Wednesday, May 30, 2012

එතකොට සරත් ෆොන්සේකා කරපු දෙයක් නැතෙයි ???


ගමක හිටිය දුප්පත් මනුස්සයෙක් බොහොම මහන්සියෙන් සියඹලා වගයක් කඩලා තමන්ගේ භාර්යාවත් එක්ක ඒවා ටික පාර්සල් කරගෙන අමාරුවෙන් පාරට කරේ තියාගෙන ඇවිත් එදා බස් එකක් නොතිබුණු නිසා හුඟක් දුර පයින් එහෙමත් ගිහින් අන්තිමට නගරේ පොළට අරගෙන ආවලු.

පොළට ගිය වෙලේ මේ සියඹලා ගන්න ආපු මනුස්සයෙක් සියඹලා ටික ගන්නම් කියලා සියඹලා ටික කිරුවලු. 

පස්සේ මේ සියඹලාවල පොතු වැඩියි නේ කියලා කිලෝ ගාණක් අඩු කළාලු. 

ඊට පස්සේ සියඹලාවල ඇට තියෙනවා නේ කියලා තව කිලෝ ගාණක් අඩු කළාලු. 

ඊටත් පස්සේ මේ සියඹලාවල වතුර ගතිය වැඩියි නේ කියලා තවත් කිලෝ ගාණක් අඩු කළාලු. 

අන්තිමට බැලින්නම් සියඹලාවලට බරක් නැහැලු..... :))

පස්සේ ගමේ ඉදන් සියඹලා ගෙනාපු මනුස්සයා අහනවාලු

ඊයේ උදේ ඉදන් සියඹලා කඩලා මගේ මායියත් එක්ක ඒවා ඔතලා පාරට කරේ තියගෙන ඇවිත් පස්සේ බස් එකක් නැතුව අමාරුවෙන් මම එතකො පොළට සියඹලා ගෙනාවේ නැතෙයි ????


ඒකම තමයි මේ දවස්වල කෑ ගහන සමහරුන්ගෙන් මටත් අහන්න තියෙන්නේ එතකොට විජයග්‍රාහී පෙළපාලියේදී සැරින් සැරේ කියන විදිහට, පත්තරවල, ප්‍රවෘත්තිවල කියන විදිහට මේ යුද්දෙදී සරත් ෆොන්සේකා කරපු දෙයක් නැතෙයි ???

Saturday, May 26, 2012

ජාතික කෞතුකාගාරයේ සොරකම ගැන කට උත්තර ගැනීමට හසිත ගුණසිංහ CID යට


මම අන්තිමට ලියපු "කතෝලික පූජකයෙක් වී පෘතුගාලයේදී මියගිය උඩරට රජතුමා" post එකේ අන්තිමට තිබුණු සමහරවිට මේ මම ලියන අන්තිම ලිපිය වෙන්න පුලුවන් කියන එකත් එක්ක හුඟක් අය ඒ ගැන ප්‍රශ්න කළා වගේම තවත් සමහරු ඇහුවා blog එක වහන්නද යන්නේ කියලා. 

ඒත් පත්තු වෙලා තිබුණු ගින්දරත් එක්ක ඒකකටවත් උත්තරයක් දෙන්න පුලුවන්කමක් තිබුණේ නැහැ. ඉතින් අද මේ සූදානම එහෙම එකක් කිව්වේ ඇයි කියලා කියන්න. 

වනේ වන හතුරෙක්ටවත් මෙවන් විපතක් නොවේවා කියලා මුලින්ම පටන් ගන්නම්. මාතෘකාව දැක්කාම නිකම් බොරු බොරු වගේ කියලා හිතුණත් මේ නම් ඇත්තම ඇත්ත.

ගිය සතියේ බ්‍රහස්පතින්දා අපේ අක්කා කෙනෙක්ගේ wedding එකකට මම ගිහින් ඉද්දී phone එකේ save කරලා තිබුණු නැති Mobitel number එකකින් [ We care always නේ :)) ] call එකක් ආවා. 

මෙන්න මෙහෙමයි ඒ දෙබස් ටික


මේ ගුණසිංහ මහත්තයාද ?

ඔව් එයා තමා. කවුද මේ ?

අපි මේ CID එකෙන් කතා කරන්නේ. කොළඹ ජාතික කෞතුකාගාරයේ සිද්ධ වුණු සොරකම ගැන ඔයාගෙන් statement එකක් අපිට ගන්න උවමනා වෙලා තියෙනවා. අපි දැන් ........... පාරේ ඉන්නේ. කොහොමද ඔයාලගේ ගෙදර එන්නේ ???

....... පාරේ ටික දුරක් එද්දී පාරේ දකුණු පැත්තට වෙන්න තියෙනවා ............ මාවත. ඒකේ පළවෙනි ගෙදර.

ආහ් හරි. ඔයා දැන් ගෙදර ඉන්නවාද ?

මම දැන් නම් ගෙදර නෙමේ ඉන්නේ. Wedding එකකට ඇවිත් ඉන්නේ. මොකද කරන්නේ එතකොට ?

අපි දැන් ගේ ගාව ඉන්න. ........... පාට ගාලා තියෙන ගෙදර නේද ?? 

ඔව් ඔව්. 

Statement එක ගන්න අපිට ආයි එන්න බැහැ. හෙට උදේට CID එකට එන්න පුලුවන්ද ?

හෙට නම් බැහැ හෙට මට තව wedding එකක් තියෙනවා.

අනිද්දා ?

අනිද්දා අද wedding එකේ home coming එක තියෙනවා.

ඉරිදා ?

ඉරිදාට සිකුරාදට තියෙන wedding එකේ home coming එක

සඳුදා ?

සඳුදා මට campus යන්න තියෙනවා

මහත්තයා ඔයා නීතියත් එක්ක සෙල්ලම් කරන්න එපා. අපිට මේ වැඩේ ඉක්මණට කරන්න ඕනේ.
අඟහරුවාදා කොහොමද ?

අඟහරුවාදා මම එන්නම් එහෙමනම්. කොතනද CID එක තියෙන්නේ ?

කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානේ පහු කරලා කොටුව පැත්තට එද්දී හම්බෙන Cargills එක හරියෙන් අහන්නකෝ. එතකොට තැන ඕන කෙනෙක් පෙන්නයි

ඔයාලගේ ගෙදර මිදුලේ කවුද ඉන්නවා ?

ආහ් තාත්තා වෙන්න ඇති.

අපි එයාටත් විස්තරේ කියලා යන්නම්

ආහ් හරි

-------------------------------------------

මෙහෙමයි කතාව. 

මම සිරාවටම හිතුණේ අපේ ගොන් ජොකියෙක් කරන විහිළුවක් කියලාමයි. අලුත් number එකකට මාරු වුණු ගමන් හුඟක් එවුන් ඔහොම කරනවානේ. ඒක නිසයි එක දිගට මඟුලුයි home coming කතායි කිව්වෙත්. 

කෝකටත් කියලා මුන් ඇත්ත CID ද කියලා බලන්නත් එක්ක තමා CID එක තියෙන තැනත් ඇහුවේ. පස්සේ ඉතින් තාත්තටත් කියන්නම් කිව්වනේ. බලමුකෝ මොකෝ වෙන්නේ කියලා මම හිටියා.


තාත්තා මඟුල් ගෙදරට ආපු ගමන් මම ඇහුවා විස්තරේ. ඇත්ත තමා ඇත්තම CID එකෙන් තමා ඇවිත් තියෙන්නේ. පස්සේ ගෙදර යන ගමන් අම්මාට මේක කිව්වාම අම්මත් කෑ ගහනවා "මොන එහෙකටද CID එකෙන් එන්නේ" කියලා. 

තාත්තා කිව්වා "ආපු CID එකේ අය කිව්වා මෙයා කෞතුකාගාර පුස්තකාලෙට ඇවිත් තියෙනවා. ඒකයි කට උත්තරයක් ගන්න ඕනේ" කියලා. 

පස්සේ මම කිව්වා මට හිතෙන විදිහට විස්තරේ. අපේ Histroy Department එකෙන් කරන magazine එක තමා ඓතිහාසික ලේඛන සංග්‍රහය. ඒකට මම ලියන්න හිතාගෙන ඉන්නේ දක්ඛිණ ථූපය ගැන. ඒක ගැන මම කලින් e-අටුවාවටත් ලිව්ව post එක කරලා තව සංස්කරණය කරලා තමා ලියන්න ඉන්නේ

ඒකට දක්ඛිණ ථූපයේ සෙල්ලිපියක් තියෙන පොතක් හොයාගන්න ඕනේ වුණා. පොත තමා Inscription of Ceylon Volume 2 Part. Campus library එකේ හෙව්වාට ඒකේ ඒ පොත තිබුණේ නැහැ. 

පස්සේ Archy කරන රිටා කිව්වා ජාතික කෞතුකාගාර පුස්තකාලේ ඇති. ඒකේ නැති පොතක් නැහැ කියලා. කෞතුකාගාර පුස්තකාලේ වාර්ෂික සාමාජිකත්වය ගන්න ඕනේ රුපියල් 300 ගාණක්. මට හැමදාම වැඩ නැහැනේ. එක දවසකට යන්නත් පුලුවන්ලු රුපියල් 10 ලු.

ඉතින් දවසක් මම හවස් වරුවක කෞතුකාගාර පුස්තකාලේ ගියා. ඕනේ කරන පොතේ විස්තර කොළේක ලියලා ඒකෙම අපේ නම, ලිපිනය, එහෙමත් ලියන්න ඕනේ නිසා ඒවත් ලියලා සල්ලිත් බැදලා මම පොත ගේනකම් හිටියා. 

පස්සේ ඒ පොත මේ පුස්තකාලෙත් නැහැ. මම ඉතින් එන්නම් කියලා ආවා. එළියට ඇවිත් රිටාට ඕක කිව්වාම ඌ කිව්වා "පුරාවිද්‍යා දෙපාර්තමේන්තු පුස්තකාලේ නම් ඇති" කියලා. පස්සේ මට ඒ සෙල්ලිපිය internet එකෙන් හොයාගන්න පුලුවන් වුණා

ඒක නිසා ජාතික කෞතුකාගාරයට ගිය එකෙන් කාලෙත් අපරාදේ සල්ලිත් අපරාදේ... අන්තිමට වුණේ ඇඬෙනවා තනි ඇහැට කියලා CID යන්න :(


කිව්වට හොරයක් බොරුවක් නැහැ. හිතේ පොඩි බයක් නම් තිබුණා. වැරැද්දක් කරලා නම් නැහැ තමා. ඒත් මේ ශ්‍රී ලංකාවනේ...

