Showing posts with label සිං. Show all posts
Showing posts with label සිං. Show all posts

Sunday, November 18, 2012

ඉවරෙටම ඉවරයි ඕන්

ගුරු ගෝබින්ද් සිං

සීක්වරුන්ගේ ආගම ආරම්භ වුණු හැටි ගැන අපි මේ වෙද්දී සටහන් පහකින් කියෙව්වා.

කවුද මේ හර්බජාන් සිං, මන්මෝහන් සිං කියන සිංලා ???

ගුරු අංගද් දේව්

ගුරු තනතුර පරම්පරාවට යයි

අවුරුදු 8 දී ගුරු හර් ක්‍රිෂන් වසූරියෙන් මියයයි

තවත් "ගුරු"වරයෙක්ව වධ දී මරා දැමෙයි


මේ ලිපි මාලාවේ අවසන් කොටස තමා අද ලියවෙන්නේ. තමන්ගේ පියා වීරයෙක් වගේ මරණයට මුහුණ දුන්නාට පස්සේ 1665 නොවැම්බර් 24 ගුරු බවට පත්වුණු වයස අවුරුදු 9 ක් වයසැති ගුරු ගෝබින්ද් රායි සීක් දහමේ විප්ලවීය වෙනසක් සිදුකළ ගුරු විදිහට හඳුන්වනවා. අද දක්වාම පැවතෙන සීක්වරුන්ගේ ප්‍රධාන චාරිත්‍ර කීපයක් ඇති කරනුලැබුවේත් ගුරු ගෝබින්ද් රායි විසින්.

කුඩා කාලයේ ඉදන්ම ඔහු යුධ ශිල්පය මැනවින් හැදෑරුවා වගේම ගුරු මුඛී, හින්දි, සංස්කෘත, පර්සියන් භාෂාවල ප්‍රවීණයෙක් වුණා. මුල් කාලීනව ගුරු ගෝබින්ද් රායි මුස්ලිම් නායකයන් කීප දෙනෙක් සමඟ සිදු කරපු යුද්ධ කීපයක්ම සාර්ථක වුණා. මෙවැන් තත්වයක් එක්ක ගුරු ගෝබින්ද් රායිගේ ක්‍රියාකාරකම් තමන්ට තර්ජනයක් බව විශ්වාස කරපු මෝගල් අධිරාජයා වුණු ඖරංසෙබ් පිටත් කරපු සේනා කීපයක් විනාශ කරන්නත් ගුරු ගෝබින්ද් රායි සමත් වෙනවා. 

1699 දී තමන්ගේ අනුගාමිකයන්ට "හුක්මානමස්" හෙවත් අධිකාරී ලියුමක් පිටත් කරන ගුරු ගෝබින්ද් රායි 1699 අප්‍රේල් 13 ආනන්ද්පූර්හි පැවැත්වෙන සමුළුව සඳහා පැමිණෙන්න අණ කරනවා.

කෙස්ගාර්හ් සහීබ්

ආනන්ද්පූර්හි තිබුණු කුඩා කඳු ගැටයක තනපු කූඩාරමක ඉදන් ගුරු ගෝබින්ද් රායි තමන්ගේ පිරිස අමතනවා. [මේ කඳු ගැටය දැන් හඳුන්වන්නේ "කෙස්ගාර්හ් සහීබ්" නමින්] ගුරු වෙනුවෙන් දිවි පිදීමට කැමති අයට ඉදිරියට එන්න කියලා ඔහු කියනවා.

තුන් වරක්ම ඒ ප්‍රකාශය කරද්දී දයා රාම් කියන අනුගාමිකයා ඉදිරියට එනවා. එයාව තමන් හිටිය කූඩාරමට කැඳවාගෙන යන ගුරු ගෝබින්ද් ටික වෙලාවකින් ලේ තැවරුණු කඩුව අතේ තියාගෙන ඇවිත් නැවතත් ගුරු වෙනුවෙන් දිවි පිදීමට කැමති අයට ඉදිරියට එන්න කියනවා. ඒ අවස්ථාවේත් එක් අයෙක් ඉදිරිපත් වෙනවා. ඔහුවත් ගුරු ගෝබින්ද් කූඩාරමට කැඳවාගෙන යනවා.

මේ සිදුවීම තවත් තුන් පාරක්ම වෙනවා.අවසානයේදී ඒ පස් දෙනාම කිසිම හානියක් නැතිව අලුත් ඇඳුම් ඇඳගෙන කූඩාරමෙන් එළියට එනවා. 

 ඛල්සා චාරිත්‍රය ඉටු කරන ගුරු ගෝබින්ද්

පස්සේ ගලා ගෙන එන වතුර යකඩ බඳුනකට එකතු කරපු ගුරු ගෝබින්ද් ඒ වතුරට "පටශස්" හෙවත් පංජාබයේ තිබෙන රස ගන්වන දේවල් දමලා ආදි ග්‍රන්ථ්හි තිබෙන ගීත ගායනා කරමින් ඔහුගේ කඩුවෙන් කලතනවා.

රස ගැන්වූ වතුර සහ යකඩ ඇතුලත් මේ දියරය "අම්රිත්" හෙවත් අමෘතය විදිහට ගුරු ගෝබින්ද් හඳුන්වනවා. ඒ අම්රිත් ජලය තමන්ගේ අසිපතෙන් ගුරු වෙනුවෙන් දිවි පුදන්න කැමති වුණු ගෝලයන් පස් දෙනාට ඉසලා ඔවුන්ව බෞතිස්ම කරනවා. ඔවුන්ව "පාන්ච් පියාරා" හෙවත් ආදරණීය පස් දෙනා යනුවෙන් ගුරු ගෝබින්ද් හඳුන්වනවා.

ඛල්සාව සහ ජයග්‍රහණය දෙවියන්ට හිමියි කියලා ප්‍රකාශ කරන ගුරු ගෝබින්ද් බෞතිස්ම වුණු ප්‍රධාන ගෝලයන් පස් දෙනා "ඛල්සා" හෙවත් පාරිශුද්ධ අය විදිහට හඳුන්වනවා. ඔවුන්ගේ නමේ අගට "සිං" හෙවත් සිංහයා කියන යෙදුමත් ඛල්සාවට ඇතුළත් කෙරුණු කාන්තාවන් සඳහා "කවුර්" හෙවත් කුමාරි කියන කොටස නමේ අගට යොදන්න කියලා උපදෙස් දෙනවා.

පාන්ච් පියාරා සඳහා ඇතුළත් වුණු ප්‍රධාන ගෝලයන් පස් දෙනා වුණේ බායි දයා සිං, බායි ධරම් සිං, බායි හිම්මත් සිං, බායි මොහ්කම් සිං සහ බායි සහීබ් සිං.

ගුරු ගෝබින්ද් ඛල්සාවට ඇතුළත් වීම

මීළඟට ප්‍රධාන ගෝලයන් පස් දෙනා ඉදිරියේ දණ ගහපු ගුරු ගෝබින්ද් තමන්වත් ඛල්සාවට ඇතුළත් කරගන්න කියලා ඉල්ලා සිටිනවා. ඔහුවත් අම් රිත්වලින් බෞතිස්ම කළාට පස්සේ ඔහුත් ඛල්සාවට ඇතුළත් වෙනවා වගේම එතැන් පටන් ඔහුව "ගුරු ගෝබින්ද් සිං" නමින් හඳුන්වනවා. මේ ඛල්සා සහෝදරත්වයේ පියා විදිහට සීක්වරුන් හඳුන්වන්නේ ගුරු ගෝබින්ද් සිංව.

සභාව අමතන ගුරු ගෝබින්ද් සිං ප්‍රකාශ කරනවා මෙතැන් පටන් සියලු දෙනාම ජාති, කුල භේද නැති බවත් හින්දි හෝ මුස්ලිම් නමින් භේදයක් නැති බවත්, එකම සර්වබලධාරී දෙවියන් කෙරෙහි විශ්වාස තැබිය යුතු බවත්, සියලු දෙනාම සහෝදරත්වයෙන් ජීවත් විය යුතු බවත්. ඒ වගේම "ක" 5 ක් නම් කරලා හැමවිටම ඒවා පළඳින්න, පවත්වාගන්න කියලා නියම කරනවා.  

කංග, කර, ක්‍රිපන්

කචෙරා

"ක" පත තමා මේවා. කේශ් - නොකපන ලද හිස කෙස්, කංග - ලී පනාව, කර - ලෝහ වළල්ල, කචෙරා - දිග යට ඇඳුම, ක්‍රිපන් - තියුණු වකුටු වුණු කඩුව

මේ හැරෙන්න කුරෙහ්ට් 4 ක් හෙවත් නොකළ යුතු දේවල් හඳුන්වා දෙනවා. ඒවා වන්නේ හිස කෙස් කැපීම, කුතා [තහනම් කළ] මාංශ අනුභව කිරීම, දුම්කොළ හා මත්ද්‍රව්‍ය භාවිතය, පරදාර සේවනයයි.

මේ හැරෙන්න නොකපන ලද දිගු හිසකෙස් "දාස්තාර්" යනුවෙන් හැඳින්වෙන ජටාවෙන් ආවරණය කිරීමටත්, ප්‍රතිමා වන්දනාව නොකිරීමටත්, තමන්ගේ භක්තිය හා ආත්ම ගෞරවය වෙනුවෙන් ඕනෑම අවස්ථාවක සටන් කරන්න සූදානමින් ඉන්න කියලාත් උපදෙස් දෙනවා.

මේ ආකාරයෙන් සීක්වරුන්ගේ අනාගතය වෙනුවෙන් පදනම දමපු මේ සමුළුව හඳුන්වන්නේ "වයිසාඛි අම්රිත් සංස්කාර්" යන නමින්.

සීක්වරුන්ව ශක්තිමත් කරමින් ගුරු ගෝබින්ද් සිංගේ නැගී ඒම හිමාල කඳුවැටියේ සිවාලික් ප්‍රදේශයේ හිටිය මහාරාජාවරුන්ට ප්‍රිය වුණේ නැහැ. ඒක නිසා කිහිප වතාවක් අහඹු ලෙස සීක්වරුන්ට පහර දුන්නත් ගුරු ගෝබින්ද් සිංගේ දක්ෂතාවය නිසා ඒවා ව්‍යර්ථ කරන්න පුලුවන් වෙනවා.

මේක නිසා මෝගල් ආධාර ලබාගෙන ගුරු ගෝබින්ද් සිංව පරාජය කරන්න කඳුකර මහාරාජාවරුන් සැලසුම් කළත් 1701 සිදුවුනු පළමු ආනන්ද්පූර් සටනෙන් මේ ඒකාබද්ධ හමුදාව පරාජය කරන්න සීක්වරුන්ට හැකිවෙනවා.

