Sunday, March 24, 2013

එකම කාලේ පාප්වරු තුන් දෙනෙක් ???

 පාප්වරු තුන් දෙනෙක්

මේ දවස්වල XVI වෙනි බෙනඩික් පාප්තුමා ධූරයෙන් සමුගැනීම වගේම ෆ්‍රැන්සිස් පාප්තුමා ධූරයට පත්වීම වගේ කරුණු කාරණා කතාවෙන නිසා ඒ ගමන්ම මේ කතාවත් කියලා දාන්න තමා හිතුවේ. XVI වෙනි බෙනඩික් පාප්තුමා තවමත් ජීවමාන සිටින නිසා මේ කාලේ පාප්වරු දෙන්නෙක් ඉන්නවා කියලා ඕන්නම් කියන්න පුලුවන්.

ඒත් බෙනඩික් පාප්තුමා නිල වශයෙන්ම ඉල්ලා අස්වෙලා තියෙන නිසා එහෙම එකකුත් කියන්න බැහැ. ඒත් නිල වශයෙන්ම පත් කෙරුණු පාප්වරු තුන් දෙනෙක් එකම කාලෙක හිටියා කියන කතාව නම් ඇත්ත. වැඩි කතා ඕනේ නැහැ අපි කතාවට බහිමුකෝ.

VIII වෙනි බොනිෆස් පාප්තුමා

කතාව පටන් ගන්නේ 1294 දී පාප් ධූරයට පත්වුණු VIII වෙනි බොනිෆස් පාප්තුමාගෙන්. මේ වෙද්දී ක්‍රමයෙන් කතෝලික පල්ලියට දේශපාලනික වගේම ආගමික අතිනුත් විවිධාකාරයේ ගැටලු මතුවෙමින් තිබුණු කාලයක්. මේක නිසා පල්ලියේ බලය තහවුරු කරගන්න ලෞකික අධිකාරයට වඩා ආගමික අධිකාරය උතුම් කියපු බොනිෆස් පාප්තුමා ඒක සනාථ කරන වැඩ පිළිවෙලක් පටන් ගත්තා. 

ඒ යටතේ 1298 දී පාප්තුමාගේ අවසරයක් නැතුව පූජකවරුන්ගෙන් බදු අය කරන්න රජවරුන්ට අවසරයක් නැහැ කියලා නියෝගයක් නිකුත් කරන්න එතුමා කටයුතු කරනවා. ඒත් ඒ වෙද්දී ජාතික රාජ්‍ය වශයෙන් නැගී ගෙන ආපු ප්‍රංශය වගේම එංගලන්තය නම් ඒකට කැමති වුණේ නැහැ. 

විශේෂයෙන්ම එංගලන්තයේ I වෙනි එඩව්ඩ් ප්‍රංශයේ IVවෙනි පිලිප් වගේ රජවරු මේ නියෝගයට එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැතිව පල්ලි ඉඩම්වලින් බදු අය කරන්න පටන් ගත්තා. මේ නිසා පාප්තුමාට සිද්ධ වෙනවා ජාතික හදිසි අවස්ථාවන්වලදී පූජකවරුන්ගෙන් බදු අය කරගන්න රජතුමාට පුලුවන් කියලා තමන්ගේ නියෝගය සංශෝධනය කරගන්න. 

ප්‍රංශයේ IV වෙනි පිලිප් රජතුමා

මේ විදිහට පාප්තුමායි රජවරුයි අතරේ ගැටුමකට මුල පිරෙද්දී තමා ප්‍රංශයේ IV වෙනි පිලිප් රජතුමා ප්‍රංශයේ හිටිය බිෂොප්වරයෙක්ව අත් අඩංගුවට ගන්නේ. මේ වැඩේට විරුද්ධ වුණු පාප්තුමා රජතුමාව කතෝලික ආගමෙන් නෙරපනවා කියලා තර්ජනය කරනවා. 

රජතුමා ඒ තීරණය ගැන කෝපවෙලා VIII බොනිෆස් පාප්තුමාව ඉවත් කරලා වෙන අයෙක්ව පාප් ධූරයට පත් කරන්න තීරණය කරලා 1303 සැප්තැම්බර් මාසයේදී ඉතාලි රදළ පිරිසකගේත් උදව් ඇතුව පාප් මාළිගාවට පහරදීලා පාප්තුමාව සිරභාරයට ගන්නවා. කොහොම නමුත් පස්සේ මේ සිද්ධිය සමථයකට පත්වුණත් සිද්ධිය නිසා ඇතිවුණු කම්පනයෙන් VIII බොනිෆස් පාප්තුමා මාසයකට පමණ පස්සේ ස්වර්ගස්ථ වෙනවා. 

V වෙනි ක්ලෙමන්ට් පාප්තුමා

මේක තමන්ගේ අවස්ථාව කරගන්න ප්‍රංශයේ IV වෙනි පිලිප් රජතුමා ප්‍රංශ ජාතික පාප්තුමෙක්ව පත් කරගන්න කටයුතු කරනවා. ඒ යටතේ පත්වුණු V වෙනි ක්ලෙමන්ට් පාප්තුමා රෝමයේ පාප් මාළිගාවට යන්නේ නැතුව අග්නිදිග ප්‍රංශ සීමාවේ රොන් ගඟ ගාව තියෙන ඇවිග්නොන් කියන නගරයේ වාසය කරනවා. 1309 ඉදන් 1377 වෙනකම් බැබිලෝනියන් අත් අඩංගුව කියලා හඳුන්වන මේ කාලයේ පත්වුණු හැම පාප්තුමෙක්ම වාසය කරන්නේ මේ නගරයේ.

මේ කාල සීමාවේදී හැම පාප්තුමෙක්ම ප්‍රංශ ජාතිකයන් කාඩිනල්වරුන් විදිහට වැඩි වශයෙන් පත් කරගත්තා වගේම ඒක නිසා හැම විටම වගේ පාප් ධූරය ප්‍රංශ ජාතික කාඩිනල්වරයෙක්ටම හිමිවුණා. මේ නිසාම ප්‍රංශයට හිතැති සහ වාසිදායක වෙන තීරණ පාප්වරු ගත්තා වගේම ක්‍රමයෙන් කතෝලික පල්ලියේ විවිධාකාරයේ ගැටලු ඇතිවෙන්න පටන් ගත්තා. 

  XI වෙනි ග්‍රෙගරි පාප්තුමා

මේ කාලයේදීම පාප්තුමාට අයිති වෙලා තිබුණු ඉතාලි ප්‍රදේශ අහිමි වීමේ තර්ජනයක් එහෙමත් ආපු නිසා රෝම වැසියන්ගේ ඉල්ලීමට XI වෙනි ග්‍රෙගරි පාප්තුමා 1377 දී නැවත වරක් රෝමයේ වාසයට ආවා. 1378 දී XI වෙනි ග්‍රෙගරි පාප්තුමා ස්වර්ගස්ථවීමත් එක්ක රෝම හෝ ඉතාලි කාඩිනල්වරයෙක් පාප් ධූරයට පත් කරන්න කියලා මහජන මතයක් ගොඩනැගුණු නිසා කාඩිනල්වරු ඉතාලි ජාතික පාප්තුමෙක් පත් කරගන්නවා. ඒ VI වන අර්බන් පාප්තුමා. 

 VI වන අර්බන් පාප්තුමා

එතුමා උත්සහ කරන්නේ ප්‍රංශ ආදිපත්‍යට නතු වෙලා තිබුණු පාප් ධූරය නැවත වරක් ස්වාධීන කරන්න. ඒ යටතේ එතුමා අලුතෙන් කාඩිනල්වරු 28 ක් පත් කරලා කාඩිනල් මණ්ඩලයේ ප්‍රංශ බලය අවම කරන්න කටයුතු කරනවා. ඒත් ඒ කටයුත්තට එරෙහිව නැගී සිටිය ප්‍රංශ කාඩිනල්වරු VI වන අර්බන් පාප්තුමාගේ පත්වීම වලංගු නැහැ කියලා ප්‍රකාශයක් නිකුත් කරලා VII වන ක්ලෙමන්ට් නමින් නව පාප්තුමෙක් පත් කරගන්නවා. 

VII වන ක්ලෙමන්ට් පාප්තුමා

පාප් ධූරය අත් හරින්න අකමැති වුණු VI වෙනි අර්බන් පාප්තුමා VII වන ක්ලෙමන්ට් පාප්තුමා කතෝලික සභාවෙන් නෙරපා හරිනවා. VII වන ක්ලෙමන්ට් පාප්තුමාත් දැන් නිත්‍යානුකූල පාප්තුමා තමන් කියලා ප්‍රකාශ කරලා VI වෙනි අර්බන් පාප්තුමාව කතෝලික සභාවෙන් නෙරපා හරිනවා. 

මේ නිසා එකම කාලේ පාප්වරු දෙන්නෙක් කතෝලික ජනතාව පාලනය කරනවා. VI වෙනි අර්බන් පාප්තුමා රෝමයේ කේන්ද්‍ර කරගෙන තමන්ගේ පාලනය ගෙනයනවා. ඉතාලිය, ජර්මනිය, එංගලන්තය වගේ රටවල් එතුමාට පක්ෂපාතී වෙනවා. VII වන ක්ලෙමන්ට් පාප්තුමා ඇවිග්නොන් නගරය කේන්ද්‍ර කරගෙන තමන්ගේ පාලනය ගෙනයවා. ප්‍රංශය, ස්කොට්ලන්තය, නේපල්ස්, ස්පාඤ්ඤය එතුමාට පක්ෂපාතී වෙනවා. 

1389 දී VI වෙනි අර්බන් පාප්තුමා ස්වර්ගස්ථ වීමත් එක්ක එතුමාගේ අනුප්‍රාප්තිකා විදිහට IX වෙනි බොනිෆස් පාප්තුමා පත්වෙනවා.

1394 දී VII වන ක්ලෙමන්ට් පාප්තුමා ස්වර්ගස්ථ වීමත් එක්ක එතුමාගේ අනුප්‍රාප්තිකයා විදිහට XIII වෙනි බෙනඩික් පාප්තුමා පත් වෙනවා.

1404 ඔක්තෝබර් මාසයේදී IX වෙනි බොනිෆස් පාප්තුමා ස්වර්ගස්ථවීමත් එක්ක එතුමාගේ අනුප්‍රාප්තිකයා විදිහට VII වෙනි ඉනසන්ට් පාප්තුමා පත් වෙනවා. 1406 දී එතුමා ස්වර්ගස්ථ වීමත් එක්ක XII වෙනි ග්‍රෙගරි පාප්තුමා පත් වෙනවා.

XII වෙනි ග්‍රෙගරි පාප්තුමා

මේ තත්වයත් එක්ක කතෝලික සභාව බිඳ වැටීමේ තර්ජනයක් එල්ල වෙන්න පුලුවන් නිසා කතෝලික සභාව බේරා ගැනීමේ අරමුණෙන් සංහිදියා ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙනවා. පැරිස් විශ්වවිද්‍යාලයේ බුද්ධිමතුන් වගේම ආච් බිෂොප්වරු, බිෂොප්වරු, ඇබට්වරු, එංගලන්ත, ප්‍රංශ, ජර්මන්, පෝලන්ත, සිසිලි රජවරුන්ගේ නියෝජිතයන් කියන මේ සියලු දෙනාම 1409 දී ඉතාලියේ පීසාවලට රැස් වෙනවා. මේ එකතුව Council of Pisa නමින් හැඳින්වෙනවා.

මේ සමුළුවේදී XII වෙනි ග්‍රෙගරි සහ XIII වෙනි බෙනඩික් කියන පාප්තුමන්ලා දෙන්නාම ධූරවලින් පහ කරලා ග්‍රීක ජාතික පාප්තුමෙක් පත් කරගන්නවා. ඒ V වෙනි ඇලෙක්සැන්ඩර් පාප්තුමා. ඒත් ගැටලුව වෙන්නේ පීසා සමුළුවේ තීරණය පිළිගන්න XII වෙනි ග්‍රෙගරි සහ XIII වෙනි බෙනඩික් පාප්තුමන්ලා අකමැති වීම 

 V වෙනි ඇලෙක්සැන්ඩර් පාප්තුමා

මේ නිසා එකම කාල සීමාවේ XII වෙනි ග්‍රෙගරි, XIII වෙනි බෙනඩික්, V වෙනි ඇලෙක්සැන්ඩර් නමින් පාප්තුමන්ලා තුන් දෙනෙක් ඉන්නවා. 1410 දී V වෙනි ඇලෙක්සැන්ඩර් පාප්තුමා ස්වර්ගස්ථ වීමත් එක්ක එතුමාගේ අනුප්‍රාප්තිකයා විදිහට XXIII වෙනි ජෝන් පාප්තුමා පත් වෙනවා. 

Council of Constance

තත්වය තව දුරටත් අවුල් ජාලාවක් වෙන නිසා 1414 ඉදන් 1418 වෙනකම් මීටත් වඩා පුළුල් නියෝජනයක් ඇතුව ශුද්ධ රෝමානු අධිරාජයා වුණු සිගිස්මන්ඩ්ගේ මූලිකත්වයෙන් කොන්ස්ටන්ස් නගරයේදී සම්මේලනයක් පවත්වන්න පිරිස කටයුතු කරනවා. මේ එකතුව Council of Constance නමින් හැඳින්වෙනවා.

 XXIII වෙනි ජෝන් පාප්තුමා

ඒ යටතේ XXIII වෙනි  ජෝන් සහ XIII වෙනි බෙනඩික් කියන පාප්වරුන් Anti Popes විදිහට නම් කරලා ඔවුන්ව ධූරයෙන් පහ කරනවා. ඒ වගේමයි XII වෙනි ග්‍රෙගරි පාප්තුමාවත් ධූරයෙන් පහ කරලා එතුමාට Cardinal Bishop of Porto and Santa Ruffina කියන ගෞරව තනතුර ප්‍රදානය කරනවා. එතුමා මේ සම්මේලනය අතරවාරයේදී ස්වර්ගස්ථ වෙන නිසා අවසානයේදී සම්මේලනයේ එකඟත්වයත් මත එතුමාගේ අනුප්‍රාප්තිකයා විදිහට V වෙනි මාර්ටින් පාප්තුමා 1417 දී තෝරා පත් කර ගන්නවා.  

XIII වෙනි බෙනඩික් පාප්තුමා

XXIII වෙනි ජෝන් පාප්තුමා ධූරයෙන් ඉවත් වෙන්න කැමති වුණත් XIII වෙනි බෙනඩික් පාප්තුමා ධූරයෙන් ඉවත් වෙන්න අකමැති වෙන නිසා එතුමාව කතෝලික සභාවෙන් නෙරපන්න සම්මේලනය තීරණය කරනවා. ඊට පසුව Perpignan ප්‍රදේශයේ වාසය කරපු XIII වෙනි බෙනඩික් 1423 දී ස්වර්ගස්ථ වෙනකම්ම ප්‍රකාශ කරන්නේ නියම පාප්තුමා තමන් කියලා. 

