Showing posts with label ඇත්තට වුණු විහිළු. Show all posts
Showing posts with label ඇත්තට වුණු විහිළු. Show all posts

Wednesday, July 20, 2016

වීමන් අලියා නිවන් ගියේ ය.......



මේ දිනවල අලි කථා හැම අත ඇසෙන නිසා මේ අලි කථාවත් නොපමාව කිවයුතු බව හැඟේ. එහෙත් ඒ අලි කථා සමග මේ අලි කථාව එතරම්ම අදාළත්වයක් ද නැත. මන්දයත් 'වීමන් අලියා' යනු සැබෑ අලියෙකු නොව යූ.ඇන්.පී. අලියෙකු වීමයි. කැපුවත් කොළ තරමේ යූ.ඇන්.පී. අලියෙකු වූ සියඹලාපේ වීමන් හාමි නෑකමට මාගේ සීයා කෙනෙකු වන්නේ ය. 

ඔහු කෙතරම් උග‍්‍ර යූ.ඇන්.පී. කාරයෙක්ද යන වග කුඩා කල පටන් මා සිතට වැටී තිබුණේ 'ගෝල්ඩන් විලා' නමින් නම් කර තිබූ ඔහුගේ නිවසේ ආලින්දයේ එල්වා තිබූ ඡායාරූප හේතුවෙනි. බුදු සිරිත සිතුවම් කොට තිබෙන සාර්ලිස්ගේ සුප‍්‍රකට සිතුවම් කීපයක් සමග එක පෙළටම වාගේ ආලින්දයේ එල්ලා තිබූ ඡායාරූපයක් වූයේ බත් දුන් පියා වූ ඩඞ්ලි සේනානායක සහ ජේ.ආර්. ජයවර්ධන යන නායකයන් අසුන්ගෙන සිටින වේදිකාවක කෙළවරකට වන්නට සිටි වීමන් හාමි ද අසුවන සේ ගත් ඡායාරූපයකි. 

මේ තරම් උග‍්‍ර යූ.ඇන්.පී. කාරයෙකු වූ 'වීමන් අලියාට' නිවන් යන්නට සිදුවූයේ 1970 දී පැවති මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට ගෙදර යාමට සිදු වූ හෙයිනි. බලවත් සමගි පෙරමුණු ආණ්ඩුවක් පිහිටුවීමට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට හැකි වූ හෙයින් ලත් ජයග‍්‍රහණයෙන් උදම් වූ ගමේ සිරි ලංකාකාරයෝ යූ.ඇන්.පී. කාරයන්ට ද පාඩමක් ඉගැන්වීමට අමතක නොකළහ. 

දික්වෙල හන්දියේ කඩයක බිත්තියේ "වීමන් අලියාට නිවන් සුව ලැබේවා" යනුවෙන් සඳහන් පෝස්ටරයක් ඇලවුණේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. ඉන් නොනැවතුණු සිරි ලංකාකාරයෝ පොත් අතු, කිතුල් අතු ආදිය ද ඒ අසළට ගෙනවිත් දමා තිබුණි. 

මෙය සැලවුණු 'වීමන් අලියා' එවකට තමා සන්තකයේ තිබූ ලයිෂන් තුවක්කුව මෝටර් රථයේ ඉදිරි අසුනේ පෙනෙන්නට දමාගෙන දික්වෙල හන්දියට පැමිණ පෝස්ටරය ඉරා සාක්කුවේ දමාගන්නට නොපසුබට විය. එපමණක් නොව ඒ අසළ ඇති ප‍්‍රධාන නගරය වූ මාවරමංඩියට ද පැමිණ වටයක් ගසා සියඹලාපේ නිවෙසට 'වීමන් අලියා' පැමිණියේ පරාජය මහ කජ්ජක් නොවන බව සිරි ලංකාකරයන්ට පෙන්වමිනි. 

ඉන් පසුවද සුපුරුදු ලෙස පක්ෂයට හිතැතිව කටයුතු කළ 'වීමන් අලියා' බොහෝ යූ.ඇන්.පී. කාරයන් පක්ෂය අමතක කළ මහින්ද රාජපක්ෂ යුගයේ වුව ද පක්ෂය සමග රැඳී සිටියේ ය. දෙවන වරටත් ඔහුට නිවන් සුව පතා දික්වෙල හන්දියේ පෝස්ටරයක් ඇලවුණේ 2003 වසරේ ය. ඒ සැබවින්ම ඔහු මියයාම හේතුවෙනි. 


කැපුවත් කොළ යූ.ඇන්.පී. කාරයෙකු වූ 'වීමන් අලියාට' අවසන් ගෞරව දක්වන්නට යූ.ඇන්.පී. අලි රැළේ මහ අලියා වන රනිල් වික‍්‍රමසිංහ පවා පැමිණියේ බියගම මන්තී‍්‍රවරයා සිටි කාලයේදී 'වීමන් අලියා' හිතවතෙකුව සිටි නිසා ය. රනිල් වික‍්‍රමසිංහ පක්ෂය දමාගිය ද පක්ෂය දමා නොයන කැපුවත් යූ.ඇන්.පී. කාරයන් වන 'වීමන් අලියාගේ' දරුවන් ඇතුළු සියලු ඥාතීන් ඉන් අමන්දානන්දයට පත් වූ වග අමුතුවෙන් කිවයුතු නොවේ. 'වීමන් අලියාගේ' කථාව ලේඛකයාට දැනගන්නට ලැබුණේ ද මේ අතරවාරයේදී ය.

ප.ලි. කලකට පසු නැවතත් ආගිය කතාවකින් ආගිය කතාවට පිවිසීම පිළිබඳ මා හට නිරතුරුව තර්ජන කරමින් වරෙක මරණීය තර්ජන පවා කළ ධනුල මල්ලී ඇතුළු සහෘදයන් අහිතක් සිතතැයි නොසිතමි :D

Wednesday, December 7, 2011

වටුවන්ගේ මොළේට ඕවා තේරෙනවද ?


අපි පොඩි කාලේ කරපු එක එක ජාතියේ වැඩ ගැන දැන් මතක් කරලා බලද්දී සමහර වෙලාවට හිතෙනවා ඒ කාලේ කරපු වැඩ හරි ගොන් කියලා. ඒ වගේමයි දැන් කාලෙත්. තව ටික කාලයක් ගිහින් මේ දවස්වල කරපු වැඩ ගැන මතක් කළොත් ඒත් අපිට හිතෙයි මේ දවස්වල අපි හරි ගොන් වැඩනේ කළේ කියලා :))

ඒ වගේමයි ඒ දවස්වල සමහර දේවල් අහද්දී දකිද්දී හිතුණේ නැති ගැටළු ගොඩක් දැන් අපිට හිතෙනවා.

පුංචි ඇටේ පැළවෙනා - පුංචි පැළේ ගස වෙනා
පුංචි පුංචි නුවණිනා - පුංචි ළමෝ පඬි වෙනා

කියන්නේ ඒක නිසා වෙන්න ඇති :))

මේ ළඟදී දවසක අපේ දහම් පාසලේ 6 ශ්‍රේණියේ පංතියකට මට උගන්වන්න යන්න සිද්ධ වුණා ඒ පංතියට ඒ period එකේ ගුරුවරයෙක් හිටිය නැති නිසා. ඉතින් එදාට කරන්න තිබුණු පාඩම තමා සම්මෝදමාන ජාතකය. ජාතක කතාව කෙටියෙන් කියන්න වෙනවා නොදන්න අයට දැනගන්නත් දන්න අයට මතක් කරගන්නත් අද කියන්න යන කතාවට ඒක ඕන නිසා.

කතාව මෙහෙමයි. වටු කුරුල්ලෝ කණ්ඩායම් කැලෑවේ ජීවත් වුණා. වටු කුරුළු වැද්දෙක් ඇවිත් දැළක් දාලා වටු කුරුල්ලෙක් වගේ කෑ ගහලා වටු කුරුල්ලෝ දැළට වහපුවාම එයාලව අල්ලා ගෙන යනවා. ඒක තමා ඒ මනුස්සයාගේ ජීවිකාව.


හැමදාම වෙන මේ සන්තෑසිය ගැන කල්පනා කරපු බෝසත් වටු කුරුළු නායකයා තමන්ගේ කට්ටියට උපදෙස් දීලා එක දවසක වැද්දා දැළ දාපුවාම ඒක උස්සාගෙන කැලෑවේ ඈතක තිබුණු කටු ලැහැබකට ගිහින් දැම්මා. ඊට පස්සෙත් මේ විදිහට වටු කුරුල්ලෝ ටික සමඟියෙන් කටයුතු කරලා දැළ ඔසවාගෙන යන වැඩේ කළා.

මේ විදිහට වැඩේ යද්දී වැද්දගේ wifeගෙනුත් වැද්දට දෝස් මුරේ හිස් අතින් ගෙදර එනවා කියලා (වෙනසක් නැහැ දැන් කාලේ වගේම තමා :)) ) ඉතින් වැද්දත් බලාගෙන ඉන්නේ වටු කුරුල්ලන්ගේ සමඟිය නැති වෙනකම්.

දවසක් වටු කුරුළු set එකේ වලියක් ගිහින් කට්ටිය රණ්ඩු කරගන්නවා. වටු කුරුළු නායකයා අවවාද කළත් වැඩක් වෙන්නේ නැහැ. පස්සේ එයා තමන් කියන දේ අහපු පිරිසක් එක්ක වෙනත් ස්ථානයකට යනවා. ඊට පස්සේ වැද්දා ඇවිත් දැළ දාපුවාම ඒක උස්සගෙන යන්න කට්ටියගේ සමඟියක් තිබුණේ නැහැ. අනිත් වටු කුරුල්ලෝ ටික වැද්දගේ දැළට අහුවෙලා ජීවිතේ නැති කරගන්නවා. ඉතින් ඕක තමා කතාව.


ඔය කතාව ආයි පාරක් ඇත්තටම අවුරුදු 11 කට පස්සේ ඇහුවාට පස්සේ මට ප්‍රශ්න 2 ක් ආවා. පස්සේ මම ඒ ප්‍රශ්න 2 ළමයින්ගෙනුත් ඇහුවා.

