මීට කලින් දවසක මම ලියපු බුදුන්, ජේසුස්, විෂ්ණු, මහ්දි, දියසේන මේ ඔක්කොම අනාගතයේ පහළ වෙනවද ලිපිය ලියන කාලයේදී අනෙක් ආගම්වලට අයිති පොතපත් එහෙමත් කීපයක්ම කියෙව්වා. ඒවායිනුත් වැඩියෙන් කියෙව්වේ ක්‍රිස්තියානි ආගමට අයිති පොත්පත්.
ඒ
පොත්පත් අතරින් ශුද්ධ බයිබලයේ නව ගිවිසුමේ තිබුණු කතාවක් නිසා මට බෞද්ධ
සාහිත්‍යයේ තිබෙන ජාතක කතාවක් වගේම මහ රහතන් වහන්සේ නමක් සම්බන්ධ කතාවකුත්
මතක් වුණා. ඒ කතා කීපය අතරේ තියෙන සමානකම නිසා තමා ඒ ගැන අනික් අයටත්
කියන්න හිතුණේ.
මුලින්ම ශුද්ධ බයිබලයේ නව ගිවිසුමේ ශුද්ධවර මතෙව්තුමාගේ සුබ
අස්නේ තියෙන කතාව කියන්නම්.
මුහුද
මත ඇවිදීම කියන මාතෘකාවෙන් ශු.මතෙව් 14:17-32 තියෙන්නේ ජේසුස් වහන්සේ
තමන්ගේ දේශනාවක් අහන්න ආපු ජනතාවට දේශනාව පවත්වලා ඊට පස්සේ 5000 ක් පමණ
වුණු ඒ පිරිසගේ කුසගින්න නිවන්න පොඩි පාන් ගෙඩි 5 ක් හා මාළු දෙන්නෙක්ව
ප්‍රාතිහාර්යයක් මඟින් වැඩි කරලා අවසානයේදී ජනතාව විසිර යද්දී තමන්ගේ
ශ්‍රාවකයන්ටත් ඔරුවට නැඟලා තමන්ට කලින් එගොඩට යන්න නියම කරනවා.
හුදෙකලා
වුණු ජේසුතුමා කන්දට පිටත් වෙලා යාඥා කරනවා. මේ අතර වාරයේදී ජේසුතුමාගේ
ශ්‍රාවකයන් පිටත් වුණු ඔරුව තද සුළඟටකට අහු වෙනවා. මේ වෙද්දී රළ පහරත්
වේගවත් වෙලා තිබුණේ. මේ වෙලාවේදී ජේසුතුමා මුහුද මතින් ඇවිද ගෙන ශ්‍රාවකයන්
හිටිය ඔරුව දිහාවට එනවා.
ඒත් ජේසුතුමාගේ ශ්‍රාවකයෝ නම් මේ එන්නේ අවතාරයක් කියලා කලබල වෙලා බය වෙනවා. ඒත් ජේසුතුමා කතා කරලා කියනවා "බය වෙන්න එපා, ධෛර්යය ගන්න. මේ මම" කියලා.
ඒ වෙලාවේදී ජේසුතුමාගේ ප්‍රධාන ශ්‍රාවකයා වුණු පේදුරුතුමා ජේසුතුමාට කියනවා "ස්වාමිනි මේ ඔබ වහන්සේම නම් වතුර මතින් ඔබ වහන්සේ සමීපයට එන්න මට අණ කරන්න" කියලා.
ඒකට පිළිතුරු විදිහට ජේසුතුමා කියනවා "පැමිණෙන්න පේදුරු" කියලා.
ජේසුතුමාගෙන්
අණ ලැබීමත් එක්ක පේදුරුතුමා ඔරුවෙන් වතුරට බැහැලා වතුර උඩින් ජේසුතුමා
ගාවට ඇවිදගෙන යනවා. එහෙම යද්දී සුළඟ වේගවත් වුණු බව දැකපු පේදුරුතුමා බය
වෙනවා.
ඒත් එක්කම තමන් වතුරේ ගිලෙන්න පටන් ගත්තු නිසා පේදුරුතුමා හයියෙන් කෑ ගහනවා "ස්වාමීනී මාව බේරගන්න" කියලා.
