Showing posts with label උඩරට. Show all posts
Showing posts with label උඩරට. Show all posts

Sunday, April 7, 2013

සිංහල අලුත් අවුරුද්ද මාර්තු 26 වෙනිදාද ???


ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පළ කෙරෙන කැඩපත පුවත්පතේ අප්‍රේල් කලාපය වෙනුවෙන් මේ සටහන රචනා කෙරුණු නිසා සටහන "ටිකක්" බරසාර විදිහට ලියා ඇති බව කරුණාවෙන් සළකන්න :D

අලුත් අවුරුද්ද විවිධාකාර ජාතීන් විවිධාකාරයෙන් සමරන අතර බහුතරය පිළිගත් ක්‍රමය අනුව ජනවාරි 1 වනදා නව වසරක් ඇරඹෙන අතර එදින උත්සවාකාරයෙන් සමරනු ලැබේ. එනමුත් සිංහලයන් හා හින්දූන් අප්‍රේල් 14 වනදා තම අලුත් අවුරුද්ද ලෙස සලකා එය උත්සවාකාරයෙන් සමරනු ලබන බව පෙනේ.

වර්තමානයේදී විවිධාකාර අංග එක්වෙමින් නවීකරණය වී හෝ පරිහානියට ලක්ව ඇති අලුත් අවුරුද්ද යන සංකල්පය අතීතයේදී සැමරූ ආකාරය විමසා බැලීම අතිශය කාලෝචිත වූවකි. එහිදී මෑත අතීතය ලෙස සැලකිය හැකි අවසන් රාජධානිය වන මහනුවර රාජධානි සමයේදී අලුත් අවුරුදු උත්සවය සළකා බැලීම සිදු කළ හැකිය.  

රොබට් නොක්ස් [කණිෂ්ඨ]

එහිදී දෙවන රාජසිංහ රජ සමයේදී වසර 19 ක් උඩරට රාජ්‍යයේ සිරකරුවෙක් ලෙස කල් ගත කළ ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස් [කණිෂ්ඨ] විසින් රචනා කරන ලද Historical Relations of the Island of Ceylon කෘතියේ කරුණු පිළිබඳව අවදානය යොමු කළ හැක.  ලාංකියයන් සමඟ එකට ජීවත් වෙමින් රැස් කර ගත් කරුණු පදනම් කොටගෙන දේශපාලන, ආර්ථික, සමාජීය කරුණු රැසක් හෙළිදරව් කරන කෘතියක් රොබට් නොක්ස් රචනා කර ඇති බව පෙනේ.

නොක්ස් දක්වන පරිදි මහනුවර රාජධානි සමයේදී අලුත් අවුරුදු උත්සවය පවත්වා ඇත්තේ මාර්තු 26,28 හෝ 29 යන තෙදිනෙන් එක් දිනයකදීය. වර්තමාන තත්වය සමඟ මේ කරුණු බෙහෙවින් පරස්පර වන අතර වර්තමානයේදී අප්‍රේල් 13 වනදා පරණ අවුරුද්ද ලෙසත් අප්‍රේල් 14 වනදා අලුත් අවුරුද්ද ලෙසත් සලකනු ලබන බව ඔබත් මමත් හොඳාකාරවම දනිමු. මේ පරස්පරය ඇතිවන්නට ඇත්තේ සිංහල හෝරා ක්‍රමය සහ වර්තමාන සම්මත හෝරා ක්‍රමය අතර පවතින පරස්පරතාව නිසායැයි අනුමාන කළ හැක. 

කෙසේ නමුත් ඉහත දැක්වූ පරිදි දින තුනෙන් එක් දිනක් අලුත් අවුරුදු දිනය ලෙස තෝරාගත් පසු ඒ දිනයේදී රජතුමා උදෑසනම පිබිදී නැකැත්කරුවන්ගේ උපදෙස් පරිදි ස්නානය කරන බව දැක්වේ. වර්තමානයේදී පරණ අවුරුද්දට ස්නානය කිරීම නමින් මේ චාරිත්‍රය පවතින බව සිහිපත් කළ යුතුය. 

අලුත් අවුරුද්දට නැකැත් අනුව වැඩ අත් හරින බවත් පසුව නක්ෂත්‍රකරුවන් දැක්වූ සුභ මොහොතට පිරිමි තමන්ගේ කෘෂිකාර්මික දිවි පෙවෙත සමඟ බැදුණු උපකරණ වන උදළු, කැති ආදිය අතට ගෙන වැඩ අල්ලන බවත් කාන්තාවන් ඉදළ, කුල්ල ආදී දෛනික දිවියේ භාවිතා කරන උපකරණ  අතට ගෙන වැඩ අල්ලන බව නොක්ස් දක්වයි.

සුභ නැකැත් පාදක කොටගෙන අනාදිමත් කාලයක පටන් අලුත් අවුරුදු චාරිත සිදුවූ බව මෙයින් පෙනෙන අතර සුභ නැකැතකින් නව වසර සඳහා වැඩ ඇල්ලීම හෙවත් වැඩ කටයුතු ආරම්භ කිරීමෙන් නව වසරේ කටයුතු සාර්ථකව ඉටුකරගත හැකි බව ජන විශ්වාසය වූ බව පැහැදිලිය. 

අලුත් අවුරුද්ද සමඟ බැඳුණු විශේෂිතම ක්‍රීඩාව ලෙස නොක්ස් හඳුන්වන්නේ පොර පොල් ගැසීමයි. ඒ හැරෙන්නට අං ඇදීමද සිදුවූ බව නොක්ස් දක්වතත් ඒ ක්‍රීඩාවේ යෙදීමේදී ක්‍රීඩකයන් මෙන්ම නරඹන්නන් සිදු කළ අශෝභන ක්‍රියා නිසා රජතුමා අං ඇදීම තහනම් කළ ක්‍රීඩාවක් ලෙස නම් කළ නිසා ක්‍රමයෙන් එම ක්‍රීඩාව අභාවයට යන බව දැක්වේ. 

අං ඇදීම

වරක් ගම්පොළ ප්‍රදේශයේ පිරිසක් රහසිගතව අං ඇදීමේ නියැලී ඒ බව මහ වාසළට සැලවීමත් සමඟ ඒ සඳහා දඬුවම් කිරීමට පැමිණි අදිකාරම්වරයෙක් උපායශීලීව මිනිසුන් රැස් කරවා ගෙන දඩ මුදල් අය කළ බව නොක්ස් විස්තර කරයි. 

කෙසේ වෙතත් පොර පොල් ගැසීම මෙන්ම අං ඇදීම යන ක්‍රීඩා දෙකම පත්තිනි දෙවියන් මුල් කොටගෙන සිදු කරන ක්‍රීඩා වන අතර එම ක්‍රීඩාවන්ගේ උපත දක්වන කතා පුවත්වලදීද පත්තිනි දෙවියන් පිළිබඳව සඳහන් හමුවේ. ඒ අනුව රෝග නිවාරණය කරන, සෞභාග්‍යය සලසන පත්තිනි දෙවියන් මුල් කොටගෙන අලුත් අවුරුදු ක්‍රීඩා පැවැත්වීම හරහා උදාවූ නව වසරේ නීරෝගීභාවය හා සෞභාග්‍යය පොදු ජනයා පැතූ බව පෙනේ. 

අලුත් අවුරුද්ද සඳහා පිළියෙල කළ කැවිලි වර්ග පිළිබඳව විමසා බැලීමේදී නොක්ස් කැවිලි වර්ග සුළු ප්‍රමාණයක් පිළිබඳව සඳහන් කළද ඊට වඩා වැඩි ප්‍රමාණයක් පැවති බව වර්තමානයේ පවතින කැවිලි අනුව අනුමාන කළ හැකිය.

උඩරට රාජධානිය සමඟ ලන්දේසි සබඳතා ඇරඹීම
I විමලධර්මසූරිය සහ ස්පිල්බර්ජන් හමුව

නොක්ස් දක්වන පරිදි සහල් පිටි සහ පැණි එක් කර අනා තෙල් බැද ගන්නා කැවුම් නමින් රස කැවිල්ලක් වූ අතර ලංකාවට ඕලන්දයන් පැමිණි මුල්ම අවස්ථාවේදී I වන විමලධර්මසූරිය රජු ඕලන්දයන්ට කැවුම්වලින් සංග්‍රහ කර ඇත. කැවුම් රස බැලූ ඕලන්දයන් මේවා මිනිස් අතකින් නිර්මාණය කළ එකක්යැයි සිතිය නොහැකි නිසා මේවා ගස්වලින් කඩා ගන්නා දෙයක්දැයි විමසූ බව දක්වයි. ඒ කරුණ සත්‍යයක් ලෙස ගතහොත් කැවුම් සහ රස කැවිලි සැකසීමේලා ලාංකීය කාන්තාවන් දැක්වූ හැකියාව පිළිබඳව මනා තක්සේරුවක් එයින් ලබාගත හැකිය. 

කැවුම් හැරෙන්නට බැදි හාල් පිටි පැණියෙන් අනා එයට ගම්මිරිස්, කරදමුංගු, කුරුඳු පොතු ආදිය මිශ්‍ර කොට ගුළි ලෙස තනා ගන්නා රස කැවිල්ල අග්ගලා වශයෙන් හැඳින්වූ බව නොක්ස් දක්වන අතර අග්ගලා ලෙසට අලුවා නම් කැවිල්ලක් සකසා ගන්නා බවද ඔහු කියයි. අලුවා හැඩයෙන් පැතිලි වන බව විශේෂයෙන් දක්වා තිබේ.

අලුත් අවුරුද්ද හා බැඳුණු රජ වාසළ සිරිත් විරිත් සම්බන්ධව නොක්ස් වැඩි අවදානයක් දක්වා ඇති බව පෙනෙන අතර සාමාන්‍ය ජනයා අලුත් අවුරුද්ද සැමරූ ආකාරය පිළිබඳව ඔහු දක්වන්නේ අල්ප තොරතුරකි. ලාංකේය වංසකතා රචනා වූ සමයේ පටන් ඒ තත්වය පොදුවූ බව පෙනේ. 

මහනුවර රජ මාළිගය

නොක්ස් දක්වන පරිදි අලුත් අවුරුදු උත්සවය සඳහා රජ මාළිගය විශේෂයෙන් සැරසීමකට ලක් කරන අතර එහිදී මාළිගාවේ දොරටුවක් දොරටුවක් පාසාම තොරණ් බැඳ සරසා ඇත. එහිදී එක් එක් පෙළට සතක් හෝ නමයක් වන පරිදි මධ්‍යයට පැමිණෙන විට උස් වන පරිදි රිටු සිටුවා එම රිටි සඳහා හරස් ලී පෙළක් බැඳ දොරටුවේ ආරක්කු එන පරිදි සකසා ඇත. තොරන් මුදුනේ පිහිටි හරස් ලීවල ගෙඩි පොකුරු එල්වා තිබෙන අතර මිනිස්, සත්ව රූ සහිත අලංකාර ධජ විවිධ වර්ණවලින් යුතු ධජද ඒවායේ එල්වා ඇත. මේ හැරෙන්නට උස් රිටි සිටුවා ඒවායේද විවිධ වර්ණයේ ධජ එල්වා මිණිගෙඩි එල්වා ඇත. 

මේ ආකාරයෙන් අලංකෘත වූ රාජ මාළිගාව දෙව් විමනක් හා සමාන බව මිනිසුන් පැවසූ බව නොක්ස් ප්‍රකාශ කරන අතර රාසිං දෙවියන් නමින් රජුව දෙවියෙක් ලෙස ගරු බුහුමනට පත්ව තිබූ බව මෙමඟින්ද පැහැදිලි වේ. 

II රාජසිංහ රජතුමා සහ රදළ ප්‍රධානීන්

අලුත් අවුරුද්ද වෙනුවෙන් රාජකීය හමුදාව පෙළ ගැසී සිටින බවත් රජතුමා සර්වාභරණයෙන් සැරසී රාජකීය හමුදාව පිරික්සා බලන අතර ඒ අවස්ථාවේදී රජුට ගරු කිරීමක් ලෙස ආචාර වෙඩි මුර පැවැත්වීම කාලතුවක්කු සේනාංකය මඟින් සිදුකර ඇත. 

පසුව අදිකාරම්වරුන්ගේ සිට පහළ තනතුරු හොබවන නිලධාරීන් දක්වා වන රාජකීය නිලධාරීන් රජු වෙනුවෙන් අලුත් අවුරුදු "පෙනුම් කත්" රැගෙන එන අතර ඒ යටතේ රජු ප්‍රිය කරන්නේ යැයි හැඟෙන අවි ආයුධ, ආභරණ, වස්ත්‍ර, මුතු මැණික් ආදිය රජුට පිළිගන්වා ඇත. මේ සිරිත අද දක්වාම අලුත් අවුරුද්දේදී වැඩිහිටියන්ට ත්‍යාග පිරිනැමීම ලෙස පවතින බව පෙනේ. 

රොබට් නොක්ස් විසින් දක්වන විස්තරවලින් පැරැන්නන් අලුත් අවුරුදු උළෙල සැමරූ ආකාරය පිළිබඳ 100% ක් තොරතුරු ලබාගත නොහැක්කා සේම 100% නිවැරදි තොරතුරුද ලබාගත නොහැක. ඒ කෙසේ වෙතත් ලැබෙන තොරතුරු විමසිල්ලෙන් සැලකීමේදී පැහැදිලි වන්නේ ඉතාමත් සරල අයුරින් පැරැන්නන් අලුත් අවුරුදු උත්සවය සමරා ඇති බවයි. වර්තමානයේ අලුත් අවුරුද්ද සංකීර්ණ කොටගනිමින් එයින් පීඩා විඳින ජනයාට අතීතය කදිම පාඩම් උගන්වයි.

[මෙම සටහන ලිවීමේදී රොබට් නොක්ස් රචනා කළ කෘතිය "එදා හෙළදිව" නමින් ඩේවිඩ් කරුණාරත්න මහතා විසින් සිංහලයට පරිවර්තනය කරන ලද කෘතිය පාදක කොටගෙන ඇත.]

Sunday, March 17, 2013

ජෝන් පයිබස් සොයා එංගලන්තයට ගිය ගමන - ඉතිහාසයේ අප්‍රකට කතා 18

අපි සමහර අයගේ ජීවිතේ මුල ගැන දන්නවා ඒත් මැද අග ගැන දන්නේ නැහැ, තවත් සමහරුන්ගේ මැද දන්නවා මුල අග ගැන දන්නේ නැහැ, තවත් සමහරුන්ගේ අග දන්නවා මුල මැද ගැන දන්නේ නැහැ. 

මේ විදිහට කතාව පටන් ගත්තේ මේ ළඟදී දවසක මම කියෙව්ව පොතක හිටිය පුද්ගලයෙක් ගැන කරුණු හොයන්න ගිහින් ඒ පුද්ගලයා ගැන සාමාන්‍ය විස්තරයක් වගේම ඒ පුද්ගලයාගේ අවසාන කාලය ගැන විස්තරයක් ලැබුණු නිසා. 

පුද්ගලයා කවුද කියලා කිව්වොත් ඉංග්‍රීසි ජාතික ජෝන් පයිබස්. ඒ කවුද කියලා මතක තියෙන අයට මතක් වෙන්න ඇති මේ කවුද කියලා. ජෝන් පයිබස් කියන්නේ උඩරට රාජධානියේ රජතුමා හමුවෙන්න ආපු පළමුවෙනි ඉංග්‍රීසි නියෝජිතයා. 

මෙයා 1762 දී තමා ලංකාවට එන්නේ. එයාගේ දූත මෙහෙවර ගැන සකසපු වාර්තාව 1862 දී ප්‍රකාශයට පත් වෙනවා. ඒක මේජර් ආර්. රේවන් හාර්ට් විසින් සංස්කරණයට ලක් කරලා The Pybus Embassy to Kandy, 1762 නමින් කෘතියක් නිකුත් කරනවා. රාජේන්ද්‍ර බණ්ඩාර විස්න් ජෝන් පයිබස්ගේ දූත මෙහෙවර නමින් ඒක සිංහලයට පරිවර්තනය කරනවා. ඒක තමා මම කියවපු පොත. 

