Showing posts with label පන්සලේ කතා. Show all posts
Showing posts with label පන්සලේ කතා. Show all posts

Sunday, April 12, 2015

අභිනව අස්ගිරි මහනාහිමි පත්වන අන්දම


පසුගියදා අපවත් වුණු මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමිපාණන් වහන්සේ පිළිබඳ බොහෝ දෙනා බොහෝ දේ මේ දිනවල කතා කරනවානේ. ඒ නිසා ඒ පිළිබඳ ආයේ අමුතුවෙන් කතා කරන්න අදහස් කරන්නේ නැහැ. 

ඒත් බොහෝ දෙනාට මේ වෙද්දී දැනගන්න අවශ්‍ය වෙලා තියෙන ඒ වගේම දැනගත යුතු කරුණු කීපයක් පිළිබඳ කතා කරන්නයි කාලෙකට පස්සේ මේ සූදානම. ඒ තමා අස්ගිරි පාර්ශවයේ මහානායක පදවියේ පුරප්පාඩුව සිදුවීම සහ අභිනව මහානායක හිමිපාණන් වහන්සේ පත්කරගන්නේ කොහොමද කියන කරුණු කාරණා කීපය ගැන. මේ කරුණු කීපය මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයට විතරක් නෙමේ මල්වතු පාර්ශවයටත් පොදු වෙන බවත් මුලින්ම කියන්න ඕනේ. 


මහානායක පදවියේ ආරම්භය පිළිබඳ සුළුවෙන් යමක් කිව්වොත් අස්ගිරි මල්වතු උභය පාර්ශවය ආරම්භක කාල වකවානුවේ ඉදන්ම ගණනායක නමින් හැඳින්වෙන නායක පදවියක් තිබුණු බවට සාදක හමුවෙනවා. ඒත් කීර්ති ශී්‍ර රාජසිංහ රජතුමාගේ මැදිහත්වීමෙන් වැලිවිට ශ්‍රී  සරණංකර සාමණේරයන් විසින් සියම් උපසම්පදාව ලංකාවේ පිහිටුවන්න කටයුතු කිරීමත් එක්ක රජතුමා වැලිවිට ශ්‍රී සරණංකර හිමියන්ට සංඝරාජ පදවිය පිරිනමනවා. 

ඒ වගේමයි සියම් උපසම්පදාව ලබපු මල්වතු පාර්ශවයේ තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත හිමියන්ට මල්වතු පාර්ශවයේ මහානායක පදවියත්, අස්ගිරි පාර්ශවයේ උරුලෑවත්තේ ශ්‍රී ධම්මසිද්ධි හිමියන්ට අස්ගිරි පාර්ශවයේ මහානායක පදවියත් රජතුමා විසින් පිරිනමනවා. එදා පටන් තමා මල්වතු අස්ගිරි උභය විහාරයේ මහානායක පදවි පැවත එන්නේ. මේ සඳහා ගෞරවනීය යෙදුමක් විදිහට "මහ පදවිය" කියලත් භාවිත වෙනවා.


දැන් නැවතත් අපේ කතාවට ආවොත් අස්ගිරි මහානායක හිමිපාණන් වහන්සේ නමක් අපවත් වීමත් එක්ක රැස්වෙන සංඝ සභාව රාජකාරි කීපයක් කරනවා (මේ සංඝ සභාව ගැන ඉදිරියේදී කතා කෙරෙන නිසා දැන් මුකුත් කියන්නේ නැහැ) මුල්ම වගේම වැදගත් කාර්යය තමා දියවඩන නිලමේතුමාගේත් සහභාගීත්වයෙන් අස්ගිරි මහනාහිමියන් භාරයේ තිබුණු දළදා කරඬුවේ රන් යතුර අනුනායක හිමියන්ට හෝ වෙනත් වගකිව යුතු කාරක සංඝ සභික හිමිපාණන් වහන්සේ නමකට භාර දෙන එක. 

මීළ`ගට මහනායක හිමියන්ගේ අපවත්වීම පිළිබඳ මල්වතු මහනාහිමියන්ට දැනුම්දීම සහ මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවරයාගේ මාර්ගයෙන් ජනාධිපතිවරයාට දැනුම් දෙන එක සිද්ධ කරනවා. ඊට පස්සේ මහනාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පිළිබඳ කටයුතු සාකච්ඡා කෙරෙනවා. රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වෙන මේ ආදාහන පූජෝත්සවයේදී ප්‍රධානත්වය ගන්නේ මල්වතු පාර්ශවයේ අනුනාහිමියන් (අපවත් වුණේ මල්වතු මහනාහිමියන් නම් ප්‍රධානත්වය ගන්නේ අස්ගිරි අනුනාහිමියන්)

ඉන්පස්සේ අපවත් වුණු මහනාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය සිදුකරලා අවසන් වෙලා මහානාහිමියන් වැඩ සිටිය අස්ගිරි විහාර සංකීර්ණයේ තිඛෙන පන්සලට (අපවත් වුණු මහානාහිමියන් වැඩසිටියේ උඩුගම පන්සලේ) රැස්වෙලා සත් දවසේ මතක බණ සහ දානමය පිංකම පිළිබඳ සාකච්ඡා කරනවා. විශේෂ කරුණක් තමා සත් දවසේ මතක බණ සඳහා වැඩම කරන ධර්ම දේශකයාණන් වහන්සේ වැඩම කරවන්නේත් මල්වතු මහා විහාරයෙන් වෙන එක. (මල්වතු මහානාහිමියන්ගේ අපවත් වීමකදී වැඩම කරවන්නේ අස්ගිරි පාර්ශවයෙන්)

මේ පිංකම් සියල්ල සිදුකරලා නිමාවීමෙන් පස්සේ සති තුනකින් පමණ අනුනායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධානත්වයෙන් පොහොය ගෙයට රැස්වෙන කාරක සංඝ සභාවේ භික්ෂූන් වහන්සේලා අපවත් වුණු මහානායක හිමියන්ගේ ශාසනික, ජාතික සේවය පිළිබඳ ඇගයීමක් සිදුකරලා උන්වහන්සේට පිං අනුමෝදන් කරනවා. ඊට පස්සේ අභිනව මහානායක හිමිපාණන් වහන්සේ පත්කරගන්න දිනයක් නියම කරගන්නවා.

මින් පස්සේ අභිනව මහනායක පදවිය සඳහා තමන්ගේ සුදුසුකම් ඇතුළත් කරලා කාරක සංඝ සභාවේ භික්ෂූන් වහන්සේලාට පමණක් අයදුම්පත්‍ර යොමුකරන්න පුලූවන්. දැන් මේ කාරක සංඝ සභාව පිළිබඳ කතා කළොත් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා මල්වතු අස්ගිරි උභය විහාර මහානායක හිමිවරුන් පත්කරපු දවසේම තමා කාරක සංඝ සභා ඇතිකිරීම සිද්ධ වෙන්නේ (ඊට පෙරත් මේ ආකාරයේ සංඝ සභා නොතිබුණා නෙමේ). මහානායක හිමියන්ගේ කටයුතු සඳහා  සහයෝගය ලබාදීම තමා කාරක සංඝ සභාවෙන් සිද්ධ කරන්නේ. මේ කාරක සංඝ සභාව විංශත්වර්ගික රාජුපස්ථානීය පරමධර්ම සභාව නමින් තමා හඳුන්වන්නේ.

වර්තමානයේ මෙම කාරක සංඝ සභාවේ සාමාජිකයන් ගණන 20 යි. මහනායක හිමියන්, අනුනායක හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා 18 නමක් තමා මේ කාරක සංඝ සභාවට අයත් වන්නේ. කාරක සංඝ සභාවට පත්වෙන්නෙත් වියත්, බහුශ්‍රැත, පෞරාණික සංඝ පරම්පරාවකට අයත් වන වැඩිමහලූ භික්ෂූන් වහන්සේලා. කාරක සංඝ සභාවේ පුරප්පාඩු ඇතිවන්නේ අපවත් වීමකින්. එතකොට කාරක සංඝ සභාවේ එක`ගත්වයත් මහනාහිමියන්ගේ අනුමැතියත් ඇතිව තමා පුරප්පාඩු පිරවීම සිදුවෙන්නේ.

ඉතින් පැහැදිලියිනේ කාරක සංඝ සභාවට පත්වෙන්නේ විහාර පාර්ශවයේ ඉන්න ජ්‍යෙෂ්ඨතම නායක හිමිපාණන් වහන්සේලා කියන එක. ඉතින් මහානායක පදවියට කාරක සංඝ සභාවේ සාමාජිකත්වය දරණ හිමිපාණන් වහන්සේලා අයදුම් පත්‍රය යොමු කරද්දී ඒකට තමන්ගේ සුදුසුකම් ආදිය, තමන් වහන්සේ මහානාහිමි පදවියට පත්වුවහොත් සිදුකරන කාර්යය, තමන්වහන්සේ සිදුකර තිඛෙන ශාසනික, ජාතික සේවාව ආදිය ඇතුළත් කරන්න ඕනේ.

ඒ වගේමයි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ තමන්වහන්සේ අයිති වෙන සංඝ පරම්පරාව මොකක්ද කියන එක. අස්ගිරි මහා විහාරයේ සංඝ පරම්පරා ඇතිවෙලා තියෙන්නේ පළමුවැනි, දෙවැනි හා තෙවැනි මහානායක හිමිපාණන් වහන්සේලාගේ ශිෂ්‍ය පරම්පරාවලින්. මේ සංඝ පරම්පරා හැඳින්වෙන්නේ උන්වහන්සේලා ග්‍රාම නාමවලින්. 

ඉතින් මේ සංඝ පරම්පරා තුන තමා 

උරුලෑවත්තේ (පහළ පන්සල් පාර්ශවය), ඉඳවලුගොඩ  (මැද පන්සල් පාර්ශවය) සහ පොතුහැර (පහළ පන්සල් පාර්ශවය) කියන සංඝ පරම්පරා. මේ එක එක සංඝ පරම්පරාවලට අයිති පන්සල් තියෙනවා. 

දැනගැනීම පිණිස ඒවාත් කිව්වොත්
උරුලෑවත්තේ සඟ පරපුරට ගලගෙදර, ගුන්නෑපාන, යටවත්ත, උරුලෑවත්ත, ගොඩමුන්නේ, උකුවෙල, මුල්ලේගම හා අරත්තන කියන පන්සල් ටික අයිති වෙනවා. 

ඉඳවලුගොඩ  සඟ  පරපුරට ආදාහන මළුව පන්සල, තලගහමුල, මැද පන්සල, වැල්ලව, නාථ දේවාල පන්සල, අස්ගිරි මහා විහාර පිරිවෙන හා යටවර කියන පන්සල ටික අයිති වෙනවා. 

පොතුහැර සඟ  පරපුරට පොතුහැර, මඩුගල්ලේ, උඩුගම හා ලේනාවල කියන පන්සල ටික අයිති වෙනවා (අපවත් වුණු මහානායක හාමුදුරුවෝ පොතුහැර සඟ පරපුරේ උඩුගම පන්සලේ) මේ සඟ  පරම්පරාවල වැදගත්කම තමා මහානායක සහ අනුනායක පදවි හිමිවෙන්නේ මේ සඟ  පරම්පරාවල භික්ෂූන් වහන්සේලාට පමණක් වීම.

 අස්ගිරි මහා විහාර පොහොය ගෙය

මීළඟට අභිනව මහානාහිමියන් පත් කරගන්න කාරක සංඝ සභාව නියම කරගත්තු දවසක පොහොය ගෙට රැස්වෙනවා. මුලින්ම කාරක සංඝ සභාව සිදුකරන්නේ මහනාහිමියන්ගේ අපවත්වීමෙන් කාරක සංඝ සභාවේ ලේඛකාධිකාරී පදවිය අහෝසි වෙලා තියෙන නිසා කාරක සංඝ සභාවේ එකඟත්වයෙන් තාවකාලිකව සභාවේ කටයුතු පවත්වා ගෙන යන්නේ සභාපති හිමිනමක් සහ ලේඛකාධිකාරී හිමිනමක් පත්කරගන්න එක. මීට පස්සේ මහානායක ධූර අපේක්ෂක කාරක සංඝ සභිකයන් විසින් අයදුම්පත්‍ර සභාපති හිමියන්ට ලබා දෙනවා. 

මේ අවස්ථාවේදී කාරක සංඝ සභාවේ ඒකච්ඡන්දයෙන් මහානායක හිමියන් පත්කරගන්න එක සභාපති හිමියන්ගේ වගකීම. ඒ නිසා අයදුම්කරුවන් කීප දෙනෙක් ඉද්දී නැවත වරක් සිතා බලා එක් අයෙක් ඉදිරිපත් වෙන්න කියලා ඉල්ලා සිටීම සිද්ධ වෙනවා. එහෙම වෙන්නේ නැත්නම් සඟමහලු පිළිවෙලට ලැබුණු අයදුම්පත්‍ර කියවීම සිදුකරලා ඡන්ද වීමසීමක් සිදුකරන්න කටයුතු කරනවා.

ඒ අවස්ථාවේදී පොහොය ගෙයි ප්‍රධාන බුදු පිළිම වහන්සේ ඉදිරිපිට තිඛෙන මේසයේ තීරුවලට ඛෙදපු හිස් කඩදාසියක අයදුම්කරුවන්ගේ නම් ලියලා තමන් කැමති අපේක්ෂකයාගේ නම ඉදිරියෙන් අත්සන් කරන්න කියලා ලේකම් හිමියන් විසින් ඉල්ලා සිටිනවා. එහිදී එක් ඡන්දයක් පමණක් කාරක සංඝ සභිකයන්ට හිමිවෙනවා. බුදු පිළිමය ඉදිරියේ මේ කටයුත්ත සිදුකිරීමෙන් බුදුන්වහන්සේ හා ධර්ම විනය සාක්ෂි කොටගෙන කටයුතු කළ බව සංකේතවත් කරනවා.

