Saturday, September 10, 2011

වානගුරු සර්

Science Class එකේ ඉදන් Arts Class එකට නික්මන් කළාට පස්සේ Arts Sectional Head ෂ්‍යාමෙන් මිස් Arts Subjects categorize කරලා තිබුණු කොළයක් මට දීලා ඒ category තුනෙන් කැමති subjects 3 ක් තෝරගන්න කියලා කිව්වා.

මුල්ම category එකෙන් මම හුඟක් කැමති History ත් දෙවෙනි category එකෙන් කලු කපුටෝ සුදු කරන Logic ඒ වගේම අන්තිම category එකෙන් මටත් දේශපාලනේ කරන්න පොඩියට වගේ idea එකක් තියෙන නිසා Political Science ත් තෝරගත්තා.

Political Science එහෙමත් නැත්නම් දේශපාලන විද්‍යාව period එක වෙලාවට අනිත් periods එහෙම කට් කරන අපේ අයියලා ටිකත් ඔක්කොම වගෙ පංතියේ හිටියා. මට තේරුණා සර් නම් පොරක් බව. Period එක වෙලාවට කට්ට කලු හැබැයි පට්ට සුදු දත් ටිකක් තියෙන වානගුරු සර් පංතියට ආවා.

වානගුරු සර්

පාඩම් කියල දෙන විදිහත් සර්ගේ නියමයි. මගෙන් ප්‍රශ්න දෙක තුනක් අහලා මට ලියාගන්න බැරිවුණු notes එහෙමත් සම්පූර්ණ කරගන්න කියලා සර් කිව්වා. පංතියේ set එකෙන් දැනගන්න ලැබුනු විදිහට සර් NCC Captain කෙනෙක්. අලුතින් ඉස්කෝලෙට ඇවිත් තියෙන්නේ. ශිෂ්‍ය භටයන් භාරව ඉන්නෙත් සර්ම තමා.

ඉතින් A/L කරපු අවුරුදු දෙකේ රසවත් සිද්ධි බොහොමයි. කොල්ලෝ සර්ට දාලා තිබුණු කාඩ් එක තමයි ඩැඩී. මොකද සර්ගේ නමේ මුල් අකුරු තුන තමයි D.A.D . ඒ වගේම ආදරේට වගේ "වානේ" කියලා නම කෙටි කරලත් කිව්වා.

සර් හැමෝටම එකම හැන්දෙන් තමා බෙදුවේ. පංතියේ ඉන්න කොච්චර දක්ෂ ළමයෙක් වුණත් වැරැද්දක් කළොත් දඬුවම් දෙන එක සර් කළා. මට ඒක හොඳටම මතක පංතියේ Political Science වලට හෙණම මීටරෙන් හිටිය ඕෂධිටත් මොකක් හරි සීන් එකකට දඬුවම විදිහට ඩෙස්ක් එක යටට රිංගන්න කියපු එක.

පංතියේ සර්ත් එක්ක කිසි ගේමක් නැතුව හොඳට ඉන්න නම් කරන්න තිබුණේ එකම එක දෙයක් "සර් පාඩම ඉගැන්වුවාම හොඳට ප්‍රශ්න අහන්න ඕනේ" ඒ method එක දැනගෙන හිටිය අපි කීප දෙනෙක්ම සර් එක්ක හොඳට හිටිය කිසි අවුලක් නැතුව.

එක පාරක් term test එකේ political science paper එක වෙලාවේ සර් පංතියේ ඉද්දිම මම මගේ එහා පැත්තේ හිටිය එකාට MCQ උත්තර ටික පෙන්නුවා.

පහුවෙනිදා උදේම සර් ඇවිත් අපි දෙන්නට කතා කරලා කියනවා "හසිතගෙත් MCQ paper එකේ 38 ක් හරි, අකලංකගෙත් MCQ 38 ක් හරි. හසිතගේ 14, 25 ප්‍රශ්න වැරදියි, අකලංකගෙත් ඒ ප්‍රශ්නම වැරදියි. මෙතන වුණේ මොකක්ද කියලා මම අනිවාර්යයෙන් හොයලා බලනවා" කියලා.

