ලංකා වංසකතා සාහිත්‍යය ඇතුළේ අපිට මුලින්ම හමුවන වීර කාන්තාව වෙන්නේ විහාර මහා දේවිය. දියණියක්, බිරිඳක්, මවක් වගේම යුද උපදේශකවරියක් විදිහට එතුමිය අනභිභවනීය කාර්යයක් කරපු බව අවිවාදිතයි.
විහාර මහා දේවිය සම්බන්ධව කතා කරද්දී එතුමිය උපත ලබපු කල්‍යාණි ප්‍රදේශය එහෙමත් නැත්නම් කැලණිය සම්බන්ධව මුලින්ම කතා කරන්න ඕනේ.
දෙවනපෑතිස් රජතුමා අනුරාධපුරයේ රාජ්‍ය කරන කාලයේදී රජතුමාගේ සොයුරෙක් වුණු උත්තිය කුමාරයා කැලණි ප්‍රදේශය ආශ්‍රිතව ප්‍රාදේශීය පාලනය ගෙන යනවා. තමන්ගේ වැඩිමහල් සොයුරාගේ ඇවෑමෙන් සිහසුනට පත්වෙන්න උත්තිය කුමාරයා අනුරාධපුරය බලා පිටත් වෙද්දී තමන්ගේ පුත්‍රයා වුණු ශිවට කැලණියේ පාලනය භාර කරලා යන්නේ.
ශිවගේ පුතුන් දෙදෙනා තමා තිස්ස සහ උත්තිය. ශිව ඔවුන්ට නම් තබද්දී තමන්ගේ පියාගේ වැඩිමහල් සොයුරා වුණු දේවානම්පියතිස්සගේ නම වැඩිමහල් පුත්‍රයාටත් බාල පුත්‍රයාට තමන්ගේ පියා වුණු උත්තියගේ නමත් තබනවා.
පසුකාලීනව ශිවගේ ඇවෑමෙන් කැලණියේ පාලකයා වෙන තිස්ස රජතුමාව කැලණිතිස්ස නමින් හඳුන්වනවා. කැලණිතිස්සගේ බිසව එක්ක කැලණිතිස්සගේ සහෝදරයා වුණු උත්තිය අනියම් සම්බන්ධතාවයක් පවත්වනවා. මේ ගැන කැලණිතිස්ස දැනගත්තාට පසුව උත්තිය කැලණියෙන් පලා යනවා.
සැඟවිලා ඉන්න උත්තිය කැලණිතිස්සගේ බිසවට රහසේම ලියුමක් යවන්න කල්පනා කරලා මහණ වෙස් ගත්ත කෙනෙක් අතේ ලියුමක් කැලණියට එවනවා. මේ මහණ වෙස් ගත්තු මනුස්සයා රජ මාළිගාව ඇතුළට යන විදිහක් කල්පනා කර කර ඉද්දී දැක්කා රජ මාළිගාවට හැමදාම දානය පිණිස රහතන් වහන්සේ නමක් වඩින බව.
ඉතින් මේ මහණ වෙස් ගත්තු මනුස්සයාත් රහතන් වහන්සේ නමත් එක්ක රජ මාළිගාවට ගිහින් දන් වළදලා මාළිගාවෙන් පිටත් වෙද්දී උත්තිය කුමාරයා එවපු ලියුම රජ බිසවට පේන්න බිම දමනවා. ඒත් ලියුම වැටෙන සද්දෙත් එක්ක කැලණිතිස්ස රජතුමා ඒක දැකලා ලියුම රහතන් වහන්සේ අරන් ආවා කියලා සැක කරනවා. තමන්ගේ සතුරා එක්ක සම්බන්ධතා පවත්වන රහතන් වහන්සේව උණු තෙල් කටාරමක දමලා මරා දාන්න රජතුමා නියම කරනවා.
ඒත් රහතන් වහන්සේ නමක් මරාදැමීමේ ආනන්තරිය පාප කර්මය රජතුමා සිදු කිරීමත් එක්ක රජතුමා ගැන කෝපවුණු ප්‍රදේශයට අධිපති දෙවිවරුන් මුහුද ගොඩ ගලන්නට සලස්වනවා. මේ අවස්ථාවේදී නිමිති දන්න අය කියන්නේ මුහුද ගොඩගැලීම වළක්වන්න නම් රජ පවුලේ අයෙක්ව මුහුදට බිලි කරන්න ඕනේ කියලා.