යුධ වදින ගුරු ගෝබින්ද් සිං

නැවත වරක් ඒකාබද්ධ පෙරමුණක් හදාගත්තු කඳුකර මහාරාජාවරු ගුරු ගෝබින්ද් සමඟ සටනට එළඹියා. එහිදී ගුරුට ලිපියක් යවමින් ඔවුන් දන්වන්නේ ගුරු වෙසෙන ආනන්ද්පූර් ප්‍රදේශය කඳුකර මහාරාජා කෙනෙක් වුණු අජ්මර් චාන්ද්ට අයත් බවත් ඒ වෙනුවෙන් මෙතෙක් නොගෙවපු බදු මුදල් ගෙවලා ආනන්ද්පූර් ප්‍රදේශය නැවත බාර දෙන්න කියලා.

ඒත් ගුරු ගෝබින්ද් සිං පිළිතුරු දෙමින් කියන්නේ තමන්ගේ පියා වුණු ගුරු තේඝ් බහදූර් මේ ප්‍රදේශය සම්පූර්ණ මිළ ගෙවලා මිළට ගත්තා කියන එක. ඊට පස්සේ සිදුවුණු දෙවෙනි ආනන්ද්පූර් සටනිනුත් කඳුකර මහාරාජාවරුන්ට සිද්ධ වෙන්නේ සුපුරුදු පරිදි පසු බසින්න. 

මේ නිසා ගුරු ගෝබින්ද් සිං සමඟ සමඟි ගිවිසුමකට එළඹෙන කඳුකර මහාරාජාවරු ඒ අනුව ගුරුට ආනන්ද්පූර්වලින් ඉවත් වෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ ඉල්ලීම පිළිගත්තු ගුරු ගෝබින්ද් සිං නිර්මොහ් ගම බලා පිටත් වෙනවා.

එතරම් සුරක්ෂිත නොවුණු මේ ගමේ ඉන්න ගුරුට පහර දෙන්න කඳුකර මහාරාජාවරු දෙන්නෙ කටයුතු කළත් ගුරුව පරදවන්න ඔවුන්ට හැකිවෙන්නේ නැහැ. මේ අතරවාරයේ තවත් කඳුකර මහාරාජාවරයෙක් සිර්හින්ද්වල හිටිය මෝගල් විසුරේවරයාගෙන් ආධාර ලබාගෙන ගුරුට පහර දෙනවා. මේ නිසා බසෝලි ගමට පසුබසින්න ගුරු ගෝබින්ද් සිංට සිදු වෙනවා. 

ටික දවසකට පස්සේ ගුරු ගෝබින්ද් සිං නැවත ආනන්ද්පූර් බලා යාමත් එක්ක ප්‍රාදේශීය මහාරාජාවරු කීප දෙනෙක්ම ගුරු සමඟ සමඟියෙන් ඉන්න තීරණය කරනවා. ඒ කොහොම වුණත් 1703-1704 කාලයේ නැවත වරක් කඳුකර මහාරාජාවරුන්ගේ මෙහෙයවීමෙන් වුණු තුන්වෙනි ආනන්ද්පූර් සටනිනුත් ජයගන්න ගුරු ගෝබින්ද් සිං සමත් වෙනවා. 

මේ පරාජයන් කිසිවකින් පසුබට නොවුණු කඳුකර මහාරාජාවරුන් නැවත වරක් මෝගල් අධිරාජයාගේ ආධාර ඇතිව ආනන්ද්පූර්වලට පහර දීමක් දියත් කරනවා. ඒ කාල සීමාවේදී සීක්වරුන් අස්වනු නෙළීමේ කටයුතුවල යෙදී හිටිය නිසා මේ ප්‍රහාරයට සාර්ථකව මුහුණ දෙන්න අපහසු වෙනවා. ඒක නිසා ගුරු ගෝබින්ද් සිං තීරණය කරනවා ආනන්ද්පූර් අතහැර පසු බසින්න.

ආනන්ද්පූර්වලට කඩා වැදුණු සතුරු හමුදාව නගරය කොල්ල කාලා නැවත වරක් සිර්හින්දි බලා යද්දී පුදුම සහගත පහර දීමක් සිදු කරලා කොල්ල කාපු දේවල් නැවත ලබාගන්න ගුරුගේ හමුදාව සමත් වෙනවා. මේ නිසා නැවත වරක් ආනන්ද්පූර් වෙත ගුරු ගෝබින්ද් සිං පිටත් වෙනවා. 

කොහොම නමුත් මේ පිරිස නැවත වරක් සාර්ථකව ප්‍රහාරයක් දියත් කරලා ආනන්ද්පූර් වටලාගන්න සමත් වෙනවා. ගුරු ගෝබින්ද් මේ අවස්ථාවේදී සිරවෙලා හිටියේ. ඒ තත්වයත් එක්ක ආනන්ද්පූර් අතහැර යෑමේ අවස්ථාවක් කඳුකර මහාරාජාවරුන් ගුරුට ලබාදෙනවා. අනුගාමිකයන්ගේ ඉල්ලීමෙන් ඒක පිළිගත්තු ගුරු මුලින් හිස් ගැල් කීපයක් පිටත් කරනවා.

ඒවාට සතුරු ප්‍රහාර එල්ලවීමත් එක්ක ආනන්ද්පූර් අත්හැර යෑම ගුරු ප්‍රතික්ෂේප කරනවා. ඒත් ඊට පසුව කුරාණයේ නාමයෙන් කිසිදු හිරිහැරයකින් තොරව ගුරු ඇතුලු පිරිසට ආනන්ද්පූර් අතහැර යාමට ඉඩ දෙනවා කියලා මෝගල් අධිරාජයා වුණු ඖරංසෙබ් ලිපියක් එවීමෙන් නැවත වරක් ගුරු ආනන්ද්පූර් අත හැර යන්න තීරණය කරනවා.

ආනන්ද්පූර් අතහැර යන ගුරු ගෝබින්ද් සිං ඇතුළු පිරිසට නැවත වරක් ඒකාබද්ධ හමුදා ප්‍රහාරයකට ලක් වෙන්න සිද්ධ වෙනවා. මේ නිසා ගුරුගේ පිරිස විසිරෙනවා. ඒ අතරවාරයේ සිර්සා ගඟ තරණය කරන්න ගුරුගේ පිරිසට සිදු වෙනවා.

 ගුරු ගෝබින්ද් සිං සිර්සා ගඟ තරණය කිරීම

මේ අවස්ථාවේදී ගුරුගේ මව සහ බාල පුතුන් දෙදෙනා වුණු ෆටේ සිං සහ සොරාවර් සිං ප්‍රධාන පිරිසෙන් වෙන්වෙනවා. මොවුන් තිදෙනාම සිර්හින්ද්හි මෝගල් පාලකයා වසීර් ඛාන්ට හසු වෙනවා. ඉස්ලාම් දහම වැළඳගන්න කියලා මොවුන්ට බල කළත් ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරපු නිසා ගුරු ගෝබින්ද් සිංගේ බාල පුතුන් දෙදෙනාව පණ පිටින් බිත්තියකට තබලා බිත්තිය බඳින්න නියම කරනවා.

 ෆටේඝර්හ් සහීබ් ගුරු ද්වාර

මේ ආකාරයෙන් ගුරුගේ  බාල පුතුන් දෙදෙනා මිය යනවා. ඔවුන් දෙදෙනාව බිත්තියට බැඳි ස්ථානයේ පසුව "ෆටේඝර්හ් සහීබ් ගුරු ද්වාර" නමින් ස්මාරකයක් නිර්මාණය කෙරෙනවා.

මේ අතරවාරයේ සතුරු ප්‍රහාර හමුවේ පසු බසින ගුරු ගෝබින්ද් සිං චම්කවූර් බලකොටුවේ ඉදන් සතුරන්ට මුහුණ දෙන්න හිතාගෙන චම්කවූර් වෙත ගමන් කරනවා. 1705 සිදුවන චම්කවූර් සටන සඳහා ගුරුගේ වැඩිමහල් පුතුන් දෙදෙනා වෙන අජිත් සිං සහ ජුජාර් සිං සම්බන්ධ වෙනවා. ඒත් ඔවුන් දෙදෙනාත් සටනේදී මියයනවා.

චම්කවූර් සටනේ සිටින ගුරුගේ වැඩිමහල් පුතුන් දෙදෙනා

සටන ක්‍රමයෙන් අසාර්ථක වෙන ලකුණු පහළ වීමත් එක්ක ගුරු ගෝබින්ද් සිංව චම්කවූර් බලකොටුවෙන් ඉවතට රැගෙන යන්න අනුගාමිකයෝ තීරණය කරනවා. ඛල්සාවේ පැවැත්ම උදෙසා ගුරු ජීවත්වීම අනිවාර්යය දෙයක් වෙන නිසා මේ තීරණය ඔවුන් ගන්නවා.

 බාබා සංගත් සිං ගුරු ලෙසට පෙනි සිටීම

ඒ යටතේ ගුරු වෙනුවෙන් බලකොටුවේ පෙනී ඉන්න බාබා සංගත් සිං ඉදිරිපත් වෙනවා. ගුරුගේ සන්නාහය ඇඳගන්න ඔහු ගුරු ජටාවේ පළඳින ආභරණයත් පැළඳගෙන ගුරු විදිහට පෙනී ඉන්නවා. ගුරු මච්චිවාරා ප්‍රදේශයට පිටත් වෙනවා. පස්සේ දවසේ බලකොටුව ආක්‍රමණය කරන මෝගල් සේනාව බාබ සංගත් සිං වගේම ඒකේ හිටපු සීක්වරුන්ව සමූලඝාතනය කරනවා.

මච්චිවාරා ප්‍රදේශයේ ඉදන් උතුරේ ප්‍රදේශ කීපයකට ගුරු ගමන් කරනවා. ඩිනා නම් ප්‍රදේශයේ ඉද්දී ගුරු ගෝබින්ද් සිංට මෝගල් අධිරාජයා වුණු ඖරංසෙබ් ලිපියක් එවමින් මේ තත්වයන් ගැන සාකච්ඡා කරන්න ඩෙකෑනයට එන්න කියලා ආරාධනාවක් කරනවා. තමන්ගේ පියාට අත්වුණු ඉරණම වගේම ඖරංසෙබ් සමඟ තමන් ඇතිකරගත් එකඟතා කඩවුණු ආකාරය සවිස්තරව දක්වමින් අධිරාජයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරලා ගුරු පර්සියන් බසින් "සෆර්නාමහ්" නමින් ලිපියක් ලියනවා.

ටික කලකට පසුව තල්වන්දිවල ඉන්න ගුරු ගෝබින්ද් සිංව අත් අඩංගුවට ගන්න වසීර් ඛාන් කියන මෝගල් නිලධාරියාට අවශ්‍ය වුණත් තල්වන්දිවල නායකයෙක් වුණු චෞද්‍රි දල්ලාගෙන් ලිපියක් සහ ගුරු ගෝබින්ද් ලියපු ලිපිය ඖරංසෙබ්ට ලැබිලා තිබුණු නිසා සංහිදියාවකට කැමති වුණු මෝගල් අධිරාජයා ගුරුට කිසිම හිරිහැරයක් කරන්න එපා කියලා වසීර් ඛාන්ට නියම කරනවා.

