Saturday, April 24, 2010

තාත්තගේ අත් අකුරු


අද දවල් අපේ නංගිව class එකෙන් ගන්න තාත්තයි අම්මයි එක්ක මාත් ගියා. ගෙදර අයත් එක්ක හරි කලාතුරකින් තමා මම ගමනක් යන්නේ. මොකද හැමතිස්සේම වගේ මම මොකක් හරි වැඩකට ගෙදරින් පිට යැවෙන නිසා ගෙදර අයත් එක්ක ගමන් යැවෙනවා අඩුයි. මම අද ඔය ගමන ගියෙත් මගේ computer එක කැඩිලා හදන්න දාලා තිබ්බේ ඒක අරන් එන්න ඕනේ නිසා.

ඉතින් නංගිව class එකෙන් ගත්තට පස්සේ අම්මා නංගිගේ පොත් ටික බලන්න ගත්තා. පොත් බලලා අම්මා කියන්න ගත්තා අත් අකුරු හොඳ මදි. ඉස්පිලි පාපිලි එහෙම පැහැදිලිව දාන්න ඕනේ ආදී විදිහට [අපේ අම්මා ගුරුවරියක්. ඒකයි ඔච්චර කියන්නේ].

ඉතින් මාත් නංගිගේ පොත් දිහා බලලා කිව්වා.

"ඔව් ඔව්, ළමයාගේ අත් අකුරු නම් හොඳ මදි. මගේ නම් ඒ කාලේ අත් අකුරු ඔයිට වඩා හොඳයි" කියලා.

ඒ කාලේ කියලා කිව්වේ මම ඉස්කෝලේ 9 වසරේ ඉන්න කාලේ [අපේ නංගී දැන් ඉන්නේ ඉස්කෝලේ 9 වසරේ].

අපේ ගෙදර හොඳටම අත් අකුරු තියෙන්නේ අපේ අම්මාගේ. තාමත් මම මොකක් හරි form එකක්, application එකක් එහෙම පුරවන්න ඕන වුණොත් කියන්නේ අම්මාට. ඊට පස්සේ අපේ ගෙදර හොඳම අත් අකුරු තියෙන්නේ මගේ. ඊටත් පස්සේ පිලිවෙලින් නංගි, අයියා සහ තාත්තා.

තාත්තා අන්තිමට ආවේ අපේ තාත්තගේ අත් අකුරු එහෙම නියමෙටම නියම නිසායි. තාත්තගේ අත් අකුරු අපිට කියවන්න එහෙම හරි අමාරුයි. මට නම් දැන් ප්‍රශ්නයක් නැහැ මොකද මම පුරාවිද්‍යාඥයෙක් වෙන්න ඉන්න නිසා :).

ඉතින් කතාවට එමුකෝ. අම්මගෙයි මගෙයි කතා අහලා තාත්තා කිව්වා නියම කතාවක්. අපේ නෑදෑ කෙනෙක් හිටියා ඉස්සර සෞදි අරාබියේ. අපි එයාට කියන්නේ බිංදු මාමා කියලා. ඉතින් තාත්තා එයාට විස්තර එහෙම කියලා ලියුමක් යවලා තියෙනවා. ඔය කියන්නේ 1994,1995 වගේ කාලේ. Telephone භාවිතයක් එහෙම එච්චර තිබ්බේ නැහැනේ.

ඉතින් තාත්තා යවපු ලියුමට බිංදු මාමා එව්ව පිළිතුරු ලිපියේ අන්තිමට වගේ මෙහෙම තිබ්බාලු.

"හිතවත් ගාමිණී මල්ලී, මම ඔයාගේ ලියුම කියෙව්වේ දවසක්ම නිවාඩු දාලා බෝඩිමට වෙලා. කෝකටත් කොල්ලෝ දෙන්නා දැන් ඉස්කෝලේ යන එකේ ඔයත් පොඩ්ඩක් ඒ පංතියකවත් ගිහින් අත් අකුරු හදා ගත්තොත් හොඳයි නේද?"

බිංදු මාමා විහිළුවට වගේ කිවවත් ඉතින් කතාව නම් අමූලික ඇත්ත :) :) :) කොහොම වෙතත් අපේ තාත්තගේ ඉංග්‍රීසී අකුරු එච්චරම අවුලක් නැහැ සිංහල අකුරු තමා අවුල. මේ වෙනකොට නම් තාත්තා හුඟක් වෙලාවට ලියුමක් කාරියේ ලිව්වොත් ලියන්නේ ඉංග්‍රීසියෙන්. සිංහලෙන් මොකක් හරි ලියා ගන්න ඕන වුණොත් කියන්නේ අම්මාට. ඒ වගේම වැදගත් කියන ලියුමක් එහෙම නම් මට කියලා කරගන්නවා.

Thursday, April 22, 2010

ඕම් මනි පද්මේ හූම්


මොකක්ද මේ " ඕම් මනි පද්මේ හූම්" කියන්නේ කියලා මේක අහපු ගමන්ම ඔයාලගේ හිතට එන්න පුළුවන්. මේක මහායාන බෞද්ධයන් භාවිතා කරන මන්ත්‍රයක් විදිහට සරලව හඳුන්වන්න පුළුවන්.

ශ්‍රී ලාංකික ථේර්වාදී බෞද්ධයන් විදිහට අපි ආරක්ෂාවට, සෞභාග්‍යයට විවිධ බෞද්ධ සූත්‍රයන් භාවිතා කරනවා වගේම මහායාන බෞද්ධයන් ආරක්ෂාව, සෞභාග්‍යය වැනි කාරණාවලට මේ මන්ත්‍රය භාවිතා කරනවා. මේ මන්ත්‍රය මඟින් මහායන බෞද්ධයන් අතර මෙන්ම ථේරවාදී බෞද්ධයන් අතරත් ප්‍රසිද්ධ අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ට වන්දනා කිරීමක් සිදු වෙනවා.

මේ මන්ත්‍රය මැතිරීම මඟින් මහ පොළවේ ගතකරන දිවියෙන් මිදිලා අවලෝකිතේශ්වර බෝසතුන් වැඩ සිටින පද්මාසන වේදිකාවට ලං වෙන්න පුළුවන් කියලා තමා ඔවුන් විශ්වාස කරන්නේ. වැඩි වශයෙන් ටිබෙට් රටේ බෞද්ධයන් අතර තමා මේ මන්ත්‍රය ප්‍රසිද්ධයි. ඔවුන් පුරුද්දක් වශයෙන් දිනපතාම මේ මන්ත්‍රය ගායනා කරනවා.

ඉතින් මේ මන්ත්‍රය මිනිස් ලොවට ලැබුණායි කියන්නේත් ටිබෙට් රට හරහා. 4 සියවසේදී ටිබෙටයේ රජ කරපු රජතුමෙක්ට දිව්‍ය ලෝකයෙන් ලැබුණු වටිනා වස්තු 4 න් එකක් වුණේ මේ මන්ත්‍රයයි.

ටිබෙට් බෞද්ධයන් දක්වන්නේ බුදුන් වහන්සේට පවා මෙම මන්ත්‍රයෙන් ලැබෙන සෙත් ශාන්තියේ ප්‍රමාණය ගණන් කළ නොහැකි බවයි. එමනිසා මෙම මන්ත්‍රයෙන් අසීමිත යහපත් ප්‍රතිඵලයක් ලැබෙන බව ඔවුන්ගේ විශ්වාසයයි.

මෙන්න ඒ මන්ත්‍රය



මේ මන්ත්‍රය ඉම් උයි කියන බෞද්ධ සංගීත නිෂ්පාදකවරිය වර්තමාන සංගීතය සමඟ සමඟ සංයෝජනය කරලා සකස් කිරීමක් කරලා තියෙනවා. මේ තියෙන්නේ ඒ ගීතය



ඉතින් මේ මන්ත්‍රය ගැන මේ විදිහට කරුණු කාරණා රැසක් කිව්වේ මේ මන්ත්‍රය අහන්න ලැබුණට පස්සේ මනස මාර විදිහට සැහැල්ලු වෙන නිසයි.

වර්තමානයේදී ලංකාවට ෆෙන්ග් ෂුයි හඳුන්වා දීපු ආසිරි වනිගරත්න මහත්මයා මෙම ටිබෙට් බෞද්ධ මන්ත්‍රය ලංකාව පුරා බෙදා හරිමින් ඉන්නේ. ඒකෙදිත් දක්වනවා මෙම මන්ත්‍රය ඇසීමෙන් ධනාත්මක ශක්තිය ඇතිකරන බවත්, රෝගාබාධ නැතිකරන බවත්, වාසනාව, සතුට හා දීර්ඝායුෂ ලබාදෙනවා කියලා.

ඉතින් මේ මන්ත්‍රය අහලා බලලා මේක ඇසීමෙන් ඔබේ හිතට දැනෙන හැඟීම ගැන කියන්නකෝ

සර් ජෝන් කොතලාවල සහ තේමිස් මන්ත්‍රීතුමා


අද මම කියන්න හිතුවේ අළුත් අවුරුද්දට නෑදෑ ගෙවල්වලට ගිය වෙලාවේ අහපු කතා ටිකක්.

නෑදෑ ගෙවල්වලට ගියාම ඉතින් මොකක් හරි ගැන කතා කර කර ඉන්න ඕනෙනේ. ඉතින් අපේ තාත්තා, මාමලා, බාප්පලා කට්ටිය හුඟක් කතා කලේ දේශපාලනේ ගැන. මේකේදී ඉස්සර හිටපු දේශපාලනඥයන් ගැන සිරා කතා ටිකක් කතා වුණා.

මෙන්න එක කතාවක්. S.W.R.D. බණ්ඩාරනායක මැතිතුමා අගමැතිතුමා වෙලා ඉන්න කාලේ පාර්ලිමේන්තුවේ හිටියා මංත්‍රී කෙනෙක් තේමිස් කියලා. එයා කලින් තැපැල් කන්තෝරුවක ලියුම් බෙදන වැඩේ කරපු කෙනෙක්.

ඉස්සර පාර්ලිමේන්තු ගියේ ප්‍රභූ වලව් පැලැන්තියේ, ධනවත් පොරවල් නේ. ඉතින් එක ආසනේක හිටපු සාමාන්‍ය මිනිස්සු ටිකක් ඒ ආසනේට ඡන්දේ ඉල්ලපු සල්ලිකාර, ප්‍රභූ පුද්ගලයත් එක්ක ගේමට තමා මේ තේමිස්ව දාලා තිබ්බේ. අන්තිමට වැඩි ඡන්දෙන් මේ තේමිස් පාර්ලිමේන්තුවට පත්වුණා.

මේ තේමිස් මන්ත්‍රිතුමා දවසක් පාර්ලිමේන්තුවේ කොරිඩෝවක ඇවිදිද්දී දැක්කා ඉස්සරහ සර් ජෝන් කොතලාවල මැතිතුමා ඉන්නවා.