ප්‍රශ්න 2 තමා මේ

වටු කුරුල්ලෙක් වගේ කෑ ගහන්නේ වැද්දා කියලා වටු කුරුල්ලන්ට තේරෙන්නේ නැද්ද ?

අන්තිමට වටු කුරුළු නායකයා තමන්ට හිතවත් අයත් එක්ක වෙන තැනකට ගියානේ. ඉතින් ඒක කලින් කරන්න තිබුණානේ දැල් උස්ස උස්ස ඉන්නේ නැතුව.....

ඔන්න මගේ ප්‍රශ්න 2. ළමයින්ටත් උත්තර නැහැ. අන්තිමටම ඉතින් මට හිතුණු මේක වෙන්න ඇති උත්තරේ කියන එක මම ළමයින්ටත් කිව්වා.

වටුවන්ගේ මොළේට ඕවා තේරෙනවයැ. උන් වටුවොනේ. අපේ මනුස්ස මොළේටනේ ඕවා හිතෙන්නේ

ප.ලි.: මේ උත්තරෙත් හරියට කතන්දර කියපු සරත්චන්ද්‍ර මහත්තයාගේ සිංහයින්ට තේරෙනවද ලොජික් කතාව වගේ තමා :))

අනික තමා මේ ජාතක කතාවල සිද්ධිවල සත්‍ය අසත්‍යතාව හොයනවාට වඩා කරන්න ඕනේ කතාවෙන් කියවෙන ආදර්ශය අපේ ජීවිතයට ගන්න එක....

Thursday, November 17, 2011

කරන්න බැරි නම් වහලා දාන්න



මේ ළඟදී දවසක අපේ ගමේ වයසක මනුස්සයෙක් අන්ත්‍රා වෙලා මායි තව යාලුවෙකුයි ඒ මළ ගෙදර ගියා. මෘත දේහයට ආචාර කරන්න ගේ ඇතුළට ගියාම මියගිය කෙනාගේ බිරිඳත් ඇවිත් අපිව පිළි අරගෙන මියගිය හැටිත් අපිත් එක්ක කතා කළා. පස්සේ ඉතින් අපි දෙන්නා එළියේ තිබුණු hut එකකින් වාඩි වුණා.

මාත් එක්ක ගිය එකා බුලත් විට මරුවා. Man බුලත් විටක් කන්න පටන් ගත්තා. මමත් ඉතින් පොරත් එක්ක chat එක දාගෙන හිටියා. මේ වෙනකොට වෙලාව දවල් 1 ට විතර. හොඳට පායන දාඩිය දාන තිබහ එන වෙලාවනේ. අපි දෙන්නත් බලන් ඉන්නවා දැන් බීම එකක් ගෙනෙයි දැන් බීම එකක් ගෙනෙයි කියලා. කොහෙද ඉතින්

ඔහොම ටික වෙලාවක් යද්දී තව ජෝඩුවක් ආවා මළ ගෙදර. එයාලත් අවසන් ගෞරව එහෙම දක්වලා අපිට ටිකක් ඈතින් තිබුණු පුටුවක වාඩිවෙලා ටික වෙලාවක් ගිය ගමන් ගෙදර කෙනෙක් ඇවිත් බීම දෙකකුත් ඒ ජෝඩුවට දීලා බරටම කදේ.

අපි දෙන්නත් ඇටි කෙහෙල් කාපු උගුඩුවෝ වගේ බලාගෙන ඉන්නවා අපිටත් බීම ලැබෙයි කියලා. අන්තිමට ඉතින් පැය භාගයක් විතර මළ ගෙදර හිටපු අපි දෙන්නා තව ගමනක් යන්න තිබුණු නිසා එන්න ආවා.

එද්දී තමා යාළුවා කිව්වේ "මචං මළ ගෙයක් හරියට කරන්න දන්නේ නැහැ බන් මුන්. මෙහෙම මළ ගෙවල් වහලා දාන්න ඕනේ" කියලා.

ඒකේ නිධාන කතාව තමා එක බේබද්දෙක් රෑ මළ ගේක ගියාලු. සාමාන්‍යයෙන් මළ ගෙවල්වල රෑට කන්නද බොන්නද ඕන එකක් දෙනවනේ නිදි මරන්න එන මිනිස්සුන්ට. කොහොමින් කොහොම හරි මේ බොනපාට්ට මොකුත් ලැබිලා නැහැ.


පොර මල පැනලා ඒ පැත්තේම තියෙන තව මල ගෙදරකට ගියාලු. ඒ මළ ගෙදර නිකම් මඟුල් ගෙදර වගේලු. කන්නද බොන්නද ඕන එකක්ලු. පස්සේ මේ හොඳට බීලා සිගරට් එකකුත් බී ගෙන අර මුලින්ම ගිය මළ ගේ ඉස්සරහට වෙලා මෙහෙම කෑ ගැහුවලු

"අයිසේ මෙන්න මළ ගෙවල් කන්නද බොන්නද ඕන දෙයක්. ඕයි මළ ගෙයක් හරියට කරන්න දන්නේ නැත්නම් වහලා දානවා......." :))

ප.ලි.: කොහොම නමුත් සිංහල මනුස්සයාගේ පාරම්පරික සිරිතක්ලුනේ ආගන්තුක සත්කාරය. ඉතින් කොහොමින් කොහොම හරි අන්තිමට මටයි යාළුවාටයි හුළං. පස්සේ අපි දෙන්නා ඒ හරියේ තිබුණු කඩේකින් තැඹිලි දෙකක් බිව්වා තිබහ යන්නත් එක්ක :))


රාජසිංහ රජ්ජුරුවන්ගේ කාලේ ලංකාවේ හිරගත වෙලා හිටිය ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස් ලංකාවේ මිනිස්සුන්ගේ ආගන්තුක සත්කාර ගැන මෙහෙම කියලා තියෙනවා.

"සිංහලයා ඉතා විනීතය. ආගන්තුක සත්කාරයෙහි තත්පරය. ස්වදේශීන් අහට මෙනම කරුණාවෙන් විදේශීන් හටත් සලකන්නේය"

අරක්කු බොන එක ගැනත් නොක්ස් කියලා තියෙනවා :))

"ජාතියක් වශයෙන් සිංහලයා ඉතා ශිෂ්ට සම්පන්නය. මද්‍යපානය නොබොන්නෝය. සොරකම් පිළිකුල් කරන්නේය. ගෙරිමස මුවෙහි නොතබන්නේය"
කියලා. මේ තත්ව අද කාලෙත් එක්ක සංසන්දනය කරලා බැලුවොත් තමා හොඳ

Thursday, November 10, 2011

වලස්සු තොප්පි දාන්නේ නැහැනේ බන්

අපේ History Special 1st year බැච් එකේ කොල්ලෝ 5 ක් ඉන්නවා. මම, මැදයා, ස්වීටා, නෝබා සහ පැංචා. පැංචා එච්චර අපිත් එක්ක සෙට් වෙන්න, වළ බහින්න එන්නේ නැහැ. Lectures එනවා, Lectures ඉවර වුණාම library යනවා පාඩුවේ තමන්ගේ වැඩ ටික කරගන්නවා. ඒත් අනිත් අපි හතර දෙනා ඉතින් එකටම තමයි.

මේකෙන් සිරාම බුවා නෝබා. නෝබා කියන්නේ card එක. ඇත්තම card එක නෝබට්. කෙටි කරලා තමයි නෝබා කියන්නේ.

-------------------------------------------------------------------------------------------------

අපිත් එක්ක ඉන්න Stat Special කරන පොරක් ඉන්නවා මහේෂ් කියලා. පොරගේ card එක මැකා. මේ අවුරුද්ද පටන් ගත්ත මුලම වගේ මැකා කැම්පස් ආවේ කොණ්ඩේ වවාගෙන. කෙල්ලෝ නම් ඌට කිව්වේ werewolf කියලා :)

දවසක් අපේ History set එක bench එකක වාඩිවෙලා ඉද්දී මැකා පාරේ යනවා.

නෝබා : ඒයි වලස් තොප්පියා (මේ හයියෙන් කෑ ගහන්නේ මැකාට )

මැකා : වලස්සු තොප්පි දාන්නේ නැහැනේ නෝබා ( ඊටත් වඩා හයියෙන් හිනාවෙවී ) :))

-------------------------------------------------------------------------------------------------

මේක වුණේ අපි campus ආපු මුල්ම කාලේ වගේ...........

එකෙක් : මචං උඹේ card එක මොකක්ද ?

නෝබා : නෝබට්

තව එකෙක් : ඇයි බන් උඹට නෝබට් කියන්නේ ?

නෝබා : ඒක තමයි බන්. මට මේ card එක දාපු එකාව අල්ලගන්න තමයි මාත් ඉන්නේ බන් ඌට දෙකක් අනින්න :))

-------------------------------------------------------------------------------------------------


අපේ campus එකේ රාගම තියෙන Medical facultyයෙන් Medical Exhibition එකක් කළානේ. ඒකට යන්න ලොකු උවමනාවක් තිබූණා නෝබට.

නෝබා : මචංලා මොකද කියන්නේ අපි කවද්ද Medical Exhibition එක බලන්න යන්නේ ? සෙනසුරාදා තමයි අන්තිම දවස

ස්වීටා : මට නම් එන්න බැහැ බන්. මට ඕවා තේරෙන්නේ නැහැ

නෝබා : ඔව් ඉතින් උඹට ඕවා තේරෙනවා නම් උඹ මෙතන ඉන්න විදිහක් නැහැනේ. එහෙමනම් උඹත් ඉන්න ඕනේ Medical faculty එකේ Medical student කෙනෙක් විදිහටනේ :))

-------------------------------------------------------------------------------------------------


දවසක් අපිට කලින් batch එකක අක්කා කෙනෙක්ගෙන් past papers වගයක් ලැබුණා. ඒකේ එකක් අතින් ලියපු එකක්. ඒකේ ඊශ්‍රායලය කියන එක ලියලා තිබුණේ ඊස්රායලය කියලා.

නෝබා : ඊශ්‍රායලය කියලා ලියන්න දන්නේ නැහැනේ බන් මුන්. චාටර් ආහ්. ඊශ්‍රායලේ කියලා ලියන්න බැරි නම් පලස්තීනේ කියලා ලියපන්. අල්ලපු රටනේ.

