Sunday, January 20, 2013

මරුටි කාර් එකට නම දාපු හනුමාන් දෙවියා


හනුමා, හනුමන්තා කියන්නේ කවුද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. හනුමා වන්නම කියලා දේශීය නර්තන සම්ප්‍රදායේ නර්තන ශෛලියක් තියෙනවා වගේම පෙරහැරවල්වල හනුමන්තා විදිහට රඟපාන අයත් ඉන්නවා. ඒත් නැත්නම් මූණ ඉදිමිලා හරි පිම්බිලා හරි තියෙද්දී හනුමා කියලා කාඩ් එක දාන්නත් කොල්ලෝ පසුබට වෙන්නේ නැහැ.

ටිකක් කරුණු කාරණා දන්න උදවිය දන්නවා හනුමා කියන්නේ හින්දූන් ගෞරවයන් වන්දනා කරන වානර සිරුරක් තියෙන දෙවියක් බව. ඒ හැරෙන්න ලංකාවේ හිටිය රාවණා රජතුමා එක්ක යුද්ධ කරපු රාම කුමාරයාගේ කතාව අහලා තියෙන අයටත් මතක ඇති ඒකේ රාම කුමාරයාට උදව් කරන වඳුරු නායකයාගේ නම හනුමන්තා කියන එක. 

රාම රාවණා යුද්ධයේදී රාමගේ සොයුරු ලක්ෂ්මණ රාවණ රජුගේ පුත් ඉන්ද්‍රජිත්ගේ පහරකින් සිහිය නැතුව ඉද්දී ඒකට ප්‍රතිකාර කරන්න අවශ්‍ය වෙන ඖෂධයක් ගේන්න හිමාලයට ගිහින් හිමාලයේ කොටසක් කඩාගෙන හනුමා ලංකාවට ගෙනාපු බවත් ඒ කොටස රූමස්සල කියන කතාව දන්න උදවියත් ඇති

එකී මෙකී නොකී හුඟක් ආකාරවලින් අහපු හනුමා ගැන ඇහුවත් හනුමා ඉපදුණු විදිහ වගේම රාම කුමාරයා එක්ක එකතු වුණු විදිහත්, ඒ වගේමයි රාම රාවණා යුද්ධයෙන් පස්සේ හනුමාට මොකක්ද වුණේ කියන එක දන්න උදවිය හරි අඩුයි කියලයි මගේ හැඟීම. ඉතින් ඒ අඩුව පුරවන්න තමා මේ වෑයම. 

ත්‍රිමූර්තිය

හින්දු දහමේ මූලික දේව ත්‍රිත්වය එහෙමත් නැත්නම් ත්‍රිමූර්තියෙන් විනාශ කිරීමේ කාර්යය පවරලා තියෙන්නේ ශිව එහෙමත් නැත්නම් ඊශ්වර දෙවියන්ට. ශිව දෙවියන්ගේ පියා තමා මහා බ්‍රහ්මයා. ශිවගේ බිරිඳ තමා පාර්වතී. මේ යුවළගේ දරුවන් තමා ගණ සහ ස්කන්ධ [කතරගම]

මේ ශිව දෙවියන්ගේ ස්වරූප කීපයක් තියෙනවා [හරියට විෂ්ණු දෙවියන්ගේ අවතාර තියෙනවා වගේ] එක ස්වරූපයක් තමා භාවනානුයෝගීව ඉන්න ස්වරූපේ. තව ස්වරූපයක් තමා නර්තන ඉරියව්වෙන් ඉන්න නටරාජා ස්වරූපය [නටරාජ් කවකටු පෙට්ටියේ තියෙන්නේ ඒ රූපේ තමා] ඉතින් ඒක නිසා කලාවට සරස්වතී දේවිය අධිපති වුණාට නර්තනය අධිපති වෙන්නේ ශිව දෙවියන්.

නටරාජා

ඒත් නර්තනයට අධිපති ශිව දෙවියන්ව වුණත් නර්තනයෙන් මෝහනය කරන්න පුලුවන් මෝහිනී කියලා දිව්‍ය අප්සරාවක් හිටියා. දවසක් මෝහිනීගේ නර්තනයෙන් මෝහනය වෙලා හිටිය ශිව කැමති වරයක් ඉල්ලන්න කියලා කිව්වා [රාවණා රජතුමා පවා බලවත් උණේ ශිව දෙවියන්ගේ වරයක් ලැබිලා] ඉතින් හම්බුණු අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න හිතුව මෝහිනී දිව්‍ය අප්සරාව ශිවගේ ශුද්ධ වූ ප්‍රජනන ශක්තියෙන් අංශුවක් ඉල්ලනවා.

වරය ඉටු කරන්න ශිව තමාගේ ශුක්‍ර ධාතුවක් මෝහිනීට දෙනවා [දැන් අනම් මනම් ප්‍රශ්න අහන්න එපා ඕන්] මෝහිනී දිව්‍ය අප්සරාව තමන්ට හම්බුණු මේ වටිනා කියන වස්තුව තමන්ගේ හොඳම මිතුරෙක් වුණු සුළඟට අධිපති වුණු වායු හෙවත් මාරුත දෙවියන්ට ලබා දෙනවා.

වායු දෙවියන් අංජානි කියල විවාහක වැඳිරියක් එක්ක ඒ කාලේ සම්බන්ධයක් පැවැත්වුවා. අංජානි කියන්නේ ඇත්තටම දිව්‍ය අප්සරාවක්. ඒත් ශාපයක් නිසා ඇය වැඳිරියක් වෙලා හිටියේ. කේසරී කියන වඳුරා එක්ක විවාහ වෙලා හිටිය අංජානි වැඳිරියට දරුවෝ හිටියෝ නැහැ. ශිවගේ ශුක්‍ර ධාතුවෙන් ඇයගේ ප්‍රශ්නේ විසඳන්න පුලුවන් කියලා හිතපු වායු දෙවියෝ කඳු මුදුනකට වෙලා ශිව දෙවියන් නමස්කාර කරමින් හිටිය අංජානිගේ කනෙන් රිංහලා ශිවගේ ශුක්‍ර ධාතුව අංජානිගේ ගර්භාෂයේ තැන්පත් කරනවා.

