Saturday, April 24, 2010

තාත්තගේ අත් අකුරු


අද දවල් අපේ නංගිව class එකෙන් ගන්න තාත්තයි අම්මයි එක්ක මාත් ගියා. ගෙදර අයත් එක්ක හරි කලාතුරකින් තමා මම ගමනක් යන්නේ. මොකද හැමතිස්සේම වගේ මම මොකක් හරි වැඩකට ගෙදරින් පිට යැවෙන නිසා ගෙදර අයත් එක්ක ගමන් යැවෙනවා අඩුයි. මම අද ඔය ගමන ගියෙත් මගේ computer එක කැඩිලා හදන්න දාලා තිබ්බේ ඒක අරන් එන්න ඕනේ නිසා.

ඉතින් නංගිව class එකෙන් ගත්තට පස්සේ අම්මා නංගිගේ පොත් ටික බලන්න ගත්තා. පොත් බලලා අම්මා කියන්න ගත්තා අත් අකුරු හොඳ මදි. ඉස්පිලි පාපිලි එහෙම පැහැදිලිව දාන්න ඕනේ ආදී විදිහට [අපේ අම්මා ගුරුවරියක්. ඒකයි ඔච්චර කියන්නේ].

ඉතින් මාත් නංගිගේ පොත් දිහා බලලා කිව්වා.

"ඔව් ඔව්, ළමයාගේ අත් අකුරු නම් හොඳ මදි. මගේ නම් ඒ කාලේ අත් අකුරු ඔයිට වඩා හොඳයි" කියලා.

ඒ කාලේ කියලා කිව්වේ මම ඉස්කෝලේ 9 වසරේ ඉන්න කාලේ [අපේ නංගී දැන් ඉන්නේ ඉස්කෝලේ 9 වසරේ].

අපේ ගෙදර හොඳටම අත් අකුරු තියෙන්නේ අපේ අම්මාගේ. තාමත් මම මොකක් හරි form එකක්, application එකක් එහෙම පුරවන්න ඕන වුණොත් කියන්නේ අම්මාට. ඊට පස්සේ අපේ ගෙදර හොඳම අත් අකුරු තියෙන්නේ මගේ. ඊටත් පස්සේ පිලිවෙලින් නංගි, අයියා සහ තාත්තා.

තාත්තා අන්තිමට ආවේ අපේ තාත්තගේ අත් අකුරු එහෙම නියමෙටම නියම නිසායි. තාත්තගේ අත් අකුරු අපිට කියවන්න එහෙම හරි අමාරුයි. මට නම් දැන් ප්‍රශ්නයක් නැහැ මොකද මම පුරාවිද්‍යාඥයෙක් වෙන්න ඉන්න නිසා :).

ඉතින් කතාවට එමුකෝ. අම්මගෙයි මගෙයි කතා අහලා තාත්තා කිව්වා නියම කතාවක්. අපේ නෑදෑ කෙනෙක් හිටියා ඉස්සර සෞදි අරාබියේ. අපි එයාට කියන්නේ බිංදු මාමා කියලා. ඉතින් තාත්තා එයාට විස්තර එහෙම කියලා ලියුමක් යවලා තියෙනවා. ඔය කියන්නේ 1994,1995 වගේ කාලේ. Telephone භාවිතයක් එහෙම එච්චර තිබ්බේ නැහැනේ.

ඉතින් තාත්තා යවපු ලියුමට බිංදු මාමා එව්ව පිළිතුරු ලිපියේ අන්තිමට වගේ මෙහෙම තිබ්බාලු.

"හිතවත් ගාමිණී මල්ලී, මම ඔයාගේ ලියුම කියෙව්වේ දවසක්ම නිවාඩු දාලා බෝඩිමට වෙලා. කෝකටත් කොල්ලෝ දෙන්නා දැන් ඉස්කෝලේ යන එකේ ඔයත් පොඩ්ඩක් ඒ පංතියකවත් ගිහින් අත් අකුරු හදා ගත්තොත් හොඳයි නේද?"

බිංදු මාමා විහිළුවට වගේ කිවවත් ඉතින් කතාව නම් අමූලික ඇත්ත :) :) :) කොහොම වෙතත් අපේ තාත්තගේ ඉංග්‍රීසී අකුරු එච්චරම අවුලක් නැහැ සිංහල අකුරු තමා අවුල. මේ වෙනකොට නම් තාත්තා හුඟක් වෙලාවට ලියුමක් කාරියේ ලිව්වොත් ලියන්නේ ඉංග්‍රීසියෙන්. සිංහලෙන් මොකක් හරි ලියා ගන්න ඕන වුණොත් කියන්නේ අම්මාට. ඒ වගේම වැදගත් කියන ලියුමක් එහෙම නම් මට කියලා කරගන්නවා.