ඉතින් අද ආගිය කතාවෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ 18 වන සියවස අග භාගය වෙද්දී උඩරට රාජධානියේ ඇතිවෙලා තිබුණු තත්වය, ජෝන් පයිබස්ගේ ආගමනයට වටපිටාව සැකසුණු ආකාරය, ජෝන් පයිබස්ගේ දූත මෙහෙවර සහ ජෝන් පයිබස්ගේ අවසානය ගැන.

කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා

18 වන සියවස අග භාගය කියන්නේ කන්ද උඩරට රාජධානියට දේශපාලනික අතින් නම් එතරම් හොඳ කාලයක් වුණේ නැහැ. අවුරුදු 13 ක් තරම් ලාබාල වයසේදී රජ වුණු කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ ආගමික ප්‍රතිපත්ති අතිශය සාර්ථක වුණු බව ප්‍රකට කරුණක්නේ. 

1753 දී ලන්දේසි ආධාර ඇතිව සියම් රටින් උපසම්පදා භික්ෂූන් වැඩම කරවලා නැවත වරක් උපසම්පදාව පිහිටුවන්න රජතුමා සමත් වෙනවා. ඒ වගේමයි වැලිවිට සරණංකර හිමියන්ට සංඝරාජ පදවිය පිරිනමන්නේත් මේ රජතුමාමයි. ඒත් 1760 දී රජතුමාව මරා දාන්න සංඝරාජ හිමියන් ඇතුළු රදළයන් පිරිසක් කරපු කුමන්ත්‍රණය ගැන රජු මරන්නට උපක්‍රම කළ සරණංකර සංඝරාජ හාමුදුරුවෝ සටහනෙන් කතා කළා මතක ඇතිනේ.


ඒ වගේමයි රජතුමා මේ කුමන්ත්‍රණය ව්‍යර්ථ කළත් මේකට ලන්දේසීන්ගේ සහය ලැබෙන්න ඇති කියලා හිතලා ඒ අවුරුද්දේම හාපිටිගම්, අලුත්කුරු, සියනෑ, හේවාගම් කෝරළවලත් මාතර සහ ගිරුවාපත්තුවේ ලන්දේසීන්ට විරුද්ධව කැරලි ඇතිවුණාම ඒවාට විශාල වශයෙන් සහයෝගය ලබාදෙනවා. ඒ යටතේ මහාදිකාරම් ගලගොඩ ලවා 1761 දී රජතුමා මාතර ලන්දේසි කොටුව අල්ලා ගන්නවා වගේම දුම්බර රාලහාමි ලවා හංවැල්ල කොටුව විනාශ කරවනවා. 

මුල් වටයේ රජතුමාට මේ ආකාරයෙන් ජයග්‍රහණය ලැබුණත් ලන්දේසි ආණ්ඩුකාර Jan Schreuderගේ උපායන් අනුව 1762 පෙබරවාරි වෙද්දී ලන්දේසීන් හේවාගම්, හාපිටිගම්, අලුත්කුරු, සියනෑ කෝරළවලත් මාතරත් ඇතිවෙලා තිබුණු අරගලකාරී තත්වය සමනය කරලා තමන්ගේ ආදිපත්‍ය නැවත තහවුරු කරගන්නවා. 

මේ වගේ අර්බුදකාරී තත්වයක් දේශපාලනික වශයෙන් පවතිද්දී තමන්ගේ පූර්වගාමීන් අනුගමනය කරපු පිළිවෙතටම යන්න කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාට සිදුවුණා. ඒ තමයි තවත් බලවත් ජාතියක් ලවා ලන්දේසීන් පරාජය කරවන එක. II රාජසිංහ රජතුමාත් පෘතුගීසීන් මර්දනය කරන්න ගත්තු ක්‍රියාමාර්ගේ වුණේ ඒකනේ.

ශාන්ත ජෝර්ජ් බලකොටුව

මේ යටතේ රජතුමා 1762 දී ඉන්දියාවේ මදුරාසියේ පිහිටි ඉංග්‍රීසීන්ගේ ශාන්ත ජෝර්ජ් බලකොටුවේ ආණ්ඩුකාරයා වුණු George Pigot ට පණිවුඩයක් යවලා ලන්දේසීන් මර්දනය කරන්න ඉංග්‍රීසීන්ගෙන් ආධාර ඉල්ලනවා වගේම ඉංග්‍රීසින්ගේ වෙළෙඳාම් කටයුතුවලට රාජානුග්‍රහය ලබාදෙන්න කැමති බව ප්‍රකාශ කරනවා. 

මේ ඉල්ලීමත් එක්ක රජතුමා සමඟ සාකච්ඡා කරන්න මදුරාසියේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වුණු ඉංග්‍රීසි ජාතික ජෝන් පයිබස්ව ලංකාවට පිටත් කරන්න 1762 අප්‍රේල් 6 වෙනිදා තීරණය කරනවා. ඒ අනුව අද්මිරාල් කෝනිෂ්ගේ නායකත්වයෙන් නැව් 5 ක් සහ සන්නද්ධ භටයින් 200 ක් එක්ක ජෝන් පයිබස් 1762 මැයි 5 වෙනිදා ත්‍රිකුණාමලයට ගොඩ බහිනවා.

එතැනදී පයිබස්ව පිළිගන්නා රජතුමාගේ නියෝජිතයන් එක්ක පයිබස් විටෙක පා ගමනිනුත් තවත් විටෙක දෝලාවෙනුත් බොහොම කම්කටොලු මධ්‍යයේ මැයි 18 වෙනිදා මහනුවරට ළඟා වෙනවා. කෙසේ නමුත් ජෝන් පයිබස්ට මදුරාසියේ ආණ්ඩුකාරවරයා රජතුමාට එවන ලද සංදේශයත් සමඟ රජතුමා බැහැ දකින්න ලැබෙන්නේ මැයි 24 වෙනිදා. මේ පිළිබඳව විස්තර කතා කරන එක හොඳයි උඩරට සිංහල රාජ සභාවේ කටයුතු සිදුවුණු ආකාරය ගැන දැනගන්නත් එක්කම. 

ජෝන් පයිබස් විසින් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාට පිළිගන්වන්න ගෙනාපු මදුරාසියේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ගේ සංදේශය මස්ලිං රෙදි එලපු බන්දේසියක තැන්පත් කරන සිංහල නිලධාරීන් සංදේශය මස්ලිං රෙදිවලින් කීප වතාවක් ඔතනවා. ඊට පස්සේ රිදී ටසල් අල්ලලා තිබුණු රිදී නූලෙන් වැද දමපු සමචතුරස්‍රාකාර රෙද්දකින් ඒක ආවරණය කරනවා. 


ඒ බන්දේසිය පයිබස් හිසේ තියාගෙන ගමන් කරද්දී පාවඩ එලනවා වගේම චීන සේද රෙද්දෙන් කරපු වියනකුත් ඒ බන්දේසියට ඉහළින් අල්ලනවා.  පයිබස් ඉදිරියෙන් සංගීත භාණ්ඩ වාදනය කරන පිරිසක් ඉන්නවා වගේම මේ පෙරහැර ආරම්භ වීමත් එක්ක ආචාර වෙඩි මුර 11 ක් නිකුත් කරනවා.  

මහ වැසි ඇද හැලෙද්දී රෑ 7 ට විතර මේ පෙරහැර රජ මාළිගයට පිටත් වෙනවා. මේ වැඩෙන් පයිබස් හොඳටම හෙම්බත් වෙලා දෝලාවක් ඉල්ලුවත් රජු බැහැ දකින්න යද්දී පාගමනින් යන්න ඕනේ කියලා සිංහල නිලධාරීන් කියනවා. ටික වේලාවකින් රජ වාසළ ආසන්නයේ තිබෙන ගොඩනැගිල්ලට මේ කණ්ඩායම පැමිණෙනවා. එතැනින් ඉදිරියට ගමන් කරන මහ රජතුමාගෙන් අවසර ලැබෙනකම් මද වේලාවක් එතැන රැඳෙන්න වෙනවා. 

 මහනුවර රජ මාළිගාව

අවසර ලැබුණාට පසුව ඉදිරියට ගමන් කරන මේ පිරිස රජ වාසළ දොරටුවෙන් ඇතුළු වෙලා චතුරස්‍රාකාර පරිශ්‍රයකට එනවා. එතැන රාජකීය ඇතුන් වගේම අසුන් සරසලා පෙළගස්වලා තිබුණු බව පයිබස් දක්වනවා. මේ වෙලාවේ රජතුමාගේ ප්‍රධාන අදිකාරම්වරයා වුණු ගලගොඩ පයිබස්ව හමුවට එන නිසා පාවහන් ගලවා ඉවත් කරන්න කියලා සිංහල නිලධාරීන් පයිබස්ට කියනවා. අකමැත්තෙන් වුණත් ඒ ඉල්ලීමටත් එකඟ වෙන්න පයිබස්ට සිදුවෙනවා. මහාදිකාරම්තුමා සුභ පැතුම් එක් කරලා පයිබස් එක්ක ගමනේ තොරතුරු කතා කරනවා. මේ සංවාදයෙන් පස්සේ පිරිස රාජ්‍ය ශාලාවට පිටත් වෙනවා. 

ලන්දේසීන් 1783 දී රාජධි රාජසිංහ රජු බැහැ දැකීම

රාජ්‍ය ශාලාවේ ඉදිරි දොරටුව දොර රෙද්දකින් වහලා තිබෙන්නේ. පස්සේ අනු පිළිවෙලින් දොර රෙදි එසවෙන්න පටන් ගන්නවා. මේ විදිහට තිර රෙදි 6 ක් වුණු බව තමා පයිබස් දක්වන්නේ. අවසාන තිර රෙද්ද එසවීමත් එක්ක අඩි 3 ක් පමණ උස මල් ලියකම්වලින් අලංකාර කරපු ස්වර්ණාලේපිත සිංහාසනයක ඉන්න කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා දැකගන්න පයිබස්ට පුලුවන් වෙනවා. 

ඒ වෙලාවේ සංදේශය සහිත බන්දේසිය හිසේ තියාගෙන ඉන්න පයිබස්ව බලයෙන්ම සිංහල නිලධාරීන් විසින් දණ ගස්වනවා වගේම සියලු දෙනාම සම්පූර්ණයෙන්ම බිම දිගාවෙල හය පාරක් රජතුමාට නමස්කාර කරලා ආශිර්වාද වාක්‍යයක් ප්‍රකාශ කරනවා. රජතුමාත් ඒකට පිළිතුරු විදිහට කෙටි වාක්‍යයක් ප්‍රකාශ කරනවා කියලා පයිබස් දක්වනවා. 

1656 ලන්දේසි ජෙනරාල් ජෙරාඩ් හල්ෆ්ට් දෙවන රාජසිංහ රජුව බැහැ දැකීම

මේ සුභාශිංසනවලින් පස්සේ තමා රජතුමා හමුවට යන ජෝන් පයිබස් රජතුමාගේ ඉදිරියේ එලලා තිබුණු පර්සියානු පලසේ දණ ගහලා හිස මත තබාගෙන හිටිය බන්දේසියේ තිබුණු සංදේශය රජතුමාගේම අතට පිළිගන්වන්නේ. ඊට පස්සේ පිටි පස්සෙන් පිටි පස්සට යන පයිබස්ව නැවත වරක් දණ ගස්වන්න සිංහල නිලධාරීන් කටයුතු කරද්දී මහ රජතුමා නියම කරනවා කැමති ආකාරයකට අසුන් ගන්න කියලා. 

ශාලාවේ හොඳ හැටි ආලෝකයක් නොතිබුණු නිසා රජතුමාගේ ඇඳුම් පැළඳුම් හරියාකාරව දැකගන්න බැරිවුණත් ඒ ගැන පයිබස් විස්තර කරන්නේ මේ විදිහට

".... රජු රනින් වැඩ දැමූ විවෘත කබායක් හැඳ සිටි අතර ඊට යටින් බැනියමක් වැන්නක් විය. ඉණ වටා රනින් එම්බ්‍රොයිඩර් කළ බඳ පටියකි. රජුගේ හිස මත රත් පැහැයට හුරු රෙද්දකින් සෑදූ රනින් වැඩ දැමූ හිස් වැස්මකි. ඒ මත මැණික් ඇල්ලූ කුඩා මුදුන් සැරසිල්ලක් විය. ඇඟිලිවල මුදු කිහිපයක්ම විය. මැණික් ඔබ්බවා රනින් වැඩ දැමූ මිටක් සහිත කිණිස්සක් රජුගේ වම් අතෙහි විය. රජුගේ දකුණු පසින් සිංහාසනය මත මැණික් ඔබ්බවා රනින් වැඩ දැමූ අලංකාර මිටක් සහිත පැතලි විශාල අසිපතකි. චීන පාවහන්වල හැඩය ගත් රන් නූලෙන් වැඩ දැමූ තද රතු පැහැති පාවහන් යුවලක් රජු පැළැඳ සිටියේය. එම පාවහන්වල අඩිය වටේට රන් පටියක් සවිකර තිබුණු බවක්ද පෙනිණ...."

පස්සේ රජතුමා සහ ජෝන් පයිබස් අතට සංවාදය සිද්ධ වෙන්නේත් හරි අපූරු විදිහකට. රජතුමා ප්‍රශ්නයක් අහද්දී සිංහාසනය අසළ දණ ගසාගෙන ඉන්න නිලධාරියෙක් ඒ ප්‍රශ්නයා අහගෙන ඉදලා රජතුමාට නමස්කාර කරලා ඒ ප්‍රශ්නය පයිබස් එක්ක වාඩිවෙලා ඉන්න සෙන්පතියෙක්ට කියනවා. ඒ සෙන්පතියාත් රජතුමාට නමස්කාර කරලා ඒ ප්‍රශ්නය පයිබස් ගාව ඉන්න මලබාර් වෛද්‍යවරයාට කියනවා. ඊට පස්සේ මලබාර් වෛද්‍යවරයා ඒක මලබාර් භාෂාවෙන් භාෂා පරිවර්තකයාට කියනවා. එයා අන්තිමටම ඒක ඉංග්‍රීසියෙන් පයිබස්ට කියනවා. රජතුමා පසෙකින් ඉන්න ලේකම්වරයෙක් සියලුම ප්‍රශ්න සහ උත්තර සටහන් කරගන්නවා. 

මේ විදිහට රජතුමා මදුරාසි නිලධාරීන්ගේ සුවදුක් අහනවා වගේම තමන්ට සහය පළ කරන්න ඉංග්‍රීසින් සූදානම් වීම ගැන ස්තුතිය පළ කරනවා. මේ සාකච්ඡාව අවසානයේදී පයිබස්ට පිටව යන්නට රජතුමා අවසර දෙනවා. 

ඒ වෙලාවේදී ආයි පාරක් කලින් විදිහටම බිම දිගාවෙලා නමස්කාර කරද්දී ඇඟ පත රිදෙන නිසා පයිබස්ට ඉඳගෙන ඉන්න අවසර ලැබෙනවා. රාජ්‍ය ශාලාවෙන් බැහැර වුණු ගමන්ම පයිබස් සිංහල නිලධාරීන්ට දොස් පවරනවා රාජ සභාවේදී පිළිපදින්න ඕනේ සිරිත් විරිත් ගැන තමන්ට මුලින්ම නොකියපු නිසා. 

කොහොම නමුත් ඊට පස්සේ අදිකාරම්වරුන් එක්ක පයිබස් සිද්ධ කරපු සාකච්ඡාවලදී අදිකාරම්වරුන්ට මූලිකව දැනගන්න අවශ්‍ය වෙන්නේ ඉංග්‍රීසීන් ලන්දේසීන් එක්ක යුද්ධ කරන්න එකඟ වෙනවාද කියන කාරණේ. ඒත් ඒ වගේ දේකට එකඟ වෙන්න හරි ගිවිසුමකට එළඹෙන්න හරි තමන්ට බලයක් නැති වග පයිබස් කියනවා. මේ වගේ පයිබස්ගේ වැනෙන සුළු උත්තර නිසා සිංහල ප්‍රධානීන් අසතුටට පත් වෙනවා. 