ඒ විදිහටම ස්පාඤ්ඤේ කියලා ලියන්න බැරි නම් පෘතුගාලේ කියලා ලියන්න පුලුවන්නේ :)

නෝබා මෙහෙම කියලා ටික දවසකින් මට ලියාගන්න බැරිවුණු note එකක් ලියාගන්න මම නෝබාගෙන් පොත ඉල්ලා ගත්තා.

නෝබා note එකේ පෘතුගාලේ කියන එක ලියලා තියෙන්නේ මේ විදිහට "පුරුතුගාලය" කියලා :))

-------------------------------------------------------------------------------------------------


History Department එකෙන් Fund Raising Project එකක් විදිහට මේ ළඟදී දවසක කඩයක් කළා. මේ කඩේ බෙලි මල්, අයිස්ක්‍රීම්, අච්චාරු එහෙම තිබුණා.

ඉතින් තම්බපු බෙලිමල් වතුර මුට්ටියෙන් ගන්න හැන්දක් ඕනෙනේ. මේ ගැන ප්‍රශ්න ගොඩක් ආවා කට්ටියට. ප්ලාස්ටික් හැඳිවලට රස්නේ ඔරොත්තු දෙයිද ආදි වශයෙන් එකී මෙකී නොකී ප්‍රශ්න.

පස්සේ මැදයා කිව්වා "ඕකට ටින් එකක් හයියක් පොල්ලක් ගැට ගහලා හැන්දක් හදාගමු. ඒක තමයි සාර්ථක. කෝකටත් පොල්ලට කෝපි ලී තමයි හොඳ" කියලා.

ඊට පස්සේ තව එකෙක් අහනවා "මේ හදිස්සියේ කෝපි ලී හොයන්නේ කොහොමද ? " කියලා.

අපේ නෝබා කියනවා "කෝපි ලී නැත්නම් බෲස් ලී හරි ජෙට් ලී හරි දාපන්. හරි හයියයි" කියලා :))

Saturday, October 1, 2011

පන්සලේ දේවාලයේ සිටි පොළොං පැටියා


මේ මාසේ පවත්වන්නට නියමිත වාර්ෂික කඨින චීවර පූජා පිංකමේ වැඩසටහන මට type කරන්න දෙන්න නායක හාමුදුරුවෝ උදෙන්ම මට එන්න කිව්වා. ඒ වැඩේ ඉවර වෙලා පොඩ්ඩක් පොඩි හාමුදුරුවෝ එක්ක කතා කර කර ඉද්දී තමයි උපාසක අම්මා කෙනෙක් ඇවිත් පොඩි හාමුදුරුවන්ට කිව්වේ දේවාලේ ඇතුළේ නයි පැටියෙක් ඉන්නවා කියලා.

පොඩි හාමුදුරුවෝ මටත් කතා කළා ගිහින් බලන්න. මමත් බය වුණා ඇත්ත කියන්න එපැයි. මීන ලග්නකාරයින්ට මේ සතිය හොඳම නැහැ මොකක් හරි අනතුරක් වෙන්න පුලුවන් කියලා මේ සතිය පටන් ගනිද්දීම මංජුල පීරිස් කියන ජ්‍යොතිෂවේදියා කිව්වලු. ඒක නිසා කෝකටත් පරිස්සම් වෙන්න කියලා අඟහරුවාදා උදේම අපේ Logic Class එකේ මිස් කතා කරලා කිව්වා. ඉතින් මම බය නොවී කොහොමද ? :))

ඒත් ඉතින් හාමුදුරුවොත් එක්ක දේවාලෙට ගිහින් බලද්දී දේවාලේ මුල්ලක පණුවෙක්ට වඩා ප්‍රමාණයෙන් ලොකු එකෙක් ඉන්නවා. මූට තමයි උපාසක අම්මා කිව්වේ නයි පැටියා කියලා. අපිට නම් පෙණුනේ නයි පැටියෙක් වගේ නෙමෙයි.

ටිකක් කොළ පාට පෙනුමකුත් තිබුණු නිසා මූ පොළොං පැටියෙක් වෙන්න ඇති කියලයි පොඩි හාමුදුරුවෝ කිව්වේ. ළඟදී දේවාලේ හරියෙන් පොළොං ගඳකුත් ආවා කියලා එතනට ආපු දායක මහත්තයෙකුත් කිව්වා. ඕන් දැන් මගෙන් අහන්න එපා පොළොං ගඳ මොන වගේද කියලා. මම නම් දන්නේ නැහැ :))

දැන් ඔක්කොම හරිනේ. හඳුනාගැනීමේ පෙරට්ටුව අවසන්. මේ පොළඟෙක් කියලා හුඟාක් ෂුවර්. ඒත් ඉතින් මූව මෙතන තියන්න බැහැනේ. මූව කොහෙට හරි transfer කරන්නත් එපැයි. පන්සලේ ඉන්න පොළඟා කියලා විෂ නැතිවෙන්නේ නැහැනේ. කාටවත් දෂ්ඨ නොකර ඉන්නෙත් නැහැනේ.

ඒකටත් අත තිබ්බේ පොඩි හාමුදුරුවෝ. මූව අල්ලලා දාන්න ජෑම් බෝතලයක් අරන් ආපු පොඩි හාමුදුරුවෝ කෝටු කෑල්ලක් ආධාරයෙන් පොළොං පැටියාව ජෑම් බෝතලයට දමා ගන්න සමත් වුණා. ඒ වෙලේ මටත් පොඩි බණ කතාවක් මතක් වුණා.

ඒක තමා පොඩියි කියලා අවතක්සේරු කරන්න හොඳ නැති දේවල් 4 ක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒවා තමයි රාජ කුමාරයා, සර්ප පැටවා, ගිනි සිළුව, සාමණේර භික්ෂුව.

ඇයි එහෙම කියන්නේ රාජ කුමාරයා පොඩියි කියලා හිතලා අනම් මනම් කළා වගේ නෙමෙයි කුමාරයා රජවුණු කාලෙක හොඳ පෝරියල් එකක් තමා ලැබෙන්නේ. සර්ප පැටවා පොඩි වුණාට විෂයිනේ. දෂ්ට කළොත් වෙන දේ දන්නවානේ.

ගිනි සිළුව පොඩි වුණාට ඒකට පුළුවන් ප්‍රදේශයක්ම පුච්චලා අළු කරලා දාන්න. ඒ වගේමයි සාමණේර භික්ෂුව එහෙමත් නැත්නම් තරුණ භික්ෂුව. සීලාදී ගුණධර්ම වඩාගෙන ඉහළ තත්වයට පත්වෙන්නේත් ඒ භික්ෂූන් වහන්සේමයි.

ඒක නිසා නුවණැති පුද්ගලයෝ මේ කොට්ඨාශ 4 පොඩියි කියලා අවමන් කරන්නේ නැහැ කියලා බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේ දේශනාව දහර සූත්‍රය නමින් හැඳින්වෙන සූත්‍රයේ තමා අන්තර්ගත වෙන්නේ.

මේකට නිදාන කතාව වෙන්නේ බුදුරජාණන් වහන්සේ කෝසල දේශයට වැඩම කළාම කෝසල දේශයේ පාලකයා වුණු පසේනදී කෝසල රජතුමා බුදුරජාණන් වහන්සේ හමුවට ඇවිත් අහනවා "ඔබ වහන්සේ සම්මා සම්බුද්ධත්වයට ස්ථීරව පත්වුණාද" කියලා.

බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා “තමන් වහන්සේ ස්ථීරවම සම්මා සම්බුද්ධත්වයට පත්වුණා" කියලා.

ඒ ප්‍රකාශයත් එක්කම රජතුමා කියනවා "පූර්ණ කස්සප ආදී ෂට් ශාස්තෘවරු වගේ ප්‍රසිද්ධ, පිරිස් බලය වැඩි, බොහෝ දෙනා පිළිගන්න ශාස්තෘවරුන්ගෙන් මම අහද්දී ස්ථීරවම සම්මා සම්බුද්ධත්වයට පත්වුණාද කියලා ඔවුන් පවා ස්ථීරව ඒකට පිළිතුරක් නොදෙද්දී ඔබ වහන්සේ වගේ උප්පත්තියෙනුත් තරුණ පැවිද්දෙනුත් අලුත් කෙනෙක් කොහොමද ස්ථීරවම සම්මා සම්බුද්ධත්වයට පත්වුණා කියන්නේ" කියලා.

ඒ අවස්ථාවේදී තමා බුදුරජාණන් වහන්සේ රජතුමාට කුඩායි කියලා අවතක්සේරු කරන්න හොඳ නැති කොට්ඨාශ 4 ගැන සඳහන් කරන්නේ. ( දහර සූත්‍රය සිංහලෙන් කියවන්න මෙතන කොටන්න )

පස්සේ ඒ කතාව සවිස්තරාත්මකව එතන රැස්වෙලා හිටිය උපාසක උපාසිකාවන්ට පොඩි හාමුදුරුවෝ කියලා දුන්නා. කොහොමින් කොහොම හරි පොළඟා නිසා වටින බණ පදයකුත් අහගන්න උපාසක පිරිසට පුළුවන් වුණා.

අනික ඉතින් කුඩායි කියලා අවතක්සේරු කරන්න හොඳ නැති සර්ප පැටියා අල්ලන්න ආවෙත් කුඩායි කියලා අවතක්සේරු කරන්න හොඳ නැති පොඩි හාමුදුරුවොනේ. කොහොමද ඒ වැඩේ :))


ඊට පස්සේ පන්සලේ හිටිය අයියා කෙනෙකුයි මායි bike එකෙන් අපේ ගමේ ටිකක් ඈතට වෙන්න තියෙන කැළෑවට ගිහින් බෝතලේ ඇරලා පොළොං පැටියව නිදහස් කරලා ආවා. ගියපාර අල්ලපු දිවියාට වුණු දේ මතකනේ.

කෝකටත් එක පොළොං පැටියෙක් හිටියා කියන්නේ තව පොළොං පැටව් ඉන්න පුළුවන් ඒ වගේම මහ පොළඟෙක් ඉන්නත් එපැයි. ඒක නිසා හාමුදුරුවන්ටත් පරිස්සම් වෙන්න කියලා තමයි උපාසක උපාසිකාවෝ කිව්වේ.