පස්සේ ඉතින් ඇත්තටම වුණු සිද්ධිය අකලංක සර්ට කිව්වා. පස්සේ සර් කියනවා "මට කේන්ති උඹලා දෙන්නා කොපි කරපු එකට නෙමෙයි. මෙතන මම පංතියේ ඉද්දිම උඹලා දෙන්නා මගේ කනෙන් රිංගලා මේ වැඩේ කරපු එකට" කියලා :))

කොහොම හරි අන්තිම දවස්වල අපි ඉස්කෝලේ යන්නෙත් නැහැනේ. සර් ගෙදරත් අපේ ළමයින්ව තියාගෙන ඉගැන්නුවා. මට නම් ඒවාට යන්න වුණේ නැහැ. මොකද මම කියලත් ඇති අපේ Logic මිස්ගේ නේවාසික පාඨමාලාවත් මට සෙට්වෙලා තිබුණනේ.

අපේ අන්තිම parents meeting එකේදී සර් අපේ තාත්තත් එක්ක මට පලු යන්න බැන්නා මම ඒ classes වලට ආවේ නැහැ කියලා. කොහොම හරි A/L Political Paper එක ලියලා ඉවරවෙලත් මම මුලින්ම සර්ට කතා කරලා paper එක ගැන විස්තරේ කිව්වා.

සර් ගැන මට තියෙන සොඳුරුම මතකය ගැන තමයි මේ කියන්න යන්නේ. මට උගන්වපු හැම ගුරුවරයෙක්ටම මම පොඩි තෑග්ගක් දුන්නා. තෑග්ග තමයි E.R. බ්‍රේත්වෙට් ලියපු To Sir with Love පොතෙන් මුදිත ගුණතිලක සිංහලයට පරිවර්තනය කරපු "ගුරු තරුව ඔබයි" පොත. මේ පොත ගැන මම මීට ඉස්සෙල්ලත් කියලා තියෙනවා. කැමති නම් කියවලා බලන්න.

To Sir with Love පොතෙන් තැනුණු චිත්‍රපටිය

ඒ වගේම මම පොතේ මුල් පිටුවේ පොඩි නිසඳැසකුත් ලියලා තිබුණේ.

පිපෙන්නට ළං වූ
මල් කැකුළකට
උපකාරයක් වූ
හිරු කිරණක් මෙන්
ජීවිතයේ බාධක මැද
අභියෝග මැද
ජයග්‍රහණය කර යන්නට
ඔබෙන් ලද මඟ පෙන්වීමට
ඔබට පිදෙන ප්‍රණාමයි
දයාබර ගුරු පියාණෙනි

ඒ දවස්වල ඒ කියන්නේ After A/L කාලේ අපි Senior Prefectsලා විදිහට ඉස්කෝලේ ඉන්න කාලේ. පොත දීලා දවස් දෙක තුනකට පස්සේ මට වානගුරු සර්ව හම්බුණා.

සර් කිව්වා "හසිත මෙච්චර කාලෙකට මගේ ගෝලයෙක්ගෙන් මට හම්බුණු අමතක නොවෙන තෑග්ගක් තමයි ඒ පොත. මම ඒක එක හුස්මට කියෙව්වා. ඇත්තටම වටින කියන පොතක්. මම ඒක Principalටත් ගිහින් දුන්නා කියවන්න. මගේ ගෝලයක් මට දීපු තෑග්ගක් කියලා"

පස්සේ A/L Results ඇවිත් මට Law Faculty යන්න පුලුවන්කම තියෙද්දිත් කැලණි Campus එකේ History කරන්න යන්න හදන එක ගැන සර් හුඟාක් දුක් වුණා වගේම දවසක් සර් පංතියක උගන්වන වෙලාවක මට එන්න කියලා පංතියේ ළමයින්ටත් මගේ කතාව කියලා මාව හුඟාක් වර්ණනා කළා.

අර කලින් කතාවේ ඉතුරු ටික වගේම හොඳම ටික තමයි මේ.

දවසක් ඕෂධී [අර ඩෙස්ක් එක යට රිංගලා හිටිය පොර] කතා කරලා කිව්වා. වානගුරු සර්ව දෙහිවල දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයට transfer කරලා. සර් තමයි දැන් ඒ ඉස්කෝලේ අලුත් Principal කියලා.

