Monday, June 20, 2011

සමුගනිමි............... Farewell............



තනිය මට ද මගේ තනිය මකාලන්න එනවද
සිහින මට ද සිහිනෙන් දැකගන්න එනවද
කඳුළු මටද දෑසේ වියළෙන්න දෙනවද
දුකම මට ද මගේ දුක විඳගන්න දෙනවද



Sunday, June 19, 2011

අද කාලේ අන්දරේලාට

අන්දරේ කියපු ගමන් අමුතු අටුවා, ටීකා, ටිප්පණි ඕන වෙන්නේ නැහැ හඳුන්වලා දෙන්න. මහනුවර යුගයේ රාජ සභාවේ කවටයෙක් ඒ වගේම කවියෙක් විදිහටත් රජතුමාව සතුටෙන් තියන්න හිටපු කෙනෙක් විදිහට බොහොම කෙටියෙන් අන්දරේ ගැන කියන්න පුලුවන්. බොහෝ වෙලාවට අනුමාන කරන්නේ රාජාධි රාජසිංහ රාජ සමයේ [ක්‍රි.ව 1782-1798] අන්දරේ වාසය කරන්න ඇතියි කියලා.

කොහොම නමුත් අන්දරේ කරපු විහිළුවලින් ඇස් රතු වුණත් ඒකෙන් මොකක් හරි විනෝදයක් තිබුණා. ඒ වගේම ඒ විහිළුවලින් මහජනතාවට හානියක් වුණෙත් නැහැ. ඒත් අද කාලේ රජ වාසල්වල ඉන්න සමහර කවටයන් කරන විහිළු නිසා හුඟාක් වෙලාවට මහජනතාවට හිරිහැරයක් වෙනවා කියන එකත් කියන්න ඕනේ.

කොහොමින් කොහොම හරි අන්දරේ ගැන මට මතක් වුණු කතන්දරේ මේකයි.

දවසක් අන්දරේ රජතුමා මුණගැහෙන්න ගිහින් රජතුමාගෙන් ඉල්ලීමක් කළා. ඒ තමයි තමන්වත් ඇමතියෙක් විදිහට උසස් කරන්න කියලා. අන්දරේ ඒ වෙනකොට රජ වාසල කවටයා කියන post එකේනේ හිටියේ. සමහර විට අන්දරේගේ wife කියන්න ඇති ළමයින්ට ඒකට ලැජ්ජ හිතෙන්න පුලුවන් කියලා. ඇමතියෙක් වුණාම ඊට වඩා place නේ. වෙන මොකුත් ඕනේ නැහැ අද කාලේ ඇමතිවරුන්ට තියෙන place එක පේනවානේ :))

මේ කතාව අහපු රජතුමා එක පාරටම අන්දරේව ඇමතියෙක් කරන්න ලෑස්ති වුණේ නැහැ. ඒකට අද කාලේ නම් හුඟාක් අයව ඇමතිවරු කරන්නනේ රජවරු කරන්නේ :)) රජතුමා අන්දරේට පොඩි test එකක් දුන්නා.


Test එක තමයි වරායට ගිහින් එතන විස්තරේ බලන් එන්න කියන එක. අන්දරේත් ක්ෂණිකයෙන් වරායට ගිහින් පුලුවන් තරම් ඉක්මණින් ආපහු රජ වාසලට ඇවිත් රජතුමාව බැහැදැකලා කිව්වා "දේවයන් වහන්ස වරායේ නැව් නම් ගොඩාක් තිබුණා, මිනිස්සුන්ත් ගොඩාක් හිටියා, මොකුත් විශේෂයක් නම් දැක්කේ නැහැ" කියලා.

මේක අහන් හිටපු රජතුමා අන්දරේගෙන් ඇහුවා "නැව් තිබ්බා කියලා කිව්වා නේද ? ඒ නැව් කොහෙන් කොහෙන්ද ඇවිත් තිබුණේ, ඒවායේ මොනවද තිබුණු බඩු මුට්ටු" කියලා.

අන්දරේ කිව්වා "දේවයන් වහන්ස මට ඒක නම් බලන්න වුණේ නැහැ. මම ආයි ගිහින් ඒක බලන් එන්නම්" කියලා. ආයි පාරක් ඇද්දා වරායට.

ඒක බලාගෙන ආපු අන්දරේ රජතුමාට ඒ ගැනත් report එකක් දීලා කිව්වා මේ මේ රටවල්වලින් තමා නැව් ඇවිත් තියෙන්නේ, මේ මේ බඩු තමා තිබ්බේ කියලා.

ඊට පස්සේ රජතුමා අන්දරේගෙන් ඇහුවා "අන්දරේ මේ බඩු මුට්ටුවලින් අපිට මිලදීලා ගන්න පුලුවන් ඒවා තියෙනවද ? අපේ බඩු මුට්ටුත් එක්ක හුවමාරු කරගන්න පුලුවන් ඒවා තියෙනවද ? මොන මොන බඩු ගත්තොත්ද අපිට ලාභ" කියලා

අන්දරේට කට උත්තර නැහැ. අන්දරේ ඉතින් දන්නේ නැහැ කියලා ආයි පාරක් වරායට ඇදලා ඒකත් බලාගෙන ඇවිත් රජතුමාට කිව්වා.

කොහොමින් කොහොම හරි අන්දරේට මේ ඇමතිකම ගන්න test එකට වරායට තුන් හතර පාරක් යන්න වුණා. අන්දරේටත් පට්ට මහන්සියි. මෑන්ට හිතුණද දන්නේ නැහැ ඇමතිකම් ඉල්ලන්න ආපු මෝඩකම් කියලා.

අන්තිමට රජතුමා ඇමති කෙනෙක්ටත් එන්න කියලා ඇමතියාටත් අන්දරේට කියපු විදිහටම වරායට ගිහින් එතන විස්තරේ බලන් එන්න කියලා.