මේ අවස්ථාවේදී තමා අපේ කතා නායිකාව කරළියට එන්නේ.
කැලණිතිස්ස රජතුමාගේ දියණිය වුණු ඒ වෙන කොට ළමා වියේ පසුවුණු දේවී කුමරිය තමන්ගේ රාජ්‍යය වගේම රට වැසියන්ව බේරා ගැනීමේ උදාර අරමුණින් පිය රජතුමාගේ අකමැත්ත මත වුණත් මුහුදට බිලිවෙන්න ඉදිරිපත් වෙනවා.
කැලණිතිස්ස රජතුමා රන්මුවා හැලියක් කරවලා ඒකට කුමරියව නංවලා මුහුදේ පා කර හරිනවා. ඒ වගේමයි මේ සැළියේ ඉන්නේ කැලණිතිස්ස රජතුමාගේ දුව කියලා සඳහන් කරන්නත් කැලණිතිස්ස රජතුමා අමතක කරන්නේ නැහැ. තමන්ගේ දුවව මුහුදේ පා කරලා යවනවා බලන්න ආපු කැලණිතිස්ස රජතුමා පොළොව පලාගෙන අවීචි මහා නරකාදියට ගියා කියලා තමා කියවෙන්නේ.
රන් සැළිය පාවෙලා රෝහණයේ තෝලක කියන විහාරය අසළට ගොඩ ගසනවා. මේ ගැන දැනගත්තු මාගම පාලකයා වුණු කාවන්තිස්ස රජතුමා එතැනට ඇවිත් දේවී කුමරියව රජ මාළිගයට අරගෙන ගිහින් පෝෂණය කරලා යොවුන් වියට පත්වුණාම තමන්ගේ අග මෙහෙසිය විදිහට සරණ පාවා ගන්නවා.[මේ තෝලක විහාරය පොතුවිල් ප්‍රදේශයේ තියෙන මුහුදු මහා විහාරය කියලා වගේම කිරින්දේ තිබෙන කිරින්ද විහාරය කියලාත් මත පවතිනවා]
විහාරයක් අසළට මුලින්ම ගොඩබැස්ස නිසා දේවී කුමරියව එතැන් පටන් හඳුන්වන්නේ "විහාර දේවී" කියලා. මේ විවාහය තවත් අතකින් වැදගත් වෙන්නේ නැවත වරක් අනුරාධපුර රජ පවුලේ කොටස් දෙකක එකතුවක් මේකෙන් සිදුවුණු නිසා.
මේ සටහනෙන් ඒක පැහැදිලි වේවි.

කාවන්තිස්ස රජතුමා අග බිසව විදිහට විහාර මහා දේවියත් රජතුමා එක්ක එකතු වෙලා පින්කම් රැසක් කරපු බව වංසකතාවල කියවෙනවා.
එක දවසක් දේවිය කරපු පින්කමකට අනුශාසනා කරන මහ රහතන් වහන්සේ නමක් දේවියගේ මේ භවයේ ලබපු සම්පත් පෙර කරපු පින් නිසා ලබපු බවත් මතු භවයේදීත් එවැනි සම්පත් ලබන්න තවත් පින්කම් කළ යුතු බවත් පවසමින් අනුශාසනා කරද්දී විහාර මහා දේවිය තමන්ගේ හිතේ තියෙන කණස්සල්ල ප්‍රකාශ කරනවා. තමන්ට කොපමණ සම්පත් තිබුණත් දරු සම්පත් නැති නිසා මේ සම්පත්වලින් ඵලක් නැහැ කියලා දේවිය කියනවා.
මේ අවස්ථාවේදී මහ රහතන් වහන්සේ දේවියට උපදෙස් දෙනවා බොහෝම රෝගාතුරව මරණාසන්නව ඉන්න සාමණේර නමක් විහාරයේ වැඩ ඉන්නවා උන්වහන්සේගෙන් තමන්ගේ පුත්‍රයා විදිහට උපදින්න කියලා ඉල්ලීමක් කරන්න කියලා.