XXIII වන ජෝන්ගේ සොහොන

පසුව පත්වුණු V වෙනි මාර්ටින් පාප්තුමා යටතේ XXIII වෙනි ජෝන් Tusculum ප්‍රදේශයේ කාඩිනල් බිෂොප් වශයෙන් කටයුතු කරලා 1418 දෙසැම්බර් ස්වර්ගස්ථ වෙනවා. 

 V වෙනි මාර්ටින් පාප්තුමා

සම්මේලනයේදී XXIII වෙනි ජෝන් සහ XIII වෙනි බෙනඩික් වගේම VII වෙනි ක්ලෙමන්ට්, V වෙනි ඇලෙක්සැන්ඩර් කියන පාප්වරුත් Anti Popes ලා විදිහට නම් කෙරෙනවා. ඒ විදිහට තමා පාප්වරුන් තුන් දෙනෙක් එකම කාලේ හිටිය ප්‍රශ්නේ නිරාකරණය වුනේ.

 Council of Constance

ඔක්කොම නම් ගම් පැටලෙනවා වගේ නම් පහළින් තියෙන රූප සටහන බලන්නකෝ.


මේ සටහන ගැන අමාරු ප්‍රශ්න තියෙනවා නම් ගිහාන් සහෝදරතුමාට සහ හරී අයියාට යොමු කරනු ලැබේ :D

ප.ලි.: වැස්ස වෙලාවට කරන්න දෙයක් නැති නිසා පරණ ඉතිහාසය පොත් ටිකක් කියවන්න පටන් ගත්තා. ඒ වෙලාවේ තමා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ යුරෝපයේ ඉතිහාසය පොතේ තිබිලා මේ කතාව හම්බුණේ. පලිප්පු දාන්න විස්තර ගත්තේ විකිපීඩියාවෙන්

ප.ප.ලි.: මුල්ම ෆොටෝ එක ඉස්සුවේ හරී අයියාගෙන් :)

Wednesday, March 20, 2013

හලාල් හලාල්.... හලාල් කතා දෙක තුනක් + විහිළුද සහිතයි



මෙන්න චුට්ටි "හලාල්" කතාවක්...

කැම්පස් එකේ අපිත් එක්ක ඉගෙන ගන්න ගෑණු ළමයෙක් මට හවස මැසේජ් එක්ක එව්වා. ඒකේ තියෙන්නේ මේන් මෙහෙම කතාවක්

"ආයුබෝවන්, අවුරුදු කාලෙට නෝ ලිමිටි, ෆැෂන් බග්, ග්ලිට්ස්, පාල්ලු [?] කූල් ප්ලැනට් වෙනුවට අපේකම වෙනුවෙන් අපේ ඒවාට යන්න.

කැන්ඩි, ඒ.එස්.බී,සී.අයි.බී,ලේඩි ජේ, ෂේඩ්, සුපුල්, හවුස් ඔෆ් ෆැෂන්, තිලකවර්ධන...

අපේකම වෙනුවෙන් සැබෑ සිංහලයෙක් ලෙස මෙය තවත් 10 දෙනෙකුට යවා අපේ ලක් මෑණියන් මුසල්මානුවන්ගෙන් බේරා ගනිමු."

ඕන් ඕකයි මැසේජ් එක, මම රිප්ලයි කළා මේන් මෙහෙම

"මේ ආර්ථිකේ හැටියට ගමේ පොළට ගිහින් සරමක් ගන්නවත් සල්ලි නැතුව ඉන්නේ. ඒක නෙමෙයි පැට්‍රල්, ඩීසල් ගන්න හොඳද ?? ඒවාත් එන්නේ මුස්ලිම් රටවල්වලින්නේ"

ඒකට එයාට මෙහෙම රිප්ලයි කළා

"ඒක නම් ඇත්ත තමා. මට ආපු මැසේජ් එක ෆෝවඩ් කළේ. පැට්‍රල්, ඩීසල් ගැන කතා කරන්න තව ටික කාලයක් යයි"

මටත් ඉන්න බැහැනේ. මම ආයි යැව්වා මැසේජ් එකක්

"මුස්ලිම් කඩවලින් බඩු ගත්තාම උන්ට යන ලාබෙට වඩා ලොකු ලාභයක් මේ විදිහට මුස්ලිම් රටවල්වලින් තෙල් ගත්තාම තම්බින්ට යනවානේ"

එයා අන්තිමට මෙහෙම මැසේජ් කරනවා.

"ඒක ගැනත් දන්න හැමෝටම අපි මැසේජ් කරමු..."

ඕන් ඔහොමලු කතාව :D
  

-------------------------------------------------------------------------------------------------------------

මෙන්න "හලාල්" කතා අංක 02

අපේ යෞවන සමාජයෙන් මේ පාර ගමේ අලුත් අවුරුදු උත්සවය ලොකුවටම කරන්න තමා ප්ලෑන් කරගෙන ඉන්නේ. ඒ නිසා හැමදාම වගේ හවසට කට්ටිය පන්සලට එකතු වෙලා වැඩ කටයුතු ගැන කතා කරලා සල්ලිකාරයන්ගෙන් "දත්"ගලවන්න යනවා :D

පහුගිය ගිය දවසක කට්ටිය පන්සලට එකතු වුණු වෙලාවේ පොඩි හාමුදුරුවන්ගෙන් යෝගට් සංග්‍රහයක් අපි කට්ටියට ලැබුණා. නිව්ඩේල්, අඹේවෙල, හයිලන්ඩ් කියන ජාති තුනෙන්ම යෝගට් මෙතන තිබුණා.

අපි ඉක්මණට යෝගට් එක්ක අරගෙන කන්න පටන් ගත්තාම තව එකෙක් [මෙයා අපේ පන්සලේ නායක හාමුදුරුවන්ගේ සභාපතීත්වයෙන් ගමේ පිහිටුවලා තියෙන හලාල් විරෝධය සඳහා වෙන සංවිධානයේ බල කණුවක්] හලාල් මාක් එක නැති යෝගට් එකක් තෝරන්න පටන් ගත්තා.

ඒ වෙලාවේ තව එකෙක් [මිනිහත් අර සංවිධානේ බල කණුවක්] කිව්වා මෙහෙම.

"මොකටද හලෝ ඕකේ හලාල් තියෙනවද නැද්ද කියලා බලන්නේ. දැන් ඕකේ හලාල් තිබ්බා නැතා කියලා වෙනසක් තියෙනවද. යෝගට් සල්ලිවලට ගත්තු මනුස්සයා දැන් හලාල්වලට ගෙවලා තියෙන්නේ. දැන් අපි ඕකේ හලාල් තියෙනවා කියලා නොකා හිටියේ අපේ බඩටයි පාඩුව"

පස්සේ එයා තවත් මේ කතාව විස්තර කළා...

"හලාල් මාක් එක තියෙන කෑම මම සල්ලිවලට ගන්නේ නැහැ. ඒක මගේ ප්‍රතිපත්තිය. ඒත් මොකෙක් හරි හලාල් මාක් එක තියෙන කෑමක් සල්ලි දීලා අරගෙන මටත් දුන්නොත් ඒක මම නොකා ඉන්නවා කියන්නේ මගේ ගොන්කම"

ඒ මොනවා වුණත් අපේ යාලුවා යෝගට් මල්ල තෝරලා අඹේවෙල යෝගට් එකක් අතට අරගෙන කිව්වා.

"මගේ ප්‍රතිපත්තිය හලාල් මාක් එක තියෙන කෑම මම සල්ලිවලට ගන්නෙත් නැහැ, නිකම් දුන්නත් කන්නේ නැහැ"

එහෙම කියලා මිනිහා හලාල් නැති අඹේවෙල යෝගට් එක කන්න පටන් ගත්තා....

ඕන් එහෙමලු ඒ කතාව :D

---------------------------------------------------------------------------------------------------------------

මෙන්න චුට්ටි "හලාල්" කතා අංක 3

අර විදිහට හලාල් නැති යෝගට් හොයන්නයි, සල්ලි දීලා ගත්තේ නැත්නම් හලාල් කෑමට අවුලක් නැහැ කියන එකටයි අපි කට්ටිය දාන ශාලාවට වෙලා යෝගට් කන ගමන්ම හෙණ වාදේ. කෙස් පැලෙන තර්ක ගොඩායි.

මේ වෙලාවේ එතැනට වැඩිය අපේ පන්සලේ නායක හාමුදුරුවෝ අපිට මෙහෙම කිව්වා

"කොල්ලනේ උඹලා හලාල් බැරි යකඩ හරි කාපල්ලා. හැබැයි කෑ ගහන්න එපා උඩහ බෝධි පූජාව. මිනිස්සු ගාථා කියනවා"

මේක අහපු ගමන් හලාල් නැති යෝගට් එක හොයපු එකාව බයිටට අල්ල ගත්තු අනික් එවුන් කියන්න පටන් ගත්තා

"මොකක්ද බන් මේකේ තේරුම. උඹලාගේ සංවිධානේ සභාපතිම කියනවා හලාල් බැරි නම් යකඩ හරි කාපන් කෑ නොගහ කියලා. මොකක්ද බන් මේකේ තේරුම" :D

හැබැයි ඉතින් මේක නම් නායක හාමුදුරුවෝත් කිව්වේ විහිළුවට, අපිත් අරූට කිව්වේ විහිළුවට. හරිද ???

------------------------------------------------------------------------------------------------------------=

මෙන්න චුට්ටි "හලාල්" කතා අංක 4

ගමේ තියෙන හලාල් විරෝධී සංවිධානේ තව බල කණුවකුයි [කලින් දෙන්නා නෙමේ, වෙන කෙනෙක්] තව එකෙකුයි තව වාදයක්. ඒ සංවාදය කියවීමේ පහසුවට චරිත දෙක මෙහෙම කෙටි කරන්නම්. හ.වි.සං.බ සහ අනෙකා කියලා

හ.වි.සං.බ : අපි මේ විදිහට හලාල් විරෝධය දියත් කරලා මුස්ලිම් ව්‍යාප්තිවාදය වළක්වන්න යන්නේ. සිංහල බෞද්ධයන්ව ආරක්ෂා කරගන්න යන්නේ

අනෙකා : එහෙම කවුරුත් ආරක්ෂා කරන්න ඕනේ නැහැනේ. බුදු හාමුදුරුවෝ දේශනා කරලානේ තියෙන්නේ "ධම්මො හවෙ රක්ඛති ධම්මචාරී" කියලා. එතකොට හරියට ධර්මයේ හැසිරෙන කෙනාව දහමෙන්ම ආරක්ෂා කරනවා. ඒක ඔයාලා පිළිගන්නේ නැහැ කියන්නේ බුදු හාමුදුරුවන්ගේ සර්වඥතා ඥානයටත් ඔයාලා අභියෝග කළා කියන එකනේ

අනෙක මේ වගේ ව්‍යසන බෞද්ධයන්ට වෙනවා කියන එක බුදු හාමුදුරුවෝ අනාගතය දකිනා නුවණින් දැක්කේ නැති ගාණටනේ ඔයාලා කතා කරන්නේ. මට පේන විදිහට ඔයාලා බුදු හාමුදුරුවන්ගේ තුන් කල් දකින ඥානයටත් අභියෝග කරන පාටයි

තව දෙයක් හලාල් විරෝධයට බෞද්ධයන්ව පෙළ ගස්වන එකට වඩා වටින්නේ බෞද්ධ ප්‍රතිපදාවට බෞද්ධයන්ව පෙළ ගස්වන එක නේද ?

හ.වි.සං.බ : ඔව්, අපි ඒක නිසා තමා අපේ සංවිධානේ ඉන්න තරුණ අයව හැම පෝයට පන්සලට එකතු කරන්නේ. පන්සලේ ආගමික වැඩවලට සම්බන්ධ වෙන්නේ

අනෙකා : විහිළුනේ බන් ඕවා. මට කියපන් ඔය එකතු වෙන එවුන්ගෙන් හරියට පන්සිල් රකින පස් දෙනෙක්ව. උඹම ගනින් උඹ මස්, මාලු කනවා නේද ? ඔතැන ඉන්න කී දෙනෙක් සිගරට්, අරක්කු බොන එවුන්ද ??

අමුතුවෙන් හලාල් මඟුලක් ඕනේ නැහැ. මුස්ලිම් ව්‍යාප්තිවාදයක් වළක්කන්න මැරෙන්න යන්න ඕනේ නැහැ. හරියට බෞද්ධ ප්‍රතිපදාව පිළිපදිනවා නම් පුද්ගලිකව වගේම ජාතියක් විදිහටත් දියුණුවක් ලබන්න පුලුවන්.

හ.වි.සං.බ : යකෝ මේවා වැරදි නම් මේකට හාමුදුරුවරුම මූලිකත්වය ගනීද ??

අනෙකා : ඔන්න ඔන්න වරද්ද ගත්තු අනිත් තැන. උඹ බුදු හාමුදූවෝ දේශනා කරපු කාලාම සූත්‍රය කියවලා නැද්ද ?? ඒකේ මොකක්ද කියන්නේ ? බුදු හාමුදුරුවෝ කිව්වත් පිළිගන්න එපා කියලා ඒකේ තියෙන්නේ. තමන්ගේ සිහි නුවණින් හිතලා බලලායි පිළිගන්න කියලා බුදු හාමුදුරුවෝ දේශනා කළේ. එතකොට හාමුදුරුවෝ මුල් වුණා කියලා වැඩේ හරියි කියන එක හරි බොළඳයි

හ.වි.සං.බ : උඹලාට මේවා තේරෙන්නේ නැහැ. ඒත් කවදා හරි උඹලාට මේවා තේරෙද්දි පසු තැවෙන්න වෙයි

අනෙකා : අනේ බන් උඹ ෆේස්බුක් නැද්ද? ඒකෙත් ඔය සැරට වාද ගිහින් කියාගන්න දෙයක් නැති වුණාම ප්ලේ කරන තැටිය තමා ඕක

ඒ සංවාදයත් නිමායි :D

Sunday, March 17, 2013

ජෝන් පයිබස් සොයා එංගලන්තයට ගිය ගමන - ඉතිහාසයේ අප්‍රකට කතා 18

අපි සමහර අයගේ ජීවිතේ මුල ගැන දන්නවා ඒත් මැද අග ගැන දන්නේ නැහැ, තවත් සමහරුන්ගේ මැද දන්නවා මුල අග ගැන දන්නේ නැහැ, තවත් සමහරුන්ගේ අග දන්නවා මුල මැද ගැන දන්නේ නැහැ. 