ඇමතියාත් වරායට ගිහින් ඇවිත් රජතුමාට කිව්වා. "දේවයන් වහන්ස, වරායේ නැව් මෙච්චර තිබුණා. බෝට්ටු මෙච්චර තිබුණා. ඒ නැව් මේ මේ රටවල්වලින් ඇවිත් තිබුණේ. ඒ නැව්වල මේ මේ බඩු මුට්ටු තිබුණා. මේ මේ බඩු හොඳයි වටිනවා. මේ මේ ගණන්වලට ඒවා අපිට ගන්න පුලුවන්. අපේ මේ මේ බඩුවලට ඒ නැව්වල තියෙන මේ මේ බඩු හුවමාරු කරගන්න පුලුවන්" කියලා. [මෙතන හැම එකකටම මේ මේ කිව්වට ඒවට ඇමතියා එහෙම කිව්වේ නැහැ. ඕන කරන විස්තරේ තමා කිව්වේ]

අන්දරේට දාඩියත් දැම්මා තමන් තුන් හතර පාරක් වරායට ගිහින් රජතුමා එක එක ඒවා අහද්දී ඒවා මතක් වෙලා කරන්න ගියාට මේ ඇමතියා එක පාරින්ම ඔක්කොමට ටික හොයාගෙන ඇවිත්නේ කියලා. හරියට one shot knockout වගේ :)

පස්සේ රජතුමා අන්දරේට කිව්වා "පේනවද අන්දරේ ඇමතිකම් කරන එක ලේසි නැහැ. අන්දරේට ඒක හරියන්නේ නැහැ. තව ටිකක් අපි බලමුකෝ" කියලා.

ඉතින් අන්දරේට උසස්වීමක් හම්බුණෙත් නැහැ. අන්දරේ ඊට පස්සේ ගෙදර ගියා. අන්දරේගේ wife මොනවා කිව්වද කියලා නම් දන්නේ නැහැ.

ඕක තමයි අන්දරේගේ කතන්දරේ. මීට අවුරුදු 400 කට විතර ඉස්සෙල්ලා අන්දරේ කළා වගේ වැඩ අද කාලේ ඉන්න අන්දරේලත් කරනවා. ඒ කාලේ අන්දරේ කරපු මේ වැඩෙන් කාටවත් පාඩුවක් හානියක් වුණේ නැතත් අද කාලේ අන්දරේලා කරන මේ වගේ වැඩවලින් වෙන පාඩුව හානිය අපමණයි.

ඒක නිසා අද කාලේ ඉන්න අන්දරේලට වගේම කාට කාටත් ආදර්ශයක් ගන්නයි මේ කතාව කිව්වේ. වැඩක් කරද්දී පිළිවෙලකට මනා සංවිධානාත්මක බවකින් කරන්න අපි කවුරුත් පුරුදු වෙන්න ඕනේ.

අන්දරේගේ photo එකක් හොයන්න යද්දී අන්දරේගේ කතා තියෙන බ්ලොග් එකක් හම්බුණා. කැමති නම් blog එක කියවන්න මෙතන කොටන්න

ප.ලි.: සමහර විට රජතුමා මේ වැඩේ කලින්ම plan කරලා තිබ්බද දන්නේ නැහැ අන්දරේව අන්නන්න. ඇමතියාව රෙඩි පිට තිබ්බාද දන්නේ නැහැ :))

ප.ප.ලි: අපේ දහම් පාසලේ හැම ඉරිදාම උදේ රැස්වීමේදී ළමයෙක්ගේ කතාවක් වගේම ගුරුවරයෙක්ගේ කතාවකුත් තියෙනවා. ගිය සතියක හදිසියේම ඒ කතාව මටත් වැටුණා. බැහැයි කියන්න විදිහකුත් නැති නිසා මේ කතාවෙන් තමා මම කතාව කරගෙන ගියේ. මොකද දහම් පාසලෙත් අන්දරේලා වෙන්න හදන කීප දෙනෙක් ඉන්න නිසා :))

Friday, June 3, 2011

මතක් වෙනවද මාව ඉදහිට


ඔබ ගිහින් බොහෝ දුර
මතක පොත මා අත
අඳුරු සෙවණැලි මා වට
සුසුම් උණුසුම් කළ හද
මතක් වෙනවද මාව ඉදහිට


Westlife කණ්ඩායම ගායනා කරන ලස්සන සිංදුවක් Unbreakable . ඒකත් මතක් වුණා............


ප.ලි.: සරෝජිනී දැරණියගල ලියූ වෙන්දේසි වූ ප්‍රේමය කාව්‍ය සංග්‍රහයෙන් උපුටා ගත්තකි.

Tuesday, May 31, 2011

මහින්දා මාමා අපේ මාමා

අපේ රටේ අපි හැමෝමව බලාගන්න මහින්ද මාමා ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඉතින් මට හදිසියේම මහින්ද මාමා මතක් වුණේ මේ ළඟදී වුණු සිද්ධියක් නිසයි. පාරේ තොටේ යද්දී, කඩ පොළට යද්දී හුඟාක් අයට මහින්ද මාමාව මතක් වෙනවා ඇති. ඒ විතරක්ද සමහර වෙලාවට මහින්ද මාමාගේ අම්මා තාත්තා එහෙමත් මතක් වෙනවා ඇති :)) අපේ කැම්පස් සහෝදරවරු මහින්ද මාමාව මතක් කරන විදිහ මම කලින් දවසක කිව්වා. මතක නැති අය ගිහින් බලලා එන්නකෝ

ඒත් මට නම් මහින්ද මාමාව මතක් වුණේ දහම් පාසලේදී. කතාව මෙහෙමයි. මේ ලඟකදී අපේ දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වුණා. මේකෙදී ස්තුති කතාවක් හරි මොකක් හරි කතාවක් කරන්න අපේ ප්‍රධාන ශිෂ්‍ය නායක මල්ලිටත් පැවරිලා තිබුණා. අපරාදේ කියන්න බැහැ හොඳ කැපවීමෙන් වැඩ කරන කොල්ලෙක්.

ත්‍යාග ප්‍රදානෝත්සවයට hall එක හදලා තිබුණු හැටි

මෑනුත් කතාව හොඳට කරන්න ඕනේ නිසා පොඩි හාමුදුරුවන්ගෙත් උදව් අරගෙන හොඳ කතාවක් එහෙම හදාගෙන කරලා එහෙම තමා ඇවිත් තිබුණේ. කතාව ඉතින් පටන් ගත්තා කියමුකෝ.

