Sunday, January 20, 2013

මරුටි කාර් එකට නම දාපු හනුමාන් දෙවියා


හනුමා, හනුමන්තා කියන්නේ කවුද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. හනුමා වන්නම කියලා දේශීය නර්තන සම්ප්‍රදායේ නර්තන ශෛලියක් තියෙනවා වගේම පෙරහැරවල්වල හනුමන්තා විදිහට රඟපාන අයත් ඉන්නවා. ඒත් නැත්නම් මූණ ඉදිමිලා හරි පිම්බිලා හරි තියෙද්දී හනුමා කියලා කාඩ් එක දාන්නත් කොල්ලෝ පසුබට වෙන්නේ නැහැ.

ටිකක් කරුණු කාරණා දන්න උදවිය දන්නවා හනුමා කියන්නේ හින්දූන් ගෞරවයන් වන්දනා කරන වානර සිරුරක් තියෙන දෙවියක් බව. ඒ හැරෙන්න ලංකාවේ හිටිය රාවණා රජතුමා එක්ක යුද්ධ කරපු රාම කුමාරයාගේ කතාව අහලා තියෙන අයටත් මතක ඇති ඒකේ රාම කුමාරයාට උදව් කරන වඳුරු නායකයාගේ නම හනුමන්තා කියන එක. 

රාම රාවණා යුද්ධයේදී රාමගේ සොයුරු ලක්ෂ්මණ රාවණ රජුගේ පුත් ඉන්ද්‍රජිත්ගේ පහරකින් සිහිය නැතුව ඉද්දී ඒකට ප්‍රතිකාර කරන්න අවශ්‍ය වෙන ඖෂධයක් ගේන්න හිමාලයට ගිහින් හිමාලයේ කොටසක් කඩාගෙන හනුමා ලංකාවට ගෙනාපු බවත් ඒ කොටස රූමස්සල කියන කතාව දන්න උදවියත් ඇති

එකී මෙකී නොකී හුඟක් ආකාරවලින් අහපු හනුමා ගැන ඇහුවත් හනුමා ඉපදුණු විදිහ වගේම රාම කුමාරයා එක්ක එකතු වුණු විදිහත්, ඒ වගේමයි රාම රාවණා යුද්ධයෙන් පස්සේ හනුමාට මොකක්ද වුණේ කියන එක දන්න උදවිය හරි අඩුයි කියලයි මගේ හැඟීම. ඉතින් ඒ අඩුව පුරවන්න තමා මේ වෑයම. 

ත්‍රිමූර්තිය

හින්දු දහමේ මූලික දේව ත්‍රිත්වය එහෙමත් නැත්නම් ත්‍රිමූර්තියෙන් විනාශ කිරීමේ කාර්යය පවරලා තියෙන්නේ ශිව එහෙමත් නැත්නම් ඊශ්වර දෙවියන්ට. ශිව දෙවියන්ගේ පියා තමා මහා බ්‍රහ්මයා. ශිවගේ බිරිඳ තමා පාර්වතී. මේ යුවළගේ දරුවන් තමා ගණ සහ ස්කන්ධ [කතරගම]

මේ ශිව දෙවියන්ගේ ස්වරූප කීපයක් තියෙනවා [හරියට විෂ්ණු දෙවියන්ගේ අවතාර තියෙනවා වගේ] එක ස්වරූපයක් තමා භාවනානුයෝගීව ඉන්න ස්වරූපේ. තව ස්වරූපයක් තමා නර්තන ඉරියව්වෙන් ඉන්න නටරාජා ස්වරූපය [නටරාජ් කවකටු පෙට්ටියේ තියෙන්නේ ඒ රූපේ තමා] ඉතින් ඒක නිසා කලාවට සරස්වතී දේවිය අධිපති වුණාට නර්තනය අධිපති වෙන්නේ ශිව දෙවියන්.

නටරාජා

ඒත් නර්තනයට අධිපති ශිව දෙවියන්ව වුණත් නර්තනයෙන් මෝහනය කරන්න පුලුවන් මෝහිනී කියලා දිව්‍ය අප්සරාවක් හිටියා. දවසක් මෝහිනීගේ නර්තනයෙන් මෝහනය වෙලා හිටිය ශිව කැමති වරයක් ඉල්ලන්න කියලා කිව්වා [රාවණා රජතුමා පවා බලවත් උණේ ශිව දෙවියන්ගේ වරයක් ලැබිලා] ඉතින් හම්බුණු අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න හිතුව මෝහිනී දිව්‍ය අප්සරාව ශිවගේ ශුද්ධ වූ ප්‍රජනන ශක්තියෙන් අංශුවක් ඉල්ලනවා.

වරය ඉටු කරන්න ශිව තමාගේ ශුක්‍ර ධාතුවක් මෝහිනීට දෙනවා [දැන් අනම් මනම් ප්‍රශ්න අහන්න එපා ඕන්] මෝහිනී දිව්‍ය අප්සරාව තමන්ට හම්බුණු මේ වටිනා කියන වස්තුව තමන්ගේ හොඳම මිතුරෙක් වුණු සුළඟට අධිපති වුණු වායු හෙවත් මාරුත දෙවියන්ට ලබා දෙනවා.

වායු දෙවියන් අංජානි කියල විවාහක වැඳිරියක් එක්ක ඒ කාලේ සම්බන්ධයක් පැවැත්වුවා. අංජානි කියන්නේ ඇත්තටම දිව්‍ය අප්සරාවක්. ඒත් ශාපයක් නිසා ඇය වැඳිරියක් වෙලා හිටියේ. කේසරී කියන වඳුරා එක්ක විවාහ වෙලා හිටිය අංජානි වැඳිරියට දරුවෝ හිටියෝ නැහැ. ශිවගේ ශුක්‍ර ධාතුවෙන් ඇයගේ ප්‍රශ්නේ විසඳන්න පුලුවන් කියලා හිතපු වායු දෙවියෝ කඳු මුදුනකට වෙලා ශිව දෙවියන් නමස්කාර කරමින් හිටිය අංජානිගේ කනෙන් රිංහලා ශිවගේ ශුක්‍ර ධාතුව අංජානිගේ ගර්භාෂයේ තැන්පත් කරනවා.

අංජානිගේ කුසේ දරු ගැබක් හටගෙන ඒක වර්ධනය වෙද්දී ඒක දිවැසින් දැක්ක ශිව දෙවියෝ දේව සභාවේදී අංජානිගේ කුසේ ඉන්නේ තමන්ගේ දරුවෙක් කියලා ප්‍රකාශ කරනවා.

කේසරී, අංජානි සහ හනුමාන්

කල් ගත වුණාට පස්සේ අංජානි තමන්ගේ පුත්‍රයාව බිහි කරනවා. අංජානිගේ පුතා නිසා "අංජානි සුත" සහ "අංජනේය" කියන නම් හිමිවෙනවා. ඒ වගේමයි මේ පුතාට තාත්තලා තුන් දෙනෙක් ඉන්න නිසා තාත්තලා නිසාත් වෙන වෙන නම් හිමිවෙනවා. 

අංජානිගේ ස්වාමියා වුණේ කේසරී නිසා කේසරීගේ පුත්‍රයා කියන අර්ථයෙන් "කේසරී නන්දන" කියන නමත් අංජානිගේ ගර්භාෂයේ ශිවගේ ශුක්‍ර ධාතුව තැන්පත් කළේ වායු දෙවියෝ නිසා වායු දෙවියන්ගේ පුත්‍රයා කියන අර්ථයෙන් "වායු පුත්‍ර, පවත් පුත්‍ර, මරුති" කියන නම් කීපයත් ශිවගේ ශුක්‍ර ධාතුවෙන් උපන් නිසා ශිවගේ පුත්‍රයා කියන අර්ථයෙන් "රෞද්‍රේය" කියන නමත් හිමිවෙනවා. විශාල හනුවක් තිබුණු නිසා "හනුමත්/ හනුමාන්" කියන නමත් භාවිතා කරනවා.

මේ හැරෙන්න හනුමාන් කියන්නේ ශිවගේම අවතාරයක් කියන මතයත් ජනප්‍රියයි. ඒ වගේමයි අයෝධ්‍යාවේ දශරථ රජතුමාගේ බිසෝවරුන්ට දරුවන් නැති නිසා යාගයක් පවත්වද්දී එහි ගින්නෙන් පහළ වුණු පුරුෂයෙක් දීපු ආහාරයක් නිසා බිසෝවරුන් ගැබ් ගන්නවා. ඒ ආහාරයෙන් කොටසක් වායු දෙවියන් අංජානිට ගෙනත් දීලා ඒ නිසා ඇය ගැබ් අරගෙන හනුමාන් බිහි කළා කියලත් මතයක් තිබෙනවා. 

සූර්යයා ඇල්ලීමට යන හනුමාන්

හනුමාන් පොඩි කාලේ ඉදන්ම හරිම ක්‍රියාශීලී, නිර්භීත, බුද්ධිමත් කෙනෙක් වුණා. හැමදාම උදේ කැළේට වදින හනුමාන් ගස් සොලවමින් කඳු මුදුනෙන් කඳු මුදුනට පැන පැන ඉන්නවා. දවසක් හනුමාන් ඉදිණු පළතුරක් කියලා හිතලා සූර්යයාව අල්ලා ගන්නවා. ඒකත් එක්ක සූර්යය කිරණ විහිදෙන එක නතර වෙලා ලෝකය අඳුරු වෙනවා. 

 හනුමාන්ට පහර දෙන ඉන්ද්‍ර දෙවියා

මේක දැකපු දෙවියන්ගේ නායකයා වුණු ඉන්ද්‍ර දෙවියෝ ඓරාවණ ඇතා පිටේ ඇවිත් හනුමාන්ගේ අතේ හිරවෙලා තිබුණු සූර්යයාව ගලවා ගන්න උත්සහ කරනවා. ඒ වෙලාවේ හනුමාන් ඓරාවණ ඇතගේ හොඬවැල මිරිකලා කලබල කරනවා. මේකෙන් කෝප වුණු ඉන්ද්‍ර තමන්ගේ වජ්‍රායුධයෙන් පහර දීලා හනුමාන්ව පොළොවට ඇදලා දානවා

මේ පහරදීම නිසා හනුමාගේ හනුවකුයි අතකුයි බිඳෙනවා. මේක නිසා කෝප වුණු වායු දෙවියෝ සුළං හමන එක නවත්තනවා. ඒකෙන් වෙන හානිය දැක්ක දෙවිවරු වායු දෙවියාට කන්නලව් කරද්දී එයා ඉල්ලා සිටිනවා මගේ දරුවාට කරපු වරද නිවැරදි කරලා එයාගේ අනාගතයට ආශිර්වාද කරන්න. ඊට පස්සේ සුළං මුදා හරින්නම් කියලා. 

 දෙවිවරුන්ගේ ආශිර්වාදයට ලක්වෙන හනුමාන්

ඒ නිසා සියලුම දෙවියෝ හනුමාන් ශෝභාසම්පන්න වේවා, මනස විදුලිය වගේ තියුණු වේවා, හනුමාන්ගේ අධිෂ්ඨානය කිසිම වෙලාවක චංචල නොවේවා, ලෝකයේ කිසිම කෙනෙක්ගේ ආයුෂ හනුමාන්ගේ ආයුෂ ඉක්ම නොයේවා ආදී විදිහට හනුමාන්ට ආශිර්වාද කරනවා. පස්සේ තමා වායු දෙවියෝ සුළං හමන්න පටන් ගන්නේ. ඒ සිද්ධියත් එක්ක හනුමාන්ව "බජ්‍රාංගබලී" කියලාත් හඳුන්වන්න පටන් ගන්නවා

අධ්‍යාපනය ලබන්න ඕනේ වයස ආපුවාම හනුමාන් කල්පනා කරනවා තමන්ගේ ගුරුවරයා තමන් විසින්ම හොයාගන්න ඕනේ කියලා. ඒකට සුදුසුම පුද්ගලයා වෙන්නේ මුළු ලෝකයම දකින සූර්ය දෙවියන් කියලා හිතපු හනුමාන් ඔහු නොදන්නා දෙයක් ලෝකේ තියෙන්න බැරි නිසා ඔහුගේ ශිෂ්‍යයා වෙන්න අවසර ඉල්ලනවා. ඒත් සූර්ය දෙවියෝ කියනවා තමන් නිතරම ගමන් කරමින් ඉන්න නිසා ඉගැන්වීම් කරන්න තරම් කාලයක් තමන්ට නැහැ කියලා. අ

ධිෂ්ඨානශීලී හනුමාන් කියනවා සූර්ය දෙවියන් එක්ක ගමන් කරන ගමන්ම තමන් ඉගෙන ගන්නවා කියලා. ඒ විදිහට සූර්ය දෙවියන්ගේ ශිෂ්‍යයා වුණු හනුමාන් සූර්යාත් එක්ක ලෝකය වටා ගමන් කරන ගමන්ම සියලුම දැනුම ලබාගන්නවා.

අවසානයේදී ඉගැන්වීම් අවසන් වුණාට පස්සේ හනුමාන් සූර්ය දෙවියන්ගෙන් ගුරු පඬුරු ගැන අහපුවාම සූර්ය දෙවියන් කියනවා තමන්ට ගුරු පඬුරු අවශ්‍ය නොවෙන බවත් කිෂ්කින්දයේ වාසය කරන තමන්ගේ පුතා වෙන සුග්‍රීව වඳුරු රජතුමාට අවශ්‍ය වෙලාවට පිහිට වෙන්න කියලා. හනුමාන් ඒකට එකඟ වෙනවා.

කිෂ්කින්දයේ වඳුරන් අතරේ දෙවියන්ට දාව ඉපදුණු වඳුරෝ දෙන්නෙක් හිටියේ. ඒ කලින් කිව්වා වගේම සූර්ය දෙවියන්ගේ පුතා වුණු සුග්‍රීව සහ ඉන්ද්‍ර දෙවියන්ගේ පුතා වුණු වාලි. හැබැයි ඒ දෙන්නාගේම මව වුණු එකම වැඳිරියක්. කිෂ්කින්දයේ රජු වුණේ වාලි. 

වාලි සහ සුග්‍රීව සහෝදරයෝ වුණත් ලොකු තරහකාරයෝ දෙන්නෙක් වුණා. එක දවසක් කිෂ්කින්දයට කඩා වැදුණු දුන්දුභී කියලා රාක්ෂයෙක් කලබල කරන්න වුණු නිසා ඒ රාක්ෂයාව ගල් ගුහාවකට කොටු කරගන්තු වාලි ද්වන්ද සටනකට මුල පුරනවා. ඒකට වෙන කාටවත් ඇතුල්වෙන්න බැරි විදිහට වාලි දොරටුව වසා දානවා. දින ගාණක් සිද්ධ වුණු මේ සටන අවසානයේදී වාලි මර හඬ නගනවා එළියේ හිටපු සුග්‍රීව ඇතුළු වඳුරන්ට ඇහුණු නිසා වාලි මියගියා කියලා හිතපු ඔවුන් කරන්නේ දුන්දුභීට එළියට එන්න බැරි විදිහට හොඳට ගල් ගුහාව වසා දානවා. පස්සේ වඳුරන්ගේ නව රජතුමා විදිහට සුග්‍රීව පත් කෙරෙනවා.  