ඒ වගේමයි ඩෙකෑනයේ හිටිය ඖරංසෙබ් අධිරාජයා ගුරු ගෝබින්ද් සිංව මුණගැහෙන්න කැමැත්ත පළ කරනවා. ඒක නිසා ඩෙකෑනයේ බලා පිටත් වුණු ගුරුට 1707 මාර්තුවල ඖරංසෙබ් මියගිය බව දැනගන්න ලැබුණු නිසා ආපසු පංජාබය බලා පිටත් වෙනවා.

මේ අතරවාරයේ මෝගල් සිහසුන වෙනුවෙන් ඖරංසෙබ්ගේ දරුවන් තිදෙනා අතර වෙන සටනේදී මුඅසාම් ගුරු ගෝබින්ද් සිංගෙන් සහය ඉල්ලා සිටිනවා. තමන්ගේ උපරිම සහය ඔහුට ලබාදෙන්න ගුරු කටයුතු කරනවා. අවසානයේදී තමන්ගේ සොයුරන් පරදවලා මුඅසාම් බහදූර් ෂා නම් මෝගල් සිහසුනට පත් වෙනවා.

බහදූර් ෂා සහ ගුරු ගෝබින්ද් සිං අතර වුණු හමුව

1707 ජූලි 23 අග්‍රාවලදී බහදූර් ෂා අධිරාජයා සහ ගුරු ගෝබින්ද් සිං අතර හමුවක් පැවැත්වෙනවා. "හින්ද් කා පිර්" හෙවත් ඉන්දියාවේ ශාන්තුවරයා කියන ගෞරව නාමය මෝගල් අධිරාජයා විසින් ගුරුට පිරිනමනවා. මේ ආකාරයෙන් මෝගල් අධිරාජයා සමඟ සුහදත්වය ගොඩනගා ගනිපු ගුරු ගෝධාවාරී ගංගා ප්‍රදේශය බලා පිටත් වෙනවා.

එහි වාසය කරපු මදෝ දාස් කියන තාපසයා ඛල්සාවට ඇතුළත් වෙන්න කැමැත්ත පළ කරනවා. ඔහුව ඛල්සාවට ඇතුළත් කරගන්න ගුරු ගෝබින්ද් සිං ගුරුභක්ෂ් සිං නමින් නම් කරනවා. ඔහු වඩාත් ප්‍රකට වෙන්නේ බන්දා සිං නමින්. ගුරු ගෝබින්ද් සිංගේ මරණයෙන් පස්සේ සීක්වරුන් මෙහෙයවන්නේ බන්දා සිං විසින්.

මේ කාලය වන විට සිර්හින්ද් ප්‍රදේශයේ මෝගල් නිලධාරියා වුණු වසීර් ඛාන් සමඟ මෝගල් අධිරාජයා වුණු බහදූර් ෂා පවත්වන සබඳතා සම්බන්ධව ගුරු කළකිරීමෙන් හිටියේ. වසීර් ඛාන් ඒ වෙද්දී හොර රහසේ සීක්වරුන්ට පහර දෙමින් හිටියේ. ඒ වගේමයි සීක්වරුන්ගේ හිතවතෙක් වුණු පිර් බුදා ෂාහ් කැරලිකරුවෙක් විදිහට නම් කරලා මරා දමන්නත් වසීර් ඛාන් කටයුතු කරලා තිබුණේ. මේ ගැන ගුරු මෝගල් අධිරාජයාට දැනුම් දුන්නත් පිළිතුරක් ලැබුණේ නැහැ.

 ගුරු ගෝබින්ද් සිං විසින් බන්දා සිංව ඛල්සාවේ අණ දෙන්නා ලෙසට පත් කිරීම

ඒ අතරවාරයේ ගුරුට එරෙහිව මෝගල් අධිරාජයා සටන් කරන්න සූදානම් වෙනවා කියලා ආරංචියක් ලැබුණු නිසා ගුරු ගෝබින්ද් සිං විසින් බන්දා සිංව ඛල්සාවේ අණ දෙන්නා විදිහට පත් කරලා සටනට සූදානම් වෙනවා.

මේ අතරවාරයේ වසීර් ඛාන් ගුරු ගෝබින්ද් සිංව ඝාතනය කරන්න කුමන්ත්‍රණයක් දියත් කරනවා. පථාන්වරු ගෝත්‍රිකයන් වුණු ජම්ෂෙඩ් ඛාන් සහ වසිල් බෙග් කියන දෙන්නාව මේ සඳහා ඔහු යොදා ගන්නවා. ගුරුගේ ගෝලයන් විදිහට පෙනී හිටිය මෙයාලට නන්දෙද්වලදී ගුරුව ඝාතනය කරන්න අවස්ථාවක් ලැබෙනවා.

සවස යාඥාවෙන් පස්සේ විවේක ගනිමින් හිටිය ගුරු ගෝබින්ද් සිංගේ ශරීරයේ වම් පැත්තේ හදවත ආසන්නයට පිහියෙන් අනින්න ජම්ෂෙඩ් ඛාන්ට හැකිවෙනවා. දරුණුවට තුවාල වුණ තමන්ට පිහියෙන් ඇන්න ජම්ෂෙඩ් ඛාන්ව කඩුවෙන් මරා දමන්න ගුරු ගෝබින්ද් සිංට හැකිවෙනවා. ඒ වෙලාවේ ජම්ෂෙඩ් ඛාන්ගේ සහයට ආපු වසිල් බෙග් පලායන්න උත්සහ කරමින් හිටියේ. ඒත් සද්දෙට එතැනට ආපු සීක්වරුන් අතින් ඔහු මියයනවා.

ගුරුට තුවාල වුණු බව අහලා මෝගල් අධිරාජයා යුරෝපීය ශල්‍ය වෛද්‍යවරයෙක්ව ගුරුට ප්‍රතිකාර කරන්න එවනවා. ඒ අනුව නැවත විවෘත කෙරුණු තුවාලයෙන් අධිකව ලේ ගලන්න පටන් ගත්තු නිසා තදින් ඒක වෙලන්න වෛද්‍යවරයා කටයුතු කරනවා.

 ගුරු ගෝබින්ද් සිං විසින් ආදි ග්‍රන්ථ් මීළඟ ගුරු බවට පත් කිරීම

කෙසේ නමුත් තමන්ගේ අවසානය ආසන්න බව තේරුම් ගත්තු ගුරු ගෝබින්ද් සිං පුද්ගල ගුරු භාවය අහෝසි කරලා තමන්ගෙන් පසුව සීක්වරුන්ගේ ගුරු බවට පත්වන්නේ සීක් දහමේ ආරම්භකයා වුණු ගුරු නානක් දේව්ගේ පටන් ගුරුන්ගේ ගීතිකා ඇතුළත් වුණු ආදි ග්‍රන්ථ් නමින් හඳුන්වපු ග්‍රන්ථය බවට ප්‍රකාශ කරනවා. ඒ අනුව "ගුරු ග්‍රන්ථ් සහීබ්" වශයෙන් එය හඳුන්වනවා වගේම එය සීක්වරුන්ගේ ආධ්‍යාත්මික ගුරු ලෙසට සළකන්න කියලා ගුරු ගෝබින්ද් සිං නියම කරනවා.

ගුරු ගෝබින්ද් සිං සහ පුතුන් සිව් දෙනා

මේ ආකාරයෙන් පුද්ගල ගුරු භාවය අහෝසි කරන්නේ ඇයි කියන එක ප්‍රශ්නයක් වුණත් ඒකට හේතුවෙන්න ඇත්තේ ගුරු ගෝබින්ද් සිංගේ අනුප්‍රාප්තිකයන් වෙන්න හිටිය පුතුන් 4 දෙනාම අකාලයේ මරණයට පත්වීම වෙන්න ඕනේ කියලා මතයක් පලවෙලා තියෙනවා.

ගුරු ගෝබින්ද් සිං මියයන්නේ 1708 ඔක්තෝබර් 7 නන්දෙද්වලදී. ඒ සමඟම ඔහුගේ දිල්බාග් නම් අශ්වයාත් මියයනවා. ගුරුව ආදාහනය කළ ස්ථානයේ "තක්ත් ශ්‍රී හසූර් සහීබ්" නමින් ස්මාරකයක් ඉදි කෙරෙනවා.

තක්ත් ශ්‍රී හසූර් සහීබ්

දක්ෂ රණශූරයෙක් වගේම පාලකයෙක් වුණු ගුරු ගෝබින්ද් සිං සීක්වරුන්ගේ අනාගතය සඳහා ශක්තිමත් පදනමක් ඛල්සාව තුළින් ඇති කරලා තිබුණේ. ඒ වගේමයි දක්ෂ ලේඛකයෙක් සහ කවියෙක් විදිහට ඔහු "වාචිත්‍ර නාටක්" නමින් ස්වයං චරිතාපදානයක් ඒ වගේම "ජප් සහීබ්" නමින් ග්‍රන්ථයකුත් රචනා කරලා තිබුණේ.

බන්දා සිං විසින් වසීර් ඛාන්ව මරා දැමීම

ගුරු ගෝබින්ද් සිංගෙන් පස්සේ සීක්වරුන්ගේ නායකයා වුණු බන්දා සිං සිර්හින්ද් අල්ලාගෙන වසීර් ඛාන්ව මරා දමලා ගුරු ඝාතනය කිරීම වගේම ගුරුගේ බාල පුතුන් ඝාතනය කිරීමේ පලිය ගන්නට සමත් වෙනවා. මේ සටන්වලදී මුස්ලිම්වරුන් දරුණු ලෙස ඝාතනය කරන්න සීක්වරුන් පෙළඹෙන්නේ පළිගැනීමේ චේතනාව දරුණුවට සිත තුළ තිබුණු නිසා.

බහදූර් ෂා

ඒත් සීක්වරුන්ගේ මේ කැරැලිකාරී සොබාවයෙන් කලබල වෙන මෝගල් අධිරාජයා වුණු බහදූර් ෂා සේනා පිටත් කරලා බන්දා සිං ඇතුළු පිරිස අත් අඩංගුවට අරගෙන දිල්ලියේදී හිස ගසා මරා දමනවා. බන්දා සිංගෙන් පස්සේ භායි මාන් සිං යටතේ එකතු වුණු සීක්වරුන් වරින් වර මෝගල්වරුන් සමඟ ගැටෙනවා.

