Showing posts with label සීතාවක රාජසිංහ. Show all posts
Showing posts with label සීතාවක රාජසිංහ. Show all posts

Sunday, September 2, 2012

දෙවිවරු වුණු අයියලා, මල්ලිලා, පුතාලා සහ මුණුබුරන් - ඉතිහාසයේ අප්‍රකට කතා 16

 දෙවියෙක් වුණු ඔසිරිස් නම් ෆාරාවෝ

තමන් මැරුණාට පස්සේ දෙවියෙක් විදිහට වන්දනා මාන කරනවාට කවුරුද අකමැති වෙන්නේ. ඒක නිසා පැරණි මිසරයේ සමහර ෆාරාවෝවරු වගේම බලවත් සෙන්පතියෝ අලංකාර විදිහට තමන්ගේ සොහොන් ගැබවල් නිර්මාණය කළා වගේම තමන්ගේ ප්‍රතිමාවන් දෙවිවරුන්ගේ ප්‍රතිමා අතරේ තබලා තමන් විසින් තමාව දේවත්වයට පත් කරගන්න උත්සහයක් දරපු බව පෙනෙනවා. 

ඒත් ශ්‍රී ලංකාවේ තත්වය මීට වඩා වෙනස්. ලංකාවේ මිනිස්සු හුරු පුරුදු වුණේ ජනතාවට හිතැති, රටට උදාර මෙහෙයක් කරපු රජවරුන් වගේම ඒ ඒ ප්‍රදේශවල මහජන සේවයේ යෙදුණු පුද්ගයන්ව මරණයෙන් පස්සේ ජනතාව විසින්ම දේවත්වයට පත් කරලා වන්දනා මාන කරන එක. 

ඒක කාගේවත් අණ කිරීමක්වත් බල කිරීමක්වත් නැතුව සිදුවුණු දෙයක්. ඒ උදාර පුද්ගලයා මියගියත් තමන්ගේ උදව්වට සිටිනවා කියන මිනිස්සුන්ගේ විශ්වාසය නිසාමයි ඒ විදිහට දේවත්වයෙන් සැලකුවේ.

මේ විදිහට දේවත්වයට පත් කරපු රජවරු ගැන හොයලා බැලුවොත් වංස කතා සාහිත්‍ය අනුව දුටුගැමුණු, සිරි සඟබෝ, මහසෙන්, IV අග්බෝ වගේ රජවරුන් දක්වන්න පුලුවන්. 

 මින්නේරි දෙවියන්ගේ යෝධ නිර්මාණය වූ මින්නේරි වැව

හැබැයි මේ රජවරුන්ගෙන් සෘජුවම දෙවි කෙනෙක් විදිහට වන්දනාවට පාත්‍ර වුණේ මහසෙන් රජතුමා විතරයි. අද දක්වාම පොළොන්නරු ප්‍රදේශයේ මින්නේරි දෙවියන් නමින් වන්දනාවට මහසෙන් රජතුමා පාත්‍ර වෙන්නේ ඒ ප්‍රදේශයේ එතුමා ඉදි කරවපු වාරි කර්මාන්ත නිසා වන සේවාව නිසාමයි.

ඒ හැරෙන්න මේ දක්වපු ලේඛනයේ අනෙක් රජවරුන් වන්දනීය පුද්ගලයන් විදිහට සළකපු බව පේන්නේ ඒ රජවරුන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කරලා ස්ථූප නිර්මාණය කරපු නිසා වගේම භෂ්මාවශේෂ ඖෂධ වශයෙන් පවා මිනිසුන් භාවිත කරපු බවට සාධක හමුවෙන නිසා. 

දක්ඛිණ ථූපයෙන් සොයාගත් දුටුගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ

දුටුගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ තැන්පත් කරලා දක්ඛිණ ථූපය නිර්මාණය කරපු කතාවයි කියවන්න මෙතනින් යන්න

මේ හැරෙන්න සාහිත්‍ය මූලාශ්‍රවලින් හමුවෙන රාවණා රජතුමා, එතුමාගේ සහෝදරයා වුණු විභීෂණ, සමනොළ කන්දට අධිපති සුමන සමන්, කතරගම ප්‍රදේශයට අධිපතියා වූ මහාසේන වැනි පාලකයන්වත් පසුකාලීනව දේවත්වයේලා ඒ ඒ ප්‍රදේශවල වගේම ලංකාව පුරාමත් දැකගන්න පුලුවන්.

රංවල දෙවියෝ

මේ හැරෙන්න මහජනතාවට සේවයක් කරපු අය විදිහට කලා වැව ආසන්නයේ හිටිය කාල "කඩවර දෙවියෝ" නමිනුත්, කැලණි ගඟ අසබඩ සිටිය රංවල මුත්තා "රංවල දෙවියෝ" නමිනුත් වන්දනාවට පාත්‍ර වෙනවා.

මේ විදිහට සංක්ෂිප්තව කරුණු කතා කළේ අද කතාවට ප්‍රවේශයක් ගන්න. අද කතාවෙන් කියන්නේ එකම පවුලේ සහෝදරවරු වගේම එයාලගේ පුතාලා වගේම මුණුබුරාලා පිරිසක් දේවත්වයට පත්වුණු හැටි.

ශිව, පාර්වතී, ගනේෂ, ස්කන්ධ දේව පවුල

මම විශ්වාස කරන විදිහට සැබවින්ම ජීවත්වුණු එකම පවුලක පිරිසක් මේ විදිහට දේවත්වයට පත්වෙලා තියෙන එකම අවස්ථාව මේක වෙන්න ඕනේ. [හින්දු දේව පුරාණයේත් පවුලක් විදිහට දෙවිවරුන්ගේ ඥාති සබඳතා ගැන කතා කළත් ඔවුන් ආරම්භයේදී ඉදලාම දෙවිවරුන් විදිහටනේ හිටියේ]

කෝට්ටේ යුගයේ ලංකාව පාලනය කරපු VIII වීර පරාක්‍රමබාහු කියන රජතුමා ගැන ඔයාලා අහලා ඇතිනේ. අවසන් වරට ලංකාව එක්සත් කරපු රජතුමා වුණු VI පරාක්‍රමබාහු රජතුමාගේ පුතෙක් තමා මේ රජතුමා.

ඒ වගේමයි මේ රජතුමා යාපනය කෝට්ටේ පාලනයට යටත් කළ සපුමල් කුමාරයාගේ සහෝදරයෙක්. කෝට්ටේ පාලනයට කන්ද උඩරට යටත් කරලා අම්බුලුගල ප්‍රදේශයේ තමන්ගේ පාලනය ගෙනගිය නිසා මේ කුමාරයාව මුලින් හැඳින්වුණේ අම්බුලුගල කුමාරයා කියලා.

කොහොම නමුත් තවත් මතයක් තමා සපුමල් කුමාරයා සහ අම්බුලුගල කුමාරයාගේ පරාක්‍රමබාහු රජතුමාගේ දරුවන් නෙමෙයි හදාගත්තු දරුවන් කියලා. කොහොමින් කොහොම හරි VI පරාක්‍රමබාහු රජතුමාගේ ඇවෑමෙන් රජතුමා වුණේ එතුමාගේ දියණිය වුණු උලකුඩය දේවියගේ පුත්‍රයා වුණු ජයබාහු. ඒකට විරුද්ධ වුණු සපුමල් කුමාරයා ජයබාහුව මරලා VI බුවනෙකබාහු නමින් රජවුණා.

