Sunday, August 14, 2011

ගමට දිවියෙක් ඇවිත්

සි‍යඹලාපේ ඒ කියන්නේ අපේ ගමේ මිනිස්සුන්ව ත්‍රාසයෙන් භීතියෙන් මුසපත් කරපු සිද්ධියක් ගැනයි ඔයාලට කියන්න යන්නේ......

එදා වෙනදා වගේම හොඳට ඉර පායපු දවසක්. එදා උදේම මට පන්සලට යන්න වුණා දහම් පාසලේ වැඩ වගයක් ගැන පොඩි හාමුදුරුවොත් එක්ක කතා කරන්න. පොඩි හාමුදුරුවොයි මායි කතා කර කර ඉද්දී තමයි නායක හාමුදුරුවෝ මට කතා කලේ. ඒ වෙලේ ආවාසේ ගාව මිදුලේ පොලිස් ජීප් එකත් නවත්තලා මීගහවත්ත පොලීසියේ රාළහාමිලා දෙන්නෙකුත් හිටියා.

මොකක්ද හුටපටේ කියලා හිතන්න කලින්ම නායක හාමුදුරුවෝ කිව්වා

"හසිත, ගෝල්ඩන් එකේ පිට්ටනිය ඉස්සරහ පාරේ කට්ටිය දිවියෙක්ව අල්ලගෙන ඉන්නවා. මේ පොලීසියේ රාළහාමිලාට එතනට යන්න පාර පෙන්නන්න" කියලා.

නයි කයිද රෝස් පාන් කිව්වලු. දිවියෙක් ???? අපේ ගමේ. ලංකාවට තිබුණු කොටි ප්‍රශ්නේ ඉවර වුණු ගමන් සියඹලාපෙට දිවි ප්‍රශ්නේ.......

"හරි එහෙම නම් රාළහාමිලා මගේ පිටිපස්සෙන් එන්න" කියලා මම ආපු මෝටර් බයික් එකට මම නැග්ගා.

පොලිස් ජීප් එක මගේ බයික් එක පිටිපස්සෙන් එනවා. මාත් බයික් එකේ උත්සවවල පෙර ගමන් යන බයික් එකක් වගේ ඉස්සරහින් යනවා.

මට කියන්න අමතකත් වුණා. ඒ වෙලේ මම හෙල්මට් දාලත් නෙමෙයි හිටියේ. කොහොමද ඒක :))

හොඳම කතාව මම කලින් දවසකත් කිව්වා වගේ "මට ලයිෂනුත් නැහැ, බයික් එකට ල‍යිෂනුත් නැහැ" කොහොම වුණත් ගමට දිවියෙක් ආවා කියපුවාම ඕවා වැඩක් තියෙනවාද.

ජාතික අවශ්‍යතාව වෙනුවෙන් සමාවෙන්න ග්‍රාමීය අවශ්‍යතාව වෙනුවෙන් අපි කැපවෙන්න ඕනේ නේ :)

හාමුදුරුවෝ කිව්ව පිට්ටනිය ඉස්සරහ පාර ගාවට යද්දී පාර දෙපැත්තේ සෙනඟ සූ ගාන්න. පාර දිගේ ඉස්සරහට යන්නත් බැහැ. ඒ තරමට සෙනඟ දිවියා බලන්න ඇවිත්. පොලිස් ජිප් එකත් එක්ක ආපු නිසා මාත් ගියා ඉස්සරහටම.

ගිහින් බැලුවාම හිටිය දිවියා මෙන්න................

අනේ අනිච්චං උදේ පාන්දරම දෙන ගොන් ආතල් කියලා මට හිතුණා. ත්‍රාසය භීතිය දනවන සියඹලාපේට ආපු දිවියා තමා මූ.

බළලෙක්ට වඩා ලොකු, බල්ලෙක් සයිස් මුට කියන්නේ හඳුන් දිවියා කියලාලු. මම හිතුවේ සිරාවටටම පෙරිය සයිස් දිවියෙක් කියලා. මෙන්න මේ වගේ

මේ සතා රෑ ඒ ළඟ කෙනෙකුගේ ගෙදර මිදුලේ කපලා තිබුණු වළකට වැටිලා ඉදලා තමයි හොයාගෙන තියෙන්නේ. මේ සතාගෙන් එච්චර හානියක් නැහැ කැලේ කිට්ටුවට අරන් ගිහින් අතාරින්න කියලා පොලිසියේ රාළහාමිලා කියලා එයාලා යන්න ගියා.