අන්තිමට අඟරුවාද උදේ මමයි තාත්තයි CID එකට ගිහින් ඇතුළට යන්න කලින් එදා ආපු Inspector ගේ number එකට call කරලා කිව්වා "අපි ඇවිත් ඉන්නේ. කොතනටද එන්න ඕනේ" කියලා

එතකොට එයා කියනවා "ආහ් සර් එන්න ඕනේ නැහැ. අපි එදා ආපහු ඇවිත් අපේ chief ට විස්තරේ කිව්වා. එයා කිව්වා මෙයා campus එකේ ළමයෙක්නේ. තාත්තා හමුදාවේනේ. ඒක නිසා statement එකක් ගන්න අවශ්‍ය නැහැ. උවමනා වුණොත් ඉදිරියේදී ගන්න කියලා"

ඕන් කතාව. මට හොඳ ඒවා මතක් වුණා. එහෙම එකක් කිව්වා නම් එදාම කියපිය. මගේ බොක්කේ පත්තු වෙලා තිබුණු ගින්දර

මේ කුණු කතා
   

පස්සේ තාත්තයි මායි St. John Ambulance Headquartes එකට ගියා තාත්තගේ වැඩකට. මම office එකේ වාඩිවෙලා ඉද්දී එතනට ආපු චන්දික සර් [සර් කිව්වට අවුරුදු 30 ක් විතර. අපිට කතා කරන්නේම මචං කියලා]

ඒ හසිතයා. අපි යාළුවොනේ බන්. මට පොඩි මැණික් කෑල්ලක්වත් දියන් බන් කියලා හිනාවෙවී කියනවා :))

මම කිව්වා "අම්මෝ චන්දික සර් බණ කතා කරන්න එපා. මම පත්තු වෙලා හිටිය පත්තුවිල්ල" කියලා

මේ හැමෝටමයි කියන්නේ කවුරුත් කාටවත් බොරුවට ඔය CID, පොලිසියෙන් කියලා කරලා විහිළු කරනවා එහෙම නෙමෙයි. අන්තිමට ඇත්තටම කතා කරපු දවසට වෙන්නේ "  අර හැමදාම කොටියා ආවා කොටියා ආවා කියලා බොරු කියපු කොල්ලට ඇත්තටම කොටි ඇවිත් සිද්ධ වුණු දේ වගේ "    දෙයක්

ඉතින් මම නැවතත් සුපුරුදු පරිදි වැඩවලට............ 

මේ දැනට ලියලා ඉවර ඉස්සරහට පළවෙන්න තියෙන ඉතිහාසයේ අප්‍රකට කතා list එක 
  • ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව පාවා දුන් අයට වැදුණු ශාපය ???
  • රජතුමාට දඩ ගැසූ උඩරට රාජ සභාව
  • 1818 කැරැල්ලට මූලික වුණු ව්‍යාජ රජු විල්බාවේට ජීවිත දානය, කැරැල්ල මෙහෙය වූ කැප්පෙටිපොළට මරණ දඬුවම
  • රජ කාලේ තිබුණු Inter Disawe Competition for ඉර හඳ කොඩිය

Saturday, May 19, 2012

කතෝලික පූජකයෙක් වී පෘතුගාලයේදී මියගිය උඩරට රජතුමා - ඉතිහාසයේ අප්‍රකට කතා 04

Nossa Senhora das Portas do Ceu දේවස්ථානය

පෘතුගාලයේ ලිස්බන් දිස්ත්‍රික්කයේ තිබෙන නගරයක් තමා Telheiras කියන්නේ. ඒ නගරයේ ඉදිකරලා තිබෙන ප්‍රධාන කිතුණු පල්ලියක් තමයි Nossa Senhora das Portas do Ceu [ඉංග්‍රීසි අර්ථය -  Our Lady of Heaven's Door] 

මේ දේවස්ථානයට ඇතුළු වන ප්‍රධාන දොරටුවේ ආරුක්කුවේ තිබෙන්නේ මෙවැනි සටහනක් 

"Foi construido pelo Principe de Candia"

මෙහි තේරුම තමයි මෙය [දේවස්ථානය] ඉදිකරන ලද්දේ කන්දේ කුමාරයා විසින් බවයි.

පෘතුගීසින් ශ්‍රී ලංකාවේ කන්ද උඩරට හඳුන්වනු ලැබුවේ මේ Candia වදනින්. උදාහරණ ලෙස දැක්වුවහොත් 1652 දී පෘතුගාල රජු වුණු IV ජෝන් විසින් ලංකාවේ කන්ද උඩරට පාලකයා වුණු II රාජසිංහ රජුට එවූ ලිපියක ආමන්ත්‍රණය යොදන්නේ Nobre e Honrado Rey de Candia [සිංහල අර්ථය උතුම් වූත්, ගරු කටයුතු වූත් උඩරට රජු]
ඊළඟට අපිට නැගෙන ප්‍රශ්නය තමයි පෘතුගාලයේ වාසය කළ උඩරට කුමාරයා කවුද ? මොකක් නිසාද ඒ කුමාරයා පෘතුගාලයේ වාසය කළේ ? ඒ වගේමයි ඒ කුමාරයා පෘතුගාලයේ ක්‍රිස්තියානි පල්ලියක් ඉදිකරන්න හේතුව මොකක්ද ? [මේ අන්තිම ප්‍රශ්නේ නම් හුඟක් වෙලාවට අපිට ඇතිවෙන්නේ සාම්ප්‍රදායික ශ්‍රී ලංකාවේ පාලකයා බෞද්ධයෙක් විය යුතුයි කියන පිළිගැනීම තිබෙන නිසා]

අද ආගිය කතාවෙන් එන අප්‍රකට ඉතිහාස කතන්දරය වෙන්වෙන්නේ ඒක කතාව කියන්න.

මේ කතාව ආරම්භ වෙන්නේ 1582 දී සීතාවක රාජසිංහ රජතුමා උඩරට ආක්‍රමණය කිරීමත් සමඟ. ඒ ආක්‍රමණය නිසා උඩරට පාලකයා වුණු කරලියැද්දේ බණ්ඩාර තමන්ගේ බිසව, පුතා, දියණිය වුණු කුසුමාසන දේවියත්, බෑණා වුණු යමසිංහ බණ්ඩාරත් පෘතුගීසීන්ගේ ආරක්ෂාව පතාගෙන ත්‍රිකුණාමලයට පලා යනවා. 

ත්‍රිකුණාමලයේදී සිදුවෙන අභාග්‍ය සම්පන්න තත්වය වෙන්නේ වසූරිය වැළදිලා කරලියැද්දේ බණ්ඩාරත්, ඔහුගේ බිසවත්, පුත්‍රයාත් මියයාම. වසූරියෙන් ගැලවෙන්නේ කරලියැද්දේගේ දියණිය වුණු කුසුමාසන දේවියත් බෑණා වුණු යමසිංහ බණ්ඩාරත් පමණයි.

මියයන්නට පෙර කරලියැද්දේ බණ්ඩාර තමන්ගේ දියණිය විවාහ වෙන්න පුලුවන් වයසකට එනතෙක් [ඒ වෙද්දී කුසුමාසන දේවියට වයස අවුරුදු 4 යි] තමන්ගේ අනුප්‍රාප්තිකයා විදිහට උඩරට පාලනය කිරීමේ බලය යමසිංහ බණ්ඩාරට පවරනවා.

පසුව කොළඹට එන යමසිංහ බණ්ඩාරව ෆ්‍රැන්සිස්කානු ජූජකවරුන් සමඟ ඉන්දියාවේ ගෝවේ නගරයට පිටත් කරනු ලබනවා. 1588 ගෝවේදී යමසිංහ බණ්ඩාරව දොන් පිලිප් විදිහට බෞතිස්ම කරනවා. එහිදී යමසිංහ බණ්ඩාරගේ අනුග්‍රාහකයා හෙවත් මඤ්ඤා විදිහට ඉදිරිපත් වෙන්නේ එකල ගෝවේ පෘතුගීසි ප්‍රතිරාජයා වුණු ෆර්නාවෝ තෙල්ලෙස් ද මෙනෙසස්. දේව මෙහෙය පවත්වන්නේ ගෝවේ අග්‍රරාජගුරු ප්‍රසාදීන් වුණු විසෙන්ති ද ෆොන්සේකා. 

මේ අවස්ථාවේදීම අවුරුදු 10 ක් පමණ වයසැති යමසිංහ බණ්ඩාරගේ පුත්‍රයා දොන් ජුවන්/ ජෝන් Dom Joao ලෙසත් වීරසුන්දර බණ්ඩාර මුදලිගේ පුත්‍රයා වුණු කොනප්පු බණ්ඩාර [පසුව I විමලධර්මසූරිය නමින් රජවුණේ] ඔස්ට්‍රියාවේ දොන් ජුවන්/ ජෝන් ලෙසත් බෞතිස්ම කරනවා

කොහොම වුණත් බෞතිස්ම නාමයන් මොකක් වුණත් යමසිංහ බණ්ඩාර, කොනප්පු බණ්ඩාර කියන නම්ම ඉදිරියටත් මම භාවිතා කරන්නම්.

බෞතිස්මයෙන් පසුවත් ගෝවේම සිටි යමසිංහ බණ්ඩාරට මාසෙකට පගෝදි 60 ක දීමනාවකුත් පෘතුගීසින්ගෙන් හිමිවෙනවා. ඒත් ඔහුගේ ඉල්ලීම වුණේ තමන්ගේ උරුමය වුණු කන්ද උඩරට රාජ්‍යය තමන්ට පවරලා දෙන්න කියන එක. කොහොම නමුත් ඒ අවස්ථාවේදී ඒ ඉල්ලීම ඉටුකරන්න පෘතුගීසීන් අපොහොසත් වෙනවා. 

 II පිලිප්

ඒ කාලයේ පෘතුගාලයේ මෙන්ම ස්පාඤ්ඤයේත් රජතුමා වුණු II පිලිප් හමුවෙලා තමන්ගේ ඉල්ලීම කරන්න යමසිංහ උත්සහ කරද්දී II පිලිප් කරන්නේ මන්නාරම ආසන්නයේ දූපතක් යමසිංහට පවරලා දීපු එක.

මෙතන පෘතුගාලයේ මෙන්ම ස්පාඤ්ඤයේත් රජු කියන යෙදුම ගැටළුවක් වෙන්න පුලුවන් නිසා ඒකත් පහදන්නම්. 1580 දී පෘතුගාල රජු වුණු හෙන්රි අනුප්‍රාප්තිකයෙක් නොමැතිව මියයාම නිසා ඒ වෙනකොට පෘතුගාල රජතුමාගේ සමීප ඥාතියෙක් වුණු ස්පාඤ්ඤයේ II පිලිප් රජතුමා පෘතුගාලයේත් රජතුමා බවට පත්වෙනවා. මේ පාලනය අවසන් වෙන්නේ IV ජෝන් විසින් ස්පාඤ්ඤ පාලනයෙන් පෘතුගාලය මුදවා ගැනීමෙන් පස්සේ

කොහොම නමුත් යමසිංහ සහ ඔහුගේ පුතා බෞතිස්ම වීම රඟපෑමක් දෝ කියන සැකයෙන්ම තමා I පිලිප් රජතුමා හිටියේ. ඒක නිසාත් උඩරට ආක්‍රමණයට පෘතුගීසි සහය ලබාදෙන්න රජතුමා අදිමදි කළා වෙන්න පුලුවන්. 

මේ වගේ තත්වයකදී තමා උඩරට හිටිය දොන් ෆ්‍රැන්සිස්කෝ විජයකෝන් මුදලි සීතාවක රාජසිංහට විරුද්ධව අරගලයක් ආරම්භ කරලා යමසිංහ බණ්ඩාරට උඩරට සිහසුනට ආරාධනා කරන්නේ.

මන්නාරම

මේ අතර වාරයේදී තමන්ගේ පෘතුගීසි හිතවත්බව පෙන්වන්න යමසිංහ බණ්ඩාර සහ ඔහුගේ පුතා වුණු දොන් ජෝන් නිල සන්නස් පත්‍රයක් සකස් කරලා තමන්ට පිරිමි දරුවන් නොමැතිව මිය ගියොත් උඩරට රාජ්‍යය පෘතුගාල රජුට අයිතියි කියලා පවරා දීමක් සිදු කරනවා. මේකට සාක්ෂි විදිහට මන්නාරමේ පෘතුගීසි කපිතාන් ඇතුළු පිරිසක් අත්සන් තබනවා.