කතාවේ මැද හරියක තිබුණා ප්‍රසිද්ධ කවියක්. මට මතක විදිහට කවිය තියෙන්නේ අලගියවැන්න මුකවෙටිතුමා ලියපු සුභාෂිතය කියන පොතේ. කවිය තමා

පින් මඳ පුතුන් සියයක් ලදුවත් නිසරු
ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු
එක පුන් සඳින් දුරු වෙයි ලොව ගන අඳුරු
නෙක තරු රැසින් එලෙසට නොමවේය දුරු

මලයා කවියේ මුල පටන් ගත්තත් හරි දෙවෙනි පදය මෑන්ට මතක් වෙන්නේ නැහැ. පොර නිකම් පරණ ග්‍රැමෆෝන් එකක තැටිය එක තැන කැරකෙනවා වගේ ඊළඟ පදේ මතක් කරන්න ට්‍රයි එක. අන්තිමට පිටිපස්සේ හිටිය කෙනෙක්ද කොහෙදෝ කවියේ මිස් වුනු කෑල්ල මතක් කරලා දුන්නු නිසා වැඩේ ගොඩ දා ගත්තා.

ඉතින් මට මේ වෙලේ මතක් වුණේ දවසක් මහින්ද මාමාටත් මේ වගේ අකරතැබ්බක් වෙලා මාමා ඒකෙන් ගොඩගිය හැටි.

මේකේ වුණේ 2007 අවුරුද්දේ. ලෝක බාලදක්ෂ ව්‍යාපාරයට අවුරුදු 100 ක් පිරීම නිමිත්තෙන් ලංකාවේ සමරපු උත්සවේ පැවැත්වුණේ අරලියගහ මන්දිරේදී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂයා වෙන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. අපරාදේ කියන්න බැහැ හොඳ කන්න බොන්න නම් තිබුණා. ජනාධිපතිතුමා ගමේ මනුස්සයානේ ආගන්තුක සත්කාර හොඳට දන්නවා. හරි කතාවට එමුකෝ.

මහින්ද මාමා තමන්ගේ කතාවේදී කිව්වා ටිබෙට් ජාතික එස්. මහින්ද හාමුදුරුවන්ගේ කවියක් මෙන්න මෙහෙම.


බාලදක්ෂයිනි, මේ අවස්ථාවේ මට මතක් වෙනවා කවියක් ටිබෙට් ජාතික එස්.මහින්ද හිමියන් රචනා කරපු............

ඉටු කොට කළ යුතු යුතුකම්
ලැබුණත් ලෝකෙන් ගැරහුම්
නුඹයි මගේ පුතා උතුම්

ඉතින් කොහොම හරි මාමාට එක පදයක් මිස් වුණා. කතාව උවමනාවෙන් අහගෙන හිටපු නැති අයට නම් මීටර් වුණාද දන්නෙත් නැහැ. කොහොම හරි පදයක් මිස් වුණා.

ජනාධිපතිතුමා ග්‍රැමෆෝන් තැටි වාදනය කරන්න ගියෙත් නැහැ මොකුත් අනම් මනම් නැහැ. මතක් වුණු ටික කියලා දැම්මා. කොහොම හරි දැන් කවියේ පදයක් මිස් වුණානේ. ඒක හැදුවේ මෙන්න මෙහෙම

එහෙමනම් බාලදක්ෂයිනි මගේ කතාව අවසන් කරන්න කලින් කලින් මම සඳහන් කරපු කවිය නැවතත් සඳහන් කරන්නම්

ඉටු කොට කළ යුතු යුතුකම්
ලැබුණත් ලෝකෙන් ගැරහුම්
ඉවසන්නට පුලුවන් නම් [ මේ පදේ ජනාධිපතිතුමා හොඳට බර දාලා ඇඳලා කිව්වේ :))]
නුඹයි මගේ පුතා උතුම්

කියලා කතාව ඉවර කළා. ඔන්න ඕවයි සාර්ථක කථිකයන් ගාව තියෙන ජිල්මාට් වැඩ කියලා මට හිතුණා.

කොහොම වුණත් කතාවක් කරද්දී මොකක් හරි අමතක වුණා කියලා එතනම ඉන්නේ නැතිව ඉස්සරහට යන එක සාර්ථකයි මාත් හිතන විදිහට. විභාගෙක වුණත් ප්‍රශ්නෙකට උත්තරයක් දන්නේ නැත්නම් ඒ ප්‍රශ්නේ ගැන හිත හිත ඉන්නේ නැතිව අනිත් ඒවාට යන්න ඕනේ

හැම මනුස්සයෙක්ගේම චරිතෙන් උකහාගන්න දෙයක් තියෙනවා නම් ඒක උකහා ගන්න එක හැදෙන මනුස්සයෙක් ගති ලක්ෂණයක්

Saturday, May 28, 2011

e- අටුවාවට නැවත පණදීම

මම ඉගෙන ගන්න දේත් එක්කම මම කැමතිම අංශයක් ගැන තොරතුරු බෙදාගන්න එක අරමුණු මුල් කරගෙන මම පටන් ගත්තු බ්ලොග් එක තමා e-අටුවාව කියන්නේ. ඒකෙන් උත්සාහ කරන්නේ විශේෂයෙන් ලංකාවේ පිහිටලා තියෙන ඒත් එතරම් මහජන අවධානයකට ලක්වෙලා නැති ඒත් අපේ උරුමයත් එක්ක බැඳිලා තියෙන ඓතිහාසික ස්ථානවල තොරතුරු කට්ටියත් එක්ක බෙදා ගන්න.

එච්චර ලිපි ප්‍රමාණයක් මේකේ ලියවිලා නැත්තේ ඒකට ආවට ගියාට ලියන්නේ නැතිව කරුණු කාරණා හොයලා බලලා ලියන්න ඕනේ නිසා. මොන බාධක තිබුණත් ලිපි කීපයක් ලියාගන්න පුලුවන් වුණා :))

මේ වෙනකොට අටුවාවේ ලියවිලා තියෙන ලිපි තමා මෙන්න මේවා


සුමන සමන් දෙවියන් කියලා පිළිගන්නේ ශ්‍රී පාද කන්දට අධිපතිව වැඩ වාසය කරන සෝවාන් වුණු ඒ වගේම ශ්‍රී ලාංකික බෞද්ධ දෙවි කෙනෙක්ව.

ඉතින් සුමන සමන් දේව සංකල්පය ගැන විවිධ මත කීපයක් දැක ගන්න පුලුවන්.