සර් ජෝන් කොතලාවල මැතිතුමා ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ. හමුදාවේ හිටපු, බ්‍රිතාන්‍ය මහ රැජිණගෙන් නයිට් පදවියක් ගත්ත ඒ වනවිට අගමැති පදවියත් දරලා UNP ආණ්ඩුවේ පරාජයත් එක්ක විපක්ෂ මන්ත්‍රී කෙනෙක් විදිහට කටයුතු කරමින් හිටියේ.

ඉතින් මේ තේමිස් මන්ත්‍රිතුමා හිතුවා තමනුත් මන්ත්‍රී සර් ජෝන් නුත් දැන් මන්ත්‍රී නේ කියලා හිතලා.

"හායි මිස්ටර් ජෝන්" කියලා සර් ජෝන්ගේ පිටට තට්ටුවක් දැම්මා.

මේක අහපු ගමන් අසූහාරදාහට කේන්ති ගිය සර් ජෝන් කොතලාවල" ඈ යකෝ උඹ මට තට්ටු දාන්න කියලා" තේමිස් මන්ත්‍රීතුමාගේ පිටට හොඳ පාරක් කෙලලා ඇරියා.

පස්සේ තේමිස් මන්ත්‍රීතුමා අඬ අඬ තමන්ගේ පක්ෂේ නායකතුමා වගේම ඒ වෙද්දී අගමැති වෙලා හිටිය S.W.R.D. බණ්ඩාරනායක මැතිතුමා ගාවට ගිහින් වෙච්ච වැඩේ කිව්වා. මේක අහපු අගමැතිතුමා කිව්වා.


"අයිසේ තමුසෙට පිස්සුද සර් ජෝන්ට මිස්ටර් ජොන් කියලා පිටට තට්ටු දාන්න කොටින්ම මාත් තාමත් සර් ජෝන්ට සර් ජෝන් කියලයි කතා කරන්නේ" කියලා

උඩින්ම තියෙන photo එකේ ඉන්නේ හිටපු අගමැති සර් ජෝන් කොතලාවල මැතිතුමා. පල්ලෙහා තියෙන photo එකේ ඉන්නේ හිටපු අගමැති S.W.R.D. බණ්ඩාරනායක මැතිතුමා

Tuesday, April 20, 2010

රජතුමාගේ ලොකුම සැනසීම


සැනසීම කියන්නේ මොකක් කියලද ඔයාලා හිතන්නේ ?

එහෙම අහන්න හිතුණේ මේ දවස් ටිකේම අන්න ඒකයි කියලා මම හිතන එක මට තිබ්බ නැති නිසයි. මේ දවස් ටිකේම අළුත් අවුරුද්දට නැදෑ හිතමිතුරන්ගේ ගෙවල්වල ගියා. ඒ වගේම ඊයේ උදේ නුවර ගිහින් අද උදේ තමයි ගෙදර ආවේ. ඒ වගේම යාළුවෝ කීප දෙනෙක්ගේම birth day parties තිබ්බ නිසා ඒවටත් යන්න වුණා.

මේ විදිහට වැඩ ගොඩක් තිබ්බ නිසා සැනසිල්ලේ fb පැත්තේ යන්න, මගේ e-mails check කරන්න, blog එකට අළුත් post එකක් දාන්න වගේ මොකුත් වැඩක් කරන්න වුණේ නැහැ.

මේක නිසා සැනසීම ගැන කතාවක් මට මතක් වුණා. ඉතින් ඒක තමා අද කියන්න හිතුණේ. කතාව ටිකක් හොඳ මදියි කියලත් හිතෙනවා. කොහොම වෙතත් ඔයාලා කියෝලම බලල කියන්නකෝ කතාව කොහොමද කියලා

එකෝමත් එක කාලෙක එකෝමත් එක රටක [මට හරි ගැටළුවක් තමා මේ එකෝමත් එක රට කොහෙද තියෙන්නේ කියලා :) :) :)] රජ කෙනෙක් හිටියා. දවසක් දා උදේ රජතුමා රාජ සභාවට සැපත්වෙලා රාජ්‍ය පාලනයට අදාල වෙන documents එහෙම check කර කර ඉද්දී රජතුමාගේ හිතට ලොකු ගැටළුවක් ආවා.

පස්සේ රජ්ජුරුවෝ ඒකට උත්තරේ හිතාගන්න බැරුව රාජ සභාවට ඒ ගැටළුව ඉදිරිපත් කලා.

රජතුමා ඇහුවා " ඇමතිවරුනි, ලෝකේ ලොකුම සැනසීම මොකක්ද ? " කියලා.

ඒ වෙලාවේ රජ්ජුරුවෝ ඉස්සරහ පොර වෙන්න දඟලන ඇමතිවරු [දැන් කාලේ වගේම තමා] එක එක උත්තර රජතුමාට දුන්නා.

එක ඇමතියෙක් කිව්වා "රජතුමනි, වස්තුව හුඟක් තිබුණාම තමා ලෝකේ ලොකුම සැනසීම තියෙන්නේ" කියලා. තව පොරක් කිව්වා "රාජ්‍යය තව විශාල කරලා මුළු ලෝකේම අල්ල ගත්තහම තමා ලෝකේ ලොකුම සැනසීම තියෙන්නේ" කියලා. තව ඇමතියෙක් කිව්වා "ලෝකේ ඉන්න ලස්සනම කාන්තාව එක්ක රති කෙළියේ [කට්ටිය දන්නවානේ මොකක්ද රති කෙළිය කියන්නේ කියලා :) :) :)] යෙදුණාම තමා ලෝකේ ලොකුම සැනසීම තියෙන්නේ" කියලා.

මේ ආදී වශයෙන් රජතුමාට answers ගොඩක් ආවා ලෝකේ ලොකුම සැනසීම කියන්නේ මොකක්ද කියලා.

මේ විදිහට හැමෝම එක එක ඒවා කියද්දී එක ඇමතියෙක් කියාපි "රජතුමනි, ශරීර කෘත්‍ය කරන්න ලොකු අවශ්‍යතාවක් තිබිලා ඒක කලාට පස්සේ තමා ලෝකේ ලොකුම සැනසීම එන්නේ" කියලා.

මේක අහපු රජතුමාට අසූ හාරදාහට තද වුණා. තමන් ගැන කිසිම ගරු සරුවක් නැතිව මෙහෙම කතාවක් කිව්වා එක ගැන රජ්ජුරුවෝ උදහස් වෙලා මේ ඇමතියාගේ හිස ගසා දාන්න නියම කලා. [කොහොමද රජවරුන්ට මල පැන්නහම]

පස්සේ රජතුමා ඇහුවා අවසන් ඉල්ලීම මොකක්ද කියලා. ඇමතියා කිව්වා තමන්ට රජතුමාගේ සිරියහන් ගබඩාව ඇතුළු මාළිගාවේ අභ්‍යන්තරේ බලන්න ඕනේ කියලා. රජ්ජුරුවොත් මේ අවසන් ඉල්ලීමට ඉඩ දුන්නා.

මේ ඇමතියා ඉතින් රජ්ජුරුවන්ගේ සිරියහන් ගබඩාවත් visit කරලා රාජ භෝජන හදන පැත්තත් visit කලා. මෙතෙන්දී මේ ඇමතියා හොර රහසේ ගෙන්න ගෙන තිබ්බ ජාපාල ටිකක් රජ්ජුරුවන්ගේ කෑම එකට mix කරලා රජ්ජුරුවන්ගේ toilet එකට ගිහින් දොර lock කරන් හිටියා.

ටික වෙලාවකින් රජ්ජුරුවොත් රාජ භෝජනේ ගන්න ආවා. කෑම කාලා ටික වෙලාවක් ගියාට පස්සේ මෙන්න රජතුමාගේ බඩ upset.

කෑම check කරන්න ඉන්න නිලමේටත් කොහොම හරි ජාපාල mix කරලා තිබ්බ එක මාට්ටු වුණේ නැහැ. රජතුමා toilet එක ගාවට දුවගෙන ගියා. කවුද පොරක් ඇතුලේ.

රජතුමා ඇහුවා"කවුද කවුද " කියලා. ඇමතියත් උත්තර දුන්නා තමන් තමා ඇතුලේ ඉන්නේ කියලා.

රජතුමාට දැන් ටිකක් අමාරුයි.

රජතුමා කිව්වා " ඇමතිය වහා එලියට එව" කියලා. ඇමතියත් ඉතින් ඇතුලට වෙලා "පොඩ්ඩක් ඉවසන්න රජතුමනි" කියලා දොර lock කරන් හිටියා.

අන්තිමට රජතුමාට හොඳටම අමාරු වෙලා දොර පෙරලන්න වගේ යද්දී ඇමතියා එලියට ආවා.

පස්සේ රජතුමා කාරණාව ඉටුකරන් එලියට ආවට පස්සේ ඇමතියා ඇහුවා රජතුමාගෙන්

"රජතුමනි ලෝකේ ලොකුම සැනසීම මොකක්ද කියන එකට මම දීපු උත්තරේ හරි නේද ? " කියලා.

රජතුමාත් ඉතින් පිළිගත්තා ඇමතියා හරි කියලා. පස්සේ ඒ ඇමතියාට රාජ සම්මාන දීලා දඬුවමෙන් නිදහස් කලා කියලා තමා එකෝමත් එක රටේ මිනිස්සු කියන්නේ.

ඉතින් ඇමතිතුමා ප්‍රායෝගිකවම ඔප්පු කරලා පෙන්නුවා තමන් දීපු උත්තරේ හරි කියලා.

Friday, April 16, 2010

සඟ රස බස්


අලුත් අවුරුද්දේ එක දිගට නෑදෑ ගෙවල්වල, එහෙ මෙහෙ ගිය නිසා blog එකේ මොකුත් ලියන්න වුණෙත් නැහැ. ඉතින් මේ ලඟදී මම කියෝපු පොතක තිබ්බ කතාවක් ගැන තමා අද blog එකට ලියන්න හිතුවේ.

පොතේ නම "සඟ රස බස්" කතෘ පොරවගම ඥාණසිරි හාමුදුරුවෝ. මේ පොතේ තියෙන්නේ ලංකාවේ හිටපු ප්‍රසිද්ධ, දක්ෂ හාමුදුරුවරුන්ගේ ගැන විවිධ රස කතා. මේ පොත කියෝපු අයත් ඇති. කියවපු අයට මතක් වෙන්නත් නොකියවපු අයගේ මතකේ තියා ගන්නත් තමා මේ කතාව කියන්නේ.

කතාව බැදිගම රතනපාල නායක හාමුදුරුවෝ ගැන. බැදිගම රතනපාල නායක හාමුදුරුවෝ කියන්නේ මාතර මහා මන්තින්ද පිරිවෙණ ආරම්භ කරපු ඒ වගේම නිකායාන්තර වාදවලදී ජය පිට ජය ලබා ගත්තු හාමුදුරු කෙනෙක්.

