කිච්ඡං මච්චාන ජීවිතං
කිච්ඡං සද්ධම්ම සවණං - කිච්ඡෝ බුද්ධානං උප්පාදෝ


"මිනිස් ආත්ම භවයක් ලැබීමද, මිනිස් ජීවිතය පැවතීමද, සද්ධර්මය ශ්‍රවණය කිරීමට ලැබීමද, බුදුවරයෙක්ගේ පහළවීමද අතිශය දුර්ලභ කරුණු වන්නේමය."

අන්ධභූතෝ අයං ලෝකෝ - තනුකෙත්ථ විපස්සති
සකුන්තෝ ජාලමුත්තෝ ච - අප්පෝ සග්ගාය ගච්ඡති

"බොහෝ මනුෂ්‍යයෝ ලොව සැබෑ ලෙස නොදකින අන්ධයෝය. අත්ළොස්සක් වූ දෙනා පමණක් ප්‍රඥා ඇසින් සැබෑ ලෝකය දැක, දැලෙන් මිදුණු කුරුල්ලන් සේ විමුක්තිය කරා ඇදෙති."

තුම්හේහි කිච්චං ආතප්පං - අක්ඛාතාරෝ තථාගතා

"වීර්යය කළයුත්තේ ඔබ විසින්මය. බුදුරජාණන් වහන්සේ මාර්ගය පමණක් කියාදෙන සේක."

"සබ්බ දානං ධම්ම දානං ජිනාති" ඒ කියන්නේ සියළු දානයන්ට වඩා ධර්ම දානය උතුම් කියන අදහසේ ඉදන් තමයි මේ ධම්මපද ගාථා කීපය ඉදිරිපත් කළේ ඒකෙන් ඔයාලා යම් ප්‍රයෝජනයක් ගන්නවා නම් ඒකයි මගේ බලාපොරොත්තුව.

එහෙමනම් වෛශාඛ්‍ය මංගල්‍යය උතුම්ව සමරමු !!!

Tuesday, May 25, 2010

ලංකාවේ කට්ටියගේ හැටි

මේ දවස් ටිකේම මම කළේ ආගිය කතා වෙනුවට ආගිය කවි දාපු එක.

ආගිය කතා වෙනුවට ආගිය කවි,
ඉවර නැතෝ - ආගිය කවි 2,
ආගිය කවි ඉවරා.....යි ආදී විදිහට මම ලියපු කවි දැම්මා.

ඉතින් ආගිය කවි series එක ඉවර කලාට පස්සේ ටිකක් දිග කතාවක් දාන්න හිතන් හිටියත් වැඩේ හරිගියේ නැහැ. මොකද අපේ ගමේ පන්සලේ වෙසක් සතිය ඊයෙන් පටන් ගත්තා. අපේ යෞවන සමාජේ set එකට තමා පාර හරහා දාන පාලම් කොඩි දාන කොන්ත්‍රාත්තුව බාරවුණේ [අවුරුද්දක් පාසාම වගේ]. ඒත් එකෙක්වත් මොන මොන හේතූන් නිසා හරි ඕකට set වුණේ නැහැ.

මේ තියෙන්නේ අපේ ගමේ පන්සල

ඉතින් අද අපේ ආච්චිගේ අන්ත්‍රා වෙලා අවුරුදු 5 ක් පිරෙන නිසා දානේ අරන් පන්සලට ගිය වෙලාවේ නායක හාමුදුරුවෝ ඇහුවා පාලම් කොඩි වැඩේට මොකද වෙන්නේ කියලා. ඒක නිසා අද රෑට පාර හරහා පාලම් කොඩි දාන වැඩේට යන්න වෙලා තියෙන්නේ. ඒ වගේම පන්සලේ වෙසක් පෝයට පස්සේ දවසේ අසූ මහා ශ්‍රාවක පූජා පිංකමක් කරන්න ඉන්නේ. ඒකට අදාල type කරන වැඩ වගේකුත් set වුණු නිසා අදත් දිග කතාවක් කියන් නැතිව පොඩි කතාවක් කියන්න තමා හිතුවේ.

මේ කතාව අහලා නම් ටික කාලයක් වෙනවා. කතාව මතක් වුණේ මේකට සමබන්ධ වෙන පූජනිය කොටුගොඩ ධම්මාවාස අනුනායක හාමුදුරුවෝ කියන වෙසක් පණිවුඩයක් මේ දවස්වල T.V එකේ යන නිසා. ඕන් මම කතාව කියන්නම්කෝ අටුවා ටීකා නැතිව.


අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අගමැති වෙලා ඉන්න කාලේ ඉදන් මේ දක්වාම අරලිය ගහ මන්දිරයේ පෝය දවසට ධර්ම දේශනා වැඩසටහනක් සංවිධානය කරනවානේ. දවසක් ඒකට වැඩම කරපු අපේ පූජනීය කොටුගොඩ ධම්මාවාස අනුනායක හාමුදුරුවෝ මෙහෙම කතාවක් කිව්වා.

"ඉතින් පින්වතුනි මේ ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ගේ විශේෂයෙන් තියෙන එක ලක්ෂණයක් තමයි තමන් ගැන හොයනවාටත් වඩා අනුන් ගැන, අනුන් මොකක්ද කරන්නේ කියලා හොයලා බලන එක. මේක ගැන කියද්දී මට එක කතාවක් මතක් වෙනවා.

මම මීට අවුරුදු කීපෙකට උඩින් [බටහිර රටක නමක් තමා කිව්වේ, මට දැන් නම මතක නැහැ] විහාරස්ථානයක වැඩ ඉදිද්දී එක දවසක් භාවනා වැඩසටහනක් පැවැත්තුවා. ඉතින් ඒ රටේ ඉන්න බෞද්ධයෝ සහභාගි වුණා. එදාම මේ පන්සලට අපේ රටේ ඇමතිතුමෙක් ආවා.

ඉතින් මම ඇමතිතුමාගෙන් ඇහුවා "දැන් භාවනා වැඩසටහනක් පවත්වන්න යන්නේ ඔබතුමාත් සම්බන්ධ වෙනවද?" කියලා. එතුමත් ඉතින් සන්තෝසෙන් කැමති වුණා.

ඊට පස්සේ මම භාවනාව ගැන කෙටි විස්තරේකුත් කරලා කමටහන ලබාදීලා කිව්වා
"එහෙමනම් දැන් හැමෝම භාවනාව පටන් ගමු" කියලා.

ඉතින් ඒ සුදු ජාතිකයෝ ටික ඇස් පියාගෙන ඉතා හොඳින් භාවනා කරන්න පටන් ගත්තා. අපේ ඇමතිතුමාත් ඉතින් ඇස් පියාගෙන භාවනාව පටන් ගත්තා.