ඒත් ඇත්තටම වෙලා තිවුණේ දුන්දුභීව වාලි විසින් මරා දමලා තිබුණු එක. සති ගාණකව පස්සේ ගල් දොරටුව පෙරළලා එළියට ආපු වාලි දැක්කේ සුග්‍රීව රජවෙලා ඉන්න එක. සුග්‍රීව තමාගෙන් රජකම ගන්න ගල් ගුහාවේ තමන්ව හිර කළා කියලා චෝදනා කරපු වාලි සුග්‍රීවට පහර දීලා කිෂ්කින්දයෙන් පිටමං කරනවා. 

 වාලි සහ සුග්‍රීවගේ ගැටුම

සුග්‍රීව සෘෂ්‍යමුඛ පර්වත ප්‍රදේශයට පැනලා යනවා. ඒත් සුග්‍රීවගේ දරුවන් මරා දාපු වාලි සුග්‍රීවගේ බිරිඳ වුණු රූමාව බලහත්කාරයෙන් තමන්ගේ බිරිඳක් බවට පත් කරගන්නවා. සුග්‍රීව මේ විදිහට අසරණ වෙලා ඉද්දී තමන් හනුමාන් සුග්‍රීවගේ පියා වුණු සූර්ය දෙවියන්ට දීපු පොරොන්දුවේ විදිහට සුග්‍රීවට උදව් කරන්න එන්නේ. 

වාලිගේ හැටි හනුමාන් කුඩා කාලයේ ඉදන්ම දැනගෙන හිටියේ. මොකද හනුමාන් ඉපදෙන්න ආසන්න කාලයේදී අංජානිගේ කුසෙන් බිහිවන වඳුරු රජෙක් නිසා වාලිට මියයන්න වෙනවා කියලා අනාවැකියක් ප්‍රකාශ වෙලා තිබුණු නිසා වාලි රන්, රිදී, තඹ, යකඩ, බෙලෙක් කියන ලෝහ පහෙන් ආයුධයක් හදලා අංජානි හුදෙකලාව නිදාගෙන ඉන්න අවස්ථාවක් බලලා දරු ගැබට අනිනවා. ඒත් ශිවගේ ශුද්ධ වූ ශුක්‍ර ධාතුවේ ආනුභාවයෙන් ඒ පස් ලෝ ආයුධය උණු වෙනවා. ඒ පංච ලෝහ හනුමාන්ගේ කන්වල තියෙන කුණ්ඩලාභරණ බවට පත්වෙනවා. ඒක නිසා හනුමාන් මව් කුසෙන් බිහිවෙද්දීම කන්වල කුණ්ඩලාභරණ තියෙනවා. 

හනුමාන්ගේ මැදිහත් වීමෙන් වාලි සහ සුග්‍රීව අතරේ සාම සාකච්ඡාවක් පැවැත්වෙනවා. ඒකෙන් කිෂ්කින්දයේ අයිතිය වාලිට පැවරෙනව වගේම සෘෂ්‍යමුඛ පර්වතය නව රාජ්‍යයක් පිහිටුවන්න සුග්‍රීව එකඟ වෙනවා. කොහොම නමුත් දිගින් දිගටම වාලිගෙන් වුණු අකටයුතුකම් නිසා කිෂ්කින්දයේ වඳුරන් දිගින් දිගටම සෘෂ්‍යමුඛ රාජ්‍යයට එකතු වෙනවා. 

 රාම කුමරුට හනුමාන් හමුවීම

මේ කාලයේදී තමා රාම කුමාරයා රාවණා රජතුමා පැහැරගෙන ගිය සීතාව සොයාගෙන මේ ප්‍රදේශය හරහා එන්නේ. මෙතන ඉදන් කතාව දන්නවානේ...

ආයි පාරක් කතාවේ අග හරියට ආවොත් රාම රාවණා සටනින් රාම ජය අරගෙන නැවතත් අයෝධ්‍යාවේ රජකම භාරගත්තාට පස්සේ හනුමාන් රාම සමීපයේම වාසය කළා. සීතා විසින් හනුමාන් තමන්ට කරපු උදව් වෙනුවෙන් හනුමාන්ට මාලයක් පළඳවනවා. 

තම හදවතේ වෙසෙන රාම සීතා යුවළ පෙන්වන හනුමාන්

ඒක පළඳගත්තු හනුමාන් නිතරම ඒක දිහා බලන්න පටන් ගත්තු නිසා මිනිස්සු ඒක විහිළුවකට අරගෙන හැම තිස්සේම බලන්නේ මොකක් දිහාද කියලා ප්‍රශ්න කරනවා. ඒකට පිළිතුරු විදිහට හනුමාන් රාම සීතා දෙදෙනා දිහා කියලා ප්‍රකාශ කරලා පපුව දෙබෑ කරලා පෙන්වනවා. ඒ අවස්ථාවේ රාම සීතා යුවළ හනුමාන්ගේ හදවත තුළින් දිස්වෙනවා.

රාමගේ අවසානය ළං වෙද්දී රාම ඒ බව හනුමාන්ට ප්‍රකාශ කළාම හනුමාන් රාම සමඟ යන්න කැමති වෙනවා. ඒත් රාම ප්‍රකාශ කරනවා තව දුරටත් මිහිපිට රැඳෙමින් පූජනීය ජීවිතයක් ගත කරමින් රාම නාමය මතුරන්න, රාම ගුණ ගායනා කරන්න කියලා. 

 රාමගේ ගුණ ගයන හනුමාන්

එහෙම කියපු රාම සරයූ ගංගාවේ ගිලී යනවා. රාමගේ අවවාදය අනුවම හනුමාන් ගල් පුවරුවල රාම නාමය කොටමින්, රාම ගැන ගී ගයමින් තවමත් අප අතට ජීවත් වෙනවා කියලා තමා හින්දු විශ්වාසය වෙන්නේ.

හින්දූන් අතර හනුමාන් දෙවියාව ප්‍රශ්න නිරාකරණය කරන්නෙක්, සටන්කාමියෙක්, භක්තිකවන්තයෙක්, සංගීතඥයෙක්, බුද්ධිමතෙක්, බ්‍රහ්මචාරියෙක්, පරාර්ථකාමියෙක් විදිහට සළකනවා. ඒ වගේමයි මල්ලව පොරකරුවන්ගේ දෙවියා, තාරුණ්‍යයේ දෙවියා සහ ගමනාගමනයේ දෙවියා විදිහටත් හනුමාන්ව සැළකෙනවා. 


ඒ නිසා බොහෝ වෙලාවට මාර්ගාසන්නයේ හනුමාන් පිළිරූ ඉදි කරනවා. හනුමාන් ප්‍රවාහනයට අධිපති දෙවියා වගේම වායු දෙවියන්ගේ පුතා නිසා මරුති යන නම භාවිතා වෙන නිසා මේ සියල්ලම සැළකිල්ලට අරගෙන තමා ඉන්දියාවේ නිෂ්පාදනය කරන මෙන්න මේ කාර් ජාතියට මරුති කියන නම යොදලා තියෙන්නේ



මේ සටහන ලියන්න මට උපකාර වුණේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ලියපු හනුමාන් නමැති වඳුරු දෙවියා පොත. ඒ හැරෙන්න විකිපීඩියාවෙන් සහ අන්තර්ජාලයෙන් තමා විස්තර ඡායාරූප සියල්ලම හොයා ගත්තේ 

ජය බජ්‍රාංගබලී !!!

ප.ලි: කැම්පස් එකේ දෙවන අර්ධ වාර්ෂිකයේ විභාගේ පෙබරවාරි 1 වෙනිදා පටන් ගන්නවා. ඒක නිසා පෙබරවාරි 16 වෙනිදා විභාගය අවසන් වෙනකම් අලුතෙන් මොකුත් ලියන්න වෙන්නේ නැහැ...... 

Sunday, January 13, 2013

සැරියුත්, මුගලන් හිමිවරු මතු බුදුවේ යැයි බුදුන් වහන්සේ විවරණ දෙති



බෞද්ධ, හින්දු, කිතුණු පොත් හොය හොය ඉද්දී පහුගිය දවසක මට කියවන්න ලැබුණා මහායාන බුදු දහමේ ප්‍රධානම ග්‍රන්ථයක් විදිහට සැලකෙන සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය. ඒ සූත්‍රය කියවද්දී සිත් ඇදගන්නා සුළු වගේම විශේෂයි කියලා හිතුණු කරුණු ටිකක් බෙදා හදාගන්නයි අද මගේ කල්පනාව. 

මේ සූත්‍රයත් පටන් ගන්නේ ථේරවාදී බුදු දහමේ සූත්‍ර පටන් ගන්න ආකාරය වෙන "මා විසින් මෙසේ අසන ලදී" කියන වාක්‍යයෙන්. බුදු හාමුදුරුවෝ රජගහ නුවර ගිජුකුළු පව්වේ දොළොස් දහසක් සංඝයා වහන්සේලා පිරිවරාගෙන වැඩ වාසය කරද්දී ඒ පිරිසත් හයදාහක් පමණ වුණු භික්ෂුණීන් වහන්සේලාත්, අසූ හාරදාහක් පමණ වුණු බෝසත්වරුනුත් ඒ හැරෙන්න දිව්‍ය, බ්‍රහ්ම, කිඳුරු, මකර, ගරුඬ රාජයන් උදෙසා තමා සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය දේශනා කරන්නේ. 

ථේරවාදී බුදු සමයේ නිවන් අවබෝධ කරගන්නා වූ ත්‍රිවිධාකාර මාර්ගයන් දක්වනවා. තුන්තරා බෝධි නමින් හඳුන්වන ලොව්තුරා බෝධිය, පසේ බෝධිය, රහත් බෝධිය තමා මේ ත්‍රිවිධාකාර මාර්ග. මේ මාර්ග තුනෙන් එකකට පත්වෙන පුද්ගලයා නිවන් අවබෝධ කරගන්නවා කියලා තමා ථේරවාදී බුදු දහමේ ඉගැන්වෙන්නේ. 

ඒත් මහායාන බුදු දහමේ ඉගැන්වෙන්නේ නිවන් අවබෝධ කරගන්න නම් ලොවුතුරා බෝධියටම පත්විය යුතුයි කියලා. ඒක හොඳින්ම සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයෙන් අවධාරණය කරනවා. ථේරවාදී බුදු සමයේ දැක්වෙන විදිහට නිවන් අවබෝධ කරගනිපු මහ රහතන් වහන්සේලා වුණු සැරියුත්, මුගලන් ආදී වූ ශ්‍රාවකයන් වහන්සේලා අනාගතයේදී බුද්ධත්වයට පත්වෙලා නිර්වාණය සාක්ෂාත් කරගන්නා ආකාරය මේ සූත්‍රයේදී විස්තර කෙරෙනවා.

ඒකේ දැක්වෙන විදිහට බුදුන් වහන්සේ ප්‍රධාන ශ්‍රාවකයන් වහන්සේලා හැමෝටම වගේ නියත විවරණ ලබා දෙනවා මතු බුදුවෙනවාය කියලා. 

ඒ අනුව අනාගතයේදී සැරියුත් මහ රහතන් වහන්සේ පද්ම ප්‍රභා නමින්, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ රශ්මි ප්‍රභාශ්වර නමින්, සුභූති රහතන් වහන්සේ ශෂිකේතු නමින්, මහා කච්චායන මහ රහතන් වහන්සේ ජම්බුනදප්‍රභාස නමින්, මුගලන් මහ රහතන් වහන්සේ තමාලාපත්‍රචන්දන ගන්ධ නමින්, පුණ්ණ මන්තානිපුත්ත මහ රහතන් වහන්සේ ධර්ම ප්‍රභාශ්වර නමින් බුද්ධත්වයට පත් වෙනවා.  

සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය දේශනා කරන බුදුන් වහන්සේ

ඒ වගේමයි බුදුන් වහන්සේ දේශනා කරන පරිදි ඒ අවස්ථාවේ ගිජුකුළු පව්වේ වැඩ සිටිය දොළොස් දහසක් පමණ වුණු මහ රහතන් වහන්සේලා සියලු දෙනාම අනාගතයේදී අනුපිළිවෙළින් බුද්ධත්වයට පත්වෙනවා. උන් වහන්සේලා සියලු දෙනාවම හඳුන්වන්නේ සමන්තප්‍රභාස බුදුන් වහන්සේ කියලා. 

මේ හැරෙන්න සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ තිබෙන තවත් සිත් ඇදගන්නා සුළු කතා පුවතක් තමා බුදුන් වහන්සේ සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය දේශනා කරද්දී බුදුන් වහන්සේ ඉදිරියෙන් සත් රුවනින් සෑදුණු මහා ස්ථූපයක් පහළ වුණු සිදුවීම.

යොදුන් 500 ක් උස යොදුන් 250 ක් පළල වුණු මේ මහා ස්ථූපය මහ පොළව පලාගෙන තමා මතු වෙන්නේ. ස්ථූපයේ හතර වටින් සඳුන් සුවඳක් විහිදෙනවා වගේම ධජ පතාකවලින් ස්ථූපය අලංකාර කරලා තියෙන්නේ. මේ ස්ථූපයට දෙව් බඹුන් පුද පූජා පවත්වන්න පටන් ගන්නවා.

ඒ අවස්ථාවේදී ස්ථූපයෙන් හඬක් නිකුත් වෙලා "තථාගත ශාක්‍ය මුනින්ද්‍රයාණෙනි, ඔබවහන්සේ බුදුවරුන්ගේ මනසේ තබා ආරක්ෂා කොටගෙන සිටින්නා වූ සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය මේ මහා සභාවේ සිටින සියලු දෙනා ඉදිරියේ විශිෂ්ඨ අන්දමින් දේශනා කරන්නෙහිය. ඔබ වහන්සේ දේශනා කරන්නේ සත්‍යයකි" කියලා ප්‍රකාශ කරනවා. 

මේ සිද්ධියෙන් සභාවේ සියලු දෙනාම පුදුමයට පත්වෙනවා. ඒ නිසාම මහා ප්‍රතිභාන බෝසතාණන් වහන්සේ මේ ස්ථූපය කුමන හේතුවක් නිසා පැන නැඟුණාද කියලා බුදුන් වහන්සේගෙන් විමසනවා.

