Showing posts with label බෞද්ධ සාහිත්‍යය. Show all posts
Showing posts with label බෞද්ධ සාහිත්‍යය. Show all posts

Sunday, January 13, 2013

සැරියුත්, මුගලන් හිමිවරු මතු බුදුවේ යැයි බුදුන් වහන්සේ විවරණ දෙති



බෞද්ධ, හින්දු, කිතුණු පොත් හොය හොය ඉද්දී පහුගිය දවසක මට කියවන්න ලැබුණා මහායාන බුදු දහමේ ප්‍රධානම ග්‍රන්ථයක් විදිහට සැලකෙන සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය. ඒ සූත්‍රය කියවද්දී සිත් ඇදගන්නා සුළු වගේම විශේෂයි කියලා හිතුණු කරුණු ටිකක් බෙදා හදාගන්නයි අද මගේ කල්පනාව. 

මේ සූත්‍රයත් පටන් ගන්නේ ථේරවාදී බුදු දහමේ සූත්‍ර පටන් ගන්න ආකාරය වෙන "මා විසින් මෙසේ අසන ලදී" කියන වාක්‍යයෙන්. බුදු හාමුදුරුවෝ රජගහ නුවර ගිජුකුළු පව්වේ දොළොස් දහසක් සංඝයා වහන්සේලා පිරිවරාගෙන වැඩ වාසය කරද්දී ඒ පිරිසත් හයදාහක් පමණ වුණු භික්ෂුණීන් වහන්සේලාත්, අසූ හාරදාහක් පමණ වුණු බෝසත්වරුනුත් ඒ හැරෙන්න දිව්‍ය, බ්‍රහ්ම, කිඳුරු, මකර, ගරුඬ රාජයන් උදෙසා තමා සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය දේශනා කරන්නේ. 

ථේරවාදී බුදු සමයේ නිවන් අවබෝධ කරගන්නා වූ ත්‍රිවිධාකාර මාර්ගයන් දක්වනවා. තුන්තරා බෝධි නමින් හඳුන්වන ලොව්තුරා බෝධිය, පසේ බෝධිය, රහත් බෝධිය තමා මේ ත්‍රිවිධාකාර මාර්ග. මේ මාර්ග තුනෙන් එකකට පත්වෙන පුද්ගලයා නිවන් අවබෝධ කරගන්නවා කියලා තමා ථේරවාදී බුදු දහමේ ඉගැන්වෙන්නේ. 

ඒත් මහායාන බුදු දහමේ ඉගැන්වෙන්නේ නිවන් අවබෝධ කරගන්න නම් ලොවුතුරා බෝධියටම පත්විය යුතුයි කියලා. ඒක හොඳින්ම සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයෙන් අවධාරණය කරනවා. ථේරවාදී බුදු සමයේ දැක්වෙන විදිහට නිවන් අවබෝධ කරගනිපු මහ රහතන් වහන්සේලා වුණු සැරියුත්, මුගලන් ආදී වූ ශ්‍රාවකයන් වහන්සේලා අනාගතයේදී බුද්ධත්වයට පත්වෙලා නිර්වාණය සාක්ෂාත් කරගන්නා ආකාරය මේ සූත්‍රයේදී විස්තර කෙරෙනවා.

ඒකේ දැක්වෙන විදිහට බුදුන් වහන්සේ ප්‍රධාන ශ්‍රාවකයන් වහන්සේලා හැමෝටම වගේ නියත විවරණ ලබා දෙනවා මතු බුදුවෙනවාය කියලා. 

ඒ අනුව අනාගතයේදී සැරියුත් මහ රහතන් වහන්සේ පද්ම ප්‍රභා නමින්, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ රශ්මි ප්‍රභාශ්වර නමින්, සුභූති රහතන් වහන්සේ ශෂිකේතු නමින්, මහා කච්චායන මහ රහතන් වහන්සේ ජම්බුනදප්‍රභාස නමින්, මුගලන් මහ රහතන් වහන්සේ තමාලාපත්‍රචන්දන ගන්ධ නමින්, පුණ්ණ මන්තානිපුත්ත මහ රහතන් වහන්සේ ධර්ම ප්‍රභාශ්වර නමින් බුද්ධත්වයට පත් වෙනවා.  

සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය දේශනා කරන බුදුන් වහන්සේ

ඒ වගේමයි බුදුන් වහන්සේ දේශනා කරන පරිදි ඒ අවස්ථාවේ ගිජුකුළු පව්වේ වැඩ සිටිය දොළොස් දහසක් පමණ වුණු මහ රහතන් වහන්සේලා සියලු දෙනාම අනාගතයේදී අනුපිළිවෙළින් බුද්ධත්වයට පත්වෙනවා. උන් වහන්සේලා සියලු දෙනාවම හඳුන්වන්නේ සමන්තප්‍රභාස බුදුන් වහන්සේ කියලා. 

මේ හැරෙන්න සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ තිබෙන තවත් සිත් ඇදගන්නා සුළු කතා පුවතක් තමා බුදුන් වහන්සේ සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය දේශනා කරද්දී බුදුන් වහන්සේ ඉදිරියෙන් සත් රුවනින් සෑදුණු මහා ස්ථූපයක් පහළ වුණු සිදුවීම.

යොදුන් 500 ක් උස යොදුන් 250 ක් පළල වුණු මේ මහා ස්ථූපය මහ පොළව පලාගෙන තමා මතු වෙන්නේ. ස්ථූපයේ හතර වටින් සඳුන් සුවඳක් විහිදෙනවා වගේම ධජ පතාකවලින් ස්ථූපය අලංකාර කරලා තියෙන්නේ. මේ ස්ථූපයට දෙව් බඹුන් පුද පූජා පවත්වන්න පටන් ගන්නවා.

ඒ අවස්ථාවේදී ස්ථූපයෙන් හඬක් නිකුත් වෙලා "තථාගත ශාක්‍ය මුනින්ද්‍රයාණෙනි, ඔබවහන්සේ බුදුවරුන්ගේ මනසේ තබා ආරක්ෂා කොටගෙන සිටින්නා වූ සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය මේ මහා සභාවේ සිටින සියලු දෙනා ඉදිරියේ විශිෂ්ඨ අන්දමින් දේශනා කරන්නෙහිය. ඔබ වහන්සේ දේශනා කරන්නේ සත්‍යයකි" කියලා ප්‍රකාශ කරනවා. 

මේ සිද්ධියෙන් සභාවේ සියලු දෙනාම පුදුමයට පත්වෙනවා. ඒ නිසාම මහා ප්‍රතිභාන බෝසතාණන් වහන්සේ මේ ස්ථූපය කුමන හේතුවක් නිසා පැන නැඟුණාද කියලා බුදුන් වහන්සේගෙන් විමසනවා.

ඒකට පිළිතුරු වශයෙන් බුදුන් වහන්සේ වදාරනවා ඉතාම ඈත අතීතයේ ප්‍රමාණ කළ නොහැකි දහස් දස දහස් ලක්ෂ කෝටි ගණන් ලෝක ධාතුවලට නැගෙහිරට වන්නට තිබුණු රත්න විසුද්ධි ලෝක ධාතුවේ වැඩ වාසය කරපු ප්‍රභූතරත්න නම් බුදුන් වහන්සේ තමන් වහන්සේ පිරිනිවන් පාන අවස්ථාවේදී අධිෂ්ඨාන කරනවා අනාගතයේ දස දිසාවේ කිසියම් තැනක සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය දේශනා කරනවාද එයට සවන් දීමටත් එය සත්‍යයි කියලා වර්ණනා කරන්නත් තමන් වහන්සේගේ ශරීර ස්ථූපය පැන නගින්න කියලා

ඒ අධිෂ්ඨානය පරිද්දෙන්ම එය සිදුවුණු බව බුදුන් වහන්සේ වදාරනවා. මේ විස්තරය අහපු මහා ප්‍රතිභාන බෝසතාණන් වහන්සේ කියනවා ප්‍රභූතරත්න බුදුන් වහන්සේගේ ශරීරය දැකගන්න අපි කැමතියි. ඔබ වහන්සේගේ ප්‍රාතිහාර්යය බලයෙන් උන්වහන්සේව අපට පෙන්වන්න කියලා.

ඒකට පිළිතුරු විදිහට බුදුන් වහන්සේ වදාරනවා ප්‍රභූතරත්න බුදුන් වහන්සේගේ අධිෂ්ඨානය තමා සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය අහන්න මගේ රත්න ස්ථූපය කිසියම් බුදු කෙනෙකුන්ගේ ඉදිරියේ පහළ වුණාම සිව් වණක් පිරිසට මගේ දේහය දැකගන්න අභිලාෂයක් ආවොත් එය පෙන්වන්නේ දස දිසාවේ ධර්මය දේශනා කරන බුදුන් වහන්සේගේ නිර්මිත බුදුවරු ආපසු ගෙන්වා එක් රැස් කරලා ඒ බුදුන් වහන්සේගේ වටා සිටීමෙන් පසුවයි කියලා.

මහා ප්‍රතිභාන බෝසතණාන් වහන්සේ ඇතුළු පිරිස බුදුන් වහන්සේගෙන් ප්‍රභවය වුණු දස දිසාවේ සිටින බුදුවරුන් දැකගන්න කැමති වුණු නිසා බුදුන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුවෙන් ආලෝක ධාරා විහිදිලා දස දිසාවේම තියෙන ලෝක ධාතුවල ධර්මය දේශනා කරන බුදුන් වහන්සේලාව පෙන්නුම් කෙරෙනවා.

ඒ අවස්ථාවේදී ඒ ඒ බුදුන් වහන්සේලා ශාක්‍යමුනි [ගෞතම] බුදුන් වහන්සේගේ සිතැඟියාව තේරුම් අරගෙන සභා ලෝකයට වැඩම කරවනවා. මේ ආකාරයෙන් දස දිසාවෙන් වැඩම කරවන බුදුන් වහන්සේලාට වැඩ ඉන්න බුද්ධ ක්ෂේත්‍ර ශාක්‍යමුනි බුදුන් වහන්සේ විසින් මවනවා.

අවසානයේදී දස දිසාවේම බුදුන් වහන්සේලා වැඩම කරවීමෙන් පස්සේ ශාක්‍යමුනි බුදුන් වහන්සේ වැඩ සිටි අසුනෙන් අහසට වැඩම කරලා රතන ස්ථූපය දොර විවෘත කරනවා. මහා නගරයක දොරටුවක් විවර වෙන හඬින් මේ ස්ථූපයේ දොරටුව විවර වෙනවා සමඟම සිහසුනක වැඩ ඉන්න ප්‍රභූතරත්න බුදුන් වහන්සේව සියලු දෙනාටම දැකගන්න පුලුවන් වෙනවා.

ජීවමාන ස්වරූපයෙන්ම වැඩ සිටින ප්‍රභූතරත්න බුදුන් වහන්සේගේ ශරීරයෙන් නැවත වරක් "සාධු සාධු ශාක්‍යමුනි බුදුන් වහන්ස, ඔබ වහන්සේ දේශනා කරන සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය ශ්‍රවණය කිරීමට මම මෙහි පැමිණියෙමි" කියන හඬ නිකුත් වෙනවා. 

ශාක්‍යමුනි බුදුන් වහන්සේ හා ප්‍රභූතරත්න බුදුන් වහන්සේ දැක්වෙන මූර්තියක්

ඒ අවස්ථාවේදී ප්‍රභූතරත්න බුදුන් වහන්සේ වැඩ සිටින සිහසුනේ අඩක වැඩ ඉන්න ශාක්‍ය මුනි බුදුන්වහන්සේ පහළ සිටින සිව් වණක් පිරිසගේ සිතැඟියවා වටහාගෙන ඔවුන්වත් ඉහළ අහසට ඔසවා තබනවා. පසුව සද්ධර්ම පුණ්ඩරික සූත්‍ර ධර්මයේ වටිනාකම දේශනා කරනවා. 

මේ කතාව ඇතුළෙත් මහායාන බුදු සමයේ දැක්වෙන ප්‍රධාන සංකල්පයක් ඉස්මතු කරලා තිබෙනවා. ඒ තමා සැබෑ බුදුන් වහන්සේ සභා ලෝකයේ වැඩ සිටින බවත් උන්වහන්සේගෙන් නිර්මිත වුණු නිර්මිත බුදුන් වහන්සේලා දස දිසාවේ ලෝකවල වැඩ සිටින බවත් දැක්වෙන පුවතින් නිර්මිත බුදුන් සංකල්පය.

මහායානිකයන් පිළිගන්න තවත් මතයක් තමා සැබෑම බුදුන් වහන්සේ දිව්‍ය ලෝකයේ [සමහර විටෙක සුඛාවතී ලෝකයේ] වැඩ සිටින බවත් මිනිස් ලොව වැඩ සිටියේ උන්වහන්සේගේ නිර්මිත බුදුරුවක්ය කියන එක. ඒ බුදුරුව ආහාර ගත්තේ, නිදා ගත්තේ හුදෙක්ම මිනිසාට පෙනෙන්නට විනා ඒ බුදුරුවට ඒ වගේ දේවල් අවශ්‍ය නැහැ කියන අදහසත් ඔවුන් දක්වනවා.

ඉතින් මේවා තමයි මට කියන්න උවමනා කරපු කතා ටික. කෝකටත් වෙලාවක් තිබුණොත් දහම් පොත පතක් කියවන්න. ඒ වගේමයි අනෙක් ආගම්වල ආගමික පතපොතත් කියවලා බලන්න. බොහොම රසවත් කතා ප්‍රවෘත්ති රාශියක්ම කියවන්න ලැබේවි. [කරුණු වටහා ගැනීම කෙසේ වෙතත්] 

මම කියවපු සද්ධර්ම පුණ්ඩරික සූත්‍ර දේශනාව සිංහලයට පරිවර්තනය කරපු පුද්ගලයා ගැනත් යමක් කියන්න ඕනේ. ඒක සිදු කරලා තියෙන්නේ බොහොම ආන්දෝලනාත්මක නඩු තීන්දු කීපයක්ම දුන්නු පී.බී වරාවැව විනිසුරුතුමා.

සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය ගැන තවත් විස්තර මෙතනින් කියවන්න. 

ප.ලි.: සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය බොහොම හාස්කම්, අනුහස් තියෙන සූත්‍රයක් කියලා කියනවා. මටත් ඒක අත් විඳින්න ලැබුණා. මේ පොත පුස්තකාලයෙන් අතට අරන් පෙරලපු දවසේම මේ පොත ඇතුලේ තිබිලා මට රුපියල් 200 ක් ලැබුණනේ  :D

Sunday, January 6, 2013

ජාතක කතා පොතෙන් බයිබලයටද බයිබලෙන් ජාතක කතා පොතටද ?

