ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පළ කෙරෙන කැඩපත පුවත්පතේ අප්‍රේල් කලාපය වෙනුවෙන් මේ සටහන රචනා කෙරුණු නිසා සටහන "ටිකක්" බරසාර විදිහට ලියා ඇති බව කරුණාවෙන් සළකන්න :D
අලුත් අවුරුද්ද විවිධාකාර ජාතීන් විවිධාකාරයෙන් සමරන අතර බහුතරය පිළිගත් ක්‍රමය අනුව ජනවාරි 1 වනදා නව වසරක් ඇරඹෙන අතර එදින උත්සවාකාරයෙන් සමරනු ලැබේ. එනමුත් සිංහලයන් හා හින්දූන් අප්‍රේල් 14 වනදා තම අලුත් අවුරුද්ද ලෙස සලකා එය උත්සවාකාරයෙන් සමරනු ලබන බව පෙනේ.
වර්තමානයේදී විවිධාකාර අංග එක්වෙමින් නවීකරණය වී හෝ පරිහානියට ලක්ව ඇති අලුත් අවුරුද්ද යන සංකල්පය අතීතයේදී සැමරූ ආකාරය විමසා බැලීම අතිශය කාලෝචිත වූවකි. එහිදී මෑත අතීතය ලෙස සැලකිය හැකි අවසන් රාජධානිය වන මහනුවර රාජධානි සමයේදී අලුත් අවුරුදු උත්සවය සළකා බැලීම සිදු කළ හැකිය.
එහිදී දෙවන රාජසිංහ රජ සමයේදී වසර 19 ක් උඩරට රාජ්‍යයේ සිරකරුවෙක් ලෙස කල් ගත කළ ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස් [කණිෂ්ඨ] විසින් රචනා කරන ලද Historical Relations of the Island of Ceylon කෘතියේ කරුණු පිළිබඳව අවදානය යොමු කළ හැක. ලාංකියයන් සමඟ එකට ජීවත් වෙමින් රැස් කර ගත් කරුණු පදනම් කොටගෙන දේශපාලන, ආර්ථික, සමාජීය කරුණු රැසක් හෙළිදරව් කරන කෘතියක් රොබට් නොක්ස් රචනා කර ඇති බව පෙනේ.
නොක්ස් දක්වන පරිදි මහනුවර රාජධානි සමයේදී අලුත් අවුරුදු උත්සවය පවත්වා ඇත්තේ මාර්තු 26,28 හෝ 29 යන තෙදිනෙන් එක් දිනයකදීය. වර්තමාන තත්වය සමඟ මේ කරුණු බෙහෙවින් පරස්පර වන අතර වර්තමානයේදී අප්‍රේල් 13 වනදා පරණ අවුරුද්ද ලෙසත් අප්‍රේල් 14 වනදා අලුත් අවුරුද්ද ලෙසත් සලකනු ලබන බව ඔබත් මමත් හොඳාකාරවම දනිමු. මේ පරස්පරය ඇතිවන්නට ඇත්තේ සිංහල හෝරා ක්‍රමය සහ වර්තමාන සම්මත හෝරා ක්‍රමය අතර පවතින පරස්පරතාව නිසායැයි අනුමාන කළ හැක.
කෙසේ නමුත් ඉහත දැක්වූ පරිදි දින තුනෙන් එක් දිනක් අලුත් අවුරුදු දිනය ලෙස තෝරාගත් පසු ඒ දිනයේදී රජතුමා උදෑසනම පිබිදී නැකැත්කරුවන්ගේ උපදෙස් පරිදි ස්නානය කරන බව දැක්වේ. වර්තමානයේදී පරණ අවුරුද්දට ස්නානය කිරීම නමින් මේ චාරිත්‍රය පවතින බව සිහිපත් කළ යුතුය.
අලුත් අවුරුද්දට නැකැත් අනුව වැඩ අත් හරින බවත් පසුව නක්ෂත්‍රකරුවන් දැක්වූ සුභ මොහොතට පිරිමි තමන්ගේ කෘෂිකාර්මික දිවි පෙවෙත සමඟ බැදුණු උපකරණ වන උදළු, කැති ආදිය අතට ගෙන වැඩ අල්ලන බවත් කාන්තාවන් ඉදළ, කුල්ල ආදී දෛනික දිවියේ භාවිතා කරන උපකරණ අතට ගෙන වැඩ අල්ලන බව නොක්ස් දක්වයි.
සුභ නැකැත් පාදක කොටගෙන අනාදිමත් කාලයක පටන් අලුත් අවුරුදු චාරිත සිදුවූ බව මෙයින් පෙනෙන අතර සුභ නැකැතකින් නව වසර සඳහා වැඩ ඇල්ලීම හෙවත් වැඩ කටයුතු ආරම්භ කිරීමෙන් නව වසරේ කටයුතු සාර්ථකව ඉටුකරගත හැකි බව ජන විශ්වාසය වූ බව පැහැදිලිය.