ඒකට පිළිතුරු වශයෙන් බුදුන් වහන්සේ වදාරනවා ඉතාම ඈත අතීතයේ ප්‍රමාණ කළ නොහැකි දහස් දස දහස් ලක්ෂ කෝටි ගණන් ලෝක ධාතුවලට නැගෙහිරට වන්නට තිබුණු රත්න විසුද්ධි ලෝක ධාතුවේ වැඩ වාසය කරපු ප්‍රභූතරත්න නම් බුදුන් වහන්සේ තමන් වහන්සේ පිරිනිවන් පාන අවස්ථාවේදී අධිෂ්ඨාන කරනවා අනාගතයේ දස දිසාවේ කිසියම් තැනක සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය දේශනා කරනවාද එයට සවන් දීමටත් එය සත්‍යයි කියලා වර්ණනා කරන්නත් තමන් වහන්සේගේ ශරීර ස්ථූපය පැන නගින්න කියලා

ඒ අධිෂ්ඨානය පරිද්දෙන්ම එය සිදුවුණු බව බුදුන් වහන්සේ වදාරනවා. මේ විස්තරය අහපු මහා ප්‍රතිභාන බෝසතාණන් වහන්සේ කියනවා ප්‍රභූතරත්න බුදුන් වහන්සේගේ ශරීරය දැකගන්න අපි කැමතියි. ඔබ වහන්සේගේ ප්‍රාතිහාර්යය බලයෙන් උන්වහන්සේව අපට පෙන්වන්න කියලා.

ඒකට පිළිතුරු විදිහට බුදුන් වහන්සේ වදාරනවා ප්‍රභූතරත්න බුදුන් වහන්සේගේ අධිෂ්ඨානය තමා සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය අහන්න මගේ රත්න ස්ථූපය කිසියම් බුදු කෙනෙකුන්ගේ ඉදිරියේ පහළ වුණාම සිව් වණක් පිරිසට මගේ දේහය දැකගන්න අභිලාෂයක් ආවොත් එය පෙන්වන්නේ දස දිසාවේ ධර්මය දේශනා කරන බුදුන් වහන්සේගේ නිර්මිත බුදුවරු ආපසු ගෙන්වා එක් රැස් කරලා ඒ බුදුන් වහන්සේගේ වටා සිටීමෙන් පසුවයි කියලා.

මහා ප්‍රතිභාන බෝසතණාන් වහන්සේ ඇතුළු පිරිස බුදුන් වහන්සේගෙන් ප්‍රභවය වුණු දස දිසාවේ සිටින බුදුවරුන් දැකගන්න කැමති වුණු නිසා බුදුන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුවෙන් ආලෝක ධාරා විහිදිලා දස දිසාවේම තියෙන ලෝක ධාතුවල ධර්මය දේශනා කරන බුදුන් වහන්සේලාව පෙන්නුම් කෙරෙනවා.

ඒ අවස්ථාවේදී ඒ ඒ බුදුන් වහන්සේලා ශාක්‍යමුනි [ගෞතම] බුදුන් වහන්සේගේ සිතැඟියාව තේරුම් අරගෙන සභා ලෝකයට වැඩම කරවනවා. මේ ආකාරයෙන් දස දිසාවෙන් වැඩම කරවන බුදුන් වහන්සේලාට වැඩ ඉන්න බුද්ධ ක්ෂේත්‍ර ශාක්‍යමුනි බුදුන් වහන්සේ විසින් මවනවා.

අවසානයේදී දස දිසාවේම බුදුන් වහන්සේලා වැඩම කරවීමෙන් පස්සේ ශාක්‍යමුනි බුදුන් වහන්සේ වැඩ සිටි අසුනෙන් අහසට වැඩම කරලා රතන ස්ථූපය දොර විවෘත කරනවා. මහා නගරයක දොරටුවක් විවර වෙන හඬින් මේ ස්ථූපයේ දොරටුව විවර වෙනවා සමඟම සිහසුනක වැඩ ඉන්න ප්‍රභූතරත්න බුදුන් වහන්සේව සියලු දෙනාටම දැකගන්න පුලුවන් වෙනවා.

ජීවමාන ස්වරූපයෙන්ම වැඩ සිටින ප්‍රභූතරත්න බුදුන් වහන්සේගේ ශරීරයෙන් නැවත වරක් "සාධු සාධු ශාක්‍යමුනි බුදුන් වහන්ස, ඔබ වහන්සේ දේශනා කරන සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය ශ්‍රවණය කිරීමට මම මෙහි පැමිණියෙමි" කියන හඬ නිකුත් වෙනවා. 

ශාක්‍යමුනි බුදුන් වහන්සේ හා ප්‍රභූතරත්න බුදුන් වහන්සේ දැක්වෙන මූර්තියක්

ඒ අවස්ථාවේදී ප්‍රභූතරත්න බුදුන් වහන්සේ වැඩ සිටින සිහසුනේ අඩක වැඩ ඉන්න ශාක්‍ය මුනි බුදුන්වහන්සේ පහළ සිටින සිව් වණක් පිරිසගේ සිතැඟියවා වටහාගෙන ඔවුන්වත් ඉහළ අහසට ඔසවා තබනවා. පසුව සද්ධර්ම පුණ්ඩරික සූත්‍ර ධර්මයේ වටිනාකම දේශනා කරනවා. 

මේ කතාව ඇතුළෙත් මහායාන බුදු සමයේ දැක්වෙන ප්‍රධාන සංකල්පයක් ඉස්මතු කරලා තිබෙනවා. ඒ තමා සැබෑ බුදුන් වහන්සේ සභා ලෝකයේ වැඩ සිටින බවත් උන්වහන්සේගෙන් නිර්මිත වුණු නිර්මිත බුදුන් වහන්සේලා දස දිසාවේ ලෝකවල වැඩ සිටින බවත් දැක්වෙන පුවතින් නිර්මිත බුදුන් සංකල්පය.

මහායානිකයන් පිළිගන්න තවත් මතයක් තමා සැබෑම බුදුන් වහන්සේ දිව්‍ය ලෝකයේ [සමහර විටෙක සුඛාවතී ලෝකයේ] වැඩ සිටින බවත් මිනිස් ලොව වැඩ සිටියේ උන්වහන්සේගේ නිර්මිත බුදුරුවක්ය කියන එක. ඒ බුදුරුව ආහාර ගත්තේ, නිදා ගත්තේ හුදෙක්ම මිනිසාට පෙනෙන්නට විනා ඒ බුදුරුවට ඒ වගේ දේවල් අවශ්‍ය නැහැ කියන අදහසත් ඔවුන් දක්වනවා.

ඉතින් මේවා තමයි මට කියන්න උවමනා කරපු කතා ටික. කෝකටත් වෙලාවක් තිබුණොත් දහම් පොත පතක් කියවන්න. ඒ වගේමයි අනෙක් ආගම්වල ආගමික පතපොතත් කියවලා බලන්න. බොහොම රසවත් කතා ප්‍රවෘත්ති රාශියක්ම කියවන්න ලැබේවි. [කරුණු වටහා ගැනීම කෙසේ වෙතත්] 

මම කියවපු සද්ධර්ම පුණ්ඩරික සූත්‍ර දේශනාව සිංහලයට පරිවර්තනය කරපු පුද්ගලයා ගැනත් යමක් කියන්න ඕනේ. ඒක සිදු කරලා තියෙන්නේ බොහොම ආන්දෝලනාත්මක නඩු තීන්දු කීපයක්ම දුන්නු පී.බී වරාවැව විනිසුරුතුමා.

සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය ගැන තවත් විස්තර මෙතනින් කියවන්න. 

ප.ලි.: සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය බොහොම හාස්කම්, අනුහස් තියෙන සූත්‍රයක් කියලා කියනවා. මටත් ඒක අත් විඳින්න ලැබුණා. මේ පොත පුස්තකාලයෙන් අතට අරන් පෙරලපු දවසේම මේ පොත ඇතුලේ තිබිලා මට රුපියල් 200 ක් ලැබුණනේ  :D

Sunday, January 6, 2013

ජාතක කතා පොතෙන් බයිබලයටද බයිබලෙන් ජාතක කතා පොතටද ?

මීට කලින් දවසක මම ලියපු බුදුන්, ජේසුස්, විෂ්ණු, මහ්දි, දියසේන මේ ඔක්කොම අනාගතයේ පහළ වෙනවද ලිපිය ලියන කාලයේදී අනෙක් ආගම්වලට අයිති පොතපත් එහෙමත් කීපයක්ම කියෙව්වා. ඒවායිනුත් වැඩියෙන් කියෙව්වේ ක්‍රිස්තියානි ආගමට අයිති පොත්පත්.

ඒ පොත්පත් අතරින් ශුද්ධ බයිබලයේ නව ගිවිසුමේ තිබුණු කතාවක් නිසා මට බෞද්ධ සාහිත්‍යයේ තිබෙන ජාතක කතාවක් වගේම මහ රහතන් වහන්සේ නමක් සම්බන්ධ කතාවකුත් මතක් වුණා. ඒ කතා කීපය අතරේ තියෙන සමානකම නිසා තමා ඒ ගැන අනික් අයටත් කියන්න හිතුණේ. 

මුලින්ම ශුද්ධ බයිබලයේ නව ගිවිසුමේ ශුද්ධවර මතෙව්තුමාගේ සුබ අස්නේ තියෙන කතාව කියන්නම්.


මුහුද මත ඇවිදීම කියන මාතෘකාවෙන් ශු.මතෙව් 14:17-32 තියෙන්නේ ජේසුස් වහන්සේ තමන්ගේ දේශනාවක් අහන්න ආපු ජනතාවට දේශනාව පවත්වලා ඊට පස්සේ 5000 ක් පමණ වුණු ඒ පිරිසගේ කුසගින්න නිවන්න පොඩි පාන් ගෙඩි 5 ක් හා මාළු දෙන්නෙක්ව ප්‍රාතිහාර්යයක් මඟින් වැඩි කරලා අවසානයේදී ජනතාව විසිර යද්දී තමන්ගේ ශ්‍රාවකයන්ටත් ඔරුවට නැඟලා තමන්ට කලින් එගොඩට යන්න නියම කරනවා. 


හුදෙකලා වුණු ජේසුතුමා කන්දට පිටත් වෙලා යාඥා කරනවා. මේ අතර වාරයේදී ජේසුතුමාගේ ශ්‍රාවකයන් පිටත් වුණු ඔරුව තද සුළඟටකට අහු වෙනවා. මේ වෙද්දී රළ පහරත් වේගවත් වෙලා තිබුණේ. මේ වෙලාවේදී ජේසුතුමා මුහුද මතින් ඇවිද ගෙන ශ්‍රාවකයන් හිටිය ඔරුව දිහාවට එනවා. 

ඒත් ජේසුතුමාගේ ශ්‍රාවකයෝ නම් මේ එන්නේ අවතාරයක් කියලා කලබල වෙලා බය වෙනවා. ඒත් ජේසුතුමා කතා කරලා කියනවා "බය වෙන්න එපා, ධෛර්යය ගන්න. මේ මම" කියලා.

ඒ වෙලාවේදී ජේසුතුමාගේ ප්‍රධාන ශ්‍රාවකයා වුණු පේදුරුතුමා ජේසුතුමාට කියනවා "ස්වාමිනි මේ ඔබ වහන්සේම නම් වතුර මතින් ඔබ වහන්සේ සමීපයට එන්න මට අණ කරන්න" කියලා. 

ඒකට පිළිතුරු විදිහට ජේසුතුමා කියනවා "පැමිණෙන්න පේදුරු" කියලා. 

ජේසුතුමාගෙන් අණ ලැබීමත් එක්ක පේදුරුතුමා ඔරුවෙන් වතුරට බැහැලා වතුර උඩින් ජේසුතුමා ගාවට ඇවිදගෙන යනවා. එහෙම යද්දී සුළඟ වේගවත් වුණු බව දැකපු පේදුරුතුමා බය වෙනවා. 

ඒත් එක්කම තමන් වතුරේ ගිලෙන්න පටන් ගත්තු නිසා පේදුරුතුමා හයියෙන් කෑ ගහනවා "ස්වාමීනී මාව බේරගන්න" කියලා. 


ජේසුතුමා එතනට ඇවිත් පේදුරුතුමාගේ අතින් අල්ලාගෙන අහනවා "කෝ ඔබේ ශ්‍රද්ධාව ? ඔබේ ශ්‍රද්ධාව හීන වුණා නේද ? සැක කළේ ඇයි ?" කියලා

පස්සේ පේදුරුතුමාවත් අතින් අල්ලාගෙන ජේසුතුමා ඔරුවට නගිනවා. ඊට පස්සේ කුණාටු සුළඟ නැතිවෙලා ගිහින් සියල්ල සන්සුන් වෙනවා. 

ඒ කතාවේ කියවෙන විදිහට ජේසුතුමා ගැන පේදුරුතුමාගේ හිතේ ඇතිවුණු ශ්‍රද්ධාව හේතු කරගෙන පේදුරුතුමා වතුර උඩත් ඇවිදිනවා. ඒත් ශ්‍රද්ධාව හීනවීමත් එක්කම දියේ ගිලෙන්න ගියා. 

මේ වගේම කතාවක් බෞද්ධ සාහිත්‍යයේ තියෙන්නේ පන්සිය පනස් ජාතක කතා පොත් වහන්සේ තුළ තියෙන 189 වෙනි ජාතක කතාව වෙන ශීලානිසංස ජාතකයේ.

ඒ ජාතක කතාවේ නිධාන කතාව තමා බුද්ධ කාලයේ ජීවත් වුණු එක උපාසකයෙක් බුදුන් වහන්සේව බැහැ දකින්න හිතාගෙන සැවැත් නුවර ජේතවනාරාමයට එන්න පිටත් වෙනවා. ගමන එන අතර වාරයේදී මේ උපාසකයාට අචිරවතී ගංගාව තරණය කරන්න වෙනවා. 

ගඟේ ඔරු පාරු පදින තොටියෙකුත් දැක ගන්න නොහිටපු නිසා උපාසකයා "ඔරු පාරු නැති වුණාට කමක් නැහැ බුද්ධාලම්භන ප්‍රීතියෙන් යනවා" කියලා හිතලා ගල් තලාවක් මතුපිට ඇවිදිනවා හා සමානව අචිරවතී ගංගාවේ දිය කඳ මතින් ඇවිදගෙන යනවා. 

ගඟ මැදට එද්දී හයියෙන් වතුර ගලන නිසා මේ උපාසකයාගේ හිතේ බය ඇතිවෙලා බුද්ධාලම්භන ප්‍රීතිය අඩුවීමත් එක්ක දියේ ගිලෙන්න යනවා.  ඒත් ආයි පාරක් බුද්ධාලම්භන ප්‍රීතිය උපදවා ගත්තු ඒ උපාසකයා ආයි පාරක් ගල් තලාවක් උඩ ඇවිදිනවා හා සමානව ගංගාව උඩින් ඇවිදගෙන ගිහින් අවසානයේදී ජේතවනාරාමයේදී බුදුන් වහන්සේව බැහැ දකිනවා. 

මේ කතාවේ විදිහටත් බුදුන් වහන්සේ ගැන තමන්ගේ හිතේ ඇතිවුණු අසීමිත ශ්‍රද්ධාව [බුද්ධාලම්භන ප්‍රීතිය] හේතු කරගෙන වතුර උඩ ඇවිදපු උපාසකයා බුද්ධාලම්භන ප්‍රීතිය අඩුවීමත් එක්ක දියේ ගිලෙන්න ගියත් ආයි පාරක් බුද්ධාලම්භන ප්‍රීතිය ඇති කරගෙන වතුර උඩින් ඇවිදගෙන ගිහින් ගංගාව තරණය කරනවා. 