මේ විදිහට කතාව පටන් ගත්තේ මේ ළඟදී දවසක මම කියෙව්ව පොතක හිටිය පුද්ගලයෙක් ගැන කරුණු හොයන්න ගිහින් ඒ පුද්ගලයා ගැන සාමාන්‍ය විස්තරයක් වගේම ඒ පුද්ගලයාගේ අවසාන කාලය ගැන විස්තරයක් ලැබුණු නිසා. 

පුද්ගලයා කවුද කියලා කිව්වොත් ඉංග්‍රීසි ජාතික ජෝන් පයිබස්. ඒ කවුද කියලා මතක තියෙන අයට මතක් වෙන්න ඇති මේ කවුද කියලා. ජෝන් පයිබස් කියන්නේ උඩරට රාජධානියේ රජතුමා හමුවෙන්න ආපු පළමුවෙනි ඉංග්‍රීසි නියෝජිතයා. 

මෙයා 1762 දී තමා ලංකාවට එන්නේ. එයාගේ දූත මෙහෙවර ගැන සකසපු වාර්තාව 1862 දී ප්‍රකාශයට පත් වෙනවා. ඒක මේජර් ආර්. රේවන් හාර්ට් විසින් සංස්කරණයට ලක් කරලා The Pybus Embassy to Kandy, 1762 නමින් කෘතියක් නිකුත් කරනවා. රාජේන්ද්‍ර බණ්ඩාර විස්න් ජෝන් පයිබස්ගේ දූත මෙහෙවර නමින් ඒක සිංහලයට පරිවර්තනය කරනවා. ඒක තමා මම කියවපු පොත. 

ඉතින් අද ආගිය කතාවෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ 18 වන සියවස අග භාගය වෙද්දී උඩරට රාජධානියේ ඇතිවෙලා තිබුණු තත්වය, ජෝන් පයිබස්ගේ ආගමනයට වටපිටාව සැකසුණු ආකාරය, ජෝන් පයිබස්ගේ දූත මෙහෙවර සහ ජෝන් පයිබස්ගේ අවසානය ගැන.

කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා

18 වන සියවස අග භාගය කියන්නේ කන්ද උඩරට රාජධානියට දේශපාලනික අතින් නම් එතරම් හොඳ කාලයක් වුණේ නැහැ. අවුරුදු 13 ක් තරම් ලාබාල වයසේදී රජ වුණු කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ ආගමික ප්‍රතිපත්ති අතිශය සාර්ථක වුණු බව ප්‍රකට කරුණක්නේ. 

1753 දී ලන්දේසි ආධාර ඇතිව සියම් රටින් උපසම්පදා භික්ෂූන් වැඩම කරවලා නැවත වරක් උපසම්පදාව පිහිටුවන්න රජතුමා සමත් වෙනවා. ඒ වගේමයි වැලිවිට සරණංකර හිමියන්ට සංඝරාජ පදවිය පිරිනමන්නේත් මේ රජතුමාමයි. ඒත් 1760 දී රජතුමාව මරා දාන්න සංඝරාජ හිමියන් ඇතුළු රදළයන් පිරිසක් කරපු කුමන්ත්‍රණය ගැන රජු මරන්නට උපක්‍රම කළ සරණංකර සංඝරාජ හාමුදුරුවෝ සටහනෙන් කතා කළා මතක ඇතිනේ.


ඒ වගේමයි රජතුමා මේ කුමන්ත්‍රණය ව්‍යර්ථ කළත් මේකට ලන්දේසීන්ගේ සහය ලැබෙන්න ඇති කියලා හිතලා ඒ අවුරුද්දේම හාපිටිගම්, අලුත්කුරු, සියනෑ, හේවාගම් කෝරළවලත් මාතර සහ ගිරුවාපත්තුවේ ලන්දේසීන්ට විරුද්ධව කැරලි ඇතිවුණාම ඒවාට විශාල වශයෙන් සහයෝගය ලබාදෙනවා. ඒ යටතේ මහාදිකාරම් ගලගොඩ ලවා 1761 දී රජතුමා මාතර ලන්දේසි කොටුව අල්ලා ගන්නවා වගේම දුම්බර රාලහාමි ලවා හංවැල්ල කොටුව විනාශ කරවනවා. 

මුල් වටයේ රජතුමාට මේ ආකාරයෙන් ජයග්‍රහණය ලැබුණත් ලන්දේසි ආණ්ඩුකාර Jan Schreuderගේ උපායන් අනුව 1762 පෙබරවාරි වෙද්දී ලන්දේසීන් හේවාගම්, හාපිටිගම්, අලුත්කුරු, සියනෑ කෝරළවලත් මාතරත් ඇතිවෙලා තිබුණු අරගලකාරී තත්වය සමනය කරලා තමන්ගේ ආදිපත්‍ය නැවත තහවුරු කරගන්නවා. 

මේ වගේ අර්බුදකාරී තත්වයක් දේශපාලනික වශයෙන් පවතිද්දී තමන්ගේ පූර්වගාමීන් අනුගමනය කරපු පිළිවෙතටම යන්න කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාට සිදුවුණා. ඒ තමයි තවත් බලවත් ජාතියක් ලවා ලන්දේසීන් පරාජය කරවන එක. II රාජසිංහ රජතුමාත් පෘතුගීසීන් මර්දනය කරන්න ගත්තු ක්‍රියාමාර්ගේ වුණේ ඒකනේ.

ශාන්ත ජෝර්ජ් බලකොටුව

මේ යටතේ රජතුමා 1762 දී ඉන්දියාවේ මදුරාසියේ පිහිටි ඉංග්‍රීසීන්ගේ ශාන්ත ජෝර්ජ් බලකොටුවේ ආණ්ඩුකාරයා වුණු George Pigot ට පණිවුඩයක් යවලා ලන්දේසීන් මර්දනය කරන්න ඉංග්‍රීසීන්ගෙන් ආධාර ඉල්ලනවා වගේම ඉංග්‍රීසින්ගේ වෙළෙඳාම් කටයුතුවලට රාජානුග්‍රහය ලබාදෙන්න කැමති බව ප්‍රකාශ කරනවා. 

මේ ඉල්ලීමත් එක්ක රජතුමා සමඟ සාකච්ඡා කරන්න මදුරාසියේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වුණු ඉංග්‍රීසි ජාතික ජෝන් පයිබස්ව ලංකාවට පිටත් කරන්න 1762 අප්‍රේල් 6 වෙනිදා තීරණය කරනවා. ඒ අනුව අද්මිරාල් කෝනිෂ්ගේ නායකත්වයෙන් නැව් 5 ක් සහ සන්නද්ධ භටයින් 200 ක් එක්ක ජෝන් පයිබස් 1762 මැයි 5 වෙනිදා ත්‍රිකුණාමලයට ගොඩ බහිනවා.

එතැනදී පයිබස්ව පිළිගන්නා රජතුමාගේ නියෝජිතයන් එක්ක පයිබස් විටෙක පා ගමනිනුත් තවත් විටෙක දෝලාවෙනුත් බොහොම කම්කටොලු මධ්‍යයේ මැයි 18 වෙනිදා මහනුවරට ළඟා වෙනවා. කෙසේ නමුත් ජෝන් පයිබස්ට මදුරාසියේ ආණ්ඩුකාරවරයා රජතුමාට එවන ලද සංදේශයත් සමඟ රජතුමා බැහැ දකින්න ලැබෙන්නේ මැයි 24 වෙනිදා. මේ පිළිබඳව විස්තර කතා කරන එක හොඳයි උඩරට සිංහල රාජ සභාවේ කටයුතු සිදුවුණු ආකාරය ගැන දැනගන්නත් එක්කම. 

ජෝන් පයිබස් විසින් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාට පිළිගන්වන්න ගෙනාපු මදුරාසියේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ගේ සංදේශය මස්ලිං රෙදි එලපු බන්දේසියක තැන්පත් කරන සිංහල නිලධාරීන් සංදේශය මස්ලිං රෙදිවලින් කීප වතාවක් ඔතනවා. ඊට පස්සේ රිදී ටසල් අල්ලලා තිබුණු රිදී නූලෙන් වැද දමපු සමචතුරස්‍රාකාර රෙද්දකින් ඒක ආවරණය කරනවා. 


ඒ බන්දේසිය පයිබස් හිසේ තියාගෙන ගමන් කරද්දී පාවඩ එලනවා වගේම චීන සේද රෙද්දෙන් කරපු වියනකුත් ඒ බන්දේසියට ඉහළින් අල්ලනවා.  පයිබස් ඉදිරියෙන් සංගීත භාණ්ඩ වාදනය කරන පිරිසක් ඉන්නවා වගේම මේ පෙරහැර ආරම්භ වීමත් එක්ක ආචාර වෙඩි මුර 11 ක් නිකුත් කරනවා.  

මහ වැසි ඇද හැලෙද්දී රෑ 7 ට විතර මේ පෙරහැර රජ මාළිගයට පිටත් වෙනවා. මේ වැඩෙන් පයිබස් හොඳටම හෙම්බත් වෙලා දෝලාවක් ඉල්ලුවත් රජු බැහැ දකින්න යද්දී පාගමනින් යන්න ඕනේ කියලා සිංහල නිලධාරීන් කියනවා. ටික වේලාවකින් රජ වාසළ ආසන්නයේ තිබෙන ගොඩනැගිල්ලට මේ කණ්ඩායම පැමිණෙනවා. එතැනින් ඉදිරියට ගමන් කරන මහ රජතුමාගෙන් අවසර ලැබෙනකම් මද වේලාවක් එතැන රැඳෙන්න වෙනවා. 

 මහනුවර රජ මාළිගාව

අවසර ලැබුණාට පසුව ඉදිරියට ගමන් කරන මේ පිරිස රජ වාසළ දොරටුවෙන් ඇතුළු වෙලා චතුරස්‍රාකාර පරිශ්‍රයකට එනවා. එතැන රාජකීය ඇතුන් වගේම අසුන් සරසලා පෙළගස්වලා තිබුණු බව පයිබස් දක්වනවා. මේ වෙලාවේ රජතුමාගේ ප්‍රධාන අදිකාරම්වරයා වුණු ගලගොඩ පයිබස්ව හමුවට එන නිසා පාවහන් ගලවා ඉවත් කරන්න කියලා සිංහල නිලධාරීන් පයිබස්ට කියනවා. අකමැත්තෙන් වුණත් ඒ ඉල්ලීමටත් එකඟ වෙන්න පයිබස්ට සිදුවෙනවා. මහාදිකාරම්තුමා සුභ පැතුම් එක් කරලා පයිබස් එක්ක ගමනේ තොරතුරු කතා කරනවා. මේ සංවාදයෙන් පස්සේ පිරිස රාජ්‍ය ශාලාවට පිටත් වෙනවා. 

ලන්දේසීන් 1783 දී රාජධි රාජසිංහ රජු බැහැ දැකීම

රාජ්‍ය ශාලාවේ ඉදිරි දොරටුව දොර රෙද්දකින් වහලා තිබෙන්නේ. පස්සේ අනු පිළිවෙලින් දොර රෙදි එසවෙන්න පටන් ගන්නවා. මේ විදිහට තිර රෙදි 6 ක් වුණු බව තමා පයිබස් දක්වන්නේ. අවසාන තිර රෙද්ද එසවීමත් එක්ක අඩි 3 ක් පමණ උස මල් ලියකම්වලින් අලංකාර කරපු ස්වර්ණාලේපිත සිංහාසනයක ඉන්න කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා දැකගන්න පයිබස්ට පුලුවන් වෙනවා. 

ඒ වෙලාවේ සංදේශය සහිත බන්දේසිය හිසේ තියාගෙන ඉන්න පයිබස්ව බලයෙන්ම සිංහල නිලධාරීන් විසින් දණ ගස්වනවා වගේම සියලු දෙනාම සම්පූර්ණයෙන්ම බිම දිගාවෙල හය පාරක් රජතුමාට නමස්කාර කරලා ආශිර්වාද වාක්‍යයක් ප්‍රකාශ කරනවා. රජතුමාත් ඒකට පිළිතුරු විදිහට කෙටි වාක්‍යයක් ප්‍රකාශ කරනවා කියලා පයිබස් දක්වනවා. 

1656 ලන්දේසි ජෙනරාල් ජෙරාඩ් හල්ෆ්ට් දෙවන රාජසිංහ රජුව බැහැ දැකීම

මේ සුභාශිංසනවලින් පස්සේ තමා රජතුමා හමුවට යන ජෝන් පයිබස් රජතුමාගේ ඉදිරියේ එලලා තිබුණු පර්සියානු පලසේ දණ ගහලා හිස මත තබාගෙන හිටිය බන්දේසියේ තිබුණු සංදේශය රජතුමාගේම අතට පිළිගන්වන්නේ. ඊට පස්සේ පිටි පස්සෙන් පිටි පස්සට යන පයිබස්ව නැවත වරක් දණ ගස්වන්න සිංහල නිලධාරීන් කටයුතු කරද්දී මහ රජතුමා නියම කරනවා කැමති ආකාරයකට අසුන් ගන්න කියලා. 

ශාලාවේ හොඳ හැටි ආලෝකයක් නොතිබුණු නිසා රජතුමාගේ ඇඳුම් පැළඳුම් හරියාකාරව දැකගන්න බැරිවුණත් ඒ ගැන පයිබස් විස්තර කරන්නේ මේ විදිහට

".... රජු රනින් වැඩ දැමූ විවෘත කබායක් හැඳ සිටි අතර ඊට යටින් බැනියමක් වැන්නක් විය. ඉණ වටා රනින් එම්බ්‍රොයිඩර් කළ බඳ පටියකි. රජුගේ හිස මත රත් පැහැයට හුරු රෙද්දකින් සෑදූ රනින් වැඩ දැමූ හිස් වැස්මකි. ඒ මත මැණික් ඇල්ලූ කුඩා මුදුන් සැරසිල්ලක් විය. ඇඟිලිවල මුදු කිහිපයක්ම විය. මැණික් ඔබ්බවා රනින් වැඩ දැමූ මිටක් සහිත කිණිස්සක් රජුගේ වම් අතෙහි විය. රජුගේ දකුණු පසින් සිංහාසනය මත මැණික් ඔබ්බවා රනින් වැඩ දැමූ අලංකාර මිටක් සහිත පැතලි විශාල අසිපතකි. චීන පාවහන්වල හැඩය ගත් රන් නූලෙන් වැඩ දැමූ තද රතු පැහැති පාවහන් යුවලක් රජු පැළැඳ සිටියේය. එම පාවහන්වල අඩිය වටේට රන් පටියක් සවිකර තිබුණු බවක්ද පෙනිණ...."

