Wednesday, June 27, 2012

තවමත් සුරක්ෂිතව පවතින මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ශ්‍රී දේහය

 මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ

බුදු හාමුදුරුවන්ට රූපයෙන් බොහෝ දුරට සමාන වුණු රහතන් වහන්සේ නමක් ගැන කතාව හුඟක් වෙලාවට ඔයාලා අහලා ඇති. ඒ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. මගධ රාජ්‍යයේ මහාතීර්ථ බමුණු ගමේ කෝසියගොත්ත බමුණාට සහ සුමනාදේවී බැමිණියට දාව ඉපදුණු පිප්ඵලී කියන බමුණු කුමාරයා තමා පසුකාලීනව බුදුන් සරණ ගිහින් මහා කාශ්‍යප නමින් ප්‍රකට වුණේ.

ධූතාංගධාරී භික්ෂූන්ගෙන් අග්‍රස්ථානය වගේම බුදුන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර අගසව් දෙනමම පිරිනිවන් පාලා හිටිය නිසා තෘතීය ශ්‍රාවකයා විදිහටත් කටයුතු කළේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ.
බුදුන් වහන්සේ නමකට පිහිටන දෙතිස් මහා පුරුෂ ලක්ෂණවලින් හතක් මහා කාශ්‍යප හාමුදුරුවන්ටත් පිහිටලා තිබුණා වගේම රූපයෙනුත් බොහෝ දුරට උන්වහන්සේ බුදුන් වහන්සේට සමාන වුණා. ඒත් උන්වහන්සේ බුදුන් වහන්සේට වඩා අඟල් 4 කින් උස අඩුයි. කෙසේ නමුත් එක්වරම දෙදෙනා වහන්සේලාව හඳුනාගන්න නොහැකි නිසා නොයෙක් ගැටලු ඇතිවුණා.

එක කතාවක් තමා හැමදාම මහා කාශ්‍යප හාමුදුරුවෝ පිඬු සිඟා වඩිද්දී බත් හැන්දක් පුදන කාන්තාවන් බුදුන් වහන්සේ එතනින් වඩිද්දී මහා කාශ්‍යප හාමුදුරුවෝ කියලා හිතාගෙන බත් හැන්ද පූජා කළත් පස්සේ මහා කාශ්‍යප හාමුදුරුවෝ එතනට වැඩිය නිසා දුවගෙන ගිහින් බුදුන් වහන්සේට පුදපු බත් හැන්ද පාත්‍රයට අත දාලා අරගෙන මහා කාශ්‍යප හාමුදුරුවන්ට පූජා කරපු එක

මේ විදිහට තමන් නිසා බුදුන් වහන්සේ අපහසුතාවලට ලක්වෙන නිසා මහා කාශ්‍යප හාමුදුරුවෝ බුදු හාමුදුරුවන්ගෙන් අවසර අරගෙන බුදුන් වහන්සේ පිරිනිවන් පාන තෙක්ම හිමාලයේ වැඩ වාසය කරනවා.

බුදුන් වහන්සේ පිරිනිවන් පාපු බව උන්වහන්සේ දැනගන්න හරි අපූරු විදිහකට මොකද ඒ කාලේ අද කාලේ වගේ ටෙලිග්‍රෑම්, ටෙලිෆෝන් තිබ්බ එකක්යැ. ඒ විදිහ බුදුන් වහන්සේ පිරිනිවන් පාපු දවසට තමන් වහන්සේ වැඩ සිටින ගල් ලෙන ඉස්සරහ තියෙන ගහේ මල් සියල්ලම පරවෙලා බිමට වැටේවා කියලා අධිෂ්ඨාන කරපු එක. 

බුදුන් වහන්සේ පිරිනිවන් පෑමත් එක්කම ගහේ මල් සියල්ලම පරවෙලා බිමට වැටුණා. කාරණේ තේරුම් ගත්ත මහා කාශ්‍යප හාමුදුරුවෝ තමන් වහන්සේ එක්ක හිටිය හාමුදුරුවරුන් එක්ක කුසිනාරා නුවර බලා වඩිනවා. 

 සම්බුද්ධ පරිනිර්වාණය

මේ වෙද්දී බුදුන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරන්න මල්ල රජවරුන් සූදානම් වුණත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඒකට හේතුව හොයලා බලද්දී දිවැස්ලාභී භික්ෂූන්ගෙන් අග්‍රස්ථානය ලබපු අනුරුද්ධ මහ රහතන් වහන්සේ කියනවා මහා කාශ්‍යප හාමුදුරුවෝ මෙතනට වැඩම කරලා බුදුන් වහන්සේගේ සිරි පතුල් වන්දනා කරනකම් ගිනි නොඅවුලවන්නයි දෙවියෝ අපේක්ෂා කරගෙන ඉන්නේ කියලා. 

අවසානයේ මහා කාශ්‍යප හාමුදුරුවෝ එතනට වැඩම කරලා බුදුන් වහන්සේගේ සිරි පතුල් වන්දනා කිරීමත් එක්කම ඉබේම චිතකයට ගිනි දැල්වෙනවා.

මහා කාශ්‍යප හාමුදුරුවන්ගෙන් ඉටුවුණු සුවිශේෂී මෙහෙය විදිහට දක්වන්න පුලූවන් වෙන්නේ මගධයේ පාලක අජාසත් රජතුමාගේ අනුග්‍රහයෙන් වේභාර පර්වතය පාමුළ සප්තපර්ණී ගල් ගුහාවේ පළමු ධර්ම සංගායනාව පැවැත්වීම. 

තැන් තැන්වල විසිරිලා තිබුණු ධර්ම කොටස් එකතු කරලා ඒවා සංගායනා කරලා නිකාය 5 කට බෙදලා භික්ෂු පරම්පරාවන්ට ඒ ධර්ම කොටස් කටපාඩමින් ඉදිරියට පවත්වා ගෙන යන්න කටයුතු සිදුවුණේ මේ ධර්ම සංගායනාව නිසා. ඒ නිසාමයි මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ සුවිශේෂී මෙහෙය විදිහට ඒක සඳහන් කළේ.   

 අජාසත් රජතුමා

ඒ වගේමයි සර්වඥ ධාතු කොටස් රාජ්‍යයන් 8 කට ඒ වෙද්දී බෙදලා තිබුණත් අනාගතයේ ඒ ධාතූන් වහන්සේලාට මිසදිටුවන්ගෙන් වෙන්න පුලූවන් අනතුරු ගැන වටහා ගත්තු මහා කාශ්‍යප හාමුදුරුවෝ රාම ග්‍රාමයේ සර්වඥ ධාතූන් හැරෙන්න අනෙක් රාජ්‍යය 7 සර්වඥ ධාතූන් වහන්සේලා එකතු කරලා අජාසත් රජතුමාගේ මෙහෙයවීමෙන් විශේෂ ආරක්ෂක උපක්‍රම සහිතව ස්ථූපයක තැන්පත් කරනවා. 

පස්සේ කාලේ අශෝක රජතුමා තමන්ට අවශ්‍ය ධාතූන් වහන්සේලා ලබාගන්නේ මේ ස්ථූපයෙන්. රාම ග්‍රාමයේ ධාතුන් වහන්සේලා නාග ලෝකයට ලැබිලා පසුව ඒ සර්වඥ ධාතු ද්‍රෝණය රුවන්මැලි සෑයේ තැන්පත් කරන්න දුටුගැමුණු රජතුමා ගෙන්වා ගන්නවා.

කතාවෙන් කතාවෙන් අද කියන්න ආපු කතාව ප්‍රමාද වුණා. කලින් කියලා තියෙන කතාවල තව විස්තර තියෙනවා. ගැටලු සහිත තැන මතු වෙද්දී ඒවාත් කියන්නම්.

අවුරුදු 120 ක කාලයක් වැඩවාසය කරපු මහා කාශ්‍යප හාමුදුරුවෝ එක දවසක් තමන් වහන්සේගේ ආයුෂ බලද්දී ආයුෂ අවසන් බව දැකලා තමන් වහන්සේ හෙට දිනයේ කුක්කුට සම්පාත පර්වතයේදී පිරිනිවන් පානවා කියලා තීරණය කරලා ඒ බව අනෙක් හාමුදුරුවරුන්ටත් දැනුම් දෙනවා. බොහෝ භික්ෂූන් වහන්සේලා ඒ බව අහලා කම්පා වෙනවා. 

පස්සේ මහා කාශ්‍යප හාමුදුරුවෝ පිඬු සිඟා වැඩලා දානය අරගෙන තමන් පිරිනිවන් පාන වග අජාසත් රජතුමාට දැනුම් දෙන්න මාළිගාවට වඩිනවා. රජතුමා ඒ වෙද්දී දිවා ආහාරය අරගෙන නිදාගෙන ඉන්නේ. රාජ පුරුෂයන්ට තමන් වහන්සේ අද සවසට කුක්කුට සම්පාත පර්වත භූමියේ පිරිනිවන් පාන වග දැනුම් දීලා නැවත විහාරයට වඩින මහා කාශ්‍යප හාමුදුරුවෝ විහාරය අතු පතු ගාලා වතාවත් කරනවා. 

 කුක්කුට සම්පාත පර්වත

අවසානයේදී කුක්කුට සම්පාත පර්වත භූමියට වඩින මහා කාශ්‍යප හාමුදුරුවෝ සෘද්ධි ප්‍රාතිහාර්යය පාලා රැස්වෙලා හිටිය පිරිසට අවවාද ලබාදීලා කුක්කුට සම්පාත පර්වත තුන මැද පිරිනිවන් පාන්න අදහස් කරද්දී දෙවියෝ එතැන ඇඳක් අතුරලා ඒ ඇඳේ පාද 4 ගාව මල් පුරවපු පුන් කලස් සහ පහන් තබනවා. 

එතනට වැඩම කරන මහා කාශ්‍යප හාමුදුරුවෝ සමාපත්තියට සම වැදිලා මෙන්න මෙහෙම අධිෂ්ඨානයක් කරනවා.

මම පිරිනිවන් පෑ කල්හි මගේ සිරුරට අනතුරක් නොවන විදිහට මේ පර්වත තුන එකට එක්වේවා. මා වටා තිබෙන සුවඳ මල් පර නොවේවා. දල්වා ඇති පහන් නොනිවේවා. අනාගතයේ ලොව පහළ වන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ තම පිරිස් සමඟ මෙතනට වැඩම කර මගේ සිරුර දකුණ අත්ලේ තබාගෙන භික්ෂු සංඝයා ඇතුලූ දෙව් මිනිසුන්ට සිරුර පෙන්වමින්

"පින්වත්නි මේ තෙරුන් වහන්සේ ගැන ඔබ දන්නවාද මේ මාගේ දෙටු සොයුරා වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ මහා කාශ්‍යප නම් මහා ශ්‍රාවකයායි. ධූතාංගධාරී භික්ෂූන් අතර අගතැන්පත් වෙමින් පිරිනිවන් පාන තෙක්ම ධූතාංග රකිමින් මේ භික්ෂුව කටයුතු කළේය" 

ආදී වශයෙන් මහ පොළොව කුඩා කර මගේ ගුණ මහත් කොට දේශනා කරන සේක්වා. එවිට උන්වහන්සේගේ හස්තයේදීම මගේ මේ සිරුර ගිනිගෙන දැවේවා.

එසේම මා පිරිනිවන් පෑ බව අසා මා වන්දනා කිරීමට මෙහි පැමිණෙන අජාසත් රජතුමාට මේ පර්වත තුන විවෘත වේවා. රජතුමා වන්දනා කර අවසන් වූ පසු පර්වත තුන තිබූ පරිදිම එකට එක්වේවා 

කියලා අධිෂ්ඨාන කරපු මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පිරිනිවන් පානවා.

අජාසත් රජතුමා මේ බව දැනගත් වහාම මහා කාශ්‍යප හාමුදුරුවන් ගැන රජතුමාට තියෙන අසීමිත ගෞරවය නිසා රජතුමාට විපතක් වෙයි කියලා හිතන ඇමතිවරු වෛද්‍යවරුන්ට කියලා උක් යුෂ, කිරි, දී මණ්ඩි, ගිතෙල්, ගඳ කලල්, මැටි කලල් සහ සීතල ජලය තියෙන ඔරු 7 ක සකස් කරනවා. 

 පස්සේ රජතුමාට මහා කාශ්‍යප හාමුදුරුවෝ පිරිනිවන් පාපු බව දැනුම් දීමත් එක්කම රජතුමාට සිහිය නැතිවෙනවා. ඇමතිවරු රජතුමා උක් යුෂ ඔරුවට දාලා පස්සේ කිරි ඔරුවට දාද්දී රජතුමාට සිහිය එනවා. නැවතත් මේ පුවත ඇමතිවරුන්ගෙන් ප්‍රශ්න කළාම සිහිපත් වුණාම රජතුමාට ආයි සිහිය නැතිවෙනවා. ඇමතිවරු රජතුමාව අනෙක් ඔරුවලටත් පිළිවෙලින් දාපුවාම රජතුමාට සිහිය එනවා. 

අන්තිමට රජතුමා කුක්කුට සම්පාත පර්වත භූමියට ගියාම මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ අධිෂ්ඨානයේ විදිහට පර්වත 3 විවර වෙනවා. බොහෝ කම්පා වෙන රජතුමා මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ දේහයට දින 7 ක් පූජා පවත්වලා අවසන් වීමත් එක්කම නැවතත් පර්වත 3 එකතු වෙනවා.

ඉතින් මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ දේහය විනාශ නොවී මතු බුදුවන මෛත්‍රී බුදුන්ගේ කාලය තෙක්ම පවතිනවා. මේ කතාව ඇතුළත් වෙන්නේ සම්පිණ්ඩිත මහා නිදානය කියන පාළි ග්‍රන්ථයේ මහාකස්සපථෙර පරිනිබ්බාන කතා කොටසේ. 

කුක්කුට පාදගිරිය ඈතට දිස්වෙන අයුරු

වර්තමානයේ මේ කුක්කුටසම්පාත පර්වතය හඳුන්වන්නේ ගුරුපාදගිරි/ කුක්කුට පාදගිරි නමින්. ඒක බුද්ධගයාවේ ඉදන් කිලෝ මීටර් 33 ඈතින් තියෙන ගුරුපා තියන ගමේ තමා පිහිටලා තියෙන්නේ. මේ පර්වතය මුදුනේ භික්ෂූන් වහන්සේලා වැඩ සිටිය බවටත් නොයෙකුත් සාදක එහෙමත් හම්බවෙලා තියෙනවා. 

කුක්කුට පාදගිරියේ තිබෙන මහා කාශ්‍යප විහාරය

සුවිශේෂි කරුණක් තමා මේ පර්වතය මුදුනේ මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ පිළිමයක් තැන්පත් කරපු කුඩා විහාරයක් තිබෙන එක.
ප.ලි.: මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ දළදාවක් ශ්‍රී ලංකාවේ බෙන්තර ගලපාත රාජ මහා විහාර ස්ථූපයේ තැන්පත් කරලා තිබෙනවා. 

 බෙන්තර ගලපාත විහාර ස්ථූපය

දුටුගැමුණු, සද්ධාතිස්ස, මහා පරාක්‍රමබාහු, නිශ්ශංක මල්ල, දෙවැනි පරාක්‍රමබාහු වගේ රජවරු මේ විහාරයට අනුග්‍රය කළා වගේම මහා කාශ්‍යප දළදාවට පුද පූජා එහෙමත් පවත්වලා තියෙනවා.

මේ ලිපිය ලියන්න කරුණු වගේම ඡායාරූප සපයා ගත්තේ ගයාන් චානුක විදානපතිරණ විසින් රචනා කරපු මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කෘතියෙන්. ඔහුටත් පින් සිදුවේවා

Sunday, June 24, 2012

රජතුමාට දඩ ගැසූ උඩරට රාජ සභාව - ඉතිහාසයේ අප්‍රකට කතා 08

 ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සහ රදළ නායකයන්

මේ ලිපිය මීට කලින් ලියවුණු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා පාවා දුන් අයට සාපයක් වැදුනාද කියන ලිපියට සම්බන්ධයක් තියෙන නිසා කලින් ලිපිය කියවන්න බැරි වුණා නම් ඒ ලිපිය වගේම ඒ ලිපියට එක්වුණු විවිධ අදහස් ටිකත් කියවලා ආවා නම් මේ ලිපියෙන් කියන්න යන දේ වඩාත් හොඳින් වැටහේවි.