අංජානිගේ කුසේ දරු ගැබක් හටගෙන ඒක වර්ධනය වෙද්දී ඒක දිවැසින් දැක්ක ශිව දෙවියෝ දේව සභාවේදී අංජානිගේ කුසේ ඉන්නේ තමන්ගේ දරුවෙක් කියලා ප්‍රකාශ කරනවා.

කේසරී, අංජානි සහ හනුමාන්

කල් ගත වුණාට පස්සේ අංජානි තමන්ගේ පුත්‍රයාව බිහි කරනවා. අංජානිගේ පුතා නිසා "අංජානි සුත" සහ "අංජනේය" කියන නම් හිමිවෙනවා. ඒ වගේමයි මේ පුතාට තාත්තලා තුන් දෙනෙක් ඉන්න නිසා තාත්තලා නිසාත් වෙන වෙන නම් හිමිවෙනවා. 

අංජානිගේ ස්වාමියා වුණේ කේසරී නිසා කේසරීගේ පුත්‍රයා කියන අර්ථයෙන් "කේසරී නන්දන" කියන නමත් අංජානිගේ ගර්භාෂයේ ශිවගේ ශුක්‍ර ධාතුව තැන්පත් කළේ වායු දෙවියෝ නිසා වායු දෙවියන්ගේ පුත්‍රයා කියන අර්ථයෙන් "වායු පුත්‍ර, පවත් පුත්‍ර, මරුති" කියන නම් කීපයත් ශිවගේ ශුක්‍ර ධාතුවෙන් උපන් නිසා ශිවගේ පුත්‍රයා කියන අර්ථයෙන් "රෞද්‍රේය" කියන නමත් හිමිවෙනවා. විශාල හනුවක් තිබුණු නිසා "හනුමත්/ හනුමාන්" කියන නමත් භාවිතා කරනවා.

මේ හැරෙන්න හනුමාන් කියන්නේ ශිවගේම අවතාරයක් කියන මතයත් ජනප්‍රියයි. ඒ වගේමයි අයෝධ්‍යාවේ දශරථ රජතුමාගේ බිසෝවරුන්ට දරුවන් නැති නිසා යාගයක් පවත්වද්දී එහි ගින්නෙන් පහළ වුණු පුරුෂයෙක් දීපු ආහාරයක් නිසා බිසෝවරුන් ගැබ් ගන්නවා. ඒ ආහාරයෙන් කොටසක් වායු දෙවියන් අංජානිට ගෙනත් දීලා ඒ නිසා ඇය ගැබ් අරගෙන හනුමාන් බිහි කළා කියලත් මතයක් තිබෙනවා. 

සූර්යයා ඇල්ලීමට යන හනුමාන්

හනුමාන් පොඩි කාලේ ඉදන්ම හරිම ක්‍රියාශීලී, නිර්භීත, බුද්ධිමත් කෙනෙක් වුණා. හැමදාම උදේ කැළේට වදින හනුමාන් ගස් සොලවමින් කඳු මුදුනෙන් කඳු මුදුනට පැන පැන ඉන්නවා. දවසක් හනුමාන් ඉදිණු පළතුරක් කියලා හිතලා සූර්යයාව අල්ලා ගන්නවා. ඒකත් එක්ක සූර්යය කිරණ විහිදෙන එක නතර වෙලා ලෝකය අඳුරු වෙනවා. 

 හනුමාන්ට පහර දෙන ඉන්ද්‍ර දෙවියා

මේක දැකපු දෙවියන්ගේ නායකයා වුණු ඉන්ද්‍ර දෙවියෝ ඓරාවණ ඇතා පිටේ ඇවිත් හනුමාන්ගේ අතේ හිරවෙලා තිබුණු සූර්යයාව ගලවා ගන්න උත්සහ කරනවා. ඒ වෙලාවේ හනුමාන් ඓරාවණ ඇතගේ හොඬවැල මිරිකලා කලබල කරනවා. මේකෙන් කෝප වුණු ඉන්ද්‍ර තමන්ගේ වජ්‍රායුධයෙන් පහර දීලා හනුමාන්ව පොළොවට ඇදලා දානවා

මේ පහරදීම නිසා හනුමාගේ හනුවකුයි අතකුයි බිඳෙනවා. මේක නිසා කෝප වුණු වායු දෙවියෝ සුළං හමන එක නවත්තනවා. ඒකෙන් වෙන හානිය දැක්ක දෙවිවරු වායු දෙවියාට කන්නලව් කරද්දී එයා ඉල්ලා සිටිනවා මගේ දරුවාට කරපු වරද නිවැරදි කරලා එයාගේ අනාගතයට ආශිර්වාද කරන්න. ඊට පස්සේ සුළං මුදා හරින්නම් කියලා. 

 දෙවිවරුන්ගේ ආශිර්වාදයට ලක්වෙන හනුමාන්

ඒ නිසා සියලුම දෙවියෝ හනුමාන් ශෝභාසම්පන්න වේවා, මනස විදුලිය වගේ තියුණු වේවා, හනුමාන්ගේ අධිෂ්ඨානය කිසිම වෙලාවක චංචල නොවේවා, ලෝකයේ කිසිම කෙනෙක්ගේ ආයුෂ හනුමාන්ගේ ආයුෂ ඉක්ම නොයේවා ආදී විදිහට හනුමාන්ට ආශිර්වාද කරනවා. පස්සේ තමා වායු දෙවියෝ සුළං හමන්න පටන් ගන්නේ. ඒ සිද්ධියත් එක්ක හනුමාන්ව "බජ්‍රාංගබලී" කියලාත් හඳුන්වන්න පටන් ගන්නවා

අධ්‍යාපනය ලබන්න ඕනේ වයස ආපුවාම හනුමාන් කල්පනා කරනවා තමන්ගේ ගුරුවරයා තමන් විසින්ම හොයාගන්න ඕනේ කියලා. ඒකට සුදුසුම පුද්ගලයා වෙන්නේ මුළු ලෝකයම දකින සූර්ය දෙවියන් කියලා හිතපු හනුමාන් ඔහු නොදන්නා දෙයක් ලෝකේ තියෙන්න බැරි නිසා ඔහුගේ ශිෂ්‍යයා වෙන්න අවසර ඉල්ලනවා. ඒත් සූර්ය දෙවියෝ කියනවා තමන් නිතරම ගමන් කරමින් ඉන්න නිසා ඉගැන්වීම් කරන්න තරම් කාලයක් තමන්ට නැහැ කියලා. අ

ධිෂ්ඨානශීලී හනුමාන් කියනවා සූර්ය දෙවියන් එක්ක ගමන් කරන ගමන්ම තමන් ඉගෙන ගන්නවා කියලා. ඒ විදිහට සූර්ය දෙවියන්ගේ ශිෂ්‍යයා වුණු හනුමාන් සූර්යාත් එක්ක ලෝකය වටා ගමන් කරන ගමන්ම සියලුම දැනුම ලබාගන්නවා.