මම සර්ට wish කරන්න call එක ගත්තාම සර් කිව්වා "මම හසිතට කතා කරන්න හිටියේ. අලුත් ඉස්කෝලෙට ගිහින් තමා දවස් තුනයි. ඉස්කෝලට ගිය මුල්ම දවසේ මම Staff meeting එකක් ගත්තා.

ඒකෙදී ඔයා මට දීපු පොත පෙන්නලා, ඒ පොත මට දීපු ගෝලයා ගැනත් කියලා හැම ගුරුවරයෙක්ටම ඒ පොත අනිවාර්යයෙන්ම හොයාගෙන කියවන්න කියලා මම කිව්වා"
කියලා......

ගෝලයෙක් විදිහට මට ඇත්තටම ඒ කතාව අහපුවාම හරිම සතුටුයි :)

ඉතින් තව තවත් දැයේ දරුවන්ගේ අනාගතය යහපත් කරන්න සර්ට හැකිවෙන්න කියලා හදවතින්ම මම ප්‍රාර්ථනා කරනවා

සර් අලුත් ඉස්කෝලේ කරන වැඩ ගැන මේ එකෙන් දැනගන්න පුලුවන්

http://www.dehiwalacentral.edu.lk/

ප.ලි.: හදිසියේම මේ කතාව කියන්න මතක් වුණේ මගේ අම්මත් ගුරුවරියක්. අම්මලාගේ ඉස්කෝලේ ළමයි ගිය අවුරුද්දක් ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්මලාටත් දීලා තිබුණේ ඒ පොත. ඒක මේ ළඟදී කියෙව්වා. ඒකත් එක්කම ඒ පොතත් එක්ක බැඳුණු මගේ සුන්දර මතකයත් සිහිය ආවා.................

ප.ප.ලි.: ලියන්නම් කියලා කිව්ව කතා list එකෙන් පිට කතාවක් තමයි මේක. මහින්දාගමනය film එක ගැන post එක ලියලා ඉවරයී. ඒකේ තියෙන අඩුපාඩු ටික හරියටම නිවැරදි කරගත්තාට පස්සේ ඒක publish කරන්නම්.

තෙසැත්තෑ බුද්ධ ඤාණ පූජා පිංකම ගැන විස්තර ඔක්කොම හොයාගෙන තියෙන්නේ. post එක ලියන්න විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ ඔක්කෝම comming soon :))

මුට මොකද වුනේ කියලා කීප දෙනෙක් හොයලත් තිබ්බා. ඒ හැමෝටමත් පින් :)

Sunday, August 14, 2011

ගමට දිවියෙක් ඇවිත්

සි‍යඹලාපේ ඒ කියන්නේ අපේ ගමේ මිනිස්සුන්ව ත්‍රාසයෙන් භීතියෙන් මුසපත් කරපු සිද්ධියක් ගැනයි ඔයාලට කියන්න යන්නේ......

එදා වෙනදා වගේම හොඳට ඉර පායපු දවසක්. එදා උදේම මට පන්සලට යන්න වුණා දහම් පාසලේ වැඩ වගයක් ගැන පොඩි හාමුදුරුවොත් එක්ක කතා කරන්න. පොඩි හාමුදුරුවොයි මායි කතා කර කර ඉද්දී තමයි නායක හාමුදුරුවෝ මට කතා කලේ. ඒ වෙලේ ආවාසේ ගාව මිදුලේ පොලිස් ජීප් එකත් නවත්තලා මීගහවත්ත පොලීසියේ රාළහාමිලා දෙන්නෙකුත් හිටියා.

මොකක්ද හුටපටේ කියලා හිතන්න කලින්ම නායක හාමුදුරුවෝ කිව්වා

"හසිත, ගෝල්ඩන් එකේ පිට්ටනිය ඉස්සරහ පාරේ කට්ටිය දිවියෙක්ව අල්ලගෙන ඉන්නවා. මේ පොලීසියේ රාළහාමිලාට එතනට යන්න පාර පෙන්නන්න" කියලා.

නයි කයිද රෝස් පාන් කිව්වලු. දිවියෙක් ???? අපේ ගමේ. ලංකාවට තිබුණු කොටි ප්‍රශ්නේ ඉවර වුණු ගමන් සියඹලාපෙට දිවි ප්‍රශ්නේ.......