එයාගේ ඇවෑමෙන් රජවුනේ පුත්‍රයා වුණු VII පණ්ඩිත පරාක්‍රමබාහු. ඒකට විරුද්ධ වුණු සපුමල් කුමාරයා එහෙමත් නැත්නම් බුවනෙකබාහුගේ සහෝදරයා වුණු අම්බුලුගල කුමාරයා VII පණ්ඩිත පරාක්‍රමබාහුව මරලා VIII වීර පරාක්‍රමබාහු නමින් රජවෙනවා.

මේ VIII වීර පරාක්‍රමබාහු එහෙමත් නැත්නම් අම්බුලුගල කුමාරයට බිසෝවරුන් දෙදෙනෙක් ඉන්නවා. මේ බිසෝවරුන් දෙන්නා සහෝදරියන්. අග බිසවට දාව ධර්ම පරාක්‍රමබාහු, ශ්‍රී රාජසිංහ, විජයබාහු කියලා දරුවෝ තුන් දෙනෙකුත් අනෙක් බිසවට දාව සකලකලා වල්ලභ සහ තනිය වල්ලභ කියලා දරුවෝ දෙන්නෙකුත් හිටියා. ඒ හැරෙන්න රජතුමාට දියණියකුත් සිටි බව කියවෙනවා.

රජතුමා තමන්ගේ දරුවන්ට පාලනය කරන්න කෝට්ටේ රාජධානියේ විවිධ ප්‍රදේශ භාරදීපු බව කියවෙනවා. ඒ අනුව ධර්ම පරාක්‍රමබාහු පියරජතුමා වෙනුවෙන් අගනුවරත් විජයබාහු රයිගමත් ශ්‍රී රාජසිංහ මැණික්කඩවරත් සකලකලා වල්ලභ උඩුගම්පොළත් තනිය වල්ලභ මාදම්පේ ප්‍රදේශයේත් පාලනය ගෙනියනවා.

කෝට්ටේ අගනුවර

පිය රජතුමාගේ ඇවෑමෙන් ධර්ම පරාක්‍රමබාහු කුමාරයා IX ධර්ම පරාක්‍රමබාහු නමින් රජවෙනවා. හැබැයි ඒක එහෙම නොවුණා කියලාත් ප්‍රබල විරෝධයක් තියෙනවා. කොහොම නමුත් මේ සහෝදර රජවරු පස් කට්ටුව බොහොම සමඟියෙන් පාලනය අරගෙන ගිය බව කියවෙනවා.

විශේෂයෙන් ලංකාවට පෘතුගීසීන් පැමිණියාට පස්සේ ඔවුන් සමඟ සබඳතා පවත්වද්දී වගේම ගිවිසුම්වලට එළඹෙද්දී සහෝදර රජුන් පස් කට්ටුව එකා මෙන් කටයුතු කරපු බව දැක්වෙනවා. 

විශේෂම කරුණක් දැක්වුවහොත් ධර්ම පරාක්‍රමබාහු ඇවෑමෙන් ඒ වෙද්දී හිටිය වැඩිමහල්ම කුමාරයා වුණු සකලකලා වල්ලභගෙන් සිහසුන් භාරගන්න කියලා ඉල්ලීමක් කරපු අවස්ථාවේ ඒක ප්‍රතික්ෂේප කරලා සිහසුන විජයබාහු කුමාරයට භාර කරන්නත් සකලකලා වල්ලභ ක්‍රියා කරනවා. තමන් අග බිසවගේ පුත්‍රයා නොවුණු නිසා ඉදිරියේදී රාජ්‍යයේ වියවුල් සහගත තත්වයක් ඇතිවෙයි කියලා එතුමා දූර්දර්ශීව ක්‍රියා කරපු බව පේනවා. 

අපේ අද කතාවට සම්බන්ධ වෙන්නේ මේ සකලකලා වල්ලභ කුමාරයාත්, තනිය වල්ලභ කුමාරයාත් ඔවුන්ගේ දරුවනුත් තමා.

ධර්ම පරාක්‍රමබාහු සමයේ හලාවත ප්‍රදේශයට ගොඩ බැහැපු කයාල් පටුනෙන් ආපු අදිරාස රායන් කියන මුදලි සහ මුස්ලිමරුන් පිරිස රජතුමාගේ මුතුපරවල මුතු ලබාගන්නත් අලි ඇතුන් අල්ලන්නත් පටන් ගත්තා. ඒක වළක්වන්න රජතුමාගේ අණින් උඩුගම්පොළ හිටිය සකලකලා වල්ලභ තමගේ සහෝදර මාදම්පේ පාලකය වුණු තනිය වල්ලභත් එක්ක පිටත් වුණා.

අශ්වයෙක් පිට නැගුණු සකලකලා වල්ලභ සහ ඇතෙක් පිට නැගුණු තනිය වල්ලභ සේනාව මෙහෙයවලා අදිරාස රායන් ඇතුළු මුස්ලිම්වරුන්ව මරා දමනවා. ඒ ජයග්‍රහණය රාජාවලිය දක්වන්නේ "ඇත්තු ගන්ඩ ආ යොනුන්ඩ බල්ලකු විචරත් බැඳ ගන්ඩ නොදී නැවුත් පොඩි කොට මේ ආකාරයෙන් යුධ ජයගෙන..." ආදී වශයෙන්. 

මේ කාලයේදීම උඩරට හිටිය සාමන්ත පාලකයා වාර්ෂික දැකුම් ගෙවන්නේ නැතුව ඔටුන්නක් තනාගෙන ස්වාධීන පාලකයෙන් වෙන්න යන ආරංචිය ලැබුණු නිසා මැණික්කඩවර හිටිය ශ්‍රී රාජසිංහ කුමාරයා ඒ තත්වය සමනය කරවලා නැවත වරක් උඩරට ප්‍රදේශය කෝට්ටේ රාජධානියේ යටතට පත් කරවනවා. 

ඒත් ටික කාලකින්ම නැවත වරක් උඩරට කැරලි සහගත තත්වයක් ඇතිවෙන නිසා ඒක මර්දනය කරන්න පිටත් වෙන්නේ උඩුගම්පොළ සකලකලා වල්ලභ. කැරලිකරුවන් මර්දනය කරපු සකලකලා වල්ලභ කුමාරයා නැවතත් කෝට්ටේ බලය ඒ ප්‍රදේශවල පතුරවනවා.

මේ විදිහට දේශපාලනික ස්ථාවරත්වයක් ඇතිකරන්න වගේම ආර්ථික ස්ථාවරත්වයක් ඇතිකරන්නත් සකලකලා වල්ලභගෙන් ලොකු සේවයක් වූ බව පෙනෙනවා.

 මුතුරාජවෙල වර්තමානයේදි

අත්තනගලු ඔයේ අතු ගංගාවක් වෙන කුඩා ඔය මිනුවන්ගොඩ වැගොව්ව ප්‍රදේශයේදි විශාල වේල්ලක් බැඳීමෙන් හරස් කරලා කෘෂිකර්මයට ජලය ලබාදෙන්න සකලකලා වල්ලභයන් කටයුතු කළා වගේම මුතුරාජවෙල සංවර්ධනය කරලා ඒ රාජකීය වෙල් යායෙන් විශාල අස්වැන්නක් ලබාගන්නත් කටයුතු කරපු බව කියවෙනවා.  