අවසානයේදී ඉගැන්වීම් අවසන් වුණාට පස්සේ හනුමාන් සූර්ය දෙවියන්ගෙන් ගුරු පඬුරු ගැන අහපුවාම සූර්ය දෙවියන් කියනවා තමන්ට ගුරු පඬුරු අවශ්‍ය නොවෙන බවත් කිෂ්කින්දයේ වාසය කරන තමන්ගේ පුතා වෙන සුග්‍රීව වඳුරු රජතුමාට අවශ්‍ය වෙලාවට පිහිට වෙන්න කියලා. හනුමාන් ඒකට එකඟ වෙනවා.

කිෂ්කින්දයේ වඳුරන් අතරේ දෙවියන්ට දාව ඉපදුණු වඳුරෝ දෙන්නෙක් හිටියේ. ඒ කලින් කිව්වා වගේම සූර්ය දෙවියන්ගේ පුතා වුණු සුග්‍රීව සහ ඉන්ද්‍ර දෙවියන්ගේ පුතා වුණු වාලි. හැබැයි ඒ දෙන්නාගේම මව වුණු එකම වැඳිරියක්. කිෂ්කින්දයේ රජු වුණේ වාලි. 

වාලි සහ සුග්‍රීව සහෝදරයෝ වුණත් ලොකු තරහකාරයෝ දෙන්නෙක් වුණා. එක දවසක් කිෂ්කින්දයට කඩා වැදුණු දුන්දුභී කියලා රාක්ෂයෙක් කලබල කරන්න වුණු නිසා ඒ රාක්ෂයාව ගල් ගුහාවකට කොටු කරගන්තු වාලි ද්වන්ද සටනකට මුල පුරනවා. ඒකට වෙන කාටවත් ඇතුල්වෙන්න බැරි විදිහට වාලි දොරටුව වසා දානවා. දින ගාණක් සිද්ධ වුණු මේ සටන අවසානයේදී වාලි මර හඬ නගනවා එළියේ හිටපු සුග්‍රීව ඇතුළු වඳුරන්ට ඇහුණු නිසා වාලි මියගියා කියලා හිතපු ඔවුන් කරන්නේ දුන්දුභීට එළියට එන්න බැරි විදිහට හොඳට ගල් ගුහාව වසා දානවා. පස්සේ වඳුරන්ගේ නව රජතුමා විදිහට සුග්‍රීව පත් කෙරෙනවා.  

ඒත් ඇත්තටම වෙලා තිවුණේ දුන්දුභීව වාලි විසින් මරා දමලා තිබුණු එක. සති ගාණකව පස්සේ ගල් දොරටුව පෙරළලා එළියට ආපු වාලි දැක්කේ සුග්‍රීව රජවෙලා ඉන්න එක. සුග්‍රීව තමාගෙන් රජකම ගන්න ගල් ගුහාවේ තමන්ව හිර කළා කියලා චෝදනා කරපු වාලි සුග්‍රීවට පහර දීලා කිෂ්කින්දයෙන් පිටමං කරනවා. 

 වාලි සහ සුග්‍රීවගේ ගැටුම

සුග්‍රීව සෘෂ්‍යමුඛ පර්වත ප්‍රදේශයට පැනලා යනවා. ඒත් සුග්‍රීවගේ දරුවන් මරා දාපු වාලි සුග්‍රීවගේ බිරිඳ වුණු රූමාව බලහත්කාරයෙන් තමන්ගේ බිරිඳක් බවට පත් කරගන්නවා. සුග්‍රීව මේ විදිහට අසරණ වෙලා ඉද්දී තමන් හනුමාන් සුග්‍රීවගේ පියා වුණු සූර්ය දෙවියන්ට දීපු පොරොන්දුවේ විදිහට සුග්‍රීවට උදව් කරන්න එන්නේ. 

වාලිගේ හැටි හනුමාන් කුඩා කාලයේ ඉදන්ම දැනගෙන හිටියේ. මොකද හනුමාන් ඉපදෙන්න ආසන්න කාලයේදී අංජානිගේ කුසෙන් බිහිවන වඳුරු රජෙක් නිසා වාලිට මියයන්න වෙනවා කියලා අනාවැකියක් ප්‍රකාශ වෙලා තිබුණු නිසා වාලි රන්, රිදී, තඹ, යකඩ, බෙලෙක් කියන ලෝහ පහෙන් ආයුධයක් හදලා අංජානි හුදෙකලාව නිදාගෙන ඉන්න අවස්ථාවක් බලලා දරු ගැබට අනිනවා. ඒත් ශිවගේ ශුද්ධ වූ ශුක්‍ර ධාතුවේ ආනුභාවයෙන් ඒ පස් ලෝ ආයුධය උණු වෙනවා. ඒ පංච ලෝහ හනුමාන්ගේ කන්වල තියෙන කුණ්ඩලාභරණ බවට පත්වෙනවා. ඒක නිසා හනුමාන් මව් කුසෙන් බිහිවෙද්දීම කන්වල කුණ්ඩලාභරණ තියෙනවා. 

හනුමාන්ගේ මැදිහත් වීමෙන් වාලි සහ සුග්‍රීව අතරේ සාම සාකච්ඡාවක් පැවැත්වෙනවා. ඒකෙන් කිෂ්කින්දයේ අයිතිය වාලිට පැවරෙනව වගේම සෘෂ්‍යමුඛ පර්වතය නව රාජ්‍යයක් පිහිටුවන්න සුග්‍රීව එකඟ වෙනවා. කොහොම නමුත් දිගින් දිගටම වාලිගෙන් වුණු අකටයුතුකම් නිසා කිෂ්කින්දයේ වඳුරන් දිගින් දිගටම සෘෂ්‍යමුඛ රාජ්‍යයට එකතු වෙනවා. 