"හරි එහෙම නම් රාළහාමිලා මගේ පිටිපස්සෙන් එන්න" කියලා මම ආපු මෝටර් බයික් එකට මම නැග්ගා.

පොලිස් ජීප් එක මගේ බයික් එක පිටිපස්සෙන් එනවා. මාත් බයික් එකේ උත්සවවල පෙර ගමන් යන බයික් එකක් වගේ ඉස්සරහින් යනවා.

මට කියන්න අමතකත් වුණා. ඒ වෙලේ මම හෙල්මට් දාලත් නෙමෙයි හිටියේ. කොහොමද ඒක :))

හොඳම කතාව මම කලින් දවසකත් කිව්වා වගේ "මට ලයිෂනුත් නැහැ, බයික් එකට ල‍යිෂනුත් නැහැ" කොහොම වුණත් ගමට දිවියෙක් ආවා කියපුවාම ඕවා වැඩක් තියෙනවාද.

ජාතික අවශ්‍යතාව වෙනුවෙන් සමාවෙන්න ග්‍රාමීය අවශ්‍යතාව වෙනුවෙන් අපි කැපවෙන්න ඕනේ නේ :)

හාමුදුරුවෝ කිව්ව පිට්ටනිය ඉස්සරහ පාර ගාවට යද්දී පාර දෙපැත්තේ සෙනඟ සූ ගාන්න. පාර දිගේ ඉස්සරහට යන්නත් බැහැ. ඒ තරමට සෙනඟ දිවියා බලන්න ඇවිත්. පොලිස් ජිප් එකත් එක්ක ආපු නිසා මාත් ගියා ඉස්සරහටම.

ගිහින් බැලුවාම හිටිය දිවියා මෙන්න................

අනේ අනිච්චං උදේ පාන්දරම දෙන ගොන් ආතල් කියලා මට හිතුණා. ත්‍රාසය භීතිය දනවන සියඹලාපේට ආපු දිවියා තමා මූ.

බළලෙක්ට වඩා ලොකු, බල්ලෙක් සයිස් මුට කියන්නේ හඳුන් දිවියා කියලාලු. මම හිතුවේ සිරාවටටම පෙරිය සයිස් දිවියෙක් කියලා. මෙන්න මේ වගේ

මේ සතා රෑ ඒ ළඟ කෙනෙකුගේ ගෙදර මිදුලේ කපලා තිබුණු වළකට වැටිලා ඉදලා තමයි හොයාගෙන තියෙන්නේ. මේ සතාගෙන් එච්චර හානියක් නැහැ කැලේ කිට්ටුවට අරන් ගිහින් අතාරින්න කියලා පොලිසියේ රාළහාමිලා කියලා එයාලා යන්න ගියා.

මාත් ගෙදර ගිහින් ඉක්මණට කැමරාව අරන් ආවා photos දෙක තුනක් ගන්න. ගමේ මිනිස්සු ටික මේ සතාට දුන්නු වදයක්. කකුල් හතරම බැඳලා, කටත් බැඳලා තිබ්බේ හරියට හෙණ කොටියෙක් අල්ලලා වගේ.


ඒ අස්සේ ගොන් ජොකියෙක් මුගේ වලිගේ අල්ල අල්ල කියනවා "කොටි වලිගේ ඇල්ලුවා කියලා කියමනක් තියෙන්නේ. ඔන්න මම කොටි වලිගෙකුත් ඇල්ලුවා" කියලා.

තව සමහරුන්ට සිහිය ස්වර්ණවාහිනියට කියන්න අටපට්ටමට කියන්න. කියලා ටීවී එකට මූනත් තහඩුව දාගන්න. තව සමහරුන්ගේ කතාව දෙහිවල සත්තු වත්තට ගිහින් මූව බාරදෙන්න.

එතන ඉන්න කාටවත් පොලිසියෙන් කිව්වා වගේ සතා අතාරින්න උවමනාවක් නැහැ. එතන හිටිය පණ්ඩිතයොත් එක්ක ඕවා කතා කරන්න මම ගියේ නැහැ. මම ගෙදර එන්න ආවා.

