Wednesday, December 28, 2011

Bio Island First Sinhala Blogger කෙනෙක් ???


"අයියේ මේ Site එක බලන්න. මේ මම ලියන blog එක. http://nikamaa.blogspot.com/ "

ඒ විදිහට මීට මාස දෙකකට විතර ඉස්සෙල්ලා ප්‍රමිත් මල්ලී මට facebook එකෙන් message එකක් එව්වා. ඉතින් මම ගිහින් blog එක බැලුවා වගේම ඒ ගැන comments එහෙමත් කළා.

ඊට පස්සේ එයාට ලියන්න අදහස් ටිකක් දෙන්න කිව්වාම මම කිව්වේ "ඒක ඔයාට භාර එකක්. හිතට එන කැමති දේවල් ලියන්න. ඒත් සීමාවක් තියාගෙන. කෝකටත් අනිත් අයගේ blogs ටිකක් කියවන්න. ඒකෙන් ඔයාගේ blog එකේ හැඩය ගැන ඔයාට අයිඩියා එකක් එයි" කියලා.

ප්‍රමිත්ගේ blog එක

එහෙම තමා ප්‍රමිත් එහෙමත් නැත්නම් අද ලංකාවම දන්න 2011 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයෙන් පළමුවෙනියා වුණු රාජකීය විද්‍යාලයේ ප්‍රමිත් රුවන්පතිරණ ශිෂ්‍යයාගේ බ්ලොග් ආගමන කතාන්දරය.....

2002 ඉස්කෝලේ Scout Group එකට එකතු වුණු මට හම්බුණු අනේක විධ චරිත අතරින් විශේෂ ලක්ෂණ තිබුණු චරිතයක් තමා ප්‍රමිත් කියන්නේ. Scouting වලදිත් පොඩි පොඩි ජිල්මාට් වැඩ ප්‍රමිත් අතින් නොවුණාම නොවේ :))

ඒවත් එක්කම අනෙක් වැඩත් කරලා කාණ්ඩ නායකයෙක් විදිහට බාලදක්ෂ කණ්ඩායමේ ප්‍රමිත් වැඩ කළා කියලා තමා මට මතක. ඒත් ඉස්කෝලේ 8 හරි 9 හරි ඉද්දී ප්‍රමිත් accident වුණා වගේම කාලයක් නෑවිත් හිටියා කියන එකත් මගේ මතකේ තියෙනවා.

ඒ වගේමයි මම කලිනුත් කිව්වා වගේ ප්‍රමිත්ගේ ජිල්මාට් වැඩ වගේම කුතුහලය, දැනුම සොයන ආකාරයේ වැඩත් තිබුණා. ඒ අතරින් මට මතක් වෙන සිදුවීම දෙක තුනක් තියෙනවා. එකක් තමයි අපේ බාලදක්ෂ කණ්ඩායමෙන් සංවිධානය කරපු කියන "Shosoloza" බාලදක්ෂ දිනයේ souvenier එකට ප්‍රමිත් ලියලා තිබුණු article එක. ඒ වගේමයි දවසක් විද්‍යාලයේ සංවාද කවයෙන් සංවිධානය කරලා තිබුණු නවරඟහලේ තිබුණු සංවාදෙකදී අතීතයේ ඉදන්ම ලංකාවේ හැම ජන වර්ගයක්ම එකට එකතු වෙලා වැඩ කරපු හැටි ගැන අහපු ප්‍රශ්නේ.

පොඩි කාලේ ඉදන්ම ලොකු ලොකු දේවල් හොයන්න ලොකු ලොකු දේවල් ගැන ප්‍රශ්න අහන්න මේ ළමයා උනන්දුයි කියලා මට හිතුණු අවස්ථා තමයි ඒවා. හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියන්නේ ඕකට තමා :)

2009 කැම්පරියේදී සහය බාලදක්ෂ නායකයින් සහ උපදේශකයින්. වම් පැත්තේ ඉදන් 4 වෙනියා ප්‍රමිත්

ජ්‍යෙෂ්ඨ බාලදක්ෂයෙක් වුණු ප්‍රමිත් එක්ක මම වැඩ කරපු අන්තිම camp එක තමා 2009 කොළඹ දිස්ත්‍රික් කැම්පෝරිය. මම සහය බාලදක්ෂ නායකයෙක් විදිහට කණ්ඩායම භාරව ඒ කඳවුරේ හිටිය. ඒ කඳවුරේදී තමා උපදේශකවරු විදිහට ප්‍රමිත් ඇතුළු batch එක පත් කෙරුණෙත්. ඒ කඳවුරේදීත් ප්‍රමිත් වගේම ඒ කණ්ඩායමත් යමක් කරන්න උත්සාහ කළා වගේම යමක් කළා.