අවසානයේදී ජූනි 22 ජෝන් පයිබස්ට ආපසු යාමට රජතුමා අවසර ලබා දෙනවා. මේ වෙලාවේ ත්‍යාග වශයෙන් රජතුමා විසින් මුද්දක්, කඩුවක්, මැණික් ඇල්ලූ මාලයක්, බෙංගාලි මස්ලින් රෙදි දෙකක් සහ තවත් සුළු ත්‍යාග කීපයක් ජෝන් පයිබස්ට ප්‍රදානය කරනවා ජූනි 24 ගමන් අරඹන පයිබස් ජූලි 4 වෙනිදා නැවත වරක් නැවට පැමිණෙනවා. රජතුමා වෙනුවෙන් පැමිණි අදිකාරම්වරයා විසින් නැවේ අද්මිරාල්වරයාටත් රජතුමා විසින් ප්‍රදානය කළ මුද්දක්, රත්තරන් මාලයක් සහ තවත් ත්‍යාග කීපයක් ලබා දෙනවා.

මදුරාසි ආණ්ඩුකාරවරයාට රජතුමා විසින් එවපු ලිපියකුත් අදිකාරම විසින් මේ අවස්ථාවේදී පයිබස්ට භාර දෙනවා. එදාම දවල් ජෝන් පයිබස් ඇතුළු පිරිස ආපසු මදුරාසිය බලා යාත්‍රා කරනවා. 

ශාන්ත ජෝර්ජ් බලකොටුවේ ආණ්ඩුකාර නිල නිවස

ආපසු පැමිණි ජෝන් පයිබස් මදුරාසි ආණ්ඩුකාර George Pigot ප්‍රමුඛ මදුරාසි පාලක මණ්ඩලයට සිංහලේ රාජධානිය පිළිබඳව වගේම තමන්ගේ දූත මෙහෙවර ගැන සකස් කරපු සම්පූර්ණ වාර්තාව ඔක්තෝබර් මාසයේදී භාර දෙනවා. 

ජෝන් පයිබස්ගේ පුද්ගලික තොරතුරු ගැන කතා කළොත් 1727 දී එංගලන්තයේ ඩෝවර් ප්‍රදේශයේ උපන් ඔහුගේ පියා වුණේ කපිතාන් බ්‍රයන් පයිබස්. 1753 ඔක්තෝබර් 20 මාර්තා ස්මෝල් සමඟ විවාහ වුණු පයිබස් දරුවන් 7 දෙනෙක්ගේ පියෙක් වුණා. ඉන්දියාවේ මසුලිපටම් ප්‍රදේශය භාර බ්‍රිතාන්‍ය නිලධාරියා විදිහට කටයුතු කරපු පයිබස් මදුරාසි පාලක මණ්ඩලයේත් සාමාජිකයෙක් වුණා. 

 Lumley Chaple

1768 දී ඉන්දියාවේ ඉදන් නැවත වරක් මව්බිම වෙත ආපු ජෝන් පයිබස් 1789 ජූනි 22 මියයනවා. ඔහුගේ දේහය තැන්පත් කරන්නේ සරේ ප්‍රදේශයේ පිහිටා තිබෙන ශාන්ත ඩන්ස්ටන් දේවස්ථානයේ [Lumley Chaple].මේ දේවස්ථානයේ ප්‍රභූන් රාශියකගේ සොහොන් කොත් දැකගන්න පුලුවන්.




ඔහුගේ සොහොන් ගැබේ දැකගන්න ලැබෙන වංශ සළකුණෙන් වගේම එහි තිබෙන විස්තරයෙන් පයිබස්ගේ සේවය විශාල ඇගයීමකට ලක්ව තිබුණු බව පැහැදිලියි.

ලිපිය ලියන්න කරුණු ගත්තේ රාජේන්ද්‍ර බණ්ඩාර සිංහලයට පරිවර්තනය කරපු ජෝන් පයිබස්ගේ දූත මෙහෙවර, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ලංකා ඉතිහාසය 3 වන කොටස සහ අබේසිංහ, දේවරාජා, සෝමරත්න තුන් කට්ටුවේ උඩරට රාජධානිය කියන පොත්. ඡායාරූප සියල්ලම අන්තර්ජාලයෙන් තමා 

Sunday, August 5, 2012

කැප්පෙටිපොළ මහ දිසාව වීරයෙක්ද ද්‍රෝහියෙක්ද ? - ඉතිහාසයේ අප්‍රකට කතා 14



1815 ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඉංග්‍රීසින්ගේ ග්‍රහණයට ලක්වීමත් උඩරට රදළයන්ගේ සහය ඇතුළු කන්ද උඩරටත් ඉංග්‍රීසීන් අල්ලාගන්න සමත් වුණු නිසාත් ඒ වර්ෂයේ ඉදන් මුලු ලංකාවම ඉංග්‍රීසි ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් ගේ නායකත්වයෙන් පාලනය වීම ආරම්භ වෙනවා. 

 ඉංග්‍රීසි ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග්

කන්ද උඩරට රජ කාලේ තිබුණු පාලන ක්‍රමයම ස්ථාපනය කරලා ප්‍රධාන අදිකාරම්වරු දෙදෙනා යටතේ දිසාවේවරු වගේම අනිත් නිලධාරීන් පත් කරලා තිබුණත් උඩරට නේවාසික නියෝජිතයා වුණු ජෝන් ඩොයිලි අතේ තමා අවසන් බලය රැදිලා තිබුණේ..

ජෝන් ඩොයිලි

මේ විදිහට ටික දවසක් යනකොට රදළ නායකයන් වගේම ප්‍රධාන භික්ෂූන් වහන්සේලා අතරත් නොසන්සුන්තාවයක් ඇතිවුණා කියලා කියන්න පුලුවන්. මේකට බලපාපු කරුණු කීපයක්ම දැකගන්න පුලුවන්. 

මූලික කරුණ විදිහට මම හිතන්නේ උඩරට නායකයන්ව ඉංග්‍රීසින් විසින් බරපතළ රැවටීමකට ලක් කිරීම. මොකද ඉංග්‍රීසීන්ගේ උඩරට ආක්‍රමණයට රදළයන් සහය දෙන්නේ කෲර රජතුමා බලයෙන් පහ කරලා යහපත් සිංහල පාලනයක් ඇතිකරන්න ඉංග්‍රීසීන් සහය දෙයි කියන බලාපොරොත්තුවෙන්. ඒත් මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමෙයි කියනවා වගේ ඉංග්‍රීසින් උඩරට සිංහලයන්ට එහෙම භාර දෙන්න කල්පනා කළේ නැහැ. 

ඒ වගේම තවත් හේතුවක් තමා උඩරට රදළ බලය ඉංග්‍රීසි පාලනය ඇරඹීමත් එක්කම ක්‍රමයෙන් පිරිහෙන්න පටන් ගත්තු එක. 

තව හේතුවක් විදිහට දක්වන්නේ උඩරට ගිවිසුමේ පස්වෙනි වගන්තිය වුණු "මෙකී රටවල්වල [සිංහලේ] මුලාදෑනි සහ වැසියන් විසිනුත් අදහන්නාවූ බුද්ධ ශාසනයද දේවාගමද කඩකල නොහැකිව පවත්වන්ඩ ඕනෑවා සහ එකී කටයුතු සංඝයාද විහාර ස්ථානද දේවාලද පවත්වන්ඩ සහ ආරක්ෂා කරන්ඩත් ඕනෑයැ." ඉංග්‍රීසීන් නිසියාකාරව ඉටු නොකිරීම

මහා බ්‍රිතාන්‍යයේ III ජෝර්ජ් රජතුමා

අනෙක් කාරණය විදිහට මට හිතෙන්නේ උඩරට මිනිස්සු අනාදිමත් කාලයක ඉදන් තමන්ගේ ඇහැට දකින්න ලැබුණු රජතුමෙක්ටයි ගරු කළේ තමන්ගේ පාලකයා විදිහට. ඒ රජතුමා තමන්ගේම මනුස්සයෙක් වුණු නිසා තමන්ගේ දුක් ගැනවිල්ලක් වුණත් රජතුමාට කියන්න පුලුවන් කියන විශ්වාසේ මිනිස්සුන්ට තිබුණා. ඒත් අලුත් රජතුමා වුණු මහා බ්‍රිතාන්‍යයේ III ජෝර්ජ් ඇහැට දක්න්න බැරි තමන්ගේ භාෂාව කතා නොකරපු මනුස්සයෙක් වීමත් ප්‍රශ්නයක් වෙන්න ඇති.

කැරැල්ලට ආසන්නතම හේතුව වෙන්නේ 1817 දී හජ්ජි මුහන්දිරම් නමින් වෙල්ලස්ස ප්‍රදේශයට මුස්ලිම් අයෙක් මුහන්දිරම්වරයෙක් පත්කිරීම. මේ හජ්ජි මුහන්දිරම්ව මරා දැමීමෙන් සහ ඊට පස්සේ බදුල්ලේ ඒජන්ත විල්සන්ව මරා දැමිමෙන් තමා  උඩරට මහ කැරැල්ල පටන් ගන්නේ. 

මේ කැරැල්ල සම්බන්ධව කතා කරන්නවත් කැරැල්ලට මුල්වුණු හේතු කතා කරනවත් නෙමේ මේ සටහන ලියන්නේ. ඒක නිසා ඒ කරුණු බොහොම සාරාංශ ගත කරලා තමා කතා කෙරෙන්නේ කියන එකත් මතක් කරන්න ඕනේ. මේ සටහනෙන් මූලිකව කතා කරන්නේ කැප්පෙටිපොළ දිසාවේ සහ කැරැල්ලේ මූලිකයා විදිහට කතා කෙරෙන ව්‍යාජ රජතුමා ගැන.

ව්‍යාජ රජතුමා ගැන මුලින් කතා කළොත් කැරැලිකරුවන්ගේ උද්‍යෝගයට හේතුවෙන විදිහට වගේම මහජන පක්ෂපාතීත්වය දිනාගන්න සූර්ය වංශික රාජ ලේ තිබෙන කුමාරයෙක් විදිහට පෙනී සිටින්නේ දොරේසාමි නමින් හඳුන්වපු පුද්ගලයා. ඔහු රාජාධිරාජසිංහ රජතුමාගේ මස්සිනා විදිහටත් ඒ වගේම කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ නෑයෙක් වුණු කලුනායක්කර්ගේ පුතෙක් විදිහටත් තමා කැරලි නායකයන් විශ්වාස කළේ. ඒ අනුව අභිෂේක මංගල්‍යයක් පවත්වලා වීර වික්‍රම ශ්‍රී කීර්ති මහ වාසල නමින් රාජ්‍යත්වයට  පත් කරන්නත් කැප්පෙටිපොළ ඇතුළු පිරිස කටයුතු කරනවා. 

රුහුණු කතරගම මහා දේවාලයේ කොඩිය

විශේෂම කරුණක් විදිහට දක්වන්න පුලුවන් වෙන්නේ වීර වික්‍රම ශ්‍රී කීර්ති මහ වාසල ඇතුලු කැරලි නායකයන් කැරැල්ල සිදු කරන්නේ තමන්ට ඒ සඳහා කතරගම දෙවියන්ගෙන් වරමක් ලැබුණු බව දක්වමින්. ව්‍යාජ රජු හිටිය සෑම ස්ථානයකටම රැගෙන ගිය කතරගම දේවාලයෙන් වැඩම කෙරවුණු දේවාභරණ කීපයක් වියන් යට තබමින් පුද සත්කාර කල බව කියවෙනවා.

සංග්‍රාමික දෙවි කෙනෙක් විදිහට කතරගම දෙවියනට ලැබී තිබුණු පිළිගැනීමත් එක්ක මේ කතරගම දේව වරම පිළිබඳ කතාව පැතිරුණා කියන එක හිතන්න පුලුවන්.

මේ ව්‍යාජ රජතුමා රජ වාසළ නිලධාරීන් පත් කරනවා වගේම දිසාවේවරුත් පත් කරන්න කටයුතු කරනවා. ඒත් අවසානයේදී ගැටළු සහගත තත්වයක් ඇතිවෙනවා. ඒ ව්‍යාජ රජතුමාගේ දෙවෙනි අදිකාරම් විදිහට පත් කරලා තිබුණු මඩුගල්ලේ  මහ නිලමේ විසින් මොහු රාජ උරුමයක් නොමැති විල්බාවේ නම් සිවුරු හළ අයෙක් බව සොයා ගැනීමත් එක්ක.

මඩුගල්ලේ නිලමේ ව්‍යාජ රජතුමාව වගේම කැප්පෙටිපොළ මහ නිලමේත් දුම්බරදී අත් අඩංගුවට ගන්න කටයුතු කරනවා. එතනින් හංවැල්ලට අරන් ගිය හංවැල්ලේ අටුවේ සිරකර ඉන්න කොහොම නමුත් ව්‍යාජ රජතුමා එතනින් නුවර කලාවියට පලා ගිහින් විවාහ වෙලා දරු පවුලකුත් එක්ක ඉද්දී තමා 1830 අල්ලා ගන්න ඉංග්‍රීසීන් සමත් වෙන්නේ. 

ඒ මොහු අල්ලා දෙන අයෙක්ට ත්‍යාගයක් දෙන බව කියලා තිබුණු නිසා හාරිස්පත්තුවේ භගවා ගල්ලෙනේ විසූ පුස්සේගොඩ උන්නාන්සේ වැද්දෙක්ගෙන් විල්බාවේ ගැන තොරතුරු දැනගෙන ඒවා ඉංග්‍රීසින්ට ලබාදීමෙන්. 1830 මාර්තු 23 විල්බාවේ කලාගන් තුලානේ දලුදොඹ වැව ගමේදී අල්ලා ගන්න ඉංග්‍රීසීන්ට පුලුවන් වෙනවා. 

පස්සේ 1830 ජූලි ඉදන් 1832 දක්වා කෙරුණු විවිධාකාරයේ සාකච්ඡා ගණනාවකින් පස්සේ ඉංග්‍රීසි පාලකයන් තීරණය කරනවා විල්බාවේට නිදහස ලබාදෙන්න.

ඒකට හේතුවෙන්න විල්බාවේ දුන්නු සාක්ෂිය වගේම විත්තිකරුට පක්ෂව තිබුණු අනෙකුත් සාක්ෂි සලකලා බැලීමෙන්. විල්බාවේගේ සාක්ෂිය කෙටියෙන් දක්වන්නම්.

විල්බාවේ කියන්නේ මෙහෙම කතාවක්. 

තමන් භික්ෂුවක් විදිහට අල්ගම උන්නාන්සේ සහ තමන්ගේ ශිෂ්‍ය භික්ෂූන් පස් නමක් එක්ක කතරගම වන්දනා කරලා දඹුල්ලට යන්න මහියංගණය හරහා එද්දී වැදි පිරිසක් එක්ක ආපු කිවුලේගෙදර මොහොට්ටාල තමන්ව අල්ලා ගෙන සිවුරු හරවලා ගිහි ඇඳුම් අන්දවනවා. පස්සේ විල්බාවේව රජතුමා නමින් හඳුන්වපු  පුද්ගලයෙක් ගාවට ගෙනියනවා. 

ඒ පුද්ගලයා විල්බාවේව රජ පවුලට අයත් කෙනෙක් විදිහට දක්වන්න ගියත් විල්බාවේ අකමැති වීම නිසා ඔහු විල්බාවේව මුණින් අතට දිගා කරවලා තලලා දඬුකඳේ ගහලා තියෙනවා. අවසානයේදී ඒ රජු විදිහට ඉන්න කෙනා වැද්දෙක් විදිහට වෙස් වලා ගැනීමත් එක්කම විල්බාවේව මාළිගයට ඇතුල් කරලා අවසානයේදි කැප්පෙටිපොළගේ මූලිකත්වයෙන් විල්බාවේට කිරුළු පැලැඳවීමත් සිදුවෙනවා. 