 රාම කුමරුට හනුමාන් හමුවීම

මේ කාලයේදී තමා රාම කුමාරයා රාවණා රජතුමා පැහැරගෙන ගිය සීතාව සොයාගෙන මේ ප්‍රදේශය හරහා එන්නේ. මෙතන ඉදන් කතාව දන්නවානේ...

ආයි පාරක් කතාවේ අග හරියට ආවොත් රාම රාවණා සටනින් රාම ජය අරගෙන නැවතත් අයෝධ්‍යාවේ රජකම භාරගත්තාට පස්සේ හනුමාන් රාම සමීපයේම වාසය කළා. සීතා විසින් හනුමාන් තමන්ට කරපු උදව් වෙනුවෙන් හනුමාන්ට මාලයක් පළඳවනවා. 

තම හදවතේ වෙසෙන රාම සීතා යුවළ පෙන්වන හනුමාන්

ඒක පළඳගත්තු හනුමාන් නිතරම ඒක දිහා බලන්න පටන් ගත්තු නිසා මිනිස්සු ඒක විහිළුවකට අරගෙන හැම තිස්සේම බලන්නේ මොකක් දිහාද කියලා ප්‍රශ්න කරනවා. ඒකට පිළිතුරු විදිහට හනුමාන් රාම සීතා දෙදෙනා දිහා කියලා ප්‍රකාශ කරලා පපුව දෙබෑ කරලා පෙන්වනවා. ඒ අවස්ථාවේ රාම සීතා යුවළ හනුමාන්ගේ හදවත තුළින් දිස්වෙනවා.

රාමගේ අවසානය ළං වෙද්දී රාම ඒ බව හනුමාන්ට ප්‍රකාශ කළාම හනුමාන් රාම සමඟ යන්න කැමති වෙනවා. ඒත් රාම ප්‍රකාශ කරනවා තව දුරටත් මිහිපිට රැඳෙමින් පූජනීය ජීවිතයක් ගත කරමින් රාම නාමය මතුරන්න, රාම ගුණ ගායනා කරන්න කියලා. 

 රාමගේ ගුණ ගයන හනුමාන්

එහෙම කියපු රාම සරයූ ගංගාවේ ගිලී යනවා. රාමගේ අවවාදය අනුවම හනුමාන් ගල් පුවරුවල රාම නාමය කොටමින්, රාම ගැන ගී ගයමින් තවමත් අප අතට ජීවත් වෙනවා කියලා තමා හින්දු විශ්වාසය වෙන්නේ.

හින්දූන් අතර හනුමාන් දෙවියාව ප්‍රශ්න නිරාකරණය කරන්නෙක්, සටන්කාමියෙක්, භක්තිකවන්තයෙක්, සංගීතඥයෙක්, බුද්ධිමතෙක්, බ්‍රහ්මචාරියෙක්, පරාර්ථකාමියෙක් විදිහට සළකනවා. ඒ වගේමයි මල්ලව පොරකරුවන්ගේ දෙවියා, තාරුණ්‍යයේ දෙවියා සහ ගමනාගමනයේ දෙවියා විදිහටත් හනුමාන්ව සැළකෙනවා. 


ඒ නිසා බොහෝ වෙලාවට මාර්ගාසන්නයේ හනුමාන් පිළිරූ ඉදි කරනවා. හනුමාන් ප්‍රවාහනයට අධිපති දෙවියා වගේම වායු දෙවියන්ගේ පුතා නිසා මරුති යන නම භාවිතා වෙන නිසා මේ සියල්ලම සැළකිල්ලට අරගෙන තමා ඉන්දියාවේ නිෂ්පාදනය කරන මෙන්න මේ කාර් ජාතියට මරුති කියන නම යොදලා තියෙන්නේ



මේ සටහන ලියන්න මට උපකාර වුණේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ලියපු හනුමාන් නමැති වඳුරු දෙවියා පොත. ඒ හැරෙන්න විකිපීඩියාවෙන් සහ අන්තර්ජාලයෙන් තමා විස්තර ඡායාරූප සියල්ලම හොයා ගත්තේ 

ජය බජ්‍රාංගබලී !!!

ප.ලි: කැම්පස් එකේ දෙවන අර්ධ වාර්ෂිකයේ විභාගේ පෙබරවාරි 1 වෙනිදා පටන් ගන්නවා. ඒක නිසා පෙබරවාරි 16 වෙනිදා විභාගය අවසන් වෙනකම් අලුතෙන් මොකුත් ලියන්න වෙන්නේ නැහැ...... 

Sunday, January 13, 2013

සැරියුත්, මුගලන් හිමිවරු මතු බුදුවේ යැයි බුදුන් වහන්සේ විවරණ දෙති



බෞද්ධ, හින්දු, කිතුණු පොත් හොය හොය ඉද්දී පහුගිය දවසක මට කියවන්න ලැබුණා මහායාන බුදු දහමේ ප්‍රධානම ග්‍රන්ථයක් විදිහට සැලකෙන සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය. ඒ සූත්‍රය කියවද්දී සිත් ඇදගන්නා සුළු වගේම විශේෂයි කියලා හිතුණු කරුණු ටිකක් බෙදා හදාගන්නයි අද මගේ කල්පනාව. 

මේ සූත්‍රයත් පටන් ගන්නේ ථේරවාදී බුදු දහමේ සූත්‍ර පටන් ගන්න ආකාරය වෙන "මා විසින් මෙසේ අසන ලදී" කියන වාක්‍යයෙන්. බුදු හාමුදුරුවෝ රජගහ නුවර ගිජුකුළු පව්වේ දොළොස් දහසක් සංඝයා වහන්සේලා පිරිවරාගෙන වැඩ වාසය කරද්දී ඒ පිරිසත් හයදාහක් පමණ වුණු භික්ෂුණීන් වහන්සේලාත්, අසූ හාරදාහක් පමණ වුණු බෝසත්වරුනුත් ඒ හැරෙන්න දිව්‍ය, බ්‍රහ්ම, කිඳුරු, මකර, ගරුඬ රාජයන් උදෙසා තමා සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය දේශනා කරන්නේ. 

ථේරවාදී බුදු සමයේ නිවන් අවබෝධ කරගන්නා වූ ත්‍රිවිධාකාර මාර්ගයන් දක්වනවා. තුන්තරා බෝධි නමින් හඳුන්වන ලොව්තුරා බෝධිය, පසේ බෝධිය, රහත් බෝධිය තමා මේ ත්‍රිවිධාකාර මාර්ග. මේ මාර්ග තුනෙන් එකකට පත්වෙන පුද්ගලයා නිවන් අවබෝධ කරගන්නවා කියලා තමා ථේරවාදී බුදු දහමේ ඉගැන්වෙන්නේ. 

