Saturday, March 5, 2011

බොරු පොරොන්දු


ඉස්සරහට තියෙන පළාත් පාලන මැතිවරණේ නිසා ප්‍රාදේශීය දේශපාලනඥයෝ ගොඩයාගන්න වෙන මහන්සිය පේනවානේ. තාප්ප පිරෙන්න පෝස්ටර්, ලයිට් කණු වැහෙන්න කටවුට්, තාර පාර පුරා නමයි අංකෙයි ලකුණයි වගේ නානා ප්‍රකාර සෙල්ලම් දානවානේ ඡන්දේ දමාගන්න.

ඒ මදිවට පොරොන්දු. හොදි ඕන්නෑ කිව්වලු. පොරොන්දු දුන්නාට ඡන්දෙන් දිනුවට පස්සේ හුඟාක් වෙලාවට වෙන්නේ මන්ත්‍රීතුමාව අල්ලගන්න බැරිවෙන එක ඒ පොරොන්දුව ඉටු කරවගන්න. මේ නිසා බොරු පොරොන්දු කියන එක ලංකාවේ දේශපාලනයේ විශේෂ ලක්ෂණයක් වෙලා ඉවරයි.

මේ දවස්වල එහෙම බොරු පොරොන්දු දෙන දේශපානඥයෝ හිටියට ඒ කාලේ වචනයක් දුන්නොත් ඒක අනිවා කරන කට්ටිය තමා දේශපාලනේ කරලා තියෙන්නේ. මේ කතාව අපේ තාත්තා තමා මට කිව්වේ. අපේ තාත්තා ගාව හොඳ හොඳ කතා තියෙනවා කියලා ඔයාලත් දන්නවානේ.

කතාව මෙහෙමයි. ඉස්සර ගම් සභා ක්‍රමය තියෙන කාලේ එක දිගටම අපේ පැත්තේ මැම්බර් මහත්තයා වෙලා තියෙන්නේ සල්ලි බාගේ එහෙම හොඳට තිබුණු "වත්තේ රාළහාමි" කියන එක්කෙනා. හුඟාක් වෙලාවට "වත්තේ රාළහාමි" නිතරඟයෙන් වගේලු මැම්බර් වෙන්නේ.

ඉතින් එක පාරක් මේ මැම්බර්කමට වත්තේ රාළහාමිත් එක්ක ගමේ හිටිය දුප්පත් අඩු කුලේක හිටිය මනුස්සයෙක් ඉල්ලුවාලු. මේකට වත්තේ රාළහාමිට මල පැනලා එයා කිව්වාලු

"ඕකුන්ට පුලුවන්ද මැම්බර්කම් ගන්න ඕකා මාව පරද්දලා මැම්බර් වුණොත් මම දරණගම ඉස්කෝලේ ගාව ඉදන් අපේ ගේ ගාවට පිනුම් ගගහා තමා එන්නේ" කියලා.


වත්තේ රාළහාමි එහෙම කිව්වේ අර මනුස්සයාට තමන්ව පරද්දන්න බැහැ කියන විශ්වාසේ හොඳටම තිබුණු නිසා. අනික ඡන්දේ තියෙන දරණගම ඉස්කෝලේ ගාව ඉදන් වත්තේ රාළහාමිලාගේ ගෙදරට කිලෝ මීටර් 4 ක් විතර තියෙනවා. රාළහාමි ඒවත් ඔක්කොම හිතලා වෙන්න ඕනේ එහෙම කියන්න ඇත්තේ.

ඔන්න ඉතින් කොහොමින් කොහොම හරි ඡන්දේ දවසත් ආවය කියමුකෝ. උදේ ඉදන් හවස් වෙනකම් තිබුණු ඡන්දේ ඉවරවෙලා එදා හැන්දෑවේම ඉස්කෝලෙදී ඡන්ද ගණන් කරලා ප්‍රතිඵල නිකුත් කරන එක තමා ඒ කාලේ ක්‍රමේ.

අන්තිමට අර දුප්පත් මනුස්සයා වත්තේ රාළහාමිව වැඩි ඡන්ද ගාණකින් පරද්දලා තිබුණේ. රාළහාමිත් කිසි කතාවක් නැතුව ඉස්කෝලේ ගේට්ටුව ගාවින් පාරට බැස්සලු. උඩට ඇඳන් හිටිය කෝට් එක ගලවලා එතන හිටිය වැඩකාර කොල්ලා අතට දුන්නලු.

සරමෙන් අමුඩේ ගහගෙන පිනුම් ගහන්න පටන් ගත්තලු ඉස්සරහට.

මිනිස්සු වටවෙලා "අනේ අනේ රාළහාමි" කියලා විස්සෝප වෙනවාලු.