පස්සේ රජතුමා සහ ජෝන් පයිබස් අතට සංවාදය සිද්ධ වෙන්නේත් හරි අපූරු විදිහකට. රජතුමා ප්‍රශ්නයක් අහද්දී සිංහාසනය අසළ දණ ගසාගෙන ඉන්න නිලධාරියෙක් ඒ ප්‍රශ්නයා අහගෙන ඉදලා රජතුමාට නමස්කාර කරලා ඒ ප්‍රශ්නය පයිබස් එක්ක වාඩිවෙලා ඉන්න සෙන්පතියෙක්ට කියනවා. ඒ සෙන්පතියාත් රජතුමාට නමස්කාර කරලා ඒ ප්‍රශ්නය පයිබස් ගාව ඉන්න මලබාර් වෛද්‍යවරයාට කියනවා. ඊට පස්සේ මලබාර් වෛද්‍යවරයා ඒක මලබාර් භාෂාවෙන් භාෂා පරිවර්තකයාට කියනවා. එයා අන්තිමටම ඒක ඉංග්‍රීසියෙන් පයිබස්ට කියනවා. රජතුමා පසෙකින් ඉන්න ලේකම්වරයෙක් සියලුම ප්‍රශ්න සහ උත්තර සටහන් කරගන්නවා. 

මේ විදිහට රජතුමා මදුරාසි නිලධාරීන්ගේ සුවදුක් අහනවා වගේම තමන්ට සහය පළ කරන්න ඉංග්‍රීසින් සූදානම් වීම ගැන ස්තුතිය පළ කරනවා. මේ සාකච්ඡාව අවසානයේදී පයිබස්ට පිටව යන්නට රජතුමා අවසර දෙනවා. 

ඒ වෙලාවේදී ආයි පාරක් කලින් විදිහටම බිම දිගාවෙලා නමස්කාර කරද්දී ඇඟ පත රිදෙන නිසා පයිබස්ට ඉඳගෙන ඉන්න අවසර ලැබෙනවා. රාජ්‍ය ශාලාවෙන් බැහැර වුණු ගමන්ම පයිබස් සිංහල නිලධාරීන්ට දොස් පවරනවා රාජ සභාවේදී පිළිපදින්න ඕනේ සිරිත් විරිත් ගැන තමන්ට මුලින්ම නොකියපු නිසා. 

කොහොම නමුත් ඊට පස්සේ අදිකාරම්වරුන් එක්ක පයිබස් සිද්ධ කරපු සාකච්ඡාවලදී අදිකාරම්වරුන්ට මූලිකව දැනගන්න අවශ්‍ය වෙන්නේ ඉංග්‍රීසීන් ලන්දේසීන් එක්ක යුද්ධ කරන්න එකඟ වෙනවාද කියන කාරණේ. ඒත් ඒ වගේ දේකට එකඟ වෙන්න හරි ගිවිසුමකට එළඹෙන්න හරි තමන්ට බලයක් නැති වග පයිබස් කියනවා. මේ වගේ පයිබස්ගේ වැනෙන සුළු උත්තර නිසා සිංහල ප්‍රධානීන් අසතුටට පත් වෙනවා. 

අවසානයේදී ජූනි 22 ජෝන් පයිබස්ට ආපසු යාමට රජතුමා අවසර ලබා දෙනවා. මේ වෙලාවේ ත්‍යාග වශයෙන් රජතුමා විසින් මුද්දක්, කඩුවක්, මැණික් ඇල්ලූ මාලයක්, බෙංගාලි මස්ලින් රෙදි දෙකක් සහ තවත් සුළු ත්‍යාග කීපයක් ජෝන් පයිබස්ට ප්‍රදානය කරනවා ජූනි 24 ගමන් අරඹන පයිබස් ජූලි 4 වෙනිදා නැවත වරක් නැවට පැමිණෙනවා. රජතුමා වෙනුවෙන් පැමිණි අදිකාරම්වරයා විසින් නැවේ අද්මිරාල්වරයාටත් රජතුමා විසින් ප්‍රදානය කළ මුද්දක්, රත්තරන් මාලයක් සහ තවත් ත්‍යාග කීපයක් ලබා දෙනවා.

මදුරාසි ආණ්ඩුකාරවරයාට රජතුමා විසින් එවපු ලිපියකුත් අදිකාරම විසින් මේ අවස්ථාවේදී පයිබස්ට භාර දෙනවා. එදාම දවල් ජෝන් පයිබස් ඇතුළු පිරිස ආපසු මදුරාසිය බලා යාත්‍රා කරනවා. 

ශාන්ත ජෝර්ජ් බලකොටුවේ ආණ්ඩුකාර නිල නිවස

ආපසු පැමිණි ජෝන් පයිබස් මදුරාසි ආණ්ඩුකාර George Pigot ප්‍රමුඛ මදුරාසි පාලක මණ්ඩලයට සිංහලේ රාජධානිය පිළිබඳව වගේම තමන්ගේ දූත මෙහෙවර ගැන සකස් කරපු සම්පූර්ණ වාර්තාව ඔක්තෝබර් මාසයේදී භාර දෙනවා. 

ජෝන් පයිබස්ගේ පුද්ගලික තොරතුරු ගැන කතා කළොත් 1727 දී එංගලන්තයේ ඩෝවර් ප්‍රදේශයේ උපන් ඔහුගේ පියා වුණේ කපිතාන් බ්‍රයන් පයිබස්. 1753 ඔක්තෝබර් 20 මාර්තා ස්මෝල් සමඟ විවාහ වුණු පයිබස් දරුවන් 7 දෙනෙක්ගේ පියෙක් වුණා. ඉන්දියාවේ මසුලිපටම් ප්‍රදේශය භාර බ්‍රිතාන්‍ය නිලධාරියා විදිහට කටයුතු කරපු පයිබස් මදුරාසි පාලක මණ්ඩලයේත් සාමාජිකයෙක් වුණා. 

 Lumley Chaple

1768 දී ඉන්දියාවේ ඉදන් නැවත වරක් මව්බිම වෙත ආපු ජෝන් පයිබස් 1789 ජූනි 22 මියයනවා. ඔහුගේ දේහය තැන්පත් කරන්නේ සරේ ප්‍රදේශයේ පිහිටා තිබෙන ශාන්ත ඩන්ස්ටන් දේවස්ථානයේ [Lumley Chaple].මේ දේවස්ථානයේ ප්‍රභූන් රාශියකගේ සොහොන් කොත් දැකගන්න පුලුවන්.




ඔහුගේ සොහොන් ගැබේ දැකගන්න ලැබෙන වංශ සළකුණෙන් වගේම එහි තිබෙන විස්තරයෙන් පයිබස්ගේ සේවය විශාල ඇගයීමකට ලක්ව තිබුණු බව පැහැදිලියි.

ලිපිය ලියන්න කරුණු ගත්තේ රාජේන්ද්‍ර බණ්ඩාර සිංහලයට පරිවර්තනය කරපු ජෝන් පයිබස්ගේ දූත මෙහෙවර, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ලංකා ඉතිහාසය 3 වන කොටස සහ අබේසිංහ, දේවරාජා, සෝමරත්න තුන් කට්ටුවේ උඩරට රාජධානිය කියන පොත්. ඡායාරූප සියල්ලම අන්තර්ජාලයෙන් තමා 

Sunday, March 10, 2013

විහාරමහා දේවියට අන්තිමට මොකද වුණේ ??? - ඉතිහාසයේ අප්‍රකට කතා 17


ලංකා වංසකතා සාහිත්‍යය ඇතුළේ අපිට මුලින්ම හමුවන වීර කාන්තාව වෙන්නේ විහාර මහා දේවිය. දියණියක්, බිරිඳක්, මවක් වගේම යුද උපදේශකවරියක් විදිහට එතුමිය අනභිභවනීය කාර්යයක් කරපු බව අවිවාදිතයි.

විහාර මහා දේවිය සම්බන්ධව කතා කරද්දී එතුමිය උපත ලබපු කල්‍යාණි ප්‍රදේශය එහෙමත් නැත්නම් කැලණිය සම්බන්ධව මුලින්ම කතා කරන්න ඕනේ.

දෙවනපෑතිස් රජතුමා අනුරාධපුරයේ රාජ්‍ය කරන කාලයේදී රජතුමාගේ සොයුරෙක් වුණු උත්තිය කුමාරයා කැලණි ප්‍රදේශය ආශ්‍රිතව ප්‍රාදේශීය පාලනය ගෙන යනවා. තමන්ගේ වැඩිමහල් සොයුරාගේ ඇවෑමෙන් සිහසුනට පත්වෙන්න උත්තිය කුමාරයා අනුරාධපුරය බලා පිටත් වෙද්දී තමන්ගේ පුත්‍රයා වුණු ශිවට කැලණියේ පාලනය භාර කරලා යන්නේ.

ශිවගේ පුතුන් දෙදෙනා තමා තිස්ස සහ උත්තිය. ශිව ඔවුන්ට නම් තබද්දී තමන්ගේ පියාගේ වැඩිමහල් සොයුරා වුණු දේවානම්පියතිස්සගේ නම වැඩිමහල් පුත්‍රයාටත් බාල පුත්‍රයාට තමන්ගේ පියා වුණු උත්තියගේ නමත් තබනවා.

පසුකාලීනව ශිවගේ ඇවෑමෙන් කැලණියේ පාලකයා වෙන තිස්ස රජතුමාව කැලණිතිස්ස නමින් හඳුන්වනවා. කැලණිතිස්සගේ බිසව එක්ක කැලණිතිස්සගේ සහෝදරයා වුණු උත්තිය අනියම් සම්බන්ධතාවයක් පවත්වනවා. මේ ගැන කැලණිතිස්ස දැනගත්තාට පසුව උත්තිය කැලණියෙන් පලා යනවා.


සැඟවිලා ඉන්න උත්තිය කැලණිතිස්සගේ බිසවට රහසේම ලියුමක් යවන්න කල්පනා කරලා මහණ වෙස් ගත්ත කෙනෙක් අතේ ලියුමක් කැලණියට එවනවා. මේ මහණ වෙස් ගත්තු මනුස්සයා රජ මාළිගාව ඇතුළට යන විදිහක් කල්පනා කර කර ඉද්දී දැක්කා රජ මාළිගාවට හැමදාම දානය පිණිස රහතන් වහන්සේ නමක් වඩින බව.

ඉතින් මේ මහණ වෙස් ගත්තු මනුස්සයාත් රහතන් වහන්සේ නමත් එක්ක රජ මාළිගාවට ගිහින් දන් වළදලා මාළිගාවෙන් පිටත් වෙද්දී උත්තිය කුමාරයා එවපු ලියුම රජ බිසවට පේන්න බිම දමනවා. ඒත් ලියුම වැටෙන සද්දෙත් එක්ක කැලණිතිස්ස රජතුමා ඒක දැකලා ලියුම රහතන් වහන්සේ අරන් ආවා කියලා සැක කරනවා. තමන්ගේ සතුරා එක්ක සම්බන්ධතා පවත්වන රහතන් වහන්සේව උණු තෙල් කටාරමක දමලා මරා දාන්න රජතුමා නියම කරනවා.


ඒත් රහතන් වහන්සේ නමක් මරාදැමීමේ ආනන්තරිය පාප කර්මය රජතුමා සිදු කිරීමත් එක්ක රජතුමා ගැන කෝපවුණු ප්‍රදේශයට අධිපති දෙවිවරුන් මුහුද ගොඩ ගලන්නට සලස්වනවා. මේ අවස්ථාවේදී නිමිති දන්න අය කියන්නේ මුහුද ගොඩගැලීම වළක්වන්න නම් රජ පවුලේ අයෙක්ව මුහුදට බිලි කරන්න ඕනේ කියලා.
මේ අවස්ථාවේදී තමා අපේ කතා නායිකාව කරළියට එන්නේ.  

කැලණිතිස්ස රජතුමාගේ දියණිය වුණු ඒ වෙන කොට ළමා වියේ පසුවුණු දේවී කුමරිය තමන්ගේ රාජ්‍යය වගේම රට වැසියන්ව බේරා ගැනීමේ උදාර අරමුණින් පිය රජතුමාගේ අකමැත්ත මත වුණත් මුහුදට බිලිවෙන්න ඉදිරිපත් වෙනවා.

කැලණිතිස්ස රජතුමා රන්මුවා හැලියක් කරවලා ඒකට කුමරියව නංවලා මුහුදේ පා කර හරිනවා. ඒ වගේමයි මේ සැළියේ ඉන්නේ කැලණිතිස්ස රජතුමාගේ දුව කියලා සඳහන් කරන්නත් කැලණිතිස්ස රජතුමා අමතක කරන්නේ නැහැ. තමන්ගේ දුවව මුහුදේ පා කරලා යවනවා බලන්න ආපු කැලණිතිස්ස රජතුමා පොළොව පලාගෙන අවීචි මහා නරකාදියට ගියා කියලා තමා කියවෙන්නේ.

රන් සැළිය පාවෙලා රෝහණයේ තෝලක කියන විහාරය අසළට ගොඩ ගසනවා. මේ ගැන දැනගත්තු මාගම පාලකයා වුණු කාවන්තිස්ස රජතුමා එතැනට ඇවිත් දේවී කුමරියව රජ මාළිගයට අරගෙන ගිහින් පෝෂණය කරලා යොවුන් වියට පත්වුණාම තමන්ගේ අග මෙහෙසිය විදිහට සරණ පාවා ගන්නවා.[මේ තෝලක විහාරය පොතුවිල් ප්‍රදේශයේ තියෙන මුහුදු මහා විහාරය කියලා වගේම කිරින්දේ තිබෙන කිරින්ද විහාරය කියලාත් මත පවතිනවා]

විහාරයක් අසළට මුලින්ම ගොඩබැස්ස නිසා දේවී කුමරියව එතැන් පටන් හඳුන්වන්නේ "විහාර දේවී" කියලා. මේ විවාහය තවත් අතකින් වැදගත් වෙන්නේ නැවත වරක් අනුරාධපුර රජ පවුලේ කොටස් දෙකක එකතුවක් මේකෙන් සිදුවුණු නිසා.

මේ සටහනෙන් ඒක පැහැදිලි වේවි.


කාවන්තිස්ස රජතුමා අග බිසව විදිහට විහාර මහා දේවියත් රජතුමා එක්ක එකතු වෙලා පින්කම් රැසක් කරපු බව වංසකතාවල කියවෙනවා.

එක දවසක් දේවිය කරපු පින්කමකට අනුශාසනා කරන මහ රහතන් වහන්සේ නමක් දේවියගේ මේ භවයේ ලබපු සම්පත් පෙර කරපු පින් නිසා ලබපු බවත් මතු භවයේදීත් එවැනි සම්පත් ලබන්න තවත් පින්කම් කළ යුතු බවත් පවසමින් අනුශාසනා කරද්දී විහාර මහා දේවිය තමන්ගේ හිතේ තියෙන කණස්සල්ල ප්‍රකාශ කරනවා. තමන්ට කොපමණ සම්පත් තිබුණත් දරු සම්පත් නැති නිසා මේ සම්පත්වලින් ඵලක් නැහැ කියලා දේවිය කියනවා.