මාත් ගෙදර ගිහින් ඉක්මණට කැමරාව අරන් ආවා photos දෙක තුනක් ගන්න. ගමේ මිනිස්සු ටික මේ සතාට දුන්නු වදයක්. කකුල් හතරම බැඳලා, කටත් බැඳලා තිබ්බේ හරියට හෙණ කොටියෙක් අල්ලලා වගේ.


ඒ අස්සේ ගොන් ජොකියෙක් මුගේ වලිගේ අල්ල අල්ල කියනවා "කොටි වලිගේ ඇල්ලුවා කියලා කියමනක් තියෙන්නේ. ඔන්න මම කොටි වලිගෙකුත් ඇල්ලුවා" කියලා.

තව සමහරුන්ට සිහිය ස්වර්ණවාහිනියට කියන්න අටපට්ටමට කියන්න. කියලා ටීවී එකට මූනත් තහඩුව දාගන්න. තව සමහරුන්ගේ කතාව දෙහිවල සත්තු වත්තට ගිහින් මූව බාරදෙන්න.

එතන ඉන්න කාටවත් පොලිසියෙන් කිව්වා වගේ සතා අතාරින්න උවමනාවක් නැහැ. එතන හිටිය පණ්ඩිතයොත් එක්ක ඕවා කතා කරන්න මම ගියේ නැහැ. මම ගෙදර එන්න ආවා.

අපේ උන්දැලා ටික ඒ සතාට මොකක් කළාද මන්දා...... සතා මළාද දන්නෙත් නැහැ අපේ අයියලා සතාට දුන්නු වදවල හැටියට. ඒ සතා ගැහැණු සතෙක් කියලත් පේන්න තිබුණා. පැටව් එහෙමත් ඉන්නවාද දන්නේ නැහැ.

මේ වගේ සත්තු හම්බුණාම ගොන් පාට් නොදා කරන්න ඕනේ දේ ගැන මිනිස්සුන්ගේ දැනුවත් බවේ තියෙන අඩුව නිසා නිරපරාදේ සත්තු මැරෙනවා.

සත්තු වත්තට ගිහින් දෙන එක ඒ වෙලේ කිව්වාම කෙනෙක් කිව්වේ "එයාලගේ වත්තෙන් නයෙක් අල්ලලා ඌව සත්තු වත්තට ගිහින් දුන්නට සතයක්වත් හම්බුණේ නැහැ. ඒ වැඩෙන් වාහනේ ඩීසල් ටිකයි වෙලාවයි තමා නාස්ති වුණේ" කියලා.

මේ ගැන නිසි අවබෝධයක් දෙනවා නම් සතුන්ගේ ජීවිතත් පරිස්සම් වෙයි.

වැඩිදුර හඳුන් දිවියෝ ගැන කියවන්න ඕනේ නම් පත්තරේක ගිය හඳුන් දිවියෙක් ගැන කතාවක් මෙන්න

ප.ලි.: දිවියෝ ඇල්ලුවා කියලා පොඩි සයිස් හඳුන් දිවියෝ අල්ලන එක වගේ නෙමෙයි. මේ නම් රියල් වැඩක්.

කඩුවෙල බෝමිරියේ ඉන්න අපේ බාප්පා කෙනෙක්ගේ වත්තේ ඉදලා අහුවුනු රියල්ම රියල් තිත් පොළඟෙක් තමා මේ. සාමාන්‍යයෙන් තිත් පොළඟාගේ දිග අඩි 4 ක් විතරලු වෙන්නේ. මූ අඩි 6 ක් විතර දිගයි.

ලෝකේ විසකුරු සර්පයන්ගෙන් 7 වෙනියට තමා මූ ඉන්නේ. කොහොමද මේක ????

වැඩිදුර කියවන්න තිත් පොළඟා ගැන අපේ බ්ලොග් සහෘදයෙක් වෙන ප්‍රියන්ත අයියා ලියපු ලිපියක්

Friday, August 12, 2011

දැන් ඉතින්.......