ඒකෙනුත් සම ඡන්ද ලැබිලා මහානායක හිමිනමක් පත්කරගන්න අපහසු නම් සම ඡන්ද ගත්තු අපේක්ෂකයන් දෙනම අතර එකඟතාවක් ඇතිකරලා ඒක ලිඛිත ප්‍රකාශයක් බවට පත්කරලා සභා සම්මත කිරීමෙන් මහානායක පදවිය සඳහා භික්ෂූන් වහන්සේ නමක් තෝරාගැනෙනවා. සභාපති හිමියන් විසින් අභිනව මහානායක හිමියන්ගේ නම ප්‍රකාශයට පත්කිරීමෙන් පස්සේ අභිනව මහනාහිමියෝ සූදානම් කරලා තිඛෙන පිච්ච මල් වට්ටිය ප්‍රධාන බුදුපිළිම වහන්සේට පූජා කරනවා. 

 අස්ගිරි විහාර පොහොයගෙයි අභ්‍යන්තරයේ මහනාහිමියන් සහ කාරක සංඝ සභිකයන් වැඩ සිටින අන්දම

 ඊට පස්සේ කාරක සංඝ සභාවේ සිටින තමන්වහන්සේට වඩා වයෝවෘද්ධ භික්ෂූන් වහන්සේලාට නමස්කාර කරන අභිනව මහනාහිමියෝ වාරියපොළ ශ්‍රී සුමංගල අනුනාහිමියන් අනුස්මරණය කරන ශෛල ස්ථම්භයට පිටදීලා වාඩිවෙන්න තියෙන මහානායක හිමියන්ගේ අසුනට වැඩම කරලා කෙටි අනුශාසනාවක් සිදු කරනවා. ඉන් පස්සේ සියලූ දෙනා වහන්සේම අභිනව මහනාහිමියන්ට සෙත් පිරිත් සජ්ඣායනය කරලා ආශිර්වාද කරනවා.

මේ කාර්යයෙන් පස්සේ කාරක සංඝ සභිකයන් සමග සේසත් මුරායුධ සහිත පෙරහැරකින් පොහොයගෙය පැදකුණු කරන අභිනව මහානායක හිමියන් තමන්වහන්සේගේ ආරාමයට වැඩම කරවලා සියලූ දෙනා වහන්සේට ගිලන්පස පූජාවක් පවත්වනවා. ඒ දවසේම සවස් භාගයේදී දළදා මාළිගාවට වැඩම කරවලා දළදා වහන්සේට වන්දනා කිරීමත් අභිනව මහානායක හිමියන් සිදුකරනවා. 


අභිනව මහානායක හිමියන්ට කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් අස්ගිරි මහානාහිමියන්ට පූජා කළ සධාතුක කරඬුව, දළදා කරඬුවේ රන් යතුර, පිරිත්හුය, පිරිත් පොත් වහන්සේ, ඇත්දත් වටාපත සහ කාම්බෝජ සිවුරු කට්ටලය කියන මහානායක පදවියට හිමි භාණ්ඩ ලබාදීමත් සිද්ධ වෙන වැදගත් කාර්යයක්.

මීළඟට  සිදුවෙන වැදගත් කාර්යය තමා අභිනව මහනාහිමියන් පිළිබඳ මල්වතු පාර්ශවයට නිල වශයෙන් දැනුම් දෙන්න අනුනාහිමියන් සහ සංඝ සභාවේ කීප නමක් දැහැත් වට්ටිද සමග පෙරහැරින් මල්වතු මහා විහාරයට පිටත් කෙරෙන එක. මේ අවස්ථාව වෙද්දී මල්වතු මහනාහිමියන් ඇතුළු මල්වතු මහා විහාර කාරක සංඝ සභාව පොහොය ගෙයි රැස්වෙලා ඉන්නේ. පිරිස සාදරයෙන් පිළිගන්න ගිලන්පස පූජා කිරීමෙන් පසුව මල්වතු මහානාහිමියන්ට සුභ පණිවුඩය ලබාදීම සිදුකෙරනවා. 

අභිනව මහානාහිමියන්ට දීර්ඝායුෂ පතන මල්වතු මහනාහිමියන් සුභාශිංසනය එක්කරනවා. ඊට දින කීපයට පස්සේ මල්වතු පාර්ශවයේ අනුනායක හිමියන් ඇතුළු දූත පිරිසක් දැහැත් වට්ටිත් අරගෙන පෙරහැරින් අස්ගිරි විහාරයට වැඩම කරලා අභිනව මහනාහිමියන්ට සුභ පැතුම් එක් කරලා ආශිර්වාද කිරීම සිද්ධ කරනවා.

මේ කාර්ය පටිපාටියේ අවසන් වැදගත් කාර්යය තමා අභිනව මහානායක හිමියන්ට ශ්‍රී  සන්නස් පත්‍රය පිරිනමන එක. කාරක සංඝ සභාවේ තාවකාලික සභාපති වශයෙන් පත්කෙරුණු හිමියන් විසින් අත්සන් තබන අභිනව මහානායක හිමියන්ගේ ශ්‍රී  සන්නස් පත්‍රය දිස්ත්‍රික් ලේකම් මාර්ගයෙන් ජනාධිපතිතුමා වෙත පිටත් කෙරෙනවා. එතුමන් විසින් අත්සන් කරලා රාජ්‍ය මුද්‍රාව තබපු සන්නස් පත්‍රය රාජ්‍ය උත්සවයක් මඟුල් මඩුවේ පවත්වලා අභිනව මහානායක හිමියන් වෙත ජනාධිපතිතුමා විසින් පිරිනමනවා. 

මේ අවස්ථාවෙන් පස්සේ කාරක සංඝ සභාවත් සමග දළදා වහන්සේ වන්දනා කරන අභිනව මහානායක හිමියන් මහ පෙරහැරින් අස්ගිරි ගෙඩිගේ විහාරයට වැඩම කරවලා වන්දනා කිරීමෙන් පස්සේ අස්ගිරි පොහොය ගෙට වැඩම කරවනවා. එහිදීත් අභිනව මහානාහිමියන්ට ආශිර්වාද පිරිත් සජ්ඣායනය කිරීමක් සිද්ධ වෙනවා.

මේ තමා අභිනව මහානායක හිමිනමක් පත්කිරීම  පිළිබඳ විස්තරයක් සංක්ෂිප්තව.


අවසාන වශයෙන් අපවත් වී වදාළ අතිගෞරවාර්හ මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක, හයගිරි විජයසුන්දරාරාම විහාරද්වයාධිපති අග්ගමහා පණ්ඩිත උඩුගම ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධරක්ඛිත නාහිමිපාණන් වහන්සේට නිවන් සුව අත්වේවා කියා ප්‍රාර්ථනා කරනවා.

ලිපිය සම්පාදනය උදෙසා කරුණු සොයාගනු ලැබුවේ ආචාර්ය ගොඩගම මංගල හිමියන්ගේ සංස්කාරකත්වයෙන් ප්‍රකාශයට පත් කෙරුණු සත්සිය වස් සපිරි අස්ගිරි මහා විහාරය කෘතියෙනි.

Thursday, July 19, 2012

රතිකෙළියට ලොල්ව පිරිමින් මරන්න ගිය බෝසත් රජ කුමරා


මාතෘකාව දැක්ක ගමන් සමහරු රෙදි උස්සගෙන ආවද දන්නේ නැහැ මමත් NGO එකකින් සල්ලි අරන් බුදු හාමුදුරුවන්ට අපහාස වෙන කතා ලියනවා කියලා. කෝකටත් කලින් කරුණු කාරණා හරියට කියවලා බලමුකෝ...

කතාව මෙහෙමයි. යටගිය දවස [හැමදාම වගේ කතාව පටන් ගන්නේ එහෙමනේ] බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් හිටියා [තාමත් බ්‍රහ්මදත්ත රජතුමාගේ මාළිගාව බරණැස එහෙමත් නැත්නම් වර්තමාන වාරණාසියේ තියෙනවාලුනේ]. 

 බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජ මාළිගාව

ඒ රජතුමාගේ බිසෝවරුන්ට කාලයක් යනකම්ම පුතෙක් ඉපදුණේ නැහැ. මේ ගැන කම්පාවෙන් හිටිය රජතුමාට ඉතාමත්ම සතුටට පත්වුණා අග බිසවගේ කුසේ දරුවෙක් පිළිසිඳ ගත්තු එකෙන්. මාස 10 ක් ඇවෑමෙන් මෙලොව එළිය දකින මේ පුත් කුමාරයා තමා අපේ බෝසතාණන් වහන්සේ. කුමාරයාට නම තබනවා අසනඝ කුමාරයා කියලා. 

මේ කුමාරයා උපන්නාම නාවලා කරලා කිරි මවකගේ අතට දුන්නාම කුමාරයා නවත්තන්නේ නැතුව අඬනවා. ඒ කිරි මවගෙන් තව කිරි මවකට දුන්නාම ඒත් අඬනවා. මේ විදිහට කිරි මව්වරුන්ගේ අතින් අතට කුමාරයා ගියත් අඬන එක නවත්තන්නේ නැති නිසා රාජ පුරුෂයෙක් අතට කුමාරයා දෙනවා. 

එතකොට කුමාරයා අඬන එක නවත්තනවා. ඉතින් ඊට පස්සේ ඉදන් කුමාරයාගේ සියලුම කටයුතු කරන්නේ පිරිමි විතරමයි. කොයියම්ම අවස්ථාවක හරි ගෑණු කෙනෙක් කුමාරයා ගාවට ආවොත් කුමාරයා අඬන්න පටන් ගන්නවා. 

කුමාරයාට කිරි පෙව්වා කියන්නේත් කිරි මව්වරු තමන්ගේ කිරි තැටියකට දැම්මාට පස්සේ ඒ තැටියේ ආධාරයෙන්. එහෙමත් නැත්නම් කුමාරයාගේ අම්මා තිරයකින් ආවරණය වෙලා ඉද්දී තණ පුඩුව විතරක් කුමාරයාගේ කටට දීලා කිරි පොවනවා. 

මේ විදිහට හැදුණු වැඩුණු කුමාරයා තරුණ වියට ආපුවාමත් ස්ත්‍රීන් සම්බන්ධ කිසිම ඇල්මක් තිබුණේ නැහැ. කුමාරයා වෙනුවෙන් වෙනම මාළිගාවක් ඉදි කරවපු පිය රජතුමා ඒ මාළිගාව කුමාරයාගේ වාසයට වෙන් කරනවා. 

කොහොම නමුත් මේ රාජ්‍යයේ මීළඟ රජතුමා වෙන්න ඉන්න තමන්ගේ පුතා රජ වුණාම ස්ත්‍රීන් සමඟ පංච කාම සම්පත්තිය අනුභව කළ යුතු වුණත් තමන්ගේ පුතා ස්ත්‍රීන්ව පිළිකුල් කරන නිසා රාජ්‍යය කරන්නේ කොහොමද කියලා රජතුමා නිතරම කල්පනා කරනවා


එක දවසක් රජතුමාව බැහැ දකින සිංදු කියන්න දක්ෂ තරුණියක් කුමාරයාගේ ස්ත්‍රීන්ට තියෙන පිළිකුල බැහැර කරන්නම් කියලා ඒකට උපායක් යොදනවා. උපාය තමා ඒ තරුණිය කුමාරයා සිටින මාළිගාව ආසන්නයේ ඉදන් විණාව වාදනය කරනවා. 

ඒ වීණා වාදනය මුල්ම දවසේ කුමාරයා අහගෙන ඉන්නවා. දෙවෙනි දවසේ තවත් ආසන්නයට ඇවිත් තරුණිය වීණා වාදනය කරනවා. මේ වීණා වාදනයට රස වැටුණු කුමාරයා අණ කරනවා ඒ වීණා වාදනය කරන තැනැත්තාව මාළිගාවට අරගෙන ඇවිත් මාළිගාවේ ඉදන් වීණා වාදනය කරවන්න කියලා. 


ඉතින් මාළිගාවට ආපු ඒ තරුණියගේ වීණා වාදනයට රස වැටුණු කුමාරයා අවසානයේ ඇය ගැනත් ලොල් වෙලා ලෝකාස්වාද රතියේ යෙදිලා [මේක ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ දන්නවානේ] අතිශය සතුටට පත් වෙනවා. 

ඊට පස්සේ කුමාරයා හිතනවා මේ විදිහට තමන්ට ලැබුණු සුවය අනික් පිරිමින්ට අත් වෙන්න දෙන්න බැහැ කියලා. එහෙම හිතපු කුමාරයා කඩුවත් අරගෙන වීථියට බැහැලා තමන්ට හමුවෙන හැම පිරිමියෙක්ම කඩුගාන්න පටන් ගත්තා. පස්සේ මේ ගැන රජතුමාට ආරංචි වෙලා රජතුමා කරන්නේ සේනාව යවලා කුමාරයා අල්ලා ගෙන ඇවිත් කුමාරයාවයි අර තරුණියවයි නගරයෙන් පිටුවහල් කරනවා 

යන්න එන්න තැනක් නැතිවුනු මේ යුවළ හිමාල වනයට ගිහින් ගංගාවක් අසළ ගෙයක් හදාගෙන ජීවත් වෙනවා. හැමදාම වනයට යන බෝසත් කුමාරයා පලවැල ගෙනත් දෙනවා අර තරුණියට. පස්සේ ඒවා සකස් කරගෙන දෙන්නා අනුභව කරනවා. 