ඉතින් මේ මාතර මතින්ද පිරිවෙණ ආසන්නයේ තිබ්බා පන්සලක් පීක්වැල්ලේ පන්සල කියලා. කුල 3 ක කට්ටිය තමා මේ පන්සලේ චෛත්‍යයේ වැඩ කටයුතු කරන්න ආධාර උපකාර කළේ.

මෙහෙම හදපු චෛත්‍යයේ කොත පැළැඳවීම කුල 2 ක කට්ටිය විතරක් කළා අනිත් කුලේ අයට නොදන්වා. මේකට ආරවුලක් ඇතිවෙලා ඒ පිරිස කලේ තමන්ට නොකියා කොත තිබ්බ නිසා පස්සේ දවසේම කොත බාපු එක.

අන්තිමට මේ කොත බෑම නිසා උසාවියේ නඩුවකුත් ඉදිරිපත් වුණා. කොත බෑම නිවැරදියි කියන කට්ටියට බැදිගම හාමුදුරුවොත් අයිති වුණා. බැදිගම හාමුදුරුවෝ උසාවියේ සාක්ෂි දෙද්දී විත්තියේ නීතීඥයා බැදිගම හාමුදුරුවන්ගෙන් මෙහෙම ප්‍රශ්න ඇහුවා. මේ තියෙන්නේ ඒ සංවාදය.

නීතීඥයා : පළඳවන ලද කොතක් බෑම නිවැරදියි කියලා ඔබ වහන්සේ කියන්නේ කොහොමද ?

බැදිගම හාමුදුරුවෝ : කොත් පැළැඳවීමට, පිළිමවලට නෙත් තැබීමට වගේ කරන චිරාගත සිරිත් විරිත් තියෙනවා. ඒ එකක්වත් මෙතැනදී වෙලා නැහැ. ධර්මාශෝක රජ්ජුරුවෝ 84,000 ක් වෙහෙර විහාර කරලා ඒවායේ කොත් පැළැඳුවේ නේත්‍රා තිබ්බේ චාරිත්‍රානුකූලව. ඒ වගේ කරුණු නිසා මේ කොත් පැළැඳවීම වැරදියි.

නීතීඥයා : හොඳයි නායක හාමුදුරුවන්ට කියන්න පුළුවන්ද පළඳවපු කොතක් බාපු පන්සලක් ගැන?

බැදිගම හාමුදුරුවෝ : මාතර පීක්වැල්ලේ පන්සල

නීතීඥයා : ඒක නෙමෙයි හාමුදුරුවෝ. අදාල සිද්ධිය වුණේ ඒ පන්සලේනේ. වෙන තැනක් ගැන මම අහන්නේ.

බැදිගම හාමුදුරුවෝ : කොත් තියන තැන්, කොත් බාන තැන් හොය හොය ඉන්න හාමුදුරු කෙනෙක් නෙමෙයි මම. මට ඕව හොයන්න වෙලාවක් නැහැ. ඒ වගේම උවමනාවකුත් නැහැ. මේක ගැන මම හෙව්වේ වැඩේ වැරදි නිසා.

නීතීඥයා : හොඳයි, මේ දෙගොල්ලෝ ගහ බැණ ගත්තේ කොපමණ දුරක සිට ගෙනද ?

බැදිගම හාමුදුරුවෝ : රියනකුත් වියතක දුරක ඉදන්

නීතීඥයා : හාමුදුරුවන්ට මොකද ඒක හරියටම මනින්න හිතුණේ ?

බැදිගම හාමුදුරුවෝ : මං හිතුවා කවද හරි දවසක මේ වගේ මෝඩයෙක් ඕක මගෙන් අහයි කියලා එතකොට උත්තර දෙන්න තමා මැන්නේ.

කොහොමද හාමුදුරුවන්ගේ උත්තර ටික. නඩුවට අන්තිමට මොකද වුණේ කියලා පොතේ තිබ්බේ නැහැ. පොතේ කතාව මෙතැනින් ඉවර වෙලා තිබ්බේ. මම හිතන විදිහට කොත බෑම නිවැරදියි කියලා බැදිගම නායක හාමුදුරුවෝ හිටපු පැත්ත මේ නඩුවෙන් දිනන්න ඇති.

Tuesday, April 13, 2010

මම අළුත් අවුරුද්දට යාළුවන්ට සුභ පතන හැටි


සිංහල හා හින්දු අළුත් අවුරුද්දට කලින් ඒකට සම්බන්ධ වෙන කතාවක් කියන්න හිතුණා. ලොකු කතාවක් නොවුණත් හැමෝටම දැනගන්න කිව්වොත් හොඳයි කියලා හිතුණ නිසයි කතාව කියන්නේ.

මුහුණු පොත හෙවත් facebook එකේ මගේ ඔක්කොම යාළුවෝ 1221 ක් ඉන්නවා. ඉතින් මට ඊයේ හිතුණා මේ හැමෝටම අළුත් අවුරුද්දට සුභ පතන්න. ඒ යටතේ හැමෝටම එක පාර wish කරලා message එකක් යවන්න හැදුවත් 20 දෙනෙක්ට වඩා වැඩි ගණනකට එකපාර message කරන්න බැහැ කියලා notice එකක් ආවා. ඊට පස්සේ මම අනුගමනය කරපු ක්‍රියාමාර්ගය ගැන දැන් මතක් වෙද්දිත් මට හිතෙනවා කළේ ගොන් වැඩක්ද මන්දා කියලා :) :) :)

මම කළේ මගේ හැම යාළුවෙක්ගේම profile එකට ගිහින් wall එකේ මගේ අළුත් අවුරුදු සුභ පැතුම ලියපු එක. මේ වැඩේ ටික වෙලාවක් කරගෙන යද්දී මට මාර විදිහට එපා වුණත් නවත්තන්න හිතුවේ නැත්තේ යාළුවෝ කට්ටියකට විතරක් wish කරලා අනිත් කට්ටියට wish නොකර ඉන්න එක හරි නැහැ කියලා හිතුණ නිසා.

ඒ වගේම එපා වුණු හැම වෙලාවකම මම හිතුවේ friend request sent කරලා හරි friend request accept කරලා හරි යාළුවෝ ගාණ වැඩි කරගත්ත නම් අළුත් අවුරුද්දටවත් එයාලට wish කරන එකවත් මම කරන්නේ නැත්නම් ඒ friendship එකෙන් තියෙන වැඩේ මොකක්ද කියලා.

ඒ වගේම මට ඒ හැම තිස්සේම හිතුණේ "කුම්බලා මාළු කෑවා නම් විඳවාපන් බළලෝ" කියන සිංහල කියමන.

අන්තිමට වැඩේ ඉවර වෙද්දී පාන්දර එකට ආසන්නයි. මගේ මුස්ලිම් හා විදේශීය මිතුරන් ඇර ඔක්කොම යාළුවෝ 1100 [ආසන්න වශයෙන්] කගේ wall වල මගේ අවුරුදු සුභ පැතුම ලිව්වා. අන්තිමට ඇස්වලින් නිදිමත බේරෙනවා. ඒත් සතුටුයි. මගේ යාළුවන්ට ඒ විදිහට හරි අළුත් අවුරුද්දට සුභ පතන්න හැකිවුණු එක ගැන.


අනිත් කාරණේ තමා මම ඉස්සර කලේ අළුත් අවුරුද්දට යාළුවන්ට wish කරලා messages phone එකෙන් යවන එක. පස්සේ මම උපහාර sim එකක් [මගේ නෙමෙයි, මගේ අම්මාට හම්බුණු එක] පාවිච්චි කරන්න ගත්තු නිසා මොබිටෙල් හා ස්ථාවර දුරකතන තියෙන අයට call කරලා wish කරන්නත් අනිත් අයට messages යවන්නත් පුරුදු වුණා. ඔය වැඩේ අවුරුදු 2 ක් විතර කරලා ලොකු ලොකු ගණන්වල phone බිල් ඇවිත් මට්ටු වෙලා ඉන්න නිසයි මෙහෙම කරන්න හිතුවේ.

කොහොමින් කොහොම හරි ඔයාල කවුරු හරි මගේ facebook යාළුවෙක් නම් මේ වනවිට මගේ අවුරුදු සුභ පැතුම ඔයාලට ලැබෙන්න ඇති. ඒ නැත්නම් ඔයාල කවුරු හරි මොබිටෙල් හරි ස්ථාවර දුරකතනයක් තියෙන මගේ යාළුවෙක් නම් ඔයාලට අද call එකක් ලැබෙයි මගෙන් අළුත් අවුරුද්දට wish කරලා. අනිත් දුරකතන සේවාවන් භාවිතා කරන මගේ යාළුවන්ට internet එකෙන් එවන sms එකක් ලැබෙයි මගෙන් අළුත් අවුරුද්දට wish කරලා. මේ කිසිම කාණ්ඩයකට අයත් නොවන අයත් ඇතිනේ. එයාලට ඉතින් blog එකෙන් සුභ පතන්න තමා හිතුවේ

උදාවන්නා වූ සිංහල හා හින්දු අළුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුට සෞභාග්‍යය සපිරි කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා, 120 ට 220 ක් ආවඩා ආයු බොහෝ වේවා !!!!!

Saturday, April 10, 2010

Traffic Lights රතු කහ කොළ


පහුගිය දවසක අපි කට්ටියක් shopping යද්දී වෙච්ච වැඩ 2 ක් නිසා මට මතක් වුණු joke කතා 2 න් එකක් පහුගිය දවසක මම කිව්වානේ. ඊට පස්සේ අනිත් කතාව කියන්න හිටියට ඊට වඩා සිරා කතාවක් මම කිව්වානේ "මලින්ද සර්" ගැන.

ඉතින් අද කියන්න යන්නේ මට මතක් වෙච්ච අනිත් කතාව. ඒකට මතක් වෙන්න මුල්වෙච්ච නිධාන කතාවත් එක්ක.

එදා අපි ගිය car එක drive කරපු යාළුවා Traffic Lights වල රතු පාට වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දිත් car එක නවත්තන්නේ නැහැ කොහොම හරි දාගන්න තමා try එක දෙන්නේ. ඉතින් එහෙම සිද්ධියක් ගැන තමා මේ අනිත් කතාව.

දවසක් යාළුවෝ දෙන්නෙක් Motor Bike එකක ගමනක් ගියා. මෙහෙම යද්දී එක හන්දියක තිබ්බ Traffic Light එකේ රතු පාට වැටෙන්න ඔන්න මෙන්න. Bike එක drive කරපු යාළුවා bike එක නැවැත්තුවේ නැහැ එහෙම්ම දැම්මා. පිටිපස්සේ seat එකේ හිටපු යාළුවාට බයේ බැහැ.

Man කිව්වා bike එක drive කරපු යාළුවාට " උඹට පිස්සුද බන් එහෙම bike එක දාන්න" කියලා.

bike එක drive කරපු යාළුවා වීරයා වගේ කිව්වා "ඔහොම තමා බන් අපේ අයියත්. මිනිහත් කිසි ගාණක් නැතුව bike එක දානවා" කියලා.