කන්ද උඩරට රාජධානිය ගැන කරුණු එකතු කරලා A Sketch of The Constituton of The Kandyan Kingdom කෘතිය ලියපු ජෝන් ඩොයිලි කෘතියේ ආරම්භ කරන්නේ මේ විදිහට.  

"The power of the king is supreme and absolute. The ministers advise, but can not control his will."

රජුගේ [කන්ද උඩරට] බලය උත්තරීතරය, අනගිභවනීයය. ඇමතිවරු ඔහුට අනුශාසනා කරන නමුත් ඔහුගේ අභිමතය පාලනය කිරීමට ඔවුන්ට නොහැකිය.

මේ විදිහට ජෝන් ඩොයිලි කිව්වත් රජතුමාටත් සීමාවන් තිබුණු බවට මේ කතා දෙකෙන් අවබෝධයක් ගන්න පුලුවන් වෙයි.

අන්තිම සිංහල රජතුමා විදිහට සැලකෙන ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා [1707-1729] තමන්ට අතිශය හිතවත් වුණු විස්සුවේ පනික්කියා කියන බෙරකාරයාට වටිනා කියන හැට්ටයක් [උඩුකය වස්ත්‍රයක්] තෑගි කරනවා. 

බෙරවායන්ගේ කුලේ ඒ වෙනකොට කන්ද උඩරට තිබුණු කුල ක්‍රමේට අනුව පහළම ඉදන් 7 නැත්නම් 8 වගේ ස්ථානයක තිබුණු සාමාන්‍යයෙන් පහත් කුළයක්. ඒ අනුව බෙරවායන්ගේ කුලයට උඩුකය වැහෙන්න වස්ත්‍ර අඳින එක වගේම දණ හිසෙන් පහළට වස්ත්‍ර ඇඳීමත් තහනම් කරපු දෙයක්.

මේ බව දැනගත්තු රජතුමාගේ මහා අදිකාරම් වුණු රම්මලක පනික්කියාගෙන් හැට්ටය අරගෙන ඉරා දාලා ඔහුව හිර කරනවා. ඒ වගේමයි රාජ සභාව විසින් රජතුමාට දඩයක් නියම කරනවා. රජතුමා ඒ දඩය මහනුවර මහා දේවාලය විදිහට සැලකුණු විෂ්ණු දේවාලයට ගෙව්වා කියලා තමා කියවෙන්නේ

මේ දෙවෙනි කතාව. 

 කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා

1747 රාජ්‍යත්වයට පත්වුණු කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා [1747-1782] බොහොම ලාබාල වියේ හිටිය කෙනෙක්. මේ නිසා රජතුමාගේ පියා වුණු නරේනප්පා රජ වාසළ තුල ලොකු බලයක් හිමි කරගෙන හිටියේ. 

ඒ බලයට උදාහරණ විදිහට 1745 දී කීර්ති ශ්‍රී රාජසිංහ කලින් රජවෙලා හිටිය ශ්‍රී විජය රාජසිංහ රජතුමාගේ නියෝගයෙන් උඩරට පළාත්වලින් පිටමං කරපු ක්‍රිස්තියානි මිෂනාරීන්ව ආපහු උඩරට රාජධානියට ඇතුල් කරගන්න නරේනප්පා කටයුතු කරනවා. ඒකට හේතුව වෙන්නේ මිෂනාරීන් විසින් නරේනප්පාට ලබා දීපු වටිනා කියන තෑගි බෝග.

ඒ හැරෙන්න 1749 අප්‍රේල් මාසේදි නරේනප්පා ඒවකට මහ අදිකාරම් තනතුර උසුලපු ඇහැලේපොලව [මේ අපි දන්න ඇහැලේපොලගේ තාත්තා] තමන්ගේ ගෙදර ගෙන්වලා කඩුවක් දිගු කරලා බැන වදිනවා. 

මේ සිද්ධිත් එක්ක උඩරට රාජ සභාවේ සිටිය රදළයන් තමන්ගේ පුද්ගලික වාද භේද පසෙක දාලා එකතු වෙලා ඒ අවුරුද්දේ ඇසළ මංගල්‍යය නිමා කරපු දවසේ රජතුමා බැහැ දැකලා නරේනප්පාගේ කටයුතු ගැන රාජ සභාවේ විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. 

අවසානයේදි "රජතුමා රටේ සිරිත් විරිත් ආරක්ෂා කරන්නේ නැත්නම් රටේ සිරිත් විරිත් ආරක්ෂා කරන වෙනත් රජතුමෙක්ව රාජ සභාව විසින් පත් කරගන්නවා" කියලා කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාට තර්ජනය කරනවා. 

ඒකෙන් "රාජ්‍යය හැම ලෙසින්ම විනාශ කළ රජතුමාගේ පියාගේ නිරන්තර පීඩාවලින් නිදහස ලැබේ" කියලත් කියනවා.

මේ තර්ජනයෙන් බියට පත්වෙන රජතුමා තමන්ගේ පියා වුණු නරේනප්පාට අවවාද කරපු බවයි කියවෙන්නේ.

 ජෝන් ඩොයිලි

ඒක නිසා ඩොයිලි කියන තරම්ම යකා කලු නැහැ :))

ගිය සතියේ පළ කරපු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා පාවාදුන් අයට සාපයක් වැදුණාද කියන ලිපියත් එක්කම බොහෝ කතාබහ ඇතිවුනා. රජතුමා කෲර නිසා රජතුමාට ශෝචනීය ඉරණමක් අත්වුණු බව සමහරුන්ගේ අදහස වුනා. ඒ කරුණු තවත් හොඳින් කතා කරන්න කලින් ලිපියේම දිගුවක් විදිහට තමා මේ ලිපිය ලියවුණේ.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා කෲර අත්තනෝමතික පාලකයෙක් කියලා කිව්වත් උඩරට රජුන්ට එවැනි තත්වයකට ඉඩක් තිබුනේ නැහැ ඒ වගේම එවන් තත්වයක් ඇතිවුණා නම් ඒකට රජතුමාට විතරක් දොස් කියන්න බැහැ කියන එක තමා මේ කතාවලින් මතු කරන්න මම උත්සහ කළේ...

මීළඟට පළවෙන්න තියෙන අන්තිම රජතුමා වුණු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාට අන්තිමට මොකද වුනේ කියන ලිපියත් කියවන්න එන්න. මේ කරුණු සියල්ලේම සාරාංශය වගේම ඉංග්‍රීසින් අල්ල ගත්තට පස්සේ රජතුමාට මොකද වුණේ කියන එක සවිස්තරාත්මකව ඒ ලිපියෙන් කතා කෙරෙනවා

Wednesday, June 20, 2012

සක්කර දෙවියෝ දිව්‍ය ස්ත්‍රීන් සම්බන්ධ නඩු විසඳන හැටි.. පට්ට පට පට :D


ගෑණු සම්බන්ධ නඩු මොන රටේද නැත්තේ. ඉතින් ඒක දිව්‍ය ලෝකෙත් නැති වෙන්න විදිහක් නැති හින්දා අපි කියමු ගෑණු සම්බන්ධ නඩු මොන ලෝකෙද නැත්තේ කියලා :)

ලෝකේ කිව්වාම මතක් වුණේ එහෙම නඩු රූපාවචර බ්‍රහ්ම ලෝකවල නම් නැතුව ඇති. මොකද රූපාවචර බ්‍රහ්ම ලෝකවල ඉන්න බ්‍රහ්මයන්ගේ ස්ත්‍රී පුරුෂ භේදයක් නැහැලුනේ. 

ඉතින් ආයි අද කතාවට ආවොත් ස්ත්‍රීන් සම්බන්ධ නඩු කිව්වාම දන්නවනේ ඉතින් ඒ නඩු ලේසි පහසු නැහැ කියලා. නිකම් ස්ත්‍රීන්ගේ එහෙම නම් දිව්‍ය ස්ත්‍රීන් සම්බන්ධ නඩු කොයි තරම් අමාරු ඇද්ද ?

ඒත් දිව්‍ය ලෝකේ ලොක්කා වෙන සක්කර දෙයියන්ට නම් ඕවා විසඳන එක හරිම simple plan එකක්. 

මෙන්න ඒ විදිහට විසඳපු නඩුවක කතාවක්

දෙවිවරු පහළ වෙනවා කියන්නේ ඕපපාතිකවනේ. එතකොට දිව්‍ය ස්ත්‍රීන් ඕපපාතිකව පහළ වෙද්දී කවුරු හරි දෙවි කෙනෙක්ගේ ඇඳක හරි සීමාවේ හරි පහළ වුණොත් ඒ දිව්‍ය ස්ත්‍රිය ඒ දෙවියන්ගේ බිරිඳ බවට පත් වෙනවා.

ඒත් සමහර වෙලාවල්වලට ඔය සීමාවල කෙළවර එහෙමත් නැත්නම් සීමා කීපයක් එකතු වෙන තැන්වල වගේ දිව්‍ය ස්ත්‍රීන් පහළ වුණාම දෙවිවරුවත් යුද්ධ කරගන්නවාලු දිව්‍ය ස්ත්‍රිය අත්පත් කරගන්න. එහෙම බලද්දී ඉතින් මනුස්ස ලෝකේත් එක්ක වැඩි වෙනසක් නැහැ :))

මේ වගේ යුද්ධ සිද්ධ වෙද්දී අන්තිමට වෙන්නේ දෙවිවරුන්ගේ නායක වුණු සක්කර දෙයියෝ මැදිහත් වෙලා මේවා  විසඳන එක. මේ නඩු විසඳිල්ල සිද්ධ වෙන්නේ "සුධර්මා" කියන දිව්‍ය සභාවේ.


පොත්පත්වල තියෙන විස්තරවලට අනුව මේ දිව්‍ය සභාවේ බිම ඉන්ද්‍රනීල මාණික්‍යවලින්ලු හදලා තියෙන්නේ. ඝන රන් බිත්ති සහ කණු තියෙන 500 යොදුන් උස ශාලාවක්ලු මේ සුධර්මා දිව්‍ය සභාව.

මේ වගේ අලංකාර දිව්‍ය සභාවක් පහළ වුණා කියන්නේ මිනිස් ලෝකේදී අම්බලමක් කරන්න රියනක් දිග ලී කැබැල්ල සුධර්මා කියන කාන්තාව පරිත්‍යාග කරපු පුණ්‍ය කර්මය නිසාලු

ඔන්න එක දවසක් බුදු හාමුදුරුවන්ගේ කාලයේදී කිඹුල්වත් නුවර හිටිය රෝහිණී කියන රාජ කුමාරිකාව මිය ගිහින් තුන් ගවුවක් උස රශ්මි ධාරා විහිදුවන දිව්‍ය ශරීරයක් යොදුන් 12 ක් දිග දිව්‍ය සළුවකින් වසාගෙන දිව්‍ය ලෝකයේ දෙවිවරුන් හතර දෙනෙක්ගේ සීමාවන්ට මැදිවෙලා පහළ වෙනවා.

මේ ආකාරයෙන් දිව්‍ය ශරීරයක් පහළ වෙන්න හේතුව තමා එයා මනුස්ස ලෝකේ හිටිය කාලෙදී විශාල භෝජන ශාලාවක් ඉදි කරලා තමන්ම ශාලාව පිරිසිදු කරලා අනෙක් කටයුතුවලටත් තමන්ම දායක වෙලා බුදුන් ප්‍රමුඛ මහා සංඝයාට තමන් මියයන තෙක්ම දන් පිළිගන්වපු එක

කොහොම හරි මේ දිව්‍ය ස්ත්‍රිය "මට හිමිය, මට හිමිය" කියලා අර දෙවිවරු හතරදෙනාම පොරේ. අන්තිමට යුද්ධෙකටත් යන්න ලෑස්තිත් වෙලා පස්සේ කෝකටත් කියලා සක්කර දෙවියෝ ගාවට ගිහින් මේ ප්‍රශ්නය විසඳන්න කියලා ඉල්ලා සිටිනවා.

සක්කර දෙයියෝ

සක්කර දෙවියන්ටත් තුන් කෙළක් විතර දිව්‍ය ස්ත්‍රීන් හිටියත් මේ දිව්‍ය ස්ත්‍රිය දැක්ක ගමන් එයා ගැන අධික ලෝභයක් ඇති කරගෙන මමම මෙයාව හිමි කරගන්නවා කියලා හිතපු සක්කර දෙවියෝ දෙවියෝ සතර දෙනාගෙන් මේ ප්‍රශ්නය ඇහුවා

ඒවා ටික පොතේ තිබුණු විදිහටම දාන්නම්. එච්චර අමාරු සිංහල නෙමෙයි :)

"මෑ දුටු වේලෙහි පටන් තොපට කුමක් සිතේද" කියලා

මෙන්න දෙවිවරු හතර දෙනා දීපු උත්තර හතර

"මෑ දුටු වේලෙහි පටන් ආකාශ ගංගාවක් නොපැකිළ දිවන්නා සේ මාගේ ප්‍රේම නමැති ගංගාව මෑගේ රූප නමැති තියග්ගලෙහි ධාරානිපාත වෙමින් සිටියේමයැ"

"මෑ දුටු වේලෙහි පටන් මෑ නොලැබෙම්දෝ හෝ යි යන ශෝකයනෙ මාගේ ළය පට පටයා ගැසෙන පරිදි සටන් බෙරක් ගසන්නා වැන්නැ"

"මෑ දුටු වේලෙහි පටන් මෑගේ කේශාන්තය පටන් පාදාන්තය දක්වා මෑගේ රූපශ්‍රී බලා මාගේ ඇස් හයා ගතත් නොහෙමි. දෑසි පිය සොලවා ගතත් නොහෙමි. එසේ හෙයින් ඇස් දෙක කකුළුවෙකුගේ ඇස් සේ මෑ කරාම නෙරී ගියේයැ"

"මෑ දුටු වේලෙහි පටන් මෑ නොලැබෙම්දෝ හෝයි යන සෝ දුකින් වැනි වැනී තිබෙන පරිදිත් දාගැබ් කැරැල්ලක් අග බැඳලු පතාකයක් හැම වේළෙහිම සුළං පහරින් පට පටයා ගැසි ගැසී ඔබ මොබ වැනි වැනී සැලෙන්නා වැන්නැ"

ඊට පස්සේ සක්කර දෙවියෝ අහනවා

"පින්වත්නි, මෑ නොලදුව නම් තෙපි සතර දෙනා මිය ද නොමියා ද" කියලා [මෙයා හම්බුණේ නැත්නම් තොපිලා 4 දෙනා මැරෙනවාද මැරෙන්නේ නැද්ද ?. මේ ප්‍රශ්නේ නම් මනුස්ස ලෝකෙත් අහනවා නේද ?? ඒකි හම්බුණේ නැහැ කියලා තෝ මැරෙනවාද කියලා කොල්ලෝ අහන්නේ :))  ]

ඒ ප්‍රශ්නේ දෙවිවරු හතර දෙනාම කියනවා නැහැ නැහැ අපි මැරෙන්නේ නැහැ කියලා.

පස්සේ සක්කර දෙවියෝ කියනවා

"පින්වත්නි, මේ දේවතා දුව දැන් ඉතින් මම නොලදිම් නම් මට මාගේ ශක්‍ර සම්පත්තියෙනුත් කම් නැත, වෛජයන්ත නම් ප්‍රසාදයෙනුත් කම් නැත, පාණ්ඩුකම්බලශෛලාසනාදියෙනුත් කම් නැත, දෙකෙළ පනස් ලක්ෂයක් පමණ ඇති මාගේ දිව්‍යංගනාවන්ගෙනුත් කම් නැත, දැන්ම මියෙන්නෙම් වේදැ" කියලා [කොහොමද සක්කර දෙයියන්ගේ තියෙන තණ්හාසේ]

මේ උඩින් ඉන්න හැන්ඩි කොල්ලා සක්කර දෙයියෝ

පස්සේ දෙවිවරු හතර දෙනාම මුහුණට මුහුණ බලාගෙන හිනාවෙලා සිරා කතාවක් කියනවා

"අපිත් තොපගේමය, මේ දෙවු ලොවත් තොපගේමය, එහි උපන් කෙනෙකුන් තොපගේමය, එක් දෙවු දුවක නිසා තොප වැනි දිව්‍යරාජයෙකු මළෝතින් අපටම අලාභය, සියලු දෙවියන්ගේ කාර්යාකාර්යයෙහි අප්‍රමාද වූ තොප වැනි දිව්‍යරාජයෙක් ලැබගත නොහැක්කේමය. ස්වාමීනි නොමියව, තොපට හිමි සැපත තෙපිම ගනුව, අප සතරදෙනාගෙන්ම තොපට සරණ දෙම්හ" කියලා ඒ දිව්‍යාංගනාව සක්කර දෙවියන්ටම සරණ පාවා දෙනවා. 