ඊට පස්සේ A/L වැඩත් එක්ක ඇතිවුණු යම් යම් ප්‍රශ්නත් එක්ක ප්‍රමිත් නැවැත්තුවා කියලත් ආරංචි වුණා. මේ අවුරුද්දේ ජූලි මාසයේ තිබුණු ඉස්කෝලේ 2007/2008/2009 Prize Giving එකේ rehearsal ගිය වෙලාවක ප්‍රමිත් හම්බුණාම තවත් බාලදක්ෂ මිතුරෙක් වුණු ඉසුරු ප්‍රමිත් පෙන්නලා නියත විවරණ දුන්නේ "මේ ඉන්නේ මේ අවුරුද්දේ Bio Island First" කියලා.

කොහොම හරි පහුගිය දවසක A/L results out වුණානේ. මට රෑම sms එකක් එවලා ප්‍රමිත් කියලා තිබුණා "අයියේ මට A තුනයි" කියලා. ඒ වගේම එයා Bio වලින් Island first කියලා දැනගත්තාම ලොකු සතුටක් ඇතිවුණේ මාත් යමක් කියලා දීපු මගේ මල්ලී කෙනෙක් ලබාපු ඒ ජයග්‍රහණය ගැන හිතලා.

ඉතින් ප්‍රමිත් මල්ලී සියලු කටයුතු යහපත් විදිහට ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා........... හොඳ දොස්තර මහත්තයෙක් වෙන්න.

ප.ලි.: 2008 අවුරුද්දේ Bio වලින් Isalnd First වුණු කවීන් වීරසිංහත් මගේ යාළුවෙක් තමා. අපි එකට Senior Prefects හැටියට හිටියා.

චානුක වත්තේගම දානවා වගේ මේවා තමා මගේ නේම් ඩ්‍රොපින් :))

හරි මැද ඉන්නේ කවීන්

Wednesday, December 14, 2011

පොලිසිය ලංකාවේ හොඳ පොලිසිය........ ජනතාවගේ හිත දිනා ගත්තු........


ගෙදර ඉන්න බැරිකමකට නෙමෙයි විද්‍යාර්ථීන් විදිහට අධ්‍යයන කටයුතුවලට තියෙන පරම උද්‍යෝගය නිසාම අපි තුන්දෙනා මම, ස්වීටා, මැදයා එදා කැම්පස් ගියා :) අපි මේ semester එකට දාලා තිබුණු සංස්කෘත auxilary unit එකේ lectures වගයක් exams ඉවර වුණාට පස්සෙත් තිබුණා.

ඉතින් එදා තමයි campus එකට අලුත් නැව එන දවසක. කැලණියේ harbour එකක් හැදුවේ නැහැ :)) සරසවි භාෂාවෙන් නවක සිසුන් campus එකට එන එක හඳුන්වන්නේ එහෙම තමා. අලුත් situationවල හැටියට seniorsලාට campus එකේ ඉන්නත් තහනම් කරලා තිබුණා.

ඒත් උදේ වරුවේ නම් එච්චර ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. අලුත් කොල්ලන්ට කෙල්ලන්ට අපේ පහළ batch එක කිරිබත් කවන්න ඇවිත් තිබුණා. අපිත් ඉතින් උදේ lectures ගිහින් ඒක ඉවර වෙලා ගෙදර යන්න පහළට ආවා.

වෙලාව දවල් 1 ට විතර ඇති. ඇඟ කිලිපොලා යන සිද්ධිය ආරම්භ වෙන්නේ දැන් තමා. තෙල් බැම්ම ගාව pavementඑකේ පොලිසියේ set එකක් හිටියා.

"ඔය තුන්දෙනා මෙහෙට එනවා"
එතන හිටිය SI අපිට කතා කළා.

මේ වෙලාව වෙද්දී කැම්පස් එක අපිට තහනම් ප්‍රදේශයක් වෙලා තියෙන්නේ. අනික ලංකාවේ පොලිසියනේ :( මොන කෙලියක්ද වෙයිද මන්දා. ලංකාවේ පොලිසියේ එක ගුටි බැට දීලා ඊට පස්සෙනේ ප්‍රශ්න අහන්නේ. ඉතින් අපි දෙගිඩියාවෙන් ගාවට ගියා.

"තමුසෙලා කාලද ඉන්නේ ?" ඊළඟට SI ඇහුවා.

මට හිතුණා හොඳ කෑමක් සෙට් වෙන්න තමා යන්නේ කියලා. මොකද ඉතින් ලංකාවේ පොලිසිය ඔය කෑම් බීමවලට හරි ප්‍රසිද්ධයිනේ :))

ඕ.පු වෙච්චාවේ කියලා මම කිව්වා "ඔව් සර් කාලා ඉන්නේ" කියලා.