කලින් කිව්වා වගේ තියෙන ප්‍රශ්න විසඳන්නත් අලුත් ප්‍රශ්න ඇතිකර නොගන්නත් උත්සහ ගන්නවා කීයලා කිව්වාට ඒකත් ලේසු පහසු වැඩක් නෙමෙයි. ඒ කොහොම වුණත් කලින් හිටිය මොකක් හරි තත්වෙකින් ක්‍රම ක්‍රමයෙන් මිදිලා දැන් ටික ටික සුපුරුදු තත්වයට එන්නයි හදන්නේ.

මෙච්චර දවසක් මේ මනුස්සයාට මොකද වුණේ කියලා හරි හොයලා බලපු, හොයලා බලන්නේ නැතුව පාඩුවේ හිටපු හැමෝටම ස්තුතියි :)

විශේෂ ස්තුතියක් අපේ මාරයා එහෙමත් නැත්නම් චතුෂ කුමාර සහෝදරයාට

මේ දවස්වල බරටම වැඩ තිබුණත් "Back to business" කියලා වැඩ පටන් ගන්න ඉන්නේ.

මෙන්න Comming soon කතා සැට් එක
  • මේ දවස්වල හුටපට
    [හුටපට වුණත් ගත යුතු යමක් ඇතැයි සිතමි]
  • තෙසැත්තෑ ඤාණ පූජා පිංකම [හරි අක්කාගේ ඉල්ලීමකට බොහෝ දෙනාගේ හිතසුව පිණිස, දැක සතුටු වීමට ලියන එකක්]
  • මහින්දාගමනයට මහා shot එකක් [නිධාන කතාවක් එක්ක දෙන හොඳ [මම හිතන විදිහට] shot එකක්]
  • ගමට දිවියෙක් ඇවිත් [සියඹලාපේ ග්‍රාමය භීතියෙන් මුසපත් කළ ඒ ලොමු දැහැ ගැන්වෙන දිවියාගේ අන්දරය]

Saturday, July 16, 2011

ප්‍රශ්න පිට ප්‍රශ්න


තමන් ජීවත් වෙනවා කියා දැනෙන්නේ ප්‍රශ්න එනවිටය. ප්‍රශ්න විසඳා ගැනීමට නොහැකිව සිය දිවි නසා ගන්නේ ජීවත් වෙන්න බැරි තැනය.

ප්‍රශ්න නැති ජීවිතය පරිප්පු නැති හෝටලය වැනිය. සමහරුන්ට ප්‍රශ්න නැති විට එයද ප්‍රශ්නයකි.

ප්‍රශ්න එන විට එක දිගට ප්‍රශ්න එන්නට ගැනීමද ප්‍රශ්නයකි..

අල්ලා ගැනීම ප්‍රශ්නයට මුලය. සියල්ල කෙරෙහි ඇති බැඳීම් අත්හල විට එය ප්‍රශ්නයක් නොවන අතර එයින් මින් මත්තටද ප්‍රශ්න ඇතිවීමෙන් මෙන්ම ඇති කරගැනීමෙන්ද වැළකිය හැක.

මම ද හැකිතාක් උත්සහ කරන්නේ තිබෙන ප්‍රශ්න විසඳීමට මෙන්ම අලුත් ප්‍රශ්න ඇතිවීම වැළැක්වීමටය.

එය කළ හැකිද යන්න සැබවින්ම ප්‍රශ්නයකි...........

ප.ලි.: මේ බ්ලොග් එක දැන් කලාතුරකින් ලියවෙන්නේද, බ්ලොග් එක ලිවීමද මට ප්‍රශ්නයක් වී ඇති නිසාය.

Monday, June 20, 2011

සමුගනිමි............... Farewell............