පස්සේ සක්කර දෙවියොයි, දිව්‍යාංගනාවයි, අර දෙවිවරු හතර දෙනයි සන්තෝසෙන් ජීවත් වුණාලු.........

ඊට පස්සේ තමා සක්කර දෙයියෝ මේ සිංදුව කියන්නේ :P


ඔන්න ඔහොමයිලු සක්කර දෙයියෝ දිව්‍ය ලොකේ දිව්‍ය ස්ත්‍රීන් සම්බන්ධ නඩු විසඳන්නේ :)

ප.ලි.: මේ කතාව උපුටා ගත්තේ දඹදෙණි යුගයේදී මයුරපාද පරිවේණාධිපති බුද්ධපුත්‍ර හිමියන් විසින් රචනා කරපු පූජාවලිය ග්‍රන්ථයෙන්. ග්‍රන්ථය සංස්කරණය කරලා තියෙන්නේ පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල නාහිමියන්

Sunday, June 17, 2012

ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව පාවා දුන් අයට වැදුණු ශාපය ??? - ඉතිහාසයේ අප්‍රකට කතා 07

 1815 මාර්තු 2 දින උඩරට ගිවිසුම කියවනු ලැබූ අවස්ථාව

වසර 2000 කට අධික කාලයක් පැවතුණා වූ ලාංකීය රාජාවලියේ අන්තිමයා බවට පත්වුණේ ශ්‍රී වික්‍රම රාජසිංහ කියන නායක්කර් වංශික රජතුමා. ඔහුගේ රාජ්‍යත්වය අහෝසි වෙන්නේ 1815 පෙබරවාරි 14 වෙනිදා ඉංග්‍රීසින් සෙංකඩගල නගරය අත්පත් කර ගැනීමත්, ඊට පස්සේ පෙබරවාරි 18 මැද මහනුවර ගල්ලැහැවත්තේදී ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සහ බිසෝවරුන් අල්ලා ගන්න ඉංග්‍රීසින් සමත් වීමත්, මාර්තු 2 වෙනිදා ප්‍රකාශයට පත් කළ උඩරට ගිවිසුමත් හරහා.

මාර්තු 18 අත්සන් තබා අවසන් කෙරුණු උඩරට ගිවිසුමේ දෙවෙනි වගන්තිය වුණු

"ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවෝ රජ දරුවන්ගේ ප්‍රධාන තවද මහත් සීලාචාරවූ යුතුකම් කඩ කරන ස්වභාවයකින ඒ තරඟයට ඇත්තාවූ සියළුම අයිතිකම්ද ඊට වැදගත් බලයද නැති කර රාජඟයෙන් බැහැර කරන්න යෙදුනාය. එම ගෝත්‍රයද මවු පිය දෙපක්ෂයෙන් පැවත එන අනෙක ප්‍රකාරවූ නෑදෑයින් හැම කල්හිම සිංහාසනයෙන් දුරු කරන්ඩ යෙ නා සහ සිංහලෙ ආන්ඩු කිරීමට දෙමල වර්ගයට ඇත්තාවූ සියළුම අයිතිකම් නැතිකරන්ඩද විනාස කරන්ඩද යෙදුනු වග මෙයින් එලිදරවු කරනුයැ ..............."

හරහා ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ වගේම ඥාතීන්ගේ රාජ්‍ය උරුමය ලිඛිතවම අහෝසි කරලා තිබුණා.

පස්සේ 1816 ජනවාරි 24 හිටපු රජතුමා ඇතුළු පිරිස ඉන්දියාවේ වෙල්ලෝර් කොටුවට පිටුවහල් කරනවා. අන්තිම සිංහල රජතුමාට අන්තිමට මොකද වුනේ කියන එකත් ඉදිරියේදී ඉතිහාසයේ අප්‍රකට කතා තුළින් කියන්නම්.

 ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා

මේ විදිහට ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව රාජ්‍යත්වයෙන් පහ කරන්න මුල්වුණු පිරිසට කිසියම් ශාපයක් වැදුණාද කියන එක කතා කරන්නයි අද මේ සටහන වෙන්වෙන්නේ. අපි ඒක කරුණු කාරණාත් එක්කම සළකා බලමු.

ඇහැලේපොළ මහ නිළමේ

මේ කාර්යය සඳහා මූලිකම වුණු පුද්ගලයා වුණේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ පළවෙනි අදිකාරම් හෙවත් පල්ලේ ගම්පහ අදිකාරම් ධූරය දරපු ඇහැලේපොළ මහ නිළමේ. ඔහුගේ සම්පූර්ණ නම් කිව්වොත් ඇහැලේපොළ විජේසුන්දර වික්‍රමසිංහ චන්ද්‍රසේකර සෙනෙවිරත්න මුදියන්සේ.

රජතුමා එක්ක වුණු විවිධ මතභේද වගේම රදළයන්ගේ කේළම් බස් නිසා රජතුමාත් එක්ක හිත් අමනාප කරගත්තු ඇහැළේපොළ 1814 මැයි හෝ ජූනි ඉංග්‍රීසීන් වෙතට පලා යනවා. මේ නිසා තමා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඇහැළේපොළ පවුල කෲර මරණයක් අත් කර දෙන්නේ. ඇහැළේපොළගේ සහය නිසා ඇහැළේපොළගෙන් පසුව පළමු අදිකාරම් ධූරයට පත්වුණු මොල්ලිගොඩ මහ නිළමේගේ සහයත් ලබාගන්න ඉංග්‍රීසීන් සමත් වෙනවා.

අවසානයේදී කලිනුත් කිව්වා වගේ 1815 පෙබරවාරි 14 සෙංකඩගල අල්ලා ගන්නත් පසුව ලංකාවේම අධිපතියා වන්නටත් ඉංග්‍රීසීන්ට හැකිවෙනවා.

ඇහැලේපොළ උඩරට සිහසුන බලාපොරොත්තු වුණත් ඒක හිමිවෙන්නේ නැහැ. ඔහු පළමු අදිකාරම තනතුරට නැවත පත්වෙන්න කැමති වෙන්නෙත් නැහැ. ඔටුන්න හිමි කුමාරයාගේ රුව සහිත පදක්කමක් පිරිනමමින් ඇහැලේපොළට ගෞරව කරන්න ඉංග්‍රීසි ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් පොරොන්දු වුණත් ඒක සිදුවෙන්නේත් නැහැ.

අවසානයේදී සිදු වෙන්නේ 1818 උඩරට කැරැල්ල ඇරඹීමත් එක්කම සැකපිට ඇහැලේපොළව 1818 මාර්තු 2 සිරභාරයට අරගෙන කොළඹ නිවාස අඩස්සියේ තැබීම. 1825 ජූනි 6 වෙනිදා එවකට ආණ්ඩුකාර එඩ්වඩ් බාන්ස්ගේ නියමයෙන් ඇහැලේපොළ මහ නිළමේව මුරුසි දිවයිනට පිටුවහල් කරනවා

වසර 4 ක් පමණ මුරුසි දිවයිනේ ඇහැලේපොළ මහ නිළමේ ගත කරන්නේ තමන්ගේ මව්බිමෙන් ඇත්වෙලා වගේම කිසිම වැරැද්දක් නොකර.

ඇහැලේපොළ මහ නිළමේ සමඟම පිටුවහල් කරලා හිටිය පිළිමතලාවේ නිළමේ දවසක්දා ඇහැලේපොළ කල්පනා කර කර සක්මන් කරද්දී "මහ නිළමේතුමා නැතිවුණු යමක් සොයනවාද ?" කියලා අහනවා.

ඒකට ඇහැලේපොළ මහ නිළමේ පිළිතුරු දෙන්නේ "ඔව් මම මගේ නැතිවෙච්ච වටිනා කියන තරුණ කාලය හොයනවා" කියලා.

අන්තිමටම 1829 අප්‍රේල් 5 ඇහැලේපොළ මහ නිළමේ මියයනවා. එතකොට ඔහුට වයස අවුරුදු 56. නිරපරාදේ වැරැද්දක් නොකර කාත් කවුරුත් නැතිව මවුබිමෙන් ඈත්වෙලා මියයන්න ඔහුට සිදුවෙනවා.

ඇහැලේපොළ මහ නිළමේ දෙවෙනි වතාවට පිළිමතාලව දිසාවගේ අක්කා වුණු මීගස්තැන්න අදිකාරම් වැන්දඹු බිරිඳව 1815 මැයි මාසයේ විවාහ කරගත්තත් ඇහැලේපොළ දාව ඇයට දරුවන් උපදින්නේත් නැහැ. ඇහැලේපොළ මහ නිළමේ මුරුසියේ වාසය කළ කාලයේ ඇය මියගිය බවයි කියවෙන්නේ.

මොල්ලිගොඩ මහ නිළමේ

ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව බලයෙන් පහ කරන්න මූලික වුණු අනෙක් වැදගත් පුද්ගලයා තමා මොල්ලිගොඩ මහ නිළමේ. ඔහුගේ සම්පූර්ණ නම් කිව්වොත් මොල්ලිගොඩ රාජකරුණා සෙනෙවිරත්න හේරත් වාහල මුදියන්සේ.

1815 පෙබරවාරි 8 වෙනිදා ඉංග්‍රීසීන්ට එකතු වුණු මොල්ලිගොඩ පසුව ඉංග්‍රීසි පාලනය යටතේත් පළවෙනි අදිකාරම් හෙවත් පල්ලේ ගම්පහ අදිකාරම් තනතුරට පත්වෙනවා. 1818 උඩරට මහ කැරැල්ල මර්දනය කරන්න ඔහුගෙන් ලැබුණු දායකත්වය නිසා රික්ස් ඩොලර් 200 විශ්‍රාම වැටුපකුත් මොල්ලිගොඩට ලබාදෙන්න ඉංග්‍රීසි රජය කටයුතු කරනවා. ඒ වගේමයි එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරයා සන්නසක් මඟින් විශාල ප්‍රදානයකුත් මොල්ලිගොඩට කරනවා.

ඒත් දැඩි ලෙසම මත්පැන්වලට ඇබ්බැහි වුණු මොල්ලිගොඩ මහ නිළමේ අකාලයේ මියයනවා වගේම ඔහුගේ පුතාත් මත්පැන්වලට ඇබ්බැහිවෙලා තරුණ කාලයේදීම මියයනවා. ඒකෙන් මොල්ලිගොඩ පෙළපතත් අහෝසි වෙනවා

රජතුමාව අල්ලා ගත් මැද මහනුවර ගල්ලැහැවත්තේ පිහිටුවා ඇති ස්මාරකය

ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව මැද මහනුවර ගල්ලැහැවත්තේදී අල්ලා ගත්තු කණ්ඩායමේ ප්‍රධානියා වෙන්නේ එක්නැළිගොඩ නිළමේ. ඔහුගේ සම්පූර්ණ නම් කිව්වොත් එක්නැළිගොඩ මහීපාල අක්‍රක් කුරුප්පු වික්‍රමසිංහ බස්නායක මුදියන්සේ.

රජතුමාව අල්ලාගත්තු අවස්ථාවේ බිසෝවරුන්ට හානි කරමින් ඔවුන්ගේ ඇඳුම් ඉරාදමන්නත් කන් පෙති ඉරා දමමින් කුණ්ඩලාභරණ ඉරා ගන්නත් තමන්ගේ පිරිසට ඉඩ දෙන්නේ ඔහු.

ඒ වගේමයි "වැල් පටක් කඩාගෙන ඇවිදින් මේ ඌරා බැඳ ඇද ගෙන යව්" කියලා තමන්ගේ මිනිසුන්ට අණ දීපු එක්නැළිගොඩ ඒ සඳහා මහ මුදලි දොන් විලියම් ඒඩ්‍රියන් ඩයස් බණ්ඩාරනායක සහ දොන් අදිරියන් විජයසිංහ ජයවර්ධන මුදලි බාධා කරද්දිත් ගණන් නොගෙන රජතුමාගේ ඇඳුම් ඉරා දමා බිම දමාගෙන ඇදගෙන යනවා.

එක්නැළිගොඩ කරපු සේවය අගය කරලා ඉංග්‍රීසීන් මඩවල, මැද්දේගම ගම් සහිතව සතර කෝරළයේ මඩිගේ මුහන්දිරම තනතුර  එක්නැළිගොඩට පිරිනමනවා. තමන්ගේ පුතා සහ බෑණා ඉංග්‍රීසි උගන්නවන්න ඉංග්‍රීසි රජයට බාරදෙන්නත් ඔහු කටයුතු කරනවා.

1818 උඩරට මහ කැරැල්ලේදී ඉංග්‍රීසින් මහත් සේවයක් කරන එක්නැළිගොඩ ඌවේ වැසියන්ට හිරිහැර කරමින් ගෙවල් ගිනි තබනවා පමණක් නෙමෙයි හිතු මනාපයට මිනිසුන් මරා දැමීම පවා කරනවා. මේ සේවය වෙනුවෙන් 1829 ජනවාරි 29 ප්‍රකාශ පත්‍රයෙන් ආණ්ඩුකාර රොබර් බ්‍රවුන්රිග් සබරගමුවේ හිරමඩගම එක්නැළිගොඩට පිරිනමනවා. 

ඒත් 1822 දී වයස අවුරුදු 39 ක් වුණු එක්නැළිගොඩ අකාලයේ මියයනවා. ඔහුට කරන ගරු කිරීමක් විදිහට එක්නැළිගොඩ පුත්‍රයාට සබරගමුවේ මහ සමන් දේවාලය බස්නායක නිළමේ ධූරය පිරිනැමුනත් අයහපත් කල් කිරියාව නිසාවෙන් බස්නායක නිළමේ ධූරයෙන් එක්නැළිගොඩ පුත්‍රයාව පහ කරනවා.

මේ අන්තිම පුද්ගලයා ගැන කතාව. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව අල්ලන්න ගිය කණ්ඩායමේ හිටිය වැලිඅංගා කියන පුද්ගලයා තමා මුලින්ම රජතුමාව අල්ලගන්නේ.

වැලිඅංගා රජතුමා ගාවට ගියාම රජතුමා කියනවා "අඩේ මේ වැලිඅංගා නේද?" කියලා.

ඒ වෙලාවේ වැලිඅංගා "දෙයියෝ බුදුවන්ට, එදා මෙහෙමයී අද මෙහෙමයි" කියලා රජතුමාට පයින් පාරක් ගහලා බිමට පෙරලනවා.

ඊට පස්සේ තමා රජතුමාගේ ඇඟ උඩට නැග ගත්තු අනිත් අයත් රජතුමාට ගුටි බැට දීලා රජතුමාව අඩපණ කරන්නේ.

පස්සේ මේ වැලිඅංගා කියන රජතුමාට පයින් ගහපු මනුස්සයාගේ කකුල කුණුවෙලා මැරුණලු. ඒ පරම්පරාවේ සියලු දෙනාම කකුලේ කුෂ්ට රෝගයක් නිසා මිය ගිහින් තියෙනවා.

මේ කතාව තමන්ගේ මග දිගට ජනකතා කෘතියට ලියපු ඩී.පී. වික්‍රමසිංහ මුල් ගුරුතුමාට මේ කතාව කියපු පුද්ගලයාගේන් වැලිඅංගාගේ පරපුරේ කෙනෙක්. අවුරුදු 14 ඉදන්ම කඩුවේගන් කියන කුෂ්ට රෝගය ඔහුගේ දකුණු කකුලේ තිබුණලු. එයාගේ සීයාටත්, තාත්තාටත් මේ ලෙඩේම තිබිලා එම රෝගය නිසා ලේ විෂවෙලාලු ඒ අය මිය ගිහින් තියෙන්නේ.