අපේ උන්දැලා ටික ඒ සතාට මොකක් කළාද මන්දා...... සතා මළාද දන්නෙත් නැහැ අපේ අයියලා සතාට දුන්නු වදවල හැටියට. ඒ සතා ගැහැණු සතෙක් කියලත් පේන්න තිබුණා. පැටව් එහෙමත් ඉන්නවාද දන්නේ නැහැ.

මේ වගේ සත්තු හම්බුණාම ගොන් පාට් නොදා කරන්න ඕනේ දේ ගැන මිනිස්සුන්ගේ දැනුවත් බවේ තියෙන අඩුව නිසා නිරපරාදේ සත්තු මැරෙනවා.

සත්තු වත්තට ගිහින් දෙන එක ඒ වෙලේ කිව්වාම කෙනෙක් කිව්වේ "එයාලගේ වත්තෙන් නයෙක් අල්ලලා ඌව සත්තු වත්තට ගිහින් දුන්නට සතයක්වත් හම්බුණේ නැහැ. ඒ වැඩෙන් වාහනේ ඩීසල් ටිකයි වෙලාවයි තමා නාස්ති වුණේ" කියලා.

මේ ගැන නිසි අවබෝධයක් දෙනවා නම් සතුන්ගේ ජීවිතත් පරිස්සම් වෙයි.

වැඩිදුර හඳුන් දිවියෝ ගැන කියවන්න ඕනේ නම් පත්තරේක ගිය හඳුන් දිවියෙක් ගැන කතාවක් මෙන්න

ප.ලි.: දිවියෝ ඇල්ලුවා කියලා පොඩි සයිස් හඳුන් දිවියෝ අල්ලන එක වගේ නෙමෙයි. මේ නම් රියල් වැඩක්.

කඩුවෙල බෝමිරියේ ඉන්න අපේ බාප්පා කෙනෙක්ගේ වත්තේ ඉදලා අහුවුනු රියල්ම රියල් තිත් පොළඟෙක් තමා මේ. සාමාන්‍යයෙන් තිත් පොළඟාගේ දිග අඩි 4 ක් විතරලු වෙන්නේ. මූ අඩි 6 ක් විතර දිගයි.

ලෝකේ විසකුරු සර්පයන්ගෙන් 7 වෙනියට තමා මූ ඉන්නේ. කොහොමද මේක ????

වැඩිදුර කියවන්න තිත් පොළඟා ගැන අපේ බ්ලොග් සහෘදයෙක් වෙන ප්‍රියන්ත අයියා ලියපු ලිපියක්

Friday, August 12, 2011

දැන් ඉතින්.......


කලින් කිව්වා වගේ තියෙන ප්‍රශ්න විසඳන්නත් අලුත් ප්‍රශ්න ඇතිකර නොගන්නත් උත්සහ ගන්නවා කීයලා කිව්වාට ඒකත් ලේසු පහසු වැඩක් නෙමෙයි. ඒ කොහොම වුණත් කලින් හිටිය මොකක් හරි තත්වෙකින් ක්‍රම ක්‍රමයෙන් මිදිලා දැන් ටික ටික සුපුරුදු තත්වයට එන්නයි හදන්නේ.

මෙච්චර දවසක් මේ මනුස්සයාට මොකද වුණේ කියලා හරි හොයලා බලපු, හොයලා බලන්නේ නැතුව පාඩුවේ හිටපු හැමෝටම ස්තුතියි :)

විශේෂ ස්තුතියක් අපේ මාරයා එහෙමත් නැත්නම් චතුෂ කුමාර සහෝදරයාට

මේ දවස්වල බරටම වැඩ තිබුණත් "Back to business" කියලා වැඩ පටන් ගන්න ඉන්නේ.

