Showing posts with label Scouting කතා. Show all posts
Showing posts with label Scouting කතා. Show all posts

Sunday, July 4, 2010

Cook අන්කල්ව දාලා ගිය Annual Outstation Camp එක


කාලෙකින් මගේ Scouting Life එක ගැන කතාවක් කිව්වේ නැති නිසා ඒ කාලේ ගැන කතාවක් කියන්න තමා හිතුවේ. මාත් එක්ක එකට Scouting කරපු set එකේ කට්ටියගෙන් වගේම දැන් scouting කරන මල්ලිලාගෙනුත් ඉල්ලීමක් තිබ්බා ඒ කතා කීපෙකුත් කියන්න කියලා. ඔන්න ඒක අද ඉටු කරන්නයි යන්නේ.

මේ සිද්ධිය වුණේ 2006 අවුරුද්දේ. අපේ බාලදක්ෂ කණ්ඩායමේ සිරිත තමා හැම අවුරුද්දේම දෙසැම්බර් මාසේ ලංකාවේ කොහේ හරි පැත්තක අපේ කණ්ඩායමේ Annual Outstation Camp එක කරන එක. ඉතින් Scouting වලට හොඳට set වෙන පැතිවල තමා සාමාන්‍යයෙන් Annual Outstation Camp එක කරන්නේ.

උදාහරණ විදිහට කිව්වොත් මම Scouting වලට ආපු 2002 අවුරුද්දේ Annual Outstation Camp එක කළේ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ තියෙන Lake View International Scout Centre එකේ, 2003 තිස්සමහාරාමයේ දෙබරවැව ජාතික විද්‍යාලයේ, 2004 ආයි පාරක් මහනුවර ධර්මරාජ විද්‍යාලයේ තියෙන Lake View International Scout Centre එකේ, 2005 පොළොන්නරුවේ රාජකිය විද්‍යාලයේ.

අපි උපදේශක බාලදක්ෂයෝ විදිහට කටයුතු කරපු 2006 අවුරුද්දේ අපි කල්පනා කළා Annual Outstation Camp එක කොහෙද තියන්නේ කියලා. අන්තිමට අපි තීරණය කළා මීරිගම පිහිටලා තියෙන Lee Dasanayaka Scout Training Centre එකේ අපේ Annual Outstation Camp එක කරන්න. ඉතින් ඒකට අවශ්‍ය කරුණු කාරණා ඔක්කොම අපි සිද්ධ කළා. අවසර ගන්න ඒවා. එක කරන එක. ළමයින්ට, දෙමාපියන්ට කියන කරුණු ආදී ඒවා.

Annual Outstation Camp එකට පිටත් වෙන දවසට කලින් දවසේ රෑ අපේ set එක හිටියේ ඉස්කෝලේ. ඒ නත්තල් දවස. ඒකෙත් කතාවක් තියෙනවා. ඒක ගැන ඉස්සරහට කියන්නම්කෝ. මට කලින් කියන්න අමතක වුණා Annual Outstation Camp එකට යද්දී අපි කෑම උයන්න Cook කෙනෙක්ව එක්කන් යනවා. අවුරුද්ද පුරාම තියෙන Camporee හරි Jamboree, Training Camps, Competition Camps ඔක්කෝගෙම අපි අපේ කෑම සකසා ගත්තත් Annual Outstation Camp එක යද්දී cook කෙනෙක්ව ගෙනියන්නේ scouts ලාට පුලුවන් තරම් activities කරන්න ඉඩ හදාගන්න. කොහොම වුණත් Duty Patrol එක cook ට උදව් කරනවා කෑම සකස් කරන්න.


ඉතින් මීරිගම Annual Outstation Camp එකටත් cook කෙනෙක්ව හොයන වැඩේ අපි දුන්නේ කසුන්ට. Man ඉස්කෝලේ කැන්ටිමේ ඉන්න cook කෙනෙක්ව වැඩේට set කරගත්තා. අපි Camp එකට යන්න කලින් දවසේ ඉස්කෝලේ හිටියා කිව්වේ ඉතින් අපි ඔක්කොම වැඩ ටික හරිද කියලා ආයි පාරක් check කරලා බලලා කැන්ටිමටත් ගිහින් cook අන්කල්ටත් මතක් කළා හෙට උදේ 7.30 ට විතර අපි පිටත් වෙනවා එයාට ලෑස්ති වෙලා ඉන්නත් කියලා.