ඒත් අවසානයේදී තමන්ගෙන් පළමු අදිකාරම්කම ඉල්ලපු මඩුගල්ලේට විල්බාවේ තමන් ගැන ඇත්ත කරුණු හෙළි කිරීමත් එක්ක මඩුගල්ලේ විල්බාවේව අත් අඩංගුවට ගන්නවා.

ඉතින් මේ කතාවත් එක්ක ඉංග්‍රීසීන් තීරණය කරන්නේ අනුන්ගේ පෙළඹවීම මත විල්බාවේව රජු විදිහට පත් කරගත්තු බවත් ව්‍යාජ රජතුමා නිකුත් කළ නියෝග සැබවින්ම නිකුත් කරන්න ඇත්තේ කැප්පෙටිපොළ ඇතුළු නායකයන් කියලා. මේ අනුව බලද්දී විල්බාවේ නිදහස් කිරීමේ කිසියම් සාධාරණ පැත්තකුත් පේන්න තියෙනවා.

කැප්පෙටිපොළ මහ දිසාවේ

මේ කැප්පෙටිපොළ මහ දිසාවේ ගැන කතා කළොත් කැප්පෙටිපොළ පරම්පරාව ගැනත් කියන්න ඕනේ.

18 වන සියවසේ මුල් භාගයේ බත්වඩන නිළමේ, දියවඩන නිළමේ, මාතලේ, තමන්කඩුව හා සත් කෝරළේ දිසාවේ තනතුරු දරපු රාජපක්ෂ වික්‍රමසේකර [පසුව වාසගම වික්‍රමසිංහ බණ්ඩාරනායක] මුදියන්සේ රාළහාමි තමන්ගේ නිජ භූමිය වුණු සතර කෝරළේ කැප්පෙටිපොළ ඉදන් මාතලේ උඩුගොඩ උඩසිය පත්තුවේ මොනරවිලට ඇවිත් මොනරවිල තමන්ගේ වාස භූමිය කරගන්නවා. එහෙම තමා මොනරවිල කියලා කොටසකුත් කැප්පෙටිපොළ පරපුරට එකතු වෙන්නේ. 

වික්‍රමසේකර මුදියන්සේ රාළහාමිගේ පුත්‍රයා වුණු ගොලහැල බණ්ඩාරනායක කැප්පෙටිපොළ රාජාධිරාජසිංහ රජතුමාගේ දියවඩන නිළමේ විදිහට කටයුතු කරනවා. මේ නිළමේ විවාහ වෙන්නේ මොනරවිල කුමාරිහාමිත් එක්ක. ඔවුන්ගේ දරුවෝ වුණේ වැඩිමහල් පුතා මොනරවිල කැප්පෙටිපොළ සහ දියණිය පසුකාලෙක ඇහැලේපොළ මහාදිකාරම් හා විවාහ වුණු ඇහැලේපොළ කුමාරිහාමි. 

කැප්පෙටිපොළ මහ දිසාවගේ අත්සන

1815 ඉංග්‍රීසීන්ට උඩරට යටත් වීමත් එක්ක ඒ සඳහා පිළියෙල කෙරුණු උඩරට ගිවිසුමේ සිංහලෙන් අත්සන් කරන රදළයන් කීප දෙනාගෙන් එක් කෙනෙක් වෙන්නේ මොනරවිල කැප්පෙටිපොළ නිළමේතුමා. ඌවේ දිසාවේ විදිහට තමා එතුමා කටයුතු කරන්නේ. මේ අතරවාරයේදී තමා 1818 මහ කැරැල්ල පටන් ගන්නේ.

1817 අර කලින් කියපු විදිහට වෙල්ලස්ස ප්‍රදේශවල ඇතිවුණු අර්බුදකාරී තත්වයත් එක්කම ඒ තත්වය මැඬ පවත්වන්න ඉංග්‍රීසීන් කටයුතු කරද්දී කැරලි මැඩලන්න එකතු වුණු ඌවේ මහ දිසාවේ කැප්පෙටිපොළ අලුපොත ප්‍රදේශයේදී කැරලිකරුවන් සමඟ එකතු වෙන්නේ. 5000 ක විතර පිරිසක් එක්ක ගමන් කරපු කැප්පෙටිපොළට කොහුකුඹුරේ රටේරාළ හෝ බූටෑවේ රටේරාළ හමුවෙනවා. 

එහිදී රටේරාළ මහ දිසාවේගෙන් ආයාචනය කරනවා අඳුරේ තියෙන රට ආලෝකමත් කරන්න පහළ වෙලා ඉන්න රජතුමාට එකතු වෙන්න කියලා. මේ ඉල්ලීමත් එක්ක තමන්ගේ පිරිසත් එක්ක කැරලිකරුවන්ට කැප්පෙටිපොළ නිළමේතුමා එකතු වුණා වගේම තමන් එක්ක හිටිය ඉංග්‍රීසි සොල්දාදුවන් ඔවුන්ගේ ආයුධත් එක්ක නිරුපද්‍රිතව පිටත් කරන්නත් එතුමා කටයුතු කරනවා.

වීර වික්‍රම කීර්ති ශ්‍රී මහවාසළ රජතුමාගේ පල්ලේගම්පහ අදිකාරම් හෙවත් පළමු අදිකාරම් ධූරය කැප්පෙටිපොළ මහා දිසාවේට පිරිනැමෙනවා

කැප්පෙටිපොළගේ මේ වෙන්වීමෙන් ඉංග්‍රීසින්ට ලොකු භයක් ඇතිවෙනවා උඩරට රදළයන් හුඟ දෙනෙක් කැප්පෙටිපොළගේ නෑදෑයන් වීමත් එක්ක ඔවුනුත් කැරලිකරුවන්ගේ පක්ෂෙට එකතු වෙයිද කියන එකෙන්. ඇහැලේපොළ මහ නිලමේ කැප්පෙටිපොළගේ මස්සිනා වීමත් මෙහිදී විශේෂයි. මේ නිසාමයි ඇහැලේපොළ මහ නිලමේව කොළඹට පිටත් කරන්න ඉංග්‍රීසීන් කටයුතු කරන්නේ.

කැරලි මර්දනයට වෙලිංටං ආදිපාදවරයාගේ 19 වෙනි රෙජිමේන්තු භටයින් සැරසුණු ආකාරය

1818 ජනවාරි 1 ආණ්ඩුකාරයා කැප්පෙටිපොළ නිළමේ ඇතුළු තවත් රදළ නායකයන් 17 දෙනෙක් කැරලිකරුවන් එක්ක එකතු වුණු නිසා තනතුරුවලින් නෙරපලා දේපළ රාජසන්තක කරනවා.

ඉංග්‍රීසීන් මාර්තු 19 නිකුත් කරපු ආඥාවක් අනුව රාජද්‍රෝහී වුනු කැප්පෙටිපොළ නිළමේ අල්ලා දෙන අයෙකුට තාරකා පගෝදි 2000 කුත් අනෙක් ප්‍රධාන කැරලි නායකයන් වුණු මඩුගල්ලේ නිලමේ සහ පිළිමතලාවේ නිලමේවරු අල්ලා දෙන අයෙකුට තාරකා පගෝදි 1000 බැගිනුත් ලබාදෙන්න තීරණය කරලා තියෙනවා

මේ අතරවාරයේ වාරිපොළ සුමංගල හිමියන්ගේ අනුග්‍රහයෙන් දළදාව තමන් යටතට ගන්න කැප්පෙටිපොළ නිළමේතුමා සමත් වීමත් එක්ක හඟුරන්කෙතදී දළදාව ප්‍රදර්ශනය කරපු කැප්පෙටිපොළ නිළමේතුමා තමන්ගේ රජුගේ උරුමය තහවුරු වී තිබෙන බවත් ජයග්‍රහණය අත ළඟ බවත් දක්වනවා. 

දළදා ප්‍රදර්ශනයේ තිබෙන වැදගත්කම තමා මේ වගේ අවස්ථාවක මහජන පක්ෂපාතීත්වය දිනාගන්න පුලුවන් වෙන එක. දඹදෙණියේ රාජ්‍යය කරපු II පරාක්‍රමබාහු රජතුමාත් කාලිංග මාඝ එක්ක යුද්ධයට යන්න කලින් දළදා ප්‍රදර්ශනයක් සිදුකිරීමෙන් අපේක්ෂා කලේ මෙදා කැප්පෙටිපොළ නිළමේතුමා අපේක්ෂා කරපු දේම තමා.

සටන් දිගටම යන නිසා උපායශීලී වුණු ඉංග්‍රීසීන් රහස් සාකච්ඡා මඟිනුත් හුඟක් රදළයන් තමන්ට පක්ෂපාතී කරගත්තා වගේ අගෝස්තු 1 ඉදන් සැප්තැම්බර් 20 වෙනකම් පොදු සමා කාලයකුත් ප්‍රකාශයට පත් කරනවා. 

ඒත් 1818 අග භාගය වෙද්දී රජතුමා ව්‍යාජ අයෙක් බව හෙළිවීමත් නියම දොරේසාමි කුමාරයා මදුරාසියේ සිටින බව ඉංග්‍රීසීන් ප්‍රචාරය කිරීමත් එක්ක කැරලි හමුදාව බිඳ වැටෙන්න පටන් ගන්නවා. පෙබරවාරි 21 පනවන ලද යුධ නීතියත් එක්කම ඉංග්‍රීසීන්ගේ දැඩි ප්‍රතිපත්ති [හරක බාන, වතු පිටි හැමදේම ගිනි තබලා විනාශ කලාලුනේ] වගේම සූක්ෂම වැඩ නිසාත් කලින් කියපු කැරැල්ලේ හිටපු රදළයන් භේද වීමත් එක්ක කැරැල්ල බිඳ වැටෙනවා.

මේ කැරැල්ලේ අසාර්ථකත්වයට බලපාපු තවත් හේතුවක් වෙන්නේ ඒ වෙද්දී පල්ලේ ගම්පහ අදිකාරම් වුණු මොල්ලිගොඩ ඉංග්‍රීසින්ගේ පක්ෂයට දක්වන්න පුලුවන් සෑම උත්සහයක්ම දක්වපු එක.

ඒකත් එක්කම ක්‍රමයෙන් කැරැලි නායකයන් ඉංග්‍රීසීන්ට හසුවෙනවා

ඒ යටතේ ඔක්තෝබර් 28 ලුතිනන් ඔනීල් ඇතුළු කණ්ඩායම නුවර කලාවියේ පරවහගම වලව්වකදී කැප්පෙටිපොළ නිළමේ සහ පිළිමතලාවේ නිළමේ අල්ලගන්න සමත් වෙනවා. ලුතිනන් ඔනීල් වලව්වට ඇතුළු වුණු ගමන් ඔහුගේ අතින් අල්ල ගත්තු කැප්පෙටිපොළ නිළමේතුමා "මම තමා කැප්පෙටිපොළ" කියලා දෙපාරක් කියනවා. 

ඒ වෙද්දී පිළිමතලාවේ අසනීප වෙලා ඇඳේ ඉන්නේ. මේ අවස්ථාවේ මඩුගල්ලේ ඇතුළු පිරිසක් පලායන්න සමත් වෙනවා. 

 කැප්පෙටිපොළ සහ පිලිමතලාවේ නිළමේවරු අල්ලාගත් පලාගල පරවහගම ඉදිකර ඇති ස්මාරකය

ඒත් මීළඟට නොවැම්බර් මාසයේදී හිඟන්නෙක් විදිහට බින්තැන්නේ හිටිය කිවුලේගෙදර මොහොට්ටාලත් ඊටත් පසුව මඩුගල්ලේ නිලමේවත් අල්ලගන්න ඉංග්‍රීසීන් සමත් වෙනවා. දළදාවත් නැවත වරක් ඉංග්‍රීසීන්ගේ භාරයට පත්වීමත් එක්ක කැරැල්ල අවසන් වෙනවා

අවසානයේදී නොවැම්බර් 13 මහනුවර අණදෙන නිලධාරී කර්නල් කෙලීගේ සභාපතීත්වයෙන් පැවැත්වුණු යුද්ධාධිකරණයෙන් කැප්පෙටිපොළ සහ මඩුගල්ලේ නිළමේවරුන්ට මරණ දඬුවම නියම කෙරෙනවා. පිළිමතලාවේටත් මරණ දඬුවම නියම කෙරුණත් පසුව මුරුසි දිවයිනට පිටුවහල් කරන්න නියම වෙනවා.

ඒ හැරෙන්න තවත් කැරැල්ලට සම්බන්ධ වුණු රදළ නායකයින් 40 කට විතර මරණ දඬුවම නියම කරනවා වගේම භික්ෂූන් වහන්සේලා 10 නමක් යාපන බන්ධනාගාරයට පිටත් කරනවා

මේ කැප්පෙටිපොළ මහ දිසාවේගේ මරණය සම්බන්ධව ඇසින් දුටු අයෙක් වෙන ඒ කාලයේ පළමු ලංකා රෙජිමේන්තුවේ ශල්‍ය වෛද්‍යවරයා විදිහට කටයුතු කරපු වෛද්‍ය හෙන්රි මාර්ෂල් තමන්ගේ කෘතිය වෙන Ceylon, A General Description of The Island and Its Inhabitants with a Historical Sketch of The Conquest of The Colony by The English දක්වපු සටහනෙන් උපුටා දැක්වීම් කීපයක්.

වෛද්‍ය ජෝන් මාර්ෂල් තම කෘතියේ දක්වන කැප්පෙටිපොළ මහා දිසාවේ

ඔහු දක්වන විදිහට අන් නිළමේවරුන්ටත් වඩා යුරෝපීයන් එක්ක අවංකව, ශෝභනව, ප්‍රියශීලීව කටයුතු කරපු අයෙක් තමා කැප්පෙටිපොළ නිළමේ. කැප්පෙටිපොළ නිළමේ මුලදීම අත් එන්නත් කර ගත්තු වැදගත් ප්‍රධානියා වුනා වගේම තමන්ගේ දරුවන්ගේත් අත් එන්නත් කරවා ගන්නවා

යුද්ධාධිකරණයෙන් මරණ දඬුවම් නියම වෙලා සිරභාරයේ ඉද්දී මේ වෛද්‍යවරයා කීප වරකම නිලමේතුමාව හමුවෙනවා. බොහොම ශාන්තව හිටිය එතුමා වරක් ඉණ වටේ ඔතාගෙන සිටි ගොරෝසු අපිරිසිදු රෙද්ද පෙන්වලා සිනාසෙමින් කියනවා "මා ඇඳීමට පුරුදුව සිටියේ මෙසේ නොවන බව ඔබ දන්නවානේ" කියලා

කැරැල්ල ගැන එතුමා කතා නොකළත් කරුණු දෙකක් සම්බන්ධව තමන් වැරදිකාරයෙක් කියලා කැප්පෙටිපොළ නිළමේ කියනවා. ඒ ව්‍යාජ රජතුමාගෙන් පළමු අදිකාරම් තනතුර පිළිගැනීම සහ සැප්තැම්බර් 20 වෙනකම් තිබුණු පොදු සමා කාලයේදී යටත් නොවීම කියන ඒවා. තමන්ගේ මරණ දඬුවම ඌවේ ඒජන්ත සෝවර්ස් මහතා හරහා ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් මඟින් පිටුවහල් කරවා ගැනීමකට වෙනස් කරගන්නත් කැප්පෙටිපොළ උත්සහ කළත් ඒක අසාර්ථක වෙනවා. 

තමා අවාසනාවන්තයෙක් වුනේ අනුගමනය කළ ප්‍රතිපත්ති හා ඒවා අසාර්ථක වීමෙන් කියලත් එතුමා කියනවා.

