
මම පොඩි කාලේ ඉදන්ම පොත් කියෝන එක ගජරාමෙට කරගෙන ගිය එක්කෙනෙක්. මගේ උපන් දිනේට අම්මා වුණත් මට තෑග්ගට දුන්නේ කතා පොතක්. ඔය විදිහට ගජරාමෙට පොත් කියවන් හිටිය මට කාලයත් එක්ක වැඩ වැඩි වෙන්න වැඩි වෙන්න ගජරාමෙට පොත් කියවන එක අත අරින්න වුණත් පොතක් ලැබෙන විදිහට කියවන්න නම් අමතක කරන්නේ නැහැ.
කතා පොත් කිව්වාම ඉතින් මම ලැබෙන හැම ජාතියකම පොත් කියෝපු කෙනෙක්. රහස් පරීක්ෂක කතා, විද්‍යා ප්‍රබන්ධ, යොවුන් සාහිත්‍ය, ආගමික, ප්‍රේම කතා, විහිළු කතා ආදී වශයෙන් අතර අහුවෙන හැම ජාතියකම පොත් කියෙව්වත් රුසියන් පොත් කියවන්න මට හරි අකමැත්තක් තමා තිබුණේ.
ඒක රුසියාවත් එක්ක තිබ්බ දේශපාලන ප්‍රශ්නයක් නිසා නම් නෙමෙයි. මට රුසියන් පොතක් ගත්තාම කියවන් යන්න මාර කම්මැලිකමක් තමා තියෙන්නේ. රුසියන් ජාතික මහා ගත් කතුවරු වෙන ලියෝ ටෝල්ස්ටෝයි, මැක්සිම් ගෝර්කි, ඇන්ටන් චෙකෝෆ් වගේ ප්‍රසිද්ධ කට්ටියගේ පොත් පත් කිසිම එකක් මම අද දක්වා කියවලා නැහැ.
ඉතින් දවසක් දා Campus එකේ අපේ යාළුවෝ set එකත් එකක් කියෝ කියෝ ඉද්දී අපේ මාතෘකාව වුණේ පොත් කියවීම ගැන.
ඉතින් එතන හිටිය එක girl කෙනෙක් රුසියන් පොත් අගය කරමින් කතා කළා.
මම ඉතින් ඇත්තම කිව්වා "මට නම් රුසියන් පොත් පෙන්නන්න බැහැ. කොටින්ම අපේ ගෙදර තියෙනවා රුසියන් කතා පොත් 2 ක් ඒවා තාම මම කියෝලා නැහැ" කියලා.
ඔයාලත් පුදුම වෙයි ඒක අහලා. කතාව මෙහෙමයි. අපේ අම්මා තාත්තා කියෝපු කතා පොත්වල ඉදන් පස්සේ කාලේ අයියා, මම , නංගී ගත්ත පොත් මහා පොත් කන්දරාවක් අපේ ගෙදර තියෙනවා. මම පොත් ගජරාමෙට කියෝපු දවස්වල හැම පොතටම අංකයක් දාගෙන මාර පිළිවෙලට පොත් පරිස්සම් කරන එක කළා. දැන් ඉතින් අපේ නංගී තමා ඒ කටයුතු කරන්නේ.
දළ වශයෙන් අපේ ගෙදර පොත් 600 ක් විතර තියෙනවා. ඒ හැම පොතම මම කියෝලා තිබ්බත් සෝවියට් රුසියන් කෙටි කථා - කළඹ 3, චින්ගීස් ආයිත්මාතව්ගේ කෙටි නව කතා කියන පොත් දෙක මම තාමත් කියෝලා නැහැ.
ඔය සම්පූර්ණ කතාව මම යාළුවෝ set එකට කිව්වා.
ඒක අහපු අර රුසියන් පොත් අගය කරපු girl කිව්වා "ඔයා ලොකු ලොකු රුසියන් පොත් කියවන්න එපා, මම ඔයාට චින්ගීස් ආයිත්මාත්ව්ගේ ගුරු ගීතය කියන පොඩි පොත ගෙනත් දෙන්නම්. ඒක කියවලා බලන්න" කියලා.
පහුවෙනිදා කිව්වත් වගේ ඒ girl මට ගුරු ගීතය පොත ගෙනත් දුන්නා. පිටු 120 ක් විතර තියෙන ගුරු ගීතය කියන පොත මගේ මේසේ උඩත් සති 3 ක් විතර තිබ්බා. අන්තිමට මම කම්මැලි කමේ හිටපු දවසක ගුරු ගීතය පොත එක හුස්මට කියවලා ඉවර කළා.