ඇෆ්ඝන් ආක්‍රමණත් එක්ක මෝගල් බලය දෙදරා යන්නට වුණු නිසා සීක් බලය නැවත වරක් වර්ධනය වෙනවා. ඇෆ්ඝන් නායකයින් සීක්වරුන් මර්දනය කරන්න උත්සහ කළත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. වරින්වර මරාථයන් සමඟ මෝගල්වරුන් ගැටුණු නිසා ඒකෙනුත් වක්‍රාකාර වාසියක් සීක්වරුන්ට හිමිවෙනවා.

18 වන සියවස අග භාගය වෙද්දී මිසල් නමින් ප්‍රාදේසීය බල මණ්ඩල 12 ක් යටතේ සීක්වරුන් සංවිධානය වෙනවා. බලවත් සීක් නායකයින් මේ ප්‍රදේශ 12 පාලනය කරනවා. මේ මිසල්වලිනුත් රංජිත් සිං පාලනය කළ ප්‍රදේශය බලවත් තත්වයේ පසු වෙනවා.

 රංජිත් සිං

පසුව සීක් අධිරාජ්‍යයක් පිහිටවලා එහි අධිරාජයා බවට පත්වන්නත් රංජිත් සිං සමත් වෙනවා. නමුත් ඉංග්‍රීසීන්ගේ උපායශීලී ක්‍රියාකාරකම් නිසා රංජිත් සිංගේ ඇවෑමෙන් සීක් ප්‍රදේශත් ක්‍රමයෙන් ඉංග්‍රීසි ආදිපත්‍යයට ලක් වෙනවා.

එහෙම නම් දවස් ගාණක් තිස්සේ කියපු සීක්වරුන්ගේ කතන්දරේ නිමා වෙනවා. රැඳී සිටි, ප්‍රතිචාර දක්වපු හැම දෙනාටම ස්තුතියි 

මේ සටහන ලියන්න පාදක කරගත්තේ

ඉතිහාස ධාරා - 1 කොටස, ක්ෂාවියර් පින්තු සහ ඊ.ජී.මියාල්
ඉන්දියා ඉතිහාසය - II කාණ්ඩය, නරේන්ද්‍ර කෘෂ්ණ සිංහ සහ අනිල් චන්ද්‍ර බැනර්ජි
මූගල් ඉන්දියාව - ඩබ්.එම්.කේ. විජේතුංග

ඒ ඇරෙන්න අනික් ඔක්කොම අන්තර්ජාලයෙන් තමා 


ප.ලි.: ඊළඟට කියන්න හිතාගෙන ඉන්නේ අයියලා නංගිලා කසාද බැන්ද හැටි කතාවේ ඉතුරු කොටහ

Sunday, November 11, 2012

තවත් "ගුරු"වරයෙක්ව වධ දී මරා දැමෙයි - හර්බජාන් සිං, මන්මෝහන් සිංලා 5 කොටස

 ගුරු තේඝ් බහදූර්

සීක්වරුන්ගේ ආගම ආරම්භ වුණු හැටි ගැන අපි මේ වෙද්දී සටහන් හතරකින් කියෙව්වා.

කවුද මේ හර්බජාන් සිං, මන්මෝහන් සිං කියන සිංලා ???

ගුරු අංගද් දේව්

ගුරු තනතුර පරම්පරාවට යයි

අවුරුදු 8 දී ගුරු හර් ක්‍රිෂන් වසූරියෙන් මියයයි 

 

කලින් කතාවේ අන්තිමට කිව්වා වගේ වසූරියෙන් මරණාසන්නව සිටි ගුරු හර් ක්‍රිෂන්ගේ නම් කිරීමෙන් 6 වෙනි ගුරු විදිහට හිටියට හර් ගෝබින්ද්ගේ පුත්‍රයෙක් වුණු තේඝ් බහදූර් මීළඟ ගුරු විදිහට 1664 අප්‍රේල් 16 වෙනිදා පත් කෙරෙනවා. ඔහුගේ සැබෑ නම වුණේ ත්‍යග් මල්. 

මෝගල්වරුන්ට එරෙහිව ගුරු හර්ගෝබින්ද් සමයේ දියත් කළ සටන්වලදී ඔහු දැක්වූ දක්ෂතාවලට ගරු කිරීමක් විදිහට "තේඝ් බහදූර්" හෙවත් ශක්තිමත් අසිපත කියන විරුද නාමය ගුරු හර්ගෝබින්ද් විසින් ලබාදීලා තිබුණා. මේ හැරෙන්න දුනුවායන් සහ අශ්වාරෝහක භටයින් පුහුණු කිරීම සම්බන්ධවත් ඔහු ප්‍රසිද්ධියක් ඉසිලුවා.

ගුරු තේඝ් බහදූර් ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල සීක් දහම ව්‍යාප්ත කරන්න සංචාරය කරනවා. ඇසෑමය, ඩකා වැනි ප්‍රදේශවලට පවා ගුරු තේඝ් බහදූර් ගමන් කරනවා. මේ සංචාරය අතර මැදදී 1666 දෙසැම්බර් 31 ඔහුගේ පුත්‍රයා වුණු ගෝබින්ද් රායි උපදිනවා. පසු කාලීනව දසවෙනි ගුරු බවට පත් වන්නේ මේ පුත්‍රයායි.

ගුරු ද්වාර ශ්‍රී ගුරු තේඝ් බහදූර් සහීබ්

මේ සංචාරය අතරතුර ගුරු තේඝ් බහදූර් ඇසෑමයේ ඪුබ්‍රි නගරයේ ගුරු ද්වාරයක් පිහිටවනවා. ඒ ස්ථානයට මීට පෙර මුල්ම ගුරු වූ ගුරු නානක් දේව් පවා පැමිණි බවයි කියවෙන්නේ. පසුව ඒ ස්ථානය "ගුරු ද්වාර ශ්‍රී ගුරු තේඝ් බහදූර් සහීබ්" නමින් නම් කෙරෙනවා. ඒ ස්ථානයත් අද දක්වාම සීක්වරුන්ගේ වන්දනාවට ලක්වෙන ස්ථානයක්.

මඛෝවාල් ප්‍රදේශයේ සීක්වරුන් උදෙසා නව නගරයක් නිර්මාණය කිරීමේ කාර්යය ගුරු තේඝ් බහදූර් ආරම්භ කරනවා. ආනන්ද්පූර් නම් වුණු මේ නගරයේ ඉදි කිරීමත් එක්ක සීක්වරුන් ගුරු තේඝ් බහදූර්ට ගෞරවයක් විදිහට "සචා බාද්ෂාහ්" හෙවත් සැබෑ රජු කියන විරුද නාමයත් භාවිතා කරලා තියෙනවා.

ඖරංසෙබ්

මේ කාලය වෙද්දී මෝගල් අධිරාජයා වුණු ඖරංසෙබ් සමස්ත ඉන්දියාවම මුස්ලිම් අධිරාජ්‍යයක් බවට පත් කිරීම සඳහා කටයුතු කරමින් හිටියේ. ඒ යටතේ හින්දු දේවාල විනාශ කිරීමත් රජයේ සේවයේ යෙදී සිටිය හින්දුවරුන් සේවයෙන් ඉවත් කිරීම වගේම අන්‍යාගමිකයන් විසින් ගෙවන්න ඕනේ ජෙසියා බදු මුදල වැඩි කිරීම වගේ කටයුතු මෝගල් පාලනය සිදු කළා.

මේ වෙද්දී කාශ්මීරයේ වාසය කරපු බ්‍රාහ්මණ පඬිවරුන් ඉස්ලාම් දහමට හරවා ගත්තොත් පහසුවෙන්ම ඉන්දියානුවන් ඉස්ලාම් දහමට හරවාගන්න පුලුවන් වෙයි කියලා විශ්වාස කරපු ඖරංසෙබ් ඒ සඳහා කටයුතු කරනවා. 

 කාශ්මීර බ්‍රාහ්මණයන් ගුරු තේඝ් බහදූර්ගෙන් ආධාර ඉල්ලීම

මේ තත්වය නිසා කරදරයට පත්වෙන කාශ්මීර ප්‍රදේශයේ ඉන්න හින්දුවරුන් මේ තර්ජනයෙන් මිදෙන්න ගුරු තේඝ් බහදූර්ගෙන් උපකාර ඉල්ලනවා. කාලාන්තරයක් තිස්සේ මේ ප්‍රශ්නයට සීක්වරුනුත් මුහුණ දීලා හිටිය නිසා බලහත්කාරයෙන් වැසියන්ව ඉස්ලාම් දහමට හරවා ගැනීම වළක්වන්න කියලා ගුරු තේඝ් බහදූර් ඖරංසෙබ් අධිරාජයාගෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේමයි ඖරංසෙබ් අධිරාජයාට තමන්ව ඉස්ලාම් දහමට හරවා ගන්න පුලුවන් වුණොත් සියලු දෙනාම කැමැත්තෙන් ඉස්ලාම් දහම වැළැඳ ගන්නවා කියලා අභියෝගයකුත් එල්ල කරනවා. මේ නිසා හින්දුවරුන්ගේ ආගම ඇදහීමේ අයිති වෙනුවෙන් පෙනී සිටිය ගුරු තේඝ් බහදූර් බොහෝ දෙනාගේ ප්‍රශංසාවට ලක්වෙනවා. 

මේ තත්වය නිසා ගුරු තේඝ් බහදූර්ව අත් අඩංගුවට ගන්න ඖරංසෙබ් නියෝග කරනවා. මේ ආරංචිය සැළවීමත් එක්ක ඖරංසෙබ් අධිරාජයාගෙන් තමන්ගේ ජීවිතයට කරදරයක් වෙන්න පුලුවන් කියන විශ්වාසය මත ගුරු තේඝ් බහදූර් තමන්ගේ පුත්‍රයා වුණු ගෝබින්ද් රායිව මීළඟ ගුරු විදිහට පත් කරන්න කටයුතු කරනවා. 

ගුරු තේඝ් බහදූර්ගේ මීළඟ ගුරු ලෙසට තම පුත්‍ර ගෝබින්ද් රායිව පත් කිරීම

ඒ යටතේ තමන්ගේ පියා වුණු ගුරු හර්ගෝබින්ද්ගේ අසිපත පුත්‍රයා වුණු ගෝබින්ද් රායිට පළඳවලා දිල්ලියේදී තමන්ව මරා දැමුවහොත් ගුරු තනතුර තම පුත්‍රයාට හිමිවිය යුතුයි කියලා නිවේදනය කරනවා. 

පසුව අත් අඩංගුට ගැනුණු ගුරු තේඝ් බහදූර් සමඟ සමීපතමයන් තුන් දෙනෙකුත් සිටිනවා. මොවුන් සිව් දෙනාම මාස තුනක පමණ කාලයක් රූප්නගර්, සර්හින්ද් සහ බස්සි පතානා කියන නගරවල රැගෙන ගිහින් අවසානයේදී 1675 නොවැම්බර් මාසයේදී දිල්ලියට රැගෙන යනවා. මේ මාස තුනක කාලය පුරාම ගුරු තේඝ් බහදූර්ව රැගෙන යන්නේ යකඩ සිර මැදිරියක සිර කරලා.