පහුවෙනිදා උදේ අපි යන බස් එක ආවට පස්සේ ඒකට ආම්පන්න ටිකත් පටෝලා අපේ bags එහෙමත් පටෝලා Open Rally එකත් කරලා අපි කට්ටිය පිටත් වුණා. ඔහොම යද්දී කිරිබත්ගොඩ හරියෙදී විතර අපේ Camp Organizing Committee එකේ Foods බාරව හිටිය කසුන්ගෙන් ASL අයියලා ඇහුවා "මල්ලී රෑට මොනවද කන්න දෙන්නේ ?" කියලා.

Man කිව්වා "පානුයි පරිප්පුයි තමා දෙන්න ඉන්නේ අයියේ. අපි මීරිගම තැනක් set කරගෙන තියෙන්නේ පාන් ගන්න" කියලා.

ඒ වෙලේ තමා කසුන්ට මතක් වුණේ රෑට පරිප්පු උයන්න ඕනේ කියන එකත් එක්කම cook අන්කල්ව අපි ඉස්කෝලේ දාලා ආවා කියන එකත්. පස්සේ man ඒක ASL අයියලාට කිව්වා. ආපහු bus එක හරෝගෙන ඉස්කෝලෙට යන්න බැහැනේ. අපි ඒ වෙලේ හිටියේ කිරිබත්ගොඩ හරියේ කියලා මම කලින් කිව්වේ.

ASL අයියලා කිව්වා "මේ හසිත මල්ලිගේ පැත්තනේ. ඔයානේ දන්නේ මේ පැත්තේ bus ගැන එහෙම. ඔයා ඉස්කෝලෙට ගිහින් cook එක්කන් මීරිගමට එන්න. අපි ඔයාලව මීරිගමින් bus එකට ගන්නම්" කියලා.

මාත් ඉතින් ඕකට හා කියලා කිරිබත්ගොඩින් 154 bus එකේ ඉස්කෝලට ඇවිත් කැන්ටිමට ගියා. ගිහින් cook අන්කල්ව හොයාගත්තා. එයාත් උදේ අපි එයාව එක්කන් යන්න ආපු නැති නිසා 7.45 ට විතර Scout Room එක පැත්තට ඇවිත්. කවුරුත් පේන්න නැති නිසා එයාටත් මොකුත් හිතාගන්න බැරිවෙලා. පස්සේ එයා ආයි කැන්ටිමට ඇවිත්. ඉතින් ආයි පාරක් එයාව ලෑස්ති කරගෙන අපි කොටුවට ආවා කෝච්චියෙන් මීරිගමට යන්න.

කෝච්චියේ මීරිගමට යන අතරතුරේ මට මාර නිදිමතයි. පාන්දර වෙනකම් අපි කට්ටිය ඇහැරගෙන හිටියේ. ඊට හපන් කෝච්චිය පැද්දෙන විදිහට කොහොමත් නිදිමතයි. බැරිවෙලාවත් නින්ද ගියොත් අලි මදිවට කොටි කියලා මීරිගම station එක පහුවුණොත්. ඒක නිසා අමාරුවෙන් ඇහැරගෙන ඉදලා මීරිගමින් බැහැ ගත්තා. ඒ වෙද්දී අපේ කට්ටියත් bus එකේ එතනට වෙලා හිටියා. පස්සේ ඉතින් අපි කට්ටියම මීරිගම camp එකට ගියා. ඒකේ කතා වගේකුත් තියෙනවා. ඒවත් ඉස්සරහට කියන්නම්කෝ.