සුභ නැකැත් පාදක කොටගෙන අනාදිමත් කාලයක පටන් අලුත් අවුරුදු චාරිත සිදුවූ බව මෙයින් පෙනෙන අතර සුභ නැකැතකින් නව වසර සඳහා වැඩ ඇල්ලීම හෙවත් වැඩ කටයුතු ආරම්භ කිරීමෙන් නව වසරේ කටයුතු සාර්ථකව ඉටුකරගත හැකි බව ජන විශ්වාසය වූ බව පැහැදිලිය.
අලුත් අවුරුද්ද සමඟ බැඳුණු විශේෂිතම ක්‍රීඩාව ලෙස නොක්ස් හඳුන්වන්නේ පොර පොල් ගැසීමයි. ඒ හැරෙන්නට අං ඇදීමද සිදුවූ බව නොක්ස් දක්වතත් ඒ ක්‍රීඩාවේ යෙදීමේදී ක්‍රීඩකයන් මෙන්ම නරඹන්නන් සිදු කළ අශෝභන ක්‍රියා නිසා රජතුමා අං ඇදීම තහනම් කළ ක්‍රීඩාවක් ලෙස නම් කළ නිසා ක්‍රමයෙන් එම ක්‍රීඩාව අභාවයට යන බව දැක්වේ.
වරක් ගම්පොළ ප්‍රදේශයේ පිරිසක් රහසිගතව අං ඇදීමේ නියැලී ඒ බව මහ වාසළට සැලවීමත් සමඟ ඒ සඳහා දඬුවම් කිරීමට පැමිණි අදිකාරම්වරයෙක් උපායශීලීව මිනිසුන් රැස් කරවා ගෙන දඩ මුදල් අය කළ බව නොක්ස් විස්තර කරයි.
කෙසේ වෙතත් පොර පොල් ගැසීම මෙන්ම අං ඇදීම යන ක්‍රීඩා දෙකම පත්තිනි දෙවියන් මුල් කොටගෙන සිදු කරන ක්‍රීඩා වන අතර එම ක්‍රීඩාවන්ගේ උපත දක්වන කතා පුවත්වලදීද පත්තිනි දෙවියන් පිළිබඳව සඳහන් හමුවේ. ඒ අනුව රෝග නිවාරණය කරන, සෞභාග්‍යය සලසන පත්තිනි දෙවියන් මුල් කොටගෙන අලුත් අවුරුදු ක්‍රීඩා පැවැත්වීම හරහා උදාවූ නව වසරේ නීරෝගීභාවය හා සෞභාග්‍යය පොදු ජනයා පැතූ බව පෙනේ.
අලුත් අවුරුද්ද සඳහා පිළියෙල කළ කැවිලි වර්ග පිළිබඳව විමසා බැලීමේදී නොක්ස් කැවිලි වර්ග සුළු ප්‍රමාණයක් පිළිබඳව සඳහන් කළද ඊට වඩා වැඩි ප්‍රමාණයක් පැවති බව වර්තමානයේ පවතින කැවිලි අනුව අනුමාන කළ හැකිය.
උඩරට රාජධානිය සමඟ ලන්දේසි සබඳතා ඇරඹීම
I විමලධර්මසූරිය සහ ස්පිල්බර්ජන් හමුව
I විමලධර්මසූරිය සහ ස්පිල්බර්ජන් හමුව
නොක්ස් දක්වන පරිදි සහල් පිටි සහ පැණි එක් කර අනා තෙල් බැද ගන්නා කැවුම් නමින් රස කැවිල්ලක් වූ අතර ලංකාවට ඕලන්දයන් පැමිණි මුල්ම අවස්ථාවේදී I වන විමලධර්මසූරිය රජු ඕලන්දයන්ට කැවුම්වලින් සංග්‍රහ කර ඇත. කැවුම් රස බැලූ ඕලන්දයන් මේවා මිනිස් අතකින් නිර්මාණය කළ එකක්යැයි සිතිය නොහැකි නිසා මේවා ගස්වලින් කඩා ගන්නා දෙයක්දැයි විමසූ බව දක්වයි. ඒ කරුණ සත්‍යයක් ලෙස ගතහොත් කැවුම් සහ රස කැවිලි සැකසීමේලා ලාංකීය කාන්තාවන් දැක්වූ හැකියාව පිළිබඳව මනා තක්සේරුවක් එයින් ලබාගත හැකිය.
කැවුම් හැරෙන්නට බැදි හාල් පිටි පැණියෙන් අනා එයට ගම්මිරිස්, කරදමුංගු, කුරුඳු පොතු ආදිය මිශ්‍ර කොට ගුළි ලෙස තනා ගන්නා රස කැවිල්ල අග්ගලා වශයෙන් හැඳින්වූ බව නොක්ස් දක්වන අතර අග්ගලා ලෙසට අලුවා නම් කැවිල්ලක් සකසා ගන්නා බවද ඔහු කියයි. අලුවා හැඩයෙන් පැතිලි වන බව විශේෂයෙන් දක්වා තිබේ.