ඇත්තටම ඒ වෙද්දී අපි මැදයා ගාව තිබ්බ බත් එක කාලා තිබුණේ. ඊළඟට SI එතන තිබුණු ත්‍රීවිල් එක ගාවට ගිහින් පෙට්ටියකින් කෑම පාර්සල් 3 ක් අරන් අපිට දුන්නා.


"ආ මල්ලිලා කෑම 3 ක්" කියලා

අපිට නිකම් මොකක්ද මොකක්ද වගේ පොලිසියෙන් කන එක.

"සර් අපිට කෑම එපා අපි කාලා ඉන්නේ"
කියලා මම ආයි කිව්වා.

"මොකක්ද ඕයි මේ හොඳට කන බොන කාලෙනේ. කනවා කනවා කාලා බීලා හැදෙනවා" SI කිව්වා.

පස්සේ man ත්‍රීවිල් එකේ තව පෙට්ටියකට අත දාලා කිරි පැකට් 3 කුත් දීලා කියනවා

"ආහ් මේකත් බොනවා. අපි ගාව තව කෑම තියෙනවා. තව යාළුවෝ ඉන්නවා නම් එන්න කියන්න" කියලා.

අපිත් ඉතින් "Thank you සර්" කියලා bench එකකට ගිහින් ඒක කාලා තමා ගෙදර ගියේ. ඕක තමා කතාව.

පොලිස් SI ට අපිට කෑම නොදී පොලිසියට අරන් යන්නත් තිබුණා එතන එවුන්ට හරි කන්න දෙන්න. කොහොම හරි manට හිතිලා අපිට දුන්නනේ. ඉතින් ලංකාවේ පොලීසියේ හොඳ පොරවලුත් ඉන්නවා කියලයි මට නම් හිතුණේ.

කොහොම නමුත් පොඩි හරි මනුස්සකමක් තිබුණු ඒ පොලිස් නිලධාරියාටයි මේ මල් මිට. මොකද ඇත්තටම බත් එකක් කාලා හිටියත් අපි තුන්දෙනා සුපිරි බඩගින්නක හිටියේ.

අපිට අහන්න ලැබෙන්නේම පොලිස් නිලධාරීන්ගේ කචල් බචල් නේ හොඳ එකකුත් තිබුණොත් ඉතින් කියන්න එපැයි ඒකයි මේ කතාව කිව්වේ.

ප.ලි.:
අපේ බැචෙක් වෙන රශ්මිකගේ තාත්තා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න වැඩ බලන පොලිස්පති විදිහට පත් කරලා කියලා දැනගන්න ලැබුණා. ඒ ගැනත් මගේ ප්‍රීතිය :)

ප.ප.ලි.: ඉරාජ් අයියා කියන ලංකාවේ පොලිසිය ගැන තියෙන සිංදුව අහලා තියෙනවාද ?? මෙන්න ඒක visual එකත් එක්කම බලන්න :))



Saturday, December 10, 2011

තිළිණයක්ම වූ තිළිණි


මම ආඩම්බරකාර මනුස්සයෙක්. ජනාධිපතිතුමා තමන් ආඩම්බරකාර තාත්තා කියනවා වගේ ඔව් මමත් ආඩම්බරකාර යාළුවෙක් :) මට Campus එකේ, ඉස්කෝලේ, බාලදක්ෂ කණ්ඩායමේ, ශාන්ත ජෝන් ගිලන් සේවයේ, Logic Class එකේ, දහම් පාසලේ, ගමේ, මුහුණු පොතේ, සිංහල බ්ලොග් අවකාශේ යාළුවෝ ගොඩක් ඉන්නවා. යාළුවෝ ගොඩක් ඉන්න නිසාම නෙමෙයි මම ආඩම්බරකාර යාළුවෙක් වෙන්නේ. මගේ යාළුවෝ ගැන හිතලා ආඩම්බර වෙන්න පුළුවන් නිසයි මම ආඩම්බර වෙන්නේ.

ප්‍රත්‍ය ශතකයේ මෙහෙම කියලා තියෙනවා යාළුවෝ ඉන්න එකේ වටිනාකම ගැන.

අලසස්‍ය කුතඃ ශිල්පමශිල්පස්‍ය කුතො ධනම්
අධනස්‍ය කුතො මිත්‍රමමිත්‍රස්‍ය කුතඃ සුඛම්

ඒ කියන්නේ අලසයාට කවර නම් ශිල්පයක්ද? ශිල්ප නැත්තා හට කවර නම් ධනයක්ද ? ධනය නැත්තා හට කවර නම් යාළුවෙක්ද ? යාළුවන් නැත්තා හට කවර නම් සැපයක්ද ? කියලා.