මරණ දඬුවම නියමව තිබුණු නොවැම්බර් 26 අලුයම් කාලයේ කැප්පෙටිපොළගේ සහ මඩුගල්ලගේ ඉල්ලීමට දළදාව වන්දනා කරන්න පිටත් වෙනවා. ඒ අවස්ථාවට කැප්පෙටිපොළ නිළමේගේ හිතවතෙක් වුණු ඌව ඒජන්ත සෝවර්ස් එකතු වෙනවා. 

දළදාව වැඩ සිටින මාළිගාවේ එළිපත්තේ ඉදන් වන්දනා කරන කැප්පෙටිපොළ නිළමේ තමන් කරපු පින්කම් ගැන විස්තර කරලා ප්‍රාර්ථනාවක් කරනවා.

ඉතො චතොහං වර ජම්බුදීපේ
හිමාලයේ හෙමමයයහිකූටේ
කප්පායුකො දෙව වසත්වහුත්වා
මෙතත්‍යෙය නාථස්ස සුණොමි ධම්මං

ඒකේ තේරුම තමා මෙයින් මියයන මම උතුම් ජම්බුද්වීපයෙහි හිමාලයෙහි ස්වර්ණ පර්වතයක කල්පායුෂ්ක දිව්‍ය රාජයෙක්ව ඉපිද අවසානයේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කර නිවන් දකිම්වා කියන එක
පසුව අනුශාසනයක් කරන භික්ෂූන් වහන්සේ දක්වනවා "ඔබ කළ පින්කම් මහත් ඵල මහානිශංස නිසා අහසට දාපු ගල් කැටයක් පොළොවට එනවා වගේ ඔබේ ප්‍රාර්ථනාව ඉටු වෙනවා" කියලා. 

 මහනුවර කෞතුකාගාරයේ තබා ඇති කැප්පෙටිපොළ මහ දිසාවේගේ නිල ඇඳුම

අවසානයේදී තමන්ගේ පිනෙන් කොටසක් සෝවර්ස්ටත් අනුමෝදන් කරවන කැප්පෙටිපොළ නිළමේ තමන් ඉණේ ඔහාගෙන හිටිය තුප්පොට්ටිය ගලවලා "අපිරිසිදු වැරහැල්ලක් වුණත් මා සන්තක එකම දෙය පිදූ නිසා පිනෙන් අඩුවක් නැහැ" කියලා ඒ වස්ත්‍රය දළදාවට පූජා කරනවා.

පස්සේ වධක භූමියට යන්න සෝවර්ස්ටත් නිළමේ කතා කළත් ඔහු එන්නේ නැහැ. මඩුගල්ලේ නිළමේත් මේ විදිහට වන්දනාමාන කළත් භික්ෂූන් වහන්සේගේ අනුශාසනාවෙන් පස්සේ දළදාව වැඩ සිටින මාළිගාවට පැනලා දළදා වහන්සේගේ නාමයෙන් සමාව ඉල්ලනවා. 

අවසානයේදී ලුතිනන් මැකන්සි ඇතුලු පිරිස මඩුගල්ලේව වැඩ සිටින මාළිගාවෙන් පිටතට ගන්නවා. යුධ භූමියේ නිර්භීත වුණු තම සගයාගේ මේ හැසිරීම ගැන කැප්පෙටිපොළ නිළමේ කියන්නේ "මඩුගල්ලේ මෝඩයෙකු ලෙස ක්‍රියා කළා" කියලා. සෝවර්ස් ඒජන්තවරයාට අතට අත දීලා සමුගත්තු කැප්පෙටිපොළ නිලමේ ඇතුළු පිරිස වධකභූමියට පිටත් වෙනවා

දළදා මාළිගාවට හැතැම්මක් පමණ දුරින් බෝගම්බර වැව ගාව තිබුණු වධක පිටියට ගිය නිළමේවරුන් දෙදෙනා වතුර ඉල්ලනවා. අවසානයේදී සුලු මොහොතක් ආගම සිහි කරපු කැප්පෙටිපොළ නිළමේ මුහුණ සහ අත් දෝවනය කරලා හිස කෙස් හිස මුදුනේ කොණ්ඩයක් වෙන්න බැඳගෙන කුඩා පඳුරක් ළඟ වාඩිවෙලා ඒක කකුලේ ඇඟිලිවලින් අලාගෙන ඉණේ තිබුණු පුස්කොළ පොත් ධම්මපදයෙන් ගාථා කීපයක් කියවලා ඒ පොත තමාගේ මිත්‍රයා වුණු ඌවේ ඒජන්ත සෝවර්ස්ට තමන්ට දක්වපු මිත්‍රත්වය හා කරුණාව වෙනුවෙන් දෙන්න කියනවා.

නිළමේවරුන්ගේ හිස් සිඳින්නට භාවිතා කරන්නට ඇත්තේ මෙවන් අසිපතක්

නිළමේ පාලි ගාථා සජ්ඣායනය කරද්දී වධකයා බෙල්ල පිටුපසට පහරක් ගසනවා. ඒ අවස්ථාවේදී කැප්පෙටිපොළ නිළමේතුමා "අරහං" කියන බුදුන්ට භාවිතා වන නම කියනවා. 

දෙවෙනි පහරෙන් හිස නැති කඳ බිමට වැටෙනවා. පස්සේ බිම දිගා කරපු ශරිරයේ හදවත උඩින් හිස තබනවා.  

මඩුගල්ලේ නිළමේ දිගටම බියසුළුකමක් දක්වන නිසා කොණ්ඩය බඳින්නෙත් හිරගේ කංකානම්. අවසානයේදී එක පහරින් තමන්ව මරන්න කියලා අරහං කියන පදය ඔහුත් කියනවා. තමන්ගේ හිස පහත් කරගන්න මඩුගල්ලේට බැරිවුණු නිසා වධකයෙක් බෙල්ල අල්ලගෙන ඉද්දී දීපු පළමු කඩු පහරින් මඩුගල්ලේ පස්සට වැටෙනවා. දෙවෙනි පහරින් තමා ඔහුත් මියයන්නේ.

කැප්පෙටිපොළ නිළමේතුමාගේ හිස් කබල

මරණය හමුවේත් කැප්පෙටිපොළ නිළමේතුමා දක්වපු එඩිතර බව නිසා කැප්පෙටිපොළ හිස් කබල වෛද්‍ය ජෝන් මාර්ෂල් විසින් ස්කොට්ලන්තයේ එඩින්බරෝ නුවර තිබුණු කපාල ලක්ෂණ විද්‍යා සංගම් කෞතුකාගාරයට පරිත්‍යාග කරනවා. එහිදී වෛද්‍ය හිල් කරපු පර්යේෂණවලින් ඒ හිස් කබලේ විශේෂ ලක්ෂණ තිබුණු බවයි කියන්නේ.

කැප්පෙටිපොළ නිළමේතුමාගේ කතාව ස්කොට්ලන්ත වීරයෙක් වුණු ශ්‍රීමත් විලියම් වොලස්ගේ කතාව සමාන බව ඉංග්‍රීසීන් කියනවා.


1272 - 1305 අතර කාලයේ ජීවත් වුණු ශ්‍රීමත් විලියම් වොලස් එවකට එංගලන්ත රජතුමා වුණු I එඩ්වඩ් ස්කොට්ලන්තය තුළ කරපු ආක්‍රමණවලට එරෙහිව නැගී සිටිනවා. කැරලි නායකයා විදිහට එංගලන්ත හමුදාවත් එක්ක සටන් කරන වොලස්ගේ බිරිඳව අල්ලා ගත්තු එංගලන්ත සොල්දාදුවන් ඇ‍යව ම්ලේච්ඡ විදිහට මරා දමනවා. අවසානයේදී වොල්ස් සමඟම හිටිය පිරිසක් වොලස්ව පාවා දෙනවා. 

ලන්ඩනයේ වෙස්මිනිස්ටර්වල තිබුණු ඔහුට එරෙහ් අධිකරණයේදී රාජ ද්‍රෝහීවීම, මාළිගා කොල්ලකෑම, ලේ වැගිරවීම වගේ චෝදනාවලට පිළිතුරු විදිහට වොලස් කියන්නේ "මම කිසි කලකත් ද්‍රෝහියෙක් නොවීමි" [සිංහලෙන් නෙමේ හරිද :)) ] කියලා. අවසානයේදී ඔහුට මරණ දඬුවම නියම වෙනවා.

1305 අගෝස්තු 23 වෙනිදා අශ්වයින්ගේ වලිගවල බැඳලා වධක භූමියට ඇදගෙන යන වොලස්ව එල්ලුම් ගහක එල්ලනවා. ඒත් ඔහු මියයන්න කලින් ඔහුගේ බඩවැල් එළියට අරගෙන ඇස් ඉදිරිපිටම පුලුස්සා දමනවා. ඒ වගේමයි මිය ගියාට පසුව සිරුර කැබලි හතරකට වෙන් කරනවා. ඔහුත් මරණයට මුහුණ දීපු ආකාරය අනුවයි කැප්පෙටිපොළ නිළමේට සමාන කරන්නේ.


 කැප්පෙටිපොළ වළව්ව

කැප්පෙටිපොළ මහ දිසාවේගේ පවුලේ අයට මොකද වුනේ කියලාත් කිව්වොත් මාතලේදී ටුලෝන් නම් ඉංග්‍රීසි හමුදා නිලධාරියා කැප්පෙටිපොළ නිළමේතුමාගේ බිරිඳ වුණු දෙල්වල එතනහාමි සහ පුතුන් දෙදෙනාව සිරභාරයට ගන්නවා. ඔවුන්ව 1818 අග භාගයේදී  මීගමුවට පිටත් කරන්න ඉංග්‍රීසීන් කටයුතු කරනවා.

1819  මැයි 22 කරපු නිවේදනයකින් කැප්පෙටිපොළ නිළමේතුමාගේ දේපළ සියල්ලම රාජසන්තක කරනවා. ඒත් 1829 දී රාජ සන්තක වුණු ඉඩම්වලින් ඉතුරු වෙලා තිබුණු කොටස නැවත වරක් කැප්පෙටිපොළ නිළමේතුමාගේ පුතුන්ට ඉංග්‍රීසි රජය පවරනවා.

කැප්පෙටිපොළ හිස් කබල නැවත ලංකාවට භාරදුන් අවස්ථාව. වම් පස ඉදිරියෙන් සිටින්නේ කැප්පෙටිපොළ සිව්වෙනි පරම්පරාවේ උපාලි මොනරවිල කැප්පෙටිපොළ
[උපුටා ගත්තේ : Asian Cemetry Reseacrh Group]

නැවතත් කැප්පෙටිපොළ නිළමේගේ කතාවට ආවොත් එංගලන්තයට අරගෙන ගිය හිස් කබල නැවත ලංකාවට 1948 දී ග්ලෝස්ටර් ආදිපාදතුමා රැගෙන එනවා. ජාතික කෞතුකාගාරයේ ටික කලක් තැන්පත් කරලා තිබෙන කැප්පෙටිපොළ හිස් කබල අවසානයේදී 1954 නොවැම්බර් 26 වෙනිදා ඥාතීන්ගේ වගේම මහජනතාවගෙත් විරෝධය මැද මහනුවර දළදා මාළිගාව ඉදිරිපිට ස්මාරකයක් කරවලා ඒ තුළ තැන්පත් කරනවා.

 මහනුවර දළදා මළුවේ ඇති වීර කැප්පෙටිපොළ ස්මාරකය

ඒත් තවමත් එතුමාගේ ඥාතීන්ගේ ඉල්ලීම වෙන්නේ එතුමාගේ හිස් කබල මතු පරපුරට දැකගන්න පුලුවන් වෙන්න ජාතික කෞතුකාගාරයේ තැන්පත් කරන්න කියන එක.

කැප්පෙටිපොළ මහ දිසාවේ ගැන කතා කළොත් සමහර විට 1818 කැරැල්ල අතර වාරයේදී ශ්‍රී කීර්ති මහ වාසල ව්‍යාජ රජෙක් බව කැප්පෙටිපොළ දැනගන්න ඇති. ඒත් ඉංග්‍රීසී ආදිපත්‍යයෙන් රට මුදවා ගන්න එක ඒ අවස්ථාවේ කළ යුත්තක් නිසා නිහඬව සිටියා වෙන්නත් පුලුවන්. සූර්ය වංශික රාජ කුමාරයෙක් ඒ හදිස්සියේ සොයා ගන්න බැරි නිසා ඒ අවස්ථාවට උචිත විදිහට එතුමා කටයුතු කළා වෙන්නත් පුලුවන්.

ඒක නිසා නිදහස් අරගලයේ පළමු නායකයා විදිහට කැප්පෙටිපොළ මහ දිසාවේ දක්වන්න පුලුවන්. කැප්පෙටිපොළ මහ දිසාවේගේ වීරත්වයට උඩරට ජනතාව ප්‍රතිචාර දැක්වූවේ උඩ දුම්බර බිමිබියේ මොණරවිල අලුත් දෙවියෝ කියලා එතුමාව දේවත්වයට පත් කරලා.

පසුකාලීනව අමිතා වැදිසිංහ මහත්මිය ගායනා කරන සෙංකඩගල පුර දළදා බුදු රැස් ගීතයේදීත් කැප්පෙටිපොළ දෙවියන් පිළිබඳව සඳහනක් කරනවා


කැප්පෙටිපොළ මහ දිසාවේ සම්බන්ධ තවත් පින්තූර ටිකක් බලන්න කැමති නම් මෙතනින් යන්න

මේ ලිපිය ලියන්න කරුණු කාරණා රැසක්ම ලබාගත්තේ ආචාර්ය තෙන්නකෝන් විමලානන්දයන් ලියපු උඩරට මහ කැරැල්ල පොතෙන්. ඒ වගේමයි අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය - 4 වෙනි කොටසත්, පෝල් ඊ. පීරිස් මැතිතුමා ලියපු ත්‍රී සිංහලය කෘතියත්, වෛද්‍ය හෙන්රි මාර්ෂල්ගේ Ceylon, A General Description of The Island and Its Inhabitants with a Historical Sketch of The Conquest of The Colony by The English කෘතිය ඇල්ලේපොළ එච්.ඇම්. සෝමරත්න මැතිතුමා සිංහලේ නමින් පළ කලා ඒ කෘතියත්, කරුණාරත්න දිසානායක රචිත එදා උඩරට කෘතියත්.

ඒ හැරෙන්න අන්තර්ජාලයෙන් සොයාගත්තු දිවයින සහ ලංකාදීප පුවත්පත්වලිනුත් හා තවත් මූලාශ්‍රවලින් තමා කරුණු සම්පූර්ණ කරගත්තේ.

Sunday, July 29, 2012

රජු මරන්නට උපක්‍රම කළ සරණංකර සංඝරාජ හාමුදුරුවෝ ??? - ඉතිහාසයේ අප්‍රකට කතා 13

කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා

කන්ද උඩරට රාජධානි සමයේ මැද භාගයට එද්දී ක්‍රමයෙන් භික්ෂු ශාසනය පිරිහිලා තිබුණේ. කොපමණ පිරිහුණු තත්වයකට භික්ෂු සමාජය පත්වෙලා තිබුණාද කියනවා නම් උපසම්පදා භික්ෂූන් වහන්සේලා සොයාගැනීමට පවා අපහසු වුණා. 

උපසම්පදා භික්ෂු වහන්සේලා නැහැ කියන්නේ මාසිකව සිදුවෙන පොහොය කිරීම වගේ දේවල් සිදු නොවෙන එක. ඒ වගේමයි නවක භික්ෂූන් නිසි මග යවන්න දැනමුතුකම් දෙන්න කවුරුත් නැති වෙන එක. ඒ වගේමයි සමහර භික්ෂූන් ඒ කාලේ දිසාවේ පදවි පවා දරලා තිබෙනවා.

