Sunday, February 12, 2012

සීත රෑක මධුසමේ මා ඔබේ වෙලා..... අහලා තියෙනවාද ?


දැන් කාලේ ලංකාවේ music කොච්චර ජනප්‍රියද කියනවා නම් අහවස ලියන සිංදුවට රෑ music දාලා පහුවෙනිදා උදේට FM වල, TV Channels වල යන තරමටම ලංකාවේ music දියුණුයි :) Musical show එකක් කිව්වොත් කොල්ලෝ කුරුට්ටෝ පිරෙන හැටි හැමෝම දැකලා ඇතිනේ.

ජනප්‍රිය සංගීතයේ ඉල්ලුම වගේම ශාස්ත්‍රීය සංගීතයේ වුණත් ඉල්ලුමක් නැහැ කියන්න බැහැ. වික්ටර් රත්නායකයන්ගේ ප්‍රසංගය, සුනිල් එදිරිසිංහයන්ගේ සඳකඩ පහණ, නන්දා මාලිනියන්ගේ ශ්වේත රාත්‍රිය වගේ ප්‍රසංගවලට කොච්චර නම් මිනිස්සු යනවද ?

ජනප්‍රිය සංගීතයේ සිංදුවලට වෙන දෙයක් තමයි ඒ සිංදු FM වල, TV Channels වල පෙන්නකම් දානකම් ජනප්‍රියයි, මිනිස්සුන්ගේ කටේ තියෙන්නේම ඒ සිංදුව, එකක් වුණත් ඇහෙන්නේ ඒ සිංදුව. හැබැයි ඊට පස්සේ එහෙම සිංදුවක් තිබ්බද කියලාවත් මතක නැහැ. එහෙම වුණු සිංදු ගැන උදාහරණ මටත් වඩා හොඳට ඔයාලා දන්නවා ඇති.

ඉතින් අද ආගිය කතාවෙන් කතා කරන්නේ කාලෙකට ඉස්සර කරළියට ආපු සිංදු 2 ක් ගැන මම හිතන විදිහට නම් හුඟක් අය මේ සිංදු දෙක අහලා නැතුව ඇති. ඇහුවත් තේරුමක් දන්නේ නැතුවයි අහලා තියෙන්නේ. ඒක නිසා මේ සිංදු දෙකෙන් කියන්නේ මොකක්ද කියන එකත් එක්ක මේ සිංදු අහලා බලමු.

මුල්ම සිංදුවේ ගායකයා රනිඳු ලංකාගේ.


රනිඳු කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරපු A/L Commerce වලින් ලංකාවෙන් 4 වෙනියා වුණු කොල්ලෙක්. ලංකාවේ hip pop සංගීතයේ පෙර ගමන්කරුවෙක් වුණු රනිඳුගේ මුල්ම ඇල්බමය වුණු 2004 නිකුත් කරපු දිවිය පුරා ඇල්බමයේ තමා මේ සිංදුව තියෙන්නේ. සිංදුව තමයි සංසාරයේ......

මෙන්න සිංදුව.......



මේ තියෙන්නේ සිංදුවේ පද මාලාව

රන් හිරුයි ඔබ යෞවනේ
හදවතයි ඔබ ජීවිතේ
මල් මිටයි මගේ ආදරේ
ඔබ මගෙයි ආනන්දයේ

උල්පතයි කරුණා ගුණේ
සෙනෙහසයි ඔබ රන් කිරේ
නාදයයි මගේ ජීවිතේ
මා ඔබෙයි සංසාරයේ

සැනසුමයි මගේ ජිවිතේ
සිසිලසයි මේ පින් බිමේ
ජිවයයි කුළුදුල් පෙමේ
මා ඔබෙයි සංසාරයේ

කැඩපතයි හද මංසලේ
රිය සකයි ඔබ ආ මඟේ
බෑවුමයි ගිරි දුර්ගයේ
ඔබ මගෙයි තුන් කාලයේ

මහ මෙරයි මුදිතා ගුණේ
සළකුණයි ජය මාවතේ
රිද්මයයි මිනිසත්කමේ
මා ඔබෙයි සංසාරයේ

සැනසුමයි මගේ ජීවිතේ ///

කවුරු ගැනද මේ රනිඳු කියන්නේ ? අපේ කුළුදුල් ප්‍රේමය අපි පිදුව, කරුණා ගුණයේ උල්පත වුණු, මහ මෙරක් තරම් මුදිතා ගුණයක් තිබුණු අම්මා ගැන තමයි මේ සිංදුවෙන් කියන්නේ...