පන්සලේ වැඩ වාසය කරන අනික් පොඩි හාමුදුරුවෝ පස්සේ මට කියනවා "හසිත අපිට පන්සලේ නම වෙනස් කරන්න වෙනවා" කියලා.

මම ඇහුවා "මොකද හාමුදුරුවනේ" කියලා.

පස්සේ පොඩි හාමුදුරුවෝ කියනවා. "අපේ පන්සලේ නම නාගවනාරාමය වුණාට ඉන්නේ පොළොංඟුනේ. ඒක නිසා අපි පොළොංවනාරාමය කියමු" කියලා :))

අපේ පන්සලේ කතා ගොඩක් ඔයාලා අහලා ඇති. ඒක නිසාමයි පන්සලේ කතා කියලා වෙනම category එකකුත් හදලා තියෙන්නේ. එහෙම බලද්දී කතා පන්සල කියලා අපේ පන්සලට කියන්නත් පුලුවන් :))

ප.ලි.: මේ සූත්‍ර දේශනාව ගැන කරුණු කියපු අරියධම්ම පොඩි හාමුදුරුවන්ටත් මේ සූත්‍රය ත්‍රිපිටකය සිංහලෙන් අඩවියට ලියා තිබූ සජීව ශාලුක වෙළෙඳගොඩ අයියාටත් පින්

Friday, September 16, 2011

සඟ රස බස් - 3



සඟ රස බස් කියලා මම කතා දෙකක් ලිව්වා කාලෙකට ඉස්සර. ඒවා ඉතින් උපුටා ගත්තු කතානේ. අද කියන්න යන්නේ මමම අහපු සඟ රස බස් කීපයක්.

මම කාලයක් කඩවත පැත්තේ තිබුණු ඉංග්‍රීසි පංතියකට ගියා. ඒකේ හාමුදුරුවරු දෙනමකුත් හිටියා. Class එක පටන් ගත්තු මුලම දවස්වල වගේ interval එකකදී ආගිය තොරතුරු කතා කර කර ඉද්දී හාමුදුවරුන්ගේ නිකාය මොකක්ද කියන ප්‍රශ්නේ ආවා.

එක හාමුදුරු නමක් කිව්වා තමන් අමරපුර නිකායේ බව.

අනිත් හාමුදුරුවෝ හිනා වෙවී කිව්වා තමන් ඛුද්දක නිකායේ කියලා.

ඒක කියපු විදිහට අපි කීප දෙනාටත් හිනාගියා.

අනිත් හාමුදුරුවෝ ඇහුවා "මොකක්ද හාමුදුරුවනේ ඒ නිකාය. ලංකාවේ තියෙන්නේ අමරපුර, සියම්, රාමඤ්ඤ කියන නිකාය තුන විතරනේ" කියලා.

පස්සේ ඛුද්දක නිකායේ හාමුදුරුවෝ තමන්ගේ නිකාය ගැන විස්තරේ කළේ මෙන්න මෙහෙමයි."පළවෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ බුද්ධ ධර්මේ නිකාය 4 කට බෙදුවනේ දීඝ නිකාය, අංගුත්තර නිකාය, සංයුක්ත නිකාය, මජ්ඣිම නිකාය කියලා. ඒවාට දාන්න බැරි ඉතුරු වුණු ජාතක කතා පාලිය, ධම්මපදේ, ථේර ථේරී අපදානේ වගේ ඒවා දැම්මේ ඛුද්දක නිකායටනේ.

ඒ වගේ මම ඉන්න පන්සලෙත් හැම නිකායේම වගේ හාමුදුරුවරු ඉන්නවා. ඒ නිසා අපි එකතු වෙලා අළුත් නිකායක් හදාගත්තා ඛුද්දක නිකාය කියලා :))

-----------------------------------------------------------------------------------------------

මෙන්න අනිත් කතාව. අපේ පන්සලේ දාන ශාලාවේ ඔරලෝසුව දැන් කාලයක් තිස්සේ ඉදන් වැඩ කරන්නේ නැහැ. කවුරුත් බැටරියක් දාන පාටකුත් නැහැ.

මම දවසක් ඕක පොඩි හාමුදුරුවන්ගෙන් අහපුවාම පොඩි හාමුදුරුවෝ කියනවා "හසිත අයියා දැක්කද ඔරලෝසුව නතර වෙලා තියෙන්නේ කීයටද කියලා මම බලලා කිව්වා 11.25 ට.

එතකොට හසිත අයියේ ඕන වෙලාවක අපිට දාන ශාලාවට ඇවිත් දානේ ගන්න පුලුවන්නේ. 11.30 කලින්නේ දානේ ගන්න ඕනේ. එතකොට කැපයි. අපි විද්‍යානුකූලව හිතලයි එහෙම කරලා තියෙන්නේ "
කියලා

-------------------------------------------------------------------------------------------------

අපේ දහම් පාසලේ පහුගිය අවුරුද්දේ තිබුණු ත්‍යාග ප්‍රදානෝත්සවේ කතාවක් මම මීට කලිනුත් කිව්වා මතක ඇතිනේ. ඉතින් මේකත් ඒ උත්සවේදීම සිදුවුණු සිද්ධියක්.

උත්සවේ ආරම්භ වෙන්න කලින් ධජ එසවීමක් තිබුණා. ඒකෙදී ජාතික කොඩිය ඔසවන්න අපේ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති හාමුදුරුවන්ටත් බෞද්ධ කොඩිය ඔසවන්න ලේඛකාධිකාරී හාමුදුරුවන්ටත් භාරවෙලා තිබුණේ.

ඉතින් සම්භාවනීය අමුත්තෝ ඔක්කොම වට කරගෙන ඉද්දී සභාපති හාමුදුරුවොයි, ලේකම් හාමුදුරුවොයි ධජ ඔසවන්න පටන් ගත්තා. සභාපති හාමුදුරුවෝ ජාතික කොඩිය ඔසවලා ලණුව කොඩි ගහේ ගැටගහන්න ගත්තා විතරයි කොඩිය කඩාගෙන බිමට වැටුණා.

හාමුදුරුවෝ හයියෙන් ඇද්ද නිසා නම් නෙමෙයි ඕක වුණේ. මම හිතන විදිහට අපේ දහම් පාසලේ අප්පුහාමිලා ගහපු බුලක් නිසා තමයි ඕක වුණේ :)

කොහොම හරි ලේකම් හාමුදුරුවෝ පරිස්සමට බෞද්ධ කොඩිය එසෙව්වා. අන්තිමට ජාතික කොඩිය නැතත් ජාතික ගීය ගායනා කරලා අමුත්තෝ උත්සව ශාලාවට පිටත් වුණා. නායක හාමුදුරුවරු උත්සව ශාලාවට වඩින ගමන් ලේකම් හාමුදුරුවෝ ඔක්කෝටම ඇහෙන්න හයියෙන් කිව්වා.


"අපේ සභාපති හාමුදුරුවොත් වාරියපොළ සුමංගල හාමුදුරුවෝ වගේනේ. සුමංගල හාමුදුරුවෝ ඉංග්‍රීසි කොඩිය කඩලා ගත්තා වගේ සභාපති හාමුදුරුවොත් සිංහ කොඩිය හයියෙන් ඇදලා කඩලම දැම්මා නේද ?" :))

------------------------------------------------------------------------------------------------

සම්බුද්ධත්ව ජයන්තිය තිබුණනේ. හැම පන්සලේම හරි හරියට පින්කම් කළානේ. අපේ පන්සලෙත් සතියෙම පින්කම් තිබුණා.

නායක හාමුදුරුවන්ටත් බරටම වැඩ. වෙසක් පෝය දවසේ උදේ ඉදන් පන්සලේ වැඩ බලන ගමන් ධර්ම දේශනා කීපයකටත් වඩින්න වුණා. හවස භක්ති ගීතයක් තිබුණා.

ඒකෙත් වැඩ බලන්න ආපු ගමන් නායක හාමුදුරුවෝ හොඳටම මහන්සි පිට මට කියනවා "බලනවා හසිත මේ දවස් ටිකේම එක දිගටම පින්කම්, බණ, පිරිත්. හරියට නිදාගන්නවත් වුණේ නැහැනේ. අනේ ඇත්තටම සිදුහත් බෝසතාණන් වහන්සෙත් බුදු වුණානේ" කියලා

------------------------------------------------------------------------------------------------

මේ කතා දෙක නම් කට්ටිය දන්නවත් ඇති. දවසක් හවස පන්සල් ආපු උපාසක අම්මා කෙනෙක් පොඩි හාමුදුරුවෝ ගැන චෝදනාවක් නායක හාමුදුරුවන්ට කරන්න ගත්තා.


"බලන්න නායක හාමුදුරුවනේ පොඩි හාමුදුරුවෝ පේර ගහට වඩිනවා, පොකුණට වඩිනවා. එහෙම හොඳද මම අහන්නේ" කියලා.

ටියුබ් ලයිට් කට්ටියට කියන්නේ පොඩි හාමුදුරුවෝ පේර ගහට නැගලා පොකුණට පනිනවා කියන එක තමා උපාසක අම්මා අර විදිහට කිව්වේ. හාමුදුරුවෝ සම්බන්ධ කටයුතුවලදී භාවිතා කරන්නේ වඩිනවා කියන වචනේ නිසයි මෙහෙම වුණේ :))

------------------------------------------------------------------------------------------------

මේත් ඒ වගේම කතාවක්. අලුත මහණ වුණු පොඩි හාමුදුරුවෝ කතා කරද්දී හුඟාක් වෙලාවට කනවා, ආවා, ගියා වගේ වචන පාවිච්චි කරන නිසා නායක හාමුදුරුවෝ අවවාද කළා.

"පොඩි නම දැන් හාමුදුරු නමක් නිසා කතා කරන්න ඕනේ ගිහි කාලේ වගේ නෙමෙයි. කනවා කියන එකට කියන්න ඕනේ වළදනවා කියලා, ආවා ගියා වගේ ඒවාට පාවිච්චි කරන්නේ වඩිනවා කියන එක. තේරුණාද පොඩි නම" කියලා.