ඒත් ටික වෙලාවකින් අපේ ඇමතිතුමා ඇස් ඇරියා. හොරෙන් වටපිට බලන්න ගත්තා අනිත් අයගේ මූණූ දිහා බලන්න ගත්තා. ඉතින් පින්වතුනි ඔහොම තමා ලංකාවේ කට්ටියගේ හැටි.

දැන් ඔය පින්වතුන්ට ගැටළුවක් එන්න පුළුවන් හැමෝම ඇස් පියාගෙන භාවනා කරන්න පටන් ගත්තා නම් හාමුදුරුවෝ කොහොමද මේ සිද්ධිය දැක්කේ කියලා. කොටින්ම පින්වතුනි මාත් ටික වෙලාවකින් ඇස් ඇරලා වටපිට බලද්දී තමා මේක දැක්කේ. [ජනාධිපතිතුමා ඇතුළු පිරිසට හිනා :) :) :)]


ඕන් ඕක තමා අද කතාව. හාමුදුරුවන්ගේ කතාව ඇත්තකුත් තියෙනවා ලංකාවේ කට්ටියට ඔහොම ගතියක් තියෙනවා මාත් අත්දැකීමෙන්මයි කියන්නේ :) :) :)

ප.ලි. මේ දවස් ටිකේම බ්ලොග් අවකාශේ හාමුදුරුවරු ගැන කතා වෙනවානේ. අපේ කතන්දරසූරීනුත් හාමුදුරු කෙනෙක් ගැන කතාවක් කියලා තිබ්බා. කෙනෙක් ඒකට දොස් කියලා තිබ්බා බුදු දහමට අපහාස කරනවා කියලා. මේක නම් එහෙම එකක් නෙමෙයි කියලා අවධාරණෙන් කියනවා

Monday, May 24, 2010

ආගිය කවි ඉවරා.....යි


මේ දවස් ටිකේම ආගිය කතා වෙනුවට දැම්මේ ආගිය කවි. ඒවා ආගිය කතා වෙනුවට ආගිය කවි, ඉවර නැතෝ - ආගිය කවි විදිහට පහුගිය දවස් 2 දැම්මානේ. අදින් කවි series එක අවසන් කරන්න තමා හිතුවේ.

මෙන්න එදා Advanced Level English Paper එක පැය භාගයක් කලින් ඉවර කරලා මම ලියපු කවිවලින් අන්තිම එක.....

හිත පිරෙන තෙක් කෙල්ලන් දාගත් නමුත්,
සැමියෙක් නොවූ සැටි
සාක්කුව හිදෙන තෙක් ලොතරැයි ගත් නමුත්,
කෝටිපතියෙක් නොවූ සැටි
ඔළු පැලෙන තෙක් ගුටි දුන් නමුත්,
පොරක් නොවූ සැටි
අහෝ කොළ පිරෙන තෙක් කවි ලිවු නමුත්,
කවියෙක් නොවූ සැටි....................


Sunday, May 23, 2010

ඉවර නැතෝ - ආගිය කවි 2


හැමදාම ලියන ආගිය කතා වෙනුවට පෙරේදා මම ආගිය කවියක් ලිව්වා කට්ටියට මතක ඇති. බලන්න බැරිවුණු අය පටාර් ගාලා ගිහින් බලලා එන්නකෝ.

ඉතින් ඊයෙත් කවියක් දාන්න තමා හිතන් හිටියේ. ඒත් ඔක්කොම වැඩ කොට උඩ ගියා ඊයේ උදේ පාන්දර මගේ දකුණු අතට පත්තෑයෙක් දෂ්ඨ කරලා අත ඉදිමුණු නිසා. ඒ කතාවත් සිරා කතාවක් ඒකත් කියන්නම්කෝ ඉස්සරහට.

මෙන්න ඉතින් අද නිසදැස. මේක මගේ අතින් ලියවෙන්න ඇත්තේ Advanced Level Exam එකත් එක්ක තිබ්බ stress එක ආදී කරුණු නිසා වෙන්න ඇති මගේ හිතේ.

පාඩම් කර ඉවර නැතේ,
ගොටු දුන්නා ඉවර නැතේ,
ගුටි කෑවා ඉවර නැතේ,
ගමන් ගියා ඉවර නැතේ,
පෙම් කෙරුවා ඉවර නැතේ,
ජීවිතයද ඉවර නැතේ.................




මෙන්න ආගිය කවි Series එකේ තුන්වෙනි කොටස "ආගිය කවි ඉවරා.....යි"

Friday, May 21, 2010

ආගිය කතා වෙනුවට ආගිය කවි

මම අද මගේ මේස ලාච්චුව ඇවිස්සුවා නිකං ඉන්න එකේ. ඒකේ තිබිලා නියම ජාති ටිකක් එළියට ආවා. හොඳම ටික තමා මට හම්බුණු මම ඉස්කෝලේ යන කාලේ ලියපු කවි ටික. [කවි කිව්වට ඒවට කවි කියලා කියන්න අමාරුයි. නිසදැස් කියමුකෝ ලේසියට]


ඒ එකක් ලියල තියෙන්නේ ආණ්ඩුවේ විභාගවලදී දෙන උත්තර ලියන කොළේක. ඒ කොළේ දවස හැටියට ශාලා පරීක්ෂකගේ කෙටි අත්සන යටින් දාලා තියෙන්නේ 08/19, මේ Advanced Level Exam එක කාලේ ලියපු එකක්.

ඉතින් මට මතක විදිහට එදා මට තිබ්බේ General English. Paper එක එකතු කරන්න පැය බාගෙකට කලින් උත්තර ලියලා ඉවර වෙලා [කොහොමත් ඉංග්‍රීසි කියන්නේ හරි ලෙහෙසි විෂයක් නේ :)] මම කලේ මේක තමා. එදා නිසදැස් 6 ක් මම ලියලා තියෙනවා එක එක තේමාවන්වලට. ඒවයින් exam එකටත් ටිකක් අදාලව මම ලියලා තියෙන එක මුලින්ම දාන්නම්.


ඔරලෝසුව නැවතී නැත
කාලය ගමන් කරමින් සිටියි
තවත් ප්‍රශ්න පත්‍රයක් නිමවෙයි
හිරු පායයි, හිරු බැසයයි
සඳ පායයි, සඳ බැසයයි
කාටත් නොදැනීම එක් දෙයක් සිදුවෙයි
ඒ අපි වයසට යාමයි...............



හොඳම නිසදැස් ටික [මම හිතන විදිහට] ඉස්සරහට බලාපොරොත්තු වෙන්න

මෙන්න ආගිය කවි Series එකේ දෙවෙනි කොටස "ඉවර නැතෝ - ආගිය කවි 2"

ටයිටස් තොටවත්ත > හඳයා < අශෝක හඳගම

මිනිස්සුන්ට සමහර දේවල් පැටලෙනවා හරි අමුතු විදිවලට. මීට කලින් දවසකත් මම එහෙම කතාවක් කිව්වා ඇරැව්වල නන්දිමිත්‍රයන්ට මුහුණ දීපු. මේ කතාවත් ඒ වගේ එකක්.