  • ලාංකික වංශකතාවල කියන්නේ කඳුකර ප්‍රදේශයේ දේව ගෝත්‍රික නායකයෙක් වුණු සුමන සමන් බුදු හාමුදුරුවෝ ප්‍රථම වරට ලංකාවට වැඩම කරපු අවස්ථාවේ ඒ කියන්නේ යක්ෂයින් දමනය කරන්න මහියංගණයට වැඩම කරපු අවස්ථාවේ දහම් අහලා සෝවාන් වුණු බවත්, මහියංගණ දාගැබ ඉදි කරපු බවත්, ඊට පස්සේ බුදු හාමුදුරුවෝ තුන්වෙනි වරට කැලණියට වැඩම කරපු අවස්ථාවේ සුමන සමන්ගේ ආරාධනයෙන් එයාගේ වාසස්ථානය වුණු සමනළ කන්දට වැඩම කරලා සිරි පතුල පිහිටෙව්වා කියන එක.

පොතුවිල් මුහුදු මහා විහාරය


පොතුවිල් මුහුදු වෙරළ

ශ්‍රී ලංකාව වගේ පුරාවිද්‍යා උරුමයන්ගෙන් පොහොසත් වන රටවල් හරි දුලබයි කියලා තමා මට හිතෙන්නේ. ඒ විදිහට පුරාවිද්‍යා උරුමයන් විශාල වශයෙන් තිබ්බත් ඒවා සංරක්ෂණය කිරීමක් මතු පරම්පරාවලට දායාද කිරීමක් හරි විදිහකට වෙනවද කියලා සැක සහිතයි. ඉතින් පුරාවිද්‍යා උරුමයක් වගේම ආගමික අතිනුත් වැදගත් වෙන පුදබිමක් ගැන තමා කියන්න යන්නේ.

ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් ප්‍රදේශයේ පිහිටලා තියෙන මුහුදු මහා විහාරය ගැන තමා අද e - අටුවාවේ අවධානය යොමු වෙන්නේ.



කළු පැහැති කවයෙන් දක්වලා තියෙන්නේ ඈතට පේන මැද්දේගම රජ මහා විහාරය

ලංකාව කියන පුංචි රටේ පුරාවිද්‍යා එක ප්‍රදේශයකට විතරක් සීමා වෙන්නේ නැතිව මුළු ලංකාව පුරාම පැතිරිලා තියෙන එක විශේෂ කාරණයක්. මේ විදිහට හැම ප්‍රදේශයක පුරාවිද්‍යා උරුමය පැතිරිලා තිබුණත් අපේ අවධානය වැඩි වශයෙන් යොමු නොවුණු ඒත් පුරාවිද්‍යාත්මක වගේම ඓතිහාසික වටිනාකම වැඩි ස්ථාන තියෙනවා. ඒ වගේ ස්ථානයක් ගැන තමා අද අවධානය යොමු කරන්නේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටලා තියෙන ඉපැරණි පූජනීය ස්ථානයක් විදිහට මැද්දේගම රජ මහා විහාරය හඳුන්වන්න පුලුවන්. කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරයෙන් කිරිඳිවැල මාර්ගයෙන්, ඒ වගේම කොළඹ - රත්නපුර මාර්ගයේ හංවැල්ල නගරයෙන් කිරිඳිවැල මාර්ගයේ ඇවිත් මැද්දේගම අමිතිරිගල මාර්ගයේ පැමිණීමෙන් මැද්දේගම රජ මහා විහාරයට පැමිණෙන්න පුලුවන්.




අනුරාධපුරේ යනවා කියලා කියපු ගමන් අපේ සිහියට එන්නේ ශ්‍රී මහා බෝධිය, රුවන්මැලිසෑය, ජේතවනය, අභයගිරිය ආදී අටමස්ථාන වගේම සමාධි බුදු පිළිමය, සඳකඩ පහණ වගේ නිර්මාණ. ඒත් මේ උරුමයන්ට අමතරව තවත් වටිනා කියන උරුමයන් රාශියක් අනුරාධපුරයේ පිහිටලා තිබුණත් ඒවාට එතරම් සංචාරක අවධානයක් තාමත් යොමු නොවීම ගැටළුවක්.

ඒ වගේ ස්ථාන කීපයක් ගැන අවධානය යොමු කරන්නයි e-අටුවාවේ උත්සාහය. අද ඉදන් "නොදුටු අනුරාධපුර" නමින් ඒවා පළකරන්නයි අදහස.

නොදුටු අනුරාධපුරය ගැන කතා කරද්දී මුල්ම අවධානය යොමු කරන්න හිතුවේ ලක්දිව සිටි ශ්‍රේෂ්ඨම නරපතියෙක් වන මහා විජයබාහු රජතුමා අනුරාධපුරයේ ඉදි කළ මාළිගාව ගැනයි. එය වැදගත් වෙන්න ප්‍රධානම හේතුව වෙන්නේ අනුරාධපුරයේ දැනට හමුව තියෙන එකම රජ මාළිගාව වන්නේ මේ විජයබාහු මාළිගාව වීමයි.


කැම්පස් එකේ වැඩ කටයුතු ටිකක් වැඩි වුණු නිසා වගේම විභාග කටයුතුත් තිබුණු නිසා මාස ගාණක් අලුතෙන් මොකවත් ලියන්න වුණේ නැහැ. ඉතින් දැන් විභාගෙත් ඉවර නිසා කාලයක් තිස්සේ ඉදන් ලියන්න ඕනේ කියලා හිතේ තිබුණු අනුරාධපුර දක්ඛිණ ථූපය ගැන ලිව්වා.

අදත් සටහන නොදුටු අනුරාධපුරයේ තවත් ස්ථානයක් ගැනයි. ඒ දක්ඛිණ ථූපය ගැන. ශ්‍රී මහා බෝධීන් වහන්සේ සමීපයට පිවිසෙන්න තියෙන එක් ස්ථානයක් වෙන කුරුණෑගල හන්දියේ ඉදන් ශ්‍රී මහා බෝධිය අසළට වැටිලා තියෙන මිහිඳු මාවත ඔස්සේ ඉදිරියට ගමන් කරද්දී මාර්ගයේ වම් පැත්තේ පිහිටලා තියන විශාල ගඩොල්වලින් කරලා තියෙන නිර්මාණයක් සමහර විට දැකලා ඇති. මේ ගරා වැටුණු ස්ථූපය තමා දක්ඛිණ ථූපය විදිහට හඳුන්වන්නේ.