Thursday, April 22, 2010

ඕම් මනි පද්මේ හූම්


මොකක්ද මේ " ඕම් මනි පද්මේ හූම්" කියන්නේ කියලා මේක අහපු ගමන්ම ඔයාලගේ හිතට එන්න පුළුවන්. මේක මහායාන බෞද්ධයන් භාවිතා කරන මන්ත්‍රයක් විදිහට සරලව හඳුන්වන්න පුළුවන්.

ශ්‍රී ලාංකික ථේර්වාදී බෞද්ධයන් විදිහට අපි ආරක්ෂාවට, සෞභාග්‍යයට විවිධ බෞද්ධ සූත්‍රයන් භාවිතා කරනවා වගේම මහායාන බෞද්ධයන් ආරක්ෂාව, සෞභාග්‍යය වැනි කාරණාවලට මේ මන්ත්‍රය භාවිතා කරනවා. මේ මන්ත්‍රය මඟින් මහායන බෞද්ධයන් අතර මෙන්ම ථේරවාදී බෞද්ධයන් අතරත් ප්‍රසිද්ධ අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ට වන්දනා කිරීමක් සිදු වෙනවා.

මේ මන්ත්‍රය මැතිරීම මඟින් මහ පොළවේ ගතකරන දිවියෙන් මිදිලා අවලෝකිතේශ්වර බෝසතුන් වැඩ සිටින පද්මාසන වේදිකාවට ලං වෙන්න පුළුවන් කියලා තමා ඔවුන් විශ්වාස කරන්නේ. වැඩි වශයෙන් ටිබෙට් රටේ බෞද්ධයන් අතර තමා මේ මන්ත්‍රය ප්‍රසිද්ධයි. ඔවුන් පුරුද්දක් වශයෙන් දිනපතාම මේ මන්ත්‍රය ගායනා කරනවා.

ඉතින් මේ මන්ත්‍රය මිනිස් ලොවට ලැබුණායි කියන්නේත් ටිබෙට් රට හරහා. 4 සියවසේදී ටිබෙටයේ රජ කරපු රජතුමෙක්ට දිව්‍ය ලෝකයෙන් ලැබුණු වටිනා වස්තු 4 න් එකක් වුණේ මේ මන්ත්‍රයයි.

ටිබෙට් බෞද්ධයන් දක්වන්නේ බුදුන් වහන්සේට පවා මෙම මන්ත්‍රයෙන් ලැබෙන සෙත් ශාන්තියේ ප්‍රමාණය ගණන් කළ නොහැකි බවයි. එමනිසා මෙම මන්ත්‍රයෙන් අසීමිත යහපත් ප්‍රතිඵලයක් ලැබෙන බව ඔවුන්ගේ විශ්වාසයයි.

මෙන්න ඒ මන්ත්‍රය



මේ මන්ත්‍රය ඉම් උයි කියන බෞද්ධ සංගීත නිෂ්පාදකවරිය වර්තමාන සංගීතය සමඟ සමඟ සංයෝජනය කරලා සකස් කිරීමක් කරලා තියෙනවා. මේ තියෙන්නේ ඒ ගීතය



ඉතින් මේ මන්ත්‍රය ගැන මේ විදිහට කරුණු කාරණා රැසක් කිව්වේ මේ මන්ත්‍රය අහන්න ලැබුණට පස්සේ මනස මාර විදිහට සැහැල්ලු වෙන නිසයි.

වර්තමානයේදී ලංකාවට ෆෙන්ග් ෂුයි හඳුන්වා දීපු ආසිරි වනිගරත්න මහත්මයා මෙම ටිබෙට් බෞද්ධ මන්ත්‍රය ලංකාව පුරා බෙදා හරිමින් ඉන්නේ. ඒකෙදිත් දක්වනවා මෙම මන්ත්‍රය ඇසීමෙන් ධනාත්මක ශක්තිය ඇතිකරන බවත්, රෝගාබාධ නැතිකරන බවත්, වාසනාව, සතුට හා දීර්ඝායුෂ ලබාදෙනවා කියලා.