ඉතින් අද කතාව මට ආඩම්බර වෙන්න පුළුවන් මගේ යාළුවෙක් ගැන. නමින් ඇය තිළිණි චාමිකා සිල්වා. කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී තුන්වන වසරේ දෘශ්‍ය කලා, ප්‍රතිබිම්බ කලා සහ පරිගණක අධ්‍යයනය හදාරන විද්‍යාර්ථියෙක්. ප්‍රථම වසරේ ඉදන්ම මගේ හොඳ යාළුවෙක්.

යාළුවෙක් වුණු විදිහ නම් මට මතකයක් නැහැ. කොහොම නමුත් මම හොඳ යාළුවෙක් කියලා නම් කළේ සැපේදී වගේම දුකේදීත් ළඟින් හිටිය කෙනෙක් නිසා වගේම හොඳ යාළුවෙක් විදිහට අනිත් යාළුවාගේ වැඩ කටයුතු ගැනත් හොයලා බලලා දියුණුව වෙනුවෙන් උදව් කරන යාළුවෙක් නිසා. ඒක මට විතරක් නෙමෙයි එයාගේ යාළු මිත්‍ර සමාගමේ හැමෝටම තිළිණි හොඳ යාළුවෙක් කියන එක හැමෝම දන්නවා.

තිළිණි කියන්නේ මට ආඩම්බර වෙන්න පුළුවන් යාළුවෙක් කියලා විශේෂයෙන් අද කතා කරන්න හිතුවේ තිළිණි මේ ළඟදී දවසක වෙබ් අඩවියක් දියත් කරපු නිසා. තිළිණි දක්ෂ චිත්‍ර ශිල්පිනියක්. එයාගේ චිත්‍ර ඇතුළත් කරලා තමා මේ වෙබ් අඩවිය සකස් කරලා තියෙන්නේ.

ඉතින් තිළිණි මේ ගැන මට කියපු දවසේ මම කිව්වා "මම හිතන විදිහට මගේ යාළු මිත්‍රයන්ගෙන් වෙබ් අඩවියක් ඉස්සෙල්ලාම කළේ තිළිණි තමා" කියලා.

අපි බ්ලොග් ලියනවා තමා ඒවත් වෙබ් අඩවි වුණාට තිළිණි ඊටත් වඩා ඉස්සරහට ගිය වැඩක් කළා කියලයි මගේ හැඟීම. ඒ වගේම තව යාළුවන්ට වෙබ් අඩවි තිබුණත් ඒවා ව්‍යාපාරික අරමුණුවලට සකස් කරපුවා. තමන්ගේ කලා හැකියාව ඉදිරිපත් කරමින් වෙබ් අඩවියක් දියත් කරපු එක ඊට වඩා වටිනවා කියලයි මට හිතෙන්නේ.

අනික් විශේෂ දේ තමා Naturub කියන ලෝකය පුරා ඇඳුම් සම්බන්ධ ව්‍යාපාරයක් කරන Company එක ලබන අවුරුද්දට නිකුත් කරන කැලැන්ඩරයට චිත්‍ර අඳින්න තිළිණිව තෝරා ගත්තු එක. ඒකෙන් තිළිණි ජාත්‍යන්තරයටත් ගිය චිත්‍ර ශිල්පිනියක් වෙනවා

තිළිණි දක්ෂ චිත්‍ර ශිල්පිනියක්ද කියලා ඔයාලටත් හිතලා බලන්න පුළුවන් මේ චිත්‍ර ටික බලලා.







ඉතින් එහෙම නම් මෙන්න තිළිණිගේ අළුත් වෙබ් අඩවියට යන පාර http://thilinichamika.com/

මෙන්න තිළිණිගේ Facebook Account එක

මේ තිළිණිගේ Facebook Page එක

දෙවරගම්පොළ සිල්වත් තැන, සෝලියස් මැන්දිස්, මංජු ශ්‍රී පරපුරට එක්වෙන්න යන මේ අංකුර චිත්‍ර ශිල්පිනියට අපිත් සුභ පැතුම් එක් කරමු.

සොබා රූ තෙලි තුඩින්
කැන්වසය මත අඳින
වර්ණ ගල්වා එයට

ජීවයක් කවන ඇය
නමින් තිළිණි වුවද
සැබැවින්ම තිළිණයකි
සිත්තරුන්ගේ ලොවට.........


ප.ලි.: තවත් ආඩම්බර වෙන්න පුලුවන් මගේ යාළුවෙක් ගැන මම මීට කලින් ලිව්වා "පිනි දිය වැස්සෙන් පීදුණු කවි අංකුරය" කියලා.

