Sunday, January 30, 2011

The King's Speech film එක ගැන


කාලෙකට පස්සේ ඊයේ සිංහල බ්ලොග් අවකාශෙට ගොඩවෙලා කරක් ගහද්දී දැක්කා බයිස්කෝප් සිංහලෙන් site එකට රොයිලි ප්‍රනාන්දු සහෝදරයා දාලා තිබුණු අළුත් film එකක විස්තර. Film එකේ නම The King's Speech. ඒකත් එක්ක තිබුණු විස්තරේ නිසා කෝකටත් කියලා download කරලා බලන්න හිතුණා. මාත් ඉතින් ඔය ඓතිහාසික කරුණු කාරනා ගැන හොයන කෙනෙක් නිසාමයි හුඟක්ම මේක බලන්න හිතුණේ.


5 වෙනි ජෝර්ජ් රජතුමා

Film එකේ කතාව මෙහෙමයි මහා බ්‍රිතාන්‍යයේ රජකම් කරන 5 වෙනි ජෝර්ජ් රජතුමාගේ දෙවෙනි පුතා වුණු ඇල්බට් කුමාරයාට එහෙමත් නැත්නම් යෝර්ක් හි ආදිපාදවරයාට පුංචි කාලේ ඉදන්ම කතා කරද්දී ගොත ගැහෙන තත්වයක් තියෙනවා. මේකට ප්‍රතිකාර ආදිය දුන්නත් යහපත් මට්ටමක තියෙන්නේ නැහැ.

1925 අවුරුද්දේ පැවැත්වෙන අධිරාජ්‍ය ප්‍රදර්ශනයේදී පියරජතුමාගේ වෙනුවෙන් කතාවක් කරන්න ඇල්බට් කුමාරයාට පැවරෙනවා. ඒත් සුපුරුදු ප්‍රශ්නය මේකෙදීත් ඇතිවෙනවා. මේකට විසඳුමක් විදිහට ඇල්බට් කුමාරයාගේ බිරිඳ වෙන එළිසබෙත් කුමරිය සොයාගන්නවා ඕස්ට්‍රේලියානු ජාතික ලයනල් ලෝග් කියන කථන චිකිත්සකවරයාව.

ලයනල් ලෝග්

මේ රාජකීයයාගේ තියෙන රාජකීය අභිමානය නිසාම ලයනල් ලෝග්ට එක එක විදිහේ අපහසුතා ඇතිවුණත් සාර්ථකව ඔහු කටයුතු කරනවා. මෙහෙම යද්දී තමා ජෝර්ජ් රජතුමා මිය ගිහින් එතුමාගේ වැඩිමහල් පුතා 8 වෙනි එඩ්වඩ් විදිහට රාජ්‍යත්වයට පත්වෙනවා. ඒත් ඇමරිකානු ජාතික වොලිස් සිම්ප්සන්ව විවාහ කරගන්න යද්දී ඇතිවෙන යම් යම් ගැටළු නිසා 8 වෙනි එඩ්වඩ් රජතුමා රජකමෙන් ඉවත් වෙනවා.

ඒ නිසා ඇල්බට් කුමාරයා 6 වෙනි ජෝර්ජ් නමින් රාජ්‍යත්වයට පත්වෙනවා. එතුමාගේ අභිෂේක මංගල්‍යයේදීත් ලයනල් ලෝග් ගේ යම් යම් උපදෙස් අනුව කටයුතු කරලා ජෝරජ් රජතුමා එය සාර්ථකව නිමා කරනවා.

6 වෙනි ජෝර්ජ් රජතුමා සහ රජ පවුල

එතුමාට එන ලොකුම අභියෝගයක් වෙන්නේ 1939 දී ජර්මනිය යුද්ධ ප්‍රකාශ කිරීමත් එක්ක තමන්ගේ ජාතිය අමතලා කරන්න වෙන කතාව කරන එක. එතුමා ඒ කාර්යයත් එතුමාගේ කථන චිකිත්සකවරයා වුණු ලයනල් ලෝග්ගේ සහයෙන් සාර්ථකව ඉටු කරනවා.