ගුරු තේඝ් බහදූර්ගේ හිස ගසා දැමීම

දිල්ලියට රැගෙන ආපු ගුරු තේඝ් බහදූර්ව දම්වැල්වලින් බැඳලා විවිධාකාරයේ වධ හිංසා කරලා ඉස්ලාම් දහමට නම්මා ගන්න හැදුවත් කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. අවසානයේදී නොවැම්බර් 24 වෙනිදා දිල්ලියේ චන්ද්නී චෝක්වලදී ප්‍රසිද්ධියේ ගුරු තේඝ් බහදූර්ගේ හිස ගසා මරා දමනවා. හින්දූන්ගේ ආගමික අයිති වෙනුවෙන් දිවි පුදපු ගුරු තේඝ් බහදූර්ව ඒ නිසා "හින්දි දි චදාර්" හෙවත් ඉන්දියාවේ පළිහ යන ගෞරව නාමයෙන් හැඳින්වෙනවා.

ගුරු ද්වාර රකාබ් ගන්ජ් සහීබ්

මරා දැමුණු ගුරු තේඝ් බහදූර්ගේ දේහය දිල්ලියේ ප්‍රදර්ශනය කරද්දී ඒක සොරකම් කරපු ගුරුගේ ගෝලයෙක් වුණු ලාකි ෂාහ් වන්ජරා ගුරුගේ දේහය හොර රහසේම ආදාහනය කරනවා. ඒ ස්ථානයේ පසු කලෙක "ගුරු ද්වාර රකාබ් ගන්ජ් සහීබ්" ඉදි කරනවා. 

ගුරු ද්වාර සිස් ගන්ජ් සහීබ්

දිල්ලියේ චන්ද්නී චෝක්වල ගුරු තේඝ් බහදූර් මරා දැමුණු ස්ථානයේ පසු කලෙක "ගුරු ද්වාර සිස් ගන්ජ් සහීබ්" ඉදිවෙනවා. හිස ගසා දැමූ ගුරු තේඝ් බහදූර්ගේ හිස ආනන්ද්පූර්වලට රැගෙන යාමෙන් පසු ගුරු ගෝබින්ද් රායි ඒ හිස ආදාහනය කරනවා. 

 ගුරු තේඝ් බහදූර්ගේ හිස ඔහුගේ පුත්‍ර ගුරු ගෝබින්ද් රායිට පෙන්වීම

එය ආදාහනය කළ ස්ථානයේත් ගුරු ද්වාර සිස් ගන්ජ් සහීබ් නමින් ස්මාරකයක් ඉදි කෙරෙනවා.

ගුරු පෙළපතේ අවසන් ගුරු වුණු ගුරු ගෝබින්ද් සිං ගැන ඊළඟ ලිපියෙන් කියන්නම්.

මේ සටහන ලියන්න පාදක කරගත්තේ

ඉතිහාස ධාරා - 1 කොටස, ක්ෂාවියර් පින්තු සහ ඊ.ජී.මියාල්
ඉන්දියා ඉතිහාසය - II කාණ්ඩය, නරේන්ද්‍ර කෘෂ්ණ සිංහ සහ අනිල් චන්ද්‍ර බැනර්ජි
මූගල් ඉන්දියාව - ඩබ්.එම්.කේ. විජේතුංග

ඒ ඇරෙන්න අනික් ඔක්කොම අන්තර්ජාලයෙන් තමා 


ප.ලි.: ගිය සතියේ කියපු අයියලා නංගිලා කසාද බැන්ද හැටි කතාවේ ඉතුරු කොටස එහෙමත් නැත්නම් ශ්‍රේෂ්ඨ වංශයක් වුණු ශාක්‍ය වංශයේ අවසානය වුණු හැටි අද කියන්න හිටියත් ඒ කතාව සකස් කරගන්න වෙලාව මදිවුණා. ඒක නිසා හැකි ඉක්මණින් ඒ කතාව කියන්න තමා බලාපොරොත්තුව

Sunday, September 9, 2012

අවුරුදු 8 දී ගුරු හර් ක්‍රිෂන් වසූරියෙන් මියයයි - හර්බජාන් සිං, මන්මෝහන් සිංලා 4 කොටස

 ගුරු හර්ගෝබින්ද්

සීක්වරුන්ගේ ආගම ආරම්භ වුණු හැටි ගැන අපි මේ වෙද්දී සටහන් තුනකින් කියෙව්වා.

කවුද මේ හර්බජාන් සිං, මන්මෝහන් සිං කියන සිංලා ???

ගුරු අංගද් දේව්

ගුරු තනතුර පරම්පරාවට යයි


කලින් කතාව නැවැත්තුවේ ගුරු අර්ජන් දේව්ව මෝගල් අධිරාජයා වුණු ජහාන්ගීර්ගේ අණින් 1606 දී දරුණු වධ හිංසා දීලා මරා දැමීමත් එක්ක මීළඟ ගුරු විදිහට ගුරු අර්ජන් දේව්ගේ පුත්‍රයා වුණු ගුරු හර්ගෝබින්ද් පත්වීමත් එක්ක. 

සීක්වරුන්ව සාමකාමී මාර්ගයෙන් ඉවත් කරලා සටන්කාමී තත්වයකට පත් කරන්නේ ගුරු හර්ගෝබින්ද්. ඔහුව ගුරු තනතුරට පත් කරන උත්සවයේදීම ඔහු වම් පසින් සහ දකුණු පසින් කඩු දෙකක් එල්ලා ගන්නවා. ඒ කඩු දෙකෙන් සංකේතවත් කරන්නේ "පිරි" [ආධ්‍යාත්මික බලය] වගේම "මිරි" [ලෞකික බලය] බව ගුරු හර්ගෝබින්ද් දක්වනවා. 

 අකාල් තක්ත්

1608 දී හර්මන්දිර් සහීබ් ආසන්නයේ අකාල් තක්ත් "සර්වබලධාරී සිහසුන" නමින් මාළිගාවක් ඉදි කරපු ගුරු හර්ගෝබින්ද් එයින් ගුරුගේ ලෞකික නායකත්වයත් හර්මන්දිර් සහීබ් තුළින් ගුරුගේ ආධ්‍යාත්මික නායකත්වයත් පෙන්වන බව ප්‍රකාශ කළා.  මේ නිසා සීක්වරු ඔහුව"සව පශාහ්" කියන විරුද නාමයෙන් හඳුන්වනවා. 

අකාල් තක්ත්හි සිටින ගුරු හර්ගෝබින්ද්

ඒ වගේමයි ගුරු හර්ගෝබින්ද් තමන්ගේ රාජ්‍යත්වය සංකේතවත් කරන්න ඡත්‍රයක්, කල්ගියක් හෙවත් කිණිස්සක් සහ මිරි සහ පිරි සංකේතවත් කරන කඩු දෙක භාවිතා කරලා සංකේතයක් නිර්මාණය කළා. අද දක්වාම සීක්වරුන් තමන්ගේ සළකුණ විදිහට භාවිතා කරන්නේ ඒ ලාංඡනය තමා.

සීක්වරුන්ගේ ලාංඡනය

මෝගල් තර්ජනයෙක් සීක්වරුන් වගේම සීක් දහම ආරක්ෂා කරන්න ගුරු හර්ගෝබින්ද් පියවර කීපයක්ම ගත්තා. ඒ යටතේ අම්රිත්සාර්වල "ලෝහ්ගාර්හ්" Fortress of Steel නමින් බලකොටුවක් තැනෙව්වා වගේම සෑම සීක්වරයෙක්ටම තමන්ගේ ආරක්ෂාව උදෙසා ආත්මාරක්ෂක සටන් පුහුණු වෙන්න අණ කරනු ලැබුවා. 

ඒ හැරෙන්න අශ්වයන් 700 ක් පමණ ගුරු හර්ගෝබින්ද්ගේ ඉස්තාලයේ හිටියා වගේම "රිසල්දාරී" නමින් හඳුන්වපු ගුරුගේ හමුදාවේ අශ්වාරෝහකයන් 300 ක් සහ තුවක්කුකරුවන් 60 කගෙන් සමන්විත වුණා.

යුධ වදින ගුරු හර්ගෝබින්ද්

මේ ආකාරයෙන් සන්නද්ධ වුණු ගුරු හර්ගෝබින්ද් මෝගල් අධිරාජ්‍යයට එරෙහි ප්‍රධාන සටන් 4 ක් පමණ සිදු කළත් මෝගල් අධිරාජ්‍යයේ තිබුණු බලවත්කම නිසා ඒවා එතරම් සාර්ථක වෙන්නේ නැහැ. අවසානයේදී ගුරු හර්ගෝබින්ද් මෝගල් අධිරාජ්‍යයේ සිරකරුවෙක් විදිහට ගවාලිඔර් සිර ගෙදර කල් ගත කරනවා. 

 ගුරු හර්ගෝබින්ද්ව සිරෙන් නිදහස් කිරීම

කොහොම නමුත් ගුරු හර්ගෝබින්ද් සහ ජහාන්ගීර් අධිරාජයා අතර සමඟියක් ඇතිවීමත් එක්ක අධිරාජයා ගුරුව නිදහස් කරනවා. මේ සිද්ධිය සීක්වරු හර්මන්දිර් සහීබ් පිහිටි ප්‍රදේශයේ මල් වෙඩිවලින් වගේම පහන් ආදියෙන් ආලෝකමත් කරමින් සමරනවා. අද දක්වාම "දිවාලී උත්සවය" නමින් සීක්වරුන් මේ විශේෂ සිදුවීම සිහිපත් කරනවා. 

ගුරු හර්ගෝබින්ද්ගෙන් සීක් දහමේ ව්‍යාප්තියට වුණු සේවය ගැන කතා කළොත් ඔහු සීක් දහම බිහාර් සහ බෙංගාල් ප්‍රදේශවල ව්‍යාප්ත කරවන්න කටයුතු කරනවා.  තවත් ඔහු කළ විශේෂ කාර්යයක් තමා ටාවුස් නමින් නව සංගීත භාණ්ඩයක් නිර්මාණය කරපු එක. 

 ටාවුස්

ඒකෙන් ගීතිකා ගායනා කරද්දී ඒ සඳහා සුමධුර වාදනයක් ලබාදීම අපේක්ෂා කෙරුණා. ඒ වගේමයි සීක්වරුන් සඳහා කිරාත්පූර් නමින් අලුත් නගරයකුත් ගුරු හර්ගෝබින්ද් නිර්මාණය කරනවා.
මෝගල් අධිරාජ්‍යයේ ජහාන්ගීර් අධිරාජයා සමඟ ගුරු හර්ගෝබින්ද් සමඟියෙන් කටයුතු කළත් ඉන්පසුව අධිරාජයා වුණු ෂාජහාන් සමඟ ඇතිවුණු ප්‍රශ්නත් එක්ක නැවත වරක් සීක් මෝගල් ගැටුම ආරම්භ වෙනවා. 
මේ නිසා අම්රිත්සාර්වලින් කිරාත්පූර්වලට තමන්ගේ මූලස්ථානය අරගෙන යන්න ගුරු හර්ගෝබින්ද් සිද්ධ වෙනවා. ඔහු 1644 මාර්තු 19 මියයන්නේත් කිරාත්පූර්වලදීමයි.