ඔය සිද්ධියෙන් දවස් දෙක තුනකට පස්සේ පොඩි හාමුදුරුවෝ පන්සලට හයියෙන් දුවගෙන [වැරදීමක්... හයියෙන් වැඩගෙන] එනවා.

නායක හාමුදුරුවෝ ඇහුවා "මොකෝ පොඩි නම ?" කියලා.

පොඩි හාමුදුරුවෝ මෙහෙම කියනවා "ලොකු හාමුදුරුවනේ, මම පන්සලට වඩිද්දී බල්ලෙක් වැඩියනේ [ආවා] මාව වළදන්න [කන්න]. මමත් ඉතින් හයියෙන් වැඩගෙන වැඩගෙන එද්දී බල්ලත් හයියෙන් වැඩගෙන [දුවගෙන] එනවා. කොහොම හරි මම හයියෙන් වැඩිය නිසා සිවුරත් පාරට වැඩියා [ගියා] " කියලා

ප.ලි.: මේ කතා අපහාසයක් පිණිස නොව හුදෙක් කතා පිණිසම ලියූවක් බව පහන් සිත් ඇත්තෝ වටහා ගනිත්වා...............

Tuesday, September 13, 2011

නිකම් කතා තුනක්

පෙරේදා ඒ කියන්නේ ඉරිදා අපේ Logic Class ආපු නංගි කෙනෙක් class එක ගැන යොවුන් නවකතා පොතක් ලියලා ඒකේ Book Launch එක තිබුණා. ඒකට අපි හැමෝටම invite කරලා තිබුණු නිසා අපි මිස්ලගේ ගෙදරට set වුණා.

එතකොට ලේසියිනේ. මිස් එක්කම car එකේ ගම්පහ Book Launch එක තිබුණු hall එකට යන්න පුලුවන්නේ :)

මිස් car එකෙන් තන්තිරිමලේ කුඹුරක් හාපු හැටි

ආහ් මිස්ගේ car එක කිව්වාම මතක් වුණේ ඒ car එක ගැන ඔයාලා දන්නවා. අර අර තන්තිරිමලේ ගිහින් කුඹුරක් හෑවේ අන්න ඒ car එකෙන් තමයි :))

ඉතින් Book Launch එකට යන එන අතර තුර අපි කීපදෙනායි මිස් සහ සර් අතර වුණු කතා තුනක් තමයි මේ.....

------------------------------------------------------------------------------------------------

කතා අංක 1


මම : මිස් දන්නවාද මට දැන් Phone එකට දෙරණ newa alert එකක් ආවා. ලංකාවේ මිනිස්සු 40 ක් හොරෙන් ඕස්ට්‍රේලියාවට පනින්න යද්දී Navy එකෙන් අල්ලගෙන......

මිස් :කොහොමද එවුන් ඕස්ට්‍රේලියාවට පනින්න ගිහින් තියෙන්නේ ?? උඩින්ද ???

මම : උඩින් යන එවුන්ව කොහොමද මිස් මුහුදේ ඉන්න Navy එකෙන් අල්ලන්නේ :)) ඔන්න මුහුදෙන් පනින එවුන්ව නම් අල්ලයි :))

----------------------------------------------------------------------------------------------

කතා අංක 2



Book Launch එකට එන්න කියලා අපිට call කරලා තමයි එන්න කිව්වේ. ඉතින් Invite කරන එක එක විදි ගැන කතාවක් ඇදිලා යද්දී තමා මේ කතාවට ආවේ.......

සර් : නුවර පැත්තේ නම් ආරාධනාවක් ලැබෙන්නේ නැතුව මොකක් හරි එකකට ගියාම කෙළින්ම මූණටම අහනවා "මොකද මේ පැත්තේ ආවේ උවමනාවකටද ?" කියලා

ගිහාන් : එහෙම අහද්දී ඉතින් වළක් කපාගෙන පනින්න තමයි හිතෙන්නේ නේද සර්

මම : හැබැයි ඉතින් අපිට මෙහෙමත් කියන්න පුලුවන් චාටර් වෙන්නේ නැතිවෙන්න. එහෙන් අහද්දී "මොකද මේ පැත්තේ ආවේ උවමනාවකටද ?" කියලා කියන්න තියෙන්නේ "නෑ මේ උදැල්ලක් ඉල්ල ගන්න ආවේ" කියලා.

එතකොට උනුත් බලනවානේ මූ මොකටද උදැල්ල ඉල්ලන්නේ කියලා. ඊට පස්සේ කියනවා "නෑ මේ පොඩි වළක් කපාගෙන ඒකට පනින්න" කියලා :))

----------------------------------------------------------------------------------------------

කතා අංක 3


Book Launch එක ඉවරවෙලා ආපහු ගෙදර යද්දී සර් එක පාරටම car එක නැවැත්තුවා. අපිත් එක පාරටම ගැස්සුණා මොකද සර් හදිසියේම කාර් එක නැවැත්තුවේ කියලා..........

සර් : බබා දැක්කද deepest sympathy බැනර් එක. අපි මේ මළ ගෙදරට පොඩ්ඩක් ගොඩවෙලා යමු

මිස් : පිස්සුද බබා ඔයා මේ මනුස්සයාව දන්නවා ???

සර් : නෑ බබා මම මේ නිකමට කිව්වේ [ සිනා :)) ]

ගිහාන් : යමු යමු සර්. අපි ඇඳන් ඉන්නෙත් සුදු ෂර්ට්නේ. අද තමයි දවස

සර් : ඒක නෙමෙයි ඇත්තටම මම මළ ගෙදරකට වැරදිලා ගිහින් තියෙනවා. පස්සේ තමයි දැනගත්තේ මම යන්න ඕනේ මළ ගෙදරට තව ටිකක් දුර යන්න ඕනේ කියලා :))

------------------------------------------------------------------------------------------------

ප.ලි.: අපේ Logic Class එකේ තව හොඳ හොඳ කතා කියවන්න කැමති නම් යන්න Logic Class කතා

ප.ප.ලි.: ඉදිරියේදී පළවීමට නියමිත කතා ලැයිස්තුව මුහුණු පොතට එක් කළෙමි. හුදී පහන් ජන සංවේගයට මෙයටද එක් කරමි :))

1. සඟ රස බස් - 3
2. තෙසැත්තෑ බුද්ධ ඤාණ පූජා පිංකම
3. මහින්දාගමනයට මහා shot එකක්


Bindi අක්කා
කිව්වා හරිය. ලිස්ට්වලට කතා ලිවීම අපහසුය :))

රස කැමැත්තෝ රස විඳිත්වා..........

Thursday, December 23, 2010

ටොයිලට් එකක්


අපේ කතන්දර සූරීන්ගේ මූලිකත්වයෙන් කාලෙකට කලින් සිංහල සයිබර් අවකාශයේ ටොයිලට් කතා series එකක් ගියා මතක ඇති. මාත් කතාවක් ලියලා දැම්මා නොවැ. මේත් ඒ විදිහේම ටොයිලට් කතාවක් මට මේ ලඟදී අහන්න ලැබුණු.

විශේෂයෙන් කියන්න තියෙන්නේ මේක "ලු" කතාවක්. ඒ කියන්නේ මාත් අහපු කතාවක් නිසා. මේකේ හුඟාක් තැන්වල "ලු" යෙදිලා ඇති :)) මේ කතාව ගැන පොඩි දෙයක් කියන්න ඕනේ මේ කතාවේ තියෙන්නේ ටොයිලට් එකකට නමක් වැටුණු හැටි ගැන :))

ලංකාවේ ප්‍රසිද්ධ පාසලකට දවසක් දා අධ්‍යාපන අමාත්‍යංශයෙන් උසස් නිලධාරියෙක් ආවාලු ඒ පාසලේ විදුහල්පතිතුමාව හම්බවෙන්න. ඒ නිලධාරී මහත්මයාත් ආපු රාජකාරි වැඩේ ඉවරවෙලා Principal ගේ office එකෙන් එළියට ආපුවාම අංක 1 වැඩේ එහෙමත් නැත්නම් හාවෙක් අල්ලන්න තේරෙන්නේම නැති අයට තවත් තේරෙන්න කිව්වොත් සුළු දිය පහ කරන්න උවමනාවක් ආවාලු.

ඉතින් සාමාන්‍යයෙන් ලංකාවේ මිනිස්සු හරිම ලැජ්ජයිනේ ඔහොම අවශ්‍යතාවක් ආපුවාම ටොයිලට් එකක් තියෙන්නේ කොහෙද කියලා අහන්න. එතකොට හුඟාක් වෙලාවට වෙන්නේ හොයලා හොයලා හති වැටිලා අර මම කලින් දවසක් කිව්ව රජතුමාට වුණු වැඩේ සිද්ධ වෙන එක :)

අපි කතාවට එමුකෝ ඉතින් අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරී මහත්තයාත් Principal ගේ office එක ගාව ඉදන් කොරිඩෝ එක දිගේ ඉස්සරහට ඇවිදගෙන ගියත් ටොයිලට් එකක හෝඩුවාවක්වත් අඩුම ගාණේ smell එකවත් එන්නේ නැති නිසා බැරිම තැන එයාට ඉස්සරහාට හම්බවුණු ශිෂ්‍ය නායක පුතෙක්ගෙන් ඇහුවාලු.

"පුතා, ටොයිලට් එකක් කොහෙද තියෙන්නේ ?" කියලා

ඒ ශිෂ්‍ය නායක දරුවත් අපේ මේ අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරී මහත්මයා හිටගෙන හිටපු තැනම තිබුණු කාමරේට අත දික් කරලා කිව්වාලු .

"සර් මේ තියෙන්නේ ටොයිලට් එක" කියලා.

පුදුමෙන් වගේ ඒක දිහා බලපු අපේ මේ ලොකු මහත්තයා ඔළුවේ අත තියාගෙන කිව්වාලු.

