Showing posts with label මගේ විචාර. Show all posts
Showing posts with label මගේ විචාර. Show all posts

Saturday, February 15, 2014

උඩරට ගිවිසුම අත්සන් කළ රදළ නායකයන්ගේ ඡායාරූපයේ ඇති මිථ්‍යාව


අන්තර්ජාලයේ හෝ වේවා වෙන මාධ්‍යයක හෝ වේවා 1815 උඩරට ගිවිසුම අත්සන් කරන්න ආපු රදළ ප්‍රධානීන්ගේ ඡායාරූපය කියලා මේ ඡායාරූපය කවුරු කවුරුත් දැකලා ඇති කියලා හිතනවා. 

ඒත් මේ ඡායාරූපය දැක්කාම ගැටළු ආපු අයත් ඇති. මොකද මේ ඡායාරූපය දැක්කාම මටත් ගැටළු කීපයක්ම ආපු නිසා. ඒවා එකින් එක කිව්වොත් උඩරට ගිවිසුමේ රදළ ප්‍රධානීන් 11 දෙනෙකුගේ අත්සන් තිබුණත් මේ ඡායාරූපයේ අපිට දැකගන්න පුලුවන් වෙන්නේ 7 දෙනෙක් විතරයි.

උඩරට ගිවිසුම අත්සන් කළ රදළ ප්‍රධානීන් 11 දෙනාගේ අත්සන්

කාට හරි ඕනේ නම් මේකට ප්‍රති තර්කයක් විදිහට කියන්න පුලුවන් රදළ ප්‍රධානීන් 11 දෙනාම එකම දවසේ නෙමෙයිනේ ගිවිසුම අත්සන් කළේ කියලා. ඒ කාරණාවත් ඇත්ත තමයි. 

උඩරට ගිවිසුම අත්සන් කිරීම දැක්වෙන ප්‍රකට සිතුවම

ඒ ගැන සවිස්තරව කිව්වොත් 1815 මාර්තු 2 වෙනිදා සිද්ධ වුණේ ඉංග්‍රීසීන් විසින් උඩරට රදළ ප්‍රධානීන් හමුවේ යෝජිත ගිවිසුම ප්‍රකාශයට පත් කරපු එක. එදා කිසිම රදළ ප්‍රධානියෙක් ගිවිසුමට අත්සන් තැබුවේ නැහැ. 

යෝජිත ගිවිසුමේ වගන්ති ගැන මාර්තු 10 වෙනිදා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් වගේම රදළ නායකයන්වත් දැනුවත් කරලා එදාම ඉංග්‍රීසි ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් ගිවිසුමට අත්සන් තබනවා. ඒ අවස්ථාවට සහභාගි වෙලා හිටිය මොල්ලිගොඩ මහාදිකාරම් සහ පිළිමතලව්වේ, කැප්පෙටිපොළ, රත්වත්තේ, මොල්ලිගොඩ, දුල්ලෑව, මිල්ලෑව, ගලගම කියන දිසාවේවරු විතරයි එදා ගිවිසුමට අත්සන් තියන්නේ. මාර්තු 18 තමා ඇහැලේපොළ මහ නිළමේ සහ ගලගොඩ සහ පිළිමතලව්වේ කියන දිසාවේවරු ගිවිසුමට අත්සන් තියෙන්නේ. ඊට පස්සේ තමා ජෝන් ඩොයිලි සහ ජේම්ස් සදර්ලන්ඩ් ගිවිසුම අත්සන් කරලා ගිවිසුමේ අත්සන් තැබීම කටයුතු නිමා කරන්නේ.

මුල් අවස්ථාවේ ගිවිසුමට අත්සන් තබපු රදළ ප්‍රධානීන් 7 දෙනා තමා මේ ඡායාරූපේ ඉන්නේ කියලා කාට හරි හිතුණත් ඒකත් එක්ක ගැටලු කීපයක් ඇතිවෙනවා. 

ප්‍රධානම ගැටලුව තමා 1815 වෙද්දී ඡායාරූප තාක්ෂණය විධිමත් අන්දමින් තිබුණාද කියන එක. ඡායාරූප ශිල්පයේ ඉතිහාසයට අනුව ලොව පළමු ඡායාරූපය විදිහට පිළිගැනෙන්නේ 1826 දී ගත්ත ඡායාරූපයක්. [මේ සම්බන්ධව මාව නිවැරදි කරපු හැමෝටම ස්තුතියි.]

ලොව ප්‍රථම ඡායාරූපය ලෙස සැලකෙන 1826 දී ගනු ලැබූ ඡායාරූපය

මෙන්න මේ විදිහට කරුණු කාරණා යෙදිලා තියෙද්දී තමා දවසක් මට බ්‍රිතාන්‍ය පුස්තකාල වෙබ් අඩවියේ තිබිලා මෙන්න මේ ඡායාරූපය හම්බෙන්නේ. 


උඩින්ම තියෙන අපැහැදිලි ඡායාරූපයේ හොඳ මට්ටමේ තියෙන ඡායාරූපය මේක කියලා පැහැදිලියිනේ. වෙබ් අඩවියේ තියෙන විස්තරේට අනුව ඒ ඡායාරූපය 1870-1880 අතර කාලයේ ගත්තු එකක් කියලා තමා කියන්නේ. 

දැන් එකින් එකට අපේ කතාවට ආවොත් මේ ඡායාරූපයෙන් අපට පේනවා මේ රදළ ප්‍රධානීන් වාඩිවෙලා ඉන්නේ දළදා මාළිගාවේ වැඩසිටින මාළිගාව ගාව කියලා. ඒ වගේමයි වැඩ සිටින මාළිගාව වටා සකස් කරලා තියෙන පොල් තොරණ් කීපයකුත් පේන්න තියෙනවානේ. 

උඩරට ගිවිසුම අත්සන් කිරීම සිද්ධ වුණේ දළදා මාළිගාව අසළ තියෙන මඟුල් මඩුවේ. ඒත් ඒ වෙනුවෙන් දළදා මාළිගාවේ වැඩ සිටින මාළිගාව වටේ පොල් තොරණ් ඉදිකළා වෙන්න බැහැ. ඒ වගේමයි මඟුල් මඩුවේ තිබුණු උත්සවයකට සම්බන්ධ වුණු රදළ ප්‍රධානීන් දළදා මාළිගාව අභ්‍යන්තරයට ඇවිත් ඡායාරූපයකට පෙනී හිටියා වෙන්නත් බැහැ. 

ඒ වගේමයි කලින් මතු කරපු ප්‍රධානම සාධකය වෙන 1815 වෙද්දී ඡායාරූප තාක්ෂණයක් තිබුණේ නැහැ කියන කාරණේත් එක්ක මේ ඡායාරූපය 1815 උඩරට ගිවිසුම අත්සන් කරන්න ආපු උඩරට රදළ ප්‍රධානීන්ගේ සමූහ ඡායාරූපය කියන මතය පහසුවෙන්ම ප්‍රතික්ෂේප කරන්න පුලුවන්. 

දැන් ඊළඟ එන ප්‍රශ්නය තමා එහෙනම් මේ ඡායාරූපය මොකක්ද කියන එක. මම අනුමාන කරන විදිහට මේ ඡායාරූපයේ ඉන්නේ 1870-1880 කාලයේ දියවඩන නිළමේවරයා, සතර මහා දේවාලවල බස්නායක නිළමේවරු වගේම දළදා මාළිගාවේ නිළධාරීන් කීප දෙනෙක් වෙන්න ඕනේ. ඒ දළදා මාළිගාවේ නිලධාරීන් දෙන්නා කාරියකරවන රාළ සහ ගජනායක නිළමේ වෙන්න ඕනේ.

මේ කාලවකවානුවේ දියවඩන නිළමේ ධූරය හොබවපු කුඩාබණ්ඩා දුනුවිල නිළමේතුමා තමා මැදින් වාඩිවෙලා ඉන්න උපැස් යුවළක් පැළැඳි පුද්ගලයා කියලයි මම අනුමාන කරන්නේ. කණගාටුවට කාරණය තමා එතුමාගේ ඡායාරූපයක් දළදා මාළිගාවේ වෙබ් අඩවියේ පවා දැකගන්න නැති එක.


මේ ලිපිය ලිව්වාට පස්සේ අපේ හිතවත් මල්වතු විහාරවාසී වත්තේගම ධම්මානන්ද හාමුදුරුවන්ගෙන් කුඩාබණ්ඩා දුනුවිල දියවඩන නිළමේතුමාගේ ඡායාරූපයක් ලැබුණා. උන්වහන්සේට බොහොම පිං 

කොහොම වෙතත් මේ ඡායාරූපයේ ඉන්නේ  1815 උඩරට ගිවිසුම අත්සන් කළ රදළ ප්‍රධානීන් නෙමේ කියන එක පැහැදිලියි. 

කවුරුන් හරි ඉදිරියට මේ වරද දකිනවා නම් ඒක නිවැරදි කරන්න ඉදිරිපත් වෙයි කියලා හිතනවා. 

ප.ලි.: ගිය අවුරුද්දේ මැයි ඉදන් blog එක ලියන එක අතෑරිලා තිබුණේ කැම්පස් එකේ තිබුණු වැඩ රාජකාරිත් එක්ක. අපේ අන්තිම අවුරුද්දේ විභාග වගේම උපාධි නිබන්ධිකාවේ වැඩත් එක්ක හුඟක් කාර්යබහුල වෙලා හිටියේ. අපේ department එකෙන් organize කරපු හද බැඳි ගී ප්‍රසංගය නිසා වගේම තාත්තා අසනීප වෙලා සති 2 කට කිට්ටු කාලයක් රෝහල් ගතවෙලා හිටිය නිසා ඒ කාර්යබහුලත්වය තවත් වැඩිවුණා. 

විභාග කටයුතු ජනවාරි 7 ඉවර වුණත් කලින් අවුරුද්දක ගිය සූරියගොඩ නරේන්ද්‍රාරාම රාජ මහා විහාර ක්ෂේත්‍ර අධ්‍යයන වාර්තාව හදන එක සමුගැනීමේ සාද සංවිධානය කරන එක වගේම සංස්කෘත සහිතක පත්‍ර පාඨමාලාවක් නිසා වැඩ ගොඩ වෙලා තිබුණේ.

ඒ ඔක්කෝම ඉවර වුණාට පස්සේ නම් තිබ්බේ කම්මැලිකම. බොහෝ දෙනෙක් ලියන්නේ නැද්ද කියලා ඇහුවත් කම්මැලිකම ඉහවහා ගිහින් තිබ්බේ. අන්තිමට මේ ළඟදී දවසක ජනක අයියා, දනුල මල්ලී වගේම සංදේශා නංගීත් මේ ගැන මතක් කරපු නිසා කම්මැලිකම අතෑරලා ලියන්න පටන් ගත්තේ. එහෙනම් ඉදිරියේ පරණ දේවල් වගේම අලුත් දේවල් රාශියකින්ම නැවත හම්බෙමු :)

විශේෂ කාරණා දෙකක් කියන්න ඕනේ. පළවෙනි එක තමා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සම්බන්ධව ලියවුණු මගේ උපාධි නිබන්ධිකාව සාර්ථක කරගන්න බ්ලොග් අවකාශයේ වගේම මුහුණු පොතේදී හිතවත් වුණු බොහෝ දෙනා උපකාර කළා. විශේෂයෙන්ම පොත් පත් කීපයක් හොයලා දෙන්න ඒ වගේමයි වැදගත් ඡායාරූප වගේම කරුණු හොයලා දෙන්නත් හුඟක් දෙනාගේ උදව් හම්බුණා.

නම් වශයෙන් කීප දෙනෙක්ව සිහිපත් කළොත් කතන්දර, ලිෂාන්, සපතේරුවා, මාරයා, ඉරන්ත, මනුරි, වත්සලා, සෙව්වන්දි කියන අයියලා අක්කලා ඒ වගේමයි දිලීප එදිරිසිංහ පියතුමා,මහ වෙදනා වගේ අයව විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕනේ. ඒ හැරෙන්න තව ගොඩක් අය උදව් කළා ඒ හැමෝටමත් බොහොම ස්තුතියි...

අන්තිමට මට කියන්න තියෙන්නේ මමිත්‍රස්‍ය කුතඃ සුඛම් (මිත්‍රයන් නැත්තා හට කවර නම් සැපතක්ද ?)

Wednesday, March 20, 2013

හලාල් හලාල්.... හලාල් කතා දෙක තුනක් + විහිළුද සහිතයි



මෙන්න චුට්ටි "හලාල්" කතාවක්...

කැම්පස් එකේ අපිත් එක්ක ඉගෙන ගන්න ගෑණු ළමයෙක් මට හවස මැසේජ් එක්ක එව්වා. ඒකේ තියෙන්නේ මේන් මෙහෙම කතාවක්

"ආයුබෝවන්, අවුරුදු කාලෙට නෝ ලිමිටි, ෆැෂන් බග්, ග්ලිට්ස්, පාල්ලු [?] කූල් ප්ලැනට් වෙනුවට අපේකම වෙනුවෙන් අපේ ඒවාට යන්න.

කැන්ඩි, ඒ.එස්.බී,සී.අයි.බී,ලේඩි ජේ, ෂේඩ්, සුපුල්, හවුස් ඔෆ් ෆැෂන්, තිලකවර්ධන...

අපේකම වෙනුවෙන් සැබෑ සිංහලයෙක් ලෙස මෙය තවත් 10 දෙනෙකුට යවා අපේ ලක් මෑණියන් මුසල්මානුවන්ගෙන් බේරා ගනිමු."

ඕන් ඕකයි මැසේජ් එක, මම රිප්ලයි කළා මේන් මෙහෙම

"මේ ආර්ථිකේ හැටියට ගමේ පොළට ගිහින් සරමක් ගන්නවත් සල්ලි නැතුව ඉන්නේ. ඒක නෙමෙයි පැට්‍රල්, ඩීසල් ගන්න හොඳද ?? ඒවාත් එන්නේ මුස්ලිම් රටවල්වලින්නේ"

ඒකට එයාට මෙහෙම රිප්ලයි කළා

"ඒක නම් ඇත්ත තමා. මට ආපු මැසේජ් එක ෆෝවඩ් කළේ. පැට්‍රල්, ඩීසල් ගැන කතා කරන්න තව ටික කාලයක් යයි"

මටත් ඉන්න බැහැනේ. මම ආයි යැව්වා මැසේජ් එකක්

"මුස්ලිම් කඩවලින් බඩු ගත්තාම උන්ට යන ලාබෙට වඩා ලොකු ලාභයක් මේ විදිහට මුස්ලිම් රටවල්වලින් තෙල් ගත්තාම තම්බින්ට යනවානේ"

එයා අන්තිමට මෙහෙම මැසේජ් කරනවා.