ඒ හැරෙන්න උඩුගම්පොළ රාජධානියට අයත් වෙලා තිබුණු රත්මලවිට, කිරිඳිවිට, මාකේවිට, අඹන්විට, තඹවිට, අක්කරවිට, උදම්මිට, කොස්ඕවිට, දික්ඕවිට, ඕපාත කියන ප්‍රදේශවලත් වාරි කර්මාන්ත මඟින් ජලය ලබාගෙන වී ගොවිතැන සාර්ථකව කරවන්න සකලකලා වල්ලභයක් කටයුතු කරලා තියෙනවා. 


සකලකලා වල්ලභයන් ස්නානය කළ පොකුණ තිබූ තැන වර්තමානයේදී

මේ ආකාරයෙන් රටවැසියා වෙනුවෙන් ඉමහත් සේවයක් කරපු සකලකලා වල්ලභයන්ව මරන්න කුමන්ත්‍රණයක් එතුමාගේම පුතුන් සත් දෙනා විසින් දියත් කරනවා. ඒ අනුව සකලකලා වල්ලභයන් ස්නානය සඳහා භාවිතා කරන පොකුණේ උල් සිටුවලා තියෙනවා පොකුණට බැස්සාම ඇනිලා මියයන විදිහට. 

ඒත් පොකුණේ වතුරේ කළු බඹරෙක් ඉන්න ආකාරය දැකලා හොයලා බලද්දී මේ කුමන්ත්‍රණය හෙළිකරගන්න පුලුවන් වෙනවා. පුත්තු 7 දෙනා මරාදමන්න පියා තීරණය කලත් මවගේ උදව්වෙන් කුමාරවරු 7 දෙනා මාළිගාවෙන් පැනලා ගිහින් අලගල ප්‍රදේශයේ තිබෙන මහකන්ද ප්‍රදේශයේ සැඟවිලා ජීවත් වෙනවා. 

මේ කුමාරවරුන් 7 දෙනාගෙන් එක් කෙනෙක් තමන්ට පුද සත්කාර කරන ජනතාවට පිහිට වෙනවා කියලා හිතාගෙන පර්වතයකින් පැනලා සියදිවි නසා ගන්නවා. පස්සේ ඒ කුමාරයා "කළු කුමාර දේවතා බණ්ඩාර " නමින් ප්‍රසිද්ධ වෙනවා. 

තවමත් ඒ ප්‍රදේශවල වී අස්වනු කපාගෙන ඒවා ගෙවල්වලට ගන්න කලින් කළු කුමාර දේවතා බණ්ඩාර යාදින්න කියලා කළු කුමාර දෙවියන්ගෙන් ආශිර්වාද ලබාගන්න කටයුතු කරනවා. 

මේ තියෙන්නේ ඒ කියනවාය කියන කළු කුමාර දේවතා බණ්ඩාර යාදින්න

"අවසර පස්වාන් දහසකට තිරහත් කාලයක් කප්පන් තිරයක් අහස පොළව පවතිනාතේකට ඉරහඳ පවතිනාතේකට කළු කුමාර දේවතා බණ්ඩාර දේවයන් වහන්ස, ඔබ වහන්සේ සකලකලා වල්ලකබාහු රජ්ජුරුවන්ගේ කුමාරයා බව සැබෑ සත්ත නම් පියරජ්ජුරුවන්ට හදිකං කරවා පතහේ උල් හිටෝලා සළු අපුල්ලන ඇමැත්තෙක් එක්ක හිමේ හත් ගව්ව බලා වදාරාළා කුණුදිය පර්වතේ පල්ලේ පැන මියයත් වී වදාරළා මෙරට මහත් දෙවියන්ට තෙද කේර්තියක් පාගෙන ඊරිය ගමට වැඩම කර වදාරාලා ඊරියගම යක්ෂයාට කොටා ඊරියගම මළුවේ තිබුණු තල්ගස් දෙක එකට ලණු අඹරවාපු තෙද කේර්තියක් පාගෙන අඩුක්කු මුරුතැන් මංගල්ලවල් ඔප්පු අරගෙන කළුකුමාර දෙවියන් වහන්සේගේත් වන්නාවූ යක්ෂ උපද්‍රවල් දුරු කරවලා ආයෙත් එන අවුරුද්දේ අඟුරු දුම්මල අතක් අල්ලන තුරා කිසියම් යක්ෂ දෝෂයක් දේවදෝෂයක් පේන්ඩ ඉඩක් තියන්නේ නැතිව සකල ශරීර පංචස්කන්ධවල් දේවාරක්ෂාව බන්දවා දෙන්ඩ කළු කුමාර දෙවියන් වහන්සේගෙන් අවසර කප්පාන් තිරයකටම ආයුබෝ වේවා......"

කුමාරවාරුන් 7 දෙනාගෙන් බාලම කුමාරයා මේ සිද්ධි වෙද්දී බොහොම ලාබාල වයසේ තමා ඉදලා තියෙන්නේ ඒක නිසා ඒ කුමාරයාව හඳුන්වලා තියෙන්නේ "කිරි බොන ඈපාණෝ" කියලා. තරුණ වයසට ආපු මේ කුමාරයා මහකන්ද අසළ වුණු ගමකින් තරුණියක් සරණ පාවා ගන්න ගියත් ඒ තරුණියගේ දෙමාපියෝ මේ තරුණයා කාගේ කවුද කියලාවත් තොරතුරු දන්නේ නැති නිසා ඒ විවාහයට කැමති වෙන්නේ නැහැ. 

ඒ නිසා තමන් තරුණියට අරගෙන ආපු මාලය ඒ ගෙදර දොරේ එල්ලලා කුමාරයා ආපහු යන්න යනවා. ඒ සිද්ධියත් එක්ක දුන්නුමාලේ නමින් ඒ ගම හැඳින්වෙනවා. පස්සේ කාලේ ඒ ගමේ නම "දුනුමාලේ" බවට පත්වෙනවා.

මේ සිදුවීමෙන් පස්සේ ඉදන් ගමේ හරක් නැතිවෙන්න පටන් ගන්නවා. රාත්‍රියට අත්භූත හඬකින් ගමේ මිනිස්සුන්ට කියනවා නැතිවුණු හරක් හොයාගන්න නම් කිසියම් ස්ථානයක වුණු විශාල ගහක් මුල බත් මුට්ටියක් ගෙනත් තියන්න කියලා. බත් මුට්ටිය ගෙනත් තිබ්බාම පහුවදාම නැතිවුණු හරකා ලැබෙනවා. 

මේ වැඩේ කළා කියන්නේ අර "කිරි බොන ඈපාණෝ" කියන කුමාරයාමලු. පස්සේ තමන්ගේ හිත ගත්තු තරුණියව ලබාගන්න හිතපු කුමාරයා දුනුමාලේ ගමෙන් ළමයෙක් පැහැර ගෙන ඇවිල්ලා එදා රෑ ගමේ මිනිස්සුන්ට අවතාරයක් වගේ ඇවිත් කිව්වලු නැතිවුණු ළමයා ඕනේ නම් තරුණියගේ නම කියලා එයා අතේ බත් මුට්ටියක් කැලෑවට එවන්න කියලා. 

අන්තිමට නැතිවුණු ළමයාත් ලැබෙනවාලු. කොහොමින් කොහොම හරි මේ කුමාරයාගේ සෙල්ලම නිසා මිනිස්සු මේ බොරුව ඇත්තක් කියලාම හිතලා "දුනුමාලේ දේවතා බණ්ඩාර" නමින් හඳුන්වලා ඒ දෙවියන්වත් වන්දනා කරන්න පටන් අරගෙන තියෙනවා. කොහොම නමුත් මේ දුනුමාලේ දේව වන්දනාව ආරම්භ වුණු වෙනත් ආකාරයක් ගැනත් කතාවකුත් තියෙනවා. 