1590 දී සීතාවක රාජසිංහ නැවත වරක් කොළඹ කොටුව වටලලා කරපු හානියත් එක්ක සීතාවක විරුද්ධව තවත් බල කඳවුරක් ඇතිකිරීමේ අපේක්ෂාවෙන් පෘතුගීසින් නැවත වරක් උඩරට රාජ්‍යය ඇතිකරන්න කල්පනා කරනවා. ඒ යටතේ යමසිංහ බණ්ඩාර, කොනප්පු බණ්ඩාර සමඟ පෘතුගීසි හමුදාවක් කන්ද උඩරටට පිටත් කරනවා. දොන් ෆ්‍රැන්සිස්කෝ විජයකෝන් මුදලිගේ සහයත් එක්කම 1591 දී යමසිංහ බණ්ඩාර හෙවත් දොන් පිලිප් ගන්නෝරුවේදී උඩරට රජතුමා විදිහට පත් කරනවා.

මේකට කොනප්පු බණ්ඩාරගේ නම් එතරම් කැමැත්තක් තිබුණේ නැහැ. ටික දිනකින්ම යමසිංහ බණ්ඩාර අසනීප වෙලා මියයනවා. මෙහිදී සිදුවෙන්නේ යමසිංහ බණ්ඩාරට කොනප්පු බණ්ඩාර වසදීලා ඝාතනය කළා කියලත් කියවෙනවා.

 දොන් ජෝන් කුමරු Dom Joao de Candia

යමසිංහ මියයාමත් එක්ක ඔහුගේ පුතා වුණු දොන් ජෝන් උඩරට රජු විදිහට පත්කරන්න පෘතුගීසීන් කටයුතු කරනවා. ඒ සමඟම කුඩා ළමයෙක් රජ කරවීම, කිතුණුවෙක් රජ කරවීම වැනි කරුණු මුල් කරගෙන උඩරට රදළ ප්‍රභූවරුන්ගේ වගේම නායක භික්ෂූන් වහන්සේලාගෙත් සහය ලබාගත්තු කොනප්පු බණ්ඩාර උඩරට කැරැල්ලක් ඇති කරනවා. 

 I විමලධර්මසූරිය

මේ නිසා දොන් ජෝන් රජතුමා සහ ඔහුගේ මිත්තණියත්, උඩරට සිටිය පෘතුගීසීනුත් ආරක්ෂාව පතා මන්නාරමට පසු බසිනවා. කොනප්පු බණ්ඩාර මේ පිරිසට බාධාවක් කරන්නේත් නැහැ. අවසානයේදී 1592 දී කොනප්පු බණ්ඩාර නොහොත් ඔස්ට්‍රියාවේ දොන් ජෝන් I විමලධර්මසූරිය නමින් උඩරට රාජ්‍යත්වයට පත්වෙනවා. අපි මේ ගැන කලිනුත් කතා කළානේ.

මන්නාරමට පසුබැස්ස දොන් ජෝන් කුමාරයාව පෘතුගීසීන් කොළඹට පිටත් කරනවා. කොළඹදී ඔහුට තවත් රාජකීය මිතුරෙක් එක්වෙනවා. ඒ සීතාවක රාජසිංහ රජතුමාගේ අනුප්‍රාප්තිකයා වුණු නිකපිටියේ බණ්ඩාර. ඔහුත් ඒ වනවිට කිතුණු දහම වැළැදගෙන දොන් පිලිප් නමින් බෞතිස්ම වෙලා හිටියේ. නිකපිටියේ බණ්ඩාරගේ කතාවත් ඉදිරියේදී කියන්නම්

මොවුන් දෙදෙනාව කොළඹ පිහිටි ශාන්ත අන්තෝනි විද්‍යාලයට ඇතුළත් කරලා අධ්‍යාපනය ලබාදෙන්න පෘතුගීසීන් කටයුතු කරනවා. පසුව පෘතුගීසීන් විසින් මේ කුමාරයන් දෙදෙනාම ඉන්දියාවේ ගෝවේ නගරයට පිටත් කරනවා උසස් අධ්‍යාපනය සඳහා.

මැගී විද්‍යාලයේ දේවස්ථානය

ගෝවේ බාර්ඩෙස්වල පිහිටි මැගී විද්‍යාලයේදී [College of Magi] දේව ධර්මය හා ලතින් භාෂාව මේ කුමාරවරුන් අවුරුදු 15 ක් හදාරනවා. 

පසුව ක්‍රිස්තියානි සහෝදරතුමන්ලා බවට පත්වෙන මේ කුමාරවරු දෙදෙනා තවදුරටත් උසස් අධ්‍යාපනය ලැබීමේ අරමුණින් 1610 දී පමණ ආන්ද්‍රේ ද ෆර්ටාඩෝ සහ අග්‍රරාජගුරු ප්‍රසාදීන් වුණු ඇලෙක්සියෝ මෙනෙසෙස් භාරයේ පෘතුගාලයට පැමිණෙනවා. ලිස්බන් වරායේදී මේ දෙදෙනාව පිළිගන්නේ ඔවුන් ගෝවේ වෙතට ගෙන එද්දී ගෝවේ පෘතුගීසි ප්‍රතිරාජයාව සිටි කොන්ඩේ ද විඩිගුඑයිරා විසින්. 

කුමාරවරුන්ට වාඩිවීමට පසුපස ඇඳි සහිත පුටු පිරිනැමුණු අතර ගෞරවයෙන් ඔවුන්ගේ නිල නිවහන බවට පත් කර තිබුණු ලිස්බන්හි ශාන්ත ෆ්‍රැන්සිස්කෝ ද පොන්ටේවල තිබුණු පූජකාරාමයට ඔවුන් කැඳවාගෙන යනවා. 

 III පිලිප්

මේ දෙදෙනාගේ පැමිණීම ගැන දැනගත්තු පෘතුගාලයේ රජතුමා වුණු III පිලිප් මේ දෙදෙනාව කොයිම්බ්‍රා නගරයේ වූ කොයිම්බ්‍රා විශ්වවිද්‍යාලයට අනුබද්ධිත ශාන්ත පේදුරු සහ ශාන්ත පාවුළු විද්‍යාලවලට ඇතුළත් කරලා අධ්‍යාපනය ලබාදෙන්න නියම කරනවා.

කොයිම්බ්‍රා විශ්වවිද්‍යාලය

ඒ වෙනකොටත් කලා උපාධියක් හදාරමින් හිටිය දොන් පිලිප් හෙවත් නිකපිටියේ බණ්ඩාර මේ යෝජනාවට කැමතිවෙලා කොයිම්බ්‍රා වෙතට පිටත් වුණත් ශාන්ත පාවුළු විද්‍යාලයට ඇතුළත් වෙන්න කලින් 1611 දී අසනීප වෙලා මිය යනවා.

අවුරුදු 16 ක් විතර කාලයක් තමන් එක්ක හිටපු සගයාගේ අභාවයෙන් දැඩි කම්පාවකට දොන් ජෝන් පත්වෙනවා. ඒ නිසාමදෝ කොයිම්බ්‍රා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා උසස් අධ්‍යාපනය හදාරන එක ප්‍රතික්ෂේප කරන දොන් ජෝන් ලිස්බන්වලම රැඳී ඉන්නවා. 

1611 නොවැම්බර් 26 වන දින දොන් ජෝන් ක්‍රිස්තියානි පූජකතුමෙක් ලෙසට උසස් කිරීමත් එක්කම Moorish Quarte හි පිහිටි මාළිගයක් ඔහුගේ වාසස්ථානය බවට පත්වෙනව. එතැන් පටන්  කෘසෝද 4000 ක දීමනාවක් පෘතුගාල රජය විසින් දොන් ජෝන්ට ලබාදෙනවා.

1625 දී Telheiras ප්‍රදේශයෙන් ඉඩමක් මිළට ගත්තු දොන් ජෝන් එහි යාඥා ගෘහයක් ඉදි කරනවා. ඒ කාලයේදීම ඔහු Brotherhood Our Lady of Heaven's Door බිහි කරන්නට මූලික වෙනවා. එයින් අපේක්ෂා කෙරුනේ ෆ්‍රැන්සිස්කානු නිකායේ අභිවෘද්ධිය පිණිස කටයුතු කිරීමයි

 IV පිලිප්

1626 දී ස්පාඤ්ඤයේ මැඩ්රිඩ්වලට යන දොන් ජෝන් පුද්ගලිකවම පෘතුගාලයේ මෙන්ම ස්පාඤ්ඤයේත් රජතුමා වුණු IV පිලිප්ව හමුවෙනවා. එහිදී කන්ද උඩරට රාජ්‍යය සඳහා තමන්ට ඇති හිමිකම දොන් ජෝන් විසින් IV පිලිප්ට පවරනවා. ඒ වගේම තමන්ට ලැබෙන දීමනාව ප්‍රමාණවත් නොවන බව දැනුම් දීමත් එක්ක ඒක කෘසෝද 8000 ක් දක්වා ඉහළ නංවන්න IV පිලිප් කටයුතු කරනවා. 

ඒවගේම ස්පාඤ්ඤයේ ග්‍රැන්ඩී තනතුරකටත් දොන් ජෝන්ව පත් කරනවා වගේම රජතුමා ඉදිරියේ ආවරණය වී සිටීමේ අයිතියත් බිෂොප්වරුන්ගේ ආසන පේළියේ අසුන් ගැනීමේ අයිතියත් දොන් ජෝන්ට ලබාදෙනවා.

1580 දී ධර්මපාල රජතුමා විසින් කෝට්ටේ රාජ්‍යය පෘතුගාලයේ හෙන්රි රජතුමාට තෑගි ඔප්පුවක් මඟින් පිරිනැමීමෙන් පස්සෙත් මේ ආකාරයටම ධර්මපාල රජතුමාට පෘතුගාල රජය විසින් වාර්ෂිකව දීමනාවක් ලබාදීම සිදුවුණා.

පසුව Telheiras වෙත පැමිණෙන දොන් ජෝන් තමා මිළට ගත්තු ඉඩමේ පල්ලියක් සහ පූජකාරාමයක් ඉදිකරවීමේ කටයුතු ආරම්භ කරනවා ස්වර්ග දොරටුවේ අප ස්වාමි දුවගේ නාමයෙන් [Our Lady of Heaven's Door] නාමයෙන්. 


1639 ඔක්තෝබර් 20 ඉදිකරලා අවසන් වුණු මේ පල්ලිය ෆ්‍රැන්සිස්කානු පූජකවරුන්ට භාර දීපු දොන් ජෝන් දේවස්ථානයට ඒ අසළ තිබුණු උද්‍යානයක් පරිත්‍යාග කරනවා වගේම තමන්ට ලැබෙන දීමනාවෙන් වාර්ෂිකව කෘසෝද 1000 ක් ලැබෙන්න සලස්වනවා.

Moorish Quarte හි පිහිටි නිවහනේ ජීවත් වුණු දොන් ජෝන් සුසානා ද ආබෲ සමඟ ජීවත් වූ බව කියවෙනවා. ඒ සම්බන්ධතාවය නිසා දොන් ජෝන්ට දාව ගැහැණු දරුවෙක් පවා සුසානාට 1634 දී ලැබී තිබෙනවා. මාරියා ඇන්ටෝනියා නම් වූ ඒ ගැහැණු දරුවා පසු කලෙක කන්‍යා සොයුරියක් වූ බවයි කියවෙන්නේ.

වසර 64 ක් පමණ කාලයක් ජීවත් වුණු දොන් ජෝන්ව පෘතුගාල වැසියන් හඳුන්වන්නේ Black Prince නමින්. අවසානයේදී දොන් ජෝන් 1642  අප්‍රේල් 1 Moorish Quarte හි පිහිටි නිවහනේදී මිය යනවා. ඒත් දොන් ජෝන්ගේ ඉල්ලීම පරිදි ඔහුගේ සිරුර භූමදාන කරන්නේ ඔහු විසින් ගොඩනංවන ලද Nossa Senhora das Portas do Ceu දේවස්ථාන භූමියේ.