මෙන්න Comming soon කතා සැට් එක
  • මේ දවස්වල හුටපට
    [හුටපට වුණත් ගත යුතු යමක් ඇතැයි සිතමි]
  • තෙසැත්තෑ ඤාණ පූජා පිංකම [හරි අක්කාගේ ඉල්ලීමකට බොහෝ දෙනාගේ හිතසුව පිණිස, දැක සතුටු වීමට ලියන එකක්]
  • මහින්දාගමනයට මහා shot එකක් [නිධාන කතාවක් එක්ක දෙන හොඳ [මම හිතන විදිහට] shot එකක්]
  • ගමට දිවියෙක් ඇවිත් [සියඹලාපේ ග්‍රාමය භීතියෙන් මුසපත් කළ ඒ ලොමු දැහැ ගැන්වෙන දිවියාගේ අන්දරය]

Saturday, July 16, 2011

ප්‍රශ්න පිට ප්‍රශ්න


තමන් ජීවත් වෙනවා කියා දැනෙන්නේ ප්‍රශ්න එනවිටය. ප්‍රශ්න විසඳා ගැනීමට නොහැකිව සිය දිවි නසා ගන්නේ ජීවත් වෙන්න බැරි තැනය.

ප්‍රශ්න නැති ජීවිතය පරිප්පු නැති හෝටලය වැනිය. සමහරුන්ට ප්‍රශ්න නැති විට එයද ප්‍රශ්නයකි.

ප්‍රශ්න එන විට එක දිගට ප්‍රශ්න එන්නට ගැනීමද ප්‍රශ්නයකි..

අල්ලා ගැනීම ප්‍රශ්නයට මුලය. සියල්ල කෙරෙහි ඇති බැඳීම් අත්හල විට එය ප්‍රශ්නයක් නොවන අතර එයින් මින් මත්තටද ප්‍රශ්න ඇතිවීමෙන් මෙන්ම ඇති කරගැනීමෙන්ද වැළකිය හැක.

මම ද හැකිතාක් උත්සහ කරන්නේ තිබෙන ප්‍රශ්න විසඳීමට මෙන්ම අලුත් ප්‍රශ්න ඇතිවීම වැළැක්වීමටය.

එය කළ හැකිද යන්න සැබවින්ම ප්‍රශ්නයකි...........

ප.ලි.: මේ බ්ලොග් එක දැන් කලාතුරකින් ලියවෙන්නේද, බ්ලොග් එක ලිවීමද මට ප්‍රශ්නයක් වී ඇති නිසාය.

Monday, June 20, 2011

සමුගනිමි............... Farewell............



තනිය මට ද මගේ තනිය මකාලන්න එනවද
සිහින මට ද සිහිනෙන් දැකගන්න එනවද
කඳුළු මටද දෑසේ වියළෙන්න දෙනවද
දුකම මට ද මගේ දුක විඳගන්න දෙනවද



Sunday, June 19, 2011

අද කාලේ අන්දරේලාට

අන්දරේ කියපු ගමන් අමුතු අටුවා, ටීකා, ටිප්පණි ඕන වෙන්නේ නැහැ හඳුන්වලා දෙන්න. මහනුවර යුගයේ රාජ සභාවේ කවටයෙක් ඒ වගේම කවියෙක් විදිහටත් රජතුමාව සතුටෙන් තියන්න හිටපු කෙනෙක් විදිහට බොහොම කෙටියෙන් අන්දරේ ගැන කියන්න පුලුවන්. බොහෝ වෙලාවට අනුමාන කරන්නේ රාජාධි රාජසිංහ රාජ සමයේ [ක්‍රි.ව 1782-1798] අන්දරේ වාසය කරන්න ඇතියි කියලා.

කොහොම නමුත් අන්දරේ කරපු විහිළුවලින් ඇස් රතු වුණත් ඒකෙන් මොකක් හරි විනෝදයක් තිබුණා. ඒ වගේම ඒ විහිළුවලින් මහජනතාවට හානියක් වුණෙත් නැහැ. ඒත් අද කාලේ රජ වාසල්වල ඉන්න සමහර කවටයන් කරන විහිළු නිසා හුඟාක් වෙලාවට මහජනතාවට හිරිහැරයක් වෙනවා කියන එකත් කියන්න ඕනේ.

කොහොමින් කොහොම හරි අන්දරේ ගැන මට මතක් වුණු කතන්දරේ මේකයි.