මේ Camp එකේ තවත් photos බලන්න ඕනේ නම් මෙතන කොටලා බලන්න. මේ ගැන අදහස දුන්න අපේ බාලදක්ෂ කණ්ඩායමේ මේ වෙනකොට සහය බාලදක්ෂ නායකයෙක් විදිහට කටයුතු කරන ටර්සි මල්ලීට ස්තුතියි :)

ප.ලි.: Annual Outstation Camp එකට මීරිගමට යද්දී හම්බෙන පිළිකුත්තුව රාජ මහා විහාරෙයි, වාරණ රාජ මහා විහාරෙටයි යන්න තමා අපි සැලසුම් කරලා තිබ්බේ. මමත් ඒ පන්සල්වලට ගිහින් නැති නිසා ඒවා බලන්න පුලුවන් වෙයි කියලා තමා හිතාගෙන හිටියේ. අන්තිමට කඩන් වැටුණු කොන්ත්‍රාත් එක නිසා ඒවා බලන්න වුණෙත් නැහැ. තාමත් මට ඔය පන්සල් දෙකට යන්න වුණේ නැහැ. ඉස්සරහටවත් යන්න ඕනෙයි කියලා තමා හිතාගෙන ඉන්නේ......

Monday, April 5, 2010

නමුණුකුල ද ? කඩුගන්නාව ද ?


අද මම කියන්න යන්නේ මගේ බාලදක්ෂ ජීවිතයේ අහන්න ලැබුණ කතාවක්. මේකත් මම කලින් දවසක කිව්වා නන්දිමිත්‍ර ද ? ගෝඨයිම්බර ද ? ජාතියේ කතාවක්. මේකත් අපේ බාලදක්ෂ කඳවුරකදී සිදුවුණු එකක්. කඳවුර නම් මට මතක විදිහට කොළඹ දිසාවේ වාර්ෂික Camporee ය.

ඕන් කතාව. දී එක ජ්‍යෙෂ්ඨ බාලදක්ෂයෙක්ට බාලදක්ෂ නායකතුමා පැවරුවා නමුණුකුල සර්ව හම්බවෙලා කිසියම් පණිවුඩයක් අහගෙන එන්න කියලා.

මේ නමුණුකුල සර් කියන්නේ කොළඹ දිසාවේ සහය දිසා කොමසාරිස්වරයෙක්. ඒ වගේම ගුවන් බාලදක්ෂ කටයුතුත් භාරව ඉන්න සර්. කොළඹ දිසාවේ බාලදක්ෂ කටයුතු කරපු අය නම් සර්ව දන්නවත් ඇති. ඉතින් අපි හිටිය camp site එකේ ඉදන් සර් හිටිය camporee office ගාවටත් ටිකක් දුරයි.

අපේ man හිමින් හිමින් ඇවිත් එතන හිටිය එක්කෙනෙක්ගෙන් ඇහුවා "කඩුගන්නාව සර් කියන්නේ කාටද" කියලා.

පස්සේ ඒ පුද්ගලයා කිව්වා "කඩුගන්නාව කියලා නම් සර් කෙනෙක් නැහැ පුතා ඒත් නමුණුකුල කියලා නම් සර් කෙනෙක් ඉන්නවා කියලා.

එතකොට තමයි අපේ man ගේ මීටරේට ආවේ තමන් රොබින් හුඩ්ටත් වඩා හොඳට විද්දයි කියලා. ඒ ගමන්ම අර පුද්ගලයා කිව්වා "මම තමයි නමුණුකුල. මම හිතන්නේ පුතා ආවේ මාව හම්බෙන්න වෙන්න ඕනේ" කියලා. අපේ man ට හීන් දාඩිය දැම්මා මේක අහලා.

පස්සේ ඉතින් අපේ man සර්ගෙන් සමාව ඉල්ලලා අදාල පණිවුඩෙත් අහගෙන ආවා. සර් කරුණාවන්ත මනුස්සයා නිසා අපේ man ට බැනුම් අහන්න නම් වුණේ නැහැ.

වෙලා තියෙන්නේ අපේ man මුල්ම වතාවට තමා සර්ගේ නම අහලා තියෙන්නේ. එයා සර්ගේ නම මීටරේට දාගත්තේ කඳුකරයේ තියෙන කන්දක නමක් විදිහට. හදිස්සියට මතක් වුණේ වෙන එකක්.