ටික දුරක් ඔහොම යද්දී ආයි හන්දියක Traffic Light එකේ රතු වැටිලා තිබ්බේ. Drive කරපු man ඒත් bike එක නැවැත්තුවේ නැහැ දැම්මා ඉස්සරහට. පිටිපස්සේ seat එකේ ගිය යාළුවගේ ඇඟේ ලේ වතුර වෙලා.

Man කිව්වා bike එක drive කරපු යාළුවාට " උඹට පිස්සුද බන්. තව ඩිංගෙන් අපි දෙන්නා හැප්පෙන්නත් තිබ්බා බන්. ඒ වගේද traffic කාරයෙක් ඕක දැක්ක නම්" කියලා.

Bike එක drive කරපු යාළුවා ඒ පාරත් කිව්වා " අපේ අයියත් ඔහොම තමා බන් කිසි බයක් නැතුව එක දානවා" කියලා.

තව ටික දුරක් යද්දී හම්බුණු හන්දියේ Traffic Light එකේ කොළ පාට වැටිලා තිබ්බා. Bike එක drive කරපු man පට ගාද්දී bike එක නැවැත්තුවා.

පිටි පස්සේ හිටපු යාළුවා එතකොට ඇහුවා " ඇයි බන් bike එක නැවැත්තුවේ. ඉස්සරහට යන්න පුළුවන් නේ" කියලා.

එතකොට bike එක drive කරපු man කිව්වා " නැහැ බන් කෝකටත් කල්පනාවෙන් bike එක දාන්න ඕනේ. මොකද අනිත් පැත්තෙන් අපේ අයියා එනවද දන්නේ නැහැ" කියලා

Friday, April 9, 2010

මලින්ද සර්


මම A/L Logic වලට ගිය class එක තියෙන්නේ කැලණියේ දිප්පිටිගොඩ පාරේ.

ඒ පංතිය අපිට ජාතක කතාවලින් හමුවන තක්සලා නුවර දිසාපාමොක් ඇඳුරුතුමාගේ තැන වගේ එකක්. මමත් A/L කරන කාලේ අන්තිම මාස 3 එහේ නතර වෙලා හිටියේ. අපිට කන්න බොන්න ඉඳුම් හිටුම් දීලා තමා ඒ ගුරුතුමිය අපිට logic ඉගැන්නුවේ.

Logic විතරක්ම නෙමෙයි අපි කරන අනිත් subjects ගැනත් හොයලා බලලා ඒවත් ගොඩ දාගන්න මේ ගුරුතුමිය උදව් කළා. මේ ගුරුතුමියගේ මහත්තයත් ගුරුවරයෙක්. ඉතින් මිස් වගේම ඒ ගුරුතුමත් අපිට හුඟක් උදව් කලා.

Logic උගන්වන ගුරුතුමියගේ නමත් දිසාපාමොක් නෙමෙයි දිසානායක. දිසාපාමොක්ගේ හා දිසානායක ගුරුතුමියගේ එකම වෙනස තමා දිසාපාමොක් තමන්ගේ පංතියේ හිටපු දක්ෂම සිසුවට තමන්ගේ දුව සරණ පාවා දීමත් දිසානායක ගුරුතුමියට ඒක කරන්න දූලා නොසිටීමත් තමා.

ඉතින් මේ පංතියේ ළමයි තුළ පවතින්නෙත් එකිනෙකා ගැන තමන්ගේම සහෝදර සහෝදරියෝ කියන හැඟීම. ඉතින් අද මම කියන්න යන කතාව කියන්නම්කෝ.

මේ class එකට ආපු 2009 A/L කරපු කෙනෙක් ඉන්නවා මලින්ද කියලා. ඉතින් එයාට මේ වනවිට තාවකාලික ගුරු පත්වීමක් හම්බෙලා තියෙන්නේ කැලණිය පැත්තේ තියෙන ප්‍රසිද්ධ පාසලක A/L class එකට logic උගන්නන්න.

මලින්ද ඒ අතරවාරේ අපේ class එකෙත් වැඩ කටයුතුවලට එහෙම උදව් කරනවා. ළමයි ලියපු papers බලන එක වගේ වැඩ මලින්ද කරනවා. ඉතින් මලින්ද සර්ට ඒ පංතියේ ඉන්න සුපුන් කියන ළමයා ලියපු සිංදුව තමා මේ තියෙන්නේ.

මුලින්ම ඉංග්‍රීසි ගීතයක් විදිහට නිමල් මෙන්ඩිස් මහතා ගායනා කරපු මේ ගීතය පස්සේ නිමල් මෙන්ඩිස් මහතා මෙන්ම නීලා වික්‍රමසිංහ මහත්මියත් සිංහල ගීතයක් විදිහට ගායනා කළා. ඒ වගේම මේ වනවිට භාතිය හා සංතුශ් නූතන සංගීතය සමඟ නව්‍යකරණය කරලා ගායනා කරන මාස්ටර් සර් ගීතයට තමා මේ ගීතයත් හදලා තියෙන්නේ.

සුපුන් මේ ගීතය හදලා අපේ class එකේ facebook group එකේ wall එකට දාලා තිබ්බා. පස්සේ මම man ගෙන් අවසර අරගෙන [ බුද්ධිමය දේපළ නේ. ඒකයි අවසර ගත්තේ. කෝකටත් අනුන්ගේ දෙයක් භාවිතා කරදිදී අවසර ගන්න එක සදාචාර සම්පන්නයි නේ] ඒක ටිකක් සංස්කරණය කරලා දැනට පවතින ආකාරයට සකස් කළා.

ගීතයේ තියෙන පෙලක් වචන එහෙම තේරෙන්නේ නැතිවෙන්න පුළුවන්. ඒවා subject එකත් එක්ක තියෙන වචන. ඒක ගැන හිතන් නැතිව ගීතය රස විඳින්න කියලා තමයි මම යෝජනා කරන්නේ. අකුරු කියවීමට අමාරු නම් රූපය උඩ click කලා නම් හරි.



මේ තියෙන්නේ මාස්ටර් සර් ගීතය ඒකත් එක්ක මුමුනද්දී වඩාත් හොඳට ගීතට රස විඳින්න පුළුවන් වෙයි.

Thursday, April 8, 2010

Fire Brigade එක


ඊයේ අපි කට්ටියක් shopping ගියා අළුත් අවුරුද්දට ඇඳුම් එහෙම ගන්න. ඒකේදී වුණු සිදුවීම් 2 ක් නිසා මට මගේ කතා set එකේ තිබුණු හොඳ joke කතා 2 ක් මතක් වුණා.ඉතින් ඒ කතා මතක් වෙන්න මුල්වුණු නිධාන කතාවත් එක්කම කතාව මම කියන්නම්.

මුල්ම කතාව මතක් වුණේ මේන් මෙහෙම.

අපි ගිය car එකේ CD player එකේ සනත් නන්දසිරි මහත්මයාගේ "ඇවිළුණු ගිනි දැල් නිවි නිවි යාද්දී" සිංදුව play වෙද්දී මම නිකමට වගේ කිව්වා. ඕක කියන්නේ fire brigade එකේ පොරක්, ගින්න නිවාගෙන යද්දී ලස්සන කෙල්ලෙක් දැකල තමා ඔහොම කියන්නේ කියලා.

එතකොට මට මතක් වුණා fire brigade එකක් ගැන කියන සිරා එකක්. ඕන් ඒ කතාව.

ලොකු නගරයක තිබ්බ ලොකු building එකක ගින්නක් ඇතිවුණා. ඉතින් මේ ගින්න නිවන්න ලඟ පාත fire brigades හැම එකකටම කිව්වත් ඒ හැම එකක්ම ඒ ගින්න නිවන එක එතැනට ඇවිත් ප්‍රතික්ෂේප කෙරුවා.

මොකද ඒ ගින්න නිවන්න නම් building එක ඇතුළට ගිහින් ඇතුළින් ගින්න නිවන්න පටන් ගන්න ඕනෙලු. ඒත් ආපු කිසිම fire brigade එකක කට්ටිය ඒ risk එක ගන්න බයවුණා. ඉතින් ගින්න එන්න එන්නම පැතිරෙනවා.

මේ වෙලාවේ එක පාරටම කොහේදෝ ඉදන් ආපු fire brigade එකක වාහනයක් building එක ඇතුළට ගියා. පස්සේ ඉතින් ඒ කට්ටිය ගින්න නිවලා building ඒකේ හිටිය කට්ටියත් බේරගෙන ලොකු විනාශයක් වෙන එක නැවැත්තුවා.

පස්සේ මේ ගිනි නිවපු team එකට උපහාර පිදීමේ උත්සවයක් නගරාධිපතිතුමාගේ මූලිකත්වයෙන් පැවැත්වුණා. එකේදී මෙයාලගේ වීරත්වය අගය කරලා මුදලින් රුපියල ලක්ෂයක ත්‍යාගයකුත් ලබා දුන්නා.

පස්සේ ගිනි නිවන team එකේ leader ගෙන් නිවේදකයා ඇහුවා " දැන් ඉතින් මේ රුපියල් ලක්ෂයෙන් ඔබතුමන්ලා මොකක් කරන්නද ඉන්නේ" කියලා.

ගිනි නිවන team එකේ leader එතකොට කිව්වා " අපි හිතුවේ මුලින්ම අපේ වාහනේ break system එක repair කරන්න" කියලා .

කවුද කැලේ ලොක්කා


අදනේ ලංකාවේ ලොක්කෝ තෝරන දවස. ඉතින් හැමෝම බලන්නේ මොන මගෝඩියක් හරි කරලා ලොක්කෙක් වෙන්න. පහුගිය දවස් ටිකේ පත්තරවලින් එහෙම ඔයාලා දකින්න ඇතිනේ ලංකාවේ ලොක්කෙක් වුණාම හම්බෙන එව්වා මෙව්වා ටික.

ඉතින් අද කියන්න මතක් වෙච්ච කතාවත් ලොක්කෙක් ගැනම තමා. දන්න අයට කතාව මතක් කර ගන්නත්, නොදන්න අයට දැන ගන්නත් ඕන් කතාව.

මිනිස්සු අතරෙ හරි තරඟයක්, උනන්දුවක් නේ තියෙන්නේ ලොක්කෙක් වෙන්න වගේම තමන් ලොක්කෙක් කියලා අනිත් අයට පෙන්නන්න. සත්තු අතරේ වුණත් එහෙමලු.

ඉතින් දවසක් දා කැලෑවක හිටිය සිංහයෙක්ට දැනගන්න උවමනා වුණා ඒ කැලෑවේ ලොක්කා කවුද කියලා.

මේකට සිංහයා ගල් ගුහාවෙන් පිටත් වෙලා වැව පැත්තට යන්න ගියා. මොකද ඒ time එකට හුඟක් සත්තු ඉන්නේ ඒ area එකේ නිසා.