"අම්මට හුඩු මේ ටොයිලට් එකක් නේද?" කියලා :))

සර් එහෙම කිව්වේ මේ ටොයිලට් එකේ තියෙන posh look එක වගේම facilities නිසා පුදුම වෙලා

අර ශිෂ්‍ය නායක පුතාගෙන් මේ කතාව ඉස්කෝලේ පුරා ගිහින් ඉස්කෝලේ කොල්ලෝ ටික අර අධ්‍යාපන අමාත්‍යංශයේ ලොකු මහත්තයාට ගෞරවයක් විදිහට ඒ ටොයිලට් එක නම් කළාලු " අම්මට හුඩු ටොයිලට් එක" කියලා :))

ඊට ඉස්සෙල්ලා ඉදන් කොල්ලෝ ඒ ටොයිලට් එක නම් කරලා තිබ්බා කියන්නේ Cinnamon Grand කියලාලු :))

ප.ලි.: මේ ටොයිලට් එක දැක්කාම මටත් පුදුම හිතුණා. මොකද ඇත්තටම එහෙම ටොයිලට් එකක් ඉස්කෝලෙක තියෙනවා කියලා හිතන්න අමාරුයි............

කට්ටියගේ ඉල්ලීම නිසා මටත් හිතුණා photo එකක් දැම්මේ නැත්නම් කිසි ගතියක් නැහැ කියලා. මෙන්න එකම එක photo එකක්. මේකෙන් හිතාගන්නකෝ අනිත් ඒවා කොහොම ඇද්ද කියලා :)

Friday, December 10, 2010

විදිල්ලේ හොඳම විදින්නා


එකෝමත් එක කාලෙක එකෝමත් එක රටක හිටිය [ඒත් ඇත්තටම කිව්වත් මේ කාලේ ලංකාවේ ඉන්න ]පොරක් ගැන තමා මේ කතාව. ඔයාලා අනිවා රොබින් හුඩ් කතාව T.V එකේ බලලා ඇති. රොබින් හුඩ් කිව්වාම මතක් වෙන්නේ දුන්න අතේ තියන් මොකක් හරි ඉලක්කයකට ඊතළෙන් විදින කෙනෙක්වනේ.

පහු පහු වෙද්දී ඔය "විදිනවා, විද්දා" කියන වචනේ හරි හරියට අපේ තරුණ, ළමා පිරිස් අතරට ආවා. කවුරු හරි කෙනෙක් ප්‍රසිද්ධියේ කතාවක් වගේ කරද්දී වචන වැරැද්දුවොත්, ඒ වගේම විකාර වැඩක් වගේ කළොත් කොල්ලො කියන්නේ "ඕන් එයා බරටම විද්දා" කියලා.

හොඳ වෙලාවට රොබින් හුඩ් ඕක දන්නේ නැහැ:))

ඉතින් මම දන්න හොඳ විදින්නෙක් හිටියා. දුන්නෙන් ඊතළවලින් නෙමෙයි වචනවලින් විදින. මේ එයා ගැන කතා කීපයක්.


මේ ළඟදී එයා හම්බුණු වෙලාවක කියව කියව ඉද්දී පොර කියනවා "මචං අළුත් කාඩිනල් මැල්කම් රංජිත්ට මාර guard එකක් තියෙන්නේ. ඉස්සරහින් පොලිස් bike දෙකකුයි, Diffender එකකුයි යනවා බන්. මම හිතන්නේ එයාගේ කාර් එකත් වෙඩි වදින එකක් වෙන්න ඕනේ" :))

--------------------------------------------------------------------------------------

දවසක් අපි බදුලු බණ්ඩාරවෙල trip එකක් යන scene එකක් ගැන කතාවක් දාගෙන ඉද්දී අපි කතාවුණා ඒ පැත්තේ පයින් ඇවිදින්න යනවාට වඩා foot cycle දෙකක් තුනක් හොයාගෙන ඒවායේ ගියා නම් වැඩේ සිරා කියලා.


ඒ වෙලාවේ අපේ විදින්නා කියනවා "ඒත් බන් අවුල තියෙන්නේ කන්දක් බැස්සොත් පල්ලමක් නගින්න තියෙන එක තමා" කියලා :))

--------------------------------------------------------------------------------

තව දවසක අපි set එක තව කොල්ලෙක්ගේ වාහනේක ගමනක් යද්දී අපේ විදින්නා කියනවා Montero එකක් පෙන්නලා "බලාපල්ලා අර Motorola එකේ ලස්සන. ඒකේ යන එවුනුත් ෂපාන් එකේ යනවානේ. හිටපල්ලකෝ අපිත් දවසක් Motorola එකක් ගන්නවා" :))

------------------------------------------------------------------------------

තව දවසක් අපි බස් එකේ ගමනක් යද්දී අපිටත් එක්ක tickets ගත්තේ විදින්නා. කොන්දොස්තර මොකක් හරි පොතක් දාලා ඉතුරු සල්ලි අඩුවෙන් දීලා තියෙන්නේ. ඉතින් විදින්නා අනම් මනම් විද්දාට හෙණ මීටරේ. ඒක නිසා කොන්දාගේ කපටිකම තේරිලා ගාණට ඉතුරු සල්ලි අරගත්තා.


පස්සේ තමා හොඳ කතාව කිව්වේ "කොන්දා හිතන් ඉන්නේ ඇති අපි පැදුරු [ පිදුරු වෙනුවට ] කන එවුන් කියලා" :))

--------------------------------------------------------------------------------

ආයි දවසක අපි කට්ටියකට බීම වගයක් බොන්න හම්බුණා පන්සලේ කරපු අස්පස් කරපු වැඩකට පස්සේ. කෝප්ප මොකවත් හම්බුණේ නැහැ. ඔක්කොම එක එකා ගාණේ බොන්න ගියොත් වෙලාවත් යනවනේ.


අපේ විදින්නා ඉදිරිපත් වෙලා බීම එක ගෙනාපු පන්සලේ ඇබිත්ත කොල්ලාට කිව්වා "මල්ලී අපිට කෝප්ස් [කෝප්ප කියන සිංහල වචනෙයි, Cups කියන English word එකේ එකතුව] ටිකක් ගේන්න බීම බොන්න" කියලා :))

Monday, December 6, 2010

Instant කතා


කාලෙකට පස්සේ ක්ෂණික නූඩ්ල්ස් වගේ පොඩි කතා 2 ක් 3 ක් කියන්න හිතුවේ. කලින් කියපු ටිකකුත් ඇති. ක්ෂණික නූඩ්ල්ස් වගේ කියලා කිව්වේ ඉතාමත් ඉක්මණින් කියවලා ඉවර කරන්න පුලුවන් වෙන කතා නිසා. රස තේරුණොත් හොඳයි නැත්නම් දුක තමා :(

-------------------------------------------------------------------------------------------------

මුල්ම කතාව මෙන්න. මම සාමාන්‍යයෙන් පොදු ප්‍රවාහන සේවාවල යන මහජනයෙක් නේ :) මගේ හොඳ හොඳ බස් කතා කීපයක් ගැන කලින් කට්ටිය කියවලා ඇති. මේ ලඟදී දවසක් මම කිරිබත්ගොඩින් ගෙදර යන්න 234 දෙල්ගොඩ පිටකොටුව බස් එකක නැග්ගා.

මම සාමාන්‍යයෙන් බස් එකට නඟින්නේ ඉස්සරහ දොරෙන්. මොකද පිටිපස්සේ දොරෙන් නැග්ගොත් කනක් ඇහිලා ඉන්න වෙන්නේ නැහැ කොන්දා කෑ ගහනවානේ ඉස්සරහට යන්න ඉස්සරහට යන්න කියලා. ඒ වගේම බස් එකට හුඟාක් අය නඟින්නේ පිටිපස්සේ දොරෙන් නිසා ඉස්සරහ කොහොමත් ටිකක් ඉඩ තියෙනවා.

ඔන්න ඉතින් කිරිබත්ගොඩින් load එකත් අරන් බස් එක පිටත් වුණා. බස් එකේ එච්චර සෙනඟක් හිටියෙත් නැහැ. ඉස්කෝලේ ඇඳුමකින් හිටිය හෙණම නසරානි පෙනුමක් තියෙන කොල්ලෙක් පිටිපස්සේ දොරේ එල්ලිලා යනවා. කොන්දොස්තර කොල්ලා හිටියේ බස් එකේ ඉස්සරහ.

Man ට driver කිව්වා "අර පිටිපස්සේ දොරේ ඉස්කෝලේ යන ළමයෙක් එල්ලිලා යනවා, එයාට උඩට නඟින්න කියන්න" කියලා.

ඉතින් කොන්දොස්තර කිව්වා කෑ ගහලා "ඔය පිටි පස්සේ footboard එකේ ඉන්න ඉස්කෝලේ යන මල්ලී උඩට නඟින්න" කියලා. මේ නසරාණි කොල්ලා කිසිම ගාණක් නැතිව ඔහේ ඉන්නවා බුවාට නෙමෙයි වගේ.

කොන්දොස්තර ටික වෙලාවකින් ආයි පාරක් කිව්වා. මේ නසරාණි කොල්ල නෙමෙයි තඹ සතේකට ඒක මායිම් කළේ. හොඳට පිටිපස්සේ දොරේ එල්ලිලා යනවා. කොන්දොස්තරට මළ උපරිමෙන්ම පැන්නා.

පොර මුළු බස් එකටම ඇහෙන්න කෑ ගහලා කිව්වා " ඔය පිටිපස්සේ දොරේ එල්ලිලා යන චිම්පන්සි මල්ලී උඩට නඟින්න" කියලා.


බස් එකේ ඔක්කොම පිටිපස්ස හැරිලා බලන්න ගත්තා. නසරාණි කොල්ලාටත් වස නෝන්ඩිය. එයා එයාට නෙමෙයි වගේ ෂේප් එකේ උඩට නැග්ගා.

-------------------------------------------------------------------------------------------------

මෙන්න දෙවෙනි කතාව. මම අපේ ඉස්කෝලෙන් කරපු අසෙනිය කුසුම -2010 බලන්න ගියා කියලා කට්ටිය දන්නවා ඇතිනේ. ඒකේ photos එහෙම බලන්න කැමති අය ඉන්නවා නම් මෙතන කොටන්න.

ඉතින් කාලෙකින් හම්බුණු යාලුවොත් එක්ක අනම් මනම් කියෝ කියෝ ඉද්දී අපේ මාතෘකාව වුණේ පොත් පත් ගැන.