ඉතින් මේ මන්ත්‍රය අහලා බලලා මේක ඇසීමෙන් ඔබේ හිතට දැනෙන හැඟීම ගැන කියන්නකෝ

සර් ජෝන් කොතලාවල සහ තේමිස් මන්ත්‍රීතුමා


අද මම කියන්න හිතුවේ අළුත් අවුරුද්දට නෑදෑ ගෙවල්වලට ගිය වෙලාවේ අහපු කතා ටිකක්.

නෑදෑ ගෙවල්වලට ගියාම ඉතින් මොකක් හරි ගැන කතා කර කර ඉන්න ඕනෙනේ. ඉතින් අපේ තාත්තා, මාමලා, බාප්පලා කට්ටිය හුඟක් කතා කලේ දේශපාලනේ ගැන. මේකේදී ඉස්සර හිටපු දේශපාලනඥයන් ගැන සිරා කතා ටිකක් කතා වුණා.

මෙන්න එක කතාවක්. S.W.R.D. බණ්ඩාරනායක මැතිතුමා අගමැතිතුමා වෙලා ඉන්න කාලේ පාර්ලිමේන්තුවේ හිටියා මංත්‍රී කෙනෙක් තේමිස් කියලා. එයා කලින් තැපැල් කන්තෝරුවක ලියුම් බෙදන වැඩේ කරපු කෙනෙක්.

ඉස්සර පාර්ලිමේන්තු ගියේ ප්‍රභූ වලව් පැලැන්තියේ, ධනවත් පොරවල් නේ. ඉතින් එක ආසනේක හිටපු සාමාන්‍ය මිනිස්සු ටිකක් ඒ ආසනේට ඡන්දේ ඉල්ලපු සල්ලිකාර, ප්‍රභූ පුද්ගලයත් එක්ක ගේමට තමා මේ තේමිස්ව දාලා තිබ්බේ. අන්තිමට වැඩි ඡන්දෙන් මේ තේමිස් පාර්ලිමේන්තුවට පත්වුණා.

මේ තේමිස් මන්ත්‍රිතුමා දවසක් පාර්ලිමේන්තුවේ කොරිඩෝවක ඇවිදිද්දී දැක්කා ඉස්සරහ සර් ජෝන් කොතලාවල මැතිතුමා ඉන්නවා.

සර් ජෝන් කොතලාවල මැතිතුමා ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ. හමුදාවේ හිටපු, බ්‍රිතාන්‍ය මහ රැජිණගෙන් නයිට් පදවියක් ගත්ත ඒ වනවිට අගමැති පදවියත් දරලා UNP ආණ්ඩුවේ පරාජයත් එක්ක විපක්ෂ මන්ත්‍රී කෙනෙක් විදිහට කටයුතු කරමින් හිටියේ.

ඉතින් මේ තේමිස් මන්ත්‍රිතුමා හිතුවා තමනුත් මන්ත්‍රී සර් ජෝන් නුත් දැන් මන්ත්‍රී නේ කියලා හිතලා.

"හායි මිස්ටර් ජෝන්" කියලා සර් ජෝන්ගේ පිටට තට්ටුවක් දැම්මා.

මේක අහපු ගමන් අසූහාරදාහට කේන්ති ගිය සර් ජෝන් කොතලාවල" ඈ යකෝ උඹ මට තට්ටු දාන්න කියලා" තේමිස් මන්ත්‍රීතුමාගේ පිටට හොඳ පාරක් කෙලලා ඇරියා.

පස්සේ තේමිස් මන්ත්‍රීතුමා අඬ අඬ තමන්ගේ පක්ෂේ නායකතුමා වගේම ඒ වෙද්දී අගමැති වෙලා හිටිය S.W.R.D. බණ්ඩාරනායක මැතිතුමා ගාවට ගිහින් වෙච්ච වැඩේ කිව්වා. මේක අහපු අගමැතිතුමා කිව්වා.


"අයිසේ තමුසෙට පිස්සුද සර් ජෝන්ට මිස්ටර් ජොන් කියලා පිටට තට්ටු දාන්න කොටින්ම මාත් තාමත් සර් ජෝන්ට සර් ජෝන් කියලයි කතා කරන්නේ" කියලා

උඩින්ම තියෙන photo එකේ ඉන්නේ හිටපු අගමැති සර් ජෝන් කොතලාවල මැතිතුමා. පල්ලෙහා තියෙන photo එකේ ඉන්නේ හිටපු අගමැති S.W.R.D. බණ්ඩාරනායක මැතිතුමා

Tuesday, April 20, 2010

රජතුමාගේ ලොකුම සැනසීම


සැනසීම කියන්නේ මොකක් කියලද ඔයාලා හිතන්නේ ?