සිංහයාට මුලින්ම set වුණේ හාවෙක්ව. සිංහය පට ගාද්දී හාවගේ ඇඟ උඩට පැනලා ඌව පෙරල ගෙන ඇහුවා.

"කියාපිය කවුද මේ කැලේ ලොක්කා කවුද කියලා"

හාවත් නිකන් ඉල්ලන් කන්න ඕනේ නෑ නේ කියලා කිව්වා.

"සිංහරාජයාණනි, ඔබතුමා තමා මේ කැලේ ඉන්න එකම ලොක්කා" කියලා. මේක අහපු සිංහයාට මාර fun.

පස්සේ සිංහයා හාවව අතෑරලා ඒ චූන් එකෙන්ම තව ඉස්සරහට ගියා. ඔහොම යද්දී සිංහයාට set වුණා ගෝනෙක්ව. ඉස්සෙල්ලා විදිහටම සිංහයා උගෙත් ඇඟට පැනලා පෙරල ගෙන සුපුරුදු ප්‍රශ්නේ ඇහුවා.

"කියාපිය කවුද මේ කැලේ ලොක්කා කවුද කියලා"
.
ගෝනත් ඇඟ බේරගන්න ඕනෙයි කියලා හිතලා කිව්වා.

"සිංහරාජයාණනි, ඔබතුමා තමා මේ කැලේ ඉන්න එකම ලොක්කා" කියලා. මේ උත්තරෙත් අහලා සිංහයාට මාරම fun .

ඒ fun එකෙන් සිංහයා ඉස්සරහට යද්දී වුණා හොඳ size ඇතෙක්. සිංහයාට අනිත් සත්තු වගේ ඇතාව පෙරලගන්නත් බෑනේ. ඒත් පරණ විදිහට අර ප්‍රශ්නේ ඇතාගෙනුත් ඇහුවා.

ඒක අහපු ගමන් ඇතා කිසිම හාවක් හූවක් නැතිව හොඬෙන් සිංහයාව උස්සලා අරන් සිංහයාව ඈතට................ වීසිකලා.

පස්සේ සිංහයා ඈතට වෙලා කිව්වා. [ සිංහයා එහෙම ඈතට වෙලා හිටියේ බයට එහෙම නෙමෙයි ]

"මොනවද මේ අනම් මනම් වැඩවල තේරුම. උත්තරේ දන්නේ නැත්තම් දන්නෑ කිව්වා නම් ඉවරනේ. මෙතන කෝලම් කරන්න ආවේ " කියලා.

මේ කතාවෙන් ගන්න පුළුවන් ආදර්ශේ මම කියන්නේ නැහැ ඔයාලම හිතාගන්න.

Wednesday, April 7, 2010

කුමාර සහ සමන්


මේක අඥාත පුද්ගලයෝ දෙන්නෙක් ගැන කතා 2 ක්. එක් කෙනෙක්ගේ නම කුමාර, අනිත් කෙනාගේ නම සමන්.

මෙන්න මුල්ම කතාව. මේක අපේ යාළුවෙක් සම්බන්ධ වෙන එකක්. Man ව මම අවුරුදු 5 ක් විතර ඉදන් අඳුනනවා.

මේ ලඟදී දවසක අපි යාළුවෝ කට්ටියක් set වෙලා කතා කර කර ඉද්දී අර මම කිව්ව යාළුවා "කුමාර තමා බන් එහෙම කිව්වේ, ඔය කුමාරයාගේ වැඩක් තමා, කුමාරයා තමා දවසකටවත් මිනිහා" විදිහට කුමාර කියලා පොරක් ගැන කියනවා.

අපි හැමෝටම ලොකු ගැටළුවක් වුණා කවුද මේ අපි නොදන්න මෙයා දන්න කුමාර කවුද කියලා. මොකද අපි හුඟක් අය එකිනෙකාගේ යාළුවො ගැනත් දන්න නිසා.

අන්තිමට මම ඇහුවා "කවුද බන් මේ කුමාර කියන්නේ" කියලා.

එතකොට අපේ මිත්‍රයා කියනවා " අර කුමාර බන්... උඹලා ඌ ගැන දන්නේ නැද්ද ?" කියලා. අපි කිව්වා අපි එහෙම එකෙක් ගැන දන්නේ නෑ කියලා.

අන්තිමට අපේ Man කියනවා " එහෙම එකෙක් නැහැ බන්, මම මේ නිකම් කිව්වේ, ඇත්තටම එහෙම එකෙක් නැහැ" කියලා.

මෙන්න අනිත් කතාව. මේක මගේ ඉස්කෝලේ යන කාලේ වුණ එකක්.

අපේ පංතියේ වෙන හැම වැරදි වැඩකටම ළමයි ඇල්ලුවේ සමන් කියලා එක්කෙනෙක්ව. "මිස්, සමන් තමයි ඒක කලේ. මිස්, සමන් තමයි මේක කලේ" කියලා

අපේ පංති භාර මිස්ටත් මුල් කාලේ හරිම ගැටළුවක් වුණා කවුද මේ සමන් කියන්නේ කියලා. මිස් සමන්ව හොයද්දී ළමයි කිව්වේ සමන් Music practise ගිහින්, නැත්නම් සමන් මොකක් හරි society එකක වැඩකට ගියා කියලා.

අන්තිමට තමා මිස් තේරුම් ගත්තේ ඇත්තටම සමන් කියලා ළමයෙක් පංතියේ නැහැයි කියලා.

අවුරුදු 10 ක Driving Experience


මේ දවස්වල අළුත් අවුරුද්දත් කිට්ටු නිසා ගෙදර දොරේ වැඩ වැඩියි. ඒ අතරවාරයේ පොඩි break එකක් හම්බුණු වෙලාවක තමා මේ කතාව ලියන්න හිතුණේ. මේ කතාවෙන් මම කියන්න අදහස් කරන්නේ කොච්චර දැන උගත්කම් තිබුණට හදිස්සියට හෙනම මෝඩ ideas එන්න පුළුවන් කියන එකයි. ඉතින් සිද්ධිය වුණේ මේ ඊයේ පෙරේදා දවසක.

අපේ යාළුවෙක් ඉන්නවා. Man ට තාම job එකක් නැහැ. job එකක් නැහැ කිව්වාට නෑම නෙමෙයි තියෙනවා No Job Company යේ. පුළුවන් හැම තිස්සෙම හැම තැනටම CV එහෙම දීලත් තාම මොකුත් job එකක් set වුණේ නැහැ. ඒක නිසා තාමත් No Job Company එකේ job එක කරන් ඉන්න පුළුවන්.

ඉතින් අපේ පැත්තේ high way එකක් හදනවා ඒකේ job එකක් අපේ man ට set වුණා. High way එක හදන තැන ඉන්න සුද්දෙක්ගේ වාහනේ driving වැඩේට. ඒත් පොඩි අවුලක් ඒකෙත් තියෙනවා. එතැන job එකට අවුරුදු 10 ක experience ඕනෙලු.

ඉතින් අපේ මිත්‍රයා ඕක ගැන අපේ ගුරුතුමියකටත් කිව්වා.

ඒක අහලා ගුරුතුමිය කිව්වා " ඉතින් අවුරුදු 10 ක experience තියෙනවා කියලා හදා ගත්ත නම් ඉවරනේ" කියලා.

එතකොට අපේ man කිව්වා. " එතකොට මිස් ඒ මිනිස්සු පුදුම වෙයිනේ මම අවුරුදු 11 ඉදන් වාහන එලෙව්ව ද " කියලා.

ඉතින් අපේ මිත්‍රයාට වයස අවුරුදු 21 යි කියලා ඒ ගුරුතුමි හොඳටම දන්නවා. ඒත් හදිස්සියට ඒකක් මතක් වුණේ නැහැ. ඔයාලටත් මේ වගේ වැඩ අම්බානකුත් තව පොඩ්ඩක් වෙලා ඇතිනේ.

නේද ?

Monday, April 5, 2010

නමුණුකුල ද ? කඩුගන්නාව ද ?


අද මම කියන්න යන්නේ මගේ බාලදක්ෂ ජීවිතයේ අහන්න ලැබුණ කතාවක්. මේකත් මම කලින් දවසක කිව්වා නන්දිමිත්‍ර ද ? ගෝඨයිම්බර ද ? ජාතියේ කතාවක්. මේකත් අපේ බාලදක්ෂ කඳවුරකදී සිදුවුණු එකක්. කඳවුර නම් මට මතක විදිහට කොළඹ දිසාවේ වාර්ෂික Camporee ය.

ඕන් කතාව. දී එක ජ්‍යෙෂ්ඨ බාලදක්ෂයෙක්ට බාලදක්ෂ නායකතුමා පැවරුවා නමුණුකුල සර්ව හම්බවෙලා කිසියම් පණිවුඩයක් අහගෙන එන්න කියලා.

මේ නමුණුකුල සර් කියන්නේ කොළඹ දිසාවේ සහය දිසා කොමසාරිස්වරයෙක්. ඒ වගේම ගුවන් බාලදක්ෂ කටයුතුත් භාරව ඉන්න සර්. කොළඹ දිසාවේ බාලදක්ෂ කටයුතු කරපු අය නම් සර්ව දන්නවත් ඇති. ඉතින් අපි හිටිය camp site එකේ ඉදන් සර් හිටිය camporee office ගාවටත් ටිකක් දුරයි.

අපේ man හිමින් හිමින් ඇවිත් එතන හිටිය එක්කෙනෙක්ගෙන් ඇහුවා "කඩුගන්නාව සර් කියන්නේ කාටද" කියලා.

පස්සේ ඒ පුද්ගලයා කිව්වා "කඩුගන්නාව කියලා නම් සර් කෙනෙක් නැහැ පුතා ඒත් නමුණුකුල කියලා නම් සර් කෙනෙක් ඉන්නවා කියලා.

එතකොට තමයි අපේ man ගේ මීටරේට ආවේ තමන් රොබින් හුඩ්ටත් වඩා හොඳට විද්දයි කියලා. ඒ ගමන්ම අර පුද්ගලයා කිව්වා "මම තමයි නමුණුකුල. මම හිතන්නේ පුතා ආවේ මාව හම්බෙන්න වෙන්න ඕනේ" කියලා. අපේ man ට හීන් දාඩිය දැම්මා මේක අහලා.

පස්සේ ඉතින් අපේ man සර්ගෙන් සමාව ඉල්ලලා අදාල පණිවුඩෙත් අහගෙන ආවා. සර් කරුණාවන්ත මනුස්සයා නිසා අපේ man ට බැනුම් අහන්න නම් වුණේ නැහැ.

වෙලා තියෙන්නේ අපේ man මුල්ම වතාවට තමා සර්ගේ නම අහලා තියෙන්නේ. එයා සර්ගේ නම මීටරේට දාගත්තේ කඳුකරයේ තියෙන කන්දක නමක් විදිහට. හදිස්සියට මතක් වුණේ වෙන එකක්.

