Sunday, April 12, 2015

අභිනව අස්ගිරි මහනාහිමි පත්වන අන්දම


පසුගියදා අපවත් වුණු මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමිපාණන් වහන්සේ පිළිබඳ බොහෝ දෙනා බොහෝ දේ මේ දිනවල කතා කරනවානේ. ඒ නිසා ඒ පිළිබඳ ආයේ අමුතුවෙන් කතා කරන්න අදහස් කරන්නේ නැහැ. 

ඒත් බොහෝ දෙනාට මේ වෙද්දී දැනගන්න අවශ්‍ය වෙලා තියෙන ඒ වගේම දැනගත යුතු කරුණු කීපයක් පිළිබඳ කතා කරන්නයි කාලෙකට පස්සේ මේ සූදානම. ඒ තමා අස්ගිරි පාර්ශවයේ මහානායක පදවියේ පුරප්පාඩුව සිදුවීම සහ අභිනව මහානායක හිමිපාණන් වහන්සේ පත්කරගන්නේ කොහොමද කියන කරුණු කාරණා කීපය ගැන. මේ කරුණු කීපය මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයට විතරක් නෙමේ මල්වතු පාර්ශවයටත් පොදු වෙන බවත් මුලින්ම කියන්න ඕනේ. 


මහානායක පදවියේ ආරම්භය පිළිබඳ සුළුවෙන් යමක් කිව්වොත් අස්ගිරි මල්වතු උභය පාර්ශවය ආරම්භක කාල වකවානුවේ ඉදන්ම ගණනායක නමින් හැඳින්වෙන නායක පදවියක් තිබුණු බවට සාදක හමුවෙනවා. ඒත් කීර්ති ශී්‍ර රාජසිංහ රජතුමාගේ මැදිහත්වීමෙන් වැලිවිට ශ්‍රී  සරණංකර සාමණේරයන් විසින් සියම් උපසම්පදාව ලංකාවේ පිහිටුවන්න කටයුතු කිරීමත් එක්ක රජතුමා වැලිවිට ශ්‍රී සරණංකර හිමියන්ට සංඝරාජ පදවිය පිරිනමනවා. 

ඒ වගේමයි සියම් උපසම්පදාව ලබපු මල්වතු පාර්ශවයේ තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත හිමියන්ට මල්වතු පාර්ශවයේ මහානායක පදවියත්, අස්ගිරි පාර්ශවයේ උරුලෑවත්තේ ශ්‍රී ධම්මසිද්ධි හිමියන්ට අස්ගිරි පාර්ශවයේ මහානායක පදවියත් රජතුමා විසින් පිරිනමනවා. එදා පටන් තමා මල්වතු අස්ගිරි උභය විහාරයේ මහානායක පදවි පැවත එන්නේ. මේ සඳහා ගෞරවනීය යෙදුමක් විදිහට "මහ පදවිය" කියලත් භාවිත වෙනවා.


දැන් නැවතත් අපේ කතාවට ආවොත් අස්ගිරි මහානායක හිමිපාණන් වහන්සේ නමක් අපවත් වීමත් එක්ක රැස්වෙන සංඝ සභාව රාජකාරි කීපයක් කරනවා (මේ සංඝ සභාව ගැන ඉදිරියේදී කතා කෙරෙන නිසා දැන් මුකුත් කියන්නේ නැහැ) මුල්ම වගේම වැදගත් කාර්යය තමා දියවඩන නිලමේතුමාගේත් සහභාගීත්වයෙන් අස්ගිරි මහනාහිමියන් භාරයේ තිබුණු දළදා කරඬුවේ රන් යතුර අනුනායක හිමියන්ට හෝ වෙනත් වගකිව යුතු කාරක සංඝ සභික හිමිපාණන් වහන්සේ නමකට භාර දෙන එක. 