ගුරු හර් රායි

ගුරු හර්ගෝබින්ද්ට පුතුන් කීප දෙනෙක්ම හිටියත් එයා තමන්ගේ අනුප්‍රාප්තිකයා විදිහට නම් කරන්නේ තම පුත්‍ර බාබා ගුරුදිත්තගේ පුත්‍රයා වුණු ගුරු හර් රායිව. 1644 මාර්තු 19 වෙනිදා ගුරු තනතුරුට පත්වුණු ගුරු හර් රායිගේ වයස අවුරුදු 14 ක් පමණ වුණා. තමන්ගේ පුතුන්වත් පසෙක දාලා මේ ආකාරයෙන් තමන්ගේ මුණුපුරු හර් රායිව ගුරු තනතුරට පත් කරන්න හේතුවුනා කියන්නේ ඔහු තුල තිබුණු ශාන්ත ගති පැවතුම් නිසා.

ගුරු හර් රායි තමන්ගේ සීයා වුණු ගුරු හර්ගෝබින්ද් අනුගමනය කරපු ක්‍රියාමාර්ග ඒ ආකාරයෙන් ඉදිරියට ගෙනගියා. ඒ යටතේ 2200 අශ්වාරෝහක බල ඇණියක් සකස් කරන්න ඔහු කටයුතු කරනවා. කොහොම නමුත් එවකට මෝගල් අධිරාජයා වුණු ෂාජහාන් සමඟ සමඟියෙන් කටයුතු කරපු ගුරු හර් රායි සටන් කරලා තිබෙන්නේ ප්‍රාදේශීයව ඔහුට අභියෝගයක් වුණු කණ්ඩායම් සමඟයි.

ෂාජහන්

ගුරු හර් රායි මාල්වා සහ දෝඅබා ප්‍රදේශවල සංචාරයකින් පස්සේ ආපසු පැමිණියාව ගුරු හර්ගෝබින්ද් විසින් මරා දමපු මුඛ්ලිස් ඛාන්ගේ පුතා වුණු මොහොමඩ් යාර්බෙග් ඛාන් ගුරු සමඟ සටනට ආවා. මේ සටන ගුරු හර් රායි ජයග්‍රහණය කළා වගේම සටන පුරාවට හිංසාවෙන් තොරව වගේම නිරායුධ අයට පහර නොදෙමින් තමා සීක්වරුන් සටන සිදු කළා. "අහිංසා පර්මෝ ධර්මා" තමා ඔවුන්ගේ තේමාව වුණේ

ගුරු හර් රායි දාරා ෂිකෝ වෙනුවෙන් ඖෂධ ලබාදීම

කිරාත්පූර්හි ආයුර්වේද රෝහලක් සහ පර්යේෂණ මධ්‍යස්ථානයක් ආරම්භ කරපු ගුරු හර් රායි ඒ යටතේ ලොකු සේවාවක් සිදු කළා. විශේෂයෙන් ෂාජහන් අධිරාජයාගේ වැඩිමහල් පුතා වුණු දාරා ෂිකෝට වැළදුණු සුව කළ නොහැකි රෝගයක් පවා මේ රෝහලේ ඖෂධවලින් සුව කර දෙන්න ගුරු හර් රායි හැකිවුණා. ඒ වගේ සිදුවීම් හරහා තමා මෝගල් සීක් සුහදත්වයක් ඒ වෙද්දී ගොඩනැගෙමින් තිබුණේ.

ආගමික වශයෙන් සිදුවුණු ගුරු හර් රායිගේ සේවය ගැන කත කළොත් ගුරු අමර් දාස් ආරම්භ කරපු මඤ්ජිස් ක්‍රමය තවත් වැඩි දියුණු කරපු ගුරු හර් රායි මඤ්ජිස් 360 ආරම්භ කරනවා. ඒ වගේමයි ඒ වෙද්දී අඩාළ වෙලා තිබුණු මසන්ද් ක්‍රමය නැවතත් ක්‍රමවත්ව ආරම්භ කරන්නත් කටයුතු කරනවා.

මේ විදිහට මුල් කාලය සාමකාමීව ගත කරපු ගුරු හර් රායිට අවසන් කාලය අර්බුදකාරී තත්වයන්ට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒකට හේතුව තමා එවකට හිටිය මෝගල් අධිරාජයා වුණු ෂාජහාන් මියයාමත් එක්ක සිහසුනට ඇතිවුණු අරගලවලදී දාරා ෂිකෝ කියන කුමාරයාට ගුරු හර් රායි සහය ලබාදීම නිසා.

ෂාජහාන්ගේ වැඩිමහල් පුතා වුණු දාරා ෂිකෝ ගුරු හර් රායිගේ ඖෂධ නිසා දිවි ගලවා ගත්තු නිසා ගුරු සමඟ හිතවත්කමක් තිබුණා. අනික් කාරණේ තමා ගුරු හර් රායි මේ ආකාරයෙන් දාරා ෂිකෝට සහය දෙන්නේ ඔහු ආගමික සහනශීලීත්වයක් තිබුණු අයෙක් නිසායි.

 ඖරංසෙබ්

ඒත් අවසානයේදී සිදුවෙන්නේ ෂාජහාන්ගේ තවත් පුතෙක් වුණු ඖරංසෙබ් රාජප්‍රාප්ති සටනෙන් ජය ගැනීම. ඒ වගේමයි දාරා ෂිකෝව සහ ඔහුගේ පුතාව අල්ලා ගත්තු ඖරංසෙබ් එයාලව දිල්ලිය පුරාම උසුළු විසුළුවලට ලක් කරමින් ඇවිද්දවලා මරා දමනවා.

මේ සිදුවීම් සමඟම ඖරංසෙබ් ගුරු හර් රායි දාරා ෂිකෝට සහය දීපු නිසා දිල්ලියට ඇවිත් අධිරාජයා හමුවෙන්න නියම කරනවා. නමුත් මේ සඳහා ගුරු හර් රායි පිටත් කරන්නේ තමන්ගේ වැඩිමහල් පුතා වුණු බාබා රාම් රායි. බාබා රාම් රායිට පැවරුණු කාර්යය වුණේ ඖරංසෙබ්ට ගුරු ග්‍රන්ථ් සහීබ් ගැන වැටහීමක් ලබාදීලා ඒ හරහා සීක් දහම ගැන පැහැදීමක් ඇති කරවන එක.

ඒත් බාබා රාම් රායි ගුරු ග්‍රන්ථ් සහීබ්වල සමහර කොටස් විකෘති කරමින් මුස්ලිම්වරුන්ට පක්ෂපාතී වෙන විදිහට ඉදිරිපත් කිරීමත් එක්ක ඒවා සියල්ලම ගුරු හර් රායි ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේමයි ගුරු නානක්ගේ සිට ඇරඹුණු ගුරු ග්‍රන්ථ සහීබ් සීක්වරුන්ගේ උරුමයක් බවත් ඒකේ මුල් කරුණු විකෘති කිරීම නොකළ යුතුයි කියලා නියමයකුත් පනවනවා.

බාබා රාම් රායි කරපු කාර්යයෙන් ඖරංසෙබ්ගේ හිත දිනාගත්තු නිසා ඖරංසෙබ් ගුරු හර් රායිගෙන් ඉල්ලා සිටිනවා මීළඟ ගුරු ලෙසට බාබා රාම් රායි පත් කරන්න කියලා. බාබා රාම් රායිගේ අරමුණ වෙන්නේත් ඒකම තමා. ඒත් සීක්වරුන්ට එරෙහිව බාබා රාම් රායි කරපු ක්‍රියාව නිසා ඔහු ගුරු තනතුරට සුදුසු නැහැ කියන එක තමා ගුරු හර් රායිගේ අදහස වුනේ.

ගුරු හර් රායි මේ අවස්ථාවේ කියනවා "ගුරු තනතුර කියන්නේ හරියට කොටි දෙනකගේ කිරි තබාගන්න ගන්න රන් බඳුනක් වගේ. දිවි හිමියෙන් ගුරු තනතුරට කැපවෙන අයෙකුටයි ඒක සුදුසු වෙන්නේ. ඒක නිසා ගුරු රායිට නැවත මගේ මුහුණ දකින්නවත් ඉඩ තබන්න එපා" කියලා

ගුරු හර් රායි සහ ගුරු හර් ක්‍රිෂන්

අවසානයේදී 1661 ඔක්තෝබර් 6 ගුරු හර් රායි මියයන්න කලින් මීළඟ ගුරු විදිහට තමන්ගේ අවුරුදු 5 ක් පමණ වයසැති පුත්‍රයා වුණු ගුරු හර් ක්‍රිෂන්ව නම් කරනවා.

මේ අතරවාරයේම ඖරංසෙබ්ගේ සහය ලැබුණු බාබා රාම් රායි තමන්ගේ පිරිසත් එක්ක "රාම්රායියා" නමින් වෙනම පාර්ශවයක් බවට පත්වෙලා තමන්ගේ මූලස්ථානය විදිහට ඩෙහ්රා ඩූන් තෝරා ගන්නවා. ඔවුන් පිළිගන්නේ ගුරු හර් රායිගෙන් පස්සේ ගුරු වෙන්නේ ගුරු රාම් රායි කියලා.

ගුරු හර් ක්‍රිෂන්

ගුරු හර් ක්‍රිෂන් බොහොම ලාබාල වයසේදීම ගුරු තතතුරට පත්වුණු නිසා සීක්වරුන් ඔහුව හඳුන්වන්නේ "බාල් ගුරු" [ළමා ගුරු] විදිහට. ඒ කෙසේ වුණත් බුද්ධිමත්කම සහ අභියෝග සාර්ථකව ජයගැනීමෙන් ගුරු හර් ක්‍රිෂන් වයසට වඩා මුහුකුරා ගිය පරිණත බවක් පෙන්නුම් කරනවා.

මේ අතර වාරයේ බාබා රාම් රායි ගුරු හර් ක්‍රිෂන්ව විනාශ කරන්න උපක්‍රමයක් දියත් කළා. ඒ උපක්‍රමය වුණේ තමන්ගේ හිතවතා වුණු ඖරංසෙබ් අධිරාජයා ලවා අධිරාජයා මුණ ගැසීමට ගුරු හර් ක්‍රිෂන් දිල්ලියට පැමිණිය යුතුයි කියලා නියම කරපු එක. ගුරු හර් රායි මියයන්න කලින් ගුරු හර් ක්‍රිෂන්ට නියම කරනවා කවදාත් ඖරංසෙබ්ව හමුවෙන්න යන්න එපා කියලා.