ඉතින් ඒ වගේ කාල පරිච්ඡේදයක තමා ශ්‍රී විජය රාජසිංහ රජතුමා ඇවෑමෙන් එතුමාගේ අග බිසවගේ සොහොයුරා වුණු කීර්ති ශ්‍රී රාජසිංහ 1747 දී රාජ්‍යත්වයට පත්වෙන්නේ. 

උපතින් හින්දු ආගමිකයෙක් වුණත් පස්සේ කාලෙක බුදු දහම වැළැඳගත්තු මේ රජතුමා ඒ වෙනකොට බුද්ධ ශාසනය පත්වෙලා තිබුණු පරිහානිකර තත්වය තේරුම් අරගෙන ඒකට පිළියම් යොදන්න පටන් ගත්තා. 

 සියම් රට

ඒ අනුව වැලිවිට සරණංකර සාමණේරයන්ගේ උපදෙස් පරිදි 1750 දී විල්බාගෙදරරාලගේ නායකත්වයෙන් දූත පිරිසක් සියම් රටට යවලා සියම් රටෙන් උපසම්පදා විනය කර්මය සිදුකරන්න භික්ෂූන් වහන්සේලා කණ්ඩායමක් මෙරටට වැඩම කරවනවා. 

වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්

උපාලි මහ තෙරුන් ප්‍රමුඛ සියම් රටෙන් වැඩම කළ මහ තෙරවරුන්ගේ ප්‍රධානත්වයෙන් 1753 ඇසළ පොහොය දිනයේදී ලංකාවේ නැවත වරක් උපසම්පදා විනය කර්මය සිදු කරනවා. ඒ යටතේ වැලිවිට සරණංකර සාමණේරයන් ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා සිය ගණනක් උපසම්පදාව ලබාගන්නවා.

ඉතින් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාත් සරණංකර හිමියන්ගේ ඉටු කරපු කාර්යය අගය කරන්න වගේම ලංකාවේ භික්ෂූන් වහන්සේලා පාලනය කරන්න සංඝරාජ පදවිය සරණංකර හිමියන්ට පිරිනමනවා. ඒ වගේමයි ඊට පස්සෙත් සංඝරාජ හිමියන්ගේ උපදෙස් පරිදි වෙහෙර විහාර රාශියක් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් පිළිසකර කරවනවා

සංඝරාජ පදවිය සරණංකර හිමියන්ට පිරිනැමීම

අද කතාවත් එක්ක සම්බන්ධ වෙන  කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා බුදු සමය වැළඳගෙන  හිටියත් තමන්ගේ මුල් ආගම වුණු හින්දු ආගමේ චාරිත්‍ර අත්හැරිය බවක් පේන්න තිබුණේ නැහැ.

ඒක ඉතා හොඳින් අනික් අයටත් දැකගන්න පුලුවන් වුණේ රජතුමා සිරිත් පරිදි දිනපතාම ශුද්ධ වූ අළු ආලේප කරගෙන රාජ සභාවට පැමිණෙන එකෙන්. මේ සම්බන්ධව සරණංකර සංඝරාජ හාමුදුරුවෝ කීප වරක්ම රජතුමාට අවවාද කරපු බවත් කියවෙනවා.

රජතුමාත් නළලේ අළු ගාගෙන ඉන්න ඇත්තේ මේ විදිහට වෙන්න ඇති

මේ විදිහට රජතුමා හින්දු චාරිත්‍රවලට ඇබ්බැහි වුණු නිසා රජතුමාට විරුද්ධව රජතුමා මරා දමන්න  කුමන්ත්‍රණය කෙරුණු බව තමා ශාසනාවතීර්ණ වර්ණනාව කෘතිය කියන්නේ. අවසන් ප්‍රතිඵලය වුණේ 1760 දී රජතුමා මරා දැමීමට කුමන්ත්‍රණය දියත් වුණු එක.

මේ කුමන්ත්‍රණයේ මූලිකයා වුණේ  රජතුමාගේ දෙවෙනි  අදිකාරම්වරයා වුණු සමනක්කොඩි. මෙවැනි කුමන්ත්‍රණයක් කරන්න ඔහු පෙළඹුනේ ශ්‍රී විජය රාජසිංහ රජතුමා කාලයේ ඔහුට තිබුණු බලය හා පිළිගැනීම කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය සමයේදී නොතිබුණු නිසා.
 
ඒ හැරෙන්න රජතුමාගේ බත් වඩන නිලමේ වුණු මොලදණ්ඩේත් කුමන්ත්‍රණයේ මූලිකයෙක්. කුමන්ත්‍රණකරුවන්ගේ සැලැස්ම වුණේ රජතුමාව මරා දාලා ඒ වෙද්දී සියමෙන් කන්ද උඩරටට උපසම්පදාව පිහිටුවන්න ආපු භික්ෂු කණ්ඩායමක පැවිදි වෙලා හිටිය සියම් රාජ කුමාරයෙක්ව රාජ්‍යත්වයට පත් කරන එක. 

රජතුමාව මරා දමන සැලැස්ම ක්‍රියාත්මක වුණේ මේ විදිහට. ඒ වෙද්දී සියමෙන් කන්ද උඩරටට වැඩම කරලා හිටිය විදර්ශනාචාරී භික්ෂූන් වහන්සේ නමක්ගේ මල්වතු විහාරයේ පැවැත්වෙන ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න එන්න කියලා මේ කුමන්ත්‍රණයේම කොටස් කරුවන් වුණු මල්වතු පාර්ශවයේ භික්ෂූන් වහන්සේලා පිරිසක් රජතුමාට ආරාධනා කළා.

 මල්වතු මහා විහාරය

රජතුමා ධර්ම දේශනාවට පැමිණිලා වාඩිවෙන අසුන යට බොරු වළක් කපලා උල් සවිකරන්න කුමන්ත්‍රණකාරී රදළ පිරිස කටයුතු කළා. රජතුමා බොරු වළට වැටුණාම රජතුමාත් එක්කම වළ පස් දාලා වහන්න තමා ඔවුන් සැලසුම් කරගෙන හිටියේ.

මල්වතු පාර්ශවයේ මහානායක හිමියන් වුණු තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ෂිත හිමියන්වත් මේ කුමන්ත්‍රණයට සම්බන්ධ කරගන්න කුමන්ත්‍රණකරුවන්ට පුලුවන් වුණා. ඒක අපහසු නොවෙන්නේ  කුමන්ත්‍රණයේ මූලිකයා වුණු සමනක්කොඩි අදිකාරම් තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ෂිත හාමුදුරුවන්ගේ ඥාති සහෝදරයෙක් වුණු නිසා. මල්වතු මහ නාහිමියන් හරහා මේ කුමන්ත්‍රණය ගැන සරණංකර සංඝරාජ හාමුදුරුවන්වත් දැනුවත් කරන්න ඇතියි කියලා විශ්වාස කරන්න පුලුවන්

ඒත් මේ සැලැස්ම අස්ගිරි විහාරයේ හිටිය යටවත්තේ නම් භික්ෂූන් වහන්සේට දැනගන්න ලැබුණා . උන්වහන්සේ කළේ මේ ගැන රජ ගෙදර හිටිය ගෝපාල මුදියන්සේ කියන රජතුමාට හිතවත් නිලධාරියාට දැනුම් දීපු එක. පස්සේ ගෝපාල මුදියන්සේ හරහා මේ ගැන රජතුමාටත් ආරංචි වෙනවා.

රජතුමා කිසිම වෙනසක් පෙන්නන්නේ නැතුව ධර්ම දේශනා පිංකමට සහභාගි වුණා. ඒත් තමන්ට වාඩි වෙන්න සකස් කරලා තිබුණු ආසනයේ වාඩි නොවුණු රජතුමා හිටගෙනම ධර්ම දේශනාව ශ්‍රවණය කරලා ධර්මාසනාරූඪ හාමුදුරුවන්ට පිරිකරත් පූජා කලා. පස්සේ තමන්ගේ අතේ තිබුණු ජය කොන්තයෙන් වාඩිවෙන්න සකස් කරලා තිබුණු පුටුවට ඇන්න ගමන් පුටුවත් කඩාගෙන වැටිලා බොරු වළ පේන්න වුණා. යකඩ උල් ගලවලා වළ පස් දාලා වහන්න කියලා නියම කරපු රජතුමා මාළිගාවට පිටත් වුණා

තමන්ට ලැබුණු ආරංචියේ සත්‍යතාව ඒ විදිහට දැනගත්තු රජතුමා මාළිගාවට පිටත් වෙලා සරණංකර සංඝරාජ හිමියන්වත් මල්වතු පාර්ශවයේ මහානායක හිමියන්වත් කුමන්ත්‍රණයට සම්බන්ධ රදළයන්වත් තමා හමුවට ගෙන්නුවා.

වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්

ඉස්සෙල්ලාම රජතුමා සංඝරාජ හාමුදුරුවන්ගෙන් ඇහුවා "මොකක්ද ඒ අමුතු පිංකම ?" (රජතුමා මරන්න කරපු කුමන්ත්‍රණය) කියලා. ඒත් සංඝරාජ හාමුදුරුවෝ නිහඬවම තමා ඉන්නේ.

රජතුමා නැවත නැවත නැවතත් ප්‍රශ්න කරන නිසා අන්තිමට සංඝරාජ හාමුදුරුවෝ පිළිගන්නවා තමන් ඒ අමුතු පිංකම ගැන කලින්  දැනගෙන හිටියා කියලා.

කෝපයට පත්වෙන රජතුමා ඊළඟට  අහනවා "එහෙම නම් ඇයි මට ඒ ගැන කලින් නොදැන්නුවේ ?" කියලා.

ඒ වෙලාවේ වහන්සේගේ අතේ ඇඟිල්ලක් පෙන්වලා සංඝරාජ හාමුදුරුවෝ කියනවා "දේවයන් වහන්ස, මගේ මේ ඇඟිල්ලේ නියපිරිත්තාවට බෙහෙත් නොකරන්නේ මෙහි ඉන්න පණුවා මැරෙන නිසා. මම ඒතරම්ම පර පණ නසන්නට බිය ඇත්තෙමි. ඉදින් මම මේ සිද්ධිය ගැන ඔබට කිව්වා නම් ජීවිත කීයක් වැනසෙන්න තිබුණාද?" කියලා.

පස්සේ රජතුමා අහනවා "එහෙම නම් මම මැරුණොත් හොඳද?" කියලා

ඒකට සරණංකර හාමුදුරුවෝ කියන්නේ "නොකී නිසා එයට මට වැරැද්දක් නැහැ" කියලා

රජතුමා ආයි අහනවා එවිට "තමුන්නාන්සේගේ ගෝලයන්ට හොඳද?" කියලා.

සංඝරාජ හාමුදුරුවෝ නිහඬවම හිටිය නිසා හුඟක් කෝපයට පත්වෙන රජතුමා අන්තිමට කියනවා "වැලිවිට කණා සස්නේ වවනවා යැයි කියලා ලෝක ශාසන දෙකම නසාපි" කියලා.

මෙතනදී සංඝරාජ හාමුදුරුවන්ට "වැලිවිට කණා" කියලා රජතුමා කියන්නේ ඒ වෙද්දී සංඝරාජ හාමුදුරුවන්ගේ එක් ඇසක පෙනීමේ තිබුණු දෝෂයක් නිසා

අවසානයේදී සංඝරාජ හිමියන්ව දුම්බර ප්‍රදේශයේත් මල්වතු පාර්ශවයේ මහානායක හිමියන් වුණු තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ෂිත හිමියන්ව කුරුණෑගලත් හිර කරලා තියන්න රජතුමා නියෝග කරනවා. මේ සිද්ධියට මූලිකයා වුණු සමනක්කොඩි අදිකාරම්ව හිස ගසා මරා දමන්නත් මේකට සම්බන්ධ වුණු මොලදණ්ඩේ  නිළමේ ප්‍රමුඛ අනෙක් රදළයන්ව උල තබා මරා දමන්නත් රජතුමා නියෝග කරනවා.

සමනක්කොඩිගෙන් මරාදැමීමෙන් හිස්වුණු දෙවෙනි අදිකාරම් තනතුරට පිළිමතලව්වේ පත් කරන්නත් රජතුමා කටයුතු කරනවා.

ඒ වගේමයි තමන්ගේ ජීවිතය බේරාදුන්නු ගෝපාල මුදලිට මොලදණ්ඩේ  නිළමේ සතුවුණු ඉඩකඩම් පවරා දෙන්නත් රජතුමා කටයුතු කරනවා. ඒ බව 1760 දී රජතුමා වෛද්‍යතිලක රාජකරුණා ගෝපාල මුදලිට ප්‍රදානය කරපු ගැටබේරිය සන්නසේ සඳහන් වෙනවා.

සන්නසේ මේ ප්‍රදානයට හේතුව දක්වලා තියෙන කොටසේ මෙහෙම තියෙනවා. "අපක්ෂ අජිරමාන වූ හනුමන් කොඩි පෙරළියා මුල් ව කරන්නට සැදු පෙරළිය" [හනුමන් කොඩි කියන්නේත් සමනක්කොඩි අදිකාරමට]

මේ ගෝපාල මුදලි ගැනත් යමක් කිව්වොත් ගැටබේරිය ප්‍රදේශයේ පදිංචි වෙලා හිටිය මුස්ලිම්  මනුස්සයෙක් වුණු මෙයා අග බිසවට තිබුණු උදරාබාධයකට සාර්ථකව ප්‍රතිකාර කරපු නිසා විරුද නාමයත් එක්ක බෙහෙත් ගෙයි මුහන්දිරම් ධූරයට රජතුමා විසින් පත් කරලා තිබුණා.

ඒ හැරෙන්න මේ කුමන්ත්‍රණයට සම්බන්ධ වුණු සියම් භික්ෂූන්ටත් දඬුවම් කරන්න රජතුමා තීරණය කළත් මීගස්තැන්නේ නිළමේගේ ඉල්ලීම නිසා රජතුමා දඬුවමක් ක්‍රියාත්මක කරන්නේ නැතිව ඒ භික්ෂූන්ව මහනුවරින් පිටුවහල් කරවනවා. සියම් රාජ කුමාරයාව සියම් රටට පිටුවහල් කරන්න ලන්දේසීන්ටත් භාර කරනවා.

නැවත වරක් සංඝරාජ හාමුදුරුවන්ට මහනුවරට කැඳවන්නේ සන්නාසියෙක් ඇවිත් කියපු ගාථාවේ තේරුම වටහා ගන්න රජතුමා ඇතුළු රාජ සභාවේ කාටවත් බැරිවුණු නිසා. සංඝරාජ හාමුදුරුවෝ ගාථාවේ අර්ථය පැහැදිලි කිරීමත් එක්ක සතුටට පත්වෙන රජතුමා තමන් අතින් සිදුවුණු වැරැද්දට සංඝරාජ හිමියන්ගෙන් සමාව ගත්තු බවත් කියවෙනවා.

 සංඝරාජ පදවිය වෙනුවෙන් රජු විසින් සරණංකර හිමියන්ට පිරිනැමූ විජිනිපත

ඒ හැරෙන්න මේ කුමන්ත්‍රණයට මූලිකම හේතුව වුණේ තමන් නළලේ අළු ගෑම නිසා බව දැනගෙන රජතුමා ඒ සිරිත අත් හැරියා වගේම ඒ වෙනකම් අළු ගාලා පුස්කොල පොත් මැදීම පවා නවත්තලා කහවලින් පුස්කොළ පත් ඉරු මදින්න පටන් ගන්න කියලා උපදෙස් දුන් බවත් කියවෙනවා.

මේ කතාවත් එක්ක කියන්න ඕනේ වැදගත් තවත් කතාවක් තමා රජතුමාව ඝාතනය කරන්න භික්ෂූන් වහන්සේලා එකතු වීම වුණේ මේ මුල්ම පාරට නෙමේ කියන එක.