ජේසුතුමා එතනට ඇවිත් පේදුරුතුමාගේ අතින් අල්ලාගෙන අහනවා "කෝ ඔබේ ශ්‍රද්ධාව ? ඔබේ ශ්‍රද්ධාව හීන වුණා නේද ? සැක කළේ ඇයි ?" කියලා
පස්සේ පේදුරුතුමාවත් අතින් අල්ලාගෙන ජේසුතුමා ඔරුවට නගිනවා. ඊට පස්සේ කුණාටු සුළඟ නැතිවෙලා ගිහින් සියල්ල සන්සුන් වෙනවා.
ඒ
කතාවේ කියවෙන විදිහට ජේසුතුමා ගැන පේදුරුතුමාගේ හිතේ ඇතිවුණු ශ්‍රද්ධාව
හේතු කරගෙන පේදුරුතුමා වතුර උඩත් ඇවිදිනවා. ඒත් ශ්‍රද්ධාව හීනවීමත් එක්කම
දියේ ගිලෙන්න ගියා.
මේ වගේම කතාවක් බෞද්ධ සාහිත්‍යයේ තියෙන්නේ පන්සිය පනස් ජාතක කතා පොත් වහන්සේ තුළ තියෙන 189 වෙනි ජාතක කතාව වෙන ශීලානිසංස ජාතකයේ.
ඒ
ජාතක කතාවේ නිධාන කතාව තමා බුද්ධ කාලයේ ජීවත් වුණු එක උපාසකයෙක් බුදුන්
වහන්සේව බැහැ දකින්න හිතාගෙන සැවැත් නුවර ජේතවනාරාමයට එන්න පිටත් වෙනවා.
ගමන එන අතර වාරයේදී මේ උපාසකයාට අචිරවතී ගංගාව තරණය කරන්න වෙනවා.
ගඟේ ඔරු පාරු පදින තොටියෙකුත් දැක ගන්න නොහිටපු නිසා උපාසකයා "ඔරු පාරු නැති වුණාට කමක් නැහැ බුද්ධාලම්භන ප්‍රීතියෙන් යනවා" කියලා හිතලා ගල් තලාවක් මතුපිට ඇවිදිනවා හා සමානව අචිරවතී ගංගාවේ දිය කඳ මතින් ඇවිදගෙන යනවා.
ගඟ
මැදට එද්දී හයියෙන් වතුර ගලන නිසා මේ උපාසකයාගේ හිතේ බය ඇතිවෙලා
බුද්ධාලම්භන ප්‍රීතිය අඩුවීමත් එක්ක දියේ ගිලෙන්න යනවා. ඒත් ආයි පාරක්
බුද්ධාලම්භන ප්‍රීතිය උපදවා ගත්තු ඒ උපාසකයා ආයි පාරක් ගල් තලාවක් උඩ
ඇවිදිනවා හා සමානව ගංගාව උඩින් ඇවිදගෙන ගිහින් අවසානයේදී ජේතවනාරාමයේදී
බුදුන් වහන්සේව බැහැ දකිනවා.
මේ
කතාවේ විදිහටත් බුදුන් වහන්සේ ගැන තමන්ගේ හිතේ ඇතිවුණු අසීමිත ශ්‍රද්ධාව
[බුද්ධාලම්භන ප්‍රීතිය] හේතු කරගෙන වතුර උඩ ඇවිදපු උපාසකයා බුද්ධාලම්භන
ප්‍රීතිය අඩුවීමත් එක්ක දියේ ගිලෙන්න ගියත් ආයි පාරක් බුද්ධාලම්භන ප්‍රීතිය
ඇති කරගෙන වතුර උඩින් ඇවිදගෙන ගිහින් ගංගාව තරණය කරනවා.
මේ
කතා දෙකත් එක්කම මේ කතාවත් නොකිව්වත් අඩුවක් කියලා හිතලා තමා මේ කතාවත්
කියන්න හිතුවේ. බුද්ධ කාලයේ සැවැත් නුවර බමුණු කුලේක ඉපදුණු වක්ඛලී කියන
තරුණයා බුදුන් වහන්සේගේ ශෝභාව දැකලා හැමදාම බුදුන් වහන්සේව බැහැ දකින්න
පටන් ගත්තා. ඊට පස්සේ මහණ වුණොත් හැම වෙලාවේම වගේ බුදුන් වහන්සේව දැකගන්න
පුලුවන් කියලා හිතලා මහණත් වෙනවා.