නමුත් සාමණේරයන්ගේ බලාපොරොත්තුව වුණේ දිව්‍ය ලෝකයේ උපත ලබන්න. කොහොම වෙතත් තමන්ගේ පුත්‍රයා විදිහට ඉපදිලා සම්බුද්ධ ශාසනයට විශාල මෙහෙවරක් කරන්න පුලුවන් කියලා විහාර මහා දේවිය සාමණේරයන්ට ඒත්තු ගන්වන නිසා අවසානයේදී උන්වහන්සේ දේවියගේ ඉල්ලීමට එකඟ වෙනවා. දේවියත් සාමණේරයන් වහන්සේට උපස්ථාන කරලා නැවතත් මාළිගාව බලා පිටත් වෙනවා.
විහාර මහා දේවිය මාළිගාව බලා පිටත් වෙන අතරතුරේදී සාමණේරයන් වහන්සේ අපවත් වෙලා දේවියගේ කුසේ පිළිසිඳ ගන්නවා. ඒක දේවියට වැටහෙන්නේ තමන් ගමන් කරමින් සිටිය කරත්තයේ රෝද මහ පොළොවේ එක්වරම එරී ගිය නිසා. ඒ නිසා විහාර මහා දේවිය ආපසු විහාරයට පැමිණිලා සාමණේරයන්ගේ ආදාහනය මැනවින් සිදු කරලා නැවතත් මාළිගාව බලා පිටත් වෙනවා.
කාලය මෙහෙම ගත වෙද්දී විහාර මහා දේවියට දොළ දුකක් උපදිනවා. ඒ තමා අලංකාර යහනක වැතිරිලා ඉස්බක් පමණ [මේක රියන් 60 ක් කියලත් සමහර පොත්වල තියෙනවා] විශාල වෙන මී වදයක් තමන්ගේ ඉදිරිපිට තබාගෙන 12000 ක් මහා සංඝයාට ඒ මී වද පිළිගන්වලා ඉතිරිය තමන් අනුභව කරන එක.
ඒ වගේමයි අනුරාධපුරය පාලනය කරපු එළාර රජතුමාගේ ප්‍රධාන යෝධයාගේ හිස සින්ද කඩුව සෝදපු වතුර ඒ හිස මත ඉදගෙන බොන්නත් අනුරාධපුර නෙළුම් කෙතෙන් අරගෙන ආපු නෙළුම් මල්වලින් මල් දමක් කරලා පළඳින්නත් දේවියට දොළක් ඇතිවුණා.
කාවන්තිස්ස රජතුමා මේ දොළ දුකේ අර්ථය මොකක්ද කියලා නිමිති දන්න අයගෙන් විමසුවාම එයාලා කිව්වේ දේවියගේ දොළ සංසිදෙව්වොත් දේවියට ලැබෙන පුත්‍රයා ලංකාවට සතුරු වෙන දෙමළුන් විනාශ කරලා ලංකාව එක්සේසත් කරලා සම්බුද්ධ ශාසනය බබළවනවා කියලා. ඉතින් රජතුමාත් මේක අහලා සතුටු වෙනවා.
ඉස්බක් පමණ විශාල වෙන මී වදය සොයා ගත්තු ආකාරය ගැනත් රසවත් කතාවක් තියෙනවා. රජතුමා මේ ගැන කියලා අණ බෙරයක් යැව්වාට පස්සේ ඒක අහපු වෙරළාසන්න ජනපදයක හිටිය අන්ධ වගේම කොර මනුස්සයෙක් තමන්ගේ දරුවන්ට කිව්වා එක ස්ථානයක තිබුණු මී ගසක මල් පිපුණාම තමන්ට කියන්න කියලා. මී ගහේ මල් පිපුණු බව දැනගත්තාට පස්සේ තමන්ගේ දරුවන් ලවා ඒ ගහේ අත්තක අට්ටාලයක් බැඳ ගෙන ඒ මනුස්සයා මී මැස්සන්ගේ කතා බහට කන්දී ගෙන හිටියා.
දවසක් මී ගහෙන් රොන් ගන්න ආපු කණ මී මැස්සියක සහ තවත් මී මැස්සියක් අතර වුණු රණ්ඩුවේදී මේ මනුස්සයාට ඇහුණා මී මැස්සියෝ දෙන්නා පුරාජේරුවක් කියවද්දී උණ පඳුරක පුරුක් නැති උස බටයක මුල ඉදන් අග දක්වාම මී වදයක් තියෙන බවත් ඒ වගේම වෙරළාසන්නයේ තියෙන රියන් 100 ක් පමණ වෙන ඔරු කඳක ඉස්බක් පමණ වෙන මී වදයක් තියෙන කියන එක.