6 වෙනි ජෝර්ජ් රජතුමා එදා කළ කතාව

පස්සේ රජතුමා ලයනල් ලෝග්ට කරන කෘතගුණ සැළකීමක් විදිහට "Royal Victorian Order" ප්‍රදානය 1944 දී ලබාදෙනවා.
Royal Victorian Order

ඒ වගේම රජතුමා මිය යනතුරුම හොඳම යාළුකමක් දෙදෙනා අතරේ පවතිනවා.

මේක තමා film එකේ කතාව.



ඉතින් මේ film එකට පාදක වෙන සත්‍ය කතාව ලබාගන්නේ රජතුමාගේ කථන චිකිත්සක ලයනල් ලොග්ගේ මුණුබුරන් වෙන මාර්ක් ලෝග් හා පීටර් කොන් රාඩි ලියන "The King's Speech: How One Man Saved the British Monarchy" පොතෙන්.

6 වෙනි ජෝර්ජ් රජතුමාව ලාංකිකයෝ විදිහට අපිට වැදගත් වෙන්නේ අපේ රට මහා බ්‍රිතාන්‍යයෙන් නිදහස් වුණු කාලයේ රාජ්‍යත්වය දැරුවේ එතුමා නිසායි. මේ film එක බලපු එකෙන් බ්‍රිතාන්‍ය රජ පවුල ගැන නොදන්න කරුණු හුඟාක් ඉගෙන ගන්න ලැබුණා. ඒ වගේම දැනගෙන හිටපු කරුණු තවත් හොඳින් මතකත් හිටියා.

රොයිලි අයියා කියන විදිහට මේ film එක,

"IMDB හොඳම චිත්‍රපට 250 ඇතුලත 117 වැනි ලබාගෙන ( 8.5/10 – ඡන්ද 16,792) ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයක් දිනාගන්න පවා මේ චිත්‍රපටය සමත් වුනා. ඒ වගේම මෙවර ඔස්කාර් සම්මාන උළෙලටත් මෙම චිත්‍රපටය සම්මාන 12ක් සඳහා නිර්දේශ විම් ලබලා තියෙනවා"

ඉතින් ඔයාලට මේක බලන්න කැමති නම් මෙතනින් බයිස්කෝප් සිංහලෙන් අඩවියට ගිහින් බාගන්න පුලුවන්.

නිල වෙබ් අඩවිය

විකී පීඩියා පිටුව

ප.ලි.: මෑත කාලින ඉතිහාසයේ සිදුවීම් පාදක කරගෙන හදන films වලට මගේ ලොකු කැමැත්තක් තියෙනවා. Public Enemies කියන්නෙත් මම ඒ වගේ කලින් බලපු film එකක්.


ඒකත් බයිස්කෝප් සිංහලෙන් site එකෙන් තමා දැනගත්තේ..........


Saturday, January 29, 2011

බණ පොඩ්ඩක්


ඊයේ හැන්දෑවේ මගේ හිතවතෙක් මට එව්ව message එකක් තමා මේ.

"බුදුරජාණන් වහන්සේ ඔබගේ සිතුම් පැතුම් හොඳින් හඳුනනවා. ඔබෙන් වැටෙන හැම කඳුළු බිඳක්ම උන් වහන්සේ බලා සිටිනවා. බුදු පියාණෝ කිසිම විටෙක ඔබ අත හරින්නේ නැහැ. හිතේ විශ්වාසයෙන් මේ SMS එක නව දෙනෙකුට යවන්න. හෙට සුභ ආරංචියක් අහන්න ලැබේවි."

මේක දැක්ක ගමන් මට හිතුණේ උප්පැන්න සහතිකේට විතරක් ආගම බුද්ධාගම වුණු කට්ටිය තමා මෙහෙම වැඩ කරන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ ගැලවුම්කරුවෙක් නොවන බව මුලින්ම වටහා ගන්න ඕනේ. මේක තවත් තේරෙන්න කියනවා නම් අපි බුදුන් වහන්සේ සරණ යනවා මිසක් උන් වහන්සේගෙන් පිහිටක් බලාපොරොත්තු වෙන්නේ නැහැ.

අපි පිහිටක් බලාපොරොත්තු වෙන්නේ දෙවියන්ගෙන් නේ. ඒකනේ බුදු සරණයි දෙවි පිහිටයි කියලා භාවිතයේ තියෙන්නේ. අපි කවදාවත් බුදු පිහිටයි කියලා එකක් අහලා තියෙනවාද ? බුදුන් වහන්සේ අසරණයන්ට පිහිට වුණු බව ඇත්ත.