මේ විදිහට රාළහාමි මීටර් 20 ක් විතර පිනුම් ගගහා ඉස්සරහට යද්දී කොල්ලෝ ටික බලහත්කාරයෙන්ම වත්තේ රාළහාමිව කරේ තියාගෙන ගෙදර එක්කගෙන ගියාලු. ඉතින් කොහොමින් කොහොම හරි වත්තේ රාළහාමි කියපු දේ කළා.

ඒත් දැන් කාලේ ඔහොම දෙයක් වුණා නම් මොකක් හරි බොරුවක් කියලා ෂේප් වෙන්නනේ යන්නේ. පහුගිය පාර්ලිමේන්තු ඡන්දෙදී ජෙනරාල් සරත් ෆොන්සේකාගේ පක්ෂෙට ගම්පහ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ආසන එකක් හරි ආවොත් තමන් ඉල්ලලා අස්වෙනවා කියලා ඒ දිස්ත්‍රික්කෙම ඉන්න ආචාර්යවරයෙක් වෙන කෙනෙක් කිව්වානේ.

අන්තිමට මන්ත්‍රී ආසන 2 ක් හම්බුණාම ඒක ගැන මාධ්‍යවේදියෙක් ආචාර්යතුමාගෙන් අහපුවාම එතුමා කිව්වේ "මම එහෙම කිව්වේ නැහැනේ. මම කිව්වේ පඩික්කමට [ එයා ඒ පක්ෂේ ලාංඡනය වුණු කුසලානෙට කිව්වේ පඩික්කම කියලා] මන්ත්‍රී ආසන එකක් හරි ආවොත් ඉල්ලලා අස් වෙනවා කියලනේ. ඉතින් කවුරුත් පඩික්කමෙන් ඡන්දේ ඉල්ලුවේ නැහැනේ" කියලා.


කමක් නැහැ ඉතින් රොබට් නොක්ස්ගේ An Historical Relations of The Island of Ceylon [එදා හෙළ දිව] පොතෙත් එයා කියලා තියෙනවා "සිංහලයා ඉතා විනීතය. ආගන්තුක සත්කාර්යෙහි තත්පරය. ස්වදේශීන් හට මෙන් ම කරුණාවෙන් විදේශීන් හටත් සලකන්නේ ය. එනමුදු ඔහු ගේ එක් භයානක නරකක් නම් බොරු කීමයි, එයද අසුවන ලෙසින්ම කීමයි" කියලා

Sunday, February 27, 2011

අවුරුද්දකුත් වුණා එහෙමනම් - 1st Anniversary


ආගිය කතාවට
අදට අවුරුද්දයි

හයිය දුන් ඔබ සැමට
මගේ ස්තුතිය


ප.ලි. : ආගිය කතාවේ අවුරුද්දක ගමන් මග ඇතුළේ වුණු හොඳ හොඳ කතා 100 වැනි post එකත් එක්ක බලාපොරොත්තු වෙන්න

Sunday, February 20, 2011

හෙලෝ........... තාත්තාගේ කතා


අපේ තාත්තාගේ කතා දෙක තුනක් මම කලිනුත් කියලා ඇති.මොකද අපේ තාත්තා ගාවත් හොඳ හොඳ කතා තියෙනවා. මේක තමා අලුත්ම කතාව.

මේක වෙලාත් පැය දෙක තුනකට වැඩිය නැහැ. තාත්තාගේ hand phone එකට call එකක් ආවා. ඒකට තාත්තා උත්තර දෙනවාත් ඇහුණා. පස්සේ තාත්තා කතාව අපිත් එක්ක කිව්වා. මේක තමා තාත්තයි තාත්තට call එක ගත්තු කෙනයි අතර ඇතිවුණු කතා බව

තාත්තා : හෙලෝ

අනිත් කෙනා : මේ කොහෙන්ද කතා කරන්නේ ?

තාත්තා : මේ කටින් කතා කරන්නේ :))

අනිත් කෙනා : හරි හරි ඔයා කොහෙද ? [හිනාවකුත් එක්ක]

තාත්තා : බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කේ බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියඹලාපේ උතුර ග්‍රාම සේවා වසමෙන්

අනිත් කෙනා : ඔයා කවුද ?

තාත්තා : මම ගාමිණි ගුණසිංහ

අනිත් කෙනා : ආහ් Sorry, wrong number එකක්


අවවාදයයි : ඔය වගේ ප්‍රශ්න අහන්නේ නැතිව call එක ගන්න මනුස්සය තමන් කවුද කියලා කතා කරලා විස්තරේ කිව්වා නම් ඉවරයිනේ කියලයි මට හිතුණේ. එතකොට මේ වගේ චාටර් සීන් වෙන්නේ නැහැනේ.

අපේ මහප්පා නම් එහෙමයි. එයාගෙන් call එකක් ආවොත් මෙහෙම තමා එයා කතා කරන්නේ.

"සුභ උදෑසනක්. මම චන්ද්‍රසේන අම්පාරෙන්. මල්ලී ඉන්නවාද ? "

දැක්කනේ කිසිම කචල් එකක් නැහැනේ


ප.ලි. : මම ලිව්ව පොඩිම කතාව මේකද කොහෙදෝ :))

Friday, February 4, 2011

මේ ඔබ අමතන්නේ..........