මීට කලින් දවසක මම ලියපු බුදුන්, ජේසුස්, විෂ්ණු, මහ්දි, දියසේන මේ ඔක්කොම අනාගතයේ පහළ වෙනවද ලිපිය ලියන කාලයේදී අනෙක් ආගම්වලට අයිති පොතපත් එහෙමත් කීපයක්ම කියෙව්වා. ඒවායිනුත් වැඩියෙන් කියෙව්වේ ක්‍රිස්තියානි ආගමට අයිති පොත්පත්.

ඒ පොත්පත් අතරින් ශුද්ධ බයිබලයේ නව ගිවිසුමේ තිබුණු කතාවක් නිසා මට බෞද්ධ සාහිත්‍යයේ තිබෙන ජාතක කතාවක් වගේම මහ රහතන් වහන්සේ නමක් සම්බන්ධ කතාවකුත් මතක් වුණා. ඒ කතා කීපය අතරේ තියෙන සමානකම නිසා තමා ඒ ගැන අනික් අයටත් කියන්න හිතුණේ. 

මුලින්ම ශුද්ධ බයිබලයේ නව ගිවිසුමේ ශුද්ධවර මතෙව්තුමාගේ සුබ අස්නේ තියෙන කතාව කියන්නම්.


මුහුද මත ඇවිදීම කියන මාතෘකාවෙන් ශු.මතෙව් 14:17-32 තියෙන්නේ ජේසුස් වහන්සේ තමන්ගේ දේශනාවක් අහන්න ආපු ජනතාවට දේශනාව පවත්වලා ඊට පස්සේ 5000 ක් පමණ වුණු ඒ පිරිසගේ කුසගින්න නිවන්න පොඩි පාන් ගෙඩි 5 ක් හා මාළු දෙන්නෙක්ව ප්‍රාතිහාර්යයක් මඟින් වැඩි කරලා අවසානයේදී ජනතාව විසිර යද්දී තමන්ගේ ශ්‍රාවකයන්ටත් ඔරුවට නැඟලා තමන්ට කලින් එගොඩට යන්න නියම කරනවා. 


හුදෙකලා වුණු ජේසුතුමා කන්දට පිටත් වෙලා යාඥා කරනවා. මේ අතර වාරයේදී ජේසුතුමාගේ ශ්‍රාවකයන් පිටත් වුණු ඔරුව තද සුළඟටකට අහු වෙනවා. මේ වෙද්දී රළ පහරත් වේගවත් වෙලා තිබුණේ. මේ වෙලාවේදී ජේසුතුමා මුහුද මතින් ඇවිද ගෙන ශ්‍රාවකයන් හිටිය ඔරුව දිහාවට එනවා. 

ඒත් ජේසුතුමාගේ ශ්‍රාවකයෝ නම් මේ එන්නේ අවතාරයක් කියලා කලබල වෙලා බය වෙනවා. ඒත් ජේසුතුමා කතා කරලා කියනවා "බය වෙන්න එපා, ධෛර්යය ගන්න. මේ මම" කියලා.

ඒ වෙලාවේදී ජේසුතුමාගේ ප්‍රධාන ශ්‍රාවකයා වුණු පේදුරුතුමා ජේසුතුමාට කියනවා "ස්වාමිනි මේ ඔබ වහන්සේම නම් වතුර මතින් ඔබ වහන්සේ සමීපයට එන්න මට අණ කරන්න" කියලා. 

ඒකට පිළිතුරු විදිහට ජේසුතුමා කියනවා "පැමිණෙන්න පේදුරු" කියලා. 

ජේසුතුමාගෙන් අණ ලැබීමත් එක්ක පේදුරුතුමා ඔරුවෙන් වතුරට බැහැලා වතුර උඩින් ජේසුතුමා ගාවට ඇවිදගෙන යනවා. එහෙම යද්දී සුළඟ වේගවත් වුණු බව දැකපු පේදුරුතුමා බය වෙනවා. 

ඒත් එක්කම තමන් වතුරේ ගිලෙන්න පටන් ගත්තු නිසා පේදුරුතුමා හයියෙන් කෑ ගහනවා "ස්වාමීනී මාව බේරගන්න" කියලා. 


ජේසුතුමා එතනට ඇවිත් පේදුරුතුමාගේ අතින් අල්ලාගෙන අහනවා "කෝ ඔබේ ශ්‍රද්ධාව ? ඔබේ ශ්‍රද්ධාව හීන වුණා නේද ? සැක කළේ ඇයි ?" කියලා

පස්සේ පේදුරුතුමාවත් අතින් අල්ලාගෙන ජේසුතුමා ඔරුවට නගිනවා. ඊට පස්සේ කුණාටු සුළඟ නැතිවෙලා ගිහින් සියල්ල සන්සුන් වෙනවා. 

ඒ කතාවේ කියවෙන විදිහට ජේසුතුමා ගැන පේදුරුතුමාගේ හිතේ ඇතිවුණු ශ්‍රද්ධාව හේතු කරගෙන පේදුරුතුමා වතුර උඩත් ඇවිදිනවා. ඒත් ශ්‍රද්ධාව හීනවීමත් එක්කම දියේ ගිලෙන්න ගියා. 

මේ වගේම කතාවක් බෞද්ධ සාහිත්‍යයේ තියෙන්නේ පන්සිය පනස් ජාතක කතා පොත් වහන්සේ තුළ තියෙන 189 වෙනි ජාතක කතාව වෙන ශීලානිසංස ජාතකයේ.

ඒ ජාතක කතාවේ නිධාන කතාව තමා බුද්ධ කාලයේ ජීවත් වුණු එක උපාසකයෙක් බුදුන් වහන්සේව බැහැ දකින්න හිතාගෙන සැවැත් නුවර ජේතවනාරාමයට එන්න පිටත් වෙනවා. ගමන එන අතර වාරයේදී මේ උපාසකයාට අචිරවතී ගංගාව තරණය කරන්න වෙනවා. 

ගඟේ ඔරු පාරු පදින තොටියෙකුත් දැක ගන්න නොහිටපු නිසා උපාසකයා "ඔරු පාරු නැති වුණාට කමක් නැහැ බුද්ධාලම්භන ප්‍රීතියෙන් යනවා" කියලා හිතලා ගල් තලාවක් මතුපිට ඇවිදිනවා හා සමානව අචිරවතී ගංගාවේ දිය කඳ මතින් ඇවිදගෙන යනවා. 

ගඟ මැදට එද්දී හයියෙන් වතුර ගලන නිසා මේ උපාසකයාගේ හිතේ බය ඇතිවෙලා බුද්ධාලම්භන ප්‍රීතිය අඩුවීමත් එක්ක දියේ ගිලෙන්න යනවා.  ඒත් ආයි පාරක් බුද්ධාලම්භන ප්‍රීතිය උපදවා ගත්තු ඒ උපාසකයා ආයි පාරක් ගල් තලාවක් උඩ ඇවිදිනවා හා සමානව ගංගාව උඩින් ඇවිදගෙන ගිහින් අවසානයේදී ජේතවනාරාමයේදී බුදුන් වහන්සේව බැහැ දකිනවා. 

මේ කතාවේ විදිහටත් බුදුන් වහන්සේ ගැන තමන්ගේ හිතේ ඇතිවුණු අසීමිත ශ්‍රද්ධාව [බුද්ධාලම්භන ප්‍රීතිය] හේතු කරගෙන වතුර උඩ ඇවිදපු උපාසකයා බුද්ධාලම්භන ප්‍රීතිය අඩුවීමත් එක්ක දියේ ගිලෙන්න ගියත් ආයි පාරක් බුද්ධාලම්භන ප්‍රීතිය ඇති කරගෙන වතුර උඩින් ඇවිදගෙන ගිහින් ගංගාව තරණය කරනවා. 

මේ කතා දෙකත් එක්කම මේ කතාවත් නොකිව්වත් අඩුවක් කියලා හිතලා තමා මේ කතාවත් කියන්න හිතුවේ. බුද්ධ කාලයේ සැවැත් නුවර බමුණු කුලේක ඉපදුණු වක්ඛලී කියන තරුණයා බුදුන් වහන්සේගේ ශෝභාව දැකලා හැමදාම බුදුන් වහන්සේව බැහැ දකින්න පටන් ගත්තා. ඊට පස්සේ මහණ වුණොත් හැම වෙලාවේම වගේ බුදුන් වහන්සේව දැකගන්න පුලුවන් කියලා හිතලා මහණත් වෙනවා. 


වක්ඛලී හාමුදුරුවන්ගේ මේ ක්‍රියා කලාපය දැකපු බුදුන් වහන්සේ වක්ඛලී හාමුදුරුවන්ට දේශනා කරනවා "මේ කුණු කය දිහා බලාගෙන ඉන්න එකේ ප්‍රයෝජනය මොකක්ද ? යමෙක් බුදුන් දකීද ඔහු ධර්මය දකිනවා ඒ වගේමයි යමෙක් ධර්මය දකිනවාද ඔහු බුදුන් දකිනවා" කියලා. 

ඒත් මේ අවවාදයත් වක්ඛලී හාමුදුරුවෝ පිළිගත්තේ නැති නිසා තමන් වහන්සේ වැඩ සිටිය ස්ථානයෙන් වක්ඛලී හාමුදුරුවන්ට පිටමං කරනවා. බුදුන් වහන්සේ තමන්ව පිටමං කරපු නිසා හුඟක් කම්පා වුණු වක්ඛලී හාමුදුරුවෝ සිය දිවි නසාගන්න හිතාගෙන ගිජුකුළු පව්ව මුදුනට නැගලා බිමට පනින්න උත්සහ කරනවා. 

 ගිජුකුළු පව්ව

මේ සිදුවීම බුදු ඇසට හසු වීමත් එක්ක බුදුන් වහන්සේ වක්ඛලී හාමුදුරුවන් ඉදිරියේ බුදු රැස් කදක් විහිදවලා "වක්ඛලිය, යමෙක් අසීමිත බුද්ධාලම්භන ප්‍රීතියෙන් වෙසෙනවාද ඔහු බුදු සසුන ගැන පැහැදීමෙන් වෙසෙනවා. අනික් සිතුවිලිවලට හිතේ ඉඩක් නොමැති නිසා විමුක්තිය සාක්ෂාත් කරගෙන ඉපදීම නැති කරනවා" කියලා දේශනා කරනවා. 

ඊට පස්සේ එතැන මැවුණු බුදු රුව අත දිගු කරනවා. බුද්ධාලම්භන ප්‍රීතියෙන් පිනා ගිය වක්ඛලී හාමුදුරුවෝ බුදු රුවේ අත අල්ලාගෙනම ගිජුකුළු පව්වේ ඉදන් පහතට වැටෙන කාලය අතරතුරේදීම රහත් භාවයට පත් වෙනවා. බුදුන් වහන්සේ පස්සේ ශ්‍රද්ධාධික භික්ෂූන් වහන්සේලාගෙන් අග්‍රස්ථානය වක්ඛලී හාමුදුරුවන්ට ප්‍රදානය කරනවා. 

ඒ කතාවේදීත් කලින් කතාවේ වගේම අසීමිත බුද්ධාලම්භන ප්‍රීතිය නිසා ගිජුකුළු පව්වෙන් පහතට වැටෙද්දීත් සිත එකඟ කරගෙන රහත්බව සාක්ෂාත් කරගන්න වක්ඛලී හාමුදුරුවන්ට පුලුවන් වෙනවා. 

මේ කතා පිරික්සද්දී ශ්‍රද්ධාව කියන එක වැදගත් සාධකයක් බව පැහැදිලියි. හැබැයි අවශ්‍ය වෙන්නේ ආකාරවතී ශ්‍රද්ධාව. එහෙමත් නැත්නම් කරුණු නිවැරදිව වටහාගෙන අවබෝධයෙන් ඇති කරගන්නවා වූ පැහැදීම. එහෙම නැතුව අමූලිකා ශ්‍රද්ධාව නෙමෙයි. ඔය අමූලිකා ශ්‍රද්ධාව තියෙන ඇත්තෝ තමා හාමුදුරුවෝ පිණ්ඩපාතේ වඩිද්දී මිදුල අතු ගගා හිටිය ඉදල හාමුදුරුවන්ගේ ඇඟෙන් හේත්තු කරලා හාමුදුරුවන්ට දණ ගහලා වඳිනවා වගේ වැඩ කරන්නේ.

Saturday, December 1, 2012

නම් ගම් ටිකක මුල් සොයා

බුදු සිරිතත් එක්ක සම්බන්ධ වෙන විවිධ පුද්ගලයෝ වගේම විවිධ ස්ථාන රාශියක් තිබෙනවා. මේ විවිධාකාර පුද්ගලයන් වගේම ස්ථානවලට නම හැදුණු හැටි ගැන යම් යම් බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථවල කතා කරලා තිබෙනවා. හැම ස්ථානයේම හරි හැම පුද්ගලයාගේම හරි නම සකස් වුණු හැටි නැතිවුණත් සාමාන්‍ය ප්‍රමාණයකට ඒ පිළිබඳ විස්තර තිබෙන නිසා බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථ කීපයක්ම කියවද්දී මට හම්බුණු ඒ වගේ දේවල් ටිකක් ගැන කියන්න තමා අද මම කල්පනා කළේ.

මීට කලින් සිද්ධාර්ථ කුමාරයා ඉපදුණු ශාක්‍ය වංශයට නම සකස් වුණු ආකාරය වගේම ශාක්‍ය ජනපදයේ අගනුවර වුණු කපිලවස්තුවට ඒ නම සකස් වුණු ආකාරයත් විශාලා මහනුවර මුල් කරගෙන වජ්ජි ජනපදයේ ගණ තන්ත්‍ර පාලනයක් ගෙනියපු ලිච්ඡවි රාජ වංශයට ඒ නම හිමිවුණු ආකාරය ගැනත් කතා කළා මතකයිනේ.

බරණැස ඉසිපතනය
මුලින්ම බුදු හාමුදුරුවෝ මංගල ධර්ම දේශනාව පවත්වපු බරණැස් නුවර පිහිටලා තිබුණු ඉසිපතනාරාමය එහෙමත් නැත්නම් ඉසිපතන මිගදායට නම සකස් වුණු ආකාරය බලමු. 

තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය ඉතාමත් ඉහළ මට්ටමකට දියුණු කරගත්තු ඒ වගේමයි විශාල දැනුම් සම්භාරයක් තිබුණු පුද්ගලයන් කොට්ඨාශයක් භාරතයේ ඈත අතීතයේ ඉදලා තිබෙනවා. ඔවුන්ව හැඳින්වූවේ සෘෂිවරු එහෙමත් නැත්නම් ඉසිවරු කියලා. ජ්‍යෙතිෂ ශාස්ත්‍රය, ආයුර්වේදය, යෝග ශාස්ත්‍රය වගේ බොහොම පැරණි විෂයයන් රාශියක්ම බිහි කරලා තිබෙන්නේත් මේ සෘෂිවරු.