මේ කතා දෙකත් එක්කම මේ කතාවත් නොකිව්වත් අඩුවක් කියලා හිතලා තමා මේ කතාවත් කියන්න හිතුවේ. බුද්ධ කාලයේ සැවැත් නුවර බමුණු කුලේක ඉපදුණු වක්ඛලී කියන තරුණයා බුදුන් වහන්සේගේ ශෝභාව දැකලා හැමදාම බුදුන් වහන්සේව බැහැ දකින්න පටන් ගත්තා. ඊට පස්සේ මහණ වුණොත් හැම වෙලාවේම වගේ බුදුන් වහන්සේව දැකගන්න පුලුවන් කියලා හිතලා මහණත් වෙනවා. 


වක්ඛලී හාමුදුරුවන්ගේ මේ ක්‍රියා කලාපය දැකපු බුදුන් වහන්සේ වක්ඛලී හාමුදුරුවන්ට දේශනා කරනවා "මේ කුණු කය දිහා බලාගෙන ඉන්න එකේ ප්‍රයෝජනය මොකක්ද ? යමෙක් බුදුන් දකීද ඔහු ධර්මය දකිනවා ඒ වගේමයි යමෙක් ධර්මය දකිනවාද ඔහු බුදුන් දකිනවා" කියලා. 

ඒත් මේ අවවාදයත් වක්ඛලී හාමුදුරුවෝ පිළිගත්තේ නැති නිසා තමන් වහන්සේ වැඩ සිටිය ස්ථානයෙන් වක්ඛලී හාමුදුරුවන්ට පිටමං කරනවා. බුදුන් වහන්සේ තමන්ව පිටමං කරපු නිසා හුඟක් කම්පා වුණු වක්ඛලී හාමුදුරුවෝ සිය දිවි නසාගන්න හිතාගෙන ගිජුකුළු පව්ව මුදුනට නැගලා බිමට පනින්න උත්සහ කරනවා. 

 ගිජුකුළු පව්ව

මේ සිදුවීම බුදු ඇසට හසු වීමත් එක්ක බුදුන් වහන්සේ වක්ඛලී හාමුදුරුවන් ඉදිරියේ බුදු රැස් කදක් විහිදවලා "වක්ඛලිය, යමෙක් අසීමිත බුද්ධාලම්භන ප්‍රීතියෙන් වෙසෙනවාද ඔහු බුදු සසුන ගැන පැහැදීමෙන් වෙසෙනවා. අනික් සිතුවිලිවලට හිතේ ඉඩක් නොමැති නිසා විමුක්තිය සාක්ෂාත් කරගෙන ඉපදීම නැති කරනවා" කියලා දේශනා කරනවා. 

ඊට පස්සේ එතැන මැවුණු බුදු රුව අත දිගු කරනවා. බුද්ධාලම්භන ප්‍රීතියෙන් පිනා ගිය වක්ඛලී හාමුදුරුවෝ බුදු රුවේ අත අල්ලාගෙනම ගිජුකුළු පව්වේ ඉදන් පහතට වැටෙන කාලය අතරතුරේදීම රහත් භාවයට පත් වෙනවා. බුදුන් වහන්සේ පස්සේ ශ්‍රද්ධාධික භික්ෂූන් වහන්සේලාගෙන් අග්‍රස්ථානය වක්ඛලී හාමුදුරුවන්ට ප්‍රදානය කරනවා. 

ඒ කතාවේදීත් කලින් කතාවේ වගේම අසීමිත බුද්ධාලම්භන ප්‍රීතිය නිසා ගිජුකුළු පව්වෙන් පහතට වැටෙද්දීත් සිත එකඟ කරගෙන රහත්බව සාක්ෂාත් කරගන්න වක්ඛලී හාමුදුරුවන්ට පුලුවන් වෙනවා. 

මේ කතා පිරික්සද්දී ශ්‍රද්ධාව කියන එක වැදගත් සාධකයක් බව පැහැදිලියි. හැබැයි අවශ්‍ය වෙන්නේ ආකාරවතී ශ්‍රද්ධාව. එහෙමත් නැත්නම් කරුණු නිවැරදිව වටහාගෙන අවබෝධයෙන් ඇති කරගන්නවා වූ පැහැදීම. එහෙම නැතුව අමූලිකා ශ්‍රද්ධාව නෙමෙයි. ඔය අමූලිකා ශ්‍රද්ධාව තියෙන ඇත්තෝ තමා හාමුදුරුවෝ පිණ්ඩපාතේ වඩිද්දී මිදුල අතු ගගා හිටිය ඉදල හාමුදුරුවන්ගේ ඇඟෙන් හේත්තු කරලා හාමුදුරුවන්ට දණ ගහලා වඳිනවා වගේ වැඩ කරන්නේ.

Sunday, December 30, 2012

අපේ රජවරු බයියන් කාපු හැටි


ජාතික රූපවාහිනියේ මේ දවස්වල විකාශනය වෙන සුජාත දියණි කියන කොරියානු නාට්‍යයේ පෙන්වන්නේ කොරියාවේ රජ කෙනෙක්ගේ රජ වාසළ මුළුතැන්ගෙයි පාලිකාවරියක්ගේ කතාවක්. මේ කතාව බලන උදවිය නම් දන්නවා ඇති මේ මුළුතැන්ගෙයි පාලිකාවන්ගේ වැඩේ රජතුමා, මව් බිසව සහ අග බිසවට විවිධාකාරයේ කෑම වර්ගය හදන එක කියලා. ඒ වගේමයි තානාපතිවරු ආපුවත් මෙයාල පෝෂණ ගුණය තියෙන ඒ වගේමයි රසවත් කෑම පිළියෙල කරන්න ඕනේ.

කොහොම නමුත් මේ නාට්‍යය බලන සමහර උදවිය නම් කරන්නේ මේ නාට්‍යයේ කෑම හදන එකයි, ආහාර තරඟ පවත්වන එකයි, රජ්ජුරුවෝ කන එකයි ඇරෙන්න වෙන මොනවද පෙන්නන්නේ කියලා.

මේ නාට්‍යයේ හදන එක එක ජාතියේ කෑම වර්ග දැකලා අපේ අයත් ඉස්සරහට බීමත් ඉස්සෝ වෑංජනය, කැස්බෑ සුප්, එළවළු කීටයෝ, සූකර මාංශ වගේ එක එක කොරියන් කෑම හදන්න පටන් ගත්තොත් පුදුමයක් නෙමේ කියලා තමා හිතවත් විශ්වවිද්‍යාල ආචාර්යවරියක් කිව්වේ.

ඉතින් කොරියාවේ රජවරු කෑවේ බිව්ව හැටි ගැන අපිට මේ නාට්‍යයෙන් හොඳ අවබෝධයක් ලැබුණත් අපි අපේ දේ ගැනත් වැටහීමෙන් ඉන්න ඕනේ නිසා අපේ රටේ රජවරු කෑවේ බිව්වේ කොහොමද කියලා අද ආගිය කතාවෙන් කියන්න ඕනේ කියලා තමා කල්පනා කළේ.

ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස්

අවුරුදු 19 ක් පමණ කාලයක් උඩරට රාජධානියේ II වෙනි රාජසිංහ රජතුමාගේ හිරකාරයෙක් විදිහට හිටිය ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස් ලියපු කෘතියේ රාජසිංහ රජතුමා කාපු බීපු හැටි ගැන කියලා තියෙනවා. ඩේවිඩ් කරුණාරත්න මහත්මයා එදා හෙළදිව කියලා සිංහලයට පරිවර්තනය කරපු ඒ පොතෙන් තමා මේ උපුටා ගැනීම කරලා තියෙන්නේ.

"..මේ රජ්ජුරුවෝ භෝජනයෙහි පමණ දනිති. කාම රසාස්වාදයෙහි දු පමණ දනිත්මය. රජුගේ රාජකීය වතු පිටිවලින් මහ වාසලේ පරිභෝගය සඳහා අසීමිත ආහාර වර්ග හා පළතුරු ආදිය ලැබෙතත්, රජතුමා විශේෂ ප්‍රීතියෙන් අනුභව කරන්නේ පලා කොළ වර්ග හා පලතුරු වර්ගය. ඒවා පවා අනුභව කරන්නේ දවසකට එක් වරකි. රජතුමා වෙත ගෙන එනු ලබන කවර දැයක් වුවද සුදකින් වසා ගෞරවපූර්වකව ගෙන ආ යුතුය. මෙම දැකුම් කඳ ගෙන එන්නෝද හුස්ම නොවදනා සේ මුඛවාඩම් බැඳ ගෙනම පැමිණෙති.

මෙලෙස දළදාවට දන් රැගෙන යන්නා සේම අතීතයේ රජුටද භෝජන ගෙන එන්නට ඇත

රජු භෝජනයද ගන්නේද විධිමත් ලෙසිනි. සුදු පාට පිළියෙන් වසන ලද මේසය, ඉදිරිපිට තබන ලද කුඩා පුටුවක හෙතෙම අසුන් ගන්නේය. නිල්වන් කෙසෙල් පතක් එලූ රත් රන් භාජනයක් මේසය මත වෙයි. රජු අහර වළඳන්නේ මේ කණමය භාජනයෙහිය. මේ මේසය මත, නොයෙක් ආහාර විශේෂවලින් පිරී ගිය තැටි තිස් හතළිස් ගණනක් වෙයි. රජුගේ ආහාර මේසයෙහි සේවයේ නියුතු බත් වඩන නිලම තෙමේ, ආහාර තැටිවලින් රජු කැමති දෙයක් සැන්දෙන් ගෙන රජුගේ රන් බඳුනට බෙදයි. අහර උදවු කරන අවදියෙහි මේ බත් වඩන නිලමේද මුවෙහි මුඛවාඩම් බැඳගෙන සිටින්නේය....."

මේත් රජතුමාගේ ආහාර ගැනීමත් එක්ක සම්බන්ධ වෙන නොක්ස් දක්වන කරුණු කීපයක්.

"..රටෙහි කිසියම් ප්‍රදේශයක විශේෂ වැදගත්කමින් යුත් යම් පලතුරු වර්ගයක් වුවහොත් රටේ බණ්ඩාර නමින් හඳුන්වනු ලබන මහ රජ්ජුරුවන්ගේ නිලධාරීහු පැමිණ, එම වෘක්ෂ වටා ලණු බැඳ ඒ ලණු කෙළවරෙහි ගැට තුනක් ගසති. මේ ගැට ගැසූ ඉක්බිති ගස හිමියාට වුවද එම ගසට අතක් නොතැබිය යුතුය. ඉදින් අත තැබුවහොත් මරණ දණ්ඩනය හෝ ඒ හා සමාන දණ්ඩනයකට හෝ පාත්‍ර විය යුතුය. මෙසේ තහනම් කරන ලද ගස්වල පලතුරු පැසුණු විට, ඒවා නෙළා කද බැඳ සුදු පිළියෙන් ඔතා පළාතේ දිසාවේ තැන වෙත ගෙන යා යුතු වන්නේය. මේ දිසාවේ තැන විසින් පලතුරු පරීක්ෂා කර බලා නොකැළල් වූ පලුදු නොවූ ගෙඩි තෝරා ඒවා නැවත වරක් සුදු පිළියෙන් ඔතා රජ මාලිගාව වෙත යවන්නේය...."

"... කීප වර්ගයක අඹද ලංකාවේ ඇත්තේය. ඇතැම් අඹ වර්ග ඉතා මිහිරිය. රජතුමා මේ අඹ බුදීමෙහි අතිශයින්ම ප්‍රිය වූයේ රටේ නොයෙක් පළාත්වලින් අඹ ගෙන්වා ගන්නේය..."

II වෙනි රාජසිංහ රජතුමා

නොක්ස් කියන විදිහට උඩරට රජතුමාගේ රජ වාසළ මුළුතැන්ගෙයි සම්පූර්ණයෙන් සේවය කරලා තියෙන්නේ හොඳ පෙනුමක් තිබුණු කාන්තාවෝ. මුළුතැන්ගෙයි සේවයට කාන්තාවෝ බඳවාගන්න එක කාලෙකට රජතුමා අණ බෙරයක් පිටත් කරනවා. එතකොට රූමත්, තරුණ අස්වාමික වේවා සස්වාමික වේවා කාන්තාවක් මුළුතැන්ගෙයි රාජකාරියට තෝර ගත්තොත් ජීවිතාන්තය දක්වාම ඒ සේවයේ යෙදෙන්න ඕනේ. නොක්ස් උඩරට ජීවත් වූ කාලයේදී රූමත් පෘතුගීසි ජාතික කාන්තාවෝ කීප දෙනෙකුත් රාජකීය මුළුතැන්ගෙයි සේවයේ යෙදිලා තිබෙනවා.

ජීවිතාන්තය දක්වාම රාජකීය මුළුතැන්ගෙයි සේවයේ යෙදෙන්න ඕනේ නිසා සමහර කාන්තාවන් සේවයෙන් පලා ගියොත් ඊට දඬුවම වශයෙන් දියේ ගිල්ලලා මරා දැමීම රජතුමා සිදු කරලා තිබෙනවා. එහෙමත් නැත්නම් සිරගත කිරීමත් සිදු කරලා තිබෙනවා.

මේ රාජකීය මුළුතැන්ගෙයි කාන්තාවන් වාසය කරලා තියෙන්නේ මහනුවර නගරය සහ ඒ ආසන්නයේ තිබුණු ගම්වල. ඒ ගම්වලට රාජකීය අවසරයක් නැතුව කාටවත් ඇතුල්වීම තහනම් කරලා තිබුණා. ඒත් කිසියම් වහලෙක් මේ ගම්මානයකට පලා ආවොත් ඔහුව නිදහස හිමිවීම ඒ කාලයේ සම්ප්‍රදායක් වෙලා තිබෙනවා.


නොක්ස්ගේ විමර්ශණයෙන් මග හැරුණු උඩරට රජුන්ගේ ආහාර සිරිත් කීපයක් පිළිබඳව මහාචාර්ය රැල්ෆ් පීරිස්ගේ සිංහල සමාජ සංවිධානය-මහනුවර යුගය කෘතියේ දක්වන විදිහට රජතුමා ආහාර ගන්නා ශාලාව හඳුන්වලා තියෙන්නේ "පාක ශාලාව" කියන නමින්.

ඒකේ ප්‍රධානියා වෙන බත්වඩන නිලමේ යටතේ මඩප්පුරාළ නමින් හැඳින්වුණු නිලධාරීන් දෙදෙනා සේවය කරලා තිබෙනවා. මඩප්පුරාළගේ රාජකාරිය වෙලා තියෙන්නේ රාජකීය මුළුතැන්ගෙයි සකස් කරපු රාජ භෝජනය පාක ශාලාවට ගෙනල්ලා රජතුමාගේ කෑම මේසය සකස් කරන එක. මඩප්පුරාළලාගේ රාජකාරියට රාජකීය මුළුතැන්ගෙයි පිහනරාළලා විදිහට හිටිය අයගේත් සහය ලැබිලා තියෙනවා.