දවසක් දා මේ පැලේ දුම් දකින ආකාශයෙන් ගමන් කරන තාපසයෙක් බෝසත් කුමාරයා පලවැල නෙලන්න කැළේට ගිය වෙලාවේ පැලට එනවා. අර තරුණියත් තාපසයාට පලවැලෙන් සංග්‍රහ කරලා අවසානයේදී කොහොමින් කොහොම හරි තාපසයා ගැන පිළිබඳ සිතක් පහළ වෙලා දෙන්නා ලෝකාස්වාදරතියේ යෙදෙනවා. 

මේ වෙලාවේ බෝසත් කුමාරයා එන බව දැක්ක තාපසයා අහසින් යන්න උත්සහ කළත් ඒ වෙද්දී තාපසයාගේ ධ්‍යාන පිරිහිලා තිබුණු නිසා තාපසයා ගඟට වැටෙනවා. බෝසත් කුමාරයාත් මේ වෙද්දී මේ තාපසයාව මරන්න කඩුවත් අරගෙන පස්සෙන් දුවගෙන එනවා. 

ඒත් සෘද්ධි බල පිරිහිලා තාපසයාට වුණු දේ දැක්කාම බෝසත් කුමාරයා තාපසයාට මෙහෙම කියනවා 

"ස්ත්‍රීන් පිළිබඳ සිත් නිසා ධ්‍යාන පිරිහෙනවා. ස්ත්‍රිය සියල්ල දවන ලැව් ගින්නක් හා සමානයි. ස්ත්‍රීන් සමඟ කරන කතාව නිෂ්ඵලයි" යනාදී වශයෙන්. 

මේ කරුණු අහගෙන ඉන්න තාපසයා නැවත වරක් ධ්‍යාන උපදවා ගෙන අහසින් තමන් හිටිය අසපුවට පිටත් වෙනවා. 


මේ ධර්මතාවය සිහි කරපු බෝසත් කුමාරයාත් ධ්‍යාන උපදවා ගෙන අර තරුණියත් අරගෙන අහසින් මාර්ගයක් ගාවට ගිහින් කැමති තැනකට යන්න කියලා තරුණියව අත හැරලා තව දුරටත් භාවනා කරලා පංච අභිඥා ආදිය උපදවා ගෙන මිය පරලොව යනවා. 

ස්ත්‍රියක් ගැන සිතමින් හිටිය භික්ෂූන් වහන්සේ නමක් මූලික කරගෙන තමා බුදුන් වහන්සේ මේ ජාතක කතාව දේශනා කරන්නේ. පන්සිය පනස් ජාතක පොත් වහන්සේ තුළ තිබෙන 262 වෙනි ජාත කතාව වන චුල්ලපලෝභන [සංකප්ප] ජාතකයේ තමා මේ කතාව තියෙන්නේ. 

මේ කතාවට අදාළව පින්තූර හොයද්දී කතාව අන්තර්ජාලයේ තියෙන බවත් දැනගන්න ලැබුණා. මෙන්න ඒ කතාව සම්භාව්‍ය සිංහලෙන්

බ්‍රහ්මදත්ත රජතුමාගේ මාළිගාවේ ඡායාරූප සපයා ගත්තේ වත්සලා කරුණානායක අක්කගේ flickr ගිණුමෙන්. ඇයට ඒ පිළිබඳව ස්තුතියි. තවත් මාළිගාවේ තවත් ඡායාරූප බලන්න මෙතනින් යන්න

ඉතින් රති කෙළියට වැඩියෙන් ලොල් වෙන අය වගේම රති කෙළිය නිසා විවිධ හානි කරගන්න අයත් ස්ත්‍රීන් ගැන අධිකව ලොල් වෙන අයත් මේ කතාවෙන් ගන්න පුලුවන් ආදර්ශයක් ගත්තොත් හොඳා....................

Wednesday, July 4, 2012

මත්පැන් වළඳා වෙරි වී කසළ ගොඩකට වැටුණු බුද්ධ උපස්ථායක සාගත හාමුදුරුවෝ


මත්පැන් පානය කියන එක බොහොම විවාද සම්පන්න මාතෘකාවක්. මත්පැන් එහෙමත් නැත්නම් සුරාව හැදුණු හැටි ගැනත් මම එකෝමත් එක කාලෙක කතාවක් කිව්ව මතක ඇතිනේ.

ශරීරයට, පොකට් එකට මත්පැන් පානය හොඳ නැහැ කියලා කියන පිරිසක් ඉන්නවා වගේම මත්පැන් ටිකක් බොන එක සෞඛ්‍යයට ගුණදායක වෙනවා, පිරිමිකමේ සංකේතයක් කියන උදවියත් ඉන්නවා. එහෙම උදවියලුනේ මේ කවිය හැදුවා කියන්නේ.

සුරාවෙහි අගයත්
එහි ඇති මනා ගුණයත්
බොන සුදනෝ දනිත්
නොබොන අනුවණ දනෝ නොදනිත්

කවිය කොහොම වුණත් ඔය මත්පැන් බීලා මේ විදිහට කබරයා දාන එක නම් අන්තිම සවුත්තුයි

බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මත්පැන් පානය සම්බන්ධව මේ වගේ අදහසක්

උම්මත්තා විගත ලජ්ජගුණා භවන්ති
දීනා සදා ව්‍යසන රෝග පරායනා ච
ජාතා භවේසු විවිධෙසු විරූපදෙහා
පීත්වා හලාහලවිසංව සුරා විපඤ්ඤා 

මේ ගාථාවේ තේරුම තමා නුවණ නැති තැනැත්තා කෑ සැටියේ මැරෙන විෂක් බඳු වූ සුරාව පානය කොට අනාගතයෙහි උන්මත්තක වන්නාහ. ලැජ්ජා ගුණය නැත්තෝ වන්නාහ. දිළින්දෝ වන්නාහ. සෑම කල්හිම නොයෙක් ව්‍යසන හා නොයෙක් රෝග ඇත්තෝ වන්නාහ. නොයෙක් ජාතිවල උපන්නාහු විරූප ශරීර ඇත්තෝ වන්නාහ කියන එක

මේ වගේ පදනමක් මත ඉදන් තමා ගිහියාගේ නිත්‍ය ශීලය වෙන පංචශීලයට "සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි" එහෙමත් නැත්නම් මදයට ප්‍රමාදයට හේතු වන සුරාමේරය පානයෙන් වැළකීම වූ ශික්ෂා පදය සමාදන් වෙමි කියලා එකතු වුණේ.

එතකොට මත්පැන් පානයෙන් වැළකීම භික්ෂූන් වහන්සේටත් අදාළ බව වැටහෙනවානේ. ඒත් ඒ ආකාරයෙන් භික්ෂූන් වහන්සේලාට මත්පැන් පානය තහනම් කිරීම සිද්ධ වුණේ වෙනස්ම විදිහකට. ඒක මෙහෙමයි. 

බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා උදෙසා ශික්ෂා පද පැනවීම කරලා තියෙන්නේ කිසියම් හේතුවක් පාදක කරගෙන. ඒ නිසා භික්ෂූන් වහන්සේලාට මත්පැන් පානය අකැප බව උන්වහන්සේ වදාරන්නේ සාගත කියන හාමුදුරුවෝ පාදක කරගත්තු සිද්ධියක් නිසා.

සාගත හාමුදුරුවෝ

සාගත හාමුදුරුවෝ කවුද කියන එක ගැන ටිකක් මුලින්ම කතා කරමු. සැවැත් නුවර බ්‍රාහ්මණ පවුලක ඉපදුණු සාගත කියන බමුණු කුමාරයා තරුණ වියට පත්වුණාම බුදු හාමුදුරුවන් සමීපයේ පැවිදි වෙනවා සාගත කියන නමින්ම. පැවිදි වෙලා ටික කාලෙකින්ම භාවනා කිරීමෙන් අෂ්ට සමාපත්ති උපදවා ගන්න සාගත හාමුදුරුවෝ සමත් වෙනවා.

බුදුන් වහන්සේ තමන් වහන්සේ උදෙසා උපස්ථායකවරයෙක් ස්ථීරව පත්කරගන්නේ වයස අවුරුදු 55 දී. ඒ දක්වා වරින් වර උන්වහන්සේගේ උපස්ථායක විදිහට කටයුතු කරපු භික්ෂූන්ගෙන් එක් අයෙක් වුණෙත් මේ සාගත හාමුදුරුවෝ. පස්සේ තමා ආනන්ද හාමුදුරුවන්ට අග්‍ර උපස්ථායක විදිහට බුදුන් වහන්සේ පත් කරන්නේ.

සාගත හාමුදුරුවන් කරපු දමනය කිරීමක් ගැනත් කියවෙනවා. දඹදිව අම්බතීර්ථය කියන ප්‍රදේශයේ මිනිස්සුන්ට විශාල නාගරාජයෙක්ගෙන් නිරන්තරයෙන්ම කරදර විඳින්න සිද්ධ වුණා. දවසක් බුදුන් වහන්සේ සමඟ මේ ප්‍රදේශයට වැඩම කරපු සාගත හාමුදුරුවන්ට මේ නාගරාජයා ගැන දැනගන්න ලැබිලා නාගරාජයා හිටිය ස්ථානයට සාගත හාමුදුරුවෝ වැඩම කළා.

සාගත හාමුදුරුවෝ දැකපු නාගරාජයා විෂ දුම පිට කරන්න පටන් ගත්තා. ඒ වෙලාවේ නාගරාජයාගේ විෂ දුමට වඩා ප්‍රබල විෂ දුමක් සාගත හාමුදුරුවෝ නිකුත් කරනවා. ඊළඟට නාගරාජයා කරන්නේ ගිනිජාලා පිටකරන්න ගත්තු එක ඒ අවස්ථාවේ සාගත හාමුදුරුවෝ කරන්නේ තේජෝ ධාතුවට සමවැදිලා ගිනිජාලා නිකුත් කරන්නට පටන් ගත්තු එක. අවසානයේදී නාගරාජයා දමනය වෙනවා වගේම බුදුන් සරණ යනවා. ඒ වගේමයි අම්බතීර්ථයේ ගම්වාසීන් ඊට පස්සේ කරදරයක් නැතුව තමන්ගේ කටයුතු කරගන්නවා

ඉතින් දැන් අද කතාවට ආවොත් දවසක් බුදුන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයා කොසඹෑ නුවරට වැඩම කරනවා. ඒ වෙද්දී කොසඹෑ නුවරවාසීන්ටත් බලවත් අම්බතීර්ථයේ නාගරාජයා බුදුන් වහන්සේගේ ශ්‍රාවක සාගත හාමුදුරුවෝ දමනය කළා කියන කතා දැනගන්න ලැබිලා තිබුණේ. 

ඒක නිසා බොහෝ දෙනා සාගත හාමුදුරුවොත් එක්ක කතා බහ කරන්න පෙළඹුණා. ඒ අවස්ථාවේ මිනිස්සු කියනවා "ස්වාමීනි, ඔබවහන්සේ කැමති දුර්ලභ මොනවා හරි තියෙනවා නම් කියන්න. අපි ගෙනවිත් දෙන්නම් කියන්න" කියලා. සාගත හාමුදුරුවෝ ඒ වෙලාවේ නිහඬව හිටියත් එතන හිටිය ඡබ්බග්ගි භික්ෂු කණ්ඩායම කියනවා "දුර්ලභ, මන වඩන පානයක් වුණු කපෝතිකා කියන සුරාව සාගත හිමියන්ට පිළියෙල කරලා දෙන්න" කියලා

කොසඹෑ නුවරවාසීනුත් ඒක පිළි අරගෙන තමන්ගේ ගෙවල්වලට ගිහින් ඉක්මණින් කපෝතිකා කියන සුරාව පිළියෙළ කළා. පස්සේ දවසේ උදෑසන පිඬු සිඟා වැඩිය සාගත හිමියන්ට මේ කපෝතිකා සුරාව ඔවුන් පිළිගන්නනවා. 

බුදුන් වහන්සේත් සුරා පානය නොකරන්න ශික්ෂා පදයක් පනවලා නොතිබුණු නිසාත් ඒ සුරාව පිළිගත්තු සාගත හාමුදුරුවෝ හැම ගෙදරකින්ම ලැබුණු කපෝතිකා සුරාව පානය කරලා හොඳටම වෙරිවෙලා කෙලින් හිටගන්නත් බැරිවෙලා නගර දොරටුව ගාව තියෙන කුණු ගොඩකට වැටිලා විකාර දොඩව දොඩව හිටියා.