මීළ`ගට මහනායක හිමියන්ගේ අපවත්වීම පිළිබඳ මල්වතු මහනාහිමියන්ට දැනුම්දීම සහ මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවරයාගේ මාර්ගයෙන් ජනාධිපතිවරයාට දැනුම් දෙන එක සිද්ධ කරනවා. ඊට පස්සේ මහනාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පිළිබඳ කටයුතු සාකච්ඡා කෙරෙනවා. රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වෙන මේ ආදාහන පූජෝත්සවයේදී ප්‍රධානත්වය ගන්නේ මල්වතු පාර්ශවයේ අනුනාහිමියන් (අපවත් වුණේ මල්වතු මහනාහිමියන් නම් ප්‍රධානත්වය ගන්නේ අස්ගිරි අනුනාහිමියන්)

ඉන්පස්සේ අපවත් වුණු මහනාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය සිදුකරලා අවසන් වෙලා මහානාහිමියන් වැඩ සිටිය අස්ගිරි විහාර සංකීර්ණයේ තිඛෙන පන්සලට (අපවත් වුණු මහානාහිමියන් වැඩසිටියේ උඩුගම පන්සලේ) රැස්වෙලා සත් දවසේ මතක බණ සහ දානමය පිංකම පිළිබඳ සාකච්ඡා කරනවා. විශේෂ කරුණක් තමා සත් දවසේ මතක බණ සඳහා වැඩම කරන ධර්ම දේශකයාණන් වහන්සේ වැඩම කරවන්නේත් මල්වතු මහා විහාරයෙන් වෙන එක. (මල්වතු මහානාහිමියන්ගේ අපවත් වීමකදී වැඩම කරවන්නේ අස්ගිරි පාර්ශවයෙන්)

මේ පිංකම් සියල්ල සිදුකරලා නිමාවීමෙන් පස්සේ සති තුනකින් පමණ අනුනායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධානත්වයෙන් පොහොය ගෙයට රැස්වෙන කාරක සංඝ සභාවේ භික්ෂූන් වහන්සේලා අපවත් වුණු මහානායක හිමියන්ගේ ශාසනික, ජාතික සේවය පිළිබඳ ඇගයීමක් සිදුකරලා උන්වහන්සේට පිං අනුමෝදන් කරනවා. ඊට පස්සේ අභිනව මහානායක හිමිපාණන් වහන්සේ පත්කරගන්න දිනයක් නියම කරගන්නවා.

මින් පස්සේ අභිනව මහනායක පදවිය සඳහා තමන්ගේ සුදුසුකම් ඇතුළත් කරලා කාරක සංඝ සභාවේ භික්ෂූන් වහන්සේලාට පමණක් අයදුම්පත්‍ර යොමුකරන්න පුලූවන්. දැන් මේ කාරක සංඝ සභාව පිළිබඳ කතා කළොත් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා මල්වතු අස්ගිරි උභය විහාර මහානායක හිමිවරුන් පත්කරපු දවසේම තමා කාරක සංඝ සභා ඇතිකිරීම සිද්ධ වෙන්නේ (ඊට පෙරත් මේ ආකාරයේ සංඝ සභා නොතිබුණා නෙමේ). මහානායක හිමියන්ගේ කටයුතු සඳහා  සහයෝගය ලබාදීම තමා කාරක සංඝ සභාවෙන් සිද්ධ කරන්නේ. මේ කාරක සංඝ සභාව විංශත්වර්ගික රාජුපස්ථානීය පරමධර්ම සභාව නමින් තමා හඳුන්වන්නේ.

වර්තමානයේ මෙම කාරක සංඝ සභාවේ සාමාජිකයන් ගණන 20 යි. මහනායක හිමියන්, අනුනායක හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා 18 නමක් තමා මේ කාරක සංඝ සභාවට අයත් වන්නේ. කාරක සංඝ සභාවට පත්වෙන්නෙත් වියත්, බහුශ්‍රැත, පෞරාණික සංඝ පරම්පරාවකට අයත් වන වැඩිමහලූ භික්ෂූන් වහන්සේලා. කාරක සංඝ සභාවේ පුරප්පාඩු ඇතිවන්නේ අපවත් වීමකින්. එතකොට කාරක සංඝ සභාවේ එක`ගත්වයත් මහනාහිමියන්ගේ අනුමැතියත් ඇතිව තමා පුරප්පාඩු පිරවීම සිදුවෙන්නේ.