දවසක් අන්දරේ රජතුමා මුණගැහෙන්න ගිහින් රජතුමාගෙන් ඉල්ලීමක් කළා. ඒ තමයි තමන්වත් ඇමතියෙක් විදිහට උසස් කරන්න කියලා. අන්දරේ ඒ වෙනකොට රජ වාසල කවටයා කියන post එකේනේ හිටියේ. සමහර විට අන්දරේගේ wife කියන්න ඇති ළමයින්ට ඒකට ලැජ්ජ හිතෙන්න පුලුවන් කියලා. ඇමතියෙක් වුණාම ඊට වඩා place නේ. වෙන මොකුත් ඕනේ නැහැ අද කාලේ ඇමතිවරුන්ට තියෙන place එක පේනවානේ :))

මේ කතාව අහපු රජතුමා එක පාරටම අන්දරේව ඇමතියෙක් කරන්න ලෑස්ති වුණේ නැහැ. ඒකට අද කාලේ නම් හුඟාක් අයව ඇමතිවරු කරන්නනේ රජවරු කරන්නේ :)) රජතුමා අන්දරේට පොඩි test එකක් දුන්නා.


Test එක තමයි වරායට ගිහින් එතන විස්තරේ බලන් එන්න කියන එක. අන්දරේත් ක්ෂණිකයෙන් වරායට ගිහින් පුලුවන් තරම් ඉක්මණින් ආපහු රජ වාසලට ඇවිත් රජතුමාව බැහැදැකලා කිව්වා "දේවයන් වහන්ස වරායේ නැව් නම් ගොඩාක් තිබුණා, මිනිස්සුන්ත් ගොඩාක් හිටියා, මොකුත් විශේෂයක් නම් දැක්කේ නැහැ" කියලා.

මේක අහන් හිටපු රජතුමා අන්දරේගෙන් ඇහුවා "නැව් තිබ්බා කියලා කිව්වා නේද ? ඒ නැව් කොහෙන් කොහෙන්ද ඇවිත් තිබුණේ, ඒවායේ මොනවද තිබුණු බඩු මුට්ටු" කියලා.

අන්දරේ කිව්වා "දේවයන් වහන්ස මට ඒක නම් බලන්න වුණේ නැහැ. මම ආයි ගිහින් ඒක බලන් එන්නම්" කියලා. ආයි පාරක් ඇද්දා වරායට.

ඒක බලාගෙන ආපු අන්දරේ රජතුමාට ඒ ගැනත් report එකක් දීලා කිව්වා මේ මේ රටවල්වලින් තමා නැව් ඇවිත් තියෙන්නේ, මේ මේ බඩු තමා තිබ්බේ කියලා.

ඊට පස්සේ රජතුමා අන්දරේගෙන් ඇහුවා "අන්දරේ මේ බඩු මුට්ටුවලින් අපිට මිලදීලා ගන්න පුලුවන් ඒවා තියෙනවද ? අපේ බඩු මුට්ටුත් එක්ක හුවමාරු කරගන්න පුලුවන් ඒවා තියෙනවද ? මොන මොන බඩු ගත්තොත්ද අපිට ලාභ" කියලා

අන්දරේට කට උත්තර නැහැ. අන්දරේ ඉතින් දන්නේ නැහැ කියලා ආයි පාරක් වරායට ඇදලා ඒකත් බලාගෙන ඇවිත් රජතුමාට කිව්වා.

කොහොමින් කොහොම හරි අන්දරේට මේ ඇමතිකම ගන්න test එකට වරායට තුන් හතර පාරක් යන්න වුණා. අන්දරේටත් පට්ට මහන්සියි. මෑන්ට හිතුණද දන්නේ නැහැ ඇමතිකම් ඉල්ලන්න ආපු මෝඩකම් කියලා.

අන්තිමට රජතුමා ඇමති කෙනෙක්ටත් එන්න කියලා ඇමතියාටත් අන්දරේට කියපු විදිහටම වරායට ගිහින් එතන විස්තරේ බලන් එන්න කියලා.