තනිය මට ද මගේ තනිය මකාලන්න එනවද
සිහින මට ද සිහිනෙන් දැකගන්න එනවද
කඳුළු මටද දෑසේ වියළෙන්න දෙනවද
දුකම මට ද මගේ දුක විඳගන්න දෙනවද



Sunday, June 19, 2011

අද කාලේ අන්දරේලාට

අන්දරේ කියපු ගමන් අමුතු අටුවා, ටීකා, ටිප්පණි ඕන වෙන්නේ නැහැ හඳුන්වලා දෙන්න. මහනුවර යුගයේ රාජ සභාවේ කවටයෙක් ඒ වගේම කවියෙක් විදිහටත් රජතුමාව සතුටෙන් තියන්න හිටපු කෙනෙක් විදිහට බොහොම කෙටියෙන් අන්දරේ ගැන කියන්න පුලුවන්. බොහෝ වෙලාවට අනුමාන කරන්නේ රාජාධි රාජසිංහ රාජ සමයේ [ක්‍රි.ව 1782-1798] අන්දරේ වාසය කරන්න ඇතියි කියලා.

කොහොම නමුත් අන්දරේ කරපු විහිළුවලින් ඇස් රතු වුණත් ඒකෙන් මොකක් හරි විනෝදයක් තිබුණා. ඒ වගේම ඒ විහිළුවලින් මහජනතාවට හානියක් වුණෙත් නැහැ. ඒත් අද කාලේ රජ වාසල්වල ඉන්න සමහර කවටයන් කරන විහිළු නිසා හුඟාක් වෙලාවට මහජනතාවට හිරිහැරයක් වෙනවා කියන එකත් කියන්න ඕනේ.

කොහොමින් කොහොම හරි අන්දරේ ගැන මට මතක් වුණු කතන්දරේ මේකයි.

දවසක් අන්දරේ රජතුමා මුණගැහෙන්න ගිහින් රජතුමාගෙන් ඉල්ලීමක් කළා. ඒ තමයි තමන්වත් ඇමතියෙක් විදිහට උසස් කරන්න කියලා. අන්දරේ ඒ වෙනකොට රජ වාසල කවටයා කියන post එකේනේ හිටියේ. සමහර විට අන්දරේගේ wife කියන්න ඇති ළමයින්ට ඒකට ලැජ්ජ හිතෙන්න පුලුවන් කියලා. ඇමතියෙක් වුණාම ඊට වඩා place නේ. වෙන මොකුත් ඕනේ නැහැ අද කාලේ ඇමතිවරුන්ට තියෙන place එක පේනවානේ :))

මේ කතාව අහපු රජතුමා එක පාරටම අන්දරේව ඇමතියෙක් කරන්න ලෑස්ති වුණේ නැහැ. ඒකට අද කාලේ නම් හුඟාක් අයව ඇමතිවරු කරන්නනේ රජවරු කරන්නේ :)) රජතුමා අන්දරේට පොඩි test එකක් දුන්නා.


Test එක තමයි වරායට ගිහින් එතන විස්තරේ බලන් එන්න කියන එක. අන්දරේත් ක්ෂණිකයෙන් වරායට ගිහින් පුලුවන් තරම් ඉක්මණින් ආපහු රජ වාසලට ඇවිත් රජතුමාව බැහැදැකලා කිව්වා "දේවයන් වහන්ස වරායේ නැව් නම් ගොඩාක් තිබුණා, මිනිස්සුන්ත් ගොඩාක් හිටියා, මොකුත් විශේෂයක් නම් දැක්කේ නැහැ" කියලා.

මේක අහන් හිටපු රජතුමා අන්දරේගෙන් ඇහුවා "නැව් තිබ්බා කියලා කිව්වා නේද ? ඒ නැව් කොහෙන් කොහෙන්ද ඇවිත් තිබුණේ, ඒවායේ මොනවද තිබුණු බඩු මුට්ටු" කියලා.

අන්දරේ කිව්වා "දේවයන් වහන්ස මට ඒක නම් බලන්න වුණේ නැහැ. මම ආයි ගිහින් ඒක බලන් එන්නම්" කියලා. ආයි පාරක් ඇද්දා වරායට.

ඒක බලාගෙන ආපු අන්දරේ රජතුමාට ඒ ගැනත් report එකක් දීලා කිව්වා මේ මේ රටවල්වලින් තමා නැව් ඇවිත් තියෙන්නේ, මේ මේ බඩු තමා තිබ්බේ කියලා.