මේ තමා රජතුමා අල්ලා දෙන්න සම්බන්ධ වුණා කියලා නිශ්චිතවම හිතාගන්න පුලුවන් කීප දෙනෙක්ට සහ පවුල්වලට සිදුවුණු දේ.... මොකක් හරි සාපයක් වගේ දෙයක් පේන්න තියෙනවාද ???

මේ කරුණු ගැන කතා කරද්දී සමහර විට ප්‍රශ්නයක් එන්න පුලුවන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා රට පාලනය කරද්දී අනුගමනය කරපු ක්‍රියාමාර්ග යහපත් ඒවාද කියලා. බොහෝ දෙනාගේ පිළිගැනීම එතුමා බොහොම කෲර පාලකයෙක් කියන එක.

ඒ විදිහට රජතුමා අනුගමනය කරපු යම් යම් ක්‍රියාමාර්ග ගැන රජතුමාට පමණක් චෝදනා එල්ල කිරීම සාධාරණද ? මේ සියල්ලටම හේතුව රජතුමාමද ? සිංහල සෙබළුන් විසින් රජතුමාව අල්ලා ගත්තාට පස්සේ කරපු වද හිංසා සාධාරණද කියන ප්‍රශ්න මතු වෙනවා.

ඔටුණු පළදලා සිහසුන් අරා සිටින රජතුමාව හඳුන්වන්නේ "දේවයන් වහන්ස එහෙමත් නැත්නම් දෙයියෝ" යන නමින්. රජතුමා ජීවමාන දෙවියෙක් විදිහටයි සළකන්නේ. වැඩිහිටි, බාල භේදයක් නැතුව හැමෝම රජතුමාට නමස්කාර ක්‍රරනවා වගේම රජතුමා ඉදිරියේ දණ ගසාගෙන සිටින්නේ. කොටින්ම රජතුමා ඉදිරියේදී තමන්ට ආමන්ත්‍රණය කරගන්නේ "බලුගැත්තා" කියලා.

ඉතින් ඒ ආකාරයෙන් දේවත්වයෙන් සළකපු, වන්දනා කරපු රජෙක්ට සිංහල මිනිස්සු කරපු දේ හරිද? උඩරැටියන් මේ සම්බන්ධව පූර්ණ නිර්දෝෂී අයද  ? කියන එකයි ප්‍රශ්නය.

මේ කතාවට තවත් දේවල් එකතු වෙන්න ඕනේ. ඒවා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සම්බන්ධව තවත් අප්‍රකට කතා ගැන තියෙන posts දෙකකින් ඉදිරියේදී ඉදිරිපත් වෙනවා. ඒක කියවලා බලලා ඔයාලත් හිතලා බලන්න රජතුමා වැරදිද එහෙමත් නැත්නම් රජතුමා හරිද කියලා එහෙමත් නැත්නම් ඊටත් වඩා වෙනස් උත්තරයක් ඔයාලා ගාව තියෙනවාද කියලා

ප.ලි.: රජතුමා ඇතුළු පිරිසට ගෞරවය, කරුණාව දක්වපු මහ මුදලි දොන් විලියම් ඒඩ්‍රියන් ඩයස් බණ්ඩාරනායක සහ දොන් අදිරියන් විජයසිංහ ජයවර්ධන මුදලිගේ පරම්පරාවලට පස්සේ කාලේ මොකද වුණේ කියලා දන්නවනේ :)

Wednesday, June 13, 2012

බුද්ධ කාලයේ මිහිපිට ජීවත් වුණු තව්තිසාවේ දෙවිවරු

බුදුරදුන් හමුවට පැමිණි ශක්‍ර දේවේන්ද්‍රයා සහ මහා බ්‍රහ්මයා

දේව සංකල්පය කියන එක බොහොම විවාද සම්පන්න මාතෘකාවක්. ඒ වගේමයි ඒක බෞද්ධ දේව සංකල්පය කියලා කතා කරද්දීත් කිසිම වෙනසක් නැහැ විවාද සම්පන්න බව කලින් එකටත් වඩා වැඩියි.... 

මේ විවාදවලදී එන ප්‍රධානම ප්‍රශ්නයක් තමා "කවුද දෙවියන්ව දැක්කේ" කියන එක. ඒත් බුද්ධ කාලයේ ජම්බුද්වීපයේ වාසය කරපු මිනිස්සුන්ට දෙවිවරු දැකගන්න අවස්ථාව හම්බුණා කියන එක ත්‍රිපිටකය ඇතුළු බෞද්ධ මූලාශ්‍රය ගණනාවකම තිබෙනවා. හැබැයි ඒ අවස්ථාව හැම තිස්සේම ලැබුණු එකක් නෙමේ. 

 බුදුන් වහන්සේ මාතෲ දිව්‍යරාජයට අභිධර්මය දේශනා කිරීම

මේ විදිහේ එක් අවස්ථාව තමා බුදුන් වහන්සේ සත්වෙනි වස් කාලයේදී තව්තිසා දිව්‍ය ලෝකයට වැඩම කරලා මාතෘ දිව්‍යරාජයා ඇතුළු පිරිසට අභිධර්ම පිටකය දේශනා කරලා  අවසානයේදී වස් කාලය නිමාවුණාට පස්සේ නැවත වරක් සංකස්ස පුරයට වැඩම කරපු අවස්ථාව. 

මේ අවස්ථාවේදී බුදුන් වහන්සේ තව්තිසාවේ ඉදන් සංකස්ස පුරයට වැඩම කළා කියන්නේ සුවාසූ දහසක් පමණ උසක් තිබුණු සත් රුවන් ඉණිමඟකින්. ඒ ඉණිමඟට දකුණු පසින් රන් තිබුණු ඉණිමඟෙන් දෙවිවරුත් වම් පසින් තිබුණු රිදී ඉණිමඟෙන් බ්‍රහ්මයොත් පහළට බැහැලා තියෙනවා.

සංකස්සපුරයට වැඩම කරන බුදුරදුන්

මේ අවස්ථාවේදී බුදුන් වහන්සේ අධිෂ්ඨාන කරනවා "සියලු ලෝක ධාතුවේ සත්වයෝම මා දකිත්වා" කියලා.

ඒ අනුව සතර අපාය, මිනිස් ලොව, දෙව් ලෝක, බ්‍රහ්ම ලෝකවල සියලු දෙනාම බුදුන් වහන්සේව දකිනවා වගේම උන් වහන්සේගේ ආනුභාවය නිසාම මිනිසුන්ට අහසේ රැස්ව සිටින දිව්‍ය බ්‍රහ්ම සේනාව දැකගන්න පුලුවන් වෙනවා. මේ ප්‍රාතිහාර්යය ඒක නිසා හඳුන්වන්නේ "ලෝක විවරණ ප්‍රාතිහාර්යය" කියලා.

ඒත් ඉතින් හැම තිස්සේම දෙවියන් බලාගන්න බැරිවෙන නිසා ඒකට පිළියමක් බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා.

දීඝ නිකායේ මහා වග්ග කොටසේ තියෙන මහාපරිනිබ්බාන සූත්‍රයේ දක්වන විදිහට වජ්ජි රාජ්‍යයේ පාලකයන් වුණු ලිච්ඡවි රජදරුවන් බුදුන් වහන්සේ මුණ ගැහෙන්න අම්බපාලි වනයට පැමිණි අවස්ථාවේ ලිච්ඡවි රජවරු එනවා දැක්ක බුදුන් වහන්සේ දේශනා කරනවා

"යෙසං භික්ඛවෙ භික්ඛුනං දෙවා තාවතිංසා අදිට්ඨා, ඔලොකෙථ භික්ඛවෙ, ලිච්ඡවීපරිසං, අවලොකෙථ භික්ඛවෙ, ලිච්ඡවීපරිසං, උපසංහරථ භික්ඛුවෙ ලිච්ඡවීපරිසං තාවතිංසසදිසන්ති"

මෙහි අර්ථය තමා "මහණෙනි, යම් භික්ෂු කෙනෙකුන් විසින් තවුතිසා වැසි දෙවියෝ නොදක්නා ලදහුද, මහණෙනි, ඒ තෙපි තෙල එන ලිච්ඡවි පිරිස බලවු. තෙල ලිච්ඡවි පිරිස පුනපුනා බලවු. තෙල ලිච්ඡවි පිරිස තවුතිසා වැසි දෙවි පිරිසට සම කොට සලකවු" කියන එක.
 
ඒක නිසා බුද්ධ කාලීනව මිහිපිට සිටි තව්තිසාවේ දෙවිවරුන් විදිහට ලිච්ඡවි රජවරුන් හඳුන්වන්න පුලුවන්. අද ආගිය කතාවෙන් කතා කරන්නේ එහෙම වෙන්න ලිච්ඡවියන් සතු වුණු විශේෂත්වය මොකක්ද කියලා.

මුලින්ම ලිච්ඡවියන්ගේ ආරම්භය ගැන හොයාලා බැලුවොත් ඒක බුද්ධෝත්පත්තියටත් එහා කාලයට දිව යනවා. බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජතුමාගේ අග මෙහෙසියට දරුවෙන් බිහිවෙන අතර ඒ දරුවා මස් කුට්ටියක් විදිහටයි මෙලොව එළිය දකින්නේ.

මස් කුට්ටියක් බිහි කරපු එකෙන් අග බිසවට ලැජ්ජාවක් වෙයි කියලා හිතන සේවිකාවෝ මස් කුට්ටියක භාජනයකට දාලා ඒක හොඳින් මුද්‍රා තියලා ගංගා නම් ගඟේ පා කරලා දානවා. හැබැයි එයාලා ඒ භාජනයේ ලියනවා "බ්‍රහ්මදත්ත රජුගේ අග මෙහෙසියගේ ප්‍රජාව" කියලා.

ගඟේ පාවුණු මේ භාජනයක මුහුණ දෝවනය කරන්න ආපු තාපසයෙක් දකිනවා. තාපසතුමා භාජනය ගොඩට අරගෙන ඒකේ තිබුණු සටහනත් කියවලා භාජනය සුරක්ෂිතව තියලා තියනවා.

දවස් 7 කට පස්සේ භාජනයේ තිබුණු මස් කුට්ටිය දෙකට බෙදිලා ලස්සන කුමාරිකාවක් සහ කුමාරයෙක් හැදෙනවා. මේ දරුවෝ දෙන්නා දැකපු තාපසතුමාට ඇතිවුණු දරු සෙනෙහස නිසා තාපසතුමාගේ ඇඟිලිවලට කිරි එරෙනවා. ඒ කිරි බීලා තමා මේ දරුවෝ දෙන්නා පෝෂණය වෙන්නේ.

මේ විදිහට දරු දෙන්නාව පෝෂණය කිරීම වගේම රැකබලා ගැනීමත් තාපසතුමාට කරන්න සිදුවුණු නිසා පිණ්ඩපාතේ යන්න පවා එතුමා ප්‍රමාද වෙනවා. තාපසතුමා හැමදාම පිණ්ඩපාතේ යන ගොපළු ගමේ මිනිස්සු තාපසතුමාට කරදරයක්වත් වෙලාද කියලා බලන්න ආපුවාම මේ දරුවෝ දෙන්නාව රැක බලා ගන්න තාපසතුමාව දකිනවා

දරුවන් රැක බලා ගන්න වෙන එකෙන් ඔබතුමාගේ ආධ්‍යාත්මික ජීවිතයට බාධාවක් වෙනවා කියන ගම්වැසියෝ දරුවෝ දෙන්නා හදාගන්න බාරගන්නවා.  මේ දරුවන් දෙදෙනා රාජ කුමර කුමරියන් නිසාත් බොහොම පින් ඇති නිසාත් පරිස්සමෙන් බලාගන්න කියලා තාපසතුමාත් උපදෙස් දෙනවා.

ඉතින් කාලේ ගතවෙද්දී මේ දරුවෝ දෙන්නා තරුණ වයසට පත්වෙනවා. මේ දෙන්නාගේ විශේෂත්වය තමා ශරීරය ස්වභාවයෙන්ම කැඩපතක් වගේ ඇතුළ පේන එක. උදාහරණයක් විදිහට කිව්වොත් හරියට වීදුරු පෙට්ටියක් ඇතුලේ තියෙන දෙයක් පේනවා වගේ. ඒ තරම් සිනිඳු සමක්.

පූජාවලිය ඒක විස්තර කරන්නේ මෙහෙමයි

"මෙසේ වැඩෙන දරුවන් අනුභව කළ යම්ම භෝජනයෙක් දෑවාණ කරඬුයෙක තුබූ වස්තුවක් සේ බඩයට පෙනේමය. මෙසේ ඒ දරුවෝ අනුභව කළ කළ දෑ පිටතට පෙනෙන හෙයින්............"

ඒක නිසා ගමේ මිනිස්සු මේ දෙන්නාව හඳුන්වන්නේ "නිච්ඡවි" ඒ කියන්නේ සමක් නොමැති කියන අර්ථයෙන්. ඒක තමා ක්‍රමයෙන් "ලිච්ඡවි" බවට පත්වෙන්නේ. ඒ වගේමයි අතිශය පැහැපත් සමක් මේ දෙදෙනාටම හිමිවෙලා තිබුණා.

ඉතින් මේ දෙන්නාට ගැලපෙන වෙනත් අයව සොයාගන්න බැරි නිසා ගම්වාසීන් එකතු වෙලා මේ දෙන්නාව විවාහ කරවනවා. ඒ වගේම වාසය කරන්න ගමෙන් බැහැර ප්‍රදේශයක මාළිගාවකුත් ඉදි කරලා දෙනවා. මෙහෙම ජීවත් වෙන මේ දෙපළට දහසය වාරයක්ම නිවුන් දරුවන් ලැබෙනවා ගැහැණු සහ පිරිමි වශයෙන්. කාලයාගේ ඇවෑමෙන් එයාලත් විවාහ වුණාම දරුවෝ ලැබිලා මෙයාල ජීවත් වුණු කුඩා ගම ක්‍රමයෙන් නගරයක් වුණා.

මේ විදිහට තුන් වාරයක් ගම්මානය විශාල කරලා නගරයක් කරන්න වුණු නිසා මේ නගරය "විශාලා මහ නුවර" නමින් හඳුන්වන්න පටන් ගත්තා.

ඊතලයෙන් දක්වලා තියෙන්නේ වජ්ජි ජනපදය

මේ ජනපදයට වජ්ජි ජනපදය නමින් භාවිතා කරන්නත් පටන් ගත්තා. ඒකට හේතුව වුණේ අර මුලින්ම හිටියා කුමාරයයි කුමාරියි සෙල්ලම් කරන්න ගියාම ගමේ අනික් ළමයින්ට හොඳ හැටි ගුටි බැට දෙනවා. ඒක නිසා ගමේ ළමයින්ගේ දෙමාපියන් ආදරේට කියන්න පටන් ගත්තා "වජ්ජේ තබ්බා, වජ්ජේ තබ්බා" ඒ කියන්නේ මෙයාලව මෙහෙන් එලවන්න ඕනේ, එලවන්න ඕනේ කියලා.

ඒ වජ්ජේ කියන පදය මුල් කරගෙන තමා "වජ්ජි" කියන නාමය ඇතිවෙන්නේ.

මේ වජ්ජි රාජ්‍යය බුද්ධ කාලීන භාරතයේ තිබුණු සොළොස් මහා ජනපදයෙන්ගෙන් එකක් වුණා වගේම මෙහි තිබුණේ ගණ සංඝ රාජ්‍යයක් එහෙමත් නැත්නම් සමූහාණ්ඩු ක්‍රමයක්.

ඒ කාලයේ වජ්ජි රාජ්‍යයේ ලිච්ඡවි රජවරු 7707 හිටියා කියලා තමා බෞද්ධ මූලාශ්‍රය කියන්නේ.  එකම මවකගෙන් සහ පියකුගෙන් ආරම්භය වුණු නිසා මේ 7707 දෙනාම සමඟියෙන් සිටිය බවයි කියන්නේ.