අන්තිමට වුණේ නමුණුකුල සර් වෙනුවට කඩුගන්නාව සර්ව හොයන්න ගිය අපේ ජ්‍යෙෂ්ඨ බාලදක්ෂයාට කඩුගන්නාව කියලා card එකක් වැටීමයි.

ඉතින් ඔය පැටලිලි වෙලාවකට fun වෙලාවකට මාර danger.

ඔය උඩින්ම තියෙන්නේ නමුණුකුල කන්දේ photo එකක්. යටින්ම තියෙන්නේ කඩුගන්නාවේ photo එකක්

Saturday, April 3, 2010

පරම්පරාවේ බාලදක්ෂ උරුමය


මගේ පාසල් කාලය ගත්තොත් අධ්‍යාපන කටයුතු හැරුණාම මම ඉතාමත්ම උවමනාවෙන් කරපු කටයුත්ත තමා බාලදක්ෂ කටයුතු කරපු එක. සමහර විට පාසලේ අධ්‍යාපන කටයුතුවලත් වඩා හොඳින් මම බාලදක්ෂ කටයුතුවල යෙදුණා. අවසානයේදී 2007 අවුරුද්දේදී ජනාධිපති බාලදක්ෂයෙක්  වෙන්නත් ඒ වගේම ඊට පස්සෙත් බාලදක්ෂ නායක පුහුණු පාඨමාලාව අදියර II දක්වා හදාරලා සහය බාලදක්ෂ නායකයෙක් විදිහට කටයුතු කරන්නත් ඒ යටතේ මට හැකියාව ලැබුණා.

ඉතින් 2002 ඉදන් 2009 දක්වා වුණු මගේ අවුරුදු 7 ක බාලදක්ෂ ජීවිතේ ගත්තොත් ඒක ඇතුළේ හොඳ හොඳ කතා ගොඩක් තියෙනවා.මේ කතාවලින් මට මුලින්ම කියන්න හිතුණේ අතීතයත් එක්කත් සම්බන්ධ වෙන කතාවක්.

මම හා හාපුරා කියලා මගේ පාසල වුණු කොළඹ රාජකීය විද්‍යාලයේ තිබුණු 42 වන කොළඹ බාලදක්ෂ සමූහයේ රන් කණ්ඩායමේ බාලදක්ෂ කටයුතුවලට එක්වුණේ 2002 අවුරුද්දේ ජනවාරි 16 වෙනිදා. ඉතින් බාලදක්ෂ කටයුතු කරගෙන යද්දී තමා අපිට දැනගන්න ලැබුණේ ජාතික බාලදක්ෂ මූලස්ථානය මඟින් සංවිධානය කරන 6 ජාතික ජම්බෝරිය අගෝස්තු මාසේදී බලපිටියේදී පැවැත්වෙනවා කියන එක.

ජම්බෝරියක් කියලා සිද්ධවෙන්නේ මුළු ලංකාවේම ඉන්නා බාලදක්ෂයෝ එක් ස්ථානයකට රැස් රැස්වෙලා කඳවුරු කරන එක. ජම්බෝරියක් සාමාන්‍යයෙන් අවුරුදු 4 හෝ 5 කට වරක් තමා පැවැත්වෙන්නේ. ඉතින් ඒ වගේ කඳවුරකට යන්න ලැබෙන එක ලොකු චාන්ස් එකක්. අළුත් මිතුරු මිතුරියෝ හඳුනගන්න වගේම අළුත් අත්දැකීම් ගන්න ජම්බෝරියක් කියන්නේ නියම තෝතැන්නක්.

ජම්බෝරියකට ඕනෑම බාලදක්ෂයෙක්ට සහභාගිවෙන්න පුළුවන් කියලා ජාතික මූලස්ථානයෙන් කියලා තිබුණත් අපේ බාලදක්ෂ කණ්ඩායමෙන් මේකට කොන්දේසියක් දාලා තිබ්බා. ඒක තමා ජම්බෝරියට යන හැම බාලදක්ෂයෙක්ම අඩුම ගානේ බාලදක්ෂ ප්‍රදානයවත් සමත් වෙලා තියෙන්න ඕනේ කියලා. ඒකට හේතුව වුණේ විශාල බාලදක්ෂ කණ්ඩායමක් ජම්බෝරියට අරන් යන්න ගියාම ඇතිවෙන ප්‍රායෝගික ප්‍රශ්න නිසා සහභාගි වෙන ගණන සීමා කරන්න.