ඒ නියමය කඩ කරලා ගුරු හර් ක්‍රිෂන් ඖරංසෙබ්ව මුණ ගැහුණොත් ගුරුගේ ඉල්ලීම කඩපු නිසා සීක්වරුන් අතර ගුරු හර් ක්‍රිෂන්ව අප්‍රසාදයට පත් කරන එක තමා බාබා රාම් රායිගේ අදහස වුණේ. අනෙක් අතට ගුරු හර් ක්‍රිෂන් අධිරාජයා මුණ ගැහෙන්න ආවේ නැත්නම් මෝගල් සේනා යවලා අධිරාජයාගේ නියමයට පිටුපෑවා කියලා ගුරු හර් ක්‍රිෂන්ව අත් අඩංගුවට ගන්න බාබා රාම් රායි බලාපොරොත්තු වුණා.

ඒත් මේ සැලස්ම ව්‍යර්ථ වෙන්නේ ගුරු හර් ක්‍රිෂන් අධිරාජයා හමුවෙන්න දිල්ලිය බලා පිටත් වුණු නිසයි. ගුරුව කැඳවාගෙන එන්න ඖරංසෙබ් විසින් පිටත් කරන මිර්සා ප්‍රදේශයේ රාජා වුණු ජායි සිංග් සීක් ගුරුන්ගේ හිතවතෙක් වුණා. ජායි සිංග් කළේ ගුරු හර් ක්‍රිෂන්ව සුරක්ෂිතව දිල්ලියට ගෙනල්ලා ඖරංසෙබ්ට ගුරු හර් ක්‍රිෂන්ව පුද්ගලිකව හමුවෙන්න දෙන්නේ නැතුව ආරක්ෂා කරපු එක.

බ්‍රාහ්මණ ලාල් චන්දට භගවත් ගීතාව පැහැදිලි කරන ගුරු හර් ක්‍රිෂන්

ඒ අතර වාරයේ ජායි සිංග් ගුරු හර් ක්‍රිෂන්ගෙන් ඉල්ලා සිටිනවා දිල්ලියේ ඉන්න සීක්වරුන් වෙනුවෙන් දේශනාවන් පවත්වන්න කියලා. දේශනාවන් පවත්වන අතරවාරයේ  ලාල් චන්ද් කියන බ්‍රාහ්මණයා ගුරුගේ දැනුම පරීක්ෂා කරන්න කරපු අභියෝගයේදී භගවද් ගීතාව ගැන අලංකාර විස්තරයක් කරමින් ගීතාවේ අර්ථය ගුරු හර් ක්‍රිෂන් පැහැදිලි කරනවා. ගුරුගේ වුණු දැනුම ගැන අවසානයේදී ලාල් චන්ද් අතිශය පුදුමයට පත් වෙනවා.

ගුරු හර් ක්‍රිෂන් වසූරිය රෝගීන්ට ආශිර්වාද කරමින්

මේ කාලයේ දිල්ලිය පුරා වසූරිය පැතිර යමින් තිබුණු වසූරිය නිසා රෝගීවූවන්ට ආශිර්වාද කරමින් සුව කරන්නත් ගුරු හර් ක්‍රිෂන් කටයුතු කරනවා. වැඩි වැඩියෙන් වසූරිය රෝගීන් ගාවට ගියපු නිසා ගුරු හර් ක්‍රිෂන්ටත් වසූරිය වැළදෙනවා.

ජායි සිංගේ මාළිගාවක වාසය කරපු අවසානයේදී 1664 මාර්තු 30 ගුරු හර් ක්‍රිෂන් වසූරියෙන් මියයනවා. ගුරු හර් ක්‍රිෂන්ව යමුනා ගඟේ ගං ඉවුරේ ආදාහනය කරන අතර ඒ ස්ථානයේ ගුරු වෙනුවෙන් ගුරුද්වාර බාල සහීබ් නමින් ස්මාරකයක් ඉදි කෙරෙනවා. ඒ දෙස බලා සිටීමෙන් පවා රෝග තත්වයන් සුව වෙන බවයි කියවෙන්නේ.

 ගුරුද්වාර බංග්ලා සහීබ්

ගුරු නැවතී සිටි ජායි සිංගේ මාළිගාව "ගුරුද්වාර බංග්ලා සහීබ්" නමින් පූජනීය ස්ථානය බවට පත්වෙනවා. ගුරු හර් රායි දිල්ලියේ වැසියන්ට කරපු සේවාව නිසාම හින්දූන් "බාල්මුකන්ද්" නමිනුත් මුස්ලිම්වරු "බාලා පිර්" නමිනුත් ඔහුව සිහිපත් කරනවා.

ගුරු හර් ක්‍රිෂන්ගෙන් පස්සේ ගුරු තනතුරට පත්වෙන්නේ ගුරු තේජ් බහාදූර්. ඒක සිදුවෙන්නේ මෙහෙමයි. ගුරු හර් ක්‍රිෂන් මියයන්න කලින් අහස දෙසට අත් දිගු කරලා "බාබා බකාලා" කියලා සඳහන් කරනවා. ඒකේ අර්ථය විදිහට ගැනෙන්නේ මීළඟ ගුරු බාබා බකාලා ප්‍රදේශයේ ඉන්නවා කියන එක. ඒ අනුව ඒ ප්‍රදේශයේ වාසය කරපු ගුරු හර්ගෝබින්ද්ගේ පුත්‍රයෙක් වුණු ගුරු තේජ් බහාදූර් මීළඟ ගුරු විදිහට පත්වෙනවා.

ගුරු තේජ් බහාදූර් ගැන වගේම අවසන් ගුරු වුණු ගුරු ගෝබින්ද් සිං ගැන ඊළඟට කියන්නම්..........

මේ සටහන ලියන්න පාදක කරගත්තේ

ඉතිහාස ධාරා - 1 කොටස, ක්ෂාවියර් පින්තු සහ ඊ.ජී.මියාල්
ඉන්දියා ඉතිහාසය - II කාණ්ඩය, නරේන්ද්‍ර කෘෂ්ණ සිංහ සහ අනිල් චන්ද්‍ර බැනර්ජි
මූගල් ඉන්දියාව - ඩබ්.එම්.කේ. විජේතුංග

ඒ ඇරෙන්න අනික් ඔක්කොම අන්තර්ජාලයෙන් තමා

Thursday, August 30, 2012

ගුරු තනතුර පරම්පරාවට යයි - හර්බජාන් සිං, මන්මෝහන් සිංලා 3 කොටස

 ගුරු අමර් දාස්

සීක් දහමේ විකාශනය ගැන කියන කතන්දරයේ අපි මේ වෙද්දී සීක් දහමේ ආරම්භකයා වුණු ගුරු නානක් සහ ගුරු අංගද් ගැන කතා කළා. ඒ වගේමයි ගුරු අංගද් දේව් තමන්ගෙන් පස්සේ සීක් දහමේ මීළඟ ගුරු විදිහට තමන්ගේ අනුගාමිකයෙක් වුණු 72 ක් පමණ වයසැති අමර් දාස්ව නම් කළා කියලත් මතක ඇතිනේ. 

අද කතාව එතන ඉදන්. 1552 මාර්තු 25 වෙනිදා ගුරු අංගද් දේව් මියයාමත් එක්ක ගොවියෙක් වගේම වෙළෙන්දෙක් වුණු ශ්‍රී තේජ් බහාන් බල්ලාගේ පුත්‍රයා වුණු ගුරු අමර් දාස් සීක්වරුන්ගේ ගුරු බවට පත්වුණා. තමන්ගේ මූලස්ථානය ගොයින්ද්වාල් සහීබ්වල පිහිටුවා ගත්තු ගුරු අමර් දාස් සීක් දහමේ ව්‍යාප්තිය උදෙසා එහේ ඉදන් කටයුතු කළා.

කුල භේදය පිටු දකින්න ලොකු සටනක් ගුරු අමර් දාස් සිදු කරලා තියෙනවා. ඒ යටතේ කුල භේදය පිටුදැකීමේ ප්‍රායෝගික ක්‍රියා පිළිවෙතක් විදිහට ගුරු අංගද් දේව් හඳුන්වා දීපු "ගුරු කා ලන්ගාර්" හෙවත් හැමෝම එකට ඉඳගෙන ආහාර අනුභව කිරීමේ සිරිත තවත් හොඳින් අනුගමනය කරන්න ගුරු අමර් දාස් නියම කරනවා. 

 ගුරු අමර් දාස් සහ අක්බාර් අධිරාජයාගේ හමුව

ඒ වනවිට ඉන්දියාවේ විශාල අධිරාජ්‍යයක් පිහිටුවා ගෙන හිටිය මහා අක්බාර් අධිරාජයාත් 1567 දී ගුරු අමර් දාස්ව හමුවෙන්න ඇවිත් ගුරු කා ලන්ගාර් ක්‍රමය ගැන සතුටු වුණා. ඒ වගේමයි මුස්ලිම් නොවන අයගෙන් අය කෙරුණු ජෙසියා බද්ද ඉවත් කරන්නත් මේ අවස්ථාවේ අධිරාජයා පොළඹවා ගන්න ගුරු අමර්දාස් සමත් වෙනවා. 

ඒ වගේමයි හින්දු විවාහ ක්‍රමය වෙනුවට සීක්වරුන් සඳහාම වෙන්වුණු විවාහ ක්‍රමයක් "ආනන්ද් කරාජ්" නමින් නිර්මාණය කරපු ගුරු අමර් දාස් සති පූජාව තහනම් කරන්නත් කාන්තාවන් වේල් එකකින් මුහුණු ආවරණය කරගෙන ඉන්න ඕනේ කියන සිරිත පිටු දකින්නත් කටයුතු කරනවා.

සීක් දහම ව්‍යාප්ත කරන්න කාර්යක්ෂම ක්‍රියා පිළිවෙතක් නිර්මාණය කරපු ගුරු අමර් දාස් ඒ යටතේ "මඤ්ජි" නමින් ක්‍රමයක් ඇති කරනවා. මඤ්ජි ක්‍රමයේදී සිද්ධ වුණේ සීක් දහම ප්‍රචාරය කරන දේශකවරුන් පිරිසක් පුහුණු කරලා ඒ දේශකවරුන් මඤ්ජිස් හෙවත් ශාඛා 22 කට බෙදපු එක. 

 ගුරු අමර්දාස් සහ මඤ්ජිස් 22 නයික්වරුන්

ගුරුට අවනත නයික් නමින් හැඳින්වුණු ආගමික නායකයන් යටතේ මේ එක් එක් මඤ්ජිය පාලනය වුණා. ඒ යටතේ සීක් දහමේ ව්‍යාප්තිය නිශ්චිතව වටහා ගන්න වගේම පැහැදිලි ඉලක්කවලට අරගෙන යන්න පුලුවන්කම ලැබුණා.