මේ ළඟදී දවසක blogs කියවන් යද්දී මම දැක්කා සුපුන් සුදාරක මල්ලී අශෝක හඳගමගේ අළුත්ම film එක විදූ බලන්න ගිහින් ලියපු post එකක්. ඉතින් අශෝක හඳගමගේ අළුත්ම වැඩේ ගැන මම ඒ විදිහට දැනුවත් වුණා.

ඊට පස්සේ දවසක අපේ ගෙදර කට්ටිය නැදෑ ගෙදරක ගියා රාත්‍රී භෝජන සංග්‍රහයකට. ඉතින් කට්ටිය කාලා බීලා [සාමාන්‍යයෙන් වෙන්නේ අනිත් පැත්තටනේ] ඉවරවෙලා ආගිය කතා කියෝ කියෝ හිටියා.

මේ වෙලාවේ අපේ එක නෑයෙක් කිව්වා "කාලෙකින් හොඳ film එකක් බලන්න ගියෙත් නැහැ. කොහොද ඉතින් ලංකාවේ හොඳ films ලේසියකට හැදෙන එකක්යැ" කියලා.

ඉතින් ඒ වෙලාවේ මම කිව්වා "අශෝක හඳගම අළුත් film එකක් හදලා තියෙන්නේ විදූ කියලා. ජූලි මාසේ ඉදන් ඒක පෙන්නන්න ගන්නවා. ඕනේ නම් ඒක බලන්න යමු" කියල.

පස්සේ මම කතන්දරසූරීන් කරනවා වගේ පසුව ලියමි කෑල්ලකුත් එකතු කලා

"මෙච්චර කාලයක් එයා හදපු films එක්කෝ වැඩිහිටියන්ට පමණයි වුණා. ඒ නැත්නම් ආණ්ඩුවෙන් තහනම් කළා. මේ film එකේ එහෙම අවුලක් නැහැලු. මේ film එක සම්පූර්ණයෙන්ම ළමා චිත්‍රපටියක් කියලා තමා කියන්නේ" කියලා.



අශෝක හඳගමගේ විදූ film එකෙන්


ඒක අහපුවාම නෑදෑයා කිව්වා "ඔයා එහෙම කියන්න එපා අශෝක හඳගම හදපු හඳයා කියන film එකත් ළමා චිත්‍රපටියක්නේ. ඒක කොච්චර හොඳද ? සම්මාන කොච්චර හම්බුණාද ?" කියලා.

වටපිටාවේ කතාව ගැන මීටරෙන් හිටපු හැමෝටම හිනා :))

මම ඇහුවා "එතකොට ටයිටස් තොටවත්ත හැදුව ළමා චිත්‍රපටිය මොකක්ද ?" කියලා



ටයිටස් තොටවත්තයන්ගේ හඳයා film එකෙන්

එතකොටයි එයාගෙත් මීටරේට ආවේ වැරදි channel එකක් තමා මෙච්චර වෙලා අල්ලන් හිටියේ කියලා.

පස්සේ මම කිව්වා "අශෝක හඳගමට සමහරු ආදරේට හඳයා කියලා කියනවලු. ඒක නිසා වෙන්නැති මෙහෙම වුණේ" කියලා.

මේ තියෙන්නේ විදූ film එකේ Official web site එක

ඕන් ඕකයි කතාව. ඇත්තද ටයිටස් තොටවත්තයන්ගේ හඳයා එක මේ ලඟදී දවසක ජාතික රූපවාහිනියේ ගියා කියන්නේ ?

Thursday, May 20, 2010

බස් [Bus] කතා බස්

මේ කතාවට අදාල සිද්ධීන් වුණේ සඳුදා. ඒත් ඊට පස්සේ internet පැත්තේ එන්න බැරිවුණා modem එක පිච්චිලා. ඉතින් මේක අද තමයි දාන්න වුණේ.

සඳුදා උදේ ඉදන් හොඳටම වැස්ස. ඒක නිසා පෙළක් towns එහෙම වතුරෙන් යටවෙලා කියලා ආරංචි ආවා. කොහොමින් කොහොම හරි හැන්දෑවේ lectures එහෙමත් තිබ්බේ නැහැ.


ඉතින් මම Gym Canteen එක පැත්තේ ගිහින් කට්ටිය එක්ක කියෝ කියෝ ඉදලා ගෙදර යන්න බස් හෝල්ට් එකට එද්දී 5 ට විතර ඇති. පාරේ දිග වාහන පෝලිමක් කිරිබත්ගොඩ පැත්තට. කිරිබත්ගොඩත් වතුරෙන් යටවෙලා කියලා තමා කට්ටිය කතා කරනවා ඇහුණේ. ඉතින් මාත් අපේ ගෙවල් පැත්තට යන 234 දෙල්ගොඩ-පිටකොටුව අපේ ආදරණීය bus එකක් [වෙන නැත්නම්] එනකම් ඇස් දල්වා ගෙන බලන් හිටියා :))

මම කලින් කිව්වේ වාහන පෝලිමක් තිබ්බා කියලා. වාහන යන්නේ නැහැ ඇවිදිනවා වගේ මාර හිමින් තමා ඉස්සරහට යන්නේ. ඔයින් මෙයින් 5.45 විතර වගේ 234 අපේ ආදරණීය bus එකක් ඈත එනවා දැක්කහම මට දුවලා ගිහින් bus එක බදාගන්න හිතුණා.[මොකද 234 bus නැත්නම් මට කිලෝ මීටර 3 ක් විතර පයින් යෑමක් තියෙන නිසා]

ඉතින් bus එකේ කට මට්ටම් වෙන්න සෙනඟ. අර කතාවට කියන්නේ ඇඟිල්ලක් ගහන්න තරම්වත් ඉඩක් නැහැ කියලා. ආන් ඒ වගේ. එහෙම කියලා ඒ bus එකට යන්න ඇරලා හිටියොත් වෙන bus ආවේ නැත්නම් මට කිලෝ මීටර 3 ක් විතර සාම පා ගමන් යන්න බැහැනේ. මමත් දන්න ශිල්ප දාලා bus එකේ ඉස්සරහා දොරෙන් එල්ලුණා.