ඊට පස්සේ රජතුමා අන්දරේගෙන් ඇහුවා "අන්දරේ මේ බඩු මුට්ටුවලින් අපිට මිලදීලා ගන්න පුලුවන් ඒවා තියෙනවද ? අපේ බඩු මුට්ටුත් එක්ක හුවමාරු කරගන්න පුලුවන් ඒවා තියෙනවද ? මොන මොන බඩු ගත්තොත්ද අපිට ලාභ" කියලා

අන්දරේට කට උත්තර නැහැ. අන්දරේ ඉතින් දන්නේ නැහැ කියලා ආයි පාරක් වරායට ඇදලා ඒකත් බලාගෙන ඇවිත් රජතුමාට කිව්වා.

කොහොමින් කොහොම හරි අන්දරේට මේ ඇමතිකම ගන්න test එකට වරායට තුන් හතර පාරක් යන්න වුණා. අන්දරේටත් පට්ට මහන්සියි. මෑන්ට හිතුණද දන්නේ නැහැ ඇමතිකම් ඉල්ලන්න ආපු මෝඩකම් කියලා.

අන්තිමට රජතුමා ඇමති කෙනෙක්ටත් එන්න කියලා ඇමතියාටත් අන්දරේට කියපු විදිහටම වරායට ගිහින් එතන විස්තරේ බලන් එන්න කියලා.

ඇමතියාත් වරායට ගිහින් ඇවිත් රජතුමාට කිව්වා. "දේවයන් වහන්ස, වරායේ නැව් මෙච්චර තිබුණා. බෝට්ටු මෙච්චර තිබුණා. ඒ නැව් මේ මේ රටවල්වලින් ඇවිත් තිබුණේ. ඒ නැව්වල මේ මේ බඩු මුට්ටු තිබුණා. මේ මේ බඩු හොඳයි වටිනවා. මේ මේ ගණන්වලට ඒවා අපිට ගන්න පුලුවන්. අපේ මේ මේ බඩුවලට ඒ නැව්වල තියෙන මේ මේ බඩු හුවමාරු කරගන්න පුලුවන්" කියලා. [මෙතන හැම එකකටම මේ මේ කිව්වට ඒවට ඇමතියා එහෙම කිව්වේ නැහැ. ඕන කරන විස්තරේ තමා කිව්වේ]

අන්දරේට දාඩියත් දැම්මා තමන් තුන් හතර පාරක් වරායට ගිහින් රජතුමා එක එක ඒවා අහද්දී ඒවා මතක් වෙලා කරන්න ගියාට මේ ඇමතියා එක පාරින්ම ඔක්කොමට ටික හොයාගෙන ඇවිත්නේ කියලා. හරියට one shot knockout වගේ :)

පස්සේ රජතුමා අන්දරේට කිව්වා "පේනවද අන්දරේ ඇමතිකම් කරන එක ලේසි නැහැ. අන්දරේට ඒක හරියන්නේ නැහැ. තව ටිකක් අපි බලමුකෝ" කියලා.

ඉතින් අන්දරේට උසස්වීමක් හම්බුණෙත් නැහැ. අන්දරේ ඊට පස්සේ ගෙදර ගියා. අන්දරේගේ wife මොනවා කිව්වද කියලා නම් දන්නේ නැහැ.

ඕක තමයි අන්දරේගේ කතන්දරේ. මීට අවුරුදු 400 කට විතර ඉස්සෙල්ලා අන්දරේ කළා වගේ වැඩ අද කාලේ ඉන්න අන්දරේලත් කරනවා. ඒ කාලේ අන්දරේ කරපු මේ වැඩෙන් කාටවත් පාඩුවක් හානියක් වුණේ නැතත් අද කාලේ අන්දරේලා කරන මේ වගේ වැඩවලින් වෙන පාඩුව හානිය අපමණයි.

ඒක නිසා අද කාලේ ඉන්න අන්දරේලට වගේම කාට කාටත් ආදර්ශයක් ගන්නයි මේ කතාව කිව්වේ. වැඩක් කරද්දී පිළිවෙලකට මනා සංවිධානාත්මක බවකින් කරන්න අපි කවුරුත් පුරුදු වෙන්න ඕනේ.