"ඒක ගැනත් දන්න හැමෝටම අපි මැසේජ් කරමු..."

ඕන් ඔහොමලු කතාව :D
  

-------------------------------------------------------------------------------------------------------------

මෙන්න "හලාල්" කතා අංක 02

අපේ යෞවන සමාජයෙන් මේ පාර ගමේ අලුත් අවුරුදු උත්සවය ලොකුවටම කරන්න තමා ප්ලෑන් කරගෙන ඉන්නේ. ඒ නිසා හැමදාම වගේ හවසට කට්ටිය පන්සලට එකතු වෙලා වැඩ කටයුතු ගැන කතා කරලා සල්ලිකාරයන්ගෙන් "දත්"ගලවන්න යනවා :D

පහුගිය ගිය දවසක කට්ටිය පන්සලට එකතු වුණු වෙලාවේ පොඩි හාමුදුරුවන්ගෙන් යෝගට් සංග්‍රහයක් අපි කට්ටියට ලැබුණා. නිව්ඩේල්, අඹේවෙල, හයිලන්ඩ් කියන ජාති තුනෙන්ම යෝගට් මෙතන තිබුණා.

අපි ඉක්මණට යෝගට් එක්ක අරගෙන කන්න පටන් ගත්තාම තව එකෙක් [මෙයා අපේ පන්සලේ නායක හාමුදුරුවන්ගේ සභාපතීත්වයෙන් ගමේ පිහිටුවලා තියෙන හලාල් විරෝධය සඳහා වෙන සංවිධානයේ බල කණුවක්] හලාල් මාක් එක නැති යෝගට් එකක් තෝරන්න පටන් ගත්තා.

ඒ වෙලාවේ තව එකෙක් [මිනිහත් අර සංවිධානේ බල කණුවක්] කිව්වා මෙහෙම.

"මොකටද හලෝ ඕකේ හලාල් තියෙනවද නැද්ද කියලා බලන්නේ. දැන් ඕකේ හලාල් තිබ්බා නැතා කියලා වෙනසක් තියෙනවද. යෝගට් සල්ලිවලට ගත්තු මනුස්සයා දැන් හලාල්වලට ගෙවලා තියෙන්නේ. දැන් අපි ඕකේ හලාල් තියෙනවා කියලා නොකා හිටියේ අපේ බඩටයි පාඩුව"

පස්සේ එයා තවත් මේ කතාව විස්තර කළා...

"හලාල් මාක් එක තියෙන කෑම මම සල්ලිවලට ගන්නේ නැහැ. ඒක මගේ ප්‍රතිපත්තිය. ඒත් මොකෙක් හරි හලාල් මාක් එක තියෙන කෑමක් සල්ලි දීලා අරගෙන මටත් දුන්නොත් ඒක මම නොකා ඉන්නවා කියන්නේ මගේ ගොන්කම"

ඒ මොනවා වුණත් අපේ යාලුවා යෝගට් මල්ල තෝරලා අඹේවෙල යෝගට් එකක් අතට අරගෙන කිව්වා.

"මගේ ප්‍රතිපත්තිය හලාල් මාක් එක තියෙන කෑම මම සල්ලිවලට ගන්නෙත් නැහැ, නිකම් දුන්නත් කන්නේ නැහැ"

එහෙම කියලා මිනිහා හලාල් නැති අඹේවෙල යෝගට් එක කන්න පටන් ගත්තා....

ඕන් එහෙමලු ඒ කතාව :D

---------------------------------------------------------------------------------------------------------------

මෙන්න චුට්ටි "හලාල්" කතා අංක 3

අර විදිහට හලාල් නැති යෝගට් හොයන්නයි, සල්ලි දීලා ගත්තේ නැත්නම් හලාල් කෑමට අවුලක් නැහැ කියන එකටයි අපි කට්ටිය දාන ශාලාවට වෙලා යෝගට් කන ගමන්ම හෙණ වාදේ. කෙස් පැලෙන තර්ක ගොඩායි.

මේ වෙලාවේ එතැනට වැඩිය අපේ පන්සලේ නායක හාමුදුරුවෝ අපිට මෙහෙම කිව්වා

"කොල්ලනේ උඹලා හලාල් බැරි යකඩ හරි කාපල්ලා. හැබැයි කෑ ගහන්න එපා උඩහ බෝධි පූජාව. මිනිස්සු ගාථා කියනවා"

මේක අහපු ගමන් හලාල් නැති යෝගට් එක හොයපු එකාව බයිටට අල්ල ගත්තු අනික් එවුන් කියන්න පටන් ගත්තා

"මොකක්ද බන් මේකේ තේරුම. උඹලාගේ සංවිධානේ සභාපතිම කියනවා හලාල් බැරි නම් යකඩ හරි කාපන් කෑ නොගහ කියලා. මොකක්ද බන් මේකේ තේරුම" :D

හැබැයි ඉතින් මේක නම් නායක හාමුදුරුවෝත් කිව්වේ විහිළුවට, අපිත් අරූට කිව්වේ විහිළුවට. හරිද ???

------------------------------------------------------------------------------------------------------------=

මෙන්න චුට්ටි "හලාල්" කතා අංක 4

ගමේ තියෙන හලාල් විරෝධී සංවිධානේ තව බල කණුවකුයි [කලින් දෙන්නා නෙමේ, වෙන කෙනෙක්] තව එකෙකුයි තව වාදයක්. ඒ සංවාදය කියවීමේ පහසුවට චරිත දෙක මෙහෙම කෙටි කරන්නම්. හ.වි.සං.බ සහ අනෙකා කියලා

හ.වි.සං.බ : අපි මේ විදිහට හලාල් විරෝධය දියත් කරලා මුස්ලිම් ව්‍යාප්තිවාදය වළක්වන්න යන්නේ. සිංහල බෞද්ධයන්ව ආරක්ෂා කරගන්න යන්නේ

අනෙකා : එහෙම කවුරුත් ආරක්ෂා කරන්න ඕනේ නැහැනේ. බුදු හාමුදුරුවෝ දේශනා කරලානේ තියෙන්නේ "ධම්මො හවෙ රක්ඛති ධම්මචාරී" කියලා. එතකොට හරියට ධර්මයේ හැසිරෙන කෙනාව දහමෙන්ම ආරක්ෂා කරනවා. ඒක ඔයාලා පිළිගන්නේ නැහැ කියන්නේ බුදු හාමුදුරුවන්ගේ සර්වඥතා ඥානයටත් ඔයාලා අභියෝග කළා කියන එකනේ

අනෙක මේ වගේ ව්‍යසන බෞද්ධයන්ට වෙනවා කියන එක බුදු හාමුදුරුවෝ අනාගතය දකිනා නුවණින් දැක්කේ නැති ගාණටනේ ඔයාලා කතා කරන්නේ. මට පේන විදිහට ඔයාලා බුදු හාමුදුරුවන්ගේ තුන් කල් දකින ඥානයටත් අභියෝග කරන පාටයි

තව දෙයක් හලාල් විරෝධයට බෞද්ධයන්ව පෙළ ගස්වන එකට වඩා වටින්නේ බෞද්ධ ප්‍රතිපදාවට බෞද්ධයන්ව පෙළ ගස්වන එක නේද ?

හ.වි.සං.බ : ඔව්, අපි ඒක නිසා තමා අපේ සංවිධානේ ඉන්න තරුණ අයව හැම පෝයට පන්සලට එකතු කරන්නේ. පන්සලේ ආගමික වැඩවලට සම්බන්ධ වෙන්නේ

අනෙකා : විහිළුනේ බන් ඕවා. මට කියපන් ඔය එකතු වෙන එවුන්ගෙන් හරියට පන්සිල් රකින පස් දෙනෙක්ව. උඹම ගනින් උඹ මස්, මාලු කනවා නේද ? ඔතැන ඉන්න කී දෙනෙක් සිගරට්, අරක්කු බොන එවුන්ද ??

අමුතුවෙන් හලාල් මඟුලක් ඕනේ නැහැ. මුස්ලිම් ව්‍යාප්තිවාදයක් වළක්කන්න මැරෙන්න යන්න ඕනේ නැහැ. හරියට බෞද්ධ ප්‍රතිපදාව පිළිපදිනවා නම් පුද්ගලිකව වගේම ජාතියක් විදිහටත් දියුණුවක් ලබන්න පුලුවන්.

හ.වි.සං.බ : යකෝ මේවා වැරදි නම් මේකට හාමුදුරුවරුම මූලිකත්වය ගනීද ??

අනෙකා : ඔන්න ඔන්න වරද්ද ගත්තු අනිත් තැන. උඹ බුදු හාමුදූවෝ දේශනා කරපු කාලාම සූත්‍රය කියවලා නැද්ද ?? ඒකේ මොකක්ද කියන්නේ ? බුදු හාමුදුරුවෝ කිව්වත් පිළිගන්න එපා කියලා ඒකේ තියෙන්නේ. තමන්ගේ සිහි නුවණින් හිතලා බලලායි පිළිගන්න කියලා බුදු හාමුදුරුවෝ දේශනා කළේ. එතකොට හාමුදුරුවෝ මුල් වුණා කියලා වැඩේ හරියි කියන එක හරි බොළඳයි

හ.වි.සං.බ : උඹලාට මේවා තේරෙන්නේ නැහැ. ඒත් කවදා හරි උඹලාට මේවා තේරෙද්දි පසු තැවෙන්න වෙයි

අනෙකා : අනේ බන් උඹ ෆේස්බුක් නැද්ද? ඒකෙත් ඔය සැරට වාද ගිහින් කියාගන්න දෙයක් නැති වුණාම ප්ලේ කරන තැටිය තමා ඕක

ඒ සංවාදයත් නිමායි :D

Saturday, May 5, 2012

සුබ වෙසක් මංගල්‍යයක් වේවා කියලා සුබ පතන එක හරිද ???


Facebook එකේ සුබ වෙසක් මංගල්‍යයක් වේවා කියලා තියෙන photo එකකට මාව tag කරලා තිබුණා. ඒ වගේමයි මම member කෙනෙක් වෙලා ඉන්න FB group එකක wall එකේ තව member කෙනෙක් ලියලා තිබුණා සුබ වෙසක් දිනයක් වේවා කියලා.

ඉතින් දැන් මගේ ප්‍රශ්නය එහෙම වෙසක් දිනයට අපිට සුබ පතන්න පුලුවන්ද කියන එක.

අලුත් අවුරුද්දක් ලබද්දී අපි සුබ පතනවා සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා. උපන් දිනයක් දවසට අපි සුබ පතනව සුබ උපන් දිනයක් වේවා කියලා. එහෙම සුබ පතන්නේ අලුත් අවුරුද්ද හරි උපන් දිනය හරි නරක පැත්තට යන්න පුලුවන් නිසා. 

තව විදිහකට කිව්වොත් මේ මනුස්ස ජීවිතේට ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රශංසා, සැප, දුක කියන අටලෝ දහම පොදු දෙයක් වෙන නිසා. මේවායින් යහපත් දේවල් විතරක්ම වෙන්න කියලයි ඒ සුබ පැතීමෙන් අපි අදහස් කරන්නේ.

ඒත් වෙසක් දවසට එහෙම සුබ පතන්න ඕනේද ??? 


බෞද්ධයෝ පමණක් නෙමෙයි සමහර අන්‍යාගමිකයොත් පිළිගන්න විදිහට මේ දක්වා ලොව පහළ වුණු ශ්‍රේෂ්ඨතම මිනිසාගේ ඉපදීම සිදුවුණේ වෙසක් පොහොය දවසේ.

ඒ වගේමයි මිනිස් සිතකට අවබෝධ කරගන්න පුලුවන් උතුම්ම සත්‍යය වගේම මිනිසෙකුට පත්වෙන්න පුලුවන් උතුම්ම තත්වයට ඒ ශ්‍රේෂ්ඨතම මිනිසා පත්වුණේ වෙසක් පොහොය දවසේ.

අවසාන වශයෙන් සොබා දහමට ගරු කරමින් ඒ ශ්‍රේෂ්ඨතම මිනිසා අනුපදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑවේ වෙසක් පොහොය දවසේ.


මේ වගේ උතුම් සිදුවීම් හැරෙන්න වැදගත් සිදුවීම් රැසක් වෙසක් පොහොය දිනවලදී සිදුවෙලා තිබෙනවා.

බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වරට ලංකාවට වැඩම කිරීම වගේම සොළොස්මස්ථානයට අයත් මුල් ස්ථාන දෙක හැරෙන්න අනෙක් ස්ථානවලට වැඩම කරවන්නේ බුද්ධත්වයෙන් අටවෙනි වර්ෂයේ වෙසක් පොහොය දිනයේදී. සමනොළ කන්දේ ශ්‍රී පාදය පිහිටුවන්නේත් මේ ගමනේදී. රුවන්මැලි සෑයේ මූලික ඉදිකිරීම් කටයුතු දුටුගැමුණු රජතුමා අරඹන්නේත් වෙසක් පොහොය දිනයේදී.

ඉතින් මේ කරුණු සමාලෝචනය කරලා බලද්දී පැහැදිලියිනේ වෙසක් දිනය උතුම් වගේම සුබ දවසක් කියලා.

එතකොට ඒ වගේ සුබ දවසකට අමුතුවෙන් සුබ වෙසක් මංගල්‍යයක් වේවා කියලා සුබ පතන්න ඕනේද ????

සමරන්න මොකක් හරි දෙයක් තියෙනවා නම් සමරන හැමදේම එකම අච්චුවට දාලා සාමාන්‍යකරණය කරන්න පුරුදු වුණු මිනිස්සු වෙසක් දවසටත් "සුබ වෙසක් මංගල්‍යයක් වේවා" සුබ පතන්න ගත්තේ ඔන්න ඔහොම වෙන්න ඇති. 