මෙතැන ඉදන් තමා bus එකේ විනෝද සමය පටන් ගන්නේ. ඉතින් මම ටිකක් වෙලා bus එකේ foot board එකේ ගිහින් අමාරුවෙන් bus එකේ ඇතුළට රිංග ගෙන engine එක හරියට හේත්තු වුණා. මොකද වාහන පෝලිම නිසා bus එක ඉබ්බෙක් ඇවිදිනවාටත් වඩා හිමින් යන්නේ. bus එක ඇතුලේ හදිසි පාන් ඕඩරයක් දාන්න ඉක්මණට රත් කරන පාන් පෝරණුවක් වගෙයි. හුළං ටිකක් වැදෙන්නත් එක්ක තමා මම එතැනට වුණේ.

bus එක හිමින් හිමින් ගාට ගාට යද්දී campus හෝල්ට් එකට පස්සේ හෝල්ට් එකෙන් girl කෙනෙක් bus එකට නැග්ගා. මට එයාව දැකලා පුරුදුයි. ඉතින් මම මගේ history එක search කරන් යද්දී එක පාරටම click වුණා අද උදේ මම Gym canteen එකට යද්දී මම අඳුරන girl කෙනෙක් එක්ක මෙයත් table එකක වාඩිවෙලා හිටියා නේද කියලා. එයත් එක්ක chat එකක් දාන්න හිතුණත් මේ රස්නෙත් එක්ක ඕවා බැහැ කියලා පස්සේ මම හිතුවා. ඒ වෙලාවේ මූණෙන් අතින් පයින් දිය ඇල්ලකින් ගලනවාටත් වඩා වැඩියෙන් දාඩිය ගලනවා.

අන්තිමට ඉතින් හිමින් හිමින් ඇවිත් bus එක කිරිබත්ගොඩ ඊරියවැටිය හෝල්ට් එකට ආවා.

කොන්දොස්තර [මින් ඉදිරියට එම පදයේ වචන කීපයක් ලොප් කර කොන්දා ලෙස දක්වන බව කරුණාවෙන් දන්වමි.] කෑ ගහනවා "කිරිබත්ගොඩ බහින්න කිරිබත්ගොඩ බහින්න" කියලා.

ඉතින් කට්ටිය බහින්න එද්දී කාගෙදෝ කකුලක් පෑගිලා එතැන ගෝරියක්. පස්සේ බහින්න හිටපු කට්ටිය බැස්සට පස්සේ බිම හිටපු කට්ටියට ඇතුළට යන්න බැහැ තව කට්ටියක් දොර ගාව නතරවෙලා.

කොන්දා කෑ ගහන්න ගත්තා "මේ ගොල්ලෝ මොන්ටිසෝරි බබාලා වගේනේ. කවුරු හරි ඇවිත් කියන්න ඕනේද ඇතුළට යන්න" කියලා කට්ටිය ඇතුලට ඔබන්න ගත්තා.

"ඔය bag එකේ අතේ තියන් ඉන්න මල්ලී bag එක කාට හරි දෙන්න. ඔය කොළ පාට T Shirt එක දාන් ඉන්න මල්ලී තව ටිකක් ඇතුළට යන්න. ඔය නිල් පාට සාරිය ඇඳන් ඉන්න මැඩම්ට පස්සට යන්න බැරි නම් යන අයට යන්න දෙන්න" ආදී වශයෙන් කියලා කොහොම හරි කට්ටියව pack කරගත්තා.

ඊට පස්සේ ඉතින් bus එක stand එකට දාන්න හරවන්න ඉන්න වුණා ටික වෙලාවක්. ඉස්සරහින් තිබ්බ car එක drive කරපු man හරවන්නේ නැතිව බලන් ඉන්නවා.

bus එකේ driverට මල පැනල බනිනවා "බූරුවහන්සේලා වාහනයක් හරවගන්න දන්නේ නැහැ. වාහන 3 ක් විතර හරවන වෙලාව මේ" කියලා.

පස්සේ bus එකේ දකුණු පැත්තේ පාර [ stand එකට යන පාර] හිස්වුණු ගමන් driver bus එක හැරෙව්වා. එතකොට තමා ඉස්සරහ හිටිය car එකේ මහත්තයාත් :) car එක හැරෙව්වේ. bus එක stand එකට ඇවිත් එතන හිටිය අයත් දාගෙන ආයි පාරට දාගත්තා.


දැන් තමයි හොඳම හරිය. කිරිබත්ගොඩ පොලිසිය, Udeshi City එක හරියේ ඇළක් ගලනවා ඒක උතුරලා අඩි 3 ක් විතර උසට වතුර. Car වලටත් යන්න අමාරුයි. Motor Bikes එහෙම තල්ලු කරන් යන්නේ. බස් සහ ලොරිවලට විතරයි අවුලක් නැත්තේ.

bus එක හිමින් හිමින් යද්දී ඉස්සරහ car එකක් නවත්තගෙන ඉන්නවා. පස්සේ වතුර මට්ට්ම වැඩි නිසාද කොහෙදෝ car එකේ driver car එක හරවන්න යනවා. ඒකත් ඉතින් හිමින් හිමින් වෙන්නේ.

bus එකේ driver ට මල පැනලා car එකේ driver ට බණිනවා "මුන්ගේ අම්මලාට හැ....." ආදී වශයෙන්.

ඒ අස්සේ bus එකේ මැද හරියේ ඉන්න පොරක් bell එක ගහනවා.

ඒකට බස් එකේ driver ට තව මළ පැනලා "ඕන් මහත්තයෝ මම seat එකෙන් අයින් වුණා. bell එක ගහන හදිස්සිකාරයා ඇවිත් bus එක අරන් යන්න" කියලා seat එකෙන් නැගිටලා පිටිපස්ස බලලා වාඩිවුණා. ඒකෙන් bell එක ගහපු man cool වුණා.

ඒ අස්සේම bus එකේ කොන්දා ඉස්සරහට ඇවිත් සල්ලි ගන්න පේන්නේ නැතිව driverට කිව්වා "අයියේ, ඉස්සරහ light එක දාන්න" කියලා.

එතකොට driver කිව්වා " ආ උඹට මතක් වෙනකම් තමා මාත් හිටියේ. පිටකොටුවේදී කට කැඩෙනකම් මම කිව්වා මේකට light එකක් ගෙනත් දාපන් කියලා. ඒක ගාණකට ගත්තේ නැහැ. දැන් ඔහොම හිටහන්" කියලා. අපිට ඉතින් හිනා :)

අන්තිමට වතුර හොඳටම පිරිලා තියෙන හරියට ආපුවාම එකපාරටම bus එක slow වුණා. ටිකක් වෙලා ගිහින් driver කියනවා "ක්ලච් එකට වතුර ගිහින්ද කොහොදො පෑගුවාට වැඩ නැහැ" කියලා.

මලා මම හිතුවා දැන් වැඩේ හරි අඩි 3 ක් විතර වතුරේ බැහැගෙන bus එකක් තල්ලු කිරීමක් වෙයි කියලා. වාසනාවට එහෙම එකක් වුණේ නැහැ.

මේ වෙලාවේ bus එකේ හිටිය හාමුදුරුවෝ බණ කියන්න පටන් ගත්තා. "මේ driverට බස් එලවන්න තේරෙන්නේ නැහැ. පුලුවන් නම් මෙච්චර වෙලා ඉන්නවායැ" ආදී විදිහට.