පන්සලේ photos ටිකක් අරන් දෙන්න කියලා නායක හාමුදුරුවෝ මට කෝන්ත්‍රාත් එකක් බාර දුන්නා. ඉතින් ඊයේ හැන්දෑවේ ඒ ගත්තු photos ටික CD එකකට දාගෙන පන්සලට ගියා හාමුදුරුවන්ට ඒක බාරදීලා එන්න. ඒ වෙලේ පන්සලේ දායක සභාවේ ලේකම් මහත්තයායි තව කට්ටියකුයි බර කතාවක්.

මම හාමුදුරුවන්ට CD එක දීලා ගෙදර එන්න යද්දී ලේකම් මහත්තයා මාව අල්ල ගත්තා. "මෙයා තමා දැන් ඉතින් වැඩේට දාන්න වෙන්නේ" කියලා.

මම බැලුවා මදැයි වදින්න ගිය පන්සල [දේවාලේ නෙමෙයි :)] ඉහේ කඩාවැටුණාවත්ද කියලා.

බැලින්නම් කතාව මේකයි. දායක සභාවේ මහා සභා රැස්වීම හෙට [ ඒ කියන්නේ අද ] ඉතින් ඒක ගැන දායකයන්ට මතක් කරන්න ගම වටේ ගිහින් announcement එකක් දෙන්නේ තමා මෙයාලා ලෑස්ති වෙලා තියෙන්නේ. ඒ වැඩ ටික ඔක්කොම හරි. ඒත් අවුල announcement එක දෙන්න පොරක් නැති එක. ඒක බාර ගත්තු පොර මඟුල් ගේක ගිහින්. දැන් කට්ටිය මේක මගේ ඇඟේ ගහන්න යන්නේ.

මම මාරු වෙන්න හිතලා කිව්වා "අයියෝ ලේකම් මහත්තයා මට නම් බැහැ ඕක. වෙන කවුරුත්ම නැද්ද ඕකට" කියලා.

පස්සේ ලේකම් මහත්තයා මට බටර් ගාන්න ගත්තා. " ඔයා තරුණ ළමයෙක් නේද ? විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් නේද ? අපෙන් පස්සේ මේ දායක සභාව ඔයාලා නේද කරන්න ඕනේ" කියලා.

පස්සේ ඉතින් හරියන්නේම නැති තැන මම වැඩේ බාර ගත්තා. Voice එක හදාගන්නත් එක්ක කියලා පන්සලෙන් හොඳ tea එකකුත් බීලා තව කොල්ලෙකුත් අල්ලගෙන speakers එහෙම බැඳලා වැඩේට set කරලා තිබුණු ත්‍රීවීල් එකේ අපි පිටත් වුණා.

මුලින්ම announcement එක කියන්න යද්දී මටත් අර කලින් දවසක කිව්ව The King's Speech film එකේ රජ්ජුරුවන්ට වුණු වැඩේ වෙයිද කියලා පොඩි බයක් නොතිබුණාම නෙමෙයි. මොකද මම මේ වගේ කොන්ත්‍රාත් එකකට ආවමයි.

ඒත් අවුලක් වුණේ නැහැ හොඳ වෙලාවට. මම ඉතින් " කරුණාවෙන් සවන් දෙන්න. මේ ඔබ අමතන්නේ සියඹලාපේ ශ්‍රී නාගවනාරාම විහාරස්ථ දායක සභාවේ ප්‍රචාරක අංශයයි...... බ්ලා බ්ලා බ්ලා................ කියලා නිවේදනේ කියෙව්වා.

පොඩි පොඩි විදිලි කිපෙකුත් වුණා :) එකම announcement එක 15 පාරක් විතර කියවලා මහන්සියෙන් ඉද්දී මාත් එක්ක ත්‍රීවිල් එකේ යන්න ආපු මල්ලිට මම කිව්වා " මල්ලී මට ඔය ගේකින් වතුර ටිකක් බොන්න ගේනවකෝ. හරි තිබහයි" කියලා.

පස්සෙයි මට මතක් වුණේ ඒ වෙලේ මයික් එක off කරන්න අමතක වුණා නේද කියලා :))


තව මම ගමේ announcement එක දීගෙන යද්දී අපේ එකෙක් මගේ phone එකට එක දිගට ring cut දෙනවා. Announcement එක කියවද්දී මට හිනා යන්නත් යනවා. පස්සේ මම යැව්වා message එකක් " disturb කරන්න එපා බන්, මම උඹේ නමත් ගමට ඇහෙන්න කියනවා" කියලා.