මුල් කාලීනව එතරම් අවධානයකට ලක් නොවුණු මේ ස්ථූපය දුටුගැමුණු රජතුමා විසින් තමන්ගේ ප්‍රතිවාදියා වුණු එළාර රජතුමාව යුද්ධයේදී මරා දැමූ ස්ථානයේ එළාර රජතුමාව ගෞරව සහිතව ආදාහනය කරලා ඉදි කරපු ස්ථූපය විදිහටයි බොහෝ දෙනා සැළකුවේ.

මුලින්ම් මේ ස්ථානයේ පුරාවිද්‍යා කැණීමක් 1896 දී දියත් කරන්නේ ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්වරයා වුණු H.C.P. බෙල් මහත්මයායි. මේ එළාර සොහොන නොවන බවත් ඒ කාලයේ අනුරාධපුරයේ තිබුණු ප්‍රධාන ආරාමයක් වුණු දක්ඛිණගිරි විහාරයේ ස්ථූපය කියන මතය එතුමා ඉදිරිපත් කළත් ඒ ගැන එතරම් පිළිගැනීමක් ඇතිවුණේ නැහැ.


මේ ස්ථූපයේ තියෙන විශේෂත්වය තමා දුටුගැමුණු රජතුමා ආදාහනය කරපු ස්ථානයේ මේ ස්ථූපය ඉදි කරලා තියෙන එක. ඒ වගේම 1950 දශකයේ මේ ස්ථානයේ කරපු කැණීම්වලින් දුටුගැමුණු රජතුමාගේ කියලා නිගමනය කරන භෂ්මාවශේෂ හොයාගන්න පුලුවන් වුණු එක.

මේ භෂ්මාවශේෂ ඒ සොයාගත් අවුරුද්දේදී ප්‍රදර්ශනය කළා කියලා පත්තරේක තිබුණත් ඊට පස්සේ ඒවාට මොකද වුණේ කියලා පත්තරේ තිබ්බද කියලා මතක් කරන්න හැදුවට මතක් වුණේ නැහැ.

මේ ලිපිය blog එකේ පළ කරලා ටික දවසකට පස්සේ කැම්පස් එකේදී අපේ History Department එකේ Senior batch එකක අක්කා කෙනෙක් කිව්වා මේ දවස්වල ජාතික කෞතුකාගාරයේ දුටුගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ ප්‍රදර්ශනය කරනවා.

දුටුගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ ප්‍රදර්ශනය විවෘත කරපු ජනාධිපතිතුමා

ඉතින් මට සතුටුයි ඒ ගැන එහෙම ප්‍රදර්ශනයක් ගැන දන්නේ නැතිව වුණත් ලියපු එක ගැන. සඳුදා දිහාට ඒ පැත්තේ යන්නත් කියලා හිතාගෙන ඉන්නේ භෂ්මාවශේෂ දැකබලා ගෙන එන්න. 31 වෙනකම් ඒ ප්‍රදර්ශනේ කරනවා කියලා තමා ආරංචි.

ඔන්න මේක තමා e-අටුවාවේ advertisment එක :))

ඉතින් පුලුවන්කමක්, වෙලාවක් තියෙනවා නම් e- අටුවාව පැත්තෙත් ගොඩවෙලා අදහසක් දක්වලා යන්න.

e-අටුවාවේ නවතම ලිපි ගැන දැනුවත් වෙන්න එකතු වෙන්න e-අටුවාව මුහුණු පොතේ සමූහයට

Thursday, May 19, 2011

දිලුම් හෙවත් ඉලංදාරියා


ඉලංදාරියාගේ නිහඬ ලොව බිඳින්න සිව් දෙසින් ඇදෙන සයිබරයේ මිතුරු රළ පෙළට ඔබත් එක්වන්න.

කියන මේ බැනරය කාලයක් ඒ වගේම තාමත් අපේ බ්ලොග්වල ඉහළින්ම තියෙන එකක්. ඒ සිංහල බ්ලොග් අවකාශදී ගොඩනැඟුණු සහෝදරකමක් වෙනුවෙන්, ඔක්කෝටම වඩා මනුස්සකම වෙනුවෙන් අපි හැමෝම කරපු දෙයක්.

මේ අවුරුද්දේ ජනවාරි 26 වෙනිදා දිලුම් එහෙමත් නැතිනම් අපි හැමෝම දන්න ඉලංදාරියා නිහඬ ලොව බිඳින්න post එකෙන් එයාගේ ප්‍රශ්නේ ගැන සයිබර අවකාශෙටම කිව්වට පස්සේ හැමෝම දිලුම්ට උදව් කරන්න එකා වගේ පෙළ ගැහුණා.

මම දන්න විදිහට ticket එකක් මුද්‍රණය වුණා, ඒ වගේම මැද පෙරදිග ඉන්න බ්ලොග් සහෘදයන් පැදුරු සාජ්ජ්යක් පැවැත්වුවා, ඒ ඔක්කොමත් එක්කම මටත් සහභාගි වෙන්න ලැබුණු සයිබරයේ සිහින බක් මහ උළෙලේ ආදායමත් සම්පූර්ණයෙන්ම වෙන කළේ ඉලංදාරියාගේ සැත්කම වෙනුවෙන්.


සයිබරයේ සිහින බක් මහ උළෙලේදී ඉලංදාරියා [ඡායාරූප ප්‍රවීන් ඉන්ද්‍රනාම සොයුරාගෙන්]

සිහින බක් මහ උළෙලෙදී කවුරුදෝ පෙන්නුවා වගේ මතකයි "අර ඉන්නේ දිලුම්, ඉලංදාරියා බ්ලොග් එක ලියන" කියලා. ඒත් ඉලංදාරියා එක්ක මට කතා කරන්න නම් වුණේ නැහැ.

ඊට පස්සේ සැත්කමට කරන්න දිලුම් රෝහල ගතවෙන්න ඉන්න බව අප්‍රේල් 4 වෙනිදා දිලුම් ලියපු තවත් එක කඩ ඉමක් කියන post එකෙන් දැනගන්න හම්බුණා. ඊට පස්සේ පහුගිය දවසක සිංහල යුනිකෝඩ් සමූහයේ ලිපියකින් දිලුම් තාමත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා කියන එක දැනගන්න හම්බුණා.