ඒත් මහායාන බුදු දහමේ ඉගැන්වෙන්නේ නිවන් අවබෝධ කරගන්න නම් ලොවුතුරා බෝධියටම පත්විය යුතුයි කියලා. ඒක හොඳින්ම සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයෙන් අවධාරණය කරනවා. ථේරවාදී බුදු සමයේ දැක්වෙන විදිහට නිවන් අවබෝධ කරගනිපු මහ රහතන් වහන්සේලා වුණු සැරියුත්, මුගලන් ආදී වූ ශ්‍රාවකයන් වහන්සේලා අනාගතයේදී බුද්ධත්වයට පත්වෙලා නිර්වාණය සාක්ෂාත් කරගන්නා ආකාරය මේ සූත්‍රයේදී විස්තර කෙරෙනවා.

ඒකේ දැක්වෙන විදිහට බුදුන් වහන්සේ ප්‍රධාන ශ්‍රාවකයන් වහන්සේලා හැමෝටම වගේ නියත විවරණ ලබා දෙනවා මතු බුදුවෙනවාය කියලා. 

ඒ අනුව අනාගතයේදී සැරියුත් මහ රහතන් වහන්සේ පද්ම ප්‍රභා නමින්, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ රශ්මි ප්‍රභාශ්වර නමින්, සුභූති රහතන් වහන්සේ ශෂිකේතු නමින්, මහා කච්චායන මහ රහතන් වහන්සේ ජම්බුනදප්‍රභාස නමින්, මුගලන් මහ රහතන් වහන්සේ තමාලාපත්‍රචන්දන ගන්ධ නමින්, පුණ්ණ මන්තානිපුත්ත මහ රහතන් වහන්සේ ධර්ම ප්‍රභාශ්වර නමින් බුද්ධත්වයට පත් වෙනවා.  

සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය දේශනා කරන බුදුන් වහන්සේ

ඒ වගේමයි බුදුන් වහන්සේ දේශනා කරන පරිදි ඒ අවස්ථාවේ ගිජුකුළු පව්වේ වැඩ සිටිය දොළොස් දහසක් පමණ වුණු මහ රහතන් වහන්සේලා සියලු දෙනාම අනාගතයේදී අනුපිළිවෙළින් බුද්ධත්වයට පත්වෙනවා. උන් වහන්සේලා සියලු දෙනාවම හඳුන්වන්නේ සමන්තප්‍රභාස බුදුන් වහන්සේ කියලා. 

මේ හැරෙන්න සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ තිබෙන තවත් සිත් ඇදගන්නා සුළු කතා පුවතක් තමා බුදුන් වහන්සේ සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය දේශනා කරද්දී බුදුන් වහන්සේ ඉදිරියෙන් සත් රුවනින් සෑදුණු මහා ස්ථූපයක් පහළ වුණු සිදුවීම.

යොදුන් 500 ක් උස යොදුන් 250 ක් පළල වුණු මේ මහා ස්ථූපය මහ පොළව පලාගෙන තමා මතු වෙන්නේ. ස්ථූපයේ හතර වටින් සඳුන් සුවඳක් විහිදෙනවා වගේම ධජ පතාකවලින් ස්ථූපය අලංකාර කරලා තියෙන්නේ. මේ ස්ථූපයට දෙව් බඹුන් පුද පූජා පවත්වන්න පටන් ගන්නවා.

ඒ අවස්ථාවේදී ස්ථූපයෙන් හඬක් නිකුත් වෙලා "තථාගත ශාක්‍ය මුනින්ද්‍රයාණෙනි, ඔබවහන්සේ බුදුවරුන්ගේ මනසේ තබා ආරක්ෂා කොටගෙන සිටින්නා වූ සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය මේ මහා සභාවේ සිටින සියලු දෙනා ඉදිරියේ විශිෂ්ඨ අන්දමින් දේශනා කරන්නෙහිය. ඔබ වහන්සේ දේශනා කරන්නේ සත්‍යයකි" කියලා ප්‍රකාශ කරනවා. 

මේ සිද්ධියෙන් සභාවේ සියලු දෙනාම පුදුමයට පත්වෙනවා. ඒ නිසාම මහා ප්‍රතිභාන බෝසතාණන් වහන්සේ මේ ස්ථූපය කුමන හේතුවක් නිසා පැන නැඟුණාද කියලා බුදුන් වහන්සේගෙන් විමසනවා.

ඒකට පිළිතුරු වශයෙන් බුදුන් වහන්සේ වදාරනවා ඉතාම ඈත අතීතයේ ප්‍රමාණ කළ නොහැකි දහස් දස දහස් ලක්ෂ කෝටි ගණන් ලෝක ධාතුවලට නැගෙහිරට වන්නට තිබුණු රත්න විසුද්ධි ලෝක ධාතුවේ වැඩ වාසය කරපු ප්‍රභූතරත්න නම් බුදුන් වහන්සේ තමන් වහන්සේ පිරිනිවන් පාන අවස්ථාවේදී අධිෂ්ඨාන කරනවා අනාගතයේ දස දිසාවේ කිසියම් තැනක සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය දේශනා කරනවාද එයට සවන් දීමටත් එය සත්‍යයි කියලා වර්ණනා කරන්නත් තමන් වහන්සේගේ ශරීර ස්ථූපය පැන නගින්න කියලා

ඒ අධිෂ්ඨානය පරිද්දෙන්ම එය සිදුවුණු බව බුදුන් වහන්සේ වදාරනවා. මේ විස්තරය අහපු මහා ප්‍රතිභාන බෝසතාණන් වහන්සේ කියනවා ප්‍රභූතරත්න බුදුන් වහන්සේගේ ශරීරය දැකගන්න අපි කැමතියි. ඔබ වහන්සේගේ ප්‍රාතිහාර්යය බලයෙන් උන්වහන්සේව අපට පෙන්වන්න කියලා.