ඒ සොහොනේ තිබුණු පාෂාණමය කොටස් දෙකක් මේ වනවිට ලිස්බන්හි තිබෙන කාර්මෝ පුරාවිද්‍යා කෞතුකාගාරයේ තබා තිබෙනවා.

දේවස්ථානයේ තුළ ඇති දේව මෑණියන්ගේ ප්‍රතිමාව

1708 දී පූජකවරුන් දොන් ජෝන්ව මිහිදන් කෙරුණු ස්ථානය කැණීම් කොට ඔහුගේ අස්ථි කොටස් කීපයක් සොයාගන්නවා. පසුව ඒවා මහත් ගෞරවයෙන් දේවස්ථානයේ පූජාසනය ආසන්නයේ කිරිගරුඬවලින් නිර්මාණය කළ සොහොන් ගැබක තැන්පත් කරනවා. එහි පහත සටහනද සටහන් කර තබනවා

"Quisacram hanc Mariae aedem fundavit hic Candiae Principis ossa Septiantur" 

[සිංහල අර්ථය - මෙහි වළ දමා ඇත්තේ මරියාතුමියට ගෞරව පිණිස මේ ශුද්ධ මන්දිරය තැනවූ කන්දේ කුමාරයාගේ ශරීර කොටස්ය]

වරින්වර භූමිකම්පා, සිවිල් යුද ප්‍රහාර ආදී ආපදා රාශියකට මුහුණ දීපු පෘතුගාලයේ ලිස්බන් නුවර Telheiras ප්‍රදේශයේ තිබෙන මේ Nossa Senhora das Portas do Ceu දේවස්ථානය කියාපාන්නේ තමන්ගේ මවු රටින් බැහැරව විදෙස් ආගමක් වැළදගෙන ඒ වෙනුවෙන් කටයුතු කරපු උඩරට රාජ්‍යයේ සිංහල රජතුමෙක් වුණු දොන් ජෝන්ගේ කතාන්දරයයි.........

Nossa Senhora das Portas do Ceu දේවස්ථානයේ ඡායාරූප බලන්න කැමති නම් මෙතනින් යන්න

මේ ලිපිය ලියන්නට මග පෙන්වීමක් සිදු කළ මල්මි අක්කාට විශේෂ ස්තුතිය :)

ප.ලි.: සමහර විට මම ලියන අන්තිම ලිපිය මෙය වන්නට පුලුවන්

Monday, May 14, 2012

හොඳ හොඳ වස් කවි කී කුංකුණාවේ හාමුදුරුවන්ගේ තවත් කතා කීපයක්


 වස් කවියෙන් හරි හරි වැඩ කරපු මහනුවර යුගයේදී වැඩ වාසය කරපු කුංකුණාවේ හාමුදුරුවන් ගැන කලින් දවසක කතා කළානේ. ඒකෙන් කතා කළේ හාමුදුරුවෝ කියපු හොඳ හොඳ වස් කවිනේ. අද කියන්නේ හාමුදුරුවන් සම්බන්ධ හොඳ හොඳ කතා ටිකක්.

මතකනේ එදත් මම කිව්වා කුංකුණාවේ හාමුදුරුවොත් එක්ක හිත හොඳ නැති හාමුදුරුවරු එහෙමත් හිටියා කියලා. ඒ වගේමයි ගිහියොත් හිටියා කුංකුණාවේ හාමුදුරුවොත් එක්ක එච්චර හිත හොඳ නැති. ඒ එක් කෙනෙක් තමා "ලෙව්කේ" දිසාව. 

දවසක් දා දිසාව හිතා ගත්තා හාමුදුරුවන්ට හොඳ වැඩක් කරන්නම් කියලා සාංඝික දානයකට කටයුතු සූදානම් කරලා කුංකුණාවේ හාමුදුරුවන්ටත් ඒකට ආරාධනා කළා.

ඉතින් මේ දානයට කුංකුණාවේ හාමුදුරුවොත් වැඩම කළා. දානේ වෙලාවෙදී කුංකුණාවේ හාමුදුරුවන්ව අපහසුතාවයට පත් කරන්න හිතා ගත්තු ලෙව්කේ දිසාව කෑලිවලට කපන්නේ නැතුව කන්න අපහසු වෙන ලොකු මස් කුට්ටියක් කුංකුණාවේ හාමුදුරුවන්ට පිළිගැන්නුවා

මේ විශාල මස් කුට්ටිය වළඳන්න බැරුව හාමුදුරුවන් අපහසුතාවයකට මූණ දෙන්න වෙයි කියලා ලෙව්කේ දිසාව බලන් ඉද්දී එයා දැක්කා කුංකුණාවේ හාමුදුරුවෝ මස් කුට්ටිය අතින් අල්ලාගෙන අත පුරා මූණ පුරා ගාගෙන දත්වලින් ඉරාගෙන වළදන්න පටන් ගන්නවා. 

මේ වෙලාවේ සමච්චල් හිනාවක් දාපු ලෙව්කේ දිසාව මහ හයියෙන් හැමෝටම ඇහෙන්න  කිව්වා "මොකද හාමුදුරුවනේ මේ සුනඛ සෙයියාවෙන් දන් වළදන්නේ"   කියලා. 

ඒකට උත්තර විදිහට කුංකුණාවේ හාමුදුරුවෝ ක්ෂණිකව කිව්වා "  සුනඛයන් දුන් දානේ සුනඛ සෙයියාවෙන් වළදන්න එපැයි දිසාවේ"     කියලා :))

තවත් දවසක් දා තවත් හාමුදුරුවරු කණ්ඩායම එක්ක කුංකුණාවේ හාමුදුරුවොත් රජ මාළිගාවේ දානෙකට වැඩම කළා. සග මහලු පිළිවෙලට හාමුදුරුවරු අසුන් ගනිද්දී උපසම්පදාවෙන් වැඩි වස් ගණනාවක් නොතිබුණු කුංකුණාවේ හාමුදුරුවෝ තමා අන්තිමයාට වාඩි වෙලා හිටියේ. 

මෙදා දානෙට බිත්තර තම්බලා එහෙමත් තිබුණාලු. රජතුමා මුලින්ම නායක හාමුදුරුවන්ට බිත්තරයක් බෙදන්න ගියත් උන් වහන්සේ පාත්‍රය අතින් ආවරණය කළා. ඔයාලත් දන්නවනේ හාමුදුරුවෝ ඒ විදිහට පාත්‍රය අතින් ආවරණය කරන්නේ ඒ ආහාරය අවශ්‍ය නැහැ හරි ලැබුණු ප්‍රමාණය ප්‍රමාණවත් කියන්න හරිනේ

මේක නම් ප්‍රධාන කතාව මැද්දේ යන පොඩි කුණු කතාවක්. අපේ එකෙක් දානෙකට ගිහින් හාමුදුරුවන්ට දානේ බෙදද්දී හාමුදුරුවෝ ඇතියි කියන්න පාත්‍රය අතින් ආවරණය කළාලු. මූ හාමුදුරුවන්ගේ අත අයින් කරලා තව හොඳි ටිකක් පාත්‍රයට බෙදුවලු. 

පස්සේ මූ කියනවලු "  බලපන් බන් හාමුදුරුවෝ කරන කෝලම් වැඩ. හොඳි බෙදද්දී පාත්තරේට අත අල්ලලා අතත් පුච්ච ගත්තා ඇඟ පුරා හොඳිත් හලා ගත්තා"   කියලා :))

ආයි ප්‍රධාන කතාවට ආවොත් නායක හාමුදුරුවෝ ඒ විදිහට බිත්තර ප්‍රතික්ෂේප කරපු නිසා අනිත් හාමුදුරුවරුත් බිත්තර පිළිගත්තේ නැහැ.  රජ්ජුරුවෝ අන්තිමට හිටිය කුංකුණාවේ හාමුදුරුවන්ට බිත්තරයක් පිළිගන්වන්න යද්දී උන් වහන්සේ ඒකට ඉඩ දුන්නා. අතින් පාත්‍රය ආවරණය කරපු නැති නිසාත් රජතුමා තව තව බිත්තර බෙදුවා. 

අන්තිමට එක බිත්තරයි ඉතුරුයි. ඒක බෙදන්න යද්දී කුංකුණාවේ හාමුදුරුවෝ පාත්‍රය ආවරණය කළා. එතකොට රජතුමා කියනවලු "  හාමුදුරුවනේ මේ අන්තිම බිත්තරේත් වළදන්න කියලා.

ඒ වෙලාවේ කුංකුණාවේ හාමුදුරුවෝ කියනවලු "රජතුමනි. මම මේ කලින් පිළිගත්තේ අනික් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් තම්බපු බිත්තර. ඒක නිසා ඒවා වැළඳුවාට මට පවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒත් මේ අන්තිම බිත්තරේ මං වෙනුවෙන් තම්බපු නිසා ඒක වළදලා පව් කරගන්න ඕනේ නැති නිසා ඒක මම වළදන්නේ නැහැ" කියලා :))

වැලිවිට සරණංකර සංඝරාජ හිමි

මේ කාලේ වරින්වර කන්ද උඩරටට ලන්දේසි ආක්‍රමණ දියත් වුණු කාලයක්. එක පාරක් ලන්දේසි ආක්‍රමණයක් උඩරට එල්ල වෙද්දී ඔක්කොම වගේ ආරක්ෂාව හොයාගෙන කන්ද උඩරටින් පැනලා ගියා. ඒත් වැලිවිට සරණංකර සංඝරාජ හාමුදුරුවෝ අසනීපෙන් සහ වයස්ගතව හිටිය නිසා ආරක්ෂිත ස්ථානයකට යන්න පුලුවන්කමක් තිබුණේ නැහැ. 

මේ වෙලාවේ එතනට වැඩම කරන කුංකුණාවේ හාමුදුරුවන්ට සඟරජ හාමුදුරුවෝ තමන්ගේ දුක කියන්නේ මේ විදිහට

ඉතින් පිහිට දැන් මට නැති වෙච්චී
සිරුර දිරා දැන් ජරපත් වෙච්චී
අත පය දැන් මගේ සවි නැති වෙච්චී
අසූ වයස දැන් මෙමට පිරිච්චී

දෙන්ඩ ගන්ඩ දෙයකුත් නැති වෙච්චී
සිරුර දිරා දැන් ජරපත් වෙච්චී
අත පය දැන් මගෙ සවි නැති වෙච්චී
අසූ වයස දැන් මෙමට පිරිච්චී

කටු පහුණේ මම කොහොමද යන්නේ
අරිටු සිහිල් නල කොහෙද විඳින්නේ
පවිටු ලෙඩක් මට නිබඳ තිබෙන්නේ
තුටු කළ උවටන් කවුද කරන්නේ

සංඝරාජ හාමුදුරුවෝ පත්වෙලා හිටිය දුක්මුසු තත්වයේ නිසා කම්පවට පත්වෙන කුංකුණාවේ හාමුදුරුවෝ සංඝරාජ හාමුදුරුවන්ට පයින් වැඩම කරන්න බැරි නිසා කරේ තියාගෙන සූරියගොඩ කැලෑවෙන් මැණික්දිවෙල පන්සලට අරගෙන ආවා. 

කුංකුණාවේ හාමුදුරුවෝ කරපු උපකාරයට කෙළෙහි ගුණ දැක්වීමක් විදිහට සංඝරාජ හාමුදුරුවෝ කුංකුණාවේ හාමුදුරුවන්ට වැල්ලාගල පන්සල පවරා දෙනවා.