තමන්ගේ දරුවෝත් එක්ක උණ පඳුර සොයාගෙන එතැන තිබුණු උණ බටයක අර කිව්ව විදිහටම මී වදයක් තිබුණු නිසා ඒ මනුස්සයා වෙරළාසන්නයේ ඔරු කඳක තිබෙන මී වදය ගැන කාවන්තිස්ස රජතුමාව දැනුවත් කරනවා. ඒ ආකාරයෙන් මුල්ම දොළ දුක සංසිදවන්න රජතුමාට පුලුවන් වෙනවා.
ඊළඟ දොළ දුක සංසිදවන කාර්යය භාරගන්නේ රජතුමාගේ හිටිය ජ්‍යෙෂ්ඨතම සෙනෙවියා වුණු වේළුසුමන යෝධයා. වේළුසුමන වෙස් වලාගෙන අනුරාධපුරයට ගිහින් එළාර රජතුමාගේ අස්හලේ සේවයට එකතු වෙනවා. ඒ අස්හලේ ප්‍රධාන අස්ගොව්වාත් එක්ක මිත්‍ර වුණු වේළුසුමන වේගවත්ම අශ්වයාවත් හඳුනා ගන්නවා.
දවසක් අනුරාධපුර නෙළුම් කෙතට ගිහින් නෙළුම් මල් මිටියක් නෙලාගෙන රහසිගත ස්ථානයක හංගලා වේගවත්ම අශ්වයා පිටේ නැගලා මම කාවන්තිස්ස රජතුමාගේ ඇමති වේළුසුමන කියලා උස් හඬින් කෑ ගහලා අශ්වයා පිටේ යද්දී එළාර රජතුමාගේ ප්‍රධාන යෝධයා වුණු නන්දසාරථී තවත් වේගවත් අශ්වයෙක්ගේ පිටේ නැගලා හඹාගෙන එනවා. කැළෑවක හැංගුණ වේළුසුමන එතැනින් යන නන්දසාරථීගේ බෙල්ල කඩුවෙන් කපාගෙන ඒ සියලු දේම අරගෙන හවස් වෙද්දී මාගමට පැමිණෙනවා. ඒ ආකාරයෙන් දේවියගේ අනික් දොළ දුක් සංසිදවන්න පුලුවන් වෙනවා.
නිසි කාලය ගෙවුණාට පස්සේ විහාර මහා දේවිය පින්වත් කුමාරයෙක් බිහි කරනවා. එදාම ආශ්චර්යමත් සිද්ධි කීපයක් සිදුවුණු බව කියවෙනවා. එකක් තමා ඡද්දන්ත කියන උසස් කුලයේ ඇතින්නක් ඇත් පැටියෙක් රෝහණ ජනපදයේදී බිහි කරලා ආපසු ඡද්දන්ත විලටම යන එක. කණ්ඩුල කියන වැද්දා මේ ගැන කාවන්තිස්ස රජතුමාට දැනම් දෙනවා. රජතුමාත් සතුටු වෙලා වැද්දාගේ නමෙන්ම ඇත් පැටියාව නම් කරලා රජ මාළිගාවේ ඇති දැඩි කරනවා. ඒ වගේමයි සත් රුවනින් පිරුණු නැව් හතකුත් රෝහණයට එදාම පැමිණෙනවා.
මේ ආකාරයෙන් සුභ නිමිති කීපයක්ම කුමාරයා උපන් දවසේ සිදුවෙනවා. කුමාරයාට නම් තබන දවසේ තමන්ගේ තාත්තාගේ නම වුණු "අභය" කොටසත් මාගම තමන්ගේ නායකත්වයේ පැවතීම සංකේතවත් කරන "ගාමණී" කොටසත් එකතු කරලා කුමාරයාට "ගාමණී අභය" නමින් නම් තබනවා.
ඉන්පසුව නැවතත් විහාර මහා දේවිය ගැබ් ගන්නවා. ඒ අවස්ථාවේ දේවියට හොඳින් මල් පිපුණු සපු ගසක් ගාව අලංකාර යහනක වැතිරිලා මල් සුවඳ විඳින්න දොළ දුක ඇතිවෙනවා. රජතුමා ඒකත් සපුරනවා. නිසි කාලය ගතවුණාට පස්සේ තවත් පුත්‍රයෙක් ඉපදෙනවා. ඒ කුමාරයාට තිස්ස නමින් නම් තබනවා.