ඒත් මේ message එකේ කියවෙන විදිහේ වැඩ බුදුන් වහන්සේ ජීවමානව හිටපු කාලයේදීවත් වුණේ නැහැ කියලයි මට හිතුණේ. බුදු හාමුදුරුවෝම වදාළේ තමන්ගේ විමුක්තිය තියෙන්නේ තමා තුළම කියලයි. ඒ වගේම තමන් වහන්සේ මග පෙන්වන්නෙක් පමණක් වන බවයි.

බුද්ධ ධර්මය අනුව පරම සැපය එහෙමත් නැත්නම් අවසාන බලාපොරොත්තුව වෙන්නේ නිවන් අවබෝධ කරගැනීමනේ. ඒක බුදු හාමුදුරුවෝ කරවන දෙයක් නෙමෙයිනේ. ඒක තමන් විසින් කළ යුත්තක්.

ඉතින් මම ඒ හිතවතාට පිළිතුරු වශයෙන් යවපු message එක තමා මේ

"දෙවියන්ගේ මට්ටමට බුදුන් වහන්සේව දමන්න එපා. අපි උන් වහන්සේ වදාළ මාර්ගය අනුගමනය කරන්න විය යුතුයි. ඒ නොමැතිව උන් වහන්සේගෙන් පිහිටක් බලාපොරොත්තු වන්නේ නම් එය බුදු දහම ගැන නිවැරදි අවබෝධයක් නොමැති බව පෙන්වීමක්. එසේම බුදුන් වහන්සේ ගැන අන්ධ භක්තියක් ඇති කරන, වැරදි මත පතුරවන මෙවන් වූ යැවීම තුළින් උතුම් බුදු ගුණවලට නිගරු කර අකුසල් සිදු කර නොගැනීමට කටයුතු කරන්න. නිවැරදි බුදු දහම වටහා ගැනීමට හැකිවේවා. තෙරුවන් සරණයි"

මේ විදිහේ එවන්න හේතුව තමා නිවැරදි දේ නිවැරදි දේ විදිහට තේරුම් නොයෑම. බුදුන් වහන්සේ මේ ගැන දේශනා කරපු ගාථා 2 ක් ධම්මපදයේ දැක්වෙනවා මේ විදිහට


අසාරේ සාර මතිනෝ සාරේ චාසාර දස්සිනො
තේ සාරං නාධි ගච්ඡන්ති මිච්ඡා සංකප්ප ගෝචරා

සාරඤ්ච සාරතෝ ඤත්වා අසාරඤ්ච අසාරතො
තේ සාරං අධිගච්ඡන්ති සම්මා සංකප්ප ගෝචරා

මේ ගාථාවල තේරුම වෙන්නේ සරු දෙය නිසරු දෙය හැටියටත් නිසරු දෙය සරු දෙය හැටියටත් දැකීම මිත්‍යා දෘෂ්ටිය වෙන බවයි. ඒ වගේම සරු දෙය සරු දෙය විදිහටත් නිසරු දෙය නිසරු දෙය හැටියටත් දැකීම සම්මා දෘෂ්ටිය වන බවයි.

ඉතින් සරු දෙය සරු දේ විදිහට වටහා ගැනීමේ හැකියාව ලබා ගන්න.

සැමට තෙරුවන් සරණයි


ප.ලි.: මම මීට කලින් බුදු දහම ගැන ලියපු ලිපි කියවන්න කැමති නම් මෙතන කොටන්න. ඒ වගේම මේ ධම්මපද ගාථා දෙක නිවැරදිව ලබාදුන්නු එප්පාවල සාගර සුමන හාමුදුරුවන්ට නමස්කාර පූර්වක ස්තුතිය පුද කරන්න කැමතියි

Friday, January 14, 2011

හරි අපූරු දවසක්

ඊයේ දවස හරිම අපූරු දවසක් මට. උදේ ඉදන්ම හරිම අපූරු දේවල ගොඩක් නෙමෙයි ගොඩා................ක් වුණු දවසක්.