ඒකට අද මම දෙමි වැල්ලාගල
මා ළඟ සිටියට දෙමි වැල්ලාගල
ලියමන් කියමන් දෙමි වැල්ලාගල
දෙමි දුන්නෙමි ඔබටම වැල්ලාගල

මේ විදිහට කුංකුණාවේ හාමුදුරුවන්ට උරුම වුණු වැල්ලාගල පන්සල තමා මොරතොර හාමුදුරුවෝ කුංකුණාවේ හාමුදුරුවන්ට අහිමි කරන්නේ. ඒක ගැන එදා කිව්වනේ

එහෙම නම් කතා අවසානයි :)

ප.ලි.: මීළඟ ඉතිහාසයේ අප්‍රකට කතාව කතෝලික පූජකයෙක් වී පෘතුගාලයේදී මියගිය උඩරට රජතුමෙක් ගැනයි.........

Saturday, May 12, 2012

I විමලධර්මසූරිය රජුට කුණුහරුප කී ලන්දේසි අද්මිරාල් - ඉතිහාසයේ අප්‍රකට කතා 03

I විමලධර්මසූරිය රජතුමා

ඔස්ට්‍රියාවේ දොන් ජුවන් නමින් බෞතිස්ම ලබලා පෘතුගීසීන් යටතේ වැඩුණු උඩරට රදළ ප්‍රභූවරයෙක් වගේම උඩරට පාලක කරලියැද්දේ බණ්ඩාරගේ ප්‍රධාන අමාත්‍යවරයා වුණු වීරසුන්දර බණ්ඩාරගේ පුතා කොනප්පු බණ්ඩාර 1592 උඩරට බලා පිටත් වුණේ සීතාවක රාජසිංහ රජතුමාට එරෙහිව කන්ද උඩරට පෘතුගීසි හිතවත් පාලනයක් ඇති කරලා සීතාවක බලය මර්දනය කරන්න.

මේ යටතේ උඩරට සිටි පාලක කරලියැද්දේ බණ්ඩාර රජතුමාගේ බෑණා වූ දොන් පිලිප් හෙවත් යමසිංහ බණ්ඩාර උඩරට රජු විදිහට පෘතුගීසින් ප්‍රකාශයට පත් කරනවා. ඒ වුණත් ක්‍රමයෙන් දෙවනගල රතනාලංකාර හාමුදුරුවෝ වගේම නායක භික්ෂූන් වහන්සේලාගේ ආශිර්වාදයත් උඩරට රදළ ප්‍රභූවරුන්ගේ සහයත් ලබාගන්න කොනප්පු බණ්ඩාර  යමසිංහ බණ්ඩාරව බලයෙන් පහ කරනවා. මේ සම්බන්ධ ප්‍රකට කතාව වෙන්නේ කොනප්පු බණ්ඩාර යමසිංහ බණ්ඩාරට වසදීලා ඝාතනය කළා කියන එක.

ඊට පස්සේ උඩරට පාලකයා බවට පත් කරන්නේ යමසිංහ බණ්ඩාරගේ පුතා වුණු දොන් ජුවන්. ඒත් මේ කුමාරයා බොහොම ලාබාල වියේ සිටි අයෙක්. මේ වගේ තත්වයක් තුළ කොනප්පු බණ්ඩාරගේ කැරලි, ආහාර හිඟය, සිංහලයන් නව රජුට පක්ෂපාතී නොවී මියයාම වගේ කරුණුත් එක්ක පෘතුගීසීන් මේ කුමාරයාත් එක්ක මන්නාරමට පසු බසිනවා. මේ කුමාරයට මොකද වුණේ කියන කතාව ඉදිරි දවසක ඉතිහාසයේ අප්‍රකට කතා තුළින්  කියන්නම්

මේ වගේ අරාජික තත්වයක් ඇතුළේ කොනප්පු බණ්ඩාර 1592 දී විමලධර්මසූරිය නම්න් උඩරට රජවෙනවා. තමන්ගේ රාජ්‍යත්වය නීත්‍යානුකූල උරුමයකින් තහවුරු කරගන්න එතුමාට පුලුවන් වෙන්නේ 1594 දන්තුරේ සටනින් පෘතුගීසින් සමූලඝාතනය කරලා උඩරට නියම උරුමක්කාරිය වුණු කරලියැද්දේ බණ්ඩාර රජතුමාගේ දියණිය වුණු කුසුමාසන දේවිය හෙවත් දෝන කතිරිනාව ලබාගෙන සරණ පාවා ගැනීමෙන්.

දළදාව මහනුවරට වඩමවා ගෙන දළදා මැදුරක් කරවලා තැන්පත් කරවීමෙන් මහජන පිළිගැනීම තමන්ගේ රාජ්‍යත්වයට ලබාගත්තා වගේම රජතුමා කන්ද උඩරට ස්ථාවරත්වයට ආර්ථික අංශය දියුණු කිරීම, හමුදා සංවිධානය තර කිරීම, ආගමික අනුග්‍රහ කිරීම වගේ කරුණු කාරණා කළ බවත් කියවෙනවා.

පෘතුගීසීන් සම්බන්ධව රජතුමාගේ ප්‍රතිපත්තිය සකසද්දී රජතුමා තේරුම් අරන් හිටියේ තමන්ට තනිවම පෘතුගීසීන් පරද්දන්න බැරිවග. නාවුක හමුදාවක් නොමැතිවීම කන්ද උඩරටට තිබුණු මූලික අඩුවක් වුණා. ඒ නිසා උඩරටට හානියක් නොවන තාක් පහතරට පෘතුගීසින්ට නිදැල්ලේ ඉන්නට හැරීමත්, පෘතුගීසීන් කන්ද උඩරට ආක්‍රමණය කරනවා නම් පහතරට කැරලි ඇතිකරවීමෙන් හරි කන්ද උඩරට ආසන්නයේ වුණු පෘතුගීසී පළාත්වල මිනිසුන් ලවා පෘතුගීසින්ට හානි පැමිණවීමෙන් රජතුමා ඒවා වැළැක්වූවා.

ඒ වගේමයි හැකිතාක් සටන් මග හැරීම හෝ කල් දැමීම රජතුමා කළෙත් තමන්ගේ යුධ ශක්තිය සම්බන්ධව මනා අවබෝධයක් තිබුණු නිසා

 I විමලධර්මසූරිය රජු හා ලන්දේසි අද්මිරාල් ස්පිල්බර්ජන් හමුව
කොහොම නමුත් පෘතුගීසීන් පලවා හැරීමට වෙනත් විදේශ ජාතියක සහය ලබාගන්න රජතුමාගේ වුණු අපේක්ෂාව නිසාම 1602 මැයි 31 වෙනිදා ලන්දේසි ජාතික අද්මිරාල්වරයෙක් වුණු ජොරිස් වාන් ස්පිල්බර්ජන් ඇතුළු පිරිස මඩකලපුවට ගොඩ බැහැලා උඩරටට ගිහින් රජතුමාව මුණ ගැහෙනවා. ස්පිල්බර්ජන්ව රජතුමා සාදරයෙන් පිළිගන්නවා වගේම වෙළෙඳාම සම්බන්ධවත් යුද ආධාර සම්බන්ධවත් සාකච්ඡා පැවැත්වෙනවා.

ස්පිල්බර්ජන් මේ කටයුතුවලින් පස්සේ නැවත ලංකාවෙන් පිටත් වීමත් එක්කම නොවැම්බර් 28 ලන්දේසි උප අද්මිරාල්වරයෙක් වුණු සීබෝල් ද වාර්ට් තවත් පිරිසක් එක්ක ලංකාවට ඇවිත් උඩරටට ගිහින් රජතුමාව මුණ ගැහිලා සාකච්ඡා පවත්වනවා

ලන්දේසි උප අද්මිරාල් සීබෝල් ද වාර්ට් ලංකාවට පැමිණීම

ඒ පාර පිටත්වෙලා ගිය වාර්ට් නැවත වරක් 1603 දී මැයි නැවත ලංකාවට එනවා. ඒ අවස්ථාවේදී රජතුමා මැණික්කඩවර පෘතුගීසින්ට එරෙහි සටනක නියැලිලා ජයග්‍රාහීව මඩකළපුවට එනවා වාර්ට්ව හමුවෙන්න. මෙ අතරවාරයේ පෘතුගීසී නැව් කීපයක් අල්ලා ගන්න වාර්ට් ඇතුළු පිරිස සමත්වුණු නිසා රජතුමා වාර්ට්ට නියම කරනවා ඒ යාත්‍රා සහ ඒවායේ සිට අල්ලා ගත්තු පෘතුගීසින් නිදහස් කරන්න එපා කියලා.

ඒත් රජතුමා මඩකළපුවට එද්දී අල්ලාගත්තු පෘතුගීසි සිරකරුවන් වාර්ට් නිදහස් කරලා තිබුනු නිසා රජතුමා වාර්ට් සමඟ කෝපයෙන් ඉන්නේ. රජතුමා වාර්ට හමුවෙන අවස්ථාවේ වාර්ට් හුඟක් බීමතින් ඉන්නේ. වාර්ට් මේ අවස්ථාවේ රජතුමාට තමන්ගේ නැවට එන්න කියලා කීපවරක්ම ආරාධනා කළත් රජතුමා ඒක ප්‍රතික්ෂේප කරනවා.

ඒ නිසා වාර්ට් කියනවා රජතුමා නැවට එන්නේ නැති නිසා පෘතුගීසීන් මර්දනයට තමන් උදව් දෙන්නේ නැහැ කියලා. පස්සේ රජතුමා කියනවා වාර්ට් කලින් පොරොන්දු වුණු විදිහට ගාල්ලට ගිහින් පහරදීම කරන්න කියලා.

ඒ වගේම තමන්ගේ ඥාති සොයුරා වුණු සෙනරත් කුමාරයා කඩවත් නිරීක්ෂණයට පිටත් වෙලා නිසා අග බිසව සිටින්නේ තනියම නිසා තමන් හැකි ඉක්මණින් උඩරටට යායුතුබවත් ඊට පසුව තමන්ගේ සේනාත් අරගෙන ගාල්ලට එන්නම් කියලා. [ඒ ප්‍රකාශයෙන් ඒ වෙද්දි විමලධර්මසූරිය රජතුමා සහ ඥාති සොයුරු සෙනරත් කුමාරයා උඩරට පවතින විවාහ සිරිතක් වන "එකගෙයි කෑම" කළ බවයි පෙනෙන්නේ]

මේ වෙලාවේ සුරා මතින් සිහි විකල් කරගෙන හිටිය ලන්දේසි උප අද්මිරාල සීබෝල් ද වාර්ට් කියනවා "අග බිසවට මිනිහෙකුගෙන් හිඟයක් වෙන එකක් නැහැ" කියලා.

වාර්ට් තමන්ගේ අගබිසවට කරපු අසභ්‍ය ප්‍රකාශයත් තමන්ගෙ අණට අකීකරු වීමත් කියන කරුණු නිසා කෝපයට පත් වෙන I විමලධර්මසූරිය රජතුමා තමන්ගේ නිලමේවරුන්ට අණ කරනවා " මේ බල්ලා බැඳ දමවු"  කියලා.