පොර එවනවා reply එක "අපි බයවෙයි ඕවාට" කියලා :))

හොඳම හරිය තමා announcement එක දෙන්නේ නැති වෙලාවට කරන්න ඕනේ බෞද්ධ ගීත කරන play එකනේ. ඒවා මොකක්වත් නැතිව play කළේ මගේ phone එකේ තිබ්බ දීපිකා ප්‍රියදර්ශනීගේ කවිය ඔබ, කරුණාරත්න දිවුල්ගනේගේ අතීතය සිහිනයක් පමණයි වගේ සිංදු set එකක්.

මගේ phone එකේ අමරදේව මාස්ටර්ගේ එක සිංදුවක්වත් තිබ්බේ නෑනේ බේතකටවත් :)) අද දායක සභාවේ රැස්වීමේදී කට්ටිය ඕක නායක හාමුදුරුවන්ට කියයිද දන්නේ නැහැ :)

අන්තිමට ඉති අපි වැඩේ ඉවරවෙලා පන්සලට වාර්තා කරද්දී 9 ට විතර ඇති. හිටිය හැමෝම හොඳ කිව්වා.

ලේකම් මහත්තයා කිව්වා " වැඩේ නියමයි පුතා. ලබන පාර ඔය පුතා මීට වඩා හොඳට ඕක කරයි කියලා මට විශ්වාසයි" කියලා [ ලබන පාරකුත් කොන්ත්‍රාත් එක මට දෙන්න තමා එයාගේ idea එක :)) ]

කොහොම නමුත් මටත් බැහැයි කියලා හිතිලා තිබුණු වැඩක් සාර්ථකව කරගන්න මට පුලුවන් වුණා. ඒ ගැන සතුටුයි.


ඔයාලත් ඒ විදිහටම මට බැහැ ඕවා, මට පුලුවන්ද ඕක කරන්න කියලා හිතන වැඩ ඇති. වැඩ කිව්වේ හොඳ වැඩ හරිද :) ඒවා බැහැයි කියලා හිතන්නේ නැතිව try කරලා බලන්න. හිතනවාටත් වඩා හොඳට ඒ වැඩේ ඔයාලට කරගන්න පුලුවන් වෙයි කියලා මට හිතෙනවා.

Sunday, January 30, 2011

The King's Speech film එක ගැන


කාලෙකට පස්සේ ඊයේ සිංහල බ්ලොග් අවකාශෙට ගොඩවෙලා කරක් ගහද්දී දැක්කා බයිස්කෝප් සිංහලෙන් site එකට රොයිලි ප්‍රනාන්දු සහෝදරයා දාලා තිබුණු අළුත් film එකක විස්තර. Film එකේ නම The King's Speech. ඒකත් එක්ක තිබුණු විස්තරේ නිසා කෝකටත් කියලා download කරලා බලන්න හිතුණා. මාත් ඉතින් ඔය ඓතිහාසික කරුණු කාරනා ගැන හොයන කෙනෙක් නිසාමයි හුඟක්ම මේක බලන්න හිතුණේ.


5 වෙනි ජෝර්ජ් රජතුමා

Film එකේ කතාව මෙහෙමයි මහා බ්‍රිතාන්‍යයේ රජකම් කරන 5 වෙනි ජෝර්ජ් රජතුමාගේ දෙවෙනි පුතා වුණු ඇල්බට් කුමාරයාට එහෙමත් නැත්නම් යෝර්ක් හි ආදිපාදවරයාට පුංචි කාලේ ඉදන්ම කතා කරද්දී ගොත ගැහෙන තත්වයක් තියෙනවා. මේකට ප්‍රතිකාර ආදිය දුන්නත් යහපත් මට්ටමක තියෙන්නේ නැහැ.

1925 අවුරුද්දේ පැවැත්වෙන අධිරාජ්‍ය ප්‍රදර්ශනයේදී පියරජතුමාගේ වෙනුවෙන් කතාවක් කරන්න ඇල්බට් කුමාරයාට පැවරෙනවා. ඒත් සුපුරුදු ප්‍රශ්නය මේකෙදීත් ඇතිවෙනවා. මේකට විසඳුමක් විදිහට ඇල්බට් කුමාරයාගේ බිරිඳ වෙන එළිසබෙත් කුමරිය සොයාගන්නවා ඕස්ට්‍රේලියානු ජාතික ලයනල් ලෝග් කියන කථන චිකිත්සකවරයාව.

ලයනල් ලෝග්

මේ රාජකීයයාගේ තියෙන රාජකීය අභිමානය නිසාම ලයනල් ලෝග්ට එක එක විදිහේ අපහසුතා ඇතිවුණත් සාර්ථකව ඔහු කටයුතු කරනවා. මෙහෙම යද්දී තමා ජෝර්ජ් රජතුමා මිය ගිහින් එතුමාගේ වැඩිමහල් පුතා 8 වෙනි එඩ්වඩ් විදිහට රාජ්‍යත්වයට පත්වෙනවා. ඒත් ඇමරිකානු ජාතික වොලිස් සිම්ප්සන්ව විවාහ කරගන්න යද්දී ඇතිවෙන යම් යම් ගැටළු නිසා 8 වෙනි එඩ්වඩ් රජතුමා රජකමෙන් ඉවත් වෙනවා.