මීට කලින් අනුරාධපුර යුගයේදී කණිරජානු තිස්ස රජතුමා මැදිහත් වෙලා භික්ෂූන් වහන්සේලාගේ තිබුණු අර්බුදයක් විසඳනවා. ඒ තීන්දුව ගැන කළකිරුණු හාමුදුරුවරු පිරිසක් රජතුමාව පොහොය ගෙයි ඇතුළේදී මරන්න කුමන්ත්‍රණය කරනවා.

ඒත් මේ විදිහටම ඒක රජතුමාට ආරංචි වෙලා පස්සේ රජතුමා නඩු විභාග කරලා ඒකට සම්බන්ධ වුණු භික්ෂූන් වහන්සේලා 60 නමක් සෑගිරි පර්වතය පහළට තල්ලු කරලා මරා දමන්න නියම කරනවා. 

පැහැදිලියිනේ ඉතින්. ඉතිහාසයේ දේවල්ම තමා ආයි ආයි සිද්ධ වෙන්නේ...

වැලිවිට සරණංකාර සංඝරාජ කෞතුකාගාරය ගැන දැනගන්න මෙතනින් යන්න

මේ සටහන ලියන්න විස්තර හොයාගත්තේ කොටගම වාචිස්සර හිමියන් විසින් රචනා කළ සරණඞකර සඞඝරාජ සමය කෘතිය සහ ටිකිරි අබයසිංහ, ශ්‍රීමතී දේවරාජ සහ ජී.පී.වී. සෝමරත්න විසින් රචිත උඩරට රාජධානිය කෘතිය.

Sunday, July 22, 2012

බිසෝවරුන් දෙන්න ආපු නායක්කර්වරු උඩරට සිහසුන ඇල්ලූ හැටි - ඉතිහාසයේ අප්‍රකට කතා 12

ලංකාවේ අන්තිම රාජධානිය වුණු කන්ද උඩරට පාලනය ගෙනගිය අන්තිම පෙළපත වුණේ දකුණු ඉන්දියානු සම්භවයක් තිබුණා නායක්/ නායක්කර්/ වඩුග යන නම්වලින් හඳුන්වපු පෙළපත. ඔවුන් ලංකාවේ කටයුතුවලට මුලින්ම සම්බන්ධ වුණු ආකාරය වගේම අවසානයේදී ලංකාවේ සිහසුන දක්වා පැමිණි ගමන ගැනයි අද ඉතිහාසයේ අප්‍රකට කතා තුළින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ.

 දකුණු ඉන්දියාවේ විජයනගර අධිරාජ්‍යය පැතිරී තිබුණු ප්‍රදේශය

මුලින්ම නායක්කර්වරුන්ගේ ප්‍රභවය ගැන හොයලා බැලුවොත් දකුණු ඉන්දියාවට තමා අවධානය යොමු කරන්න වෙන්නේ. 1343 දී දකුණු ඉන්දියාවේ විජයනගර කේන්ද්‍ර කොටගෙන හරිහාර ආරම්භ කරන රාජ්‍යය ක්‍රමයෙන් විජයනගර අධිරාජ්‍යය බවට පත්වෙනවා. ඒ අධිරාජ්‍යයේ ආධිපත්‍යය පිළිගත්තු මදුරා, තංජෝර්, ගිංගි, වෙල්ලෝර්, සෙරිංගපටුන ආදී තෙළිඟු භාෂාව කතා කරපු ප්‍රදේශවල 16 වන සියවසේදී පාලනය  ගෙනගියේ "නායක්" නමින් හඳුන්වපු ප්‍රාදේශික ආණ්ඩුකාරවරු. 

1565 දී නිෂාම් ෂා කියන මුස්ලිම් පාලකයා විසින් තාලිකොට්වලදී සිදුකළ සටනින් විජයනගර අධිරාජයා වූ රාම රාය මියයාමත් එක්ක විජයනගර අධිරාජ්‍යයා බිඳ වැටීම ඇරඹෙනවා. මේ ඒ සමඟම ස්වාධීන පාලකයන් වුණු මේ ආණ්ඩුකාරවරු නායක් යන නමින්ම තම තමන්ගේ ප්‍රදේශවල රජවරු විදිහට පාලනය ගෙන යනවා.

ඊට පෙර විජයනගර අධිරාජ්‍යය තිබුණු කාලයේදී ඉහත දක්වපු තෙළිඟු භාෂාව කතා කරපු නායක් ප්‍රදේශවල ජනතාව වඩාත් දකුණට වෙන්න තිබුණු දෙමළ භාෂාව කතා කරපු ප්‍රදේශවලට සංක්‍රමණය වුණාම ඔවුන්ව හඳුන්වලා තියෙන්නේ වඩුග හෙවත් වඩුක්කන් යන නමින්. ඒ නමේ අර්ථය තමා "උත්තර දේශීන්" කියන එක.

 I විමලධර්මසූරිය රජතුමා

නැවතත් නායක් රජවරු ගෙන කතාවට ආවොත් උඩරට රජවරු මුලින්ම මේ නායක් රජවරුන් සමඟ මිතුරු සබඳතා පවත්වලා තමන්ට අවශ්‍ය කරන යුධ ආධාර ලබාගත් බව පේනවා. ඒ අනුව උඩරට රාජ්‍යය ආරම්භ කරපු I විමලධර්මසූරිය රජතුමාගේ කාලය වන 16 වන සියවසේ අග භාගයේ ඉදන් සෙනරත් සහ රාජසිංහ වැනි රාජ්‍ය කාලවලත් නායක් යුධ ආධාර ලබාගත්තු බවයි පෙනෙන්නේ. 

මේ සම්බන්ධතා වෙනස් මඟක් ගන්නේ සෙනරත් රජ සමයේ. කුසුමාසන දේවියට දාව උපන් කුමාරසිංහ, විජයපාල සහ දේව රාජසිංහ කියන දරුවන් සූර්ය වංශිකයන් නිසා ඔවුන්ගේ අග මෙහෙසියන් සඳහා සම කුලය වෙන සූර්ය වංශයෙන් කුමරියන් අවශ්‍ය වෙනවා. 

ඊට පෙර කෝට්ටේ ආදී රාජධානි කාලවලදී කීරවැල්ලේ නමින් රජ පවුලට නෑකම් කියන පෙළපතකුත් යාපනයේ රජ පවුලකුත් සිටිය නිසා ක්ෂත්‍රීය කුමරියන් සොයා ගැනීමේ ගැටලුවක් නොවුණත් ඒ වෙද්දී ලංකාවේ ඉතුරුව සිටිය එකම රජ පරපුර උඩරට රජ පෙළපත විතරක් නිසා ගැටලුවක් ඇතිවෙනවා.

මේ වගේ තත්වයක් නිසා දේශපාලනික උපාය මාර්ගයක් විදිහටත්, අකීකරු උඩරට රදළ බලය මර්දනය කරන්නත්, රාජාභිෂේක චාරිත්‍රානුකූලව කරන්නත් දකුණු ඉන්දීය ක්ෂත්‍රීය සූර්ය වංශික කුමාරිකාවන් උඩරට රජ කුමාරවරුන්ට ගේනවා. 

සූර්ය වංශය කියන්නේ මොකක්ද කියලාත් කෙටියෙන් දැක්වුවොත් මිනිස් ලොව පහළ වූ පළමු රජතුමා වූ වෛවස්වත මනු සූර්යයාගේ පුතෙක් ලෙස සළකපු නිසා ඔහුගෙන් පැවත එන අය සූර්ය වංශිකයන් විදිහටයි සැළකුවේ. තවත් මතයක් තමා මනුගේ පුතුන්ගෙන් ඉක්ෂ්වාකුගේ මූලිකත්වයෙන් ආරම්භ වුණු පරපුර සූර්ය වංශය වුණා කියන එක. ඒ පදනම මත ඉදලා තමයි ඉන්දියාවේ තිබුණු බොහෝ රාජ වංශ සූර්ය වංශිකයන් කියලා පිළිගැනුනේ.

ඒ හැරෙන්න මනුගේ දියණිය වුණු ඉලාගේ [විටෙක ඔහු පිරිමියෙක් ලෙසටත් පෙනී සිටිනවා] මූලිකත්වයෙන් ඇරඹුණු වංශය "චන්ද්‍ර වංශය එහෙමත් නැත්නම් සෝම වංශය" නමින් හඳුන්වනවා. කොහොම නමුත් වැඩි පිළිගැනීම තියෙන්නේ සූර්ය වංශිකයන්ට.

ඒකට හේතුවක් තමා මනුෂ්‍ය ලෝකයේ පැවැත්ම රඳා පවතින්නේ සූර්යයා මත. ඒ නිසා සූර්යයාගෙන් පැවැත එන්නන් විදිහට සූර්ය වංශිකයන්ට තියෙන පිළිගැනීම වැඩියි. ඒක භාරතයේ විතරක් නෙමේ අනික් බොහෝ ශිෂ්ටාචාරවලත් දැකගන්න පුලුවන්. උදාහරණයක් විදිහට මිසරයේ පාරාවෝ රජුන් සූර්ය දිව්‍යරාජයාගේ පුත්‍රයා වැනි විරුද නාම භාවිතා කරලා තියෙනවා.

ලංකාවේ රාජ්‍යත්වය ආරම්භ කළායැයි සළකන විජය කුමරුත් සූර්ය වංශිකයෙක් වුණු නිසා ලංකාවේ රජ දරුවනුත් සූර්ය වංශිකයන් විය යුතුයි කියන සංකල්පය ඇති වෙනවා. මුල් යුගවල මේ සූර්ය වංශික සංකල්පය එතරම් තදින් සළකා නොලැබුණත් මහනුවර යුගය වනවිට එය රාජ්‍යත්වයේ ප්‍රධාන පදනම බවට පත් වෙනවා.

මහාවංසයේ I විමලධර්මසූරිය රජතුමා ගැන දක්වන්නේ "ගඟසිරි නම් පුරයෙහි සූර්ය වංශයෙහිම උපන් කුමාරයෙක්" කියලා

II රාජසිංහ රජතුමා

වරෙක II රාජසිංහ රජතුමාට ෆ්‍රන්සුවා කැරන් නම් ලන්දේසි ජෙනරාල්වරයා හිතවත් මිතුර යනුවෙන් ආමන්ත්‍රණය කළාම රජතුමා කෝපයට පත්වෙලා ප්‍රශ්න කරනවා තමා සූර්ය වංශෝද්භූත බව දන්නවාද කියලා.

නැවතත් කතාවට ආවොත් ලක් රජුන්ගේ මදුරාපුර විවාහ සබඳතා ගැන සොයලා බලද්දී මහාවංසය දක්වන විදිහට ලංකාවේ මුල්ම රජතුමා වුණු විජය රජතුමගේ අභිෂේකය සඳහා ක්ෂත්‍රීය කුල කුමරියක් අග මෙහෙසිය කළ යුතු වීම නිසා ඒ කුමරිය ගෙන එන ලද්දේත් දකුණු ඉන්දියාවේ මදුරාපුරයෙන්.

දකුණු ඉන්දියාවේ කලින් සඳහන් කරපු නායක් රාජධානිවලින් උඩරට රජුන් විවාහ සබඳතා පවත්වන්නේ මදුරාපුර නායක් පෙළපත සහ තංජෝර් නායක් පෙළපත සමඟයි.

 විශ්වනාථ නායක්

මදුරා නායක් පෙළපත ගැන විස්තර හොයලා බැලූවොත් විශ්වනාථ නායක් යටතේ ආරම්භ වෙන මදුරාපුර නායක් පරපුරේ විශිෂ්ඨතමයා විදිහට පිළිගැනෙන්නේ 1628 බලයට පත්වුණු තිරුමලයි නායක්. 

 තිරුමලයි නායක්

තිරුමල නායක්ගේ දෙවැනියා එහෙමත් නැත්නම් උප පාලක විදිහට කටයුතු කළේ කුමාර මුත්තු නායක්. මේ කුමාර මුත්තු නායක්ගේ පරපුරේ අය දිගටම මදුරාපුර උප පාලක තනතුරේ කටයුතු කරලා තියෙනවා.

මදුරාපුර නායක් පෙළපතේ අන්තිම රජතුමා වුණු විජය රංග චොක්කනාථට පසුව 1732 දී ඔහුගේ අග බිසව මීනක්ෂි පාලනය ගෙනගියත් අභ්‍යන්තර අර්බුද වගේම මුස්ලිම් ආක්‍රමණ නිසා ඒ පාලනය සාර්ථක වෙන්නේ නැහැ.

නැවතත් සෙනරත් රාජ සමයේ වුණු මේ සිද්ධියට ආවොත් සෙනරත් රජතුමා කුමාරසිංහ සහ විජයපාල කුමාරවරුන්ට යාපන රජ පෙළපතට අයිති ඒ වෙනවිට දකුණු ඉන්දියාවේ හිටිය ද්‍රවිඩ කුමාරිකාවන් දෙදෙනෙක් සරණ පාවා දෙනවා. රාජසිංහ කුමරුට මදුරාවෙන් කුමාරිකාවක් ගෙන්වනවා. 

පසුව II රාජසිංහ රජතුමාගේ අනුප්‍රාප්තිකයා වුණු II විමලධර්මසූරියත් මදුරාවෙන් බිසෝවරු ගෙන්වනවා. II විමලධර්මසූරිය රජතුමා ගැන බැලූවොත් ඔහු සිංහල සහ නායක් මිශ්‍ර අයෙක් බව පැහැදිලියි. 

මේ රජතුමාගෙන් පසු රාජ්‍යත්වයට පත්වෙන වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාටත් 1706 මනාලියක් සොයන්න දූතයන් දෙදෙනෙක් දකුණු ඉන්දියාවේ තූත්තුකුඩිය බලා යනවා. මේ සඳහා ලන්දේසින් නැව් සපයනවා. 

 මදුරේ නායක් රාජ මාළිගාව

ඒ කෙසේ වෙතත් මහනුවරින් ආපු මංගල යෝජනාවට මදුරාපුර නායක් රජතුමා වුණු විජය රංග චොක්කනාථ කැමති වන්නේ නැහැ. ඉන්පසුව සිදුවුණු දේවල් පිළිබඳ මත කීපයක් පවතිනවා. ලාංකික සාහිත්‍ය මූලාශ්‍රවල දක්වන විදිහට

මේ පිළිබඳව සමකාලීන ලන්දේසි මූලාශ්‍ර බලද්දී Cornelis Joannes Simonszoon ආණ්ඩුකරුගේ පාලන වාර්තාවක දක්වන විදිහට රජුගේ අග මෙහෙසිය වඩුග කුමරියක් බවත් ඇගේ පියා පිට්ටි නායක්කර් බවත් දක්වනවා. 

මේ සම්බන්ධ වෙන්නේ උඩරට දේශයේ කටයුතු පිළිබඳ පුවත කියන අප්‍රකට ලේඛනයේ කරුණු සමඟ. එහි තිබෙන විදිහට මහනුවර දූතයන්ගේ ඉල්ලීමට කෝපවුණු මදුරාපුර නායක් රජතුමා වුණු විජය රංග චොක්කනාථ අහනවා.

"තොපගේ රජු අපගේ කුලයේ අයෙක්ද මේ දක්වා අප අතර ගිවිසුමක් තිබුණේද මෙතැන් සිට ගිවිසුමක් වේද තොප බය නැතිව කුමාරිකාවන් ඉල්ලීමට ආවාහුද?"

පස්සේ නගරයෙන් දූතයන් පිටමං කරලා කිසිම කුමරියක් ඔවුන්ට දෙන්න එපා කියලා නියෝගයක් කරනවා. 

ඒත් දුප්පත් පුද්ගලයෙක් වුණු පිට්ටි නායක්කර් තමන්ගේ දුව මහනුවර රජතුමාට දෙන්න කැමති වෙලා රහසේම  රාමේශ්වරම් දූපතේදී දූතයන්ව හමුවෙලා පසුව සිය පවුලත් එක්කම මහනුවරට ඇවිත් දියණියව රජතුමාට සරණ පාවා දෙනවා.