මේ සිංදුව කලින් අහලා තිබුණා නම් මේක හිතුණද ? ඉතින් රනිඳුත් අම්මා ගැන කියවෙන සිංදුවක් කරලා තියෙනවා. හැබැයි සිංදුවේ කොතනකවත් අම්මා කියන එක භාවිතා කරන්නේ නැතුව ඒත් අම්මලා ගාව තියෙන සියලුම ගුණාංග කතා කරමින්.

සිංදුවේ පද රචකයා නම් දන්නේ නැහැ. ඒත් සංගීතය රනිඳුගෙන්මයි. රනිඳු දක්ෂ පියානෝ සහ වාදකයෙක් කියන එකත් මතක් කරන්න ඕනේ.

රනිඳුගේ අලුත් වැඩ ගැන මේකට ගිහින් බලන්න.

http://raniduonline.com/

මීළඟ සිංදුව ගායනා කරන්නේ විශාරද සමිතා මුදුන්කොටුව.


ශාස්ත්‍රීය සංගීතය හොඳින් හදාරලා තියෙන සමිතා මුදුන්කොටුව මුල් කාලේ සරල ගීත ගායනා කළත් මෑත කාලේ තාරුණ්‍යයේ හද බැඳ ගත් සිංදු කීපයක්ම ගායනා කරලා තියෙනවා.

මේ සිංදුවත් මම හිතන විදිහට 2004, 2005 කාලයේදී තමා නිකුත් කෙරුණේ. සිංදුව තමයි සීත රෑක මධුසමේ. මේ සිංදුව නම් කට්ටියට මතක ඇති. පහුගිය කාලේ ස්වර්ණවාහිනියෙන් කරපු Dance Star Dance වැඩසටහනේ උදාරි වර්ණකුලසූරිය එක පාරක් මේ සිංදුවට dance කළා.

මෙන්න සිංදුව..............



මේ තියෙන්නේ සිංදුවේ පද මාලාව

සීත රෑක මධුසමේ මා ඔබේ වෙලා
ප්‍රේමණීය කල්පනා මා ලයේ මවා

රෑ දඟ වැඩියි තිසරුන් සැලී
නොලැබූ සුවේ යදිනවා //

සීත රෑක මධුසමේ මා ඔබේ වෙලා....

සීතල ගෙනා පවනේ වෙලී
සේලේ පියාසලනවා //

සීත රෑක මධුසමේ මා ඔබේ වෙලා....

මා බඳ වටා එතෙනා ඔබේ
පහසේ නුරා නිවෙනවා //

කොහොමද සිංදුව මධුසමය එහෙමත් නැත්නම් එකේදී වෙන හුඟක් දේවල් ලස්සනට කතා කරලා තියෙනවා නේද ? මේ සිංදුව කලින් අහද්දී මේවා ටික තේරුණාද :)

මේ සිංදුවෙත් පද රචකයා දන්නේ නැති වුණත් දක්ෂ විදිහට මධුසමේ සිදුවීම් ගීතයට නගන්න එයා සමත්වෙලා තියෙනවා.

ඒ වගේමයි ගී තනු නිර්මාණය කරපු පුද්ගලයා. මම හිතන විදිහට නම් මේ සිංදුවේ කරලා තියෙන්නේ එක්කෝ නදීක ගුරුගේ එහෙමත් නැත්නම් කසුන් කල්හාර. ගිටාරය, බටනලාව වගේ භාණ්ඩ මැනවින් භාවිතා කරලා පද මාලාවේ කියවෙන දේට සාධාරණයක් කරන්න සංගීත නිර්මාණය කරපු කෙනත් සමත් වෙලා තියෙනවා. සමිතාගේ කට හඬ වුණත් ගීතයේ පද මාලාවට ගැළපෙන විදිහට තමයි ඉදිරිපත් වෙන්නේ.