ඒ නිසා ඇල්බට් කුමාරයා 6 වෙනි ජෝර්ජ් නමින් රාජ්‍යත්වයට පත්වෙනවා. එතුමාගේ අභිෂේක මංගල්‍යයේදීත් ලයනල් ලෝග් ගේ යම් යම් උපදෙස් අනුව කටයුතු කරලා ජෝරජ් රජතුමා එය සාර්ථකව නිමා කරනවා.

6 වෙනි ජෝර්ජ් රජතුමා සහ රජ පවුල

එතුමාට එන ලොකුම අභියෝගයක් වෙන්නේ 1939 දී ජර්මනිය යුද්ධ ප්‍රකාශ කිරීමත් එක්ක තමන්ගේ ජාතිය අමතලා කරන්න වෙන කතාව කරන එක. එතුමා ඒ කාර්යයත් එතුමාගේ කථන චිකිත්සකවරයා වුණු ලයනල් ලෝග්ගේ සහයෙන් සාර්ථකව ඉටු කරනවා.



6 වෙනි ජෝර්ජ් රජතුමා එදා කළ කතාව

පස්සේ රජතුමා ලයනල් ලෝග්ට කරන කෘතගුණ සැළකීමක් විදිහට "Royal Victorian Order" ප්‍රදානය 1944 දී ලබාදෙනවා.
Royal Victorian Order

ඒ වගේම රජතුමා මිය යනතුරුම හොඳම යාළුකමක් දෙදෙනා අතරේ පවතිනවා.

මේක තමා film එකේ කතාව.



ඉතින් මේ film එකට පාදක වෙන සත්‍ය කතාව ලබාගන්නේ රජතුමාගේ කථන චිකිත්සක ලයනල් ලොග්ගේ මුණුබුරන් වෙන මාර්ක් ලෝග් හා පීටර් කොන් රාඩි ලියන "The King's Speech: How One Man Saved the British Monarchy" පොතෙන්.

6 වෙනි ජෝර්ජ් රජතුමාව ලාංකිකයෝ විදිහට අපිට වැදගත් වෙන්නේ අපේ රට මහා බ්‍රිතාන්‍යයෙන් නිදහස් වුණු කාලයේ රාජ්‍යත්වය දැරුවේ එතුමා නිසායි. මේ film එක බලපු එකෙන් බ්‍රිතාන්‍ය රජ පවුල ගැන නොදන්න කරුණු හුඟාක් ඉගෙන ගන්න ලැබුණා. ඒ වගේම දැනගෙන හිටපු කරුණු තවත් හොඳින් මතකත් හිටියා.

රොයිලි අයියා කියන විදිහට මේ film එක,

"IMDB හොඳම චිත්‍රපට 250 ඇතුලත 117 වැනි ලබාගෙන ( 8.5/10 – ඡන්ද 16,792) ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයක් දිනාගන්න පවා මේ චිත්‍රපටය සමත් වුනා. ඒ වගේම මෙවර ඔස්කාර් සම්මාන උළෙලටත් මෙම චිත්‍රපටය සම්මාන 12ක් සඳහා නිර්දේශ විම් ලබලා තියෙනවා"

ඉතින් ඔයාලට මේක බලන්න කැමති නම් මෙතනින් බයිස්කෝප් සිංහලෙන් අඩවියට ගිහින් බාගන්න පුලුවන්.

නිල වෙබ් අඩවිය

විකී පීඩියා පිටුව

ප.ලි.: මෑත කාලින ඉතිහාසයේ සිදුවීම් පාදක කරගෙන හදන films වලට මගේ ලොකු කැමැත්තක් තියෙනවා. Public Enemies කියන්නෙත් මම ඒ වගේ කලින් බලපු film එකක්.


ඒකත් බයිස්කෝප් සිංහලෙන් site එකෙන් තමා දැනගත්තේ..........


Saturday, January 29, 2011

බණ පොඩ්ඩක්


ඊයේ හැන්දෑවේ මගේ හිතවතෙක් මට එව්ව message එකක් තමා මේ.

"බුදුරජාණන් වහන්සේ ඔබගේ සිතුම් පැතුම් හොඳින් හඳුනනවා. ඔබෙන් වැටෙන හැම කඳුළු බිඳක්ම උන් වහන්සේ බලා සිටිනවා. බුදු පියාණෝ කිසිම විටෙක ඔබ අත හරින්නේ නැහැ. හිතේ විශ්වාසයෙන් මේ SMS එක නව දෙනෙකුට යවන්න. හෙට සුභ ආරංචියක් අහන්න ලැබේවි."