එහෙම අහන්න හිතුණේ මේ දවස් ටිකේම අන්න ඒකයි කියලා මම හිතන එක මට තිබ්බ නැති නිසයි. මේ දවස් ටිකේම අළුත් අවුරුද්දට නැදෑ හිතමිතුරන්ගේ ගෙවල්වල ගියා. ඒ වගේම ඊයේ උදේ නුවර ගිහින් අද උදේ තමයි ගෙදර ආවේ. ඒ වගේම යාළුවෝ කීප දෙනෙක්ගේම birth day parties තිබ්බ නිසා ඒවටත් යන්න වුණා.

මේ විදිහට වැඩ ගොඩක් තිබ්බ නිසා සැනසිල්ලේ fb පැත්තේ යන්න, මගේ e-mails check කරන්න, blog එකට අළුත් post එකක් දාන්න වගේ මොකුත් වැඩක් කරන්න වුණේ නැහැ.

මේක නිසා සැනසීම ගැන කතාවක් මට මතක් වුණා. ඉතින් ඒක තමා අද කියන්න හිතුණේ. කතාව ටිකක් හොඳ මදියි කියලත් හිතෙනවා. කොහොම වෙතත් ඔයාලා කියෝලම බලල කියන්නකෝ කතාව කොහොමද කියලා

එකෝමත් එක කාලෙක එකෝමත් එක රටක [මට හරි ගැටළුවක් තමා මේ එකෝමත් එක රට කොහෙද තියෙන්නේ කියලා :) :) :)] රජ කෙනෙක් හිටියා. දවසක් දා උදේ රජතුමා රාජ සභාවට සැපත්වෙලා රාජ්‍ය පාලනයට අදාල වෙන documents එහෙම check කර කර ඉද්දී රජතුමාගේ හිතට ලොකු ගැටළුවක් ආවා.

පස්සේ රජ්ජුරුවෝ ඒකට උත්තරේ හිතාගන්න බැරුව රාජ සභාවට ඒ ගැටළුව ඉදිරිපත් කලා.

රජතුමා ඇහුවා " ඇමතිවරුනි, ලෝකේ ලොකුම සැනසීම මොකක්ද ? " කියලා.

ඒ වෙලාවේ රජ්ජුරුවෝ ඉස්සරහ පොර වෙන්න දඟලන ඇමතිවරු [දැන් කාලේ වගේම තමා] එක එක උත්තර රජතුමාට දුන්නා.

එක ඇමතියෙක් කිව්වා "රජතුමනි, වස්තුව හුඟක් තිබුණාම තමා ලෝකේ ලොකුම සැනසීම තියෙන්නේ" කියලා. තව පොරක් කිව්වා "රාජ්‍යය තව විශාල කරලා මුළු ලෝකේම අල්ල ගත්තහම තමා ලෝකේ ලොකුම සැනසීම තියෙන්නේ" කියලා. තව ඇමතියෙක් කිව්වා "ලෝකේ ඉන්න ලස්සනම කාන්තාව එක්ක රති කෙළියේ [කට්ටිය දන්නවානේ මොකක්ද රති කෙළිය කියන්නේ කියලා :) :) :)] යෙදුණාම තමා ලෝකේ ලොකුම සැනසීම තියෙන්නේ" කියලා.

මේ ආදී වශයෙන් රජතුමාට answers ගොඩක් ආවා ලෝකේ ලොකුම සැනසීම කියන්නේ මොකක්ද කියලා.

මේ විදිහට හැමෝම එක එක ඒවා කියද්දී එක ඇමතියෙක් කියාපි "රජතුමනි, ශරීර කෘත්‍ය කරන්න ලොකු අවශ්‍යතාවක් තිබිලා ඒක කලාට පස්සේ තමා ලෝකේ ලොකුම සැනසීම එන්නේ" කියලා.