අන්තිමට වුණේ නමුණුකුල සර් වෙනුවට කඩුගන්නාව සර්ව හොයන්න ගිය අපේ ජ්‍යෙෂ්ඨ බාලදක්ෂයාට කඩුගන්නාව කියලා card එකක් වැටීමයි.

ඉතින් ඔය පැටලිලි වෙලාවකට fun වෙලාවකට මාර danger.

ඔය උඩින්ම තියෙන්නේ නමුණුකුල කන්දේ photo එකක්. යටින්ම තියෙන්නේ කඩුගන්නාවේ photo එකක්

Saturday, April 3, 2010

පරම්පරාවේ බාලදක්ෂ උරුමය


මගේ පාසල් කාලය ගත්තොත් අධ්‍යාපන කටයුතු හැරුණාම මම ඉතාමත්ම උවමනාවෙන් කරපු කටයුත්ත තමා බාලදක්ෂ කටයුතු කරපු එක. සමහර විට පාසලේ අධ්‍යාපන කටයුතුවලත් වඩා හොඳින් මම බාලදක්ෂ කටයුතුවල යෙදුණා. අවසානයේදී 2007 අවුරුද්දේදී ජනාධිපති බාලදක්ෂයෙක්  වෙන්නත් ඒ වගේම ඊට පස්සෙත් බාලදක්ෂ නායක පුහුණු පාඨමාලාව අදියර II දක්වා හදාරලා සහය බාලදක්ෂ නායකයෙක් විදිහට කටයුතු කරන්නත් ඒ යටතේ මට හැකියාව ලැබුණා.

ඉතින් 2002 ඉදන් 2009 දක්වා වුණු මගේ අවුරුදු 7 ක බාලදක්ෂ ජීවිතේ ගත්තොත් ඒක ඇතුළේ හොඳ හොඳ කතා ගොඩක් තියෙනවා.මේ කතාවලින් මට මුලින්ම කියන්න හිතුණේ අතීතයත් එක්කත් සම්බන්ධ වෙන කතාවක්.

මම හා හාපුරා කියලා මගේ පාසල වුණු කොළඹ රාජකීය විද්‍යාලයේ තිබුණු 42 වන කොළඹ බාලදක්ෂ සමූහයේ රන් කණ්ඩායමේ බාලදක්ෂ කටයුතුවලට එක්වුණේ 2002 අවුරුද්දේ ජනවාරි 16 වෙනිදා. ඉතින් බාලදක්ෂ කටයුතු කරගෙන යද්දී තමා අපිට දැනගන්න ලැබුණේ ජාතික බාලදක්ෂ මූලස්ථානය මඟින් සංවිධානය කරන 6 ජාතික ජම්බෝරිය අගෝස්තු මාසේදී බලපිටියේදී පැවැත්වෙනවා කියන එක.

ජම්බෝරියක් කියලා සිද්ධවෙන්නේ මුළු ලංකාවේම ඉන්නා බාලදක්ෂයෝ එක් ස්ථානයකට රැස් රැස්වෙලා කඳවුරු කරන එක. ජම්බෝරියක් සාමාන්‍යයෙන් අවුරුදු 4 හෝ 5 කට වරක් තමා පැවැත්වෙන්නේ. ඉතින් ඒ වගේ කඳවුරකට යන්න ලැබෙන එක ලොකු චාන්ස් එකක්. අළුත් මිතුරු මිතුරියෝ හඳුනගන්න වගේම අළුත් අත්දැකීම් ගන්න ජම්බෝරියක් කියන්නේ නියම තෝතැන්නක්.

ජම්බෝරියකට ඕනෑම බාලදක්ෂයෙක්ට සහභාගිවෙන්න පුළුවන් කියලා ජාතික මූලස්ථානයෙන් කියලා තිබුණත් අපේ බාලදක්ෂ කණ්ඩායමෙන් මේකට කොන්දේසියක් දාලා තිබ්බා. ඒක තමා ජම්බෝරියට යන හැම බාලදක්ෂයෙක්ම අඩුම ගානේ බාලදක්ෂ ප්‍රදානයවත් සමත් වෙලා තියෙන්න ඕනේ කියලා. ඒකට හේතුව වුණේ විශාල බාලදක්ෂ කණ්ඩායමක් ජම්බෝරියට අරන් යන්න ගියාම ඇතිවෙන ප්‍රායෝගික ප්‍රශ්න නිසා සහභාගි වෙන ගණන සීමා කරන්න.

බාලදක්ෂ ප්‍රදානය කියලා එකක් කතාවට ආපු නිසා කෙටියෙන් බාලදක්ෂයන්ගේ පදක්කම් ගැනත් කියන්නම්. බාලදක්ෂ සාමාජික පදක්කම ගත්තාට පස්සේ සමත් කරන්න තියෙන කාර්යක්ෂමතා පදක්කම තමා බාලදක්ෂ ප්‍රදානය. ඔයාල වුණත් පාරේ තොටේ යද්දී බාලදක්ෂයෝ දැක්කහම හිතෙනවා ඇති මේ කොල්ලා කමිසේ අල්ලගෙන ඉන්න මෙච්චර පදක්කම් මොනවද කියලා. ඉතින් ඒ හැම පදක්කමක්ම ඒ බාලදක්ෂයාගේ මොකක් හරි දක්ෂතාවයකට හම්බුණු ඒවා.

ඉතින් බාලදක්ෂ කණ්ඩායමෙන් අරහෙම කොන්දේසියක් දාලා තිබුණු නිසා මාත් හුඟක් මහන්සිවෙලා බාලදක්ෂ ප්‍රදානය සමත් කරගත්තා. ඒ වුණාට මගේ බාලදක්ෂ ප්‍රදානය පදක්කම ලියාපදිංචි කරන්න බැරි වුණා. ඒ පදක්කමට නියමිත සේවා කාලය සම්පූර්ණ කරලා නොතිබුණ නිසා.

ඒත් මට මේ ජම්බෝරියට යන්න ප්‍රධානම හේතුව වුණේ අර මම මුලින් කියපු අළුත් මිතුරු මිතුරියෝ හඳුනගන්නල අළුත් අත්දැකීම් ගන්න එක කියන හේතු එකක්වත් නෙමෙයි. හැබැයි ඒවත් නොතිබ්බාම නෙමෙයි.

මගේ ප්‍රධානම හේතුව වුණේ මෙන්න මේකයි. මගේ තාත්තා හලාවත ශාන්ත මරියා විද්‍යාලයේ මානවක බාලදක්ෂයෙක් විදිහට 1983 අනුරාධපුරේ වලිසිංහ හරිශ්චන්ද්‍ර උද්‍යානයේ පවත්වපු 3 ජාතික ජම්බෝරියට සහභාගිවෙලා තිබුණා. තාත්තා ඒ කාලේ දාපු belt එක තමා මමත් බාලදක්ෂ කටයුතුවලට එකතු වුණාට පස්සේ දාන්න කියලා තාත්තා මට දුන්නේ.

ඉතින් මට හිතුණා තාත්තා 1983 දී 3 ජාතික ජම්බෝරියට දාගෙන ගිය belt එක මම 2002 දී 6 ජාතික ජම්බෝරියට දාගෙන ගියොත් ඒ belt එක එක අතකින් වටිනා කියන එකක් වෙනවා. අනිත් අතට තාත්තා 3 ජාතික ජම්බෝරියට ගියා පුතා 6 ජාතික ජම්බෝරියට ගියා කියලා ඒකත් ආඩම්බරෙන් කියන්න පුළුවන්නේ කියලා.

ඉතින් කොහොම හරි මාත් 2002 අගෝස්තු 18 ඉදන් 24 දක්වා බලපිටියේ ගුරු අභ්‍යාස විද්‍යාල භූමියේ තිබුණු 6 ජාතික ජම්බෝරියට පරම්පරාවෙන් එන වටිනා කියන belt එකත් (පරම්පරාවෙන් කිව්වට මම කලින්ම කිව්වානේ අපේ තාත්තා විතරයි belt එක දැම්මේ කියලා) දාගෙන සහභාගි වුණා.

ජම්බෝරියේදීත් මේ කතාව මම හුඟක් අයට කිව්වේ ලොකු ආඩම්බරයකින්. තේරෙනවානේ ඉතින් ඔයාලටත් අවුරුදු 13 ළමයෙක්ගේ වැඩ.

ඉතින් ඒ විදිහට මම තාත්තගෙන් මට හම්බුණු belt එකේ වටිනාකම වැඩි කළා. 

ඒ වටිනාකම මට තවත් වැඩි කරන්න පුලුවන් වුණේ 2006 අවුරුද්දේදී. ඒ 2006 අවුරුද්දේදී 7 ජාතික ජම්බෝරිය නුවර එළිය තුරඟ තරඟ පිටියේදී පැවැත්වුණු නිසා. 6 ජාතික ජම්බෝරියට කණිෂ්ඨ බාලදක්ෂයෙක් විදිහට ගිය මම 7 ජාතික ජම්බෝරියට ජ්‍යෙෂ්ඨ බාලදක්ෂයෙක් විදියට පරම්පරාවෙන් පැවත එන belt එකත් දාගෙන තමා ගියේ.

ඊටත් පස්සේ ජනාධිපති බාලදක්ෂයෙක් විදිහට ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂයා වුණු අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් සහතික පත් ලබාගන්නත් මම දාගෙන ගියේ මේ belt එකම තමා. ඉතින් දැන් ඒ belt එකේ දැන් තියෙන වටිනාකම අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ.

මේ belt එකේ වටිනාකම තවත් වැඩි කරන්න මට අවස්ථාවක් ලැබුණා 2010 අවුරුද්දේදී. ඒ 2010 අවුරුද්දේදී හම්බන්තොට 8 වැනි බාලදක්ෂ ජම්බෝරිය පැවැත්වුණු නිසා. සක්‍රීයව බාලදක්ෂ කටයුතුවලට එකතු වෙලා නොහිටියත් බාලදක්ෂ කණ්ඩායමෙන් ආරාධනා ලැබුණු ජම්බෝරියට යන්න එන්න කියලා. ඒත් විශ්වවිද්‍යාලයේ කටයුතුත් එක්ක ඒ ජම්බෝරියට යන්න මට බැරිවුණා.

මේ තියෙන්නේ පරම්පරාවේ Scout Belt එක

කොහොම නමුත් මම දැන් සක්‍රීයව බාලදක්ෂයෙක් විදිහට කටයුතු නොකළත් තවමත් විද්‍යාලයේ බාලදක්ෂ කණ්ඩායමෙන් කරන කඳවුරු ආදියට සම්බන්ධ වෙනවා. ඒ බාලදක්ෂ කටයුතු කියන්නේ මගේ ජීවිතේ කොටසක් වෙලා තියෙන නිසා.