කුමාරවරු දෙන්නා නිසි වයසට ආපුවාම කාවන්තිස්ස රජතුමා සහ විහාර මහා දේවිය බත් කැවීමේ මංගල්‍යයක් මහා සංඝයාගේ සහභාගීත්වයෙන් පවත්වනවා. දරුවන්ගේ කාර්යයන් මනාව ඉටු කරන, දරුවන් ගැන සම මෙත් සිතින් බලන මවගේ භූමිකාව විහාර මහා දේවිය තුළින් පිළිබිඹු වෙන්නේ මේ සිද්ධියත් සමඟම ඉදිරියට සිදුවුණු සිද්ධීන් ගැන විමසිල්ලෙන් බලද්දී.
තමන්ගේ දරුවන් දෙදෙනාගේ වයස අවුරුදු 10 ක් 12 ක් පමණ වෙද්දී දවසක් රජතුමා දරුවන් දෙදෙනාගේ සිතැඟියාවන් පරීක්ෂා කරලා බලන්න බත් කැවීමක් සිද්ධ කරනවා. පළමුවෙන්ම මහා සංඝයාට කිරිබත් පූජා කරලා සංඝයා ඉඳුල්කරපු කිරිබත් තමා රජතුමා දරුවන්ට කවන්නේ. මුලින්ම සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරනවා කියන පොරොන්දුවට කිරිබත් පිඬක් දෙදෙනාටම කවනවා. ඊළඟට සහෝදරයන් දෙන්නා සමඟියෙන් කටයුතු කරනවා කියන පොරොන්දුවට තවත් කිරිබත් පිඬක් කවනවා.
අවසාන වශයෙන් දෙමළුන් එක්ක යුද්ධ නොකරන පොරාන්දුවට කිරිබත් පිඬක් කවන්න රජතුමා උත්සහ කළාම ගැමුණු කුමාරයා කේන්තියෙන් කිරිබත් පිඬ පොළොවේ ගහලා තමන්ගේ කාමරයට ගිහින් අත් පා අකුළාගෙන ඇඳේ ඉන්නවා. මේ වෙලාවේ විහාර මහා දේවිය ඇවිත් පුත්‍රයා ඉන්න විදිහ දැකලා අහනව.
අත පය දිග හැරගෙන සුවසේ නිදාගන්න පුලූවන්කම තියෙද්දී අත් පය අකුලාගෙන ඉන්නේ කුමාරයා පිළිතුරු දෙනවා "උතුරින් හැඩි දෙමළු දකුණින් ගොළු මුහුද මම කොහොමද සුවසේ අත පය දිග හැරගෙන නිදා ගන්නේ" කියලා.
කුමාරයාගේ මේ ප්‍රකාශයත් එක්කම විහාර මහා දේවිය වගේම කාවන්තිස්ස රජතුමාත් තේරුම් ගන්නවා ලංකාව දමිළයන්ගේ ග්‍රහණයෙන් මුදාගන්න කුමාරයාගේ තියෙන ඒකායන අරමුණ ගැන.
ඒ කාලේ වෙද්දී කාවන්තිස්ස රජතුමාත් මහා යුද ප්‍රයාණයකට කටයුතු සූදානම් කරමින් හිටියේ දස මහා යෝධයන් එකතු කිරීමත් එයාලා එක එක්කෙනා ලවා තවත් දස දෙනෙකුත් ඒ ඒ දස දෙනාගෙන් එක් කෙනෙක් තවත් දස දෙනෙක් එකතු කිරීම වගේ ක්‍රමවලින් රජතුමා විශාල සේනාවක් නිර්මාණ කරලා යුද පුහුණුව ලබාදුන්නා.
ඒත් ගැමුණු කුමාරයාගේ තියෙන ඉක්මන්කම නිසා පිය රජතුමාත් එකක් ගැටුමක් ඇති කරගෙන පියා පිරිමියෙක් නෙමේ ස්ත්‍රියක් කියලා ස්ත්‍රී පළඳනා යැවීමත් එකක් ඒ තත්වය උත්සන්න වෙලා ගැමුණු කුමාරයා මලය දේශයට පැනලා යනවා. මේ කාලය තුළත් රජතුමා සමීපයෙන් විහාර මහා දේවිය ඉන්නවා. ස්වාමියාට ලෙංගතු, පක්ෂපාතී බිරිඳකගේ භූමිකාවයි මේ කාල සීමාව තුළ වැඩි වශයෙන් එතුමියගෙන් දැකගන්න පුලුවන් වෙන්නේ.