බාලදක්ෂ ප්‍රදානය කියලා එකක් කතාවට ආපු නිසා කෙටියෙන් බාලදක්ෂයන්ගේ පදක්කම් ගැනත් කියන්නම්. බාලදක්ෂ සාමාජික පදක්කම ගත්තාට පස්සේ සමත් කරන්න තියෙන කාර්යක්ෂමතා පදක්කම තමා බාලදක්ෂ ප්‍රදානය. ඔයාල වුණත් පාරේ තොටේ යද්දී බාලදක්ෂයෝ දැක්කහම හිතෙනවා ඇති මේ කොල්ලා කමිසේ අල්ලගෙන ඉන්න මෙච්චර පදක්කම් මොනවද කියලා. ඉතින් ඒ හැම පදක්කමක්ම ඒ බාලදක්ෂයාගේ මොකක් හරි දක්ෂතාවයකට හම්බුණු ඒවා.

ඉතින් බාලදක්ෂ කණ්ඩායමෙන් අරහෙම කොන්දේසියක් දාලා තිබුණු නිසා මාත් හුඟක් මහන්සිවෙලා බාලදක්ෂ ප්‍රදානය සමත් කරගත්තා. ඒ වුණාට මගේ බාලදක්ෂ ප්‍රදානය පදක්කම ලියාපදිංචි කරන්න බැරි වුණා. ඒ පදක්කමට නියමිත සේවා කාලය සම්පූර්ණ කරලා නොතිබුණ නිසා.

ඒත් මට මේ ජම්බෝරියට යන්න ප්‍රධානම හේතුව වුණේ අර මම මුලින් කියපු අළුත් මිතුරු මිතුරියෝ හඳුනගන්නල අළුත් අත්දැකීම් ගන්න එක කියන හේතු එකක්වත් නෙමෙයි. හැබැයි ඒවත් නොතිබ්බාම නෙමෙයි.

මගේ ප්‍රධානම හේතුව වුණේ මෙන්න මේකයි. මගේ තාත්තා හලාවත ශාන්ත මරියා විද්‍යාලයේ මානවක බාලදක්ෂයෙක් විදිහට 1983 අනුරාධපුරේ වලිසිංහ හරිශ්චන්ද්‍ර උද්‍යානයේ පවත්වපු 3 ජාතික ජම්බෝරියට සහභාගිවෙලා තිබුණා. තාත්තා ඒ කාලේ දාපු belt එක තමා මමත් බාලදක්ෂ කටයුතුවලට එකතු වුණාට පස්සේ දාන්න කියලා තාත්තා මට දුන්නේ.

ඉතින් මට හිතුණා තාත්තා 1983 දී 3 ජාතික ජම්බෝරියට දාගෙන ගිය belt එක මම 2002 දී 6 ජාතික ජම්බෝරියට දාගෙන ගියොත් ඒ belt එක එක අතකින් වටිනා කියන එකක් වෙනවා. අනිත් අතට තාත්තා 3 ජාතික ජම්බෝරියට ගියා පුතා 6 ජාතික ජම්බෝරියට ගියා කියලා ඒකත් ආඩම්බරෙන් කියන්න පුළුවන්නේ කියලා.

ඉතින් කොහොම හරි මාත් 2002 අගෝස්තු 18 ඉදන් 24 දක්වා බලපිටියේ ගුරු අභ්‍යාස විද්‍යාල භූමියේ තිබුණු 6 ජාතික ජම්බෝරියට පරම්පරාවෙන් එන වටිනා කියන belt එකත් (පරම්පරාවෙන් කිව්වට මම කලින්ම කිව්වානේ අපේ තාත්තා විතරයි belt එක දැම්මේ කියලා) දාගෙන සහභාගි වුණා.