මේ අවස්ථාවේ එතනින් වැඩම කරපු බුදුන් වහන්සේ මේ කුණු ගොඩේ වැටිලා විකාර දොඩවමින් දගලමින් ඉන්නේ සාගත හාමුදුරුවෝ බව දැකලා සාගත හාමුදුරුවන්ව අනෙක් හාමුදුරුවරු ලවා විහාරයට ගෙන යනවා. විහාරයට අරගෙන ගිය සාගත හාමුදුරුවන්ගේ හිස බුදුන් වහන්සේ ඉන්න පැත්තට වෙන්න දාපු අනෙක් හාමුදුරුවරු සාගත හාමුදුරුවන්ට නිදාගන්න සලස්වනවා. ඒත් ටික වෙලාවකින් වෙරි මතින් දගලන්න ගත්තු සාගත හාමුදුරුවෝ බුදුන් වහන්සේ හිටිය පැත්තට කකුල් දිගු කරලා නිදාගන්න පටන් ගත්තා

මේ සිද්ධියත් එක්ක බුදුන් වහන්සේත් අනෙක් හාමුදුරුවරුත් අතරේ මේ වගේ සංවාදයක් ඇතිවෙනවා

බුදුන් වහන්සේ : මහණෙනි, මීට කලින් මේ සාගත හාමුදුරුවෝ මට ගෞරව සත්කාර කළා නේද ?
හාමුදුරුවරු : එහෙමයි ස්වාමීනි, මේ සාගත හාමුදුරුවෝ ඔබවහන්සේට ගෞරව සත්කාර කළා පමණක් නෙමෙයි ඔබවහන්සේට උපස්ථානත් කළා

බුදුන් වහන්සේ : මහණෙනි, දැන් මේ සාගත හාමුදුරුවෝ මට ගෞරව සත්කාර කරනවාද ?
හාමුදුරුවරු : ස්වාමීනි, සාගත හාමුදුරුවෝ මීට කලින් ඔබවහන්සේට ගෞරව සත්කාර කළාට දැන් එහෙම කරන්නේ නැහැ. දැන් මේ සාගත හාමුදුරුවෝ නිදාගෙන ඉන්නෙත් ඔබවහන්සේ දිහාවට කකුල් දිගු කරගෙන

බුදුන් වහන්සේ : මහණෙනි, මේ සාගත හාමුදුරුවෝ අම්බතීර්ථයේ නාගරාජයා දමනය කළා නේද ?
හාමුදුරුවරු : එහෙමයි ස්වාමීනි
බුදුන් වහන්සේ : මහණෙනි, දැන් මේ සාගත හාමුදුරුවන්ට නාගරාජයෙක් නෙමෙයි දිය නයෙක්වත් දමනය කරන්න පුලුවන්ද ?
හාමුදුරුවරු : ස්වාමීනී, මොන දමනය කිරීමක්ද ? වැටිලා ඉන්න හැටි දැක්කාමත් දුකයි

බුදුන් වහන්සේ : මහණෙනි, යමක් පානය කළාම පියවි සිහිය නැතිවී යනවා නම් විකාරයට පැමිණෙනවා නම් එය පානය කළ යුතුද ?
හාමුදුරුවරු : ස්වාමීනී, ඒ වගේ දේවල් පානය කළ යුතු නැහැ

බුදුන් වහන්සේ : මහණෙනි, මේ සාගත හාමුදුරුවෝ කරපු දෙය ඔහුට ගැලපෙන්නේත් නැහැ කැප වන්නේත් නැහැ. එය නොකළ යුත්තක්. මේ සාගත හාමුදුරුවෝ කිසිම ලැජ්ජාවක් බයක් නැතිව මත්පැන් පානය කලා. ඒක නොපැහැදුණු අයගේ පැහැදීම පිණිසත් පැහැදුණු අයගේ වැඩි දියුණුවටවත් හේතු වෙන්නේ නැහැ. 

මහණෙනි, ඒ නිසා අද පටන් භික්ෂූන් මත්පැන් පානය නොකළ යුතුයි. යම් භික්ෂුවක් මත්පැන් පානය කරනවා නම් පචිති වේය.

පචිති කියන්නේ භික්ෂු විනයේ දක්වන වැරදි වර්ගවලින් එක් වර්ගයක්. පචිති වුණාම ඒ සම්බන්ධව ඇවැත් දේශනා කරලා සංඝයාගෙන් සුදුසු දඬුවමක් ලැබුණාට පස්සේ ඒ වැරැද්දෙන් මිදිලා පිරිසිදු වෙන්න පුලුවන්

පහුවෙනිදා උදේ සුපුරුදු තත්වයට පත්වුණාට පස්සේ තමන් කලින් දවසේ හැසිරුණු හැටි අහලා ලැජ්ජාවට පත්වුණු සාගත හාමුදුරුවෝ බුදුන් වහන්සේගෙන් ඒ සම්බන්ධව සමාව ඉල්ලනවා. පස්සේ අප්‍රමාදීව භාවනා කටයුතුවල යෙදුණු සාගත හාමුදුරුවෝ අවසානයේදී රහත් තත්වයට පත්වෙනවා. 


 අවසානයේදී සැවැත්නුවර ජේතවනාරාමයේදී භික්ෂූන් වහන්සේලාට අග්‍රස්ථාන පිරිනමන අවස්ථාවේදී තමන්ගේ සාංසාරික ප්‍රාර්ථනාව පරිදිම තේජෝ ධාතු සමාපත්තියට සමවදින භික්ෂූන් අතර අග්‍රස්ථානය බුදුන් වහන්සේගෙන් සාගත මහ රහතන් වහන්සේට හිමිවෙනවා.

තේජෝ ධාතුවට සමවදිනවා කියන එකත් සරලවම පැහැදිලි කරන්නම්කෝ. තේජෝ ධාතුව කියලා කතා කෙරෙන්නේ උණුසුම කියන පදාර්ථය. ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්ත තමා සිසිලස. තේජෝ ධාතුව භාවනාවේ අරමුණක් විදිහට ගන්න භාවනානුයෝගියාට ඒ අනුසාරයෙන් සිත එකඟ කරගන්න පුලුවන්කම ලැබෙනවා වගේම තමන්ගේ අභිමතය පරිදි තේජෝ ධාතුව පාලනය කරන්නත් හැකියාව ලැබෙනවා.  ඒ යටතේ ගිනිජාලා මැවීම, ගිනිජාලා නිවීම, සිරුරෙන් ගිනි ජාලා නිකුත් කිරීම වගේ දේවල් කරන්න පුලුවන්. ඒ සඳහා තේජෝ ධාතුවට සමවදිනවා කියන්නේ ඒක තමා. 

මේ කතාව තියෙන්නේ මනෝරථපූරණීයේ පාචිත්තිය පාළි කොටසේ භික්ඛු විභංගයේ සුරාපාන වර්ගයේ සුරාපාන ශික්ෂා පදය කොටසේ

මේ ලිපිය ලියන්නත් කරුණු වගේම ඡායාරූප සපයා ගත්තේ ගයාන් චානුක විදානපතිරණ විසින් රචනා කරපු සාගත හාමුදුරුවෝ කෘතියෙන්. ඔහුටත් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කෘතිය සහ සාගල හාමුදුරුවෝ කෘති දෙක මට කියවන්න ලබාදුන් තුෂාන්ත [ජිලෙට්] අයියාටත් පින් සිදුවේවා

ප.ලි.: මීට කලින් ලියපු මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ සම්බන්ධ ලිපිය අයෙක් මුහුණුපොතේ පළ කර තිබුණා. එහිදී ඔහු එය උපුටා ගැනීමක් කියලා දක්වන්නවත් කාරුණික වෙලා තිබුණේ නැහැ. ඒ ගැන ඔහුට facebook message එකක් හරහා කිව්වාම අන්තිමට ඔහු කළේ මාව block කරපු එක. අවසානයේදී මේ ගැන මම facebook status එකක් විදිහට දාපුවාම ඒකට ප්‍රතිචාර දක්වපු ක්සැන්ඩර් අයියා ඇතුළු සයිබර් මිතුරන්ගේ කටයුතු නිසා ඒක උපුටා ගත්තු කෙනා මේ අඩවියෙන් ඒක උපුටා ගත්තු බව දක්වන්න කටයුතු කළා.  

ඒ ආකාරයෙන් උපුටා ගැනීම් කරන අයගෙන් කරන ඉල්ලීම තමා උපුටා ගැනීමක් කලා නම් ඒ බව සඳහන් කරන්න කාරුණික වෙන්න කියන එක තමා :)

Thursday, June 7, 2012

ගොන් ප්‍රශ්න අහපු රජ කෙනෙක් ගැන කතාවක්


එකෝමත් එක කාලෙක [කොයි කාලෙද කියලා අහන්න ඔට්ටු නෑ] එකෝමත් එක රටක [ ඒක නම් ඔන්න ඕහේ ලංකාව කියලත් හිතා ගත්තට කමක් නැහැ] රජතුමෙක් හිටියා. 

රජතුමා ඒ රටේ තිබුණු සල්ලි ඔක්කොම කොටස් වෙළෙඳ පොළටයි, වරායවල් වගේ දේවල් හදන්නයි, ක්‍රිකට් පිට්ටනි හදන්නයි වගේ දේවල්වලට වියදම් කරලා තිබුණේ. අතේ මිටේ සල්ලි නැති නිසා රටේ තිබුණු නිධන් ටිකත් කඩලා ගාණක් හොයාගෙන තිබුණත් රෝල ගෙනියන්න රජතුමා අතේ සල්ලි නැහැ. ඒක නිසා රජතුමා බැලුවා හොඳ සල්ලි තියෙන කාව හරි මරාගෙන ඒ වස්තුව අත්පත් කරගන්න.

ඉතින් රජතුමාට මීටර් වුණා පරම්පරාවෙන් හෙණටම ඉඩ කඩම් හිමිවෙලා තියෙන ඒ වගේම සල්ලි භාගේ තියෙන නායක හාමුදුරු කෙනෙක් ගැන. 

රජතුමා හාමුදුරුවන්ව මාළිගාවට වැඩම කරවලා කිව්වා "හාමුදුරුවෝ ලවා මට විසඳාගන්න ප්‍රශ්න හතරක් තියෙනවා. ඔබ වහන්සේගේ දැන උගත්කමෙන් මේ ප්‍රශ්න හතරට උත්තර දුන්නොත් හොඳයි. ඒ නැත්නම් ඉතින් මට කරන්න සිද්ධ වෙන්නේ ඔබ වහන්සේගේ වස්තුව රාජ සන්තක කරලා හිස ගසා දාන එක තමා" කියලා

ප්‍රශ්න 4 තමා මේවා

මහ මුහුද කොච්චර ගැඹුරුද ?
මහ පොළොවේ හරි මැද කොතනද ?
අහසේ තරු කොච්චර තියෙනවාද ?
මගේ හිතේ [රජතුමාගේ] තියෙන්නේ මොනවාද ?

ප්‍රශ්න 4 අහපුවාම නායක හාමුදුරුවන්ට තේරුණ මේ නම් තමන්ව මරලා වස්තුව ගහන්න රජතුමා ගහපු ගැටයක්ම තමා කියලා. 

පස්සේ රජතුමා කිව්වා "ඔබ වහන්සේට දවස් 7 ක් දෙනවා මේවාට පිළිතුරු සූදානම් කරගන්න. අටවෙනි දවසේ ඇවිත් ඔබ වහන්සේ මට උත්තර දෙන්න ඕනේ" කියලා. 

ඉතින් නායක හාමුදුරුවොත් පන්සලට ආපහු වැඩම කරලා බලාගත්තු අතේ බලාගෙන ඉන්නවා. දානේ ගන්නෙත් නැහැ. හරිම අවුල්. මේ පන්සලේ හිටිය නායක හාමුදුරුවන්ගේම වයසේ හිටිය ඇබිත්තයෙක්...

ඉතින් හාමුදුරුවන්ගේ එක තේරුණු නිසා බලන් ඉන්න බැරිම තැන ඇහුවා මොකද නායක හාමුදුරුවනේ ප්‍රශ්නේ කියලා. පස්සේ ඉතින් නායක හාමුදුරුවෝ රජතුමා තමන්ව අහු කරගන්න යන උගුල ගැන කිව්වා. 

ඒක ඇහුවාම ඇබිත්තයා කිව්වා "අයියෝ හාමුදුරුවනේ ඕකට උත්තර දෙන එක නම් එච්චර ප්‍රශ්නයක් නෙමෙයිනේ. එදට ඔබ වහන්සේ විදිහට මාව මාළිගාවට යවන්න මම වැඩේ කරලා එන්නම්" කියලා

ඉතින් හාමුදුරුවොත් ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා වගේ එදා උදේ ඇබිත්තයාගේ හිස කෙස් බාලා වටාපතක් අතට දීලා මූණ වහගන්න කියලා ඇබිත්තයාව මාළිගාවට යැව්වා. 

රජතුමාත් ඉතින් අද නම් හාමුදුරුවන්ට වැඩේ හරි කියලා සන්තෝසෙන් "හාමුදුරුවනේ මගේ ප්‍රශ්න 4 ට උත්තර දීලා ඔබ වහන්සේගේ ජීවිතෙයි වස්තුවයි දෙකම බේරගන්න" කියලා. 


 මුල්ම ප්‍රශ්නේ ඇහුවා "හාමුදුරුවනේ මහ මුහුද කොපමණ ගැඹුරුද ?" කියලා

හාමුදුරුවෝ වගේ ඉන්න ඇබිත්තයා කියනවා "රජතුමනි, මූදට බැස්ස තැනම පතුල තෙමෙන තරම් ගැඹුරුයි ටිකක් එහාට යනකොට දණක් වතුර ගැඹුරුයි. ඊටත් එහාට යනකොට උකුළක් වතුර ගැඹුරුයි. ඊටත් එහාට යනකොට තන මත්තක් ගැඹුරුයි, ඊටත් එහාට යද්දී කර වටක් ගැඹුරුයි. ඊටත් එහාට යද්දී පොව්වනේ නැති තරමට ගැඹුරුයි. ඕක තමා හරියටම මහ මුහුදේ ගැඹුර" කියලා.