අද උදේ facebook එකට log වුණාම දැනගන්න ලැබුණේ දිලුම් අපි අතරින් සමුගත්තා කියලා. ඒ ගමන් මට මතක් වුණේ පහුගිය අවුරුද්දේ ජූලි 25 වෙනිදා මේ විදිහට අපෙන් සමුගත්තු සහෘද බ්ලොග්කරුවෙක් වුණු තම තම නැණ පමණින් බ්ලොග් එක ලියූ කුමුදු ලාල් පින්තු මහත්මයාව.

කුමුදු ලාල් පින්තු මහතා

ඒ ගමන් මතක් වුනා ශ්‍රීමත් හෙන්රි රයිඩර් හැගාඩ් ලියපු ඇලන් ක්වාටර්මේන්ගේ කතා එකතුවෙන් අවසන් කෘතියේ ඇලන් කවාටර්මෙන් තමන්ගේ අවසන් මොහොතේදී තමන් එක්ක ගවේෂණ චාරිකාවල යෙදුණු මිතුරන් වුණු ශ්‍රීමත් හෙන්රි කර්ටිස්ගෙන් හා කපිතාන් ජෝන් ගුඩ්ගෙන් සමුගත්තු හැටි.

ඇලන් කවාටර්මෙන් ඒ මොහොතෙදී තමන්ගේ මිතුරන්ට කියනවා.

"මං මේ සැරේ යන්නේ අපි හවුලේ ගිය ඒවාට වඩා විශ්මයජනක චාරිකාවක්. මා ගැනත් මතක තියාගන්න. ඔබ හැමදෙනාටම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා" කියලා.


ඉතින්
සයිබර් අවකාශයේ අපිත් එක්ක එකට ගමන් කරපු, කතාබහ කරපු, හිතවත් වුණු දිළුම් ගැනත් මට හිතු
ණේ එහෙමමයි. ඔයාවත් අපිට මතක තියේවි......................
ඔබට ප්‍රීතිමත් චාරිකාවක් ඉලංදාරියා........

ප.ලි.: මේ ගීතය කොහොම ගැළපෙයිද මන්දා. ඒත් අහලා බලන්න. Asoka එකේ තියෙන හුඟාක් හැඟීම්බර සංගීතයක්......................


Tuesday, May 17, 2011

වෙසක් පෝය market වීම

"2600 වෙනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසෙමු" මේ දවස්වල උදේ ඉදන් හවස් වෙනකම් TV එකේ Radio එකේ වගේම පත්තරවලිනුත් මිනිස්සුන්ට කට පාඩම් වෙන තරමටම දානවා.

මුලින්ම මම කතා කරන්න යන්නේ මොකක්ද මේ සම්බුද්ධත්ව ජයන්තිය කියන්නේ කියලා. මොකද මට කීප දෙනෙක්වම හම්බුණා සම්බුද්ධ ජයන්තියයි සම්බුද්ධත්ව ජයන්තියයි දෙකම එකක් කියලා හිතන.


මුලින්ම සම්බුද්ධ ජයන්තිය ගැන කතා කළොත් මේ 2555 වෙනි සම්බුද්ධ ජයන්තිය එහෙමත් නැත්නම් ශ්‍රී බුද්ධ වර්ෂ 2555. මේ 2555 ගණන් ගැනෙන්නේ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමේ ඉදන්. ඒ කියන්නේ තවත් තේරෙන විදිහට කිව්වොත් මේ වෙසක් පෝයට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2555 වෙනවා.


එතකොට මොකක්ද මේ සම්බුද්ධත්ව ජයන්තිය කියන්නේ. මේ වසරේ සමරන්නේ 2600 වෙනි සම්බුද්ධත්ව ජයන්තිය. මේ 2600 ගණන් ගැනෙන්නේ බෝසතාණන් වහන්සේගේ බුද්ධත්වයේ ඉදන්. මේ වෙද්දී බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා අවුරුදු 2600 ක් වෙනවා.

එතකොට මේ වෙන්නේ සංඛ්‍යා ගුණාකාරයක් පදනම් කරගෙන බුදුරජාණන් වහන්සේව සිහිපත් කිරීමක්. ඒත් මේ කාර්යය කොච්චර ඵලදායකද වැඩදායකද කියන එක මට ලොකු ගැටළුවක්. විශේෂයෙන්ම බෞද්ධයෝ විදිහට අපි හුඟාක් වෙලාවට බුදුරජාණන් වහන්සේව සිහිපත් කරන්නේ, ඒ වගේම කටයුතු කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරවලට වඩා හාත්පසින්ම වෙනස් විදිවලට. ඒ කරුණු එකින් එක විමසලා බලමු.

බුදුරජාණන් වහන්සේ කියන්නේ නිශ්ශබ්දතාවය අතිශයින්ම අගය කරපු උත්තරීතර ශාස්තෲවරයෙක්. ඒ වගේම උන් වහන්සේගේ මග අනුගමනය කළ ඒ කාලේ වැඩ සිටිය ශ්‍රාවකයන් වහන්සේලා නිහඬතාවය අගය කරපු හැටි ඒ අනුව කටයුතු කරපු හැටි ගැන ඕන තරම් උදාහරණ තියෙනවා.


උදාහරණයක් විදිහට බුදුරදුන්ගේ අග්‍ර උපස්ථායක විදිහට කටයුතු කරපු ආනන්ද තෙරණුවන් තවත් භික්ෂූන් වහන්සේලා පිරිසක් එක්ක දේවකටසොබ්භ ස්ථානයට වැඩම කරපු වෙලාවේ එතැන සිටිය සන්දක කියන පිරිවැජියා තමන්ගේ පිරිසට මෙහෙම කිව්වාලු

"කෑ ගහන්න එපා, ශබ්ද කරන්න එපා. ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකයකු වූ ආනන්ද තෙරණුවන් එනවා. ඒ තෙරවරු නිහඬ බව, ශාන්ත බව ප්‍රිය කරනවා. ඒ නිසා හැම කෙනෙක්ම නිශ්ශබ්දව ශාන්තව සිටිය යුතුයි" කියලා.

ඒ වගේම බුදුරදුන් ඇතුළු මහා සංඝ රත්නයේ උපශාන්තව බව, ඉඳුරන් දමනය ගැන පැහැදුණු ඛෙණිය කියන ප්‍රසිද්ධ ජටිලයා බුදුපාමොක් මහ සඟනට දන් පිරි නැමුවා කියලා සුත්ත සේල නිපාත සූත්‍රයේ දැක්වෙනවා.