අන්දරේගේ photo එකක් හොයන්න යද්දී අන්දරේගේ කතා තියෙන බ්ලොග් එකක් හම්බුණා. කැමති නම් blog එක කියවන්න මෙතන කොටන්න

ප.ලි.: සමහර විට රජතුමා මේ වැඩේ කලින්ම plan කරලා තිබ්බද දන්නේ නැහැ අන්දරේව අන්නන්න. ඇමතියාව රෙඩි පිට තිබ්බාද දන්නේ නැහැ :))

ප.ප.ලි: අපේ දහම් පාසලේ හැම ඉරිදාම උදේ රැස්වීමේදී ළමයෙක්ගේ කතාවක් වගේම ගුරුවරයෙක්ගේ කතාවකුත් තියෙනවා. ගිය සතියක හදිසියේම ඒ කතාව මටත් වැටුණා. බැහැයි කියන්න විදිහකුත් නැති නිසා මේ කතාවෙන් තමා මම කතාව කරගෙන ගියේ. මොකද දහම් පාසලෙත් අන්දරේලා වෙන්න හදන කීප දෙනෙක් ඉන්න නිසා :))

Friday, June 3, 2011

මතක් වෙනවද මාව ඉදහිට


ඔබ ගිහින් බොහෝ දුර
මතක පොත මා අත
අඳුරු සෙවණැලි මා වට
සුසුම් උණුසුම් කළ හද
මතක් වෙනවද මාව ඉදහිට


Westlife කණ්ඩායම ගායනා කරන ලස්සන සිංදුවක් Unbreakable . ඒකත් මතක් වුණා............


ප.ලි.: සරෝජිනී දැරණියගල ලියූ වෙන්දේසි වූ ප්‍රේමය කාව්‍ය සංග්‍රහයෙන් උපුටා ගත්තකි.

Tuesday, May 31, 2011

මහින්දා මාමා අපේ මාමා

අපේ රටේ අපි හැමෝමව බලාගන්න මහින්ද මාමා ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඉතින් මට හදිසියේම මහින්ද මාමා මතක් වුණේ මේ ළඟදී වුණු සිද්ධියක් නිසයි. පාරේ තොටේ යද්දී, කඩ පොළට යද්දී හුඟාක් අයට මහින්ද මාමාව මතක් වෙනවා ඇති. ඒ විතරක්ද සමහර වෙලාවට මහින්ද මාමාගේ අම්මා තාත්තා එහෙමත් මතක් වෙනවා ඇති :)) අපේ කැම්පස් සහෝදරවරු මහින්ද මාමාව මතක් කරන විදිහ මම කලින් දවසක කිව්වා. මතක නැති අය ගිහින් බලලා එන්නකෝ

ඒත් මට නම් මහින්ද මාමාව මතක් වුණේ දහම් පාසලේදී. කතාව මෙහෙමයි. මේ ලඟකදී අපේ දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වුණා. මේකෙදී ස්තුති කතාවක් හරි මොකක් හරි කතාවක් කරන්න අපේ ප්‍රධාන ශිෂ්‍ය නායක මල්ලිටත් පැවරිලා තිබුණා. අපරාදේ කියන්න බැහැ හොඳ කැපවීමෙන් වැඩ කරන කොල්ලෙක්.

ත්‍යාග ප්‍රදානෝත්සවයට hall එක හදලා තිබුණු හැටි

මෑනුත් කතාව හොඳට කරන්න ඕනේ නිසා පොඩි හාමුදුරුවන්ගෙත් උදව් අරගෙන හොඳ කතාවක් එහෙම හදාගෙන කරලා එහෙම තමා ඇවිත් තිබුණේ. කතාව ඉතින් පටන් ගත්තා කියමුකෝ.

කතාවේ මැද හරියක තිබුණා ප්‍රසිද්ධ කවියක්. මට මතක විදිහට කවිය තියෙන්නේ අලගියවැන්න මුකවෙටිතුමා ලියපු සුභාෂිතය කියන පොතේ. කවිය තමා

පින් මඳ පුතුන් සියයක් ලදුවත් නිසරු
ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු
එක පුන් සඳින් දුරු වෙයි ලොව ගන අඳුරු
නෙක තරු රැසින් එලෙසට නොමවේය දුරු

මලයා කවියේ මුල පටන් ගත්තත් හරි දෙවෙනි පදය මෑන්ට මතක් වෙන්නේ නැහැ. පොර නිකම් පරණ ග්‍රැමෆෝන් එකක තැටිය එක තැන කැරකෙනවා වගේ ඊළඟ පදේ මතක් කරන්න ට්‍රයි එක. අන්තිමට පිටිපස්සේ හිටිය කෙනෙක්ද කොහෙදෝ කවියේ මිස් වුනු කෑල්ල මතක් කරලා දුන්නු නිසා වැඩේ ගොඩ දා ගත්තා.