පුත් කුමාරවරුන් මේ විදිහට දේවත්වයට පත් වෙද්දී එයාලගේ තාත්තා වුණු සකලකලා වල්ලභ දේවත්වයට පත්වුණු හැටිත් කියන්නම්. 

කලින් කිව්ව විදිහට සකලකලා වල්ලභයක් කරපු විශාලම වාරි නිර්මාණය වුණු අත්තනගලු ඔයේ අතු ගංගාවක් වුණු කුඩා ඔය හරස් කරලා බැන්ද වේල්ල හඳුන්වලා තියෙන්නේ "අස්වානේ වේල්ල" කියලා. 

ඉතින් මේ වේල්ල කාලයක් ගත වෙද්දී කීප වරක්ම අබලන් වෙලා තියෙනවා. සකලකලා වල්ලභයක් ලොකු වෙහෙසක් අරගෙන තියෙනවා මේ වේල්ල පිළිසකර කරන්න. අවසන් වතාවේ ඒක අසාර්ථක වීමත් එක්කම වේල්ල කඩාගෙන යනවා දැකපු සකලකලා වල්ලභ කම්පාවට පත්වෙලා ඒ වතුර පාරට පැනලා සිය දිවි නසා ගන්නවා. ඒක දැකපු එතුමාගේ බිසෝවරුත් ඒ වතුර පාරටම පැනලා මියයනවා.

අස්වානේ දෙවියන්

ඉතින් සකලකලා වල්ලභයන්ගේ මරණෙන් පස්සේ මිනිස්සු "අස්වානේ දෙවියන්" නමින් වන්දනා කරන්න පටන් අරගෙන තියෙනවා. ඒ වගේමයි තවත් ජනප්‍රවාදයක් තමා සකලකලා වල්ලභයක් සමඟම මියගිය බිසෝවරු සත්දෙනාව තමා දුනුමාලේ බිසෝ බණ්ඩාර සත් දේවතා කට්ටුව නමින් වන්දනා කරන්නේ කියලා.

කොහොම නමුත් තවමත් ඒ ප්‍රදේශයේ පූජනීය ස්ථානවල කරන ආගමික කටයුතු අවසානයේදි ඒ ප්‍රදේශයට අධිපතිව වැඩ වාසය කරන "අස්වානේ" දෙවියන්ට පිං පැමිණවීමට ඒ ප්‍රදේශයේ ජනතාවගේ සිරිතක්.

මේ අතරේ සකලකලා වල්ලභයන්ගේ සහෝදරයා වුණු තනිය වල්ලභත් කලින් දක්වපු විදිහට රාජ්‍යයේ දේශපාලනික ස්ථාවරත්වයට ලොකු වැඩ කොටසක් කළා වගේම ආර්ථික ස්ථාවරත්වයටත් වැඩ කටයුතු කරලා තියෙනවා.

 මහවැව

තමන්ගේ පාලන ප්‍රදේශය වුණු මාදම්පේ ප්‍රදේශයේ වාරි කර්මාන්ත කීපයක්ම කරවලා කෘෂි කර්මයට අවශ්‍ය ජලය ලබාදෙන්න තනිය වල්ලභයනුත් කටයුතු කරලා තියෙනවා. ඉන් ප්‍රධාන වාරි කර්මාන්තයක් වෙන්නේ "මහවැව" යි.

තනිවැල්ලේ දෙවියන්

ඉතින් තනිය වල්ලභයනුත් මරණයෙන් පස්සේ ජනතාව "තනිවැල්ලේ දෙවියන්" නමින් වන්දනා කරන්න පටන් ගත්තා. සුදු අශ්වයෙක් පිටේ නැඟිලා සුදු වස්ත්‍රාභරණයෙන් සැරසිලා වේගයෙන් තවමත් තනියවැල්ලේ දෙවියන් තමන්ගේ බල ප්‍රදේශයේ ගමන් තම වැසියන්ගේ ආරක්ෂාව සලසන බවයි ජනතාවගේ පිළිගැනීම වෙන්නේ.


තනිවැල්ලේ දෙවියන්ගේ අශ්වයා

මාදම්පේ ප්‍රදේශයට යන කොට සුදු අශ්වයෙක්ගේ රුවක් ඉදි කරලා තිබෙන දේවාලය තමා මේ තනිවැල්ලේ දෙවියන්ගේ දේවාලය වෙන්නේ. කෝට්ටේ යුගයේ පටන් තිබුණු මේ දේවාලයේ වර්තමානයේ දක්නට ලැබෙන ගොඩනැගිලි ගලින් ඉදි කරන්නේ 1894 දී.



ඒ කෙසේ නමුත් දේවාලයේ පෞරාණිකත්වය පෙන්වන වසර 250 ක් පමණ පැරණි බෝධි වෘක්ෂයකුත් දේවාල භූමියේ දක්නට ලැබෙනවා.

තනිය වල්ලභයන්ගේ මරණයට හේතුව සොයා බැලුවොත් ඒක සිද්ධ වෙන්නේත් එතුමාගේම මුණුබුරා අතින්. තනිය වල්ලභයන්ට හිටියේ දියණියක්. ඇය විවාහ වුණේ සොළී කුමාරයෙක් සමඟ. ඔවුන්ගේ දරුවන් වුණේ වීදිය බණ්ඩාර සහ තම්මිට සූරිය බණ්ඩාර කියන කුමාරවරුන්.

අවසානයේදී 1583 දී පමණ තනිය වල්ලභයන් මියයන්නේත් කලින් කිව්වා වගේ තමන්ගේම මුණුබුරා වුණු වීදිය බණ්ඩාර අතින්.

වීදිය බණ්ඩාර කියන්නේ බොහොම ආන්දෝලනාත්මක චරිතයක්. කෝට්ටේ බුවනෙකබාහු රජතුමාගේ දියණිය වුණු සමුද්‍රදේවි විවාහ කරගත්තු වීදිය බණ්ඩාර කෝට්ටේ රජ වාසලේ ප්‍රබල තනතුරු පවා දැරුවා. කෝට්ටේ රාජධානියේ අවසන් රජතුමා වුණු ධර්මපාල රජතුමා මේ දෙපළගේ දරුවෙක්.

සමුද්‍රදේවිගේ වියෝවෙන් පස්සේ වීදිය බණ්ඩාර සීතාවක මායාදුන්නේ රජතුමාගේ දියණියක් වුණු කුඩා ටිකිරි බිසෝ අදහසින්ව විවාහ කරගන්නවා.

කෝට්ටේ රාජධානිය සමඟත් සීතාවක රාජධානිය සමඟත් අවසානයේදී ගැටුම් ඇතිකරගත්තු වීදිය බණ්ඩාර දැඩි පෘතුගීසි විරෝධියෙකුත් වුණා. තමන්ගේ සටන්වලට සහය ලබාගන්න යාපනයට පිටත් වුණු වීදිය බණ්ඩාර යාපනයේ රජතුමා සමඟ යුධ ආධාර ලබාගන්න ගිවිසුමකට එළඹුණා.