කාවන්තිස්ස රජතුමාගේ අභාවයෙන් පස්සේ ගැමුණු කුමාරයාව රජ කරවන්න ඇමතිවරු කටයුතු කළත් විහාර මහ දේවිය සහ කණ්ඩුල ඇතාව තිස්ස කුමාරයා තමන් වාසය කරපු දීඝවාපි ප්‍රදේශයට අරගෙන ගිහින් හිටියේ. ගැමුණු රජතුමා එයාලාව තමන් ගාවට එවන්න කියලා කරපු ඉල්ලීම තිස්ස කුමාරයා ප්‍රතික්ෂේප කරපු නිසා සහෝදරයෝ අතර යුද්ධයක් ඇතිවෙනවා.
මේ යුද්ධයට දස මහා යෝධයන් සම්බන්ධ වෙන්නේ නැත්තේ කාවන්තිස්ස රජතුමා මියයන්න කලින් සහෝදරයන් අතර යුද්ධයක් ඇති වුණත් ඒකට සම්බන්ධ වෙන්නේ නැහැ කියන පොරොන්දුව දස මහා යෝධයන්ගෙන් ලබාගත්තු නිසා.
අවසානයේදී ගැමුණු කුමාරයා යුද්ධය ජයගන්නවා. තිස්ස කුමාරයා විහාරයකට පැනලා ගිහින් ජීවිතය ගලවා ගන්නවා. පස්සේ දීඝවාපියේ ඉදන් විහාර මහා දේවියත් කණ්ඩුල ඇතාවත් මාගමට ආපහු අරගෙන ඇවිත් ගැමුණු කුමාරයා රාජ්‍යත්වයට පත්වෙනවා. පස්සේ ගෝධගත්තතිස්ස හාමුදුරුවන්ගේ මැදිහත් වීමෙන් සහෝදරයෝ දෙන්නා නැවතත් සමඟි වෙලා කටයුතු කරනවා.
එළාර එක්ක යුද්ධයට භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛව තබාගෙන දුටුගැමුණු රජතුමා රජරට බලා පිටත් වෙද්දී විහාර මහා දේවියත් ඒ පිරිසේ ගමන් කරනවා.
මේ යුද්ධයේදී අවසානයට අනුරාධපුරය ආසන්නයේ වුණු සටනේදී විහාර මහා දේවියගේ යුධ උපායශීලීත්වය මනාව පෙන්නුම් කෙරෙන්නේ දුටුගැමුණු රජතුමාගේ රූපය දැවයෙන් කරපු පිළිම තියෙන ව්‍යාජ බලකොටු 31 ක් නිර්මාණය කිරීමටක් 32 වෙන බලකොටුවේ රජතුමා ඇතුළු පිරිස සැබවින්ම සිටීමත් උපදෙස් ලබාදීම තුළින්.
එළාරගේ දීඝජන්තු කියන මහා යෝධයා බලකොටු එකෙන් එක රජතුමාගේ පිළිම කපමින් ඇවිල්ලා වෙහෙසට පත්වෙලා හිටිය නිසා අවසානයේදී සුරනිමල යෝධයාට පහසුවෙන්ව දීඝජන්තුව මරා දමන්න පුලූවන් වෙනවා. ඊට පස්සේ සිදුවුණු සටන්වලිනුත් පස්සේ සාර්ථකව තමන්ගේ යුධ ප්‍රයාණය අවසන් කරලා ලංකාවම එක්සේසත් කරන්න දුටුගැමුණු රජතුමාට හැකිවෙනවා.