උඩරට රාජධානියේ අවසන් රජතුමා වුණු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා කාපු බීපු හැටි ගැනත් විස්තර අපට හමුවෙනවා. 1815 පෙබරවාරි 18 වෙනිදා බෝමුරේ ගල්ලැහැවත්තේ උඩුපිටියේ ආරච්චිලගේ නිවසේදී ඉංග්‍රීසින්ගේ අත් අඩංගුවට පත් වුණු රජතුමාව 1816 ජනවාරි 25 වෙනිදා ඉන්දියාවේ වෙල්ලෝර් කොටුවට පිටුවහල් කෙරෙනවා.

කොළඹ වාසය කරන ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා

වෙල්ලෝර් කොටුවේ පිටත් කෙරෙනකම් කොළඹ ගාලු මුවදොර ආසන්නයේ තිබුණු මන්දිරයක හිටපු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා තමන්ට එක් වේලකට ලැබෙන හාල් සේරු 8 ප්‍රමාණවත් නොවන නිසා ඒක හාල් සේරු 12 දක්වා වැඩි කරන්න කියලා ඉල්ලීමක් කරපු බව ජෝන් ඩොයිලි දක්වනවා. හිතලා බලන්නකෝ එක වේලකට හාල් සේරු 12 ක් කනවා කිව්වාම සෙල්ලම්ද

උඩරට රාජධානි සමයේ තිබුනු රජතුමාගේ ආහාර ගන්න චාරිත්‍ර කුරුණෑගල යුගයේදී විතර ඇතිවෙන්න ඇති කියලා අනුමාන කරන්න පුලුවන්. එහෙම අනුමානයකට එන්න පාදක කරගන්නේ කුරුණෑගල යුගයේදි දෙව්රද දම් පසඟිනාවන් විසින් රචනා කරපු දළදා සිරිත කියන ග්‍රන්ථයේ තිබෙන කරුණු කාරණා.

අතීතයේ ඉදන්ම ලාංකීය රජවරුන්ට තමන්ට ලැබුණු ගරු සත්කාරවල ආකාරයටම දළදා වහන්සේටත් පුද සත්කාර කරන්න හුරු වෙලා හිටිය නිසා දළදා සිරිතේ දැක්වෙන විදිහට දළදාවට දානය සකස් කරද්දී අරක්කැමියන් මුකවාඩම් බැඳගෙන සිටිය යුතු බවත් පිළිගැන්වීමේදීත් මුකවාඩම් බැඳගෙන සිටිය යුතු බවත් ආදී කරුණු තිබීම නිසා ඒ කාලේත් රජවරුන් උදෙසා ඒ වගේ චාරිත කෙරෙන්න ඇති කියලා හිතන්න පුලුවන්.
උඩරට කාලෙට කලින් හිටිය රජවරු කාපු බීපු හැටි ගැන තොරතුරු ටිකකුත් කිව්වොත් හොඳයි කියලා හිතෙනවා.
දුටුගැමුණු රජතුමා

දුටුගැමුණු රජතුමා කාපු බීපු හැටි ගැන කතා කීපයක්ම මහාවංසයේ තියෙන නිසා ඒ කතා කීපයක් කියන්නම්. දුටුගැමුණු සද්ධාතිස්ස දෙසොයුරන්ට තාත්තා වුණු කාවන්තිස්ස රජතුමා බත් පිඬු කවපු කතාව අහලා තියෙනවානේ. ඒ අවස්ථාවේදී භික්ෂූන් වහන්සේලා ඉඳුල් කරපු කිරිබත් රත්තරන් භාජනයකට දමලා ඒකෙන් කිරිබත් පිඬ බැගින් රත්තරන් තැටියකට දමලා තමා දරුවන්ට කවන්න කාවන්තිස්ස රජතුමා අරගෙන තියෙන්නේ.

ඊළඟට පියාගේ මරණයෙන් පස්සේ සද්ධාතිස්ස කුමාරයා කඬොල් ඇතාවයි විහාරමහාදේවියවයි දීඝවාපියට අරගෙන ගිය නිසා ඒකට විරුද්ධව දුටුගැමුණු රජතුමා සටනට පිටත් වුණු අවස්ථාවේදී මුල් වටයේ යුද්ධයෙන් දුටුගැමුණු රජතුමා පරාජයට පත්වෙනවා. ඒ අවස්ථාවේ පලා යද්දී දුටුගැමුණු රජතුමාට බඩගිනි වුණු අවස්ථාවේදී රජතුමා එක්ක හිටිය තිස්ස කියන ඇමතියා රන් තළියකට දමලා සළුවකින් ආවරණය කරලා තිබුණු බත් රජතුමාට පිළිගන්වනවා.

ළදරු කාලේ ඉදන්ම තමන් කන්න කලින් භික්ෂූන්ට අග්‍ර කොටස පුදලා අනුභව කරන්න රජතුමා පුරුදු වෙලා හිටිය නිසා තිස්ස ඇමතියාගේ කාල ඝෝෂණයෙන් එතැනට භික්ෂූන් වහන්සේලා වැඩම කරවනවා. රජතුමා තමන්ගේ බත් කොටසත් තිස්ස ඇමතිගේ සහ දීඝථූණිකා වෙළඹගේ බත් කොටසුත් ඔවුන්ගේ කැමැත්තෙන් රජතුමා විසින් භික්ෂූන්ට පූජා කරනවා.

මිරිසවැටිය දාගැබ

පසු කාලෙක රජතුමා භික්ෂූන්ට නොපිළිගන්වා අනුභව කරපු මිරිස් වෑංජනයක් ගැන සිහිපත් වෙලා තමන්ගේ ජය කොන්තය තැන්පත් කරලා මිරිසවැටිය දාගැබ සකස් කරනවා.

මේ කතා කීපය ඇරෙන්න මුල් යුගයේ හිටපු රජවරු කාපු බීපු හැටි ගැන නම් මට මතක් වෙන්නේ නැහැ. හැබැයි ඉතින් මහානාග යුව රජතුමාගේ අඹ කෑමේ ආශාවත්, සංඝතිස්ස රජතුමාගේ ජම්බු කෑමේ ආශාවත් වුණු හුටපට වගේම මහසෙන් රජතුමා මහා විහාරය විනාශ කරපු නිසා රජතුමා එක්ක යුද්ධයට ආපු මේඝවර්ණාභය ඇමති ඔහුට මලය දේශයෙන් ලැබුණු මිහිරි පානයක් සහ මාංශයක් රජතුමා එක්ක බෙදාගන්න ගිය කතාවත්, මහා විජයබාහු රජතුමා කැළයේ සැඟවෙලා හිටිය කාලේ කන්න කෑම ලබාගත්තු හැටි ගැන කියන කතාවත් ඕනේ නම් රජවරු කාපු බීපු හැටි කියලා ගන්න පුලුවන් වුණත් ඒක එච්චරම සෙට් වෙන්නේ නැහැ කියලයි මගේ අදහස.

මේ කතා ඇරෙන්න වෙන කතාවක් මතක් වුණොත් ඒක ඉස්සරහට කියන්නම්කෝ.

විශේෂ ස්තුතිය සරසවියේදී හොඳ හිතවතෙක් වුණු රුසිරු අයියාට. දවසක් මුහුණු පොතේ ගිය සංවාදෙකදී ලංකාවේ රජවරු කාපු බීපු හැටි ගැන ලියන්න කියලා යෝජනාව කළේ එයා තමා.  

මේ සටහන 2012 අවුරුද්දට ලියන අන්තිම සටහන නිසා මේ ගමන්ම උදාවෙන 2013 වසර සියලු දෙනාටම යහපත් වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 

Sunday, December 23, 2012

බුදුන්,ජේසුස්,විෂ්ණු,මහ්දි,දියසේන ඔක්කොම අනාගතයේ පහළ වෙනවද ?

බලාපොරොත්තු කියන එක ඈත අතීතයේ ඉදන්ම වර්තමානය දක්වාත් ඒ වගේමයි අනාගතය දක්වාත් ඉන්න මිනිස්සුන්ගේ හිත්වල තියෙන දෙයක්. මිනිස්සු එක එක දේවල් ගැන එක එක විදිහට බලාපොරොත්තු ඇති කරගන්නවා. ඒ වගේමයි බලාපොරොත්තු තමා හුඟක් වෙලාවට මිනිස්සුන්ව ජීවත් කරවන්නත් මුල් වෙන්නේ.

මේ බලාපොරොත්තුව එහෙමත් නැත්නම් Hope ඇතිවුණු ආකාරය ගැනත් රසවත් ග්‍රීක දේව කතාවක් තියෙනවා.
 ගින්දර සොරකම් කළ වරදට සියුස් දුන් දඬුවම විඳින ප්‍රොමිතියස්

ග්‍රීක විශ්වාසය අනුව මැටියෙන් මිනිසාව නිර්මාණය කරලා මානව සමාජය ඇති කරන්න මුල් වෙන්නේ ප්‍රොමිතියස් කියන අර්ධ දෙවියා. බොහොම දක්ෂ කෙනෙක් වුණු ප්‍රොමිතියස් තමන් නිර්මාණය කරපු මිනිසා ගැන බොහොම කරුණාවකින් හිටියේ. ඒක නිසාමයි සියුස් කියන දෙවියන්ගේ රජතුමාට හොරෙන් දිව්‍ය ලෝකයේ තිබුණු ගින්දර මිනිස්සුන්ට දීලා ගින්දර භාවිතා කරන්න මිනිස්සුන්ව පුරුදු කරවන්නේ.

මිනිස් ලෝකයේ ජීවත් වෙන පිරිමියාගේ පාළුව නැති කරන්න සියුස් Hephaestus ලවා පැන්ඩෝරා නමින් බිරිඳකුත් හදලා දෙනවා. මේ කාන්තාව මිනිස් ලෝකෙට එද්දී සියලුම දෙවිවරු ඇ‍යට විවිධ ත්‍යාග දුන්නා කියලා කියවෙනවා. ප්‍රොමිතියස් තමන්ට කරපු ද්‍රෝහී ක්‍රියාවට පළිගැනීමක් විදිහට සියුස් පැන්ඩෝරාට මංජුසාවක් ලබාදීලා කුමන හේතුවක් මතවත් ඒක විවෘත කරන්න එපා කියලා උපදේශයකුත් දෙනවා.

 සියුස් දුන් මංජුසාව අතැතිව සිටින පැන්ඩෝරා

හැබැයි සියුස් දැනගෙන හිටියා පැන්ඩෝරාට තියෙන කුතුහලේට මේක ඇරලා බලනවාමයි කියලා. ඇත්තටම ඒ විදිහටම තමා වැඩේ සිද්ධ වුණේ. ඒ මංජුසාවේ තිබිලා නපුර, අයහපත එළියට ඇවිත් මිනිස් ලෝකය පුරා ව්‍යාප්ත වුණා කියලා කියවෙනවා.

තමන්ගේ අතින් වුණු වැරැද්ද හදා ගන්න පැන්ඩෝරා මංජුසාව වහන්න ගියත් ඒක හරියන්නේ නැහැ. මේ අයහපත් දේවල් ඒ මංජුසාවෙන් පිටතට ගියා වගේම "එල්පිස්" නමින් හැඳින්වුණු බලාපොරොත්තුවේ ආත්මයත් මිනිස් ලෝකයට එක් වෙලා තිබුණේ. ඉතින් මිනිස් ලෝකයේ මොන තරම් අයහපත් දේවල් වුණත් බලාපොරොත්තු කියන එක මිනිස්සුන්ව ජීවත් කරවන්න සමත් වෙලා තියෙනවා.

ලෞකිකව තියෙන නොයෙක් බලාපොරොත්තු අතරේ ලෝකෝත්තර වශයෙනුත් මිනිස්සුන්ට බලාපොරොත්තු තියෙනවා. ලෝකෝත්තර වශයෙන් ගත්තාම විවිධ ආගම් වගේම දර්ශනයන් තුළින් ගැලවීමේ බලාපොරොත්තුව මිනිස්සුන්ට දීලා තියෙනවා. සමහර විටෙක ගැලවීම තමා තුළින්ම උදා කරගන්න හරි එහෙමත් නැත්නම් ගැලවුම්කාරයෙක් මාර්ගයෙන් තමන්ගේ ගැලවිම උදා කරගන්න හැටි ගැන විවිධ දර්ශන වගේම ආගම් තුළින් කතා කෙරෙනවා.

අද ආගිය කතාවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සමාජයේ මිනිස්සු බලාපොරොත්තු තියාගෙන ඉන්න අනාගතයේ පහළවෙන ගැලවුම්කාරයෝ එහෙමත් නැත්නම් තමන්ට විමුක්තියක් සලසන්න පුලුවන් පුද්ගලයෝ ඒ වගේමයි තමන්ට ලෞකික සමෘද්ධියක් උදාකරන්න පුලුවන් පුද්ගලයෝ ගැනයි.

මතු බුදුවන අපේක්ෂාවෙන් තුසිතයේ වැඩ සිටින මෛත්‍රී බෝසතුන්

මුලින්ම බුදු දහමෙන් පටන් ගත්තොත් බෞද්ධයෝ මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේ සම්බන්ධව අප්‍රමාණ භක්තියකින් ඉන්න බව බෞද්ධාගමික වතාවත්වලදී හොඳටම දැකගන්න පුලුවන්. බෞද්ධාගමික වතාවත් නිමා කරද්දී පුණ්‍යානුමෝදනාව සිදු කරන හාමුදුරුවෝ හුඟක් වෙලාවට වදාරන්නේ "මතු බුදුවන මෛත්‍රී බුදුන් දැක එකම සද්ධර්ම මණ්ඩපයකදී සදහම් ශ්‍රවණය කර නිවන් අවබෝධ කරගන්නට මේ කළා වූ කුසල කර්මය අප සැමටම හේතුවේවා වාසනා වේවා" කියලා.

මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේ සම්බන්ධව විස්තරයක් කළොත් මේ වෙද්දී කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම කියන බුදුවරුන් පහළ වුණු මහා භද්‍ර කල්පය නමින් හඳුන්වන මේ කල්පයේ අවසානයට පහළ වෙන්නට නියමිත බුදු හාමුදුරුවෝ තමා මෛත්‍රී බුදු හාමුදුරුවෝ. එතුමා මේ වෙද්දී බුද්ධත්වයට පත් වෙන්න සම්පූර්ණ කරන්න ඕනේ පාරමිතා ධර්ම සම්පූර්ණ කරලා තුසිත දිව්‍ය ලෝකයේ සන්තුසිත දිව්‍යරාජයා නමින් පහළ වෙලා මතු බුදුවන අපේක්ෂාවෙන් වැඩ ඉන්නවා.