හාමුදුරුවෝ නාකි කෙනෙක්. එයාට පේන්නේ පැත්තටනේ වීදුරුවෙන්. මම හිටියේ engine එක හරියේ ඉතින් මටත් ඉස්සරහ පේනවනේ. පුළුවන් තරම් පරිස්සමින් තමා driver bus එක drive කළේ. එතැන අඩි 3 ක් විතර වතුර තියෙන තැන motor bikes එහෙමත් තල්ලු කරනවා ඉතින් කඩන් බිඳන් යන්න පුලුවනැ.


ඒ ටික පහුකරලා ඉස්සරහට ගියා විතරයි ඉස්සරහින් ගියා van එකක් පාර මැද හිටලා. පස්සේ කොන්දයි තව set එකකුයි ගිහින් ඒක තල්ලු කරලා එද්දී driver කෑ ගහනවා " ඈ බන් උඹ මේ bus එකේ කොන්දොස්තර නේද පොඩ්ඩක් බලපන් bus එක ඉස්සරහට ගන්න පුළුවන්ද කියලා".

ඒ වෙලාව් පාරේ ඉස්සරහට වාහන එක පෝලිමකුත් අනිත් පැත්තට වාහන පෝලිම් 2 කුත් ගියා. පාර ඉඩ මදි නිසයි පොඩ්ඩක් බලන්න කිව්වේ.

මේ වෙලාවේම අර මම කිව්වේ අපේ campus එකේ girl මගෙන් ඇහුවා "අයියේ,[බස් හෝල්ට් එකක නමක් කියලා] තව දුරද ?" කියලා.

පස්සේ මම ඒකටත් උත්තර දීලා ඇහුවා "ඔයා කැලණි campus එකේ first year ද ?" කියලා. එයත් ඔව් කිව්වා. පස්සේ ඉතින් එයා බහිනකම් එයත් එක්කත් පොඩි chat එකක් දාගෙන ආවා.

අන්තිමට bus එකේ ආතල් වැඩ රස විඳ විඳ ඇවිත් මාත් අපේ හෝල්ට් එකෙන් bus එකෙන් බහිද්දී වෙලාව 7.45 ට විතර ඇති. පැය 2 ක් තිස්සේ bus එකේ ආවා. අනිත් දවස්වලට නම් උපරිම විනාඩි 30-45 අතර වෙලාවකින් ගෙදර එන ගමන.

අන්තිමට ඉතින් ගෙදර එද්දී පාවෙනවා වගේ සැහැල්ලුයි.

Saturday, May 15, 2010

Multipurpose Mobile Phone


මම සිකුරාදා campus ගිහින් ගෙදර එද්දී අපිත් එක්ක St. John Ambulance එකේ firstaid වැඩවලට සම්බන්ධ වෙන මල්ලී කෙනෙක් හම්බුණා.

ඉතින් මම එයත් එක්ක කතා කර කර ගෙදර එන ගමන් මට මතක් වුණා ඉස්සරහ දවසක අපිට ඉස්කෝලෙක තියෙන උත්සවේක firstaid duty එකකට කතා කරලා තියෙන එක. මම ඒ කතාව මල්ලිට කිව්වා.

ඒ ගමන් මම කිව්වා "දවස තාම confirm වුණේ නැහැ.දවස confirm වෙච්ච ගමන් මම ඔයාට call කරලා ඒක කියන්නම්" කියලා.

ඒක අහපු මල්ලී කිව්වා "හසිත අයියේ, hand phone එකට call ගන්න එපා ගෙදරට call එක ගන්න" කියලා.

මම ඇහුවා "මොකද hand phone එකට ගන්න එපා කියන්නේ" කියලා.

පස්සේ මල්ලී කිව්වා "Hand phone එක ඉස්කෝලේ අරන් ගිය වෙලාවේ Principal ට අහුවුණා. අම්මව හරි තාත්තව හරි එක්කන් එනකම් phone එක දෙන්නේ නැහැ කියලා Principal කිව්වා. Phone එක නැතිවුණු එක අත කැඩුණා වගේ හසිත අයියේ" කියලා.

ඒ ගමන්ම man කිව්වා."හුඟක්ම රෑට තමා හසිත අයියේ phone එක නැති අඩුව තේරෙන්නේ" කියලා.

මම කිව්වා " ඔව් ඉතින් මලක්වත් කඩාගන්න [කට්ටිය දන්නවනේ මල් කඩනවා කියන්නේ මොකක්ද කියලා. දන්නේම නැත්නම් Hutch එකෙන් දාන අලුත් advertisement එක බලන්න :)] විදිහක් නැහැනේ" කියලා.



එතකොට man කියනවා "නැහැ හසිත අයියේ ඒක නිසා නෙමෙයි නිදාගන්න ගියාම ඇඳේ net එක [මදුරු දැල] දාගන්න එළිය ගන්න පත්තු කරන්න phone එකේ torch එක නැති නිසයි phone එක නැති අඩුව තේරෙන්නේ" කියලා.


ඔන්න call ගන්න විතරක් නෙමෙයි එක එක අය එක එක වැඩවලට phone එක පාවිච්චි කරන හැටි පේනවනේ......

චූ බතයි


අපේ කතන්දරශූරීන් දවස් කීපයක්ම චූ කතා දෙක තුනක් කියලා තිබ්බ නිසා මටත් මතක් වුණා ඒ ජාතියේම කතාවක්.

මේ සිදුවීම වෙලත් දැන් අවුරුදු 4 ක් විතර ගිහින් තියෙන්නේ. දවසක් අපි නැදෑයෝ කට්ටියකුත් එක්ක trip එකක් ගියා. ඉතින් වාහනේ drive කලේ අපේ මාමා කෙනෙක්. එයාට හිටියේ පොඩි පුතෙක්. එයාට වයස අවුරුදු 3 ක් විතර වෙනවා ඒ වෙනකොට. එයත් මේ ගමනට සම්බන්ධ වෙලයි හිටියේ.

ඉතින් ටික දුරක් යද්දී පාරේ මොකක් හරි හේතුවක් මත ලොකු traffic එකක් තිබ්බා. ඉතින් වාහනේ හිමින් හිමින් තමා ඉස්සරහට යන්නේ.

මෙන්න මේ වෙලාවේ අර පොඩි man කිව්වා අපේ මාමට "තාත්තේ චූ බතයි" කියලා. තාම පොඩි එකානේ පෙලක් අකුරු එහෙම හරියට කියන්න අමාරුයි ඒකයි එහෙම කිව්වේ.

ඒ වෙලාවේ මාමා කිව්වා "පුතේ අපි දැන් වාහන පෝලිමක ඉන්නේ. වාහනේ අයින් කරන්න අමාරුයි. පොඩ්ඩක් ඉන්න පුතේ" කියලා.