දෙවිවරුන් සමඟත් සම්බන්ධතා පවත්වන්න හැකියාව තිබුණු සෘෂිවරු බොහොම බලවත් පිරිසක්. මේ සෘෂිවරුන්ට විවිධාකාරයේ සෘද්ධි බල එහෙමත් තිබුණු බව තමා කියවෙන්නේ. ඉතින් තමන්ගේ සෘද්ධි බලයෙන් අහසින් යන සෘෂිවරු  බිමට බසින එක ස්ථානයක් තමා මේ බරණැස් නුවර ඉසිපතන නමින් හඳුන්වපු ප්‍රදේශය. ඉසිවරුන් බිමට බසින එහෙමත් නැත්නම් පතනය වෙන ස්ථානය කියන තේරුමෙන් ඉසිපතනය කියන නම ලැබිලා තිබෙනවා.

පස්වග තවුසන් සහ මුවන් මංගල ධර්ම දේශනය ශ්‍රවණය කරන අයුරු
මිගදාය කියලා හඳුන්වලා තිබෙන්නේ මේ ප්‍රදේශය මුවන් සඳහා අභය දානය දීපු ප්‍රදේශයක් එහෙමත් නැත්නම් අභය භූමියක් වශයෙන් නම් කරලා තිබිලා තියෙනවා. මුවන් සඳහා අභය දානය දුන් කියන අදහසෙන් තමා මිගදාය කියන නම හැදිලා තියෙන්නේ.මිගදායේ අදටත් මුවෝ ඉන්නවා වන්දනාවේ යන අයට දැකගන්න පුලුවන්.

රජගහ නුවර නටබුන්
ඊළඟට බුදු සසුනේ ප්‍රථම ආරාම පූජාව වශයෙන් සැළකෙන්නේ බිම්බිසාර රජතුමා විසින් සිදුකරපු රජගහ නුවර පිහිටි වේළුවනාරාම පූජාව. බෞද්ධ සූත්‍රවල මේ ආරාමය හඳුන්වන්නේ වේළුවන කලන්දක නිවාපය කියලා. ඒ නම හැදුණේ මෙහෙමයි. 

උණ ගසට පාලියෙන් භාවිතා වෙන්නේ වේළු කියන පදය ඒ ආරාම භූමිය උණ ගස්වලින් පිරිලා තිබුණු නිසා වේළු වනය කියන නම යෙදිලා තිබුණා. කලන්දක නිවාපය කියන නම යෙදුණේ මේ වනය ලේනුන් සඳහා අභය භූමියක් වෙලා තිබුණු නිසා. පාලියෙන් ලේනාට කියන්නේ කලන්දක කියලා. නිදහස එහෙමත් නැත්නම් අභය දානය දුන් කියන අදහසෙන් නිවාප කියන කොටසත් එකතු වෙලා තමා කලන්දක නිවාප කියන නම ඇතිවුණේ.

කලින් කිව්වා වගේ වේළුවනාරාමය පිහිටලා තිබුණේ රජගහ නුවරනේ. මේ නුවර රාජගෘහ නමිනුත් හඳුන්වලා තියෙනවා. ඒකට නම හැදුණේ මේ නුවර රජවරු මහ ඇමතිවරුන්ගෙන් සමන්විත වෙන නිසාත්, නුවර වටේ වේහාර, වේපුල්ල, පාණ්ඩව, ඉසිගිලි, ගිජ්ඣකූඨ කියන විශාල පර්වත පහෙන් සමන්විත වෙන නිසාත්, බුදුරජාණන් වහන්සේට පිණ්ඩපාතය සඳහා ගෙයක් හා සමාන වෙන නිසාත් ඒ අර්ථයෙන් රාජගෘහ කියන නම අරගෙන තියෙනවා. 

 ශ්‍රාවස්ති නුවර නටබුන්
කෝසල දේශයේ අගනුවර වුණේ සැවැත් නුවර. ශ්‍රාවස්ති කියන නමත් මේ නගරයට භාවිතා වෙලා තියෙනවා. ශ්‍රාවස්ති කියන නම හිමිවෙලා තියෙන්නේ ශ්‍රාවස්ති කියන සෘෂිවරයාගේ අසපු භූමියේ මේ නගරය නිර්මාණය කෙරුණු නිසා. 

මහා ප්‍රජාපතී ගෝතමිය පැවිදිවීම
දැන් ඉතින් පුද්ගල නාම ටිකකුත් කිව්වා නම් හොඳයි වගේ. සිද්ධාර්ථ කුමාරයාගේ සුළු මව වුණු මහා ප්‍රජාපතී ගෝතමී දේවියට ඒ නම හිමිවුණේ එතුමියට නම් තබන දවසේ දේහ ලක්ෂණ බලපු බමුණෝ ප්‍රකාශ කරනවා මේ කුමාරිකාව අනාගතයේ පුතෙක් බිහි කළොත් එයා සක්විති රජෙක් වෙන බවත් දියණියක් බිහි කළොත් ඒ දියණිය සක්විති රජෙක්ට අග මෙහෙසිය වෙන බවත් ඒ වගේමයි වෙනත් ස්ත්‍රියකගේ කුසෙන් බිහි වුණත් මේ කුමාරිකාව විසින් රැක බලා ගන්නා පුත්‍රයෙක් දෙවියන් අතින් පවා වැඳුම් ලබන්න සමත් වෙනවා කියලා. 

මේ නිසා පුත්‍ර ප්‍රජාවට පති කියන අර්ථයෙන් ප්‍රජාපතී කියන නම යෙදෙනවා. ගෝත්‍ර නාමය තමා ගෝතමී කියලා එකතු වෙන්නේ. 

සිද්ධාර්ථ කුමාරයාගේ මෙහෙසිය වෙන්නේ යශෝධරා දේවිය. එයට ඒ නම හිමිවුණේ උපන් දවසේ ඉදන් මහත් යසසක් දරපු නිසා. ඒ අර්ථයෙන් යසස් දරන කියන අර්ථයෙන් යශෝධරා කියන නම හිමිවෙනවා. 

කලිනුත් කිව්වා වගේ බුදු සසුනේ ප්‍රථම ආරාම පූජාව සිදු කරපු මගධයේ අධිපති බිම්බිසාර රජතුමාට නම හැදුණේ මෙහෙමයි. ස්වර්ණමය පැහැයක් ගත්තු අලංකාර සිරුරක් තිබුණු නිසා එතුමාට බිම්බිසාර කියන නම ලැබිලා තිබිලා. විශාල සේනාවක් එතුමාට තිබුණු නිසා සේනිය බිම්බිසාර කියන නමිනුත් හැඳින්වෙලා තියෙනවා. 

බිම්බිසාර රජතුමාගේ පුත්‍රයා වුණු පස්සේ කාලේ බිම්බිසාර රජතුමාව මරණයට පවා පත් කරවපු අජාසත් රජතුමාට ඒ නම හිමිවුණේ මව් බිසව ගැබ් ගත්තු කාලයේම බිසවට දොළ දුකක් හට ගන්නවා රජතුමාගේ උරහිස පළලා ලේ බොන්න. ඒ දොළ දුක කිසිම පැකිලීමක් නැතුව බිම්බිසාර රජතුමා ඉෂ්ට කරනවා. 

 අජාසත් රජතුමා

ඒත් නිමිත් දන්න අය ප්‍රකාශ කරනවා බිසවට ලැබෙන දරුවා පුත්‍රයෙක් වුණොත් රජතුමාට විරුද්ධ අයෙක් වෙනවා. ඒ කුමාරයා තාත්තාව මරා දමලා රාජ්‍ය බලය ලබා ගන්නවා කියලා. මේක අහපු බිසව දරු ගැබ පහ කරන්න කරපු උත්සහය හරියන්නේත් නැහැ. අවසානයේදී පුත්‍රයෙක් බිහිවුණාම මව් කුසෙන් බිහි වෙන්නත් කලින්ම පිය රජතුමාට සතුරු වූ කියන අර්ථයෙන් අජාතවම සතුරු වූ කියන අදහසෙන් අජාසත් කියන නම මේ කුමාරයාට තියලා තිබෙනවා.

අදට මේ ඇති. හැමදාම බරසාර කතා නැතුව සරල දේකුත් කියන්න එපැයි.

ප.ලි.: ඊළඟට පබ්ලිෂ් කරන පෝස්ට් එක තමා පෝස්ට් එක :D

Sunday, November 25, 2012

ශාක්‍යයන්ගේ ලේවලින් පුටු හෝදපු විඩූඪභ කුමාරයා

  කපිලවස්තුපුර නටබුන්

කලින් සතියක ලියපු අයියලා නංගිලා කසාද බැන්ද හැටි කියන බ්ලොග් සටහනෙන් ශ්‍රේෂ්ඨ රාජ වංශයක් විදිහට සැලකෙන් ශාක්‍ය වංශය ආරම්භ වුණු ආකාරය ගැන කතා කළා මතක ඇති. ඒ වගේ ශ්‍රේෂ්ඨ වංශයක් වුණු ශාක්‍ය වංශයේ අවසානය බොහොම ඛේදනීයයි කියලා මම කිව්වාත් මතක ඇති. ඉතින් අද ආගිය කතාවෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ ශාක්‍ය රාජ වංශයේ ඛේදනීය අවසානය පිළිබඳව. 

කෝසල ජනපදය කියන්නේ ඒ කාලයේ භාරතයේ තිබුණු සොළොස් මහා ජනපදයන්ගෙන් බලවත් ජනපද 4 ට අයිති වුණු ජනපදයක්. මේ ජනපදයේ අධිපතියා වුණු පසේනදී කෝසල එහෙමත් නැත්නම් ප්‍රසේනජිත් නමින් හඳුන්වපු රජතුමාට. බුදුන් වහන්සේ තමන්ගේ ජීවිත කාලයේ වැඩිම කාලයක් වාසය කරපු සැවැත් නුවර පිහිටලා තිබුණෙත් මේ කොසොල් ජනපදයේමයි.

 
සිරි පතුල් සිඹිමින් බුදුරදුන් වන්දනා කරන කොසොල් රජතුමා

ඉතින් කොසොල් රජතුමාත් බුදුන් සරණ ගිය උපාසකයෙක් වුණා වගේම බුදුන් වහන්සේට අසීමිත ගෞරවයක් දක්වපු බවත් කියවෙනවා. උත්පලගන්ධ හාමුදුරුවන්ගේ කතාවෙනුත්, මුල්ම බුදු පිළිමය තනපු හැටි ගැන කියපු කතාවෙනුත් අපි කොසොල් රජතුමා ගැන හුඟක් දේවල් මේ වෙද්දිත් කතා කරලා නොවැ තියෙන්නේ. 

මේ කොසොල් රජතුමා තමන්ගේ රජ මාළිගාව ආසන්නයේ දාන ශාලවක් කරවලා හාමුදුරුවරු 500 නමකට හැමදාම දානය පිළිගන්නනවා. හැබැයි මේ විදිහට හාමුදුරුවරුන්ට දානය පූජා කළත් විශ්වාසයෙන් ගෞරවයෙන් උන් වහන්සේලාට ඒවා පිළි ගන්වන ඒ වගේම වළඳන්න අවශ්‍ය පහසුකම් සලසන කවුරුත් එතැන හිටියේ නැහැ.


ඒක නිසා හාමුදුරුවරු කරන්නේ රජතුමාගේ දාන ශාලාවෙන් දානය අරගෙන තමන් වහන්සේලාට විශ්වාස උපාසක උපාසිකාවන්ගේ ගෙවල්වලට වැඩම කරවනවා දානය වළඳන්න. ඒ උපාසක උපාසිකාවනුත් දානය වළඳන්න තමන්ගේ ගෙදරට වැඩම කරන හාමුදුරුවන්ට ගෞරවයෙන් පිළි අරගෙන ආසන පනවලා රජතුමාගේ දාන ශාලාවේ දානය පරීක්ෂා කරලා බලලා ඒකේ වරදක් තියෙනවා නම් තමන්ගේ ගෙදර සකස් කරපු දානය පිළිගන්වලා අවශ්‍ය ඇප උපස්ථාන සිද්ධ කරනවා.

මේ විදිහට කටයුතු සිද්ධ වෙද්දී දවසක් රජතුමා විශේෂ ආහාරයක් ලැබිලා ඒක දාන ශාලාවට පිටත් කරවනවා හාමුදුරුවරුන්ට පූජා කරන්න කියලා. ඒත් දාන ශාලාවේ හාමුදුරුවරු කවුරුත් හිටියේ නැති නිසා ඒ ගැන කරුණු කාරණා හොයපු ඇමතිවරු රජතුමාට කියනවා රජතුමාගේ දාන ශාලාවෙන් දානය ගන්න හාමුදුරුවරු උන් වහන්සේලාට විශ්වාස ගෙවල්වලට වැඩම කරවලා ඒ දානය වළඳනවා කියලා.

මේ කතාව අහලා හොඳටෝම කේන්ති ගත්තු රජතුමා වහාම බුදු හාමුදුරුවන්ට බැහැ දැකලා බුදුන් වහන්සේට කියනවා.

"ස්වාමීනි, ඔබ වහන්සේගේ ශාසනයේ ඉන්න භික්ෂූන් වහන්සේලා මධ්‍යස්ථ නැහැ. මම වගේ රජෙක් දෙන අග්‍ර වෙන දානයක් මගේ දාන ශාලාවේදී වළඳන්නේ නැතුව වෙන ගෙවල්වලට වැඩම කරවලා වළඳනවා. ඒකට හේතුව මොකක්ද?" කියලා.

මේ අවස්ථාවේදී බුදු හාමුදුරුවේ වදාරනවා "රජතුමනි ඔබතුමාගේ දානය අග්‍ර වුණත් විශ්වාසයක් නැහැ, ඒක නිසා භික්ෂූන් වහන්සේලා තමන් වහන්සේලාට විශ්වාස ආදරයෙන් දෙන දානය වළඳනවා වගේම ඒවගේ අය ඉන්න ස්ථානවලදී දානය වළඳනවා" කියලා.

පස්සේ රජතුමා අහනවා "ස්වාමීනි භික්ෂූන් වහන්සේලා කාව හරි විශ්වාස කරන්නේ කොහොමද?" කියලා. බුදුන් වහන්සේ වදාරනවා "රජතුමනි සෝවාන් වුණු අය ගැන වගේම ඥාතීන් ගැන භික්ෂූන් වහන්සේලා හුඟක් විශ්වාස කරනවා" කියලා. 

මේ කාරණාව තදින්ම හිතට ගත්තු කොසොල් රජතුමා බුදු හාමුදුරුවන්ට වැඳලා මාළිගාවට ඇවිත් කල්පනා කරනවා මම බුදු හාමුදුරුවන්ගේ නෑයෙක් වුණොත් නම් හැම හාමුදුරු කෙනෙක්ම මං ගැන විශ්වාස කරයි කියලා හිතලා තමන්ගේ සේනාව හුඟක් ප්‍රබල නිසා තමන් ප්‍රබල රජ කෙනෙක් වෙන හින්දාම ශාක්‍ය වංශයෙන් හොඳින් නැත්නම් නරකින් හරි කුමරියක් සරණ පාවා ගෙන බුදු හාමුදුරුවන්ගේ නෑයෙක් වෙනවා කියලා තීරණය කරනවා.