ඒකට පිළිතුරු විදිහට බුදුන් වහන්සේ වදාරනවා ප්‍රභූතරත්න බුදුන් වහන්සේගේ අධිෂ්ඨානය තමා සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය අහන්න මගේ රත්න ස්ථූපය කිසියම් බුදු කෙනෙකුන්ගේ ඉදිරියේ පහළ වුණාම සිව් වණක් පිරිසට මගේ දේහය දැකගන්න අභිලාෂයක් ආවොත් එය පෙන්වන්නේ දස දිසාවේ ධර්මය දේශනා කරන බුදුන් වහන්සේගේ නිර්මිත බුදුවරු ආපසු ගෙන්වා එක් රැස් කරලා ඒ බුදුන් වහන්සේගේ වටා සිටීමෙන් පසුවයි කියලා.

මහා ප්‍රතිභාන බෝසතණාන් වහන්සේ ඇතුළු පිරිස බුදුන් වහන්සේගෙන් ප්‍රභවය වුණු දස දිසාවේ සිටින බුදුවරුන් දැකගන්න කැමති වුණු නිසා බුදුන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුවෙන් ආලෝක ධාරා විහිදිලා දස දිසාවේම තියෙන ලෝක ධාතුවල ධර්මය දේශනා කරන බුදුන් වහන්සේලාව පෙන්නුම් කෙරෙනවා.

ඒ අවස්ථාවේදී ඒ ඒ බුදුන් වහන්සේලා ශාක්‍යමුනි [ගෞතම] බුදුන් වහන්සේගේ සිතැඟියාව තේරුම් අරගෙන සභා ලෝකයට වැඩම කරවනවා. මේ ආකාරයෙන් දස දිසාවෙන් වැඩම කරවන බුදුන් වහන්සේලාට වැඩ ඉන්න බුද්ධ ක්ෂේත්‍ර ශාක්‍යමුනි බුදුන් වහන්සේ විසින් මවනවා.

අවසානයේදී දස දිසාවේම බුදුන් වහන්සේලා වැඩම කරවීමෙන් පස්සේ ශාක්‍යමුනි බුදුන් වහන්සේ වැඩ සිටි අසුනෙන් අහසට වැඩම කරලා රතන ස්ථූපය දොර විවෘත කරනවා. මහා නගරයක දොරටුවක් විවර වෙන හඬින් මේ ස්ථූපයේ දොරටුව විවර වෙනවා සමඟම සිහසුනක වැඩ ඉන්න ප්‍රභූතරත්න බුදුන් වහන්සේව සියලු දෙනාටම දැකගන්න පුලුවන් වෙනවා.

ජීවමාන ස්වරූපයෙන්ම වැඩ සිටින ප්‍රභූතරත්න බුදුන් වහන්සේගේ ශරීරයෙන් නැවත වරක් "සාධු සාධු ශාක්‍යමුනි බුදුන් වහන්ස, ඔබ වහන්සේ දේශනා කරන සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය ශ්‍රවණය කිරීමට මම මෙහි පැමිණියෙමි" කියන හඬ නිකුත් වෙනවා. 

ශාක්‍යමුනි බුදුන් වහන්සේ හා ප්‍රභූතරත්න බුදුන් වහන්සේ දැක්වෙන මූර්තියක්

ඒ අවස්ථාවේදී ප්‍රභූතරත්න බුදුන් වහන්සේ වැඩ සිටින සිහසුනේ අඩක වැඩ ඉන්න ශාක්‍ය මුනි බුදුන්වහන්සේ පහළ සිටින සිව් වණක් පිරිසගේ සිතැඟියවා වටහාගෙන ඔවුන්වත් ඉහළ අහසට ඔසවා තබනවා. පසුව සද්ධර්ම පුණ්ඩරික සූත්‍ර ධර්මයේ වටිනාකම දේශනා කරනවා. 

මේ කතාව ඇතුළෙත් මහායාන බුදු සමයේ දැක්වෙන ප්‍රධාන සංකල්පයක් ඉස්මතු කරලා තිබෙනවා. ඒ තමා සැබෑ බුදුන් වහන්සේ සභා ලෝකයේ වැඩ සිටින බවත් උන්වහන්සේගෙන් නිර්මිත වුණු නිර්මිත බුදුන් වහන්සේලා දස දිසාවේ ලෝකවල වැඩ සිටින බවත් දැක්වෙන පුවතින් නිර්මිත බුදුන් සංකල්පය.

මහායානිකයන් පිළිගන්න තවත් මතයක් තමා සැබෑම බුදුන් වහන්සේ දිව්‍ය ලෝකයේ [සමහර විටෙක සුඛාවතී ලෝකයේ] වැඩ සිටින බවත් මිනිස් ලොව වැඩ සිටියේ උන්වහන්සේගේ නිර්මිත බුදුරුවක්ය කියන එක. ඒ බුදුරුව ආහාර ගත්තේ, නිදා ගත්තේ හුදෙක්ම මිනිසාට පෙනෙන්නට විනා ඒ බුදුරුවට ඒ වගේ දේවල් අවශ්‍ය නැහැ කියන අදහසත් ඔවුන් දක්වනවා.

ඉතින් මේවා තමයි මට කියන්න උවමනා කරපු කතා ටික. කෝකටත් වෙලාවක් තිබුණොත් දහම් පොත පතක් කියවන්න. ඒ වගේමයි අනෙක් ආගම්වල ආගමික පතපොතත් කියවලා බලන්න. බොහොම රසවත් කතා ප්‍රවෘත්ති රාශියක්ම කියවන්න ලැබේවි. [කරුණු වටහා ගැනීම කෙසේ වෙතත්] 

මම කියවපු සද්ධර්ම පුණ්ඩරික සූත්‍ර දේශනාව සිංහලයට පරිවර්තනය කරපු පුද්ගලයා ගැනත් යමක් කියන්න ඕනේ. ඒක සිදු කරලා තියෙන්නේ බොහොම ආන්දෝලනාත්මක නඩු තීන්දු කීපයක්ම දුන්නු පී.බී වරාවැව විනිසුරුතුමා.

සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය ගැන තවත් විස්තර මෙතනින් කියවන්න. 

ප.ලි.: සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය බොහොම හාස්කම්, අනුහස් තියෙන සූත්‍රයක් කියලා කියනවා. මටත් ඒක අත් විඳින්න ලැබුණා. මේ පොත පුස්තකාලයෙන් අතට අරන් පෙරලපු දවසේම මේ පොත ඇතුලේ තිබිලා මට රුපියල් 200 ක් ලැබුණනේ  :D

Sunday, January 6, 2013

ජාතක කතා පොතෙන් බයිබලයටද බයිබලෙන් ජාතක කතා පොතටද ?