මේක දැක්ක ගමන් මට හිතුණේ උප්පැන්න සහතිකේට විතරක් ආගම බුද්ධාගම වුණු කට්ටිය තමා මෙහෙම වැඩ කරන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ ගැලවුම්කරුවෙක් නොවන බව මුලින්ම වටහා ගන්න ඕනේ. මේක තවත් තේරෙන්න කියනවා නම් අපි බුදුන් වහන්සේ සරණ යනවා මිසක් උන් වහන්සේගෙන් පිහිටක් බලාපොරොත්තු වෙන්නේ නැහැ.

අපි පිහිටක් බලාපොරොත්තු වෙන්නේ දෙවියන්ගෙන් නේ. ඒකනේ බුදු සරණයි දෙවි පිහිටයි කියලා භාවිතයේ තියෙන්නේ. අපි කවදාවත් බුදු පිහිටයි කියලා එකක් අහලා තියෙනවාද ? බුදුන් වහන්සේ අසරණයන්ට පිහිට වුණු බව ඇත්ත.


ඒත් මේ message එකේ කියවෙන විදිහේ වැඩ බුදුන් වහන්සේ ජීවමානව හිටපු කාලයේදීවත් වුණේ නැහැ කියලයි මට හිතුණේ. බුදු හාමුදුරුවෝම වදාළේ තමන්ගේ විමුක්තිය තියෙන්නේ තමා තුළම කියලයි. ඒ වගේම තමන් වහන්සේ මග පෙන්වන්නෙක් පමණක් වන බවයි.

බුද්ධ ධර්මය අනුව පරම සැපය එහෙමත් නැත්නම් අවසාන බලාපොරොත්තුව වෙන්නේ නිවන් අවබෝධ කරගැනීමනේ. ඒක බුදු හාමුදුරුවෝ කරවන දෙයක් නෙමෙයිනේ. ඒක තමන් විසින් කළ යුත්තක්.

ඉතින් මම ඒ හිතවතාට පිළිතුරු වශයෙන් යවපු message එක තමා මේ

"දෙවියන්ගේ මට්ටමට බුදුන් වහන්සේව දමන්න එපා. අපි උන් වහන්සේ වදාළ මාර්ගය අනුගමනය කරන්න විය යුතුයි. ඒ නොමැතිව උන් වහන්සේගෙන් පිහිටක් බලාපොරොත්තු වන්නේ නම් එය බුදු දහම ගැන නිවැරදි අවබෝධයක් නොමැති බව පෙන්වීමක්. එසේම බුදුන් වහන්සේ ගැන අන්ධ භක්තියක් ඇති කරන, වැරදි මත පතුරවන මෙවන් වූ යැවීම තුළින් උතුම් බුදු ගුණවලට නිගරු කර අකුසල් සිදු කර නොගැනීමට කටයුතු කරන්න. නිවැරදි බුදු දහම වටහා ගැනීමට හැකිවේවා. තෙරුවන් සරණයි"

මේ විදිහේ එවන්න හේතුව තමා නිවැරදි දේ නිවැරදි දේ විදිහට තේරුම් නොයෑම. බුදුන් වහන්සේ මේ ගැන දේශනා කරපු ගාථා 2 ක් ධම්මපදයේ දැක්වෙනවා මේ විදිහට


අසාරේ සාර මතිනෝ සාරේ චාසාර දස්සිනො
තේ සාරං නාධි ගච්ඡන්ති මිච්ඡා සංකප්ප ගෝචරා

සාරඤ්ච සාරතෝ ඤත්වා අසාරඤ්ච අසාරතො
තේ සාරං අධිගච්ඡන්ති සම්මා සංකප්ප ගෝචරා

මේ ගාථාවල තේරුම වෙන්නේ සරු දෙය නිසරු දෙය හැටියටත් නිසරු දෙය සරු දෙය හැටියටත් දැකීම මිත්‍යා දෘෂ්ටිය වෙන බවයි. ඒ වගේම සරු දෙය සරු දෙය විදිහටත් නිසරු දෙය නිසරු දෙය හැටියටත් දැකීම සම්මා දෘෂ්ටිය වන බවයි.

ඉතින් සරු දෙය සරු දේ විදිහට වටහා ගැනීමේ හැකියාව ලබා ගන්න.

සැමට තෙරුවන් සරණයි


ප.ලි.: මම මීට කලින් බුදු දහම ගැන ලියපු ලිපි කියවන්න කැමති නම් මෙතන කොටන්න. ඒ වගේම මේ ධම්මපද ගාථා දෙක නිවැරදිව ලබාදුන්නු එප්පාවල සාගර සුමන හාමුදුරුවන්ට නමස්කාර පූර්වක ස්තුතිය පුද කරන්න කැමතියි

Friday, January 14, 2011

හරි අපූරු දවසක්

ඊයේ දවස හරිම අපූරු දවසක් මට. උදේ ඉදන්ම හරිම අපූරු දේවල ගොඩක් නෙමෙයි ගොඩා................ක් වුණු දවසක්.