ජම්බෝරියේදීත් මේ කතාව මම හුඟක් අයට කිව්වේ ලොකු ආඩම්බරයකින්. තේරෙනවානේ ඉතින් ඔයාලටත් අවුරුදු 13 ළමයෙක්ගේ වැඩ.

ඉතින් ඒ විදිහට මම තාත්තගෙන් මට හම්බුණු belt එකේ වටිනාකම වැඩි කළා. 

ඒ වටිනාකම මට තවත් වැඩි කරන්න පුලුවන් වුණේ 2006 අවුරුද්දේදී. ඒ 2006 අවුරුද්දේදී 7 ජාතික ජම්බෝරිය නුවර එළිය තුරඟ තරඟ පිටියේදී පැවැත්වුණු නිසා. 6 ජාතික ජම්බෝරියට කණිෂ්ඨ බාලදක්ෂයෙක් විදිහට ගිය මම 7 ජාතික ජම්බෝරියට ජ්‍යෙෂ්ඨ බාලදක්ෂයෙක් විදියට පරම්පරාවෙන් පැවත එන belt එකත් දාගෙන තමා ගියේ.

ඊටත් පස්සේ ජනාධිපති බාලදක්ෂයෙක් විදිහට ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂයා වුණු අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් සහතික පත් ලබාගන්නත් මම දාගෙන ගියේ මේ belt එකම තමා. ඉතින් දැන් ඒ belt එකේ දැන් තියෙන වටිනාකම අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ.

මේ belt එකේ වටිනාකම තවත් වැඩි කරන්න මට අවස්ථාවක් ලැබුණා 2010 අවුරුද්දේදී. ඒ 2010 අවුරුද්දේදී හම්බන්තොට 8 වැනි බාලදක්ෂ ජම්බෝරිය පැවැත්වුණු නිසා. සක්‍රීයව බාලදක්ෂ කටයුතුවලට එකතු වෙලා නොහිටියත් බාලදක්ෂ කණ්ඩායමෙන් ආරාධනා ලැබුණු ජම්බෝරියට යන්න එන්න කියලා. ඒත් විශ්වවිද්‍යාලයේ කටයුතුත් එක්ක ඒ ජම්බෝරියට යන්න මට බැරිවුණා.

මේ තියෙන්නේ පරම්පරාවේ Scout Belt එක

කොහොම නමුත් මම දැන් සක්‍රීයව බාලදක්ෂයෙක් විදිහට කටයුතු නොකළත් තවමත් විද්‍යාලයේ බාලදක්ෂ කණ්ඩායමෙන් කරන කඳවුරු ආදියට සම්බන්ධ වෙනවා. ඒ බාලදක්ෂ කටයුතු කියන්නේ මගේ ජීවිතේ කොටසක් වෙලා තියෙන නිසා.

මම තාමත් ඒ belt එක හුඟක් පරිස්සමෙන් තියාගෙන ඉන්නේ මගේ target එකක් එක්ක ඒකේ සම්බන්ධයක් තියෙන නිසා. මගේ හිතේ තියෙන target එකක් තමා මට පුතෙක් හිටියොත් මගේ පුතාවත් බාලදක්ෂයෙක් බවට පත් කරලා අර පරම්පරාවෙන් එන මහානර්ඝ belt එක එයාටත් පාවිච්චි කරන්න දෙන්න ඒකේ ඉතිහාස කතාවත් කියලා දීලා. මම හිතනවා එයාගේ සීයාත් තාත්තත් කරපු දේ එයාත් ඉස්සරහට කරාවි කියලා.

ඕන් ඕක තමා මගේ බාලදක්ෂ ජීවිතය ගැන කියද්දී මට මතක් වෙන වැදගත්ම කාරණය.

ඉතින් මේක ටිකක් අමුතු කතාවක් කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. ඉතින් මේක ගැන ඔයාලගේ අදහසුත් මම දැනගන්න කැමතියි.

ප.ලි.: ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයෙන් නිකුත් කරන Scouting Magazine 2012 අගෝස්තු කලාපයේ මේ කතාව පළවුණා. ඒ සඳහා සංස්කරණය කරන ලද කතාව තමා මේ තියෙන්නේ...