ඉතින් පැහැදිලියිනේ කාරක සංඝ සභාවට පත්වෙන්නේ විහාර පාර්ශවයේ ඉන්න ජ්‍යෙෂ්ඨතම නායක හිමිපාණන් වහන්සේලා කියන එක. ඉතින් මහානායක පදවියට කාරක සංඝ සභාවේ සාමාජිකත්වය දරණ හිමිපාණන් වහන්සේලා අයදුම් පත්‍රය යොමු කරද්දී ඒකට තමන්ගේ සුදුසුකම් ආදිය, තමන් වහන්සේ මහානාහිමි පදවියට පත්වුවහොත් සිදුකරන කාර්යය, තමන්වහන්සේ සිදුකර තිඛෙන ශාසනික, ජාතික සේවාව ආදිය ඇතුළත් කරන්න ඕනේ.

ඒ වගේමයි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ තමන්වහන්සේ අයිති වෙන සංඝ පරම්පරාව මොකක්ද කියන එක. අස්ගිරි මහා විහාරයේ සංඝ පරම්පරා ඇතිවෙලා තියෙන්නේ පළමුවැනි, දෙවැනි හා තෙවැනි මහානායක හිමිපාණන් වහන්සේලාගේ ශිෂ්‍ය පරම්පරාවලින්. මේ සංඝ පරම්පරා හැඳින්වෙන්නේ උන්වහන්සේලා ග්‍රාම නාමවලින්. 

ඉතින් මේ සංඝ පරම්පරා තුන තමා 

උරුලෑවත්තේ (පහළ පන්සල් පාර්ශවය), ඉඳවලුගොඩ  (මැද පන්සල් පාර්ශවය) සහ පොතුහැර (පහළ පන්සල් පාර්ශවය) කියන සංඝ පරම්පරා. මේ එක එක සංඝ පරම්පරාවලට අයිති පන්සල් තියෙනවා. 

දැනගැනීම පිණිස ඒවාත් කිව්වොත්
උරුලෑවත්තේ සඟ පරපුරට ගලගෙදර, ගුන්නෑපාන, යටවත්ත, උරුලෑවත්ත, ගොඩමුන්නේ, උකුවෙල, මුල්ලේගම හා අරත්තන කියන පන්සල් ටික අයිති වෙනවා. 

ඉඳවලුගොඩ  සඟ  පරපුරට ආදාහන මළුව පන්සල, තලගහමුල, මැද පන්සල, වැල්ලව, නාථ දේවාල පන්සල, අස්ගිරි මහා විහාර පිරිවෙන හා යටවර කියන පන්සල ටික අයිති වෙනවා. 

පොතුහැර සඟ  පරපුරට පොතුහැර, මඩුගල්ලේ, උඩුගම හා ලේනාවල කියන පන්සල ටික අයිති වෙනවා (අපවත් වුණු මහානායක හාමුදුරුවෝ පොතුහැර සඟ පරපුරේ උඩුගම පන්සලේ) මේ සඟ  පරම්පරාවල වැදගත්කම තමා මහානායක සහ අනුනායක පදවි හිමිවෙන්නේ මේ සඟ  පරම්පරාවල භික්ෂූන් වහන්සේලාට පමණක් වීම.

 අස්ගිරි මහා විහාර පොහොය ගෙය

මීළඟට අභිනව මහානාහිමියන් පත් කරගන්න කාරක සංඝ සභාව නියම කරගත්තු දවසක පොහොය ගෙට රැස්වෙනවා. මුලින්ම කාරක සංඝ සභාව සිදුකරන්නේ මහනාහිමියන්ගේ අපවත්වීමෙන් කාරක සංඝ සභාවේ ලේඛකාධිකාරී පදවිය අහෝසි වෙලා තියෙන නිසා කාරක සංඝ සභාවේ එකඟත්වයෙන් තාවකාලිකව සභාවේ කටයුතු පවත්වා ගෙන යන්නේ සභාපති හිමිනමක් සහ ලේඛකාධිකාරී හිමිනමක් පත්කරගන්න එක. මීට පස්සේ මහානායක ධූර අපේක්ෂක කාරක සංඝ සභිකයන් විසින් අයදුම්පත්‍ර සභාපති හිමියන්ට ලබා දෙනවා. 