මේක අහපු රජතුමාට අසූ හාරදාහට තද වුණා. තමන් ගැන කිසිම ගරු සරුවක් නැතිව මෙහෙම කතාවක් කිව්වා එක ගැන රජ්ජුරුවෝ උදහස් වෙලා මේ ඇමතියාගේ හිස ගසා දාන්න නියම කලා. [කොහොමද රජවරුන්ට මල පැන්නහම]

පස්සේ රජතුමා ඇහුවා අවසන් ඉල්ලීම මොකක්ද කියලා. ඇමතියා කිව්වා තමන්ට රජතුමාගේ සිරියහන් ගබඩාව ඇතුළු මාළිගාවේ අභ්‍යන්තරේ බලන්න ඕනේ කියලා. රජ්ජුරුවොත් මේ අවසන් ඉල්ලීමට ඉඩ දුන්නා.

මේ ඇමතියා ඉතින් රජ්ජුරුවන්ගේ සිරියහන් ගබඩාවත් visit කරලා රාජ භෝජන හදන පැත්තත් visit කලා. මෙතෙන්දී මේ ඇමතියා හොර රහසේ ගෙන්න ගෙන තිබ්බ ජාපාල ටිකක් රජ්ජුරුවන්ගේ කෑම එකට mix කරලා රජ්ජුරුවන්ගේ toilet එකට ගිහින් දොර lock කරන් හිටියා.

ටික වෙලාවකින් රජ්ජුරුවොත් රාජ භෝජනේ ගන්න ආවා. කෑම කාලා ටික වෙලාවක් ගියාට පස්සේ මෙන්න රජතුමාගේ බඩ upset.

කෑම check කරන්න ඉන්න නිලමේටත් කොහොම හරි ජාපාල mix කරලා තිබ්බ එක මාට්ටු වුණේ නැහැ. රජතුමා toilet එක ගාවට දුවගෙන ගියා. කවුද පොරක් ඇතුලේ.

රජතුමා ඇහුවා"කවුද කවුද " කියලා. ඇමතියත් උත්තර දුන්නා තමන් තමා ඇතුලේ ඉන්නේ කියලා.

රජතුමාට දැන් ටිකක් අමාරුයි.

රජතුමා කිව්වා " ඇමතිය වහා එලියට එව" කියලා. ඇමතියත් ඉතින් ඇතුලට වෙලා "පොඩ්ඩක් ඉවසන්න රජතුමනි" කියලා දොර lock කරන් හිටියා.

අන්තිමට රජතුමාට හොඳටම අමාරු වෙලා දොර පෙරලන්න වගේ යද්දී ඇමතියා එලියට ආවා.

පස්සේ රජතුමා කාරණාව ඉටුකරන් එලියට ආවට පස්සේ ඇමතියා ඇහුවා රජතුමාගෙන්

"රජතුමනි ලෝකේ ලොකුම සැනසීම මොකක්ද කියන එකට මම දීපු උත්තරේ හරි නේද ? " කියලා.

රජතුමාත් ඉතින් පිළිගත්තා ඇමතියා හරි කියලා. පස්සේ ඒ ඇමතියාට රාජ සම්මාන දීලා දඬුවමෙන් නිදහස් කලා කියලා තමා එකෝමත් එක රටේ මිනිස්සු කියන්නේ.

ඉතින් ඇමතිතුමා ප්‍රායෝගිකවම ඔප්පු කරලා පෙන්නුවා තමන් දීපු උත්තරේ හරි කියලා.

Friday, April 16, 2010

සඟ රස බස්


අලුත් අවුරුද්දේ එක දිගට නෑදෑ ගෙවල්වල, එහෙ මෙහෙ ගිය නිසා blog එකේ මොකුත් ලියන්න වුණෙත් නැහැ. ඉතින් මේ ලඟදී මම කියෝපු පොතක තිබ්බ කතාවක් ගැන තමා අද blog එකට ලියන්න හිතුවේ.

පොතේ නම "සඟ රස බස්" කතෘ පොරවගම ඥාණසිරි හාමුදුරුවෝ. මේ පොතේ තියෙන්නේ ලංකාවේ හිටපු ප්‍රසිද්ධ, දක්ෂ හාමුදුරුවරුන්ගේ ගැන විවිධ රස කතා. මේ පොත කියෝපු අයත් ඇති. කියවපු අයට මතක් වෙන්නත් නොකියවපු අයගේ මතකේ තියා ගන්නත් තමා මේ කතාව කියන්නේ.