ඒ වෙද්දී ශාක්‍ය වංශයේ රජ දරුවන්ගෙන් ප්‍රධාන රජතුමා විදිහට කටයුතු කරන්නේ මහානාම කියන ශාක්‍ය රජතුමා. කොසොල් රජතුමා මහානාම රජතුමා හසුනක් යවලා කියනවා ශාක්‍ය වංශයට නෑයෙක් වෙන්න කැමතියි. ඒක නිසා මට සරණ පාවා ගන්න කුමරියක් එවන්න කියලා.

 කෝසල ජනපදයේ විශාලත්වය වගේම කපිලවස්තුවේ ප්‍රමාණයත් පේනවානේ 

මේ හසුන දකින මහානාම රජතුමා උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුණ දෙනවා. ශාක්‍ය වංශයේ රජදරුවෝ උභයකුල පාරිශුද්ධ අය වෙන නිසා තමන්ගේ දරුවෙක් වෙන රාජ වංශයකට සරණ පාවා දුන්නොත් ඒක තමන්ගේ වංශයට කරපු නින්දාවක් වෙනවා. අනික් අතට කොසොල් රජතුමා වගේ බලවත් රජ කෙනෙක්ගේ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළොත් කොසොල් රජතුමා වෛරක්කාරයෙක් වෙලා ඉස්සරහට කරදර වෙනවා.

මේක නිසා මේ ගැටලුවෙන් බේරෙන්න මහානාම රජතුමා කරන්නේ මහා මුණ්ඩි කියන දාසිය තමන්ට දාව බිහි කරපු වාසභ ඛත්තිකා කියන ගැහැණු දැරිවියව දෙවඟනක් වගේ සරසවලා කොසොල් රජතුමාගේ දූතයන්ට භාර දෙනවා. 

මේ වෙලාවේ ශාක්‍යයෝ නම් හරි මායම්කාරයෝ. මීට කලින් කිසිම රජ කෙනෙක්ට තමන්ගේ දියණියක් සරණ පාවා දුන්නේ නැහැ. ඒත් දැන් කිසිම බාධාවක් නැතිව අපේ රජතුමාට පාවා දෙන්න යනවා. සමහර විට දරුකමට හදාගත්තු දියණියක් මේ විදිහට සරණ පාවා දෙන්න යනවාද දන්නේ නැහැ කියලා සැක හිතපු කෝසල රාජ දූතයෝ මේ සැකේ නිරාකරණය කරගන්න උපායකුත් කල්පනා කරනවා.

ශාක්‍ය රජ දරුවෝ තමන්ගේ ජීවිතේ නැතිවුණත් තමන්ගේ තත්වයට නොගැලපෙන අයත් එක්ක කෑම කන්නේ නැති නිසා කෝසල රාජ දූතයෝ මහානාම ශාක්‍ය රජතුමාට කියනවා "ස්වාමීනි අපේ අපේ රජතුමාට බොහොම බයයි. ඒක නිසා ඔබතුමා දියණියත් එක්ක ආහාර අනුභව කරනවා නම් අපිට කිසිම සැකයක් නැහැ" කියලා.

මහානාම ශාක්‍ය රජතුමා හා කියලා ඒ යෝජනාව පිළි අරගෙන සියලු දෙනාම ඉදිරියේ දියණියත් එක්ක ආහාර ගන්නම් කියලා ප්‍රකාශයක් කරලා තමන්ගේ ඇමතිවරුන්ට ප්‍රයෝගයක් කරන්න උපදෙස් දීලා වාසභඛත්තිකාව සරසවලා තමන් සමීපයට ගෙන්වනවා.

පස්සේ වාසභඛත්තිකාවගේ හිස අතගාලා බොරුවට කදුළු හළලා මහානාම රජතුමා "පුතේ කොසොල් රජතුමා සමීපයට ඔබව යවන්නයි මේ සූදානම. ආයි දකින්න සෑහෙන කාලයක් යනවානේ. අපි අන්තිමට පාරට බත් ටිකක් කමු" කියලා වාසභඛත්තිකාව අතට බත් තියෙන පිඟාන දෙනවා.

හැබැයි වාසභඛත්තිකාව බත් අනන්න ගන්න කලින් මහානාම රජතුමා බත් පිඬක් අනාගෙන කන්න යද්දි කටට ළං කරද්දීම රජතුමාගේ ප්‍රයෝගයේ විදිහට ඇමතියෙක් ඇවිත් පසල් දනවුවකින් ආපු හදිසි හසුනක් කියලා රජතුමාට හසුනක් පිළිගන්නනවා.

ඒ වෙලාවේ රජතුමා පුතා බත් කන්න කියලා වම් අතින් හසුන අල්ලාගෙන බත් පිඟානේ අත දමන්නේ නැතුව හසුන කියව කියව වාසභඛත්තිකාව බත් කාලා ඉවර වෙනකම් අනම් මනම් කියව කියව ඉන්නවා. අන්තිමට වාසභඛත්තිකාවත් එක්ක බත් කෑවා වගේ පේන්න අත හෝදනවා.

කෝසල රාජ දූතයන්ට මේ හොරේ අල්ලගන්න බැරිවෙනවා. ඉතින් එයාලත් වාසභඛත්තිකාව මහ පෙරහැරෙන් සැවැත්නුවර ගෙනිහින් කොසොල් රජතුමාට සරණ පාවා දෙනවා.

රජතුමාට වාසභඛත්තිකාව තමන්ගේ අගමෙහෙසිය කරලා තමන් දැන් බුදු හාමුදුරුවන්ගේ නෑයෙක් කියලා බොහොම සතුටට පත් වෙනවා. ටික කාලයකට පස්සේ වාසභඛත්තිකා අග බිසව රජතුමාට දාව පුත් කුමරෙක් බිහි කරනවා.

 කෝසලයේ වීථි සංචාරය කරන කොසොල් රජතුමා

කොසොල් රජතුමා ඇමතිවරුන්ට නියම කරනවා මේ පිළිබඳව තමන්ගේ මව් බිසවට දැනුම් දෙන්න කියලා. මව් බිසව මේ ගැන අහලා සතුටු වෙලා "වාසභඛත්තිකාව අද ඉදන් මගේ පුතාට වල්ලභයි" කියලා කියනවා. මව් බිසවට මේ පණිවුඩය අරගෙන ගිය ඇමතියා පොඩ්ඩක් බීරි නිසා එයාට ඇහෙන්නේ "විඩූඪභ" කියලා. එයා රජතුමාට කියනවා කුමාරයාට මව් බිසව විඩූඪභ කියලා නම් තිබ්බා කියලා.

ඒ නම තමන්ගේ රාජ පරම්පරාවේ පරණ නමක් කියලා හිතපු රජතුමා ඒ නම තමන්ගේ පුත් කුමාරයාට හොඳයි කියලා පිළිගන්නවා. දාසියක් වෙලා හිටිය තමන්ට මේ විදිහට කොසොල් රජතුමාගේ අග මෙහෙසිය වෙන්න පුලුවන් වුණේ බුදු හාමුදුරුවෝ නිසා කියලා සතුටු වුණු වාසභඛත්තිකාවත් ඒ වගේමයි කොසොල් රජතුමාත් බුදු හාමුදුරුවෝ ගැන ගොඩක් පැහැදුණා.

මෙහෙම ටික කාලයක් යද්දී විඩූඪභ කියන්නේ කඩවසම් තරුණයෙක්. එයාට පේනවා හැමෝගේම මව් පාර්ශවයේ නෑයෝ ඉන්නවා. ඒත් තමන්ගේ මව් පාර්ශවයේ නෑයෝ නැහැනේ කියලා. අම්මාගෙන්ම මේ ගැන අහන්න ඕනේ කියලා හිතපු විඩූඪභ තමන්ගේ මව් පාර්ශවයේ නෑයෝ ගැන වසභඛත්තිකා අග බිසවගෙන් අහපුවාම එයා කියනවා ශාක්‍ය වංශිකයෝ තමා තමන්ගේ නෑයෝ කියලා.

තමන්ගේ අම්මාගේ නෑයෝ බලන්න තකහනියේ ලෑස්ති වුණු විඩූඪභ කුමාරයා තමන්ගේ පිරිසත් එක්ක කිඹුල්වත් නුවරට ගියා. දාසියගේ පුත්‍රයා වුණත් කොසොල් රජතුමාගේත් පුත්‍රයා නොවැ. ඒක නිසා ශාක්‍යයෝ විඩූඪභව බොහොම ආදරයෙන් පිළි අරගෙන සංග්‍රහ ආදිය කලා.

ඊට පස්සේ ඉතින් විඩූඪභ ආපහු සැවැත් නුවරට එන්න පිටත් වුණා. මේ අතරවාරයේදී විඩූඪභගේ සොල්දාදුවෙක් තමන්ගේ කඩුව දාලා ඇවිත් ඒක අරන් එන්න ආපහු කිඹුල්වත් නුවරට ගියා. ඒ වෙලාවේ එයා දැක්කා විඩූඪභ කුමාරයා වාඩිවෙලා හිටිය පුටුව විඩූඪභට බැන බැන කිරිවලින් හෝදන සේවිකාවක්. "දාසියගේ පුතා දාසියගේ පුතා" කියලා තමා ඒ සේවිකාව විඩූඪභට බැන වදින්නේ.

පස්සේ කරුණු කාරණා දැනගත්තු සොල්දාදුවා මේ ගැන විඩූඪභට කියනවා. තමන්ගේ මව් පරම්පරාව ගැන මෙච්චර කල් රහසක් වෙලා තිබුණු කතාව අහපු විඩූඪභට හොඳටම කේන්ති යනවා.

ඒ වෙලාවේ එයා තමන්ටම පොරොන්දු වෙනවා තමන්ට අපහාස කරපු ශාක්‍යයන්ගේ ලේවලින්ම ශාක්‍යයන්ගේ පුටු ඔක්කෝම හෝදනවා කියලා.

මේ කාලය වෙද්දී කොසොල් රජතුමාටත් එච්චර හොඳ කාලයක් වුණේ නැහැ. මොකද රජතුමා තමන්ගේ හොඳම සේනාපතියා වුණු බන්ධුල සේනාපතියා වගේම එයාගේ දරුවන්ට නිස්කාරණේ සැකයක් ඇති කරගෙන මරා දමලා තිබුණේ. මේක නිසා රජතුමා බන්ධුල සේනාපතිගේ නෑයෝ හිතවත් කරගන්න බන්ධුල සේනාපතිගේ නෑයෙක් වුණු දීඝකාරායනව ප්‍රධාන සෙන්පතියා විදිහට පත් කළා.

බුදුරජ කොසොල් රජ හමුවක්

දවසක් කොසොල් රජතුමා බුදු හාමුදුරුවෝ බැහැ දකින්න ගිය වෙලාවක තමන් එක්ක ගිය දීඝකාරායන සෙන්පතියාට රාජකීය ආභරණ, මඟුල් කඩුව ආදී සියල්ල දීලා බොහොම සාමාන්‍ය විදිහට තමා ආරාමයට ඇතුල් වෙන්නේ.

ඒක අවස්ථාව කරගත්තු දීඝකාරායාන තමන්ගේ ඥාති සහෝදරයා මරපු පළිය ගන්න හොඳම අවස්ථාව මේක කියලා හිතලා රාජකීය භාණ්ඩ අරගෙන ගිහින් විඩූඪභ කුමාරයාව කෝසල ජනපදයේ රජතුමාට බවට පත් කරනවා.

බුදු හාමුදුරුවන් බැහැ දැකලා කතා බහ නිමා කරලා එළියට ආපු කොසොල් රජතුමා දකිනවා තමන්ගේ සේනාවේ කවුරුත් එතැන නැති බව. එක අශ්වයෙකුත් පරිවාර කාන්තාවකුත් විතරක් ඉතුරු කරලා තමා දීඝකාරායන එතැනින් යන්නේ. පස්සේ කොසොල් රජතුමා ආයි පාරක් තමන්ගේ රාජ්‍යය ගන්න උපකාරයක් ඉල්ල ගෙන තමන්ගේ බෑණා වුණු මගධ ජනපදයේ රජතුමා වුණු අජාසත්ත හම්බෙන්න රජගහ නුවර බලා පිටත් වෙනවා.

කොසොල් රජතුමා රජගහ නුවරට යද්දී රෑ බෝ වුණා. ඒ වෙද්දී වාසල් දොරටු වහලා තිබුණේ. සාමාන්‍යයෙන් රාත්‍රී කාලයට ඇතුල් නුවරට ඇතුල් වෙන්න බැරිවෙන්න සතර වාසල් දොරටු වහලා දානවා. ඒක නිසා කොසොල් රජතුමා වාසල් දොරටුව ගාව තිබුණු ශාලාවක රාත්‍රිය ගත කරද්දී හිතේ තිබුණු දුක වගේම අධික සීතල ඉවසාගන්න බැරුව මියයනවා. පහුවෙනිදා උදෑසන මේ ගැන දැනගත්තු අජාසත් රජතුමා කොසොල් රජතුමාගේ අවසන් කටයුතු උසස් අන්දමින් සිද්ධ කරනවා.

මේ අතරවාරයේ විඩූඪභ දීඝකාරායාන සේනාපතියාගේ උදව්වෙන් ශාක්‍ය ජනපදය ආක්‍රමණය කරන්න සේනා අරගෙන පිටත් වෙනවා. මේ සිද්ධිය අලුයම් කාලයේදී මහා කරුණාවෙන් ලෝකය දිහා බලන බුදු හාමුදුරුවෝ දකිනවා.

විඩූඪභ ශාක්‍යයන් සමූල ඝාතනය කරලා ලොකු අකුසලයක් කරගන්න යන නිසා ඒකෙන් එයාව මුදවන්න බුදු හාමුදුරුවෝ ශාක්‍ය දේශයට විඩූඪභ ගමන් කරන මාර්ගයේ අතර මැද ස්ථානයක වැඩ ඉන්නවා. ශාක්‍ය දේශය බලා යන ගමනේදී විඩූඪභ දකිනවා සෙවණක් නැති ස්ථානයක අධික රස්නේ මැදම බුදු හාමුදුරුවෝ වැඩ ඉන්නවා.

 විඩූඪභගේ සේනාව හමුවීමට වැඩ සිටින බුදුන් වහන්සේ

සෙවණක් නැති ස්ථානයක වැඩ ඉන්නේ ඇයි කියලාම විඩූඪභ ඇහුවාම බුදු හාමුදුරුවෝ පිළිතුරු දෙනවා උපන් බිමෙන් හමා එන මඳ සුළඟෙන් පවා තමන් වහන්සේට සුවයක් දැනෙනවා කියලා.