ඉතින් ඒ වෙලාවේ වාහනේ අයිනකට ගන්න විදිහක් තිබ්බේත් නැහැ town එකක් හරියේ නිසා. ඔයින් මෙයින් මාමා කිව්වා කතාව නිසා පොඩි man ටිකක් වෙලා කට පියන් හිටියා.

ටික වෙලාවකින් පොඩි man ආයි කිව්වා "අනේ තාත්තේ චූ බතයි" කියලා.

එතකොට මාමා කිව්වා "පොඩ්ඩක් ඉන්න පුතේ තව චුට්ට දුරක් ගියාම පුතාට චූ කරන්න වාහනේ නවත්තන්නම්" කියලා.

ටික වෙලාවකින් පොඩි man හයියෙන් කෑ ගහලා කිව්වා "තාත්තේ චු චූ බතයි කිව්වහම තාත්තේ චු චූ බතයි" කියලා.

අන්තිමට මාමා කලේ පාරේ වම් පැත්තේ තිබ්බ ෂෙඩ් එකකට වාහනේ හරෝපු එක. ඒකෙන් වාහනේ නවත්තලා පොඩි පුතාට එයාගේ අවශ්‍යතාව ඉටුකරගන්න දීපු එකයි.

ඉතින් දැන් ඒ පොඩි ළමයා ලොකුයි. තාමත් එයා යන trip වලදී ඔය කතාව කිය කිය කට්ටිය පොඩි man ව චාටර් කරනවා.

Tuesday, May 11, 2010

අවාසනාවට ඇත්ත කතාවක්


මට ඊයේ වුණු අලකලංචියක් ගැන තමා අද කියන්න හිතුවේ. හැමදාම උදේට මම මගේ phone එකේ calender එකෙන් කාගෙද අද birthday එක තියෙන්නේ කියලා බලලා එයාට wish කරන එක කරනවා. ඉතින් phone එකේ [මගේ phone එක Sony Ericsson W200i ] කාගේ හරි phone number එකක් save කරද්දී එයාගේ details එහෙමත් add කරන්න පුළුවන්කම තියෙන එක මේකට ලොකු උදව්වක්.

මම මෙහෙම යාළුවන්ගේ birthdays හොයාගෙන එදා උදේට wish කරන්න පුරුදු වුණේ දයා රෝහණ අතුකෝරල මහත්මයා translate කරපු ඩේල් කානගී ලිව්ව සිත් දිනා ගැනීමේ රහස් කියන පොත කියවීමෙන් පස්සේ. තමන්ගේ birthday එකට wish කරලා කාගෙන් message හරි එකක් එද්දී සතුටු නැද්ද ? ඉතින් ඒකෙන් ම්ත්‍රත්වය තවත් වැඩිවීමක් නේ වෙන්නේ. ඒකේ තිබ්බ ක්‍රම සහ විධි හුඟක් මම apply කරලා සාර්ථක ප්‍රතිඵල අරන් තියෙනවා.

ඉතින් ඊයේ උදෙත් මම සුපුරුදු විදිහට අද කාගෙද birthdays තියෙන්නේ කියලා බලද්දී මට උගන්වපු සර් කෙනෙක්ගේ birthday එකක් තියෙනවා කියලා calender එකට add වෙලා තිබුණා. මම ඉතින් හැරෙන තැපෑලෙන් සර්ට call එකක් ගත්තා wish කරන්න. ඒත් සර්ගේ hand phone එක off කරලා තිබ්බේ. Land phone එක rings යනවා ඒත් answer කරන්නේ නැහැ.

පස්සේ මට campus යන්නත් පරක්කු වෙලා හිටිය නිසා ඉක්මනට ලෑස්ති වෙලා campus ගියා. උදේ වරුවේ තිබ්බ lectures එහෙම ඉවර වෙලා සර්ට call එකක් ගත්තහම සර් phone එක answer කලා.


මම කිව්වා "සර් සුභ උපන් දිනයක් වේවා" කියලා.

සර් කිව්වා "පුතේ අද නෙමෙයි මගේ birthday එක හෙටනේ" කියලා.

මේක අහපු ගමන් මට පොළව පලන් යන්න හිතුණා. පස්සේ ඉතින් මම සර්ට කණගාටුව ප්‍රකාශ කරලා ආගිය කතාවක් දාලා ශේප් න්‍යාය පාවිච්චි කළා.

පස්සේ මම phone එකේ calender එකේ හෙට දවසේ කාගෙද birthdays තියෙන්නේ කියලා බලද්දී හෙටත් සර්ගේ birthday එක කියලා add වෙලා තියෙනවා. කොහොම හරි කොතැන හරි බුලක් වැදිලා තියෙනවා මට පේන විදිහට.

මේකම නිසා campus එකේ lectures ඉවර වෙලා හැන්දෑවේ මම සර්ලගේ ගෙවල් පැත්තේ ගියා. මට උදේ වුණු වැඩෙන් upset. ඒකමයි මම ඒ පැත්තේ ගියෙත්. පස්සේ ඉතින් සර්ට මම phone එකේ වුණු බුල නිසා වෙච්ච වැඩේ කිව්වා. සර්ටත් හිනා.

ඒ ගමන් මම කිව්වා "සර් මට ඇත්තටම මතක මම දන්න කියන අයගෙන් තුන්දෙනෙක්ගේ විතරයි. අනිත් අයගේ birthdays කවද්ද කියලා phone එකේ තමයි save කරලා තියෙන්නේ" කියලා. [ඒ තුන්දෙනාගෙන් දෙන්නෙක්ව නම් හුඟක් අය දන්නවා. අනිත් එක්කෙනා ගැන නම් දන්නෝ දනිති තමා]

සර් ඇහුවා "කවුද මේ තුන්දෙනා?" කියලා.

මම කිව්වා "මුල්ම එක්කෙනා බුදු හාමුදුරුවෝ [බුදු හාමුදුරුවන්ගේ birthday එක කියලා වෙසක් පෝය අපි හැමෝම සමරනවානේ], අනිත් එක්කෙනා ජේසුතුමා [දෙසැම්බර් 25 ජේසුතුමාගේ birthday එක කියලත් හැමෝම වගේ දන්නවනේ], අන්තිම එක්කෙනා මම [මගේ birthday එක තියන දවසෙත් අපරාදේ කියන්න බැහැ මට සමරන්න බැරිවුණත් එදාට හැම ඉස්කෝලෙකම වගේ පොඩියට හරි උත්සවයක් කරලා සමරනවා. මොකද මගේ birthday එක ඔක්තෝබර් 6 ලෝක ගුරු දිනේ දවසේ]

කතාව අහලා එතැන හිටිය අයට හිනා. ඕව තමා මට වෙන ජල්තර වැඩ. ඉතින් ඔයාලත් එහෙම යාළුවන්ගේ birthdays වලට එයාලට wish කරන එක එහෙම කරනවද ?