උදෙන්ම පටන් ගත්තොත් මේ දවස් ටිකේම උදේ 8 ට lectures තිබුණු නිසා හැමදාම වගේ උදේ 5 ට විතර නැගිටලා කැම්පස් යන්න ලෑස්ති වෙන්න සිද්ධවෙලා තිබුණේ. ඊයේ උදේ 10 ට lectures පටන් ගන්න නිසා මම හිතුවා 8 විතර වෙනකම් සැපට නිදියනවා කියලා.

කොහෙද 6 විතර වෙද්දී පුරුදු විදිහටම ඇහැරුණා:( අම්මෝ නිකම් නුවර එළියේ ගියා වගේ පට්ට සීතලයි. පස්සේ මම අල්මාරිය අවුස්සලා මගේ තිබුණු jersy එකකුත් දාගෙන තමා හිටියේ සීතලට.

උදේම වැඩ වගයක් තිබ්බ නිසා කෝකටත් කියලා ලෑස්තිවෙන්න පටන් ගත්තා. මම උදේට හැමදාම නානවා. ඒක කරන්න වුණේ නැත්නම් දවසම නිකම් අප්සට් වගේ. ඉතින් දත මැදලා නාලා කරලා ඊටත් පස්සේ ඇඳුම් කාරියේ එහෙම ඇඳලා කෑමත් කාලා කැම්පස් එන්න ගෙදරින් එළියට බැස්ස විතරයි පට්ටම සීතලයි.

උදේම නාපු නිසා ඒක වැඩියිද මන්දා. සීතල වැඩි නිසාම කලිසමේ සාක්කු දෙකේ අත් දාගෙන තමා හිටියේ. හන්දියෙන් බස් එකට නැග්ගාම දැක්කේ බස් එකේ වීදුරු එකක්වත් ඇරලා නැහැ. ඒ තරටමට සීතලයි.

බස් එකෙන් කිරිබත්ගොඩදී බැස්සා Luxman Studio එකට යන්න අපි 1st Year History කරන ළමයි පිළිගන්න කරන Welcome Party එකේදී එයාලට දෙන්න sticker එකක් print කරන්න දීලා තිබුණා ඒක ගන්න. එතනට ගිහින් ඒක ගත්තාම ලොකු රෝල් කරපු කොළයක් දුන්නා මට.

මම ඇහුවා "ස්ටිකර් කපලා දෙන්නේ නැද්ද ?" කියලා.

ඒ අක්කා කියනවා "ස්ටිකර් කපලා දුන්නාම සමහර අය අහනවා ඇයි කැපුවේ කියලා. ඒක නිසා අපි අහලා තමා ස්ටිකර් කපන්නේ" කියලා.

එතන ස්ටිකර් 100 ක්. කපපල්ලකෝ නිකම් ඉන්න එකේ :)) පිස්සු හැදෙයි. මම කිව්වා ඒක කපලා දෙන්න කියලා. පස්සේ ඒක එතනින් කපා ගත්තා.

දැන් එතන ඉදන් කැම්පස් එකට ආයි බස් එකේ යන්න ඕනෙ නේ. ටිකක් කම්මැලියි වගේ. අපිත් එක්ක History කරන පොරක් ඉන්නවා නෝබා කියලා. බයික් එකේ තමා කැම්පස් එන්නේ. මම manට call එකක් දීලා බැලුවා. එයා කඩවත හරියේ හිටියේ. පස්සේ මාවත් දාගෙන කැම්පස් එකට ආවා.

එතන කතාව කියන්නේ මට හෙල්මට් එකක් තිබුණේ නැහැ දාගෙන යන්න.

පොර කිව්වා " අවුලක් නැහැ බන් ශේප් එකේ යමු" කියලා.

මුලින්ම කිරිබත්ගොඩ YMBA එක ගාව Traffic පොරක් හිටියා. අපිව දැක්කේ නැහැ. ඊළඟට ලක්සැල ගාව. ඊටත් පස්සේ තුන්මං හන්දියේ. අන්තිමටම ඊරියවැටිය හෝල්ට් එක හරියේ. අන්තිමට හිටිය Traffic පොර නම් අපිව හොඳටම දැක්කා. ඒත් මොකුත් අවුලක් නැහැ.