ඒ විදිහට බෞද්ධයන්ට වැදගත්කමක් තියෙන කොහොමත් සුබ දවසක් වුණු වෙසක් පොහොය වාණිජකරණයට හසුවුණු හැටි ගිය අවුරුද්දේ වෙසක් පෝය දවසේ මම කතා කළානේ "වෙසක් පෝය market වුණු හැටි" කියලා. 

ඉතින් සුබ දවසක් වුණු වෙසක් පෝය දවසේදීවත් බොරුවට හැමතැනම සුබ වෙසක් මංගල්‍යයක් වේවා කියලා කිය කිය ඉන්නේ නැතුව ආමිෂ පූජාවක් කරන්න එහෙමත් නැත්නම් ප්‍රතිපත්ති පූජාවක් කරන්න. ඒ නැත්නම් මේ කතාවේ ඉන්න මනුස්සයායි ඔයයි අතර කිසිම වෙනසක් නැතිවෙයි. ඒ මොකද ඒ මනුස්සයා හරියට බුදු හාමුදුරුවෝ හඳුනාගෙනත් නැහැ උන් වහන්සේ දේශනා කරපු ධර්මය හඳුනාගෙනත් නැහැ

වෙසක් පෝය දවසේ බාර් වහලා නිසා හොර spot එකකින් සප්පායම් වුණු බොනපාට් කෙනෙක් පාරේ දෙපැත්තේ ඉන්න මිනිස්සුන්ටයි ඒවට මේවට බැන බැන යද්දී දැක්කලු බුදු පිළිමයක්.

බුදු පිළිමේ දිහා බලාගෙන man කියනවලු " ඕන් බලන්නකෝ ඒ වැඩෙත් හැටි. ඔබ වහන්සේ ඉපදුණු, බුදුවුණු, පිරිනිවන් පාපු එකට අද බාර් වහල, මස් කඩ වහලා. මොකක්ද අප්පා මේකේ තේරුම ? මස් කෑල්ලක් කන්න අරක්කු ටිකක් බොන්නවත් නෑ"  කියලා කියවන්න ගත්තලු. 

ඒ ගමන් මිනිහා දැක්කාලු ඈතින් ජේසුතුමාගේ පිළිමෙකුත්. 

Man ජේසුතුමාගේ පිළිමේ ගාවට ගිහින් කියනවාලු "ඒකට ඔබතුමා නම් නම් රත්තරන්. ඉපදුණත් party, කුරුසේ ඇණ ගහලා මැරුවත් party" කියලා

එහෙම නම් කතාව අවසානයි. මේ කතාවේ සාරංශය මෙන්න


කිච්ඡො මනුස්ස පටිලාභො - කිච්ඡං මච්චාන ජීවිතං
කිච්ඡං සද්ධම්ම සවනං - කිච්ඡො බුද්ධානං උප්පාදො

මිනිසත් බව ලැබීම දුර්ලභයි. සත්වයින්ගේ ජීවිතය දුෂ්කරයි. ධර්මය ඇසීමද දුර්ලභයි. බුදුන් වහන්සේගේ උපතද දුර්ලභයි


ප.ලි.: බුදු දහම යැයි කියමින් බෞද්ධයන් කරන දේවල් ගැන මම මීට පෙර ලියපු සටහන් කියවන්න කැමති නම් මෙතනින් යන්න

Saturday, April 21, 2012

ස්ත්‍රී මායමට හසුවුණු බෝසත් රන් මොණරා, ගෑණු මායමේ තරම :D


සමහරු උදේ ගෙදරින් පිටවෙන්න කලින් ආරක්ෂක ගාථාවක් විදිහට භාවිතා කරන, ඒ වගේම මේ වෙද්දිත් බෞද්ධ පූජනීය ස්ථානයකින් ආරක්ෂක ගාථාවක් විදිහට ඔයාලටත් හම්බවෙලා තියෙන

යේ බ්‍රාහ්මණා වේදගු සබ්බ ධම්මේ
තේ මේ නමෝ තේ ච මං පාලයන්තු
නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා
නමෝ විමුත්තානං නමෝ විමුත්තියා


ගාථාව හැදුණු හැටි දන්නවද ? ඒකේ ආරම්භයත් දැනකියාගෙන ඉන්න එක වටින නිසයි මේ ගාථාවේ නිදාන කතාව කියන්න සූදානම.

මුලින්ම මේ ගාථාව තියෙන තැන කියන්නම්කෝ. මේ ගාථාව තිබෙන මෝර පිරිත පිරුවානා පොත් වහන්සේ තුළ 13 වන පිරිත ලෙස අන්තර්ගත වෙනවා. ඒ වගේමයි මේ දැන් මම කියන්න යන කතා පුවත පන්සිය පනස් ජාතක කතා පොත් වහන්සේ තුළ 158 වැනි ජාතක කතාව වන ස්වර්ණ මයුර ජාතකය තුළ අන්තර්ගත වෙනවා.

මීට බොහෝ කාලෙකට කලින් අප මහා බෝසතාණන් වහන්සේ පාරමිතා පුරන කාලයේදී ස්වර්ණ මයුරෙක් එහෙමත් නැත්නම් රන්වන් පැහැති මොණරෙක් වෙලා හිටියා. මේ බෝසත් රන් මොණරා වාසය කළේ හිමාලය වනයේ තිබුණු දණ්ඩකී හිරඤ්ඤ කියන පර්වතයේ.


බෝසත් රන් මොණරා හැමදාම උදේට ආහාර සොයායන්න කලින් ඉර පායනවත් එක්කම මෙන්න මේ ගාථාව කියලා සූර්යයාට නමස්කාර කරනවා.

උදේතයං චක්ඛුමා ඒකරාජා
හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ
තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං
තයජ්ජ ගුත්තා විහරේමු දිවසං

මේ ගාථාවේ තේරුම තමයි

ලොව අඳුරු දුරු කොට ලෝ වැස්සනට ඇස් පාදා දෙන හෙයින් ඇස් ඇති, ලොවට එළිය දෙන්නවුන් අතරෙහි එකම රජෙක් වූ, රන්වන් සිරුරු ඇති, මහ පොළොව බබුළු වන්නා වූ මේ සූර්යයා නැගෙයි. රන්වන් ඒ හිරුට වඳිමි. ඔබගෙන් ආරක්ෂාව ලැබූ අපි මේ දවස සතර ඉරියව්වෙන්ම යුක්තව සැප සේ වෙසෙමු.

ඊළඟට මෙන්න මේ ගාථාවෙන් අතීතයේ බුදු වී වදාළ බුදුන් වහන්සේලාට බෝසත් රන් මොණරා නමස්කාර කරනවා.

යේ බ්‍රාහ්මණා වේදගු සබ්බ ධම්මේ
තේ මේ නමෝ තේ ච මං පාලයන්තු
නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා
නමෝ විමුත්තානං නමෝ විමුත්තියා


මේ ගාථාවේ තේරුම තමයි

යම් ක්ෂීණාශ්‍රව ඇති බ්‍රාහ්මණ කෙනෙක් [බුදු කෙනෙක්] සියලු දත යුතු ධර්මයන් දැන සම්බුද්ධත්වයට පැමිණියේද උන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා. උන් වහන්සේලා මා ආරක්ෂා කරන සේක්වා. අතීත බුදුවරයන් වහන්සේලාගේ නව ලොවුතුරා බෝධි ගුණයට මාගේ නමස්කාරය වේවා. කෙලෙසුන් කෙරෙන් මිදුනා වූ ඒ බුදුවරයන් වහන්සේලාටද මාගේ නමස්කාරය වේවා.

මේ විදිහට නමස්කාර කරන බෝසත් මොණරා ආහාර සොයා යනවා. [මෝර පිරිතේ ඒ කොටස දක්වන්නේ මේ විදිහට "ඉමං සෝ පරිත්තං කත්වා මෝරෝ චරති ඒසනා"]

සුවසේ දිවා කාලය ගත කරන බෝසත් රණ මොණරා සවසට හිරු බැස යද්දී පළමුවෙන් හිරු දෙවියන්ට නමස්කාර කරනවා.

අපේතයං චක්ඛුමා ඒකරාජා
හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ

තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං

තයජ්ජ ගුත්තා විහරේමු රත්තිං


මේ ගාථාව පොඩ්ඩක් වෙනස්. මේ ගාථාවේ තේරුම තමයි

ලොව අඳුරු දුරු කොට ලෝ වැස්සනට ඇස් පාදා දෙන හෙයින් ඇස් ඇති, ලොවට එළිය දෙන්නවුන් අතරෙහි එකම රජෙක් වූ, රන්වන් සිරුරු ඇති, මහ පොළොව බබුළු වන්නා වූ මේ සූර්යයා බැසයයි. රන්වන් ඒ හිරුට වඳිමි. ඔබගෙන් ආරක්ෂාව ලැබූ අපි මේ රාත්‍රියේ සැප සේ වෙසෙමු.

ඊට පස්සේ නැවත වරක් අතීතයේ බුදු වී වදාළ බුදුන් වහන්සේලාට නමස්කාර කරනවා.

යේ බ්‍රාහ්මණා වේදගු සබ්බ ධම්මේ
තේ මේ නමෝ තේ ච මං පාලයන්තු
නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා
නමෝ විමුත්තානං නමෝ විමුත්තියා

මේ විදිහට නමස්කාර කරන බෝසත් මොණරා නින්දට යනවා. [මෝර පිරිතේ අවසාන වාක්‍ය වෙන්නේ "ඉමං සෝ පරිත්තං කත්වා මෝරෝ වාසමකප්පයීති". ඒකේ තේරුම තමයි ඒ මොණරා පිරිත ආරක්ෂා කොටගෙන වාසය කළේය]



මේ විදිහට ඒ ගාථා සජ්ඣායනය නිසා බෝසත් රන් මොණරා කිසිම බයක් නැතිව ආරක්ෂාකාරීව කටයුතු කරනවා.

දවසක් හිමාල වනයට ආපු බරණැස් නුවර ආසන්නයේ හිටපු වැද්දෙක් මේ රන් මොණරාව දැකලා ඇවිත් පස්සේ කාලෙක තමන් මැරෙන්න ආසන්න වුණු වෙලාවේ තමන්ගේ පුතාට කියනවා හිමාල වනයේ දණ්ඩකී හිරඤ්ඤ පර්වතයේ රන් මොණරෙක් ඉන්නවා, ඒක දැනගෙන ඉන්න කියලා.

මේ කාලේදී බරණැස් නුවර රජතුමාගේ බිසව වුණු ඛේමා බිසව හීනෙන් රන් මොණරෙක්ගෙන් බණ අහනවා දැක්ක නිසා හීනේ සැබෑවක් කරගන්න බිසවට ආසාවක් ඇතිවෙනවා. ඉතින් ඒ විදිහේ රන් මොණරු ඉන්නවා කියලා වේදයෙන් දැනගන්න බරණැස රජතුමා තමන්ගේ රාජ්‍යයේ ඉන්න සියලූම වැද්දෝ ගෙන්නලා අහනවා කැළෑවේදී රන් මොණරෙක් දැකලා තියෙනවද කියලා.

හැමෝගෙම උත්තරේ වෙන්නේ නැහැ කියන එක. ඒත් හිමාලෙදී බෝසත් රන් මොණරාව දැක්ක වැද්දගේ පුතා කියනවා හිමාල වනයේ දණ්ඩකී හිරඤ්ඤ පර්වතයේ රන් මොණරෙක් ඉන්නවා කියලා තාත්තගෙන් දැනගන්න ලැබුණා කියලා.

ඉතින් ඊට පස්සේ රජතුමා රන් මොණරාව මරන්නේ නැතුව පණ පිටින් අරන් එන වැඩේ අර වැද්දටම පංගාර්තු කරනවා.

වැද්දත් හිමාල වනයට ගිහින් දණ්ඩකී හිරඤ්ඤ පර්වතයේ ළඟ උගුල් අටවලා බෝසත් රන් මොණරාව අල්ලන්න උත්සහ කළත් කලින් දක්වපු ගාථාවල ආනුභාවයෙන් බෝසත් රන් මොණරාව උගුල්වලට අසුවෙන්නේ නැහැ. අද අල්ල ගන්නම් හෙට අල්ලගන්නම් කියලා අවුරුදු හතක්ම උත්සහ කළත් වැද්ද අසමත් වෙනවා. හිස් අතින් ආපසු ගියොත් රජ්ජුරුවන්ගෙන් මැරුම් කන්න වෙන නිසා වැද්දා කැළේදීම මැරෙනවා.

තමන්ගේ දොළ දුක සංසිදුනේ නැති නිසා ඒ දුකෙන් බිසවත් මියයනවා. බිසව මියගිය දුක නිසා රජතුමා බෝසත් රන් මොණරා එක්ක කේන්ති අරගෙන "හිමාල වනයේ දණ්ඩකී හිරඤ්ඤ පර්වතයේ ඉන්න රන් මොණරගේ මස් කෑවොත් අමරණීය වෙනවා" කියලා රන් පතක ලියලා තියලා මියයනවා.

ඊට පස්සේ පරම්පරා හයකම රජවරු ඒ රන්පත දැකලා අමරණීය වෙන ආසාවෙන් හිමාලයට වැද්දෝ යැව්වත් ඒ වැද්දෝ අසාර්ථක වෙලා හිමාලයේදීම මියයනවා, රජවරුත් දුකෙන් මියයනවා.

ඒත් හත්වෙනි පරම්පරාවේ රජතුමා උපායන් දන්න වැද්දෙක්ව තමයි වැඩේට යවන්නේ. උදේ හවස බෝසත් රන් මොණරා ගාථා ගායනා කරන නිසා උගුල්වල අසුවෙන්නේ නැහැ කියන එක තේරුම් ගත්තු වැද්දා උපායෙන් බෝසත් රන් මොණරාව අල්ලගන්න සැලසුම් කරනවා.

බෝසත් රන් මොණරව කාමයෙන් මත් කරලා ගාථාව කියල එක වළක්වලා උගුලක අසුකරගන්න හිතපු වැද්දා උගුලක් ගාව උදේම සෙබඩක් බැදලා නාද කරවනවා.