දැක්කනේ මගේ ආඩම්බරකාර යාළු සමාගම :)

Wednesday, December 7, 2011

වටුවන්ගේ මොළේට ඕවා තේරෙනවද ?


අපි පොඩි කාලේ කරපු එක එක ජාතියේ වැඩ ගැන දැන් මතක් කරලා බලද්දී සමහර වෙලාවට හිතෙනවා ඒ කාලේ කරපු වැඩ හරි ගොන් කියලා. ඒ වගේමයි දැන් කාලෙත්. තව ටික කාලයක් ගිහින් මේ දවස්වල කරපු වැඩ ගැන මතක් කළොත් ඒත් අපිට හිතෙයි මේ දවස්වල අපි හරි ගොන් වැඩනේ කළේ කියලා :))

ඒ වගේමයි ඒ දවස්වල සමහර දේවල් අහද්දී දකිද්දී හිතුණේ නැති ගැටළු ගොඩක් දැන් අපිට හිතෙනවා.

පුංචි ඇටේ පැළවෙනා - පුංචි පැළේ ගස වෙනා
පුංචි පුංචි නුවණිනා - පුංචි ළමෝ පඬි වෙනා

කියන්නේ ඒක නිසා වෙන්න ඇති :))

මේ ළඟදී දවසක අපේ දහම් පාසලේ 6 ශ්‍රේණියේ පංතියකට මට උගන්වන්න යන්න සිද්ධ වුණා ඒ පංතියට ඒ period එකේ ගුරුවරයෙක් හිටිය නැති නිසා. ඉතින් එදාට කරන්න තිබුණු පාඩම තමා සම්මෝදමාන ජාතකය. ජාතක කතාව කෙටියෙන් කියන්න වෙනවා නොදන්න අයට දැනගන්නත් දන්න අයට මතක් කරගන්නත් අද කියන්න යන කතාවට ඒක ඕන නිසා.

කතාව මෙහෙමයි. වටු කුරුල්ලෝ කණ්ඩායම් කැලෑවේ ජීවත් වුණා. වටු කුරුළු වැද්දෙක් ඇවිත් දැළක් දාලා වටු කුරුල්ලෙක් වගේ කෑ ගහලා වටු කුරුල්ලෝ දැළට වහපුවාම එයාලව අල්ලා ගෙන යනවා. ඒක තමා ඒ මනුස්සයාගේ ජීවිකාව.


හැමදාම වෙන මේ සන්තෑසිය ගැන කල්පනා කරපු බෝසත් වටු කුරුළු නායකයා තමන්ගේ කට්ටියට උපදෙස් දීලා එක දවසක වැද්දා දැළ දාපුවාම ඒක උස්සාගෙන කැලෑවේ ඈතක තිබුණු කටු ලැහැබකට ගිහින් දැම්මා. ඊට පස්සෙත් මේ විදිහට වටු කුරුල්ලෝ ටික සමඟියෙන් කටයුතු කරලා දැළ ඔසවාගෙන යන වැඩේ කළා.

මේ විදිහට වැඩේ යද්දී වැද්දගේ wifeගෙනුත් වැද්දට දෝස් මුරේ හිස් අතින් ගෙදර එනවා කියලා (වෙනසක් නැහැ දැන් කාලේ වගේම තමා :)) ) ඉතින් වැද්දත් බලාගෙන ඉන්නේ වටු කුරුල්ලන්ගේ සමඟිය නැති වෙනකම්.

දවසක් වටු කුරුළු set එකේ වලියක් ගිහින් කට්ටිය රණ්ඩු කරගන්නවා. වටු කුරුළු නායකයා අවවාද කළත් වැඩක් වෙන්නේ නැහැ. පස්සේ එයා තමන් කියන දේ අහපු පිරිසක් එක්ක වෙනත් ස්ථානයකට යනවා. ඊට පස්සේ වැද්දා ඇවිත් දැළ දාපුවාම ඒක උස්සගෙන යන්න කට්ටියගේ සමඟියක් තිබුණේ නැහැ. අනිත් වටු කුරුල්ලෝ ටික වැද්දගේ දැළට අහුවෙලා ජීවිතේ නැති කරගන්නවා. ඉතින් ඕක තමා කතාව.


ඔය කතාව ආයි පාරක් ඇත්තටම අවුරුදු 11 කට පස්සේ ඇහුවාට පස්සේ මට ප්‍රශ්න 2 ක් ආවා. පස්සේ මම ඒ ප්‍රශ්න 2 ළමයින්ගෙනුත් ඇහුවා.