Traffic Police දෙන්නෙක් පහුවෙද්දීම මම කිව්වා "නෝබා මාව මේ හරියෙන් බස්සපන්. හැමතැනම වගේ කාරයෝ. මගේ බොක්කත් එක්ක රත්වෙලා තියෙන්නේ. කාපුවත් එනවා වගේ උගුරට" කියලා :))

Man කියනවා "බය නොවී හිටපන් බන් අපිව අල්ලන්නේ නැහැ" කියලා. අන්තිමට යහතින් කැම්පස් එකට ආවා. මට මතක් වුණේ මම කලින් දවසක බයික් එකේ රාජගිරි ගිය ගමන.

පස්සේ ඉතින් 10 ට lecture එකට ගියා. Fan එකක්වත් දැම්මේ නැහැ. පට්ට සීතලයි නේ. Lecture එක පටන් අරන් ටික වෙලාවක් යද්දී මට පේනවා අපි ඉන්න buliding එකේ හෙවණැල්ල එහා building එකට වැටෙනවා. හෙවණැල්ල වැටෙන්න නම් අව්ව වැටෙන්න ඕනේ නේ.

මට මාර සතුටක් ආවා ඇති යන්තම ඉර පෑව්වානේ කියලා:) ඇයි ඉතින් ඉරිදා ඉදන්ම අව්වක් තිබ්බේ නැහැනේ. Lecture එක ඉවරවෙලා දුවගෙන එළියට ආවා අව්වට පොඩ්ඩක් යන්න. අව්ව තිබ්බට වැඩක් නැහැ පට්ට සීතලේ අඩුවක් නැහැ.

First Year Welcome එකේ prinouts වගයක් ගන්න කැම්පස් එකේ පහළට යද්දී නිකමට වගේ බුදු පිළිමේ හරියෙන් පේන සපුගස්කන්දේ එක දිහා බලපුවාම photos වලට එහෙම දැකලා පුරුදු කන්දක් පේනවා.


බැලින් නම් සිරිපාදේ තමා ඒ පෙන්නේ. මට මාරම සතුටක් ආවේ. ඒ විදිහට සිරිපාදේ අපේ පැතිවලටත් පේනවා කියලා අහලා තියෙනවා මිසක් ඇත්තටම දැකලා තිබ්බේ නැහැ. පස්සේ එතන ඉදන් එතනින් යන්න ආපු කීප දෙනෙක්ටම සිරිපාදේ පෙන්නුවා. සමහරුන්ට ෂුවර් නැහැ. මේ වෙන මොකක් හරි කන්දක් කියලා. කැමරාවක් තිබ්බෙත් නැහැ photo එකක්වත් ගන්න :(

නිකම් ඉන්න බැරුවට ඒක මම FB Status එකක් විදිහටත් දැම්මා :) prinouts ටික අරන් ඇවිත් Welcome party එක කරන්න hall එකක් හොයන්න Dean Office එකටයි, History Department එකටයි, Econ Department එකටයි සැරින් සැරේ තුන් හතර පාරක්ම ගියා.

වැඩේ හරි ගියෙත් නැහැ නිකම් පෙට්‍රල් විතරයි:( පස්සේ ඒ වැඩෙත් කල් ගියා. බඩත්ගිනි මේ වෙද්දී. සෙට් එක එකතුවෙලා කෑවා.

ඊට පස්සේ ආයි වැඩකට පහළට යද්දී බැලුවා සිරිපාදේ පේනවාද කියලා. ම්හු.... සිරිපාදේ පේන්නේ නැහැ වළාකුළුවලට වැහිලා.

ඊට පස්සේ මගේ හොඳ......ම හිතවතෙක් එක්ක කතා කර කර හිටියා කාලෙකට පස්සේ :))

ඊටත් පස්සේ එයාත් එක්කම වළේ තිබ්බ චිංගීස් ආයිත්මාතව්ගේ ගුරු ගීතය නැවත කියවීම කියලා තිබ්බ discussion එකට ගියා. කලිනුත් මම කියලා ඇතිනේ ඔය රුසියන් පොත් ගැන මගේ taste එක.


කොහොම වුණත් මීට හුඟකාලෙකට කලින් තිබ්බ හරවත් සාකච්ඡා, සංවාද ආයි පාරක් කැම්පස් එකේ ඇති කරන්න ගත්තු උත්සාහයක් තමා ඒක. මහාචාර්ය ජිනදාස දනන්සූරිය සර් වගේම චින්තක සර් මේකට ඇවිත් තිබුණා. හැම පීඨයකම වගේ මේවාට ඇල්මක් තියෙන ළමයි ඇවිත් හිටියා.