උදෙන්ම පටන් ගත්තොත් මේ දවස් ටිකේම උදේ 8 ට lectures තිබුණු නිසා හැමදාම වගේ උදේ 5 ට විතර නැගිටලා කැම්පස් යන්න ලෑස්ති වෙන්න සිද්ධවෙලා තිබුණේ. ඊයේ උදේ 10 ට lectures පටන් ගන්න නිසා මම හිතුවා 8 විතර වෙනකම් සැපට නිදියනවා කියලා.

කොහෙද 6 විතර වෙද්දී පුරුදු විදිහටම ඇහැරුණා:( අම්මෝ නිකම් නුවර එළියේ ගියා වගේ පට්ට සීතලයි. පස්සේ මම අල්මාරිය අවුස්සලා මගේ තිබුණු jersy එකකුත් දාගෙන තමා හිටියේ සීතලට.

උදේම වැඩ වගයක් තිබ්බ නිසා කෝකටත් කියලා ලෑස්තිවෙන්න පටන් ගත්තා. මම උදේට හැමදාම නානවා. ඒක කරන්න වුණේ නැත්නම් දවසම නිකම් අප්සට් වගේ. ඉතින් දත මැදලා නාලා කරලා ඊටත් පස්සේ ඇඳුම් කාරියේ එහෙම ඇඳලා කෑමත් කාලා කැම්පස් එන්න ගෙදරින් එළියට බැස්ස විතරයි පට්ටම සීතලයි.

උදේම නාපු නිසා ඒක වැඩියිද මන්දා. සීතල වැඩි නිසාම කලිසමේ සාක්කු දෙකේ අත් දාගෙන තමා හිටියේ. හන්දියෙන් බස් එකට නැග්ගාම දැක්කේ බස් එකේ වීදුරු එකක්වත් ඇරලා නැහැ. ඒ තරටමට සීතලයි.

බස් එකෙන් කිරිබත්ගොඩදී බැස්සා Luxman Studio එකට යන්න අපි 1st Year History කරන ළමයි පිළිගන්න කරන Welcome Party එකේදී එයාලට දෙන්න sticker එකක් print කරන්න දීලා තිබුණා ඒක ගන්න. එතනට ගිහින් ඒක ගත්තාම ලොකු රෝල් කරපු කොළයක් දුන්නා මට.

මම ඇහුවා "ස්ටිකර් කපලා දෙන්නේ නැද්ද ?" කියලා.

ඒ අක්කා කියනවා "ස්ටිකර් කපලා දුන්නාම සමහර අය අහනවා ඇයි කැපුවේ කියලා. ඒක නිසා අපි අහලා තමා ස්ටිකර් කපන්නේ" කියලා.

එතන ස්ටිකර් 100 ක්. කපපල්ලකෝ නිකම් ඉන්න එකේ :)) පිස්සු හැදෙයි. මම කිව්වා ඒක කපලා දෙන්න කියලා. පස්සේ ඒක එතනින් කපා ගත්තා.

දැන් එතන ඉදන් කැම්පස් එකට ආයි බස් එකේ යන්න ඕනෙ නේ. ටිකක් කම්මැලියි වගේ. අපිත් එක්ක History කරන පොරක් ඉන්නවා නෝබා කියලා. බයික් එකේ තමා කැම්පස් එන්නේ. මම manට call එකක් දීලා බැලුවා. එයා කඩවත හරියේ හිටියේ. පස්සේ මාවත් දාගෙන කැම්පස් එකට ආවා.

එතන කතාව කියන්නේ මට හෙල්මට් එකක් තිබුණේ නැහැ දාගෙන යන්න.

පොර කිව්වා " අවුලක් නැහැ බන් ශේප් එකේ යමු" කියලා.

මුලින්ම කිරිබත්ගොඩ YMBA එක ගාව Traffic පොරක් හිටියා. අපිව දැක්කේ නැහැ. ඊළඟට ලක්සැල ගාව. ඊටත් පස්සේ තුන්මං හන්දියේ. අන්තිමටම ඊරියවැටිය හෝල්ට් එක හරියේ. අන්තිමට හිටිය Traffic පොර නම් අපිව හොඳටම දැක්කා. ඒත් මොකුත් අවුලක් නැහැ.


Traffic Police දෙන්නෙක් පහුවෙද්දීම මම කිව්වා "නෝබා මාව මේ හරියෙන් බස්සපන්. හැමතැනම වගේ කාරයෝ. මගේ බොක්කත් එක්ක රත්වෙලා තියෙන්නේ. කාපුවත් එනවා වගේ උගුරට" කියලා :))

Man කියනවා "බය නොවී හිටපන් බන් අපිව අල්ලන්නේ නැහැ" කියලා. අන්තිමට යහතින් කැම්පස් එකට ආවා. මට මතක් වුණේ මම කලින් දවසක බයික් එකේ රාජගිරි ගිය ගමන.