ප්‍රශ්න 2 තමා මේ

වටු කුරුල්ලෙක් වගේ කෑ ගහන්නේ වැද්දා කියලා වටු කුරුල්ලන්ට තේරෙන්නේ නැද්ද ?

අන්තිමට වටු කුරුළු නායකයා තමන්ට හිතවත් අයත් එක්ක වෙන තැනකට ගියානේ. ඉතින් ඒක කලින් කරන්න තිබුණානේ දැල් උස්ස උස්ස ඉන්නේ නැතුව.....

ඔන්න මගේ ප්‍රශ්න 2. ළමයින්ටත් උත්තර නැහැ. අන්තිමටම ඉතින් මට හිතුණු මේක වෙන්න ඇති උත්තරේ කියන එක මම ළමයින්ටත් කිව්වා.

වටුවන්ගේ මොළේට ඕවා තේරෙනවයැ. උන් වටුවොනේ. අපේ මනුස්ස මොළේටනේ ඕවා හිතෙන්නේ

ප.ලි.: මේ උත්තරෙත් හරියට කතන්දර කියපු සරත්චන්ද්‍ර මහත්තයාගේ සිංහයින්ට තේරෙනවද ලොජික් කතාව වගේ තමා :))

අනික තමා මේ ජාතක කතාවල සිද්ධිවල සත්‍ය අසත්‍යතාව හොයනවාට වඩා කරන්න ඕනේ කතාවෙන් කියවෙන ආදර්ශය අපේ ජීවිතයට ගන්න එක....

Sunday, December 4, 2011

w3Lanka, Lanka e news, මහානාම හාමුදුරුවෝ සහ අසරණ වූ සරණ, ගොඩගිය ඵුස්සදේව


ඉතිහාසය නැවත නැවතත් සිදුවේ කියන කතාව ප්‍රසිද්ධ කතාවක්. ඒත් ඒකට තව කෑල්ලක් එකතු වෙන්න ඕනේ. ඒ තමා ඉතිහාසය විටෙක ඒ ලෙසින්ම සිදුවන අතර විටෙක යම් යම් කොටස් සංශෝධන සහිතව වුවද මූලික සන්දර්භය තුළ නැවත සිදුවේ කියලා.

ඒක නිසාමයි ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්න එක වැදගත් කියලා කියන්නේ. මෑත කාලේ මම දැක්ක සිද්ධියකුත් ඊට අනුරූප ඉතිහාසයේ තියෙන සිද්ධියත් වර්තමාන කතා අතීත කතා දක්වලා පූර්වාපර සන්ධි ගළපලා කියන්නයි මේ සූදානම.

වත්මන් කතාව අපි හැමෝම හොඳට දන්න කියන කතාවක්. ඒ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ තෙල් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී අසරණ වුණු විදිහයි. ඒත් දන්න අයට මතක් වෙන්නත් නොදන්න අයට දැනගන්නත් එක්ක කතාව කියන්නම්කෝ.


2012 අවුරුද්දේ ලංකාවේ කටයුතුවලට මුදල් කටයුතු වෙන් කිරීම ගැන වගේ ඒවා තියෙන අයවැය වාර්තාව ඉදිරිපත් කරන මුදල් අමාත්‍ය ඒ වගේම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පහුගිය දවස පාර්ලිමේන්තුවට ආපු වෙලාවේ අය වැය වාර්තාව ජනාධිපතිතුමා කියවද්දී විපක්ෂයෙන් ලොකු විරෝධයක් එල්ල වුණා. විපක්ෂ මන්ත්‍රීවරු කෑ ගැහුවා වගේම බෝඩ් වගේකුත් ප්‍රදර්ශනය කළානේ. දැකපු උදවියට මතකනේ.

මේ වෙලාවේ තමා ආණ්ඩු පක්ෂේ මන්ත්‍රීවරු කීප දෙනෙක්ම විපක්ෂ මන්ත්‍රීවරු වාඩිවෙලා ඉන්න පැත්තට ගිහින් අත පය වන වන හිටියේ ( අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා කියන විදිහට ) මේ වෙලාවේ ආණ්ඩු පක්ෂේ මන්ත්‍රීවරු ඉන්න පිටිපස්සේ පැත්තේ ඉදන් විපක්ෂේ පැත්තට වතුර බෝතල් ප්‍රහාරයක් එල්ල වෙන්නේ. ඒත් මේක ජනාධිපතිතුමා ගාවට තමා වීසිවෙන්නේ.



අත පය වනපු හැටි කියන අමාත්‍ය ආචාර්ය මර්වින්

මේ අවස්ථාවේ ජනාධිපතිතුමා කියන එක හැමෝටම ඇහුණානේ. "ගැලරියෙන් වතුර බෝතලයක් ආවලු. පොඩ්ඩක් බලන්න. පොලිස්කාරයින්ට කියන්න" ඕකයි ජනාධිපතිතුමා කිව්වේ.