රජ්ජුරුවන්ට කියාගන්න දෙයක් නැහැ. හා හොඳයි කියලා ඒක පිළි අරගෙන ඇහුවා දෙවෙනි ප්‍රශ්නේ "මහ පොළොවේ හරි මැද මොකක්ද?" කියලා. 

හාමුදුරුවෝ වගේ හිටිය ඇබිත්තයා කළේ අතේ තිබුණු හැරමිටියත් අරගෙන එහාට මෙහාට ගිහින් එක තැනකට හැරමිටියෙන් ඇනලා  "මෙන්න මෙතන තමා මහ පොළවේ හරි මැද, බොරු නම් බිම් මනින්නන් දාලා මන්නවලා බලන්න" කියලා. 


 රජතුමාට ඒකට දෙන්න උත්තරයක් නැහැ. ඒකත් හා කියලා පිළි අරගෙන ඇහුවා තුන්වෙනි ප්‍රශ්නේ "අහසේ තාරකා කීයක් තියෙනවාද?" කියලා.

හාමුදුරුවෝ වගේ ඉන්න ඇබිත්තයා කිව්වා "රජතුමනි, අහසේ තාරකා නව කෙළ හැට ලක්ෂ තිස් තුන්දාස් නවසිය අනූ අටක් තියෙනවා. සැක නම් රාජ පුරුෂයන් දම්මලා ගැනලා බලන්න" කියලා. 

රජතුමාට දෙන්න උත්තරයක් නැහැ. රජතුමාත් ගොනානේ නැත්නම් මේ වගේ ගොන් ප්‍රශ්න අහනවාද :))

පස්සේ රජතුමා ඒකත් හා කියලා පිළි අරගෙන ඇහුවා අන්තිම ප්‍රශ්නේ "මගේ හිතේ තියෙන්නේ මොකක්ද?" කියලා. 

එතකොට හාමුදුරුවෝ වගේ ඉන්න ඇබිත්තයා කිව්වා "රජතුමාගේ හිතේ තියෙන්නේ මේ නායක හාමුදුරුවෝ කියලා. ඒත් මම නායක හාමුදුරුවෝ නෙමේ. පන්සලේ ඉන්න ඇබිත්තයා. හාමුදුරුවන්ට උදව්වක් විදිහට තමා මම ආවේ කියලා" කියලා.

රජතුමා පස්සේ බොහොම සතුටු වෙලා රජතුමා උපදේශක පට්ටමක් ඇබිත්තයාට දෙන්න ලෑස්ති වුණා [ඇබිත්තයගේ මීටරේ හොඳයිනේ. ඉස්සරහට හොඳ හොඳ වැඩ ගන්න පුලුවන් නේ උපදේශකයෙක් කරගත්තාම] ඒත් ඒකට ඇබිත්තයා කැමති වුනේ නැහැ. 

"පන්සලේ ඉන්න නිස්කලංක ජීවිතේ තමන්ට වටිනවා" කියලා ඇබිත්තයා කිව්වා.  පස්සේ රජතුමා ලෝභකම් අත ඇරලා පන්සලට තව ගම් වරයක් පූජා කළා.

ඊට පස්සේ හැමෝම සතුටෙන් ජීවත් වුණාලු :)

ස්ථානෝචිත ප්‍රඥාව කියන්නේ මේකට තමා

ප.ලි.: අද කාලේ වුණත් වස්තු තණ්හාසෙන් ගොන් ප්‍රශ්න අහලා විතරක් නතර නොවී ගොන් වැඩත් කරන ගොනාටත් අපහාස කරන හැමෝටම මේ කතාව ආදර්ශයක් වේවි

Wednesday, December 7, 2011

වටුවන්ගේ මොළේට ඕවා තේරෙනවද ?


අපි පොඩි කාලේ කරපු එක එක ජාතියේ වැඩ ගැන දැන් මතක් කරලා බලද්දී සමහර වෙලාවට හිතෙනවා ඒ කාලේ කරපු වැඩ හරි ගොන් කියලා. ඒ වගේමයි දැන් කාලෙත්. තව ටික කාලයක් ගිහින් මේ දවස්වල කරපු වැඩ ගැන මතක් කළොත් ඒත් අපිට හිතෙයි මේ දවස්වල අපි හරි ගොන් වැඩනේ කළේ කියලා :))

ඒ වගේමයි ඒ දවස්වල සමහර දේවල් අහද්දී දකිද්දී හිතුණේ නැති ගැටළු ගොඩක් දැන් අපිට හිතෙනවා.

පුංචි ඇටේ පැළවෙනා - පුංචි පැළේ ගස වෙනා
පුංචි පුංචි නුවණිනා - පුංචි ළමෝ පඬි වෙනා

කියන්නේ ඒක නිසා වෙන්න ඇති :))

මේ ළඟදී දවසක අපේ දහම් පාසලේ 6 ශ්‍රේණියේ පංතියකට මට උගන්වන්න යන්න සිද්ධ වුණා ඒ පංතියට ඒ period එකේ ගුරුවරයෙක් හිටිය නැති නිසා. ඉතින් එදාට කරන්න තිබුණු පාඩම තමා සම්මෝදමාන ජාතකය. ජාතක කතාව කෙටියෙන් කියන්න වෙනවා නොදන්න අයට දැනගන්නත් දන්න අයට මතක් කරගන්නත් අද කියන්න යන කතාවට ඒක ඕන නිසා.

කතාව මෙහෙමයි. වටු කුරුල්ලෝ කණ්ඩායම් කැලෑවේ ජීවත් වුණා. වටු කුරුළු වැද්දෙක් ඇවිත් දැළක් දාලා වටු කුරුල්ලෙක් වගේ කෑ ගහලා වටු කුරුල්ලෝ දැළට වහපුවාම එයාලව අල්ලා ගෙන යනවා. ඒක තමා ඒ මනුස්සයාගේ ජීවිකාව.


හැමදාම වෙන මේ සන්තෑසිය ගැන කල්පනා කරපු බෝසත් වටු කුරුළු නායකයා තමන්ගේ කට්ටියට උපදෙස් දීලා එක දවසක වැද්දා දැළ දාපුවාම ඒක උස්සාගෙන කැලෑවේ ඈතක තිබුණු කටු ලැහැබකට ගිහින් දැම්මා. ඊට පස්සෙත් මේ විදිහට වටු කුරුල්ලෝ ටික සමඟියෙන් කටයුතු කරලා දැළ ඔසවාගෙන යන වැඩේ කළා.

මේ විදිහට වැඩේ යද්දී වැද්දගේ wifeගෙනුත් වැද්දට දෝස් මුරේ හිස් අතින් ගෙදර එනවා කියලා (වෙනසක් නැහැ දැන් කාලේ වගේම තමා :)) ) ඉතින් වැද්දත් බලාගෙන ඉන්නේ වටු කුරුල්ලන්ගේ සමඟිය නැති වෙනකම්.

දවසක් වටු කුරුළු set එකේ වලියක් ගිහින් කට්ටිය රණ්ඩු කරගන්නවා. වටු කුරුළු නායකයා අවවාද කළත් වැඩක් වෙන්නේ නැහැ. පස්සේ එයා තමන් කියන දේ අහපු පිරිසක් එක්ක වෙනත් ස්ථානයකට යනවා. ඊට පස්සේ වැද්දා ඇවිත් දැළ දාපුවාම ඒක උස්සගෙන යන්න කට්ටියගේ සමඟියක් තිබුණේ නැහැ. අනිත් වටු කුරුල්ලෝ ටික වැද්දගේ දැළට අහුවෙලා ජීවිතේ නැති කරගන්නවා. ඉතින් ඕක තමා කතාව.


ඔය කතාව ආයි පාරක් ඇත්තටම අවුරුදු 11 කට පස්සේ ඇහුවාට පස්සේ මට ප්‍රශ්න 2 ක් ආවා. පස්සේ මම ඒ ප්‍රශ්න 2 ළමයින්ගෙනුත් ඇහුවා.

ප්‍රශ්න 2 තමා මේ

වටු කුරුල්ලෙක් වගේ කෑ ගහන්නේ වැද්දා කියලා වටු කුරුල්ලන්ට තේරෙන්නේ නැද්ද ?

අන්තිමට වටු කුරුළු නායකයා තමන්ට හිතවත් අයත් එක්ක වෙන තැනකට ගියානේ. ඉතින් ඒක කලින් කරන්න තිබුණානේ දැල් උස්ස උස්ස ඉන්නේ නැතුව.....

ඔන්න මගේ ප්‍රශ්න 2. ළමයින්ටත් උත්තර නැහැ. අන්තිමටම ඉතින් මට හිතුණු මේක වෙන්න ඇති උත්තරේ කියන එක මම ළමයින්ටත් කිව්වා.

වටුවන්ගේ මොළේට ඕවා තේරෙනවයැ. උන් වටුවොනේ. අපේ මනුස්ස මොළේටනේ ඕවා හිතෙන්නේ

ප.ලි.: මේ උත්තරෙත් හරියට කතන්දර කියපු සරත්චන්ද්‍ර මහත්තයාගේ සිංහයින්ට තේරෙනවද ලොජික් කතාව වගේ තමා :))

අනික තමා මේ ජාතක කතාවල සිද්ධිවල සත්‍ය අසත්‍යතාව හොයනවාට වඩා කරන්න ඕනේ කතාවෙන් කියවෙන ආදර්ශය අපේ ජීවිතයට ගන්න එක....

Sunday, December 4, 2011

w3Lanka, Lanka e news, මහානාම හාමුදුරුවෝ සහ අසරණ වූ සරණ, ගොඩගිය ඵුස්සදේව


ඉතිහාසය නැවත නැවතත් සිදුවේ කියන කතාව ප්‍රසිද්ධ කතාවක්. ඒත් ඒකට තව කෑල්ලක් එකතු වෙන්න ඕනේ. ඒ තමා ඉතිහාසය විටෙක ඒ ලෙසින්ම සිදුවන අතර විටෙක යම් යම් කොටස් සංශෝධන සහිතව වුවද මූලික සන්දර්භය තුළ නැවත සිදුවේ කියලා.

ඒක නිසාමයි ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්න එක වැදගත් කියලා කියන්නේ. මෑත කාලේ මම දැක්ක සිද්ධියකුත් ඊට අනුරූප ඉතිහාසයේ තියෙන සිද්ධියත් වර්තමාන කතා අතීත කතා දක්වලා පූර්වාපර සන්ධි ගළපලා කියන්නයි මේ සූදානම.

වත්මන් කතාව අපි හැමෝම හොඳට දන්න කියන කතාවක්. ඒ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ තෙල් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී අසරණ වුණු විදිහයි. ඒත් දන්න අයට මතක් වෙන්නත් නොදන්න අයට දැනගන්නත් එක්ක කතාව කියන්නම්කෝ.


2012 අවුරුද්දේ ලංකාවේ කටයුතුවලට මුදල් කටයුතු වෙන් කිරීම ගැන වගේ ඒවා තියෙන අයවැය වාර්තාව ඉදිරිපත් කරන මුදල් අමාත්‍ය ඒ වගේම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පහුගිය දවස පාර්ලිමේන්තුවට ආපු වෙලාවේ අය වැය වාර්තාව ජනාධිපතිතුමා කියවද්දී විපක්ෂයෙන් ලොකු විරෝධයක් එල්ල වුණා. විපක්ෂ මන්ත්‍රීවරු කෑ ගැහුවා වගේම බෝඩ් වගේකුත් ප්‍රදර්ශනය කළානේ. දැකපු උදවියට මතකනේ.

මේ වෙලාවේ තමා ආණ්ඩු පක්ෂේ මන්ත්‍රීවරු කීප දෙනෙක්ම විපක්ෂ මන්ත්‍රීවරු වාඩිවෙලා ඉන්න පැත්තට ගිහින් අත පය වන වන හිටියේ ( අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා කියන විදිහට ) මේ වෙලාවේ ආණ්ඩු පක්ෂේ මන්ත්‍රීවරු ඉන්න පිටිපස්සේ පැත්තේ ඉදන් විපක්ෂේ පැත්තට වතුර බෝතල් ප්‍රහාරයක් එල්ල වෙන්නේ. ඒත් මේක ජනාධිපතිතුමා ගාවට තමා වීසිවෙන්නේ.



අත පය වනපු හැටි කියන අමාත්‍ය ආචාර්ය මර්වින්

මේ අවස්ථාවේ ජනාධිපතිතුමා කියන එක හැමෝටම ඇහුණානේ. "ගැලරියෙන් වතුර බෝතලයක් ආවලු. පොඩ්ඩක් බලන්න. පොලිස්කාරයින්ට කියන්න" ඕකයි ජනාධිපතිතුමා කිව්වේ.

අන්තිමටම වුණේ ඒ දවසේ පාර්ලිමේන්තුවේ සිද්ධ වුණු මේ කලහකාරී තත්වය ගැන නියෝජ්‍ය කතානායකතුමත් එක්ක එකතු වෙලා පරීක්ෂණයක් පවත්වපු කතානායකතුමා පාර්ලිමේන්තුවට යෝජනා කළා අය වැය කියෝපු දවසේ නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන පාර්ලිමේන්තුවේ ගෞරවයට හානිවෙන විදිහට හැසිරිලා තියෙන නිසා එයාට පාර්ලිමේන්තු කටයුතු සතියකට අත් හිටවන්න කියලා.