එහෙම කියලා රජතුමා එතනින් බැහැර වීමත් එක්කම වාර්ට් තමන්ගේ තුවක්කුවත් අරන් කාමරයෙන් පැනලා යන්න ගියත් නිලමේවරුන් හතර දෙනා වාර්ට්ව අල්ලා ගන්නවා. වාර්ට් තමන්ගේ කඩුව අරන් එතන කලබල කරන්න වීමත් එක්ක නිලමේවරුන් වාර්ට්ගේ බෙල්ල කපා මරා දානවා

උඩරට නිලමේවරුන් විසින් ලන්දේසි උප අද්මිරාල් සීබෝල් ද වාර්ට්ව මරා දැමීම

හැමෝම මේ සිදුවීම් රජතුමාට කියන්න බිය වුණත් අවසානයේදී ඒ ගැන දැනුවත් කරන්න ඕනේ නිසා ඌවේ කුමාරයා ඒ ගැන රජතුමාට කියනවා. ඒ වෙලේ රජතුමා අහනවා ඇයි තමන් කියපු විදිහට සිරභාරයට ගත්තේ නැත්තේ කියලා. ඒකට ඌවේ කුමාරයා කියනවා වාර්ට් කඩුව ඇදගත්ත නිසයි මරාදැම්මේ කියලා.

පස්සේ රජතුමා ඒ ගැන පසුතැවිලි වෙලා කියනවා " එහෙම නම් හාම්පුතාට අත්වුණු ඉරණම අනිත් අයටත් අත්විය යුතුයි. ඒ නිසා අනිත් අයවත් මරා දමන්න" කියලා. ඒ යටතේ ලන්දේසින් 50 ක් විතර සිංහල හේවායේ මරාදමනවා. සමහර අය නැව්වලට් පීනාගෙන ගිහින් ජීවිතේ බේරගන්නවා. අභය දානය ලබපු අයිසැක් ෆ්ලේවියර් කියන ලන්දේසී ජාතිකයා රාජ සේවයට එක් වෙනවා

මේ සිද්ධියට කිසියම් හේතුවක් ඇති කියලා හිතලා ලන්දේසි නැව්වල කපිතාන්ලා රජතුමාට හසුනක් එවනවා. රජතුමා ඒ හසුනට පිළිතුරු විදිහට එවනවා 

Que bebem vinho ho noa. Dues fes justica, se quisiere pas, pas; se quires guerra, guerra

"සුරා බොන්නා හොඳ නැත, දෙවියන් වහන්සේ යුක්තිය ඉෂ්ට කොට තිබේ. ඔබට ඕනෑ සාමය නම් එය එසේ වනු ඇත. අවශ්‍ය යුද්ධය නම් එය ද එසේ වනු ඇත" කියලා.

රජතුමා ඊට පස්සේ මහනුවට බලා පිටත් වෙනවා. කෙසේ නමුත් ලන්දේසීන් මළ සිරුරු මිහිදන් කරන්න වගේ අවසර ලැබුණත්, ඊට පසුවත් සාකච්ඡා පැවතුණත් කලින් කියපු සිද්ධිය නිසා ලන්දේසීන්ගේ උදව්වෙන්  පෘතුගීසි බලය මර්දනය කරන්න රජතුමා ගන්න උත්සහය අසාර්ථක වෙනවා


ප.ලි.: කුංකුණාවේ හාමුදුරුවන්ගේ බිත්තර වැළැඳූ කතන්දරය, ලෙව්කේ දිසාවෙගේ ගෙදර දානයට වැඩිය හැටි සහ කුංකුණාවේ හාමුදුරුවෝ සරණංකර සඟරජ හිමියන් බේරගත්තු හැටි ගැන කතා ඊළඟ post එකෙන් බලාපොරොත්තු වෙන්න

Monday, May 7, 2012

ඕවද වස් කවි මෙන්න මේවනේ නියම වස් කවි - ඉතිහාසයේ අප්‍රකට කතා 02


එක එක අය එක එක විදිහට වස් කවි කියනවනේ. වස් කවි කියන එක හොඳ දෙයක් වුණේ නැතත් මේ කියන්න යන්නේ නියමෙට වස් කවි වගේම කවිත් කිව්ව මහනුවර යුගයේ හිටිය ප්‍රකට හාමුදුරු නමක් ගැන කතන්දර කීපයක්.


කන්ද උඩරට රාජධානි සමයේ වැලිවිට සරණංකර සංඝරාජ හිමියන් වැඩ සිටි කාලයේම මහනුවර වැඩ සිටිය ප්‍රසිද්ධ හාමුදුරු නමක් වුනේ කුංකුණාවේ හාමුදුරුවෝ. සංඝරාජ හාමුදුරුවන්ගේ ගෝලයෙක් වුණු රඹුක්වැල්ලේ ධම්මරක්ඛිත හාමුදුරුවන්ගේ ගෝලයෙක් විදිහට හැදුණු කුංකුණාවේ හාමුදුරුවන්ගේ ඇත්ත නම් කුංකුණාවේ සුමංගල. ඒත් ප්‍රසිද්ධ වුනේ කුංකුණාවේ හාමුදුරුවෝ නමින්.


දැන් කාලේ ඉන්න ඒ නම පාවිච්චි කරලා වංචා වැඩ කරන ශ්‍රමණ වේශධාරීන් වගේ නෙමෙයි කුංකුණාවේ හාමුදුරුවන්ගේ වැඩ :)

මේ කුංකුණාවේ හාමුදුරුවෝ කිව්ව ප්‍රසිද්ධ වස් කවි කීපයක් නිධාන කතාත් එක්කම......

කුංකුණාවේ හාමුදුරුවන්ට හිතවත් උපාසිකාවක් පූජා කරපු පැදුරක් පැදුරු ආනේ දාලා තිබුණේ. දවසක් හාමුදුරුවෝ පැදුර අරන් බලද්දී ඒ පැදුර මීයෝ කාලා. ඒකේ කේන්තියටත් එක්ක හාමුදුරුවෝ මෙන්න මේ වස් කවිය කිව්වලු

මදමත් රූසිරු අඟනක් දුන්නා
පැදුර ගෙනත් තැබුවෙමි ආනේ
බැඳගත් වාදේ දෝ මට නොදැනෙයි
මීයා පැදුරට කළ මානේ

තෙදලත් දේවත බණ්ඩර සුරිඳුට
කවියක් කීවෙමි මේ මානේ
අදවත් මීයගේ තල්ල කඩාගෙන
පලයන් නින්නාදේ පූනේ

මේ කවිය කියලා අවසන් වෙනවාත් එක්කම පූසෙක් පැනලා ඒ මීයාව අල්ලා ගත්තලු

තව දවසක් හාමුදුරුවන්ගේ පන්සලේ පොල් ගස්වල කුරුම්බැට්ටි මීයෙක් කකා බිම දාන නිසා පොල් ගෙඩි හැදෙන්නේ නැති එක වළක්වන්න හාමුදුරුවෝ මෙන්න මේ කවිය කිව්වලු

මේකා මොකාදෝ මට නොදැනෙයි මේකා
කකා කුරුම්බා ගෙඩි බිම දමන එකා
විකා ඇට නහර මස් ලේ උරා කකා
යකා මහ සොහොන් උගේ දිවි හරින් මකා

කවිය අවසන් වෙනවාත් එක්කම පොල් ගහේ හිටිය මීයා මැරී වැටුණලු

ආයි දවසක හාමුදුරුවන්ගේ පන්සලේ වගාව විනාශ කරන ඌරෙක්ට මේ කවිය කිව්වලු

රටල ගෝනල කඩල කටුවල
ගහල හිඟුරල කොඬොල වල් අල
කිතල හිරිතල හබල කුකුළල
බතල කරටි ද කමින් හබරල


අමුද කුරහන් මෙනේරී උඳු
මෑ ද ගොවිතැන් නොයෙක පලවැල
මෙකල නැතිකළ සතුරු ඌරා
හෙළන් කලු පැදි යකුනි තෙද බල

පහුවෙනිදා උදේ බලද්දී පන්සල් වැට මායිමේ ඌරා මැරිලා හිටියලු

රජතුමාගේ බිසෝවරු හිටිය මාළිගාව එහෙමත් නැත්නම් පල්ලේ වාහල ඉස්සරහින් තියෙන පාරේ ගමන් කරන එක රාජාධි රාජසිංහ රජතුමා තහනම් කරලා තිබුණේ. ගියොත් සබ්බුව. 

එක දවසක් කුංකුණාවේ හාමුදුරුවෝ මේ පාරේ වඩිනවා දැකපු රාජ පුරුෂයෝ ඒ ගැන රජතුමාට කියපු නිසා රාජාධි රාජසිංහ රජතුමා එතනට ඇවිත් හාමුදුරුවන්ගෙන් ඇහුවා " කවුද ඔබ වහන්සේට මේ පාරේ වඩින්න අවසර දුන්නේ ?"   කියල


" මට මේ ලංකාවේ කිසි පාරක වඩින්න කාගෙන්වත් අවසර ඕනේ නැහැ" කියපු කුංකුණාවේ හාමුදුරුවෝ එතන තිබුණු කොස් ගහ දිහා බලාගෙන මෙන්න මේ කවිය කිව්වලු

මෙවැනි බසක් මින් පසුවත් නොකීයන්
මේ රට තුනුරුවන්ගේ යයි සිතීයන්
මේ කිරි ගසට මේ අවනඩු පෙනීයන්
මහ බඩ පැළෙන ලෙස හතරට පැළීයන්
 
කවිය අවසන් වෙනවාත් එක්කම කොස් ගහ හතරට පැළුණලු. "තමුන්ගේ මහ බඩ පලන්නෙත් ඔය විදිහට තමා" කියපු කුංකුණාවේ හාමුදුරුවෝ "මොකද කියන්නේ මම හතර පදයක් ගළපන්නද ?" කියලා අහපු ගමන් රාජාධි රාජසිංහ රජතුමා හොඳටම බයවෙලා හාමුදුරුවන්ගෙන් වැඳලා සමාව ගත්තලු :))


මේ කාලෙම තමා මහනුවර නාථ දේවාලේ වහළ උඩට බෝ අත්තක් පාත්වෙලා වහළේ අබලන් තත්වෙට පත්වෙන්න ගත්තේ. බෝ අත්ත කපන්නත් බැහැ වස් වදී කියලා ඒ වගේමයි අත්ත තියන විදිහටත් කැපුවොත් වහළෙටමයි කඩන් වැටෙන්නේ. අන්තිමට බෝ අත්ත අයින් කරන වැඩේට ආපු කුංකුණාවේ හාමුදුරුවෝ මෙන්න මේ කවිය කිව්වලු

රම් රද විමන බෝ අත්තෙන් වැසී ගියා
පම් කළ උළු සෙවිලි පලවල් දිරා ගියා
අන් බසකට නොනැමෙන ගෝර චණ්ඩියා
සුන් කර හරින් තෙද බල වීර මුණ්ඩියා

කවිය අවසන් වෙනවාත් එක්කම ආපු චණ්ඩ මාරුතයකින් නාථ දේවාලේ වහළට පාත්වෙලා තිබුණු බෝ අත්ත කැඩිල ගිහින් උඩවත්ත කැළේට වැටුණලු

දවසක් කුංකුණාවේ හාමුදුරුවෝ පිට පන්සලකට වැඩිය වෙලාවේ ඒ පන්සලේ හාමුදුරුවරු හිටියේ නැහැ. හිටියේ ඇබිත්තයෙක් විතරයි. කුංකුණාවේ හාමුදුරුවෝ මුක්කං නිසා ඇබිත්තයා ඒක විහිළුවකට ගත්තා. පස්සේ පන්සල ගාව අම්බලමකට ආපු කුංකුණාවේ හාමුදුරුවෝ මෙන්න මේ කවිය කිව්වලු

පන්සලේ සිටින දික් බෙරවා දණ්ඩා
සන්සලේ කරයි සඟ ගණ වන සණ්ඩා
තුන්කලේ වෙසෙන දෙවියෝ පිං ගන්ඩා
පැන් කළේ සේම උගෙ බඩ පුපුරන්ඩා

පන්සලේ හාමුදුරුවෝ පන්සලට වඩිද්දී ඇබිත්තයාගේ බඩ කළයක් වගේ ඉදිමිලා ඇබිත්තයා වැටිලා ඉන්නවලු. විස්තරේ දැන්ගත්තු පන්සලේ හාමුදුරුවෝ ඇබිත්තයා වෙනුවෙන් කුංකුණාවේ හාමුදුරුවන්ගෙන් සමාව ඉල්ලපු නිසා මෙන්න මේ කවිය ඊළඟට කුංකුණාවේ හාමුදුරුවෝ කිව්වලු කෝටුවකින් ඇබිත්තයාගේ බඩට තට්ටු කර කර


පන්සලේ වෙසෙන දික් බෙරවා දණ්ඩා
සන්සලේ කරපි සඟගණ රවටණ්ඩා
තුන්තලේ වෙසෙන දෙවියෝ පිං ගන්ඩා
පින් බලේ ලෙසට උගෙ පණ බේරන්ඩා

කවිය අවසන් වෙනවාත් එක්කම මළ මූත්‍රා පිට කරමින් ඇබිත්ත කොලුවගේ බඩේ ඉදිමිල්ල අඩුවුණාලු
මේ කාලේ කුංකුණාගේ හාමුදුරුවන්ගේ විරුද්ධකාරයක් වුණේ මොරතොට ධම්මක්ඛන්ධ හාමුදුරුවෝ. දවසක් කුංකුණාවේ හාමුදුරුවෝ මුක්කං නිසා " කුණා කුණාමයි" කියලා මොරතොට හාමුදුරුවෝ කියපු ගමන් කුංකුණාවේ හාමුදුරුවෝ අනිත් පැත්තට " තොට තොටියා"    කිව්වා.