ඉතින් ඒ විදිහට නිශ්ශබ්දතාවය ප්‍රිය කරපු ශාස්තෲවරයාව සිහිපත් කරලා අපි කරන වෙසක් සැමරීම්වලදී අපි කරන්නේ විශාල ඝෝෂාවක්. දන්සලක් හරි පහන් කූඩුවක් හරි තොරණක් හරි ගත්තොත් එතන තියෙන්නේම මහා ඝෝෂාවක් නේද ????

ඒ වගේම බුදු හාමුදුරුවෝ තරම් පරිසර හිතකාමී විදිහට කටයුතු කරපු වෙන ශාස්තෲවරයෙක් නැතුව ඇති. බුදු සිරිතේ ප්‍රධාන සිදුවීම් වෙන ඉපදීම, බුදුවීම, මංගල දම් දෙසුම පැවැත්වීම, පිරිනිවන් පෑම වගේ සිදුවීම් සිදුවුණේ උයන්වල එහෙමත් නැතිනම් ගස් කොළන් පිරිලා තිබුණු වටපිටාවක.

ඒ වගේම උන් වහන්සේ වාසය කළෙත් වේළුවනාරාමය, ජේතවනාරාමය වගේ උයන්වල පිහිටවලා තිබුණු ආරාමවල. තම්න්ගේ දේශනාවල උපමාවලටත් උන් වහන්සේ පරිසරය හුඟාක් වෙලාවට යොදා ගත්තා.


ඒත් වර්තමානයේ උන් වහන්සේ සිහිපත් කරලා කරන යම් යම් කටයුතුවලින් වෙන පාරිසරික විනාශය ගැන ඇත්තටම මට කණගාටුයි. තොරණ් ඉදිකරන්නම කොච්චර නම් පුවක් ගස් කපලා දානවා ඇද්ද ??? වෙසක් කාලයක් ඉවර වුණාට පස්සේ කොච්චර නම් කුණු කසළ ගොඩක් පරිසරයට එක් වෙනවද ???

දන්සල් හරි තොරණ් හරි පහන් කූඩුවක් තියෙන තැනක් හරි ගත්තොත් හුඟාක් වෙලාවට වෙන්නේ මහා විශාල ඝෝෂාවක් එතන ඇති කරන එක. ඒ වගේම අන්තිමට හොඳ මත්පැන් ජාතියකින් සප්පායම් වෙන එක. දන්සල් වගේ ඒවායේ නම් ගැටුම් ඇතිවෙන්නත් ඒක මුල් වෙනවා.

දන්සල්වල වෙන තව දෙයක් තමා දන්සල කරලා ඉවර වෙලා හොඳ බයිලා සිංදු ටික දාගෙන පැත්තම දෙවනත් වෙන්න dance කරන එක. එහෙම බලද්දී දන්සලෙන් වෙලා තියෙන්නේ හුඟාක්ම ආතල් ගැනිල්ලක් තමා.


ඒ වගේම පහන් කූඩුවක් හරි තොරණක් හරි ගත්තොත් ඒකෙන් ජාතක කථාවක් හරි බුදුරදුන් සම්බන්ධ වෙනත් කතාවක් ගැන කියවුණත් හුඟාක් දෙනා ඒවා බලනවාට වඩා අහනවාට වඩා වෙන අරමුණුවලට තමා මේවාට එන්නේ. තේරෙන්නම කිව්වොත් තොරණ කතා වස්තුව බලනවාට වඩා තොරණ බලන්න එන වස්තු බලන්න තමා හුඟාක් අය යන්නේ......

මේ වගේ අවස්ථාවලදී තවත් පිරිසක් කරන්නේ සිල් සමාදන් වෙන එක. වෙසක්, පොසොන් වගේ විශේෂ පෝයක් හරි සම්බුද්ධත්ව ජයන්තිය වගේ එකක් මුල් කරගෙන මෙහෙම සිල් ගත්තත් ඒකෙන් අපේක්ෂිත ප්‍රතිඵලයක් ලැබෙනවාද කියන එක සැකයි.

එක් දිනයකට විතරක් මේ විදිහට සිල් සමාදන් වෙලා අනිත් දවස්වල සුපුරුදු විදිහට කටයුතු කරනවා කියන්නේ අවුරුද්දේ එක දවසක් විතරක් නාලා අනිත් දවස් ටිකේ මඩේ ඉන්නවා වගේ වැඩක් ඒක තව පැත්තකින් අගය කිරීමක් කරන්නේ එක දවසකට හරි එහෙම කරන්න පුලුවන් වුණානේ කීයලා. අනේ මන්දා ඒක නම්................

පන්සලේ ධර්ම ශාලාවේ බොහෝ දෙනෙක් එක්ක හිරවෙලා පොඩිවෙලා සමාදන් වෙන ආරක්ෂා කරන අෂ්ඨාංග සීලයක් ගැනත් හිතන්න නම් අමාරුයි.


මේ වගේ ඒවා දැක්කම මට හිතෙන්නේ සිල් ගන්න එකත් දැන් trend එකක් එහෙමත් නැත්නම් විලාසිතාවක් වෙලාදෝ කියලා

හුඟාක් පන්සල්වලින් වුණත් සිද්ධ වෙන්නේ මිනිස් සිත් නිවාලන වැඩ නෙමෙයි. අනිත් පන්සලට වඩා හොඳ තමන්ගේ පන්සලේ වෙසක් පින්කම් කරන්න ඕනේ. වැඩි වැඩියෙන් පන්සල අලංකාර කරන්න ඕනේ, වැඩි වැඩියෙන් කොඩි දාන්න ඕනේ, මිනිස්සු වැඩියෙන් පන්සලට ගෙන්න ගන්න ඕනේ වගේ වැඩ.

වෙළෙන්දෝ වුණත් වෙසක් පොසොන් කියන්නේ තමන්ගේ ආදායම් මාර්ග තර කරගන්න හොඳ ඉල්ලමක් කියලා හිතලා වෙසක් කූඩු, වෙසක් කාඩ්, ආදිය විකුණලා හොඳ ගාණක් හම්බ කරගන්නවා. රූපවාහිනි, රේඩියෝ ආයතනවල අයත් වෙළෙඳ දැන්වීම් ආදියෙන් උත්සාහ කරන්නෙත් ගාණක් උපයගන්න. ඒක නිසයි මට හිතුණේ වෙසක් පෝයත් වාණිජකරණය වෙලා කියලා.