වක්ඛලී හාමුදුරුවන්ගේ මේ ක්‍රියා කලාපය දැකපු බුදුන් වහන්සේ වක්ඛලී හාමුදුරුවන්ට දේශනා කරනවා "මේ
කුණු කය දිහා බලාගෙන ඉන්න එකේ ප්‍රයෝජනය මොකක්ද ? යමෙක් බුදුන් දකීද ඔහු
ධර්මය දකිනවා ඒ වගේමයි යමෙක් ධර්මය දකිනවාද ඔහු බුදුන් දකිනවා" කියලා.
ඒත්
මේ අවවාදයත් වක්ඛලී හාමුදුරුවෝ පිළිගත්තේ නැති නිසා තමන් වහන්සේ වැඩ සිටිය
ස්ථානයෙන් වක්ඛලී හාමුදුරුවන්ට පිටමං කරනවා. බුදුන් වහන්සේ තමන්ව පිටමං
කරපු නිසා හුඟක් කම්පා වුණු වක්ඛලී හාමුදුරුවෝ සිය දිවි නසාගන්න හිතාගෙන
ගිජුකුළු පව්ව මුදුනට නැගලා බිමට පනින්න උත්සහ කරනවා.
ගිජුකුළු පව්ව
මේ
සිදුවීම බුදු ඇසට හසු වීමත් එක්ක බුදුන් වහන්සේ වක්ඛලී හාමුදුරුවන්
ඉදිරියේ බුදු රැස් කදක් විහිදවලා "වක්ඛලිය, යමෙක් අසීමිත බුද්ධාලම්භන
ප්‍රීතියෙන් වෙසෙනවාද ඔහු බුදු සසුන ගැන පැහැදීමෙන් වෙසෙනවා. අනික්
සිතුවිලිවලට හිතේ ඉඩක් නොමැති නිසා විමුක්තිය සාක්ෂාත් කරගෙන ඉපදීම නැති
කරනවා" කියලා දේශනා කරනවා.
ඊට
පස්සේ එතැන මැවුණු බුදු රුව අත දිගු කරනවා. බුද්ධාලම්භන ප්‍රීතියෙන් පිනා
ගිය වක්ඛලී හාමුදුරුවෝ බුදු රුවේ අත අල්ලාගෙනම ගිජුකුළු පව්වේ ඉදන් පහතට
වැටෙන කාලය අතරතුරේදීම රහත් භාවයට පත් වෙනවා. බුදුන් වහන්සේ පස්සේ
ශ්‍රද්ධාධික භික්ෂූන් වහන්සේලාගෙන් අග්‍රස්ථානය වක්ඛලී හාමුදුරුවන්ට
ප්‍රදානය කරනවා.
ඒ
කතාවේදීත් කලින් කතාවේ වගේම අසීමිත බුද්ධාලම්භන ප්‍රීතිය නිසා ගිජුකුළු
පව්වෙන් පහතට වැටෙද්දීත් සිත එකඟ කරගෙන රහත්බව සාක්ෂාත් කරගන්න වක්ඛලී
හාමුදුරුවන්ට පුලුවන් වෙනවා.
මේ
කතා පිරික්සද්දී ශ්‍රද්ධාව කියන එක වැදගත් සාධකයක් බව පැහැදිලියි. හැබැයි
අවශ්‍ය වෙන්නේ ආකාරවතී ශ්‍රද්ධාව. එහෙමත් නැත්නම් කරුණු නිවැරදිව වටහාගෙන
අවබෝධයෙන් ඇති කරගන්නවා වූ පැහැදීම. එහෙම නැතුව අමූලිකා ශ්‍රද්ධාව නෙමෙයි.
ඔය අමූලිකා ශ්‍රද්ධාව තියෙන ඇත්තෝ තමා හාමුදුරුවෝ පිණ්ඩපාතේ වඩිද්දී මිදුල
අතු ගගා හිටිය ඉදල හාමුදුරුවන්ගේ ඇඟෙන් හේත්තු කරලා හාමුදුරුවන්ට දණ ගහලා
වඳිනවා වගේ වැඩ කරන්නේ.