පොත කියවන්න පටන් ගද්දී අර මට රුසියන් පොත් කියවද්දී ඇතිවන සුපුරුදු කම්මැලිකම ඇතිවුණත් ටිකක් දුර කියවන් යද්දී මට පොත කියවන්න ඇතිවුණේ මාර ආසාවක්. "කුර්කුරේඋව" කියන අයිලයට [ගමක් කියමුකෝ]එන "දුයිෂෙන්" කියන තරුණයා පාසලක් පටන් අරගෙන නොයෙක් බාධක මධ්‍යයේ ළමයින්ට උගන්වන හැටිත් ඒ ළමයින්ගෙන් "අල්තීනායි" කියන ගැහැණු ළමයාගේ චරිතය මුල් කරගෙන මේ කතාව ඉදිරියට ගලා යාමක් තමා තියෙන්නේ. ඉතින් මේ පොත් කියවලා අවසන් කළාම අමුතුම හැඟීමක් තමා ආවේ.
මේ වගේම සැබෑ ගුරුවරයෙක් ගැන කතාවක් ඇතුළත් "එඩ්වඩ් රිකාඩෝ බ්‍රේත්වේට්" තමන්ගේ සැබෑ අත්දැකිම් පාදක කරගෙන ලියපු "To Sir With Love" කියන පොත මම මීට කලින් කියෝලා තිබ්බේ. ඒකේ හිටිය ගුරුවරයාව තමා මට මතක් වුණේ ගුරු තරුව පොත කියවලා ඉවර වුනාට පස්සේ.
ඒකේදිත් දඩබ්බර, අවිනීත සිසු සිසුවියන් පිරිසකට උගන්වන්න එන මේ එඩ්වඩ් රිකාඩෝ බ්‍රේත්වේට් කියන ගුරුතුමා අවසානයේදී ඔවුන්ගේ හිතවතෙක් බවටත් ඔවුන්ව හොඳ සිසුන් පිරිසක් බවට පත් කිරීමත් ගැන තමා ඒ පොතෙන් කියවෙන්නේ. ඒ පොත පාදක කරගෙන "To Sir With Love" නමින් චිත්‍රපටියක් පවා නිර්මාණය වෙලා තියෙනවා
රට, ආගම, ජාතිය කුමක් වුණත් සැබෑ ගුරුවරයෙක්ගේ කාර්යභාරය මොකක්ද කියන එක දුයිෂෙන් ගුරුතුමා වගේම බ්‍රේත්වේට් ගුරුතුමා කියා දෙනවා කියලයි අන්තිමට මට හිතුණේ. සෑම ගුරුවරයෙක්ම මේ පොත් දෙක කියවන එක හොඳයි කියල හිතුණේ දැන් කාලේ ගුරුවරු කරන වැඩ දැක්කාම. මම හිතන්නේ එයාල ගුරුවරු නෙමෙයි ගුරුහොරු :)
මේ පොත් දෙක ඔයාලා කියවලා නැත්නම් අනිවාර්යයෙන්ම කියවලා බලන්න කියලා මම ඔයාලටත් යෝජනා කරනවා.
අන්තිමට To Sir With Love පොතේ සිංහල පරිවර්තනය වෙන "ගුරු තරුව ඔබයි" පොතේ අන්තිමට තියෙන වදන් ටිකෙන් මේ කතාව අවසන් කරනවා.
අයහපත් දේ කරන,
නොමගටම යන දරුවන් විවේචනය කිරීම,
ඔවුන්ට ගැරහීම ඉතා පහසුය.
අවිද්‍යාවේ ගිලී අන්ධව,
තම දිවි මග අඳුරු කරගන්නා දරුවන්,
නිසි මගට යොමු කිරීම ඉතා අපහසුය.
පෙන්වා මග,
නොමග නොවැටී යන සැටි කියා දෙන්නේ,
සැබෑම ගුරු උතුමෙකි,
උත්තම මනුෂ්‍යයෙකි,
හෙතෙම ගුරු තරුවකි.
නොමගටම යන දරුවන් විවේචනය කිරීම,
ඔවුන්ට ගැරහීම ඉතා පහසුය.
අවිද්‍යාවේ ගිලී අන්ධව,
තම දිවි මග අඳුරු කරගන්නා දරුවන්,
නිසි මගට යොමු කිරීම ඉතා අපහසුය.
පෙන්වා මග,
නොමග නොවැටී යන සැටි කියා දෙන්නේ,
සැබෑම ගුරු උතුමෙකි,
උත්තම මනුෂ්‍යයෙකි,
හෙතෙම ගුරු තරුවකි.
ප.ලි.: අර ගෙදර තියෙනවා කියපු සෝවියට් රුසියන් කෙටි කථා - කළඹ 3, චින්ගීස් ආයිත්මාතව්ගේ කෙටි නව කතා කියන රුසියන් කතා පොත් දෙක තාම කියෙව්වේ නැහැ. ඒකත් ඉස්සරහට අමාරුවෙන් හරි කියවන්න තමා හිතන් ඉන්නේ :)
