ගෞතම බුදු හාමුදුරුවෝ තමන්ගේ ඥාතීන් හමුවෙන්න වැඩම කරලා ඔවුන්ගේ මානය බිඳින්න යමක මහා ප්‍රාතිහාර්යය සිදු කළාට පස්සේ සැරියුත් මහ රහතන් වහන්සේගේ ආරාධනයෙන් අනාගත වංශ දේශනාව සිදු කිරීම සිද්ධ කරනවා. ඒ යටතේ තමා මීට පෙර බුදු වුණු බුදුවරුන් සම්බන්ධවත් මතු බුදුවන මෛත්‍රී බෝසතුන් සම්බන්ධවත් උන්වහන්සේ සවිස්තරව කරුණු දේශනා කරන්නේ.

බුදුන් වහන්සේ දේශනා කරන විදිහට ක්‍රමයෙන් මිනිස්සු සාරධර්ම අතින් පිරිහිලා දිව්‍ය ලෝක සැපත උදා කරගන්න මාර්ගය අවහිර කරගෙන අකුසල් ක්‍රියාකාරකම්වල යෙදෙනවා. මේ කාලයේදී තමන්ගේ මව, පියා, සහෝදරයා, සහෝදරිය, ඥාතියා කියලා බලන්නේ නැතුව රාගී සිතෙන් හැසිරෙනවා. මේ විදිහට සමාජය ක්‍රමයෙන් දූෂිතම තත්වයට පත් වෙනවා.

එකිනෙකා මරා ගන්නත් මිනිස්සු පටන් ගන්නවා. මේ වගේ ඛේදනීය කාලයක සුළු පිරිසක් ගල් ගුහා ආදියේ සැඟවිලා ජීවිතේ බේරා ගන්න සමත් වෙනවා. එයාලා නැවත වරක් පන්සිල් මූලික කරගෙන යහපත් ජීවිතයක් ගත කරන්න පටන් ගන්නවා. මේ සමඟම පිරිහිලා තිබුණු ආයු අපේක්ෂාව ක්‍රමයෙන් වැඩිවෙලා අසංඛ්‍යයක් දක්වාම වර්ධනය වෙනවා. එහෙම වර්ධනය වුණු ආයු අපේක්ෂාව ආයි පාරක් අසූ දහස දක්වා අඩු වෙන කාලයේදී තමා මෛත්‍රී බෝසතාණෝ උපදින්නේ.

මෛත්‍රී බෝසතුන්

කේතුමතී රාජධානියේ සංඛ කියන සක්විති රජතුමාගේ පුරෝහිතයා වෙන සුබ්‍රහ්ම බ්‍රාහ්මණයාට දාව බ්‍රහ්මවතී බැමිණිය තමා බෝසතාණන් බිහි කරන්නේ. සිද්ධාර්ථ කුමාරයාගේ කුමාර දිවිය වගේම කුමාර දිවියක් ගත කරන මෛත්‍රී බෝසතාණෝ ගිහි ගෙය හැර ගිහින් දුෂ්කර ක්‍රියාව සිදු කරලා අවසානයේදී බුද්ධත්වයට පත් වෙනවා.

මෛත්‍රී බුදු හාමුදුරුවෝ ගැන වගේම ඒ කාලය ගැන ශ්‍රී පරාක්‍රමබාහු විල්ගම්මුල සඟරජ හිමියන් විසින් රචනා කරපු "මෙතේ බුදු සිරිත නම් වූ  අනාගත වංශය" කෘතියේ විස්තර රැසක් තිබෙනවා. මේ ඒ කෘතියෙන් කරපු උපුටා ගැනීමක්.

"....එසමයෙහි උපන්නා වූ සියලු මනුෂ්‍යයන්ට යස පිරිවර හා සැපයෙන්ද, ආයු වර්ණ බල සමෘද්ධියෙන්ද දිව්‍ය සම්පත්තියක් මෙන් අඩුවක් නොවන්නේය. මෙබඳු සියලු පංච කාම සැප කැමැති පරිද්දෙන් අනුභව කොට බොහෝ කලක් ඉක්මවා සුඛිතවූ මුදිතවූ සියලු සත්වයෝ ඒ සැපයෙන් නොපිරිහී පසුව ආයු කෙළවර මරණ මංචකයේ වැද හොත්තාහු සම්පත්තියෙන් උකටලී වන්නාහ. එසමයෙහි උපන් සත්වයන්ට අසූ දහසක් අවුරුද්දට ආයුෂ වන්නේය. ඒ තාක් කල් මුලුල්ලෙහ් ජීවත්ව වැඩ හිඳිනා වූ ඒ මෛත්‍රී සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ බොහෝ ජන සමූහයා සංසාර සාගරයෙන් එතර කොට නිර්වාණ ක්ෂේම භූමියට පමුණුවන සේක..."

ඉතින් මෛත්‍රී බුදුන් පහළ වෙන සමයේ තියෙන සමෘද්ධිමත් බව නිසා වගේම බුදුවරයෙක් ජීවමානව දැකීම නිවන් අවබෝධ කරගන්න පහසුවක් කියලා විශ්වාස කරන මිනිස්සු අනාගතයේ පහළ වෙන මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

මෛත්‍රී බෝසතාණන් වහන්සේ ගැන සවිස්තරාත්මකව මීට කලින් ලියපු සටහන් කීපයකින්ම කියලා තිබෙන නිසා ඒවාත් මෙතනින් ගිහින් බලන්න.

 දියසේන කුමාරයා

ලංකාවේ ගැමි ජන විශ්වාස අතරේ ලංකාවම එක්සේසත් කරලා තමන්ගේ පාලනය පිහිටුවා ගෙන බුදු දහමට ඉමහත් සේවයක් ඉෂ්ට කරන්න දියසේන කියලා රජතුමෙක් පහළ වෙනවා කියලා සංකල්පයක් තියෙනවා. 

මේ ගැන මුලින් කරුණු හමුවෙන්නේ කෝට්ටේ යුගයේදී. කෝට්ටේ යුගයේදී ලියවුණු කතුවරයා කවුද කියලා හරි හැටි හඳුනා ගෙන නැති පැරකුම්බා සිරිත කියන කාව්‍ය සංග්‍රහයේ දියසෙන් කුමාරයා ගැන සඳහනක් හමුවෙනවා. ඒ 116 වෙනි කවියෙන්.

කියග මැඟියැ එනු කොහි සිටැ දදැ සමනොළ ගොසිනා
නොය කිය'මුතු එ දිගැ බමුණැ සුමන සුරිඳු විසිනා
ගිය කලැ දෙ දෙහස් පන්සිය රජකු එතැ යි දියනා
කියවිණි තන් වැසියැ එ නම් පැරකුම් රජ මෙදිනා

සිරිපා කරුණා කරලා ආපසු එන වන්දනාකාරයෙක් එහෙමත් නැත්නම් මඟියෙක් එක්ක බමුණෙක් කරන සංවාදය තමා මේ කවියෙන් ඉදිරිපත් කරන්නේ.

බමුණා අහනවා වන්දනාකාරයාගෙන් කියන්න මඟිය කොහේ ඉදන්ද එන්නේ කියලා. මඟියා පිළිතුරු දෙනවා බමුණ, මම සිරිපා කරුණා කරලායි එන්නේ කියලා. ඒ දිසාවේ අලුත් තොරතුරු කොහොමද කියලා ඊට පස්සේ බමුණා අහනවා. මඟියා කියනවා අවුරුදු දෙදහස් පන්සියයක් [බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයේ ඉදන්] ඉක්මවුණාට පස්සේ ලෝක නායක රජෙක් පහළ වෙනවා කියලා සමන් දෙවියන් පැවසුවා කියලා. ඒ වර්තමානයේ රජකම් කරන පරාක්‍රමබාහු රජතුමා තමා කියලා මඟියා කියනවා. 

කෝට්ටේ රාජධානිය ආරම්භ කරපු වගේම ලංකාවම එක්සේසත් කරපු VI වැනි පරාක්‍රමබාහු රජතුමාව වර්ණනා කරන්න ලියපු පැරකුම්බා සිරිතේ රජතුමාව ලෝක නායකයෙක් එහෙමත් නැත්නම් දියසේන කුමාරයා විදිහට හඳුන්වපු බව පේනවා.

දියසේන කුමාරයා ගැන මුඛ පරම්පරාවෙන් පැවත එන කවි දෙකක් තමා මේ.

දිවයුරු කෙසර රැසැ සුරගුරු කටක රැසේ
සෙනසුරු වණිජ රැස බිඳිනෙතු මිතුන රැසේ
අඟහරු මකර රැසැ සිසිපුතු මීන රැසේ
නිසයුරු මේස රැසැ වත දියසෙන් පිවිසේ

මේ කවියේ තේරුම මේ විදිහට ගන්න පුලුවන්. සූර්යයා මුදුන් වෙලා බ්‍රහස්පති ග්‍රහයා කටක රාශියේ රඳද්දී සෙනසුරු ග්‍රහයා මිථුන රාශියේ රඳයි. අඟහරු ග්‍රහයා මකර රාශියේද චන්ද්‍ර ග්‍රහයා මීන රාදියේද රඳයි. චන්ද්‍ර ග්‍රහයා මේෂ රාශියට පිවිසෙන විටම දියසේනයන් පැමිණේ.

මේ කවියෙන් කියන්නේ දියසේන කුමාරයා පැමිණෙන අවස්ථාවේ තිබෙන ග්‍රහ පිහිටීම කියලා පැහැදිලියිනේ. හැබැයි මෙතන ගැටලුව තමා දියසේනයන්ගේ පැමිණීම කියලා කියන්නේ ඔහුගේ ඉපදීමද එහෙමත් නැත්නම් රජවීමද කියන එක නිශ්චිතව තේරුම් ගන්න බැරි එක.

මහියංගන වෙහෙරැ වැඩ නිමැ වූ දාට
කොහි යම් දෙසෙකැ සිටියත් දියසෙන්හු සෙට
දෙවියන් විසින් කැඳැවෙති කොත් පැලැඳුමට
හෙයියන් බසක් නො වැ මේ සස් බසෙකි සෙට

මේ කවියේ තේරුම තමා මහියංගණ විහාරයේ [ස්ථූපයේ] වැඩ අවසන් කළ දවසට එහි කොත් පැළඳුමට දෙවියන් විසින් දියසේනයන් කොහි සිටියත් එදිනට කැඳවනු ලබන බවයි. මෙය වෙනස් වන වචනයක් නොව ස්ථීරවම සිදුවන සත්‍යයක් වේ කියන එක.

මේ දියසේන සංකල්පය කෝට්ටේ රාජධානි කාලෙදී සුළුවෙන් තිබුණත් මහනුවර රාජධානි කාලේ වෙද්දී විශාල පිළිගැනීමක් තිබුණු මතයක් වුණු බව පෙනෙන්නට තිබෙනවා. මේ නිසා උඩරට භික්ෂූන් වහන්සේලා "සුමන සූත්‍රය" කියලා අලුත් සූත්‍රයක් රචනා කරපු බව පේනවා.

බුදු හාමුදුරුවෝ තුන්වෙනි වරට ලංකාවට වැඩම කරපු අවස්ථාවේදී සමනොළ කන්දේ තිබෙන දිවා ගුහාවේ ඉදන් සුමන සමන් දිව්‍ය රාජයාට මේ සූත්‍රය දේශනා කරපු බව දක්වන්න සුමන සූත්‍රය ආරම්භයට පාලියෙන් "එවං මෙ සුතං එකං සමයං භගවා සුමනකූටං දිවාගුංහ භගවන්තො දෙසිතං සුමන සුත්තංති...." යන කොටස එකතු කරලා තියෙනවා.

ඊට පස්සේ ඒ කාලයේ භාවිතා වුණු සිංහල භාෂාවෙන් බුදුන්ගේ ලංකාගමනය වගේම ලංකාවේ බුදු සසුන පිහිටුවීම සහ ශාසන ඉතිහාසය සම්බන්ධ කතා දක්වලා ඊට පස්සේ ලංකාවට ලන්දේසින් පැමිණෙනකම් ලංකා ඉතිහාසයත් සංක්ෂිප්තව සුමන සූත්‍රයෙන් දක්වලා තියෙනවා.

මේ සූත්‍රය අවසානයේදී කියවෙන විදිහට දඹදිව දහස් ගණන් සේනාව පිරිවරාගෙන අවුරුදු 13 ක් සම්පූර්ණ දඹදිවටම අධිපතියා වෙලා රජකම් කරන දියසේන රජතුමා ලංකාවට පැමිණිලා අනුරාධපුරයට ආශා වෙලා නගරය නැවත ප්‍රතිසංස්කරණය කරලා වෙහෙර විහාර නැවත ඉදි කරවලා අවුරුදු 22 රාජ්‍ය කරලා මිය යනවා කියලා දැක්වෙනවා.

උඩරට සමය වෙද්දී රාජ්‍ය පාලනය වගේම ආගමික කටයුතුවලිනුත් පරිහානිකර තත්වයට ලංකාවට පත්වෙලා හිටිය නිසා අනාගතයේදී ලංකාව බබළවන පාලකයෙන් පහළ වෙන බව පෙන්වලා සියලු දෙනාගේ සිත් සතුටු කරවන එක මේ සූත්‍රය රචනා කරපු අයගේ අපේක්ෂාව වුණා කියලා හිතන්න පුලුවන්.

ඩී.එස්. සේනානායක අගමැතිවරයා

උඩරට යුගයේත් ඉහළ මට්ටමක තිබුණු දියසේන සංකල්පය නිදහස් ලංකාවේත් පස්සේ කාලේ ඇතිවුණා. නිදහස් ලංකාවේ පළවෙනි අගමැතිවරයා වුණු ඩී.එස්. සේනානායක මහත්තයාත් තමන් දියසේන කුමාරයා බව හඟවන්න උත්සහ කරලා තිබෙනවා. තමන්ගේ නමේ මුල් අකුරු වෙන ඩී.එස්. [දොන් ස්ටීවන්] යන්නෙන් දියසේන යන්න හඟවනවා කියලා තමා ඒ කාලේ ප්‍රචාරේ ගිහින් තියෙන්නේ.

මහියංගණ ස්ථූපය

ඒ වගේමයි කලින් දක්වපු කවි දෙකෙන් අන්තිම කවියෙන් කියන විදිහට මහියංගණ දාගැබේ කොත් පැළැඳවිමට දියසේන කුමාරයා දෙවියන්ගේ ආරාධනයෙන් කැඳවෙන බව කිව්වත් මහියංගණ දාගැබේ පිළිසකර කිරීම් ආරම්භ කරන්නේ ඩී.එස්. සේනානායක අගමැතිතුමා. අවසානයේදී මහියංගණ දාගැබේ කොත් පැළැඳුම සිදු කරන්නේ ඩී.එස්. සේනානායක අගමැතිතුමාගේ පුත් ඩඩ්ලි සේනානායක අගමැතිතුමා විසින්.

දියසේන කුමාරයා තමන් බව කියපු කෙනෙක් ඩී.එස්., ඩඩ්ලි, බණ්ඩාරනායක, සර් ජෝන් පාලන කාලේ ලංකාවේ ඉදලා තියෙනවා. ටිප් ටොප් නමින් හඳුන්වපු දත් බෙහෙත් වර්ගය විකුණපු එයාගේ ඇත්ත නම සිල්වා. 1895 දී විතර ගාල්ලේදී ඉපදුණු ටිප් ටොප් සිල්වා අර කලින් කිව්ව කවි දෙකෙන් මුල් කවියේ කියවෙන විදිහට රාශි පිහිටපු වෙලාවකලු ඉපදුණා කියන්නේ.