කතාව බැදිගම රතනපාල නායක හාමුදුරුවෝ ගැන. බැදිගම රතනපාල නායක හාමුදුරුවෝ කියන්නේ මාතර මහා මන්තින්ද පිරිවෙණ ආරම්භ කරපු ඒ වගේම නිකායාන්තර වාදවලදී ජය පිට ජය ලබා ගත්තු හාමුදුරු කෙනෙක්.

ඉතින් මේ මාතර මතින්ද පිරිවෙණ ආසන්නයේ තිබ්බා පන්සලක් පීක්වැල්ලේ පන්සල කියලා. කුල 3 ක කට්ටිය තමා මේ පන්සලේ චෛත්‍යයේ වැඩ කටයුතු කරන්න ආධාර උපකාර කළේ.

මෙහෙම හදපු චෛත්‍යයේ කොත පැළැඳවීම කුල 2 ක කට්ටිය විතරක් කළා අනිත් කුලේ අයට නොදන්වා. මේකට ආරවුලක් ඇතිවෙලා ඒ පිරිස කලේ තමන්ට නොකියා කොත තිබ්බ නිසා පස්සේ දවසේම කොත බාපු එක.

අන්තිමට මේ කොත බෑම නිසා උසාවියේ නඩුවකුත් ඉදිරිපත් වුණා. කොත බෑම නිවැරදියි කියන කට්ටියට බැදිගම හාමුදුරුවොත් අයිති වුණා. බැදිගම හාමුදුරුවෝ උසාවියේ සාක්ෂි දෙද්දී විත්තියේ නීතීඥයා බැදිගම හාමුදුරුවන්ගෙන් මෙහෙම ප්‍රශ්න ඇහුවා. මේ තියෙන්නේ ඒ සංවාදය.

නීතීඥයා : පළඳවන ලද කොතක් බෑම නිවැරදියි කියලා ඔබ වහන්සේ කියන්නේ කොහොමද ?

බැදිගම හාමුදුරුවෝ : කොත් පැළැඳවීමට, පිළිමවලට නෙත් තැබීමට වගේ කරන චිරාගත සිරිත් විරිත් තියෙනවා. ඒ එකක්වත් මෙතැනදී වෙලා නැහැ. ධර්මාශෝක රජ්ජුරුවෝ 84,000 ක් වෙහෙර විහාර කරලා ඒවායේ කොත් පැළැඳුවේ නේත්‍රා තිබ්බේ චාරිත්‍රානුකූලව. ඒ වගේ කරුණු නිසා මේ කොත් පැළැඳවීම වැරදියි.

නීතීඥයා : හොඳයි නායක හාමුදුරුවන්ට කියන්න පුළුවන්ද පළඳවපු කොතක් බාපු පන්සලක් ගැන?

බැදිගම හාමුදුරුවෝ : මාතර පීක්වැල්ලේ පන්සල

නීතීඥයා : ඒක නෙමෙයි හාමුදුරුවෝ. අදාල සිද්ධිය වුණේ ඒ පන්සලේනේ. වෙන තැනක් ගැන මම අහන්නේ.

බැදිගම හාමුදුරුවෝ : කොත් තියන තැන්, කොත් බාන තැන් හොය හොය ඉන්න හාමුදුරු කෙනෙක් නෙමෙයි මම. මට ඕව හොයන්න වෙලාවක් නැහැ. ඒ වගේම උවමනාවකුත් නැහැ. මේක ගැන මම හෙව්වේ වැඩේ වැරදි නිසා.

නීතීඥයා : හොඳයි, මේ දෙගොල්ලෝ ගහ බැණ ගත්තේ කොපමණ දුරක සිට ගෙනද ?

බැදිගම හාමුදුරුවෝ : රියනකුත් වියතක දුරක ඉදන්

නීතීඥයා : හාමුදුරුවන්ට මොකද ඒක හරියටම මනින්න හිතුණේ ?

බැදිගම හාමුදුරුවෝ : මං හිතුවා කවද හරි දවසක මේ වගේ මෝඩයෙක් ඕක මගෙන් අහයි කියලා එතකොට උත්තර දෙන්න තමා මැන්නේ.

කොහොමද හාමුදුරුවන්ගේ උත්තර ටික. නඩුවට අන්තිමට මොකද වුණේ කියලා පොතේ තිබ්බේ නැහැ. පොතේ කතාව මෙතැනින් ඉවර වෙලා තිබ්බේ. මම හිතන විදිහට කොත බෑම නිවැරදියි කියලා බැදිගම නායක හාමුදුරුවෝ හිටපු පැත්ත මේ නඩුවෙන් දිනන්න ඇති.