ඉතින් අද කතාව ඉවරයි. මීට කලින් ඔයාලා සිංදුවක් අහද්දී ඔහේ ඇහුවා නම් අද ඉදන්වත් පොඩ්ඩක් විමසිල්ලෙන් අහලා බලන්න මේ මනුස්සයා මොනවද කියන්නේ කියලා.

ඒ වගේමයි අද කාලේ visual එකක් තිබුණේ නැත්නම් සිංදුව ජනප්‍රිය වෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් visuals තියෙන සිංදු පස්සේම යන්නේ නැතුව අනිත් සිංදු ගැනත් පොඩ්ඩක් සෝදිසි කරලා බලන්න. ලස්සන සිංදු ගොඩක් හම්බවෙයි :)

31 comments:

  1. රනිදු ගේ සින්දු නම් පට්ට...
    මන් ඉස්සර ආසම සින්දුව .......
    ගලා හැලෙන නිල් නදිය ඔබයි
    දොරේ ගලා යන සෙනේ ඔබයි
    හිමිදිරී උදයේ සුවය ඔබයි
    මගේ දිවිය හිමීකාරි ඔබයි

    ReplyDelete
    Replies
    1. ....ජනියා....

      ජනියා රනියාගේ පට්ටම ෆෑන් කෙනෙක් වගේ :)

      Delete
  2. සිංදු දෙකම මං අහලා තියෙනවා... සිරා මචං... රනිඳුගේ මුල් ඇල්බම් එකේ සිංදු සෑහෙන්න පට්ට. ඒත් ගොඩක් අය අහලා නෑ....

    ReplyDelete
    Replies
    1. විෂුවල් එකක් නැත්නම් සිංදුව වැඩක් නැහැ වගේ මතයක් ඇවිත් තියෙන නිසාදෝ හුඟාක් හොඳ සිංදු ජනප්‍රිය වෙලා නැහැ.

      නදික ජයවර්ධනගේ සිහිනයක් ඇල්බම් එකේ හුඟක් සිංදුවලටත් වුණේ ඕකම තමා

      Delete
  3. දැන් ගොඩක් අයගෙ සංගීතෙට තියන රහ වෙනස් වෙලා මචන්.

    ReplyDelete
    Replies
    1. කස්ස

      කාලේ හැටියටනේ තාලේ :)

      Delete
  4. මම සින්දුවක සංගීතය ගැන විතරයි අවධානය යොමු කරන්නේ , ගීතයක තේරුම මට අදාල නැ , ඒ නිසා ලොකේ ඕනිම රටක ඕනිම භාෂාවක සින්දුවක් අහනවා , ශ්‍රාස්තීය ද නැද්ද කියන එකට වඩා මට වැදගත් කනට ඇහෙන ලස්සන . ඒ වගේම මගේ තියන සංගීත දැනුම් පරාසයේ හැටියට සංගීත භාවිතාව සහ ගායන හැකියාවත් ටිකක් සලකල බලනවා

    ReplyDelete
    Replies
    1. බුවාගේ සිතුවිලි !

      ඒකත් එක ප්‍රවණතාවයක් තමා. ඒ වගේම වචන නැති සංගීතය විතරක් තියෙන සිංදු තියෙන්නේ. ඒවා ගැනත් ලියන්න තමයි හිතාගෙන ඉන්නේ.

      සංගීතය විශ්ව භාෂාවක් නිසා වචන කියන එක අනිවාර්යය දෙයක් නෙමෙයි තමා

      Delete
  5. මම ඔය සිංදු දෙකම අහලා නෑ.
    සමිතාගේ 'ආලෙන් වෙලාගන්ඩ' සිංදුව විතරයි අන්තිමේදි ඇහුවේ !