උදේම ගාථා කියන්න කලින් සෙබඩගේ හඬ අහපු බෝසත් රන් මොණරා කාමයෙන් මත්වෙලා ගාථා කියන එකත් අමතක කරලා සෙබඩ ගාවට පියාඹගෙන එද්දී උගුලේ අහුවෙනවා. පේනවා නේද ගෑණු මායමේ තරම :))

පස්සේ වැද්දා බෝසත් රන් මොණරාව අල්ලගෙන බරණැස් රජතුමාට ගිහින් බාරදෙනවා. හුඟාක් සතුටු වෙන රජතුමා බෝසත් රන් මොණරව තමන්ගේ සිංහාසනයේ වාඩි කරවනවා.

බෝසත් රන් මොණරා සහ බරණැස රජතුමා අතර ඇතිවුණු සංවාදය මෙහෙමයි


බෝසත් රන් මොණරා : රජතුමනි, මෙච්චර මහන්සිවෙලා මාව අල්ලගත්තේ ඇයි ?

බරණැස රජතුමා : රන් මොණර මස් කාපුවාම අමරණීය වෙනවා කියලා කියන නිසා අමරණීය වෙන්න මස් කන්න හිතාගෙනයි අල්ලගත්තේ

බෝසත් රන් මොණරා : මීට කලින් රන් මොණර මස් කාලා අමරණීය වුණු අය ඉන්නවද ?

බරණැස රජතුමා : ලෝකේ රන් මොණරෙකුට ඉන්නේ ඔබ විතරයි, ඒක නිසා මීට කලින් රන් මොණර මස් කාලා අමරණීය වුණු අය නැහැ

බෝසත් රන් මොණරා : රජතුමනි, ඔබතුමාගේ කතාව පරස්පර විරෝධීනේ. මීට කලින් රන් මොණරෙක් හිටියෙත් නැත්නම් එහෙම අමරණීය වුණු කෙනෙකුත් නැත්නම් දැන් මගේ මස් කාපුවාම අමරණීය වෙයි කියලා කොහොමද හිතන්නේ ?

බරණැස රජතුමා : ඔබේ ශරීරය රන්වන් පාට නිසා රන් මොණරෙක්ගේ මස් කාපුවාම අමරණීය වෙනව කියලා අහලා තියෙනවා
බෝසත් රන් මොණරා : රජතුමනි, ඔබතුමා මගේ මස් කන්නේ මරලද මරන්නේ නැතුවද ?

බරණැස රජතුමා : ඔබේ මස් කන්නේ ඔබව මරලා

බෝසත් රන් මොණරා : රජතුමනි ඔබේ ඒ කතාවත් පරස්පර විරෝධීනේ. මාව මරලා නම් මස් කන්නේ මමත් මියයනවා නම් මගේ මස් කන අය මිය යන්නේ නැතුව අමරණීය වෙන්නේ කොහොමද ? මහානුභාව සම්පන්න දෙවියෝ, බ්‍රහ්මයෝ වගේම ලෝකය බබුළුවන සූර්යයා හා චන්ද්‍රයාත් දවසක අන්තර්ධාන වෙනවා නම් මේ ලෝකේ සදාකාලික තියෙන්න පුලූවන් වස්තුවක් තියෙන්න පුලූවන්ද ?

මේ විදිහට බෝසත් රන් මොණරා රජතුමාට කරුණු කාරණා පහදලා දෙනවා.

පස්සේ රජතුමාට ගැටළුවක් ඇතිවෙනවා මේ විදිහට රන්වන් පැහැයක් මේ මොණරාට ලැබුණේ කොහොමද කියලා. ජාතිස්මරණ ඤාණය (පෙර ආත්ම භාව සිහි කිරීමේ නුවණ) තියෙන බෝසත් රන් මොණරා කියනවා තමන් මීට පෙර මේ නුවර සක්විති රජවෙලා හිටි බවත් ඒ කාලයේදී තමන් වගේම තමන්ගේ රටවාසීනුත් පංච සීලය ආරක්ෂා කරන්න පෙළඹුවා කියලා.

තමන් මියගියාට පස්සේ තව්තිසා දිව්‍ය ලෝකයේ ඉපදිලා බොහොම දිව්‍ය සම්පත් විඳලා මිය ගිහින් කරපු කිසියම් අකුසලයක් නිසා තිරිසනෙක් වෙලා උපන්නත් පන්සිල් ආරක්ෂා කරපු ආනුභාවයෙන් රන්වන් රූපයක් ලැබුණා කියලා.

ඒ වගේම රජතුමාගේ මඟුල් පොකුණ හිස් කරවලා ඒකේ නිධන් කරවලා තිබුණු වස්තුවත් පෙන්වලා තමන්ගේ කතාවේ සත්‍යතාව තහවුරු කරවනවා.

මේ කතාවෙන් පස්සේ රජතුම හුඟාක් සතුටුවෙලා බරණැස් රාජ්‍යයම බෝසත් රන් මොණරාට පූජා කරනවා. ඒත් බෝසත් රන් මොණරා රාජ්‍ය රජතුමාටම පවරලා පන්සිල් රකින එකේ වටිනාකම රජතුමාට වගේම රටවාසීන්ට කියාදීලා එයාලව පංච සීලයේ පිහිටවලා ආයි හිමාල වනයේ දණ්ඩකී හිරඤ්ඤ පර්වතයට ගිහින් තවත් බොහෝ කල් සුවසේ වාසය කරලා මිය යනවා.

ඉතින් මේ කතාවෙන් ඔයාලට පන්සිල් රකින එකේ ආනිශංස වැටහෙන්න ඇති. ඒ වගේමයි ඒ බෝසත් රන් මොණරා ආරක්ෂක ගාථා විදිහට භාවිතා කරපු ගාථා ඔයාලටත් ආරක්ෂක ගාථා විදිහට භාවිතා කරන්න පුලූවන්. තේරුමත් දැනගෙන මේ ගාථා භාවිතා කළොත් ඒ කාර්යය තවත් අර්ථවත් වේවි.

මේ කතාව බුදුසරණ පත්තරෙත් තිබුණා. ඒක බලන්න මෙන්න පාර

මෝර පිරිත ශ්‍රවණය කරන්න අවශ්‍ය නම් මේ සබැඳියෙන් මහමෙව්නා අසපුවේ අඩවියට පිවිසෙන්න පුලුවන්. ඒ වෙබ් පිටුවේ පහළට වන්නට තිබෙන පිරිත් දේශනා කොටසේ 7 වෙනි පිරිත ලෙස මෝර පිරිත තිබෙනවා

මේ කතාව මම උපුටා ගත්තේ දඹදෙණි යුගයේදී මයුරපාද පරිවේණාධිපති බුද්ධපුත්‍ර හිමිපාණන් විසින් රචනා කරපු "පූජාවලිය" කියන මාහැඟි ග්‍රන්ථයෙන්. මේ ග්‍රන්ථය මට කියවන්න ලබාදුන්නු පූජ්‍ය කරගස් ආරේ අරියධම්ම හිමියන්ටත් මම කරපු මේ කාර්යයෙන් කිසියම් කුසලයක් ඇත්නම් කොටසක් අත්වේවා..........
ප.ලි.: මීට කලින් මම ලියපු "පණ පිටින් දිව්‍ය ලෝකේ ගිය මනුස්සයෙක්" කතාවේත් අන්තිමට ඉහළින් තියෙන විදිහටම මම පුණ්‍යානුමෝදනාවක් කරලා තිබුණා.

ඒකට අපේ කතන්දර කියලා තිබුණා "මට මතක්වුනේ ඉස්සෙල්ලා හිඟන්නෙකුට රුපියල් පහක් දීලා විනාඩියකට පස්සේ ඒ පිනෙන් ඇදෙන්න කියලා ප්‍රාර්ථනය කරමින් රුපියල් විස්සකට ශනිදාවක් ගන්න අයවයි. පිණ කරලා තීන්ත වේලෙන්නත් කලින් රිටන් එක ගන්න සෙට් වෙලා ඉවරයි!" කියලා.

ඒකට පිළිතුරක් විදිහට කියන්න කැමතියි හිඟන්නන්ට සල්ලි දීලා ඒ පිනෙන් ටිකට් ගන්න අරන් ඒක ඇදෙන්න කියලා ප්‍රාර්ථනා කිරීම කියන්නේ "ස්වාර්ථ සාධනයක්". එතන තමන්ගේ පුද්ගලික ලාභය ගැන විතරයි සළකලා තියෙන්නේ.

ඒත් මම ඉදිරිපත් කරපු කතාව තුළින් ධර්ම දානයක් කරන්නයි උත්සහ කළේ. ධර්ම දානය කුසලයක් බව අමුතුවෙන් කාටවත් පහදලා දෙන්න ඕනේ කියලා මම හිතන්නේ නැහැ. ඒකට දායක වුණු පුද්ගලයෙක්ව සිහිපත් කරන්න ඒ අවස්ථාව මම යොදා ගත්තේ. ඒක හිඟන්නට සල්ලි දීලා ටිකට් ඇදෙන්න කියලා හිතන මිනිස්සුන්ගේ කතාවට සමාන කරන්න එපා කියන එක මතක් කරන්න කැමතියි.

ඒ වගේමයි තීන්ත වේලෙනකම් හුඟක් වෙලා බලන් ඉන්න ඕනේ වගේ, පින් කියන ජාතිය ලැබෙන්න හොඳ කාර්යයක් කරලා හුඟාක් වෙලා බලන් ඉන්න ඕනේ නැති බව කියන්න කැමතියි :) චේතනාව හොඳ නම් වැඩේ හරි

Saturday, March 24, 2012

The Reader තුළින් හෙලිවන නිර්සාක්ෂරතාවයේ අන්දරය


1922 ඔක්තෝබර් 21 දී ජර්මනියේ හර්මන්ස්ටඩ්වල උපත ලබපු හනා ස්මිට්ස් සීමන්ස් කම්හලේ රැකියාවකට යනවා. ෆෝමන්වරියක් විදිහට උසස්වීමක් ලැබුණත් හනා සීමන්ස් කම්හලෙන් ඉවත්වෙලා හිට්ලර්ගේ එස් එස් හමුදාවේ සිරකරුවන් භාරව සිටින ගාඩ්වරියක් විදිහට සේවයට එක් වෙනවා. හිට්ලර්ගේ තුන්වෙනි අධිරාජ්‍ය සිහිනය බිඳ වැටීමත් සමඟම සිරකරුවන් එක්කම බටහිරට යන හනා බටහිර ජර්මනියේ වාසය කරන්න පටන් ගන්නවා.

එහි වාසය කරද්දී මයිකල් බර්ග් කියන අවුරුදු 15 තරුණයාව හනාට හමුවෙන්නේ මයිකල්ව රතු උණෙන් අසනීප වෙලා ගෙදර එනකොට. අවසානයේදී අවුරුදු 15 මයිකල් සමඟ අවුරුදු 30 කට ආසන්න හනා අතර ලිංගික ඇසුරක් ඇතිවෙනවා.

දිනපතා වගේ හනාගෙන් ලිංගික සතුටක් ලබන්න මයිකල් පුරුදු වෙනවා. ටික දිනකින් මයිකල්ගේ අධ්‍යාපන කටයුතු ගැන හනා විමසන නිසා ඒ ඇසුරෙන් තමන්ට ඇහෙන්න මයිකල් ලවා කතන්දර පොත් කියවගන්න හනාට පුලුවන් වෙනවා.


හනා මේ වෙද්දී ට්‍රෑම් රථ කොන්දොස්තරවරියක් විදිහට වැඩ කරනවා. හනාට ට්‍රෑම් රථ කාර්යාලයට උසස්වීමක් ලැබීමත් එක්කම හනා එක්වරම අතුරුදහන් වෙනවා. මයිකල් තමන්ගේ පෙම්වතිය නැතිවීම ගැන හුඟාක් කම්පාවට පත්වෙනවා.

අවසානයේදී මයිකල්ට නැවත හනාව හමුවෙන්නේ ඊට වසර ගණනාවකට පස්සේ නාසි වධකාගාරයන් තුළ වුණු අපරාධවලට සම්බන්ධ වුණු අයට දඬුවම් පැමිණවීමට තිබුණු නඩු විභාගයකදී. නීති සිසුවෙක් ලෙස මෙතනට එන මයිකල්ට හනාව හමුවෙන අතරම නඩු විභාගයේදී හෙළිවෙන්නේ හනා අවුස්විට්ස් වධකාගාරයේදී දුර්වල, සුකුමාල ගැහැණු ළමයින්ට වැඩි සැලකිල්ලක් දැක්වූවා වගේම ඔවුන් ලවා පොත් කියවා ගත් බව.

අවසානයේදී හනාට පමණක් වැඩි දඬුවමක් හිමිවෙන්නේ අනිත් විත්තිකාරියන් හනා ඔවුන්ගේ නායිකාව බව කීමත් ඒ වගේම සිරකරුවන් රැසක් මියගිය සිදුවීමක් සම්බන්ධ වාර්තාවක් හනා ලිවූ බව කීමෙනුත්.තමා එම වාර්තාව ලිවූ බව හනා පිළිගැනීමත් එක්කම තමා මේ තත්වය ගොඩ නැගෙන්නේ. ඉතින් හනාට ලැබෙන දඬුවම තමයි ජීවිතාන්තය දක්වාම සිර දඬුවම් නියමවීම.

මේ විදිහට කෙටියෙන් මම කිව්වේ ජර්මන් ජාතික බර්නාඩ් ස්ලින්ක් ලියූ Der Vorlesser කෘතියේ අවසානය අත් ඇරලා මුල් කොටස් ටික. පසුව 2008 වර්ෂයේදී මේ කෘතියෙන් ස්ටෙෆන් ඩැල්ඩ්‍රයි The Reader කියන චිත්‍රපටිය නිර්මාණය කරනවා



ඉතින් ඉහත දක්වපු කතාවේ සෑම ප්‍රධාන සිද්ධියක් ඇතුළෙම තියෙන සැඟවුණු කතාව තමයි හනාගේ නිර්සාක්ෂරතාව. තවත් විදිහකින් කිව්වොත් හනාට කියවීමට හෝ ලිවීමට හෝ තිබුණු නොහැකියාව.

සීමන්ස් ආයතනයෙන් ලැබුණු උසස්වීම ඇය ප්‍රතික්ෂේප කරන්නේත් අවුස්විට්ස් වධකාගාරයේදී ගැහැණු ළමුන් ලවා පොත් කියවා ගන්නේත් බටහිර ජර්මනියේදී මයිකල් බර්ග් ලවා පොත් කියවා ගන්නේත් ට්‍රෑම් රථ කාර්යාලයට ලද උසස්වීම ප්‍රතික්ෂේප කරන්නේත් අවසාන වශයෙන් ඇයට වැඩි වරදක් පැටවෙන වාර්තාව ලියපු බවට අසත්‍ය ප්‍රකාශයක් කරන්නේත් ඇයට නිර්සාක්ෂරතාවක් තිබුණ නිසා.