මේ යෝජනාව පිළිගත්තු සභානායක නිමල් සිරිපාල ද සිල්වා ඒ තීන්දුව ඊට පහුවදා ඉදන්ම ක්‍රියාත්මක කිරීමට යෝජනා කළා. ඒක ස්ථීර කළේ මට මතක විදිහට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග

මෙතන හරියටම වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ එකක් කියලයි w3 lanka කියන්නේ

"මේ අසරණ සරණ ගුණවර්ධන වතුර බෝතලෙන් ගසා ඇත්තේ විපක්ෂ නායකවරයාට ය. එසේ ගසා ඇත්තේ ලොක්කාගේ කණ ළඟින් යන්නට ය. මූඩිය ගැලවුණු නිසා ලොක්කාගේ සරම ද තෙමමින් වතුර බෝතලය විපක්ෂ නායකවරයාගේ කකුල මුල වැටී ඇත."

මේ තීන්දුව දැනගත්තට පස්සේ අසරණ වුණු සරණ ඇමතිතුමා මෙහෙම කියලා කියනවා.

"එදා ඔය කලබලය සිදුවූ මොහොතේ මා සිටියේ පාර්ලිමේන්තුවේ උඩු මහලෙයි. ඔය කලබලය ටී.වී. වලින් පත්තරවලින් ප්‍රදර්ශනය කළා. ඔය එක ඡායාරූපයකවත් පෙනෙන්නට මා හිටියේ නැහැ. ටී.වී. දර්ශනවලින් මගේ රූපේ තිබුණේ නැහැ. ඒත් හුඟ දෙනකුට පෙනිලා තියෙන්නේ මා විතරයි. මා දන්නා තරමින් මම නම් වැරැද්දක්‌ කරලා නැහැ."

වර්තමාන කතාව එහෙම වෙද්දී අතීත කතාව කියන්න උදව්වට ගන්නේ ඒ කාලේ හොඳ හොඳ කතා ගොඩක් තියෙන මහානාම හාමුදුරුවෝ ලියපු මහාවංසය. දැන් මේ යටගිය කතාව සිද්ධ වෙන්නේ ක්‍රි.පූ 161 දී විතර.

ලක්දිවේ උතුරු ප්‍රදේශ රැසක්ම අවුරුදු 44 ක් තිස්සේම පාලනය කරපු එළාර කියන සොළී රජතුමාගේ පාලනය අවසන් කරලා ලංකාව එක්සේසත් කරන්න රුහුණෙන් බිහිවෙන දුටුගැමුණු කුමාරයා සමත් වෙනවා. එළාර සහ එයාගේ පිරිස පරාජය කරලා සතියකට පස්සේ එළාරගේ ප්‍රධාන යෝධයෙක් වෙන දීඝජන්තුගේ බෑණා කෙනෙක් වෙන භල්ලුක කියලා දෙමළ යෝධයෙක් 60,000 ක සේනාවක් එක්ක ලංකාවට ආවා එළාරට ආධාර කරන්න.

ඒත් ඒ වෙනකොට එළාර සහ පිරිස ඉවරයිනේ. ඒක නිසා භල්ලුකත් පසුබසින්නේ නැතිව දුටුගැමුණුත් එක්ක යුද්ධයට එළඹෙනවා. කඬොල් ඇතාගේ පිටෙන් යුද්ධයට දුටුගැමුණු යද්දී එයාගේ පිටිපස්සෙන් දස මහා යෝධයන්ගෙන් එක් කෙනෙක් වුණු ඵුස්සදේව යෝධයාත් වාඩිවෙලා ගිහින් තියෙනවා side support එකට වගේ.


දැන් සේනා දෙකම යුද්දේ පටන් ගන්න face to face ඉද්දී භල්ලුක දුටුගැමුණුට අනම් මනම් කිය කියා අපහාස කළා කියලා තමා වංස කතාවේ තියෙන්නේ. ඒ ගමන්ම භල්ලුක try කරනවා දුටුගැමුණුගේ කටට ඉලක්ක කරලා ඊ තලෙන් විදින්න.

කොහොම නමුත් තමන්ගේ කට ඉස්සරහින් කඩුව තියාගෙන හිටිය දුටුගැමුණු ඊ තල පාරින් බේරෙනවා. ඒත් භල්ලුක මේක දකින්නේ නැතිව වැඩේ හරි ගියා කියලා හිතාලා fun එකේ කෑ ගගහා ඉන්නවා පොර දුටුගැමුණුගේ කටට ඊ තලෙන් විද්දා කියලා.

මෙච්චර වෙලා පිටි පස්සට වෙලා මේ ඔක්කොම බලාගෙන හිටපු ඵුස්සදේව මේ භල්ලුක තමන්ගේ රජතුමාට කරපු අපහාස ඒ වගේම දැන් මේ ඊතලෙන් විද්ද එක ඔක්කොම මතක් කරගෙන දෙන්නම් බැටේ කියලා හිතලා භල්ලුකගේ කට aim කරලා විදිනවා.

කොහොම හරි aim එක හරි ගිහින් භල්ලුක මැරෙනවා. ඒ යුද්දෙත් ඊට පස්සේ ඉවරයි. හැබැයි මෙතන ඊතලෙන් විදිද්දී දුටුගැමුණු රජතුමාගේ කනේ තිබුණු කුණ්ඩලාභරණෙක ගෑවීගෙන තමා ඊ තලේ යන්නේ. යුද්දේ වෙලේ රජතුමාට ඕක තේරුණේ නැහැ.

යුද්ධය ඉවර වුණාට පස්සේ තමන්ම හිතලා ඵුස්සදේව කන තුවාල කරගෙන ලේ අරගෙන රජතුමාට පෙන්නුවාම රජතුමා අහනවා මොකද මේ කියලා. එතකොට ඵුස්සදේව මෙහෙම කිව්වා කියලා මහානාම හාමුදුරුවෝ කියනවා

"රජුන් හා සමඟ එක් ම යානයෙක හිඳ රාජූපස්ථානයෙහි යෙදුණු ඇමතියෙකු විසින් ඔවුන් නොවිචාරා හීයක් විඳීමෙන් දඬුවම් ලැබිය යුතු වරදක් කර ලදී. මම එසේ කළෙමි. එසේ කරනුයේ ද ඔබ වහන්සේගේ කුණ්ඩලාභරණය ගටා හීය විද්දෙමි. එමතු ද නොව රජුන් නොවිචාරා ම එසේ කළෙමි. එහෙයින් මා වරදට අනුරූප වන සේ මා ගේ ලෙහෙ දැක්වීම කළෙමි"

ඊට පස්සේ රජතුමා කියනවාලු මෙහෙම "සෝවුර, මවිසින් සත්කාර ලැබීමට සුදුසුව සිටිමින් කවර හෙයින් මෙසේ කළෙහි ද ?"

අන්තිමට ඔක්කොම යුද්ධ ඉවර වෙලා අනුරාධපුරේ සිංහාසනාරූඪ වුණු දුටුගැමුණු රජතුමා ඵුස්සදේවගේ කාර්යය අගය කරලා ඒ විද්ද ඊතලේ කෙලින් අතට හිටවලා ඒක වැහෙනකම්ම රන්කාසි දාලා ඒවා ඵුස්සදේවට පිරිනැමුවා කියලා තමා මහානාම හාමුදුරුවෝ කියන්නේ.......

කතා දෙකේ summary ගත්තොත් ජනාධිපතිතුමාගෙ අය වැය කතාවට බාධා කරපු විපක්ෂයට වතුර බෝතල් ප්‍රහාරයක් එල්ල කරපු ඇමති සරණ සහ දුටුගැමුණු රජතුමාට අනම් මනම් කියලා අපහාස කරලා කටට ඊ තලේකින් විද්ද භල්ලුකට ඊ තලෙන් විද්ද සෙන්පති ඵුස්සදේව.

කතා දෙක කියලා අවසානයි. මේ කතාවල සමාන අසමානකම්, ඉතිහාසය නැවත වෙද්දී වෙනස් වුණු තැන්, ලබාගන්න පුළුවන් ආදර්ශ ගැන හිතන එක කියවන ඔයාලට භාරයි.

අපක්ෂපාතී ලෙස ඓතිහාසික කරුණු සමඟ නූතන කරුණු සංසන්දනය කරමින් පුවත් ඔබ වෙත ගෙන ආ මම කතා හසී

Saturday, October 1, 2011

පන්සලේ දේවාලයේ සිටි පොළොං පැටියා


මේ මාසේ පවත්වන්නට නියමිත වාර්ෂික කඨින චීවර පූජා පිංකමේ වැඩසටහන මට type කරන්න දෙන්න නායක හාමුදුරුවෝ උදෙන්ම මට එන්න කිව්වා. ඒ වැඩේ ඉවර වෙලා පොඩ්ඩක් පොඩි හාමුදුරුවෝ එක්ක කතා කර කර ඉද්දී තමයි උපාසක අම්මා කෙනෙක් ඇවිත් පොඩි හාමුදුරුවන්ට කිව්වේ දේවාලේ ඇතුළේ නයි පැටියෙක් ඉන්නවා කියලා.

පොඩි හාමුදුරුවෝ මටත් කතා කළා ගිහින් බලන්න. මමත් බය වුණා ඇත්ත කියන්න එපැයි. මීන ලග්නකාරයින්ට මේ සතිය හොඳම නැහැ මොකක් හරි අනතුරක් වෙන්න පුලුවන් කියලා මේ සතිය පටන් ගනිද්දීම මංජුල පීරිස් කියන ජ්‍යොතිෂවේදියා කිව්වලු. ඒක නිසා කෝකටත් පරිස්සම් වෙන්න කියලා අඟහරුවාදා උදේම අපේ Logic Class එකේ මිස් කතා කරලා කිව්වා. ඉතින් මම බය නොවී කොහොමද ? :))

ඒත් ඉතින් හාමුදුරුවොත් එක්ක දේවාලෙට ගිහින් බලද්දී දේවාලේ මුල්ලක පණුවෙක්ට වඩා ප්‍රමාණයෙන් ලොකු එකෙක් ඉන්නවා. මූට තමයි උපාසක අම්මා කිව්වේ නයි පැටියා කියලා. අපිට නම් පෙණුනේ නයි පැටියෙක් වගේ නෙමෙයි.

ටිකක් කොළ පාට පෙනුමකුත් තිබුණු නිසා මූ පොළොං පැටියෙක් වෙන්න ඇති කියලයි පොඩි හාමුදුරුවෝ කිව්වේ. ළඟදී දේවාලේ හරියෙන් පොළොං ගඳකුත් ආවා කියලා එතනට ආපු දායක මහත්තයෙකුත් කිව්වා. ඕන් දැන් මගෙන් අහන්න එපා පොළොං ගඳ මොන වගේද කියලා. මම නම් දන්නේ නැහැ :))

දැන් ඔක්කොම හරිනේ. හඳුනාගැනීමේ පෙරට්ටුව අවසන්. මේ පොළඟෙක් කියලා හුඟාක් ෂුවර්. ඒත් ඉතින් මූව මෙතන තියන්න බැහැනේ. මූව කොහෙට හරි transfer කරන්නත් එපැයි. පන්සලේ ඉන්න පොළඟා කියලා විෂ නැතිවෙන්නේ නැහැනේ. කාටවත් දෂ්ඨ නොකර ඉන්නෙත් නැහැනේ.

ඒකටත් අත තිබ්බේ පොඩි හාමුදුරුවෝ. මූව අල්ලලා දාන්න ජෑම් බෝතලයක් අරන් ආපු පොඩි හාමුදුරුවෝ කෝටු කෑල්ලක් ආධාරයෙන් පොළොං පැටියාව ජෑම් බෝතලයට දමා ගන්න සමත් වුණා. ඒ වෙලේ මටත් පොඩි බණ කතාවක් මතක් වුණා.

ඒක තමා පොඩියි කියලා අවතක්සේරු කරන්න හොඳ නැති දේවල් 4 ක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒවා තමයි රාජ කුමාරයා, සර්ප පැටවා, ගිනි සිළුව, සාමණේර භික්ෂුව.

ඇයි එහෙම කියන්නේ රාජ කුමාරයා පොඩියි කියලා හිතලා අනම් මනම් කළා වගේ නෙමෙයි කුමාරයා රජවුණු කාලෙක හොඳ පෝරියල් එකක් තමා ලැබෙන්නේ. සර්ප පැටවා පොඩි වුණාට විෂයිනේ. දෂ්ට කළොත් වෙන දේ දන්නවානේ.

ගිනි සිළුව පොඩි වුණාට ඒකට පුළුවන් ප්‍රදේශයක්ම පුච්චලා අළු කරලා දාන්න. ඒ වගේමයි සාමණේර භික්ෂුව එහෙමත් නැත්නම් තරුණ භික්ෂුව. සීලාදී ගුණධර්ම වඩාගෙන ඉහළ තත්වයට පත්වෙන්නේත් ඒ භික්ෂූන් වහන්සේමයි.

ඒක නිසා නුවණැති පුද්ගලයෝ මේ කොට්ඨාශ 4 පොඩියි කියලා අවමන් කරන්නේ නැහැ කියලා බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේ දේශනාව දහර සූත්‍රය නමින් හැඳින්වෙන සූත්‍රයේ තමා අන්තර්ගත වෙන්නේ.

මේකට නිදාන කතාව වෙන්නේ බුදුරජාණන් වහන්සේ කෝසල දේශයට වැඩම කළාම කෝසල දේශයේ පාලකයා වුණු පසේනදී කෝසල රජතුමා බුදුරජාණන් වහන්සේ හමුවට ඇවිත් අහනවා "ඔබ වහන්සේ සම්මා සම්බුද්ධත්වයට ස්ථීරව පත්වුණාද" කියලා.

බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා “තමන් වහන්සේ ස්ථීරවම සම්මා සම්බුද්ධත්වයට පත්වුණා" කියලා.

ඒ ප්‍රකාශයත් එක්කම රජතුමා කියනවා "පූර්ණ කස්සප ආදී ෂට් ශාස්තෘවරු වගේ ප්‍රසිද්ධ, පිරිස් බලය වැඩි, බොහෝ දෙනා පිළිගන්න ශාස්තෘවරුන්ගෙන් මම අහද්දී ස්ථීරවම සම්මා සම්බුද්ධත්වයට පත්වුණාද කියලා ඔවුන් පවා ස්ථීරව ඒකට පිළිතුරක් නොදෙද්දී ඔබ වහන්සේ වගේ උප්පත්තියෙනුත් තරුණ පැවිද්දෙනුත් අලුත් කෙනෙක් කොහොමද ස්ථීරවම සම්මා සම්බුද්ධත්වයට පත්වුණා කියන්නේ" කියලා.

ඒ අවස්ථාවේදී තමා බුදුරජාණන් වහන්සේ රජතුමාට කුඩායි කියලා අවතක්සේරු කරන්න හොඳ නැති කොට්ඨාශ 4 ගැන සඳහන් කරන්නේ. ( දහර සූත්‍රය සිංහලෙන් කියවන්න මෙතන කොටන්න )

පස්සේ ඒ කතාව සවිස්තරාත්මකව එතන රැස්වෙලා හිටිය උපාසක උපාසිකාවන්ට පොඩි හාමුදුරුවෝ කියලා දුන්නා. කොහොමින් කොහොම හරි පොළඟා නිසා වටින බණ පදයකුත් අහගන්න උපාසක පිරිසට පුළුවන් වුණා.

අනික ඉතින් කුඩායි කියලා අවතක්සේරු කරන්න හොඳ නැති සර්ප පැටියා අල්ලන්න ආවෙත් කුඩායි කියලා අවතක්සේරු කරන්න හොඳ නැති පොඩි හාමුදුරුවොනේ. කොහොමද ඒ වැඩේ :))


ඊට පස්සේ පන්සලේ හිටිය අයියා කෙනෙකුයි මායි bike එකෙන් අපේ ගමේ ටිකක් ඈතට වෙන්න තියෙන කැළෑවට ගිහින් බෝතලේ ඇරලා පොළොං පැටියව නිදහස් කරලා ආවා. ගියපාර අල්ලපු දිවියාට වුණු දේ මතකනේ.

කෝකටත් එක පොළොං පැටියෙක් හිටියා කියන්නේ තව පොළොං පැටව් ඉන්න පුළුවන් ඒ වගේම මහ පොළඟෙක් ඉන්නත් එපැයි. ඒක නිසා හාමුදුරුවන්ටත් පරිස්සම් වෙන්න කියලා තමයි උපාසක උපාසිකාවෝ කිව්වේ.

පන්සලේ වැඩ වාසය කරන අනික් පොඩි හාමුදුරුවෝ පස්සේ මට කියනවා "හසිත අපිට පන්සලේ නම වෙනස් කරන්න වෙනවා" කියලා.

මම ඇහුවා "මොකද හාමුදුරුවනේ" කියලා.

පස්සේ පොඩි හාමුදුරුවෝ කියනවා. "අපේ පන්සලේ නම නාගවනාරාමය වුණාට ඉන්නේ පොළොංඟුනේ. ඒක නිසා අපි පොළොංවනාරාමය කියමු" කියලා :))

අපේ පන්සලේ කතා ගොඩක් ඔයාලා අහලා ඇති. ඒක නිසාමයි පන්සලේ කතා කියලා වෙනම category එකකුත් හදලා තියෙන්නේ. එහෙම බලද්දී කතා පන්සල කියලා අපේ පන්සලට කියන්නත් පුලුවන් :))

ප.ලි.: මේ සූත්‍ර දේශනාව ගැන කරුණු කියපු අරියධම්ම පොඩි හාමුදුරුවන්ටත් මේ සූත්‍රය ත්‍රිපිටකය සිංහලෙන් අඩවියට ලියා තිබූ සජීව ශාලුක වෙළෙඳගොඩ අයියාටත් පින්

Sunday, June 19, 2011

අද කාලේ අන්දරේලාට

අන්දරේ කියපු ගමන් අමුතු අටුවා, ටීකා, ටිප්පණි ඕන වෙන්නේ නැහැ හඳුන්වලා දෙන්න. මහනුවර යුගයේ රාජ සභාවේ කවටයෙක් ඒ වගේම කවියෙක් විදිහටත් රජතුමාව සතුටෙන් තියන්න හිටපු කෙනෙක් විදිහට බොහොම කෙටියෙන් අන්දරේ ගැන කියන්න පුලුවන්. බොහෝ වෙලාවට අනුමාන කරන්නේ රාජාධි රාජසිංහ රාජ සමයේ [ක්‍රි.ව 1782-1798] අන්දරේ වාසය කරන්න ඇතියි කියලා.

කොහොම නමුත් අන්දරේ කරපු විහිළුවලින් ඇස් රතු වුණත් ඒකෙන් මොකක් හරි විනෝදයක් තිබුණා. ඒ වගේම ඒ විහිළුවලින් මහජනතාවට හානියක් වුණෙත් නැහැ. ඒත් අද කාලේ රජ වාසල්වල ඉන්න සමහර කවටයන් කරන විහිළු නිසා හුඟාක් වෙලාවට මහජනතාවට හිරිහැරයක් වෙනවා කියන එකත් කියන්න ඕනේ.

කොහොමින් කොහොම හරි අන්දරේ ගැන මට මතක් වුණු කතන්දරේ මේකයි.

දවසක් අන්දරේ රජතුමා මුණගැහෙන්න ගිහින් රජතුමාගෙන් ඉල්ලීමක් කළා. ඒ තමයි තමන්වත් ඇමතියෙක් විදිහට උසස් කරන්න කියලා. අන්දරේ ඒ වෙනකොට රජ වාසල කවටයා කියන post එකේනේ හිටියේ. සමහර විට අන්දරේගේ wife කියන්න ඇති ළමයින්ට ඒකට ලැජ්ජ හිතෙන්න පුලුවන් කියලා. ඇමතියෙක් වුණාම ඊට වඩා place නේ. වෙන මොකුත් ඕනේ නැහැ අද කාලේ ඇමතිවරුන්ට තියෙන place එක පේනවානේ :))

මේ කතාව අහපු රජතුමා එක පාරටම අන්දරේව ඇමතියෙක් කරන්න ලෑස්ති වුණේ නැහැ. ඒකට අද කාලේ නම් හුඟාක් අයව ඇමතිවරු කරන්නනේ රජවරු කරන්නේ :)) රජතුමා අන්දරේට පොඩි test එකක් දුන්නා.


Test එක තමයි වරායට ගිහින් එතන විස්තරේ බලන් එන්න කියන එක. අන්දරේත් ක්ෂණිකයෙන් වරායට ගිහින් පුලුවන් තරම් ඉක්මණින් ආපහු රජ වාසලට ඇවිත් රජතුමාව බැහැදැකලා කිව්වා "දේවයන් වහන්ස වරායේ නැව් නම් ගොඩාක් තිබුණා, මිනිස්සුන්ත් ගොඩාක් හිටියා, මොකුත් විශේෂයක් නම් දැක්කේ නැහැ" කියලා.

මේක අහන් හිටපු රජතුමා අන්දරේගෙන් ඇහුවා "නැව් තිබ්බා කියලා කිව්වා නේද ? ඒ නැව් කොහෙන් කොහෙන්ද ඇවිත් තිබුණේ, ඒවායේ මොනවද තිබුණු බඩු මුට්ටු" කියලා.

අන්දරේ කිව්වා "දේවයන් වහන්ස මට ඒක නම් බලන්න වුණේ නැහැ. මම ආයි ගිහින් ඒක බලන් එන්නම්" කියලා. ආයි පාරක් ඇද්දා වරායට.

ඒක බලාගෙන ආපු අන්දරේ රජතුමාට ඒ ගැනත් report එකක් දීලා කිව්වා මේ මේ රටවල්වලින් තමා නැව් ඇවිත් තියෙන්නේ, මේ මේ බඩු තමා තිබ්බේ කියලා.

ඊට පස්සේ රජතුමා අන්දරේගෙන් ඇහුවා "අන්දරේ මේ බඩු මුට්ටුවලින් අපිට මිලදීලා ගන්න පුලුවන් ඒවා තියෙනවද ? අපේ බඩු මුට්ටුත් එක්ක හුවමාරු කරගන්න පුලුවන් ඒවා තියෙනවද ? මොන මොන බඩු ගත්තොත්ද අපිට ලාභ" කියලා

අන්දරේට කට උත්තර නැහැ. අන්දරේ ඉතින් දන්නේ නැහැ කියලා ආයි පාරක් වරායට ඇදලා ඒකත් බලාගෙන ඇවිත් රජතුමාට කිව්වා.

කොහොමින් කොහොම හරි අන්දරේට මේ ඇමතිකම ගන්න test එකට වරායට තුන් හතර පාරක් යන්න වුණා. අන්දරේටත් පට්ට මහන්සියි. මෑන්ට හිතුණද දන්නේ නැහැ ඇමතිකම් ඉල්ලන්න ආපු මෝඩකම් කියලා.

අන්තිමට රජතුමා ඇමති කෙනෙක්ටත් එන්න කියලා ඇමතියාටත් අන්දරේට කියපු විදිහටම වරායට ගිහින් එතන විස්තරේ බලන් එන්න කියලා.

ඇමතියාත් වරායට ගිහින් ඇවිත් රජතුමාට කිව්වා. "දේවයන් වහන්ස, වරායේ නැව් මෙච්චර තිබුණා. බෝට්ටු මෙච්චර තිබුණා. ඒ නැව් මේ මේ රටවල්වලින් ඇවිත් තිබුණේ. ඒ නැව්වල මේ මේ බඩු මුට්ටු තිබුණා. මේ මේ බඩු හොඳයි වටිනවා. මේ මේ ගණන්වලට ඒවා අපිට ගන්න පුලුවන්. අපේ මේ මේ බඩුවලට ඒ නැව්වල තියෙන මේ මේ බඩු හුවමාරු කරගන්න පුලුවන්" කියලා. [මෙතන හැම එකකටම මේ මේ කිව්වට ඒවට ඇමතියා එහෙම කිව්වේ නැහැ. ඕන කරන විස්තරේ තමා කිව්වේ]

අන්දරේට දාඩියත් දැම්මා තමන් තුන් හතර පාරක් වරායට ගිහින් රජතුමා එක එක ඒවා අහද්දී ඒවා මතක් වෙලා කරන්න ගියාට මේ ඇමතියා එක පාරින්ම ඔක්කොමට ටික හොයාගෙන ඇවිත්නේ කියලා. හරියට one shot knockout වගේ :)

පස්සේ රජතුමා අන්දරේට කිව්වා "පේනවද අන්දරේ ඇමතිකම් කරන එක ලේසි නැහැ. අන්දරේට ඒක හරියන්නේ නැහැ. තව ටිකක් අපි බලමුකෝ" කියලා.

ඉතින් අන්දරේට උසස්වීමක් හම්බුණෙත් නැහැ. අන්දරේ ඊට පස්සේ ගෙදර ගියා. අන්දරේගේ wife මොනවා කිව්වද කියලා නම් දන්නේ නැහැ.

ඕක තමයි අන්දරේගේ කතන්දරේ. මීට අවුරුදු 400 කට විතර ඉස්සෙල්ලා අන්දරේ කළා වගේ වැඩ අද කාලේ ඉන්න අන්දරේලත් කරනවා. ඒ කාලේ අන්දරේ කරපු මේ වැඩෙන් කාටවත් පාඩුවක් හානියක් වුණේ නැතත් අද කාලේ අන්දරේලා කරන මේ වගේ වැඩවලින් වෙන පාඩුව හානිය අපමණයි.

ඒක නිසා අද කාලේ ඉන්න අන්දරේලට වගේම කාට කාටත් ආදර්ශයක් ගන්නයි මේ කතාව කිව්වේ. වැඩක් කරද්දී පිළිවෙලකට මනා සංවිධානාත්මක බවකින් කරන්න අපි කවුරුත් පුරුදු වෙන්න ඕනේ.

අන්දරේගේ photo එකක් හොයන්න යද්දී අන්දරේගේ කතා තියෙන බ්ලොග් එකක් හම්බුණා. කැමති නම් blog එක කියවන්න මෙතන කොටන්න

ප.ලි.: සමහර විට රජතුමා මේ වැඩේ කලින්ම plan කරලා තිබ්බද දන්නේ නැහැ අන්දරේව අන්නන්න. ඇමතියාව රෙඩි පිට තිබ්බාද දන්නේ නැහැ :))

ප.ප.ලි: අපේ දහම් පාසලේ හැම ඉරිදාම උදේ රැස්වීමේදී ළමයෙක්ගේ කතාවක් වගේම ගුරුවරයෙක්ගේ කතාවකුත් තියෙනවා. ගිය සතියක හදිසියේම ඒ කතාව මටත් වැටුණා. බැහැයි කියන්න විදිහකුත් නැති නිසා මේ කතාවෙන් තමා මම කතාව කරගෙන ගියේ. මොකද දහම් පාසලෙත් අන්දරේලා වෙන්න හදන කීප දෙනෙක් ඉන්න නිසා :))

Friday, February 4, 2011

මේ ඔබ අමතන්නේ..........