මේ ලිච්ඡවියන්ගේ රාජ්‍ය පාලන මූලධර්මය වුණේ සප්ත අපරිහානි ධර්මය. ඒවා තමා
  • නිතර රැස්වීම.
  • සමඟිව රැස්ව, සමඟිව කටයුතු කර සමඟිව විසිර යාම.
  • නොපැණවූ නීති නොපැණවීම සහ පැනවූ නීති කඩ නොකිරීම.
  • වැඩිහිටියන්ට ගරු කිරීම සහ ඔවුන්ගේ උපදෙස් පිළිපැදීම.
  • කුල කාන්තාවන් ආරක්ෂා කිරීම.
  • පූජනීය ස්ථානවලට අවශ්‍ය අනුග්‍රහයන් අඛණ්ඩව සිදු කිරීම
  • මහණ බමුණන්ට රාජ්‍යය තුළ රැකවරණය ලබාදීම

ඉතින් ලිච්ඡවියන් සතු වුණු මේ ධර්මතා 7 බුදුන් වහන්සේ පවා අගය කරලා තිබෙනවා. මේ වගේ මූලධර්ම ඇතිකරගන්න නම් මොන තරම් බුද්ධිමත් බවක් ලිච්ඡවියන්ට තිබුණාද කියන එක හිතාගන්න පුලුවන්නේ. 
මේ කරුණු එදාට විතරක් නෙමෙයි අදටත් වලංගුයි. 

මම කලින් කිව්වා වගේම බුදුන් වහන්සේ ලිච්ඡවි රජ දරුවන්ව මිහිපිට දෙවිවරුන්ට සමාන කරන්නේ අතිශය සිනිඳු පැහැපත් සමක් පිහිටා තිබීම නිසා වගේම ගුණ ධර්ම අතිනුත් ඔවුන් ඉහළ මට්ටමක සිටිය නිසා.

ජෛන වර්ධමාන මහාවීර

ලිච්ඡවියන් සම්බන්ධ තවත් ප්‍රධාන කරුණක් වන්නේ බුද්ධ කාලීන භාරතයේ හිටිය ෂට් ශාස්තෲවරුන්ගෙන් එක් අයෙක් වුණු උග්‍ර අවිහිංසාවාදී වර්ධමාන මහාවීර හෙවත් නිඝණ්ඨනාථ පුත්ත ලිච්ඡවියෙක් කියන එක. කේවලී තත්වයට වයස 42 දී පත්වෙන මහාවීර ජෛන දහම දේශනා කරනවා.

විශාලා මහනුවර කිව්වාම අපේ සිහියට නැගෙන තවත් කතාවක් තමා තුන් බිය කියන එක. ඒ යටතේ බුදුන් වහන්සේ විශාලා මහනුවරට වැඩම කරවලා රතන සූත්‍රය දේශනා කිරීමෙන් පසුව තුන් බිය පහවෙලා නැවතත් සුපුරුදු යහපත් තත්වය ලිච්ඡවි රාජ්‍යයට උදාවෙනවා. මේ සිද්ධිය ගැන බුදුගුණාලංකාරය කෘතියේ ඉතාමත් අලංකාරව විස්තර කෙරෙනවා.

ලිච්ඡවියන් සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කර විශාලා මහනුවර ඉදිකළ ස්ථූපයේ නටබුන්

ලිච්ඡවි රාජ වංශිකයන්ගේ අවසානය ගැනත් කතා කළොත් බුද්ධ කාලීන භාරතයේ පැවති සොළොස් මහා ජනපදවලින් ප්‍රමුඛත්වයේ පසුවුණේ මගධ රාජ්‍යය. එහි අධිපතියා වුණු සේනිය බිම්බිසාර රජතුමාගෙන් පස්සේ පුතා වුණු අජාසත්ත තමන්ගේ පියා අනුගමනය කරපු අධිරාජ්‍යය ප්‍රතිපත්ති දිගින් දිගටම ගෙන ගියා.

ඒ අනුව තමන්ගේ ඇමතිවරුන් දෙදෙනෙක් වුණු සුනීධ සහ වස්සකාර ලවා ලිච්ඡවියන්ගේ සමඟිය බිඳ දාලා සප්ත අපරිහානි ධර්ම ලිච්ඡවියන් විසින් නොපිළිගන්නා තත්වයට පත් කරවන්න අජාසත්ත සමත් වෙනවා. අවසානයේදී වසර 16 ක් තිස්සේ පැවති අජාසත්ත ලිච්ඡවි සටන අවසන් වෙන්නේ අජාසත්තට විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කර දෙමින්. ඒ විදිහටයි බුද්ධ කාලීනව මිහිපිට සිටිය දෙවිවරුන්ගේ අවසානය සිද්ධ වුණේ

ප.ලි.: විශාලා මහනුවර තුන් බිය ඇතිවීම වගේම අජාසත්ත ලිච්ඡවියන් පරාජය කිරීම කෙටියෙන් ලියලා තියෙන්නේ ඒක එච්චර වැදගත් නැහැ කියලා හිතුණු නිසා. මට මූලිකව කියන්න අවශ්‍ය කළේ ලිච්ඡවි රජ දරුවන්ව මිහිපිට සිටින දෙවිවරුන් විදිහට බුදුන් වහන්සේ හැඳින්වුවේ ඇ‍යි කියන එක ගැන විතරයි

මේ සටහන ලියන්න පාදක කරගත්තේ මයුරපාද පරිවේණාධිපත් බුද්ධපුත්‍ර හිමියන් රචනා කරපු පූජාවලිය ග්‍රන්ථය සහ නාඋයනේ අරියධම්ම හිමියන් විසින් සම්පාදිත රතන සූත්‍රාන්ත දේශනාව කියන ග්‍රන්ථය. මේ සඳහා කටයුතු කළ සියල්ලෝටම පින් අයිති වේවා !!!

Sunday, June 10, 2012

I විමලධර්මසූරිය රජුගේ අනියම් පෘතුගීසී පුත්‍රයා ඇතුළු තවත් අප්‍රකට කතා කීපයක් - ඉතිහාසයේ අප්‍රකට කතා 06

 I විමලධර්මසූරිය රජතුමා

කන්ද උඩරට රාජධානිය නිසියාකාරව ආරම්භ කරපු රජතුමා විදිහට සැළකෙන්නේ I විමලධර්මසූරිය රජතුමා. අපි මීට කලිනුත් කතා කීපයකින්ම I විමලධර්මසූරිය රජතුමා ගැන කතා කළානේ. මතකනේ I විමලධර්මසූරිය රජතුමාට කුණුහරුප කියූ ලන්දේසි අද්මිරාල් වගේම කතෝලික පූජකයෙක් වී පෘතුගාලයේදී මියගිය උඩරට රජතුමා කියන සටහන්වලින් සෘජුවම නොවුණත් වක්‍රව මේ රජතුමා ගැන කතා කළා. අද මේ සූදානම රජතුමා ගැන තියෙන කුඩා කුඩා අප්‍රකට කතා කීපයක් කියන්න......

මුලින්ම රජතුමාගේ නම ගැන තිබෙන කතා කීපයක් ගත්තොත් ඔහුගේ මුල් නම කොනප්පු බණ්ඩාර. පසුව 1582 සීතාවක රාජසිංහ රජතුමා තමන්ගේ පියා වුණු වීරසුන්දර බණ්ඩාරව උපායෙන් බොරු වළක දාලා මැරෙව්ව නිසා  බියෙන් පෘතුගීසින් වෙත පලා ඒමත් එක්ක 1588 කතෝලික වෙලා බෞතිස්ම වීමත් එක්ක ඔස්ට්‍රියාවේ දොන් ජෝන්/ අවුස්ත්‍රියාවේ දොන් ජුවන් නමිනුත් හැඳින්වෙනවා.

ඒ හැරෙන්න එතුමාව දොන් ජුවන් අප්පුහාමි නමිනුත් හඳුන්වලා තියෙනවා. මේ අප්පුහාමි කියන යෙදුම වර්තමානයේ නම් හිනාවට ලක් කරන නමක් වුණත් උඩරට රාජධානි සමයේ අප්පුහාමි නමින් හැඳින්වුණේ උසස් රදළ පවුල්වල අයව. 

උසස් පවුල්වල අය තමා රජතුමාගේ පුද්ගලික ආරක්ෂකයන් එහෙමත් නැත්නම් දැන් විදිහට කිව්වොත් ඒ කාලේ යොදාගත්තේ. ඒක නිසා රජතුමාගේ පුද්ගලික සේවකයන් හඳුන්වන්නත් මේ "අප්පුහාමි" යෙදුම භාවිතා වෙලා තියෙනවා.

ඒ වගේමයි ඒ කාලේ රාජ්‍ය සේවයේ යෙදෙන්න මුලින්ම පත්වෙන තනතුරක් විදිහටත් මේක දක්වන්න පුලුවන්. කොටින්ම ඇහැළේපොළ මහ නිළමේත් මුලින්ම දරලා තියෙන්නේ මේ අප්පුහාමිවරයෙක් කරන රජතුමාග පණිවුඩ ගෙනයාම සහ බුලත්විට සැපයීම කියන රාජකාරිය.

මේ රජතුමාගේ පෙළපත ගැනත් කතා කළොත් මෙතුමාගේ තාත්තා තමා වීරසුන්දර බණ්ඩාර කියන මුදලි එහෙමත් නැත්නම් ඒ කාලේ කරලියැද්දේ බණ්ඩාර කියන උඩරට රජතුමාගේ ප්‍රධාන අමාත්‍යවරයා විදිහට කටයුතු කරන කෙනා

මහාවංසය, මන්දාරම්පුර පුවත වගේම රාජාවලිය කියන පොත් I විමලධර්මසූරිය රජතුමා ගම්පොළ සහ පේරාදෙණිය රජ පෙළපත්වල අයෙක් කියලා සඳහන් කළත් සැබවින්ම එවැනි රාජ උරුමයක් එතුමාට තිබුණාද කියන එක සැක සහිතයි. 

ඒකට එක් උදාහරණයක් තමා I විමලධර්මසූරිය රජතුමාගෙන් පස්සේ රජවුණු ඥාති සොයුරු සෙනරත් රජතුමා සහ පෘතුගීසීන් අතර 1617 ඇතිවෙන සාම ගිවිසුමේ උඩරට රාජ්‍ය උරුමය ගැන දැක්වෙන කුඩා සටහන. 

ඒක තියෙන්නේ මෙහෙමයි

"කන්ද උඩරට රජු වන සේර [සෙනරත්] කන්ද උඩරට රාජ්‍යයේ නීත්‍යානුකූල බිසව වන දෝන කතිරිනා සරණ පාවා ගෙන සිටින් බැවින්ද යටකී බිසවගෙන් ඔහු පුතුන් තිදෙනෙකු ලැබ සිටින බැවින්ද ඔහුගේ ඇවෑමෙන් ඔවුන් රජපැමිණිය යුතුය."

මේකෙන් ගම්‍ය වෙන කරුණක් තමා රජ කුමරුවන් සෙනරත් රජුගේ පුතුන් නිසාම නොව නියම උරුමක්කාරිය වෙන දෝන කතිරිනාගේ දරුවන් නිසයි රජකම හිමිවෙන්නේ කියන එක.

ඒක නිසා ඒ කාලය වන විට ප්‍රාදේශීය වශයෙන් බලවත්ව සිටිය බණ්ඩාර පෙළපතකට කොනප්පු බණ්ඩාර අයිතියි කියලා හිතන්න පුලුවන්. 

බණ්ඩාරවලියක් ලෙස කතා කෙරෙන මේ බණ්ඩාරවරු ඇතිවෙන්නේ ගම්පොල යුගයේ ඉදන් සිටිය රජවරුන්ගේ යකඩ දෝළි බිසෝවරුන්ගේ දරුවන්ගෙන් කියලත් අදහසක් තියෙනවා. එහෙම බලද්දී නම් සෘජුවම නැතත් වක්‍රව හරි බණ්ඩාරවරුන්ට රාජ උරුමයක් තිබෙන බව පැහැදිලියි

නැවතත් ප්‍රධාන කතාවට ආවොත් කොළඹට පැනලා එන කොනප්පු බණ්ඩාරව ඒ කාලයේ කෝට්ටේ රජතුමා වුණු දොන් ජුවන් ධර්මපාල සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේමයි කෝට්ටේ රාජ්‍යයේ ඒ වනවිට ප්‍රධාන අමාත්‍යවරයා විදිහට හිටිය තම්මිට බණ්ඩාර හෙවත් තම්මිට සෙම්බහප්පෙරුමාල්ගේ දියණියව කොනප්පු බණ්ඩාරට සරණ පාවා දෙනවා.

තම්මිට බණ්ඩාර හෙවත් තම්මිට සෙම්බහප්පෙරුමාල්ගේ එහෙමත් නැත්නම් තම්මිටරාළ ගැනත් යමක් කිව්වොත් එයා ධර්මපාල රජතුමාගේ සුළු පියා එහෙමත් නැත්නම් බාප්පා. දන්නවනේ ධර්මපාල කුමාරයාගේ තාත්තා වීදිය බණ්ඩාර කියලා. තම්මිට බණ්ඩාර කියන්නේ වීදිය බණ්ඩාරගේ බාල සොයුරා. 

මෙයාලත් රාජ උරුමයක් තිබුණු අය. ඒ මෙහෙමයි කෝට්ටේ පාලකයෙක් වෙලා හිටිය 8 වෙනි වීර පරාක්‍රමබාහු රජතුමාගේ පුත්‍රයෙක් වුණු තනියවල්ලභ කුමාරයාගේ දියණියව සොළී කුමාරයෙක්ට සරණ පාවා දීමෙන් උපන් දරුවෝ දෙන්නා තමා වීදිය බණ්ඩාර සහ තම්මිට බණ්ඩාර කියන්නේ

ආයි කතාවට ආවොත් මේ විවාහයෙන් කොනප්පු බණ්ඩාර දාව තම්මිට කුමරියට පුතෙක් උපදිනවා. මේ කුමාරයා සහ තම්මිට කුමරිය කොනප්පු බණ්ඩාර උඩරට රාජ්‍යය පිහිටවූ කාලයේත් වාසය කළේ පෘතුගීසින් යටතේමයි. I විමලධර්මසූරිය රජතුමා කීප වරක්ම තමන්ගේ පුතා සහ තම්මිට කුමරිය පෘතුගීසීන්ගෙන් ලබාගන්න උත්සහ කළත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. 

රාජාවලියේ කියන විදිහට නම් තම්මිට කුමරියට උඩරටට යන්න නොදීපු නිසා ඇය දෙවෙනි වරට විවාහ වෙනවා කොළඹ කොටුවේ වාසය කරපු පෘතුගීසි ජාතිකයෙක් වෙන දොන් ෆ්‍රැන්සිස් සමඟ.

1604 I විමලධර්මසූරිය රජතුමා මියයන විට තම්මිට කුමරියගෙන් ලත් පුතා ඉන්දියාගේ ගෝවේහි තිබුණු King's College හි ඉගෙනුම ලබමින් ඉදලා තිබෙනවා. තමන්ගෙන් පසුව උඩරට රාජ්‍යයේ උරුමක්කරුවා විදිහට ඒ කුමාරයා නම් කරලා රාජ්‍යය ලබාදෙන්න I විමලධර්මසූරිය රජතුමා අවසන් වතාවටත් උත්සහ කළත් පෘතුගීසීන් කුමාරයාව උඩරටට එවන එක ප්‍රතික්ෂේප කරනවා. 

ඒ කුමාරයාගේ අවසානය වුණේ කොහොමද කියන එක නම් මට හමුවුනේ නැහැ. ඒක හොයලා බලන්න ඕනේ කාරණයක් විදිහට මම හිතේ තියාගෙන ඉන්නේ.

නැවතත් කතාවට ආවොත් කොළඹ කොටුවේ වාසය කරන කොනප්පු බණ්ඩාර තමන් එක්ක උඩරට ඉදන් කොළඹට පලා ආපු සල්ලප්පු කියන පුද්ගලයාව මරා දමනවා. මේ දාමරික ක්‍රියාව ගැන විභාග කරන ධර්මපාල රජතුමා සහ කොළඹ කොටුවේ පෘතුගීසි කපිතාන් තීරණය කරනවා කොනප්පු බණ්ඩාරව ඉන්දියාවේ ගෝවෙට පිටත් කරන්න.