මම තාමත් ඒ belt එක හුඟක් පරිස්සමෙන් තියාගෙන ඉන්නේ මගේ target එකක් එක්ක ඒකේ සම්බන්ධයක් තියෙන නිසා. මගේ හිතේ තියෙන target එකක් තමා මට පුතෙක් හිටියොත් මගේ පුතාවත් බාලදක්ෂයෙක් බවට පත් කරලා අර පරම්පරාවෙන් එන මහානර්ඝ belt එක එයාටත් පාවිච්චි කරන්න දෙන්න ඒකේ ඉතිහාස කතාවත් කියලා දීලා. මම හිතනවා එයාගේ සීයාත් තාත්තත් කරපු දේ එයාත් ඉස්සරහට කරාවි කියලා.

ඕන් ඕක තමා මගේ බාලදක්ෂ ජීවිතය ගැන කියද්දී මට මතක් වෙන වැදගත්ම කාරණය.

ඉතින් මේක ටිකක් අමුතු කතාවක් කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. ඉතින් මේක ගැන ඔයාලගේ අදහසුත් මම දැනගන්න කැමතියි.

ප.ලි.: ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයෙන් නිකුත් කරන Scouting Magazine 2012 අගෝස්තු කලාපයේ මේ කතාව පළවුණා. ඒ සඳහා සංස්කරණය කරන ලද කතාව තමා මේ තියෙන්නේ... 

සොසේජස් සහ ලී කුඩු


ඊයේ මහ සිකුරාදා දවස. කිතුණු බැතිමතුන්ගේ ආගම හා සම්බන්ධ දිනයක් නේ. ඉතින් මේ කතාවත් පොඩ්ඩක් ඒ පැත්තට බරයි. විශේෂයෙන් කියන්න ඕනේ මේක ආගමකට කරන අපහාසයක් නෙමෙයි කියලා. මේ කතාව ලිව්වේ ඊයේ වුණත් වෙලාවක් තිබ්බේ නැහැ බ්ලොග් එකට දාන්න ඉතින් අද තමා දාන්න පුළුවන් වුණේ.

මේ කතාව මම කියෙව්වේ සරත්චන්ද්‍ර පත්තඩුවනගේ පත්තඩුවන අහපු කියපු කතා කියන පොතෙන්. පොත කියෝපු අයත් ඇති. ඒත් බොහෝ දෙනාගේ හිතසුව පිණිස මම කතාව කියන්නම්.

ඕන් කතාව. ක්‍රිස්තියානි ගෙවල්වල සාමාන්‍යයෙන් සිකුරාදා දවස්වලට මස් ජාති ආහාරයට සකස් කරනවා අඩුයිලු. ජේසුස් වහන්සේ කුරුසේ ඇණ ගැසීම සිදුවුණෙත් සිකුරාදා දවසක නිසා වෙන්න ඇති එහෙම සිරිතක් ඇත්තේ.

ඉතින් එක පල්ලියක හිටපු පියතුමෙක් පල්ලිය ගාව තිබ්බ ගේකට ගියා පණිවිඩයක් දෙන්න. ඒ වෙලාවේ ඒ ගෙදරින් මස් බදින සුවඳක් පියතුමාට ආවා.

පස්සේ පියතුමා ගෙදර පිරිමියාට කතා කරලා කිව්වා.
" මොකද ජෝශප් අද සිකුරාදා දවසේ මස් බදින්නේ ? දන්නවනේ ඒක හොඳ දෙයක් නෙමෙයි" කියලා.

එතකොට ජෝශප් බොහොම යටහත් පහත්ව පියතුමාට කිව්වා.
"මස් නෙමෙයි ස්වාමි ඒ සොසේජස්" කියලා.

ඒක අහලා පියතුමා කිව්වා "සොසේජස් කියන්නෙත් මස් නේ. ඕවයින් වැලකෙන්න උත්සහ කරන්න ඕනේ. මම මේ කියන්නේ ආවේ පල්ලියේ තිබුණු දර ඉවර වෙලා තියෙන්නේ. හෙට උදේට පල්ලියට දර කරත්තයක් ගේන්න පුළුවන්ද කියලා බලන්න" කියලා.
ඉතින් ජෝශප් හා කියලා වැඩේ භාරගත්තා.

පස්සේ ජෝශප් පල්ලියට දර හොයන්න එහෙට මෙහෙට දිව්වත් ඒ දවස් ටිකේම තදින්ම වැස්ස තිබුණු නිසා දර නම් හොයා ගන්න ජෝශප්ට බැරිවුනා. පස්සේ man මොකද කලේ ලී කුඩු කරත්තයක් පුරෝලා පල්ලිය අරන් ගියා.

මේක දැකපු ගමන් පියතුමාට ටිකක් කේන්ති ගිහින් සද්දෙට ඇහුවා " ඈ ජෝශප් මම ගේන්න කිව්වේ දරද ලී කුඩුද? " කියලා.

මේක අහගෙන හිටපු ජෝශප් ඔළුව කස කස බොහොම බයාදු විදිහට හිමින් උත්තර දුන්නා මේ විදිහට " ස්වාමි සොසේජස් කියන්නේ මස් නම් ලී කුඩු කියන්නෙත් දර තමා" කියලා

Friday, April 2, 2010

බස්වල යන ජැක්සන්ලා


හැමෝටම සුභ උදෑසනක්. මේ කියන්න යන කතාව මට මතක් වුණේ ඊයේ දාපු post එකකට nadeesthoughts කරලා තිබ්බා comment එකක් නිසායි. පහුගිය මාසෙක දවසක මම උදේ campus යද්දී තමා මේ සිද්දිය වුණේ.

එදා මම ටිකක් පරක්කුත් වෙලා හිටියේ. ඉතින් අපේ හන්දියට වෙලා ඉද්දී ගාට ගාට ආපු private බස් එකකට මම ගොඩවුනා. බස් එකේ වැඩිය සෙනඟක් හිටියෙත් නැහැ. මම දුවගෙන ගිහින් ඉස්සරහ දොරෙන් බස් එකට නැග්ගා. මම කොහොමත් බස්වලට නගින්නේ ඉස්සරහ දොරෙන්. නැත්නම් පස්සේ දොරෙන් නැග්ගොත් බස් එකට නැග්ග වෙලාවේ ඉදලා කොන්දොස්තර කෑ ගහනවා ඉස්සරහට යන්න, ඉස්සරහට යන්න කියලා. එතකොට ඉස්සරහට යද්දී අනිත් අයව පෙරලගෙන, කකුල් පෑගිලා ජරමර ගොඩයි. කොහොමත් බස් එකේ ඉස්සරහ හරියෙ සෙනඟ එහෙමත් අඩු නිසා කරදරයක් නැතිව යන්න පුලුවන්.

නැවතත් කතාවට. ඔය විදිහට බස් එක ගාට ගාට කිරිබත්ගොඩ හරියට එද්දී එක පාරටම බස් එකේ පිටිපස්සට වෙන්න seat එකක වාඩි වෙලා හිටිය කෙල්ලෙක් මහ හයියෙන් බස් එකටම ඇහෙන්න කෑ ගහලා එතන හිටිය කොල්ලට කිව්වා
"මම මෙච්චර වෙලා බලන් හිටියා මගේ ඇඟටම හේත්තු වෙන්නේ මොකද ?" කියලා.
කොල්ලා ඒ වෙලාවේ කිව්වා "මගේ අත පොඩ්ඩක් වදින්න ඇති තමුසේ මොකද ඕකට ඔච්චර කෑ ගහන්නේ. බස්වල යද්දී ඔහොම අත පය අනිත් අයගේ ගෑවෙනවා තමා. තමුසෙට ඒක අල්ලන් නැත්නම් තමුසේ කාර් එකක් අරන් යනවා " කියලා.

මේ වෙලාවේ තමා කෙල්ලට ඌරු ජුවල් ගියේ.
කෙල්ල කිව්වා "තමුසෙ දන්නවනේ මගේ ඇඟේ ගෑවුණේ අත ද නැත්නම් වෙන එකක්ද " කියලා.
පස්සේ කෙල්ල කකුලේ දාන් හිටපු සෙරෙප්පුව අරන් කොල්ලට ගැහුවා. කොල්ලත් අනිත් පැත්තට කෙල්ලට ගැහුවා.

මේ වෙලාවේ තමා වටපිටාවේ හිටපු පිරිමි ටික වැඩේට සම්බන්ධ වුණේ.
"තමුසේ පිරිමියෙක්ද ඕයි, ඔහොම ගෑණුන්ට අත උස්සනවද " කියලා වටේ හිටිය පිරිමි ටික කොල්ලට ගහන්න පටන් ගත්තා. කොල්ලා කියනවා එතකොට " මුලින් ගැහුවේ මෙයානේ. ඒකනේ මම ගැහුවේ" කියලා.
එතකොට පිරිමි ටික කොල්ලට තව බනින්නයි ගහන්නයි පටන් ගත්තා. අන්තිමට කොල්ලා ගුටි කකා කෙල්ලට කියනවා "බුදු අක්කේ ඔයා දන්නවානේ, මම එහෙම දෙයක් කලේ නැහැනේ" කියලා.

අන්තිමට කොන්දොස්තර ඇවිත් කොල්ලව බස් එකේ ඉස්සරහට අරන් ඇවිත් හෙණම දේශනයක් දුන්නා " මල්ලී දන්නවද ඔහොම දේකට අවුරුදු කීයක් හිරේ යවන්න පුලුවන්ද ? ආදී වශයෙන්. කොල්ලට අන්තිමට කිරිබත්ගොඩින් බස් එකෙන් බැස්සා. මේක තමා කතාව.

මේ විදිහට කටයුතු කරන අයට සාමාන්‍ය ව්‍යවහාරෙදී කියන්නේ "ජැක්සන්" කියලා. ඒ වගේම මේ වැඩේට කියන්නේ "ජැක් ගහනවා" කියලා.

ඉතින් මේ කතාවෙන් ගන්න ඕන ආදර්ශය අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. හුඟක් බස්වල ඔහොම ජැක්සන්ලා ඉන්නවා. හැබැයි ඕක කරනවා අහුවුණොත් ලැබෙන දඩුවම නම් හරි දරුණුයි කියලා මතක තියාගන්න ඕනේ. මම හිටපු බස් එකේ සෙනඟ අඩු නිසා කොන්දොස්තර ඇවිත් ජැක්සන්ව බේර ගත්තා. ඒත් සෙනඟ වැඩි බස් එකක ඔහොම දෙයක් කරලා අහුවුණොත් ඒ ජැක්සන්ට මදී නොකියන්න කන්න පුළුවන්. මොකද සෙනඟ වැඩි නිසා කොන්දොස්තරට එන්න විදිහකුත් නැහැ රණ්ඩුව බේරන්න.

මට මතක් වුණු කවි 2 ක් මේකට අදාල කරන්න පුලුවන්........