මේ ආකාරයෙන් තමන්ගේ වැඩිමහල් පුතාගේ යුද ප්‍රයාණයට උපදෙස් දීපු විහාර මහා දේවිය සම්බන්ධව එළාර දුටුගැමුණු සටනෙන් පසුව වංසකතා නිහඬ වෙන බවක් පෙනෙන්න තියෙනවා. කොහොමත් දුටුගැමුණු රජතුමාගේ වීරත්වය ඉස්මතු වෙන ආකාරයෙන් රජතුමා සම්බන්ධ පරිච්ඡේද රචනා කරලා තියෙන නිසා විහාර මහා දේවිය සම්බන්ධව යුධ සමයෙන් පස්සේ කතා කරන එක නිෂ්ඵලයි කියලා වංස කතාකරුවා හිතුවා වෙන්න පුලුවන්.
අවසාන වශයෙන් විහාර මහා දේවිය ගැන මහාවංසය කියන්නේ දුටුගැමුණු රජතුමාගේ මරණය ගැන සඳහන් වෙන 32 වෙනි පරිච්ඡේදයේදී. ඒකේ කියවෙන විදිහට දුටුගැමුණු රජතුමා මතු බුදුවන මෛත්‍රී බුදුන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයා වෙනවා. සහෝදර සද්ධාතිස්ස වමත් ශ්‍රාවක වෙනවා. රජතුමාගේ පියා සහ මව වුණු කාවන්තිස්ස රජතුමා සහ විහාර මහා දේවිය මෛත්‍රී බුදුන් වහන්සේගේ පියා සහ මව වෙනවා. රජතුමාගේ පුතා වුණු සාලිය මෛත්‍රී බුදුන් වහන්සේගේ පුත්‍රයා වෙනවා.
ඒ කෙසේ වෙතත් සෙල්ලිපි සාධක සහ සාහිත්‍ය මූලාශ්‍රය කීපයක් පාදක කරගෙන විහාර මහා දේවියගේ අවසානය සම්බන්ධව කිසියම් අනුමානයකට එළඹෙන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ තමා විහාර මහා දේවිය තමන්ගේ ජීවිතයේ අවසන් කාලයේදී භික්ෂුණියක් විදිහට ගත කරන්න ඇති කියලා කෙරෙන අනුමානය. ඒකට පාදක කරගන්න සාධක තමා මේ.
දීපවංසය දක්වන විදිහට කාවන්තිස්ස රජතුමාගේ දියණියන් දෙදෙනෙක් වූ මහිලා සහ සමන්තා භික්ෂුණීන් බවට පත්වෙලා හිටියේ. ඒ හැරෙන්නට කොසවකන්ද සෙල්ලිපිය (Inscriptions of Ceylon-Plate No.193) මේ නිගමනයට පාදක කරගන්නවා. එහි දැක්වෙන්නේ,
"මහරජහ ගමණී අබයහ දෙවනපියශ [ර]මණි බරිය මිලක තිශ විහරෙ කරිතෙ කතිය "
එහි අර්ථය තමා "දෙවියන්ට ප්‍රිය වූ ගාමණී අභය නම් මහරජුගේ රමණීය භාර්යාව වූ කතී විසින් මිලක්ඛ තිස්ස විහාරය කරවන ලදී" කියන එක.
මෙහි දෙවියන්ට ප්‍රිය වූ ගාමණී අභය මහරජු දුටුගැමුණු රජතුමා විදිහටත් කතී දුටුගැමුණු රජතුමාගේ අග මෙහෙසිය විදිහටත් අනුමාන කෙරෙනවා. දුටුගැමුණු රජතුමාගේ මරණයෙන් පසු ඇයත් තමන් විසින්ම කරවපු විහාරයේ පැවිදි වූ බව අනුමාන කෙරෙනවා.
ඒ හැරෙන්නට මිහින්තලයෙන් හමුවූ එකම සටහන දක්වන 14 සහ 15 (Inscriptions of Ceylon-Plate No.14) සෙල්ලිපිත් මේ නිගමනයට පාදක වෙනවා. එහි දැක්වෙන්නේ,
"කණගම ර[ජශ] තිශහ ජිත ශවෙර ශමණිය ලෙණෙ ශගශ"
එහි අර්ථය තමා "කණගම රජු වූ තිස්සගේ දියණිය වූ ශවෙර භික්ෂුණියගේ ලෙන සංඝයාට පූජා කරන ලදී" කියන එක.