ඒක ගැන වෙනම post එකක් ලියන්න ඉන්න නිසා වැඩි දෙයක් මෙතනදී කියන්නේ නැහැ. වටිනා පැය දෙකක් හරවත් සංවාදයක හිටියා කිව්වොත් නිවැරදියි. ඒකත් ඉවරවෙලා පහළට එද්දී තව යාළුවෙක් හම්බුණා. එයාට බෝඩිමක් බලන්න යන්න ඕන වෙලා ඒකටත් එයා එක්ක ගිහින් අන්තිමට ගෙදරට කරද්දී රෑ 8 විතර වුණා.

කොහොම නමුත් දවස නම් පට්ටම පට්ට :)

ප.ලි.: අදත් යන ගමන් සිරිපාදේ පේනවද කියලා බලාගෙන යන්න ඉන්නේ. අනේ මන්දා ඒක දැක්ක වෙලාවේ ඉදන් මට මාර සතුටුයි :)

Tuesday, January 11, 2011

සහජීවනය සිංහල විකියට - Sinahala Wikipedia


මේ දවස් ටිකේ ටිකක් වැඩ කටයුතු වැඩියි. ඒ Campus එකේ අපේ දෙවෙනි අවුරුද්ද පටන් ගත්තා නිසා. මම ඉතිහාසය විශේෂවේදී උපාධියක් කරන්න set වෙලා තියෙන්නේ. ඒ ගැනත් මම කතා වගයක් කලින් post එකෙන් කිව්වානේ :) මේ වැඩත් එක්ක මට මේ ළඟදී වුණු සිද්ධියක් නිසයි මේ කතාව කියන්න හිතුණේ.

ගිය සතියේ මම Campus ගිහින් හැන්දෑවේ ගෙදර එද්දී නංගී කොම්පියුටර් රාජයා ඉස්සරහට වෙලා මොනවද කොට කොට ඉන්නවා. මම බැලුවා නංගි මොකද කරන්නේ කියලා. බැලින්නම් එයාට ඉස්කෝලෙන් දීලා ලංකාවේ ප්‍රසිද්ධ වේදිකා නාට්‍ය කීපෙක list එකක්. ඒවා නිර්මාණය කරපු අයගේ නම් හොයන් එන්න කියලා.


ළමයා internet එකෙන් වේදිකා නාට්‍යවල නම් type කර කර ඒවායේ අධ්‍යක්ෂවරු හොයනවා. මම බැලුවා හොයා ගත්තු ටික. ඒවායෙත් දෙක තුනක් වැරදියි. තව එහෙම් පිටින්ම 10 ක් විතර හොයා ගන්නත් තියෙනවා.

මම මුලින්ම වැරදි ටික හදලා මම දන්න ඒවා ටිකත් ලිව්වා. මමත් O/L වලට කලේ නාට්‍ය හා රංග කලාව. අනික මාත් ඔය වේදිකා නාට්‍ය බලන්න එහෙම කැමතියි කියලා දවසක් කිව්වා මතකනේ

පස්සේ ඉතින් නංගි මට කිව්වා "පොඩි අයියේ ඉතුරු ටිකත් හොයලා දෙන්නකෝ" කියලා.

මාත් ඉතින් මේ ගේමට බැස්සා ඉතුරු නම් ටිකත් හොයා දෙන්න. මාත් ඉතින් මුලින් නම් type කරලා හොයලා බැරිම තැන විකිපීඩියාවට ගිහින් කියල එහෙට මෙහෙට search කරලා බැලුවා. ප්‍රතිඵලයක් නැහැ. පස්සේ සිංහල විකිපීඩියාවට ගිහිනුත් බැලුවා. ඒත් වැඩක් නැහැ.

පස්සේ කරපු වැඩේ ප්‍රසිද්ධ නාට්‍යකරුවන් කීප දෙනෙක් ගැන විකියෙන් හොයලා බලලා එයලා කරපු වේදිකා නාට්‍ය අපේ List එකේ තියෙනවාද කියලා බැලුවා. ඒකෙනුත් අපේ list එකේ හිස්තැන් කීපයක් පුරෝ ගත්තා.