Tuesday, April 13, 2010

මම අළුත් අවුරුද්දට යාළුවන්ට සුභ පතන හැටි


සිංහල හා හින්දු අළුත් අවුරුද්දට කලින් ඒකට සම්බන්ධ වෙන කතාවක් කියන්න හිතුණා. ලොකු කතාවක් නොවුණත් හැමෝටම දැනගන්න කිව්වොත් හොඳයි කියලා හිතුණ නිසයි කතාව කියන්නේ.

මුහුණු පොත හෙවත් facebook එකේ මගේ ඔක්කොම යාළුවෝ 1221 ක් ඉන්නවා. ඉතින් මට ඊයේ හිතුණා මේ හැමෝටම අළුත් අවුරුද්දට සුභ පතන්න. ඒ යටතේ හැමෝටම එක පාර wish කරලා message එකක් යවන්න හැදුවත් 20 දෙනෙක්ට වඩා වැඩි ගණනකට එකපාර message කරන්න බැහැ කියලා notice එකක් ආවා. ඊට පස්සේ මම අනුගමනය කරපු ක්‍රියාමාර්ගය ගැන දැන් මතක් වෙද්දිත් මට හිතෙනවා කළේ ගොන් වැඩක්ද මන්දා කියලා :) :) :)

මම කළේ මගේ හැම යාළුවෙක්ගේම profile එකට ගිහින් wall එකේ මගේ අළුත් අවුරුදු සුභ පැතුම ලියපු එක. මේ වැඩේ ටික වෙලාවක් කරගෙන යද්දී මට මාර විදිහට එපා වුණත් නවත්තන්න හිතුවේ නැත්තේ යාළුවෝ කට්ටියකට විතරක් wish කරලා අනිත් කට්ටියට wish නොකර ඉන්න එක හරි නැහැ කියලා හිතුණ නිසා.

ඒ වගේම එපා වුණු හැම වෙලාවකම මම හිතුවේ friend request sent කරලා හරි friend request accept කරලා හරි යාළුවෝ ගාණ වැඩි කරගත්ත නම් අළුත් අවුරුද්දටවත් එයාලට wish කරන එකවත් මම කරන්නේ නැත්නම් ඒ friendship එකෙන් තියෙන වැඩේ මොකක්ද කියලා.

ඒ වගේම මට ඒ හැම තිස්සේම හිතුණේ "කුම්බලා මාළු කෑවා නම් විඳවාපන් බළලෝ" කියන සිංහල කියමන.

අන්තිමට වැඩේ ඉවර වෙද්දී පාන්දර එකට ආසන්නයි. මගේ මුස්ලිම් හා විදේශීය මිතුරන් ඇර ඔක්කොම යාළුවෝ 1100 [ආසන්න වශයෙන්] කගේ wall වල මගේ අවුරුදු සුභ පැතුම ලිව්වා. අන්තිමට ඇස්වලින් නිදිමත බේරෙනවා. ඒත් සතුටුයි. මගේ යාළුවන්ට ඒ විදිහට හරි අළුත් අවුරුද්දට සුභ පතන්න හැකිවුණු එක ගැන.


අනිත් කාරණේ තමා මම ඉස්සර කලේ අළුත් අවුරුද්දට යාළුවන්ට wish කරලා messages phone එකෙන් යවන එක. පස්සේ මම උපහාර sim එකක් [මගේ නෙමෙයි, මගේ අම්මාට හම්බුණු එක] පාවිච්චි කරන්න ගත්තු නිසා මොබිටෙල් හා ස්ථාවර දුරකතන තියෙන අයට call කරලා wish කරන්නත් අනිත් අයට messages යවන්නත් පුරුදු වුණා. ඔය වැඩේ අවුරුදු 2 ක් විතර කරලා ලොකු ලොකු ගණන්වල phone බිල් ඇවිත් මට්ටු වෙලා ඉන්න නිසයි මෙහෙම කරන්න හිතුවේ.