බුදු හාමුදුරුවන්ගේ ඒ ප්‍රකාශයත් එක්ක බුදු හාමුදුරුවෝ නිසා ශාක්‍ය ජනපදයේ සංහාරයට යන එක නතර කරලා විඩූඪභ ආපහු කෝසලය බලා පිටත් වෙනවා. දෙවෙනි වරටත් විඩූඪභ ශාක්‍ය ජනපදය ආක්‍රමණය කරන්න යද්දී කලින් සිද්ධිය ආයි පාරක් වෙනවා.

ඒක නිසා විඩූඪභ ආපහු කෝසලය බලා ගියත් තුන්වෙනි වතාවේ නම් බුදු හාමුදුරුවෝ මේ අකුසලයෙන් විඩූඪභ වළක්වන්න වැඩම කරන්නේ නැහැ. ඒකට හේතුව තමා ශාක්‍යයන්ගේ අකුසලයකුත් බලවත්ව ඉස්මතු වුණු එක.

අවසානයේදී සිද්ධ වෙන්නේ විඩූඪභ තමන්ටම පොරොන්දු වුණු විදිහට ශාක්‍යයන් සමූල ඝාතනය කරලා ශාක්‍යයන්ගේ ලේවලින් පුටු සියල්ලම හෝදනවා. මේ ශාක්‍ය සංහාරයෙන් ජීවිතය ගලවා ගන්නේ බොහොම ස්වල්ප පිරිසක්.

ඒ පිරිසේ තමා ඉන්නේ සුද්ධෝදන රජතුමාගේ බාල සහෝදරයෙක් වුණු අමිතෝදන රජතුමාගේ පුත්‍ර පණ්ඩු ශාක්‍ය කුමාරයා. පණ්ඩු ශාක්‍යගේ දියණිය තමා භද්දකච්චායනා කුමරිය. එයා තමා ලංකාවේ රජ වෙලා හිටිය පණ්ඩුවාසදේව රජතුමා අග බිසව වෙන්නේ.

ශාක්‍ය රජ පෙළපත ලක්දිව රජ පෙළපතට සම්බන්ධ වන අයුරු

ශාක්‍යයන්ව මේ විදිහට සමූල ඝාතනය කරපු විඩූඪභට මොකද වුණේ කියන එකත් කට්ටියට ප්‍රශ්නයක් ඇති. ශාක්‍ය ජනපදයේ ආක්‍රමණය නිමා කරලා ආපහු එන විඩූඪභ ඇතුළු සේනාව කරපු බරපතල අකුසල කර්මය නිසා එයාලා ගමන් කරපු රථවල රෝද කළුගල් තලාවකදී මඩේ එරුණා හා සමානව එරුණා කියලා බෞද්ධ සාහිත්‍යයේ කියවෙනවා. දඹදිව වන්දනාවේ යන අය නරඹන්න යන එක් ස්ථානයක් තමා මේ විඩූඪභගේ රථ එරුණු කළුගල් තලාව.

විඩූඪභගේ රථ එරුණු ගල් තලාව

ඒ කළුගල් තලාවත් පහු කරලා කෝසලය බලා එද්දී රෑ බෝ වුණු නිසා අචිරවතී කියන ගංගා ඉවුරේ රාත්‍රිය ගත කරන්න කඳවුරු බඳින්න කෝසල සේනාව තීරණය කරනවා. ඒ වෙද්දී ලොකු පෑවිල්ලක් තිබුණු නිසා ගං ඉවුරේ මේ කඳවුර ඉදි කරනවා වගේම හුඟක් සොල්දාදුවෝ නිදාගන්නේ ගං ඉවුරේ.

ඒත් විඩූඪභගේ අකුසලයේ බලවත්කම කොච්චරද කියනවා නම් අකාලයේ වැහැපු වැස්සක් නිසා ඇතිවුණු ගංවතුරක් නිසා අචිරවතී ගං ඉවුරේ කඳවුරු බැඳගෙන හිටිය විඩූඪභ ඇතුළු සේනාව ගංවතුරට අහුවෙලා මියයනවා. හැබැයි සොල්දාදුවෝ කීප දෙනෙක් අරුම පුදුම විදිහට බේරෙනවා.

අජාසත්ත රජතුමා

මේ විදිහට කෝසල ජනපදය වගේම ශාක්‍ය ජනපදය අරාජික වුණු ඒ ප්‍රදේශ සියල්ලම මගධයේ අධිපතියා වුණු අජාසත්ත අත්පත් කරගන්නවා. ඊළඟට කලින් කතාවකත් කිව්ව විදිහටම වසර 16 ක යුද්ධයකින් පස්සේ වජ්ජි ජනපදයේ ලිච්ඡවියන් පරාජය කරලා ඒ ජනපදයත් ඈඳා ගන්නවා. මේ විදිහට අජාසත්ත භාරතයේ මගධය මුල් කරගෙන අධිරාජ්‍යයක් බිහි කරන්න කටයුතු කරනවා.

ඕන් ඔහොමයි ශාක්‍යයන්ගේ අවසානය සිද්ධ වුනේ...

ප.ලි.: කතාව කියන්න කරුණු හොයාගත්තේ මයුරපාද පරිවේණාධිපති බුද්ධපුත්‍ර හිමියන් විසින් රචනා කරන ලද පූජාවලිය ග්‍රන්ථයේඅසදෘශ මහාදාන පූජා කතා කොටසෙන් වගේම දහම් පාසල් අවසාන ශ්‍රේණියේ ශාසන ඉතිහාසය පෙළ පොතේ කෝසල රජතුමාගේ මරණය නම් කොටසෙන්

Sunday, November 4, 2012

අයියලා නංගිලා කසාද බැන්ද හැටි

අයියලා නංගිලා කසාද බඳිනවා කියන එක බරපතල ගණයේ වැරැද්දක් කියලා තමා අතීතයේ ඉදන්ම සැලකුණේ. ඒත් මානව සමාජයේ ආරම්භකම අවධියේදී එකම පවුලේ සහෝදර සහෝදරියන් අතරේ ලිංගික සබඳතා පැවතුණා කියලා තමා සමාජ විද්‍යාඥයන් දක්වන්නේ. ක්‍රමයෙන් මිනිසා ශිෂ්ට සම්පන්න වීමත් එක්ක සහෝදර සහෝදරියන් අතර වගේම සමාන්තර ඥාතීන් වෙන පිය පාර්ශවයේ සහෝදරයන් සහ දරුවන් අතරේ විවාහ සබඳතා/ ලිංගික සබඳතා "ව්‍යභිචාරී තහංචි" Incest Taboo විදිහට පිළි අරගෙන තියෙනවා.

විජය කුමරුගේ ලංකාගමනය

මේ කතාව මෙහෙම වුණත් සාහිත්‍ය කෘති පරිශීලනය කරද්දී අයියලා නංගිලා විවාහ වුණු කතා කීපයක්ම දැකගන්න ලැබෙනවා. ඒකෙන් ප්‍රකට කතාව තමා සිංහයෙක්ට [?] දාව සුප්පා දේවියට ඉපදුණු සිංහබාහු කුමාරයා සහ සිංහසීවලී කුමරියගේ අතර වුණු විවාහය. මේ දෙදෙනාගේ විවාහයෙන් ඉපදෙන පළමුවෙනි දරුවා තමා ලංකාවේ මුල්ම රජතුමා විදිහට සැලකෙන විජය කුමාරයා. විජය කුමාරයා හැරෙන්න තවත් දරුවන් 31 දෙනෙක් මේ යුවළට හිටියා කියලා තමා සාහිත්‍ය මූලාශ්‍රයවල දක්වන්නේ.

අයියලා නංගිලා අතර විවාහය සිදුවුණු අවස්ථා ගැන බෞද්ධ සාහිත්‍ය විමසලා බලද්දී මම දැනුවත්ව නම් අවස්ථා දෙකක් අපිට හමුවෙනවා. එක අවස්ථාවක් ගැන මම කලිනුත් කියලා ඇති. ඒ තමා ලිච්ඡවි රාජ වංශය ආරම්භ වුණු ආකාරය. අනික් අවස්ථාව තමා ශාක්‍ය වංශය ආරම්භ වුණු ආකාරය.

ඉතින් අද ආගිය කතාවෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ ශාක්‍ය වංශය ආරම්භ වුණු ආකාරය වගේම ඒ හා බැඳුණු කතා කීපයක්. මේ කතාව කියන්න තවත් හේතුවක් තමා පහන් යාය බ්ලොග් අඩවියේ තිබුණු සටහනකින් ඔක්කාක වංශය සම්බන්ධව ප්‍රශ්න කීපයක් මතුවීම. ඒ සියලු ප්‍රශ්නවලට සවිස්තරාත්මක පිළිතුරු මේ සටහනෙන් සපයන්නත් බලාපොරොත්තු වෙනවා.

කතාව ආරම්භ වෙන්නේ ලෝකයේ මුල්ම රජතුමා වශයෙන් පිළිගැනෙන මහා සම්මත රජතුමාගෙන්. මේ රජතුමාව මහා සම්මත මනු වශයෙනුත් හැඳින්වෙනවා. මේ රජතුමාගේ ආරම්භය සම්බන්ධවත් කතා කීපයක්ම තියෙනවා. ඒ ගැන පස්සේ දවසකම කතා කරන්නම්. 

 මහා බ්‍රහ්මයා

ඒත් කෙටියෙන් කිව්වොත් හින්දූන් අතර තියෙන විශ්වාසය තමා මහා බ්‍රහ්මයා/ ප්‍රජාපතී මහා සම්මත මනු රජතුමාව මිනිස්සුන්ට ලබා දුන්නා කියන එක. ඒ නිසා ඒ අදහස "දේවප්‍රභ න්‍යාය" නමින් හැඳින්වෙනවා. බෞද්ධ මතය වෙන්නේ කාලීන් අවශ්‍යතා පදනම් කරගෙන මිනිසුන් විසින් තමන්ගේ සම්මතයෙන් මහා සම්මත රජතුමාව පත් කර ගත්තා කියන එක. ඒ අදහස "මහා සම්මත න්‍යාය" නමින් හැඳින්වෙනවා.

ඉතින් මේ මහා සම්මත රජතුමාගෙන් ආරම්භ වෙන රාජ පරම්පරාව හඳුන්වන්නේ සූර්ය වංශය කියන නමින්. ඒකට හේතුව තමා මහා සම්මත මනු රජතුමා සූර්යයාගේ පුත්‍රයෙක් විදිහට පිළිගැනුණු එක. නමුත් සූර්ය වංශය ආරම්භ වෙන්නේ මනුගේ පුතෙක් වුණු  ඉක්ෂ්වාකුගේ මූලිකත්වයෙන් කියලා තවත් මතයක් තියෙනවා. 

ඒ හැරෙන්න මනුගේ දියණිය වුණු ඉලාගේ [විටෙක ඔහු පිරිමියෙක් ලෙසටත් පෙනී සිටිනවා] මූලිකත්වයෙන් ඇතිවුණු පෙළපත "චන්ද්‍ර වංශය එහෙමත් නැත්නම් සෝම වංශය" නමින් හඳුන්වනවා. හින්දු සාහිත්‍යයේ තමා මේ කතාවන් සියල්ලම දක්වන්නේ.

මේ සූර්ය වංශය සම්බන්ධව ලංකා ඉතිහාසයේ එන ගැටුම් ගැන මීට පෙර ලියවුණු "බිසෝවරු දෙන්න ඇවිත් උඩරට සිහසුන ඇල්ලූ නායක්කර්වරු" කියන සටහනෙන් කතා කරලා තියෙන්නේ. 

ආයි සුපුරුදු කතාවටම ආවොත් මහා සම්මත මනු රජතුමාගෙන් ආරම්භ වුණු රජ පෙළපත සූර්ය වංශය නමින් හැඳින්වුණා වගේම "මහා සම්මත වංශය" නමිනුත් හඳුන්වලා තියෙනවා. 

බෞද්ධ සාහිත්‍යයට අනුව මහා සම්මත රජතුමාගෙන් පසුව පුත්‍රයා වුණු රෝජගේ පටන් පිය පුතු පරම්පරා බොහෝ කාලයක් ජම්බුද්වීපය පාලනය කරනවා. ඒ සියලු රජවරුනුත් හඳුන්වන්නේ මහා සම්මත වංශයේ රජවරු විදිහට. මේ පරම්පරාවේ හිටිය සාගර කියන රජතුමාගේ පුතා වුණේ මඛාදේව රජතුමා [මේ මඛාදේව ජාතකයේ කියවෙන මඛාදේව රජතුමාම තමා ] එතුමාගේ පටන් මහා සම්මත වංශය නමින් හඳුන්වපු රාජ පරම්පරාව "මඛාදේව වංශය" නමින් හඳුන්වනවා. 

මේ විදිහට තවත් පිය පුතු පරම්පරා ගණනක් ගියාට පස්සේ මේ පරම්පරාව හිටිය කාලාර ජනක කියන රජතුමාගේ පුතා වුණු ඔක්කාක රජතුමාගේ පටන් මඛාදේව වංශය නමින් හඳුන්වපු රාජ පරම්පරාව "ඔක්කාක වංශය" නමින් හඳුන්වනවා. කුස ජාතකයේ කියවෙන කුස රජතුමාත් ඔක්කාක වංශයේ රජ කෙනෙක් තමා. 

මේ ඔක්කාක වංශයේ ලක්ෂයක් රජවරුන්ගෙන් පස්සේ නැවත වරක් ඔක්කාක නමින් රජතුමෙක් ඉන්නවා. හඳුනාගැනීමේ පහසුවට ද්විතීය ඔක්කාක කියලා ඒ රජතුමාව හඳුන්වනවා. ඒ රජතුමාගේ ඉදන් තවත් ලක්ෂයක් රජවරුන්ගෙන් පස්සේ රජවෙන සුජාත කියන රජතුමාටත් අම්බට්ඨ ඔක්කාක නමින් පුතෙක් ඉන්නවා. පිය රජතුමා ඇවෑමෙන් රජවුණු ඒ ඔක්කාක රජතුමාව හඳුනා ගැනීමේ පහසුවට "තෘතීය ඔක්කාක" කියලා හඳුන්වනවා.

අම්බට්ඨ ඔක්කාක රජතුමාගේ හස්තා කියන අග බිසවට රජතුමාට දාව ඔක්කාමුඛ, කරකණ්ඩු, හත්ථිනී, කාසිනීපුර කියලා පුත්තු හතර දෙනෙකුත් ප්‍රියා, සුප්‍රියා, ආනන්දා, විජිතා, විජිතසේනා කියලා දූවරු පස් දෙනෙකුත් ඉන්නවා.