මීට කලින් දවසක මම ලියපු බුදුන්, ජේසුස්, විෂ්ණු, මහ්දි, දියසේන මේ ඔක්කොම අනාගතයේ පහළ වෙනවද ලිපිය ලියන කාලයේදී අනෙක් ආගම්වලට අයිති පොතපත් එහෙමත් කීපයක්ම කියෙව්වා. ඒවායිනුත් වැඩියෙන් කියෙව්වේ ක්‍රිස්තියානි ආගමට අයිති පොත්පත්.

ඒ පොත්පත් අතරින් ශුද්ධ බයිබලයේ නව ගිවිසුමේ තිබුණු කතාවක් නිසා මට බෞද්ධ සාහිත්‍යයේ තිබෙන ජාතක කතාවක් වගේම මහ රහතන් වහන්සේ නමක් සම්බන්ධ කතාවකුත් මතක් වුණා. ඒ කතා කීපය අතරේ තියෙන සමානකම නිසා තමා ඒ ගැන අනික් අයටත් කියන්න හිතුණේ. 

මුලින්ම ශුද්ධ බයිබලයේ නව ගිවිසුමේ ශුද්ධවර මතෙව්තුමාගේ සුබ අස්නේ තියෙන කතාව කියන්නම්.


මුහුද මත ඇවිදීම කියන මාතෘකාවෙන් ශු.මතෙව් 14:17-32 තියෙන්නේ ජේසුස් වහන්සේ තමන්ගේ දේශනාවක් අහන්න ආපු ජනතාවට දේශනාව පවත්වලා ඊට පස්සේ 5000 ක් පමණ වුණු ඒ පිරිසගේ කුසගින්න නිවන්න පොඩි පාන් ගෙඩි 5 ක් හා මාළු දෙන්නෙක්ව ප්‍රාතිහාර්යයක් මඟින් වැඩි කරලා අවසානයේදී ජනතාව විසිර යද්දී තමන්ගේ ශ්‍රාවකයන්ටත් ඔරුවට නැඟලා තමන්ට කලින් එගොඩට යන්න නියම කරනවා. 


හුදෙකලා වුණු ජේසුතුමා කන්දට පිටත් වෙලා යාඥා කරනවා. මේ අතර වාරයේදී ජේසුතුමාගේ ශ්‍රාවකයන් පිටත් වුණු ඔරුව තද සුළඟටකට අහු වෙනවා. මේ වෙද්දී රළ පහරත් වේගවත් වෙලා තිබුණේ. මේ වෙලාවේදී ජේසුතුමා මුහුද මතින් ඇවිද ගෙන ශ්‍රාවකයන් හිටිය ඔරුව දිහාවට එනවා. 

ඒත් ජේසුතුමාගේ ශ්‍රාවකයෝ නම් මේ එන්නේ අවතාරයක් කියලා කලබල වෙලා බය වෙනවා. ඒත් ජේසුතුමා කතා කරලා කියනවා "බය වෙන්න එපා, ධෛර්යය ගන්න. මේ මම" කියලා.

ඒ වෙලාවේදී ජේසුතුමාගේ ප්‍රධාන ශ්‍රාවකයා වුණු පේදුරුතුමා ජේසුතුමාට කියනවා "ස්වාමිනි මේ ඔබ වහන්සේම නම් වතුර මතින් ඔබ වහන්සේ සමීපයට එන්න මට අණ කරන්න" කියලා. 

ඒකට පිළිතුරු විදිහට ජේසුතුමා කියනවා "පැමිණෙන්න පේදුරු" කියලා. 

ජේසුතුමාගෙන් අණ ලැබීමත් එක්ක පේදුරුතුමා ඔරුවෙන් වතුරට බැහැලා වතුර උඩින් ජේසුතුමා ගාවට ඇවිදගෙන යනවා. එහෙම යද්දී සුළඟ වේගවත් වුණු බව දැකපු පේදුරුතුමා බය වෙනවා. 

ඒත් එක්කම තමන් වතුරේ ගිලෙන්න පටන් ගත්තු නිසා පේදුරුතුමා හයියෙන් කෑ ගහනවා "ස්වාමීනී මාව බේරගන්න" කියලා. 


ජේසුතුමා එතනට ඇවිත් පේදුරුතුමාගේ අතින් අල්ලාගෙන අහනවා "කෝ ඔබේ ශ්‍රද්ධාව ? ඔබේ ශ්‍රද්ධාව හීන වුණා නේද ? සැක කළේ ඇයි ?" කියලා

පස්සේ පේදුරුතුමාවත් අතින් අල්ලාගෙන ජේසුතුමා ඔරුවට නගිනවා. ඊට පස්සේ කුණාටු සුළඟ නැතිවෙලා ගිහින් සියල්ල සන්සුන් වෙනවා. 

ඒ කතාවේ කියවෙන විදිහට ජේසුතුමා ගැන පේදුරුතුමාගේ හිතේ ඇතිවුණු ශ්‍රද්ධාව හේතු කරගෙන පේදුරුතුමා වතුර උඩත් ඇවිදිනවා. ඒත් ශ්‍රද්ධාව හීනවීමත් එක්කම දියේ ගිලෙන්න ගියා. 

මේ වගේම කතාවක් බෞද්ධ සාහිත්‍යයේ තියෙන්නේ පන්සිය පනස් ජාතක කතා පොත් වහන්සේ තුළ තියෙන 189 වෙනි ජාතක කතාව වෙන ශීලානිසංස ජාතකයේ.

ඒ ජාතක කතාවේ නිධාන කතාව තමා බුද්ධ කාලයේ ජීවත් වුණු එක උපාසකයෙක් බුදුන් වහන්සේව බැහැ දකින්න හිතාගෙන සැවැත් නුවර ජේතවනාරාමයට එන්න පිටත් වෙනවා. ගමන එන අතර වාරයේදී මේ උපාසකයාට අචිරවතී ගංගාව තරණය කරන්න වෙනවා. 

ගඟේ ඔරු පාරු පදින තොටියෙකුත් දැක ගන්න නොහිටපු නිසා උපාසකයා "ඔරු පාරු නැති වුණාට කමක් නැහැ බුද්ධාලම්භන ප්‍රීතියෙන් යනවා" කියලා හිතලා ගල් තලාවක් මතුපිට ඇවිදිනවා හා සමානව අචිරවතී ගංගාවේ දිය කඳ මතින් ඇවිදගෙන යනවා. 