ගෝවේ වාසය කරන කොනප්පු බණ්ඩාර කරපු වීර ක්‍රියාවක් නිසා මුළු ගෝවේම ප්‍රසිද්ධ වෙන්න කොනප්පු බණ්ඩාරට හැකිවෙනවා. වීර ක්‍රියාව තමා ඒ කාලේ ගෝවේ ඉදලා තියෙනවා දක්ෂ කඩු සටන් කරුවෙක්. එයාගේ නම විදිහට රාජාවලිය දක්වන්නේ ගජබාහු කපිත්තා කියලා. 

ඉතින් කවුරු හරි එයාගේ ගේ ඉස්සරහින් කඩුවක් අරගෙන යනවා නම් එයත් එක්ක සටන් කරන්න එන්න ඕනේ. මිනිහාව පරද්දන්න ඒ කාලේ ගෝවේ හිටිය කාටවත් බැරිවෙලා තියෙනවා. ඒ නිසා ගෝවේ හිටිය පෘතුගීසි විසුරේ වුණත් මේ මිනිහගේ ගේ ඉස්සරහින් කඩුවක් අරගෙන යන්නේ නැහැලු :))

දවසක් මේ වැඩේට කොනප්පු බණ්ඩාර අහුවෙලා අන්තිමට මේ ගජබාහු කපිත්තා එක්ක ගිය කඩු සටනින් කොනප්පු ජය අරගෙන ගජබාහු කපිත්තාව දෙපළු කරපු නිසා ගෝවේ විසුරේ ඇතුළු සියලු දෙනාම කොනප්පුව වීරයෙක් විදිහට සළකන්න පටන් අරගෙන තියෙනවා.

මේ විදිහට කාය බලයෙන් ගෝවේ ජනප්‍රිය වෙලා හිටිය කොනප්පු බණ්ඩාර එහි සිටිය අනාථ පෘතුගීසි කාන්තාවක් විවාහ කරගත් බවත් ඒ විවාහයෙනුත් පුතෙක් උපන් බවත් විමලධර්මසූරිය 1604 මිය ගියාටත් පසු තවත් දිගු කාලයක් මේ පුත්‍රයා ගෝවේ සිටි බවයි කියවෙන්නේ. ඔහුගේ අවසානය ගැනත් සොයා බලන්න ඕනේ

මේ කාලයේ තමා සීතාවක රාජසිංහ රජතුමා වරින් වර කෝට්ටේ අල්ලා ගන්න කරන කටයුතු නිසා සීතාවක විරුද්ධව උඩරට රාජ්‍යය ඇතිකරන්න පෘතුගීසීන් කටයුතු කරන්නේ. මුලින් උඩරට රාජ්‍යයේ රාජ්‍යත්වයට පත් කරන්න පෘතුගීසීන් කල්පනා කරන්නේ කොනප්පු බණ්ඩාරව. ඒත් මිනිහා දරුණු මනුස්සයෙක් නිසා කෝකටත් කියලා ඒ සඳහා කලින් උඩරට රජතුමා වුණු කරලියැද්දේ බණ්ඩාර රජතුමාගේ බෑණා වුණු  යමසිංහ බණ්ඩාරව තෝර ගන්නවා.

පස්සේ උඩරට කොනප්පු බණ්ඩාර රජවෙන හැටි ගැන මම මෙතනත් කියල තියෙන නිසා මම කියන්නේ නැහැ. ඒක අමතක උදවිය මෙතනට කොටලා ඒක බලන්නකෝ.

උඩරට ආපු මුල්ම කාලේ කොනප්පු බණ්ඩාර අම්බාලේ ගොඩකුඹුරේ රන්හොටි මුදියන්සේ කියන ප්‍රදේශීය ප්‍රධානියාගේ දියණියත් එක්ක ප්‍රේම සම්බන්ධයක් පවත්වලා තියෙනවා. 

ඒත් ඒකට රන් හොටි මුදියන්සේ අකමැති වෙලා කියන්නේ "යුරෝපාකරයේ පරංගි කෙල්ලන් එක්ක නඩලන් ගහපු මොහුට මගේ දියණිය දෙන්නේ නැහැ" කියලා. 

මේ නිසා නොයෙක් අතවරවලට ලක්වෙන්න කොනප්පු බණ්ඩාර සිද්ධ වුණත් අවසානයේදී යමසිංහ බණ්ඩාරගෙන් රාජ්‍යය හිමිකරගත්තු කොනප්පු බණ්ඩාර රජ වුණාට පස්සේ කුසුමාසන දේවිය අග බිසෝ කරගන්නකම් අග බිසෝ තනතුරේ ඉන්නේ අම්බාලේ කුමාරිහාමි කියන තරුණිය.

1594 දී පෘතුගීසි කපිතාන් ජෙනරාල් පේරෝ ලෝපේස් ද සෞසා යටතේ උඩරටට එල්ලවුණු පෘතුගීසි ආක්‍රමණය නිසා මුල් අවස්ථාවේ රජතුමා පසු බසිනවා. මේ තත්වය ප්‍රයෝජනයට ගත්තු පෘතුගීසීන් තමන් සමඟ ආපු උඩරට කුමරිය වෙන දෝන කතිරිනා නොහොත් කුසුමාසන දේවියව උඩරට රැජිණ විදිහට පත් කරවනවා. 

 කුසුමාසන දේවිය සහ පෘතුගීසීන්

ඒත් තමන්ගේ රැජිණව දැක බලාගන්න උඩරට වැසියන්ට අවස්ථාවක් නොදීම, කුසුමාසන දේවියව පෘතුගීසි සෙන්පතියෙක් සරණ පාවා ගන්න බව ආරංචි වීමත් එක්ක උඩරට ජනතාව ප්‍රකෝප වෙනවා.

උඩරට ආක්‍රමණය කරපු පේරෝ ලෝපේස් ද සෞසා ඒකට සහභාගි වුණේ කොන්දේසි කීපයක් යටතේ. ඒ කොන්දේසි තමා තමන්ගේ බැණාවරුන් දෙදෙනාගෙන් එක් අයෙක් කපිතාන් මේජර් පදවියට පත් කළ යුතුයි. අනෙක තමා ඒ බැණාට කුසුමාසන දේවියව සරණ පාවා දිය යුතුයි කියන ඒවා. 

ඒ කොන්දේසිවලට රාජ්‍ය සභාව එකඟ වෙලා හිටියේ. ඒත් රාජ්‍ය සභාව පනවපු කොන්දේසිය තමා කන්ද උඩරට යටත් කරගෙන කුසුමාසන දේවියව රාජ්‍යත්වයට පත් කරනකම් ඇගේ විවාහය නොකරනවා කියන එක.

ඒ වගේම තවත් හේතුවක් තමා සීතාවක රාජසිංහ රජතුමාගේ ප්‍රධාන සේනාපති සහ පුරෝහිත වුණු අරිට්ඨකී වෙණ්වු පෙරුමාල් රාජසිංහ රජතුමාගේ මරණින් පස්සේ කෝට්ටේ රාජ්‍යයට එකතු වෙලා තිබුණේ. ඒ යටතේ ධර්මපාල රජතුමා ඔහුව ජයවීර බණ්ඩාර විදිහට නම් කරනවා. එයත් එයාගේ සේනාව එක්ක පෘතුගීසීන්ට එකතු වෙලා හිටියේ 1594 උඩරට ආක්‍රමණයට. 

ජයවීරගේ ඉල්ලීමක් වුණේ තමන්ගේ මස්සිනා කෙනෙක්ට කුසුමාසන දේවියව සරණ පාවා දෙන්න කියලා. ඒක ඉටු නොවුණාම ජයවීර සැඟවෙලා හිටිය I විමලධර්මසූරිය රජතුමා එක්ක ගනුදෙනු කරන්න පටන් ගත්තා. ඒක පෘතුගීසීන්ට අසුවුණු නිසා ජයවීරව මරා දමන්න ඔවුන් කටයුතු කරනවා

ඉතින් උඩරට මිනිස්සුන්ගේ නැගී සිටීම වගේම දේශගුණය ඔරොත්තු නොදීම, ලෙඩ රෝග පැතිරිම වගේ කරුණුත් එක්ක සූසා තීරණය කරනවා තාවකාලිකව පසු බසින්න. මේ අවස්ථාවේ තමා සැඟවෙලා හිටිය I විමලධර්මසූරිය රජතුමා ඇවිත් දන්තුරේදී විශාල ප්‍රහාරයක් එල්ල කරලා පෘතුගීසි සේනාවම සමූල ඝාතනය කරන්නේ.

කොහොම නමුත් I විමලධර්මසූරිය රජතුමාගේ යුක්තිගරුක බව මේ සටනේ අවසානයේ වූ සිද්ධිවලින් පෙන්නුම් කෙරෙනවා. 

ඒ සටනින් දරුණු තුවාල වෙලා හිටිය පෘතුගීසි කපිතාන් ජෙනරාල් පේරෝ ලෝපේස් ද සෞසාට ප්‍රතිකාර කරන්න රජතුමා අණ කිරීමෙන්. සෞසාගේ තුවාල සුව වුණත් තමන්ගේ පිරිස මියයාම වගේ කරුණුත් එක්ක ඔහුගේ මනස ව්‍යාකූල වෙලා තිබුණේ. 

අන්තිමට සෞසා මියයන්නේ තමන්ගේ තරුණ පුතා වුණු දියගෝ ලෝපේස් ද සෞසාව රැක බලා ගැනීම රජතුමාට බාර කරලා. වසර තුනක් උඩරට රඳවා ගෙන සිටි දියගෝ නිදහස් කළාට පසුව ගෝවේට පිටත් වෙලා ගෝවේදී අශ්වයෙක් පිටින් වැටිලා තමා මියයන්නේ.

ඒ වගේම සටනින් දිවි ගලවා ගත්තු සොල්දාදුවන් 50 ක් රජතුමාගේ අණින් කොළඹට පිටත් කරන්නේ එක ඇහැක් උගුල්ලලා සහ කන් කපලා වගේම පුරුෂ ලිංගය කප්පාදු කරලා. ඒකට හේතුව විදිහට රජතුමා දක්වන්නේ උඩරට ස්ත්‍රීන්ට වගේම ගර්භණී ස්ත්‍රියන්ට කළ අතවර සහ ඝාතනය කිරීම්වලට ලැබෙන දඬුවම මේකයි කියලා.

කන්ද උඩරට ඉදිකිරීම් කටයුතු කරන පෘතුගීසීන්

අනිත් දිවි ගලවාගත්තු සොල්දාදුවන්ට ප්‍රතිකාර කළා වගේම ඔවුන් ලවා මාළිගා, වෙහෙර විහාර ඉදිකරවීම් වගේ කටයුතු සිදු කරවා ගෙන පස්සේ ඔවුන්ව රාජකීය ගබඩා ගම්වල සේවයට පිටත් කරලා තියෙනවා.

තවත් විශේෂ කරුණක් තමා රජතුමාගේ ජීවිත කාලය පුරාම දෙපා අබියස ඝන රණින් සාදපු පේරෝ ලෝපේ ද සෞසාගේ හිස තබා තිබුණා කියන එක.

මීළඟට 1602 රජතුමා හමුවෙන්න පැමිණෙන ලන්දේසි අද්මිරාල් ජොරිස් වාන් ස්පිල්බර්ජන් සම්බන්ධ රජතුමාගේ අප්‍රකට කතාවක් කියන්නම්. 

 I විමලධර්මසූරිය සහ ස්පිල්බර්ජන් හමුව

1602 මැයි මාසයේදී සිදුවෙන මේ හමුවීමේදී කතා කෙරෙන්නේ කුරුඳු වගේ ද්‍රව්‍ය වෙළෙඳාම් කිරීම සහ පෘතුගීසීන් පලවා හරින්න ලන්දේසි ආධාර ලබාගැනීම වගේ දේවල්. 

ඕලන්ද පාලක මොරිස් කුමාරයාගේ සිතුවමක් 
[ස්පිල්බර්ජන් රජතුමාට දෙන්නේ මොරිස් කුමාරයා යුධ ඇඳුමෙන් ඉන්න සිතුවමක්. සමහර විට ඒ මේක වෙන්නත් පුලුවන්]

මේ සාකච්ඡාව අවසානයේදී ස්පිල්බර්ජන් රජතුමාට ප්‍රදානය කර තිබුණු ඕලන්ද පාලක මොරිස් කුමාරයාගේ සිතුවම තමන්ට නිරතුරුවම පේන්න තමන්ගේ කාමරයේ එල්ලන්න රජතුමා කටයුතු කරනවා. ඒ වගේම තමන්ගේ දරුවන් වගේම බිසව පෙන්වන්න ස්පිල්බර්ජන්ව මාළිගාවේ ඇතුළටම අරගෙන යන්නත් රජතුමා කටයුතු කරනවා.

ඒ අවස්ථාවේදී රජතුමාට ස්පිල්බර්ජන්ට කියනවා "ඔබේ මහෝත්තමයාණන් මෙහි අවුත් බලකොටුවක් තනනවා නම් මමත් මගේ බිසවත් කුමාරයා සහ කුමාරිකාවත් අපේම කර උඩ තියාගෙන ගල්, හුණු හා වෙනත් දේවල් ඇද දෙනවා" කියලා

සමහර විට මේක අතිශයෝක්ති ප්‍රකාශයක් වෙන්නත් පුලුවන්. කොහොම නමුත් පෘතුගීසීන් පළවා හරින්න ලන්දේසීන්ගේ උදව් ලබාගන්න ලොකු උවමනාවක් රජතුමාට තිබුණු බව නම් මේ ප්‍රකාශයෙන් පැහැදිලියි.

සීබෝල් ද වාර්ට්ගේ පැමිණීම

මීලඟට එන ලන්දේසි නියෝජිතයා වෙන්නේ උප අද්මිරාල් සීබෝල් ද වාර්ට්. එයා ගැන නම් ඔයාලට මතක ඇතිනේ. රජතුමා "මේ බල්ලා බැඳ දමනු" කියලා කියන්නේ එයාටනේ :))

මෙයා සම්බන්ධවත් රජතුමාගේ අප්‍රකට කතාවක් තියෙනවා. මුලින්ම රජතුමා වාර්ට් හමුවුණු අවස්ථාවේ වාර්ට් අඟවනවා රජතුමාගේ අත සිඹින්න කැමතියි කියලා. යුරෝපා රාජ සභාවල චාරිත්‍රයක්ලුනේ රාජකීයයන්ගේ අත සිඹින එක. 

ඒත් රජතුමාට වාර්ට් කොච්චර ප්‍රිය වුනාද කියනවා නම් රජතුමා වාර්ට්ව වැළැඳගන්නවා. වාර්ට් කියන විදිහට රජතුමා කොච්චර තදින් වාර්ට්ව වැළැඳ ගත්තද කියනවා නම් දවස් කීපයක් යනකම් ඉළ ඇටවල වේදනාවකුත් වාර්ට්ට ඇතිවෙනවා :)

රජතුමා පැළැඳි පා සළඹ

රජතුමා හා වාර්ට් අතර වෙන කතා බහවලදී රජතුමා වාර්ට්ට රහසකුත් කියනවා. ඒ කුසුමාසන දේවියව ලබාගන්න තමන් පරාජය කරපු පෘතුගීසි කපිතාන් ජෙනරාල්ගේ සහ කපිතාන්වරුන්ගේ හිස්වල පිළිරූ ජයග්‍රහණයේ නිමිත්තක් විදිහට තමන්ගේ පා සළඹේ පැලැඳගෙන ඉන්නවා කියන එක. 

කලිනුත් මම කිව්වේ රජතුමාගේ ජීවිත කාලය පුරාම දෙපා අබියස ඝන රනින් කරපු සූසාගේ හිස තබා තිබුණා කියලා. මේ කතාවෙනුත් ඒක තව පැහැදිලි වෙනවා. පා සළඹ කියන්නේ කාන්තා ආභරණයක් කියලා ප්‍රශ්නයක් නැගෙන්නත් පුලුවන්. ඒත් සිංහල රජවරු සූ සැට ආභරණ කියලා ආභරණ 64 ක් පැළැඳගෙන ඉදලා තියෙනවා. ඒකෙන් එකක් තමා පා සළඹ කියන්නේත්.