"කරන කලට පවු මිහිරිය මී සේ - විඳින කලට දුක් දැඩි වේ ගිනි සේ " සහ
"ලිපගිනි මොළවන තෙක් දිය සැලියේ - සැපයක් යැයි කකුළුව දිය කෙලියේ "

[මේ කවිවල පද මට මතක විදිහට දැම්මේ ඒව වැරදි නම් කරුණාකර ඒක කියන්න]

ඒ වගේම මේ ජැක්සන් කියන වචනෙන් මියගිය ගායක මයිකල් ජැක්සන් අපහාසයක් නොකල බව ද කරුණාවෙන් සළකන්න.

Thursday, April 1, 2010

යම් පියාඹලා යම් පියාඹලා යම් පියාඹලා


මේක ලංකාවේ බස් ගැන කතාවක්. මට මේක ලියන්න idea එක ආවේ බඩියාගේ blog එකේ තිබ්බ Private බස් ගැන post එක දැක්කට පස්සේ. දන්නවනේ ඉතින් ලංකාවේ බස් රථවල ගමන් ගැන. විශේෂයෙන්ම Private බස් ගැන කතා කරලා වැඩක් නැහැනේ. ඉතින් මේකත් Private බස් එකක සිදුවුණු සිද්ධියක්.

දවසක් private බස් එකක් bus holt එකේ කොට කොට හිටියා. කොටනවා කියන එක දන්නවානේ. කොටනවා කියන්නේ බස් එක හිමින් යන එකටනේ. bus holt එකේ කොටනවා කියන්නේ bus holt එකේ නවත්තන් ඉන්න එක.

මේ අතරවාරයේ බස් එකේ කොන්දොස්තර පිටි පස්සේ footboard එකට වෙලා පිටි පස්ස බල බල ඉන්නවා අනිත් බස් එක එනකම්. ඒ බස් එක ආපු ගමන් නේ මේ බස් එක පිටත් වෙන්නේ.

ඔන්න ඉතින් පිටි පස්සෙන් අනිත් බස් එක ඈත එනවා පෙනුණු ගමන් කොන්දොස්තරට පොඩි ආතල් එකක් ගිහින් කිව්වා. "යම් පියාඹලා යම් පියාඹලා යම් පියාඹලා යම් පියාඹලා" කියලා.

එතකොට ඒක අහන් හිටපු රියදුරු මහත්තයාත් ඒ කික් එකෙන්ම කිව්වා " හරේ හරේ හරේ හරේ හරේ හරේ හරේ හරේ" කියලා.

මේ ආතල් වැඩේ බලන් හිටපු බස් එකේ හිටපු නාකි uncle කෙනෙක් කෙනෙක් අපිත් මේකට sup කරන්න ඕනේ කියලා කිව්වා " ආහ්හ ආහ් ආහ් හා......"

මේ තුන්දෙනාම කියපු ඒවයේ තාලය තමා ශාරුක් ඛාන් සහ කරීනා කපූර් රඟපාපු අසෝක චිත්‍රපටියේ එන Aa Tayar Hoja ගීතයේ තාලය. ඒ ගීතයේ link එකකුත් දාලා ඇති ඒකත් බලන්නකෝ



උඩින් තියෙන පිංතූරෙන් පෙන්නන්නේ ඒ බස් එක පියාඹලා ගිය හැටි

බඩියගේ post එක බලන්න ඕනේ නම් http://sithuwilisiththam-buddy.blogspot.com/2010/04/private.html

හැමෝම හරි


මගේ කලින් post එකට හා පැටික්කි comment කරලා තිබ්බ එකට මම කරපු comment එක නිසා මට තව ලස්සන කතාවක් මතක් වුණා. මේක ඉස්සර කාලේ ගමක වෙච්ච සිද්ධියක්. හැබැයි කට්ටිය මගෙන් අහන්න නම් එපා මේක ඇත්ත කතාවක් ද කියලා. මාත් මේක කියෙව්වේ පරණ සිව්දෙස සඟරාවක තිබිලා.

ඕන් කතාව. පුරාණ ගම ගත්තහම ඒකේ වැදගත්ම තැනක් හිමිවුණු ආයතනයක් තමා පන්සල කියන්නේ. ගමේ ආරච්චි වගේ කට්ටිය හිටියට ගමේ පාලනයට වක්‍රාකාරව ගමේ පන්සලේ නායක හාමුදුරුවෝ දායක වෙලා තියෙනවා. ඉතින් ගමේ රණ්ඩු සරුවල් පවා විසඳන එක නායක හාමුදුරුවෝ කරලා තියෙනවා.
දැන් නම් ඒවාට අධිකරණ තිබ්බත් මූලික මට්ටමෙන් ක්‍රියාත්මක වන සමථ මණ්ඩලයේත් සාමාජිකයෙක් විදිහට ගමේ පන්සලේ නායක හාමුදුරුවෝ ක්‍රියා කරනවා.

ඉතින් ඉස්සර කාලේ ගමක ඉඩමක් සම්බන්ධව දෙන්නෙක් අතර ආරවුලක් ඇතිවෙලා තියෙනවා. අපි කියමුකෝ මේ දෙන්නට හේතුහාමි, වීමන්හාමි යි කියලා. ඉතින් මේ ආරවුල සමථයකට පත් කරගන්න හිතාගෙන හේතුහාමි උදේම පන්සලට ගිහින් නායක හාමුදුරුවන්ට විස්තරේ කිව්වා.
"නායක හාමුදුරුවනේ, පරම්පරා ගාණක් තිස්සේ මට උරුම වෙලා තිබ්බ ඉඩමට උරුමකම් කියාගෙන වීමන්හාමි එනවා. ඒක අපේ පරම්පරාවේ ඉඩම්නේ හාමුදුරුවනේ" කියලා.
මේක අහගෙන හිටපු නායක හාමුදුරුවෝ කිව්වා "තමුන්නැහැ හරි හේතුහාමි" කියලා. මේ වෙලාවේ පන්සලේ හිටපු පොඩි හාමුදුරුවන්ටත් පුදුමයි නායක හාමුදුරුවෝ අනිත් මනුස්සයාගෙනුත් කරුණු කාරණා අහන්නේවත් නැතුව හේතුහාමි හරියි කියපු එක ගැන.

එදාම හැන්දෑ ජාමේ පන්සලට ආවා වීමන්හාමි. එයත් නායක හාමුදුරුවෝ හම්බවෙලා විස්තරේ කිව්වා.
"නායක හාමුදුරුවනේ, ඔය හේතුහාමිගේ ඉඩම අපේ මුත්තා කෙනක් හේතුහාමිගේ මුත්තෙක්ට වැඩ කරන්න දීපු එකක්. දැන් හේතුහාමි ඒකට අයිතිවාසිකම් කියන්න එනවා" කියලා. මේකත් අහගෙන හිටපු නායක හාමුදුරුවෝ කිව්වා "තමුන්නැහැ හරි වීමන්හාමි" කියලා. මේ කතාවත් පොඩි හාමුදුරුවෝ අහගෙන හිටියා. ඉතින් දෙන්නම හරි වෙන්න විදිහක් නෑ නේ.

පොඩි හාමුදුරුවොත් අන්තිමට එදා රෑ සැතපෙන්න කලින් නායක හාමුදුරුවන්ට වඳින්න ගිය වෙලාවේ නායක හාමුදුරුවන්ගෙන් ඇහුවා "අවසර නායක හාමුදුරුවනේ, අද උදේ හේතුහාමි ඇවිත් අර ඉඩම් ප්‍රශ්නේ ගැන කරුණු කියපුවාම හාමුදුරුවෝ කිව්වා තමුන්නැහැ හරි කියලා. හැන්දෑවේ වීමන්හාමි ඇවිත් කරුණු කියපුවාමත් හාමුදුරුවෝ කිව්වා තමුන්නැහැ හරි කියලා ඉතින් නායක හාමුදුරුවනේ දෙන්නම හරි වෙන්න විදිහක් නෑ නේ කියලා.

අන්තිමට නායක හාමුදුරුවෝ කිව්වා "ඔය උන්නාන්සෙත් හරි" කියලා.

අප්‍රේල් 1 වැනිදා


හැමෝටම සුභ උදෑසනක් වේවා. අද දවසේ උදේ පාන්දරම මට ආපු message එකක් නිසා තමයි උදේ පාන්දරම post එකක් දාන්න හිතුණේ. අපේ නංගි කෙනෙක් අද අප්‍රේල් 1 මෝඩයාගේ දිනය නිසා මට wish කරලා තිබුණා. මේක තමා ඒ ළමයා මට එවලා තිබුණු message එක.

You can fool some of the people all of the time,
All of the people some of the time...................
But you can't fool all of the people all of the time.

Now it it time to wish you.......
Many Happy Returns of the day and Happy Foolish Day !!!!

පස්සේ මම reply එකක් යැව්වා. මම යවපු message එකේ තිබ්බේ මෙන්න මෙහෙම දෙයක්

"වසරේ දින 365 න් තවත් එක් දවසක් මෝඩයාගේ දවස විදිහට අරන් මිනිස්සු ප්‍රීති වෙනවා කාව හරි මෝඩයෙක් කරලා. ඒත් සසරේ තවමත් සැරිසරන අපි එක් දිනක් පමණක් නොව සෑම දිනකම මෝහයෙන් වෙලිලා මෝඩයන් විදිහට කටයුතු කරන බව තේරුම් ගන්න නංගී."

තාම නම් මට reply එකක් ආවේ නැහැ. කෙල්ල හිතනවා ද දන්නේ නැහැ මට message එකක් එවලා කර ගත්ත මෝඩ වැඩක් කියලා :)

මේ අප්‍රේල් 1 මෝඩයාගේ දවස විදිහට සළකන්න පටන් අරන් තියෙන්නේ මට මතක විදිහට එංගලන්තේ හිටපු රජ කෙනෙක් කැලැන්ඩරය අප්‍රේල් මාසයෙන් පටන් ගත්ත ක්‍රමය වෙනස් කරලා ජනවාරි මාසයෙන් පටන් ගන්න විදිහට සකස් කරපු එකෙන්.

ඒක නිසා අවුරුද්දේ මුල්ම දවස වන ජනවාරි 1 වැනිදා උත්සව පවත්වන්න මිනිස්සු පුරුදු වෙලා තියෙනවා.

නමුත් ඒ ක්‍රමයට විරුද්ධ වුණු මිනිස්සු පරණ විදිහටම අප්‍රේල් 1 නව අවුරුද්ද සමරලා තියෙනවා. ඉතින් ඒ විදිහට අප්‍රේල් 1 නව වසර සමරපු අයට අනිත් මිනිස්සු අප්‍රේල් මෝඩයෝ විදිහට විහිළු කරලා අප්‍රේල් 1 මෝඩයාගේ දවස විදිහට නම් කරලා තියෙනවා.

ඉතින් අප්‍රේල් 1 මෝඩයාගේ දවස වුණු හැටි ගැන, අප්‍රේල් 1 වුණු වැඩ ගැන තියනවා නම් කියන්න. ඒ වගේම අර නංගිට මම යවපු message එක ගැන ඔබේ අදහස් කියන්න.

මෙන්න සංවාදයට ඉඩ