එකෙක්ගේ කටින් කියවුණා "මළගිය ඇත්තෝ, මළවුන්ගේ අවුරුදු දා පොත් කොහොමද ? ඒකේ ඉන්න නොරිකෝ සං දෙවෙන්දරා සං අන්න අන්න නියම චරිත. නියම කතාවක් බන් " කියලා.

මේක අහගෙන හිටපු තව එකෙක් කියනවා "මචං ඔය පොත ලිව්වේ ගීද මෝපසාං නේද ?" කියලා :))


Man හිතලා තියෙන්නේ පොතේ ඉන්න අයගේ නමුත් සං සං කියලා ඉවර වෙන නිසා පොත ලියන්න ඇත්තේ ගීද මෝපසාං කියලා.

-------------------------------------------------------------------------------------------------

මෙන්න තුන්වෙනි කතාව. මම දවසක් ගමනක් යන්න ඇඳුම් මදින ගමන් අපේ අම්මත් එක්ක පොඩි කතාවකට එකතු වුණා. ඇත්තටම මම හැමතිස්සේම වගේ කොහේ කොහේ හරි යන නිසා ඔය වගේ වෙලාවල්වලට තමා අම්මා මාත් එක්ක කතා කරන්න එන්නේ.


ඉතින් අම්මලාගේ ඉස්කෝලේ Netball team එක චෙන්නායි යනවා එහේ tournament එකකට. ඉතින් නවාතැන් පහසුකම්වල මොකක්ද හුටපටයක්ලු.

ඒක නිසා අම්මා මගෙන් ඇහුවා "පොඩි පුතේ ඔයා දන්න ඉන්දියාවේ ඉන්න යාළුවෝ කවුරුත් නැද්ද ?" කියලා. අම්මා එහෙම කිව්වේ මට ඉතින් මූණුපොතේද අර පොතේද මේ පොතේද ආදී වශයෙන් හුඟා........ක් තැන්වල යාළු මිත්‍රාදීන් ඉන්න නිසා.

ඉතින් මාත් අම්මා ඇහුව එකට උත්තරේ හැටියට කිව්වා "ඔව් ඔව් හොඳ යාළුවෙක් ඉන්නවා" කියලා.

එතකොට අම්මා ඇහුවා "එහෙමනම් එයාගෙන් උදව්වක් කාරියේ ගන්න පුලුවන් වෙයි නේද ?" කියලා.

මම කිව්වා "පුලුවන් වෙයි, බලමුකෝ" කියලා.

අන්තිමට අම්මා ඇහුවා "කවුද ඔය යාළුවා ?" කියලා.

මම හිනාවෙවීම උත්තර දුන්නා "ෂාරුක් ඛාන්" කියලා :))


ඒ පාර අම්මත් හිනාවෙවීම කිව්වා "කෝලම් :))" කියලා

-------------------------------------------------------------------------------------------------

මෙන්න හතරවෙනි කතාව. මට හිතිච්ච එකක් තමා මට ඉන්න සමහර යාළුවෝ ඉංග්‍රීසි සිංහල පටලගෙන ඉන්න පොරවල්. මතකනේ දවසක් මම කිව්වා චීන phone කතාවක්. මේකත් ඒ වගේ කතාවක්.


දවසක් අපි යාළුවෝ set එක කියව කියවා ඉද්දී දැන් කසාදයක් කාරියේ කරගෙන ඉන්න අපේ යාළුවෙක් ගැන කතා කරද්දී මම කිව්වා "ඉතින් man ශිෂ්‍ය භටයා නේ"කියලා.

ඕක අහන් ඉදපු එකෙක් කියනවා මට "උඹට පිස්සුද බන් ඌ කොහෙද ශිෂ්‍ය භට කළේ, ඌ කළේ Cadeting නේ. ඌ Cadet Team එකේ Captain නේ" කියලා.


ටික වෙලාවකින් එයාටම click වුණා ශිෂ්‍ය භට කියන්නේ ඉංග්‍රීසියෙන් cadeting කියලත්, Cadet Team නැති බවත් තියෙන්නේ Cadet Platoon බවත් ඒ වගේම ඒකේ Captain කෙනෙක් නැහැ ඉන්නේ Sergeant කෙනෙක් කියලත් :))

------------------------------------------------------------------------------------------------

මේ පස්වෙනි කතාව හෙවත් අන්තිම කතාව :) අපි කොල්ලෝ set එක අපේ එකෙක්ගේ තාත්තා නැතිවෙලා අවුරුද්දේ දානේ පිංකමට ගියා. ඉතින් ඒකට කලින් ඉදන්ම ගෙවල් දොරවල් අස්පස් කිරීමේ ඉදන් සියළු කටයුතුවලට ශ්‍රම දායකත්වය දුන්නේ අපේ set එක.


අන්තිමට ඉතින් හාමුදුරුවෝ දානේ අරන් පන්සලට වැඩියාට පස්සේ ඉතුරු වුණු දානේ බඩවල්වලට අස්පස් කරන එකත් අපේ කාණ්ඩේ ඉතාමත් ශ්‍රද්ධාවෙන් භාරගත්තා :))

අපිත් එක්ක ඉන්න සිරා කොල්ලෙක් ඉන්නවා පොරට තියෙන අවුල තමා හිටපු ගමන් ඔය එක එක බඩුවලට කියන නම් මාරුවෙනවා. ඉතින් ඔය දානමය පිංකමේදී කරපු සිරාම විඳිල්ල තමා

දානෙට වැඩිය හාමුදුරුවරු බුලත් කෙළ ගහලා තිබ්බ පඩික්කම් වගේකට අත දික්කරලා මහ හයියෙන් හැමෝටම ඇහෙන්න "මතක් කරලා මේ හෙප්පු ටිකත් හෝදලා පන්සලට ගිහින් දෙන්න. නැත්නම් ආයි දානේ ගේකට පන්සලෙන් හෙප්පු ගේන්න නෙමෙයි" කියන එක :))

පඩික්කමක පින්තූරයක් හෙව්වා හෙව්වා හම්බුණේ නැහැ. කට්ටිය පඩික්කම කියන එක දැකලා නේද තියෙන්නේ ?

Saturday, July 17, 2010

කප සිටුවීම

මේ දවස් ටිකේම වැඩ ගොඩාක් තිබ්බ නිසා නිවාඩුවක් හමුබුණේ අද තමා. ගිය සතියේ සෙනසුරාදා අනුරාධපුරේ පිච්ච මල් පූජාවට ගියා නිසා මේ පැත්තේ එන්න වුණේ නැහැ. ඒකේ කතාවත් ඉස්සරහට ලියන්න තමා ඉන්නේ.......

මුලින්ම කියන්නේ නැත්නම් පස්සේ කවුරුහරි බැන්නොත් කියලා. මේක ටිකක් විතර කුණුහරුප කතාවක්. [දැන් නම් කට්ටිය අනිවා මේක බලනවා :))]


අපිට Campus එකේ Applied Sociology උගන්වන අපේ ළමයින්ගේ ආදරණීය ගුරුතුමා ගැන මම කලින් දවසක කිව්වා මතක ඇතිනේ. මේ සතියේ සිකුරාදා සර් කියපු නියම කතාවක් තමා අද කියන්න හිතුවේ.

සර් මොකක් හරි දෙයක් ගැන විස්තර කරන්න යද්දී අන්තෙටම ගිහින් ඒකෙත් අන්තෙටම යනවා. උදාහරණයක් විදිහට කිව්වොත් මීට කලින් දවසක් අඹ ගැන මොකක් හරි කියන්න සෙට් වෙලා අඹ හිටෝන හැටි, අඹ කඩන හැටි, අඹ විකුණන හැටි, එකේ අඹවල ගාණ ආදී වශයෙන් අල ගිය තැන් වැල ගිය තැන් මුල ගිය තැන් හුඟක් කතා කළා.

ඉතින් මේ සතියේ සිකුරාදා දේශනයේ මාතෘකාව වුණේ "සංවර්ධන සැලසුම්කරණය"

සර් පටන් ගත්තා "ඉස්සර කාලේ ගමේ මිනිස්සුත් වැඩ කටයුතු කළේ කිසියම් සැලසුමකට. අපි ගමු උදාහරණයක් විවාහ මංගල්‍යයක්. ඒකෙදී හැම කටයුත්තක්ම වුණේ ගමේ හිටිය දෛවඥයා හදලා දීපු නැකත්වලට අනුව. මේ කටයුතු පටන් ගන්තේ නැකතට අනුව වී තම්බන එකෙන්. දැන් කාලේ වගේ Catering Service වලට කෑම උයන්න දුන්නේ නැහැනේ

ඊළඟට සිද්ධ කළේ මඟුල් මඩුව හදන්න කප හිටෝන එක. දැන් මොකක්ද මේ කප කියන්නේ. කප සකස් කරන්නේ කිරි සහිත ගහක කොටසක් හිටෝලා ඒක දෙපැත්තෙන් පොල් ගෙඩි දෙකක් එල්ලලා එතනින්ම පොල් මලකුත් සවි කරනවා. ඕන් ඕකට තමා කප කියන්නේ.

ඔය කප කියන එක දැක්කාම සුපුරුදු බවක් පේන්නැද්ද ඔයාලට. ලොකු පොල්ලකුයි දෙපැත්තේ ගෙඩි දෙකකුයි තියෙද්දී [සභාවේ සිනා :)) ටියුබ් ලයිට් කට්ටියට තාම තේරුණේ නැහැ] මට පේන්නේ සමහරුන්ට මේක තාම තේරුණේ නැහැ වගේ. තේරෙන්නේම නැත්නම් ලාවට රූප සටහනක් ඇඳලා බලන්න

එක්කෝ වෙන මොකුත් ඕනේ නැහැ කප කියන එක අනිත් පැත්ත හැරෙව්වා නම් හරිනේ [සභාවේ තදින්ම සිනා :))] ඇත්තටම ඉතින් මඟුලක් කියපුවාම ඕකට කොච්චර වැදගත් තැනක්ද හිමිවෙන්නේ [සර්ටත් හිනා :))] මට ඕක හිතුණු වෙලේ සැකයක් ආවා ගැමි මිනිස්සු ව්‍යංගයෙන් කියන්න හැදුවේ මේකවත්ද කියලා.