මේ තරහත් එක්ක මොරතොට හාමුදුරුවෝ මල්වතු පාර්ශවයේ මහානායක හාමුදුරුවෝ වීමත් එක්ක කුංකුණාගේ හාමුදුරුවන්ට සබ්බුව දෙන්න සරණංකර සංඝරාජ හාමුදුරුවන්ව ලන්දේසී ආක්‍රමණයෙන් බේරගත්තු නිසා කුංකුණාවේ හාමුදුරුවන්ට දීලා තිබුණු වැල්ලාගල පන්සලෙන් කුංකුණාවේ හාමුදුරුවන්ව පන්නනවා. 

මේ නිසා කුංකුණාගේ හාමුදුරුවෝ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාට තමන්ට වුණු කරදරය කියන්නේ මෙන්න මෙහෙම

සෙනේ නැතිව කොහොමද අර ගත්තේ
මෙනේ තිබෙන දුක් පමණක් නැත්තේ
අනේ ඉතින් ඉඩමක් මට නැත්තේ
පෙනේ මෙ වග දෙවියන්ට මෙවැත්තේ

ලෙඩට නොවෙද සොඳ බෙහෙත් කරන්නේ
බඩට නොවෙද රස මුසු බත් කන්නේ
දුකට නොවෙද කවි පද තෙපලන්නේ
වෙහෙර නැතිව මම කොහොමද ඉන්නේ

පහටක් කුසල් නොකළෙමි සිත දරා ගෙනේ
ගහටක් විඳිමි කඳුලැලි ඇස පුරා ගනේ
කහටක් නැතිව කුස තුළ හිමිවරා නනේ
පිහිටක් මෙමට වෙනවද හිමි තුමා නනේ

පහරක් දෙන්ට වරදයි කවි තෙපලනවා
ඉහරක් නැතිව මැත කම් දොඩවනවා
අහරක් නැතිව කුස තුළ ගින් ඇවිලෙනවා
වෙහෙරක් දෙන්ට නැතිවද සමිඳුනි සොඳවා

මේ නිසා රජතුමා කුංකුණාවේ හාමුදුරුවන්ට අන්නම්පට්ටුව කියන පන්සල පූජ කරනවා. ඒකෙනුත් හාමුදුරුවන්ව පන්නන්න ගියත් රජතුමා ඒක වළක්වනවා. ඒ ගැන කවියෙන් කිව්වේ මෙහෙම


අන්නම්පට්ටුව කියා ලබාපූ
එය මය කීවට නැතැයි කියාපූ
වර්ගවෙලා මා අහකට කරපූ
ගුණෙන් කිවත් අපි නොදෙමු කියාපූ 

මෙහෙම වස් කවි වගේ ඒවාට කුංකුණාවේ හාමුදුරුවෝ ප්‍රසිද්ධ වුණත් ඒවා විතරක් නෙමෙයි හාමුදුරුවෝ ධර්ම ග්‍රන්ථත් සම්පාදනය කරලා තියෙනවා. ධම්ම චේතිය සූත්‍ර සන්නය, වෙහෙර විත්ති, රාම සංදේශය ඒවායින් කීපයක්

ඔන්න ඕවායි ඉතින් වස් කවි කිව්වලු :))


ප.ලි.: කුංකුණාවේ හාමුදුරුවෝ බිත්තර 49 ක වළඳපු හැටි, කුංකුණාවේ හාමුදුරුවෝ ලෙව්කේ දිසාව මට්ටු කළ හැටි අහලා තියෙනවද ? 

Saturday, May 5, 2012

සුභ වෙසක් මංගල්‍යයක් වේවා කියලා සුභ පතන එක හරිද ???


 Facebook එකේ සුබ වෙසක් මංගල්‍යයක් වේවා කියලා තියෙන photo එකකට මාව tag කරලා තිබුණා. ඒ වගේමයි මම member කෙනෙක් වෙලා ඉන්න FB group එකක wall එකේ තව member කෙනෙක් ලියලා තිබුණා සුභ වෙසක් දිනයක් වේවා කියලා.

ඉතින් දැන් මගේ ප්‍රශ්නය එහෙම වෙසක් දිනයට අපිට සුභ පතන්න පුලුවන්ද කියන එක.

අලුත් අවුරුද්දක් ලබද්දී අපි සුභ පතනවා සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියලා. උපන් දිනයක් දවසට අපි සුභ පතනව සුභ උපන් දිනයක් වේවා කියලා. එහෙම සුභ පතන්නේ අලුත් අවුරුද්ද හරි උපන් දිනය හරි නරක පැත්තට යන්න පුලුවන් නිසා. 

තව විදිහකට කිව්වොත් මේ මනුස්ස ජීවිතේට ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රශංසා, සැප, දුක කියන අටලෝ දහම පොදු දෙයක් වෙන නිසා. මේවායින් යහපත් දේවල් විතරක්ම වෙන්න කියලයි ඒ සුභ පැතීමෙන් අපි අදහස් කරන්නේ.

ඒත් වෙසක් දවසට එහෙම සුභ පතන්න ඕනේද ??? 


බෞද්ධයෝ පමණක් නෙමෙයි සමහර අන්‍යාගමිකයොත් පිළිගන්න විදිහට මේ දක්වා ලොව පහළ වුණු ශ්‍රේෂ්ඨතම මිනිසාගේ ඉපදීම සිදුවුණේ වෙසක් පොහොය දවසේ.

ඒ වගේමයි මිනිස් සිතකට අවබෝධ කරගන්න පුලුවන් උතුම්ම සත්‍යය වගේම මිනිසෙකුට පත්වෙන්න පුලුවන් උතුම්ම තත්වයට ඒ ශ්‍රේෂ්ඨතම මිනිසා පත්වුණේ වෙසක් පොහොය දවසේ.

අවසාන වශයෙන් සොබා දහමට ගරු කරමින් ඒ ශ්‍රේෂ්ඨතම මිනිසා අනුපදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑවේ වෙසක් පොහොය දවසේ.


මේ වගේ උතුම් සිදුවීම් හැරෙන්න වැදගත් සිදුවීම් රැසක් වෙසක් පොහොය දිනවලදී සිදුවෙලා තිබෙනවා.

බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වරට ලංකාවට වැඩම කිරීම වගේම සොළොස්මස්ථානයට අයත් මුල් ස්ථාන දෙක හැරෙන්න අනෙක් ස්ථානවලට වැඩම කරවන්නේ බුද්ධත්වයෙන් අටවෙනි වර්ෂයේ වෙසක් පොහොය දිනයේදී. සමනොළ කන්දේ ශ්‍රී පාදය පිහිටුවන්නේත් මේ ගමනේදී. රුවන්මැලි සෑයේ මූලික ඉදිකිරීම් කටයුතු දුටුගැමුණු රජතුමා අරඹන්නේත් වෙසක් පොහොය දිනයේදී.

ඉතින් මේ කරුණු සමාලෝචනය කරලා බලද්දී පැහැදිලියිනේ වෙසක් දිනය උතුම් වගේම සුභ දවසක් කියලා.

එතකොට ඒ වගේ සුභ දවසකට අමුතුවෙන් සුභ වෙසක් මංගල්‍යයක් වේවා කියලා සුභ පතන්න ඕනේද ????

සමරන්න මොකක් හරි දෙයක් තියෙනවා නම් සමරන හැමදේම එකම අච්චුවට දාලා සාමාන්‍යකරණය කරන්න පුරුදු වුණු මිනිස්සු වෙසක් දවසටත් "සුබ වෙසක් මංගල්‍යයක් වේවා" සුබ පතන්න ගත්තේ ඔන්න ඔහොම වෙන්න ඇති. 

ඒ විදිහට බෞද්ධයන්ට වැදගත්කමක් තියෙන කොහොමත් සුභ දවසක් වුණු වෙසක් පොහොය වාණිජකරණයට හසුවුණු හැටි ගිය අවුරුද්දේ වෙසක් පෝය දවසේ මම කතා කළානේ "වෙසක් පෝය market වුණු හැටි" කියලා. 

ඉතින් සුභ දවසක් වුණු වෙසක් පෝය දවසේදීවත් බොරුවට හැමතැනම සුභ වෙසක් මංගල්‍යයක් වේවා කියලා කිය කිය ඉන්නේ නැතුව ආමිෂ පූජාවක් කරන්න එහෙමත් නැත්නම් ප්‍රතිපත්ති පූජාවක් කරන්න. ඒ නැත්නම් මේ කතාවේ ඉන්න මනුස්සයායි ඔයයි අතර කිසිම වෙනසක් නැතිවෙයි. ඒ මොකද ඒ මනුස්සයා හරියට බුදු හාමුදුරුවෝ හඳුනාගෙනත් නැහැ උන් වහන්සේ දේශනා කරපු ධර්මය හඳුනාගෙනත් නැහැ

වෙසක් පෝය දවසේ බාර් වහලා නිසා හොර spot එකකින් සප්පායම් වුණු බොනපාට් කෙනෙක් පාරේ දෙපැත්තේ ඉන්න මිනිස්සුන්ටයි ඒවට මේවට බැන බැන යද්දී දැක්කලු බුදු පිළිමයක්.

බුදු පිළිමේ දිහා බලාගෙන man කියනවලු " ඕන් බලන්නකෝ ඒ වැඩෙත් හැටි. ඔබ වහන්සේ ඉපදුණු, බුදුවුණු, පිරිනිවන් පාපු එකට අද බාර් වහල, මස් කඩ වහලා. මොකක්ද අප්පා මේකේ තේරුම ? මස් කෑල්ලක් කන්න අරක්කු ටිකක් බොන්නවත් නෑ"  කියලා කියවන්න ගත්තලු. 

ඒ ගමන් මිනිහා දැක්කාලු ඈතින් ජේසුතුමාගේ පිළිමෙකුත්. 