පස්සේ කාලේ තමන්ගේ නම වාසල අධිකාරිගේ සිංහරාජ නන්දිමිත්‍ර කියලා වෙනස් කරගත්තු ටිප් ටොප් ඩී.එස්., ඩඩ්ලි, බණ්ඩාරනායක, සර් ජෝන් වගේ අගමැතිවරුන් එක්ක හොඳ හොඳ සෙල්ලම් කරපු බව තමා කියවෙන්නේ. මේන් මෙතනින් ඒ වගේ කතා දෙක තුනක් බලා ගන්න පුලුවන්.

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිතුමා

1956 දී ලංකාවේ අගමැතිවරයා බවට පත්වුණු එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිතුමා දෙස, බස, රැස වෙනුවෙන් කරපු කටයුතු නිසා එතුමා අනාගතයේ පහළ වෙනවායැයි කියවුණු දියසේන කුමාරයා කියලා බොහෝ දෙනා හඳුන්වලා තියෙනවා. 2500 වැනි සම්බුද්ධ ජයන්තියත් ඒ කාලයේ පැවැත්වීම නිසා මේ අදහස බහුතරයක් පිළි අරගෙන තිබුණත් ඒ ගැන ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරපු බණ්ඩාරනායක අගමැතිතුමා ඒ දියසේන වෙන්නේ තමන් නොව ලංකාවේ පොදු ජනතාව කියලා ප්‍රකාශ කළා.

මේ දියසේන කතාවේ වර්තමාන තත්වය තමා වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ දියසේන කුමාරයා කියන මතය. ඒ ගැන මම කියනවාටත් වඩා මෙන්න "මහින්ද රාජපක්ෂ යනු දියසේන කුමාරයාද ?" කියන ලිපියෙන් සවිස්තරාත්මකව බලන එක හොඳටම හොඳයි.

අපි ඊළඟට ලෝකයේ තිබෙන ප්‍රධාන පෙළේ ආගම්වල අනාගතයේ පහළ වෙන ශාස්තෲවරුන් ගැන තියෙන කරුණු කාරණා ගැන හොයලා බලමු. පළමුවෙනියටම හින්දු දහම ගැන බලමු.
හින්දු ධර්මයේ ආගමික ග්‍රන්ථ කොටසක් වෙන පුරාණ ග්‍රන්ථවල ත්‍රීමූර්තියට අයත් දෙවියෙක් වෙන විෂ්ණු දෙවියන්ගේ අවතාර 10 පිළිබඳව සඳහන් වෙනවා. මේ අවතාර 10 න් 9 ක්ම මේ වෙද්දී මනුෂ්‍ය ලෝකයේ වරින් වර ධර්මය පරදවලා අධර්මය නැගී සිටපු අවස්ථාවන්වලදී පහළ වෙලා තියෙනවා.

ඒ විදිහට පහළ වුණු අවතාර 9 තමා මත්ස්‍ය, කුර්ම (ඉදිබුවා), වරාහ (ඌරා), නරසිංහ, වාමන, පරශුරාම, රාම, ක්‍රිෂ්ණ, බුද්ධ කියන අවතාර.

කල්කි අවතාරය දුර්ජනයන් විනාශ කිරීම

අනාගතයේ පහළ වෙන්න නියමිතව තිබෙන විෂ්ණුගේ අවතාරය තමා "කල්කි" අවතාරය. ඒ ගැන ශ්‍රීමත් භගවතම් ග්‍රන්ථයේ දක්වන්නේ මේ විදිහට.

යර්හ්‍යාලයෙෂ්වපි සතාං හරෙඃ කතාඃ ස්‍යුඃ
පාෂාණ්ඩිනො ද්විජ ජනා වෘෂලා නෘ දේවාඃ
ස්වාහා ස්වධා වෂඩිති ස්ම ගිරෝ න යත්‍ර
ශාස්තා භවිෂ්‍යති කලෙර් භගවාන් යුගාන්තේ

මේ ශ්ලෝකයේ අර්ථය මෙහෙමයි. කලියුගය අවසානය වෙද්දී දෙවියන් සම්බන්ධව කිසිම කතාවක් නැති වෙනවා. ශාන්තුවරු වශයෙන් හැඳින්වෙන පූජනීය පුද්ගලයන්ගේ ගෙවල්වල පවා දෙවියන් සම්බන්ධ කතා කිරීමක් නැතුව යනවා. ඒ වගේමයි මෙතෙක් කල් සමාජයේ බලය හිමිවෙලා තිබුණු බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය කියන ද්විජයන් [දෙවරක් උපන්] අතින් බලය අහිමි වෙලා රාජ්‍යයන් පාලනය කිරීමේ බලය හිමිවන්නේ පහත්ම කුලය වෙන ශුද්‍රයන්ට.

ඇමති ධූර ඒ වගේම සමාජයේ ඉහළ තනතුරුවලට පවා තේරී පත්වෙන්නේ ශුද්‍රයන්වයි. මෙහෙම වෙද්දී පරිත්‍යාගය වගේ යහපත් ගුණාංග ගැන මිනිස්සු අමතක කරනවා වගේම එහෙම වචනයක් ගැනවත් මිනිස්සු දන්නේ නැති වෙනවා. මේ කාලයේදී අයහපත පරාජය කරලා නැවත වරක් මිනිස් ලෝකයේ යහපත ස්ථාපනය කරන්න විෂ්ණු දෙවියන් කල්කි විදිහට පහළ වෙනවා.

කල්කි අවතාරය විස්තර කෙරෙන්නේ සුදු අශ්වයෙක් පිට නැගලා එන රතු වස්ත්‍රයකින් සැරසිලා එන පුද්ගලයෙක් විදිහට. කල්කිගේ අතේ තිබෙන කඩුවෙක් අධර්මිෂ්ටයන් මරා දමනවා කියලා තමා හින්දු ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙන්නේ.

මේ කරුණු නිසා හින්දු බැතිමතුන් අනාගතයේ පහළ වෙන කල්කි අපේක්ෂාවෙන් තමා ඉන්නේ. 

ජේසුතුමා නැවත මිනිස් ලොවට පැමිණෙන ආකාරය

ක්‍රිස්තියානි එහෙමත් නැත්නම් කතෝලිකයන් අතරේත් මේ ආකාරයේ විශ්වාසයක් පවතිනවා. ජොහාන්තුමා හෝ වෙනත් කතුවරයෙක් විසින් දේවානුභාවයෙන් ලියන ලදැයි සැළකෙන කතෝලිකයන්ගේ ශුද්ධ වූ බයිබලයේ අවසන් කොටස වෙන එළිදරව්වේ ශුභාරංචියේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නැවත පැමිණීම ගැන සඳහන් වෙනවා.

දෙවියන් වහන්සේව විශ්වාස නොකරමින් තමන් කරපු පව් ගැන පසුතැවිලි නොවී අධර්මයේ ගැලිලා ඉන්න මිනිස්සු විනාශ කරලා යහපත නැවත ඇති කරන්න තමා ඒ ආකාරයෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නැවත පැමිණීම සිද්ධ වෙන්නේ.  

එළිදරව්වේ ශුභාරංචියේ 19 කොටසේ ඒ ගැන කියන්නේ මේ විදිහට

"....එවිට ස්වර්ගය ඇරී තිබෙනු දිටිමි. එහි සුදු අශ්වයෙක් සිටියේය. විශ්වාසය, සත්‍යය යන නම් දරණ තැනැන්වහන්සේ [ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ] ඌ පිට වැඩහුන් සේක. උන්වහන්සේ දැහැමින් විනිශ්චය කරන සේක, යුද්ධ කරන සේක.

ජේසුතුමා සහ ස්වර්ගික සේනාවේ ආගමනය

උන්වහන්සේගේ නේත්‍ර අග්නිජාලා මෙනි. උන්වහන්සේගේ හිස මත බොහෝ කිරුළු ඇත. උන්වහන්සේ හැර අන් කිසිවෙකු නොදන්නා නාමයක් එහි ලියා ඇත. ලෙයින් පෙඟුණු වස්ත්‍රයක් උන්වහන්සේ හැඳ සිටිසේක. දෙවියන් වහන්සේගේ ධර්මයාණෝයැයි උන්වහන්සේට කියන ලදී. ස්වර්ගික යුද්ධ සේනාවෝ සුදු, සිනිඳු, පිවිතුරු වස්ත්‍ර හැඳ සුදු අශ්වයන් පිට උන්වහන්සේ පසුපස්සේ ගියහ.

ජාතීන්ට පහර දෙනු පහර දෙනු පිණිස උන්වහන්සේගේ මුඛයෙන් තියුණු කඩුවක් නික්මේ. උන්වහන්සේ යගදාවකින් ඔවුන් පාලනය කර, සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේගේ කෝපයේ උදහස නමැති මිදි යන්ත්‍රයේ මිදි මඩින සේක....."

ජේසුතුමා සහ ස්වර්ගික සේනාවේ ආගමනය

කුරුසයේ ඇණ ගැසීමෙන් දින තුනකට පසුව උත්ථානය වුණු ජේසුස් වහන්සේ තමන්ගේ අනුගාමිකයන්ට අවවාද ආදිය ලබාදීලා ස්වර්ගය බලා නික්මුණාට පස්සේ නැවත වරක් මේ ආකාරයෙන් මිනිස් ලොවට පැමිණෙනවා කියලා තමා කතෝලිකයන්ගේ විශ්වාසය වෙන්නේ.

ඒත් මේක සිද්ධ වෙන දවසක් සම්බන්ධව නිශ්චිතව දක්වලා නැහැ. ඒක දේව රහසක් කියලයි කියවෙන්නේ. කොහොම නමුත් මිනිසා තුළ දෙවියන් වහන්සේ සම්බන්ධව විශ්වාසය නැතිවෙලා අධර්මයට වැඩි වශයෙන් යොමු වීමත් එක්කම මේ සිදුවීම් සිද්ධ වෙනවා කියලා තමා දැනගන්න ලැබුණේ.

රෝම අධිරාජ්‍යයෙන් ක්‍රිස්තියානි ධර්මයට වුණු පීඩනයෙන් අසහනයට පත්වුණු ජනතාව සැනසීමට එළිදරව්වේ ශුභාරංචියේ කොටස රචනා වුණා කියන අදහස ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ අතින් බලද්දී ලංකාවේ සුමන සූත්‍රය රචනා වෙන්න හේතු වුණා වගේ තත්වයක් මේ අවස්ථාවේදීත් ඇතිවෙලා තියෙන වග හිතන්න පුලුවන්.

මහ්දිතුමාගේ නාමය මදීනාවේ මුස්ලිම් පල්ලියක සටහන් කර ඇති අයුරු

ඉස්ලාම් භක්තිකයනුත් මේ ආකාරයෙන් අනාගතයේ පහළ වෙන ඉමාම් මහ්දිතුමා/ මහ්දි අලෙයිහි සලාම්තුමා පිළිබඳව විශ්වාසයෙන් පසු වෙනවා. මෙතුමාගේ නම වෙන මහ්දි යන්නෙන් යහපත කරා කැඳවන්නා කියන එකත්, ඉමාම් යන්නෙන් නායකයා කියන එකත්, අලෙයිහි සලාම් යන්නෙන් අල්ලාගේ ශාන්තිය හිමිවන්නා කියන තේරුමත් ප්‍රකාශ වෙනවා.

ඉස්ලාම් දහමේ මීට පෙර සිටි නබිවරයා වුණු මොහමඩ් නබිතුමාගේ පරපුර වෙන කුරෙයිෂි ගෝත්‍රයේ උපදින මහ්දි අලෙයිහි සලාම්ගේ දෙමාපියන්ගේ නම් පවා මොහොමඩ් නබිතුමාගේ දෙමාපියන්ගේ නම්වලට සමාන වන බවයි කියවෙන්නේ.

ඉස්ලාම් කැලැන්ඩරයට අනුව හජ් මාසයේ 10 වෙනිදා සිකුරාදාවක් වෙන හජ්ජුල් අක්බර් අවුරුද්දකදී ඉමාම් මහ්දිතුමාව ලෝකයට ප්‍රකාශ වෙනවා කියලා තමා හදීස්වල දක්වලා තියෙන්නේ. ඒ වෙද්දී හජ් වන්දනාවේ යෙදෙමින් ඉන්න එතුමා තමා ඉමාම් මහ්දි කියලා මුළු ලෝකයටම ඇහෙන ශබ්දයකින් දැනුම් දෙනු ලැබෙනවා.

ඒ වෙද්දී ඉමාම් මහ්දිතුමාට වයස අවුරුදු 40 ක් පමණ වෙනවා. පුළුල් නළලක් සහ දිග නහයක් ඉමාම් මහ්දිතුමාට තිබෙන බව තමා කියවෙන්නේ.

මේ කාලය වෙද්දී ලෝකය පුරා තිබෙන සියලුම මුස්ලිම් රාජ්‍යයන් එකතු වෙලා මහ්දිතුමාගේ නායකත්වයට පත්වෙනවා. ඒ නිසා මහ්දි මුස්ලිම්වරුන්ගේ කාලිෆ්වරයා විදිහටත් සැලකෙනවා. සමස්ත ලෝකවාසී මුස්ලිම්වරුන්ගේ කාලිෆ්වරයා විදිහට මුස්ලිම්වරුන්ට නිවැරදි මග පෙන්වීම මහ්දි අලෙයිහි සලාම් විසින් අවුරුදු 7 ක් සිදු කරනවා.

මේ ආකාරයෙන් ඉමාම් මහ්දිතුමා ඊට පසුව පහළ වෙන ඊෂා අලෙයිතුමාට මිනිස් ලොව පහළ වෙන්නට අවශ්‍ය පසුබිම සකස් කරනවා. මහ්දිතුමාගේ කාලය අවසන් වීමත් එක්ක ඊෂා අලෙයිතුමා මිනිස් ලොව පහළ වෙනවා. මුස්ලිම්වරු ඊෂා අලෙයිතුමා විදිහට හඳුන්වන්නේ කතෝලික බැතිමතුන් විසින් තමන්ව පාපයෙන් මුදවා ගන්න දෙවියන් වහන්සේගේ මිනිස් ලොවට එවූ තමන්ගේ පුත්‍රයා වෙන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේවයි.

මේ නිසා ඊෂා අලෙයිතුමාගේ පහළ වීමත් එක්ක සමස්ත ලෝකවාසී කතෝලික ප්‍රජාවත් මුස්ලිම්වරුන් එක්ක එකතු වෙලා ඊෂා අලෙයිතුමාගේ නායකත්වය පිළිගන්නවා කියලා තමා මුස්ලිම්වරුන්ගේ විශ්වාසය වෙන්නේ. මේ කාරණය නිසාම කතෝලිකයන් විශ්වාස කරන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පුනරාගමනය හා මුස්ලිම්වරුන් විශ්වාස කරන ඊෂා අලෙයිතුමාගේ පුනාරාගමනය සමාන බවයි පේන්නේ.