මේ අවස්ථාවේදී මහ රහතන් වහන්සේ දේවියට උපදෙස් දෙනවා බොහෝම රෝගාතුරව මරණාසන්නව ඉන්න සාමණේර නමක් විහාරයේ වැඩ ඉන්නවා උන්වහන්සේගෙන් තමන්ගේ පුත්‍රයා විදිහට උපදින්න කියලා ඉල්ලීමක් කරන්න කියලා.

නමුත් සාමණේරයන්ගේ බලාපොරොත්තුව වුණේ දිව්‍ය ලෝකයේ උපත ලබන්න. කොහොම වෙතත් තමන්ගේ පුත්‍රයා විදිහට ඉපදිලා සම්බුද්ධ ශාසනයට විශාල මෙහෙවරක් කරන්න පුලුවන් කියලා විහාර මහා දේවිය සාමණේරයන්ට ඒත්තු ගන්වන නිසා අවසානයේදී උන්වහන්සේ දේවියගේ ඉල්ලීමට එකඟ වෙනවා. දේවියත් සාමණේරයන් වහන්සේට උපස්ථාන කරලා නැවතත් මාළිගාව බලා පිටත් වෙනවා.

විහාර මහා දේවිය මාළිගාව බලා පිටත් වෙන අතරතුරේදී සාමණේරයන් වහන්සේ අපවත් වෙලා දේවියගේ කුසේ පිළිසිඳ ගන්නවා. ඒක දේවියට වැටහෙන්නේ තමන් ගමන් කරමින් සිටිය කරත්තයේ රෝද මහ පොළොවේ එක්වරම එරී ගිය නිසා. ඒ නිසා විහාර මහා දේවිය ආපසු විහාරයට පැමිණිලා සාමණේරයන්ගේ ආදාහනය මැනවින් සිදු කරලා නැවතත් මාළිගාව බලා පිටත් වෙනවා.

කාලය මෙහෙම ගත වෙද්දී විහාර මහා දේවියට දොළ දුකක් උපදිනවා. ඒ තමා අලංකාර යහනක වැතිරිලා ඉස්බක් පමණ [මේක රියන් 60 ක් කියලත් සමහර පොත්වල තියෙනවා] විශාල වෙන මී වදයක් තමන්ගේ ඉදිරිපිට තබාගෙන 12000 ක් මහා සංඝයාට ඒ මී වද පිළිගන්වලා ඉතිරිය තමන් අනුභව කරන එක.

ඒ වගේමයි අනුරාධපුරය පාලනය කරපු එළාර රජතුමාගේ ප්‍රධාන යෝධයාගේ හිස සින්ද කඩුව සෝදපු වතුර ඒ හිස මත ඉදගෙන බොන්නත් අනුරාධපුර නෙළුම් කෙතෙන් අරගෙන ආපු නෙළුම් මල්වලින් මල් දමක් කරලා පළඳින්නත් දේවියට දොළක් ඇතිවුණා.

කාවන්තිස්ස රජතුමා මේ දොළ දුකේ අර්ථය මොකක්ද කියලා නිමිති දන්න අයගෙන් විමසුවාම එයාලා කිව්වේ දේවියගේ දොළ සංසිදෙව්වොත් දේවියට ලැබෙන පුත්‍රයා ලංකාවට සතුරු වෙන දෙමළුන් විනාශ කරලා ලංකාව එක්සේසත් කරලා සම්බුද්ධ ශාසනය බබළවනවා කියලා. ඉතින් රජතුමාත් මේක අහලා සතුටු වෙනවා.

ඉස්බක් පමණ විශාල වෙන මී වදය සොයා ගත්තු ආකාරය ගැනත් රසවත් කතාවක් තියෙනවා. රජතුමා මේ ගැන කියලා අණ බෙරයක් යැව්වාට පස්සේ ඒක අහපු වෙරළාසන්න ජනපදයක හිටිය අන්ධ වගේම කොර මනුස්සයෙක් තමන්ගේ දරුවන්ට කිව්වා එක ස්ථානයක තිබුණු මී ගසක මල් පිපුණාම තමන්ට කියන්න කියලා. මී ගහේ මල් පිපුණු බව දැනගත්තාට පස්සේ තමන්ගේ දරුවන් ලවා ඒ ගහේ අත්තක අට්ටාලයක් බැඳ ගෙන ඒ මනුස්සයා මී මැස්සන්ගේ කතා බහට කන්දී ගෙන හිටියා.

දවසක් මී ගහෙන් රොන් ගන්න ආපු කණ මී මැස්සියක සහ තවත් මී මැස්සියක් අතර වුණු රණ්ඩුවේදී මේ මනුස්සයාට ඇහුණා මී මැස්සියෝ දෙන්නා පුරාජේරුවක් කියවද්දී උණ පඳුරක පුරුක් නැති උස බටයක මුල ඉදන් අග දක්වාම මී වදයක් තියෙන බවත් ඒ වගේම වෙරළාසන්නයේ තියෙන රියන් 100 ක් පමණ වෙන ඔරු කඳක ඉස්බක් පමණ වෙන මී වදයක් තියෙන කියන එක.

තමන්ගේ දරුවෝත් එක්ක උණ පඳුර සොයාගෙන එතැන තිබුණු උණ බටයක අර කිව්ව විදිහටම මී වදයක් තිබුණු නිසා ඒ මනුස්සයා වෙරළාසන්නයේ ඔරු කඳක තිබෙන මී වදය ගැන කාවන්තිස්ස රජතුමාව දැනුවත් කරනවා. ඒ ආකාරයෙන් මුල්ම දොළ දුක සංසිදවන්න රජතුමාට පුලුවන් වෙනවා.

ඊළඟ දොළ දුක සංසිදවන කාර්යය භාරගන්නේ රජතුමාගේ හිටිය ජ්‍යෙෂ්ඨතම සෙනෙවියා වුණු වේළුසුමන යෝධයා. වේළුසුමන වෙස් වලාගෙන අනුරාධපුරයට ගිහින් එළාර රජතුමාගේ අස්හලේ සේවයට එකතු වෙනවා. ඒ අස්හලේ ප්‍රධාන අස්ගොව්වාත් එක්ක මිත්‍ර වුණු වේළුසුමන වේගවත්ම අශ්වයාවත් හඳුනා ගන්නවා.

දවසක් අනුරාධපුර නෙළුම් කෙතට ගිහින් නෙළුම් මල් මිටියක් නෙලාගෙන රහසිගත ස්ථානයක හංගලා වේගවත්ම අශ්වයා පිටේ නැගලා මම කාවන්තිස්ස රජතුමාගේ ඇමති වේළුසුමන කියලා උස් හඬින් කෑ ගහලා අශ්වයා පිටේ යද්දී එළාර රජතුමාගේ ප්‍රධාන යෝධයා වුණු නන්දසාරථී තවත් වේගවත් අශ්වයෙක්ගේ පිටේ නැගලා හඹාගෙන එනවා. කැළෑවක හැංගුණ වේළුසුමන එතැනින් යන නන්දසාරථීගේ බෙල්ල කඩුවෙන් කපාගෙන ඒ සියලු දේම අරගෙන හවස් වෙද්දී මාගමට පැමිණෙනවා. ඒ ආකාරයෙන් දේවියගේ අනික් දොළ දුක් සංසිදවන්න පුලුවන් වෙනවා.

නිසි කාලය ගෙවුණාට පස්සේ විහාර මහා දේවිය පින්වත් කුමාරයෙක් බිහි කරනවා. එදාම ආශ්චර්යමත් සිද්ධි කීපයක් සිදුවුණු බව කියවෙනවා. එකක් තමා ඡද්දන්ත කියන උසස් කුලයේ ඇතින්නක් ඇත් පැටියෙක් රෝහණ ජනපදයේදී බිහි කරලා ආපසු ඡද්දන්ත විලටම යන එක. කණ්ඩුල කියන වැද්දා මේ ගැන කාවන්තිස්ස රජතුමාට දැනම් දෙනවා. රජතුමාත් සතුටු වෙලා වැද්දාගේ නමෙන්ම ඇත් පැටියාව නම් කරලා රජ මාළිගාවේ ඇති දැඩි කරනවා. ඒ වගේමයි සත් රුවනින් පිරුණු නැව් හතකුත් රෝහණයට එදාම පැමිණෙනවා.

මේ ආකාරයෙන් සුභ නිමිති කීපයක්ම කුමාරයා උපන් දවසේ සිදුවෙනවා. කුමාරයාට නම් තබන දවසේ තමන්ගේ තාත්තාගේ නම වුණු "අභය" කොටසත් මාගම තමන්ගේ නායකත්වයේ පැවතීම සංකේතවත් කරන "ගාමණී" කොටසත් එකතු කරලා කුමාරයාට "ගාමණී අභය" නමින් නම් තබනවා.

ඉන්පසුව නැවතත් විහාර මහා දේවිය ගැබ් ගන්නවා. ඒ අවස්ථාවේ දේවියට හොඳින් මල් පිපුණු සපු ගසක් ගාව අලංකාර යහනක වැතිරිලා මල් සුවඳ විඳින්න දොළ දුක ඇතිවෙනවා. රජතුමා ඒකත් සපුරනවා. නිසි කාලය ගතවුණාට පස්සේ තවත් පුත්‍රයෙක් ඉපදෙනවා. ඒ කුමාරයාට තිස්ස නමින් නම් තබනවා.

කුමාරවරු දෙන්නා නිසි වයසට ආපුවාම කාවන්තිස්ස රජතුමා සහ විහාර මහා දේවිය බත් කැවීමේ මංගල්‍යයක් මහා සංඝයාගේ සහභාගීත්වයෙන් පවත්වනවා. දරුවන්ගේ කාර්යයන් මනාව ඉටු කරන, දරුවන් ගැන සම මෙත් සිතින් බලන මවගේ භූමිකාව විහාර මහා දේවිය තුළින් පිළිබිඹු වෙන්නේ මේ සිද්ධියත් සමඟම ඉදිරියට සිදුවුණු සිද්ධීන් ගැන විමසිල්ලෙන් බලද්දී.

තමන්ගේ දරුවන් දෙදෙනාගේ වයස අවුරුදු 10 ක් 12 ක් පමණ වෙද්දී දවසක් රජතුමා දරුවන් දෙදෙනාගේ සිතැඟියාවන් පරීක්ෂා කරලා බලන්න බත් කැවීමක් සිද්ධ කරනවා. පළමුවෙන්ම මහා සංඝයාට කිරිබත් පූජා කරලා සංඝයා ඉඳුල්කරපු කිරිබත් තමා රජතුමා දරුවන්ට කවන්නේ. මුලින්ම සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරනවා කියන පොරොන්දුවට කිරිබත් පිඬක් දෙදෙනාටම කවනවා. ඊළඟට සහෝදරයන් දෙන්නා සමඟියෙන් කටයුතු කරනවා කියන පොරොන්දුවට තවත් කිරිබත් පිඬක් කවනවා.

අවසාන වශයෙන් දෙමළුන් එක්ක යුද්ධ නොකරන පොරාන්දුවට කිරිබත් පිඬක් කවන්න රජතුමා උත්සහ කළාම ගැමුණු කුමාරයා කේන්තියෙන් කිරිබත් පිඬ පොළොවේ ගහලා තමන්ගේ කාමරයට ගිහින් අත් පා අකුළාගෙන ඇඳේ ඉන්නවා. මේ වෙලාවේ විහාර මහා දේවිය ඇවිත් පුත්‍රයා ඉන්න විදිහ දැකලා අහනව.
 
අත පය දිග හැරගෙන සුවසේ නිදාගන්න පුලූවන්කම තියෙද්දී අත් පය අකුලාගෙන ඉන්නේ කුමාරයා පිළිතුරු දෙනවා "උතුරින් හැඩි දෙමළු දකුණින් ගොළු මුහුද මම කොහොමද සුවසේ අත පය දිග හැරගෙන නිදා ගන්නේ" කියලා. 

කුමාරයාගේ මේ ප්‍රකාශයත් එක්කම විහාර මහා දේවිය වගේම කාවන්තිස්ස රජතුමාත් තේරුම් ගන්නවා ලංකාව දමිළයන්ගේ ග්‍රහණයෙන් මුදාගන්න කුමාරයාගේ තියෙන ඒකායන අරමුණ ගැන.

ඒ කාලේ වෙද්දී කාවන්තිස්ස රජතුමාත් මහා යුද ප්‍රයාණයකට කටයුතු සූදානම් කරමින් හිටියේ දස මහා යෝධයන් එකතු කිරීමත් එයාලා එක එක්කෙනා ලවා තවත් දස දෙනෙකුත් ඒ ඒ දස දෙනාගෙන් එක් කෙනෙක් තවත් දස දෙනෙක් එකතු කිරීම වගේ ක්‍රමවලින් රජතුමා විශාල සේනාවක් නිර්මාණ කරලා යුද පුහුණුව ලබාදුන්නා.

ඒත් ගැමුණු කුමාරයාගේ තියෙන ඉක්මන්කම නිසා පිය රජතුමාත් එකක් ගැටුමක් ඇති කරගෙන පියා පිරිමියෙක් නෙමේ ස්ත්‍රියක් කියලා ස්ත්‍රී පළඳනා යැවීමත් එකක් ඒ තත්වය උත්සන්න වෙලා ගැමුණු කුමාරයා මලය දේශයට පැනලා යනවා. මේ කාලය තුළත් රජතුමා සමීපයෙන් විහාර මහා දේවිය ඉන්නවා. ස්වාමියාට ලෙංගතු, පක්ෂපාතී බිරිඳකගේ භූමිකාවයි මේ කාල සීමාව තුළ වැඩි වශයෙන් එතුමියගෙන් දැකගන්න පුලුවන් වෙන්නේ.

කාවන්තිස්ස රජතුමාගේ අභාවයෙන් පස්සේ ගැමුණු කුමාරයාව රජ කරවන්න ඇමතිවරු කටයුතු කළත් විහාර මහ දේවිය සහ කණ්ඩුල ඇතාව තිස්ස කුමාරයා තමන් වාසය කරපු දීඝවාපි ප්‍රදේශයට අරගෙන ගිහින් හිටියේ. ගැමුණු රජතුමා එයාලාව තමන් ගාවට එවන්න කියලා කරපු ඉල්ලීම තිස්ස කුමාරයා ප්‍රතික්ෂේප කරපු නිසා සහෝදරයෝ අතර යුද්ධයක් ඇතිවෙනවා.

මේ යුද්ධයට දස මහා යෝධයන් සම්බන්ධ වෙන්නේ නැත්තේ කාවන්තිස්ස රජතුමා මියයන්න කලින් සහෝදරයන් අතර යුද්ධයක් ඇති වුණත් ඒකට සම්බන්ධ වෙන්නේ නැහැ කියන පොරොන්දුව දස මහා යෝධයන්ගෙන් ලබාගත්තු නිසා.