ඒත් තව ඉතුරුයි. අන්තිමටම කළේ youtube එකෙන් ඒ නාට්‍යවල video clips හොයාගෙන ඒවා play කරලා බලපු එක. මොකද නාට්‍ය play වෙන්න කලින් ඒකේ විස්තර දාන නිසා. ඒ විදිහට කොහොමින් කොහොම හරි ඔක්කොම ටික හොයා ගත්තා.

මේ සිද්ධියෙන් පස්සේ මට හිතුණේ සිංහල වේදිකා නාට්‍ය ගැන සිංහල විකියේ ලිපියක් තිබ්බා නම් හුඟාක් ලේසියට වැඩේ කරගන්න තිබුණා නේද කියලා. සිංහල බ්ලොග්කරණය හුඟාක් ජනප්‍රිය වෙලා තියෙන කාලෙක සිංහල විකියේ පරාසය පුළුල් කරන එක ඇත්තටම කළ යුත්තක්.

මේ ගැන අප අතරින් වෙන්වුණු හිතවත් බ්ලොග්කරුවෙක් වුණු කුමුදු පින්තු මහත්මයාත් ඒ දවස්වල කතා කරලා තිබුණා.

මමත් මම දන්න විදිහට සිංහල විකියේ තිබුණු කැලණිය විශ්වවිද්‍යාලය ගැන තියෙන ලිපිය අළුත් කරුණු එකතු කරලා සංශෝධන කළා.

ලිපිය බලන්න කැමති නම් මෙතන කොටන්න

අපි ගාව තියෙන, අපි දන්න මොකක් හරි එකක් තව කෙනෙක් බෙදා ගන්න එක හොඳ වැඩක් නේ. ඒක නිසා හැමෝම මේ වැඩේට එකතු වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒක අපි කාගේ කාගේත් පහසුවට හේතුවෙයි.

ප.ලි.: මේ post එක ලියන්න පටන් ගත්තේ ගිය සිකුරාදා. කොහොමින් කොහොම හරි අද තමා ලියලා ඉවර කරගන්න පුලුවන් වුනේ :))

Saturday, January 1, 2011

සිංහාවලෝකනය


අවුරුද්දක් ඉවර වෙලා ගිහින් තවත් අවුරුද්දක් උදාවුණා. හැමෝම හැමදාම කියනවා වගේ "අවුරුද්දක් ගියා තේරුණේවත් නැහැ". ඉතින් හා හා පුරා කියලා මේක කියවන හැමෝටම මුලින්ම ලැබුවා වූ අලුත් අවුරුද්ද සාමය සතුට සෞභාග්‍යය සපිරි, උතුම් පැතුම් ඉටුවන, උසස් අධ්‍යාපන කටයුතු, රැකීරක්ෂා කටයුතු සාර්ථකව සිදුවෙන, නීරෝගිමත් සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

අලුත් අවුරුද්ද පටන් ගත්තු දවසේ පරණ අවුරුද්දේ පොඩි පොඩි දේවල් ටිකක් මතක් කළොත් හොඳයි කියලා හිතුණා. පහුගිය දෙසැම්බර් මාසේ 26 වෙනිදා මාත් එක්ක ඉස්කෝලේ ඉන්න කාලේ අවුරුදු 5 ක් විතර එකට scouting කරපු යාළුවෝ කට්ටියගේ හමුවක් තිබුණා.

දකුණේ ඉදන් : මම, නානා, රාමු, PKT, මනියා

අපේ කට්ටිය 5 ක් හිටියා. ඉසුරු හෙවත් නානා, තරංග හෙවත් PKT, අශාන් හෙවත් රාමු, මනීෂ හෙවත් මනියා අන්තිමට මම. ඒත් මේ වෙද්දී අපි පස් දෙනාගෙන් ලංකාවේ ඉන්නේ හතර දෙනයි. මනීෂ මේ වෙද්දී කැන්ගරු දේසෙට වෙලා උසස් අධ්‍යාපනය ලබනවා.

අපි හතර දෙනා සෙට් වෙලා රීගල් එකෙන් විදූ film එකත් බලලා Excel World ගිහින් දවල්ට කෑම කන ගමන් කතා කළේ අපි හතර දෙනා මේ අවුරුද්දේ කළේ මොනවාද ? වගේම ඊළඟ අවුරුද්දේ කරන්න ඉන්නේ මොනවාද කියලා. ඉතින් හතර දෙනාගෙම කතාවලට අපි එක එක්කෙනා එක එක විදිහේ අදහස්, මඩ වගේ ඒවත් ආවා.