පස්සේ ඉතින් 10 ට lecture එකට ගියා. Fan එකක්වත් දැම්මේ නැහැ. පට්ට සීතලයි නේ. Lecture එක පටන් අරන් ටික වෙලාවක් යද්දී මට පේනවා අපි ඉන්න buliding එකේ හෙවණැල්ල එහා building එකට වැටෙනවා. හෙවණැල්ල වැටෙන්න නම් අව්ව වැටෙන්න ඕනේ නේ.

මට මාර සතුටක් ආවා ඇති යන්තම ඉර පෑව්වානේ කියලා:) ඇයි ඉතින් ඉරිදා ඉදන්ම අව්වක් තිබ්බේ නැහැනේ. Lecture එක ඉවරවෙලා දුවගෙන එළියට ආවා අව්වට පොඩ්ඩක් යන්න. අව්ව තිබ්බට වැඩක් නැහැ පට්ට සීතලේ අඩුවක් නැහැ.

First Year Welcome එකේ prinouts වගයක් ගන්න කැම්පස් එකේ පහළට යද්දී නිකමට වගේ බුදු පිළිමේ හරියෙන් පේන සපුගස්කන්දේ එක දිහා බලපුවාම photos වලට එහෙම දැකලා පුරුදු කන්දක් පේනවා.


බැලින් නම් සිරිපාදේ තමා ඒ පෙන්නේ. මට මාරම සතුටක් ආවේ. ඒ විදිහට සිරිපාදේ අපේ පැතිවලටත් පේනවා කියලා අහලා තියෙනවා මිසක් ඇත්තටම දැකලා තිබ්බේ නැහැ. පස්සේ එතන ඉදන් එතනින් යන්න ආපු කීප දෙනෙක්ටම සිරිපාදේ පෙන්නුවා. සමහරුන්ට ෂුවර් නැහැ. මේ වෙන මොකක් හරි කන්දක් කියලා. කැමරාවක් තිබ්බෙත් නැහැ photo එකක්වත් ගන්න :(

නිකම් ඉන්න බැරුවට ඒක මම FB Status එකක් විදිහටත් දැම්මා :) prinouts ටික අරන් ඇවිත් Welcome party එක කරන්න hall එකක් හොයන්න Dean Office එකටයි, History Department එකටයි, Econ Department එකටයි සැරින් සැරේ තුන් හතර පාරක්ම ගියා.

වැඩේ හරි ගියෙත් නැහැ නිකම් පෙට්‍රල් විතරයි:( පස්සේ ඒ වැඩෙත් කල් ගියා. බඩත්ගිනි මේ වෙද්දී. සෙට් එක එකතුවෙලා කෑවා.

ඊට පස්සේ ආයි වැඩකට පහළට යද්දී බැලුවා සිරිපාදේ පේනවාද කියලා. ම්හු.... සිරිපාදේ පේන්නේ නැහැ වළාකුළුවලට වැහිලා.

ඊට පස්සේ මගේ හොඳ......ම හිතවතෙක් එක්ක කතා කර කර හිටියා කාලෙකට පස්සේ :))

ඊටත් පස්සේ එයාත් එක්කම වළේ තිබ්බ චිංගීස් ආයිත්මාතව්ගේ ගුරු ගීතය නැවත කියවීම කියලා තිබ්බ discussion එකට ගියා. කලිනුත් මම කියලා ඇතිනේ ඔය රුසියන් පොත් ගැන මගේ taste එක.


කොහොම වුණත් මීට හුඟකාලෙකට කලින් තිබ්බ හරවත් සාකච්ඡා, සංවාද ආයි පාරක් කැම්පස් එකේ ඇති කරන්න ගත්තු උත්සාහයක් තමා ඒක. මහාචාර්ය ජිනදාස දනන්සූරිය සර් වගේම චින්තක සර් මේකට ඇවිත් තිබුණා. හැම පීඨයකම වගේ මේවාට ඇල්මක් තියෙන ළමයි ඇවිත් හිටියා.

ඒක ගැන වෙනම post එකක් ලියන්න ඉන්න නිසා වැඩි දෙයක් මෙතනදී කියන්නේ නැහැ. වටිනා පැය දෙකක් හරවත් සංවාදයක හිටියා කිව්වොත් නිවැරදියි. ඒකත් ඉවරවෙලා පහළට එද්දී තව යාළුවෙක් හම්බුණා. එයාට බෝඩිමක් බලන්න යන්න ඕන වෙලා ඒකටත් එයා එක්ක ගිහින් අන්තිමට ගෙදරට කරද්දී රෑ 8 විතර වුණා.

කොහොම නමුත් දවස නම් පට්ටම පට්ට :)

ප.ලි.: අදත් යන ගමන් සිරිපාදේ පේනවද කියලා බලාගෙන යන්න ඉන්නේ. අනේ මන්දා ඒක දැක්ක වෙලාවේ ඉදන් මට මාර සතුටුයි :)