1574 සැප්තැම්බර් 1 වෙනිදා ගුරු අමර් දාස් මියයනවා. ඊට කලින් තමන්ගෙන් පසුව මීළඟ ගුරු විදිහට ඔහු නම් කරන්නේ ඔහුගේ දියණිය වුණු බිබී භාණි සරණ පාවා ගත්තු භායි ජේතා නම් පුද්ගලයාව. ගුරු තනතුර හිමිවුණු භායි ජේතාව හැඳින්වුණේ ගුරු රාම් දාස් නමින්. 

 ගුරු රාම් දාස්

ගුරු රාම් දාස් අතින් සිදුවුණු වැදගත්ම කාර්යය විදිහට සැලකෙන්නේ ගුරු අංගද් දේව්ගේ සිහිනයක් වෙලා තිබුණු සීක්වරුන්ගේ ශුද්ධ වූ නගරය ගොඩනැංවීමේ කටයුතු ආරම්භ කර එය මැනවින් අවසන් කිරීමයි. ඒ අනුව 1574 දී සීක්වරුන්ගේ ශුද්ධ වූ නගරයේ ගුරු රාම් දාස් පදිංචි වෙනවා. 

මුලින් "ගුරු දා චක්" නමින් හැඳින්වුණු ඒ නගරය පස්සේ චක් රාම් දාස් නමින් හැඳින්වෙනවා. පසුකාලීනව අම්රිත්සාර් නමින් ප්‍රසිද්ධ වෙන්නේත් මේ සීක්වරුන්ගේ ශුද්ධ වූ නගරයයි. ඒ නගරය ඇතුලේ ගුරු ද්වාර සහ "හර්මන්දිර් සහීබ්" නමින් ගොඩනැඟිල්ලකුත් ගුරු රාම් දාස් නිර්මාණය කරවනවා. 

 රන් දෙවොල

දෙවියන්ගේ මන්දිරය කියන තේරුම දුන්නු ඒ ගොඩනැගිල්ල තමා වර්තමානයේදී දර්බාර් සහීබ් "රන් දෙවොල" The Golden Temple නමින් හැඳින්වෙන්නේ. 

මේ හැරෙන්න සදාකාලික බවේ පොකුණ වශයෙන් හැඳින්වෙන සරෝවාර් කියන පොකුණ නිර්මාණය කරන්න ආරම්භ කරන්නේ ගුරු රාම් දාස්. 

ගුරු රාම් දාස් සරෝවාර් පොකුණේ ඉදිකිරීම් අධීක්ෂණය කරමින්

මේ ආකාරයෙන් ගුරු රාම් දාස් තමන්ගේ යෝධ ව්‍යාපෘති සිදු කරන්න මුදල් සොයාගැනීම සිදුකළේ "මසන්ද්" නමින් හැඳින්වුණු ක්‍රමයේ ආධාරයෙන්. ඒ යටතේ ගුරු වෙනුවෙනු අනුගාමිකයන්ගෙන් ආධාර එකතු කිරීමක් සිදු වුණා. 

ගුරු රාම් දාස් සහ අක්බාර් අධිරාජයා අතර තිබුණු සමීප හිතවත්කම නිසා එක අවුරුද්දක්ම පංජාබයෙන් අධිරාජයා වෙනුවෙන් ආදායම් බදු එකතු නොකරපු නිසා ගුරු රාම් දාස්ට තමන්ගේ යෝධ ව්‍යාපෘතිවලට ඒක පහසුවක් වුණා. 

මේ යෝධ ව්‍යාපෘති හැරුණාම ගුරු රාම් දාස් සීක් විවාහ ක්‍රමය වුණු ආනන්ද් කරාජ් සඳහා ගීතිකා රචනා කිරීමත් සිදු කරලා තියෙනවා. කොහොම නමුත් කලින් දක්වපු යෝධ ව්‍යාපෘති අවසන් කරන්න නම් ගුරු රාම් දාස්ට හැකිවෙන්නේ නැහැ. 

ඒවා සිදු කරන්නේ ඔහුගේ අනුප්‍රාප්තිකයා වුණු ඔහුගේම පුත්‍රයා වුණු ගුරු අර්ජන් දේව් විසින්. 1581 සැප්තැම්බර් 16 වෙනිදා ගුරු රාම් දාස් මියයන්න කලින් අගෝස්තු 31 වෙනිදා තමන්ගේ පුත්‍රයාව මීළඟ ගුරු විදිහට පත්කිරීමත් එක්කම එතැන් පටන් ගුරු තනතුර පාරම්පරික වූ බවත් පේනවා.

ගුරු අර්ජන් දේව්

අර්ජන් දේව් ගුරු තනතුරට පත්වීමම විශේෂ සිදුවීමක් වෙන්නේ ගුරු කෙනෙකුගේ පුත්‍රයෙක් ඒ තනතුරට පත්වූ ප්‍රථම අවස්ථාව ඒක වෙන නිසා. තමන්ගේ පියා වුණු ගුරු රාම් දාස් ආරම්භ කළ හර්මන්දිර් සහීබ් සහ සරෝවාර් පොකුණේ කටයුතු නිමා කරන්නේ කලින් කිව්වා වගේම ගුරු අර්ජන් දේව් විසින්.

ඔහු කළ විශේෂම කාර්යය වෙන්නේ සීක්වරුන්ගේ පරම පූජනීය ශුද්ධ වූ ග්‍රන්ථය විදිහට සැලකෙන "ශ්‍රී ආදි ග්‍රන්ථ්" හෙවත් ශ්‍රී ගුරු ග්‍රන්ථ් සැකසීමයි. ගුරු නානක්ගේ සිට පැවත එන දේශනා සහ යාඥා ඇතුළත් වුණු මේ ග්‍රන්ථයේ ගුරු නානක්ගේ ගීතිකා 976 ක්, ගුරු අංගද් දේව්ගේ ගීතිකා 61 ක්, ගුරු අමර් දාස්ගේ ගීතිකා 907 ක්, ගුරු රාම් දාස්ගේ ගීතිකා 679 ක් සහ ගුරු අර්ජන් දේව්ගේ ගීතිකා 2041 ක් ඇතුළත් වෙනවා. 

ඒ වගේමයි භක්තිවාදය තුළ ශාන්තුවරුන් විදිහට සැලකුණු කබීර්, නාම්දේව් වගේ අයගේත් ගීතිකා මේ සඳහා ඇතුළත් වෙලා තිබුණා.

හර්මන්දිර් සහීබ්වල තැන්පත් කර ඇති ශ්‍රී ගුරු ග්‍රන්ථ්

1604 අගෝස්තු 16 ශ්‍රී ආදි ග්‍රන්ථ් හර්මන්දිර් සහීබ්වල උත්සවාකාරයෙන් තැන්පත් කරන්න ගුරු අර්ජන් දේව් කටයුතු කරනවා. තවමත් රන් දෙවොලේ තිබෙන පූජනීය වස්තුව විදිහට සැලකෙන්නේ මේ ග්‍රන්ථයයි.

මේ හැරෙන්න මසන්ද් ක්‍රමය වැඩි දියුණු කරපු ගුරු අර්ජන් දේව් සෑම සීක්වරයෙක්ම තම ආදායමෙන් දහයෙන් එකක් වාර්ෂිකව ගුරුට ගෙවිය යුතුයි කියලා නියම කළා. "දශ්වන්ඕ" නමින් ඒක හැඳින්වෙනවා. ඒ වගේමයි කර්තාර්පූර් සහ හර්ගෝබින්ද්පූර් නමින් අලුත් නගර දෙකකුත් සීක්වරුන් වෙනුවෙන් ගුරු අර්ජන් දේව්ගේ උපදෙස් මත ගොඩනැංවෙනවා.

ජහාන්ගීර් අධිරාජයා

මේ ආකාරයෙන් පංජාබය තුළ කටයුතු සිදුවෙද්දී ඉන්දියාව තුළ ගැටුම්කාරී තත්වයකට මග පෑදෙමින් තිබ්බේ. මහා අක්බාර් අධිරාජයා මියයාමත් එක්ක අධිරාජ්‍යය පැවරුණේ අක්බාර්ගේ පුතා වුණු ජහාන්ගීර්ට. ඒත් හුඟක් දෙනා විශ්වාස කළේ ජහාන්ගීර්ටත් වඩා අධිරාජ තනතුරු සුදුසු ජහාන්ගීර්ගේ පුතා වුණු කුෂ්රාව් කුමාරයාට කියලා. මේක නිසා ජහාන්ගීර් තමන්ගේ පුතා ගැන ලොකු සැකයකින් හිටියේ.

පියාට විරුද්ධව සේනා රැස් කරන්න පංජාබ් ප්‍රදේශයට ආපු කුෂ්රාව් කුමාරයාට ගුරු අර්ජන් දේව්ගේ සහයෝගය හිමිවෙනවා. ඒත් අවසානයේදී සිද්ධ වෙන්නේ ලාහෝර් ප්‍රදේශයේ පාලකයා කුෂ්රාව් කුමාරයාට විරුද්ධ වීමත් එක්ක ජහාන්ගීර් අධිරාජයා ලාහෝරවලට ඇවිත් කුෂ්රාව් කුමාරයාව සිරභාරයට ගත්තු වගේම කුෂ්රාව්ට උදව් කරපු අයට දරුණු වධ හිංසා කරලා මරණයට පත් කරපු එක.

 ගුරු අර්ජන් දේව්ව මරා දැමුණු ආකාරය

කුෂ් රාව්ගේ යුධ ව්‍යාපාරයට ගුරු අර්ජන් දේව් ආධාර ලබාදීපු නිසා ඒ වෙනුවෙන් ලක්ෂ දෙකක දඩ මුදලක් ගෙවන්න කියලා ජහාන්ගීර් අධිරාජයා නියම කළත් ඒකට ගුරු අර්ජන් දේව් එකඟ වෙන්නේ නැහැ. මේ නිසා 1606 මැයි 30 වෙනිදා ලාහෝරයේදී ගුරු අර්ජන් දේව්ව ජහන්ගීර් අධිරාජයාගේ අණින් රත් කරපු ලෝහ තැටියක් උඩ වාඩි කරවලා මරා දමනවා.

ගුරු අර්ජන් දේව්ව දරුණු වධ හිංසා කරලා මරා දැමීමත් එක්ක සාමකාමී පිරිසක් වුණු සීක්වරු යුධකාමී පිරිසක් බවට පත්වෙන්න හේතු වෙනවා. ඒ සඳහා කටයුතු සූදානම් කරන්නේ ගුරු අර්ජන් දේව්ගේ එකම පුත්‍රයා වුණු ඒ වගේම මීළඟ ගුරු වුණු ගුරු හර්ගෝබින්ද්.

ඒ කතාව අපි ඊළඟට කියවමු.......