Man ජේසුතුමාගේ පිළිමේ ගාවට ගිහින් කියනවාලු "ඒකට ඔබතුමා නම් නම් රත්තරන්. ඉපදුණත් party, කුරුසේ ඇණ ගහලා මැරුවත් party" කියලා

එහෙම නම් කතාව අවසානයි. මේ කතාවේ සාරංශය මෙන්න


කිච්ඡො මනුස්ස පටිලාභො - කිච්ඡං මච්චාන ජීවිතං
කිච්ඡං සද්ධම්ම සවනං - කිච්ඡො බුද්ධානං උප්පාදො

මිනිසත් බව ලැබීම දුර්ලභයි. සත්වයින්ගේ ජීවිතය දුෂ්කරයි. ධර්මය ඇසීමද දුර්ලභයි. බුදුන් වහන්සේගේ උපතද දුර්ලභයි


ප.ලි.: මේ වගේ බුදු දහම යැයි කියමින් බෞද්ධයන් කරන දේවල් ගැන මම මීට පෙර ලියපු සටහන් කියවන්න කැමති නම් මෙතනින් යන්න

Tuesday, May 1, 2012

ඇමරිකාවේ ඔබාමා මහත්තයා පනත් අත්සන් කරන සූත්තර ක්‍රමය


ඇමරිකාවේ ධවල මන්දිරයේ නැගෙනහිර කාමරයේ එදා කට්ටියක් වාඩිවෙලා හිටියේ ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා  ඇමරිකාවේ කොංග්‍රසය [අපේ රටේ විදිහට නම් පාර්ලිමේන්තුව] මඟින් සම්මත කරපු සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රතිසංස්කරණ පනත අත්සන් කරලා ඒක නීතියක් බවට පත් කරන අවස්ථාවට සම්බන්ධ වෙන්න. එදා කිව්වේ 2010 මාර්තු 23 වෙනිදා. 

ලංකාවේ විදිහට නම් පාර්ලිමේන්තුව සම්මත කරන පනතක් නීතියක් වෙන්න කතානායකතුමා අත්සන් කරන්න ඕනේ. ඇමරිකාවේ නම් ඒකට ජනාධිපතිතුමා අත්සන් කරන්න ඕනේ. ලංකාවේ ජනාධිපතිට තියෙන වැඩ කන්දරාවත් එක්ක අනවශ්‍ය බරක් දාන්න ඕනේ නැහැ කියලා ජේ.ආර්. සීයා හිතන්න ඇති :))


ඉතින් ඒ කාමරයේ වේදිකාව මත තිබුණු මේසෙට පනත ගෙනත් තියපු ධවල මන්දිරේ වැඩ කරන ආන්ටි කෙනෙක් පෑන් 11 ක් තියෙන පෑන් පෙට්ටි 2 ක් මේසේ උඩින් ගෙනත් තිබ්බා.

ඇයි ෂැකද ? ආහ් බලන්න මුනියා ෂැක නම්.................... :))

ඊට පස්සේ බැරැක් ඔබාමා මහත්තයාත් උප ජනාධිපති Joe Biden එක්ක ඇවිත් පොඩි කතාවක් කළා. අපරාදේ කියන්න බැහැ ඒ මනුස්සයා කතාවක් කරද්දී Teleprompter පාවිච්චි කරනවා කියලා photos ගද්දී වුණත් පේන්න ගන්න පුලුවන්.

පස්සේ ඉතින් පනතට අත්සන් කරන්න වාඩිවුණා. වාඩිවුණත් හරි විසි කරපු පාන් කෑල්ල ගන්න වඳුරෝ ටික රොක් වුණා වගේ ඔබාමා වටේටත් කට්ටිය පිරුණේ නැතැයි. ඒත් ඔබාමා මහත්තයා සැලෙන්නේ නැතුව පනත අත්සන් කරන්න පටන් ගත්තා.

මෙන්න බොලේ වැඩක් හැම පෑනෙන්ම පොඩ්ඩ පොඩ්ඩ මේ මනුස්සයා අත්සන් කරනවා

අපේ පාර්ලිමේන්තුවෙත් ඉන්නවා වගේ ඇමරිකාවේ සෙනෙට් මණ්ඩලයේ ඉන්න දක්ෂ කැමරා ශිල්පියෙක් වෙන සෙනෙට් සභික Pat Leahy මැද්දෙන් මැද්දෙන් ෆොටෝ කෑලි දෙක තුනක් ගන්නත් අමතක කළේ නැහැ.

පෑන් 22 න්ම පොඩ්ඩ පොඩ්ඩ අත්සන් කරලා වැඩේ ඉවර කරපු ඔබාමා මහත්තයා අන්තිම 22 වෙනි පෑන පෙට්ටියට දැම්මා. ඕන් පෑන් 22 කින් ඔබාමා මහත්තයා කරපු අත්සන........



අන්තිමටම සිද්ධ වුණේ අර පෑන් 22 න් 19 ක්ම එතන හිටිය කීප දෙනෙක්ට ඔබාමා මහත්තයා බෙදල දීපු එක. මේ තමා ඇමරිකාවේ කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායකතුමියට ඔබාමා මහත්තයා පෑන දීපු හැටි. 

ඔන්න ඕක තමා ඇමරිකාවේ ඔබාමා මහත්තයා පනත් අත්සන් කරන සූත්තර ක්‍රමය. ඒත් කතාව් ඉවර නැහැ. මේ කතාව ඇසුරෙන් ඔයාලට හිතෙන ප්‍රශ්න මෙන්න මේවා වෙන්න පුලුවන් [ සමහර විට :)) ]

මේ යෝධයට පිස්සුද පෑන් 22 කින් එක අත්සනක් දාන්න ?
ඇයි මේ යකා මේකට පෑන් 22 ක්ම පාවිච්චි කළේ ?
එක පෑනෙන් අත්සන් කළාම මොකද වෙන්නේ ?
ඇයි පෑන් 22 ක් මේ වැඩේට ගත්තා නම් 19 ක් විතරක් බෙදුවේ ?
ඉතුරු පෑන් තුනට මොකද වුණේ ?
ඇමරිකාවේ පෑන් නිෂ්පාදනයේ අතිරික්තයක් තියෙනවාද ?
කවුද මේ පිස්සු වැඩේ පටන් ගත්තේ ?

ඔන්න මේ ප්‍රශ්නවලට උත්තර. මේ විදිහට පෑන් එකකට වැඩි ප්‍රමාණයක් පාවිච්චි කරලා පනත් අත්සන් කරන සිරිත ආරම්භ කළේ 1933-1945 අතර කාලයේ ඇමරිකාවේ ජනාධිපති වෙලා හිටිය ෆ්‍රෑන්ක්ලීන් ඩී. රූස්වෙල්ට්. 


ජාතික වශයෙන් වැදගත්කමක් උසුලන විශේෂ පනත් අත්සන් කරන්න තමා මේ විදිහට පෑන් ගොඩක් ඇමරිකානු ජනාධිපතිවරුන් භාවිතා කරන්නේ. ඒ විදිහට අත්සන් කරන්න ගන්න පෑන් ඒ පනත සකස් කරන්න, සම්මත කරන්න වෙහෙස මහන්සි වුණු අයට සමරුවක් විදිහට බෙදා දෙන්නත් කටයුතු කරනවා. 

ඒ වගේමයි එක පෑනක් ජනාධිපතිතුමාත් තවත් පෑන් දෙකක් ජනාධිපතිවරුන්ගේ පුස්තකාලයට වගේම ස්මිත්සෝනියන් කෞතුකාගාරයට එක් කරනවා

නමුත් මේ සිරිත අඛණ්ඩව හැම ජනාධිපතිවරයෙක්ම කරපු බවක් පේන්න නැහැ. ජනාධිපති රූස්වෙල්ට්ට පස්සේ හැරී එස්.ටෲමන් [1945-1953] කළත් ඊට පස්සේ මේ සිරිත වුණු බවක් පේන්න නැහැ. 


ඊට පස්සේ මේ සිරිත ආයි පටන් ගන්නේ ජනාධිපති ලින්ඩන් බී.ජොන්සන් [1963-1969]. ඒ කාලේ තමා වැඩිම පෑන් ගණනකින් පනතක් අත්සන් කිරීම සිද්ධ වෙන්නේ. ඒ 1964 සිවිල් අයිතිවාසිකම් පනත පෑන් 72 කින් ජොන්සන් ජනාධිපතිතුමා අත්සන් කිරීම.

ඇයි ෂැකද මුනියා ??? 

මෙන්න ඒකේ වීඩියෝ එකම 


හොඳට වීඩියෝ එක බලාගෙන ඉන්න මාටින් ලූතර් කිං ටත් මේ අවස්ථාවේ ජනාධිපතිතුමා පෑනක් දෙනවා. මොකද මේ පනත ගේන්න ඔහුත් විශාල උත්සහයක් දරපු කෙනෙක් නිසා

මේ ජොන්සන් ජනාධිපතිතුමාගේ සාමාන්‍ය අත්සන.


මේක තමා ඉතින් පෑන් 72 කින් අත්සන් කරලා තියෙන්නේ. 

 සමහර වෙලාවට අත්සනේ " i "අකුරක් එහෙම තියෙනවා නම් සිරස් ඉරට එක පෑනකුත් තිතට තව පෑනකුත්
" t " අකුරක් තියෙනවා නම් සිරස් ඉරට එක පෑනකුත් තිරස් ඉරට තව පෑනකුත් පාවිචිචි කරනවාලු. කොටින්ම ඔබාමා මහත්තයාත් පෑන් 22 කින් අත්සන් කරන්න කලින් දවසේ මිෂෙල් නෝනත් එක්ක පුරුදු වුණාලු :))

ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් මේ සිරිත වෙනස් කරලා විශේෂ පනත් එක පෑනකින් අත්සන් කරලා සංකේතාත්මකව පෑන් බෙදලා තියෙනවා. ඒ වගේමයි ජනාධිපති ඔබාමා මේ විදිහට පෑන් ගොඩකින් අත්සන් කරපු මුල්ම පනත මේක නෙමෙයි. මීට කලින් 2009 අවුරුද්දේ Lily Ledbetter Fair Pay පනත පෑන් 7 කින් අත්සන් කරලා තියෙනවා.

මේ සමරු පෑන්වලට හොඳ වටිනාකමක් වෙන්දේසිවලදී ලැබිලා තියෙනවා. 1965 ලින්ඩන් බී. ජොන්සන් ජනාධිපතිතුමා ජල පනත අත්සන් කරපු ගත්තු පෑනක් වෙන්දේසියකදී ඇමරිකානු ඩොලර් 499.99 කට වෙන්දේසි වෙලා තියෙනවා. ලංකාවේ සල්ලිවලින් නම් ආසන්න වශයෙන් රුපියල්  65,000 ක් විතර :))

ඉතින් කතන්දරේ ඉවරයි. මේ කතාව මුලින්ම කතාව මුලින්ම මට කිව්වේ මගේ සහෘදයෙක් වෙන කසුන් තරංග පෙරේරා. මේ කතාවට අටුවා ටීක ටිප්පණි එකතු කරමින් කතාවේ අඩු තැන් පිරෙවෙව ඉසුරු නානායක්කාර සහෘදයා. දෙන්නටම ස්තුතියි :)

අපේ කතාව අන්තිමට ඉවර වුණේ ලංකාවෙත් මෙහෙම සිරිතක් ආවොත් කියන එකෙන්. එතකොට ඉසුරු කිව්වේ "ම.......... මාමා අත්සන් කරලා පෑන් බෙදන්නේ නැතිවෙයි. ඒකත් හොඳ ගාණකට විකුණයි" කියලා
 :))

ප.ලි.: ඔබාමා මහත්තයා ගැන මීට කලිනුත් කතා වගයක් ලිව්වා. කැමති නම් බලන්න. මෙන්න පාර