ඇමතියාත් වරායට ගිහින් ඇවිත් රජතුමාට කිව්වා. "දේවයන් වහන්ස, වරායේ නැව් මෙච්චර තිබුණා. බෝට්ටු මෙච්චර තිබුණා. ඒ නැව් මේ මේ රටවල්වලින් ඇවිත් තිබුණේ. ඒ නැව්වල මේ මේ බඩු මුට්ටු තිබුණා. මේ මේ බඩු හොඳයි වටිනවා. මේ මේ ගණන්වලට ඒවා අපිට ගන්න පුලුවන්. අපේ මේ මේ බඩුවලට ඒ නැව්වල තියෙන මේ මේ බඩු හුවමාරු කරගන්න පුලුවන්" කියලා. [මෙතන හැම එකකටම මේ මේ කිව්වට ඒවට ඇමතියා එහෙම කිව්වේ නැහැ. ඕන කරන විස්තරේ තමා කිව්වේ]

අන්දරේට දාඩියත් දැම්මා තමන් තුන් හතර පාරක් වරායට ගිහින් රජතුමා එක එක ඒවා අහද්දී ඒවා මතක් වෙලා කරන්න ගියාට මේ ඇමතියා එක පාරින්ම ඔක්කොමට ටික හොයාගෙන ඇවිත්නේ කියලා. හරියට one shot knockout වගේ :)

පස්සේ රජතුමා අන්දරේට කිව්වා "පේනවද අන්දරේ ඇමතිකම් කරන එක ලේසි නැහැ. අන්දරේට ඒක හරියන්නේ නැහැ. තව ටිකක් අපි බලමුකෝ" කියලා.

ඉතින් අන්දරේට උසස්වීමක් හම්බුණෙත් නැහැ. අන්දරේ ඊට පස්සේ ගෙදර ගියා. අන්දරේගේ wife මොනවා කිව්වද කියලා නම් දන්නේ නැහැ.

ඕක තමයි අන්දරේගේ කතන්දරේ. මීට අවුරුදු 400 කට විතර ඉස්සෙල්ලා අන්දරේ කළා වගේ වැඩ අද කාලේ ඉන්න අන්දරේලත් කරනවා. ඒ කාලේ අන්දරේ කරපු මේ වැඩෙන් කාටවත් පාඩුවක් හානියක් වුණේ නැතත් අද කාලේ අන්දරේලා කරන මේ වගේ වැඩවලින් වෙන පාඩුව හානිය අපමණයි.

ඒක නිසා අද කාලේ ඉන්න අන්දරේලට වගේම කාට කාටත් ආදර්ශයක් ගන්නයි මේ කතාව කිව්වේ. වැඩක් කරද්දී පිළිවෙලකට මනා සංවිධානාත්මක බවකින් කරන්න අපි කවුරුත් පුරුදු වෙන්න ඕනේ.

අන්දරේගේ photo එකක් හොයන්න යද්දී අන්දරේගේ කතා තියෙන බ්ලොග් එකක් හම්බුණා. කැමති නම් blog එක කියවන්න මෙතන කොටන්න

ප.ලි.: සමහර විට රජතුමා මේ වැඩේ කලින්ම plan කරලා තිබ්බද දන්නේ නැහැ අන්දරේව අන්නන්න. ඇමතියාව රෙඩි පිට තිබ්බාද දන්නේ නැහැ :))

ප.ප.ලි: අපේ දහම් පාසලේ හැම ඉරිදාම උදේ රැස්වීමේදී ළමයෙක්ගේ කතාවක් වගේම ගුරුවරයෙක්ගේ කතාවකුත් තියෙනවා. ගිය සතියක හදිසියේම ඒ කතාව මටත් වැටුණා. බැහැයි කියන්න විදිහකුත් නැති නිසා මේ කතාවෙන් තමා මම කතාව කරගෙන ගියේ. මොකද දහම් පාසලෙත් අන්දරේලා වෙන්න හදන කීප දෙනෙක් ඉන්න නිසා :))

Friday, June 3, 2011

මතක් වෙනවද මාව ඉදහිට


ඔබ ගිහින් බොහෝ දුර
මතක පොත මා අත
අඳුරු සෙවණැලි මා වට
සුසුම් උණුසුම් කළ හද
මතක් වෙනවද මාව ඉදහිට


Westlife කණ්ඩායම ගායනා කරන ලස්සන සිංදුවක් Unbreakable . ඒකත් මතක් වුණා............


ප.ලි.: සරෝජිනී දැරණියගල ලියූ වෙන්දේසි වූ ප්‍රේමය කාව්‍ය සංග්‍රහයෙන් උපුටා ගත්තකි.