අපි පස්දෙනා එකෝමත් එක කාලෙක

කොහොම වුණත් එහෙම discussion එකක් කරන එකේ වටිනාකම අන්තිමට අපි හතරදෙනාම ඒකමතිකව පිළිගත්තා. ඒ වගේම ලබන අවුරුද්දෙත් මේ වගේම හමුවක් තියන්නත් අපි කතා කරගත්තා. අන්තිමට එතන හිටිය කෙනෙක්ට "Mister දුෂ්චරිත" කියලා කාඩ් එකකුත් දාලා තමා අපි විසිර ගියේ :))

මේ කතාව ඔයාලටත් කිව්වේ ඔයාලගෙත් හොඳම යාළුවෝ ඇති. එයාලත් එක්ක එකතු වෙලා පොඩි ෆන් එකකුත් අරගෙන මේවගේ discussion එකක් තියන්න. මාරම වටින දෙයක්. වටිනාකම කියලා නිම කරන්න බැහැ.

ඒ වගේම මගේ පහුගිය අවුරුද්ද ගැන කතා කළොත් ජයග්‍රහණ, හොඳ අත්දැකීම් ගොඩාක් හම්බුණු අවුරුද්දක් විදිහට 2010 අවුරුද්ද නම් කරන්න පුලුවන්.

මුල ඉදන් මතක් කරගෙන ආවොත් මගේ ජීවිතේට සුවිශේෂී කෙනෙක්ව හමුවුණා පෙබරබාරි මාසේ. ඒක ගැන සතුටෙන් මතක් කරන්න කැමතියි :)


ඒ වගේම මම campus එකේ මුල්ම විභාගෙට මුහුණ දීලා ඊට පස්සේ නිවාඩු කාලේ මේ බ්ලොග් එක පටන් ගත්ත එකත් විශේෂ දෙයක්. බ්ලොග්කරණය නිසා හුඟාක් දේවල් ඉගෙනගත්තා වගේම යාළුවෝ ගොඩා.....ක් අඳුරගන්න පුලුවන් වුණා.

ඒ වගේම දහම් පාසල් ගුරුවරයෙක් විදිහටත්, ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාවේ සාමාජිකයෙක් විදිහටත් ජීවිතේට තවත් වටිනා කියන අත්දැකීම් ගොඩාක් ලබාගන්න පුලුවන් වුණා.

ඒ වගේම අපේ Logic class එකේ කට්ටියත් එක්ක ෆන් වගේම හොඳ හොඳ අත්දැකීම් ගොඩකුත් ලබාගන්න පුලුවන් වුණා. ඉතින් මේ අවුරුද්ද ඉවර වෙද්දී කැම්පස් එකේ 2nd sem එකේ exam එකත් තියලා ඒකේ results එහෙමත් ලැබුණා.

කැම්පස් එකේ 1st year එකේ results එක්ක මගේ GPA එක 4.0 කට ඇවිත් තිබුණා වගේම History batch එකෙන් Batch Top වෙන්නත් මට ලැබුණු එක ගැන මට ලොකු සතුටක් තියෙන්නේ :)


ඇත්තටම මේ අවුරුද්දේ හැම තිස්සෙම මම සතුටෙන් හිටියාම නෙමෙයි. ඒත් හුඟාක් වෙලාවට සතුටෙන් හිටියා. ඒ වගේම අන්තිම දවස්වල ලොකු සතුටකින් තමා මම හිටියේ. තාමත් ඒක එහෙමයි.

ඉතින් මේ අවුරුද්දෙත් වැඩ ගොඩක් තියෙනවා. ඒවා සාර්ථකව කරගන්න පුලුවන් වෙයි කියලා මම හිතනවා. ඒ වගේම මෙච්චර කාලයක් මට ආශිර්වාදයක් වුණු, හයියක් දීපු, හිතවත් වුණු හැමෝටම ස්තුතියි. ඉස්සරටහටත් ඒ විදිහට ඔයාලා රැඳිලා ඉදියි කියලා විශ්වාස කරනවා.

එහෙමනම් අලුත් අවුරුද්දේ කතා ගොඩකුත් එක්ක හමුවෙමු.