මේ විදිහට කටයුතු කරලා වෙසක් පොහොය එහෙමත් නැත්නම් මේ වසරේ තියෙන 2600 වෙනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය ඉවර වුණාට පස්සේ අපි ඇත්තටම මොකද කළේ කියලා හිතලා බලන්න වෙනවා.

2600 වෙනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසෙමු කියන වාක්‍යයේ පිළිවෙතින් කියන කොටස ඇරෙන්න අනික් ටික වෙලා තියෙනවා කියලා හිතේවි. පහන් කූඩු හදන්න, තොරණ් හදන්න, දන්සල් දෙන්න පෙළ ගැසිලා හිටියත් පිළිවෙතින් පෙළ ගැසීමක් වුනාද කියන එක තම තමන්ගේ හදවතට තට්ටු කරලා අහන්න.

කලින් දක්වපු විදිහට කරන ආමිෂ පූජා බුදු හාමුදුරුවෝ බැහැර කළේ නැහැ. ඒත් උන් වහන්සේ වැඩියෙන්ම අගය කළේ ප්‍රතිපත්ති පූජාව. ඒ කොහොම වුණත් ආමිෂ පූජාවකින් වුණත් අපේක්ෂා කරන්නේ බුද්ධ, ධම්ම, සංඝ කියන තුනුරුවනේ ගුණ සිහිපත් කරලා කටයුතු කරන එක.

ඒත් මේ දවස්වල වෙන පහන් කූඩු, තොරණ්, දන්සල් වගේ කටයුතු වෙන්නේ ඒ ගුණයන්ට උපහාර විදිහට ඒත් නැත්නම් වෙන අරමුණුවලටද කියන එක විමසලා බලන්න ඕන දෙයක්


බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න ආසන්න වෙලා උපවත්තන සල් උයනේ සකස් කරපු යහනක සැතපිලා ඉදිද්දී බොහෝ දෙනා මල් සුවඳ දුම් ආදියෙන් උන් වහන්සේට පූජා පැවැත්වුවා. ඒ අවස්ථාවේදී ධම්මාරාම කියන භික්ෂූන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන කලින් රහත්වීමේ අපේක්ෂාවෙන් භාවනා කරන්න පටන්න ගත්තා.

ඒ බව බුදුරදුන්ට දැනුම් දුන්නාම උන් වහන්සේ වදාළේ නොයෙක් නොයෙක් ආමිෂ පූජාවන්වලින් තමන් වහන්සේ පුදනවාට වඩා ධම්මාරාම භික්ෂුව සිදු කරන ප්‍රතිපත්ති පූජාවෙන් තමා පිදීම වඩා උතුම් කියලා.

බුදුරදුන් වදාළ තවත් ප්‍රසිද්ධ කරුණක් වෙන්නේ "යෝ ධම්ම පස්සති - වො මං පස්සති....." ආදී ලෙස දක්වපු ධර්මය දකින්නා බුදුන් දකී, බුදුන් දකින්නා ධර්මය දකී ප්‍රකාශය තවත් සැළකිල්ලට ගත යුත්තක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කරුණු අනුව කටයුතු කරන එක තමා පිළිවෙතින් පෙළ ගැසීමට අදාළ වෙන්නේ.

අවම වශයෙන් මේ සම්බුද්ධත්ව ජයන්තියේ ඉදලාවත් පංචශීලය ආරක්ෂා කරන්න පටන් ගන්නවා නම් පිළිවෙතින් පෙළ ගැසීමක් විදිහට ගන්න පුලුවන්.

බුදු දහම කියන එක පරම්පරාවෙන් එන වටිනා මැණිකක් පෙට්ටගමක දාලා ආරක්ෂා කරන විදිහටයි හුඟාක් අය පරිස්සම් කරන්නේ එහෙමත් නැත්නම් උප්පැන්න සහතිකේ ආගම බුද්ධාගම කියන එකට විතරයි හුඟාක් අය සීමාවෙලා තියෙන්නේ. ඒකෙන් මිදෙන්න මේ සම්බුද්ධත්ව ජයන්තියේ ඉදලාවත් උත්සාහ කරමු.

බුදුරජාණන් වහන්සේව සිහිපත් කරලා උන්වහන්සේට කරන හොඳම ගෞරවය එහෙමත් නැත්නම් පූජාව වෙන්නේ ඒක. ඒක කරන්න තව කල් දාන එක මෝඩකමක්. ලෝ වැඩ සඟරාවේ 28 වෙනි කවිය ඒකට උදාහරණයක්.

අද අද එයි මරු පින් කර ගන්නේ
කෙලෙසද සෙට මරු නේති සිතන්නේ
කි කලද මහසෙන් මරු ඇප වන්නේ
කුමටද කුසලට කම්මැලි වන්නේ

මේ ඔක්කොම මේ දවස් ටිකේ වටපිටාවේ වෙන දේවල් එක්කම මට හිතුණු දේවල්. කොහොම වුණත් ඔයාලත් හිතලා බලන්න. 2600 වෙනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියේ ඉදන්වත් මේ ගැන ටිකක් හිතලා බලන්න.

කොහොම වුණත් මේ විදිහට කටයුතු කරන්න සම්බුද්ධත්ව ජයන්තියක්වත් වෙසක් පොහොයක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඕනේ වෙන්නේ අපි ඒ මොහොතේ ඉදන් හරි ක්‍රියාත්මක වීම.

කාලෝ අයං තේ..........

කියවන්න තවත් අපේ බ්ලොග් සහෘදයෙක් ලියපු බුද්ධ ජයන්තිය හා tc bs පරපුර post එක, W3 Lanka blog එකෙත් මේ ගැන හොඳ post එකක් තිබුණා. කියවන්න ඒකත් ආගම යනු උත්සව පවත්වන්නන්ට නිමිති සපයන දෙයකි.

බුදු දහම ගැන මම මීට කලින් ලියපු posts
කියවන්න කැමති නම්............

2600 වෙනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය ගැන තව විස්තර :

http://sambuddhatvajayanthi.com/

http://www.buddhistcc.net/building_complex.asp