Saturday, May 8, 2010

අපි මුට්ටි අල්ලපු හැටි


අද කියන්නේ කැම්පස් කතාවක්. කට්ටිය දන්නවානේ මුට්ටි අල්ලනවා කියන්නේ මොකක්ද කියලා. තමන්ට වඩා වැදගත්, උසස් තව විදිහකින් කිව්වොත් තමන්ගේ ලොක්කන්ට පුළුවන් තරම් උදව් කරමින් හිත දිනාගන්න try කරන එකනේ මුට්ටි අල්ලනවා කියන්නේ. නිකම් නෙමෙයි ඕක කරන්නේ තමන්ටත් මොකක් හරි වාසියක් බලාගෙන නේ.

මෙන්න කතාව. අලුත් අවුරුදු නිවාඩුවෙන් පස්සේ කැම්පස් පටන් ගත්තේ අප්‍රේල් 26. ඉතින් මේ 2nd semester එකේ අපේ subjects වල හුඟක් Lecturers ලා එහෙම මාරු වුණා.

2nd semester එකේ Sociology subject එකට තියෙන course unit එක තමා ප්‍රායෝගික සමාජ විද්‍යාව. ඒක උගන්වන්නේ ආචාර්ය K. කරුණාතිලක. මුල්ම දවසේ සර් සර් එකක් කරද්දී වැඩ කටයුතු වෙන්න ඕනේ කොහොමද කියලා ස්ථාවර නියෝග ටික දුන්නා.

මූලික ස්ථාවර නියෝග ටිකක් ගැන කිව්වොත් සර් lecture එකට ආවට පස්සේ කාටවත් lecture එකට එන්න බැහැ. සර් note එකක් දෙන්නේ නැහැ. සර්ගේ lecture එකෙන් කරුණු අරන් library ගිහින් පොත් එහෙම කියවලා අපි note එක හදාගන්න ඕනේ. ඉතින් මේ ස්ථාවර නියෝගත් එක්ක වැඩ කටයුතු ටික ලස්සනට යනවා.



මේ සතියේ බදාදා සර්ගේ lecture එක වෙලාවේදී අපිට අත්සන් කරන කොළේ ආවේ නැහැ. ඉතින් lecture එක ඉවර වෙලා සර් ඒ කොළ බලද්දී අත්සන් තිබ්බේ පොඩ්ඩයි ඒත් ළමයි ගොඩක් හිටියා.

සර් ඇහුවා "කවුද අත්සන් කළේ නැත්තේ ?" කියලා.

අපි පිටිපස්සේ හිටියේ අපිටත් අත්සන් කොළේ ආපු නැති නිසා අපි අත් උස්සලා කිව්වා "අපි අත්සන් කළේ නැහැ" කියලා.

අපිටත් පිටිපස්සේ තව ගොඩක් ළමයි හිටියා. ඕක අත්සන් කරලා ඉවර වෙද්දී වෙලා යන නිසා සර් කිව්වා" මට පරක්කු වෙනවා මම එකේ ඉන්නවා. ඒකට අත්සන් කොළේ ගෙනත් දෙන්න කවුරුහරි ස්වේච්ඡාවෙන් බාරගන්න. අපේ මේ මහත්තූරු මොකද කියන්නේ. කවුද වැඩේ බාරගන්නේ ?".

එදා අපේ කොල්ලෝ හිටියේ පස් දෙනයි. පස් දෙනාම එක තැන වාඩිවෙලා හිටියේ. එකෙක්වත් අත් උස්සන පාටක් නැහැ. ඉතින් මට හිතුණා සර් ඊළඟට මොනවා කියයිද දන්නේ නැහැ. අනිත් එක එතැන කොල්ලෝ පස් දෙනයි කෙල්ලෝ හිටියා 150 ක් විතර. නිකම් චාටර් වෙන්න ඕනේ සහ ප්‍රසිද්ධියේ ඇදගෙන නාන්න ඕනේ නැහැනේ.

මේ හේතු මත මම අත උස්සලා වැඩේ බාරගත්තා. සර්ත් ඉතින් " බොහොම හොඳයි" කියලා යන්න ගියා. පස්සේ මමයි තව යාළුවෙකුයි අත්සන් කොලේ අරන් sociology department එකට යද්දී මඟ දිගට හම්බෙන sociology කරන කෙල්ලන්ට කිය කිය ගියේ "අපි සර්ට මුට්ටි අල්ලන්න යනවා" කියලා. අපි ඒක කිව්වේ joke එකට වගේ.

සර්ට ගිහින් අත්සන් කොලේ දුන්නාම "Thanx පුතා" කියලා සර් කිව්වා. පස්සේ අපි එද්දිත් මඟ දිගට අපිට හම්බෙන් sociology කරන කෙල්ලන්ට කිය කිය ආවේ "සර්ට අල්ලපු මුට්ටිය වැඩ කලා. අපිට ඕන sup එකක් සර් දෙන්නම් කිව්වා" කියලා ආදී විදිහට ගල් පැලෙන බොරු.

මේක පෙලක් කෙල්ලන්ට තේරුණා අපි නයා අරිනවා කියලා. ඒත් පෙලක් කෙල්ලෝ සිරා ගත්තා කියලා තමා අපිට නම් තේරුණේ.

ඊට පස්සේ දවසේ සර් lecture එකට ආවා. ඇවිල්ලා මටයි මගේ යාළුවටයි අත දික් කරලා එන්න කිව්වා. එදා සර් අපේ මේ 2nd semester එකේ උගන්වන course unit එකේ syllabus එකේ handouts මිටියක් අරන් ඇවිත් තිබ්බා.

සර් කිව්වා අපිට ඒක ළමයින්ට බෙදන්න කියලා.

ඒක බෙදද්දී අපි ඊයේ මුට්ටි අල්ලන කතාව කියපු කෙල්ලන්ට කිය කිය ගියා " කොහොමද අපි අල්ලපු මුට්ටිය" කියලා හිනා වෙවී. සමහර කෙල්ලෝ අපි කියන්නත් කලින් කිව්වා "සර්ට අල්ලපු මුට්ටිය වැඩ කරලා වගේනේ" කියලා.

ඕන් ඔහොම තමා අපි සර්ට මුට්ටිය ඇල්ලුවේ. අපි joke එකට කිව්වා එක දැන් හුඟක් අය ඇත්ත කියලා තමා හිතන් ඉන්නේ. බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා.

Tuesday, May 4, 2010

නූතන වප් මඟුල

දවස් ගාණකට පස්සේ තමා මේ පැත්තේ ආවේ. ඒත් අතරින් පතර පුලුවන් වුනු වෙලාවල්වල අනිත් අයගේ බ්ලොග් කියවලා comment එහෙම කලා. ඉතින් අලුත් post එකක් ලියන්න කතා ගොඩක් තිබ්බත් වෙලාවක් නැතිකම තමා ගැටළුව වුණේ. ඔක්කොටම මුල වුණේ නිවාඩුවෙන් පස්සේ campus එක ගිය මාසේ 26 පටන් ගත්ත එක. දැන් ඉතින් වැඩ ටික ටික වැඩිවෙමින් තමා තියෙන්නේ.