අවසානයේදී ගැමුණු කුමාරයා යුද්ධය ජයගන්නවා. තිස්ස කුමාරයා විහාරයකට පැනලා ගිහින් ජීවිතය ගලවා ගන්නවා. පස්සේ දීඝවාපියේ ඉදන් විහාර මහා දේවියත් කණ්ඩුල ඇතාවත් මාගමට ආපහු අරගෙන ඇවිත් ගැමුණු කුමාරයා රාජ්‍යත්වයට පත්වෙනවා. පස්සේ ගෝධගත්තතිස්ස හාමුදුරුවන්ගේ මැදිහත් වීමෙන් සහෝදරයෝ දෙන්නා නැවතත් සමඟි වෙලා කටයුතු කරනවා.

එළාර එක්ක යුද්ධයට භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛව තබාගෙන දුටුගැමුණු රජතුමා රජරට බලා පිටත් වෙද්දී විහාර මහා දේවියත් ඒ පිරිසේ ගමන් කරනවා.

මේ යුද්ධයේදී අවසානයට අනුරාධපුරය ආසන්නයේ වුණු සටනේදී විහාර මහා දේවියගේ යුධ උපායශීලීත්වය මනාව පෙන්නුම් කෙරෙන්නේ දුටුගැමුණු රජතුමාගේ රූපය දැවයෙන් කරපු පිළිම තියෙන ව්‍යාජ බලකොටු 31 ක් නිර්මාණය කිරීමටක් 32 වෙන බලකොටුවේ රජතුමා ඇතුළු පිරිස සැබවින්ම සිටීමත් උපදෙස් ලබාදීම තුළින්.

එළාරගේ දීඝජන්තු කියන මහා යෝධයා බලකොටු එකෙන් එක රජතුමාගේ පිළිම කපමින් ඇවිල්ලා වෙහෙසට පත්වෙලා හිටිය නිසා අවසානයේදී සුරනිමල යෝධයාට පහසුවෙන්ව දීඝජන්තුව මරා දමන්න පුලූවන් වෙනවා. ඊට පස්සේ සිදුවුණු සටන්වලිනුත් පස්සේ සාර්ථකව තමන්ගේ යුධ ප්‍රයාණය අවසන් කරලා ලංකාවම එක්සේසත් කරන්න දුටුගැමුණු රජතුමාට හැකිවෙනවා.


මේ ආකාරයෙන් තමන්ගේ වැඩිමහල් පුතාගේ යුද ප්‍රයාණයට උපදෙස් දීපු විහාර මහා දේවිය සම්බන්ධව එළාර දුටුගැමුණු සටනෙන් පසුව වංසකතා නිහඬ වෙන බවක් පෙනෙන්න තියෙනවා. කොහොමත් දුටුගැමුණු රජතුමාගේ වීරත්වය ඉස්මතු වෙන ආකාරයෙන් රජතුමා සම්බන්ධ පරිච්ඡේද රචනා කරලා තියෙන නිසා විහාර මහා දේවිය සම්බන්ධව යුධ සමයෙන් පස්සේ කතා කරන එක නිෂ්ඵලයි කියලා වංස කතාකරුවා හිතුවා වෙන්න පුලුවන්. 

අවසාන වශයෙන් විහාර මහා දේවිය ගැන මහාවංසය කියන්නේ දුටුගැමුණු රජතුමාගේ මරණය ගැන සඳහන් වෙන 32 වෙනි පරිච්ඡේදයේදී. ඒකේ කියවෙන විදිහට දුටුගැමුණු රජතුමා මතු බුදුවන මෛත්‍රී බුදුන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයා වෙනවා. සහෝදර සද්ධාතිස්ස වමත් ශ්‍රාවක වෙනවා. රජතුමාගේ පියා සහ මව වුණු කාවන්තිස්ස රජතුමා සහ විහාර මහා දේවිය මෛත්‍රී බුදුන් වහන්සේගේ පියා සහ මව වෙනවා. රජතුමාගේ පුතා වුණු සාලිය මෛත්‍රී බුදුන් වහන්සේගේ පුත්‍රයා වෙනවා.

ඒ කෙසේ වෙතත් සෙල්ලිපි සාධක සහ සාහිත්‍ය මූලාශ්‍රය කීපයක් පාදක කරගෙන විහාර මහා දේවියගේ අවසානය සම්බන්ධව කිසියම් අනුමානයකට එළඹෙන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ තමා විහාර මහා දේවිය තමන්ගේ ජීවිතයේ අවසන් කාලයේදී භික්ෂුණියක් විදිහට ගත කරන්න ඇති කියලා කෙරෙන අනුමානය. ඒකට පාදක කරගන්න සාධක තමා මේ.

දීපවංසය දක්වන විදිහට කාවන්තිස්ස රජතුමාගේ දියණියන් දෙදෙනෙක් වූ මහිලා සහ සමන්තා භික්ෂුණීන් බවට පත්වෙලා හිටියේ. ඒ හැරෙන්නට කොසවකන්ද සෙල්ලිපිය (Inscriptions of Ceylon-Plate No.193) මේ නිගමනයට පාදක කරගන්නවා. එහි දැක්වෙන්නේ,


"මහරජහ ගමණී අබයහ දෙවනපියශ [ර]මණි බරිය මිලක තිශ විහරෙ කරිතෙ කතිය "

එහි අර්ථය තමා "දෙවියන්ට ප්‍රිය වූ ගාමණී අභය නම් මහරජුගේ රමණීය භාර්යාව වූ කතී විසින් මිලක්ඛ තිස්ස විහාරය කරවන ලදී" කියන එක. 

මෙහි දෙවියන්ට ප්‍රිය වූ ගාමණී අභය මහරජු දුටුගැමුණු රජතුමා විදිහටත් කතී දුටුගැමුණු රජතුමාගේ අග මෙහෙසිය විදිහටත් අනුමාන කෙරෙනවා. දුටුගැමුණු රජතුමාගේ මරණයෙන් පසු ඇයත් තමන් විසින්ම කරවපු විහාරයේ පැවිදි වූ බව අනුමාන කෙරෙනවා. 

ඒ හැරෙන්නට මිහින්තලයෙන් හමුවූ එකම සටහන දක්වන 14 සහ 15 (Inscriptions of Ceylon-Plate No.14) සෙල්ලිපිත් මේ නිගමනයට පාදක වෙනවා. එහි දැක්වෙන්නේ,


"කණගම ර[ජශ] තිශහ ජිත ශවෙර ශමණිය ලෙණෙ ශගශ"

එහි අර්ථය තමා "කණගම රජු වූ තිස්සගේ දියණිය වූ ශවෙර භික්ෂුණියගේ ලෙන සංඝයාට පූජා කරන ලදී" කියන එක. 

එහි දැක්වෙන කණගම කියලා කියන්නේ කල්‍යාණි ප්‍රදේශය බවත් තිස්ස නම් රජතුමා කැලණිතිස්ස බවත් අනුමාන කෙරෙනවා. "ශවෙර" යන පදයෙන් ක්ෂත්‍රීය කුමරිය යන අර්ථය එන බවත් කොටදැමූහෙළින් හමුවෙන ලිපියත් පාදක කරගෙන මේ "ශවෙර" යනුවෙන් හඳුන්වන්නේ විහාර මහා දේවිය බවයි පිළිගැනෙන්නේ.


මේ සියලු සාධකවලින් අනුමාන කරන්න පුලුවන්  විශාල යුද ප්‍රයාණයෙන් පසුව ඒ ගැනත් කම්පා වුණු විහාර මහා දේවිය තමන්ගේ ඥාතීන් බොහොමයක් ඒ වනවිටත් පැවිදි බිමට ඇතුලත් වෙලා හිටිය නිසා [විහාර මහා දේවියගේ සහෝදරයා පැවිදි වෙලා චුල්ල පිණ්ඩිපාත තිස්ස තෙරුන් නමින් ප්‍රසිද්ධ වෙලා හිටියේ] ජීවිතයේ අවසන් භාගයේදී ලෝකෝත්තර සුවය සොයන්න පැවිදි වුණු බව. එතුමිය මිහින්තලයේ තිබූ විහාරයේ හෝ තමන්ගේ ලේලිය කරවූ මිලක්ඛ තිස්ස විහාරයේ වැඩ වසන්නට ඇති.

තමන්ගේ රාජ්‍යයේ සුරක්ෂිත බව වෙනුවෙන් තරුණ වියේදීම මුහුදට බිලිවෙමින් පසුව කාවන්තිස්ස රජතුමාග් අග බිසව බවට පත්වෙලා ලංකාව දමිළ ග්‍රහණයෙන් මුදවා ගන්න මූලික වෙන දුටුගැමුණු සහ සද්ධාතිස්ස කුමරුන්ට මෑණියන් වෙලා පස්සේ යුද ප්‍රයාණය සාර්ථකව ඉටු කරගන්න අවශ්‍ය උපදෙස් පවා ලබාදීලා විහාර මහා දේවිය ඉටුකළ මෙහෙය අනභිභවනීයයි. 

එසේම එතුමියගේ අවසානය පිළිබඳ කෙරෙන අනුමානයත් එක්ක එතුමිය ලෝකෝත්තර සුවය සොයා යෑම තුළින් ඇගේ ජිවිත කතාව පරමාදර්ශි එකක් බවට පත්වෙනවා.

ලිපිය ලියන්න පාදක කරගත්තේ මහාවංසය, වංසත්ථප්පකාසිනිය, දීපවංසය, රාජාවලිය කියන කෘති කීපය. 

ප.ලි.: ඉතිහාසයේ අප්‍රකට කතා මාලාව දෙවිවරුන් වුණු අයියලා, මල්ලිලා, පුතාලා සහ මුණුබුරන් කියන ලිපියෙන් තාවකාලිකව නතර වුණානේ. මේ ඒකට පොඩ්ඩක් පණ දෙන්න හදපු උත්සාහයක්. මේ ලිපිය අපේ පැත්තේ ප්‍රසිද්ධ බාලිකා පාසලකට ලියලා දෙන්න හැදුව එකක්. බ්ලොග් එකට දාන එකේ වරදක් නැති නිසා තමා මේ විදිහට එකතු කළේ.

ප.ප.ලි.: ටිකක් කාර්යබහුල වීමත් එක්ක මේ සටහනට කලින් ලියපු කෝ සිංදු සංගීතේ විතරද සටහන කට්ටිය එකතු කරපු අදහස්වලට පිළිතුරු අදහස් එකතු කරන්න බැරිවුණා. ඉක්මණින් ඒකටත් කටයුතු කරනවා ඕන්  :D

Sunday, March 3, 2013

කෝ සින්දු සංගීතේ විතරද ???

චිත්‍රපටියක් සඳහා හරි එහෙමත් නැත්නම් ටෙලි නාට්‍යයක් සඳහා හරි සකස් කරන තේමා වාදනය කියන්නේ හරිම සිත් ඇදගන්නා සුළු එකක්. සමහර වෙලාවට ඒ චිත්‍රපටියට හරි ටෙලි නාට්‍යයටත් වඩා ජනප්‍රියත්වයක් තේමා වාදනය හිමි කරගන්න අවස්ථා නැත්තේමත් නැහැ. 

කාලෙක ඉදන් මගේ තිබුණු විනෝදාංශයක් තමා මේ වගේ තේමා වාදන රස විඳින එක. ඉතින් මට හිතුණා ඒවා ගැන පොඩි කතාවක් ඇති කරන්න. තව එකක් කියන්න ඕනේ සාමාන්‍යයෙන් මම තේමා වාදනයක් රස විඳින්න ගත්තාම ඒක මගේ phone එකේ ringing tone එක විදිහට දා ගන්නවා. එතකොට දවසට කීප වාරයක්ම ඒක අහන්නත් පුලුවන්නේ :)

මුලින්ම ගත්තොත් මම මේ දවස්වල රස විඳින තේමා වාදනයෙන්ම පටන් ගන්නම්.

ෂර්ලොක් හෝම්ස් චිත්‍රපටිය සඳහා  Hanz Zimmer කියන ජර්මන් ජාතික සංගීතඥයා නිර්මාණය කරපු තේමා වාදනය තමා මේ දවස්වල මම අහන්නේ. ඒ තේමා වාදනයේ තිබෙන විශේෂත්වය තමා විවිධ ශෛලීන් කීපයකින්ම ඒ තේමා වාදනය චිත්‍රපටිය පුරා යොදා තිබෙන ආකාරය.


මේත් ඒ වාදනයේම තියෙන තවත් වෙනස් ශෛලියක්


පහුගිය දවස්වල නරඹපු අපේ drama කරන set එක හදපු හෙවත් විසේකාරියෝ නාට්‍යය සඳහාත් මේ තේමා වාදනයේ ශෛලීන් කීපයම භාවිතා කරපු බව දැක්කා. තේමා වාදනයේ තියෙන අපූර්වත්වය නිසාම ඒ විදිහට භාවිතා කරන්න පුලුවන් වුණා කියන එක තමා මගේ අදහස.

Hanz Zimmer ගැන කතාවට ආපු නිසා එයා නිර්මාණය කරපු තවත් අපූරු ඒ වගේම මගේ සිත් ගත්තු තේමා වාදන කීපයක් ගැන කියන්නම්. Kung Fu Panda චිත්‍රපටිය අපි කාගේත් සිත් ගත්තු සජීවීකරණ චිත්‍රපටියක්. ඒ සඳහා Hanz Zimmer නිර්මාණය කරපු තේමා වාදනය තමයි මේ.


Mr. Bean නමින් ලෝ ප්‍රකට වුණු චරිතයට පණ දුන් රෝවන් ඇටික්සන් රඟන Johnny English චිත්‍රපටියේ තේමා වාදනය සඳහාත් Hanz Zimmer දායක වෙනවා. රොබී විලියම්ස් කියන සංගීතඥයත් ඒ සඳහා දායක වෙනවා.


Pirates of the Carribbean නමින් තිරගත වුණු චිත්‍රපටි සඳහාත් තේමා වාදනය නිර්මාණය කරන්නේ Hanz Zimmer විසින්ම තමා. මේ තේමා වාදනයත් හුඟක් වෙලාවට රූපවාහිනියෙන් ඔබ අසා ඇති. 



ඒ හැරෙන්න ඔස්කාර් සම්මාන කීපයක්ම දිනාගත්තු චිත්‍රපටිය සඳහා නිර්මාණය කළ මේ තේමා ගීතයටත් මම කැමතියි. ලීසා ජෙරාඩ්ද මේ සඳහා දායක වෙලා තියෙනවා. 