පස්සේ වීදිය බණ්ඩාරගේ පැමිණීම නිමිත්තෙන් නල්ලූර් කෝවිලේ පැවැත්වුණු උත්සවයකදී අත් වැරැද්දකින් යාපන සෙබළෙක්ගේ ගිනි අවියක් පත්තු වුණා. කුමන්ත්‍රණයක් දෝ කියලා සැක හිතුව වීදිය බණ්ඩාර කඩුව අතට අරගෙන සටන් කරන්න පටන් ගත්තා. කොහොම නමුත් අවසානයේදී වීදිය බණ්ඩාරවත් ඔහුගේ අනික් පුත්‍රයා වුණු විජයපාලත් මරා දමන්න යාපන සෙබලුන්ට හැකිවුණා.

නල්ලූර් කෝවිල

වීදිය බණ්ඩාරව ඒ විදිහට මරා දැමුවත් ඔහුගේ වීරත්වයට ගරු කිරීමක් විදිහට යාපන රජතුමා නල්ලූර් කෝවිලේ වීදිය බණ්ඩාර වෙනුවෙන් දෙවොලක් ඉදි කරවනවා. එහි "වෛතිය පංඩාර් දෙවියන්" ලෙස පුද පූජාවට පත්වෙන්නේ වීදිය බණ්ඩාරවයි.

වීදිය බණ්ඩාරගේ දෙවෙනි විවාහය වුණු කුඩා ටිකිරි බිසෝ අදහසින්ගේ සොහොයුරෙක් වුණු ඒ වගේම සීතාවක මායාදුන්නේ රජතුමාගේ ශූර වීර පුත්‍රයා වුණු සීතාවක රාජසිංහ රජතුමා ගැනත් අපි හැමෝම හොඳින් අසා තිබෙනවා.

Arts Degeree එකක් කළ මුල්ම සහ අවසන් රජතුමා සටහනෙන් කිව්වා වගේම 1592 මාර්තු මාසයේදී සීතාවක රාජසිංහ රජතුමා මියයාමත් එක්ක සීතාවක රාජ්‍යය පුරා ඇතිවෙන්නේ වියවුල් සහගත තත්වයක්. කෙසේ නමුත් ඒ රජතුමාවත් "ගනේගොඩ දෙවියන්" නමින් දේවත්වයට පත් කරන්න ජනතාව කටයුතු කරපු බව පෙනෙනවා.

 සීතාවක රාජසිංහ රජතුමාගේ සොහොන

හාපිටිගම කෝරළයේ ගනේගොඩ දේවාලය සීතාවක රාජසිංහ රජතුමා ඉදිකළ දේවාලයක් වන අතර පසුව එතුමා දේවත්වයට පත් කළ පසුව වැඩ වාසය කරන්නේ එම දේවාලයේ යැයි ජනතාව විශ්වාස කර ඇති බව පේනවා.

මේ දෙවිවරුන්ගේ නෑකම් පැටලෙනවා නම් මේ ඡායාරූපය උඩ click කරලා බලන්න


මේ සහෝදර දරු මුණුබුරන්ගෙන් පසුව දේවත්වයට පත්වුණු පාලකයන් ගැන නම් සඳහනක් නැහැ. ඒත් කලින් කතාවකත් කිව්වා වගේ 1818 කැරැල්ලේ නායකයා වුණු කැප්පෙටිපොළ මහ දිසාවේතුමාව හිස ගසා මරා දැමීමෙන් පස්සේ උඩ දුම්බර බිම්බියේ මොනරවිල අලුත් දෙවියෝ නමින් දේවත්වයට පත් කරපු බව පේනවා.

ඊට පස්සේත් හුඟක් පාලකයෝ දෙවිවරු වෙන්න උත්සහ කළා. තවමත් ඒකේ නම් අඩුවක් පේන්න නැහැ :D

සටහන ලියන්න පාදක කරගත්තේ දිවයින පුවත්පතේ පළවුණු පෘතුගීසීන්ගෙන් රට බේරාගත් සකලකලා වල්ලභයන්ගේ උඩුගම්පොළ රාජධානිය, ලංකාදීප පුවත්පතේ පළවුණු උඩුගම්පොළ රජුගේ හද දිනූ සම්බාගම, Daily News හි පළවුණු Sacred Festival at Thaniwella Devala කියන ලිපි වගේම රාජාවලිය, අලකේශ්වර සහ පෝල් ඊ. පීරිස්ගේ ලංකාව පෘතුගීසි යුගය - 1 කාණ්ඩය කියන පොත් කීපයයි.

ප.ලි.: මේ ලිපිය ලියවෙන්නේ කවදාදැයි උනන්දුවෙන් සොයා බැලුව හරී අයියාටත් ස්තුතියි :)

Sunday, August 19, 2012

Arts Degree එකක් කළ මුල්ම සහ අවසාන සිංහල රජතුමා - ඉතිහාසයේ අප්‍රකට කතා 15

 මුල්ලේරියා සටන

කතෝලික පූජකයෙක් වී පෘතුගාලයේදී මියගිය උඩරට රජතුමා ලිපියෙන් පොරොන්දු වුණු විදිහට යමසිංහ බණ්ඩාරගේ පුතා වුණු දොන් ජුවන් සමඟ එකතු වෙලා ගෝවේට පිටත් වුණු සීතාවක රාජසිංහ රජතුමාගේ මුණුබුරා වගේම අනුප්‍රාප්තිකයා වුණු නිකපිටියේ බණ්ඩාර කුමාරයා ගැන කතාව කියන්න තමා අද මේ සූදානම

මීට කලිනුත් I විමලධර්මසූරිය රජතුමා ගැන කතා කරද්දී සීතාවක රාජසිංහ රජතුමාගේ අවසානය ගැන කෙටියෙන් කතා කළානේ. ඒ කතාවම ටිකක් විස්තර කළොත් කොළඹ කොටුවට සීතාවක රාජසිංහ රජතුමාගෙන් එල්ල වෙන ප්‍රහාර නිසාම ඒකට පිළියමක් විදිහට නැවත වරක් උඩරට රාජ්‍යය ඇති කරලා සීතාවක රාජසිංහ රජතුමාට විරුද්ධ තවත් බල කඳවුරක් ඇති කරන්න පෘතුගීසීන් අදහස් කරනවා.

සීතාවක රාජසිංහ කොළඹ කොටුවට පහරදීම

ඒ අනුව යමසිංහ බණ්ඩාර යටතේ උඩරට රාජ්‍යය නැවත පිහිටෙව්වත් උපායශීලීව උඩරට රාජ්‍යය තමන් යටතට ගන්න කොනප්පු බණ්ඩාර සමත් වෙනවා. 

මේකත් එක්කම කොනප්පු බණ්ඩාර හෙවත් I විමලධර්මසූරිය රජතුමාට විරුද්ධව සතුරු කඳවුරු දෙකක් ඇතිවෙනවා. එකක් තමා පෘතුගීසින්ගේ කඳවුර. අනෙක් එක තමා තමන් යටතේ තිබුණු කන්ද උඩරට උදුරා ගැනීම නිසා ඒකෙන් කෝප වෙන සීතාවක රාජසිංහ රජතුමාගේ කඳවුර

මුලින්ම I විමලධර්මසූරිය රජතුමාත් එක්ක සටනකට එන්නේ සීතාවක රාජසිංහ රජතුමා. ඒ අනුව රාජසිංහගේ මහ සෙනෙවියා වගේම පුරෝහිතයා වුණු අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් යටතේ උඩරටට ආක්‍රමණයක් දියත් කළත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. මේක නිසා සීතාවක රාජසිංහ රජතුමාම හමුදාව සමඟ උඩරට ආක්‍රමණය කළත් විමලධර්මසූරිය දක්ෂ විදිහට සීතාවක සේනාව පරාජය කරනවා. 