රජතුමාගේ දරුවන් ගැනත් කතා කළොත් ස්පිල්බර්ජන් කියන විදිහට රජතුමාට සිටියේ කුමාරයෙක් සහ කුමාරිකාවක්. වාර්ට් දක්වන්නේත් ඒකමයි. 1602 නොවැම්බර් පැමිණෙන වාර්ට් දක්වන විදිහට කුමරියට අවුරුදු 6 කුත් කුමාරයාට අවුරුදු 3 කුත් පමණ වෙනවා.

ඒත් රාජාවලිය කියන විදිහට I විමලධර්මසූරිය රජතුමාට දාව කුසුමාසන දේවියට දරුවන් පස් දෙනෙක් ඉදලා තියෙනවා. ඒ කුමාරවරුන් 4 ක් සහ එක් කුමාරිකාවක්

කුමාරවරුන්ගේ නම් තමා
  • රාජසූරිය අස්ථාන
  • උඩුමාලේ අස්ථාන
  • කුමාරසිංහ අස්ථාන
  • විජයපාල අස්ථාන
I විමලධර්මසූරිය රජතුමාගෙන් පස්සේ රාජ්‍යය භාරගන්න ඥාති සහෝදර [පුංචි අම්මගේ පුතා] සෙනරත් රජතුමා විමලධර්මසූරිය රජතුමාගේ කුඩා දරුවන් වගේම බිසවත් භාරගන්නවා. 

කොහොමත් මම කලින් දවසක කිව්වත් වගේ වාර්ට් සමඟ ඇතිවෙන ප්‍රශ්නයේදී විමලධර්මසූරිය රජතුමා කරන ප්‍රකාශයෙන් පැහැදිලි වෙන්නේ 1602 වෙද්දිත් සෙනරත් කුමාරයා සිවුරු හැරලා හිටියා කියන එක වගේම එක ගෙයි කෑම කියන චාරිත්‍රය I විමලධර්මසූරිය සහ සෙනරත් කුසුමාසන දේවිය සමඟ සිදුකළා කියන එක

II රාජසිංහ රජතුමා

සෙනරත් රජුට දාව කුසුමාසන දේවියට උපදින්නේ දේවරාජසිංහ අස්ථාන එහෙමත් නැත්නම් පසුකාලීනව II රාජසිංහ නමින් රජවුණු කුමාරයා. සෙනරත් රජතුමා වුණත් තමන්ගේ පස්සේ රාජ්‍යය පුතුන්ට හිමි කරලා දෙද්දී තමන්ගේ පුතා වුණු දේවරාජසිංහට සෙංකඩගල කියන රාජ්‍යයේ හොඳම කොටස වගේම අග රජ තනතුර දීමෙනුත් කුමාරසිංහට හා විජයපාල කියන වැඩිමහල් කුමාරවරුන්ට ඌව සහ මාතලේ දීමෙනුත් ඒක පැහැදිලියි

එතකොට රාජසූරිය අස්ථාන සහ උඩුමාලේ අස්ථාන කියන කුමාරවරුන්ටත් කුමාරියටත් මොකද වුණේ කියන ප්‍රශ්නය මතු වෙනවා. රාජාවලිය දක්වන විදිහට දිය කෙළිය සඳහා මහවැලි ගඟට ගිය රාජසූරිය අස්ථාන කුමාරයාව දියේ ගිල්වලා මරා දමන්න සෙනරත් රජතුමා කටයුතු කරලා තියෙනවා. උඩුමාලේ අස්ථාන කුමාරයට සිදුවූ දෙයක් සොයාගන්න බැරිවුණා.

රාජසූරිය අස්ථාන කුමාරයාගේ අවමංගල පෙරහැර

රාජසූරිය අස්ථාන කුමාරුගේ දේහය ආදාහනය කළ ආකාරය

I විමලධර්මසූරිය රජතුමාට දාව තමන්ට උපන් දරුවන්ට සෙනරත් රජතුමා කරන අසාධාරණකම් නිසා දරුවන් එක්ක පෘතුගීසින් ගාවට සරණගාතයන් විදිහට පලා එන්න කුසුමාසන දේවිය 1612 දී පෘතුගීසි කපිතාන් ජෙනරාල් ජෙරනිමෝ ද අසවේදුට ලිපියක් එව්වත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. සිත් තැවුලෙන් සිටිය කුසුමාසන දේවිය මේ නිසාම 1613 ජූලි 20 වැල්මංතොටදී මියයනවා. මියයද්දී එතුමියගේ වයස අවුරුදු 35 ක් පමණ වෙනවා.

කුසුමාසන දේවිය මියයාමත් එක්ක සෙනරත් රජතුමාත් හුඟක් අසනීප වෙලා මරණාසන්න තත්වයට පත්වෙනවා. මේ අවස්ථාවේදී ඇතිවෙන වියවුල් සහගත තත්වයත් එක්ක I විමලධර්මසූරිය රජතුමාගේ දියණිය සහ ඇගේ ස්වාමිපුරුෂයා පෘතුගීසීන් ගාවට පලා යන්න උත්සහ කළත් එහෙම පැනලා යන්න පුලුවන් වෙන්නේ ඇගේ ස්වාමියාට විතරයි. මේ කුමරියව පසුකාලීන සෙනරත් රජතුමා සරණ පාවා ගත්තු බවකුත් කියවෙනවා.

I විමලධර්මසූරිය රජතුමාගේ රූප සොබවය සහ ගතිගුණ ගැන කතා කළොත් ෆර්නාඕ ද ක්වේරෝස් රචනා කරපු Conquista Temporale Espiritual da Ceylao, Ordenado pelo Pedre Fernao de Queyroz Da Companhia de Jesus, Da Provincia De Goa, Com muytas outras proveytozas noticias pertencentes a dispocicao e gouverno de Estado de India කෘතියේ ඔහු දක්වන්නේ 

"විමලධර්මසූරිය උස සිරුරින් යුක්තය. ශක්තිමත් මස් ගොබ සහිත අත් පා ඇත. ඉතා ශක්තිමත්ය. නිර්භීතය. අභිමානවත්ය. ඉතා තියුණු බුද්ධියකින් හෙබියේය. තීරණ ගැනීමේදී බොහෝ පරිස්සම් සහිතය. සාමාන්‍යයෙන් උගත්ය. කිසිවෙකුටත් නොදෙවෙනි සටන් ශිල්ප පුහුණු කොට ඒ අංශයෙන් අද්විතීයය. කවුරුත් ඔහු ගෞරව බහුමානයෙක් සැළකූහ. තමා මනා සේ පාලනය කර ගැනීමටත් සෑම විටම තම මනස සමතුලිතව තබා ගැනීමටත් දක්ෂය"

 ස්පිල්බර්ජන්

ස්පිල්බර්ජන් රජතුමා ගැන කියන්නේ මේ විදිහට. "කතාව ඉතා සිත් ගන්නා සුලු මෙන්ම විචක්ෂණය"  වාර්ට් රජතුමා ගැන කියන්නේ "ඔහුට තිබුණේ ඉතා උස සිරුරකි. අත් පා හැඩි දැඩිය. දිගුය. කාලවර්ණය. කට හඬ ගොරහැඬිය" කියලා.

රජතුමාගේ අවසානය ගැන කතා කළොත් වරින්වර සිදුවුණු පෘතුගීසි සටන් සහ අනෙකුත් ගැටුම් නිසා රජතුමා වෙහෙසට පත්වෙලා හිටියේ. අයෝමය ශරීරයක් රජතුමාට තිබුණත් මේ තත්වය නිසා රජතුමාට වරින් වර උණ රෝගයෙන් පෙළෙන්න වුණා. 

අවසානයේ 1604 මුල් භාගයේදී  උණ රෝගයෙන් I විමලධර්මසූරිය රජතුමා මියයනවා. මිය යන්න කලින් සෙනරත් කුමාරයා මීළඟ රජතුමා විදිහට පත් කරලා දරුවන් සහ බිසව ඔහුට බාර කරනවා. ඒ වගේම පළමුවෙනි අදිකාරම් ප්‍රමුඛ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා සෙනරත් කුමාරයාට පක්ෂපාතී වෙන්න කියලා. 

වයස් ගත රාජ්‍ය නිලධාරීන් වගේම සෙන්පතියන් පවා රජතුමාගේ මරණාසන්න අවස්ථාවේ කඳුළු සැලුවා කියලා තමයි කියවෙන්නේ.

සුවිශේෂීම සිද්ධිය වෙන්නේ ඊට පස්සේ. මහනුවර ආදාහන මළුවේදී මහා චිතකයක් කරවලා I විමලධර්මසූරිය රජතුමාගේ දේහය ආදාහනය කරලා භෂ්මාවශේෂ අරන් යන්න ආපු පිරිස දකින්නේ රජතුමාගේ හදවත ගින්නෙන් නොපිළිස්සී නිරුපද්‍රිතව තියෙන හැටි.

ඒක නිසා තමන්ගේ ජන්ම භූමිය වෙනුවෙන් ස්ඵන්දනය වුණු විමලධර්මසූරිය රජතුමාගේ නිර්භීත, අභීත හදවත ගින්නකින් දවන්න බැහැ කියලයි උඩරැටියන්ගේ පිළිගැනීම වුනේ...

මේ කතාව සමහර විට ප්‍රබන්ධයක් කියලා හිතෙන්නත් පුලුවන්. ඒත් මේ තියෙන්නේ අපේ හිතවත් බින්දි අක්කා ලිව්ව වියට්නාමයේ නොදැවුණු හදවත සටහන


 ඒ සටහනේ විදිහට ඇමරිකානුවන්ට සහ රූකඩ ආණ්ඩුවට විරුද්ධත්වය ප්‍රකාශ කරන්න තමන්ගේ ශරීරයට ගිනි තබා ගත්තු Thich Quang Duc හිමියන්ගේ හදවත ගින්නෙන් පිළිස්සිලා නැහැ. 

 Thich Quang Duc හිමියන්ගේ නොපිළිස්සුණු හදවත

පසුකාලීනව ඒ නොපිළිස්සුණු හදවත තැන්පත් කරලා ඒ හිමියන් ගිනි තබාගත් ස්ථානයේ ස්මාරකයක් හදලා තියෙනවා. 

ඒක නිසා I විමලධර්මසූරිය රජතුමාගේ හදවත නොපිළිස්සි නිරුපද්‍රිතව තිබීම ප්‍රබන්ධයක්ම කියලා බැහැර කරන්න බැහැ

එහෙම නම් අද කතාව අවසානයි. කවුරුත් මට බනින්න එපා කියලා තියෙන කතාවල කිසි ගැළපීමක් නැහැ කියලා. මේ සටහනේ අරමුණ වුණේ I විමලධර්මසූරිය රජතුමා ගැන තියෙන අප්‍රකට කතා ටිකක් කියන එක මිසක් රජතුමාගේ චරිතාපදානය කියන එක නොවන නිසා

ප.ලි.: මේ ලිපියෙන් මම මුලින්ම කියනවා කියලා පොරොන්දු වුණු ඉතිහාසයේ අප්‍රකට කතා list එකේ තිබුණු කතා දෙක තුනක්ම කිව්වා. 

ඒ සෙනරත් මරා දැමූ I විමලධර්මසූරියගේ පුත්‍රයා, සෙනරත් රජු දමා පෘතුගීසීන් වෙතට පලා ගිය කුසුමාසන දේවිය, ගින්නෙන් නොදැවුණු I විමලධර්මසූරිය රජතුමාගේ හදවත. 

මේ වෙනකොට ලියලා අවසන් ඉතිහාසයේ අප්‍රකට කතා මේවා. 
  • ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව පාවා දුන් අයට වැදුණු ශාපය ???
  • රජතුමාට දඩ ගැසූ උඩරට රාජ සභාව
  • 1818 කැරැල්ලට මූලික වුණු ව්‍යාජ රජු විල්බාවේට ජීවිත දානය, කැරැල්ල මෙහෙය වූ කැප්පෙටිපොළට මරණ දඬුවම
ඒවාත් ඉස්සරහට හෙමින් සැරේ කියවමු :)

මේ සටහන ලිපිය පාදක වුණු පොත්පත් තමා මේවා

ලංකාව පෘතුගීසි යුගය - 1 කාණ්ඩය : පෝල් ඊ. පීරිස්
පරංගි විජිතය : එස්.එෆ්. ද සිල්වා, ඊ.ආර්. එරත්න
රාජාවලිය : සංස්කරණය ඒ.වී. සුරවීර
ශ්‍රී ලංකාවේ ඉතිහාසය - 3 කොටස : අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව
පරංගි කෝට්ටේ : ටිකිරි අබයසිංහ
ලංකා ඉතිහාසය - පෘතුගීසි යුගය : එස්.ජී. පෙරේරා පියතුමා
උඩරට රාජධානිය : ටිකිරි අබයසිංහ, ශ්‍රීමතී දේවරාජ, ජී.පී.වී. සෝමරත්න
මග දිගට ජනකතා : ඩී.පී. වික්‍රමසිංහ

මේ කතාවේ ඒ ඒ තැන්වලට අදාළව එකතු කරලා තියෙන චිත්‍ර රැසක් උපුටා ගත්තේ ඕලන්ද ජාතික Philippus Baldaeus විසින් රචනා කරන ලද Description of The East Indian Countries of Malabar, Coramandel, Ceylon කෘතියෙන්.

ඒ හැරෙන්න අනෙක් චිත්‍ර සොයා ගත්තේ අන්තර්ජාලයෙන්. මේ ගැන එක් කරන්න මතක් වුණේ ක්සැන්ඩර් අයියා මතක් කළාට පස්සේ. ඒ ගැන ස්තුතියි :)

Thursday, June 7, 2012

ගොන් ප්‍රශ්න අහපු රජ කෙනෙක් ගැන කතාවක්


එකෝමත් එක කාලෙක [කොයි කාලෙද කියලා අහන්න ඔට්ටු නෑ] එකෝමත් එක රටක [ ඒක නම් ඔන්න ඕහේ ලංකාව කියලත් හිතා ගත්තට කමක් නැහැ] රජතුමෙක් හිටියා. 

රජතුමා ඒ රටේ තිබුණු සල්ලි ඔක්කොම කොටස් වෙළෙඳ පොළටයි, වරායවල් වගේ දේවල් හදන්නයි, ක්‍රිකට් පිට්ටනි හදන්නයි වගේ දේවල්වලට වියදම් කරලා තිබුණේ. අතේ මිටේ සල්ලි නැති නිසා රටේ තිබුණු නිධන් ටිකත් කඩලා ගාණක් හොයාගෙන තිබුණත් රෝල ගෙනියන්න රජතුමා අතේ සල්ලි නැහැ. ඒක නිසා රජතුමා බැලුවා හොඳ සල්ලි තියෙන කාව හරි මරාගෙන ඒ වස්තුව අත්පත් කරගන්න.

ඉතින් රජතුමාට මීටර් වුණා පරම්පරාවෙන් හෙණටම ඉඩ කඩම් හිමිවෙලා තියෙන ඒ වගේම සල්ලි භාගේ තියෙන නායක හාමුදුරු කෙනෙක් ගැන. 

රජතුමා හාමුදුරුවන්ව මාළිගාවට වැඩම කරවලා කිව්වා "හාමුදුරුවෝ ලවා මට විසඳාගන්න ප්‍රශ්න හතරක් තියෙනවා. ඔබ වහන්සේගේ දැන උගත්කමෙන් මේ ප්‍රශ්න හතරට උත්තර දුන්නොත් හොඳයි. ඒ නැත්නම් ඉතින් මට කරන්න සිද්ධ වෙන්නේ ඔබ වහන්සේගේ වස්තුව රාජ සන්තක කරලා හිස ගසා දාන එක තමා" කියලා

ප්‍රශ්න 4 තමා මේවා

මහ මුහුද කොච්චර ගැඹුරුද ?
මහ පොළොවේ හරි මැද කොතනද ?
අහසේ තරු කොච්චර තියෙනවාද ?
මගේ හිතේ [රජතුමාගේ] තියෙන්නේ මොනවාද ?

ප්‍රශ්න 4 අහපුවාම නායක හාමුදුරුවන්ට තේරුණ මේ නම් තමන්ව මරලා වස්තුව ගහන්න රජතුමා ගහපු ගැටයක්ම තමා කියලා. 

පස්සේ රජතුමා කිව්වා "ඔබ වහන්සේට දවස් 7 ක් දෙනවා මේවාට පිළිතුරු සූදානම් කරගන්න. අටවෙනි දවසේ ඇවිත් ඔබ වහන්සේ මට උත්තර දෙන්න ඕනේ" කියලා. 