ටොම් කෲස් රඟපාන Mission Impossible චිත්‍රපටි මාලාවේ තේමා වාදනය හුඟක් අය ප්‍රිය කරන එකක්. රූපවාහිනියේ 1960 දශකයේදී විකාශය වුණු Mission Impossible ටෙලි නාට්‍යය මාලාව සඳහා Lalo Schifrin නිර්මාණය කරපු මේ තේමා වාදනය Mission Impossible චිත්‍රපටිය සඳහා Adam Clyaton සහ Larry Mullen Jr. සකස් කළා. ඒ තේමා වාදනය විවිධාකාරයෙන් භාවිතා වෙනවා දැකගන්න පුලුවන්.


විවිධ මායාකාරී බලවේග මැඩලන්න, පිසාචයන් මරා දමන්න කටයුතු කරන පුද්ගලයෙක් වටා නිර්මාණය වුණු Van Helsing චිත්‍රපටියත් බොහෝ දෙනාගේ සිත් ඇදගත් එකක්. එහි තේමා වාදනය නිර්මාණය කරලා තියෙන්නේ ඇමරිකන් ජාතික සංගීතඥ Alan Silvestri


ස්කෝට්ලන්තයේ සිටි වීරවරයෙක් වුණු විලියම් වොලස්ගේ ජීවිත කතාව පදනම් කරගෙන නිර්මාණය කෙරුණු Braveheart චිත්‍රපටිය සමහර විට මතක ඇති. ඔස්කාර් සම්මාන කීපයක්ම දිනාගත්තු මේ චිත්‍රපටියේ තේමා වාදනය නිර්මාණය කළේ ඇමරිකන් ජාතික සංගීතඥ James Horner විසින්. මේ තේමා වාදනය නම් බොහෝ වෙලාවට රූපවාහිනියෙන් ඔබ අසා ඇති.


Indiana Jones නම් චිත්‍රපටි මාලාවත් ලෝ ප්‍රකට චිත්‍රපටි මාලාවක්. එහි Indiana Jones and The Temple of Doom චිත්‍රපටියේ බොහෝ දර්ශන රූගත කෙරුණේ ලංකාවේ. ලංකාවේ ප්‍රවීණ නළු නිළියන් කීප දෙනෙකුත් එහි රඟ පානවා. ඉතින් මේ චිත්‍රපටියේ තේමා වාදනය නම් ඉතාමත් සුපුරුදු එකක්. ඇමරිකන් ජාතික සංගීතඥ John Williams විසින් නිර්මාණය කරපු මේක බොහෝ ත්‍යාග හෝ සම්මාන ප්‍රදාන උත්සවයන්හිදී වාදනය කෙරෙනවා.


ජේම්ස් බොන්ඩ් කියපු ගමන් අපේ මතකයට එන රහස් පරීක්ෂකවරයෙක්ගේ ක්‍රියාදාමයන් ඇතුළත් වෙන James Bond චිත්‍රපටි මාලාවේ තේමා වාදනයත් ඔබට මතක ඇති. මේ දක්වා James Bond චිත්‍රපටි 23 සඳහාම මේ තේමා වාදනය භාවිතා වෙලා තිබෙනවා. Monty Norman විසින් මෙය නිර්මාණය කරලා තිබෙනවා. 


මෑත කාලයේ සිරස TV එකේ විකාශනය වුණු Pink Panther Cartoon එක හුඟ දෙනෙක්ට මතක ඇති. ඒ cartoon එකේ වගේම The Pink Panther චිත්‍රපටියේත් තේමා වාදනය වුණු මේක නිර්මාණය කළේ ඇමරිකන් ජාතික සංගීතඥ Henry Mancini විසින්.


හිතාගන්න අමාරු අරුම පුදුම සිදුවීම් ගැන කතා කරපු X-Files කතා මාලාව ගැන හැමෝම වගේ දන්නවනේ. ඒ සඳහා ඇමරිකන් ජාතික සංගීතඥ Mark Snow නිර්මාණය කරපු තේමා වාදනයත් කතාවටම ගැලපෙන විදිහට අද්භූත බවකින් යුක්ත වෙනවා.


මායාකාරී බලවේගයක් තිබුණු මුද්දක් වටා ගෙතුණු Lord of The Rings චිත්‍රපට මාලාවත් හරි ප්‍රසිද්ධ එකක්නේ. නපුරේ ජයග්‍රහණය පරද්දන්න කුරුමිට්ටෝ, අසුරයෝ, සුරයෝ වගේම මිනිස්සු එකතු වෙලා කරන සටන වගේම නපුරට සහයක් ලබාදෙන්න හැකිවෙන බලවත් මුද්ද විනාශ කිරීම ගැන තමා මේ චිත්‍රපට මාලාවේ කොටස් 3 පෙන්වන්නේ.

කැනඩා ජාතික සංගීතඥ Howard Shore තමා මේ චිත්‍රපටිය සඳහා සංගීතය නිර්මාණය කළේ. මේ චිත්‍රපටියේ තියෙන වාදන කීපයකටම මම කැමතියි.



ඊළඟට ජාතික රූපවාහිනියේ විකාශය වුණු ෂර්වුඩ්යේ රොබින්හුඩ් නාට්‍ය මාලාව සඳහා භාවිතා වුණු වාදනයන් ගැන කතා කරන්න ඕනේ. ඒක වෙනමම සටහනක් විදිහට තමා කියන්න ඉන්නේ. මොකද ඒක මට ඒ තරමට රසවත්

ප.ලි.: තර්ක පිට තර්ක, ප්‍රශ්න පිට ප්‍රශ්න යන සටහන් ලියලා හති වගේ :D

Sunday, February 24, 2013

විෂ්ණුගේ දෙවියන්ගේ පාදයෙන් ඉපදුණු ගංගා නම් ගඟ

 ගංගා නම් නදිය

මේ ළඟදී දවසක assignment එකකට කරුණු වගයක් හොයන්න library එකට ගිහින් විශ්වකෝෂය පෙරලලා බැලුවා. ඒ වෙලාවේ විශ්වකෝෂයේ "ග" අකුර යටතේ බලද්දී හම්බුණා ඉන්දියාවේ දිගම ගංගාව වෙන ගංගා නම් නදිය ගැන විස්තර. හින්දූන් ඉන්දියාවේ සෑම නිර්මාණයක්ම වගේ දේවප්‍රභ සංකල්පය යටතේ විස්තර කරලා තියෙන නිසා ගංගා නම් නදිය ඇතිවීමත් එයාලා ඒ විදිහට හින්දු දේවප්‍රභ සංකල්පය යටතේම විස්තර කරලා තියෙනවා.

මෙන්න මෙහෙමයි කතාව. 

හින්දු දේව විශ්වාසයට අනුව සියල්ලේම ආරම්භකයා වෙන විෂ්ණු දෙවියන්ගේ පාදයෙන් ගංගා නම් නදිය ආරම්භ වුණා කියලා එක මතයක් තිබෙනවා. ඒ වගේමයි තවත් මතයක තිබෙන විදිහට බ්‍රහ්ම විසින් ඉතාමත් ගෞරවයෙන් විෂ්ණුගේ පාද ධෝවනය කරලා ඒ ජලය තමන්ගේ කමණ්ඩලු භාජනයට එකතු කරගන්නවා. ඒකෙන් ගංගා නම් නදිය ආරම්භ වුණා කියලත් කියනවා. 

 කමණ්ඩලු බඳුන

ඒ වගේමයි බ්‍රහ්මගේ කමණ්ඩලු භාජනයේ තිබුණු ශුද්ධ ජලය කන්‍යාවක් බවට පත් වුණු බවත් ඇය ගංගා නමින් හඳුන්වපු බවත් තවත් මතයක් තියෙනවා.

මේ මොනයම් ආකාරයකට හරි ආරම්භ වුණු ගංගා නම් නදිය මුල් කාලයේදී ආකාශයේ ගමන් කරපු ගංගාවක්. යාග හෝම කටයුතුවලට වගේම දෙවියන්ගේ කටයුතුවලට භාවිතා කරපු නිසා මේ ගඟ ශුද්ධ ගංගාවක් විදිහට තමා සැලකුවේ.

ඉතින් රාම රජතුමා [රාමායණයේ හිටියේ] පරපුරෙන් පැවත ගෙන ආපු සගර කියන රජතුමා අශ්වමේධ යාගයක් පවත්වන්න කටයුතු සූදානම් කරමින් හිටියා. අශ්වමේධ යාගය කියන්නේ දිග් විජය කරපු රජවරු තමන්ගේ බලාදිපත්‍ය තහවුරු කරගන්න සිදු කරන යාගයක්. 

 අශ්වමේධ යාගයේදී අසු ගමන් කිරීම[මේක නම් මෑත කාලේ එකක්]

ඒකෙදී සිද්ධ වෙන්නේ රජෙක් තමන් දිග් විජය කරලා අල්ලා ගත්තු ප්‍රදේශය තුළ සුදු අශ්වයෙක්ට නිදැල්ලේ ගමන් කරවන එක. ඒකෙදී අශ්වයා නිදැල්ලේ ගමන් කරන සෑම ප්‍රදේශයක්ම ඒ අශ්වයාගේ හිමිකරුවා වුණු රජතුමාට අයිතියි කියලා පිළිගැනෙනවා. කිසියම් අවස්ථාවක අශ්වයාගේ ගමනට කවුරු හරි බාධා කරනවා නම් ඒකෙන් වක්‍රාකාරව කියන්නේ ඒ පුද්ගලයා අශ්වයාගේ හිමිකරුවා වුණු රජතුමාගේ ආදිපත්‍ය පිළිගන්නේ නැහැ කියලනේ. 

එතකොට නිදැල්ලේ ගමන් කරන අශ්වයා පිටිපස්සෙන් ගමන් කරන රජතුමාගේ සේනාව ඒ බාධා කරපු තැනැත්තා එක්ක යුද්ධ කරලා ඔහුව යටපත් කරනවා. අවසානයේදී අශ්වයා ගමන් ආරම්භ කරපු ස්ථානයට ආපුවාම ඒ අශ්වයාම මරලා අග්නි දේවතාවට පූජා කරනවා වගේම තවත් අශ්වයන් සහ තවත් සතුන්  අග්නි දේවතාවට පූජා කරනවා.[මේ යාගය ගැන ඉතාමත්ව සරලව තමා කියලා තියෙන්නේ. ඒත් මේක හුඟක් සංකීර්ණ චාරිත්‍ර තියෙන යාගයක්]

අශ්වමේධ යාගය

මේ විදිහට අශ්වයා ගමන් කරලා ආපහු එන්න සමහර වෙලාවට ලොකු කාලයක් වුණත් ගතවෙන්න පුලුවන් නිසා මේ යාගය අවුරුදු 12 ක් විතර පැවැත්වුණු අවස්ථා එහෙමත් තිබිලා තියෙනවා. පස්සේ කාලේ නම් සමහර රජවරු පොඩි පොඩි ජිල්මාට් දාලත් අශ්වමේධ යාගය කළාලු :P

ඉතින් ආයි පාරක් කතාවට ආවොත් සගර රජතුමා මේ විදිහට අශ්වමේධ යාගය කරද්දී දිව්‍ය ලෝකයට අධිපතියා වුණු ඉන්ද්‍ර දෙවියා ගින්නට පුදන්න සූදානම් කරලා තිබුණු අශ්වයෙක්ව හොරකම් කරලා පාතාලයේ කපිල සෘෂිවරයාගේ අසපුවේ හංගනවා. 

මේකට හේතුව තමා බ්‍රාහ්මණ විශ්වාසයක් පැවතිලා තියෙනවා නිවැරදිව අශ්වමේධ යාගය පවත්වන රජතුමාට දිව්‍ය ලෝකයේ අධිපතියා වෙන්න පුලුවන් කියලා. ඒක නිසා කවුරු හරි එහෙම අශ්වමේධ යාගය කරද්දී අශ්වයෝ හොරකම් කරන එක ඉන්ද්‍ර දෙවියන්ගේ සිරිතක් වෙලා තිබිලා තියෙනවා. 

ඉන්ද්‍ර දෙවියන් අශ්වයෙක්ම හොරකම් කරලා පාතාලයේ සැඟවීමත් එක්ක ඒ අශ්වයාව හොයාගෙන එන එක භාරවුණේ සගර රජතුමාගේ පුත්තු 60,000 ට. එයාලා පොළව මහා විශාල විදිහට හාරලා පාතාලයට ගිහින් අශ්වයාව හොයාගන්නවා. පස්සේ අශ්ව හොරා කවුද කියලා බලද්දී ඒ ආසන්නයේ භාවනානුයෝගීව හිටිය කපිල සෘෂිවරයාව දැකලා එයා තමා අශ්ව හොරා කියලා හිතපු සගර රජතුමාගේ පුත්තු කපිල සෘෂිවරයාට හිරිහැර කරනවා. 

 කපිල සෘෂිවරයා කුමාරවරු 60,000 අළු කිරීම

මේක නිසා කෝප වෙන කපිල සෘෂිවරයා ඇස්වලින් ගිනිදැල් පිට කරලා රාජ කුමාරවරු 60,000 දෙනාවම පුච්චලා අළු බවට පත් කරලා අහස් ගඟේ ජලයෙන් ඔවුන්ගේ අළු තෙමන තුරු ඔවුන් ස්වර්ගයේ නූපදීවා කියලා ශාප කරනවා. 

එතැන් පටන් ඒ පරපුරේ රජවරුන් ප්‍රධාන අරමුණ වුණේ අහස් ගංගාව ලබා ගැනීම සඳහා තපස් රකින එක. මොකද බ්‍රාහ්මණ ඉගැන්වීම් අනුව කවුරු හරි උග්‍රව තපස් රැකලා දෙවියන්ව සතුටු කරනවා නම් දෙවියන්ගෙන් වරප්‍රසාද ලබා ගැනීමේ හැකියාව තිබුණා. කොහොමින් කොහොම හරි අන්තිමට මේ රාජ පරපුරේ භගීරථ කියන රජතුමා තමන්ගේ උග්‍ර තවුස් දම් පිරීමෙන් විෂ්ණු/බ්‍රහ්ම දෙවියන්ව සතුටු කරවන්න සමත් වෙනවා. 

පස්සේ විෂ්ණුගේ/බ්‍රහ්මගේ නියෝගය පරිදි ගංගා නම් නදිය මහ පොළොවට ඇද හැලෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ ගම් බිම්, කෙත් වතු යට කරමින් මහා විනාශකාරී විදිහට තමා ගංගාව ගලාගෙන යන්නේ. 

 ඊශ්වරගේ ජටාවට ඇද හැලෙන ගංගා නම් නදිය

මේ තත්වය වළක්වා ගන්න භගීරථ රජතුමා ඊශ්වර දෙවියන්ගෙන් උදව් ඉල්ලා සිටිනවා. ඊශ්වර දෙවියන් අහසින් ඇද හැලෙන ගංගාව තමන්ගේ ජටාවෙන් පිළි අරගෙන වේගය අඩු කරලා මහ පොළොවට ලබා දෙන්න එකඟ වෙනවා. ඉතින් ඒ විදිහට මහ පොළොවට ඇද හැලෙන ගංගා නම් ශුද්ධ නදිය සගර රජතුමාගේ පුත්තු 60,000 විසින් පාතාලයට යන්න හාරපු වළට පිරෙනවා. සගරගේ පුතුන් නිසා ඒක ඇතිවුණු නිසා ඒක සාගර නමින් හඳුන්වනවා. 