මේ නිසා "එකොළොස් වයස පටන් හේවාකම් කළ මගේ ඉදිරියේ රජෙක් සිටියේ නැත. මෙහ්ඩා උඩරටට පැමුණුනු අය පින් ඇති කෙනෙක. මගේ පින් බල අඩුය" කියලා රාජසිංහ රජතුමා පසු බසිනවා

පෙතන්ගොඩ උයන

පසු බසින රජතුමා පෙතන්ගොඩ උයනට පැමිණුනාට පස්සේ උණ කටුවක් කකුලේ ඇනෙනවා. උණ කටුවේ විෂ වගේම තුවාලෙට කරපු ප්‍රතිකාරයටත් දොඩම්පේ ගණිතයා විෂ එකතු කළා කියනවා. අවසානයේදි රජතුමා මරණාසන්න වුණු නිසා රජතුමාව රාජකීය යාත්‍රාවෙන් කැලණි ගඟ ඔස්සේ සීතාවකට ගෙන එන්නට කටයුතු සිදුවෙනවා. කොහොම වුණත් හෝමාගම කෝරළයේ කිකිළි බිත්තර වැල්ලට පැමිණෙද්දීම රජතුමා මිය යනවා.

රාජාවලිය දක්වන විදිහට රජතුමා මිය ගිය දිනය වෙන්නේ ශක වර්ෂ එක්වාදහස් පන්සිය දහහතර අවුරුද්දේ මැදින් ගුරු දින හතවක් ලත් හතේ නැකත යෙදුණු දිනයයි. ව්‍යවහාර වර්ෂ ක්‍රමයට ගත්තොත් ක්‍රිස්තු වර්ෂ 1592 මාර්තු මාසයේදී තමා රජතුමා මියයන්නේ.

සීතාවක රාජසිංහ රජතුමා මියයාමත් එක්ක සීතාවක රාජ්‍යයේ ඇතිවුණු අරාජික තත්වය පිටුදකින්න කටයුතු කරන්නේ එතුමාගේ දියණිය වුණු මැණික් බිසෝ බණ්ඩාරගේ දරුවන්. සොළී කුමාරෙක්ට විවාහ කරදීපු මැණික් බිසෝ බණ්ඩාරට රාජසූරිය සහ ජයසූරිය නමින් පුතුන් දෙදෙනෙක් හිටියා.

 සීතාවක රාජසිංහ රජතුමාගේ සොහොන

රාජසිංහ රජතුමාගේ මුණුපුරන් දෙදෙනා වහාම පැමිණිලා රජතුමාගේ දේහය ගෞරව සහිතව ආදාහනය කරනවා. ඊට පස්සේ වැඩිමහල් කුමාරයා වුණු රාජසූරිය රාජ්‍යත්වයට පත්වෙනවා. ඔහුගේ සහෝදරයා වුණු ජයසූරිය කුමාරයාට බෙලිගල් කෝරළය බාර කෙරෙනවා. අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල්ට කදුරුගස් කපොල්ල ඇති ප්‍රදේශය බාර කෙරෙනවා.

හැබැයි මේ වෙද්දී මත්තමගොඩ ප්‍රදේශයේ සීතාවක මායාදුන්නේ රජ පවුලට අයිති වෙන පිරිසක් හිටියා. එයාලගෙන් ප්‍රධාන කෙනා වුණේ සීතාවක මායාදුන්නේ රජතුමාගේ දියණිය වුණු ඒ වගේම සීතාවක රාජසිංහ රජතුමාගේ අක්කා වුණු මහා ටිකිරි බිසෝ අදහසින්. [ඇයගේ සැමියා වුණේ වීදිය බණ්ඩාර කියලා පෝල් ඊ. පීරිස් මහතා දක්වනවා. නමුත් වීදිය බණ්ඩාර සරණ පාවා දුන් සීතාවක මායාදුන්නේගේ දියණියගේ නම කුඩා ටිකිරි අදහසින්]

ඇයට මෑණියන් බිසෝ සහ මැණික් බිසෝ නමින් දියණියන් දෙන්නෙක් ඉන්නවා. මැණික් බිසෝ හරිනේෂවර කුමාරයා එහෙමත් නැත්නම් කීරිගම බණ්ඩාර සමඟ විවාහ වෙලා හිටියේ. ඔවුන් දෙදෙනාටත් පුතෙක් සහ දියණියක් හිටියා. නමුත් ඒ වෙද්දීමැණික් බිසෝත්, හරිනේෂවර කුමාරයාත් මිය ගිහින් හිටිය නිසා මේ කුඩා දරුවන් දෙදෙනා හැදුණේ මිත්තණිය වුණු මහා ටිකිරි බිසෝ අදහසින් සමීපයේ.

ඉහළින් කිව්ව කතාවේ නෑකම් එහෙම පැටලෙනවා වගේ නම් පහළ තියෙන පින්තූරේ උඩ ක්ලික් කරලා ඒක අධ්‍යයනය කරලා බලන්න

 
මායාදුන්නේ රජ පවුලේ පවුල් සටහන

සීතාවක රාජසිංහ රජතුමාගේ ආභාවයත් එක්ක තමන්ගේ සොයුරාගෙන් පස්සේ හිස්වුණු සිංහාසනය තමන්ගේ මුණුබුරා වෙන නිකපිටියේ බණ්ඩාරට ලබාදෙන්න මහා ටිකිරි බිසෝ අදහසින් කල්පනා කරනවා. මේක පහසුවක් වෙන්නේ අලුතින් පත්වුණු සීතාවක රජතුමා වුණු රාජසූරියට අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් පවා එතරම් පක්ෂපාතීත්වයක් නොදැක්වීම නිසා

කුමන්ත්‍රණය දියත් වෙන්නේ සීතාවක අලුත් රජතුමා වුණු රාජසූරිය සීතාවක රාජසිංහ රජතුමාගේ මරණයට වගකිව යුතුයි කියල සැක කරන දොඩම්පේ ගණිතයාගේ දියණියත් එක්ක සබඳතාවක් පවත්වන්න පටන් ගත්තු එක මහජනතාවගේ පිළිකුලට ලක්වීමත් එක්ක. 

මේ අතරවාරයේ බෙලිගල් කෝරළයේ හිටිය ජයසූරිය කුමාරයාට එල්ලවුණු ප්‍රහාරයක් නිසා එයා සීතාවකට පසුබසින්න කටයුතු කරනවා. අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් කදුරුගස් කපොල්ලේ ඉදන් සේනාව අරගෙන මත්තමගොඩින් නිකපිටියේ බණ්ඩාර කුමාරයා ප්‍රමුඛ පිරිසත් අරගෙන සීතාවකට පිටත් වෙනවා.

රජතුමාගේ හමුදාව එයාලට වැඩි මුදලක් ගෙවන්න පොරොන්දු වුණු එකතු වුණු නිසා රාජසූරිය අසරණ වෙනවා. අවසානයේදී කිණිස්සකින් ඇනලා රාජසූරියව ඝාතනය කරන අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් රාජසූරියගේ සහෝදරයා වුණු ජයසූරිය නිවාස අඩස්සියට පත් කරලා සීතාවක නව රජතුමා විදිහට නිකපිටියේ බණ්ඩාර [නිකපිටියේ අදහසින්] පත් කරගන්නවා.

ඒ වුණත් නිකපිටියේ ලාබාල වයසේ හිටිය නිස කුමාරයාගේ භාරකාරීත්වය මිත්තණිය වුණු මහ ටිකිරි බිසෝ අදහසින්ටත් රාජ්‍ය පාලනය අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල්ටත් භාරවෙනවා.

අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල්ගේ හමුදා නායකත්වය යටතේ සීතාවකට එල්ලවුණු පෘතුගීසි පහරදීම් කීපයක්ම ව්‍යර්ථ කරන්න සීතාවක හමුදාවලට හැකිවුණා වගේම ඔරුතොටදී 1593 අප්‍රේල් සිද්ධ වුණු සටනින් විශිෂ්ඨ ජයග්‍රහණයක් සීතාවකට ලබාදෙන්න අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල්ට හැකිවුණා.

මේ නිසාම ආඩම්බර වුණු අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් හමුදා නායකයා වෙලාම ඉන්නේ නැතුව ඉදිරි කාලයේදී රජකමට පත්වෙන්න පුලුවන් සුදුසුකමක් ඇතිකරගැනීමේ අපේක්ෂාවෙන්දෝ සීතාවක රජතුමා වුණු නිකපිටියේ බණ්ඩාරගේ සහෝදරියව සරණ පාවා ගන්න කල්පනා කරනවා.

ඒත් ඒ ඉල්ලීමට සුභදායී ප්‍රතිචාරයක් නම් ලැබෙන්නේ නැහැ. විශේෂයෙන් මහ ටිකිරි බිසෝ අදහසින් මේ ඉල්ලීමට තදින්ම විරුද්ධ වෙනවා. හැබැයි ඒ වෙද්දිත් අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් සරණ පාවාගෙන හිටියේ සීතාවක රාජසිංහ රජතුමාගේ යකඩ දෝළියක් වුණු රාජ හෙට්ටිගේ දියණියව.

දකුණු ඉන්දියාවේ කොරමැන්ඩල්වලින් වන්දනාකාරයෙක් විදිහට ලංකාවට ආපු මේ ආඬියාගේ වර්තමාන ඉල්ලීම් ගැන අපහාසයට ලක් කරන්න තමයි ඒ කාලයේදී අපි කවුරුත් දන්න "අතුරු මිතුරු දඹදිව තුරු" ගීතයත් හැදුණා කියන්නේ. ඒ කතාව අපේ බ්ලොග් සහෘදයක් වෙන චමී "අතුරු මිතුරු දඹදිව තුරු රාජ කපුරු සෙට්ටියා" කියන සටහනෙන් කියලා තියෙන්නේ.

කොහොම වෙතත් මේ අපහාස වගේම ඒ කාලයේ තිබුණු නොයෙකුත් කට කතා නිසා අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් තමන්ගේ ජීවිතේ බේරගන්න තමන්ට පක්ෂපාතී අයත් එක්ක මැණික්කඩවරට පැනලා ගිහින් සීතාවක බලය ලබාගන්න පෘතුගීසීන්ගෙන් ආධාර ඉල්ලනවා.

පෘතුගීසීන්ට පක්ෂ රජෙක් විදිහට ක්‍රියාකරන්න අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් පොරොන්දු වුණු නිසා පෘතුගීසි කපිතාන් සතුටට පත්වෙලා රජුන් පාවිච්චි කරන කබායක් ට එවනවා. රාජාභිෂේක චාරිත්‍ර වාරිත්‍ර පවත්වලා ඒ අවස්ථාවේදී අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් ජයවීර බණ්ඩාර නමින් රාජ්‍යත්වයට පත්වෙනවා.

ඒත් සූර්ය වංශික රජුන් විතරක් පිළිගන්න සිංහල ප්‍රධානීන් අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් අත හැරලා ආයි සීතාවක නිකපිටියේ බණ්ඩාරත් එක්ක එකතු වෙනවා. මේ නිසා අධෛර්යයට පත් නොවුණු අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් තමන්ට පක්ෂ පිරිසත් එක්ක කෝට්ටේ රාජ්‍යයට ගිහින් ධර්මපාල රජතුමා බැහැ දැකලා පෘතුගීසි ආධාරක සේනාත් එක්ක සීතාවකට පහර දෙන්න සැප්තැම්බර් මාසයේදී පිටත් වෙනවා.

පෘතුගීසී සේනාවන්ගේ පැමිණීම ව්‍යර්ථ කරන්න බැරිවුණු තැන නිකපිටියේ බණ්ඩාර තමන්ගේ මිත්තණිය සහ පක්ෂපාතී පිරිසක් සමඟ සීතාවකින් දෙනවක කඳුකරය බලා පලා යනවා.

සීතාවක රජ මාළිගය තිබූ තැන වර්තමානයේදී

සීතාවකට කඩා වැදුණු අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් ප්‍රමුඛ පෘතුගීසි සේනා මාළිගාව ඇතුළු සෑම වැදගත් ස්ථානයකම තිබුණු වටිනා කියන භාණ්ඩ සියල්ලම කොල්ල කනවා. ඒ වගේමයි සඟවලා තිබුණු වස්තුව හොයාගන්න පවා අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් සමත් වෙනවා.

පලා ගිය නිකපිටියේ බණ්ඩාර ඇතුළු පිරිස පසුපස පෘතුගීසි භටයන් 150 ක් සමඟ හඹා ගිය අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් අවසානයේදී පතුල් පාන කඳුවැටිය පහු කරලා දෙනවකට යමින් හිටිය රාජකීය පිරිසව අත් අඩංගුවට ගන්න සමත් වෙනවා.

අත් අඩංගුවට ගත්තු නිකපිටියේ බණ්ඩාරව දොන් පිලිප් නමින් බෞතිස්ම කරලා ඔහුට අධ්‍යාපනය ලබාදෙන්න ෆ්‍රැන්සිස්කානු නිකායේ පූජකවරුන්ට භාර කරන්න පෘතුගීසීන් කටයුතු කරනවා. ඒ අනුව මුලින්ම කොළඹ තිබුණු ශාන්ත අන්තෝනි විද්‍යාලයට නිකපිටියේ බණ්ඩාරව ඇතුළත් කෙරෙනවා.

නිකපිටියේ බණ්ඩාරගේ සහෝදරියවත් දෝන මරියා පෙරේරා නමින් බෞතිස්ම කෙරෙනවා. ඒ අවස්ථාවේදීවත් ඇයව සරණ පාවා ගන්න අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල්ට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. පෘතුගීසි නිලධාරියෙක් වුණු සයිමන් පිඤ්ඤෝ කුමරියව විවාහ කරගන්නවා. නමුත් සීතාවක නාමික රජකමට අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල්ව පත් කෙරෙනවා.

දොන් ජෝන් කුමරු Dom Joao de Candia

මේ අතර වාරයේදී තමා මීට කලින් ලිපියකින් කතා කෙරුණු යමසිංහ බණ්ඩාරගේ පුත්‍රයා වගේම ඒ වෙද්දී උඩරට රජතුමා වශයෙන් හිටපු දොන් ජෝන් කුමාරයාව පෘතුගීසීන් කොළඹට ගෙන එන්නේ. පස්සේ ඔහුවත් අධ්‍යාපනය ලබාදෙන්න ශාන්ත අන්තෝනි විද්‍යාලයට ඇතුළත් කරනවා.

ටික කලකින් පෘතුගීසි විසුරේවරයා වුණු Matias De Albuquerque ගේ  අණින් සීතාවක හිමිකරු වුණු නිකපිටියේ බණ්ඩාර හෙවත් දොන් පිලිප්වත් උඩරට හිමිකරු වුණු දොන් ජෝන්වත් උසස් අධ්‍යාපනය සඳහා ගෝවේට පිටත් කරන්න ලංකාවේ පෘතුගීසි කපිතාන් ජෙනරාල් වුණු දොන් ජෙරනිමෝ ද අසවේදු කටයුතු කරනවා.