හස්තා අග බිසව ආකාලයේ මිය ගිය නිසා වෙනත් බිසවක්ව රජතුමා අග මෙහෙසිය බවට පත් කරනවා. රජතුමාට දාව ඒ බිසවට ජන්තු කියලා පුතෙක් උපදිනවා. මේ කුමාරයා ඉපදිලා දවස් 5 කට පස්සේ සරසවලා රජතුමාට පෙන්වනවා. සතුටට පත් වෙන ඔක්කාක රජතුමා බිසවට කියනවා කැමති වරයක් ඉල්ලන්න කියලා. ඒත් බිසව කියනවා මම කැමති අවස්ථාවක ඒ වරය ගන්නම් කියලා. ජන්තු කුමාරයා තරුණ වයසට ආපුවාම අග බිසව රජතුමාට කියනවා තමන්ට දුන්නු වරය විදිහට තමන්ගේ පුතාට රජකම දෙන්න කියලා.

මේ වෙලාවේ ඔක්කාක රජතුමා බොහොම කෝප වෙලා අහනවා වැඩිමහල් පුතුන් හතර දෙනෙක් ඉද්දී කොහොමද එහෙම දෙයක් කරන්නේ කියලා. ඒත් අග බිසව කියනවා රජවරුන්ට බොරු කියන්න හොඳ නැහැ. පොරොන්දු කඩ කිරීම රාජ ධර්මය නෙමේ කියලා. අන්තිමට ඒ වරය ලබාදෙන්න අම්බට්ඨ ඔක්කාක රජතුමාටත් සිද්ධ වෙනවා.

මේ වගේම සිද්ධියක්නේ රාමායණයේ එන දසරථ රජතුමාටත් වෙන්නේ. ඒ වගේමයි දේව ධර්ම ජාතකයේ එන බ්‍රහ්මදත්ත රජතුමාට වෙන්නේ මේ වගේ දෙයක්ම තමා. ඒක නිසා තමා කියන්නේ සතුටෙන් ඉන්න වෙලාවට පොරොන්දු දෙන්න එපා කියලා :)

ආයි කතාවට ආවොත් මේ සිද්ධ වෙන වැඩෙන් හුඟක් කණගාටුවට පත්වුණු ඔක්කාක රජතුමා තමන්ගේ වැඩිමහල් පුත්තු හතර දෙනා ගෙන්වලා කරුණු පැහැදිලි කරලා තමන් නැති කාලයක ඇවිත් රාජ්‍යය බලය ගන්න කියලා උපදෙස් දීලා පංච කකුධ භාණ්ඩ ඇරෙන්න අනික් කැමති වස්තුවක්, සෙනඟක් අරගෙන වෙනත් තැනක වාසය කරන්න කියලා උපදෙස් දෙනවා. කුමාරවරු හතර දෙනාත් පිය රජතුමාට වැඳලා අවසර අරගෙන කැමති තරම් වස්තුවත් පිරිසත් අරගෙන යන්න හදද්දී රජතුමාගේ දූවරු පස් දෙනාත් සහෝදර කුමාරවරුන් සමඟ පිටත් වෙනවා.

තමන් සමඟ හිටිය පිරිසේ විශාලත්වය නිසා මේ දඹදිව පිහිටලා තිබෙන වෙනත් රාජ්‍යයක් අත්පත් කරගන්න පුලුවන් වුණත් අනික් රජ කෙනෙක්ගේ රාජ්‍යයක් උදුරා ගන්න එක ඔක්කාක වංශයට නිගරුවක් කියලා හිතන මේ කුමාරවරුන් අලුතෙන්ම රාජ්‍යයක් පිහිටවා ගන්න අපේක්ෂාවෙන් ඒකට සුදුසු බිමක් හොයාගෙන යනවා.

මේ පිරිස තමන්ට සුදුසු භූමියක් හොයාගෙන යද්දී කපිල කියන තාපසතුමා වාසය කරන වනගත ප්‍රදේශයට පැමිණෙනවා. කපිල තාපසතුමා දකින රාජ කුමාරවරු විස්තර කතා බහ කරනවා. රාජ කුමාරවරුන්ට වුණු සිද්ධිය ගැන අහපු කපිල තාපසතුමා තමන් වාසය කරන භූමිය රාජධානියක් පිහිටවන්න අතිශය සුදුසුයි කියලා කුමාරවරුන්ට කියනව. 

මේ භූමියේ තෘණ ලතා පවා දක්ෂිණාවෘර්තව නැමී සිටින බවත්, මේ භූමියේදී හාවුන් පසුපස හඹාගෙන එන නරියන්, මීයන් ගෙම්බන් පසුපස හඹාගෙන එන නාගයන්, මුවන් පසුපස හඹාගෙන එන දිවියන් පවා බියට පත්වෙලා ආපසු හැරිලා දිවයන බවත්, මේ භූමියේ ඉන්න චණ්ඩාලයෙක්ට වුණත් චක්‍රවර්ති පිරිසක් පරදවන්න හැකි බවත්, මේ භූමියෙන් අනාගතයේ උපදින පුරුෂයෙක් සියලු ලෝ වැසියන්ගේ ගෞරවයට පාත්‍ර වෙන බවත් කපිල තාපසතුමා ප්‍රකාශ කරනවා.

මේ ආදී වශයෙන් මේ භූමිය වර්ණනා කරන කපිල තාපසතුමා තමන්ට කරන උපාකරයක් විදිහට ඉදි කරන නුවරට තමන්ගේ නම තබන්න කියලා ඉල්ලීමක් කරනවා. කුමාරවරු ඒකට එකඟ වෙලා තාපසතුමාට ඒ අසළින් අසපුවක් ඉදි කරලා කපිල තාපසතුමාට භාර කරනවා. ඊට පස්සේ කපිල තාපසතුමා පෙන්වපු ස්ථානයේ නුවරක් සකස් කරලා පොරොන්දු වුණු විදිහටම කපිල තාපසතුමාගේ නමින් කපිලවස්තු පුරය නමින් ඒ නුවර නම් කරනවා.

 කපිලවස්තුපුර නටබුන්

මේ කටයුතු අවසන් කරපු කුමාරවරු මෙහෙම සාකච්ඡා කරනවා. අපි ඉල්ලා යැව්වොත් අපිට බිසෝවරු ලබාදෙන්න අනික් රජවරු අකමැති වෙන්නේ නැහැ. ඒත් එහෙම කරන එකෙන් අපේ ඔක්කාක වංශය කිළුටු වෙනවා. ඒ වගේමයි අපේ නැගණිවරු සරණ පාවා දෙන්නත් සුදුසු අනික් රජවරු නැහැ" කියලා. 

ඒක නිසා ඒ රාජ කුමාරවරුන් කරන්නේ වැඩිමහල් සහෝදරිය වුණු ප්‍රියා කුමරියව මව් තනතුරේ තියලා අනික් කුමාරිකාවෝ හතර දෙනාව කුමාරවරු හතර දෙනා විසින් පිළිවෙලින් සරණ පාවා ගත්තු එක. ඒ බිසෝවරු හතර දෙනාම දූ පුතුන් අට දෙනා අට දෙනා බැගින් දරුවෝ 64 ක් බිහි කරනවා.

තමන්ගේ දරුවන්ගේ මේ තොරතුරු අහපු ඔක්කාක රජ්තුමා අතිශය සතුටට පත්වෙලා තමන්ගේ දරුවෝ ඔක්කාක වංශයේ ගෞරවය ආරක්ෂා කළා වගේම සුපිරිසිදුව පවත්වා ගෙන යන්න කටයුතු කරපු නිසා ප්‍රීතියට පත්වෙලා "සක්‍යා වත භො රාජකුමාරා, පරම සක්‍යා වත භො රාජකුමාරා" කියලා ප්‍රීතිය ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ මේ රාජ කුමාරයන් අතිශය ශක්තිවන්තයි/ උත්සහවන්තයි වගේ දෙයක්. ඉතින් පිය රජතුමාගේ ප්‍රකාශයත් එක්ක උත්සාහවන්ත බව, ශක්තිවන්ත බව, කැපවීම වගේ අර්ථයක් එන "ශාක්‍ය" කියන නාමය තමන්ගේ රජ පරපුර උදෙසා මේ රජවරු භාවිතා කරනවා.

කාලයක් ගත වෙද්දී මව් තනතුරේ තබපු ප්‍රියා කුමරියට ශ්වේතකුෂ්ඨ කියන රෝගය සෑදිලා මුළු ශරීරය පුරාම කුෂ්ඨ ඇති වෙනවා. තමන්ටත් මේ රෝගය වැළඳෙයි කියන බියෙන් ප්‍රියා කුමරියව වනයේ බිං ගෙයක් කරවලා ඒකේ ආරක්ෂා සහිතව රඳවන්න සහෝදර රජවරු කටයුතු කරනවා. කුමරියට අවශ්‍ය කරන ආහාර පාන වගේම අනික් ද්‍රව්‍ය සපයන්නත් සහෝදර රජවරු කටයුතු කරනවා. 

 බරණැස් නුවර නටබුන්

මේ කාලයේදීම බරණැස් නුවර හිටිය රාම කියන රජතුමාටත් මේ විදිහටම ශ්වේතකුෂ්ඨ රෝගය වැළඳෙන නිසා රාජ්‍යය පුත් කුමාරයාට පවරලා රාම රජතුමාත් වනගත වෙලා හිටියේ. වනයට වෙලා ඉන්න රාම රජතුමා බඩගින්නට කාපු ගස්වල මල්, කොළ, පොතු, ගෙඩි නිසා කුෂ්ඨ රෝගය සුවවෙලා රජතුමාගේ ශරීරය රන්වන් පැහැයට හැරිලා තිබුණේ.

රාම රජතුමාගේ වනයේ නතර වෙලා හිටියේ කොළොම් ගහක් උඩ තිබුණු බෙනයක සකසා ගත්තු කුටියක. දවසක් ප්‍රියා කුමරිය හිටිය ගල් ගුහාව අසළට ව්‍යාඝ්‍රයක් ආපු නිසා කුමරිය කෑ ගහපු හඩ කොළොම් ගහ උඩ හිටිය රාම රජතුමාට ඇහෙනවා. ඒ හඬ ආපු දිහාවට ගිය රජතුමාට ප්‍රියා කුමරියව දකිනවා. තොරතුරු අහපු රජතුමා මේ ඔක්කාක රජතුමාගේ දියණිය ප්‍රියා කුමරිය බව දැන ගන්නවා වගේම රජතුමාත් තමන් බරණැස් නුවර රාම රජතුමා බව හඳුන්වා දුන්නා.

කුමරියව බලන්න එළියට බිං ගෙයින් එළියට එන්න කියලා රජතුමා කිව්වත් තමන්ට කුෂ්ඨ රෝගයක් තියෙන නිසා මිනිස් ඇසට අප්‍රිය වෙන හින්දා තමන් එන්නේ නැති බව කුමරිය කියනවා. තමන්ටත් තිබුණු ඒ ආකාරයේ අසනීපයක් මේ වනයේ තිබුණු ඖෂධවලින් සංසිඳුවා ගත්තු නිසා කුමාරිකාවගේත් අසනීපය සංසිඳුවන්න පුලුවන් කියලා රජතුමා කියනවා. 

පස්සේ කුමාරිකාවත් තමන් වාසය කරපු කොළොම් ගස් බෙණයට කැඳවා ගෙන ගිය රජතුමා වනයෙන් මුල්, පොතු, ගෙඩි, මල් ගෙනත් දීලා කුමරියගේත් කුෂ්ඨ රෝගය සුවපත් කරනවා. ඊට පස්සේ කුමරියගේ සිරුරත් රන්වන් පැහැයට හැරෙනවා.

පස්සේ මේ දෙදෙනාගේ එකතුවෙන් පුතුන් දෙදෙනා බැගින් පුතුන් තිස් දෙකක් ඉපදෙනවා. රාම රජතුමාගේ කුමාරවරුන් තිස් දෙදෙනාට ශිල්ප ශාස්ත්‍ර උගන්වනවා. දවසක් බරණැස් නුවර මනුස්සයෙක් සතුන් දඩයම් කරන්න වනයට වැදිලා අතරමං වෙලා රාම රජතුමාට හමුවෙනවා. දඩයක්කාරයා හඳුනා ගන්නවා මේ බරණැස හිටිය රාම රජතුමා කියලා. 

පස්සේ රජතුමා දඩයක්කාරයාගෙන් තමන්ගේ රාජ්‍යය ගැන පුත්‍රයා ගැන එහෙම තොරතුරු දැනගන්නවා. ඒ වෙලාවේ රජතුමා ගාවට ආපු කුමාරවරු තිස් දෙදෙනා රජතුමාගේ දරුවෝ කියලා දැනගත්තු දඩයක්කාරයා රජතුමාට නැවත රාජ්‍යයට පැමිණෙන්න කියලා ආරාධනා කරනවා.

ඒත් රාම රජතුමා ඒකට කැමති වෙන්නේ නැහැ. පස්සේ දඩයක්කාරයා රාම රජතුමා ගැන විස්තරේ බරණැස රජතුමාට ගිහින් කියනවා. ඊට පස්සේ ඔහුත් පැමිණිලා පිය රජතුමාට රාජ්‍යයට ආරාධනා කළත් රාම රජතුමා කැමති වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔහු කරන්නේ රාම රජතුමා වාසය කරපු කොළොම් ගස උදුරලා එතන විශාල මාළිගාවක් කරවලා වැව් කෙත් වතු සකස් කරල නගරයක් තනවලා පිය රජතුමාට පවරනවා. 

 දෙව්දහ නුවර නටබුන්

කොළොම් වෘක්ෂයක් මුල් කරගෙන නුවර පිහිටවපු නිසා කෝළිය නුවර නමින් ඒ නුවර හඳුන්වනවා. ව්‍යාඝ්‍රයෙක් නිසා මේ නුවර ඇතිවීමට මුල් වුණු නිසා ව්‍යාඝ්‍රපුර එහෙමත් නැත්නම් දෙව්දහ නුවර නමිනුත් ව්‍යවහාර කෙරෙනවා. ඒ වගේමයි කොළොම් වෘක්ෂයේ උපන් රජ දරුවන්ගේ වංශය "කෝලිය වංශය" නමින් හඳුන්වනවා.

දවසක් ප්‍රියා බිසව තමන්ගේ දරුවන් තිස් දෙදෙනාට කියනවා කපිලවස්තුවේ රජකම් කරන සහෝදර රජවරු හතර දෙනා තමන්ගේ සහෝදරයෝ. ඔවුන්ගේ දූ කුමාරිකාවෝ තිස් දෙකක් ඉන්නවා. ඔවුන්වා සරණ පාවා ගන්න කියලා. මේ නිසා කෝලිය කුමාරවරු ඒ සඳහා හසුන් යැව්වත් ශාක්‍ය රජවරු කියනවා මේ දරුවන්ගේ පිය වංශය අනෙක් එකක් වගේම කොළොම් ගස් බෙණයක උපන් නිසා විවාහ සම්බන්ධතා පවත්වන්නේ නැහැ කියලා.