මේ අවස්ථාවේදී කාරක සංඝ සභාවේ ඒකච්ඡන්දයෙන් මහානායක හිමියන් පත්කරගන්න එක සභාපති හිමියන්ගේ වගකීම. ඒ නිසා අයදුම්කරුවන් කීප දෙනෙක් ඉද්දී නැවත වරක් සිතා බලා එක් අයෙක් ඉදිරිපත් වෙන්න කියලා ඉල්ලා සිටීම සිද්ධ වෙනවා. එහෙම වෙන්නේ නැත්නම් සඟමහලු පිළිවෙලට ලැබුණු අයදුම්පත්‍ර කියවීම සිදුකරලා ඡන්ද වීමසීමක් සිදුකරන්න කටයුතු කරනවා.

ඒ අවස්ථාවේදී පොහොය ගෙයි ප්‍රධාන බුදු පිළිම වහන්සේ ඉදිරිපිට තිඛෙන මේසයේ තීරුවලට ඛෙදපු හිස් කඩදාසියක අයදුම්කරුවන්ගේ නම් ලියලා තමන් කැමති අපේක්ෂකයාගේ නම ඉදිරියෙන් අත්සන් කරන්න කියලා ලේකම් හිමියන් විසින් ඉල්ලා සිටිනවා. එහිදී එක් ඡන්දයක් පමණක් කාරක සංඝ සභිකයන්ට හිමිවෙනවා. බුදු පිළිමය ඉදිරියේ මේ කටයුත්ත සිදුකිරීමෙන් බුදුන්වහන්සේ හා ධර්ම විනය සාක්ෂි කොටගෙන කටයුතු කළ බව සංකේතවත් කරනවා.

ඒකෙනුත් සම ඡන්ද ලැබිලා මහානායක හිමිනමක් පත්කරගන්න අපහසු නම් සම ඡන්ද ගත්තු අපේක්ෂකයන් දෙනම අතර එකඟතාවක් ඇතිකරලා ඒක ලිඛිත ප්‍රකාශයක් බවට පත්කරලා සභා සම්මත කිරීමෙන් මහානායක පදවිය සඳහා භික්ෂූන් වහන්සේ නමක් තෝරාගැනෙනවා. සභාපති හිමියන් විසින් අභිනව මහානායක හිමියන්ගේ නම ප්‍රකාශයට පත්කිරීමෙන් පස්සේ අභිනව මහනාහිමියෝ සූදානම් කරලා තිඛෙන පිච්ච මල් වට්ටිය ප්‍රධාන බුදුපිළිම වහන්සේට පූජා කරනවා. 

 අස්ගිරි විහාර පොහොයගෙයි අභ්‍යන්තරයේ මහනාහිමියන් සහ කාරක සංඝ සභිකයන් වැඩ සිටින අන්දම

 ඊට පස්සේ කාරක සංඝ සභාවේ සිටින තමන්වහන්සේට වඩා වයෝවෘද්ධ භික්ෂූන් වහන්සේලාට නමස්කාර කරන අභිනව මහනාහිමියෝ වාරියපොළ ශ්‍රී සුමංගල අනුනාහිමියන් අනුස්මරණය කරන ශෛල ස්ථම්භයට පිටදීලා වාඩිවෙන්න තියෙන මහානායක හිමියන්ගේ අසුනට වැඩම කරලා කෙටි අනුශාසනාවක් සිදු කරනවා. ඉන් පස්සේ සියලූ දෙනා වහන්සේම අභිනව මහනාහිමියන්ට සෙත් පිරිත් සජ්ඣායනය කරලා ආශිර්වාද කරනවා.

මේ කාර්යයෙන් පස්සේ කාරක සංඝ සභිකයන් සමග සේසත් මුරායුධ සහිත පෙරහැරකින් පොහොයගෙය පැදකුණු කරන අභිනව මහානායක හිමියන් තමන්වහන්සේගේ ආරාමයට වැඩම කරවලා සියලූ දෙනා වහන්සේට ගිලන්පස පූජාවක් පවත්වනවා. ඒ දවසේම සවස් භාගයේදී දළදා මාළිගාවට වැඩම කරවලා දළදා වහන්සේට වන්දනා කිරීමත් අභිනව මහානායක හිමියන් සිදුකරනවා. 


අභිනව මහානායක හිමියන්ට කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් අස්ගිරි මහානාහිමියන්ට පූජා කළ සධාතුක කරඬුව, දළදා කරඬුවේ රන් යතුර, පිරිත්හුය, පිරිත් පොත් වහන්සේ, ඇත්දත් වටාපත සහ කාම්බෝජ සිවුරු කට්ටලය කියන මහානායක පදවියට හිමි භාණ්ඩ ලබාදීමත් සිද්ධ වෙන වැදගත් කාර්යයක්.