ඒත් කිසිම අවස්ථාවක ඇය ඒක හෙළිකරන්නේ නැත්තේ ජර්මන් ජාතිකයෙක් විදිහටත් එස් එස් සෙබළියක් විදිහට ඇය තුළ ගොඩනැඟී තිබුණු ආත්මාභිමානය නිසා....

මේ කතාවත් එක්කම හනාට සාක්ෂරතාවක් තිබුණා නම් කියන ප්‍රශ්නය රසිකයන්ට කතුවරයා මතු කරන අතරේම මේ කතාව තවත් ආකාරයකට ගොඩනගන්න රසිකයන්ට පාරක් විවර කරනවා. ඒ තමා හනාට සාක්ෂරතාවක් තිබිලා සීමන්ස් කම්හලේ උසස්වීම බාරගත්තා නම් කියන එක............

ඒ වගේමයි හනාට දඬුවම් ලැබෙන්න විශේෂයෙන් හේතු වෙන්නේ බටහිරට අරගෙන ගිය සිරකරුවන් රැසක් පල්ලියක සිර කරලා තියෙද්දී ඒ පල්ලියට එල්ලවන බෝම්බ ප්‍රහාරයකදී සිරකරුවන්ට පල්ලියෙන් එළියට එන්න ඉඩනොදීම නිසා ඔවුන් මරණයට පත්වීම නිසා. ඒ සිදුවීමෙන් ගැලවෙන මවක් සහ දුවෙක් තමා මේ කතාව පොතක් රචනා කිරීම මඟින් ලොවට හෙළිකරන්නේ

ඒ සිදුවීම වගේම වධකාගාරයේ හිටපු රෝගී සිරකරුවන් මරණයට ගිනි උදුනට යැවීම සම්බන්ධයෙනුත් හනා දෙන පිළිතුරු අවදානයට ලක් කරන්නම ඕනේ.

විනිසුරුවරයා : "රෝගී සිරකරුවන් ගිනි උදුන වෙත යැව්වේ ඔවුන් ඝාතනය කර දැමීමට කියලා ඔබ දැනගෙන සිටියේ නැත්ද ?"

හනා : "ඔව් අපි දැනගෙන සිටියා. නමුත් අලුතෙන් වධකාගාරය වෙත ගෙන එන සිරකරුවන්ට ඉඩකඩ සලසා දීම සඳහා අපිට ඒක කරන්න සිදුවුණා"

විනිසුරුවරයා : "ඔබ කියන්නේ අලුතෙන් ගෙනෙන ලද සිරකරුවන්ට ඉඩකඩ සලසා දීම සඳහා පෙර සිටි සිරකරුවන් ඝාතනය කර දැමීම සඳහා යැව්වා කියලද ?"

හනා : "එදා ඔබ මා සිටි තත්වයේ සිටියා නම් කුමක්ද කරන්නේ?"

විනිසුරුවරයා : "මේ ජීවිතේදී අපට මුහුණු දෙන්නට සිදුවන සමහර දේවල්වලින් අපගේ ජීවිතයට අනතුරක් සිදුවන්නේ නම් ඒවායින් අපි ඈත් වී සිටිය යුතුයි"

හනා : "ඒ කියන්නේ මම සීමන්ස් කර්මාන්ත ශාලාවේ රැකියාවට ගිය එක වැරදිද?"

මේ තමා පල්ලියේ වූ සිදුවීම ගැන හනාගේ පිළිතුරු

විනිසුරුවරයා : "ඇයි ඔබ පල්ලියේ දොරවල් විවෘත නොකළේ?"

හනා : "අපට වෙන විකල්පයක් තිබුණේ නැහැ"

විනිසුරුවරයා : "ඔබට වෙන විකල්පයක් තිබුණේ නැහැ"

හනා : "ඒ වෙනකොට අප අතර සිටි සමහර දෙනා මියැදිලා. ඉතිරිව සිටිය නිලධාරීන් තුවාලකරුවන් අරගෙන රෝහලට ගියා. එනවා කියලා තමයි ගියේ. ඒත් ඒ අය ආපහු නො එන්න තීරණය කරලයි ගියේ"

විනිසුරුවරයා : " ඉතින් ඔබ මොකද කළේ?"

හනා : "ඇත්තෙන්ම ඒ වෙලාවේ මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරි තත්වයක අපි හිටියේ.......... අපි කොහොමද මේ තරම් සිරකාරියන් ප්‍රමාණයක් රැකබලා ගන්නේ. අපි ඒ වෙලාවේ පල්ලියේ දොරවල් ඇරියා නම් ඔවුන් කඩාගෙන බිඳගෙන එළියට එනවා"

විනිසුරුවරයා : "සිරකාරියන් ඔබලාට අතවරයක් කරයි කියලා බියක් දැනුණද?"

හනා : "ඇත්තෙන්ම එහෙම වෙන්නට ඉඩ තිබුණා. අපි ඒ වෙලාවේ පල්ලියේ දොරවල් ඇරිය නම් විශාල කලබැගෑනියක් වෙන්නට තිබුණා. ඔවුන් පැනලා යන්නට උත්සහ කරන්නට ඉඩ තිබුණා. එහෙම වුණා නම් අපිට ඒ තත්වය පාලනය කරගන්නට බැරිව යනවා."

විනිසුරුවරයා : "සිරකාරියන් පැනලා යයි කියලා ඔබට බයක් දැනුණද? මොකද එහෙම වුණා නම් නාසි ඔබව වරදකාරියක් කරලා ඝාතනය කර දමන්නට ඉඩ තිබුණු නිසා"

හනා : " එවැනි තත්වයක් උද්ගත වුණත් සිරකාරියන්ට පැනලා යන්න දෙන්න අපිට පුළුවන්කමක් තිබුණේ නැහැ. ඔවුන් බලා ගැනීම අපිට පැවරිලා තිබුණු වගකීමක්. පසුගිය කාලය තුළත් මේ දක්වා පයින් ආ ගමෙන්ත් අපි ඔවුන්ව බලා ගත්තා. ඔවුන්ට පැනලා යන්න දීලා බලාගෙන ඉන්න එක නෙමේ, ඔවුන්ට පැනලා යන්න නොදී ආරක්ෂා කර ගැනීමයි අපට පැවරිලා තිබුණු වගකීම.

ඒ අවස්ථාවට ඔබ මුහුණ දුන්නා නම් ඔබ කරන්නේ කුමක්ද ?
"

මේ ප්‍රකාශවලින් පෙනෙන්නේ හනා තමන්ගේ වගකීම එසේත් නැතිනම් තමන්ගේ රැකියාවේ කාර්යය භාරය ඉටුකර ඇති ආකාරයයි.

එහෙම නම් තමන්ගේ රාජකාරිය මැනවින් ඉටුකිරීමද හනා කළ වරද ? එසේත් නැතිනම් පිළිගත් සදාචාරයට එරෙහිව තම රාජකාරිය ඉටුකිරීමද හනා කළ වරද ? මේ ආකාරයෙන් හනා වරදකාරියක්ද නැත්ද යන ගැටළුවට රසිකයා හසුකිරීමට කතුවරයා සමත්ව තිබෙනවා.


මෙහිදී හනා මයිකල් සමඟ සබඳතාව පැවති සමයේ මයිකල් කරපු ක්‍රියාවක් නිසා මයිකල් සමාව ඉල්ලුවත් හනා එයට පිළිතුරු බඳින්නේ

"සමාව ඉල්ලන්න එපා. කිසිම කෙනෙක් සමාව ඉල්ලිය යුතු නැහැ"

මේ පිළිතුරෙන් ගම්‍ය කරන්නේ මේ ප්‍රකාශය කියලයි මට හිතෙන්නේ

කිසිම පුද්ගලයෙක් වැරදි නැත. සෑම පුද්ගලයාම ක්‍රියා කරන්නේ ඒ අවස්ථාවේදී ඔහුට ක්‍රියාකළ හැකි ආකාරයෙන්ය. ඒ අනුව බැලීමේදී කිසිවෙක් වැරදි නැත.

කතාවේ ඉතුරු කොටස ගැන කිව්වොත් මයිකල් ඒ කාලයේදීම විවාහ වෙනවා. හනා ගැන කිසිම දෙයක් තමගේ බිරිඳට මයිකල් නොකිව්වත් හනා සමඟ තමන්ගේ බිරිඳ නිතරම සංසන්දනය කරන්නට මයිකල් උත්සහ කරන නිසා සිදුවෙන්නේ බිරිඳ කරන හැම දේකම වැරැද්දක් මයිකල්ට පෙනෙන එක

ඒ නිසා මයිකල් ඇයගෙන් දික්කසාද වෙන්න තීරණය කරනවා. මේ තත්වය සාමාන්‍ය මනෝ භාවයක්. කලක් සමීපව සිටි අයෙක් එහෙමත් නැත්නම් හදවතේ සමීපව සිටිය අයෙක් වෙනුවට වෙනත් අයෙක් ඒ ස්ථානයට ආවොත් ඒ වගේම අනික් හුඟාක් අවස්ථාවලත් කලින් හිටි එක්කෙනාගේ කටයුතුත් එක්ක අලුතින් ආපු කෙනාගේ කටයුතු සංසන්දනය කරන එක මිනිසාගේ හැටි.

ඒ වගේමයි මයිකල්ගේ හිතේ හනා ගැන ලොකු ආදරයක් තිබුණත් ඒක අතීතයට එකතු වුණු දෙයක් විදිහටත් ඒකේ මිහිර විඳිනවා විනා ඒක ආයි සමීප කරගන්න මයිකල් උත්සහ කරන බවක් පෙනෙන්නේ නැහැ. ඒක පෙනෙන්නේ සිරගත වෙලා ඉන්න හනාව බලන්න එක දවසක්වත් මයිකල් යන්නේ නැහැ.

ඒත් දවසක් තමන් ඉස්සර හනාට කියවපු "ඔඩිසි" පොත දකින මයිකල් ඒ පොත කියවමින් ඒක පටිගත කරලා හනාට යවනවා. තමන්ගේ අතීතයේ මිහිර නැවතත් මයිකල් එහෙම විඳගත්තත් කිසිම ලියුමක් මයිකල් හනාට යවන්නේ නැහැ. ඒ විදිහට මයිකල් පොත් කීපයක්ම හනාට යවනවා. දවසක් මයිකල් බලාපොරොත්තු නොවුණු විදිහට හනාගෙන් ලිපියක් ලැබෙනවා

හනාගෙන් ලැබුණු ලිපියේ බොහොම කෙටි දෙයක් තියෙන්නේ.

ළමයෝ අර අන්තිමට එවලා තිබුණු කතාව නම් ඇත්තෙන්ම ලස්සනයි. ස්තුතියි

හනා

හනා කියවන්න ලියන්න පුරුදුවෙලා. මයිකල්ට ලොකු සතුටක් දැනෙනවා. මයිකල් එවන ටේප් පටිවලට අදාළ පොත් හොයාගන්න හනා ඒ අනුව එක එක වචනය ලියන විදිහ හඳුනගන්න දක්ෂ වෙනවා වගේම තමන්ගේ කියවීමේ හා ලිවීමේ හැකියාව ක්‍රමයෙන් දියුණු කරගන්නවා.

හනාගේ යහපත් හැසිරීම නිසා එයාව නිදහස් කරන්න තීරණය වෙන නිසා බන්ධනාගාරයෙන් කතා කරන්නේ හනා එක්ක සම්බන්ධ වෙලා හිටපු මයිකල්ට. හනා වසර 20 ක් සිරගත වෙලා හිටපු නිසා සමාජයට හුරු කිරීම, ඉන්න තැනක් සහ රැකියාවක් සොයා දීම මයිකල්ට බාරවෙනවා.


ඒවා හොයාගත්තු මයිකල් හනාව මුණගැහෙන්න බන්ධනාගාරයට යනවා. වයස්ගත වුණු හනාව දැකීමෙන් මයිකල් පුදුමෙට පත්වෙනවා. ඒ වගේමයි මයිකල්ගේ හැසිරීමෙන් හනා තේරුම් ගන්න දෙයක් තිබෙනවා. හනා අපේක්ෂා කළේ අතීතයේ තිබුණු ප්‍රේමනීය තත්වය මයිකල් සහ තමන් අතර ඇතිවෙයි කියලා.

ඒත් මයිකල්ගේ තත්වය ගැන නැවතත් ප්‍රශ්නයකට රසිකයාව යොමුකරන්න කතුවරයා සමත් වෙනවා. මයිකල් තමන්ගේ අතීතය මතක් කරන්න කැමතියි. ඒත් වර්තමානයේ ඒ තුළ ජීවත් වෙන්න අකමැතියි කියන එක බොහෝ වෙලාවට පෙනුණත් එහෙම නම් මයිකල් හනාට කතා ටේප් කරලා යවන්නේ ඇයි කියන ගැටළුවත් ඒත් එක්කම පැන නගිනවා.

කොහොම නමුත් කලින් හිටිය මයිකල් නෙමෙයි වෙනස් කෙනෙක් දැන් ඉන්න බව හනාත් තේරුම් ගන්නවා. චිත්‍රපටිය තුළ මේ සිදුවීම පෙන්වන්න උපයෝගී කරගන්නේ මයිකල්ට අල්ලා ගන්න හනා සුරත දිගු කිරීමත් ටික වෙලාවකින් මයිකල් ඒ අත අල්ලා ගෙන නැවත අත හැරීමෙන්

මයිකල් තමන් හනාට රැකියාවක්, ඉන්න තැනක් සොයාගත්තු බවත් කියලා ඇයව එක්කගෙන යන්න හිතාගෙන ඊළඟ සතියේ එද්දී දැනගන්න ලැබෙන්නේ හනා සියදිවි නසාගෙන තිබෙන බවයි. මයිකල් බන්ධනාගාර පාලකවරිය එක්ක කතා කරන සිදුවීම පෙළ අපූරුවට ගලාගෙන යනවා.