ඉතින් මට මේ වෙලේ මතක් වුණේ දවසක් මහින්ද මාමාටත් මේ වගේ අකරතැබ්බක් වෙලා මාමා ඒකෙන් ගොඩගිය හැටි.

මේකේ වුණේ 2007 අවුරුද්දේ. ලෝක බාලදක්ෂ ව්‍යාපාරයට අවුරුදු 100 ක් පිරීම නිමිත්තෙන් ලංකාවේ සමරපු උත්සවේ පැවැත්වුණේ අරලියගහ මන්දිරේදී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂයා වෙන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. අපරාදේ කියන්න බැහැ හොඳ කන්න බොන්න නම් තිබුණා. ජනාධිපතිතුමා ගමේ මනුස්සයානේ ආගන්තුක සත්කාර හොඳට දන්නවා. හරි කතාවට එමුකෝ.

මහින්ද මාමා තමන්ගේ කතාවේදී කිව්වා ටිබෙට් ජාතික එස්. මහින්ද හාමුදුරුවන්ගේ කවියක් මෙන්න මෙහෙම.


බාලදක්ෂයිනි, මේ අවස්ථාවේ මට මතක් වෙනවා කවියක් ටිබෙට් ජාතික එස්.මහින්ද හිමියන් රචනා කරපු............

ඉටු කොට කළ යුතු යුතුකම්
ලැබුණත් ලෝකෙන් ගැරහුම්
නුඹයි මගේ පුතා උතුම්

ඉතින් කොහොම හරි මාමාට එක පදයක් මිස් වුණා. කතාව උවමනාවෙන් අහගෙන හිටපු නැති අයට නම් මීටර් වුණාද දන්නෙත් නැහැ. කොහොම හරි පදයක් මිස් වුණා.

ජනාධිපතිතුමා ග්‍රැමෆෝන් තැටි වාදනය කරන්න ගියෙත් නැහැ මොකුත් අනම් මනම් නැහැ. මතක් වුණු ටික කියලා දැම්මා. කොහොම හරි දැන් කවියේ පදයක් මිස් වුණානේ. ඒක හැදුවේ මෙන්න මෙහෙම

එහෙමනම් බාලදක්ෂයිනි මගේ කතාව අවසන් කරන්න කලින් කලින් මම සඳහන් කරපු කවිය නැවතත් සඳහන් කරන්නම්

ඉටු කොට කළ යුතු යුතුකම්
ලැබුණත් ලෝකෙන් ගැරහුම්
ඉවසන්නට පුලුවන් නම් [ මේ පදේ ජනාධිපතිතුමා හොඳට බර දාලා ඇඳලා කිව්වේ :))]
නුඹයි මගේ පුතා උතුම්

කියලා කතාව ඉවර කළා. ඔන්න ඕවයි සාර්ථක කථිකයන් ගාව තියෙන ජිල්මාට් වැඩ කියලා මට හිතුණා.

කොහොම වුණත් කතාවක් කරද්දී මොකක් හරි අමතක වුණා කියලා එතනම ඉන්නේ නැතිව ඉස්සරහට යන එක සාර්ථකයි මාත් හිතන විදිහට. විභාගෙක වුණත් ප්‍රශ්නෙකට උත්තරයක් දන්නේ නැත්නම් ඒ ප්‍රශ්නේ ගැන හිත හිත ඉන්නේ නැතිව අනිත් ඒවාට යන්න ඕනේ

හැම මනුස්සයෙක්ගේම චරිතෙන් උකහාගන්න දෙයක් තියෙනවා නම් ඒක උකහා ගන්න එක හැදෙන මනුස්සයෙක් ගති ලක්ෂණයක්