එහි දැක්වෙන කණගම කියලා කියන්නේ කල්‍යාණි ප්‍රදේශය බවත් තිස්ස නම් රජතුමා කැලණිතිස්ස බවත් අනුමාන කෙරෙනවා. "ශවෙර" යන පදයෙන් ක්ෂත්‍රීය කුමරිය යන අර්ථය එන බවත් කොටදැමූහෙළින් හමුවෙන ලිපියත් පාදක කරගෙන මේ "ශවෙර" යනුවෙන් හඳුන්වන්නේ විහාර මහා දේවිය බවයි පිළිගැනෙන්නේ.
මේ සියලු සාධකවලින් අනුමාන කරන්න පුලුවන් විශාල යුද ප්‍රයාණයෙන් පසුව ඒ ගැනත් කම්පා වුණු විහාර මහා දේවිය තමන්ගේ ඥාතීන් බොහොමයක් ඒ වනවිටත් පැවිදි බිමට ඇතුලත් වෙලා හිටිය නිසා [විහාර මහා දේවියගේ සහෝදරයා පැවිදි වෙලා චුල්ල පිණ්ඩිපාත තිස්ස තෙරුන් නමින් ප්‍රසිද්ධ වෙලා හිටියේ] ජීවිතයේ අවසන් භාගයේදී ලෝකෝත්තර සුවය සොයන්න පැවිදි වුණු බව. එතුමිය මිහින්තලයේ තිබූ විහාරයේ හෝ තමන්ගේ ලේලිය කරවූ මිලක්ඛ තිස්ස විහාරයේ වැඩ වසන්නට ඇති.
තමන්ගේ රාජ්‍යයේ සුරක්ෂිත බව වෙනුවෙන් තරුණ වියේදීම මුහුදට බිලිවෙමින් පසුව කාවන්තිස්ස රජතුමාග් අග බිසව බවට පත්වෙලා ලංකාව දමිළ ග්‍රහණයෙන් මුදවා ගන්න මූලික වෙන දුටුගැමුණු සහ සද්ධාතිස්ස කුමරුන්ට මෑණියන් වෙලා පස්සේ යුද ප්‍රයාණය සාර්ථකව ඉටු කරගන්න අවශ්‍ය උපදෙස් පවා ලබාදීලා විහාර මහා දේවිය ඉටුකළ මෙහෙය අනභිභවනීයයි.
එසේම එතුමියගේ අවසානය පිළිබඳ කෙරෙන අනුමානයත් එක්ක එතුමිය ලෝකෝත්තර සුවය සොයා යෑම තුළින් ඇගේ ජිවිත කතාව පරමාදර්ශි එකක් බවට පත්වෙනවා.
ලිපිය ලියන්න පාදක කරගත්තේ මහාවංසය, වංසත්ථප්පකාසිනිය, දීපවංසය, රාජාවලිය කියන කෘති කීපය.
ලිපිය ලියන්න පාදක කරගත්තේ මහාවංසය, වංසත්ථප්පකාසිනිය, දීපවංසය, රාජාවලිය කියන කෘති කීපය.
ප.ලි.: ඉතිහාසයේ අප්‍රකට කතා මාලාව දෙවිවරුන් වුණු අයියලා, මල්ලිලා, පුතාලා සහ මුණුබුරන් කියන ලිපියෙන් තාවකාලිකව නතර වුණානේ. මේ ඒකට පොඩ්ඩක් පණ දෙන්න හදපු උත්සාහයක්. මේ ලිපිය අපේ පැත්තේ ප්‍රසිද්ධ බාලිකා පාසලකට ලියලා දෙන්න හැදුව එකක්. බ්ලොග් එකට දාන එකේ වරදක් නැති නිසා තමා මේ විදිහට එකතු කළේ.
ප.ප.ලි.: ටිකක් කාර්යබහුල වීමත් එක්ක මේ සටහනට කලින් ලියපු කෝ සිංදු සංගීතේ විතරද සටහන කට්ටිය එකතු කරපු අදහස්වලට පිළිතුරු අදහස් එකතු කරන්න බැරිවුණා. ඉක්මණින් ඒකටත් කටයුතු කරනවා ඕන් :D
ප.ප.ලි.: ටිකක් කාර්යබහුල වීමත් එක්ක මේ සටහනට කලින් ලියපු කෝ සිංදු සංගීතේ විතරද සටහන කට්ටිය එකතු කරපු අදහස්වලට පිළිතුරු අදහස් එකතු කරන්න බැරිවුණා. ඉක්මණින් ඒකටත් කටයුතු කරනවා ඕන් :D