හනා නැවතිලා හිටපු කාමරය මයිකල් බලනවා වගේම තමන් උසස් පෙළ සමත්වුණු වෙලාවේ විදුහල්පතිතුමා සහතික ප්‍රදානය කරන ඡායාරූපය තිබුණු පත්තරේ හනා බිත්තියේ අලවා තිබීමත් මයිකල්ව කම්පා කරවනවා. ඒ වගේමයි හනා සිරගෙදර හිටපු අවුරුදු 20 තුළම මයිකල් එවපු ටේප්වලට අමතරව මයිකල්ගෙන් ලියුමක් හනා බලාපොරොත්තු වුණු බවත් මයිකල් දැනගෙන්නවා


හනා තමන්ගේ අවසන් කැමැත්තෙන් තමන් සතුවුණු මුදල් නාසි සමයේ පල්ලියේ ඛේදවාචකයෙන් දිවි ගලවාගන්න දරුවාට ලබාදෙන්න කියලා. ඒ වගේමයි මයිකල්ව ආදරයෙන් මතක් කරන බවත් ඇගේ ලිපියේ තිබෙනවා. මයිකල් හනාගේ කැමැත්තට ඒ මුදල් අදාළ කාන්තාවට භාරදෙන්න ගියත් ඇය ඒක බාර නොගන්නේ ඒක බාර ගන්න එකෙන් හනාට සමාවක් ලැබෙනවා කියලා ඇ‍යට හිතෙන නිසා,

හනාගේ සාක්ෂරතාව නොමැති බව බොහෝ දේවල්වලට හේතුවුණු බව මයිකල් ඇයට පහදලා දෙනවා. හනා මුදල් දාලා තිබෙන තේ කොළ ටින් එක විතරක් ඇය ගන්නේ කුඩා කළ ඇයටත් එවැන්නක් තිබුණු නිසා.

මයිකල් හනාගේ මුදල් හනාගේ නමින්ම නිර්සාක්ෂරතාව දුරුකරන්න තිබෙන සංවිධානයකට පරිත්‍යාග කරන්නේ හනාව සිහිපත් කරමින්. කතාව අවසාන වන්නේ මයිකල් බර්ග් මුල්ම සහ අවසන් වතාවට හනාගේ දේහය තැන්පත් කරලා තිබුණු සොහොන් බිමට යන සිදුවීමෙන්.

චිත්‍රපටියේ ඊට වඩා සාර්ථක අවසානයක් දීලා තිබෙනවා කියලා මට හිතෙන්නේ ඒකෙදී මයිකල් තමන්ගේ තරුණ දියණියත් සමඟ හනාගේ සුසානයට ගිහින් තමන්ගේ පුදුම සහගත මෙතෙක් කාටවත් නොකියපු කතාව තමන්ගේ දියණියට කියන්න ආරම්භ කරන එකෙන්.

ඉතින් මේ කතාව තුළින් බොහෝ මාතෘකා කතා කරන වග ඔබටත් තේරෙන්න ඇති. පුලුවන් නම් මුලින්ම පොත කියවන්න රංජිත් කුරුප්පු "ගිම්හාන ගීතය" නමින් මේ කෘතිය සිංහලය නගලා තිබෙනවා.

ඊට පස්සේ චිත්‍රපටිය නරඹන්න. මේ සබැඳියෙන් ඒ සඳහා ටොරන්ට් එක ලබාගන්න පුලුවන්. චිත්‍රපටිය සම්මාන රැසක් දිනා ගනිපු චිත්‍රපටියක්. ඒ වගේමයි පොතත්.

කාලෙකට පස්සේ බලපු හොඳ චිත්‍රපටියක් කියන එකත් අවසානයට මතක් කරන්න ඕනේ :)

ප.ලි.: අවුරුද්දකටත් වඩා වැඩි කාලයක් download කරලත් බලන්නේ නැතුව මගේ computer එකේ තිබුණු film එක බලන්න හිතුණේ මගේ සරසවි මිතුරියක් වුණු ශම්මි විජේසුන්දර බදාදා මට දුන්නු film එකට පාදක වුණු ජර්මන් කෘතියේ සිංහල පරිවර්තනය වුණු "ගිම්හාන ගීතය" කියෙව්වාට පස්සේ.

ස්තුතියි ශම්මි :)

Sunday, February 12, 2012

සීත රෑක මධුසමේ මා ඔබේ වෙලා..... අහලා තියෙනවාද ?


දැන් කාලේ ලංකාවේ music කොච්චර ජනප්‍රියද කියනවා නම් අහවස ලියන සිංදුවට රෑ music දාලා පහුවෙනිදා උදේට FM වල, TV Channels වල යන තරමටම ලංකාවේ music දියුණුයි :) Musical show එකක් කිව්වොත් කොල්ලෝ කුරුට්ටෝ පිරෙන හැටි හැමෝම දැකලා ඇතිනේ.

ජනප්‍රිය සංගීතයේ ඉල්ලුම වගේම ශාස්ත්‍රීය සංගීතයේ වුණත් ඉල්ලුමක් නැහැ කියන්න බැහැ. වික්ටර් රත්නායකයන්ගේ ප්‍රසංගය, සුනිල් එදිරිසිංහයන්ගේ සඳකඩ පහණ, නන්දා මාලිනියන්ගේ ශ්වේත රාත්‍රිය වගේ ප්‍රසංගවලට කොච්චර නම් මිනිස්සු යනවද ?

ජනප්‍රිය සංගීතයේ සිංදුවලට වෙන දෙයක් තමයි ඒ සිංදු FM වල, TV Channels වල පෙන්නකම් දානකම් ජනප්‍රියයි, මිනිස්සුන්ගේ කටේ තියෙන්නේම ඒ සිංදුව, එකක් වුණත් ඇහෙන්නේ ඒ සිංදුව. හැබැයි ඊට පස්සේ එහෙම සිංදුවක් තිබ්බද කියලාවත් මතක නැහැ. එහෙම වුණු සිංදු ගැන උදාහරණ මටත් වඩා හොඳට ඔයාලා දන්නවා ඇති.

ඉතින් අද ආගිය කතාවෙන් කතා කරන්නේ කාලෙකට ඉස්සර කරළියට ආපු සිංදු 2 ක් ගැන මම හිතන විදිහට නම් හුඟක් අය මේ සිංදු දෙක අහලා නැතුව ඇති. ඇහුවත් තේරුමක් දන්නේ නැතුවයි අහලා තියෙන්නේ. ඒක නිසා මේ සිංදු දෙකෙන් කියන්නේ මොකක්ද කියන එකත් එක්ක මේ සිංදු අහලා බලමු.

මුල්ම සිංදුවේ ගායකයා රනිඳු ලංකාගේ.


රනිඳු කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරපු A/L Commerce වලින් ලංකාවෙන් 4 වෙනියා වුණු කොල්ලෙක්. ලංකාවේ hip pop සංගීතයේ පෙර ගමන්කරුවෙක් වුණු රනිඳුගේ මුල්ම ඇල්බමය වුණු 2004 නිකුත් කරපු දිවිය පුරා ඇල්බමයේ තමා මේ සිංදුව තියෙන්නේ. සිංදුව තමයි සංසාරයේ......

මෙන්න සිංදුව.......



මේ තියෙන්නේ සිංදුවේ පද මාලාව

රන් හිරුයි ඔබ යෞවනේ
හදවතයි ඔබ ජීවිතේ
මල් මිටයි මගේ ආදරේ
ඔබ මගෙයි ආනන්දයේ

උල්පතයි කරුණා ගුණේ
සෙනෙහසයි ඔබ රන් කිරේ
නාදයයි මගේ ජීවිතේ
මා ඔබෙයි සංසාරයේ

සැනසුමයි මගේ ජිවිතේ
සිසිලසයි මේ පින් බිමේ
ජිවයයි කුළුදුල් පෙමේ
මා ඔබෙයි සංසාරයේ

කැඩපතයි හද මංසලේ
රිය සකයි ඔබ ආ මඟේ
බෑවුමයි ගිරි දුර්ගයේ
ඔබ මගෙයි තුන් කාලයේ

මහ මෙරයි මුදිතා ගුණේ
සළකුණයි ජය මාවතේ
රිද්මයයි මිනිසත්කමේ
මා ඔබෙයි සංසාරයේ

සැනසුමයි මගේ ජීවිතේ ///

කවුරු ගැනද මේ රනිඳු කියන්නේ ? අපේ කුළුදුල් ප්‍රේමය අපි පිදුව, කරුණා ගුණයේ උල්පත වුණු, මහ මෙරක් තරම් මුදිතා ගුණයක් තිබුණු අම්මා ගැන තමයි මේ සිංදුවෙන් කියන්නේ...

මේ සිංදුව කලින් අහලා තිබුණා නම් මේක හිතුණද ? ඉතින් රනිඳුත් අම්මා ගැන කියවෙන සිංදුවක් කරලා තියෙනවා. හැබැයි සිංදුවේ කොතනකවත් අම්මා කියන එක භාවිතා කරන්නේ නැතුව ඒත් අම්මලා ගාව තියෙන සියලුම ගුණාංග කතා කරමින්.

සිංදුවේ පද රචකයා නම් දන්නේ නැහැ. ඒත් සංගීතය රනිඳුගෙන්මයි. රනිඳු දක්ෂ පියානෝ සහ වාදකයෙක් කියන එකත් මතක් කරන්න ඕනේ.

රනිඳුගේ අලුත් වැඩ ගැන මේකට ගිහින් බලන්න.

http://raniduonline.com/

මීළඟ සිංදුව ගායනා කරන්නේ විශාරද සමිතා මුදුන්කොටුව.


ශාස්ත්‍රීය සංගීතය හොඳින් හදාරලා තියෙන සමිතා මුදුන්කොටුව මුල් කාලේ සරල ගීත ගායනා කළත් මෑත කාලේ තාරුණ්‍යයේ හද බැඳ ගත් සිංදු කීපයක්ම ගායනා කරලා තියෙනවා.

මේ සිංදුවත් මම හිතන විදිහට 2004, 2005 කාලයේදී තමා නිකුත් කෙරුණේ. සිංදුව තමයි සීත රෑක මධුසමේ. මේ සිංදුව නම් කට්ටියට මතක ඇති. පහුගිය කාලේ ස්වර්ණවාහිනියෙන් කරපු Dance Star Dance වැඩසටහනේ උදාරි වර්ණකුලසූරිය එක පාරක් මේ සිංදුවට dance කළා.

මෙන්න සිංදුව..............



මේ තියෙන්නේ සිංදුවේ පද මාලාව

සීත රෑක මධුසමේ මා ඔබේ වෙලා
ප්‍රේමණීය කල්පනා මා ලයේ මවා

රෑ දඟ වැඩියි තිසරුන් සැලී
නොලැබූ සුවේ යදිනවා //

සීත රෑක මධුසමේ මා ඔබේ වෙලා....

සීතල ගෙනා පවනේ වෙලී
සේලේ පියාසලනවා //

සීත රෑක මධුසමේ මා ඔබේ වෙලා....

මා බඳ වටා එතෙනා ඔබේ
පහසේ නුරා නිවෙනවා //

කොහොමද සිංදුව මධුසමය එහෙමත් නැත්නම් එකේදී වෙන හුඟක් දේවල් ලස්සනට කතා කරලා තියෙනවා නේද ? මේ සිංදුව කලින් අහද්දී මේවා ටික තේරුණාද :)

මේ සිංදුවෙත් පද රචකයා දන්නේ නැති වුණත් දක්ෂ විදිහට මධුසමේ සිදුවීම් ගීතයට නගන්න එයා සමත්වෙලා තියෙනවා.

ඒ වගේමයි ගී තනු නිර්මාණය කරපු පුද්ගලයා. මම හිතන විදිහට නම් මේ සිංදුවේ කරලා තියෙන්නේ එක්කෝ නදීක ගුරුගේ එහෙමත් නැත්නම් කසුන් කල්හාර. ගිටාරය, බටනලාව වගේ භාණ්ඩ මැනවින් භාවිතා කරලා පද මාලාවේ කියවෙන දේට සාධාරණයක් කරන්න සංගීත නිර්මාණය කරපු කෙනත් සමත් වෙලා තියෙනවා. සමිතාගේ කට හඬ වුණත් ගීතයේ පද මාලාවට ගැළපෙන විදිහට තමයි ඉදිරිපත් වෙන්නේ.

ඉතින් අද කතාව ඉවරයි. මීට කලින් ඔයාලා සිංදුවක් අහද්දී ඔහේ ඇහුවා නම් අද ඉදන්වත් පොඩ්ඩක් විමසිල්ලෙන් අහලා බලන්න මේ මනුස්සයා මොනවද කියන්නේ කියලා.

ඒ වගේමයි අද කාලේ visual එකක් තිබුණේ නැත්නම් සිංදුව ජනප්‍රිය වෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් visuals තියෙන සිංදු පස්සේම යන්නේ නැතුව අනිත් සිංදු ගැනත් පොඩ්ඩක් සෝදිසි කරලා බලන්න. ලස්සන සිංදු ගොඩක් හම්බවෙයි :)

Sunday, February 5, 2012

ඩොමිනික් චන්ද්‍රසාලිගේ දුතියාගමනයේ ප‍්‍රථමාගමනය


මමයි ඩොමායි campus එක පහළ ඉදන් ඩොමාගේ අලූත් කතා පොතේ proof කියවලා ඒකේ තිබුණු අක්ෂර දෝෂ ටික හදලා campus එකට එමින් ගමන්.

මම ඩොමාට කිව්වා "මචං අර චීන්නු කිව්වා වගේ දැන් උඹට ඉතුරු වෙලා තියෙන්නේ පුතෙක් හදන්න විතරයිනේ. උඹ දැන් පොතකුත් ලියලා තියෙනවා, ගසුත් හිටවලා ඇතිනේ" කියලා.

එතකොට ඩොමා කිව්වා "නැහැ බන් පුතා හදන වැඩේ විතරක් ඉතුරුවෙලා දැන් හුඟක් කල්. මොකද බන් මම ඉස්කෝලේ යන කාලේ තමයි මුල්ම පොත ලිව්වේ" කියලා.