මීළඟට  සිදුවෙන වැදගත් කාර්යය තමා අභිනව මහනාහිමියන් පිළිබඳ මල්වතු පාර්ශවයට නිල වශයෙන් දැනුම් දෙන්න අනුනාහිමියන් සහ සංඝ සභාවේ කීප නමක් දැහැත් වට්ටිද සමග පෙරහැරින් මල්වතු මහා විහාරයට පිටත් කෙරෙන එක. මේ අවස්ථාව වෙද්දී මල්වතු මහනාහිමියන් ඇතුළු මල්වතු මහා විහාර කාරක සංඝ සභාව පොහොය ගෙයි රැස්වෙලා ඉන්නේ. පිරිස සාදරයෙන් පිළිගන්න ගිලන්පස පූජා කිරීමෙන් පසුව මල්වතු මහානාහිමියන්ට සුභ පණිවුඩය ලබාදීම සිදුකෙරනවා. 

අභිනව මහානාහිමියන්ට දීර්ඝායුෂ පතන මල්වතු මහනාහිමියන් සුභාශිංසනය එක්කරනවා. ඊට දින කීපයට පස්සේ මල්වතු පාර්ශවයේ අනුනායක හිමියන් ඇතුළු දූත පිරිසක් දැහැත් වට්ටිත් අරගෙන පෙරහැරින් අස්ගිරි විහාරයට වැඩම කරලා අභිනව මහනාහිමියන්ට සුභ පැතුම් එක් කරලා ආශිර්වාද කිරීම සිද්ධ කරනවා.

මේ කාර්ය පටිපාටියේ අවසන් වැදගත් කාර්යය තමා අභිනව මහානායක හිමියන්ට ශ්‍රී  සන්නස් පත්‍රය පිරිනමන එක. කාරක සංඝ සභාවේ තාවකාලික සභාපති වශයෙන් පත්කෙරුණු හිමියන් විසින් අත්සන් තබන අභිනව මහානායක හිමියන්ගේ ශ්‍රී  සන්නස් පත්‍රය දිස්ත්‍රික් ලේකම් මාර්ගයෙන් ජනාධිපතිතුමා වෙත පිටත් කෙරෙනවා. එතුමන් විසින් අත්සන් කරලා රාජ්‍ය මුද්‍රාව තබපු සන්නස් පත්‍රය රාජ්‍ය උත්සවයක් මඟුල් මඩුවේ පවත්වලා අභිනව මහානායක හිමියන් වෙත ජනාධිපතිතුමා විසින් පිරිනමනවා. 

මේ අවස්ථාවෙන් පස්සේ කාරක සංඝ සභාවත් සමග දළදා වහන්සේ වන්දනා කරන අභිනව මහානායක හිමියන් මහ පෙරහැරින් අස්ගිරි ගෙඩිගේ විහාරයට වැඩම කරවලා වන්දනා කිරීමෙන් පස්සේ අස්ගිරි පොහොය ගෙට වැඩම කරවනවා. එහිදීත් අභිනව මහානාහිමියන්ට ආශිර්වාද පිරිත් සජ්ඣායනය කිරීමක් සිද්ධ වෙනවා.

මේ තමා අභිනව මහානායක හිමිනමක් පත්කිරීම  පිළිබඳ විස්තරයක් සංක්ෂිප්තව.


අවසාන වශයෙන් අපවත් වී වදාළ අතිගෞරවාර්හ මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක, හයගිරි විජයසුන්දරාරාම විහාරද්වයාධිපති අග්ගමහා පණ්ඩිත උඩුගම ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධරක්ඛිත නාහිමිපාණන් වහන්සේට නිවන් සුව අත්වේවා කියා ප්‍රාර්ථනා කරනවා.

ලිපිය සම්පාදනය උදෙසා කරුණු සොයාගනු ලැබුවේ ආචාර්ය ගොඩගම මංගල හිමියන්ගේ සංස්කාරකත්වයෙන් ප්‍රකාශයට පත් කෙරුණු සත්සිය වස් සපිරි අස්ගිරි මහා විහාරය කෘතියෙනි.