
ඊයේ දවල් TV දෙරණින් දැයෙන් සමුගත් ප්‍රවීණ රංගධරයෙක් වෙන ජෝ අබේවික්‍රමයන්ට උපහාර පිණිස එතුමන්ගේ විශිෂ්ඨතම රංග ප්‍රතිභාව පිළිබිඹු කරන “පුරහඳ කළුවර" චිත්‍රපටිය පෙන්නුවා.
මම ජෝ අබේවික්‍රම හඳුනාගන්නේ පුරහඳ කළුවර චිත්‍රපටියෙන්. මේ චිත්‍රපටිය පස්සේ කාලේ TV එකේ පෙන්නද්දී මටත් බලන්න පුලුවන් වුණා. එතුමන්ගේ විශිෂ්ඨතම රංග ප්‍රතිභාව පෙන්වන්නේ ඒ චිත්‍රපටියෙන් කියලා මම කියන්නේ එක්තරා විදිහටකට නිරපේක්ෂව. මොකද මම එතුමන්ගේ බලලා තියෙන එකම චිත්‍රපටිය වෙන්නේ පුරහඳ කළුවර නිසා.
ජෝ අබේවික්‍රමයන් පුරහඳ කළුවර චිත්‍රපටියේ වන්නිහාමි චරිතයට පණ පෙව්වේ නුවර කලාවියේ ගම්මානෙක ඉන්න සෑබෑම වන්නිහාමි විදිහටමයි. එතුමන් නොහිටියා නම් ඒ චරිතය කරන්න වෙනත් සුදුසු නළුවෙක් සොයාගන්න ප්‍රසන්න විතානගේට හැකිවෙයිද කියන එක මට සැකයක්.
චිත්‍රපටිය පුරාම ගැඹුරින් විහිදෙන පිය සෙනෙහස දැක්කාම මට නම් මතක් වෙන්නේ සිංහබාහු වේදිකා නාට්‍යයේ සිංහයා තුළ තමන්ගේ දරුවන් ගැන පවතින ස්නේහය.

පුතු සෙනේ මස් නහර හම සිඳ
ඇට සොයා ගොස් ඇට තුළට වැද
ඇට මිදුලු මත රඳා සිට දුක්
දෙයි නිබන්දා
ඇට සොයා ගොස් ඇට තුළට වැද
ඇට මිදුලු මත රඳා සිට දුක්
දෙයි නිබන්දා
නාට්‍යධර්මී නාට්‍යයක පැවතුණ මේ ඇටමිදුළු දක්වා කිඳා බසින පිය සෙනෙහස අතිශය සාර්ථකව රිදී තිරයට ගේන්න ප්‍රසන්න විතානගේ සමත්වුණා. ඔහුගේ හිතේ මැවුණු චරිතයට ජෝ සාධාරණයක් කළා.
ඊට පස්සේ තමන් රිදී තිරයට පිවිසුණු මුල් කාලයේ වගේ නැවතත් හාස්‍යෝත්පාදක චරිතයකට දායක වෙන්න ජෝ අබේවික්‍රමයන්ට හැකිවුණේ සකිසඳ එළියස් නාට්‍යයේ ආරච්චි මහත්තයා විදිහට. ඒ නාට්‍යයට ප්‍රේක්ෂකයන් කොච්චර ඇඳිලා ගියාද කියනවා නම් ඒ ජනප්‍රියත්වය නිසාම ජෝ මහත්තයාගේ අදහසකින් සබඳ පබිලිස් නමින් තවත් නාට්‍යයක් නිෂ්පාදනය වුණා. ඒ නාට්‍යයටත් කෝරළේ මහත්තයා විදිහට සුළු චරිතයකින් දායක වෙන්න ජෝ මහත්තයා කටයුතු කළා.
සබඳ පබිලිස් නාට්‍යයේ කොටසක්
මෑත කාලීනව ජෝ මහත්තයා එහෙමම සිනමාවේ හෝ ටෙලි නාට්‍යවල දැකගන්න බැරිවුණත් DFCC බැංකුව වෙනුවෙන් කළ වෙළෙඳ දැන්වීමෙන් දෙක තුළිනුත් ඔහු සතු අසහාය රංග ප්‍රතිභාව ඉස්මතු වුණා.
ඔයාලටත් මතක ඇති DFCC බැංකුවේ මුදල් තැන්පත් කරන්න එන වැඩිහිටි ගැමියාගේ චරිතයත් ඒ වගේම බැංකුවේ ණයකින් අලුත් ලොරියක් ගෙන්න ගිය තමන්ගේ පුතා එනකම් මුණුබුරාත් එක්ක බලන් ඉන්න සීයගේ චරිතයත් ජෝ අබේවික්‍රමයන් කළා.
කොහොම නමුත් ජෝ මහත්තයා රඟපෑව "දෑස නිසා" චිත්‍රපටියෙනුත් විශිෂ්ඨ රංගනයක් ඉදිරිපත් කළා කියලා ඒක බලපු අය නම් කියනවා.
දෑස නිසා චිත්‍රපටියෙන් කොටසක්
මම නම් ඒක බලලා නැති නිසා කියන්න අමාරුයි. කොහොම නමුත් හාස්‍යෝත්පාදක චරිතයේ ඉදලා අතිශය භාවාත්මක චරිතය දක්වාම තමන්ගේ රංග ප්‍රතිභාව අරන් ගිය ඒ ශ්‍රේෂ්ඨ රංගධරයා අපෙන් සමු අරන් ඉවරයි. සිනමා විචාරයක් නොවුණත් ජෝ අබේවික්‍රමයන් ගැන හිතට ආපු අදහස් ටිකක් තමා මේ පෙළ ගැස්සුවේ.......
යෝධයන්ගේ පරපුර ඉවරවේගෙන දෝ යන්නේ කියලා මට මේ මෑතක ඉදන් හිතෙන්න අරන් තියෙන්නේ.............
කොහොම නමුත් ජෝ මහත්තයා ඔබට සුභ රාත්‍රියක්!!!
ප.ලි.: මට පොඩි කරුණු දෙක තුනක් මග ඇරිලා තියෙනවා. 2001 වගේ ආපු "අස්වැසුම" චිත්‍රපටියටත් ජෝ අබේවික්‍රමයන් රංගනයෙන් දායකවෙලා තියෙනවා.
ඒ වගේම 2009 දී මාත් බැලුව "අලිමංකඩ" චිත්‍රපටියෙත් ජෝ මහත්තයා හිටියා. ඒත් අලිමංකඩ චිත්‍රපටියේ නම් විනාඩි 3 ක් විතර වගේ කොටසකට පෙන්නන කඩේක මුදලාලි කෙනෙක්ට තමා එතුමා රංගනයෙන් දායක වුණේ.......


