මගේ විශ්වවිද්‍යාල සගයෙක් වෙන ඩොමිනික් චන්ද්‍රසාලි එහෙමත් නැත්නම් ඩොමා ගැන අද කතා කරන්නේ ඩොමාගේ පළවෙනි කවි පොත ලබන සතියේ දොරට වඩින නිසා. ඉතින් ඒකමයි අද post එකේ මාතෘකාව "ඩොමිනික් චන්ද්‍රසාලිගේ දුතියාගමනයේ ප‍්‍රථමාගමනය" වුණේ.

ඩොමා ගැන මම මුලින්ම දැනගත්තේ ස්වීටාගෙන්. මොකක් හරි කතාවකදී ස්වීටා කිව්වා "ඩොමා කියලා සිරා කොල්ලෙක් ඉන්නවා බන්. චිත‍්‍ර වැඩ වගේ ඒවට සුපිරි වැඩ්ඩෙක්. ඒත් මූ lectures යන්නේ නැහැ බන් එක එක වැඩ ඌට. අපරාදේ බන්" කියලා.

ඊට පස්සේ මට ඩොමාව මුලින්ම හම්බුණේ exam එකට admission එක ගන්න පෝලිමේ යද්දී. ඩොමා අපිට කලින් admission එක අරගෙන ඒක කියවන ගමන් හිනාවෙවී කියනවා "බලපල්ලකෝ බන් මේකේ කොරියන් paper එකකුයි හින්දි paper එකකුයි තියෙනවානේ බන්. දැන් කොහොමද මේවට ලියන්නේ" කියලා. කාරණය පැහැදිලියිනේ ඩොමා එච්චර lectures යන්නේ නැහැනේ :)

ඉතින් කොහොම හරි ඩොමා ස්වීටගේ යාලූවෙක් නිසා මාවත් අඳුරගත්තා. ඒ වගේම අපේ තවත් යාලූවෙක්ගේ තාත්තා කෙනෙක්ට Operation එකකට ලේ උවමනා වෙලා ඩොමා මට ඒක කියලා අපි ලේ හෙව්වා. ඒක මම "ලේ වෙනුවෙන්......" කියලා ඒ කාලේ blog එකටත් ලිව්වා.

හිත හොඳ මනුස්සයෙක් වුණු ඩොමා පාරේදී හම්බුණත් හිනාවෙලා විතරක් නොයා විස්තර කතා කරනවා වගේම පත්තරවල පළවුණු තමන්ගේ කවි එහෙම තිබ්බොත් අපිටත් කියවන්න දෙනවා. ඒ වගේමයි Pothpath.com web site එකේ කවි පිටුව කරන්න ඩොමා set වුණාට පස්සේ ඒකේ ඩොමාගේ කවියක් එහෙම තිබුණත් ඩොමා අපිටත් sms එවනවා ඒවා කියවලා බලන්න කියලා.

ඒ වගේමයි pothpath.com web site එක කරන උපුල් අයියව මට මුණගැස්සුවෙත් ඩොමා තමයි. එදා හෙණට වහින දවසක්. මම Gym Canteen එකේ ඉද්දී ඩොමා කතා කළා කොළඹට ගිහින් එමුද කියලා. පස්සේ ඉතින් අපි දෙන්නා මහ වැස්සේ කොළඹ ගිහින් උපුල් අයියගේ office එකට ගිහින් එයාව හම්බුණා. මාධ්‍ය ක්ෂේත‍්‍රයේ වැඩක් කරන එයාව හඳුනාගත්තු එක හරියට වටින දෙයක්.

පස්සේ ඉතින් අර කලින් කිව්වා වගේම ඩොමාගේ කවි පොතේ වැඩේට අපි set වුණා. අන්තිමටම මේ ගිය සතියේ දවසක උදේ මට ඩොමාව හම්බුණා.


"මම උඹව හම්බෙන්න හිටියේ" කියලා කියපු ඩොමා bag එකට අත දාලා "පබාවතීට කවක්" කියන කවි පොත අරන් මට දුන්නා.

දීලා කිව්වා "මේ මගේ කවි පොත බන්. මුල්ම එක දුන්නේ රත්න ශ්‍රීට. ඊළඟ එක මම දෙන්නේ උඹට. මේක ගැන facebook එකේ පොඩ්ඩක් දාපන්" කියලා.

මට තිබුණු වැඩත් එක්ක ඒ වැඩේ පොඩ්ඩක් අතපසු වුණත් මේ සතියේ ඩොමාගේ කවි පොත ගැන මම facebook එකේ හොඳ campaign එකක් කළා.........

මේ තියෙන්නේ ඒ කවි පොතේ කවියක්.

ඩොමාගේ කවි ගැන අමුතුවෙන් මට කියන්න දෙයක් නැහැ. ඩොමා කාලයක් පත්තරවලට ලියලා පන්නරය ලබපු කවියෙක්. ඒක එයා නිල වශයෙන් පොතකින් එළිදැකීමක් විතරයි මේ සිද්ධ කරන්නේ. මොකද නූතන කාව්‍යකරණයේ යෙදෙන හුඟාක් ඔයා ඩොමාට අඳුනන නිසා, ඩොමාගේ කවි දන්න නිසා අමුතුවෙන් ඩොමාට හඳුන්වාදීමක් අවශ්‍ය නැහැ.

ඉතින් ඔයාලටත් ඩොමා වෙනුවෙන් මම ආරාධනා කරනවා මේ මාසේ 9 වෙනිදා බ‍්‍රහස්පතින්දා හවස 2 ට කැලණිය විශ්වවිද්‍යාලයේ ශ්‍රී ධර්මාලෝක ශාලාවට [DH එකට] එන්න කියලා ඩොමාගේ පබාවතීට කවක් දොරට වඩින උත්සවයට.

කවියට හිතැති අතදෙන ඔයාලගේ පැමිණීම ඩොමාට හයියක් වෙයි. මේ link එකෙන් ගිහින් ඔයාලගේ පැමිණීම තහවුරු කරන්න.

ඩොමාගේ හිත හොඳකම ගැන මේ කවිය ලිව්වේ තවත් තරුණ කවියෙක් වෙන මහින්ද ප‍්‍රසාද්.

ඩොමා කාව්‍යකරණයේ දිගු ගමනකට උඹට මගේ සුභ පැතුම්..............

ඩොමාට සුභ පතන්න ඔයාලත් කැමති නම් මෙන්න ඉඩ

ප.ලි. මට ඉන්න මේ වගේ දක්ෂ යාලූවෝ ගැන මම මීට කලිනුත් ලියපු ලිපි කියවන්න කැමති නම් මෙතනින් යන්න. මේ වගේ යාලූවෝ ඉන්න එක ගැන මම සතුටුයි වගේම ආඩම්බරයි :)

Saturday, January 28, 2012

ආශ්චර්යයේ මාවතෙන් විසාකාවියන් වෙතට

සටහන සංශෝධනය කර නැවත පළ කර ඇතිබව කරුණාවෙන් සළකන්න


හීනයක්ද කියලා බලන්න අත පොඩ්ඩක් කොනිත්තලා බලන්න උවමනා කළේ නැහැ. මේ ඇත්තම ඇත්ත. Toyota Primeo car එකක මමයි අපේ දුලානි මිසුයි පිටිපස්සේ එකේ. මිස්ගේ මහත්තයා අපේ හේමන්ත සර් ඉස්සරහ seat එකේ. අපේ ආරක්ෂාකාරී, ධාවකයා ගිහාන් driving seat එකේ.

අපි යන්නේ ලංකාවේ තියෙන දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ. පිස්සු හැදෙයි සඳ බැබළෙයි කිව්වලූ :))

කතාවට මුල ඉදන්ම එමු. කොළඹ විසාකා විද්‍යාලයේ තියෙන ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ ගරු අගමැතිතුමිය ඇතුළු මන්ත්‍රීවරියන්ට නායකත්ව පුහුණු වැඩමුළුවක් බණ්ඩාරගම මොරොන්තුඩුවේ Owinka Lake Resort එකේ තිබුණා.


අන්න hotels කිව්වලූ. පුලූවන් දවසක ගිහින් බලන්න. සුපිරි. කන්නද බොන්නද නාන්නද එකී මෙකී නොකී ඕන එකකට නියමම spot එක. මෙන්න hotel එකේ web site එක.

ආයි කතාවට ආවොත් අපේ දුලානි මිස්ටත් මේ වැඩමුළුවේ ආරම්භක දවසේ උදේ වරුවේ නායකත්වය ගැන කතා කරන්න ප‍්‍රායෝගික සැසියක් භාරවෙලා තිබුණේ. ඒකට ඕන කරන activities හදන්න අපි දවස් කීපයක් මහන්සි වුණා.

පස්සේ මිස් නිකමට වගේද මන්දා මගෙන් ඇහුවා "හසිතටත් එදාට අපිත් එක්ක යන්න එන්න පුලූවන්ද ? මේ කරන්න එහෙම එතකොට ලේසියිනේ" කියලා.

මට එදාට දහසකුත් එකක් වැඩ තිබුණු දවසක්. මගේ හිතවතෙක් වුණු ශෂිත හෙට්ටිආරච්චිගේ කුළුදුල් පොත එළිදක්වනවා කියලා ඒකට මට invite කළා. ඊටත් හපන් අපේ මාසේ පිං පඩිය ගන්න අත්සන් කරන්න තිබුණෙත් එදා.

ඒ මොනවා වුණත් පුරාණ සෘෂිවරු කට කහනවට වගේ කියපු "නාස්ති ස්ත‍්‍රී සමො රසඃ" ඒ කියන්නේ ස්ත‍්‍රිය හා සමාන රසයක් නැත. කාල බලලද දන්නේ නැහැ :)) ඕවා ඔක්කොම නිසා මම ඉබ්බා දියට දාද්දී ඇන්නෑවේ කිව්වා වගේ අකමැත්තෙන් වුණත් කැමති වුණා මේකට යන්න.

ඊට පස්සේ ඉතින් සුපුරුදු කතාවක්. අපි ඔක්කොම වෙලාවට ලෑස්ති වුණා. මිස් ලෑස්ති වෙන්න පරක්කු වුණා. ඒක නිසා අපිට highway එකෙන් බණ්ඩාරගමට යන්න සිද්ධ වුණා ප්‍රමාදය මග හරහා ගන්න. එහෙන් මෙහෙන් shortcut වලින් දාගෙන ගිහාන් අපිව කොට්ටාවට අරන්ආවා.

Highway එක පටන් ගන්න කොට්ටාව හරියට එද්දී නිකම් වෙසක් පෝයට හදන මහා තොරණ් රාජයෙක්ගේ පිටිපස්ස වගේ බම්බු හිටවලා structure එකක් නෙමෙයි කීපයක්ම තියෙනවා. ඒ කොළඹටම උඩින් දාන්න යන highway එකේ ඉදිකිරීම්.


පස්සේ ඉතින් highway එකට ඇතුල්වෙද්දී entrance එකේ හිටිය Man "Good Morning Sir" කියලා ටිකට් එක දුන්නා. ඕන් අපි highway එකේ යන්න පටන් ගත්තා. අපේ ගිහානයාට හයියෙන් යන්න බැහැනේ :))

අන්තිමට කොහොම හරි ගැලණිගම පිටවීමට එන්න විනාඩි 5 කටත් අඩු කාලයක් තමා අපිට ගතවුණේ. හොඳ දේට හොඳයි කියන්න එපැයි. මේ වැඩේ නම් චින්තනෙන් කරපු හොඳ වැඩක්.


ගැටළු නැතිවා නෙමෙයි. කුඹුරු මැද්දෙන් තමා highway එක ගිහින් තියෙන්නේ. එක පැත්තක ලියදි ටික කරලා අනිත් පැත්තේ ලියදි ටික කරන්න ගොවිරාළ ගාණක් වියදම් කරන් එහා පැත්තට යන්න ඕනේ වගේ පොඩි පොඩි scene තියෙනවා. ඒත් ඉතින් මේක ආරම්භයනේ කියලා හිත හදාගමුකෝ.

වැරදි වෙනවනේ කොටින්ම හම්බන්තොට වරාය හැදුවටත් පස්සේලූනේ ලොකු ගලක් තිබිලා කැඩුවා කියන්නේ.



මම සිංගප්පූරුවෙයි, මැලේසියාවෙදියි highway වල ගියාට මේ ලංකාවේ highway එකේ ගිය මුල් පාරනේ. ඉතින් ලංකාවෙත් මේ වගේ ඉදිකිරීම් වෙන එක ගැන ලාංකිකයෙක් විදිහට ආඩම්බරයි.

කතාව අවසානයි. අපි සුන්දර විසාකාවියන් එක්ක සුන්දර හෝරා කීපයක් ගත කරපු හැටි බලන්න කැමති අය ඉන්නවා නම් මෙන්න ඒකට පාර. කෝකටත් මම මේකටත් photos දෙක තුනක් දානවා. ඔයාලා අඳුරන අය එහෙම ඉන්නවාද කියලා බලන්න :))


ඔයාලත් highway එකේ ගිහින් බලන්නකෝ. අපේ දේවල් වටින්නේ අපිටනේ.

ප.ලි.: ගොන්කමට සීමාවක් තිබිය යුතුය. ඇනෝනිමස් අදහස් කීපයකින් සහ තවත් සහෘදයන් කීප දෙනෙක්ගේ අදහස්වලින් ඒ සීමාව වටහා ගත්තෙමි. මාහට එය වටහා දීමට උත්සුක වූ සැමට ස්තුතියි. දැන් කළ හැකි අන්දමට එය නිවැරදි කළෙමි. එයද විනිශ්චය කිරීම ඔබට භාරය

කිසිම අදහසක් වාරණය කිරීමට මා උත්සහ නොදරා ඇත්තේද මෙවන් වූ පාඨක අදහස් බලාපොරොත්තුවෙනි. හුරේ නොදමා හරි දේට හරි යැයිද වැරදි දේට වැරදි යයිද කියන මෙවන් පාඨකයන් බ්ලොග්කරුවන් නිවැරදි මාර්ගයේ ගෙනයාමට දායකවීම ගැන නැවතත් ස්තුතිය :)

සටහන සංශෝධනය කර පළ කර ඇති බව කරුණාවෙන් සළකන්න

Saturday, January 21, 2012

සංගීතයෙන් ලොව දිනූ කල්ලන්


මේ ළඟදී දවසක මුහුණු පොතේ කරක් ගහද්දී රුක්මාල් නිරෝෂ් කියන කාලෙකට ඉස්සර ටෙලි නාට්‍යවලින් අපි දැකපු රංගන ශිල්පියා අධ්‍යක්ෂණය කරපු ”සුළඟ මත මොහොතක්” ටෙලි නාට්‍යයේ trailer එක දැකගන්න පුලූවන් වුණා. මේ තියෙන්නේ ඒ trailer එක.