මේකෙන් පසුබට නොවුණු කෝලිය කුමාරවරු ශාක්‍ය කුමාරිකාවන්ට හොරෙන් ලියුම් යවලා ගං තොටකට එන්න කියලා දන්වලා එතැනට කුමරියන් ආපුවාම හොර රහසේ කෝළිය නුවරට අරගෙන ආවා. මේ කතාව අහපු ශාක්‍ය රජවරු හිනාවෙලා තමන්ගේ බෑණාවරුන්ගේ නිර්භීතබව ගැන සතුටු වෙලා කුමාරිකාවන්ට දායාද පිටත් කරනවා. මේ විදිහට කපිලවස්තුවත් කෝළිය පුරයත් අතරේ විවාහ සම්බන්ධතා පවත්වන්න පටන් ගන්නවා.

මේ විදිහට කටයුතු කාරණා සිද්ධ වෙද්දී කපිලවස්තුවේ දෙලක්ෂ විසි තුන්දහස් හත්සිය හැට නමයක් රජවරුන්ගෙන් පස්සේ රජවුණු ජයසේන කියන රජතුමාගේ පුත්‍ර සිංහහනු කියන රජතුමා කපිලවස්තුවේ රජකම් කරනවා. 

මේ රජතුමාගේ සහෝදරිය වුණු මහා යශෝධරා කුමරිය ඒ වෙද්දී කෝළිය පුරයේ රජකම් කළ දෙව්දහ රජතුමාගේ පුත්‍රයා වුණු අංජනට සරණ පාවා දීලා හිටියේ. ඒ වගේමයි දෙව්දහ රජතුමාගේ දියණිය වුණු කාංචනා [කච්චායනා] කුමරිය සිංහහනුට සරණ පාවා දීලා හිටියේ.

සිංහහනු රජතුමාට දාව කාංචනා දේවිය සුද්ධෝදන, ශුක්ලෝදන,ධෝතෝදන, අමිතෝදන, මිතෝදන කියලා පුතුන් පස් දෙනෙකුත් අමිතා, ප්‍රමිතා කියලා දියණියන් දෙදෙනෙකුත් බිහිකරනවා.
ශාක්‍ය රජ පෙළපත

මහා යශෝධරා දේවිය අංජන රජතුමාට දාව සුප්‍රබුද්ධ, දණ්ඩපාණී කියලා පුතුන් දෙදෙනෙකුත් මහාමායා, මහා ප්‍රජාපතී කියලා දියණියන් දෙදෙනෙකුත් බිහි කලා.

සුද්ධෝදන රජතුමාගේ සහෝදරියක් වුණු අමිතා කුමරිය විවාහ කරගත්තේ සුප්‍රබුද්ධ රජතුමා. ඒ යුවළගේ දරුවන් දෙදෙනා වුණේ දෙව්දත් කුමාරයා සහ යශෝධරා කුමරියයි.
කෝලිය රජ පෙළපත

නිසි කල් එළඹුණාම සුද්ධෝදන රජතුමා තමන්ගේ ඇවැස්ස නෑනලා වුණු මහාමායා සහ මහා ප්‍රජාපතී කියන බිසෝවරු දෙන්නාම සරණ පාවා ගන්නවා. පසුව සුද්ධෝදන රජතුමාට දාව මහාමායා දේවියට සිද්ධාර්ථ කුමාරයාවත් මහා ප්‍රජාපතී ගෝතමියට නන්ද කුමාරයාවත් උපදිනවා. 

 සුද්ධෝදන රජතුමා සිදුහත් කුමරුව අසිත තාපසතුමාට පෙන්වීම

සොළොස් වියට එළඹුණු සිද්ධාර්ථ කුමාරයා සරණ පාවා ගන්නේ තමන්ගේ ඇවැස්ස නෑනා වුණු යශෝධරා කුමරියව.

වසර 13 ක් රජ සිරි වින්ද සිද්ධාර්ථ කුමාරයා වයස අවුරුදු 29 දී ගිහි ගෙයින් නික්මිලා වසර 6 ක් සත්‍ය සොයාගෙන ගිහින් වයස අවුරුදු 35 දී ලොවුතුරා බුද්ධත්වයට පත්වෙනවා. උන්වහන්සේව ගෞතම බුදුන් වහන්සේ නමින් හඳුන්වනවා. 

අම්බට්ඨ ඔක්කාක රජතුමාගේ දරුවන්ට කපිල තාපසතුමා කියපු අනාවැකිය සත්‍ය කරමින් ශාක්‍ය වංශයේ පහළ වුණු සිද්ධාර්ථ කුමාරයා ලොවුතුරා බුද්ධත්වයට පත්වෙලා සියලු ලෝ වැසියන්ගේ ගෞරවයට පාත්‍ර වෙන උත්තරීතරම පුද්ගලයා බවට පත් වෙනවා.

බුදුන් වහන්සේ දේශනා කළ විදිහට මහා සම්මත රාජ වංශයේ පළමු රජතුමා වුණු මහා සම්මත රජතුමාත්, මඛාදේව වංශයේ පළමු රජතුමා වුණු මඛාදේව රජතුමාත්, ඔක්කාක වංශයේ දෙවෙනි රජතුමා වුණු කුස රජතුමාත් වගේම මේ කතාවේ නොකියවුණු මේ මහා සම්මත රාජ වංශයේ ඉදන් ඔක්කාක රාජ වංශය දක්වා වෙන රාජ පරම්පරාවල හිටිය බොහෝ රජවරුන් විදිහට උපත ලබා තිබෙන්නේ බෝසත් අවධිය ගත කරමින් සිටිය උන්වහන්සේමයි. 

ඒ වගේමයි අම්බට්ඨ ඔක්කාක රජතුමාගේ රජ දරුවන්ට තමන් වාසය කරපු භූමිය ලබාදෙමින් ශාක්‍ය ජනපදය සහ කපිලවස්තුපුරය ඉදි කරන්න මුල්ම අඩිතාලම දමන කපිල තාපසතුමා වූයේත් අප මහා බෝසතාණන් වහන්සේමයි. 
මේ ආදී වශයෙන් ඔක්කාක වංශය පිළිබඳව ජම්බුද්වීපයෙන් තොරතුරු ලැබෙනවා වගේම ලංකාවෙනුත් තොරතුරු ලැබෙනවා. ශ්‍රී ලංකාව පාලනය කරපු රජ දරුවනුත් තමන් ඔක්කාක වංශයට අයිතියි කියලා සෙල්ලිපි සන්නස්වල දක්වලා තිබෙනවා.

උදාහරණයක් විදිහට ගත්තොත් පොළොන්නරු රාජධානියේ ආරම්භක රජතුමා විදිහට සැළකෙන මහා විජයබාහු රජතුමාගේ පනාකඩුව තඹ සන්නසේ රජතුමා පිළිබඳව විස්තර කරන්නේ මේ ආකාරයෙන්.

"ස්වස්ති, සිරි සිරිවත් අපරියත් ලො ඉකුත් ගුණ මුළෙන් උතුරත් මුළු දම්බ දිව්හි අන් කැත් කුල පාමිලි කළ ඔකාවස් රජ පරපුරෙන් බට කැත් උසබනට අග මෙහෙසුන් වූ ලග්දිව් පොළො යෙහෙන පරපුරෙන් හිමි සිරිසඟබෝ විජයබාහු රජ පා වහන්සේ......"

පනාකඩුව තඹ සන්නස

මෙහි අර්ථය මෙහෙමයි.

"මංගල ශ්‍රීයක් වේවා, ශ්‍රීමත් වූ අපර්යන්ත වූ ලෝකෝත්තර ගුණ සමූහයෙන් ඉතිරෙන සකල ජම්බුද්වීපයේ අන්‍ය ක්ෂත්‍රිය සමූහයා, පාදමූලයෙහි [සේවකයන්] කළ ඔක්කාක රාජ පරම්පරාවෙන් පහළ වූ ක්ෂත්‍රියොත්තමයන්ට අග්‍ර මහේෂිකාව [වැනි] වූ ලංකාදීප පොළොව නම් තරුණ කාන්තාවගේ පරම්පරාගත උරුමය අනුව ස්වාමියා වූ සිරිසඟබෝ විජයබාහු රජතුමන් වහන්සේ......."

ලංකාවේ රජ දරුවන් පවා තමන් ඔක්කාක වංශයේ කියලා දක්වන්න කටයුතු කරන්න ඇත්තේ තමන් බුදුන් වහන්සේගේ ඥාතීන් කියලා දක්වන්න වගේම උතුම් ඒ වගේම සුපිරිසිදු වූ රජ පරපුරකින් පැවත එන බව ප්‍රකාශ කරන්න වෙන්න ඕනේ.

සිංහ වංශයේ රජෙක් වුණු පණ්ඩුවාසදේව රජතුමා ශාක්‍ය වංශික භද්දකච්චානා කුමරියව [සුද්ධෝදන රජතුමාගේ බාල සොයුරෙක් වුණු අමිතෝදන රජතුමාගේ පුත්‍රයෙක් වුණු පණ්ඩු ශාක්‍යගේ දියණිය] විවාහ කරගැනිමත් එක්ක ලංකාවේ රජවරුන්ටත් තමන් ඔක්කාක වංශයේ කියලා නෑකම් කියන්න හැකියාව ලැබිලා තිබෙන බවයි පෙනෙන්නේ. ශාක්‍ය රජ පෙළපත දක්වන සටහනේ මේ ගැන පැහැදිලිව දක්වා ඇති.

ඉතින් දැන් ඔක්කාක වංශය ගැන වගේම ඔක්කාක වංශයෙන් ඇතිවුණු ශාක්‍ය වංශය ගැනත් ගොඩක් තොරතුරු දැන ගත්තනේ. හැබැයි මේ විදිහට බොහොම ශ්‍රේෂ්ඨ වංශයක් වුණු ශාක්‍ය වංශයේ අවසානය සිදුවුණු ආකාරය නම් හරිම ඛේදනීයයි. 

ඒ කතාවත් කියන්න ඕනෙද ???

ප.ලි.: අද කතාව සඳහා කරුණු සොයා ගත්තේ මයුරපාද පරිවේණාධිපති බුද්ධපුත්‍ර හිමියන් විසින් රචනා කරන ලද පූජාවලිය ග්‍රන්ථයේ සාදුනාද පූජා කතා කොටසෙන්, සකල විද්‍යා චක්‍රවර්ති පරාක්‍රම පණ්ඩිතයන් විසින් රචනා කරන ලද සිංහල ථූපවංශයෙන් සහ දහම් පාසල් අවසාන ශ්‍රේණියේ ශාසන ඉතිහාසය පෙළ පොතේ ශාක්‍යයන්ගේ හා කෝලියන්ගේ සම්භවය නම් පරිච්ඡේදයෙන්.

ප.ප.ලි.: සීක්වරුන් ගැන ලියවුණු ලිපි මාලාවේ අන්තිම ලිපි දෙකත් ලියලා අවසන් කරලා තියෙන්නේ. ඒකත් ඉක්මණටම පළ කරන්නම් 

Sunday, September 30, 2012

කුණු ගඳ එන කටවල් අතරේ මහනෙල් මල් සුවඳ එන කටක්


උදේ නැගිට්ට ගමන්ම කටෙන් එන ගඳ වගේම තවත් සමහරුන් දත් මැදලා මොන ජාති කළත් කටෙන් එන ගඳ ගැන අපි කාට කාටත් අත්දැකීම් ඇති. එහෙම කටෙන් ගඳක් එන එක සමහර රෝග තත්ව නිසාත් වෙන්න පුලුවන්. මහ වෙදනා, ගිමන් නිවන්නා වගේ වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉන්න අපේ හිතවතුන් ඒ ගැන කරුණු පැහැදිලි කරාවි. 

ඉතින් මේ විදිහට කටෙන් එන ගඳවල් හංග ගන්න Mouth Spray පාවිච්චි කරන අයත් ඉන්නවා නොවැ. ඒත් අද මම කියන්න යන කතාවේ කියවෙන්නේ තමන්ගේ කටෙන් මහනෙල් මල් සුවඳ උපතේ ඉදන් ආපු පුද්ගලයෙක් ගැන. 

ඉතින් මේ විදිහට කටෙන් එන ගඳවල් හංග ගන්න පාවිච්චි කරන අයත් ඉන්නවා නොවැ. ඒත් අද මම කියන්න යන කතාවේ කියවෙන්නේ තමන්ගේ කටෙන් උපතේ ඉදන්ම මහනෙල් මල් සුවඳ ආපු පුද්ගලයෙක් ගැන.

බුද්ධ කාලයේ සැවැත් නුවර හතළිස් කෝටියක් විතර සල්ලි තිබුණු සිටුතුමෙක්ට දාව සිටු දේවියට පුතෙක් ඉපදෙනවා. මේ සිටු කුමාරයා මුඛය විවෘත කරන වාරයක් පාසාම ගෙදර පුරාම මහනෙල් මල් සුවඳ පැතිරිලා යනවා. ඒ නිසා සිටු කුමාරයාට දෙමාපියෝ තියෙන නම තමා "උත්පලගන්ධ" කියන එක. 

නිසි වයසට එළඹිලා විවාහයකුත් කරගෙන උත්පලගන්ධ සිටුතුමා කල් ගත කරද්දී බුදු හාමුදුරුවන්ව මුණ ගැසීමත් එක්ක ධර්මය ශ්‍රවණය කරන උත්පලගන්ධ සිටුතුමා ගිහි ගෙය ගැන කළ කිරිලා තමන්ගේ හතළිස් කෝටියක් විතර සල්ලිත් සිටු තනතුරත් ගිහි සැපතත් අත් හැරලා පැවිදි වෙනවා. 

ටික දවසකින්ම විදර්ශනා භාවනාව වඩපු උත්පලගන්ධ හාමුදුරුවෝ රහත් වෙලා උත්පලගන්ධ රහතන් වහන්සේ කියලා ප්‍රසිද්ධ වෙනවා.

සැවැත් නුවර ඇතුළු කෝසල ජනපදයේ අධිපතියා වුණු පසේනදී කෝසල රජතුමා උත්පලගන්ධ සිටුතුමා මහණ වුණු බව අහලා හිමියෙක් නැති භාණ්ඩයක් තියෙනවා නම් ඒවා රජු සන්තක දෙයක් වෙනවා කියලා උත්පලගන්ධ සිටුතුමාගේ සිටු දේවිය තමන්ගේ අන්තඃපුර බිසවක් බවට පත් කරගන්නවා :)


දවසක් දා රජතුමාට මල් ගේන මාලාකාරයෝ රජතුමාට මහනෙල් මල් ගෙනත් දෙනවා. රජතුමා ඒ මල් තමන්ගේ අන්තඃපුර බිසෝවරු 500 අතරේ බෙදා දෙනවා. 