26 campus පටන් ගත්තත් 27 වැනිදා campus යන්නේ නැතිව හොඳ වැඩකට set වුණා. අපේ හිතවත් හාමුදුරුවෝ කෙනෙක් තන්තිරිමලේ ඉන්න ළමයි 10 දෙනෙක්ට ශිෂ්‍යත්ව ප්‍රදානයක් කලා එයාලගේ අධ්‍යාපන කටයුතුවලට උදව්වක් විදිහට. අපි කට්ටියකුත් ඒ ළමයින්ට දෙන්න පොත් වගයක් අරන් ගියා. මෙතන කෙටුවා නම් ඒකේ photos එහෙම බලන්න පුළුවන්.

ඉතින් අද කියන්න යන කතාවට අදාල සිද්ධිය වුනේ මේ ගමනේ අතරවාරයේදී තමා. මම මේ ගමන ගියේ අපේ ගුරුවරියකට අයිති වුණු car එකක. ගුරුතුමිය කිව්වට අපි කියන්නේ මිස් කියලා. ඒ නිසා ඉස්සරහට තියෙන්නේ මිස් කියලා. ඉතින් ඒ මිස්, එයාගේ මහත්තයයි, මායි, තව යාළුවෙකුයි තමා car එකේ ගියේ. Car එකත් මහ ලොකු car එකක් නෙමෙයි Micro Trend එකක්.

මිස්ට වාහන drive කරන්න තාම ලයිෂන් එහෙම නැහැ. කාලයක් වාහන drive කරන්න පුරුදු වෙන්න ලර්නර්ස් ගිහින් තියෙනවා. ඒත් අවුලකට තියෙන්නේ පාරේ කන්ටේනර් යද්දී මිස් අම්බානකුත් තව පොඩ්ඩක් බයවෙලා වාහනේ පාරෙන් අයිනකට ඉක්මනට ගන්න යන එක පස්සේ මිස් වැඩත් එක්ක වෙලාව අඩු නිසා වාහන කිරීමේ හීනේ අමතක කරලා තියෙනවා.

ඉතින් එදා තන්තිරිමලේ යද්දී පාරේ වාහන එහෙම අඩු නිසා [වාහන අඩුයි කියන්නේ හුඟක් වෙලාවට පාරේ යන්නේ Motor bike. ලොකු වාහනයක් යන්නේ එහෙමත් වෙලාවක] ආයි පාරක් වාහනේ drive කරන්න හිතලා මිස් සුක්කානම අතට ගත්තා. මිස්ගේ මහත්තයා ඉස්සරහ හිටියා, මායි යාළුවයි පිටිපස්සේ හිටියේ.

මේ තියෙන්නේ මිස් car එක drive කරන්න පටන් ගත්ත තැන

මිස් වාහනේ start කරලා ක්ලච් එක පාගන් ඉද්දී මිස්ගේ මහත්තයා ජියර් එක ෆස්ට් එකට දැම්මා. ඒ අතරවාරේ මිස් සුක්කානම දකුණු පැත්තට full කපන ගමන් ඇක්ස්ලේටර් එකත් full පාගන්න ගත්තා. අපි පිටිපස්සේ ඉදන් කිව්වා දැන් හිමින් සැරේ ක්ලච් එක අතාරින්න කියලා.

මේ තියෙන්නේ මිස් ඉස්සෙල්ලාම car එක start කරන් ඉන්න හැටි

මිස් ක්ලච් එක එකපාරටම අත ඇරියා. සුක්කානමත් දකුණට full කපලානේ තිබ්බේ වාහනේ පාරෙන් පිට පැනලා පල්ලම දිගේ ගියා. පල්ලෙහා තිබ්බේ කුඹුරු. හොඳ වෙලාවට වාහනේ කුඹුරට ගියේ නැහැ ඊට කලින් ගැට්ටක් තිබිලා ඒකේ හිරවුණා. මටයි යාළුවටයි මැරෙන්න හිනා. හිනාවෙලා වැඩිවෙලා කඳුළුත් එනවා. මිස්ටත් හිනා.

මේ තියෙන්නේ car එක කුඹුරට යන්න ඔන්න මෙන්න තියෙද්දී පස් කණ්ඩියේ හිරවෙලා නතර වෙලා තිබුණ හැටි

පස්සේ අපි මිස්ව වාහනෙන් අයින් කරලා උඩට පිටත් කලා. හොඳ වෙලාවට එතැනින් CTB බස් එකක් ගියා. ඒකේ Driver මහත්තයා මේක දැක්ක ගමන් බස් එක නවත්තලා බස් එකේ සෙනඟත් එක්ක ආවා. පාරේ motor bike එකක ගිය කොල්ලෝ දෙන්නෙකුත් අපේ උදව්වට ආවා. අන්තිමට කට්ටිය ඔක්කොම එකතුවෙලා පල්ලමේ ඉදන් වාහනේ පාරට තල්ලු කලා. car එකට අත තියන්න බැහැ හොඳටම රත්වෙලා. ඉතින් අත් පිච්චි පිච්චි අපි වාහනේ පාර උඩට තල්ලු කලා.


Car එක හිරවෙලා තිබ්බ තැන car එක උඩට ගත්තට පස්සේ

විදෙස් මාධ්‍යවේදියෙක් සිද්ධිය වාර්තා කරමින්

පස්සේ ඉතින් දීපු සප් එකට අපි ඒ මිනිස්සුන්ට ස්තුති කලා. එයාලා හිටියේ නැත්නම් ඉතින් සොරිම තමා. එයාලටත් අපි ඇත්ත කතාව කියන්න ගියේ නැහැ අනම් මනම් කියලා ෂේප් වුනා. එතනින් පස්සේ ඉදන් අපි ආපහු එනකම්ම ඉතින් ඒක මතක් වෙද්දිත් අපිට හිනා. එහෙම තමා අපේ මිස් නූතන වප් මඟුලේදී කුඹුරු හාන්න ගියේ.

හොඳ වෙලාවට පස් කණ්ඩියක හැපිලා හිරවුණා නැත්නම් කුඹුරටම ගියා නම් කුඹුර අයිතිකාරයට එක කන්නෙක දෙපාරක් තමන්ගේ කුඹුර සී සෑමේ භාග්‍යය හිමිවෙනවා. අනිත් කතාව තමා TV දෙරණින් කරපු ශූර ගොවියා Competition එක ඉවරවෙලා තිබ්බ එක. ඒක තිබ්බා නම් අපේ මිස්ටත් ඒකට apply කරන්න තිබ්බා. සෙල්ලම් වැඩක්ද car එකකින් කුඹුරක් හානවා කියන එක.