    ReplyDelete
    Replies
    1. මධුරංග

      ආහ් එහෙම නම් මේක ගැන ලිව්ව එකෙන් වැඩක් වෙලා තියෙනවා

      Delete
  6. ලස්සනව සින්දු දෙකක්..
    රනිඳුගෙ සින්දුව අහද්දි රොමේෂ්ගෙ අම්මා ගැන කියපු සින්දුව මතක් වුනා...

    ReplyDelete
    Replies
    1. රූ....

      මොකක්ද රොමේෂ් අම්මා ගැන කියපු සිංදුව ? මට මතක් වෙන්නේ නැහැනේ :(

      Delete
  7. උඩ සිංදුව ගැන නම් මට කලින් තේරිලා තිබ්බා....දෙවෙනි සිංදුව නම් මම ඇහුවේ අද.....
    නියමයි....ස්තූතියි බෙදා ගත්තට

    ReplyDelete
  8. රනිදුගේ සිංදුවට මම මාරම ආසයි..

    ReplyDelete
    Replies
    1. Dinesh

      රනිඳුගේ සිංදුවේ version 2 ක් තියෙනවා. එකක music western පැත්තට බරයි. අනික් එකේ eastern පැත්තට බරයි.

      මේ post එකේ තියෙන්නේ eastern පැත්තට බර සිංදුව

      Delete
  9. උඔ ඇත්ත කාථා කරපු එක් ගැන් සතුටුයි...
    මොකද ,, සමහර වුන් හොයන්නෙ එක්කෝ සිංදුවක බිට් එක නැත්තම් ජනප්‍රියද යන්න... අපිවත් එහෙම උදේ පිපෙන මල් ,හවසට පරවෙන සිංදු ගැන සොයන්නේ නැතිව.... කාලයක් රසවිදිය හැකි සිංදු මතු පරපුරට ලබා දෙමු... එවා රැක ගනිමු

    ReplyDelete
    Replies
    1. Shashitha Hettiarachchi

      අනිවාර්යයෙන්ම

      අමරදේව, සුනිල් ශාන්ත, වික්ටර්, සුනිල්, අමරසිරි, සනත් වගේ ප්‍රවීණයන්ගේ සිංදු තාමත් ජනතාව අතර තියෙනවානේ.

      එහෙම සංගීතයක් අවශ්‍යතාව තිබුණත් පවතින රැල්ලත් එක්ක උඩු ගං බලා පීනන එකේ ප්‍රශ්න තියෙනවා

      Delete
  10. මම ආස 2 සින්දුවට ඒ සින්දුව වෙන කෙනෙකුට දුන්න නම් සමිතා වගේ ලස්සනට කියන්නෙ නේ...මාත් රනිඳුගෙ 1 ඇල්බම් එකට තමයි ගොඩක්ම ආස.

    ReplyDelete
    Replies
    1. හිතහොඳ පිස්සා

      සීත රෑක මධුසමේ සිංදුවට සාධාරණය ඉටු කරන්නේ සමිතාගේ කටහඬ කියන එක මාත් පිළිගන්නවා

      Delete
  11. මම ආස මිල්ටන් පෙරේරගේ සිංදු වලට...

    ReplyDelete
    Replies
    1. ඔබ නොදු‍ටු ලොවක්

      අපිත් ආසයි :)

      මේ සිංදු දෙක ගැන කතා කළේ මේ සිංදු දෙකේ තියෙන එච්චර අයට තේරිලා නැති අර්ථය ගැන කතා කරන්න

      Delete
  12. සින්දු දෙකම හොඳට අහපුවා. රනිඳු කියන්නෙ මෑතකදි ආපු හිප් හොප් රැල්ලෙ හොඳ ස්ටෑන්ඩඩ් එකක් තියෙන නිර්මාණකරුවෙක්. සංගීතය ගැන ඔහුට හොඳ දැනුමක් තිබීමත් එක්ක හොඳ පදවැල් තියෙන සින්දු ගාණක් ඔහු නිර්මාණය කලානෙ.