ඉතින් නායක හාමුදුරුවොත් පන්සලට ආපහු වැඩම කරලා බලාගත්තු අතේ බලාගෙන ඉන්නවා. දානේ ගන්නෙත් නැහැ. හරිම අවුල්. මේ පන්සලේ හිටිය නායක හාමුදුරුවන්ගේම වයසේ හිටිය ඇබිත්තයෙක්...

ඉතින් හාමුදුරුවන්ගේ එක තේරුණු නිසා බලන් ඉන්න බැරිම තැන ඇහුවා මොකද නායක හාමුදුරුවනේ ප්‍රශ්නේ කියලා. පස්සේ ඉතින් නායක හාමුදුරුවෝ රජතුමා තමන්ව අහු කරගන්න යන උගුල ගැන කිව්වා. 

ඒක ඇහුවාම ඇබිත්තයා කිව්වා "අයියෝ හාමුදුරුවනේ ඕකට උත්තර දෙන එක නම් එච්චර ප්‍රශ්නයක් නෙමෙයිනේ. එදට ඔබ වහන්සේ විදිහට මාව මාළිගාවට යවන්න මම වැඩේ කරලා එන්නම්" කියලා

ඉතින් හාමුදුරුවොත් ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා වගේ එදා උදේ ඇබිත්තයාගේ හිස කෙස් බාලා වටාපතක් අතට දීලා මූණ වහගන්න කියලා ඇබිත්තයාව මාළිගාවට යැව්වා. 

රජතුමාත් ඉතින් අද නම් හාමුදුරුවන්ට වැඩේ හරි කියලා සන්තෝසෙන් "හාමුදුරුවනේ මගේ ප්‍රශ්න 4 ට උත්තර දීලා ඔබ වහන්සේගේ ජීවිතෙයි වස්තුවයි දෙකම බේරගන්න" කියලා. 


 මුල්ම ප්‍රශ්නේ ඇහුවා "හාමුදුරුවනේ මහ මුහුද කොපමණ ගැඹුරුද ?" කියලා

හාමුදුරුවෝ වගේ ඉන්න ඇබිත්තයා කියනවා "රජතුමනි, මූදට බැස්ස තැනම පතුල තෙමෙන තරම් ගැඹුරුයි ටිකක් එහාට යනකොට දණක් වතුර ගැඹුරුයි. ඊටත් එහාට යනකොට උකුළක් වතුර ගැඹුරුයි. ඊටත් එහාට යනකොට තන මත්තක් ගැඹුරුයි, ඊටත් එහාට යද්දී කර වටක් ගැඹුරුයි. ඊටත් එහාට යද්දී පොව්වනේ නැති තරමට ගැඹුරුයි. ඕක තමා හරියටම මහ මුහුදේ ගැඹුර" කියලා.


රජ්ජුරුවන්ට කියාගන්න දෙයක් නැහැ. හා හොඳයි කියලා ඒක පිළි අරගෙන ඇහුවා දෙවෙනි ප්‍රශ්නේ "මහ පොළොවේ හරි මැද මොකක්ද?" කියලා. 

හාමුදුරුවෝ වගේ හිටිය ඇබිත්තයා කළේ අතේ තිබුණු හැරමිටියත් අරගෙන එහාට මෙහාට ගිහින් එක තැනකට හැරමිටියෙන් ඇනලා  "මෙන්න මෙතන තමා මහ පොළවේ හරි මැද, බොරු නම් බිම් මනින්නන් දාලා මන්නවලා බලන්න" කියලා. 


 රජතුමාට ඒකට දෙන්න උත්තරයක් නැහැ. ඒකත් හා කියලා පිළි අරගෙන ඇහුවා තුන්වෙනි ප්‍රශ්නේ "අහසේ තාරකා කීයක් තියෙනවාද?" කියලා.

හාමුදුරුවෝ වගේ ඉන්න ඇබිත්තයා කිව්වා "රජතුමනි, අහසේ තාරකා නව කෙළ හැට ලක්ෂ තිස් තුන්දාස් නවසිය අනූ අටක් තියෙනවා. සැක නම් රාජ පුරුෂයන් දම්මලා ගැනලා බලන්න" කියලා. 

රජතුමාට දෙන්න උත්තරයක් නැහැ. රජතුමාත් ගොනානේ නැත්නම් මේ වගේ ගොන් ප්‍රශ්න අහනවාද :))

පස්සේ රජතුමා ඒකත් හා කියලා පිළි අරගෙන ඇහුවා අන්තිම ප්‍රශ්නේ "මගේ හිතේ තියෙන්නේ මොකක්ද?" කියලා. 

එතකොට හාමුදුරුවෝ වගේ ඉන්න ඇබිත්තයා කිව්වා "රජතුමාගේ හිතේ තියෙන්නේ මේ නායක හාමුදුරුවෝ කියලා. ඒත් මම නායක හාමුදුරුවෝ නෙමේ. පන්සලේ ඉන්න ඇබිත්තයා. හාමුදුරුවන්ට උදව්වක් විදිහට තමා මම ආවේ කියලා" කියලා.

රජතුමා පස්සේ බොහොම සතුටු වෙලා රජතුමා උපදේශක පට්ටමක් ඇබිත්තයාට දෙන්න ලෑස්ති වුණා [ඇබිත්තයගේ මීටරේ හොඳයිනේ. ඉස්සරහට හොඳ හොඳ වැඩ ගන්න පුලුවන් නේ උපදේශකයෙක් කරගත්තාම] ඒත් ඒකට ඇබිත්තයා කැමති වුනේ නැහැ. 

"පන්සලේ ඉන්න නිස්කලංක ජීවිතේ තමන්ට වටිනවා" කියලා ඇබිත්තයා කිව්වා.  පස්සේ රජතුමා ලෝභකම් අත ඇරලා පන්සලට තව ගම් වරයක් පූජා කළා.

ඊට පස්සේ හැමෝම සතුටෙන් ජීවත් වුණාලු :)

ස්ථානෝචිත ප්‍රඥාව කියන්නේ මේකට තමා

ප.ලි.: අද කාලේ වුණත් වස්තු තණ්හාසෙන් ගොන් ප්‍රශ්න අහලා විතරක් නතර නොවී ගොන් වැඩත් කරන ගොනාටත් අපහාස කරන හැමෝටම මේ කතාව ආදර්ශයක් වේවි

Sunday, June 3, 2012

රජ කාලේ තිබුණු Inter Disawe Competition for ඉර හඳ කොඩිය - ඉතිහාසයේ අප්‍රකට කතා 05

 කන්ද උඩරට රාජධානියේ ධජය

තරඟය කියන එක අද කාලෙට විතරක් නෙමේ රජ කාලෙටත් පොදු දෙයක්. තරඟය කියන එක ගත්තාම එක එක ආකාරවලට තියෙනවානේ. සාමාන්‍යයෙන් පිළිගත් ක්‍රමවේද යටතේ පවත්වන තරඟයක් එහෙමත් නැත්නම් තරඟාවලියක් අවසානයේදී ජයග්‍රාහී පිරිසට ශූරතා පලිහක් හරි ශූරතා කුසලානයක් හරි පිරිනමන එක තමා සාමාන්‍ය සම්ප්‍රදාය. 

ඒ හැරෙන්න ජයග්‍රාහී කණ්ඩායටම ධජයක් පිරිනමන එකත් සිදු නොවෙනවා නොවෙයි. අනෙක් අංශවල කොහොමද කියලා කියන්න දන්නේ නැති වුණත් මම දන්න විදිහට බාලදක්ෂ ව්‍යාපාරයේ නම් එහෙම දේවල් සිදුවෙනවා.

ඉස්සර මහා බ්‍රිතාන්‍යයට අයිති වෙලා තිබුණු රටවල්වලින් වැඩිම රජුගේ බාලදක්ෂයින් බිහි කරපු බාලදක්ෂ සමූහයට "රජුගේ ධජය" [King's Flag] ලබාදීලා තිබෙනවා. මේ වරප්‍රසාදය මහනුවර ධර්මරාජ විද්‍යාලය 1917, 1918, 1919 කියන අවුරුදු තුනේම ලබාගෙන තිබෙනවා. 

වර්තමානයේදීත් ශ්‍රී ලංකාවේ වැඩිම ජනාධිපති බාලදක්ෂයන් බිහි කරපු බාලදක්ෂ සමූහයට "ගුලාම් හුසේන් ධජය" ලබාදෙනවා. කොළඹ රාජකීය විද්‍යාලය මේ තරඟය ආරම්භ කරපු වසරේ ඉදන්ම කීප වරක්ම එක දිගට මේ ධජය ලබාගත්තු නිසා ඒ සමූහය හැර අනෙක් සමූහවලින්ලු මේ සඳහා ගණනය කිරීම් සිදුවෙන්නේ

ඒ වගේම ශ්‍රී ලංකාවේ සෑම අතින්ම හොඳම බාලදක්ෂ සමූහය සඳහා "දිවයින් ශූරතා ධජය" [Island Merit Flag] පිරිනමනවා. කොළඹ දිස්ත්‍රික්කය තුළ හොඳම කණිෂ්ඨ බාලදක්ෂ කණ්ඩායමට "නගරාධිපති ධජය" [Mayor's Flag] පිරිනමනවා.

ඉර හඳ කොඩිය

ඉතින් මේ අද කතාවට ආවොත් මහනුවර යුගයේදීත් මේ වගේම හොඳම දිසාව සඳහා ඉර හඳ කොඩිය පිරිනමන එක රජතුමා විසින් සිදු කරලා තිබෙනවා. 

ඒ ඒ දිසාව භාරව හිටිය දිසාවේ, නිළමේවරු වගේම සාමාන්‍ය ජනතාව කරපු වීර ක්‍රියා ආදිය ගැන සළකලා බලපු රජතුමා දක්ෂතා දක්වපු දිසාවට ඒක අගය කිරීමක් විදිහට ඉර හඳ කොඩිය පිරිනමලා තිබෙනවා.

ඉර හඳ කොඩිය පැවරීමත් එක්කම ඒ දිසාව කන්ද උඩරට රාජ්‍යය තුළ ඒ කාලේ තිබුණු දිසා 12 න් ප්‍රධාන දිසාව බවට පත්වෙනවා. මේ ඉර හඳ කොඩිය ප්‍රධාන දිසාවට හිමි ධජය නිසා තමා එදා පටන් අද දක්වාම මහනුවර දළදා පෙරහැරේ දිසාවන්හින් කොඩි අරගෙන යද්දී පළමු කොඩිය විදිහට ඉර හඳ කොඩිය අරගෙන යන්නේ

I විමලධර්මසූරිය රජතුමාගේ කාලයේදී ඉර හඳ කොඩිය මාතලේ දිසාවටත් සෙනරත් රජතුමාගේ කාලයේදී සත් කෝරළයටත් II රාජසිංහ රජතුමාගේ කාලයේදී සතර කෝරළයටත් හිමිවෙලා තියෙනවා. සතර කෝරළයට ඉර හඳ කොඩිය හිමිවීමත් එක්ක උඩරට රාජධානියේ අවසානය වෙනකම්ම තමන්ගේ දිසාව තුළ ඉර හඳ කොඩිය තබාගන්න සතර කෝරළය සමත් වෙලා තිබෙනවා.

සතර කෝරළේ ගැනත් ටිකක් කිව්වොත් ඒ දිසාවේ තිබුණු කෝරළ 4 වුණේ ගල්බඩ කෝරළේ, පරණ කුරු කෝරළේ, කිනිගොඩ කෝරළේ, බෙලිගල් කෝරළේ.

 දිසාවේවරයෙක්

අර කලින් කිව්ව විදිහට දිසා 12 ක් කන්ද උඩරට රාජධානියේ තිබුණත් ඒවායිනුත් සතර කෝරළය, සත් කෝරළය, ඌව සහ මාතලේ මහ දිසා විදිහට හඳුන්වපු නිසා ඒවායේ භාර දිසාවේවරුන්ව හඳුන්වලා තියෙන්නේ "මහ දිසාවේ" නමින්.

මේ දිසාවන් 4 මහ දිසාවේකම බොහෝ විට හිමිවෙලා තියෙන්නේ කන්ද උඩරට රාජධානියේ හිටිය මහා අදිකාරම්වරුන් දෙදෙනාට හරි ජ්‍යෙෂ්ඨතම රදළයෙක්ට. උඩරට පරිපාලන ව්‍යුහයේ රජතුමාට පස්සේ හිටියේ මහා අදිකාරම්වරු.

මහා අදිකාරම්වරයෙක්

මහා අදිකාරම්වරුත් දෙන්නෙක් ඉදලා තියෙනවා. ඒකෙන් පල්ලේ ගම්පහ මහා අදිකාරම් තමා පළවෙනි අදිකාරම්. උඩ ගම්පහ මහා අදිකාරම් තමා දෙවෙනි අදිකාරම්. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාත් සිය පත්තුවේ මහා අදිකාරම් කියලා තනතුරක් තමන්ගේ පාලන කාලයේ ඇති කරනවා

දිසාවන් 12 තමා සතර කෝරළය, සත් කෝරළය, ඌව, මාතලේ, සබරගමුව, තුන් කෝරළය, වලපනේ, උඩ පළාත, නුවර කලාවිය, වෙල්ලස්ස, බින්තැන්න, තමන්කඩුව

රටේ මහත්තයෙක්

මහනුවර නගරය ආසන්නයේ තිබුණු ප්‍රදේශ 9 ක් රටවල් නමින් හඳුන්වලා තියෙනවා. ඒවා තමා උඩුනුවර, යටිනුවර, තුම්පනේ, හාරිස්පත්තුව, දුම්බර, හේවාහැට, කොත්මලේ, උඩ බුලත්ගම, පාත බුලත්ගම. රටවල් පාලනය කළේ රටේ මහත්තයා එහෙමත් නැත්නම් රටේරාළ කියන කෙනා

අවබෝධය පිණිස ඉතුරු දිසාවන් ටිකෙත් කොඩි ටික දාන්නම්. හැබැයි ඔක්කෝම නම් නැහැ

 සත් කෝරළය සිංහයා කොඩිය

ඌව දිසාව හංසයා කොඩිය

වෙල්ලස්ස දිසාව කොටියා කොඩිය

වලපනේ දිසාව මයුර කොඩිය

 නුවරකලාවිය දිසාව ගජසිංහ කොඩිය

මේ දිසාවන්වල කොඩි නම් හම්බුණේ නැහැ. ඒත් ඒ ඒ දිසාවන්වල කොඩි ටික මෙන්න

මාතලේ - සුදු මහ කොඩිය
සබරගමුව - පට රෙදි මහ කොඩිය
තුන් කෝරළය - භේරුණ්ඩ මහ කොඩිය
උඩ පළාත - නෙලුම් මල් මහ කොඩිය
බින්තැන්න - ගිරවා මහ කොඩිය
තමන්කඩුව - වලහා මහ කොඩිය


කොඩි ටික උපුටා ගත්තේ ආචාර්ය තෙන්නකෝන් විමලානන්ද මැතිතුමා ලියපු උඩරට මහ කැරැල්ල III කාණ්ඩය පොතෙන්

නිලධාරීන්ගේ පින්තූර ටික උපුටා ගත්තේ මහාචාර්ය රැල්ෆ් පීරිස් මැතිතුමා ලියපු සිංහල සමාජ සංවිධානය - මහනුවර යුගය

ප.ලි.: අද කතාව නම් ටිකක් අවුල් කියලයි මට හිතෙන්නේ. ඒත් අතරින් පතර වැදගත් තොරතුරු ටිකක් ඔයාලට කියවන්න ලැබුණා කියලා හිතනවා.

මේ දැනට ලියලා ඉවර ඉස්සරහට පළවෙන්න තියෙන ඉතිහාසයේ අප්‍රකට කතා list එක 

  • ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව පාවා දුන් අයට වැදුණු ශාපය ???
  • රජතුමාට දඩ ගැසූ උඩරට රාජ සභාව
  • 1818 කැරැල්ලට මූලික වුණු ව්‍යාජ රජු විල්බාවේට ජීවිත දානය, කැරැල්ල මෙහෙය වූ කැප්පෙටිපොළට මරණ දඬුවම