Trailer එකේ background song එක විදිහට ගියපු song එක මොකක්ද කියලා හොයාගෙන යන කොටයි මෙහෙම post එකක් ලියන්න තරම් දේවල් එකතු වුණේ.


අඳුරු මහද්වීපය එහෙමත් නැත්නම් අපි‍්‍රකා මහද්වීපය තමන්ගේ නිජබිම කරගත්තු නීග්‍රෝ මිනිස්සු එයාලගේ පාඩුවේ කල් ගෙවද්දී සුදු මිනිස්සු ඇවිත් මෙයාලාව වහල්ලූ විදිහට තමන්ගේ රටවල්වලට අරගෙන ගියා. කලූ වහලූන්ව ඒ කාලේ හඳුන්වලා තියෙන්නේ "කළු ඇත්දළ" කියලා. වගේමයි අපි‍්‍රකානු භූමියත් මේ නූගත් නීග්‍රෝවරුන්ව මෝඩයෝ කරලා කොල්ල කන්න සුදු ජාතිකයෝ සමත් වුණා.

සුදු ජාතිකයෝ නිසාම ලෝකේ හුඟක් රටවල්වලට නීග්‍රෝවරු පැතිරිලා ගියා. කොටින්ම පෘතුගීසීකාරයෝ නිසා ලංකාවටත් මේ නීග්‍රෝවරු ආවා නොවැ. තවමත් එයාලගෙන් පැවැත එන අය පුත්තලමේ, කල්පිටිය පැත්තේ ඉන්නවා.


ලෝකය පුරාම තමන්ගේ වහල් මෙහෙයට මේ කලූ ජාතිකයින්ව සුදු ජාතිකයෝ අරගෙන ගිහින් දරුණු වද හිංසා එහෙමත් පමුණවලා තියෙනවා. කාලෙත් එක්කම ක‍්‍රමයෙන් මේවා වෙනස් වුණා. ඇමරිකාවේ හිටපු ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිතුමා මේ වහල් සේවය තහනම් කළා.
වගේම දකුණු අපි‍්‍රකාවේ නෙල්සන් මැන්ඩලා මේ වර්ණ භේදවාදයට විරුද්ධව සටන් කරලා ජය ගත්තා. මාටින් ලූතර් කිං වගේ කලූ ජාතිකයින් සුප‍්‍රකට ජන නායකයින් වුණා. අවසානයටම ගත්තොත් බැරැක් ඔබාමා කියන කලූ ජාතිකයා ඇමරිකාවේ මහ පුටුවෙත් වාඩි වුණා.

මේ මොනවා කොහොම වුණත් තවමත් කලූ ජාතිකයන්ට අවඥා කරන එක සුලූ සුලූ විදිහට හරි වෙනවලූ. මම කාලෙකට කලින් කිව්ව "පොත් ගැන කතාවක්" post එකේ රික් බ්‍රේත්වේට් කියන ගුරුතුමාටත් එහෙම තත්වවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.

ඉතින් අද කතාවට ආවොත් මොන වගේ කරදර ආවත් මේ කලූ ජාතිකයන් සතුටෙන් හිටපු කට්ටියක්. ලංකාවේ ඉන්න මේ කලූ ජාතිකයන්ගේ සංගීත ප‍්‍රසංගයක් පහුගිය කාලේ තිබුණා වගේම ජාතික රූපවාහිනියේ රිදම් චැට් වැඩසටහනිනුත් මෙයාලාගේ සිංදු වගයක් දවසක් පෙන්නුවා.

ඉතින් කලු ජාතිකයෙක් වුණත් තමන්ගේ සංගීත හැකියාවෙන් සුදු ජාතිකයන් වසඟ කරපු කලු ජාතික ගායකයෝ වගේම සංගීතඥයෝ කීප දෙනෙක් ගැනයි මේ කතා බහ


මේ post එකට මූල බීජය දුන්නු "What a Wonderful World" සිංදුවෙන්ම පටන් ගත්තොත් Louis Armstrong කියන 1901-1971 කාලේ ජීවත් වුණු ගායකයා තමයි මේ ගීතය ගායනා කරන්නේ.


දක්ෂ ට‍්‍රම්පට් වාදකයෙක් විදිහටත් මෙයාව හඳුන්වන්න පුලූවන්. ඒ වගේම නළුවෙක් විදිහටත් මෙයා කටයුතු කරලා තියෙනවා. මේ link එකෙන් ගිහින් එයාගේ තව සිංදු බලාගන්න පුළුවන්.



මීළඟට කතා කරන්නේ Ray Charles ගැන. පොඩි කාලේ ඉදන් හරියටම කිව්වොත් අවුරුදු 3 ඉදන්ම පියානෝ වාදනයට Ray දක්ෂ වෙනවා. ඒත් අවුරුදු 7 දී ඇස් පෙනීම නැතිවීමත් එක්ක ඒක තමන්ගේ සංගීත ගමනට බාධාවක් කර නොගත්තු Ray අන්ධ විද්‍යාලයකට ඇතුල්වෙලා බ්‍රේල් ක‍්‍රමයෙන් පියානෝ වාදනය තවදුරටත් ප‍්‍රගුණ කරනවා.

මෙයත් චිත‍්‍රපටි නළුවෙක් වුණා වගේම Ray ගේ කතාවෙන් චිත‍්‍රපටි පවා නිර්මාණය කරලා තියෙනවා. මේ Hit The Road Jack සිංදුව ගේ ප‍්‍රසිද්ධ සිංදුවක්.


Ray ගේ තවත් සිංදු මේ link එකෙන් ගිහින් බලන්න පුලුවන්.

මෙයා තමයි Johnny Nash. මෙයත් නළුවෙක් විදිහට වැඩ කරලා තියෙනවා. Nash ගේ ප‍්‍රසිද්ධම ගීතයක් තමයි මේ I Can See Clearly Now සිංදුව.


පස්සේ කාලේ තව තව අයත් මේ සිංදුව එක එක විදිහට ගායනය කළත් Johnny Nash තමයි මේ සිංදුවේ මුල් ගායකයා. Johnny Nash ගේ තවත් සිංදු මේ link එකෙන් ගිහින් බලන්න පුලුවන්.


Johnny Nashගේ I Can See Clearly Now සිංදුව තව ටිකක් රොක් කරලා ගත්තු කෙනෙක් තමා Jimmy Cliff කියන්නේ. මේ තියෙන්නේ ඒ සිංදුව.


මෙයත් නළුවෙක් විදිහට වැඩ කරලා තියෙන කෙනෙක්. Jimmy Cliff ගේ ප‍්‍රසිද්ධම සිංදුවක් තමා මේ Many Rivers to Cross සිංදුව.


මේ සිංදුවෙන් ලංකාවේ හුඟක් ප‍්‍රසිද්ධ සිංදුවක් නිර්මාණය කරලා තියෙනවා. ඒ තමයි චිත‍්‍රාල් සෝමපාල ගායනා කරන ”නදී ගංගා තරණයේ” කියන සිංදුව.


ඒකෙම තනුව ටිකක් වෙනස් කරලා ඉරාජ් වීරරත්නත් මේ පද මාලාවෙන්ම සිංදුවක් කළා.ඒක කියන්නේ නදීක ජයවර්ධන. එයා ගැන මම දවසක් කිව්වේ.


Jimmy Cliff ගේ තවත් සිංදු මේ link එකෙන් ගිහින් බලන්න පුලුවන්.


මේ හාදයා ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මෙයා තමයි Bob Marley. 1981 දී පිළිකාවක් නිසා මෙයා මියගියත් තාමත් ජනපි‍්‍රයත්වයේ කිසිම අඩුවක් නැහැ. රස්තාවරයෙක් විදිහට මෙයාව අනුගමනය කරන අය ඉන්නවා වගේම ලංකාවේ නම් විලාසිතාවක් වගේ Bob Marley ගේ තොප්පි, T-Shirts, Stickers ආදී එකී මෙකී නොකී ඒවා පැතිරිලා තියෙන්නේ.

Bob Marley ගේ ප‍්‍රසිද්ධ සිංදුවක් තමා මේ Buffalo Soldier සිංදුව .


අපි පොඩි කාලේ "මගේ සුදු හාවා, පැන පැන ආවා” කියලා කිව්වෙත් මේකේ තාලෙටම තමා :))

Bob Marley ගේ තවත් සිංදු මේ link එකෙන් ගිහින් බලන්න පුලුවන්.


මේ Harry Belafonte. මෙයත් ගායකයෙක් වගේම නළුවෙක්. ඒ වගේම සමාජ කි‍්‍රයාකාරිකයෙක් කියලා කියන්නත් පුලූවන්. අපේ පරණ අය අතර ප‍්‍රසිද්ධ සිංදුව Jamaica Farewell සිංදුව කියන්නේ මෙයා තමයි.


ඒ වගේම Boney M සංගීත කණ්ඩායම ගායනා කරන ප‍්‍රසිද්ධ නත්තල් ගීතයක් වෙන Mary's Boy Child සිංදුව මුලින්ම කිව්වෙත් මෙයා තමයි.


Harry Belafonte ගේ තවත් සිංදු මේ link එකෙන් ගිහින් බලන්න පුලුවන්.


Boney M ලා ගැන කතාවට ආපු නිසා දැන් එයාලා ගැන කතා කරමුකෝ ටිකක්. එක කොල්ලෙක්ගෙනුත් කෙල්ලෝ තුන් දෙනෙකුගෙනුත් සමන්විත වුණු Boney M කණ්ඩායම 1980 සහ 1990 දශකයන්වල අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වුණා.

මම කලින් කිව්වා වගේම මෙයාලා කියන ජනප්‍රිය ගීතයක් තමා මේ Mary's Boy Child සිංදුව


ඒ වගේම මෙයාලගේ තවත් ජනප්‍රිය ගීතයක් තමා මේ Daddy Cool සිංදුව.


මේ වෙන කොට සංගීත කණ්ඩායමේ පිරිමි සාමාජිකයා Bobby Farrell වුණු ජීවතුන් අතර නැතත් අනිත් තුන්දෙනා Liz Mitchell, Marcia Barrett, Maizie Williams තවමත් සංගීත කටයුතුවල යෙදෙනවා.

ඒ වගේම Boney M ලා කියන තවත් ජනප්‍රිය සිංදුවක් තමා මේ Rivers of Babylon සිංදුව.


ඒත් ඒක මුලින්ම කිව්වේ එයාලා නෙමෙයි The Melodians කියන ඒත් කලු කොල්ලෝ සෙට් එකක්. ඒ ගොල්ලෝ ගැන ඊළඟට

Boney M ලගේ තවත් සිංදු මේ link එකෙන් ගිහින් බලන්න පුලුවන්.


The Melodians කියන්නේ ජැමෙයිකාවේ කොල්ලෝ තුන් දෙනෙක් 1960 දශකයේ පටන් ගත්තු සංගීත කණ්ඩායමක්. මේ තමා එයාලා මුලින්ම කිව්ව Rivers of Babylon සිංදුව.


මේ වෙද්දී ඒ කණ්ඩායමේ ඉතුරු වෙලා ඉන්නේ දෙන්නයි. අනික් එක්කෙනා මිය ගිහින්

The Melodians ලගේ තවත් සිංදු මේ link එකෙන් ගිහින් බලන්න පුලුවන්.


මොකක් හරි ප්‍රශ්නයක් වුණාම අපි කියන දෙයක් තමා Don't Worry, Be Happy කියලා. ඒකෙන් පටන් ගන්න ප්‍රසිද්ධ සිංදුව Don't Worry, Be Happy කියන්නේ මේ Bobby McFerrin.


මෙයා දක්ෂ පියානෝ වාදකයෙක් වගේම බේස් ගිටාර් වාදකයෙක් කියලා තමයි කියන්නේ

Bobby McFerrin ගේ තවත් සිංදු මේ link එකෙන් ගිහින් බලන්න පුලුවන්.


තව දෙන්නෙක් ගැන විතරක් කියලා මේ කතාව නවත්තන්නයි හදන්නේ. එක් කෙනෙක් තමා Lionel Richie. Hello කියන සිංදුවෙන් හුඟාක් දෙනෙක් අතර ජනප්‍රිය වුණේ මෙන්න මෙයා තමයි.


මෙයත් නලුවෙක් විදිහටත් කටයුතු කරන කෙනෙක්.

Lionel Richie ගේ තවත් සිංදු මේ link එකෙන් ගිහින් බලන්න පුලුවන්.


අන්තිම එක්කෙනා ගැන අපි හැමෝම දන්නවා. එයා තමයි "පොප් රජු" විදිහට හඳුන්වපු මයිකල් ජැක්සන්. කලු ජාතිකයෙක් විදිහට 1958 දී ඉපදුණු මයිකල් ජැක්සන් ප්ලාස්ටික් සැත්කමකින් සුදු හමක් ලබාගන්නවා. තමන්ගේ ජීවිතේ හුඟාක් ජනප්‍රිය වුණා, ධනවත් වුණා වගේම හුඟාක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න මෙයාට සිද්ධ වුණා අවසානයේදී සැකයක් ඉතිරි කරමින් මයිකල් ජැක්සන් මෙලොවින් සමුගත්තේ 2009 අවුරුද්දේදී.

මේ මයිකල් ජැක්සන්ගේ මම කැමතිම සිංදුවක්



තව මට අතපසු වුණු ගායකයෝ ගොඩක් ඇති. ඒ වගේමයි මේකට Akon, 50 cent වගේ අය නම් හිතාලමයි ඇතුල් කරලා නැත්තේ.....

හමෙන් කලු වුණත් සුදු මිනිස්සුන්ගෙන් නානා විධ කෙනෙහිලිකම්වලට ලක් වුණත් අවසානයේදී සුදු මිනිස්සු විතරක් නෙමෙයි සිංහල, දෙමළ, චීන, ජපන් ආදී මුලු ලෝකේම ජනතාව තාමත් තමන්ගේ හඬට ආසාවෙන් සවන් දෙන තත්වයට පත්වෙන්න මෙයාලට පුලුවන් වුණා...

සංගීතය විශ්ව භාෂාවක්ලුනේ :)