    සමිතගෙ සින්දුව ඔය සිදුවීම ගැන මම අහපු හොඳම සින්දුව. සංගීතය නදීකගෙ. සමිතගෙ කටහඬ භාවිතයේ උපරිම තැනක් ඔය! යම් යම් තැන්වල සියුම් විචලනයන් එක්ක දැනෙන හැඟීමක් සින්දුව පුරාම තියෙනවා...

    බුවා කිව්ව වගේ මමත් සින්දුවක සංගීතයට තමයි මුලින්ම ගැටගැහෙන්නෙ. සංගීතය හොඳටම දැණෙද්දි තමයි කඩහඬ භාවිතය එක්ක පද වල තේරුම දක්වා යන්නේ. හැබැයි ඒකෙන් පිට පනින තැන් ඕන තරම් :-)

    ReplyDelete
    Replies
    1. සමිතාගේ සිංදුවේ සංගීතය නදීකගේද ? ස්තුතියි කිව්වාට.

      ඔබේ කතාව හරි. මුලින් සංගීතයෙන් තමා රසිකයාව අල්ල ගන්නේ......

      Why this Kolavari Di සිංදුවත් එහෙමයි කළේ කියලයි මට හිතෙන්නේ

      Delete
  13. obe ath allagena giyahati mathakayi ..... kiyala raniduge sinduwak thiyanawa oya albam ekema ake therumath harima lassanayi eken kiyanneth amma ganamayi....

    ReplyDelete
    Replies
    1. GCR

      ආහ් ඔව්ම තමයි. ඒක ගැන නම් ටිකක් හරි කට්ටියට මතක ඇති. ඒ සිංදුව රේඩියෝ, ටීවී වල ටිකක් ජනප්‍රිය වුණා වගේ මතකයි

      Delete
  14. මොකද මන්දා මට නම් රනිඳුව පේන්න බෑ..:)

    දෙවෙනි එක නම් තේරුම දැනගනමයි ඇහුවෙ..ඇයි අමරදේව මාස්ටර්ගෙ කුමරියක පාසළඹ සැලුනා..ඒකත් ඔය වගේනෙ..

    ReplyDelete
    Replies
    1. හරී

      ඔව් සමහර ගායකයන් පෙන්නන්න බැරි වෙන අවස්ථා තියෙනවා. ඒත් ඉතින් හොඳ සිංදුවක් නම් හොඳයි කියන්න එපැයි.

      අමරදේව මාස්ටර්ට සිංදු ලියපු මානවසිංහ, සේකර, මඩවල එස්. රත්නායක වගේ අතිදක්ෂයින් නව රස නියමෙට මතු කරලා සිංදු ලියන්න පුලුවන්කම තිබුණා.

      අද කාලේ එච්චරම නැතත් වැඩකරුවෝ නැත්තේද නොවේ

      Delete
  15. ඔන්න අනධ්‍යන හාදයින්ගෙ ස්ට්‍රයික් එක නිසා පොඩි විවේකයක් ලැබුනා.. රනිදු ලංකාවෙන් 4 උනේ මොනවයින්ද ?

    ReplyDelete
    Replies
    1. රත්නේ

      ස්ට්‍රයික් එක ඉවරලු ඕන් :)

      රනිඳු ලංකාවෙන් 4 වුනේ commerce section එකෙන්

      Delete
  16. මන් ඔය සින්දු දෙකටම ආසයි.. සීත රැක සින්දුව නම් අහපු ගමන් තේරුනා..එ නිසාම ඒක ඒ දවස් වලම ඩවුන්ලෝඩ් කරගත්තා.. ;)

    ReplyDelete
    Replies
    1. @ Red Riding Hood

      නියමයිනේ. සීත රෑක සිංදුව මම මුලින්ම ඇහුවේ සාපෙ කාලේ පිස්සුවෙන් වගේ Y fm අහන කාලේ. හුඟක් දවස්වල රෑට මේ සිංදුව ගියා

      Delete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................