ඒ වගේම මට මුලින් යමක් කියන්න අතපසු වුණා. විවාහයකදී හැම කටයුත්තකටම නැකැත් තිබුණා කිව්වාට අත්‍යාවශ්‍යම කටයුත්තට නැකතක් තිබුණේ නැහැ [සභාවේ සිනා :))] ඉතින් මගේ අදහස නම් ඕකටත් නැකතක් හදන්න තිබ්බේ. එතකොට සාර්ථකව ඒ වැඩේ කරන්න පුලුවන්නේ.

අපිට ඕනේ නම් research එකක් කරන්නත් පුලුවන් නැකතට ඔය වැඩේ කරපු අයගේ සාර්ථකත්වයයි නැකතක් නැතිව ඔය වැඩේ කරපු අයගේ සාර්ථකත්වය ගැන...............

ඔය විදිහේ කතාවලින් අන්තිමට lecture එක ඉවර වුණා. ඉතින් එදා lecture එකේ කියාදුන්නේ මොකක්ද කියලා එදා ආපු නැති එකෙක් ඇහුවොත් උත්තරේ විදිහට ලැබෙන්නේ "කප් සිටුවීම" කියලා මට sure

Friday, June 25, 2010

Card දැමීම, Card දමා ගැනීම සහ Card වැටීම

හුඟක් අයට ඇත්ත නමත් එක්ක එක එක තැන්වල එක එක විදිහට කරපු හරි වුණු හරි වැඩ නිසා Card වැටෙනවානේ. කොහොමත් Campus වල හැම කෙනෙක්ටම ආපු ගමන් කරන්නේ Senior Batch එකේ කට්ටිය විසින් card එකක් දාන එකනේ. ඒක ගැන පස්සේ දවසක කියන්නම්කෝ.

ඉතින් මේ තියෙන්නේ මම දන්න කියන කීප දෙනෙක්ට Card වැටුණු, Card හැදුණු, Card දාගත්තු scenes කීපයක්. ගොඩාක් තිබ්බත් අතිශය සභ්‍ය ටික තමා මේ දාලා තියෙන්නේ. තව තියෙනවා ඒවත් පුලු පුලුවන් විදිහට කියලා දාන්නම්කෝ

මුල්ම කතාව වුණේ ගිය සතියේ දහම් පාසලේදී. අපිත් එක්ක දහම් පාසලේ උගන්වන කෙනෙක් ඉන්නවා අපි කියමුකෝ man ට චාමර කියලා. අපේ වයසේමයි. ගමේ ඉන්න කොල්ලන්ගෙයි වැඩිම card ප්‍රමාණයක් හිමි පුද්ගලයා තමා මෙයා. බුවා කොහෙට මොකට සෙට් වුණත් card එකකුත් දාගෙන තමා එතනින් යන්නේ.


ඉතින් ගිය සතියේ දහම් පාසලේ interval එකේදී අපි කෑම කන්න පන්සලේ දාන ශාලාවට ගිය වෙලේ චාමරයගේ අතේ අළුත් phone එකක් තියෙනවා මම දැක්කා. බියගම වෙළෙඳ කලාපේ garment එකක lab එකේ තමා පොර වැඩ කරන්නේ. අතේ මිටේ සල්ලි එහෙමත් වැඩියෙන් ගැවසෙන නිසා මිනිහගේ hobby එක තමා අළුත් අළුත් phone ගන්න එක. හැබැයි ගන්නේ Chinese Phones. සතියෙන් සතිය වගේ phone මාරු කරනවා. මේ සතියෙත් අළුත් phone එකක් අතේ තිබ්බ නිසා මායි චාමරයි අතර වුණු සංවාදය තමා මේ

මම : ෂාහ් සිරා phone එකක් නේ බන්. Blackberry එකක් වගේනේ. කීයක් වුණාද ?

චාමර : සිරා phone එක බන්. 8 ක් විතර ගියා.

මම : උඹ අලුතෙන්මද ගත්තේ ?

චාමර : නැහැ බන් අපේ garment එකේ කොල්ලෙක් ටික දවසක් පාවිච්චි කරපු එකක්.

මම : මචන් මේක චීන එකක්ද ?

චාමර : නැහැ බන් මේක Chinese එකක්

මම : එතකොට Chinese කියන්නේ චීන කියන එක නෙමෙයිද ?

චාමර : ආහ් ඔව් නේ බන්. කලබලේට මතක් වුණේ නැහැ

අන්තිමට පොරගේ අළුත්ම card එක තමා Chinese

----------------------------------------------------------------------------------------


අපේ ඉස්කෝලේ තියෙනවා Library Readers Association කියලා සංගමයක්. ඒකේ කට්ටිය ඉස්කෝලේ Library එකේ වැඩ කටයුතුවලට හෙණ සප් එකක් දෙනවා. ඒක නිසා එයාලට සාමාන්‍ය අයට නැති facilities එහෙමත් තියෙනවා. Library Readers Association එකේ Members ලාට කියන්නේ Reders ලා කියලා. ඉතින් ඒකේ පොරවල් සාමාන්‍යයෙන් interval එකට library එකට වෙලා ඉන්නවා. අපේත් එකෙක් හිටියා Reader කෙනෙක් වුණු.

පොර දවසක් library එකේ ඉද්දී Association එකේ Senior පොරක් අපේ man ගෙන් ඇහුවා " මල්ලී, Reader කෙනෙක්ද ?" කියලා

අපේ එකා කියාපි " නැහැ අයියේ මම පාඨකයෙක්" කියලා

ඉතින් ඒ දවස්වල man ගේ card එක වුණේ පාඨකයා


----------------------------------------------------------------------------------------


මේක වුණේ අපි A/L Logic වලට ගිය තර්ක මැදුරේ. දවසක් අපේ ගුරුතුමිය ගමනක් ගියා අපේ කට්ටියට කරන්න paper එකක් දීලා. අපි ඒක ඉවර කරලා නිකම් ඉන්න නිසා T.V එක දාගත්තා. එදා ටොම් කෲස් ඉන්න The Last Samurai කියන film එක පෙන්නුවා.

ඒකේ ඔය සමුරායිලා යුද්ධවලට යන scene එකකදී අපේ එකෙක් මෙහෙම කිව්වා "ඔය සමුරායිලා යුද්ධ පරදින එක සාධාරණයි බන්"කියලා.

අපි ඇහුවා "මොකද බන් ?" කියලා.

Man කියනවා "බලපන් යුද්දෙකට යද්දී ආවුද ගෙනියන්නේ නැතිව මොන මඟුලටද කොඩි උස්සන් යන්නේ. කොඩි උස්සන් යන්නයි fight කරන්නයි දෙකක් කරන්නේ කොහොමද ? ඒකනේ ඔවුන් පරදින්නේ" කියලා.

ඉතින් එදා ඉදන් පොරගේ card එක සමුරායි

----------------------------------------------------------------------------------------


මේකත් තර්ක මැදුරේම කතාවක්. දවසක් මම කිව්වේ අපේ මලින්ද සර් ගැන කතාවක්. මේකත් පොර ගැනම කතාවක් තමා. මලින්ද දැන් දළුගම ශාන්ත ෆ්‍රැන්සිස් විද්‍යාලයේ A/L Class එකට Logic උගන්වනවා. ඉතින් තර්ක මැදුරේ පරණ set එක මලින්දට card එකක් දැම්මා ෆ්‍රැන්සිස් කියලා. පෙළක් වෙලාවට ෆ්‍රෑන්ක්, ෆ්‍රැන්සි, ෆ්‍රැන්සියා කියලත් කියනවා.

ඒ අස්සේ පොර මුස්ලිම් කෙල්ලෙක් එක්ක පොඩි කතාවක් ගිහින් පස්සේ අපේ එවුන්ටත් ආරංචි වෙලා අපේ set එක මලින්දයාව මුස්ලිම් කළා. දැන් මලින්දයාගේ සම්පූර්ණ නම තමා

" අලි අක්බර් මලින්ද ෆ්‍රැන්සිස් ඛාන්"

ඔක්කොම එක පාර කියන්න බැරි නිසා හුඟක් වෙලාවට කට්ටිය කියන්නේ එක්කෝ ෆ්‍රෑන්ක්, ෆ්‍රැන්සි, ෆ්‍රැන්සියා කියලා ඒත් නැත්නම් ඛාන් කියලා...

අපි මේ මොන විහිළුව කළත් මලින්දයාගේ වැඩේ මෝඩ හිනාවක් දාගෙන ඉන්න එක. මොනවා වුණත් මලින්දයා ඔද මුනියා

----------------------------------------------------------------------------------------

ප.ලි.: මම මුලින්ම ලියන්න හිතුවේ පොඩි පොඩි ආගිය කතා ටිකක්. අන්තිමට ලියපු කතා ඔක්කොම ටිකේ තිබ්බේ කට්ටියට card වැටුණු හැටිනේ. ඒක නිසා මුලින්ම ලියපු කතාවේ තිබ්බේ කාටවත් card එකක් හැදුණු හැටි නෙමෙයි නිසා ඒක අයින් කරන්න හිතුවේ. පස්සේ හිතුවා ඔන්න ඔහේ ඒකත් කියලා දානවා කියලා.

මෙන්න අද අතුරුපස කතාව....


මේ කතාව වුණේ 2003 හෝ 2004 වගේ. අපේ සීයත් එක්ක මම නෑයෙක්ගේ ගෙදර තිබුණු දානේ ගේකට ගියා. සීයට ඒ වෙද්දිත් වයස අවුරුදු 93 ක් විතර. ටිකක් අමතක වෙන ගතිය එහෙමත් තිබ්බා. අපි ගිහින් ටික වෙලාවකින් දානෙට හාමුදුරුවන්ව වැඩමවාගෙන ආවා. මෙන්න සීයයි මායි අතර වුණු කතාව

සීයා : පුතේ ?

මම : ඇයි සීයේ ?

සීයා : මේ හාමුදුරුවරු මහණ වෙලාද ඉන්නේ පුතේ ?

මම : ඔව්නේ සීයේ. මහණ වුණු අයටනේ හාමුදුරුවෝ කියන්නේ

සීයා : ආහ් ඔව්නේ පුතේ.....