අන්තිමටම වුණේ ඒ දවසේ පාර්ලිමේන්තුවේ සිද්ධ වුණු මේ කලහකාරී තත්වය ගැන නියෝජ්‍ය කතානායකතුමත් එක්ක එකතු වෙලා පරීක්ෂණයක් පවත්වපු කතානායකතුමා පාර්ලිමේන්තුවට යෝජනා කළා අය වැය කියෝපු දවසේ නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන පාර්ලිමේන්තුවේ ගෞරවයට හානිවෙන විදිහට හැසිරිලා තියෙන නිසා එයාට පාර්ලිමේන්තු කටයුතු සතියකට අත් හිටවන්න කියලා.


මේ යෝජනාව පිළිගත්තු සභානායක නිමල් සිරිපාල ද සිල්වා ඒ තීන්දුව ඊට පහුවදා ඉදන්ම ක්‍රියාත්මක කිරීමට යෝජනා කළා. ඒක ස්ථීර කළේ මට මතක විදිහට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග

මෙතන හරියටම වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ එකක් කියලයි w3 lanka කියන්නේ

"මේ අසරණ සරණ ගුණවර්ධන වතුර බෝතලෙන් ගසා ඇත්තේ විපක්ෂ නායකවරයාට ය. එසේ ගසා ඇත්තේ ලොක්කාගේ කණ ළඟින් යන්නට ය. මූඩිය ගැලවුණු නිසා ලොක්කාගේ සරම ද තෙමමින් වතුර බෝතලය විපක්ෂ නායකවරයාගේ කකුල මුල වැටී ඇත."

මේ තීන්දුව දැනගත්තට පස්සේ අසරණ වුණු සරණ ඇමතිතුමා මෙහෙම කියලා කියනවා.

"එදා ඔය කලබලය සිදුවූ මොහොතේ මා සිටියේ පාර්ලිමේන්තුවේ උඩු මහලෙයි. ඔය කලබලය ටී.වී. වලින් පත්තරවලින් ප්‍රදර්ශනය කළා. ඔය එක ඡායාරූපයකවත් පෙනෙන්නට මා හිටියේ නැහැ. ටී.වී. දර්ශනවලින් මගේ රූපේ තිබුණේ නැහැ. ඒත් හුඟ දෙනකුට පෙනිලා තියෙන්නේ මා විතරයි. මා දන්නා තරමින් මම නම් වැරැද්දක්‌ කරලා නැහැ."

වර්තමාන කතාව එහෙම වෙද්දී අතීත කතාව කියන්න උදව්වට ගන්නේ ඒ කාලේ හොඳ හොඳ කතා ගොඩක් තියෙන මහානාම හාමුදුරුවෝ ලියපු මහාවංසය. දැන් මේ යටගිය කතාව සිද්ධ වෙන්නේ ක්‍රි.පූ 161 දී විතර.

ලක්දිවේ උතුරු ප්‍රදේශ රැසක්ම අවුරුදු 44 ක් තිස්සේම පාලනය කරපු එළාර කියන සොළී රජතුමාගේ පාලනය අවසන් කරලා ලංකාව එක්සේසත් කරන්න රුහුණෙන් බිහිවෙන දුටුගැමුණු කුමාරයා සමත් වෙනවා. එළාර සහ එයාගේ පිරිස පරාජය කරලා සතියකට පස්සේ එළාරගේ ප්‍රධාන යෝධයෙක් වෙන දීඝජන්තුගේ බෑණා කෙනෙක් වෙන භල්ලුක කියලා දෙමළ යෝධයෙක් 60,000 ක සේනාවක් එක්ක ලංකාවට ආවා එළාරට ආධාර කරන්න.

ඒත් ඒ වෙනකොට එළාර සහ පිරිස ඉවරයිනේ. ඒක නිසා භල්ලුකත් පසුබසින්නේ නැතිව දුටුගැමුණුත් එක්ක යුද්ධයට එළඹෙනවා. කඬොල් ඇතාගේ පිටෙන් යුද්ධයට දුටුගැමුණු යද්දී එයාගේ පිටිපස්සෙන් දස මහා යෝධයන්ගෙන් එක් කෙනෙක් වුණු ඵුස්සදේව යෝධයාත් වාඩිවෙලා ගිහින් තියෙනවා side support එකට වගේ.