පන්සලේ photos ටිකක් අරන් දෙන්න කියලා නායක හාමුදුරුවෝ මට කෝන්ත්‍රාත් එකක් බාර දුන්නා. ඉතින් ඊයේ හැන්දෑවේ ඒ ගත්තු photos ටික CD එකකට දාගෙන පන්සලට ගියා හාමුදුරුවන්ට ඒක බාරදීලා එන්න. ඒ වෙලේ පන්සලේ දායක සභාවේ ලේකම් මහත්තයායි තව කට්ටියකුයි බර කතාවක්.

මම හාමුදුරුවන්ට CD එක දීලා ගෙදර එන්න යද්දී ලේකම් මහත්තයා මාව අල්ල ගත්තා. "මෙයා තමා දැන් ඉතින් වැඩේට දාන්න වෙන්නේ" කියලා.

මම බැලුවා මදැයි වදින්න ගිය පන්සල [දේවාලේ නෙමෙයි :)] ඉහේ කඩාවැටුණාවත්ද කියලා.

බැලින්නම් කතාව මේකයි. දායක සභාවේ මහා සභා රැස්වීම හෙට [ ඒ කියන්නේ අද ] ඉතින් ඒක ගැන දායකයන්ට මතක් කරන්න ගම වටේ ගිහින් announcement එකක් දෙන්නේ තමා මෙයාලා ලෑස්ති වෙලා තියෙන්නේ. ඒ වැඩ ටික ඔක්කොම හරි. ඒත් අවුල announcement එක දෙන්න පොරක් නැති එක. ඒක බාර ගත්තු පොර මඟුල් ගේක ගිහින්. දැන් කට්ටිය මේක මගේ ඇඟේ ගහන්න යන්නේ.

මම මාරු වෙන්න හිතලා කිව්වා "අයියෝ ලේකම් මහත්තයා මට නම් බැහැ ඕක. වෙන කවුරුත්ම නැද්ද ඕකට" කියලා.

පස්සේ ලේකම් මහත්තයා මට බටර් ගාන්න ගත්තා. " ඔයා තරුණ ළමයෙක් නේද ? විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් නේද ? අපෙන් පස්සේ මේ දායක සභාව ඔයාලා නේද කරන්න ඕනේ" කියලා.

පස්සේ ඉතින් හරියන්නේම නැති තැන මම වැඩේ බාර ගත්තා. Voice එක හදාගන්නත් එක්ක කියලා පන්සලෙන් හොඳ tea එකකුත් බීලා තව කොල්ලෙකුත් අල්ලගෙන speakers එහෙම බැඳලා වැඩේට set කරලා තිබුණු ත්‍රීවීල් එකේ අපි පිටත් වුණා.

මුලින්ම announcement එක කියන්න යද්දී මටත් අර කලින් දවසක කිව්ව The King's Speech film එකේ රජ්ජුරුවන්ට වුණු වැඩේ වෙයිද කියලා පොඩි බයක් නොතිබුණාම නෙමෙයි. මොකද මම මේ වගේ කොන්ත්‍රාත් එකකට ආවමයි.

ඒත් අවුලක් වුණේ නැහැ හොඳ වෙලාවට. මම ඉතින් " කරුණාවෙන් සවන් දෙන්න. මේ ඔබ අමතන්නේ සියඹලාපේ ශ්‍රී නාගවනාරාම විහාරස්ථ දායක සභාවේ ප්‍රචාරක අංශයයි...... බ්ලා බ්ලා බ්ලා................ කියලා නිවේදනේ කියෙව්වා.

පොඩි පොඩි විදිලි කිපෙකුත් වුණා :) එකම announcement එක 15 පාරක් විතර කියවලා මහන්සියෙන් ඉද්දී මාත් එක්ක ත්‍රීවිල් එකේ යන්න ආපු මල්ලිට මම කිව්වා " මල්ලී මට ඔය ගේකින් වතුර ටිකක් බොන්න ගේනවකෝ. හරි තිබහයි" කියලා.

පස්සෙයි මට මතක් වුණේ ඒ වෙලේ මයික් එක off කරන්න අමතක වුණා නේද කියලා :))


තව මම ගමේ announcement එක දීගෙන යද්දී අපේ එකෙක් මගේ phone එකට එක දිගට ring cut දෙනවා. Announcement එක කියවද්දී මට හිනා යන්නත් යනවා. පස්සේ මම යැව්වා message එකක් " disturb කරන්න එපා බන්, මම උඹේ නමත් ගමට ඇහෙන්න කියනවා" කියලා.

පොර එවනවා reply එක "අපි බයවෙයි ඕවාට" කියලා :))

හොඳම හරිය තමා announcement එක දෙන්නේ නැති වෙලාවට කරන්න ඕනේ බෞද්ධ ගීත කරන play එකනේ. ඒවා මොකක්වත් නැතිව play කළේ මගේ phone එකේ තිබ්බ දීපිකා ප්‍රියදර්ශනීගේ කවිය ඔබ, කරුණාරත්න දිවුල්ගනේගේ අතීතය සිහිනයක් පමණයි වගේ සිංදු set එකක්.

මගේ phone එකේ අමරදේව මාස්ටර්ගේ එක සිංදුවක්වත් තිබ්බේ නෑනේ බේතකටවත් :)) අද දායක සභාවේ රැස්වීමේදී කට්ටිය ඕක නායක හාමුදුරුවන්ට කියයිද දන්නේ නැහැ :)

අන්තිමට ඉති අපි වැඩේ ඉවරවෙලා පන්සලට වාර්තා කරද්දී 9 ට විතර ඇති. හිටිය හැමෝම හොඳ කිව්වා.

ලේකම් මහත්තයා කිව්වා " වැඩේ නියමයි පුතා. ලබන පාර ඔය පුතා මීට වඩා හොඳට ඕක කරයි කියලා මට විශ්වාසයි" කියලා [ ලබන පාරකුත් කොන්ත්‍රාත් එක මට දෙන්න තමා එයාගේ idea එක :)) ]

කොහොම නමුත් මටත් බැහැයි කියලා හිතිලා තිබුණු වැඩක් සාර්ථකව කරගන්න මට පුලුවන් වුණා. ඒ ගැන සතුටුයි.


ඔයාලත් ඒ විදිහටම මට බැහැ ඕවා, මට පුලුවන්ද ඕක කරන්න කියලා හිතන වැඩ ඇති. වැඩ කිව්වේ හොඳ වැඩ හරිද :) ඒවා බැහැයි කියලා හිතන්නේ නැතිව try කරලා බලන්න. හිතනවාටත් වඩා හොඳට ඒ වැඩේ ඔයාලට කරගන්න පුලුවන් වෙයි කියලා මට හිතෙනවා.

Sunday, June 27, 2010

පොඩි හාමුදුරුවන්ගේ කාමරේ ගිනිගත්ත හැටි

අපේ දහම් පාසලෙන් පොසොන් පෝයට පොසොන් කූඩුවක් හැදුවා [වෙසක් කූඩුවක් නෙමෙයි] ඉතින් මේ මාසේ මුල ඉදන්ම කට්ටීය පන්සලේ ඉදන් කුඩුව හදන වැඩවල යෙදිලා හිටියා. වැඩ කටයුතු පටන් ගන්නේ කොහොමත් හැන්දෑවට. ළමයි ඉස්කෝලේ ගිහින් ගිහින් හැන්දෑවට එද්දී ගුරුවරු රස්සාවලට ගිහින් හැන්දෑවට පන්සලට ආවා මේ වැඩේ කරන්න. පන්සලේ ඉන්න පොඩි හාමුදුරුවරු දෙනම වෙන රාහුල හාමුදුරුවොයි, කාශ්‍යප හාමුදුරුවොයි මේ වැඩේට මාර සප් එකක් තමා දුන්නේ.


ඉතින් දැන් සති දෙකකට විතර කලින් දවසක අපි රෑ කුඩුවේ වැඩ කර කර ඉද්දි තේ ටිකක් බිව්වොත් හොඳයි කියලා හිතලා පන්සලේ වැඩ කටයුතුවලට ඉන්න තරිඳු මල්ලිට කිව්වා තේ ටිකක් හදන්න කියලා. තේ හදන්න පහළට ගිය [අපේ පන්සල තට්ටු විදිහට තමා තියෙන්නේ. චෛත්‍යය උඩම මළුවේ, බෝධිය ඊළඟ මළුවේ පල්ලෙහාටම වෙන්න තමා ආවාසය, දාන ශාලව එහෙම තියෙන්නේ] තරිඳු මල්ලි එක පාරටම කෑ ගහන්න ගත්තා "රාහුල හාමුදුරුවෝ ටෝච් එකක් ගේන්න" කියලා.

ඒ ගමන් ආයි කෑ ගහන්න ගත්තා "රාහුල හාමුදුරුවෝ පොල්ලක් ගේන්න" කියලා.

අපිටත් හිතාගන්න බැහැ මොකක්ද එක කියලා. සර්පයෙක් කෑවද ? හොරෙක් ඇවිත්ද මොකද දන්නේ නැහැනේ. අපි පල්ලෙහාට දුවන් යද්දී රාහුල හාමුදුරුවන්ගේ කාමරෙන් දුම් දානවා. කාමරේ lock කරලා තිබ්බේ. තරිඳු මල්ලි පොල්ලක් ගේන්න කියලා තියෙන්නේ කාමරේ දොර කඩන්න.

රාහුල හාමුදුරුවෝ කලබලේට දුවන් එද්දී යතුර වැටිලා. මේක නිසා අපි දොර කඩන්න යද්දී කාශ්‍යප පොඩි හාමුදුරුවෝ කකුලෙන් ගහලා දොර කැඩුවා [කොහොමත් ඒ හාමුදුරුවන්ට කරාතේ උණක් තියෙනවා] කාමරේ පොත් රාක්කේ ගිනි ගන්නවා. ඒක සිවිලිම ගාවට වෙනකම් තියෙන නිසා සිවිලිමත් ගිනි ගන්න යන්නේ.


කට්ටිය ටැප් එක ගාව ඉදන් පෝලිමක් හැදිලා වතුර භාජනවලට පුරෝ පුරෝ අතින් අතින් pass කරලා ගින්න නිවනවා. ඒ අතර වාරේ උඩ මළුවේ තිබ්බ හෝස් එක ගෙනල්ලා ටැප් එකට හයි කරලා ගින්න නිවන්න ගත්තා.

අන්තිමට ඉතින් කොහොමින් කොහොම හරි ගින්න නිවාගත්තා. ඊට පස්සේ කාමරේ තිබ්බ බඩු මුට්ටු ටික එළියට ගත්තා. පොත් රාක්කේ එහෙම පොත් ඔක්කොම ගිනි අරන්. පස්සේ මොකෝ ගිනි ගත්තේ කියලා බලද්දී රාහුල හාමුදුරුවෝ කිව්වා විස්තරේ

හාමුදුරුවන්ගේ කාමරේ ලයිට් පත්තු වෙන්නේ නැතුව අවුලක් වෙලා තියෙනවා. හිමින් සැරේ ඒක පොඩ්ඩක් check කරලා බලන්න තමා හාමුදුරුවෝ හිතලා තියෙන්නේ. හැන්දෑ වුණු නිසා හාමුදුරුවෝ පොත් රාක්කේ ඉටි පන්දමක් කරලා තමා කාමරේට එළිය අරන් තියෙන්නේ.

රෑට 7 ට විතර කූඩුව හදන වැඩේට කොල්ලෝ ටික ආපු නිසා හාමුදුරුවෝ කාමරේ lock කරලා කූඩුව හදන පන්සලේ උඩ මළුවට වැඩියා. හාමුදුරුවන්ට කොහොම හරි ඉටි පන්දම නිවලා යන්න අමතක වෙලා. ඒක නිසා තමා ගිනි අරන් තියෙන්නේ. හොඳ වෙලාවට තරිඳු මල්ලි තේ හදන්න පහලට ආවේ. ඒ ආවේ නැත්නම් මුළු ආවාසේම ගිනි ගද්දී තමා අපිට ඕක පේන්නේ.

මේ දවස්වල ආයි හාමුදුරුවන්ගේ කාමරේ හදන කටයුතු කරගෙන යනවා.

අවසන් වශයෙන් කියන්න ඕනේ ඔය කොයි කවුරුත් හරියට සිහියෙන් ඒත් නැත්නම් යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න කියලා තමා. යෝනිසෝ මනසිකාරය කියන්නේ එළඹ සිටින සිහිය. ඒ කියන්නේ තමන් දැන් කරන්නේ මේ කාර්යය කියලා අවබෝධයෙන් යුතුව කටයුතු කරන එක. ඒක හැම තිස්සේම වටිනවා. ඒක තියෙනවා නම් අපිට වෙන කරදර හුඟක් අඩුයි.

ප.ලි.: තරිඳු මල්ලී ඒ වෙලේ "රාහුල හාමුදුරුවෝ පොල්ලක් ගේන්න" කියලා කෑ ගහද්දී පන්සල ගාව ගෙවල්වල ඉන්න හුඟක් අය හිතලා තියෙන්නේ පන්සලේ මොකක් හරි රණ්ඩුවක් වෙන්න ඇති කියලා.

අනික් කතාව තමා දැන් කට්ටිය තරිඳු මල්ලීව දැක්කාම "රාහුල හාමුදුරුවෝ ටෝච් එකක් ගේන්න" හරි "රාහුල හාමුදුරුවෝ පොල්ලක් ගේන්න" කියලා කියනවා. එතකොට පොරට යකා නඟිනවා :)