ගෝවේවල තිබුණු College of Kings හි උසස් අධ්‍යාපනය ලබන්න නිකපිටියේ බණ්ඩාරව යොමු කෙරෙනවා. එහිදී ආරම්භයේදී දේව ධර්මය හා ලතින් භාෂාව හදාරන්න යොමුවුණු නිකපිටියේ බණ්ඩාර පසුව කලා උපාධියක් ලබාගැනීම සඳහාත් කටයුතු ආරම්භ කරනවා.

ඒ වෙද්දී දොන් ජෝන් College of Magi හි උසස් අධ්‍යාපනය ලබමින් හිටියේ. වසර 15 ක් පමණ තමන්ගේ උසස් අධ්‍යාපන කටයුතුවල නියැලුණු මේ කුමාරවරුන් දෙදෙනා අවසානයේදී ක්‍රිස්තියානි සහෝදරතුමන්ලා දෙදෙනෙක් බවට පත්වෙනවා.

තව දුරටත් උසස් අධ්‍යාපනයේ නියැලෙන්න ඒ දෙන්නාට තිබුණු උවමනාව නිසා 1610 දී පමණ ආන්ද්‍රේ ද ෆර්ටාඩෝ සහ අග්‍රරාජගුරු ප්‍රසාදීන් වුණු ඇලෙක්සියෝ මෙනෙසෙස් භාරයේ කුමාරවරුන් පෘතුගාලයට පැමිණෙනවා. ලිස්බන් වරායේදී මේ දෙදෙනාව පිළිගන්නේ ඔවුන් ගෝවේ වෙතට ගෙන එද්දී ගෝවේ පෘතුගීසි ප්‍රතිරාජයා වෙලා හිටිය  කොන්ඩේ ද විඩිගුඑයිරා විසින්. 

කුමාරවරුන්ට වාඩිවීමට පසුපස ඇඳි සහිත පුටු පිරිනැමුණු අතර ගෞරවයෙන් ඔවුන්ගේ නිල නිවහන බවට පත් කර තිබුණු ලිස්බන්හි ශාන්ත ෆ්‍රැන්සිස්කෝ ද පොන්ටේවල තිබුණු පූජකාරාමයට ඔවුන් කැඳවාගෙන යනවා. 

III පිලිප්

මේ දෙදෙනාගේ පැමිණීම ගැන දැනගත්තු පෘතුගාලයේ රජතුමා වුණු III පිලිප් මේ දෙදෙනාව කොයිම්බ්‍රා නගරයේ වූ කොයිම්බ්‍රා විශ්වවිද්‍යාලයට අනුබද්ධිත ශාන්ත පේදුරු සහ ශාන්ත පාවුළු විද්‍යාලවලට ඇතුළත් කරලා අධ්‍යාපනය ලබාදෙන්න නියම කරනවා.

 කොයිම්බ්‍රා විශ්වවිද්‍යාලය

ඒ වෙනකොටත් කලා උපාධියක් හදාරමින් හිටිය දොන් පිලිප් හෙවත් නිකපිටියේ බණ්ඩාර මේ යෝජනාවට කැමතිවෙලා කොයිම්බ්‍රා වෙතට පිටත් වුණත් ශාන්ත පාවුළු විද්‍යාලයට ඇතුළත් වෙන්න කලින් 1611 දී අසනීප වෙලා මිය යනවා. ඒක නිසා තමන්ගේ කලා උපාධිය සම්පූර්ණ කරගන්න නිකපිටියේ බණ්ඩාරට බැරිවුණු බවයි පෙනෙන්නේ.

නිකපිටියේ බණ්ඩාර ඒ විදිහට මියගිය නිසා සීතාවකට ඔහුගේ තිබුණු උරුමයේ හිමිකාරිය වගේම සීතාවක රාජසිංහ රජතුමාගේ උරුමය හිමිවුණේ නිකපිටියේ බණ්ඩාරගේ සහෝදරිය වුණු දෝන මරියා පෙරේරාට.

ඒ කොහොම නමුත් අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් හෙවත් ජයවීර බණ්ඩාරව පෘතුගීසීන් විසින් මරාදැමීමත් එක්ක සීතාවක තිබුණු නාමික පාලනයත් අවසන් වෙලා ඒ ප්‍රදේශයත් පෘතුගීසි පාලනයටම එක් කෙරෙනවා.

සැබෑ නිකපිටියේ බණ්ඩාරගේ කතාව ඒ විදිහට පෘතුගාලයේදී අවසන් වුණත් ලංකාවාසීන් අතර නිකපිටියේ බණ්ඩාර ගැන නැවත වරක් කතා කෙරෙනවා. ඒ 1616 දී පහතරට ප්‍රදේශයේ පුද්ගලයෙක් සීතාවකට උරුමකම් කියමින් පෘතුගීසීන්ට එරෙහිව ඇති කරපු කැරැල්ලත් එක්ක.

සීතාවක රාජසිංහ රජතුමාගේ මුණුපුරා වුණු නිකපිටියේ බණ්ඩාර තමන් කියලා හඳුන්වා ගත්තු ඒ පුද්ගලයා සාර්ථකව් පෘතුගීසි විරෝධී සටන මෙහෙයවනවා. මේ වෙද්දී උඩරට රජතුමා වුණු සෙනරත් වරින්වර උඩරටට එල්ලවුණු පෘතුගීසි ආක්‍රමණවලදී බියසුළු ලීලාවෙන් පලායෑම පමණක් කරන නිසා ඔහු උඩරට රදළයන් අතරේ අප්‍රසාදයට පත්වෙලා හිටියේ. මේ නිසා උඩරට රදළයන් බොහෝ දෙනෙක් නිකපිටියේ බණ්ඩාරට සහය දෙන්න කටයුතු කරනවා.

මේ අවස්ථාවේදී සෙනරත් රජතුමා තමන්ගේ සතුරා වුණු පෘතුගීසීන් පිටුදකින්න නිකපිටියේ බණ්ඩාර සමඟ එකතු වෙනවා වෙනුවට කළේ නිකපිටියේ බණ්ඩාරට තියෙන ජනප්‍රියතාවය නිසා තමන්ගේ සිහසුන තමන්ට අහිමි වෙයි කියලා බයවෙලා නිකපිටියේ බණ්ඩාරව මර්දනය කරන්න පෘතුගීසීන් එක්ක 1617 අගෝස්තු මාසයේදී ගිවිසුමකට එළඹුණු එක.

සෙනරත් රජතුමා පෘතුගීසීන් එක්ක එකතු වෙලා පොදු සතුරා වුණු නිකපිටියේ බණ්ඩාරව මර්දනය කළා වගේම තමන්ගේ සිහසුන රැකගන්නත් සමත් වුණා. ඒ වගේමයි තමන්ගේ පුත් කුමාරවරුන් තරුණ වියට එළඹෙනකම් උඩරට රාජධානිය සතුරු කරදරයකින් තොරව සුරක්ෂිතව තබාගන්නත් සමත් වෙනවා.

මේ සටහන ලියන්න පාදක කරගත්තේ පෝල් ඊ. පීරිස් මහතා රචනා කළ ලංකාව පෘතුගීසි යුගය 1 කාණ්ඩය සහ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය 3 වෙනි කොටස කියන පොත්