දැන් සේනා දෙකම යුද්දේ පටන් ගන්න face to face ඉද්දී භල්ලුක දුටුගැමුණුට අනම් මනම් කිය කියා අපහාස කළා කියලා තමා වංස කතාවේ තියෙන්නේ. ඒ ගමන්ම භල්ලුක try කරනවා දුටුගැමුණුගේ කටට ඉලක්ක කරලා ඊ තලෙන් විදින්න.

කොහොම නමුත් තමන්ගේ කට ඉස්සරහින් කඩුව තියාගෙන හිටිය දුටුගැමුණු ඊ තල පාරින් බේරෙනවා. ඒත් භල්ලුක මේක දකින්නේ නැතිව වැඩේ හරි ගියා කියලා හිතාලා fun එකේ කෑ ගගහා ඉන්නවා පොර දුටුගැමුණුගේ කටට ඊ තලෙන් විද්දා කියලා.

මෙච්චර වෙලා පිටි පස්සට වෙලා මේ ඔක්කොම බලාගෙන හිටපු ඵුස්සදේව මේ භල්ලුක තමන්ගේ රජතුමාට කරපු අපහාස ඒ වගේම දැන් මේ ඊතලෙන් විද්ද එක ඔක්කොම මතක් කරගෙන දෙන්නම් බැටේ කියලා හිතලා භල්ලුකගේ කට aim කරලා විදිනවා.

කොහොම හරි aim එක හරි ගිහින් භල්ලුක මැරෙනවා. ඒ යුද්දෙත් ඊට පස්සේ ඉවරයි. හැබැයි මෙතන ඊතලෙන් විදිද්දී දුටුගැමුණු රජතුමාගේ කනේ තිබුණු කුණ්ඩලාභරණෙක ගෑවීගෙන තමා ඊ තලේ යන්නේ. යුද්දේ වෙලේ රජතුමාට ඕක තේරුණේ නැහැ.

යුද්ධය ඉවර වුණාට පස්සේ තමන්ම හිතලා ඵුස්සදේව කන තුවාල කරගෙන ලේ අරගෙන රජතුමාට පෙන්නුවාම රජතුමා අහනවා මොකද මේ කියලා. එතකොට ඵුස්සදේව මෙහෙම කිව්වා කියලා මහානාම හාමුදුරුවෝ කියනවා

"රජුන් හා සමඟ එක් ම යානයෙක හිඳ රාජූපස්ථානයෙහි යෙදුණු ඇමතියෙකු විසින් ඔවුන් නොවිචාරා හීයක් විඳීමෙන් දඬුවම් ලැබිය යුතු වරදක් කර ලදී. මම එසේ කළෙමි. එසේ කරනුයේ ද ඔබ වහන්සේගේ කුණ්ඩලාභරණය ගටා හීය විද්දෙමි. එමතු ද නොව රජුන් නොවිචාරා ම එසේ කළෙමි. එහෙයින් මා වරදට අනුරූප වන සේ මා ගේ ලෙහෙ දැක්වීම කළෙමි"

ඊට පස්සේ රජතුමා කියනවාලු මෙහෙම "සෝවුර, මවිසින් සත්කාර ලැබීමට සුදුසුව සිටිමින් කවර හෙයින් මෙසේ කළෙහි ද ?"

අන්තිමට ඔක්කොම යුද්ධ ඉවර වෙලා අනුරාධපුරේ සිංහාසනාරූඪ වුණු දුටුගැමුණු රජතුමා ඵුස්සදේවගේ කාර්යය අගය කරලා ඒ විද්ද ඊතලේ කෙලින් අතට හිටවලා ඒක වැහෙනකම්ම රන්කාසි දාලා ඒවා ඵුස්සදේවට පිරිනැමුවා කියලා තමා මහානාම හාමුදුරුවෝ කියන්නේ.......

කතා දෙකේ summary ගත්තොත් ජනාධිපතිතුමාගෙ අය වැය කතාවට බාධා කරපු විපක්ෂයට වතුර බෝතල් ප්‍රහාරයක් එල්ල කරපු ඇමති සරණ සහ දුටුගැමුණු රජතුමාට අනම් මනම් කියලා අපහාස කරලා කටට ඊ තලේකින් විද්ද භල්ලුකට ඊ තලෙන් විද්ද සෙන්පති ඵුස්සදේව.

කතා දෙක කියලා අවසානයි. මේ කතාවල සමාන අසමානකම්, ඉතිහාසය නැවත වෙද්දී වෙනස් වුණු තැන්, ලබාගන්න පුළුවන් ආදර්ශ ගැන හිතන එක කියවන ඔයාලට භාරයි.

අපක්ෂපාතී ලෙස ඓතිහාසික කරුණු සමඟ නූතන කරුණු සංසන්දනය කරමින් පුවත් ඔබ වෙත ගෙන ආ මම කතා හසී