ඒ වෙලාවේ මහනෙල් මල් සුවඳ ආඝ්‍රණය කරපු සිටු දේවියට සිහිපත් වෙනවා තමන්ගේ කලින් ස්වාමියා වුණු උත්පලගන්ධ සිටුතුමාගේ මුඛයෙනුත් මේ ආකාරයෙන්ම මහනෙල් මල් සුවඳක් පිටවුණා නේද කියලා.

ඒක සිහිපත් වුණු නිසා හුඟක් සතුටු වුණු සිටු දේවිය ඊළඟට ඒ වගේ ස්වාමියෙක්ගේ වෙන් වෙන්න වුණු එක ගැන සිහිපත් වෙලා දුක් වෙනවා. මේක දැකපු කොසොල් රජතුමා සිටු දේවිය මේ ආකාරයෙන් හිනාවුණු එකට වගේම අඬපු එකට හේතුව විමසනවා. 

සිටු දේවිය කියනවා මහනෙල් මල්වල සුවඳ ආඝ්‍රණය කිරීමත් එක්ක තමන්ගේ කලින් ස්වාමියා වුණු උත්පලගන්ධ සිටුතුමා සිහිවුණු බවත් ඔහුගේ මුඛයෙන් මහනෙල් මල් සුවඳ හමපු බවත්. ඒක නිසා සතුටු වුණත් ඔහුගෙන් වියෝවුණු දුකට අඬපු බවත්. 

ඒත් කොසොල් රජතුමා විශ්වාස කරන්නේ නැහැ මනුස්සයෙක්ගේ මුඛයෙන් මහනෙල් මල් සුවඳ හමනවා කියන එක. 

පස්සේ සිටු දේවිය කියනවා "ඔබතුමාට මම කියන එක විශ්වාස නැත්නම් දෙව්රම් වෙහෙරේ වැඩ වාසය කරන උත්පලගන්ධ මහ රහතන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කරන්න යන්න එතකොට මම කිව්වේ ඇත්ත කියලා වැටහෙයි. එහෙම වුණේ නැත්නම් ඔබතුමා කැමති දඬුවමකට ලක් වෙන්න මම කැමතියි" කියලා.

කොසොල් රජතුමා මේ ගැන හොයලා බලන්න තීරණය කරලා පහුවෙනිදා උදෑසන දානයට බුදු හාමුදුරුවන් ප්‍රමුඛ උත්පලගන්ධ රහතන් වහන්සේ භික්ෂූන් වහන්සේලා 500 නමකට රජ මාළිගාවට ආරාධනා කරනවා. 


දානයට මාළිගාව සූදානම් කරද්දී මාළිගාවේ තිබුණු සුවඳ භාණ්ඩ සියල්ලම මාළිගාවෙන් බැහැර කරවන්න වගේම බණ අහන්න එන අයටත් සුවඳ මල් පළඳින්නේ නැතුව සුවඳ ගල්වන්නේ නැතුව පැමිණෙන්න කියලාත් කොසොල් රජතුමා අණ කරනවා. රජතුමාත් ස්නානය කරලා සුවඳ ගල්වන්නේත් නැතුව සුවඳ මල් පළඳින්නේත් නැතුව දානය සඳහා සම්බන්ධ වෙනවා. 

දානයට වැඩම කරපු බුදු හාමුදුරුවන්ට කොසොල් රජතුමාගේ අදහස පෙනුණු නිසා රජතුමාගේ සැකය දුරු කරවන්න ඕනේ කියලා හිතලා උත්පලගන්ධ රහතන් වහන්සේට නියම කරනවා දානයේදී ධර්ම දේශනාව සිදු කරන්න කියලා.

බුදු හාමුදුරුවන්ට වැඳලා අවසර ගත්තු උත්පලගන්ධ රහතන් වහන්සේ ධර්ම දේශනාව පවත්වන්න මුඛය විවෘත කරපු සැණින් රජ මාළිගාවේ සෑම තැනම උන්වහන්සේගේ මුඛයෙන් විහිදෙන මහනෙල් මල් සුවඳ පැතිරිලා ගියා. 

 බුදුරදුන්ට ගෞරව දක්වන කොසොල් රජතුමා

රජතුමාත් තමන්ගේ සැකය දුරු කරගෙන සතුටින් බණ අහලා අවසානයේදී බුදුන් වහන්සේ සමීපයට ගිහින් උත්පලගන්ධ රහතන් වහන්සේ මුඛයෙන් මේ ආකාරයෙන් මහනෙල් මල් සුවඳ හමන්න හේතුව විමසනවා. 

ඒ අවස්ථාවේදී බුදු හාමුදුරුවෝ උත්පලගන්ධ රහතන් වහන්සේ පෙර භවයක කරපු කුසල කර්මයක් ගැන දේශනා කරනවා. මීට කල්ප ලක්ෂයකට පමණ කලින් ලොව පහල වුණු පදුමුත්තර බුදුන් වහන්සේගේ කාලයේදී ඉතාමත්ම දුප්පත් වෙලා ඉපදිලා හිටිය පුරුෂයෙක් හැමදාම ශ්‍රද්ධාවෙන් ධර්මය ශ්‍රවණය කරපු බවත් ධර්මය ශ්‍රවණය කරද්දී ධර්මාලම්භන ප්‍රීතියෙන් හැමෝටම කලින් සාදුකාර දෙමින් ධර්මය ශ්‍රවණය කරපු කුසල කර්මයෙන් දෙව් මිනිස් සැප විඳලා මේ කාලයේදී උත්පලගන්ධ නමින් ඉපදිලා ඒ කුසල කර්මයෙන් මුඛයෙන් මහනෙල් මල් සුවඳ හමන්න තරම් භාග්‍යවන්ත වුණු බව බුදු හාමුදුරුවෝ දක්වනවා. 

ඒ වෙලාවේ සිටු දේවිය තමන් ගාවට කැඳවපු රජතුමා දේවිය නිසා තමන්ට වුණු ධර්ම ලාභය ගැන ඇයටත් ප්‍රශංසා කරනවා.

කතාව අවසානයි. මේ වගේ කතා කියවද්දී සමහර අයට ගැටළු ඇති වෙන්නත් පුලුවන් මේ දේවල් ඇත්තටම වෙන්න පුලුවන්ද කියලා. ඒකට සරල උත්තරයක් දෙන්නම්. 

උත්පලගන්ධ රහතන් වහන්සේ පෙර භවයේ කරපු කුසල කර්මය වෙන්නේ ධර්මය ශ්‍රවණය කරද්දී ධර්මාලම්භන ප්‍රීතියෙන් සාදුකාර දීපු එක. ඒක සරලව විග්‍රහ කළොත් යහපත් දෙයක් ගැන සතුටු වෙලා ඒ දේ යහපත් කියලා අගය කරපු එක. ඉතින් ඒ ගුණාංගය අපේ ජීවිතේට අපි ඇතුළත් කර ගනිමු.

මේ කතාව උපුටා ගත්තේ මයුරපාද පරිවේණාධිපති බුද්ධපුත්‍ර හිමියන් විසින් රචනා කරපු පූජාවලිය ග්‍රන්ථයේ 20 වන පරිච්ඡේදය-අසදෘශ මහා දාන පූජා කතා කොටසෙන්. 

ප.ලි.: කලින් දවසකත් කිව්වා වගේ තවමත් අපේ Logic මිස්ගේ පොත ටයිප් කරමින් ඉන්නේ. ඒක නිසා බ්ලොග් අවකාශයේ සැරිසරන්න ලැබෙන කාල වේලාව හරිම අඩුයි. ඒ ගැන සමාව භජනය කරත්වා.... 

මේ දවස්වල බුදු දහම ගැන වගේම බෞද්ධ සාහිත්‍යය ගැනත් බ්ලොග් කීපයකට ලියවිලා තිබුණා. ඒ ගැන නම් හුඟක් සතුටුයි. මෙන්න ඒ කීපෙකට යන්න පාරවල්. 

Thursday, September 13, 2012

මට හිතෙන හැටි ලෙස මීමන ප්‍රේමතිලක සිතූ දෑ ලියූ හැටි


ලංකාවේ හිටිය ප්‍රවීණ ලේඛකයෙක්, කොළඹ යුගයේ කවියෙක් ඒ වගේම පුවත්පත් කලාවේදීයෙක් තමා මීමන ප්‍රේමතිලක කියන්නේ. පරිසරයට සොබා දහමට ලොකු ලෙංගතුකමක් තිබුණු පුද්ගලයෙක් විදිහටත් ඔහුව හඳුන්වන්න පුලුවන්. වසර 47 ක් වැනි කෙටි කාලයක් ජීවත් වුවත් ඔහු කළ කී දෑ නම් විශාලයි. 

මේ මට අපේ පන්සලේ පුස්තකාලයෙන් හමුවුණු මීමන ප්‍රේමතිලක ලියූ මට හිතෙන හැටි පොත් පෙළේ තුන්වැනි කොටස. බොහොම සිත් ඇදගන්නා සුළු කරුණු මේ පොතේ තියෙන නිසා ඒ උපුටා ගැනීමක් තමා මේ.


දිව්‍ය ලෝකය යනු කිමෙක් ද ?

අපි දිව්‍ය ලෝක ගැන කතා කරමු. බෞද්ධයන්ටත් දෙව් ලෝ ඇත. ක්‍රිස්තු භක්තිකයන්ටත් දෙව් ලෝ ඇත. හින්දු භක්තිකයන්ටත් දෙව් ලෝඅ ඇත. මහමද් භක්තිකයන්ටත් දෙව් ලෝ ඇත. අනෙක් සෙසු සියලු ම ලබ්ධිකයන්ටත් දෙව් ලෝ ගැන උගන්වනු ලැබේ.

මේ දිව්‍ය ලෝක මොනවා ද ? බෞද්ධයන්ට උගන්වනු ලබන දිව්‍ය ලෝක ගැන සිතන විට ඒවා හොඳට කෑම බීම ඇති සැප පහසුකම් ඇති, සුරංගනාවන් පිරිවරාගෙන සිටිය හැකි කොටින්ම කිව හොත් සුඛෝපභෝගී ජීවිතයෙහි ඉමක් කොනක් නැති තැන් ය.

තිරිසන් සතුන් ද ජීවීන්ට ඇතුළත් ය. බුද්ධාගමේ උගන්වන පරිදි ඌරෙකුටත්, අලියකුටත්, ගොනකුටත් ආදී හැම සතකුට ම මිනිසත් බවක් ද ලැබිය හැකි ය. අපි ඌරකු ගනිමු. ඌරා යාමට කැමති කිනම් දෙව් ලොවකට දැයි අපි ප්‍රශ්න කරමු. අපේ භාෂාවෙන් ඌට කතා කළ හැකි නම් ඌ දෙන පිළිතුර මෙසේ විය හැකියි.

"මා යන්නට කැමති හොඳට මඩ ගොහොරු ඇති ජරාවෙන් පිරී පවතින දිව්‍ය ලෝකයට ය."

අපි ගොනකුගෙන් ඌ යාමට කැමති දිව්‍ය ලෝකය ගැන ප්‍රශ්න කරමු. ඌට අපේ භාෂාවෙන් කතා කළ හැකි නම් ඌ දෙන පිළිතුර මෙසේ විය හැකි ය.

"මා කැමති හොඳට තණ කොළ තිබෙන ජලය තිබෙන පුන්නක්කු උවමනා තරම් තිබෙන දිව්‍ය ලෝකයට ය."

මේ නයින් බලන විට මිනිසා පටන් තිරිසනා දක්වා කවුරුත් කැමති හොඳට කා බී සනීපයෙන් කාලය ගෙවිය හැකි දිව්‍ය ලෝකවලට ය. බුද්ධාගමේ හැටියට දිව්‍ය ලෝක සම්පූර්ණයෙන් තහනම් කළ යුතු තැන් ය. ඒත් දිව්‍ය ලෝක කියා ලෝක ඇත් නම් ය. අපේ තර්කයට අපි දිව්‍ය ලෝක ඇතැයි කල්පනා කරමු. 

ඒ ඇතැයි කල්පනා කරන ලෝක සුඛෝපභෝගී තැන් ය. තණ්හාව උපදවන තැන් ය. තණ්හාව උපදවන තැන්වල සිට බෞද්ධයකුට තණ්හාව නැති කර ගැනීම පහසු නො වේ. තණ්හාව නැති කර ගැනීම බෞද්ධයකු ගේ පරමාර්ථය විය යුතු ය.

අද බෞද්ධයන් තණ්හාවට පොළොඹවනුයේ සමහර බෞද්ධ භික්ෂූන් යැයි මට සිතේ. බෞද්ධ භික්ෂුවකට දානයක් දුන් විට පුණ්‍යානුමෝදනාවේ දී කියන්නේ කිමෙක් ද ? මේ දුන් දනෙහි පිනින් ඊ ළඟ ආත්මයේ දී දෙව් ලොව ගොස් දිවඟනන් පිරිවරා අමෘතය වළඳන්නට හේතු වාසනා සම්පත් ලැබේ වායි කියායි.

සැප විඳීමට ඇති තණ්හාව නිසා බෞද්ධයෝ තව තවත් දන් දෙති. ඒ සැප විඳීමට ඇති තණ්හාව නිසා බුද්ධාගමේ පදනමට පයින් ගසති. දෙවියන්ට වඩා උතුම් වූ මිනිසකු වී ඉපිද සිටින කෙනකු මිනිසත් බවෙන් ඈත්ව යළිත් දෙව් ලොව ඉපදිය යුත්තේ කුමක් නිසා ද ? පාපයක් නිසා නො වේ ද ?

මේ නයින් බලන විට පන්සලින් බණ පොතින් ධර්ම දේශනයෙන් දෙව් ලොව යන වචන වහා ම ඉවත් කර දැමිය යුතු යැයි මට කල්පනා වෙයි. 

ඔන්න ඔහොමයි ඒ කතාව තිබුණේ........

මීමන ප්‍රේමතිලකයන් ගැන මෙතනින් තවත් කියවන්න.

ප.ලි.: ඉදිරියේදීත් මීමන ප්‍රේමතිලකයන්ගේ මට හිතෙන හැටි කෘතියෙන් උපුටා ගැනීම් දක්වන්න බලාපොරොත්තු වෙනවා.

ප.ප.ලි.: පෙරේදා උදේ ඉදන් ඊයේ උදේ වෙනකම් කැලණි රාජ මහා විහාරයේ තිබුණු කපිලවස්තුපුර සර්වඥ ධාතු ප්‍රදර්ශනයට ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාවේ ප්‍රථමාධාරකරුවෙක් විදිහට සහභාගි වෙලා හොඳ අත්දැකීම් ටිකක් අරගෙන ආවා.

ඒ කතාව ලියන්න හිතාගෙන හිටියත් තියෙන මහන්සියට ඒ කතාව කොටාගන්න බැරිවුනා. මේ කතාව කලින් කොටලා තිබුණු නිසා අද පළ කළත් ඉක්මණටම කපිලවස්තුපුර ධාතු වැඳීමේ කතාව කියන්නයි අදහස