ගඟ මැදට එද්දී හයියෙන් වතුර ගලන නිසා මේ උපාසකයාගේ හිතේ බය ඇතිවෙලා බුද්ධාලම්භන ප්‍රීතිය අඩුවීමත් එක්ක දියේ ගිලෙන්න යනවා.  ඒත් ආයි පාරක් බුද්ධාලම්භන ප්‍රීතිය උපදවා ගත්තු ඒ උපාසකයා ආයි පාරක් ගල් තලාවක් උඩ ඇවිදිනවා හා සමානව ගංගාව උඩින් ඇවිදගෙන ගිහින් අවසානයේදී ජේතවනාරාමයේදී බුදුන් වහන්සේව බැහැ දකිනවා. 

මේ කතාවේ විදිහටත් බුදුන් වහන්සේ ගැන තමන්ගේ හිතේ ඇතිවුණු අසීමිත ශ්‍රද්ධාව [බුද්ධාලම්භන ප්‍රීතිය] හේතු කරගෙන වතුර උඩ ඇවිදපු උපාසකයා බුද්ධාලම්භන ප්‍රීතිය අඩුවීමත් එක්ක දියේ ගිලෙන්න ගියත් ආයි පාරක් බුද්ධාලම්භන ප්‍රීතිය ඇති කරගෙන වතුර උඩින් ඇවිදගෙන ගිහින් ගංගාව තරණය කරනවා. 

මේ කතා දෙකත් එක්කම මේ කතාවත් නොකිව්වත් අඩුවක් කියලා හිතලා තමා මේ කතාවත් කියන්න හිතුවේ. බුද්ධ කාලයේ සැවැත් නුවර බමුණු කුලේක ඉපදුණු වක්ඛලී කියන තරුණයා බුදුන් වහන්සේගේ ශෝභාව දැකලා හැමදාම බුදුන් වහන්සේව බැහැ දකින්න පටන් ගත්තා. ඊට පස්සේ මහණ වුණොත් හැම වෙලාවේම වගේ බුදුන් වහන්සේව දැකගන්න පුලුවන් කියලා හිතලා මහණත් වෙනවා. 


වක්ඛලී හාමුදුරුවන්ගේ මේ ක්‍රියා කලාපය දැකපු බුදුන් වහන්සේ වක්ඛලී හාමුදුරුවන්ට දේශනා කරනවා "මේ කුණු කය දිහා බලාගෙන ඉන්න එකේ ප්‍රයෝජනය මොකක්ද ? යමෙක් බුදුන් දකීද ඔහු ධර්මය දකිනවා ඒ වගේමයි යමෙක් ධර්මය දකිනවාද ඔහු බුදුන් දකිනවා" කියලා. 

ඒත් මේ අවවාදයත් වක්ඛලී හාමුදුරුවෝ පිළිගත්තේ නැති නිසා තමන් වහන්සේ වැඩ සිටිය ස්ථානයෙන් වක්ඛලී හාමුදුරුවන්ට පිටමං කරනවා. බුදුන් වහන්සේ තමන්ව පිටමං කරපු නිසා හුඟක් කම්පා වුණු වක්ඛලී හාමුදුරුවෝ සිය දිවි නසාගන්න හිතාගෙන ගිජුකුළු පව්ව මුදුනට නැගලා බිමට පනින්න උත්සහ කරනවා. 

 ගිජුකුළු පව්ව

මේ සිදුවීම බුදු ඇසට හසු වීමත් එක්ක බුදුන් වහන්සේ වක්ඛලී හාමුදුරුවන් ඉදිරියේ බුදු රැස් කදක් විහිදවලා "වක්ඛලිය, යමෙක් අසීමිත බුද්ධාලම්භන ප්‍රීතියෙන් වෙසෙනවාද ඔහු බුදු සසුන ගැන පැහැදීමෙන් වෙසෙනවා. අනික් සිතුවිලිවලට හිතේ ඉඩක් නොමැති නිසා විමුක්තිය සාක්ෂාත් කරගෙන ඉපදීම නැති කරනවා" කියලා දේශනා කරනවා. 

ඊට පස්සේ එතැන මැවුණු බුදු රුව අත දිගු කරනවා. බුද්ධාලම්භන ප්‍රීතියෙන් පිනා ගිය වක්ඛලී හාමුදුරුවෝ බුදු රුවේ අත අල්ලාගෙනම ගිජුකුළු පව්වේ ඉදන් පහතට වැටෙන කාලය අතරතුරේදීම රහත් භාවයට පත් වෙනවා. බුදුන් වහන්සේ පස්සේ ශ්‍රද්ධාධික භික්ෂූන් වහන්සේලාගෙන් අග්‍රස්ථානය වක්ඛලී හාමුදුරුවන්ට ප්‍රදානය කරනවා. 

ඒ කතාවේදීත් කලින් කතාවේ වගේම අසීමිත බුද්ධාලම්භන ප්‍රීතිය නිසා ගිජුකුළු පව්වෙන් පහතට වැටෙද්දීත් සිත එකඟ කරගෙන රහත්බව සාක්ෂාත් කරගන්න වක්ඛලී හාමුදුරුවන්ට පුලුවන් වෙනවා. 

මේ කතා පිරික්සද්දී ශ්‍රද්ධාව කියන එක වැදගත් සාධකයක් බව පැහැදිලියි. හැබැයි අවශ්‍ය වෙන්නේ ආකාරවතී ශ්‍රද්ධාව. එහෙමත් නැත්නම් කරුණු නිවැරදිව වටහාගෙන අවබෝධයෙන් ඇති කරගන්නවා වූ පැහැදීම. එහෙම නැතුව අමූලිකා ශ්‍රද්ධාව නෙමෙයි. ඔය අමූලිකා ශ්‍රද්ධාව තියෙන ඇත්තෝ තමා හාමුදුරුවෝ පිණ්ඩපාතේ වඩිද්දී මිදුල අතු ගගා හිටිය ඉදල හාමුදුරුවන්ගේ ඇඟෙන් හේත්තු කරලා හාමුදුරුවන්ට දණ ගහලා වඳිනවා වගේ වැඩ කරන්නේ.