
ඉතින් දැන් සති දෙකකට විතර කලින් දවසක අපි රෑ කුඩුවේ වැඩ කර කර ඉද්දි තේ ටිකක් බිව්වොත් හොඳයි කියලා හිතලා පන්සලේ වැඩ කටයුතුවලට ඉන්න තරිඳු මල්ලිට කිව්වා තේ ටිකක් හදන්න කියලා. තේ හදන්න පහළට ගිය [අපේ පන්සල තට්ටු විදිහට තමා තියෙන්නේ. චෛත්‍යය උඩම මළුවේ, බෝධිය ඊළඟ මළුවේ පල්ලෙහාටම වෙන්න තමා ආවාසය, දාන ශාලව එහෙම තියෙන්නේ] තරිඳු මල්ලි එක පාරටම කෑ ගහන්න ගත්තා "රාහුල හාමුදුරුවෝ ටෝච් එකක් ගේන්න" කියලා.
ඒ ගමන් ආයි කෑ ගහන්න ගත්තා "රාහුල හාමුදුරුවෝ පොල්ලක් ගේන්න" කියලා.
අපිටත් හිතාගන්න බැහැ මොකක්ද එක කියලා. සර්පයෙක් කෑවද ? හොරෙක් ඇවිත්ද මොකද දන්නේ නැහැනේ. අපි පල්ලෙහාට දුවන් යද්දී රාහුල හාමුදුරුවන්ගේ කාමරෙන් දුම් දානවා. කාමරේ lock කරලා තිබ්බේ. තරිඳු මල්ලි පොල්ලක් ගේන්න කියලා තියෙන්නේ කාමරේ දොර කඩන්න.
රාහුල හාමුදුරුවෝ කලබලේට දුවන් එද්දී යතුර වැටිලා. මේක නිසා අපි දොර කඩන්න යද්දී කාශ්‍යප පොඩි හාමුදුරුවෝ කකුලෙන් ගහලා දොර කැඩුවා [කොහොමත් ඒ හාමුදුරුවන්ට කරාතේ උණක් තියෙනවා] කාමරේ පොත් රාක්කේ ගිනි ගන්නවා. ඒක සිවිලිම ගාවට වෙනකම් තියෙන නිසා සිවිලිමත් ගිනි ගන්න යන්නේ.

කට්ටිය ටැප් එක ගාව ඉදන් පෝලිමක් හැදිලා වතුර භාජනවලට පුරෝ පුරෝ අතින් අතින් pass කරලා ගින්න නිවනවා. ඒ අතර වාරේ උඩ මළුවේ තිබ්බ හෝස් එක ගෙනල්ලා ටැප් එකට හයි කරලා ගින්න නිවන්න ගත්තා.
අන්තිමට ඉතින් කොහොමින් කොහොම හරි ගින්න නිවාගත්තා. ඊට පස්සේ කාමරේ තිබ්බ බඩු මුට්ටු ටික එළියට ගත්තා. පොත් රාක්කේ එහෙම පොත් ඔක්කොම ගිනි අරන්. පස්සේ මොකෝ ගිනි ගත්තේ කියලා බලද්දී රාහුල හාමුදුරුවෝ කිව්වා විස්තරේ
හාමුදුරුවන්ගේ කාමරේ ලයිට් පත්තු වෙන්නේ නැතුව අවුලක් වෙලා තියෙනවා. හිමින් සැරේ ඒක පොඩ්ඩක් check කරලා බලන්න තමා හාමුදුරුවෝ හිතලා තියෙන්නේ. හැන්දෑ වුණු නිසා හාමුදුරුවෝ පොත් රාක්කේ ඉටි පන්දමක් කරලා තමා කාමරේට එළිය අරන් තියෙන්නේ.
රෑට 7 ට විතර කූඩුව හදන වැඩේට කොල්ලෝ ටික ආපු නිසා හාමුදුරුවෝ කාමරේ lock කරලා කූඩුව හදන පන්සලේ උඩ මළුවට වැඩියා. හාමුදුරුවන්ට කොහොම හරි ඉටි පන්දම නිවලා යන්න අමතක වෙලා. ඒක නිසා තමා ගිනි අරන් තියෙන්නේ. හොඳ වෙලාවට තරිඳු මල්ලි තේ හදන්න පහලට ආවේ. ඒ ආවේ නැත්නම් මුළු ආවාසේම ගිනි ගද්දී තමා අපිට ඕක පේන්නේ.
මේ දවස්වල ආයි හාමුදුරුවන්ගේ කාමරේ හදන කටයුතු කරගෙන යනවා.
අවසන් වශයෙන් කියන්න ඕනේ ඔය කොයි කවුරුත් හරියට සිහියෙන් ඒත් නැත්නම් යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න කියලා තමා. යෝනිසෝ මනසිකාරය කියන්නේ එළඹ සිටින සිහිය. ඒ කියන්නේ තමන් දැන් කරන්නේ මේ කාර්යය කියලා අවබෝධයෙන් යුතුව කටයුතු කරන එක. ඒක හැම තිස්සේම වටිනවා. ඒක තියෙනවා නම් අපිට වෙන කරදර හුඟක් අඩුයි.
ප.ලි.: තරිඳු මල්ලී ඒ වෙලේ "රාහුල හාමුදුරුවෝ පොල්ලක් ගේන්න" කියලා කෑ ගහද්දී පන්සල ගාව ගෙවල්වල ඉන්න හුඟක් අය හිතලා තියෙන්නේ පන්සලේ මොකක් හරි රණ්ඩුවක් වෙන්න ඇති කියලා.
අනික් කතාව තමා දැන් කට්ටිය තරිඳු මල්ලීව දැක්කාම "රාහුල හාමුදුරුවෝ ටෝච් එකක් ගේන්න" හරි "රාහුල හාමුදුරුවෝ පොල්ලක් ගේන්න" කියලා කියනවා. එතකොට පොරට යකා නඟිනවා :)






