මිනිස් ලොවට පහළ වුණු ඊෂා අලෙයිතුමා මාරයා හෙවත් අයහපත වෙන දජ්ජල්ට එරෙහිව ඉමාම් මහ්දිතුමා එක්ක එකතු වෙලා සටන් කරනවා. දජ්ජල් පරාජය කිරීමෙන් පස්සේ ඉමාම් මහ්දිතුමා තමන්ගේ ජීවිතය අවසන් කරනවා.

ඊට පස්සේ ඊෂා අලෙයිතුමා වසර 40 ක් හෝ 45 ක් මිනිස් ලොව පාලනය කරන බවයි ඉස්ලාම් භක්තිකයන්ගේ විශ්වාසය වෙන්නේ. ඊට පස්සේ එතුමාත් මිය යාමෙන් පස්සේ ක්‍රමයෙන් ඉස්ලාමයෙන් මිනිසුන් බැහැර වීමත් එක්ක තමා ඉස්ලාම් දහමේ දැක්වෙන විදිහට ලෝක විනාශය සිද්ධ වෙන්නේ.

අනාගතයේ පහළ වෙන ඉමාම් මහ්දිතුමා සම්බන්ධව වගේම ඊෂා අලෙයිතුමා ගැනත් විස්තර රාශියක්ම හදීස් නමින් හඳුන්වන මොහොමඩ් නබිනායකතුමා විසින් වාචිකව දේශනා කරපු ඒ වගේමයි අනුමත කරපු දේවල් ඇතුළත් රචනා කරපු කෘතිවල ඇතුළත් වෙලා තිබෙනවා.

මේ ආකාරයෙන් හදීස්වල කරුණු තිබුණත් වරින්වර පුද්ගලයන් තමන් අනාගතයේ පහළ වෙන ඉමාම් මහ්දි නමින් හඳුන්වලා කටයුතු කරලා තියෙනවා.ඒ හැරෙන්න මේ වෙද්දිත් තමන් ඉමාම් මහ්දි කියලා හඳුන්වාගන්නා පුද්ගලයින් ඉන්නා බවයි කියවෙන්නේ.  තමන් ඉමාම් මහ්දි කියලා හඳුන්වාගන්න එක නම් හරියට තමන් දියසේන කුමාරයා කියලා හඳුන්වා ගන්න තිබුණු වගේම තියෙන ආශාව වගේ කියලයි මට නම් හිතෙන්නේ.

මේ සියලුම අදහස් එකතු කරලා බලද්දී කිසියම් සමානකමක් නැත්තේමත් නැහැ. කොහොම නමුත් තමන්ගේ විමුක්තිය එහෙමත් නැත්නම් ගැලවීම උදා කර ගන්න එක හැමෝගේම වගේ ලොකු ආශාවක් බව නම් පැහැදිලියි.

ප.ලි.: දවස් ගාණක් තිස්සේ ඉදන් මහන්සි වෙලා මේ කතාව ලිව්වේ ආගිය කතාවේ පළවෙනි 200 වෙනි ලිපිය නිමිති කරගෙන. මේ දක්වා මට ලියන්න හයියක් වුණු හැමෝටම මගේ නිමක් නොවන ස්තුතිය :)

ප.ප.ලි.: මේ ලිපිය ලියද්දී හුඟක් වෙලාවට මම ස්වයං අධ්‍යයනයන් තමා සිද්ධ කළේ. ඒත් නොතේරුණු තැන් කියා දෙන්න උදව් වුණු අපේ කැම්පස් එකේ සංස්කෘත අධ්‍යයනාංශයේ හාමුදුරුවරුන්ටත්, ක්‍රිස්තියානි ධර්මය හදාරන මිතුරු මිතුරියන්ටත් ඒ වගේමයි ඉස්ලාම් ධර්මය සම්බන්ධ කරුණු රැසක් හොයාගන්න උදව් කරපු මුහුණු පොතෙන් හඳුනාගත්තු මොහොමඩ් රිසාන් සහ මොහොමඩ් අස්ෆාරන් කියන මිතුරන් දෙදෙනාටත් විශේෂ ස්තුතියක් හිමිවිය යුතුමයි. 

Saturday, December 1, 2012

නම් ගම් ටිකක මුල් සොයා

බුදු සිරිතත් එක්ක සම්බන්ධ වෙන විවිධ පුද්ගලයෝ වගේම විවිධ ස්ථාන රාශියක් තිබෙනවා. මේ විවිධාකාර පුද්ගලයන් වගේම ස්ථානවලට නම හැදුණු හැටි ගැන යම් යම් බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථවල කතා කරලා තිබෙනවා. හැම ස්ථානයේම හරි හැම පුද්ගලයාගේම හරි නම සකස් වුණු හැටි නැතිවුණත් සාමාන්‍ය ප්‍රමාණයකට ඒ පිළිබඳ විස්තර තිබෙන නිසා බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථ කීපයක්ම කියවද්දී මට හම්බුණු ඒ වගේ දේවල් ටිකක් ගැන කියන්න තමා අද මම කල්පනා කළේ.

මීට කලින් සිද්ධාර්ථ කුමාරයා ඉපදුණු ශාක්‍ය වංශයට නම සකස් වුණු ආකාරය වගේම ශාක්‍ය ජනපදයේ අගනුවර වුණු කපිලවස්තුවට ඒ නම සකස් වුණු ආකාරයත් විශාලා මහනුවර මුල් කරගෙන වජ්ජි ජනපදයේ ගණ තන්ත්‍ර පාලනයක් ගෙනියපු ලිච්ඡවි රාජ වංශයට ඒ නම හිමිවුණු ආකාරය ගැනත් කතා කළා මතකයිනේ.

බරණැස ඉසිපතනය
මුලින්ම බුදු හාමුදුරුවෝ මංගල ධර්ම දේශනාව පවත්වපු බරණැස් නුවර පිහිටලා තිබුණු ඉසිපතනාරාමය එහෙමත් නැත්නම් ඉසිපතන මිගදායට නම සකස් වුණු ආකාරය බලමු. 

තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය ඉතාමත් ඉහළ මට්ටමකට දියුණු කරගත්තු ඒ වගේමයි විශාල දැනුම් සම්භාරයක් තිබුණු පුද්ගලයන් කොට්ඨාශයක් භාරතයේ ඈත අතීතයේ ඉදලා තිබෙනවා. ඔවුන්ව හැඳින්වූවේ සෘෂිවරු එහෙමත් නැත්නම් ඉසිවරු කියලා. ජ්‍යෙතිෂ ශාස්ත්‍රය, ආයුර්වේදය, යෝග ශාස්ත්‍රය වගේ බොහොම පැරණි විෂයයන් රාශියක්ම බිහි කරලා තිබෙන්නේත් මේ සෘෂිවරු.

දෙවිවරුන් සමඟත් සම්බන්ධතා පවත්වන්න හැකියාව තිබුණු සෘෂිවරු බොහොම බලවත් පිරිසක්. මේ සෘෂිවරුන්ට විවිධාකාරයේ සෘද්ධි බල එහෙමත් තිබුණු බව තමා කියවෙන්නේ. ඉතින් තමන්ගේ සෘද්ධි බලයෙන් අහසින් යන සෘෂිවරු  බිමට බසින එක ස්ථානයක් තමා මේ බරණැස් නුවර ඉසිපතන නමින් හඳුන්වපු ප්‍රදේශය. ඉසිවරුන් බිමට බසින එහෙමත් නැත්නම් පතනය වෙන ස්ථානය කියන තේරුමෙන් ඉසිපතනය කියන නම ලැබිලා තිබෙනවා.

පස්වග තවුසන් සහ මුවන් මංගල ධර්ම දේශනය ශ්‍රවණය කරන අයුරු
මිගදාය කියලා හඳුන්වලා තිබෙන්නේ මේ ප්‍රදේශය මුවන් සඳහා අභය දානය දීපු ප්‍රදේශයක් එහෙමත් නැත්නම් අභය භූමියක් වශයෙන් නම් කරලා තිබිලා තියෙනවා. මුවන් සඳහා අභය දානය දුන් කියන අදහසෙන් තමා මිගදාය කියන නම හැදිලා තියෙන්නේ.මිගදායේ අදටත් මුවෝ ඉන්නවා වන්දනාවේ යන අයට දැකගන්න පුලුවන්.

රජගහ නුවර නටබුන්
ඊළඟට බුදු සසුනේ ප්‍රථම ආරාම පූජාව වශයෙන් සැළකෙන්නේ බිම්බිසාර රජතුමා විසින් සිදුකරපු රජගහ නුවර පිහිටි වේළුවනාරාම පූජාව. බෞද්ධ සූත්‍රවල මේ ආරාමය හඳුන්වන්නේ වේළුවන කලන්දක නිවාපය කියලා. ඒ නම හැදුණේ මෙහෙමයි. 

උණ ගසට පාලියෙන් භාවිතා වෙන්නේ වේළු කියන පදය ඒ ආරාම භූමිය උණ ගස්වලින් පිරිලා තිබුණු නිසා වේළු වනය කියන නම යෙදිලා තිබුණා. කලන්දක නිවාපය කියන නම යෙදුණේ මේ වනය ලේනුන් සඳහා අභය භූමියක් වෙලා තිබුණු නිසා. පාලියෙන් ලේනාට කියන්නේ කලන්දක කියලා. නිදහස එහෙමත් නැත්නම් අභය දානය දුන් කියන අදහසෙන් නිවාප කියන කොටසත් එකතු වෙලා තමා කලන්දක නිවාප කියන නම ඇතිවුණේ.

කලින් කිව්වා වගේ වේළුවනාරාමය පිහිටලා තිබුණේ රජගහ නුවරනේ. මේ නුවර රාජගෘහ නමිනුත් හඳුන්වලා තියෙනවා. ඒකට නම හැදුණේ මේ නුවර රජවරු මහ ඇමතිවරුන්ගෙන් සමන්විත වෙන නිසාත්, නුවර වටේ වේහාර, වේපුල්ල, පාණ්ඩව, ඉසිගිලි, ගිජ්ඣකූඨ කියන විශාල පර්වත පහෙන් සමන්විත වෙන නිසාත්, බුදුරජාණන් වහන්සේට පිණ්ඩපාතය සඳහා ගෙයක් හා සමාන වෙන නිසාත් ඒ අර්ථයෙන් රාජගෘහ කියන නම අරගෙන තියෙනවා. 

 ශ්‍රාවස්ති නුවර නටබුන්
කෝසල දේශයේ අගනුවර වුණේ සැවැත් නුවර. ශ්‍රාවස්ති කියන නමත් මේ නගරයට භාවිතා වෙලා තියෙනවා. ශ්‍රාවස්ති කියන නම හිමිවෙලා තියෙන්නේ ශ්‍රාවස්ති කියන සෘෂිවරයාගේ අසපු භූමියේ මේ නගරය නිර්මාණය කෙරුණු නිසා. 

මහා ප්‍රජාපතී ගෝතමිය පැවිදිවීම
දැන් ඉතින් පුද්ගල නාම ටිකකුත් කිව්වා නම් හොඳයි වගේ. සිද්ධාර්ථ කුමාරයාගේ සුළු මව වුණු මහා ප්‍රජාපතී ගෝතමී දේවියට ඒ නම හිමිවුණේ එතුමියට නම් තබන දවසේ දේහ ලක්ෂණ බලපු බමුණෝ ප්‍රකාශ කරනවා මේ කුමාරිකාව අනාගතයේ පුතෙක් බිහි කළොත් එයා සක්විති රජෙක් වෙන බවත් දියණියක් බිහි කළොත් ඒ දියණිය සක්විති රජෙක්ට අග මෙහෙසිය වෙන බවත් ඒ වගේමයි වෙනත් ස්ත්‍රියකගේ කුසෙන් බිහි වුණත් මේ කුමාරිකාව විසින් රැක බලා ගන්නා පුත්‍රයෙක් දෙවියන් අතින් පවා වැඳුම් ලබන්න සමත් වෙනවා කියලා. 

මේ නිසා පුත්‍ර ප්‍රජාවට පති කියන අර්ථයෙන් ප්‍රජාපතී කියන නම යෙදෙනවා. ගෝත්‍ර නාමය තමා ගෝතමී කියලා එකතු වෙන්නේ. 

සිද්ධාර්ථ කුමාරයාගේ මෙහෙසිය වෙන්නේ යශෝධරා දේවිය. එයට ඒ නම හිමිවුණේ උපන් දවසේ ඉදන් මහත් යසසක් දරපු නිසා. ඒ අර්ථයෙන් යසස් දරන කියන අර්ථයෙන් යශෝධරා කියන නම හිමිවෙනවා. 

කලිනුත් කිව්වා වගේ බුදු සසුනේ ප්‍රථම ආරාම පූජාව සිදු කරපු මගධයේ අධිපති බිම්බිසාර රජතුමාට නම හැදුණේ මෙහෙමයි. ස්වර්ණමය පැහැයක් ගත්තු අලංකාර සිරුරක් තිබුණු නිසා එතුමාට බිම්බිසාර කියන නම ලැබිලා තිබිලා. විශාල සේනාවක් එතුමාට තිබුණු නිසා සේනිය බිම්බිසාර කියන නමිනුත් හැඳින්වෙලා තියෙනවා. 

බිම්බිසාර රජතුමාගේ පුත්‍රයා වුණු පස්සේ කාලේ බිම්බිසාර රජතුමාව මරණයට පවා පත් කරවපු අජාසත් රජතුමාට ඒ නම හිමිවුණේ මව් බිසව ගැබ් ගත්තු කාලයේම බිසවට දොළ දුකක් හට ගන්නවා රජතුමාගේ උරහිස පළලා ලේ බොන්න. ඒ දොළ දුක කිසිම පැකිලීමක් නැතුව බිම්බිසාර රජතුමා ඉෂ්ට කරනවා. 

 අජාසත් රජතුමා

ඒත් නිමිත් දන්න අය ප්‍රකාශ කරනවා බිසවට ලැබෙන දරුවා පුත්‍රයෙක් වුණොත් රජතුමාට විරුද්ධ අයෙක් වෙනවා. ඒ කුමාරයා තාත්තාව මරා දමලා රාජ්‍ය බලය ලබා ගන්නවා කියලා. මේක අහපු බිසව දරු ගැබ පහ කරන්න කරපු උත්සහය හරියන්නේත් නැහැ. අවසානයේදී පුත්‍රයෙක් බිහිවුණාම මව් කුසෙන් බිහි වෙන්නත් කලින්ම පිය රජතුමාට සතුරු වූ කියන අර්ථයෙන් අජාතවම සතුරු වූ කියන අදහසෙන් අජාසත් කියන නම මේ කුමාරයාට තියලා තිබෙනවා.

අදට මේ ඇති. හැමදාම බරසාර කතා නැතුව සරල දේකුත් කියන්න එපැයි.

ප.ලි.: ඊළඟට පබ්ලිෂ් කරන පෝස්ට් එක තමා පෝස්ට් එක :D