කොහොමින් කොහොම හරි ඔයාල කවුරු හරි මගේ facebook යාළුවෙක් නම් මේ වනවිට මගේ අවුරුදු සුභ පැතුම ඔයාලට ලැබෙන්න ඇති. ඒ නැත්නම් ඔයාල කවුරු හරි මොබිටෙල් හරි ස්ථාවර දුරකතනයක් තියෙන මගේ යාළුවෙක් නම් ඔයාලට අද call එකක් ලැබෙයි මගෙන් අළුත් අවුරුද්දට wish කරලා. අනිත් දුරකතන සේවාවන් භාවිතා කරන මගේ යාළුවන්ට internet එකෙන් එවන sms එකක් ලැබෙයි මගෙන් අළුත් අවුරුද්දට wish කරලා. මේ කිසිම කාණ්ඩයකට අයත් නොවන අයත් ඇතිනේ. එයාලට ඉතින් blog එකෙන් සුභ පතන්න තමා හිතුවේ

උදාවන්නා වූ සිංහල හා හින්දු අළුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුට සෞභාග්‍යය සපිරි කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා, 120 ට 220 ක් ආවඩා ආයු බොහෝ වේවා !!!!!

Saturday, April 10, 2010

Traffic Lights රතු කහ කොළ


පහුගිය දවසක අපි කට්ටියක් shopping යද්දී වෙච්ච වැඩ 2 ක් නිසා මට මතක් වුණු joke කතා 2 න් එකක් පහුගිය දවසක මම කිව්වානේ. ඊට පස්සේ අනිත් කතාව කියන්න හිටියට ඊට වඩා සිරා කතාවක් මම කිව්වානේ "මලින්ද සර්" ගැන.

ඉතින් අද කියන්න යන්නේ මට මතක් වෙච්ච අනිත් කතාව. ඒකට මතක් වෙන්න මුල්වෙච්ච නිධාන කතාවත් එක්ක.

එදා අපි ගිය car එක drive කරපු යාළුවා Traffic Lights වල රතු පාට වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දිත් car එක නවත්තන්නේ නැහැ කොහොම හරි දාගන්න තමා try එක දෙන්නේ. ඉතින් එහෙම සිද්ධියක් ගැන තමා මේ අනිත් කතාව.

දවසක් යාළුවෝ දෙන්නෙක් Motor Bike එකක ගමනක් ගියා. මෙහෙම යද්දී එක හන්දියක තිබ්බ Traffic Light එකේ රතු පාට වැටෙන්න ඔන්න මෙන්න. Bike එක drive කරපු යාළුවා bike එක නැවැත්තුවේ නැහැ එහෙම්ම දැම්මා. පිටිපස්සේ seat එකේ හිටපු යාළුවාට බයේ බැහැ.

Man කිව්වා bike එක drive කරපු යාළුවාට " උඹට පිස්සුද බන් එහෙම bike එක දාන්න" කියලා.

bike එක drive කරපු යාළුවා වීරයා වගේ කිව්වා "ඔහොම තමා බන් අපේ අයියත්. මිනිහත් කිසි ගාණක් නැතුව bike එක දානවා" කියලා.

ටික දුරක් ඔහොම යද්දී ආයි හන්දියක Traffic Light එකේ රතු වැටිලා තිබ්බේ. Drive කරපු man ඒත් bike එක නැවැත්තුවේ නැහැ දැම්මා ඉස්සරහට. පිටිපස්සේ seat එකේ ගිය යාළුවගේ ඇඟේ ලේ වතුර වෙලා.

Man කිව්වා bike එක drive කරපු යාළුවාට " උඹට පිස්සුද බන්. තව ඩිංගෙන් අපි දෙන්නා හැප්පෙන්නත් තිබ්බා බන්. ඒ වගේද traffic කාරයෙක් ඕක දැක්ක නම්" කියලා.

Bike එක drive කරපු යාළුවා ඒ පාරත් කිව්වා " අපේ අයියත් ඔහොම තමා බන් කිසි බයක් නැතුව එක දානවා" කියලා.

තව ටික දුරක් යද්දී හම්බුණු හන්දියේ Traffic Light එකේ කොළ පාට වැටිලා තිබ්බා. Bike එක drive කරපු man පට ගාද්දී bike එක නැවැත්තුවා.

පිටි පස්සේ හිටපු යාළුවා එතකොට ඇහුවා " ඇයි බන් bike එක නැවැත්තුවේ. ඉස්සරහට යන්න පුළුවන් නේ" කියලා.

එතකොට bike එක drive කරපු man කිව්වා " නැහැ බන් කෝකටත් කල්පනාවෙන් bike එක දාන්න ඕනේ. මොකද අනිත් පැත්තෙන් අපේ අයියා එනවද දන්නේ නැහැ" කියලා