පසුව රජතුමාට පුතුන් නොවුණු නිසා වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහගෙන් පසුව රාජ්‍යත්වයට පත්වෙන්නේ අග බිසවගේ සොයුරා එහෙමත් නැත්නම් පිට්ටි නායක්කර්ගේ පුත්‍රයා ශ්‍රී විජය රාජසිංහ නමින්.

මේ කතාව උඩරට රජුන්ට අපහාස පිණිස ගොතපු කතාවක්ද කියලා සැක පහළ වුණත් කරුණු අනුව විමසලා බලද්දී ලන්දේසි මූලාශ්‍රවලට අනුව මහනුවරින් ආපු මංගල යෝජනාවට මදුරාපුර නායක් රජතුමා වුණු විජය රංග චොක්කනාථ කැමති නොවුණු බව පැහැදිලියි. 

කුල ගර්වයෙන් සිටි මදුරා රජතුමා අහන්නේ මීට පෙර එහෙම සබඳතාවක් තිබුණද කියලා. එහෙම බලද්දී II රාජසිංහ සහ II විමලධර්මසූරිය රජුන්ගේ බිසෝවරුන් ගැනත් ප්‍රශ්නාර්ථයක් මතු වෙනවා.

නායක්කර්වරුන් කුල නීති දේවත්වයෙන් සළකපු පිරිසක් බවයි කියවෙන්නේ. ඒ වගේම නායක් පාලක පෙළපතේ පිට්ටි නායක්කර් නමින් අයෙක් නොවන නිසා ඔහු රාජකීයෙක් නොවන බවත් පැහැදිලියි.

ඒ වගේම ඉහත දක්වපු ද්‍රවිඩ ලිපියේ විදිහට ඔහු දිළින්දෙක් නිසා මීට පෙර ඔහු ධනවතෙක් වෙලා හිටියත් මේ වෙනකොට ඒවා අහිමි වෙලා දුක සේ ජීවිතය ගෙන ගිය අයෙක් කියලා අනුමාන කරන්න පුලූවන්. මේ වගේ තත්වයක් මත තමා පිට්ටි නායක්කර් සහ පවුලේ උදවිය වඩාත් සුවපහසු ජීවිතයක් අපේක්ෂාවෙන් මහනුවරට එන්නේ.

කලින් කිව්ව විදිහට වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාට පුතුන් නොවුණු නිසා එයාගෙන් පසුව රාජ්‍යත්වයට පත්වෙන්නේ අග බිසවගේ සොයුරා එහෙමත් නැත්නම් පිට්ටි නායක්කර්ගේ පුත්‍රයා. 

නමුත් රජතුමාට ගොවි කුලයේ යකඩ දෝළියක සිටි බවත් රජතුමාට දාව ඇයට උනම්බුවේ බණ්ඩාර නමින් පුතෙක් වූ බව ලන්දේසි ලේඛනවල පවා සඳහන් වෙනවා. ඒ කුමාරයාට රාජ්‍යත්වයට පත්වෙන්න තිබුණු බාධාව වෙන්නේ මව ක්ෂත්‍රීය වංශික බිසවක් නොවීම. ඒ අනුව කුමාරයා උභය කුල පාරිශුද්ධ අයෙක් නොවුණු නිසා සිහසුන අහිමි වෙනවා.
වැලිවිට සරණංකර හිමියන් [පසුව සංඝරාජ හිමියන්]

අනෙක් අතට උනම්බුවේ බණ්ඩාරට සිහසුන අහිමි වෙන්නෙ උඩරට සිංහල රදළ ප්‍රධානීන් නිසාමයි. 1708 දී පමණ ඉදන් අග බිසවගේ සොයුරා මහනුවර වාසය කළා. සරණංකර සාමණේරයන් යටතේ අධ්‍යාපනය හදාරපු මේ කුමාරයාව හඳුන්වන්නේ නායක්කර් හාමුදුරුවෝ කියලා. 

ඒ වනවිට වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාගේ පල්ලේ ගම්පහ අදිකාරම් වුණු ඇහැළේපොළ මහ නිළමේ (මේ අපි දන්නා ඇහැළේපොළ මහ නිළමේගේ පියා) සමඟ මේ කුමාරයා ලොකු හිතවත්කමක් තිබුණා. 

උනම්බුවේ බණ්ඩාරගේ හොඳම හිතවතා වුණේ ලෙව්කේ දිසාව. නමුත් ලෙව්කේ දිසාව සහ ඇහැළේපොළ මහ නිළමේ අතර එදිරිවාදිකම් පැවතුණා. කිසියම් විදිහකින් උනම්බුවේ රජ වුණොත් ලෙව්කේගෙන් තමන්ට අනතුරක් වෙන්න පුලූවන් කියලා හිතපු ඇහැළේපොළ මහ නිළමේ උනම්බුවේ රජ කරවීමට විරුද්ධ වුණා.

ඒ වෙද්දී රාජ සභාවේ පැවතුණු මේ ආකාරයේ මතභේද නිසා තව තවත් රදළයන් බෙදිලා හිටියේ. ඒ කාලය තුළ රාජ සභාව තුළ නායක්කර හිතැති, නායක්කර් විරෝධී වශයෙන් කණ්ඩායම් දෙකක් තිබුණා. මේ විදිහට නායක්කර් හිතැති කණ්ඩායමක් බිහිවුණේ නායක්කර්වරුන් සමඟ මුදල් ගනුදෙනු කිරීමේ ඇතිවුණු හිතවත්කම්. 

ඒ වගේමයි විශේෂයෙන් උනම්බුවේගේ මව් පාර්ශවයේ ඥාතීන් පවා උනම්බුවේ රජ වෙනවාට විරුද්ධව හිටියේ. මේ වගේ තත්වයක් උඩ නරේන්ද්‍රසිංහ රජතුමාගේ ඇවෑමෙන් සූර්ය වංශික ක්ෂත්‍රීය කුමරෙක් විදිහට පිළිගැනුණු ඒ වගේම සරණංකර සාමණේරයන් යටතේ බුදු දහම ඉගෙන ගන්නා අග බිසවගේ සොයුරාට සිහසුන උරුම කරලා දෙන්න ඇහැළේපොළ මහ නිළමේට අපහසු වෙන්නේ නැහැ. 

මේ විදිහට අග බිසවගේ සොයුරාට සිහසුන හිමිවීමක් ලංකා ඉතිහාසයේ පළමු වරටයි සිදුවෙන්නේ. ඒ වගේමයි මදුරාපුර නායක්වරු අතර පවා ඒ වගේ සිරිතක් පැවතිලා නැහැ. නමුත් මලබාරයේ හිටිය නායක්වරු අතර තිබුණු මරුමක්කාථයම් නීතිය මේ සඳහා අනුබලයක් වෙන්න ඇති කියලත් මත පළවෙනවා.

ඒ අනුව 1739 දී කුසුමාසන දේවිය මූලික කරගෙන I විමලධර්මසූරිය රජතුමා ආරම්භ කළ රාජ වංශය අවසන් වෙලා නායක්කර් වංශික රජ පෙළපතකට සිහසුන හිමිවෙනවා.

නායක්කර් පෙළපතේ ආරම්භක රජතුමා වුණු ශ්‍රී විජය රාජසිංහත් තමන්ට අගබිසවක් ලබාගන්නේ දකුණු ඉන්දියාවෙන්. ඒ වෙද්දී මදුරාවේ තත්වය බැලූවොත් කලිනුත් කිව්වා වගේ මදුරාවේ පාලක විජයරංග චොක්කනාථ මියගිහින් වැන්දඹු බිසව වුණු මීනක්ෂි බලයට ඇවිත් හිටියේ. 

ඒත් මදුරාපුර නායක් පරපුරේ විශිෂ්ඨතමයා වුණු තිරුමල නායක්ගේ දෙවැනියා එහෙමත් නැත්නම් උප පාලක විදිහට කටයුතු කළේ කුමාර මුත්තු නායක්ගේ පරපුරේ අයෙක් වුණු බන්ගාරු තිරුමල නායක් මීනක්ෂිට විරුද්ධව කටයුතු කරමින් සිටියේ. 

මේ කලබල මධ්‍යයේම මදුරාවට එල්ලවුණු මුස්ලිම් ආක්‍රමණයත් එක්ක මදුරාපුර නායක් වංශය අවසන් වෙනවා. මීනක්ෂි අග බිසව සියදිවි නසාගන්නවා. බන්ගාරු තිරුමල නායක තමන්ගේ ජීවිතේ බේරගන්න වෙල්ලයිකුරිච්චි බලකොටුවට පැනලා යනවා. 

අසරණ වෙලා වෙල්ලයිකුරිච්චිවලට වෙලා සැඟවිලා හිටිය බන්ගාරු තිරුමල නායක සහ එයාගේ නෑයන්ට උඩරට රජතුමාට මනමාලියක් යවන්න අවස්ථාවක් ලැබුණු එක ලොකු වාසියක් වුණා. කලින් වගේ ආඩම්බර කතා කියන්න නොගිය බන්ගාරු තිරුමල නායක තමන්ගේ නෑයන් දෙන්නෙක් වුණු රාම ක්‍රිෂ්ණප්පා නායක් සහ නරේනප්පා නායක්ව මහනුවර දූතයන් හමුවට යවනවා. 

අන්තිමට නරේනප්පාගේ තරුණ දියණිය මහනුවර රජතුමාට විවාහ කරදෙන්න කැමතිවෙලා ඒ මඟුලට නරේනප්පා, එයාගේ බිරිඳ, පුත්‍රයන් දෙන්නා, සහෝදරයන් දෙන්නා සහ මස්සිනා ඇතුලූ විශාල කණ්ඩායමක් එක්ක තමා උඩරටට එන්නේ. මේ විවාහයෙන් පස්සෙත් 1746 රජතුමා තවත් මදුරා කුමාරිකාවක් සරණ පාවා ගන්නවා.

කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා

ශ්‍රී විජය රාජසිංහගේ අග බිසවටත් දරුවන් නොහිටිය නිසා රාජ්‍යත්වය හිමිවෙන්නේ අග බිසවගේ වැඩිමහල් සොයුරා එහෙමත් නැත්නම් ලොකු මස්සිනා වුණු කීර්ති ශ්‍රී රාජසිංහට. කීර්ති ශ්‍රී රාජසිංහත් තංජෝර් නායක් පෙළපතෙන් බිසෝවරු දෙන්නෙක් ගෙන්වා ගන්නවා.

මේ විදිහට ක්‍රම ක්‍රමයෙන් ලංකාවට නායක්කර්වරු පැමිණීමත් එක්ක අගනුවර වෙනම වීථීයක් පවා ඔවුන්ට වෙන්වෙනවා කුමාරුප්පේ වීථීය කියලා. බ්‍රිතාන්‍ය යුගයේ ඒක හඳුන්වන්නේ මලබාර් වීථීය කියලා.

කීර්ති ශ්‍රී රාජසිංහ සමයේ රජතුමා මරන්න සිංහල රදළයන්ගේ කැරැල්ලක් ඇතිවෙනවා. ඒ වගේමයි නායක්කර්වරුන්ගේත් කුමන්ත්‍රණයක් සිදුවෙනවා. මේ ලිපියෙන් නායක්කර්වරු ගැන කතා කරන නිසා ඒ කුමන්ත්‍රණය ගැන කියන්නම්. අනෙක් කැරැල්ල ගැන ඉදිරියේදී කියන්නම්.

කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ අග බිසවටත් දරුවන් හිටියේ නැතත් රජතුමාග් යකඩ දෝළියක් වුණු මාම්පිටිය් බිසවට  රජතුමට දාව පුතුන් දෙන්නෙක් ඉන්නවා. ඒත් උභය කුල පාරිශුද්ධතාව කියන ගැටලුව නිසා රජතුමාගේ අනුප්‍රාප්තිකයා විදිහට නම් කරලා තිබුණේ රජතුමාගේම සහෝදරයා. (නරේනප්පාගේ බාල පුතා)

ඒත් රජතුමාගේ අග බිසවගේ තාත්තා වුණු (රජතුමාගේ මාමණ්ඩි) නාඩුකට්ටු සාමි නායක් උත්සහ කරනවා තමන්ගේ පුතාට රජකම අරන් දෙන්න. කලින් තිබුණු සම්ප්‍රදාය වුණෙත් අග බිසවගේ  සහෝදරයාට රජකම දෙන එකනේ. අන්තිමට රජතුමාව මරන්න නාඩුකට්ටු සාමි කරපු කුමන්ත්‍රණය හෙළිවුණු නිසා රජතුමා මාමණ්ඩිව ලංකාවෙන් පිටුවහල් කරනවා. 

කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගෙන් පස්සේ රජවෙන්නේ රජතුමාගේ සහෝදරයා වුණු රාජාධි රාජසිංහ. එයත් සුපුරුදු විදිහටම මදුරාවෙන් කුමාරිකාවන් බිසෝවරුන් හැටියට ගෙන්නුවත් එයාලටත් දරුවන් හිටියේ නැහැ.

රාජාධිරාජසිංහගෙන් පස්සේ සිහසුන උරුමකම් කියන්න හිටියේ අග බිසවගේ වගේම තවත් බිසෝවරුන් කීප දෙනෙකුගේම සහෝදරයා වුණු මුත්තුසාමි කුමාරයා. ඒත් රජතුමාගේ පළමු අදිකාරම් වුණු පිළිමතලාවේ රජතුමාගේ බිසවකගේ සහෝදරියක් වුණු සිරියම්මාලුගේ පුත්‍රයා වුණු කන්නසාමිව සිහසුනට පත් කරවන්න සමත් වෙනවා.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා

රජතුමා පත් කිරීමේ බලය තිබුණේ රාජ සභාවට කියලා කලින් කතා කළානේ. 


ඒ විදිහට ලංකාවේ පැවතුණු නායක්කර් පෙළපතේ පාලනය අවසන් වෙන්නේ 1815 පෙබරවාරි 14 ඉංග්‍රීසීන් සෙංකඩගල අල්ලා ගැනීමත් ඊට පස්සේ මැද මහනුවර සැඟවිලා හිටිය ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඇතුළු බිසෝවරුන්ව පෙබරවාරි 18 වෙනිදා අල්ලා ගැනීමත් සහ අවසාන වශයෙන් මාර්තු 2 වෙනිදා ප්‍රකාශයට පත් කළ උඩරට ගිවිසුමේ තිබුණු මෙන්න මේ වගන්තියෙනුත්

 1815 මාර්තු 2 දින උඩරට ගිවිසුම කියවනු ලැබූ අවස්ථාව

"ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවෝ රජ දරුවන්ගේ ප්‍රධාන තවද මහත් සීලාචාරවූ යුතුකම් කඩ කරන ස්වභාවයකින ඒ තරඟයට ඇත්තාවූ සියළුම අයිතිකම්ද ඊට වැදගත් බලයද නැති කර රාජඟයෙන් බැහැර කරන්න යෙදුනාය. එම ගෝත්‍රයද මවු පිය දෙපක්ෂයෙන් පැවත එන අනෙක ප්‍රකාරවූ නෑදෑයින් හැම කල්හිම සිංහාසනයෙන් දුරු කරන්ඩ යෙ නා සහ සිංහලෙ ආන්ඩු කිරීමට දෙමල වර්ගයට ඇත්තාවූ සියළුම අයිතිකම් නැතිකරන්ඩද විනාස කරන්ඩද යෙදුනු වග මෙයින් එලිදරවු කරනුයැ ..............." 

මේ සටහන ලියන්න පාදක කරගත්ත කෘති තමා ආචාර්ය තෙන්නකෝන් විමලානන්දයන්ගේ උඩරට මහ කැරැල්ල 3 වැනි කාණ්ඩය, ටිකිරි අබයසිංහ, ශ්‍රීමතී දේවරාජ සහ ජී.පී.වී. සෝමරත්න විසින් රචිත උඩරට රාජධානිය කෘතිය. ඒ හැරෙන්න අන්තර්ජාලයෙනුත් කරුණු සොයාගත්තා.