මේ නදිය ස්වර්ග, පෘථිවි, පාතාල කියන ලෝක තුනටම ගලා යන එකම ගංගාව නිසා ත්‍රිපත්ගා කියන නමත් භගීරථ රජතුමාගේ උත්සහය නිසා මහ පොළොවට ලැබුණු නිසා භගීරථී කියන නමත් හැරුණාම තව නම් කීපයක්ම මේකට භාවිතා කරනවා. 

විෂ්ණුගේ පාදයෙන්, බ්‍රහ්මගේ කමණ්ඩාලු බඳුනෙන් වගේම ඊශ්වරගේ ජටාවේ ස්පර්ශ වෙලා ගලාගෙන එන නිසා මේ ගංගාව හින්දූන්ගේ පරම පූජනීය ගංගාව බවට පත් වෙනවා. ඒ වගේමයි සගර රජතුමාගේ පුතුන් 60,000 ගේ භෂ්මාවශේෂ ගංගා නම් නදියේ ජලයෙන් තෙමුණු නිසා ඔවුන්ට ස්වර්ගයට යන්න පුලුවන් වුණු නිසා හින්දූන් තමන්ගේ ඥාතීන්ගේ භෂ්මාවශේෂ ගංගා නම් නදියේ ජලයෙන් තෙමලා ඔවුන්ට ස්වර්ග සම්පත් ලබාදෙන්න හින්දූන් පුරුදු වෙලා ඉන්නවා. 

 ගංගා නම් නදියේ භෂ්මාවශේෂ පා කිරීම

හින්දි filmsවලින් භෂ්මාවශේෂ ගංගා නම් නදියේ පා කරනවා ඔයාලා දැකලා ඇතිනේ. films වල නම් එහෙම වුණාට හුඟක් වෙලාවට භාගෙට පිච්චුණු මළ සිරුරු පවා ගංගා නම් ගඟේ පාවෙනවා කියලා තමා කියන්නේ. පින්තූර නම් එමට තියේ. ඕන් මම නම් පෙන්නන්නේ නැහැ

ප.ලි.: කතාව ලියන්න විශ්වකෝෂයේ තිබුණු කතාව වගේම විකියෙනුත් කරුණු අරගෙන තියෙන්නේ.

Sunday, February 17, 2013

exams අස්සේ කවි මඩු තියන්න තමුසෙට පිස්සුද ඕයි


exams කාලේ කියන්නේ අපිට [අපිට කිව්වේ අපේ special batch එකේ කොල්ලෝ 4 දෙනාට. තව පොරක් අපිත් එක්ක ඉන්නවා. හැබැයි මිනිහා බොහොම නිෂ්ක්‍රීය චරිතයක්] නම් මහා අපල කාලයක්. Notes complete කරන්න, photocopy degree එක කරන්න, library ගිහින් පොත් හොයන්න, assignments, tutorilas ලියන්න වගේ කුදු මහත් කටයුතු රාශියයි. 

විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ දේ තමා exam එකට පාඩම් කරන්න කියලා ලැබෙන study leave සති දෙකෙත් බයිලා ගගහා ඉන්න අපි 4 දෙනා අන්තිමට පාඩම් කරන්න set  වෙන්නේ exam එක පටන් ගත්තාම කියන එක. දෙයියනේ කියලා හැම පාරම අපේ exam time table එක හදන දෙයියා අපේ exam time table එක හදන්නේම හැම paper එකක් මැද්දට අඩුම ගාණේ සතියකවත් gap එකක් තියලා. 

ඉතින් මේ විදිහට papers මැද්දෙන් gap එකක් විදිහට තියෙන කාලේ අතරතුර  අධ්‍යාපනික ගැටලු ගැන sms, දුරකතන සංවාද යනවා වගේම පුරුදු තැටිය වෙන බයිලා වාදනත් නොයනවා නෙමෙයි.

මටත් මේ දවස්වල පොඩි කික් එකක් ගිහින් exam stress නිසාම පොඩි කවියක් නිර්මාණය කළා.

පංච මහා බලවතුන්

පස්සේ නිකම් ඉන්න බැරුවට අනිත් උන් තුන් දෙනාටත් මේ කවිය sms කළා. අනිත් උන් තුන් දෙනාගෙන් කවියට බර, කවියට හිතැති, කවිකාමී ස්වීටාගෙන් තමා කවියෙන්ම උත්තර ආවේ. අන්තිමට මේ කවි sms කිරිල්ල කවි මඩුවක් කවි හටනක් වෙලා තමා නතර වුණේ. 

ඔන්න ඉතින් ඒ කවි මඩුව, කවි හටන තමා මේ තියෙන්නේ.

මම
පාඩමට තම සිත
නිතර යොමු කරනා අය
ගනී හොඳ ප්‍රතිඵල
ඔවුන් සැමවිට යන්නේ ඉහළට

ස්වීටා
සැණෙකින් මෙසේ පවසමි ඔබෙ පණිවුඩය අසා
ලීවෙමි මිතුර මහ රෑ නිදි කිරන නිසා
කොපමණ කළත් නොකළා මෙන් දැනෙන නිසා
නින්දක් දාන්නයි හිතුවෙ පොත පසෙක තියා 

මම
සරසවි සිසුන් හර මාරයා විභාගයයි
මාරයා සමඟ එන්නේ මර නින්ද තමයි
මාරය පැරදුමට සවි බල ලැබගන්නයි
මම නිති පතමි අප සැම මින් ගොඩයන්නයි

ස්වීටා
ඉන්නේ කොහිද බැලුවෙමි නිදි ගැට පිසදා
බැලුවම මතක් වුණි පැදුරේ බව විමසා
කියවා ඔබගේ කවි සිතුවිලි සකි හසිතා [ඕන් මූ එළිසමය රැක්ක හැටි]
බැලුමට දුවමි පොත් විභාගෙ සතුට පතා 

මම
කදිමයි මගේ මිතුරාණනි කවි මඩුව
[ඉතුරු පද ටික මට ආවේ නැහැ]

මම
කෙලෙසද ඔබේ පාඩම් කටයුතුවල තත්වේ
මේ පේපර් එක මහ ඇණයක් වීලා ඇත්තේ
තාඹු, නෝබා දෙදෙනත් මෙහිදී හිරවී ඇත්තේ [මේ අපේ අනිත් උන් දෙන්නා]
හොඳ පාඩම් අපිටත් මේවා කියමින්නේ

ස්වීටා
පාඩම් පසෙකලා කාමරයක් අස් කළෙමි
පාඩම් කරන්නට හිත නෑ කම්මැලෙමි [මූ හදන අලුත් වචන :D]
කුමක් කොරන්ටද මට දැන් නොතේරෙමි
බැඳගත් බෙරේ ගසමුකෝ අපි හීනියෙනි

මම
අපි පොරවල් යැයි නිරතුරු සිතුවාට
අපි කොර වෙන්නේ මේ වාගේ වෙලාවට
දවසක් දෙකක් තව ඉතුරුව තිබුණාට
බැරි දේ පුලුවන්ද දත් මිටි කෑවාට 

ස්වීටා
කුමක් කරන්නද යාලුවේ අපි මේවා
කරමු කොහොම හරි ඩම් එක ෆුල් දාලා
සැමදා කෙල වුනත් ඒ ගැන නොසිතාලා
පෙන්වමු අපිත් exam එක ගොඩ දාලා

මම
නිතර talk දෙන්නට අපි උපන් හපන්
කවුරුත් සිටින්නේ අපි සැම දිහා බලන්
චා ප්‍රතිඵල ආවොත් නම් හුටං පටං
අපි හට සිදුවේය දුවනට කඩන් බිඳන්

ස්වීටා
එවන් දෙයක් සිදුවන්නේ නැතිවේවා
ගණ දෙවි නුවණ අප සිත් තුළ පෑදේවා
පේපර් එක එළ කිරි වගේ සෑදේවා
සියලු පැතුම් එක ලෙස අපේ ඉටුවේවා

මම
ඒක සැබැයි සැබැයි සැබැයි
ආවඩා ආයු බොහෝ වේවා 

මම
අපි පාඩම් කරනෙමු
විභාගේ ගොඩ දාගමු
හොඳ ප්‍රතිඵල අරගමු
අපෙ වැඩ කිඩ පෙන්වමු

ස්වීටා
මීරිගම ස්විට එළකිරි කවියානේ
අළුයම එකටලු ඌ දොයිය ගන්නේ
උදේ තමයි මැසේජ් එක දැක්කානේ
එළිවැට ගලවාපු කවි නම් මේවානේ

මම
නැත නැත මිතුර මේ කවියත් හරිම අගෙයි
එළිසමයත් මරුවට මෙහි රැකිලා තියෙයි
උදයේ නැගිටේටේ මම මේ දැන්ම තමයි
එන්නම් මචෝ චූ කරලයි තේ බීලයි
[චූ කතා රැල්ලක් නොවේ :D]

ස්වීටා
චූ කරලා තේ බීලා පැමිණීලා
පොත පත අතට ගෙන ඒවා කියවාලා
exam එක ගොඩ දමනට එක සැරසීලා
ලියමුකෝ අපි 6 වෙනිදා සෙට් වීලා

එදා paper එක කොහොම හරි ලියාගත්තය කියමුකෝ. මේ ඊට පස්සේ කවි මඩුව season - 2

මම
අප සැම ලියා ගත්තද අද පේපරය
දුම් විසිවෙන එක එන්නේ දාහතර
ගොඩ දමනට නම් අපි ඒ පේපරය
ගිල දැම යුතුය මහවංසය පොත් පෙළම

ස්වීටා
පුරාතනට මහාවංස පොත් පෙළය
ආණ්ඩුක්‍රම වමාර කයි නූතනය
චන්දන මැතිඳු හා සිල්වා මැතිඳුන්ය
වැලන්ටයින් එක නම් මට නැති සේය 

මම
වැලන්ටයින් ඇත ඒ මුළු දිනය පුරා
අපේ මීටිමත් නිම කරදෙමි කල් නොමරා
වැලන්ටයින් හවසට උඹලා සමරා
අපිටත් පාටියක් දීපන් කළගුණ සිහි කරලා

ස්වීටා
පාටි තමයි සිහිවන විට මට සල්ලි
කෙල්ල නිසා එදාට ලොකු වියදම් මල්ලි
පාටි නෙමෙයි දෙන්නයි වෙන්නේ නෙල්ලි
දුකම තමයි මක් කරමුද අයියෝ සල්ලි

මම
උඹ ගොඩ ගියා අප හට නැත කිසි පාටි
ඉන්නෙත් කොල්ලෝ තිදෙනයි උඹ හට ලේසි
දැන්ම දුන්නොතින් උඹ හට වෙයි වාසි
කල් දම දම හිටපන් උඹ හට දෝදු

ස්වීටා
කනින් කනට ගොස් දැමුවා මා පාටි
කියලා මගේ ඔළුවම කයි කෙල්ලන් සැරසී
[කෙල්ලන් කිව්වේ අපේ batch එකේ අය]
පින්නි, රෝයල්, ලෝටස් සමඟින් පැඟිරී
නොමරා මා කාවි සැකයක් නැහැ රොක්වී

මම
බිය නොම මැනවි මිතුරාණනි කිසි දිනෙක
මේ ගැන කෙළ බිඳක් නොහළමි කිසි දිනෙක
උඹ හට අවැසි නම් දමනට ලොකු පාටි
සංවිධාන කර දෙන්නෙමි සුපිරියට

ස්වීටා
මගේ දෙයියෝ මට නම් ඇවැසි නැත ලොකු පාටි
දීලා කොහොම බේරෙන්නද මුන්ගෙන් පාටි
පාටි පාටි පාටි හැමදාමත් ලොකු පාටි
බලමුකෝ මචෝ පොඩි එකකට එහෙනම් පාටි

මම
පාටි දමන්නේ අපි බන් සතුටටනේ
අනුන් සතුටු කරනා එක හරි හොඳනේ

ස්වීටා
කියලා වැඩක් නෑ සල්ලි යන්නේ මටනේ
කමක් නැහැ මචෝ අපි කොහොමත් ෆිට් එකනේ

මම
ගොඩ ගියේ උඹ නිසයි උඹ හට මේ වියදම්
දැන්වත් උඹට මොළේ පැදුනා හරි එහෙනම්

ස්වීටා
ගොඩ යෑමත් එක පාරයි වෙන්නේ නම්
සල්ලි සල්ලි යැයි නොබලමි කිසිදා නම්

ස්වීටා
මැසේජ් කවි කොටා මා හට පෙළඹූවා
පෙළඹී මාත් පාටියකට හා කිව්වා
ගොඩ ගිය එකෙත් පාපය මට හිමිවූවා
කාට කියන්නද දෙයියනි දුක මෙව්වා

මම
උඹ ගොඩ ගියේ දෙවියන්ගෙන් අසා නෙමෙයි
එහෙනම් දෙවියන්ට මේවා කියන්නේ ඇයි
උඹ පොළඹන්න උඹ පොඩි අත දරුවෙක්යැයි
උඹ හට ඔබින්නේ ඇන්කර් වන් ප්ලස්මයි

ස්වීටා
නෝනා ගියා බණ්ඩේ බලා කුමකටද [බණ්ඩේ-කෙල්ලන්ගේ හොස්ටල් එකක්]
මැසේජ් කෙටුවේ ඒ හම්බුණු ඇසිල්ලට
නැවතත් පැමිණ ඇත ඇය ඇගේ බෝඩිමට
එහෙනම් මිතුර සමුගන්නට අවසරද ?

මම
අවසර ලබාදෙමි ඔබ හට සමුගන්න
දාහතර වෙනිද ආයේ හමුවෙමු ඔන්න
පාටිය දෙන්න දිනයක් බලලා එහෙම
කියපන් මචෝ හැකි විගසින් සැරසෙන්න

ඕන් ඔහොමයි කවි මඩුව/කවි හටන ඉවර වුණේ. 14 වෙනිදායින් එකත් ඉවර වුණා. තාම පාටිය ගැන ස්වීටා සද්දයක්වත් නැහැ :P

ප.ලි.: exam එක වෙලාවෙත් කවි ලියපු මට exam එකට පාඩම් කරද්දී කවි ලියන්න බැරිද :D [තව කතා දෙකකට link නොවන්නේ නොවේ]

ප.ප.ලි.: කාලෙකට පස්සේ මෙහෙම ෆන් කතාවක් ලිව්වමද කොහෙදෝ....