අලුත් අවුරුද්ද හා බැඳුණු රජ වාසළ සිරිත් විරිත් සම්බන්ධව නොක්ස් වැඩි අවදානයක් දක්වා ඇති බව පෙනෙන අතර සාමාන්‍ය ජනයා අලුත් අවුරුද්ද සැමරූ ආකාරය පිළිබඳව ඔහු දක්වන්නේ අල්ප තොරතුරකි. ලාංකේය වංසකතා රචනා වූ සමයේ පටන් ඒ තත්වය පොදුවූ බව පෙනේ.
නොක්ස් දක්වන පරිදි අලුත් අවුරුදු උත්සවය සඳහා රජ මාළිගය විශේෂයෙන් සැරසීමකට ලක් කරන අතර එහිදී මාළිගාවේ දොරටුවක් දොරටුවක් පාසාම තොරණ් බැඳ සරසා ඇත. එහිදී එක් එක් පෙළට සතක් හෝ නමයක් වන පරිදි මධ්‍යයට පැමිණෙන විට උස් වන පරිදි රිටු සිටුවා එම රිටි සඳහා හරස් ලී පෙළක් බැඳ දොරටුවේ ආරක්කු එන පරිදි සකසා ඇත. තොරන් මුදුනේ පිහිටි හරස් ලීවල ගෙඩි පොකුරු එල්වා තිබෙන අතර මිනිස්, සත්ව රූ සහිත අලංකාර ධජ විවිධ වර්ණවලින් යුතු ධජද ඒවායේ එල්වා ඇත. මේ හැරෙන්නට උස් රිටි සිටුවා ඒවායේද විවිධ වර්ණයේ ධජ එල්වා මිණිගෙඩි එල්වා ඇත.
මේ ආකාරයෙන් අලංකෘත වූ රාජ මාළිගාව දෙව් විමනක් හා සමාන බව මිනිසුන් පැවසූ බව නොක්ස් ප්‍රකාශ කරන අතර රාසිං දෙවියන් නමින් රජුව දෙවියෙක් ලෙස ගරු බුහුමනට පත්ව තිබූ බව මෙමඟින්ද පැහැදිලි වේ.
අලුත් අවුරුද්ද වෙනුවෙන් රාජකීය හමුදාව පෙළ ගැසී සිටින බවත් රජතුමා සර්වාභරණයෙන් සැරසී රාජකීය හමුදාව පිරික්සා බලන අතර ඒ අවස්ථාවේදී රජුට ගරු කිරීමක් ලෙස ආචාර වෙඩි මුර පැවැත්වීම කාලතුවක්කු සේනාංකය මඟින් සිදුකර ඇත.
පසුව අදිකාරම්වරුන්ගේ සිට පහළ තනතුරු හොබවන නිලධාරීන් දක්වා වන රාජකීය නිලධාරීන් රජු වෙනුවෙන් අලුත් අවුරුදු "පෙනුම් කත්" රැගෙන එන අතර ඒ යටතේ රජු ප්‍රිය කරන්නේ යැයි හැඟෙන අවි ආයුධ, ආභරණ, වස්ත්‍ර, මුතු මැණික් ආදිය රජුට පිළිගන්වා ඇත. මේ සිරිත අද දක්වාම අලුත් අවුරුද්දේදී වැඩිහිටියන්ට ත්‍යාග පිරිනැමීම ලෙස පවතින බව පෙනේ.
රොබට් නොක්ස් විසින් දක්වන විස්තරවලින් පැරැන්නන් අලුත් අවුරුදු උළෙල සැමරූ ආකාරය පිළිබඳ 100% ක් තොරතුරු ලබාගත නොහැක්කා සේම 100% නිවැරදි තොරතුරුද ලබාගත නොහැක. ඒ කෙසේ වෙතත් ලැබෙන තොරතුරු විමසිල්ලෙන් සැලකීමේදී පැහැදිලි වන්නේ ඉතාමත් සරල අයුරින් පැරැන්නන් අලුත් අවුරුදු උත්සවය සමරා ඇති බවයි. වර්තමානයේ අලුත් අවුරුද්ද සංකීර්ණ කොටගනිමින් එයින් පීඩා විඳින ජනයාට අතීතය කදිම පාඩම් උගන්වයි.
[මෙම සටහන ලිවීමේදී රොබට් නොක්ස් රචනා කළ කෘතිය "එදා හෙළදිව" නමින් ඩේවිඩ් කරුණාරත්න මහතා විසින් සිංහලයට පරිවර්තනය කරන ලද කෘතිය පාදක කොටගෙන ඇත.]





